File size: 4,695 Bytes
ae26518
1
{"Header": ["\nජපානයේ නව අධිරාජ්‍යයා ලෙස එරට ඔටුන්න හිමි නරුහිතෝ කුමරු වැඩ භාර ගනී"], "Time": ["\n01 May, 2019\t", "| 8:01 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/05/01/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b7%8f-%e0%b6%bd%e0%b7%99/", "Content": "(News 1st) – ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස එරට ඔටුන්න හිමි නරුහිතෝ කුමරු අද වැඩ භාර ගත්තේ ය ඒ, ඔහුගේ පියා වන අඛිහිතෝ අධිරාජයා ඊයේ සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කරමින් සිය ධූරයෙන් සමුගැනීමෙන් පසුව ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නරුහිතෝ කුමරුගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරන රෙයිවා නමැති නව අධිරාජ්‍ය යුගය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ඇරඹි අතර එය නරුහිතෝගේ ධූර කාලය අවසන් වන තෙක් පවතිනු ඇති බව ය. රෙයිවා යන්නෙන් නීතිය සහ සාමය යන්න හැඟවේ. නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මෙරට වේලාවෙන් පෙරවරු 6.45ට ආරම්භ විය. 59 හැවිරිදි නරුහිතෝ කුමරුට මෙහිදී පාරම්පරිකව අධිරාජ්‍යයන්ගෙන් පැවත එන අධිරාජ්‍යයෙකුගේ බලය සංකේතවත් කෙරෙන කණ්නාඩියක්, කඩුවක් සහ මැණිකක් හිමිවනු ඇති. ජපානයේ 126 වන අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු, ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකු වන අතර ඔහු ජපානයේ ඔටුන්න හිමි කුමරු බවට පත් වූයේ වයස අවුරුදු 28දී ය. 1986 වසරේදී සිය බිරිඳ වන මසාකෝ ඔවදා කුමරිය හමු වූ නරුහිතෝ කුමරු 1993 වසරේදී ඇය සමග විවාහ විය. හාවර්ඩ් සහ ඔක්ස්ෆර්ඩ් සරසවිවලින් උසස් අධ්‍යාපනය හැදෑරූ මසාකෝ කුමරිය සිය විවාහයට පෙර රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කළා ය. ඔවුන් දෙදෙනාට අයිකෝ කුමරියක් ද වන අතර ජපාන නීතියට අනුව කාන්තාවන්ට එරට රජ කිරුළ හිමි නොවන බැවින් නරුහිතෝ කුමරුගෙන් පසු ජපානයේ කිරුළ ඔහුගේ සොහොයුරු ෆුමිහිතෝ කුමරුට හිමි වනු ඇති. සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ධූරයෙන් සමු ගත් අඛිහිතෝ අධිරාජ්‍යයා, 1817 වසරෙන් පසු ස්වේච්චාවෙන් සිය ධූරයට සමු දුන් ප්‍රථම ජපාන අධිරාජ්‍යයා ලෙස සඳහන් ය. ජපානයේ සහ සමස්ත ලෝක ප්‍රජාවේම සතුට සහ යහපත ප්‍රාර්ථනා කරන බවට අවසන් වරට ජනතාව අමතා පැවැත්වූ දේශනයේ ද අඛිහිතෝ අධිරාජ්‍යයා ප්‍රකාශ කළේ ය. ජපාන අධිරාජ්‍ය තනතුරට කිසිදු දේශපාලන බලයක් නොමැති නමුත් එය ජාතික සංකේතයක් ලෙස හැඳින්වේ."}