{"Header": ["\nඅතිඋත්කර්ෂවත් ඔස්කා සම්මාන උළෙල ඉතිහාසගත කළ වරදට දඬුවම් ලැබෙයි"], "Time": ["\n02 Mar, 2017\t", "| 4:42 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2017/03/02/89-%e0%b7%80%e0%b6%b1-%e0%b6%87%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b6%8b%e0%b6%bd%e0%b7%99%e0%b7%85%e0%b7%9a-%e0%b6%89%e0%b6%ad%e0%b7%92/", "Content": "ලොව විශිෂ්ටතම සිනමා සම්මාන ‍‍උලෙළ ලෙස සැලකෙන ඔස්කා සම්මාන උලෙළේ සියලු දෙනා පුල පුලා බලා සිටි හොඳම චිත්‍රපටය ප්‍රකාශයට පත් කළ මොහොතින් පසු ‍උදා ව‍ූ නිමේෂය සම්මාන උලෙළ නැරඹූ ලොව පුරා සියලු රසිකයින් අන්දමන්ද වූ මොහොතක් බවට පත් විය. මෙම තත්ත්වය උදා වූයේ, එම උලෙළේ නිවේදකයා හොඳම චිත්‍රපටය ලෙස La La Land චිත්‍රපටය සම්මාන දිනා ගන්නා බව පවසා සුළු වේලාවකට පසු එය Moonlight ලෙස නිවැරදි විය යුතු බව යළි නිවේදනය කිරීමත් සමගිනි. මෙම සිදුවීම සැලකෙන්නේ, වසර 89ක ඉතිහාසයක් ඇති ඇකඩමි සම්මාන උලෙළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම වරද ලෙසිනි. ඇකඩමි සම්මාන උලෙළේ සභාපති ෂෙරොල් බීන් අයිසක් සඳහන් කළේ, ඒ අනුව, මෙම අතපසු වීමට වරදකරුවන් වූ ගණකාධිකාරීවරයෙකු හා ගණකාධිවරියක යළි සේවයට නොගැනීමට තීරණය කර ඇති බව ය. ඔවුන් දෙදෙනා සේවය කළ එමෙන් ම මෙම සම්මාන උලෙළේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කළ ගණකාධිකරණ ආයතනය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන බව ඔහු පැවසීය. එම සිදුවීම සම්බන්ධයෙන් රැකියාව අහිමි වී ඇත්තේ, බ්‍රයන් කලිනන් සහ මාර්තා රුයිස් යන ගණකාධිකාරිවරයාට සහ ගණකාධිවරියටයි. ඔවුන් දෙදෙනා සම්මාන ලාභී නම් ඇතුළත් ලිපි කවර නිවේදකයාට ලබා දුන් මොහොතේ වැරදීමකින්, පසුව සම්මාන පිරිනැමීමට නියමිතව තිබූ හොඳම නිළියගේ නම ඇතුළත් ලිපි කවරය ලබා දී තිබිණි. එහි සඳහන්ව තිබී ඇත්තේ, La La Land චිත්‍රපටයේ එමා ස්ටෝන් හොඳම නිළිය ලෙස සම්මාන හිමි කර ගන්නා බව ය. එහි La La Land යනුවෙන් සඳහන් වී තිබූ හෙයින් නිවේදකයා හොඳම චිත්‍රපටය ලෙස La La Land යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි අනාවරණය වී තිබේ. පසුගිය ඉරිදා පැවති ඇකඩමි සම්මාන උලෙළේදී ලෝකයක් අන්දමන්ද කරමින් එම ඓතිහාසික වරද සිදුවූ මොහොත…. අවසානයේ සිදු වූයේ, අතපසු වීමක් නිසා ඔවුන් දෙදෙනාට සිය රැකියාව අහිමි කර ගැනීමට සිදු වීමයි."}