title
stringlengths 22
149
| text
stringlengths 112
31.4k
|
---|---|
'දරුවාගේ ෆොටෝ එක බලමින් අපි හැමදාම අඬ අඬා තමයි ඉන්නේ' | මුල්ලිවයික්කාල් අවසන් සටනට මැදිවී අතුරුදහන් වූ දියණිය යළි නිවසට පැමිණෙන තෙක් වසර 14ක සිට තමා සහ සැමියා මග බලා සිටින බව තුඩරාසනි නිර්මලාදේවි BBC සිංහල සේවයට පැවසුවාය. ඇගේ දියණිය වූ තුඩරාසනි ප්‍රියදර්ශනී අතුරුදහන් වනවිට 20 වැනි වියෙහි පසු වූවාය. ''මුල්ලිවයික්කාල් ගියාට පස්සේ ෂෙල් වැටුණා. එතනදි මගේ දුව අතුරුදහන්වුණා. අපි දිවුවා. සමහර අය කිව්වා අල්ලගෙන යනවා දැක්කා කියලා. කවුරු අල්ලාගෙන ගියාද කියලා දන්නේ නෑ. දරුවාගේ ෆොටෝ එක බලමින් අපි හැමදාම අඬ අඬා තමයි ඉන්නේ.'' යනුවෙන් තුඩරාසනි නිර්මලාදේවි හැඬු කදුළින් සිය දියණිය සිහිපත් කරන්නීය. |
අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: 'තාත්තට කොච්චර ආදරෙයි ද කියලා මට එයාට කියන්න බැරිවුණා' | 2010 ජනවාරි 24 වන දා, ලංකාවේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබිය දී, හරිත් එක්නැළිගොඩගේ පියා වූ ප්‍රගීත් අතුරුදන් වූ බවට වාර්තාවන විට හරිත්ගේ වයස අවුරුදු 13කි. මාධ්‍යවේදියෙකු, කාටූන් ශිල්පියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රගීත්, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය. ඔහුගේ අතුරුදන්වීමට කිසිදු සම්බන්ධයක් ඇතැ යි යන්න ශ්‍රී ලංකා රජය සහ යුද හමුදාව ප්‍රතික්ෂේපකර තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව 1980 ගණන්වල අග භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 60,000ත් 100,000ත් අතර පිරිසක් අතුරුදහන්වී තිබේ. |
කෞතුක වස්තු : 'ලන්දේසීන් ගෙනිච්ච කඩු ලංකාවට ගේන්නේ නැතුව එහෙම තිබුණොත් හොඳ නැද්ද?' | ලන්දේසීන් 1765 දී සෙංකඩගල රජ මාලිගාව වටළා රැගෙන ගිය කෞතුක වස්තු හයක් දෙසැම්බර් මාසයේ දී යළි ලංකාවට රැගෙනවිත් විශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. ලෙවුකේ දිසාව භාවිත කළ බවට විශ්වාස කෙරෙන කාලතුවකුවක්, රනින් සහ රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තාන දෙකක් (උත්සව අවස්ථාවන්හි භාවිත කරන කඩු දෙකක්) රනින් කළ පිහියක් සහ තුවක්කු දෙකක් යළි ලංකාවට ලැබෙන කෞතුක භාණ්ඩ අතරට අයත් වේ. ''සමහර අයගේ සැකයක් තියෙනවා මේවා එහෙ තියෙන එක හොඳ නැද්ද මේවා නැති වුණොත් කියලා. ඒක සාධාරණ සැකයක්. කලින් කෞතුකාගාරයේ තිබුණු කඩු දෙකක් එකපාරටම අතුරුදහන් වෙනවා. අපි විශේෂ වැඩපිළිවලක් යොදනවා අපිට ලැබෙන පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා'' යනුවෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් පැවසුවේය. |
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය : 'එදා අපිව උසිගන්නපු රනිල් අද EPF එක කොල්ල කන්න හදනවා' | දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ දී සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු සඳහා ගෙවන පොලිය අඩු කිරීමට සහ දේශීය සම්පත් විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අද (අගෝස්තු 28) කොළඹ දී විරෝධතාවයක් පැවැත්වුණි. ඒ සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජනය කරමින් පිරිස සහභාගී වී සිටියහ. ''එදා 2014 දී මහින්ද රාජපක්ෂගේ කාලේ EPF එක කොල්ල කන්න හදනකොට ජනතාව පාරට බස්සන්න අපිව උසිගන්නපු රනිල් වික්‍රමසිංහ අද EPF එක කොල්ල කන්න හදනවා'' යනුවෙන් මේ අවස්ථාවට එක වූ ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ය. |
එක නිවසක එකට දිවි ගෙවන සාමාජිකයින් 72 කින් යුත් පවුලක් | ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන දොයිජෝඩ් පවුලේ පරම්පරා 4කට අයත් සාමාජිකයින් 72 දෙනෙක් එක ම නිවසක වාසය කරති. එක් වහලක් යට විශාල පිරිසක් සමග දිවි ගෙවීම පිළිබඳව තමන්ට දැනෙන ආකාරය ගැන ඔවුන් කළ පැහැදිලි කිරීමකි, මේ. |
ගිං ගඟත් බෙන්තර ගඟත් අතර සැමරෙන 'කිරි පෝය' | එක් එක් ආගමික හා ජන කණ්ඩායම්වලට පමණක් නොව, ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වලට ද ආවේණික වන විශේෂ වූ චාරිත්‍ර-වාරිත්‍ර තිබේ. කිරි පෝය යනු, ඇසළ පොහොයට දකුණු පළාතේ එක්තරා කොටසක් පමණක් විශේෂයෙන් සමරන එවැනි උත්සවයකි. එය හුදෙක් ම චාරිත්‍ර වාරිත්‍රවලින් ඔබ්බට ගිය සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. කිරි ආහාරවලින් පිරුණු 'කිරි පෝය' දකුණු පළාතේ එක් කොටසක පමණක් සැමරෙන මෙම විශේෂ පොහොය පිළිබඳ ලද තොරතුරු අනුව බීබීසී සිංහල අප ගමන් කරමින් සිටියේ අහුංගල්ල ප්‍රදේශය බලා ය. අහුංගල්ල, බලපිටිය ආදී ප්‍රදේශවල මෙම චාරිත්‍ර වාරිත්‍ර වාර්ෂිකව ඇසළ පොහොය දිනයේදී සිදුකරන බව අපට දැනගැනීමට හැකි විය. 'කිරි පෝය' ලෙස හැඳින්වෙන මෙම උත්සවය සිංහල-හින්දු අලුත් අවුරුද්ද සේම එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව සමරන සංස්කෘතික උත්සවයකි. අපගේ ගමනාන්තයට ළඟා වන විටත් ඒ අසල පිහිටි නිවෙස්වල ගෘහණියන් නිවසින් පිටත ලිප් බැඳ එම ලිප්වල විශාල වළං තබා, දිගු කිතුල්පත්තකින් කිරියා හැඳිගාන අයුරු දැක ගැනීමට අපට හැකි විය. පොල්කිරි, හාල් පිටි, සීනි හෝ හකුරු සහ වියළිමිදි, කජු ආදිය යොදා සකස් කරන කිරියා ඉතා ප්‍රණීත ආහාරයකි. එය බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන කිරි දාන සංස්කෘතියේ නොමැකෙන ආහාරයකි. සවස සිදුකිරීමට ඇති කිරි පෝය චාරිත්‍ර සඳහා එම ආහාර පිසින වග ගෘහණියෝ අපට පැවසූහ. 'කිරි පෝය' ඉතිහාසය මෙම කිරි පෝය චාරිත්‍රය අතීතයේ පටන් සිදු කරන චාරිත්‍රයක් බවට අප සමග අදහස් හුවමාරු කරගත් ගම්වැසියන් බොහෝ දෙනෙක් පැවසූහ. ඉර බැස ගොස් අදුර පැමිණෙත් ම නිවස තුළ කිරි පෝය චාරිත්‍ර සිදු කරන ගම්වැසියන් සවසට නැවත එකතු වන්නේ ගමේ පිහිටි දේවාලයට ය. කිරි පෝය, එසේත් නැතිනම් ඇසළ පොහොය දිනයේ සහ ඊට පසු දින විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් සංස්කෘතිකාංග රැසක් එම දේවාලයේදී සිදු කෙරේ. අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි "තිලකමුණි කෝවිල" එදින අපි මෙම චාරිත්‍රය නැරඹීමට තෝරාගත් ස්ථානයයි. එදින එම දේවාලය තුළ බොහෝ පිරිසක් එක් රැස්වී සිටියේ කිරි පෝයට අදාළ සංස්කෘතිකාංග සඳහා පසුබිම් සකස් කිරීමට ය. එම සංස්කෘතිකාංග රංග දැක්වීම සඳහා පැමිණ සිටි නැට්ටුවන්, බෙර වාදකයන්, මෙන් ම කපු මහතුන් යන සියලු දෙනා පාරම්පරිකව සිය ශාස්ත්‍රය ප්‍රගුණ කළ අය වේ. මෙම කිරි පෝය චාරිත්‍රය සිදු කරන්නේ පත්තිනි මෑණියන්ට, කතරගම දෙවියන්ට, සහ දෙවොල් යක්ෂයාට බව මෙම දේවාලයේ සිටි එක් කපු මහතෙකු වූ චතුරංග පැවසුවේ ය. පාරම්පරික නර්තන ශිල්පියෙකු සහ බෙර වාදකයෙකු වන ඔහු එදින රාත්‍රියේ සංස්කෘතිකාංග කිහිපයකට ම අදාළව නර්තනයේ යෙදීමට සූදානම්ව සිටියේ ය. "කිරි පෝය චාරිත්‍ර සිදු කරලා මිනිස්සු පත්තිනි මෑණියන්ගෙන් ගම ආරක්ෂා කරලා දෙන්න, දරු සම්පත් ලබාදෙන්න වගේ දේවල් ඉල්ලනවා. ඒ වගේම ධීවරයෝ දෙවොල් යක්ෂයාට කන්නලව් කරනවා ඔවුන්ව මුහුදේදී ආරක්ෂා කරන්න කියලා. බහු දින ධීවර යාත්‍රා ඇරෙන්න අනෙකුත් ධීවර යාත්‍රා සාමාන්‍යයෙන් මේ දවසට මුහුදු යන්නේ නෑ," ඔහු විස්තර කළේ ය. පහතරට නර්තන සම්ප්‍රදායේ එක් ශාන්තිකර්මයක් වන්නේ 'පත්තිනි නර්තනයයි'. පත්තිනි දේවතාවිය නිරූපණය කරමින් මෙම නර්තනයේ යෙදෙන්නේ පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයකි. පත්තිනි දේවතාවියගේ ආභරණ සහ ඇඳුම් මෙන් ම, දීර්ඝ කෙස් කළඹ පැළඳගෙන එම නර්තනයේ යෙදෙමින් ශාන්තිකර්මය කරනු ලබන්නේ පිරිමි නැට්ටුවෙකු විසින් ය. මේ සඳහා ද පාරම්පරික පහතරට නැට්ටුවෙකු වන ජානක සූදානම්ව සිටියේ ය. කිරි පෝය දිනයේදී කිරි ආහාර සකස් කිරීම සම්බන්ධයෙන් ජානක විස්තර පැහැදිලි කළේ ය. "කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාරයා දඹකොළ පටුනෙන් ශ්‍රී ලංකාවට ගොඩ බැස්සට පසුව කතරගම දක්වා ගමන් කරන විට මේ ප්‍රදේශය හරහා ගමන් කරලා තියෙනවා. එතකොට බෙන්තර ගඟත් ගිං ගඟත් අතර ප්‍රදේශයේ ජනතාව කිරි ආහාර වලින් ඔහුට සංග්‍රහ කරලා තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන්. ඒ නිසා තමයි මේ උත්සවයට විශේෂයෙන් ම කිරි ආහාර සකස් කරන්නේ." කිරි පෝයට "ජොරා මරන" ගම්වැසියෝ රාත්‍රියේදී පැවැත්වන ශාන්තිකර්ම සඳහා පසුබිම් සකස් කරමින් සිටි සහ රාත්‍රියේ පැමිණෙන ගම්වැසියන්ට ලබා දෙන දානයේ කටයුතු සිදුකරමින් සිටි පිරිස් ඉර අවරට යත්ම "ගෙදර ගිහින් ජොරා මරලා එන්නම්," යනුවෙන් පවසමින් නිවෙස් වෙත යාම අපගේ කුහුලට හේතුවක් විය. එදින අප සමග මෙම ගමනට එකතු වී සිටි අහුංගල්ලේ පදිංචිකරුවෙකු වන උදිත එම චාරිත්‍රය පිළිබඳව අපට පැහැදිලි කළේ ය. "දවල් ඉඳන් හැඳිගාන කිරියා සහ කිරිබත් ගෙදර සාලයේ බිම වාඩිවෙලා කෙසෙල් කොළයක දාලා කන එකට තමයි ජොරා මරනවා කියලා කියන්නේ. මේ උත්සවයට කලින් දවස් තුනක විතර පටන් අපි මස් මාළු කන්නේ නෑ. ගෙවල් කහ වතුරෙන් සෝදනවා. කිරි පෝය දවසේ උදේ පටන් කිරියා හැඳි ගාන එක හැම ගෙදර ම වගේ කරනවා." "ඉර බැහැලා අඳුර වැටීගෙන එනකොට පවුලේ හැමෝම නිවසේ සාලයේ බිම වාඩිවෙලා කෙසෙල් කොළ බිම අතුරලා ඒ කෙසෙල් කොළ උඩට කිරියා සහ කිරිබත් දාලා හැමෝම එකතුවෙලා කනවා. ඊට කලින් මිදුලේ ගොක්කොලවලින් පොඩි මල්පැලක් හදලා ඒ ඇතුලෙන් මේ කිරි ආහාරවලින් කොටසක් තියෙනවා. මේ විදිහට කිරි ආහාර කන එකට තමයි ජොරා මරනවා කියලා කියන්නේ," ඔහු පැහැදිලි කළේ ය. ගොක්කොල මල්පැලේ තබන කිරි ආහාර සොරකම් කිරීම ගමේ කොල්ලන් කුරුට්ටන්ගේ විනෝදාංශය බව ඔහු පැවසුවේ ය. නමුත් එදිනට තම මල් පැලේ ඇති කිරි ආහාර යම් තරුණයෙකු හෝ කුඩා පිරිමි දරුවෙකු සොරකම් කළත් නිවැසියන් ඔවුන් සමග අමනාප නොවේ. 'ජොරා මැරීමේ' චාරිත්‍රය අවසන් කර ගම්වැසියන් ටිකෙන් ටික දේවාල භූමිය කරා ඇදී එන ආකාරය අපට දැක ගැනීමට හැකි විය. මුළු ගමක් එක්තැන් කරන සංස්කෘතික මංගල්‍යය ගමේ සියලු දෙනා තරහ මරහ අමතක කර එකට එකතු වී සිදුකරන මෙම චාරිත්‍රයට දුරබැහැර රැකියා සඳහා ගොස් සිටින අය පවා පැමිණ තිබිණි. කිරි පෝය දිනයේ රාත්‍රිය පුරා දෙවොල්මඩුව, පත්තිනි නර්තනය, ගිනි පෑගීම, ගරා යකා නැටීම, කාවඩි නර්තනය මෙන් ම ජන ක්‍රීඩා වන අංකෙළිය, පොරපොල් ගැසීම වැනි ක්‍රීඩා ද සිදු කෙරෙයි. උත්සවය පැවැත්වෙන දෙදින පුරා දන්වේල් තුනක් ද ලබාදෙන අතර ශාන්තිකර්ම සිදුකිරීමට පැමිණ තිබෙන කපු මහතුන්ට මුලින් දානය පිළිගන්වා, ඉන්පසුව ගම්වැසියන් සියලු දෙනාට මෙම ආහාර ලබා දීම සිදුකරයි. එහි පළමු දානය වන කිරි පෝය දිනයේ රාත්‍රිය ලබාදෙන දානය ලබා ගැනීම සඳහා, ගම්වැසියන් පෝලිම්වල එකතු වී සිටින ආකාරය අපට දැක ගැනීමට හැකි විය. ඉන්පසු දින උදෑසන කිරි දානයක් ද, සවස හමාර දානයක් ද ලබා දෙන බව කපු මහත්වරු අපට පැවසූහ. මෙම දාන සියල්ල සඳහා වියදම් දරන්නේ ගම්වැසියන් සාමූහිකව ය. අතීතයේදී කුල වශයෙන් බෙදී තිබූ කාලයේදී සෑම කුලයක අයෙකුට ම වෙන් වූ විශේෂ රාජකාරියක් කිරි පෝය උත්සවය තුළ තිබූ බව කපු මහත්වරු කියා සිටියහ. වර්තමානය වන විට එවැනි කුල භේදයක් නොමැති වුවත්, සියලු ගම්වැසියන් එක් එක් වගකීම් බෙදාගෙන සාමූහිකව මෙම උත්සවය සංවිධානය කරන බව එහි සංවිධායකයෝ පැවසූහ. මෙම ශාන්තිකර්මය අතරතුරදී, මධ්‍යම රාත්‍රියේදී කොඩි වැල් එල්ලන ලද පුවක් ගසක් දේවාලයේ මිදුලේ සිටවනු ලබයි. එය හඳුන්වන්නේ "කාල පන්දම" ලෙසයි. හොඳින් වැඩුණු පුවක් ගසක් කපා එය ශුද්ධ කර කාල පන්දම සකස් කිරීම සඳහා යොදා ගනියි. එහි සතර දිශාවට කොඩිවැල් සතරක් එල්ලන අතර ගම්වැසියන්ගේ විවිධ බලාපොරොත්තු වෙනුවෙන් පඬුරු ගැට ගැසීම සිදුකරන්නේ එම කාල පන්දමේ ය. සතර කොනට එල්ලූ කොඩි වැල්වල මුදල් නෝට්ටු ගැටගසා, සිදුකරන ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ද එක් කපු මහතෙක් පැහැදිලි කළේ ය. "මේ කොඩිවැල් හතරෙ සල්ලි කොල එල්ලනවා. ඊට පස්සේ කට්ටියට කියනවා උඩ පැනලා කකුලෙන් ගහලා ඒ කොඩිවැල් කඩන්න කියලා. ඒ විදිහට උඩ පැනලා කකුලෙන් කොඩිවැල කැඩුවොත් කොඩි වැලේ එල්ලලා තියෙන සල්ලි ඒ කෙනාට ලැබෙනවා," ඔහු පැවසුවේ ය. පරම්පරාවෙන් පැමිණෙන උරුමය ගිං ගඟත්, බෙන්තර ගඟත් අතර මුහුදුබඩ ප්‍රදේශයේ එක් එක් ගම්වල දේවාල මුල් කරගෙන පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යය පාරම්පරික දැනුම එක්තැන් කරන අවස්ථාවක් ලෙස නම් කළ හැකියි. අහුංගල්ලේ මෙම උත්සවය පැවැත්වුණු තිලකමුණි කෝවිලේ භාරකාරීත්වය ද එලෙස පාරම්පරිකව ලැබෙන හිමිකමකි. වර්තමානය වන විට එම දේවාලයේ භාරකාරීත්වය දරන්නේ එම පරම්පරාවේ දහතුන් වන පරම්පරාවයි. වර්තමානයේ එම දේවාලයේ භාරකරු වන දිනේෂ් වරින් වර විදෙස්ගත වන්නෙකු වුවත් මෙම උත්සවය සඳහා නොවරදවා ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකි. "මේ දේවාලයේ භාරකාරීත්වය මගේ තාත්තගෙන් මට ලැබුණේ. තාත්තට සීයගෙන්. මේ විදිහට පරම්පරාවෙන් ගලාගෙන ආව උරුමයක් තමයි මේ දේවාලය. මගේ කාර්යබහුල ජීවිතයත් එක්ක විදෙස්ගත වෙන්න සිදුවුණත් සාමාන්‍යයෙන් මම සෑම වසරක ම ලංකාවට ඇවිත් කිරි පෝය චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන්න අදාළ කටයුතු සංවිධානය කරලා දෙනවා. මගෙන් පසුව ඒ උරුමය යන්නේ මගේ පුතාට," දිනේෂ් පැවසුවේ ය. මෙම ශාන්ති කර්මය සඳහා පැමිණ සිටි නැට්ටුක්කරුවන්, බෙරකරුවන් ඇතුළු සියලු දෙනා ද එලෙස පාරම්පරිකව එම වෘත්තියේ නියැළෙන්නන් ය. දෙවොල්මඩු ශාන්තිකර්මයට සහ පත්තිනි නර්තනය ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි කපු මහතුන් දෙදෙනා ම පාරම්පරික පහතරට නර්තන ශිල්පීන් වන අතර, ඔවුහු වයස අවුරුදු හතේ සිට නර්තනයේ යෙදෙන බව පැවසූහ. විදේශීය සංචාරකයන්ගේ ප්‍රතිචාරය සංචාරක කර්මාන්තය ද සිදුකෙරෙන ප්‍රදේශයක් වන අහුංගල්ලේ මෙම චාරිත්‍ර වාරිත්‍ර නැරඹීම සඳහා විදේශීය සංචාරකයෝ ද පැමිණ සිටියහ. එවැනි සංචාරකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව බීබීසී සිංහල වෙත හිමි විය. ඇනට් මාක්ස් සහ ඈන්මාරි ලැන්ග්හේන් එලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටි ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි. "මේ උත්සවය හරිම වර්ණවත්. අපට හරිම වෙනස් අත්දැකීමක් ලැබුණා. මේ තැනට ආවට පසුව අපට ලොකු ආධ්‍යාත්මික සුවයක් දැනුනා. හැමෝම එකතු වෙලා මෙතන ඉන්නවා. ඒවගේ ම හරි ම ප්‍රියමනාපයි," ජර්මනියේ ගුරුවරියක ලෙස කටයුතු කරන ඇනට් මාක්ස් පැවසුවා ය. "මම මේ ශ්‍රී ලංකාවට පැමිණි හත් වන අවස්ථාව. ඒ හැම අවස්ථාවකදී ම ශ්‍රී ලංකාවේ ලස්සන සංස්කෘතිය මට අමතක නොවෙන අත්දැකීමක් ලබා දුන්නා," ඈන් මාරි පැවසුවා ය. |
කියානු රීව්ස්: 'මම මරණය ගැන නිතර ම හිතනවා' | අප අතරින් බොහෝ දෙනෙකු මරණය ගැන සිතීමෙන් වැළකී සිටිය ද කියානු රීව්ස් සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. "මට දැන් 59ක්, ඒ නිසා මම නිතර ම මරණය ගැන හිතනවා," හොලිවුඩයේ මෙගා තරුව බීබීසී පුවත් වෙත හෙළි කර තිබේ. "ඒක හොඳ දෙයක්," ඔහු තවදුරටත් පැවසීය. "ඒක මහා අමාරු දෙයක් නෙවෙයි. ඒත් ඒක අපි ගන්න හුස්ම ටික වගේ ම අපි ඇති කර ගන්න සබඳතා ගැන අගය කරන්න [අපිව] සංවේදී කරනවා." මෙවර එය, නව කෘතියකි. එනම්, රීව්ස්ගේ පළමු නවකතාව යි. බ්‍රිතාන්‍ය විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙකු වන චයිනා මියේවිල් සමග සහයෝගයෙන් ලියන ලද The Book of Elsewhere නමැති එම කෘතියේ, මරණයට පත් වීමට හැකියාවක් ඇති අයෙකු වීමට කැමති අමරණීය රණශූරයෙකු පිළිබඳව කියැවේ. අපිට රීව්ස් සහ මියේවිල් හමුවන්නේ, මධ්‍යම ලන්ඩනයේ, අඩු ආලෝකයකින් පිරී ගිය හෝටලයක බීම හලකදී ය. හොලිවුඩයේ වෙසෙන මෙම කැනේඩියානු නළුවා අප සඳහා කාලය වෙන් කළේ, සිය ඩෝග්ස්ටාර් (Dogstar) සංගීත කණ්ඩායමේ ප්‍රසංග අතරතුරදී ය. ඊට පෙර දින රාත්‍රියේ ඩෝග්ස්ටාර් සංගීත කණ්ඩායම මැන්චෙස්ටර්හි ප්‍රසංගයකට සහභාගී විය. අපි විනාඩි 30ක සම්මුඛ සාකච්ඡාව ආරම්භ කරන අවස්ථාවේ රීව්ස් තරමක් වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට විය. නමුත් සිය නවකතාව කෙරෙහි ඔහු තුළ වන ආශාවේ අඩු බවක් දිස් නොවිණි. 'The Book of Elsewhere' පදනම් වී ඇත්තේ, රීව්ස් විසින් නිර්මාණය කරන ලද අතිසාර්ථක BRZRKR විකට පොත් මාලාව මත ය. 2021දී නිකුත් කරන ලද, BRZRKR [නුපුරුදු අය සඳහා "berserker" ලෙස උච්චාරණය කෙරේ] ද රීව්ස් රංගනයෙන් දායක වන සජීවී-ක්‍රියාදාම Netflix චිත්‍රපටයකට මෙන් ම ඇනිමේ (anime) කතා මාලාවකට ද නැගීමට නියමිත ය. රීව්ස්ට විකට කතා පොත් සඳහා විශේෂ කැමැත්තක් ඇත. "මම ඒවායේ තියෙන රූපවලට කැමතියි," ඔහු පැවසීය. "වචනවලට ආසයි සහ කතාව කියන විදිහට මම ආසයි වගේ ම ඒවා එක ම වෙලාවක එකිනෙක සම්බන්ධ වෙන අත්දැකීම ලබන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් රූප දිහා බලලා ඊට පස්සේ කතාව කියවගෙන යන්න." සාමූහිකව සිදුවූ මෙම නවකතාව ලීවීමේ ක්‍රියාවලියේදී තම භූමිකාව ඔහු කුඩා කොට දක්වන්නේ මෙලෙස අවධාරණය කරමිනි: "මම ලියපු නවකතාවක් නැහැ. චයිනා තමයි නවකතාවක් ලිව්වේ." මියේවිල් "එය ඕනෑවට වඩා වැඩි" බවට තර්ක කරන්නේ, මෙසේ ද සඳහන් කරමිනි: "කියානු එක්ක හොඳට හිතලා සහ හරි පරිස්සමට කරපු වැඩ ටික නොවෙන්න මෙහෙම දෙයක් පවතින එකක් නැහැ." මෙම කතා වස්තුවේ කේන්ද්‍රීය චරිතය හැඳින්වෙන්නේ, "B" ලෙස ය. දිගු අඳුරු හිසකෙස් ඇති "B" භෞතික වශයෙන් රීව්ස්ගේ පෙනුමට සමාන වේ. එමෙන් ම ප්‍රහසන පොත මුල් වරට එළි දැක්වුණු අවස්ථාවේ ද ඇතැම් රසික රසිකාවියෝ දුෂ්කර පෞද්ගලික ජීවිතයක් ඇතුළු ඔවුන් දෙදෙනා අතර යම් තේමාත්මක සමානකම් පෙන්වා දුන්හ. රීව්ස්ට ඔහුගේ පෙම්වතිය, උපතේදී ම මියගිය ඔවුන්ගේ දියණිය සහ ඔහුගේ හොඳ ම මිතුරා ඇතුළු ඔහුගේ ජීවිතයේ ආදරය කළ කිහිප දෙනෙකු ම අහිමි වී ඇත. නමුත් සමානකම් අවසන් වන්නේ එතැනින් විය හැකි ය. B යනු, අවුරුදු 80,000ක් වයසැති, අර්ධ වශයෙන් මනුෂ්‍ය සහ අර්ධ වශයෙන් දෙවියෙකු වන කෙනෙකි. ඔහු "ප්‍රචණ්ඩත්වයේ ශාපයකට" නතු වූවෙකු වන අතර ඉන් ඔහු සම්පූර්ණයෙන් ම පාහේ රීව්ස් මෙන් නොවන බව පෙනේ. සිය සෞම්‍ය, මෘදු ගති පැවතුම් සඳහා ප්‍රසිද්ධ මෙම නළුවා බොහෝ විට හොලිවුඩයේ ප්‍රියමනාප ම මිනිසා ලෙස හඳුන්වයි. අනෙක් අතට, රීව්ස් පවසන පරිදි B යනු, "මිනිසුන්ගේ පපුවට පහර දී ඔවුන්ගේ අත් උදුරා දැමීමට, ඔවුන්ගේ හිස වෙන් කර දැමීමට" හැකි අයෙකි. එසේ නම්, එවැනි ප්‍රචණ්ඩත්වයක් පැමිණෙන්නේ කොහෙන් ද? ස්පීඩ් සහ ජෝන් වික් කතා මාලාවේ ද රඟපා ඇති රීව්ස් පැවසුවේ, "මම කළ සමහර ක්‍රියාදාම චිත්‍රපට ඒකට බලපෑවා කියලා හිතනවා," යනුවෙනි. විකට කතා පොත නිකුත් වුණු පසු ලද ප්‍රතිචාර යහපත් වූ බැවින් රීව්ස් සහ මියේවිල් එම සාර්ථකත්වය මේ තුළින් ද බලාපොරොත්තු වෙති. Flickering Mythහි, කැලම් පීට්‍රී එයට තරු 10යෙන් හතක් ප්‍රදානය කළේ, එය "විනෝදජනක" නමුත් "බොහෝ විකට චිත්‍ර කතාවල මා පුරුදු වී සිටි ප්‍රමාණයට වඩා ප්‍රචණ්ඩ බව තරමක් වැඩි" බව ලියමිනි. ඒ සඳහා AIPT Comicsහි ජස්ටින් හැරිසන් විසින් තරු 9.5ක් දෙන ලද අතර, ඔහු එය "විශිෂ්ට" සහ "කුතුහලය දනවන" ලෙස ප්‍රශංසා කරන අතර ම එමගින් ගෙන හැර දක්වන ප්‍රචණ්ඩත්වය පිළිබඳව පාඨකයන්ට අනතුරු ඇඟවීය. මෙම කෘතිය ද ප්‍රචණ්ඩකාරී වන බවට සැකයක් නොමැත. එහි මුල් පිටුවල, වෙඩි තැබීමේ සිදුවීමකින් පසු "ඉතා අපහසුවෙන් ලේ වැගිරුණු තැන් ආදිය පිරිසිදු කරන සිද්ධියක්" පිළිබඳව විස්තර කරයි. තිරයේ සහ පොත්වල, සහ සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වය අතර බොහෝ විවාදයට ලක් වූ සම්බන්ධය ගැන අපි රීව්ස්ගෙන් විමසුවෙමු. මොහොතකට, ඔහු ආරක්ෂාකාරී වන බවක් පෙනෙන්නට විය. "මම හිතනවා, එයාලා BRZRKR කියෙව්වොත්, ඒ අය එළියට ගිහින් මිනිස්සුන්ගේ අත් උදුරලා දාන්න හිස් වෙන් කරන්න පටන් ගන්න එකක් නැහැ කියලා," ඔහු පැවසීය. "මොකද ඒකෙ ආදර කතාවකුත් තියෙනවා. ඒත් ඔයා ඒක කියෙව්වොත් මම හිතනවා සමහරවිට ඔයාට ආදරයක් නැත්නම් ආදරයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා." නිරූපිත ප්‍රචණ්ඩත්වය සහ සැබෑ ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධයක් ඇතැයි පවසන ප්‍රකාශවලට එරෙහිව මියේවිල් ද අදහස් දැක්වීය. "මේ වගේ ප්‍රශ්නයක් කොහොම ද අහන්නේ කියල හිතෙද්දිත් මට තරහක් එනවා," ඔහු පැවසීය. "එය ඉතා පැහැදිලිව ම එක්තරා ආකාරයක සංස්කෘතියට ඇඟිල්ල දිගු කිරීමක්," ඔහු තවදුරටත් පැවසීය. "මම හිතන්නේ වීඩියෝ ක්‍රීඩා සහ චිත්‍රපට සහ ඒ වගේ දේවල් දිහා ඒ විධියට බලන එකේ අදහස, ප්‍රචණ්ඩත්වයෙන් ඇත්තට ම ලාභ ලබන පුද්ගලයන් සුද්ද කිරීමේ ක්‍රමයක් විතරයි." මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කිරීමෙන් පසු, රීව්ස් යථාර්ථයෙන් මිදීමට උත්සහ කරන්නේ දැයි ඔබට සිතෙනවා විය හැකි ය. "සමහර විට අවසානයේ වෙනත් ලෝකයක් ගොඩනැගීමේ ෆැන්ටසිය යම් ආකාරයක සැනසීමක් ගෙන එනවා," ඔහු පිළිගනී. "වේදනාවෙන් එන නිර්මාණාත්මක ප්‍රකාශනයක් ගැන අවසානයේ යමක් තියෙනවා," ඔහු පවසයි. "දේවල් නිර්මාණය කිරීම විශිෂ්ට දෙයක්. නිර්මාණය කිරීම, බෙදාගැනීම සහ අපි කියන කතාවලට මිනිසුන් කැමති වේවි කියලා බලාපොරොත්තු වීම." පාඨකයින් එසේ සිදු කරන්නේ නම්, කෘතිය සාර්ථක නම්, රීව්ස් ඉන් ලැබෙන ආදායමෙන් කුමක් කරයි ද? ඔහු සිය ත්‍යාගශීලීත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ඔහු දේවල් තමා සතු කර ගැනීමට අකමැති ආකාරය ගැන බොහෝ දේ ලියා ඇත. නමුත් මෙය ද අපගේ සම්මුඛ සාකච්ඡාව අවසන් වන විට රීව්ස් එකඟ නොවූ දෙයක් බව පෙනෙන්නට විය. "මම කැමතියි දේවල් මගේ කර ගන්න, දේවල් තියෙද්දී මම කැමතියි," ඔහු පැවසීය. "හැම දේම නිකම් දීලා දාන කෙනෙක් විධියට මට මාව කොහොමත් ම හඳුවන්න ඕනේ නැහැ." The Book of Elsewhere කෘතිය ජූලි 23 දින පෙන්ගුයින් (Penguin) ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. |
කලාව : 'මේ තියෙන්නේ චිත්‍ර 11ක් එකවර ඇඳලා වයිරල් වෙච්ච වීඩියෝ එක' | එකවර සිතුවම් 11ක් අඳින තරුණයෙකුගේ හැකියාවන් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. ඔහු දිව සහ පාදය වැනි ශරීර අංග යොදාගෙන සිතුවම් නිර්මාණය කරයි. ''පෑන් 2ක්, 4ක් සහ 11ක් පාවිච්චි කරලා මම දැනට චිත්‍ර ඇඳලා තියෙනවා. පෑන් 11කින් එකවර ඇන්දේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ 11 දෙනෙක්ගේ චිත්‍ර. මේක භාවනාවක් වගේ. හිත සන්සුන් වෙනවා.'' යනුවෙන් ශම්මික හිමේෂ් ඉලන්ගරත්න BBC සිංහල වෙත පැවසුවේය. 22 හැවිරිදි ඔහු රඹුක්කන, ගොඩගන්දෙනියේ පදිංචිකරුවෙකු වන්නේය. |
සුමනා ජයතිලක: 'හඳ නැන්දා' නිහඬ වෙයි | "1963 වසර වෙද්දී වෙළෙඳ සේවයට ළමා වැඩසටහනක් තිබුණෙ නෑ. මේක අඩුවක් වගේ දැනුණා ඒ කාලෙ වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂ විදිහට වැඩ කරපු ලිවී ආර්. විජේමාන්න මහත්මයාට. එතුමා මට යෝජනා කළා ළමා වැඩසටහනක් කරන්න, 'ළමා පිටිය'ට වඩා වෙනස් විදිහට කියලා. ඒ අනුව මම යෝජනා කළා මේක සඟරාමය ස්වරූපයෙන් කරන්න ඕන කියලා. මේ වැඩසටහනට නිෂ්පාදකයා හැටියට වෙළෙඳ සේවයේ එවකට හිටිය ජ්‍යෙෂ්ඨතම වැඩසටහන් සම්පාදක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්මයාට මං ස්තුතිවන්ත වෙනවා, එතුමා තමයි අපි නම් කීපයක් යෝජනා කරනකොට "සුමනා නරක ද හඳමාමා කියල දැම්මොත්" කියලා. ඒක ඉතා ම හොඳ දෙයක්. මොක ද දරුවන්ගේ ඉතා ම ආදරණීය සංකේතයක් හඳමාමා. ඒ නිසා මමත් කැමති වෙලා ඒක හොඳයි කියලා ඒක පටන් ගත්තා," ලෝකයේ වැඩි ම කාලයක් අඛණ්ඩව විකාශය කළ ගුවන් විදුලි වැඩසටහන ලෙස ඇතැමුන් හදුන්වන හඳමාමා ගුවන් විදුලි වැඩසටහනේ ආරම්භය ගැන එහි ආරම්භ නිවේදිකා සුමනා ජයතිලක ආවර්ජණය කර තිබුණේ, එහි 50 වන සංවත්සරය නිමිත්තෙන් වෙළෙඳ සේවයේ විකාශය කෙරුණු වැඩසටහනකදී ය. ඇය මේ වන විට අප අතර නැත. පවුලේ සාමාජිකයින් පවසන පරිදි හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සුමනා ජයතිලක නම් වූ දශක 6කට අධික කාලයක් ගුවන් විදුලි කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ හඬ පෞරුෂය සදහට ම නිහඬ වී ගියේ ය. "අම්මා අන්තිම කාලෙ වෙනකල් ම ගොඩක් ශක්තිමත්ව හිටියා. අවසන් කාලෙත් වැඩ කළා. හදිසියේ අසනීප වෙලා සතියක විතර කාලයකින් තමයි මේක සිද්ධ වුණේ. අම්මා ගොඩක් හිත ශක්තිමත්, ආදරණීය ගැහැණියක්," බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් සුමනා ජයතිලකගේ දියණියක පැවසුවා ය. 1963 වසරේදී ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට බැඳුණු ඇය 1984 වසරේදී විශ්‍රාම යන විට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් දරමින් සිටියා ය. 1937 අප්‍රේල් 23 වන දා උපත ලැබූ සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 87ක පසු වූවා ය. ඇය නිවේදිකාවක ලෙස අධ්‍යාපනයක් මෙන් ම පරිචයක් ලබා තිබුණේ, මේ වන විට ක්‍රියාත්මක නොවන එවකට මියුසියස් ට්‍රේනිං කොලේජ් නමින් ක්‍රියාත්මක වූ පුහුණු පාසලකිනි. 'හඳමාමා' වැඩසටහන මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ පරිදි ආරම්භ කරන ලද හඳමාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූයේ, සුමනා ජයතිලක ය. ආරියසේන මිල්ලවිතානාච්චි සමග එක්ව ඇය මෙම වැඩසටහන මුලින් ම ඉදිරිපත් කළා ය. මෙම වැඩසටහන හේතුවෙන්, සුමනා ජයතිලක වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ, 'හඳනැන්දා' යනුවෙනි. 1963 දෙසැම්බර් මස 14 වන දින ආරම්භ වූ මෙම වැඩසටහන වසර 60කට අධික කාලයක් තිස්සේ සතිපතා අඛණ්ඩව වැඩසටහන් 3000කට අධික සංඛ්‍යාවක් විකාශය වී තිබේ. ලොව ගණඳුරු දුරු කරන්න ගුණ නුවණට මග පෙනෙන්න පුංචි අයට දැනුම දෙන්න හඳමාමට සවන් දෙන්න... නමැති මෙම වැඩසටහනේ තේමා ගීතය එවකට ජනප්‍රිය ම ගායකයා වූ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ලවා ගායනා කරවාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ නිවේදක චන්දන තිලකරත්න පැවසීය. ශ්‍රී ලංකාවට අහිමි වූ ගිනස් වාර්තාව ලෝකයේ වැඩි ම කාලයක් අඛණ්ඩව විකාශය වූ ගුවන් විදුලි වැඩසටහන ලෙස හඳමාමා වැඩසටහන ගිනස් වාර්තා අතරට යෝජනා කෙරිණි. එහෙත්, එම වැඩසටහනේ ආරම්භක දිනය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ගුවන් විදුලි සංස්ථාව සතුව නොතිබූ හෙයින් ගිනස් වාර්තාවක් ලෙස එය පිළිනොගත් බව චන්දන තිලකරත්න පැවසීය. "ගුවන් විදුලි සංස්ථාවට වුවමනාවක් තිබුණා නම් ඒක තහවුරු කරන්න තිබුණා. මොක ද, ඒ වැඩසටහන මුල සිට අහපු ශ්‍රාවකයෝ තවමත් ඉන්නවා. ඉතින් යම් ක්‍රමවේදයක් හරහා ඒක තහවුරු කරන්න තිබුණා. ඒත් ඉතින් ඒක සිද්ධ වුණේ නෑ. ඒ නිසා අපට ලැබෙන්න තිබුණ අගනා අගැයීමක් අපට අහිමි වුණා," චන්දන තිලකරත්න ප්‍රකාශ කළේ ය. 'හඳමාමා තියෙන වෙලාවට අපි සෙල්ලම් නවත්වලා වට වුණා රේඩියෝව වටේට' හඳමාමා යනු ප්‍රචාරක දැන්වීම් ඔස්සේ ළමුන්ට බලහත්කාරයෙන් ඇසීමට සැලැස්වූ වැඩසටහනක් නොවන බව චන්දන තිලකරත්න පෙන්වා දුන්නේ, තමන්ගේ ළමා කාලයේ ද අත්දැකීම් ආවර්ජණය කරමිනි. "අපට කවුරුත් බල කළෙත් නෑ. ප්‍රචාරක දැන්වීම් තිබුණෙත් නෑ. ඒත් අපි හඳමාමා යන වෙලාවට සියලු සෙල්ලම් නතර කරලා රේඩියෝ එක ළගට දුවගෙන එනවා. ඒ තරම් ආසයි අපි ඒ වැඩසටහනට. විශේෂයෙන් ම, සුමනා ජයතිලක මහත්මිය ඒ වැඩසටහන මෙහෙයවපු ආකාරයට තමයි අපි ගොඩක් ආසා කළේ." එලෙස හඳමාමා වැඩසටහනට සවන් දුන් චන්දන තිලකරත්න පසුකලෙක ඇයත් සමග එකට වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් ද අන්තර්ගත කරමින් 'හඳ නැන්දා' නමින් පොතක් පළ කළේ ය. එහි ඇගේ පෞරුෂය පිළිබදව ඔහු මෙසේ සදහන් කර ඇත. 'ජයතිලක මහත්මිය සතුව ඇති නොපසුබස්නා සටන්කාමීත්වය, වෘත්තීය නිපුනත්වය, මිත්‍රශීලී ආමන්ත්‍රණය, අරමුණ කෙරෙහි කැපවීම වැනි කරුණු රැසක මෙම අඩසියවසක් ඉක්මවන ගමන් මගේ ප්‍රධාන ජය කණු ය.' 'දැන්වීම් තියෙනවා නම් විතර ද ළමා වැඩසටහන් කරන්නේ?' සුමනා ජයතිලක යනු වෘත්තීයභාවයෙන් යුතු සාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයෝමය කාන්තාවක බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අදහසයි. ඊට සාක්ෂි සපයන සිදුවීමක් ඇය මෑතකදී රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී පවසා තිබිණි. "ගුවන් විදුලියට ආව සභාපතිවරු කිහිප දෙනෙක් ම කිව්වා, දැන් හඳමාමා නතර කරමු දැන්වීම් ලැබෙන්නෙත් නැති හින්දා කියලා. ඒ අයගෙන් මම ඇහුවා දැන්වීම් තියෙනවා නම් විතර ද ළමයින්ට වැඩසටහන් කරන්නේ කියලා." 'අවසන් සති කිහිපයේත් ගුවන් විදුලියට ඇවිත් වැඩ කළා' ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ද දීර්ඝ කාලයක් සුමනා ජයතිලක සමග එක්ව කටයුතු කළ ගුවන් විදුලි ශිල්පියෙකි. "සතියකට විතර කලිනුත් මට හම්බ වුණා ගුවන් විදුලි සංස්ථාවේදි. ඇය මට එදා කිව්වා, වැඩසටහන කරන්න ආවත්, ඇයගේ හඬ ටිකක් වෙනස් වෙලා වගේ නිසා ඇය වැඩසටහන නොකර අලුත් නිවේදිකාවක් දැම්මා කියලා. ඇය අවසන් කාලයේත් වෘත්තීයභාවය ආරක්ෂා කළේ ඒ විදිහට. පසුකාලීන නිවේදකයින් විදිහට අපි ඇයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නිවේදනය විතරක් නෙවෙයි වෘත්තීයභාවය ගැනත් අපි ඉගෙන ගත්තා," ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ පැවසීය. කේ. ජයතිලකගෙන් ලත් ආභාසය සුමනා පුණ්‍යවතී කුරේ නමින් සිටි ඇය සුමනා ජයතිලක බවට පත්වූයේ, 1953 මැයි 24 වන දා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ කෘතහස්ත ලේඛකයෙකු වූ කේ. ජයතිලක සමග විවාහ වීමෙන් පසුව ය. ඔහුගේ සෙවණේදී ඇයට වැඩි වශයෙන් පොතපත ඇසුරු කිරීමටත්, දැනුම ලබා ගැනීමටත් අවස්ථාව හිමි වූ බව ඇය මාධ්‍ය වෙත පවසා තිබේ. ඔවුන් දෙදෙනාට දාව දරුවන් සිව් දෙනෙක් මෙලොව එළිය දුටුවෝ ය. සුමනා ජයතිලකගේ වියෝව සම්බන්ධයෙන් ඇය ඇසුරු කළ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් සහ අත්දැකීම් බෙදාගෙන තිබිණි. අවසන් කටයුතු සුමනා ජයතිලකගේ දේහය බ්‍රහස්පතින්දා (ජූලි 04) සිට මහජන ගෞරවය වෙනුවෙන් බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන බව පවුලේ සාමාජිකයෝ පවසති. ඉන්පසු සෙනසුරාදා (ජූලි 06) දිනයේදී බොරැල්ල සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය. |
'අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.' | ශරීර අංග වෙනස් කිරීමේ කලාව (Body modification) ප්‍රිය කරන පිරිසක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙති. ඒ අතරින් දිවෙහි කොටසක් ඉවත් කර දිව දෙකක් ඇති බව පෙන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ. ටැටූ කලා ශිල්පියෙකු වන පවිත්‍ර මධුසංඛ ප්‍රනාන්දු ඔහුගේ ඇස්, දිව, කණ සහ අතක වෙනස්කම් සිදු කර තිබේ. 'දිව වෙනස් කරහම කතා කරන්න ටිකක් අපහසු වුණා. මාසයක් විතර ගියා මට කතා කරන එක පුහුණු වෙන්න. අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.' යනුවෙන් පවිත්‍ර BBC සිංහල වෙත පැවසුවේය. |
පළමු නවකතාවෙන් ම ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකකට පාත්‍ර වූ ශ්‍රී ලාංකික ලේඛකයා | ශ්‍රී ලාංකික තරුණ ලේඛකයෙකුට ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකක් හිමි වී තිබේ. එම සම්මාන අතරින් එකක් වන්නේ, ඇමෙරිකාවේ මුද්‍රණය කෙරුණු විද්‍යා ප්‍රබන්ධ අතරින් 2023 වසරේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ නවකතාවට හිමි නෙබියුලා (Nebula) සම්මානය යි. මෙහි සුවිශේෂත්වය වන්නේ, එම ලේඛකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සිය පළමු විද්‍යා ප්‍රබන්ධ නවකතාවට මෙම සම්මානය හිමි වීම ය. දෙවැන්න, ලේඛකයෙකුගේ පළමු මනඃකල්පිත (fantasy) නවකතාව වෙනුවෙන් පිරිනැමෙන ක්‍රෝෆෝඩ් (Crawford) සම්මානය යි. ඇමෙරිකාවේ ගෞරවයට පාත්‍ර වූ මෙම සම්මාන දෙක ම හිමි වී ඇත්තේ, 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors කෘතියට ය. The Saint of Bright Doors කෘතියේ අන්තර්ගතය The Saint of Bright Doors යනු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකර විසින් රචනා කරන ලද මනඃකල්පිත නවකතාවකි. අද්භූත "දීප්තිමත් දොරවල්" සහිත ප්‍රබන්ධිත නගරයක, ප්‍රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයෙකු ඝාතනය කිරීමට කුඩා කාලයේ සිට ම පුහුණු වූ මිනිසෙකුගේ කතාව නවකතාවට වස්තු විෂය වී තිබේ. මෙම නවකතාව "නූතන ජීවිතයේ ලෞකික අරගලවලට එරෙහිව දිව්‍යමය විප්ලවවාදීන්ගේ සහ ලෝකෝත්තර ඇදහිලි අතර ප්‍රබල ඝට්ඨනයක් නිර්මාණය කරන," බව කර්තෘවරයා වන වජ්‍ර චන්ද්‍රසේකර පවසයි. නෙබියුලා (Nebula) සහ ක්‍රෝෆෝඩ් (Crawford) සම්මාන ඇමරිකාවේ විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි ලේඛකයින්ගේ සංගමය (SFWA) විසින් වාර්ෂිකව Nebula සම්මාන පිරිනමනු ලබන්නේ, පෙර වසර තුළ ප්‍රකාශයට පත් කරන ලද හොඳ ම විද්‍යා ප්‍රබන්ධය හෝ ෆැන්ටසි ප්‍රබන්ධය සඳහා ය. ඊට සුදුසුකම් ලබන්නේ, ඇමෙරිකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි කෘති පමණි. ලෝකයේ වෙනත් රටවල ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද කෘතීන් වෙබ් අඩවියක හෝ විද්‍යුත් සංස්කරණයකින් නිකුත් කර ඇත්නම් ඒවා ද සුදුසුකම් ලබයි. 1966 වසරේදී ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, 59 වන වරට ය. William L. Crawford Fantasy Award හෙවත් Crawford Award යනු පෙර වර්ෂයේදී සිය ප්‍රථම ෆැන්ටසි කෘතිය ප්‍රකාශයට පත් කරන ලද ලේඛකයෙකුට පිරිනැමෙන සාහිත්‍ය සම්මානයකි. එය ජාත්‍යන්තර කලාව සඳහා වූ ෆැන්ටාස්ටික් සංගමය (IAFA) විසින් පිරිනමන සම්මාන කිහිපයෙන් එකක් වන අතර සෑම මාර්තු මසක ම ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝහි පැවැත්වෙන ෆැන්ටාස්ට් ඉන් ආර්ට්ස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ප්‍රදානය කෙරේ. එය 1985 වසරේදී ආරම්භ කෙරිණි. 2024 වසරේදී සම්මානය පිරිනමන ලද්දේ, ශ්‍රී ලාංකික ලේඛක වජ්‍ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors ප්‍රබන්ධය වෙනුවෙනි. වජ්‍ර චන්ද්‍රසේකර යනු කවුද? වජ්‍ර චන්ද්‍රසේකර තමන් ශ්‍රී ලාංකික ලේඛකයෙකු බවට හඳුන්වයි. ඔහු මේ වන විට ඉංග්‍රීසි නවකතා දෙකක් ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු ප්‍රකාශයට පත් කරන ලද පළමු ප්‍රබන්ධ නවකතාව වන්නේ, The Saint of Bright Doors කෘතිය යි. එය සම්මාන රැසක් හිමි කර ගැනීම විශේෂත්වයකි. එම කෘතියට හිමි වූ සම්මාන මෙසේ ය. 1. 2023 වසරේ නෙබියුලා සම්මානය 2. 2024 වසරේ ක්‍රෝෆෝඩ් ෆැන්ටසි සම්මානය 3. 2024 වසරේ හොඳ ම නවකතාවට පිරිනැමෙන හියුගෝ සම්මානයට නිර්දේශ වීම 4. 2024 වසරේ හොඳ ම පළමු නවකතාවට පිරිනැමෙන ලූකස් සම්මානයට නිර්දේශ වීම ඊට අමතරව, 2023 වසරේ විශිෂ්ට කෘතියක් ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් The Saint of Bright Doors කෘතිය නම් කරන ලදී. ඔහුගේ දෙවන නවකතාව වන Rakesfall 2024 වසරේදී ප්‍රකාශයට පත් කෙරිණි. වජ්‍ර චන්ද්‍රසේකර මේ වන විට කෙටිකතා 50කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ. විචාරක අදහස් The Saint of Bright Doors නවකතාව සම්බන්ධයෙන් පළවූ විචාරක අදහස් කිහිපයක් පහත දැක්වේ. "බොහෝ දක්ෂතා සහිත, වේගයෙන් ගලා යන, විස්මයජනක ස්වතන්ත්‍ර නිර්මාණයක් වන The Saint of Bright Doors, උපමා කතාවක සරල බව භාවිත නොකර, අප ජීවත් වන කුරිරුකමේ බන්ධන තේරුම් ගැනීමට වාක්‍ය ඉදිරිපත් කරයි." - නිව් යෝර්ක් ටයිම්ස් වෙනුවෙන් අමල් එල්-මොහ්ටාර්. "මිථ්‍යාවේ සහ ලෞකිකත්වයේ අලංකාර සම්මිශ්‍රණයක්." - එරින් මෝර්ගන්ස්ටර්න්, වැඩි ම අලෙවියක් ඇති The Night Circus කෘතියේ කතුවරයා. “The Saint of Bright Doors යනු, වීරයෙකු තමන් සැමවිට ම ජීවත් වීමට අදහස් කළ භූමිකාව දක්වා වර්ධනය වන ආකර්ෂණයක් ඇති කරන කෘතියක් වන අතර, පළමු පරිච්ඡේදයේ සිට මගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අනපේක්ෂිත අවසානයක් ද සහිත ය. චන්ද්‍රසේකර මීළඟට කුමක් කරයි ද? කියා මට ඇත්තට ම බලා සිටීමට ඉවසීමක් නැත. - ලිස් බ්‍රාස්වෙල්, The Wall Street Journal "චන්ද්‍රසේකර ග්‍රන්ථ දහයකට ප්‍රමාණවත් අදහස් ඇති සංකීර්ණ ලෝකයක් ගොඩනගයි, ඔහුගේ තේමාව වන ජාතිවාදී ඒකාධිපතිවාදය සමග සම්බන්ධ වූ ආගමික අන්තවාදයේ අනතුරුදායක බව, ඔබ තුළට කාවැද්දීම විනෝදජනක ය." - වොෂින්ටන් පෝස්ට් වෙනුවෙන් චාලි ජේන් ඇන්ඩර්ස්. |
අරුන්දතී රෝයි: වසර 14කට පෙර සිදු කළ ප්‍රකාශයක් නිසා ඉන්දියාවේ බුකර් ත්‍යාගලාභී කතුවරිය සිරගත වෙයි ද? | දශකයකට වැඩි කාලයකට පෙර තමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කීර්තිමත් ම ලේඛකයන්ගෙන් කෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති ද? මුල් පැමිණිල්ලෙන් වසර 14කට පසුව, ඉන්දියාවේ දැඩි ත්‍රස්ත විරෝධී නීති යටතේ බුකර් ත්‍යාගලාභී කතුවරියක වන අරුන්දතී රෝයිට එරෙහිව නඩු පැවරීමට දිල්ලියේ ඉහළ ම නිලධාරියා පසුගිය සතියේ අවසර ලබා දුන්නේ ය. නීතිවිරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත (UAPA) ඇප ලබා ගැනීම සුවිශේෂී අභියෝගයක් බවට පත් කිරීම සඳහා කුප්‍රකට වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට එමගින් නඩු විභාගය අවසන් වන තෙක් වසර ගණනාවක් රඳවා තබා ගැනීම සිදු වේ. ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළු විවේචකයින් නිහඬ කිරීමට මෙම නීතිය භාවිත කරන බවට මෝදි රජයට චෝදනා එල්ල වී තිබේ. ඍජුව අදහස් පළ කරන ලේඛිකාවක සහ ක්‍රියාකාරිනියක වන 62 හැවිරිදි රෝයිට විත්තිකූඩුවට නැගීමට සිදුව ඇත්තේ, නිතර මතභේදයට තුඩු දෙන කලාපයක් වන කාශ්මීරය පිළිබඳ අදහස් දැක්වීම හේතුවෙනි. "කාශ්මීරය කිසි විටෙකත් ඉන්දියාවට ම අයිති කොටසක් වුණේ නැහැ. ඒක ඇවිල්ලා ඓතිහාසික කාරණයක්. ඉන්දීය රජය පවා මෙය පිළිගෙන තිබෙනවා," 2010 ඔක්තෝබර් මාසයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන කමිටුව විසින් සංවිධානය කරන ලද දිල්ලි නුවර දිනක් පුරා පැවති උණුසුම් සංවාද සිදුවුණු සම්මන්ත්‍රණයකදී ඇය පැවසුවා ය. ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරය එවකට කැළඹී ගියේ එම ප්‍රකාශය ඉන්දියාවට එරෙහි දරුණු නැගිටීමක් ලෙස ප්‍රදේශවාසීන් විසින් විස්තර කරනු ලැබීමත් සමග ය. ඒ එම වසර මුලදී නිදහස ඉල්ලා ක්‍රියාත්මක වූ නව විරෝධතා හේතුවෙන් විරෝධතාකරුවන් විශාල පිරිසක් මිය යාමෙන් පසුව ය. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ප්‍රතිවාදීන් දෙදෙනා වන ඉන්දියාව සහ අසල්වැසි පකිස්ථානය, මතභේදයට තුඩු දී ඇති මෙම කලාපයට සම්පූර්ණයෙන් ම හිමිකම් කියන අතර ඒ සඳහා යුද්ධ දෙකක ද නිරත වී ඇත. අපේක්ෂා කළ පරිදි ම රෝයිගේ ප්‍රකාශය වෙත දැඩි විරෝධයක් එල්ල වූයේ, විවේචකයින් බොහෝ දෙනෙකු ඉන්දියාව කෙරෙහි ඇයගේ පක්ෂපාතීත්වය ප්‍රශ්න කරමින් සහ, එවකට කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ෆෙඩරල් රජයට රාජද්‍රෝහී චෝදනා මත ඇයව අත්අඩංගුවට ගන්නා ලෙසට තර්ජනය කරමිනි. දිල්ලියේ ඉහළ පැලැන්තියේ ප්‍රදේශයක පිහිටා ඇති රෝයිගේ නිවස පිටත පවා විරෝධතා පැවැත්විණි. ඇයට සහ තවත් විත්තිකරුවෙකු වන කාශ්මීරයේ නීති ගුරුවරයෙකු වන ෂෙයික් ෂෝකට් හුසේන්ට එරෙහිව සහ තවත් දෙදෙනෙකුට රාජද්‍රෝහී චෝදනා එල්ල කරමින් අපරාධ පැමිණිල්ලක් ද ගොනු කෙරිණි. මතභේදයෙන් ඉක්බිතිව රෝයි අදහස් ප්‍රකාශ කිරීමට තමාට ඇති අයිතිය පිළිබඳව තර්ක කළා ය. "පත්තරවල සමහර අය මට චෝදනා කරලා තිබුණා ඉන්දියාව දෙකඩ කිරීමේ අරමුණින් මම 'වෛරී ප්‍රකාශ' සිදු කරනවා කියලා. නමුත් මම කතා කරන දේ එන්නේ ආදරය සහ අභිමානය එක්ක," එක් ප්‍රතිචාරයක ඇය ලියුවා ය. "ඒක එන්නේ මිනිසුන් මරා දැමීම, දූෂණය කිරීම, සිරගත කිරීම හෝ ඔවුන් ඉන්දියානුවන් යැයි කීමට ඔවුන්ට බල කිරීම සඳහා ඔවුන්ගේ නියපොතු ගලවා දැමීම සිදු නොවිය යුතුයි කියන අවශ්‍යතාව එක්ක... තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම නිසා තම ලේඛකයන් නිහඬ කිරීමට සිදුවන ජාතියට අනුකම්පා කරමු ." රෝයිගේ ප්‍රකාශයෙන් දශකයකට වැඩි කාලයකට පසුව ඇයට නඩු පැවරීමට ගත් තීරණය නීතිඥවරුන්ට ප්‍රහේලිකාවක් වී ඇත. ඇයට මුලින් රාජද්‍රෝහී චෝදනා එල්ල වූ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය යටත් විජිත යුගයේ සිට පැවති මෙම රාජද්‍රෝහී නීතිය 2022 මැයි මාසයේදී අත්හිටුවන ලදී. නමුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත හරහා චෝදනා එල්ල කිරීම මගින් කාලය පිළිබඳ ගැටලුවකින් තොරව නඩුව ඉදිරියට ගෙන යාමට රජයට ඉඩ සලසයි. රෝයි, ක්‍රියාකාරීන් ඉලක්ක කර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වැට බඳින බවට අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල චෝදනාවට ලක්වන මෝදිගේ රජය දැඩි ලෙස විවේචනය කරන්නියකි. ඇයට එරෙහිව නඩු පැවරීම සඳහා අවසරය ලැබෙන්නේ, මෝදි තුන්වන වරටත් [අගමැති ධූරය සඳහා] තේරී පත්වීමෙන් පසුව ය. බොහෝ දෙනෙකු මෙය සලකන්නේ භාරතීය ජනතා පක්ෂය සභාග ආණ්ඩුවක් තුළ වුව ද තම බලය අයුතු ලෙස භාවිත කිරීම අඛණ්ඩව සිදු කරන බවට වන දේශපාලනික සංඥාවක් ලෙස ය. 2010 වසරේදී මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ ප්‍රධාන පුද්ගලයා වන සුෂිල් පණ්ඩිත් නීතිමය පියවර ගැනීමට ප්‍රමාද වූයේ මන්ද යන්න පිළිබඳව මත පළ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. "මේ ගැන කටයුතු කරන්න තීරණය කරපු ඒකට වග කියන අය දැන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේක ප්‍රමාද වුණේ ඇයි ද කියලා පරීක්ෂණයක් පැවැත්විය යුතු යි වගේ ම වගවීමක් තියෙන්න ඕනේ," ඔහු Times Now රූපවාහිනී නාලිකාව වෙත පැවසීය. තවත් සමහරු මෙය මෝදිගේ විවේචකයින් නිහඬ කිරීමේ තවත් උත්සහයක් ලෙස සලකති. ලේඛක අමිතාව් ගෝෂ් Xහි මෙසේ ලිවීය: "අරුන්දතී රෝයි දඩයම් කිරීම සම්පූර්ණයෙන් ම යුක්තිසහගත දෙයක් නෙවෙයි. ඇය විශිෂ්ට ලේඛිකාවක් වගේ ම ඇයට ඇයගේ මතය ඉදිරි පත්කිරීමට අයිතියක් තිබෙනවා. දශකයකට පෙර ඇය කියපු දෙයකට ඇයට නඩු පැවරීමට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් එල්ල කළ යුතුයි." මෙම නඩු කටයුත්ත ඔක්තෝබර් මාසයේදී ඉදිරියට ගෙන යාමට දිල්ලි බලධාරීන් තීරණය කළ විට, කැනේඩියානු ලේඛිකාවක සහ ක්‍රියාකාරිනියක වන නයෝමි ක්ලයින් Xහි මෝදිට අනතුරු ඇඟවීය: "දේශපාලනික අරමුණු මුල් කර ගෙන ඔබට ඉන්න ව්‍යක්ත ම විවේචකයා නිහඬ කරන්න නඩු පවරන එකෙන් වෙන දේ ගැන ඔබට අදහසක්වත් නැහැ." රෝයි අදහස් දැක්වූ දිනයේ නියත වශයෙන් ම සිදු වූයේ කුමක් ද? සම්මන්ත්‍රණයේ වාර්තාවල, ශිවම් විජ් එය විස්තර කළේ "ප්‍රශ්නයේ කාලෝචිත බව අතින් ගත්තා ම හැම පැත්තකින්ම ඓතිහාසිකයි," යනුවෙනි. කථිකයන් අතරට ප්‍රසිද්ධ කවියෙකු, ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වූහ. රෝයි උණුසුම් විවාදයක් අපේක්ෂා කළා ය. "ඇය ඇගේ කතාව ආරම්භ කළේ, ඇයට සපත්තු විසි කර පහර දීමට අවශ්‍ය අය සිටී නම්, දැන් ම එය සිදු කරන ලෙස ඉල්ලා සිටිමින්," විජ් ලිවීය. මෙම සම්මන්ත්‍රණයේදී කතා කළ කලාකරුවෙකු, ලේඛකයෙකු සහ භාරකරුවෙකු වන සුද්ධබ්‍රත සෙන්ගුප්තා ලියුවේ, "ප්‍රකෝපකාරී ක්‍රියා" - බාධා කිරීම්, කරදර, වේදිකාවට වස්තූන් විසි කිරීමට උත්සහ කිරීම - සිද්ධ වුණේ "තමන් ඉන්දියානු දේශප්‍රේමීන් කියා ගන්නා පිරිසෙන්." ඔවුන්ට කතා කිරීමට අවසර දී තිබුණු නමුත් එහි කටයුතුවලට බාධා නොකරන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණු බව ඔහු සඳහන් කළේ ය. කෙසේ වෙතත්, හමුවට පැමිණ සිටි කාශ්මීර ක්‍රියාකාරිකයෙකු වන පණ්ඩිත් වෙනත් මතයක් දැරීය. "ප්‍රසිද්ධියේ, අගනුවර හදවතේ, දිල්ලියේ, ඉන්දියානු සංගමය යටත්විජිතවාදීයි, අනෙක් ප්‍රදේශ අල්ලා ගන්නා රාජ්‍යයක්, මිනිස්සු යටත් කරගෙන ඉන්න රාජ්‍යයක් කියලා විනාශ කරන්න කියන ඉල්ලීමක්... එහෙම රාජ්‍යයක් පැවතිය යුතු නැහැ. ඒ වගේ ප්‍රකාශ තමයි සිද්ධ වුණේ. සටන් කරන්න සූදානම් වෙන්න කියලා දිගින් දිගට ම කරන ඉල්ලීමක්.... අරුන්දතී රෝයි [අනිත් අයත් එක්ක]." පසුගිය දශක දෙක තුළ රෝයි න්‍යෂ්ටික අවි, කාශ්මීරය, මහා වේලි, ගෝලීයකරණය, දාලිත් වැසියන්ගේ තරුව බීආර් අම්බෙඩ්කාර්, මාඕවාදී කැරලිකරුවන් හමුවීම සහ එඩ්වඩ් ස්නෝඩන් හා ජෝන් කියුසැක් සමග සිදු කළ සංවාද වැනි මාතෘකා පිළිබඳ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ කිහිපයක් සහ ලිපි රාශියක් ලියා ඇත. ඇගේ ළමා කාලයෙන් ආභාසය ලද, පවුලක් පිළිබඳව දිගහැරෙන සිත්ගන්නාසුලු කතාවක් වන ‘The God of Small Things’, 1997 වසරේ 'මෑන් බුකර් ත්‍යාගය' හිමි කර ගැනීම රෝයි වයස 35දී කීර්තිමත් ලේඛිකාවක බවට පත් කළේ ය. ජෝන් අප්ඩයික් එම ජයග්‍රහණය හැඳින් වූයේ "Tiger Woodesian debut" ලෙස ය. 62 හැවිරිදි මෙම ලේඛිකාව ඉන්දියාවේ මතභේදාත්මක චරිතයක් ද වෙයි. රසිකයින් ඇයව දකින්නේ ලිබරල් සාරධර්ම වෙනුවෙන් හඬ නගන ප්‍රමුඛ චරිතයක් ලෙස සහ සමාජයේ කොන් වූවන්ගේ ශූරියක ලෙස ය. කෙසේ වෙතත්, විවේචකයින් ඇගේ අනුරූ පුළුස්සා, ඇය සහභාගී වන උත්සව කඩාකප්පල් කර තිබේ. ඇය රාජද්‍රෝහී සහ අපහාස කිරීමේ චෝදනාවලට මුහුණ දී ඇති අතර, විශාල වේලිවලට එරෙහිව විරෝධතා දැක්වීම නිසා දිනක කාලයක් සිරගතව සිටීමට පවා ඇයට සිදු විය. ඔවුහු ඇගේ ප්‍රබන්ධ නොවන ලේඛන බොහොමයක් ශෝකී, බොළඳ, පරිණත නොවන, ස්වයං වින්දනාත්මක සහ සරල, "දරිද්‍රතාව දැකුම්කලු" ලෙස ප්‍රදර්ශනය කරන බවට දකිති. එක් විවේචකයෙකු සඳහන් කළේ, බොහෝ විට රෝයිගේ ලිපිවල "සැබවින් ම සාක්ෂිමය පදනමක් නොමැති" බව ය. රෝයිගේ 2010 ප්‍රකාශයේ සිට සැලකිය යුතු වෙනස්කම් සිදුවී ඇත. 2019දී, මෝදිගේ රජය කාශ්මීරයේ අර්ධ ස්වයං පාලන තත්ත්වය අවලංගු කළේ, කලාපය බෙදීමෙන් සහ ඍජු ෆෙඩරල් පාලනයක් යටතේ එහි දේශපාලන ස්වාධිපත්‍යය අඩු කරමිනි. භාෂණයේ නිදහස ද අහිමි වී ගොස් ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති: 2014 වසරේ සිට, රටවල් 180ක් අතරින්, Reporters Without Bordersහි මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවේ ස්ථානය 150 සිට 161 දක්වා පහත වැටී ඇත. නවතම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම රෝයි ප්‍රතික්ෂේප කර ඇත. පොලිසිය චෝදනා පිළිබඳව විමර්ශනය කර තිබේ ද නැතහොත් ඇයට සහ අනෙක් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි තිබේ ද යන්න අපැහැදිලි ය. මුල් පැමිණිල්ලේ සඳහන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත. නමුත් එක් දෙයක් ස්ථිර ය. ඉන්දියාවේ කීර්තිමත් ම ලේඛකයන්ගෙන් කෙනෙකු වන ඇය දරුණු ත්‍රස්ත-විරෝධී නීතියක් යටතේ සිරගත කරන්නේ නම්, එය ගෝලීය වශයෙන් හෙළා දකිනු ඇති අතර සහ එමගින් කෝපය ද අවුලුවාලනු ඇත. |
Blockout: ලොව පුරා සිදුවන මනුෂ්‍ය ව්‍යසන,යුද ගැටුම් ගැන හඬ නොනැඟීම හේතුවෙන් ජනප්‍රිය පුද්ගලයින් පරිශීලකයින් විසින් අවහිර කිරීමේ සමාජ මාධ්‍ය ප්‍රවණතාව | ජනප්‍රිය පුද්ගලයින් අවහිර කරන (Block) ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින නව සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මැයි මස මුල් සති අන්තයේ අවධානය ලබා ගත්තේ ය. ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කිරීමට සහ අවහිර කළ යුතු අයගේ ලැයිස්තු පළ කිරීමේදී #blockout සහ #blockout2024 යන හැෂ් ටැග් යොදනු ලබයි. ලොව පුරා සිදුවන මනුෂ්‍ය ව්‍යසන සහ යුද්ධ, විශේෂයෙන් ඊශ්‍රායල-ගාසා යුද්ධය සම්බන්ධයෙන් හඬ නැගීමට අපොහොසත් වීමේ හේතුව මත මෙම ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක වී තිබේ. එම හැෂ් ටැග් දැනටමත් කලක සිට භාවිත කර ඇතත්, ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ, ආකර්ෂණීය ඇඳුම්වලින් සැරසුණු ජනප්‍රිය පුද්ගලයින් සහභාගි වන ඇමෙරිකාවේ අරමුදල් රැස්කිරීමේ උත්සවයක් වන Met Gala උත්සවයෙන් පසුව ය. ඔවුන්ගේ සමාජ මාධ්‍ය අනුගාමිකයින් සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබිය හැකි ඉපැයීම් අවහිර කිරීමෙන් ඔවුන්ගේ ආදායම් අවහිර කිරීම අරමුණ විය. අවහිර කිරීම ආරම්භ වූයේ කෙසේ ද? The Met Gala නමැති අරමුදල් රැස් කිරීමේ උත්සවය, නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙනුවෙන් මැයි 6 වන දා පැවැත්විණි. එය වසරේ වඩාත් ම අවධානය යොමු වූ රතු පලස් විලාසිතා ඉසව්වලින් එකක් වන අතර, ඊට ලෝකයේ ධනවත්, ප්‍රසිද්ධ විශාල පිරිසක් සහභාගී වන නමුත්, මෙවර එය ගාසා යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සහ කළ විරෝධතාකරුවන්ගේ අවධානයට ලක් විය. මීට පෙර පැවති Met Gala උත්සව හරහා දේශපාලන පණිවිඩ ඉදිරිපත් වී තිබේ. එනම් 2021 වසරේදී ඇමෙරිකානු කොන්ග්‍රස් මන්ත්‍රී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සිය පිටකොන්දෙහි "ධනවතුන්ට බදු ගසනු" යනුවෙන් සඳහන් පණිවුඩයක් සමග සහභාගී වූ අතර, තවත් ජනප්‍රිය පුද්ගලයින් #MeToo ව්‍යාපාරයට හෝ යුක්රේනයට සහය දැක්වීම සඳහා විශේෂිත ඇඳුම්වලින් සැරසී ඊට සහභාගි වී තිබේ. මැයි 8 වන දා, @BlockOut2024 නම් TikTok භාවිත කරන්නෙකු, "ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කරන්න. එවිට ඔවුන්ට ඔබෙන් දැන්වීම් හරහා ආදායමක් ඉපයීමට නොහැකිය" යනුවෙන් වෙනත් පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා වීඩියෝවක් පළ කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එය මිලියන 2.4 වාරයක් නරඹා තිබිණි. පසු දිනයේ, ladyfromtheoutside නමින් හැඳින්වෙන තවත් TikTok භාවිත කරන්නෙකු, නිරූපිකාවක වන හැලේ කලීල්ගේ වීඩියෝවක් උපුටා දැක්වූ අතර, එහි ඇය ප්‍රංශ විප්ලවයට පෙර අවසන් ප්‍රංශ රැජිණ වූ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් මාරි ඇන්ටොයිනෙට් මෙන් "ඔවුන්ට කේක් කන්න දෙන්න" යනුවෙන් කියනු දැකිය හැකි ය. මාරි-ඇන්ටොයිනෙට් ගිලටීනයට හසු කිරීමෙන් ඝාතනය කරනු ලැබුවේ, සාමාන්‍ය ජනයාගේ දුක් වේදනාවලින් බැහැර වූ රාජකීය පවුලක් සමග පැවති සම්බන්ධය නිසා ය. ඇයගේ ඇඳුම ගැන සඳහන් කිරීම පමණක් අරමුණු කළ නිරූපිකාවගේ අදහස් ඒ හා සමානව ම අසංවේදී බවට විවේචනයට ලක් විය. මුල් වීඩියෝව උපුටා දක්වමින් ladyfromtheoutside පැවසුවේ: "ජනතාවට දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා, මම ඩිජිටල් ගිලටීනය කියලා හඳුන්වන්න කැමති දේ ක්‍රියාවට නංවන්න." "උග්‍ර අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා තම සම්පත් භාවිතා නොකරන සියලු ම ප්‍රසිද්ධ පුද්ගලයින්, සමාජීය බලපෑම් කරන්නන් සහ ධනවතුන් අවහිර කිරීමට කාලයයි," ඇය දින හතරක් තුළ ලයික් 580,000ක් ලැබුණු පෝස්ට් එකක සඳහන් කර තිබිණි. එම පෝස්ටුව සඳහා පළ කර තිබූ බොහෝ අදහස් මගින් ප්‍රසිද්ධ පුද්ගලයින් විවේචනය කර තිබුණේ, ඔවුන් ඔවුන්ගේ අදහස් ගැන කතා කළහොත් ගිවිසුම් අහිමි වේ යැයි බියෙන් පසු වන බවට ය. එය ව්‍යාප්ත වූයේ කෙසේ ද? සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වැඩි වැඩියෙන් ඒ පිළිබඳව ලිවීමට හෝ වීඩියෝ සැකසීමට පටන් ගත්හ. එකී සති අන්තයේදී "blockout" යන වචනය සහිත පළ කිරීම් පිළිබඳ ෆේස්බුක් අන්තර්ක්‍රියා (interactions) 10 ගුණයකින් පමණ වැඩි විය. "blockout" යන වචනය ගූගල් තුළ සෙවීම හත් ගුණයකින් ඉහළ ගියේ ය. ඇතැම් පුද්ගලයින් අවහිර කළ යුතු ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක් හුවමාරු කිරීම ආරම්භ කළහ. පුද්ගලයන් විසින් සාදන ලද ලැයිස්තුවල වෙනස්කම් පැවතිණි. එහෙත්, කිම් කාර්ඩේෂියන්, ටේපර් ස්විෆ්ට්, බියොන්සේ, ජස්ටින් බීබර්, සෙන්ඩේයා, කාන්යේ වෙස්ට්, මිලී සයිරස් සහ සෙලීනා ගෝමස් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ඇතැම් ලැයිස්තුවල ඇතුළත් කර තිබේ. ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට, ඔවුන් ෆලෝ කරන ගිණුම් පමණක් නොව ඇතැම් විට ඔවුන් ෆලෝ නොකරන ගිණුම් ද, "for you", "suggested" හෝ "explore" යනුවෙන් හඳුන්වන තීරු තුළ පෙන්වයි. ගිණුම් අවහිර කිරීමෙන්, එවැනි තීරුවල ඔවුන් ව නොපෙන්වන බවට තහවුරු වේ. විරෝධතාවයෙන් සිදුවූ බලපෑම කුමක් ද? is කොපමණ පිරිසක් විසින් ගිණුමක් අවහිර කරනු ලැබ ඇත්දැයි බැලීමට හැකියාවක් නොමැති හෙයින් සංඛ්‍යාත්මකව බලපෑම මැනිය නොහැකි ය. එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය යෙදුම්, භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගිණුමක් අවහිර කරන විට එය අන්ෆලෝ කරන ලෙස ය. සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ වෙබ් අඩවියක් වන Social Blade වෙබ් අඩවියට අනුව, වඩාත් ම විවේචනයට ලක්වූ නිරූපිකාව වන හැලේ කලීල්ට, TikTokහි අනුගාමිකයින් (followers) 100,000 ක් පමණ අහිමි වී ඇති අතර එහි අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 10 සිට මිලියන 9.9 දක්වා පහත වැටී ඇත. අවහිර කිරීම සඳහා යෝජනා කළ ලැයිස්තුවල ඇතුළත්ව සිටි අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින්, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ සංඛ්‍යාවේ විශාල වෙනසක් දැක නැත. කෙසේ වෙතත්, විශාල පිරිසක් එම ගිණුම් අවහිර නොකරන බව ඉන් අදහස් නොවේ: අවහිර කරන සමාජ මාධ්‍ය භාවිත කරන්නා දැනටමත් ගිණුම 'ෆලෝ' නොකරන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවන් නිසා අනුගාමිකයින් සංඛ්‍යාවේ වෙනසක් ඇති නොවේ. |
'කාන්තාවන්ට අකැපයි, වස් වදිනවා කිවුවට මම තොරණක් හැදුවා' | තොරණ නිර්මාණය කාන්තාවන්ට අකැප, වස් වදින ක්‍රියා බවට සමාජ සම්මත පැවතුන ද තමන්ට තොරණක් නිර්මාණය කිරීමට හැකි වීම සතුටක් බව ජනනි අලුදෙනිය BBC සිංහල සේවයට පැවසුවාය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොඩකවෙල, අරඹදෙනිය ගම්මානයේ ජිවත්වන ඇය අදට යෙදෙන (මැයි 23) වෙසක් පොහොය නිමිත්තෙන් තොරණක් නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්තාය. භද්‍රඝට ජාතකය විස්තර කෙරෙන, අඩි 40ක් උස එම තොරණ විදුලි බුබුළු 30,000කින් සමන්විත වේ. ''තොරණ නිර්මාණ ඉතිහාසයේ කාන්තා දායකත්වය ඉතා දුර්ලභයි. කාන්තාවන් මේ වැඩ සඳහා සම්බන්ධ වෙලා තිබුණට සමාජ මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වුණාට පස්සේ තමයි මම දැන ගත්තේ කාන්තාවක් තොරණක් නිර්මාණය කරපු පළමු අවස්ථාව මේක කියලා.'' යනුවෙන් ජනනි අලුදෙනිය පවසන්නීය. |
පොප්සිකල් කෝටුවකින් ඩොලර් උල්පතකට මග පාදා ගත් ගුවන් යානා ආකෘති නිර්මාණකරුවා | මීකුණකින් ධනපතියෙකු බවට පත්වූ ධෛර්යවන්තයින් පිළිබඳ කතා අපි අසා ඇත්තෙමු. මේ එවැනි ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ කතාවකි. ඔහු මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් විදේශ විනිමය උපයන නිර්මාණකරුවෙකි. ගුවන් යානා ආකෘති නියමාකාරයෙන් දැව යොදාගෙන නිර්මාණය කිරීම ඔහු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි. 32 හැවිරිදි වියේ පසු වන ඔහු, මාතර ඉපිද පන්නිපිටියේ පදිංචිව සිටින ශයනක ලියනගේ ය. "මම ගොඩක් ම ආකෘති කරන්නේ පිට රටවල ඇණවුම්වලට. ගොඩක් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇණවුම් කරනවා. ගොඩක් වෙලාවට ඇණවුම් ලැබෙන්නේ, ගුවන් නියමුවන්ගෙන්. ඒගොල්ලො මුලින් ම පැදපු ගුවන් යානය, පළවෙනි ගුවන් ගමන ගිය ප්ලේන් එක. ඒ වගේ ආකෘති මට කියලා හදව ගන්නවා. ලෝකෙ හොයා ගන්න ම බැරි ආකෘති තියෙනවා. ඒගොල්ලො කලින් පාවිච්චි කරල තියෙන යානා තියෙනවා, ඒත් ඒගොල්ලන් ළඟ ආකෘතියක් නෑ. අන්න ඒ වගේ ඕනෑ ම ආකෘතියක් මම හදනවා,” බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ශයනක ලියනගේ ප්‍රකාශ කළේ ය. ඔහුගේ නිර්මාණවල විශේෂත්වය වන්නේ, මුල් ආකෘතියේ සියලු අංග සහිතව දැවමය ආකෘතිය නිර්මාණය කිරීම ය. ආරම්භය පොප්සිකල් කෝටුවකින් ඔහු ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීමට පෙළඹී ඇත්තේ, අහම්බෙනි. 2018 වසරේදී එය ආරම්භ වීමට බලපෑ හේතුව ඔහු විස්තර කළේ, මෙලෙසිනි. "අයිස්ක්‍රීම් කෝටුවකින් තමයි මුලින් ම හදන්න පටන් ගත්තේ. ඒක හදලා අපේ ගෙවල් ළඟ පොඩි ළමයෙකුට ඒක තෑග්ගක් විදිහට දුන්නා. ඒක දුන්නා ම ඒ ළමයා ඒකට ගොඩක් කැමති වුණා. එයා ඒක එයාගෙ ජීවිතේ ම කර ගත්තා. ඊට පස්සෙ තමයි මම තීරණය කළේ, මේක තවත් අයට වටින්න පුළුවන් කියලා." "මට ගුවන් යානා ආකෘතියක් ගන්න ආශාවෙන් හිටියා පොඩි කාලෙ. ඒත් ඒ කාලෙ ඒකක් ගන්න රුපියල් 8000ක් විතර ඕන වුණා. ඉතින් මට ඒකක් ගන්න විදිහක් තිබුණෙ නැති නිසා, මට හිතුණ එකක් හදා ගන්න ඕනෙ කියලා. මගේ ආශාව තමයි මම මෙච්චර දුරක් අරගෙන ආවෙ." අයිස්ක්‍රීම් කෝටුවකින් ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීම ආරම්භ කළ ද, ඔහු මේ වන විට ආකෘති නිර්මාණය සඳහා යොදා ගන්නේ, බල්සා, (ආනයනික), මැහෝගනී සහ පයින් වුඩ් යන ලී වර්ග තුනකි. ඔහු යන්ත්‍ර භාවිතයෙන් තොරව දෑතින් මෙම ආකෘති නිර්මාණය කිරීම විශේෂත්වයකි. ශයනකගේ පාසල් සමය මාතර, මලිදූව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය නිම කළ ශයනක, උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා මාතර, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. එහිදී, ඔහු චිත්‍ර කලාව, සිංහල සහ භූගෝල විද්‍යාව යන විෂයයන් හැදෑරුව ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සුදුසුකම් ලබා ගැනීමට සමත් වී නැත. චිත්‍ර කලාව කෙරෙහි තමන් සතුව තිබූ හැකියාව පිළිබඳව විශ්වාසය හේතුවෙන් ඔහු පරිගණක ග්‍රැෆික් නිර්මාණකරණය හදාරා කොළඹ පිහිටි පෞද්ගලික ආයතනයක රැකියාවක් ආරම්භ කළේ ය. ඔහුගේ ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීමේ ආශාව දලු දා වැඩුණේ, පන්නිපිටියේ පදිංචියට පැමිණ රැකියාව කරමින් සිටි කාලයේදී ය. මුදලක් ඉපයූ පළමු ආකෘතිය "පළවෙනි එක විකුණුවේ, මට මතක හැටියට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඉගෙන ගනිමින් හිටිය ශිෂ්‍යයෙකුට. නම නම් දැන් මට මතක නෑ. ඒ කාලේ මම ඒකට රුපියල් 3000ක් තමයි ගත්තේ. විකුණපු පළවෙනි ගුවන් යානා ආකෘතිය CW 26 කියන එයාර් ක්‍රාෆ්ට් එක,” ඔහු ආවර්ජනය කළේ ය. මුල් යුගයේදී ඔහු ගුවන් යානා ආකෘතිවල සැබෑ ස්වරූපය නිර්මාණය නොකළ අතර, පසුකාලීනව සැබෑ ආකෘතිය නිර්මාණය කළ යුතු බව ඔහු වටහා ගත්තේ ය. "හිමිහිට ටික ටික කරගෙන යනකොට මට තේරුණා, මේක නිකං කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේක හොඳට අධ්‍යයනය කරල කරන්න ඕන දෙයක් කියලා. මගේ ළඟට එක අය බලාපොරොත්තු වෙන්නෙ, ප්‍රොෆෙෂනල් දෙයක්. මම හරියට ආකෘතියක් හදන්න නම්, ඒ ආකෘතිය ගැන ඉගෙන ගන්න ඕනෙ. ඉතින් මම ගුවන් යානා හදන්න කලින් ඒ ගුවන් යානා මාදිලියේ ඉංජිනේරු කොටස ඉගෙන ගන්නවා." මේ වන විට ඔහු එක් ගුවන් යානා ආකෘතියක් වෙනුවෙන් අය කරන අවම මුදල රු. 18000කි. ශයනක ලියනගේ ප්‍රකාශ කළේ, ඔහු මේ වන විට ගුවන් යානා ආකෘති 500කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇති බව ය. විශේෂ නිර්මාණ ඔහු මේ වන විට විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙකුට ගුවන් යානා ආකෘතිය නිර්මාණය කර දී තිබේ. ‘එයාර් ලංකා’ නිල ලාංඡනය නිර්මාණය කළ ශාන්ත සපරමාදු වෙනුවෙන් නිර්මාණය කළ ගුවන් යානා ආකෘතිය එවැන්නකි. "මේ ළඟදි මම ආකෘතියක් කළා එයාර් ලංකා ලෝගෝ එක ඇඳපු ශාන්ත සපරමාදු මහතාට. එයා ළඟ තියෙන ට්‍රයිස්ටාර් ආකෘතිය හැදුවෙ මම, එයාර් ලංකා ලෝගෝ එක දාලා. එයා කිව්වා එයා ඇඳපු ලෝගෝ එක මුලින් ම ගැහුවේ ට්‍රයිස්ටාර් ගුවන් යානයක කියලා. ඒ නිසා ට්‍රයිස්ටාර් එකක් කරල දෙන්න කියල කිව්වා.” ඊට අමතරව, ප්‍රසිද්ධ ගුවන් නියමුවෙකු වූ කපිතාන් එල්මෝ ජයවර්ධන වෙනුවෙන් මේ දිනවල ආකෘතියක් නිර්මාණය කරමින් සිටින බව ඔහු පැවසීය. “ඩෙන්මාර්ක්වල අවුරුදු විස්සක් විතර වැඩ කරපු කැප්ටන් කෙනෙකුටත් මම ආකෘතියක් කරල දුන්නා. එයා දැනටත් ලංකාවෙ ඉන්නේ. එයා කියනවා මේක පුදුම වැඩක් කියලා. ඇස් දෙකට නොදැක්ක දෙයක් ෆොටෝ එකක් දිහා බලාගෙන හදන එක ගැන එයා පුදුම වෙනවා." "මගේ හීනයක් වෙලා තිබුණා ජාතික ගුවන් සේවා සමාගමට ආකෘතියක් දෙන එක. ඒක මම ඉටු කරගෙන ඉන්නෙ මේ වෙද්දී. ඊළඟට මගේ ඉලක්කය වුණේ, ලෝකෙ තියෙන ගුවන් සමාගම්වල වැඩ කරන අයට මගේ ආකෘතියක් දෙන එක. මම ඒකත් ඉටු කර ගත්තා. එමිරේට්ස් එකට තමයි ඒ ආකෘති දුන්නේ. මගේ දැනට තියෙන හීනේ තමයි, ඩයි කාස්ට් ආකෘතියක් විදිහට මේක රටේ නිෂ්පාදනය කරලා ඩොලර් ගේන එක. ඒකත් දැනට හිමිහිට කරගෙන යනවා.” සැබෑ ගුවන් යානය මෙන් 200 ගුණයක් කුඩා ආකෘති නිර්මාණය කිරීම ඔහු මෙම ආකෘති නිර්මාණය කරන්නේ, සැබෑ ගුවන් යානයේ විශාලත්වයට සාපේක්ෂව ය. එහිදී, ඔහු සැබෑ ගුවන් යානයේ විශාලත්වය මෙන් 200 ගුණයක් කුඩා කර ආකෘතිය නිර්මාණය කරයි. "ඕන ම ගුවන් යානයක සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම මම සැබෑ ප්‍රමාණය වගේ 200 ගුණයක් කුඩා කරනවා. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය. ඒක හදන්නම් වාලේ කරන දෙයක් නෙවෙයි. උදාහරණයක් විදිහට මම හදන එකේ ඒ රෝදෙ ලොකු ප්ලේන් එකක තියෙන රෝදෙ වගේ දෙසිය ගුණයක් පොඩියි." විදේශ විනිමය උපයන මාර්ගයක් ශයනක ලියනගේ පවසන පරිදි මෙය විදේශ විනිමය ඉපයිය හැකි සාර්ථක ව්‍යාපාරයකි. "මේක අනිවාර්යයෙන් ම රටට ඩොලර් ගේන මාර්ගයක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට මම ආකෘති දෙනවා. සූවනියර්ස්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් දෙනවා. අනික් ගුවන් සමාගම්වලටත් දෙනවා. මේ වගේ නිර්මාණාත්මක දේවල් තියෙනවා රටට විදේශ විනිමය උපයන්න පුළුවන් විදිහේ." රැකියා නොමැති බවට මැසිවිලි නොකියා සාර්ථකත්වයට පත්විය හැකි මාර්ග විශාල සංඛ්‍යාවක් ඇතැයි ශයනක ලියනගේ විශ්වාස කරයි. "මිනිස්සු ගොඩක් වෙලාවට අදහස් හිතේ තියාගෙන ඉන්නව, ඒවා ක්‍රියාත්මක කරන්නෙ නෑ. අපට වැඩිය දක්ෂයෝ තවත් රටේ ඉන්නවා. හැබැයි ඒගොල්ලො උත්සහ කරන්නෙ නෑ. මට කියන්න තියෙන්නේ බය නොවී හිතට එන අදහස් ක්‍රියාත්මක කරල බලන්න, අපට නොපෙනෙන මාර්ගයක් ඒ හරහා නිර්මාණය වෙන්න පුළුවන් කියන එක. මේක පටන් ගනිද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා. මම දැන් ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.” |
'මම හැදී වැඩුණේ ඉතාම සාම්ප්‍රදායික පවුලක': බ්‍රිතාන්‍ය ආසියානු නිරූපණ රැජින ලේඩි බුෂ්රා | අමීර් ඩීන්, ලේඩි බුෂ්රා ලෙසද හැඳින්වෙන එක්සත් රාජධානියේ වඩාත් ප්‍රසිද්ධියට පත් ව සිටින බ්‍රිතාන්‍ය ආසියානු වේෂ නිරූපණ කලාකරුවන්ගෙන් කෙනෙකි. මීට වසර හතරකට පෙර ලේඩි බුෂ්රා ආරම්භ වූ දා සිට, අමීර් ලොස් ඇන්ජලීස් සිට ලිවර්පූල් දක්වා හාස්‍යඋත්පාදක රාත්‍රී වැඩසටහන් සහ රාත්‍රී සමාජ ශාලාවල රඟ දක්වමින් ලොව පුරා සංචාරය කර ඇත. මේ සතියේ, ඔහු ඔහුගේ පළමු එක්සත් රාජධානියේ සංචාරය සිද කළේය. සමලිංගික පුද්ගලයෙකු ලෙස හැදී වැඩීම, බ්‍රිතාන්‍ය දකුණු ආසියානු සමාජයේ වේෂ නිරූපණ කලාකරුවෙක් ලෙස කටයුතු කිරීමේ අත්දැකීම ඔහු බීබීසීය බෙදා ගත්තේය. |
සර්කස් පැසිපියා: පරම්පරා ගණනක් ශ්‍රී ලාංකිකයින් පුදුම කරවූ 'සැබෑ සර්කස්කාරයින්' රටට අහිමි වෙයි ද? | 'පැසිපියා' යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ 'සර්කස්' කණ්ඩායමකි. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් නියෝජනය කළ ජනතාව පුදුමයට පත් කරවමින් සර්කස් පෙන්නූ 'සර්කස් පැසිපියා' තවමත් සංදර්ශන පවත්වයි. පරම්පරා ගණනාවක ජනතාව අමන්දානන්දයට පත් කළ, තවමත් 'සර්කස් පෙන්වන' සර්කස් පැසිපියා වත්මන් හිමිකරු වන නිරෝෂන් කපුගීකියනගේ හමුවීමට අපි මතුගම, අගලවත්තට ගියෙමු. දශක ගණනක් අතීතයට දිවෙන සර්කස් පැසිපියා ආරම්භය ගැන එහි වත්මන් හිමිකරු සමග කළ සාකච්ඡාවකින් සකස් කළ වාර්තාවකි මේ. දේවාලේ පිනුම්කරුවන් සර්කස්කරුවන් වූ හැටි "අපේ සීයා තමයි මුලින් ම මේක පටන් ගන්න මුල් වුණේ. කේ.ජී. සුගතදාස තමයි මගේ සීයා. 1940 ගණන්වල කපුගම දේවාලේ මංගල්‍යය කාලයට පිනුම්කරුවෙක් විදිහට තමයි සීයා මුලින් ම කටයුතු කරලා තියෙන්නේ. ඒ පිනුම්කරුවන් විදිහට අලුත්ගම කරුණාසේන, කුඩලිගම කළුආරච්චි, දොඩංගොඩ පබිලිස් කියලා කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තුන් දෙනා යි මගේ සීයායි තමයි සර්කස් පැසිපියා පටන් අරන් තියෙන්නේ," නිරෝෂන් කපුගීකියන ඔහු දන්නා ඉතිහාසය අනාවරණය කළේ ය. නිරෝෂන් පවසන පරිදි, ඉහත කී සිව් දෙනා සර්කස් කණ්ඩායමක් ආරම්භ කිරීමට පෙළඹී ඇත්තේ, එවකට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ විදෙස් සර්කස් කණ්ඩායම්වල සංදර්ශන නැරඹීමෙන් පසුව ය. දෙවොල් මඩුවේ ගම් වැසියන් පිරිසක් ඉදිරියේ පිනුම් ගැසූ මේ සිව් දෙනා පසුව ශ්‍රී ලංකාව ම අඳුනන සුප්‍රසිද්ධ සර්කස්කාරයින් බවට පත්වීම සඳහා තැබූ පළමු පියවර එය විය. පැසිපියා නම ලැබුණු හැටි "මුලින් කියපු හතර දෙනාගෙන් දොඩංගොඩ පබිලිස් කියන කෙනාට තමයි සල්ලි තිබිලා තියෙන්නේ. ඒ නිසා එයාගේ වියදමෙන් හට් එකක් ගහලා පළවෙනි වතාවට සර්කස් පෙන්නලා තියෙනවා. එයා තමයි ඒ සර්කස් කණ්ඩායමට පැසිපියා කියන නම දාලා තියෙන්නේ," නිරෝෂන් පැවසීය. කෙසේ වෙතත්, පැසිපියා යන නම දැමීමට බලපෑ හේතුව පිළිබඳව නිරෝෂන්ට මතකයක් නැත. Pasipia යන්න විදෙස් රටවල පෙළපත් නාමයක් ලෙස භාවිත කරන බව නිරීක්ෂණවලින් පෙනී යයි. "අපේ සීයා, පබිලිස් දොඩංගොඩ, අලුත්ගම කරුණාසේන, කුඩලිගම කට්ටියක්, මේ කට්ටිය එකතු වෙලා කතා වෙලා තියෙනවා, සර්කස් කණ්ඩායමක් හදමු කියලා. ඊට පස්සෙ පබිලිස් දොඩංගොඩ වියදම් කරලා 'සර්කස් පැසිපියා' කියල නමක් දාලා ඒක පටන් අර ගත්තා කියලා තාත්තා අපට කියලා තියෙනවා." මුල් කාලයේ පුහුණුවීම් කළ හැටි සිය මුත්තණුවන් සහ පියා සර්කස් පුහුණු වූ සමයේ ආරක්ෂිත දැල් නොතිබූ අතර, ඔවුන් අනතුරුදායක සර්කස් අංග පුහුණු වීම සඳහා නිවස පහළින් ගලා යන ඇළ මාර්ගයක් භාවිත කර ඇතැයි නිරෝෂන් පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, යකඩ බාර් මත ඇවිද යන අංග, ඔංචිල්ලාවේ කෙරෙන අනතුරුදායක අංග ආදිය එහිදී පුහුණු වී තිබේ. එකල බාලවයස්කාරයින් සර්කස් සඳහා යොදා ගැනීමට බාධා නොපැවතුණු අතර කුඩා දරුවන් ද සර්කස් සංදර්ශනවලට සහභාගි වී තිබිණි. "අපේ අම්මාත් සර්කස් කළා. එයා අවුරුදු 7දී තමයි සර්කස් කණ්ඩායමට බැඳිලා තියෙන්නේ. ඒ කාලේ පුංචි කාලේ ඉඳලා සර්කස්වලට පුරුදු කරලා තියෙනවා. ඒත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් සර්කස් පුහුණු කරන්න පුළුවන් පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ තමයි." නිරෝෂන් පවසන පරිදි ඔහුගේ මව 1967 වසරේදී විජේ සර්කස් කණ්ඩායමේ සාමාජිකාවක බවට පත්වී ඇති අතර, ශ්‍රී ලංකාවේ සර්කස් ඉතිහාසයේ තුන් වන පරම්පරාව නියෝජනය කළා ය. "සීයලාගේ කාලේ යකඩ බාර් පාවිච්චි කළේ නෑ. උණ ගස් තමයි ඒ වෙනුවට පාවිච්චි කළේ. සීමිත සම්පත්වලින් තමයි ඒගොල්ලො සර්කස් පෙන්නුවේ," නිරෝෂන් පැවසීය. තුන් වන පරපුරේ නිරෝෂන් සර්කස් පැසිපියා කණ්ඩායමේ තුන් වන පරම්පරාවේ හිමිකරු වන නිරෝෂන්, එහි ආරම්භකයා වූ කේ.ජී. සුගතදාසගේ මුණුපුරා ය. එමෙන් ම දෙවන පරපුරේ හිමිකරු වූ කේ.ජී. නිමල් පියශාන්තගේ පුත්‍රයෙකි. ඔහුට වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක් සහ බාල සොහොයුරෙක් වෙති. 1981 වසරේ උපන් නිරෝෂන් මේ වන විට විවාහ වී සිටින අතර දූවරුන් දෙදෙනෙකුගේ පියෙකි. "මගේ කාලය වෙද්දී බාලවයස්කාරයින්ට සර්කස් කරන්න දුන්නේ නෑ. ඉතින් මම සර්කස් කරන්න පටන් ගත්තේ 1997 ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ. තාත්තා අපිට සර්කස් ඉගැන්නුවේ නෑ. අපේ ජානවල ඒ හැකියාව තිබුණා. ඉතින් තාත්තලා පුරුදු වෙන තැනට ගිහින් බලාගෙන ඉඳලා තමයි මම ඉගෙන ගත්තේ," නිරෝෂන් මතකය අවදි කළේ ය. "දැන් තියෙන සර්කස් කලාව රැකිලා තියෙන්නේ අපේ තාත්තා නිසා. එයා හදපු ගෝලයෝ තමයි දැන් සර්කස් කලාව කරගෙන යන්නේ. තාත්තා අවුරුදු 50ක් විතර වෙනකම් සර්කස් කළා. ඊට පස්සෙ අපිට භාර දීලා එයා නතර වුණා. මේ වන විට සර්කස් පැසිපියා කණ්ඩායම නිසා පවුල් 15ක් පමණ ජීවත් වන බව නිරෝෂන් පවසයි. 'ගෙදර ඉන්නේ මාසයකට දවස් තුන හතර යි' වසරේ සෑම මසක ම පාහේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සර්කස් සංදර්ශනය පවත්වන අතර, තමන්ට නිවසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන්නේ මසකට දින තුන හතරක් පමණක් බව නිරෝෂන් පැවසීය. "අපි එක ගමකට ආයෙත් යන්නෙ අවුරුදු 5කට විතර පස්සේ. නිතර නිතර ගියොත් මිනිස්සුන්ට සර්කස් ගැන අගයක් නැති වෙනවා. ඒ නිසා අපි ටික කාලයක් ගියාට පස්සෙ තමයි ආයෙත් එක ම ගමට යන්නේ." මේ අතර, විනෝද බදු ආදිය හේතුවෙන් සර්කස් සංදර්ශනවලින් රජයට සැලකිය යුතු මුදලක් ගෙවන බවත්, එක් සංදර්ශනයක් පැවැත්වීම සඳහා මූලික වශයෙන් රු. ලක්ෂයකට අධික මුදලක් වැය වන බවත් ඔහු සඳහන් කළේ ය. සාමාන්‍යයෙන් ඔවුහු සර්කස් සංදර්ශනයක් සති කිහිපයක් තිස්සේ පවත්වති. දුෂ්කරතා මේ වන විට සර්කස් කණ්ඩායමක් පවත්වාගෙන යාම දුෂ්කර කටයුත්තක් වී ඇතැයි නිරෝෂන් පවසයි. "ප්‍රධාන කාරණේ තමයි සර්කස්වලට පුහුණු කරන්න ළමයි හොයා ගන්න අමාරුයි. හොයා ගත්තත් වයස 18 පැන්නාට පස්සේ ඔවුන්ට පුරුදු කරන්න අමාරුයි. පොඩි කාලේ ඉඳලා පුරුදු කරන එක තමයි ලේසි. අනික් අතට දැන් ඉන්න දරුවෝ මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. ඒ කාලේ ගෑනු උදවිය කරපු සර්කස් තමයි දැන් පිරිමි කරන්නේ." ඉදිරි මාස කිහිපය තුළදී තමන් ද සර්කස් සංදර්ශනවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවත්, එසේ වුවහොත් සිය බාල සොහොයුරා ද ඉන් ඉවත් වනු ඇති බවත් නිරෝෂන් පැවසීය. "ශ්‍රී ලංකාවේ සර්කස් ක්ෂේත්‍රය ඉදිරියේදී කඩා වැටෙයි කියලයි මට හිතෙන්නේ. අපි ගැන කිසි බලධාරියෙක් බලන්නෙ නෑ. අපි බදු නම් ගෙවනවා ලොකු ගාණක්. මං හිතන්නේ දේශපාලනඥයොවත්, නිලධාරියොවත් සර්කස් බලල නැතුව ඇති. ඒකයි අපි ගැන කිසි ම තැකීමක් නැත්තේ." සර්කස් සංදර්ශන සහ පුහුණුවීම් අතරතුර අනතුරට ලක්ව ඔත්පල වී සිටින පිරිසක් ද වෙති. ඔවුන් රැක බලා ගැනීමට ද සිදුව ඇත්තේ, සර්කස් කණ්ඩායමේ හිමිකරුට ය. "මේක කලාවක්. අනතුරුදායක කලාවක්. අපිට මේක කරන්න පුළුවන් ඇඟේ හයිය තියෙනකම් විතරයි. ඉතින් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සර්කස්කාරයින් කියන අපි ගැනත් ටිකක් හොයලා බලන්න කියලා," නිරෝෂන් අවසාන වශයෙන් පැවසීය. |
අත්අඩංගුවට ගෙන පැය කිහිපයකින් උපුල් ශාන්ත සන්නස්ගලට ඇප ලැබුණේ කොහොම ද? | සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අප්‍රේල් 25 පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පස්වරුවේ ඇප මත මුදා හැරිණි. වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියෝග කළේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත ඔහු මුදා හරින ලෙස ය. 'අදාළ මුදල හිමිකරුට ගෙවා තිබුණා' නුවන් ප්‍රදීප් නමැති කඳාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා බව පවසමින් ලබා ගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ ව්‍යාපාරිනකයා පැමිණිල්ල් ඉදිරිපත් කර තිබුණේ, කඳාන පොලිසියට ය. කඳාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා මාසයක කාලයක් තුළ ආපසු ගෙවීමේ පොරොන්දුවක් මත උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇති බවත්, එම මුදල නියමිත දිනයේදී ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බවත් කඳාන පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි. ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මේ අතර, උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්ෂ 10ක මුදලක් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබූ බව ය. කෙසේ වෙතත්, පසුව උපුල් ශාන්ත සන්නස්ගල, පැමිණිලිකරුට අදාළ මුදල ගෙවූ බව නීතිඥවරු අධිකරණය හමුවේ තහවුරු කළහ. ඊට අදාළ රිසිට් පත් ද උසාවියට ඉදිරිපත් කළ නීතීඥවරුන් අධිකරණය හමුවේ පැවසුවේ, මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළ ද, ඔවුන් එය නොසලකා උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ බව ය. ඒ අනුව, දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. අප කළ විමසුමකදී කඳාන පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ මුදල පැමිණිලිකරුගේ බැංකු ගිණුමකට බැර කර තිබූ බව පසුව දැනගත් බව ය. මේ අතර, මැයි මස 26 වන දා මේ සම්බන්ධයෙන් අවසන් නඩු වාරය කැඳවා ඇතැයි ද ඔහු පැවසීය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැති අතර, අප්‍රේල් 25 වන දා ෆේස්බුක් ඔස්සේ සජීවීව පෙනී සිටියද එහිදී ඔහු නඩු කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සිදු කළේ නැත. උපුල් ශාන්ත සන්නස්ගල යනු කවුද? උපුල් ශාන්ත සන්නස්ගල යනු උසස් පෙළ සිංහල විෂය සඳහා උපකාරක පන්ති පවත්වමින් ජනප්‍රියත්වය පත් ගුරුවරයෙකි. ඊට අමතරව, ඔහු සරසවි දියණියෝ, අම්මා, වස්සාන සිහිනය ආදී නවකතා රැසක් රචනා කළ ජනප්‍රිය ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තිරරචකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය. |
'මම ලියන හැටි': ආරියවංශ අබේසේකර | මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කරන සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී නවකතාකරුවෙකි. 'දාගේ' කෘතිය ඔස්සේ 1988 දී නවකතාකරණයට ප්‍රවේශ වන ඔහු චාරුමන්දා, මතකවත, මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක් සහ ආරාමදාස යන නවකතා රචනා කරමින් සිය අනන්‍යතාව සිංහල සාහිත්‍යය තුළ සලකුණු කර ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව තුළ දී උත්සාහ කළේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම මුලින්ම ඔබෙන් අහන්න කැමතියි ඔබේ නවකතා වල සමාරම්භක මොහොත ගැන. නවකතාවක පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? ආරියවංශ: මම ලියන්නේ මට මුණ නොගැසුන පිරිසකටනේ, මුණ නොගැහුනා කියන්නෙ අඳුරන්නේ නැහැ කියන එක නෙමෙයි. අඳුරනවා නමුත් හමුවෙලා නැහැ. එතකොට මේ පිරිස මම මේ කතාව කියන්න ග්‍රහණය කර ගන්න ඕනෙනේ. ඒ නිසා මට මේ ආරම්භක වාක්‍යය සහ වාක්‍ය කිහිපය ඉතාම වැදගත් වෙනවා. ඒකෙන් ලැබෙන උත්තේජනය මත තමයි ඔවුන් මගෙත් එක්ක දිගටම රැඳෙනවද කියන එක තීරණය වෙන්නේ. මට හිතෙන්නෙ මේ ආරම්භක වාක්‍යය කියන්නේ හරියට මම අරින දොරක් වගේ. මම මවන්නේ කල්පනා ලෝකයක්නේ. පාඨකයා මේ කල්පනා ලෝකයට ඇතුල් වෙන්නෙ මං අරින මේ දොරෙන්. මේ දොර ලස්සන වෙන්නත් ඕනෙ ඒ වගේම ශක්තිමත් වෙන්නත් ඕන. මොකද ඒ ගොල්ලො ඇතුල් වුනාට පස්සෙ අපි මේ දොර වහනවනෙ. එතකොට මේ ඇතුල් වෙච්ච කෙනාට පිටතට යන්න බැරි වෙන්න ලොක් වෙන්නත් ඕන. කඩාගෙන යන්න බැරි වෙන්න ශක්තිමත් වෙන්නත් ඕන. ඒ වගේම මම හිතන දෙයක් තමයි මම මවන ලෝකයට කෙනෙක් ඇතුල් වුනාම එයාට දැනෙන්න ඕන මේ ලෝකය මම හඳුනන තැනකුත් නෙමෙයි නාඳුනන තැනකුත් නෙමෙයි කියන එක. ඒ දෙගිඩියාව තමයි මට වැදගත් වෙන්නෙ මගෙ කතාව ඉස්සරහට ගෙනියන්න. ඔන්න ඔය කාරණාව නිසා මට පළවෙනි වාක්‍ය සහ වාක්‍ය කිහිපය මට හුඟක් වැදගත් වෙනවා. ඒක හැබැයි මම නවකතාවක් ලියන්න පටන් ගන්නකොටම ලියවෙනවා නෙමෙයි. මේ නවකතාවේ මැදකදි එහෙමත් නැත්තං අවසන් වුනාට පස්සෙ වෙන්නත් පුළුවන් මේ මුල ටික ලියවෙන්නේ. කෞශල්‍ය: ලියන්න පටන් ගන්නකොට ලියන්න යන නවකතාව ගැන ඔබ මොනතරම් දුරට දැනුවත්ද? ආරියවංශ: ලියන්න පටන් ගන්නකොට මගෙ ඔලුවෙ කතාවක් තියනවා ඇත්තටම. හැබැයි කවදාවත් ඒක ලියවුණේ නැහැ. මම චරිත ගන්නවා. ටික වෙලාවක් ගියාට පස්සෙ ඒ චරිත වලට පණ එනවා. පණ ආවට පස්සේ මට ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්න බැහැ. කන්ට්‍රෝල් කරන්න යනව නං මම ඒකාධිපතියෙක් වෙනවනෙ. ඒ චරිත හිතේ ක්‍රියා කරන්න ගත්තට පස්සේ මම අපේක්ෂා නොකල අන්තයන් කරා යන අවස්ථා තියනවා. මම චරිතයක් ගොඩනැගුවට පස්සෙ යම් වෙලාවකින් මේ චරිතයට ස්වකීයමය බවක් එනවා. ඊට පස්සේ ඒ චරිතයට අවශ්‍ය දේ ඒ චරිතයට යන්න අවශ්‍ය තැනට ගෙන යනවා මිස මට අයිතියක් නැහැ මට ඕන දේවල් කරන්න. ඒ නිසා මගේ හැම නවකතාවකම මම අපේක්ෂා කළ අවසානය ලැබිලත් නැහැ. මම ඇතුල් කරන්න ඕන කියල හිතාගෙන හිටපු සමහර සිදුවීම් ඇතුල් කරන්න ඉඩ ලැබිලත් නැහැ. සමහර වෙලාවට මම ලියපු පදාස පිටින් මට ඉවත් කරන්න සිද්ධ වෙලා තියනවා. මහන්සි වෙලා ලියපු දේවල්. නමුත් ඒ දේවල් මට ඕන වුනාට ඒ චරිත වල ක්‍රියාදාමයන්ට අදාළ නැහැ. එක අවස්ථාවක් වෙනකන් නවකතාව මගේ හැබැයි යම් අවස්ථාවක් එනවා ඒක තවදුරටත් මගෙ නෙමෙයි. මේ විදිහට තමයි නවකතාව ඉදිරියට යන්නේ. ඒ නිසා ඕන නං මට කියන්න පුලුවන් නවකතාවක් ලියන්න පටන් ගන්න මොහොතෙදි ලියවෙන්න යන නවකතාව ගැන මම කිසිම දෙයක් දන්නෙ නැහැ කියල. මොකද මගෙ ඔලුවෙ තියන කතාවයි මගෙ අතින් ලියවෙන නවකතාවයි අතර හැම විටම ලොකු පරතරයක් තියන නිසා. කෞශල්‍ය: එතකොට ලියන්න පටන් ගන්න කලින් ඔලුවේ හැදිල තියන කතාවට අදාළව යම් ආකාරයක සටහන් තබා ගැනීමක් කරනවද? ආරියවංශ: නැහැ. මම කිසිම ආකාරයට සටහන් තබා ගැනීමක් කරන්නේ නැහැ. සමහර වෙලාවට ලිවීම පටන් ගත්තට පස්සෙ පරිගණකයේ තැනක චරිත වලට අදාළ යම් යම් දේවල් ලියල තියාගන්න ඉඩ තියනවා. නමුත් ලිවීම පටන් ගැනීමට පෙර එවැන්නක් කරන්නේ නැහැ. යම් යම් අවස්ථා වල නවකතාවක් ලිවීමට හොඳයි කියල හිතෙන වස්තු බීජයන් පරිගණකයේ තැනක ලියල තියාගන්න අවස්ථා තියනවා. නමුත් ලිවීමට අදාළව සැලසුම් ලෙස කරන කිසිදු සටහන් තබා ගැනීමක් මගෙ අතින් සිද්ධ වෙන්නෙ නැහැ. කෞශල්‍ය: ඔබ නවකතාව කියන ආකාරය, ඒකේ ආඛ්‍යාන ශෛලිය ගැන කලින් දැනුවත්වද ඉන්නෙ? ආරියවංශ: ඒ රටාව ලිවීම තුළම තමයි හොයා ගන්නෙ. සමහර අවස්ථා වලදි මට පණ තියන මිනිස්සු පාවිච්චි කරන්න බැරි වෙනවා. මළගිය ආත්ම ඕනෙ වෙනවා. යම් අවස්ථා වල සැබෑ මිනිහෙකුගෙන් කරගන්න බැරි දේ මම මළගිය ආත්මෙකින් ඉල්ලා හිටිනවා. ඒක සිද්ධ වෙන්නෙ පූර්ව සැලැස්මකට අනුව නෙමෙයි. උදාහරණයක් හැටියට මගෙ චාරුමන්දා කියන නවකතාව ගත්තොත්, ඒක ලියවෙන්නෙ හෙණකඳ බිසෝ බංඩාර කියන චරිතය ආශ්‍රයෙන්. හෙණකඳ බිසෝ බංඩාර කියන්නෙ දෙවියෙකුට සහ රජෙකු මැදි වෙච්ච කාන්තාවක්. කතරගම දෙවියෝ එයාව මරලා එයා ළඟට ගන්නවා. එතෙන්දි මම හිතුවෙ නැහැ මළගිය ආත්ම වැනි දේවල් මගේ පොතට ගන්න. මට ඕන වුනේ භෞතික සහ අභෞතික ආශාවන්ට මැදි වුණ කාන්තාවක් ගැන ලියන්න. එතෙන්දි මම හෙණකඳ බිසෝ බංඩාර චරිතය ආශ්‍රයෙන් වෙනත් ගැමි චරිතයක් ගොඩනගනවා චාරුමන්දා කියන. එතෙන්දි මම දේවාත්මය වැනි දේවල් ගැන හිතුවෙත් නැහැ. නමුත් කතාව ගොඩනැගෙද්දි අර මළගිය ආත්ම වැනි දේවල් නැතුව මට ඒ කතාව කියා ගන්න බැරි වුණා. මම කලින් කිව්ව වගේ නවකතාවක සැලැස්ම ඉස්සෙල්ලා හදා ගන්නෙ නැහැ. මට ඇත්තටම ප්‍රධාන වෙන්නෙ චරිත කිහිපයක්. ඒ චරිත ටික අතර ඇති වෙන සම්බන්ධය විදාරණය කර ගන්න අවශ්‍ය වෙන ආකෘතියක් ඒක ඔස්සේ හැදෙනවා. මගෙ පැත්තෙන් ගත්තොත් හදනවා කියන එකට වඩා හැදෙනවා කියල කියන එක තමා නිවැරදි කියල මට හිතෙන්නේ. දැන් 'මගෙ මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක්' කියන නවකතාව ගත්තොත්, ඒකෙන් මට කියන්න ඕන වුනේ අපි මේ සියලුම මිනිස්සු බොරුවට ඇනකොටා ගෙන ප්‍රශ්න ඇති කර ගන්නවා අපි සේරම එකයි කියන දේ. ඒක කියන්න මට තිබුණ ක්‍රමය තමයි මියගිය සිංහල සොල්දාදුවෙකුගෙ කයට එන ඕපපාතික උත්පත්තියක්. එතකොට එයා එල්ටීටීඊ සෙබලෙක්. අපි දන්නවා පුනරුත්පත්තිය වගේ දේවල් අපේ ජනතවගෙ හිතේ කා වැදුණු දේවල්. එතකොට මම එවැනි දේවල් මගේ නවකතා ලිවීමේදී ප්‍රයෝජනයට ගන්නවා. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ ඔබේ කාලය ගත වෙන හැටි ගැන? ආරියවංශ: ලියන්න විශේෂ කාලයක් කියල එකක් නැහැ. මම උදෙත් ලියනවා දවලුත් ලියනවා රෑත් ලියනවා. ලියන්නෙ පරිගණකයෙන් නිසා මට කාමරේ ඉන්න සිද්ධ වෙනවා. ලියන වෙලාවට කවුරුහරි ආවොත් ගිහින් කතා කරනවා. වෙන වැඩක් තිබුණොත් ඒකටත් නැගිටල යනවා. ලියන එක මගෙ රොමෑන්ටික් වැඩක් නෙමෙයි. මගෙ හිතේ තියන දෙයක් එළියට දාගන්න මං දරන මහන්සියක් මිසක් ඒක තවත් වැඩක් මිසක් ඒක මට මහා නිකං භාවනානුයෝගී වැඩක් නෙමෙයි. අර කටුවක් ඇනුණම දැනෙන වේදනාවෙන් ගැලවෙන්න ඒ කටුව අයින් කරන්න ඕනෙනෙ. ඉතින් කටුව අයින් කරන්න කලක් වේලාවක් නැහැනෙ. ඒ ගලවල අයින් කරනවා වගේ මම ලියන එකට මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන්නේ මගෙ ජීවිතේ අනිත් වැඩත් එක්ක. මං මේ මාර කාර්යභාරයක් කරනවා වගේ මට හැඟීමක් නැහැ. මට ඕන අර කටුව ගලවල අයින් කරන්න. අනිත් එක මම ලියන ඒව කියවල මට හොඳ කිව්වත් මට බැන්නත් ඒකෙන් මට වැඩක් නැහැ. සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න මට අවුරුදු දෙක තුනක් වත් ගතවෙනවා. ලියන්නෙ නැතුව ඉන්නව නෙමේ අතර මැද, හැමදාම ලියනවා. නමුත් ලියන දේවල් නැවත නැවත වෙනස් කරනවා. ප්‍රකාශකයෙකුට භාර දෙනතුරු මගෙ ළඟ තියන තුරු නවකතාව වෙනස් වෙනවා. මොකද මම ඒකත් එක්ක ජීවත් වෙනවා. මම ඒකත් එක්ක ජීවත් වෙන එක නතර වෙන්නෙ මම ඒක ප්‍රකාශකයට භාර දුන්නට පස්සෙ. ඊට පස්සෙ මං ඒකෙන් අයින් වෙනවා. ඊට පස්සේ තියෙන්නෙ අනිත් අයගෙ වැඩ. කියවනවද නැද්ද කියන එක. ඒක ඉතින් මං අදාළ කර ගන්නෙ නැහැ. මොකද මෙතනින් පස්සෙ නවකතාවෙ චරිත මට තවදුරටත් කරදර කරන්නෙ නැහැ. ඒක එතනින් අවසානයි. කෞශල්‍ය: ලිවීම තුළ ඔබ පවතින ආකාරය ගැන, ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද අවසාන වශයෙන්? ආරියවංශ: එහෙම විශේෂ දෙයක් නැහැ. තමන්ගෙ හිතට ආව කිසියම් දෙයක් එළියට දාගන්න උත්සාහ කරන කෙනෙක් එතෙන්දි මම. ඒ වෙලාවෙදි මම ඒ චරිතත් එක්ක ජීවත් වෙනවා. දැන් මම ආරාමදාස නවකතාව ලියද්දි වෙනදට වඩා මම පොලොන්නරුවෙ නටඹුන් අතර ගැවසුණා. වාමන රූප, මුරගල්... ඒවත් එක්ක ආශ්‍රය තියෙන්න ඕන. මගෙ මාතෘකාවක් නැති වචන අනූතුන්දාහක් නවකතාව ලියද්දි මම ඔය හමුදාවට ගිය තරුණයෝ, තුවාල ලබපු කට්ටිය වගේ අය ආශ්‍රය කළා. ඒ ගැන පොතපත කියෙව්ව. අන්න ඒ වගේ මම ලියන දේට අදාළ පරිසරය තුළ තමයි මම ජීවත් වෙන්නේ. ලියන කාලයට නවකතාවේ චරිත අපේ කට්ටිය බවට පත් වෙනවා. ඒ අය විඳින දුක් වේදනවා දැනෙනවා. ඒක කටුක වෙන අවස්ථා වලදි ඒක පැත්තකට දාපු අවස්ථාත් තියනවා ඒක ටිකක් සමහන් වෙනකන් හිතේ. මුලින්ම මං ගන්න චරිත මගෙ අතේ රූකඩ වගේ හිටියට ටිකකින් ඒ අය මිත්‍රයෝ බවට පත් වෙනවා. ඊට පස්සෙ මිත්‍රයෝ විඳින දේවල් අපිටත් කාන්දු වෙනවනේ. සිංහල නවකතාකරුවන් ලියන මොහොතේ පවතින අකාරය, ලිවීම සම්බන්ධ තාක්ෂණයන් සහ ඒ හා සම්බන්ධ ඔවුන්ගේ හැඟීම් ගවේෂණය කළ 'මම ලියන හැටි' සංවාද මාලාව මෙයින් සමාප්ත වෙයි. අපට අවශ්‍ය වූයේ විවිධාකාර ආස්ථානයන්ගේ සිට සිංහල සාහිත්‍ය පෝෂණය කරන නවකතාකරුවන් සහ නවකතාකාරියන්ගේ ලිවීම හා සම්බන්ධ ජීවිතය හෙළිදරව් කර ගැනීමට ය. එහිදී අපට ලංකාවේ මේ මොහොතේ සිටින සියලු නවකතාකරුවන් සහ කාරියන් එක්කර ගැනීමට අවකාශ නොපැවතුන බව අවධාරණය කළ යුතුය. එම නිසා තරුණ, පරිණත, ජනප්‍රිය, ජනප්‍රිය නොවන යනාදී වශයෙන් වෙනස් තල වල සිටින, නවකතාකරණය කෙරෙහි කැප වුණු කතුවරුන් යම් පිරිසක් මේ සඳහා අප විසින් තෝරා ගන්නා ලදි. මෙයට එක් කර ගත නොහැකි වූ තවත් බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන් අතර අතිශය වැදගත් නවකතාකරුවන් සිටින බවත් සිහිපත් කළ යුතුය. මේ සංවාද මාලාව අප අපේක්ෂා කල ප්‍රමාණයටත් වඩා දුරක් ගමන් කළේ එයට ලැබුණු සාධනීය පාඨක ප්‍රතිචාර නිසා ය. ලිවීම සහ කියවීම කෙරෙහි උනන්දු විශාල පිරිසක් මේ සංවාද මාලාව සමඟ බැඳී සිටි අතර ඔවුන්ගේ උනන්දුව අපට විශාල ශක්තියක් විය. එසේම මේ සංවාද වලට එක් වූ කතුවරුන් හා කතුවරියන් අපට දැක් වූ සහයට ද අපගේ ආචාරය හිමි විය යුතු ය. බොහෝ අය අපට ලියා එවූ පරිදි මේ සංවාද මාලාව ලිවීමට ඇති ඔබගේ ආශාව දැල් වූයේ නම් එය අපට සතුටකි. අතිශය වැදගත් ලේඛක ලේඛිකාවන් තිස් දෙකක් සමඟ සිදුකළ ඒ සෑම සංවාදයටම මෙතැනින් ප්‍රවේශ විය හැකි ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වූ කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
දමිතා අබේරත්න : ආගමන හා විගමන පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීරණය කරයි | විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 24 වැනිදා) නියෝග කළේය. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන අතර සැකකාර දමිතා අබේරත්නගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ය. ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් නියෝගයක් නිකුත් කළේය. ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පැනවුණු අතර සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරුණි. 'ආගමන හා විගමන පනත යටතේ විමර්ශන සිදු කරනවා' ( අප්‍රේල් 17 වැනිදා) පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ "ස්වාමීනී.. විදේශ රැකියා ලබාදන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා. මීට අදාළව මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යයි. එම වැඩිදුර ප්‍රකාශය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය සංකීර්ණ විමර්ශනයක්. මෙම විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා." යනුවෙන් සඳහන් කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියහ. 'ආගමන හා විගමන පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් වී නැහැ' එම අවස්ථාවේදී දමිතා අබේරත්න ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි..... ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ කරුණු සම්පූර්ණ වී තිබිය යුතුයි. එහෙත් මෙම සැකකරුවන් එරෙහිව ආගමන හා විගමන පනත යටතේ කරුණු ඉදිරිපත් වී තිබෙනවාද? යන්න ගැටළු සහගතයි. එම නිසා මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. එසේම මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් එය විභාග කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් තිබෙනවාද? යන ගැටලුවක් මතු වෙනවා" යනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පවතින සාක්ෂි වල සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඉන් අනතුරුව සැකකරුවන් ලබන අප්‍රේල් 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී. අප්‍රේල් 05 : දමිතා අබේරත්න සැමියා සමග රක්ෂිත බන්ධනාගාරයට අප්‍රේල් 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔවුහු අප්‍රේල් 05 වනදා දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බව යි. විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් අප්‍රේල්17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි. මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් දා ( අප්‍රේල් මස 02 වනදා) තීන්දු කළේය. දමිතා අබේරත්න සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. දමිතා අබේරත්න වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර තිබුණේ තම සේවාදායිකාවට එරෙහිව පොලීසිය විසින් මුලින්ම දණ්ඩ නිති සංග්‍රහය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර විමර්ශන සිදු කළ බවයි. ඉන් අනතුරුව ඇයට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් තම සේවාදායිකාවට දැඩි අගතියක් සිදුවන බව ද පෙන්වා දුනි. එබැවින් ඇය ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය. ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට ද නියම කෙරිණි. |
සල්මාන් රුෂ්ඩී: 'ඇසක් අහිමි වීම මාව හැමදාම කම්පනයට පත් කරනවා' | ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී මීට වසර දෙකකට පෙර තමාට වේදිකාවක් මතදී පිහියකින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මතකයේ ඇති බියකරු විස්තර බීබීසී පුවත් සේවයට පැවසීය. බුකර් ත්‍යාගලාභී කතුවරයා පැවසුවේ, ඔහුගේ ඇස "අඩක් තැම්බූ බිත්තරයක් මෙන්" ඔහුගේ මුහුණේ එල්ලී තිබූ බවත්, එම ඇස අහිමි වීම "සෑම දිනක ම තමන් කම්පනයට පත් කරන" බවත් ය. "මට මතකයි මම හිතුවේ මම මිය යමින් සිටිනවා කියලා," ඔහු පැවසීය. "වාසනාවට, මම හිතුව විදිහ වැරදියි." සිදුවූ දෙයට එරෙහිව සටන් කිරීමේ මාර්ගයක් ලෙස තමන් සිය නව පොත වන 'Knife' භාවිත කරන බව ශ්‍රීමත් සල්මාන් පැවසීය. ආගම බරපතළ ලෙස නොඅදහන මුස්ලිම් දෙමාපියන්ට දාව උපත ලද අදේවවාදියෙකු වන ශ්‍රීමත් සල්මාන්, දිගු කලක් තිස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් හඬ නැගූවෙකි. එහෙත්, එය "අතිශයින් දුෂ්කර" තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු අනතුරු ඇඟවීය. "කනගාටුයි කියන්න, බොහෝ තරුණයින් ඇතුළු බොහෝ පිරිසක්, කතා කිරීමේ නිදහස සීමා කිරීම බොහෝවිට හොඳ අදහසක් බවට මතයක් ගොඩනගා ගෙන තිබෙනවා," ඔහු පැවසීය. "ඇත්ත වශයෙන් ම, භාෂණයේ නිදහස කියන සංකල්පයේ සමස්ත කාරණය නම්, ඔබ එකඟ නොවන කතාවකට ඔබ අවසර දිය යුතුයි කියන එක යි." ප්‍රහාරය එල්ල වූයේ, 2022 වසරේ අගෝස්තු මාසයේදී නිව් යෝර්ක්හි අධ්‍යාපන ආයතනයක දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේදී ය. ප්‍රහාරකයා විසින් "පඩිපෙළ මතින් වේගයෙන් දුවවිත්" තත්පර 27ක් පුරා එල්ල කළ ප්‍රහාරයෙන් ඔහුගේ ගෙළ සහ උදරය ඇතුළු ස්ථාන කිහිපයකට 12 වරක් පිහියකින් අනින ලද ආකාරය ඔහු ආවර්ජනය කළේය. "මට ඔහු එක්ක සටන් කරන්න හැකියාවක් තිබුණෙ නෑ," කතුවරයා පැවසීය. "මට ඔහුගෙන් බේරිලා දුවන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ." ශ්‍රීමත් සල්මාන් පැවසුවේ, ඔහු බිම ඇද වැටුණු බවත්, එහිදී ඔහු තමන් වටා තිබූ "ලේ විලක්" මත වැතිරී සිටි බවත් ය. හෙලිකොප්ටරයකින් ඔහු රෝහල කරා රැගෙන යනු ලැබූ අතර, සුවය ලැබීම සඳහා ඔහු සති හයක කාලයක් එහි ගත කළේය. 76 හැවිරිදි ඉන්දියාවේ උපන් බ්‍රිතාන්‍ය-අමෙරිකානු කතුවරයා නූතන කාලයේ වඩාත් බලපෑම් කළ හැකි කර්තෘවරුන් අතරින් කෙනෙකු විය. ශ්‍රීමත් සල්මාන් මීට පෙර වසර ගණනාවක් සැඟවී සිටියේ, 1988 පළ වූ 'The Satanic Verses' නමැති කෘතිය හේතුවෙන් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වීමෙන් පසුව ය. යම් දිනක යම් පුද්ගලයෙකු "ප්‍රේක්ෂකාගාරයෙන් ඉවතට පැන එනු ඇතැයි" තමන් සිතූ බව ඔහු පිළිගත්තේ ය. "පැහැදිලිව ම ඒක මගේ මනසට ආවෙ නැත්නම් ඒක නිකම් විකාරයක් වෙන්න තිබුණා." ප්‍රහාරයට දින දෙකකට පෙර එම ප්‍රහාරය පිළිබඳව "නපුරු සිහිනයක්" දුටු බවත්, ඒ හේතුවෙන් එහි නොයා සිටීමට තමන්ට අවශ්‍ය වූ බවත් ඔහු පැවසීය. "ඊට පස්සේ මම හිතුවා, ඒක හීනයක් කියලා. අනික, එයාලා මට හොඳට ගෙවනවා. හැමෝම ටිකට් මිල දී ගත්තා. මම යන්න ඕනේ." 'සෑම දිනක ම කම්පනයට පත්වීම' මෙම ප්‍රහාරයෙන් ශ්‍රීමත් සල්මාන්ගේ අක්මාවට සහ අත්වලට හානි සිදුවූ අතර, ඔහුගේ දකුණු ඇසේ ස්නායුවලට ද හානි සිදුවිය. ඔහුගේ ඇස "බෙහෙවින් ඉදිමී තිබූ" බව ඔහු පැවසීය. "ඒක මගේ මුහුණේ එල්ලිලා වගේ, මගේ කම්මුල උඩ, මම කියල තියෙනවා මීට කලින්, ඒක බාගෙට තම්බපු බිත්තරයක් වගේ කිව්වා. ඒ වගේ ම පෙනීමත් නැති වුණා." ශ්‍රීමත් සල්මාන් පැවසුවේ, එක් ඇසක් අහිමි වීම "හැම දාක ම තමන් කම්පනයට පත් කරන," බව ය. පඩිපෙළකින් බැස යන විට, පාරක් මාරු වන විට හෝ වීදුරුවකට වතුර වත් කිරීමේදී පවා තමා වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු දැන් තේරුම්ගෙන සිටී. කෙසේ වෙතත්, මොළයට හානියක් සිදුවීමෙන් වැළකීම, ඔහු වාසනාවක් ලෙස සලකයි. "එයින් අදහස් කළේ මට තවමත් මා විය හැකි බවයි." ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී පිහි ප්‍රහාරයට ලක්වූ ස්ථානයේ පැවති වැඩසටහන මෙහෙයවූ තැනැත්තා බීබීසී පුවත් සේවයට පැවසුවේ, ප්‍රහාරය වැළැක්වීමට ඊට වඩා වැඩි යමක් කිරීමට හැකි වූයේ නම් තමන් සතුටු වන බව ය. "ඊට වඩා ඉක්මනින් ක්‍රියාත්මක වුණා නම්, බොහෝ දේ වළක්වා ගත හැකිව තිබූ බව හිතෙනවා," හෙන්රි රීස් පැවසීය. කෙසේ වෙතත්, එදින තමාට උපකාර කළ හෙන්රි රීස් ඇතුළු පිරිසට මෙන් ම තමාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට ශ්‍රීමත් සල්මාන්ගේ කෘතවේදීත්වය Knife ග්‍රන්ථයෙහි ආරම්භක පිටුවෙහි ම පැහැදිලි කර තිබේ. එම පොතේ පිදුම වෙන් කර ඇත්තේ, සරලව ම, "මගේ ජීවිතය රැක දුන් පිරිමින් සහ කාන්තාවන් වෙනුවෙනි," යනුවෙනි. 'ඒක මරන්න හේතුවක් ද?' ප්‍රථම වරට ශ්‍රීමත් සල්මාන් තමාට ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයාට පැවසීමට කැමති දේ හෙළි කර තිබේ. 26 හැවිරිදි හාඩි මාටාර් නමැති නිව් ජර්සිහි පදිංචිකරුවෙකු ඔහුට පිහි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා ලෙස චෝදනා ලැබීය. තමන් වැරදිකරු නොවන බව මාටාර් පවසා ඇති අතර, ඇප මත නිදහස් නොකර ඔහු රඳවාගෙන සිටී. බන්ධනාගාරයේ සිට නිව් යෝර්ක් පෝස්ට් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මාටාර් පැවසුවේ, යූටියුබ් ඔස්සේ ඔහු ශ්‍රීමත් සල්මාන්ගේ වීඩියෝ නරඹා තිබූ බව ය. "ඒ වගේ වංක මිනිස්සුන්ට මම කැමති නෑ," මාටාර් පැවසීය. ප්‍රහාරයෙන් පසු නව ග්‍රන්ථයක් පළ කිරීමට පෙර ඇලන් යෙන්ටොබ් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි 2022 වසරේදී ඔහුගේ ජීවිතය අවසන් කිරීමට ආසන්න වූ පිහි ප්‍රහාරය ගැන කතා කරයි. Knife ග්‍රන්ථය තුළ, ශ්‍රීමත් සල්මාන් ඔහුගේ ප්‍රහාරකයා සමග මනඃකල්පිත සංවාදයක් පවත්වන අතර, එහිදී ඔහු ඊට ප්‍රතිචාර දක්වයි. "ඇමරිකාවේ, බොහෝ මිනිසුන් අවංක ලෙස පෙනී සිටියත්, ඔවුන් වෙස්මුහුණු දාගෙන බොරු කියනවා, ඔවුන් සියලු දෙනා ම මරා දමන්න ඒක හේතුවක් ද?" ඔහු අසයි. ශ්‍රීමත් සල්මාන් කිසිදු අවස්ථාවක මාටාර් හමුවී නැත. එහෙත්, නඩු විභාගය ආරම්භ වන විට අධිකරණයේදී ඔවුන් මුහුණට මුහුණ හමුවනු ඇත. ශ්‍රීමත් සල්මාන්ගේ පොත සාක්ෂියක් විය හැකි බැවින් එය සමාලෝචනය කිරීමට තමන්ට අයිතියක් ඇතැයි විත්තියේ නීතිඥවරුන් තර්ක කිරීමෙන් පසු නඩු විභාගය ප්‍රමාද විය. එය සරත් සෘතුවේදී සිදුවනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. The Satanic Verses බෙහෙවින් ආන්දෝලනාත්මක වූයේ ඇයි? සල්මාන් රුෂ්ඩී 1981 වසරේදී පළ කළ Midnight's Children ග්‍රන්ථය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර, එක්සත් රාජධානියේ පමණක් එහි පිටපත් මිලියනයකට වඩා අලෙවි විය. එහෙත්, ඔහුගේ සිව්වන ග්‍රන්ථය වූ'The Satanic Verses' නමැති කෘතිය, ඉස්ලාම් ආගමේ ශාස්තෲවරයා වන මුහම්මද් තුමාගේ නිරූපණය සහ ආගම පිළිබඳ එහි සඳහන් කිරීම් අපහාසයක් ලෙස සලකනු ලැබූ අතර, මුස්ලිම් ජාතිකයින් බහුතරයක් වෙසෙන රටවල එය තහනම් කරන ලදී. ඉරානයේ එවකට නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි 1989 වසරේදී ෆට්වා නමැති ආගමික ආඥාවක් නිකුත් කරමින් රුෂ්ඩී ඝාතනය කරන ලෙස ඉල්ලා කතුවරයාගේ හිසට අමෙරිකානු ඩොලර් මිලියන 3ක (ස්ටර්ලිං පවුම් මිලියන 2.4ක්) ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කළේය. එම ෆට්වා ආඥාව කිසි විටෙකත් අවලංගු කර නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රුෂ්ඩීට දශකයකට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවූ අතර, ඔහුට එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් සන්නද්ධ ආරක්ෂකයෙකු අවශ්‍ය විය. තමන් ලේ විලක් මැද වැතිර සිටියදී, තමාට අයත් පෞද්ගලික දේ පිළිබඳව "මුග්ධ ලෙස කල්පනා කළ" ආකාරය ශ්‍රීමත් සල්මාන් සිහිපත් කරයි. සිය රැල්ෆ් ලෝරන් ඇඳුම විනාශ වීම, මෙන් ම, තමන්ගේ නිවසේ යතුර සහ ක්‍රෙඩිට් කාඩ් සිය පසුම්බියෙන් වැටෙනු ඇතැයි යන්න පිළිබඳව ඔහු බියෙන් සිට ඇත. "ඇත්ත වශයෙන් ම ඒ වෙලාවේ හැටියට, ඒක හාස්‍යජනක යි. ඒත් ආපසු හැරලා බලනකොට, මිය යාමට අදහස් නොකරන ජිවිත ආශාව වෙනුවෙන් මගේ යම් කොටසක් තිබුණා ද, ඒ කොටස තමයි මට කිව්වේ, නිවසේ යතුරු ඕනි , මට ඒ ක්‍රෙඩිට් කාඩ් ඕනි කියලා." ඔහු වැඩිදුරටත් පැවසුවේ, "ජීවිත ආශාව" විසින් ඔහුට, "ඔබ ජීවත් වනවා. ජීවත් වෙන්න. ජීවත් වෙන්න," යනුවෙන් පැවසූ බව ය. ප්‍රහාරයට වසරකට පෙර, ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී සිය පස් වන බිරිඳ ලෙස අමෙරිකානු කිවිඳියක සහ නවකතාකාරියක වන රැෂෙල් එලීසා ග්‍රිෆිත් සමග විවාහ විය. රුෂ්ඩි ආර්යාව බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඇය ප්‍රහාරය ගැන දැනගත් අවස්ථාවේ, "කෑ මොර දීමට පටන් ගත්" බව ය. "ඒක මගේ ජීවිතේ නරක ම දවස." වෛද්‍යවරුන් ශ්‍රීමත් සල්මාන්ගේ ඇහි බැම එකට තබා මසන අවස්ථාවේ ඔහු සමග තමන් ද සිටි බව රුෂ්ඩී ආර්යාව විස්තර කරයි. "මම ඔහුගේ ඇස්වලට ආදරෙයි, ඒ ඇස් දෙකත් අරගෙන එයා ගෙදරින් පිටත් වුණා. ඊට පස්සේ අපේ ලෝකය වෙනස් වුණා," ඇය පැවසීය. "දැන් මම ඔහුගේ එකම ඇහැට ඊට වඩා ආදරය කරනවා. මොක ද ඒකෙන් තමයි ඔහු ලෝකය දකින්නේ." Knife යනු බියකරු කතාවක් සේ ම "අවම වශයෙන් ආදර කතාවක්" ද වනු ඇති බව ශ්‍රීමත් සල්මාන් විස්තර කළේය. "මෙතන එකිනෙක ගැටෙන බලවේග දෙකක් තිබුණා. එකක් ප්‍රචණ්ඩත්වය, උන්මත්තකභාවය, ආගම්වාදය, අනෙක තමයි ආදරයේ බලවේගය," ඔහු පැවසීය. "ඇත්ත වශයෙන් ම, ආදරයේ බලය මගේ බිරිඳ එලිසාගේ රූපය තුළ අන්තර්ගත වෙනවා." "අවසානයේදී, සිදුවූයේ කුමක් ද කියලා මට වැටහෙන ආකාරයට, වෛරයේ බලවේගවලට වඩා ආදරයේ බලය ශක්තිමත් බව ඔප්පු වුණා." ශ්‍රීමත් සල්මාන් පැවසුවේ, ඔහු යළිත් ප්‍රසිද්ධ වැඩසටහන්වලට සහභාගි වන බව ය. එහෙත්, ඉදිරියේදී "වඩාත් ප්‍රවේශම්" වන බව ද ඔහු පැවසීය. "ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය මගේ පළමු ප්‍රශ්නය වෙයි. මම ඒ ගැන සෑහීමකට පත් නොවුණොත්, ඒක කරන්නේ නැහැ." එහෙත්, තමන් "ඉතා හිතුවක්කාර පුද්ගලයෙකු," බව ඔහු පැවසීය. “මට සීමා හෝ බාධා සහිත ජීවිතයක් අවශ්‍ය නැහැ,” ඔහු පැවසීය. "මම මගේ ජීවිතය මට ඕන විදිහට ගත කරනවා." |
'මම ලියන හැටි' : පී. බී. ජයසේකර | 'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැදුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍යඃ සුපුරුදු පරිදි මං මුලින්ම ඔබගෙන් අහන්නෙත් නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබ ලියපු නවකතා ඇසුරෙන් මේ ගැන යමක් කියන්න පුලුවන්ද? ජයසේකර: මං උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. මගෙ 'ඉක්බිතිව ඔහු මරාපීහ' නවකතාවට පදනම් වෙන්නේ බන්ඩාරනායක ඝාතනය. මේ සිදුවීම පාදක කර ගෙන නවකතාවක් ලියන්න ඕන කියන අදහස ආවට පස්සෙ මේක වස්තු බීජයක් හැටියට මගෙ හිතේ වැඩ කරනවා. අපි දන්නවා මේක ඇතුළේ කුමන්ත්‍රණ තියනවා, දේශපාලනය තියනවා, ප්‍රේමය තියනවා, ඝාතනයක් සිද්ධ වෙනවා, ඝාතනකරුවා ඔහුමද කියල සැක හිතෙන පරිදි ඝාතනකරුවා බන්ධනාගාරගත වෙනවා, එල්ලා මරනවා. මේ සියල්ල මෙහෙම තිබිය දී මේ නවකතාව ආරම්භ කරන්න ඕන කියලා මට හිතෙන්නේ සෝමාරාම බන්ධනාගාර ගතවෙන තැනදි. ඒක සිත් කාවදින තැනක්. බන්ධනාගාරගත වෙලා ඉන්න කෙනෙක් සිතන ආකාරය, ඔහුගෙ දවස ගෙවෙන ආකාරය...මේ ඇසුරෙන් තමයි මම ඒ නවකතාවෙ සමාරම්භක මොහොත සොයා ගන්නේ. සමාන්‍යයෙන් ලෝකෙ නවකතාකරුවන් අතර සහ ප්‍රකාශකයන් අතර අදහසක් තියනවා පළමු වාක්‍යය සහ පළමු පරිච්ඡේදය අතිශය වැදගත් කියල. දැන් මම ඉංග්‍රීසියෙන් නවකතා දෙකක් ලියල තියනවා. මම එකක් සම්බන්ධයෙන් විදේශීය ප්‍රකාශකයන් සමග ඊමේල් ඔස්සේ සාකච්ඡා කරන කොට ඔවුන් මගෙන් ඉල්ලපු එකක් තමයි නවකතාවෙ පළමු පරිච්ඡේදය එවන්න කියන එක. ඒකෙන් පේනවා ඔවුන් ආරම්භය ගැන දක්වන උනන්දුව. කෞශල්‍ය: සාමාන්‍යයෙන් ලිවීම ආරම්භ කරනකොට ලියන්න යන නවකතාව ගැන ඔබ මොනතරම් දැනුවත් ද? ජයසේකර: මම නවකතාවක් ලියන්න පටන් ගන්නේ මුලු නවකතාවෙම සිද්ධි ඔලුවෙ තියාගෙන. මං ලියපු හැම නවකතාවක්ම පටන් ගන්න කලින් ඒ නවකතාවට වඩා වැඩි ප්‍රමාණයක් තොරතුරු මම අතින් ලියාගෙන තියනවා. ඒ වගේම මගෙ ඔලුවෙත් තියනවා. දැන් මම කුසුමාසන දේවිය ගැන ලියපු නවකතාව හෝ බන්ඩාරනායක ඝාතනය ගැන ලියපු නවකතාව ගත්තොත් විශාල වශයෙන් ඒ ඓතිහාසික තොරතුරු මම කියෙව්ව සහ සටහන් තබා ගත්ත. නමුත් නවකතාවේ සැකිල්ලක් වැනි දෙයක් කොළයකට එන්නේ නැහැ. ඒක ලියන ක්‍රියාවලිය ඇතුළේ තමයි ගොඩනැගෙන්නේ. නමුත් ලියන්න යන සමස්තයම මගෙ ඔලුවෙ පැහැදිලිව තියනවා ලිවීම ආරම්භ කරන මොහොතෙදි. දැන් ඓතිහාසික නවකතාවක දී අඩුවැඩි වශයෙන් ඉන්න චරිත ගැන පැහැදිලිතාවක් තියනවා. නමුත් එහෙම නොවෙන පරිකල්පනය තුළම නිර්මාණය වන නවකතාවක දී මා විසින්ම නිර්මාණය කරන චරිත සම්බන්ධයෙන් ඒ පැහැදිලිතාව ගොඩනගා ගත යුතු එකක්. ඒ නිසා ඒ චරිත ගැන ඉතා හොඳ විශ්ලේෂණයක් ලිවීමට පෙර මා තුළ තිබිය යුතු වෙනවා. කෞශල්‍ය: දැන් මේ විදිහට සැලසුම් කළ ආකාරයටම ලිවීමේ ක්‍රියවලිය තුළ දේවල් සිද්ධ වෙනවද එහෙමත් නැත්නම් ඔබ අපේක්ෂා නොකළ වෙනස් වීම් සිදු වෙනවද? ජයසේකර: අපේක්ෂා නොකළ දේවල් අනන්තවත් සිද්ධ වෙනවා ලිවීමේ ක්‍රියාවලිය තුළ. නමුත් මං හිතන දෙයක් තමයි ලේඛකයන්ට අදාළ විවිධ විධි ක්‍රම තියනවා. මටත් තියනවා මට අනන්‍ය වූ විධික්‍රමයක් මේකට මුහුණ දෙන්න. ඒක තමයි මගේ ලියවිල්ලක් තුළ ලොජිකල් ෆ්ලෝ එකක් තියෙන්න ඕන කියන එක. මේ තාර්කික ගලායාම, ආගමික අර්ථයෙන් කිව්වොත් හේතු ඵල සම්බන්ධය. මං හරිම කැමතියි මේ ලොජිකල් ෆ්ලෝ එකට, ඒක නැති තැන් වල මං ඒක හැමවිටම හදල ගන්නවා. දැන් අපි දන්නවා, මාර්කේස් හෝ මුරකාමී වැනි ලේඛකයන්ට ඔවුන්ගේ විධික්‍රම අනුව මේ තාර්කික ගලායාම කියන එක ඒ තරම් වැදගත් නැහැ. නමුත් අපි හෙමිංවේ වැනි ලේඛකයෙක් ගත්තොත් එතෙන්දි තාර්කික ගලා යාම වැදගත්. ඔබේ ප්‍රශ්නයට නැවත ආවොත් මට කියන්න තියයෙන්නේ ලිවීමේ ක්‍රියාවලිය තුළ මම කලින් සැලසුම් නොකළ දේවල් අනන්තවත් සිද්ධ වුණත් මේ දේවල් නවකතාවට ඇතුල් වෙන්නේ අර තාර්කික ගලායාමේ ක්‍රමවේදය අර්බුදයට නොයන විදිහට කියන එකයි. කෞශල්‍ය: නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ මේ ලිවීමේ කාලය ගත වෙන්නේ කොහොමද? ජයසේකර: මම අගනුවරින් දුරබැහර ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මගෙ ජීවිතේ ගතවෙන්නෙ අගනුවර ජීවත්වෙන කෙනෙකුට වෙනස් විදිහට. මෑත කාලෙ ගත්තොත් දවසෙ පැය විසිහතරම මං ගෙදර තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් නම් මම කියවන්න විශාල කාලයකුත් ලිවීමට මඳ කාලයකුත් ගත කරන කෙනෙක්. මං ලියන්නේ කම්පියුටර් එකෙන්. මේ දවස් වල මම ලියන්නේ ඉංග්‍රීසි නවකතාවක්. අද පාන්දර හතරෙ විතර ඉඳන් උදේ හත හමාර වගේ වෙනකං මං ලිව්වේ එක ඡේදයයි. සිංහලෙන් ලිව්වත් මෙහෙම තමයි. මං ඉතාම හෙමින් ලියන කෙනෙක්. පාසල් ශිෂ්‍යයෙක් රචනාවක් ලියනව වගේ සීග්‍රයෙන් මට ලියන්න බැහැ. මම ලියන ගමන් ම සංස්කරණය කරනවා. මේකත් එක්ක ලිවීම තවත් මන්දගාමී වෙනවා. කතාවේ නොගැලපීම් තියනවාද, තාර්කිකව ගලායනව ද මේ දේවල් පරීක්ෂා කරමින් තමයි ලියන්නේ. හැබැයි ලියල ඉවර වුනාට පස්සෙ මේක නවකතාවක් වෙලා කියල මට දැනෙනවා නම් මං තව එක පාරක් කියවල වැඩේ අවසන් කරනවා. මං හිතන්නේ මේක මගෙ අඩුපාඩුවක්. හැබැයි මං හිතන්නෙ දැන් මගේ ශ්‍රමය මේ වෙනුවෙන් යෙදවිලා අවසන්. මේක තවත් සංස්කරණය කරන්න නං ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන වල වගේ සංස්කාරකවරු අවශ්‍යයි. ලංකාවෙ අපිට එහෙම නැති එක විශාල අඩුවක්. මං දැඩිව විශ්වාස කරන දෙයක් තමයි ලියල ඉවර වුණාට පස්සෙ සංස්කාරකට දෙන්න ඕන පූර්ණ හිමිකමක් අවශ්‍ය පරිදි දේවල් කපන්න සහ අලුත් දේවල් යෝජනා කරන්න. මට මතක හැටියට ෂෙහාන් කරුණාතිලක 'සෙවන් මූන්ස්' කෘතිය ගැන කියල තිබුණා එහි මුල් පිටපතේ තිබුණු පිටු මොනතරම් අඩු වුණා ද කියල මුද්‍රණය කරන පිටපතට එනකොට. මේ ආකාරයේ විධිමත් සංස්කරණයක් අපිට ඉතාම අවශ්‍යයි. නමුත් ලංකාවේ ලේඛකයෝ මං අහල තියනවා මේකට ඒ තරම් කැමති නැහැ. අනික් අතට ලෝකය තුළ නවකතා සංස්කාරකවරු කියන්නේ සාහිත්‍ය ඉතා හොඳින් දන්න, සමකාලීන සාහිත්‍යය ගැනත් සාහිත්‍යයේ විවිධ ප්‍රවණතා ගැනත් නවකතා ලිවීමේ තාක්ෂණය ගැනත් මේ හැම දෙයක් ගැනම සමහර වෙලාවට නවකතාකාරුවටත් වඩා අවබෝධයක් තියන කෙනෙක්. කෞශල්‍ය: අවසාන වශයෙන් මම කැමතියි ඔබගෙන් අහන්න ලිවීම ඔබ විඳින හැටි ගැන? ජයසේකර: මම ඔබට කලින් කිව්ව වගේ මම වැඩිපුර කැමති කියවන්න. කියවීම නිසා තමයි මම ලේඛකයෙක් වුණේ. මම ඇත්තටම නවකතාකරුවෙක් වෙන්නේ මගෙ වයස අවුරුදු හැට වුණාට පස්සෙ. ඊට පෙර ඓතිහාසික ලිපි ලියල තිබුණත් නවකතා ලියල තිබුණේ නැහැ. ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින් වගේ ලේඛකයන් ලිවීම පටන් ගන්නෙත් වයස් ගතවෙලා. ඔහු ගණිතඥයෙක්. ඔහුගෙ කෘති වලත් ඉතාම පැහැදිලිව පේන දෙයක් තමයි ලොජිකල් ෆ්ලෝ එක. මමත් ගණිතයට කැමති කෙනෙක්. මම ගුරුවරයෙක් හැටියට ඉගැන්නුවෙත් ගණිතය. මේ නිසා මාත් ඉතාම කැමති දෙයක් තමයි මේ තාර්කික ගලායාමක් සහිතව ලියන එක. ඒ ආකාරයට ලිවීම මට විශාල තෘප්තියක් ලබා දෙනවා. මේ ආකාරයට පී.බී. ජයසේකරගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඔහුගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත. ඔහු සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙලිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි. මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ තවත් සුවිශේෂී නවකතාකරුවෙකු වන ආරියවංශ අබේසේකර යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ | සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්දේ උණුසුම කෙමෙන් මැකී යද්දී අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් උණුසුමක් මතු වෙමින් තිබේ. ඒ, සූර්ය මංගල්‍යය වෙනුවෙන් මීට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය වූ ගීතයක් විකෘති කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ. තුන් හෙළේ හැඩ අලුත් කරන් එන්නෙ අවුරුදු කුමරු බොලන් සූරිය මංගල්ලේ... සූරිය මංගල්ලේ... යනුවෙන් එම ගීතය ආරම්භ වේ. කෙසේ වෙතත්, මෙම ගීතයේ පද විකෘති කර, එම පද වෙනුවට අසභ්‍ය වචන පද පෙරළා එම තනුවට අනුව ම ගායනා කළ වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කර තිබිණි. 'මෙවැනි නොමනා දේවල් නතර කළ යුතුයි' - රෝහණ බැද්දගේ මෙම ගීතය විකෘති කර ගායනා කර, සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් එම ගීතයේ මුල් ගායන ශිල්පියා වන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ කනස්සල්ලෙන් පසු වෙයි. ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි දේ කිරීම හරහා ගායකයාට, සංගීත නිර්මාණ ශිල්පියාට සහ පද රචකයාට පමණක් නොව එම ගීත රස විඳින රසිකයින්ට ද අසාධාරණයක් සිදු වන බව ය. "මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. ඒක නිර්මාණකරුවන්ට විතරක් නෙවේ රසිකයින්ටත් කරන අසාධාරණයක්. ඒ නිසා මේ වගේ දේවල් නතර කරන්න පියවර ගත යුතුයි. මීට කලින් මගේ 'මල්සරා' ගීතය ඇතුළු ගීත දෙකක් විකෘති කරලා සංගීත සංදර්ශනවල ගායනා කරලා තිබුණා. මම ඒවාට අධිකරණයට ගිහින් වන්දි ගත්තා. මේ ගීතයටත් ඒ වගේ වන්දි ගන්න පුළුවන්. ඉදිරියේදී මේ වගේ දේවල් නොවෙන්න නිසි ක්‍රියාමාර්ග ගන්නවා නම් ගොඩක් හොඳයි," රෝහණ බැද්දගේ පැවසීය. තනු නිර්මාණය කළ සහන් රන්වලගේ අදහස මෙම ගීතයේ තනු නිර්මාණය කළ සහන් රන්වල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගීතයක පද විකෘති කිරීම ගීතයේ හිමිකරුවන්ට කරන අසාධාරණයක් වන අතර, රසිකයින් ඇතුළු සියලු දෙනාගේ හිත් රිදවීමක් ඉන් ඇති විය හැකි බව ය. කෙසේ වෙතත්, මීට පෙර ද මෙවැනි ගීත විකෘති කිරීම් සිදුව ඇති අතර, තමන් එවැනි දේ ගැන වැඩි අවධානයක් නොදක්වන බව ද ඔහු සඳහන් කළේ ය. "ගීතයක පද විකෘති කරන එක අනුමත කරන්න බෑ. ඒ වගේ ම ඒ වගේ දෙයක් කරලා සමාජ මාධ්‍යවල පළ කිරීමත් වැරදි වැඩක්. ඒත්, මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. මම නම් ඔය දේවල් වැඩිය ගණන් ගන්නෙ නෑ. මොක ද, ඒවා එනවා යනවා, මිනිස්සුන්ට ඒවා වැඩි කල් මතක හිටින්නෙ නෑ. මුල් නිර්මාණය රස විඳින කෙනා ඒක රස විඳිනවා," සහන් රන්වල පැවසීය. මේ අතර, සෑම ජාතියක් ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සහ ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් පැල්පොළ විපස්සි ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝ නායක පැල්පොළ විපස්සි නාහිමියන් පවසා තිබිණි. සංස්කෘතික උරුමයන් විනාශ කිරීමට ගන්නා උත්සහයන් මැඩ පැවැත්විය යුතු බව ද උන් වහන්සේ පවසති. 'නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා' - සංස්කෘතික කටයුතු ඇමති අදාළ ගීතය විකෘති කළ සහ එය සමාජ මාධ්‍යවල පළ කර පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කිරීමට තමන් උපදෙස් දුන් බව ය. "මේ වගේ දේවල් විනෝදයට කරලා කිහිප දෙනෙක් අහනවා වගේ නෙවෙයි, සමාජ මාධ්‍යවල පළ කරන එක. ඒකෙන් නිර්මාණකරුවන්ට වගේ ම රසිකයින්ටත් අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත, ඔන්ලයින් ආරක්ෂණ පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි ඒ ගැන ක්‍රියාත්මක වෙනවා." 'සිවිල් සහ අපරාධ වගකීම යටතේ පැමිණිලි කළ හැකියි' - ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් මෙන් ම අපරාධ වගකීම යටතේ පැමිණිලි කළ හැකි බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක පැවසීය. ඇය ප්‍රකාශ කළේ, මෙවැනි සිද්ධියකදී බුද්ධිමය දේපළ යටතේ නඩු පැවරීමකින් වරදකරු වුවහොත් දඩ මුදලක් මෙන් ම සිර දඬුවමක් ද නියම කළ හැකි බව ය. "මහේස්ත්‍රාත් අධිකරණයේ බුද්ධිමය දේපළ යටතේ පැමිණිල්ලකින් වරදකරු වුණොත්, රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම දඩයක් නියම කරන්න පුළුවන්. ඒ වගේ ම, මාස 6ක සිර දඬුවමක් නියම කරන්නත් පුළුවන්. නැත්නම් ඒ දෙක ම නියම කරන්නත් පුළුවන්. ඒ වගේ ම, සිවිල් වගකීම යටතේ පැමිණිල්ලක් කළොත් අගතියට පත් පාර්ශවයට තමන්ට සිදුවුණ හානිය අනුව වන්දි මුදලක් ඉල්ලා සිටින්නත් පුළුවන්," ගීතාංජලී රණවක පැහැදිලි කළා ය. මේ අතර, මීට පෙර වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය අළලා අසභ්‍ය වචන ඇතුළත් කැසට් පටයක් නිර්මාණය කර තිබූ අතර, ඉන්ද්‍රාණි පෙරේරාගේ ‘සුදු අසු පිට නැගලා’ වැනි ගීතවලට වෙනත් වචන යොදා ගී සකසා තිබිණි. කෙසේ වෙතත්, ඒවා සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ නැත. සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් මේ අතර ඉහත සිදුවීමට පාදක වූ ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය. ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය. මෙම නිලධාරියා වරදක් සිදු කර ඇති බවට අධිකරණය මගින් තහවුරු වුවහොත් ඊට අදාළව පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය. ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සුරාබදු නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (අප්‍රේල් 17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. සැකකරු තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. |
'මම ලියන හැටි' : නිශ්ශංක විජේමාන්න | නිශ්ශංක විජේමාන්න යනු සමකාලීන සිංහල සාහිත්‍යය තුළ කිසිසේත්ම මඟහැර යා හැකි නවකතාකරුවෙකු නොවේ. ඔහු වඩාත් සම්භාවනාවට පත් වී ඇත්තේ කෙටිකතාකරුවෙකු ලෙස වුවත් 'වැලන්ටයින් කුමාරයා' නවකතාවෙන් පටන් ගෙන 'තාරා මගේ දෙව්දුව' , 'හඳ පළුව තනි තරුව' හරහා 'කඳ අරනි' දක්වා ඔහු අතින් ලියවුණු නවකතා තේමාත්මක සහ ආකෘතික විචිත්‍රත්වයකින් අනූන සුවිශේෂී කෘති ලෙස හැඳින්විය හැකිය. නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුනෙමි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම මුලින්ම ඔබගෙන් අහන්න කැමැතියි නවකතාවක් ලිවීමේ සමාරම්භක මොහොත ගැන? නිශ්ශංක: මම ලියපු නවකතා සියල්ලම ගත්තොත් නවකතාවේ ආරම්භයට ගැලපෙන කොටස ලියන්නේ අවසානයේ. මගෙ පළවෙනි නවකතාව වැලන්ටයින් කුමාරයා ගත්තොත් ඒක මම ලියන්න පටන් ගත්තේ මැද්දෙන්. මොකද ඒකෙ ආකෘතිය තුළ ඒ කොටස් වලට ස්වායත්ත පැවැත්මක් තියනවා. එක විවිධ ආකාරයට පෙළ ගැස්විය හැකියි. 'කඳ අරනි' වගේ නවකතාවක් ගත්තොත් ඒක ලිවීම පටන් ගන්නේ මුලින්. මෙතෙන්දි ලිවීම පටන් ගන්න තැන තීරණය වීමට ඒ කෘතියේ ආකෘතිය බලපානවා. කොහොම නමුත් කෘතියට ප්‍රවේශ වන සමාරම්භක ඡේදය හෝ කොටස මගේ හැම නවකතාවකම වගේ මම ලියන්නේ අවසානයේ. කෞශල්‍ය: ලිවීම ආරම්භ කරන අවස්ථාවෙදි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? නිශ්ශංක: සීයයට සීයක්ම දැනුවත් කියල ඕනෙ නම් කියන්න පුලුවන්. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලිවීමට පෙර ඒ නවකතාවට අදාළව ලිපි ගොනුවක් විවෘත කරනවා. ඒකෙ තියනවා මේ නවකතාව වෙනුවෙන් මම කරන හැදෑරීම. ඒ වගේම චරිත සහ සිදුවීම් වලට අදාළ විස්තර. දැන් මම අවුරුදු විස්සක් විතර තිස්සේ එක් නවකතාවක් වෙනුවෙන් හැදෑරීමක් කරනවා. ඒක ලියන්න පටන් ගත්තට මට හිතුන තවමත් මම ලියන්න සූදානම් නැහැ කියල. මම ලියපු පරිච්ඡේද නමයක් වරක් මම ගිනිබත් කළා. මොකද මට අලුතෙන්ම ඒක ලියන්න ඕන කියල හිතුන නිසා. පස්සෙ නං හිතුන එහෙම කරපු එක මෝඩ වැඩක් කියල. නමුත් මට අවශ්‍ය වුණේ ඒක ලියවිලා තිබුණු විදිහට වඩා වෙනස්ම ආකාරයකට ඒක ලියන එක. මේ විදිහට නවකතාවක තේමාව වගේම ආකෘතියට අදාළ ගැටලු තියනවා විසඳගත යුතු. ඒ නිසයි මම කිව්වෙ ලිවීම පටන් ගන්න මොහොතෙදි මම සැළකිය යුතු තරම් ලියන්න යන නවකතාව ගැන දැනුවත් කියල. මොකද මේ හැම දෙයක්ම අතිශය තීරණාත්මක ලෙස නවකතාවක් සම්බන්ධයෙන් වැදගත්. චරිතයක බාහිර ස්වරූපයට අදාළ ඉතා සියුම් තොරතුරු වැනි දේ වගේම නවකතාව කියන ආකාරය මොකද්ද කියන එක දක්වා සැලකිය යුතු තරම් දේවල් තියනවා අවදානයට ලක් කළයුතු. කෞශල්‍ය: ඔබ නවකතාවෙ ආකෘතිය ගැන විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක්. ඒ ගැන යමක් කියන්න පුලුවන් ද? නිශ්ශංක: මෙතෙන්දි මං හිතනවා මට චිත්‍ර ශිල්පියෙක් හැටියට චිත්‍ර කලාවේ බලපෑමත් තියනවා මේ ආකෘතිය ගැන උනන්දුව පිටුපස කියල. සමහර ලේඛකයන්ට වගේ මට කතාවේ තේමාවත් එක්කම ඒක ලියන්න ඕන ආකෘතිය එන වාසනාව හෝ අවාසනාව නැහැ. මට ආකෘතිය හොයන්න සිද්ධ වෙනවා. මං විශ්වාස කරනවා පාඨකයෙක් හැටියට හිතන කොටත් එකම ලේඛකයාගේ කෘති කීපයක් කියවන කොට සමහර විට ඉක්මනින් දැනෙනවා මේ ලියල තියෙන්නෙ මීට පෙර ලියපු ආකාරයටම තමයි කියන එක. මේ නිසා මම උනන්දු වෙනවා පිකාසෝ වගේ ආකෘති අලුතෙන් හොයන්න. මගෙ ඔලුවට විවිධ ආකාරයන් එනවා. ටෝච් එකක් අල්ලගෙන යන කෙනෙක්ද? ගමන් මාර්ගයක පේන දර්ශනද? එහෙම නැත්තං බර්ඩ්ස් අයි පර්ස්පෙක්ටිව් එකක් ද මෙන්න මේ වගේ ආකෘති සිය ගානක් අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ. කෞශල්‍ය: දැන් මේ ආකාරයට ලිවීම ආරම්භ කලාට පස්සෙ කොහොමද ඔබේ කාලය ගත වෙන්නෙ? නිශ්ශංක: දැන් මාකේස් 'සියක් වසරක හුදෙකලාව' ලියන කොට එයා හිතුවෙ නැහැනෙ ගෙදර කන්නෙ බොන්නෙ කොහොමද කියන එක ගැන. ඒවා බැලුවේ මර්සිඩීස්, එයාගෙ බිරිඳ. මාකේස්ට ඒව ගැන සිහියක් තිබුණේ නැහැ. නමුත් අපිට ඒ වගේ ලියන්න බැහැ. අපිට සිද්ධ වෙනව ගෙදර දොර දේවල් වලට මැදිහත් වෙන්න. නමුත් ලිවීමට ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපේ ගෙදර උඩුමහලේ මම ලියන තැනට ගිහින් ලියනවා. මම කැමතියි එක දිගට ලියන්න ලැබෙනවා නම්. මොකද ලියාගෙන ගිහින් දවස් කීපයක් ඒක කැඩුනම තරමක් අපහසු වෙනවා නැවත කෘතියේ විවිධ දේවල් අතර අන්තර්-සම්බන්ධය සොයා ගන්න. 'තාරා මගේ දෙව්දුව' සහ 'හඳ පළුව තනි තරුව' කියන නවකතා ලියද්දි මට මෙහෙම එක දිගට ලියන්න පහසුකම තිබුණා. මගේ පුස්තකාලයාධිපතිනි, මගෙ මිනිබිරී සසින්දිගෙ ආදරණිය බාධාවන් පමණයි තිබුණේ. මේ කාලෙ ඉතින් උදේ හතට විතර පටන් අරන් දවල් දොළහ විතර වෙනකන් ලියනවා. ඊට පස්සෙ ගෙදර යම් යම් වැඩ එහෙම කරල නැවත රෑ අටට විතර පටන් අරන් පාන්දර එක විතර වෙනකන් ලියනවා. මම ඉතාම හෙමින් ලියන්නෙක්. මගෙ තියෙන එක දුර්වලතාවක් හෝ ප්‍රබලතාවත් තමයි ලියන දේවල් නැවත නැවත කියවීම සහ නැවත ලිවීම. ඉතින් මේ විදිහට මුළු පොතම ලියල ඉවර වුනාට පස්සෙ මම යම් කාලයක් ඒක පැත්තකින් තියනවා. මොකද මේක ලියල ඉවර වුණාට මේක මගෙ ඇතුළේ තවදුරටත් පැසවනවා. ඒකත් එක්ක මම නැවත බලනකොට මට දැනෙනවා තවත් ඇතුළත් කල යුතු දේවල්. දැන් 'කඳ අරනි' නවකතාව එහෙම කියෙව්වම මට දැනුණ කෘතියේ තියන පාලුවක්. එතකොට මම කරන්නේ තව දේවල් එකතු කරනවා. මේ විදිහට මම තුන් වරක් විතර කෘතිය සංස්කරණය කරනවා. මේ හැම වරම අලුත් පිටපතක් ලියනවා. නමුත් කෙටිකතා වලදි නං එකවරම ලියවෙන කෙටිකතා තියනවා. ඒක හරිම ප්‍රීතිමත් අත්දැකීමක්. හදන්න ඕනෙ කියල හිතුණත් මම හදන්නෙ නැහැ ඒ වගේ කෙටිකතා. කෞශල්‍ය: නවකතාකරුවෙක් හැටියට ඔබේ පැවැත්ම ගැන ඔබට යමක් කියන්න පුලුවන්ද? නිශ්ශංක: ලිවීමට තියන ලාලසාව ගොඩනැගෙන්නෙ කියවීමෙන්. මම ගොඩක් කුඩා කාලේ කියවීම පටන් ගත්ත කෙනෙක්. පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා පස්සර සෙන්ට්‍රල් එකට ගිහාම මට තිබුණු එකම ඉලක්කය තමයි දහයේ පන්තියට යන කොටම පුස්තකාලේ තියන ඔක්කොම පොත් කියවල අවසන් කරන එක. ඒ වගේම මම එක්සයිස් පොතක මේ කියවන පොත් ගැන විස්තරත් ලිව්ව. අපේ තාත්තා, මහප්පලා දිනපොත් ලියපු නිසා මටත් ඒ භාවිතය ආවා. මම ලියපු දිනපොත් සටහන් කියනවනකොට මට දැනුණා ඒව එදිනෙදා විස්තර ඉක්මවා ගිය ප්‍රබන්ධ ලක්ෂණ සහිත ඒව කියන එක. මොකද කියවීමෙදිත් මම වඩාත් ආශක්ත වුණේ විචිත්‍ර ලියවිලි වලට. මේ විදිහට තමයි කියවීමෙන් ලිවීමට තියන ආශාව රෝපණය වෙලා වර්ධනය වෙන්නේ. ඊට පස්සෙ ලිවීම මගෙ ප්‍රමෝදය බවට පත් වෙනවා. හැබැයි ඒක මගේ ප්‍රමෝදය විතරක් නෙමෙයි. ඒක විසින් කියවන්නාගේ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට බලපානවද කියන එක පිළිබඳවත් මම උනන්දු වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා කියල දැනෙන කොට මට ඒ ගැන දැනෙන සතුටකුත් මෙතන තියනවා. නිශ්ශංක විජේමාන්න නම් වූ විශිෂ්ට ලේඛකයාගේ නිර්මාණ කියවමින් අප විස්මයට පත් වන විට ඒ විස්මය නිර්මාණය කරන්නට වචන සහ ආකෘති සමග අනුරාගී ලෙස ක්‍රීඩා කරන ඔහු ගැන ද දැන් අපට පරිකල්පනය කළ හැකිය. එසේම නවකතාකරුවෙක් ලෙස ඔහු සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. මීලඟ සතියේ සිය ලේඛන ජීවිතයේ ඇතුලාන්තය අප වෙත නිරාවරණය කරනු ලබන්නේ අපට සිටින විශිෂ්ට නවකතාකරුවෙක් වන පී. බී ජයසේකරයි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
'මම ලියන හැටි' : තරංගනී රෙසිකා ප්‍රනාන්දු | තරංගනී රෙසිකා ප්‍රනාන්දු නවකතාකාරියක ලෙස අවදානයට පාත්‍ර වන්නේ 'දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය' නවකතාව සමගින් ය. ‘ජේරුසලම් දූවරුණි’ යනු ඇගේ දෙවන නවකතාව යි. සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය, දේවධර්මය සහ ලෞකිකත්වය අතර දෝලනය වන නව සෞන්දර්යයක් නවකතාවට හඳුන්වා දෙන ඇය සමකාලීන සිංහල සාහිත්‍යය තුළ සිටින සුවිශේෂී ලේඛිකාවක් ලෙස සැලකිය හැකිය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම ඔබගෙන් අහන්න කැමැතියි ඔබේ නවකතා වල සමාරම්භක මොහොතට ඔබ මුහුණ දුනුනු ආකාරය ගැන. තරංගනී: දැන් මගේ පළමු නවකතාව ගත්තොත් මේක කාලයක් තිස්සේ මගෙ හිතේ වැඩකරපු එකක්. යුද්ධයේ අවසාන කාලය තුළ අපි දැක්ක මොන තරම් වේගයෙන් මිනිස්සුන්ව දේශද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් හැටියට නම් කෙරුණ ද කියන එක. අපි අතරම හිටිය සමහර අය මේ විදිහට දේශද්‍රෝහීන් හැටියට නම් කෙරුණා විතරක් නෙමෙයි සමහර අය අතුරුදන් වුණා, ඝාතනය කෙරුණා. සමහරුන්ට රට අතහැර යන්න සිද්ධ වුණා. සමහරු හැමදේම අතහැරල සමාජයෙන් කොන් වෙන තැනට පත් වුණා. හැබැයි මම දැක්ක විදිහට මේ දේශද්‍රෝහීන් විදිහට නම් කෙරුණේ රටට, මනුෂ්‍යත්වයට ගොඩක් ආදරය කරන මිනිස්සු. මේක තමයි මූලික වශයෙන් මේ නවකතාව සම්බන්ධයෙන් මට තිබුණු රාමුව. නමුත් ඉන්පසුව 'විමුක්ති දේවධර්මය' පිළිබඳ අදහස් වලින් මේක යම්තාක් දුරකට හැඩ ගැහුණා. දැන් උදාහරණකට ගත්තොත් මේ නවකතාවට සිස්ටර් කෙනෙක් එකතු වෙන්න බලපාන්නෙ මේ කාලේ මට සිස්ටර්ස්ලගෙ ඥාණ කාන්තියකට සම්බන්ධ වෙන්න අවස්ථාවක ලැබීම. මේක සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි. එතෙන්දි මං ඒ අයත් එක්ක ගත කරපු කාලය, අපි කරපු අධ්‍යයනයන්, එකට බලපු චිත්‍රපට, අපට ලැබෙන බයිබල් පාඨ එක්ක කරපු කතා බහ මේ දේවල් මේ නවකතාවෙ තවත් තලයක් ගොඩනඟන්න බලපානවා. කොහොමටත් මගෙ පවුල ගත්තොත් තද කතෝලික පසුබිමකින් එන එකක්. හැබැයි මම මගෙ පවුලෙ අය වගේ වතාවත් කරමින් ආගම අදහන කෙනෙක් නෙමෙයි. නියමිත ආකාරයට පල්ලියට ගිහින් යාඥා කරන එක මගෙ අතින් තවදුරටත් සිද්ධ වෙන්නෙ නැහැ. මං හිතන්නෙ මගෙ එක්තරා හැරවීමක් සිද්ධ වෙන තැනක් හැටියට මට සලකන්න පුලුවන් කිතුසර කණ්ඩායමත් එක්ක වැඩ කරන්න පටන් ගැනීම. කිතුසර සංවිධානය කියන්නෙ 88/89 කාලෙ විවිධ අභියෝගයන්ට මුහුණ දීල ජීවිතය ගලවගත්ත තරුණ පිරිසක්, දැන් අපි ඉදිරියට ජීවත් වෙන්නනේ කොහොමද, මොකද්ද කරන්නෙ කියන එක වටා කරන සංවාදයක් එක්ක තමයි මේක බිහිවෙන්නේ. පසුකාලීනව උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වුණත් ඔවුන් ඉතා ප්‍රගතිශීලී ස්ථාවරයක් දැරුවා. මේක ලංකාවෙ කතෝලික සභාව ඇතුලෙ තියෙන විකල්ප සංවිධානයක්. කතෝලික විමුක්ති දේවධර්මයට මගේ නැඹුරුතාව ඇතිවෙන්නෙ මේ සම්බන්ධයත් එක්ක. විමුක්ති දේවධර්මය කියන්නෙ කතෝලික ආගම පීඩිතයාගේ විමුක්තිය අරමුණු කරගත් ආගමක් කියන එක මත පදනම් වුණු අදහස් පද්ධතියක්. මේක විසිනුත් මගේ සාහිත්‍ය භාවිතය ඉතාම බරපතල විදිහට සකස් කරනවා කියන එක කියන්න ඕන දෙයක්. මොකද මේ කාලෙ අපි අතර කතාබහක් ඇති වෙනවා ලංකාවෙ කතෝලික සාහිත්‍යයක් තිබුනට ලංකාවෙ කතෝලික ලේඛක හවුලක් තිබුණට විමුක්ති දේවධර්මය පිලිබඳ සාහිත්‍යයක් නැහැ කියන එක. මං හිතන්නෙ මම නවකතාකරණයට එලඹෙන කොට මෙන්න මේ අඩුව පිලිබඳ අදහසත් මට බලපෑවා. කෞශල්‍ය: මම තරමක අතුරු ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමැතියි. ක්‍රිස්තියානි ආභාෂය සහිතව නවකතා ලිවීම ඇතුළේ මේ නවකතා කිසියම් සීමා වීමකට ලක් වෙනවා කියල ඔබට හිතෙන්නෙ නැද්ද? තරංගනී: මං හිතන්නෙ අපි උනන්දු වෙන්න ඕන මේ නවකතා වල තියන විශ්වීයත්වය දිහා බලන්න. අපි මේවා කතෝලික නවකතා කියල නම් කළොත් එතනදි තමයි ගැටලුව ඇති වෙන්නෙ. මට ගොඩක් පාඨකයෝ මුණ ගැහිලා තියනවා ක්‍රිස්තියානි නොවන අය ඔවුන් මේ නවකතා වල තියන ඒ විශ්වීය ගුණය එක්ක සම්බන්ධ වුණු. අනිත් අතට ඔබට ඔය ප්‍රශ්නය එන තැන ගැනත් අපි ටිකක් කල්පනා කළ යුතුයි. දැන් මාර්ටින් වික්‍රමසිංහ 'බව තරණය' ලිව්වම; එහෙමත් නැත්තං සුනේත්‍රා රාජකරුණානායක හෝ ජයසේන ජයකොඩි වැනි කෙනෙක් බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් නවකතා ලිව්වම ලංකාව තුළ කවුරුවත් මේ ප්‍රශ්නය අහන්නේ නැහැ. නමුත් ක්‍රිස්තියානි දේවධාර්මික ආභාෂය සහිතව ලියන කොට ඒ ප්‍රශ්නය ඇහෙනවා. ඒක වෙලා තියෙන්නෙ නූතන සිංහල සාහිත්‍ය තුළ බෞද්ධ ආගම සහ සංස්කෘතිය ස්වභාවික වෙලා තියනවා. නමුත් අනෙකුත් ආගම් සහ සංස්කෘතීන් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස්. කෞශල්‍ය: ඇත්තටම මේක ඉතාම වැදගත් අදහසක්. මෙතෙන්දි සිහි කරන්න ඕන තව දෙයක් තමයි අපිට දැන් අමතක වෙලා තියනවා ලංකාවේ නූතන සාහිත්‍යය බිහිවෙන්න ක්‍රිස්තියානි භාවිතයන් දක්වපු දායකත්වයේ වැදගත්කම කියන එකත්. දැන් නැවතත් අපි අපේ මූලික සාකච්ඡාවට අවොත්, එතකොට ඔබ මේ නවකතාවේ පළමු වාක්‍යය ලියන්න ප්‍රවේශ වෙන මොහොත වෙනකොට ලියන්න යන නවකතාව ගැන සැලකිය යුතු තරම් දැනුවත් වෙලා ඉන්න බවක් තමයි පේන්නෙ ඔබේ කතාවෙන්. තරංගනී: ඔව්. ඇත්තටම ලියන්න පරිගණකය ඉදිරියේ වාඩි වෙන කොට මගෙ හිත ඇතුළේ මේ නවකතාව සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගිල තමයි තියෙන්නේ. මේක හිතේ වැඩෙමින් තියන කාලය ඇතුළේ මං ගාව තියනවා පරණ ඩයරි කීපයක් මං නොට් බුක්ස් හැටියට පාවිච්චි කරන. මට වැදගත් වෙයි කියල හිතන හැම දෙයක්ම වගේ මං සටහන් කරනවා. විශේෂයෙන්ම සිදුවීම් වලට අදාළ අවශේෂ කරුණු. අදාළ කාලයේ සිද්ධ වෙච්ච වැදගත් සමාජ දේශපාලන සිදුවීම්, සමහර පාරිසරික කරුණු වගේ දේවල්. උදාහරණයක් හැටියට මගේ පළමු නවකතාව ලියද්දි ඒකෙ ප්‍රධාන චරිත දෙක වන ආදිත්‍ය සහ සෙව්වන්දිගේ උපන් දින වල සිට ඒ කතාව දිගහැරෙන කාලය දක්වා සිද්ධ වුණු වැදගත් සමාජ දේශපාලන සිදුවීම් සටහන් කරපු චාට් එකකුත් තිබුණා. දැන් මගේ 'ජේරුසලම් දූවරුණි' නවකතාව ලියන්න සැලසුම් කරමින් ඉන්න කාලෙ ගත්තොත් මම ඒ දවස් වල ඊශ්‍රායලයේ හිටිය මගෙ මිතුරෙකුට කියල එහෙ සමහර තැන් වීඩියෝ කරල පවා ගෙන්න ගත්ත. මේකෙන් අදහස් වෙන්නෙ නැහැ. ඒ දේවල් ඒ ආකාරයෙන්ම නවකතාව තුළ ප්‍රකාශමාන වෙනවා කියල. නමුත් සැලසුම් කරන කාලය තුළ පරිකල්පනීය ගොඩනැංවීමට මේ දේවල් අතිශය වැදගත් වෙනවා. හැබැයි මම මේ දේවල් සටහන් කලාට චරිත ගොඩනැංවීම සහ සිදුවීම් පෙළ ගැහෙන ආකාරය ගැන සැලසුම් කරන්නේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් මගෙ පළමු නවකතාවෙදි මම එහෙම කළා. නමුත් ලියන ක්‍රියාවලිය ඇතුළේ මේ දේවල් සැලකිය යුතු තරම් වෙනස් වෙනවා. අපි මොනතරම් කලින් සැලසුම් කලත් ලිවීම ඇතුළේ අපි අපේක්ෂා නොකරන දේවල් හැමවිටම සිද්ධ වෙනවා. මගෙ දෙවන නවකතාව සැලසුම් වෙලා තිබුණේ නවකතා දෙකක් හැටියට. නමුත් අවසානයේ මේ කතා දෙක එකක් වෙලා තනි නවකතාවක් වුණා. මං හිතන්නෙ ලිවීම කියන ක්‍රියාවලිය ඇතුළේ තියන අසිරිමත් කමත් ඒකයි. දැන් පළමු වාක්‍යය ගැන කිව්වොත් ඇත්තටම මම පළමු වාක්‍යය ලෙස ලිවීමේ ක්‍රියාවලිය ආරම්භ කරපු ඒ කොටස් තියෙන්නේ නවකතා වල වෙනත් තැන් වල. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. කෞශල්‍ය: ඔබ ලියන හැටි ගැන ටිකක් කතා කරමුද? තරංගනී: මම සාමාන්‍යයෙන් ලියන්නේ පරිගණකයෙන්. මම නේවාසිකව ඉන්න තැන තමයි බොහෝ විට ලියන්නේ. ලියන තැනට වඩා ඇත්තටම මට වැදගත් වෙන්නේ නිදහස් කාලයක් තියන එක. ලියන්න පටන් ගත්තම එක දිගට දවස් දෙක තුනක්වත් වැඩ කරන්න පුලුවන් නම් ඒක මට ගොඩක් වැදගත්. නමුත් දිගටම එහෙම කරන්න ලැබෙන්නේ නැහැ. මේ අතර හිටිගමන් විදුලි කෙටුව වගේ එන අදහස් තියනවා ලිවීම පටන් ගත්තට පස්සේ. ඒවා සටහන් පොතක ලියල තියා ගන්නවා. මේ වගේ දේවල් නං සැලකිය යුතු තරම් එකතු වෙනවා. ඊට පස්සෙ සමහර දේවල් නවකතාවට එකතු වෙනවා. සමහර ඒවා එකතු වෙන්නේ නැහැ. මේ විදිහට අඛණ්ඩව ලිව්වෙ නැති වුනාට ලියන්න පටන් ගත්තට පස්සෙ නවකතාවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මම මේ විදිහට ලියාගෙන ගිහින් පළමු පිටපත අවසන් කළාට පස්සෙ මං කැමතියි යම් කාලයක් ඒක පැත්තකින් තියල තියන්න. ඊට පස්සෙ නැවත ඒකට ප්‍රවේශ වුනහම ඒකෙ සීමාවන් පේන්න ගන්නවා. මගෙ පළමු නවකතාව ගත්තොත් ඒක ලියා අවසන් කරල වසර තුනකට විතර පස්සේ තමයි මම නැවත සංස්කරණය කරන්නේ. මේ විදිහට සංස්කරණය කළාට පස්සෙ මුද්‍රණයට යාමට පෙර නැවතත් සංස්කරණය කිරීමක් සිද්ධ වෙනවා. මම ගොඩක් උනන්දුයි වාක්‍ය වල රිද්මය, වචන යොදල තියන ආකාරය වගේ දේවල් ගැන. ඒ කියන්නෙ භාෂාවේ කාව්‍යමය බව. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ කවියට මගේ තියන සමීපත්වය. කෞශල්‍ය: නවකතාකාරියක් හැටියට ඔබට ඔබේ පැවැත්ම ගැන දැනෙන්නේ කොහොමද? තරංගනී: දැන් ලංකාවේ වෘත්තීය ලේඛකයෝ ඉන්නවා, වෘත්තීය නොවුණත් ඉතා විශාල කාලයක් ලිවීම වෙනුවෙන් කැප කරන ලේඛකයෝ ඉන්නවා, මේ අය අතර මට දැනෙන්නෙ මං කම්මැලි ලියන්නියක් හැටියට. මට තවමත් ලිවීමට ඒ තරම් විශාල කාලයක් දෙන්න ලැබිල නැහැ. නමුත් මගේ ජීවිතය ඉදිරියට ගෙනියන අදිසි හස්තය හැටියට මට දැනෙන්නේ ලිවීම. අනෙකුත් බොහෝ දේවල් අතරේ මට හුස්ම දෙන්නෙ, මාව ඉස්සරහට තල්ලු කරන්නෙ, මට ගමනක් තියනවා කියල මතක් කරන්නේ ලිවීම කියල තමයි මට හිතෙන්නේ . එහෙම බැලුවම එක තලයකදි මගේ පැවැත්ම රඳා පවතින්නෙ ලිවීම මත තමයි. තරංගනී රෙසිකා ප්‍රනාන්දු නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සිංහල සාහිත්‍යයේ මගහැර යා නොහැකි සාහිත්‍යකරුවෙකු වන නිංශ්ශංක විජේමාන්න යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
සේනක බටගොඩ: 'අපි කවුරු ද?' ඇතුළු වාරණයට ලක්වූ රසික හදවත් පිනවූ ගීත 7ට කුමක් වෙයි ද? | සේනක බටගොඩ යනු ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයක ම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙකි. දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගත්, ඔහු ගැයූ ගීත 7ක් සම්බන්ධයෙන් අප්‍රේල් 03 වන දා වාරණ නියෝගයක් නිකුත් කෙරිණි. කොළඹ මහාධිකරණය විසින් එම වාරණ නියෝගය නිකුත් කළේ, 'අපි කවුරු ද', 'අපි සැනසිල්ලේ', 'රස්තා', 'අළු යට ගිනි', 'හීනවලට පණක් තිබෙනවා', 'හොඳ ම දේ' හා 'සැනසෙන්නම්' යන ගීත 7 සම්බන්ධයෙනි. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම වාරණ නියෝගය නිකුත් කළේ, ජනත් කුලතිලක නමැත්තෙකු විසින් ගොනු කළ නඩුවක් විභාගයට ගනිමිනි. ජනත් කුලතිලක සංගීත නිර්මාණයට දායක වූ බව කියන ගීත 7ක් වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවූ බවට වන චෝදනා යටතේ එම ගීත මින් ඉදිරියට ගායනා කිරීම වළක්වමින් ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරිණි. එසේ ම, ජනත් කුලතිලක නමැති පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශවයක් වෙත පැවරීම වළක්වමින් ද වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කර තිබිණි. පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණේ, අදාළ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝණය කළ නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපළ හිමිකම උල්ලංඝණය කරනු ලැබ ඇති බවත් ය. මෙම නඩුව 2024 අප්‍රේල් 16 වන දා යළි කැඳවීමට නියම කෙරිණි. 'ගීත නිර්මාණය කිරීමට බුද්ධිමය වශයෙන් දායක වුණා' - ජනත් කුලතිලක තමන් අදාළ ගීත නිර්මාණය කිරීම සඳහා බුද්ධිමය දායකත්වයක් ලබා දුන් බව සංගීත ශිල්පියෙකු වන ජනත් කුලතිලක පවසයි. ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන හෙයින් වැඩි දුර අදහස් පළ කළ නොහැකි බව ය. සේනක බටගොඩගේ කළමනාකරු පළ කළ අදහස් මේ සම්බන්ධයෙන් සේනක බටගොඩගේ පාර්ශවයෙන් අදහස් විමසීමේදී ඔහුගේ කළමනාකරු බීබීසී සිංහල සේවයට පැවසුවේ, "ජනත් කුලතිලක කළේ කී බෝර්ඩ් වාදනය කිරීම පමණක්" බව ය. එහෙයින්, අදාළ ගීත වෙනුවෙන් කර්තෘ හිමිකම් ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, අදාළ ගීත සඳහා පැනවුණු වාරණ නියෝගය මෙතෙක් ලිඛිතව තමන්ට ලැබී නොමැති බවත්, එය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය. ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනවලදී අදාළ ගීත ගායනා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. අදාළ ගීත 7ට කුමක් වෙයි ද? ශ්‍රී ලංකාවේ වත්මන් බුද්ධිමය දේපළ පද්ධතිය පාලනය කරනු ලබන්නේ, විවිධ ආකාරයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ ඒවායේ උපාර්ජනය, කළමනාකරණය සහ බලාත්මක කිරීම සඳහා විධිවිධාන සලස්වා ඇති 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගිනි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බුද්ධිමය දේපළ පනතට 2021 සහ 2022 වසරවල සංශෝධන දෙකක් බලාත්මක කර තිබේ. ඒ අනුව, ගීතයක අයිතිය පද රචකයා, ගායකයා සහ සංගීත නිර්මාණ ශිල්පියා යන පාර්ශව තුනට ම හිමි වන බවත්, එම පාර්ශව තුනට ම සම සේ කර්තෘ භාගය බෙදිය යුතු බවත් නියෝග කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක බීබීසී සිංහල සේවයට පැවසීය. ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය පවසන පරිදි, 'බුද්ධිමය දේපළ' සාම්ප්‍රදායිකව කොටස් දෙකකට බෙදේ. (1) නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර, වෙළඳ ලකුණු සහ සේවා ලකුණු. කාර්මික සැලසුම් සහ භූගෝලීය දර්ශක අන්තර්ගත කාර්මික දේපළ. (2) ශාස්ත්‍රීය හා කලාත්මක කෘති ආවරණය කරන ප්‍රකාශන අයිතිය ප්‍රාසාංගික කලාකරුවන්ගේ, ශාබ්දික පටිගත කිරීම් හෝ තැටිගත කිරීම් නිෂ්පාදකයන්ගේ සහ විකාශන සංවිධානවල අයිතිවාසිකම් සම්බන්ධිත අයිතිවාසිකම් හෝ සමීපස්ථ අයිතිවාසිකම්. මෙම නීති ප්‍රකාරව අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් වාරණ නියෝගයට අනුකූලව කටයුතු කිරීමට සේනක බටගොඩ පාර්ශවයට සිදු වන බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක පැවසීය. ඒ අනුව, අදාළ ගීත 7 ප්‍රසිද්ධියේ ගායනා කිරීම සහ ඉන් මුදල් ඉපයීම වාරණයට ලක් වනු ඇත. ඊට අමතරව, එම ගීත වෙනත් පාර්ශව වෙත පැවරීම ද නොකළ යුතු ය. "බුද්ධිමය දේපළ සම්බන්ධ නඩුවකින් පැමිණිලි පාර්ශවය ජය ගත්තොත්, ඔහු තමන්ට වූ අලාභය පෙන්වා දී ඇති ආකාරයට විත්තිකාර පාර්ශවය කර්තෘ භාගයක් පැමිණිලිකරුට ගෙවිය යුතු යි. ඒක තීරණය වෙන්නේ, පැමිණිලිකරු අධිකරණය ඉදිරියේ තහවුරු කරන මුදල් ප්‍රමාණය මත යි." රසිකයින්ට වන බලපෑම මෙම වාරණ නියෝගය අනුව නඩු විභාගය අවසන් වී තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ගීත සජීවීව රස විඳීමේ අවස්ථාව රසිකයින්ට අහිමි වනු ඇත. එම ගීතවලට ප්‍රිය කරන රසිකයෙකු ෆේස්බුක්හි පළ කර තිබූ අදහසක සඳහන් වූයේ, 'ඒ හැම සින්දුවක් ම ගොඩක් ලස්සන යි. ඒවා අපට ආයෙ අහන්න වෙන එකක් නෑ,' යනුවෙනි. කෙසේ වෙතත්, දැනට යූටියුබ් ඇතුළු මාධ්‍යවල පළ කර ඇති ගීත රස විඳීමට රසිකයින්ට බාධාවක් ඇති නොවනු ඇතැයි ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ ය. |
'මම ලියන හැටි' : අරුණ ප්‍රේමරත්න | පසුගිය දිනවල අරුණ ප්‍රේමරත්න වඩාත් ජනප්‍රිය වන්නේ ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ රචකයා ලෙස වුවත් ඔහු මේ වන විට පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වූ නවකතා දෙකක් ‘තරු විසුළ රැය' සහ ‘දවස් තුනක කතාවක්’ සිංහල සාහිත්‍යයට දායක කර ඇත. එසේම පරිවර්තකයෙක් ලෙස සිය සාහිත්‍ය ප්‍රවේශය සළකුණු කරන ඔහු අතින් විශ්ව සාහිත්‍යය තුළ වැදගත් කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දී ඇති බව ද අමතක කල නොහැකිය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගනන, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ කතාබහ ආරම්භ කරන්න මං මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? අරුණ: මම නවකතාවකට ප්ලොට් එකක් ආවම ලියන්න පටන් ගන්න කලින් ඒක මනසින් ගොඩනංවනවා. මේක පොඩි ක්‍රීඩාවක් වගේ දෙයක්. දේවල් එහා මෙහා කරමින් මං ඒක මනස තුළ නිර්මාණය කරනවා. මොන විදිහට ද චරිත එකතු වෙන්නෙ, මොන විදිහට ද අවසන් වෙන්නේ, ආකෘතික වශයෙන් මට මොකද්ද මේකෙ කරන්න පුලුවන් මේ වගේ දේවල් විවිධ විදිහට එහා මෙහා කරමින් මම බලනවා. මේක මට හරිම තෘප්තිමත් දෙයක්, ඇත්තටම ක්‍රීඩාවක් වගේම තමයි. ලිවීමටත් වඩා මම සමහරවිට සතුටු වෙන්නේ නවකතාවක් මනස තුළ ගොඩනංවන කාලය ඇතුළේ තමයි. මං පොඩි කාලෙ ඉඳන් ලියන එක ගැන අදහසක් නැතුවත් මේ විදිහෙ කල්පනා ලෝකවල ඉඳල තියනවා. එතනදිත් සිද්ධ වුණේ ලිවීමේ බලාපොරොත්තුවක් නැතුව කතන්දරයක් ඇතුලට යාමක් තමයි. ඒ නිසා ඒක කාලාන්තරයක් තිස්සේ මගෙ ජීවිතේට සම්බන්ධ භාවිතයක්. දැනටත් නවකතාවක් ලියන්න සුදුසු වස්තු බීජ කිහිපයක් ඔලුවේ වැඩ කරනවා. ඒවත් එක්ක නිරන්තරයෙන් මනස් ක්‍රීඩාවක මං නිරත වෙනවා. මේ ක්‍රීඩාව ඇතුළේ තමයි මට අහුවෙන්නේ මේක පටන් ගන්න ඕන කොතනින්ද, මේක ගලාගෙන යන්නෙ කොහොමද, මේකෙ ආකෘතිය මොකද්ද, මේක අවසන් වෙන්නෙ කොහොමද වගේ දේවල්. සමහර වෙලාවට මෙහෙම කරගෙන ඇවිල්ල ආපහු ඒක හොඳ නැහැ කියල හිතල මුල ඉඳන් මේ මානසික ගොඩනැංවීම කරනවා. යම් වෙලාවක මේ ක්‍රියාවලිය මට සෑහීමකට පත් වෙන තැනකට ආවම තමයි මම ලියන්න පටන් ගන්නෙ. බොහෝ වෙලාවට මේ වෙනකොට පළමු වාක්‍යයත් මගෙ ඔලුවට ඇවිත් තියෙන්නේ. මම පළමු වාක්‍යය ගැන විශේෂයෙන් උනන්දු වෙනවා. ඒක තමයි ඇන්ජින් එක වගේ නවකතාව ඉදිරියට ගෙනියන්න දායක වෙන්නේ. කෞශල්‍ය: දැන් මේ කාලය තුළ ඔබ කිසිම දෙයක් සටහන් තියා ගන්නෙ නැද්ද? අරුණ: නැහැ. කිසිම සටහනක් තියා ගන්නෙ නැහැ. කිසිම ආකාරයකින් අර මනස් ක්‍රීඩාව ඇතුළේ මම අකුරු පාවිච්චි කරන්නේ නැහැ. සටහන් තබා ගන්නව නම් ඒක කරන්නේ ලියන්න පටන් ගත්තට පස්සේ . ලියන්න ගත්තට පස්සේ අර මනස් ක්‍රීඩාව අවසන් වෙනවා. එතෙන්ට විචාර බුද්ධිය එන්න පටන් ගන්නවා. අපි ඇතුළේ ඉන්න විචාරකයාත් අවදි වෙන්න පටන් ගන්නවා. අර මනස් ක්‍රීඩාවෙදි ඒක දැනෙන්නේ නැහැ. ලියනවා කියන්නේ මං තව කෙනෙකුට දෙන දෙයක්. ඒ කියන්නේ මෙතෙන්දි මගේ පරිකල්පනීය පාඨකයාත් එතෙන්දි මගෙ ඉස්සරහ ඉන්නවා. නමුත් මනස් ක්‍රීඩාවෙදි මේ කවුරුවත් නැහැ. මං විතරයි ඉන්නේ. මේක අකුරු වලට පෙරලෙන තැනදි තමයි පාඨකයා මැවෙන්නේ. මේක මං හිතල කරන දෙයක් නෙමෙයි. නවකතා දෙකක් ලිව්වට පස්සේ මං මගෙ ක්‍රියාවලිය දිහා බලන කොට මට පේන දෙයක්. කෞශල්‍ය: දැන් මේ මනසේ ගොඩනඟන නවකතාව ලිවීම ඇතුළේ ඒ ආකාරයෙන්ම ලියවෙනවද? අරුණ: නැහැ එහෙම වෙන්නෙ නැහැ. සමහර දේවල් වෙනස් වෙනවා. අර පරිකල්පනීය පාඨකයා එක්ක සිද්ධ වෙන මගේ ගනුදෙනුවත් එක්ක දේවල් වෙනස් වෙනවා. මොකද මං හිතන්න ගන්නවා මගේ හිතේ ගොඩනැගුණු දේවල් තවත් කෙනෙකුට දැනෙන විදිහ ගැන. උදාහරණයක් හැටියට මම ගොඩනගල තියන සමහර සිදුවීම් වල පසුබිම් කතාව මං අවිඥානිකව දන්නවා වෙන්න පුලුවන්. නමුත් පාඨකයා ඒක දන්නේ නැහැ. අන්න ඒ වෙලාවට මට හිතෙනවා ඒ පසුබිම ලියන්න. මේ විදිහට පාඨකයා වෙනුවෙන් සමහර දේවල් එකතු කරන්න වෙනවා; සමහර දේවල් අයින් කරන්නත් වෙනවා. මෙතෙන්දි ඇත්තටම මගේ තෘප්තිය වෙන්නේ පාඨකයාගේ තෘප්තිය වෙන්න පුලුවන්. ඒක හරියට සම්භෝගය වගේ දෙයක්. අපි ලිංගික එක් වීමකදි අපේ සතුටේ විශාල කොටසක් රැඳී තියෙන්නෙ අනෙකා ගේ සතුට මත නේ. අපි තෘප්තිමත් වෙනවා වගේම අපි අනෙකා ගේ තෘප්තියෙනුත් තෘප්තිමත් වෙනවා. අන්න ඒ වගේ. එතකොට ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ පාඨකයා තෘප්තිමත් වෙයි කියල හිතන ආකාරයට මං මගේ හිතේ ගොඩනැගුණු දේවල් යම් සංස්කරණයකට ලක් කරනවා. මේකට විචාරක මිනුම් දඬු වගේ දේවල් අදාළ වෙන්නෙ නැහැ. ඒක ලිවීම තුළින්ම වෙන දෙයක්. මේ මනසින් හදා ගත්ත පාඨකයාත් එක්ක කරන ගනුදෙනුව තමයි මම ලිවීම කියල හිතන්නේ. ඔහු තෘප්තිමත් කිරීම මගේ වගකීමක් කියල මට හිතෙනවා. එතෙන්දි තමයි නිර්මාණය මගේ පෞද්ගලිකත්වයෙන් ගිලිහෙන්නේ. කෞශල්‍ය: දැන් මනසේ ගොඩනැගෙන නවකතාව සහ කොළයක වචන බවට පත්වෙන නවකතාව කියන මේ දෙක අතර පරතරය මොන වගේ එකක් ද? අරුණ: ලොකු පරතරයක් තියනවා කියල මට කියන්න බැහැ. මූලික හැඩය අනිවාර්යෙන් සමානයි. නමුත් චරිත වල සිදුවීම් වල යම් යම් වෙනස්කම් තියනවා. කොහොමත් ලිවීම පටන් ගත්තට පස්සෙ අර මානසික ක්‍රීඩාව අවසන් වෙලා යනවා. සාමාන්‍යයෙන් ලිව්වට පස්සේ මට මගෙ නවකතාවල සිදුවීම් සහ සමහර චරිත පවා එකවර මතකයට නගා ගන්න බැහැ. මට ඒව අමතක වෙලා යනවා. හිතල කරන දෙයක් නෙමෙයි. ඒක එහෙම වෙනවා. වෙන දෙයක් එතෙන්ට ආදේශ වෙනවා. මේක ටෙලි නාට්‍යය රචනයේදිත් මට වෙනවා. සමහර වෙලාවට ටෙලි නාට්‍යය විකාශය වෙද්දි මට මතක නැහැ මේව මම ලියපු දේවල් ද කියලවත්. නවකතාවක් ලියල අවසන් වුණු ගමන් නැවත කියවද්දි මට හිතුනු ආකාරය අනුව තමයි මම මේ ප්‍රශ්නයට උත්තර දුන්නේ. ඒ අනුව බලන කොට මට හිතෙන්නෙ ලොකු පරතරයක් නැහැ කියල තමයි. කෞශල්‍ය: අපි දැන් ටිකක් කතා කරමුද ලියන කාලය ගත වෙන හැටි ගැන? අරුණ: මං සාමාන්‍යයෙන් ලියන්නෙ පරිගණකයෙන්. වැඩි පුර ලියන්නෙ දහවල් කාලයට තමයි. රාත්‍රියට ලියන දේවල් ගොඩක් වෙලාවට මට වෙනස් කරන්න සිද්ධ වෙනවා. කොහොම වුනත් මගේ වැඩිපුර කාලය ගත වෙන්නේ ලිවීමට පෙර සිද්ධ වෙන මනසේ ගොඩනැංවීමට. නවකතාව ලියන්න පටන් ගත්තම සතියට දවස් තුන හතරක් වත් ඒක ලිවීමත් එක්ක ගත කරනවා. හැබැයි සමහර දවස් තියනවා කිසිම දෙයක් ලියවෙන්නෙ නැති. ඒ වගේ දවස් වලට මම බලෙන් ලියන්නෙ නැහැ. තෘප්තිමත්ව ලියවෙනව නම් විතරයි ලියන්නේ. කෞශල්‍ය: නවකතාවක සංස්කරණය කොහොමද සිද්ධ වෙන්නෙ? අරුණ: නවකතාව ලිව්වට පස්සෙ මගෙ අර මනස් ක්‍රීඩාව නතර වෙන නිසා මට ඒක දිහා තරමක් දුරින් ඉඳන් බලන්න පුලුවන් වෙනවා. ඒ නිසා ලිවීමෙන් පස්සේ කිහිප සැරයක් සංස්කරණය කරනවා. ඒකටත් මම සැළකිය යුතු කාලයක් ගන්නවා. මේකෙදි මං සිද්ධි මාලාවෙ යම් කිසි නොගැලපීමක් තියනවද, චරිත වල විකාශයේ යම් ගැටලු තියනවද වගේ දේවල් ගැන උනන්දු වෙනවා. ඒ වගේම වාක්‍ය රටාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. මං කැමතියි ධ්වනියක් එක්ක වාක්‍යයෙන් වාක්‍යයට යන කොට තියන රිද්මය පවත්වාගෙන යන්න. සමහර වෙලාවට මගෙ ළඟම ඉන්න කෙනෙකුට කියවන්න දීල ඒ අයගෙ අදහස් අර ගන්නවා. ඒවත් උදව් වෙලා තියනවා නැවත සංස්කරණයට. කෞශල්‍ය: මේ සංවාදය අවසාන කිරීමට මං ඔබෙන් අහන්නෙ ලිවීම ඔබ විඳින හැටි ගැන? අරුණ: එක කාලෙකදි තිර රචනා ලිවීම මගෙ වෘත්තිය බවට පත් වෙනවා. නවකතා ලියන්න මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇත්තටම මම නවකතාවට ප්‍රවේශ වෙන්නෙම තිර රචනයෙන් බිහිවන නිර්මාණ තුළ මට සම්පූර්ණයෙන්ම මගේ දෙයක් කියා ගන්න තියන අවකාශය අඩු වීමත් එක්ක. ටෙලි නාට්‍යය කියන්නෙ කර්මාන්තයක්, ඒකෙදි සම්පූර්ණයෙන් ප්‍රාග්ධනයත් එක්ක තියන සම්බන්ධයෙන් නිදහස් වෙන්න බැහැ. ඒ නිසා ඒක විසින් මගේ ලිවීම පාලනය කරනවා. ඒක වරදක් නෙමේ ඒක තමයි ඒ කර්මාන්තයේ හැටි. ඉතින් මගෙ බිරිඳයි දියණියයි එක්ක මගෙ හිත ඇතුළේ තියන දේවල් කතා කරන අවස්ථා තියනවා. ඒ දෙන්න තමයි මාව නවකතාවට යොමු කලේ ඇත්තටම. ඒ දෙන්න තමයි කිව්වෙ ඔයාගෙ දේකුත් කරන්න මේ අතරේ කියල. මොකද මං හිතන්නෙ මගෙ දෙයක් නොලිව්වොත් මට අමාරුවෙයි කියන එක ඒ ගොල්ලන්ට දැනෙන්න ඇති. ඉතින් නවකතා ලියන්න ගත්තට පස්සෙ මට දැනුන ඒකෙන් එක පැත්තකින් මාව නිදහස් වෙනවා; අනිත් අතින් ඒක ඉතාම තෘප්තිමත්. මට වෙළඳපල වටිනාකම වගේ දේවල් වල බලපෑමකින් තොරව මගේ දෙය කියන්න පුලුවන්. අරුණ ප්‍රේමරත්න නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද සමහර විට මේ කතාබහ දායක වනු ඇත. ලබන සතියේ අප හා එක් වන තරංගනී රෙසිකා ප්‍රනාන්දු යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ තවත් සුවිශේෂී නවකතාකාරිනියකි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
ලොවම රැවටූ ඩොලර් මිලියන ගණනක ව්‍යාජ කලා නිර්මාණ එකතුව | එක් කලා එකතුකරන්නෙකුගේ මරණය රුසියානු නූතන කලාවේ ව්‍යාජත්වයේ පරිමාණය හෙළි කළ ආකාරය මේ වීඩියෝවේ අන්තර්ගත වේ. |
'මම ලියන හැටි' : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | කවියෙකු ලෙස සම්භාවනාවට පත් ව සිටි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නවකතාකරුවෙකු ලෙස ඇගයුමට පාත්‍ර වන්නේ අතිශය ජනප්‍රියත්වයට පත් වන ඔහුගේ පළමු නවකතාව සෙංකොට්ටං සමගිනි. එතැන් පටන් ඔහු සමකාලීන සාහිත්‍යයේ වැදගත් නවකතාකරුවෙක් ලෙස විචාරක සහ පාඨක අවදානයට ලක් විය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මෙම සංවාදය ආරම්භ කිරීම සඳහා මම ඔබගෙන් අහන්න කැමතියි නවකතාවක සමාරම්භක මොහොතට ඔබ මුහුණ දෙන හැටි ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුනු හැටි ගැන අත්දැකීම් එක්ක මේ ගැන යමක් කියන්න පුළුවන් ද? මහින්ද: මම ඇත්තටම ප්‍රබන්ධ රචකයෙක් වෙනවා කියන අදහසින් ප්‍රබන්ධකරණය හදාරපු කෙනෙක් නෙමෙයි. මගේ මූලික අඩවිය වුණේ කවිය. ස්වයං හැදෑරීමක් කරලා මගේ කල්පනා ලෝකයේ වැඩි ඉඩක් වෙන් වෙලා තිබුණේ කවියට. ප්‍රබන්ධකරණයට මගේ ලොකු කැමැත්තක් තියනවා. නමුත් ඇත්තටම සෙංකොට්ටං නවකතාව ගත්තොත් ඒක එක්තරා විදිහකට අහම්බයක් වගේ තමයි මට පේන්නේ. නමුත් ඉන් පසුව මම ප්‍රබන්ධකරණය ගැන සංවිධානාත්මකව කල්පනා කරන්න පටන් අරගෙන තියනවා. දැන් සෙංකොට්ටං නවකතාව ගත්තොත් මට මුලින් අවශ්‍ය වුණේ ඒක තිර නාටකයක් හැටියට ලියල ටෙලි නාට්‍ය මාධ්‍යයට අරන් එන්න. ඒ නිසා ඒක වෘත්තාන්තමය ස්වභාවයෙන් තමයි මම ආරම්භ කලේ. කොහොමටත් මම නවකතාවක් පටන් ගන්න කැමති ආකර්ෂණීය තැනකින්. චරිත වලට සහ කතාවට අදාළ සිදුවීමක් මැද්දෙන් හෝ කෙළවරකින් වගේ පටන් ගන්න මම කැමැතියි. දැන් සෙංකොට්ටං නවකතාව පටන් ගන්නේ ශබ්දයකින්. ඒ වගේ කතාවේ මධ්‍යයකින් පටන් ගන්න ක්‍රමවේදයට මගේ කැමැත්තක් තියනවා. කෞශල්‍ය: දැන් මේ වෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? මහින්ද: මේ වෙනකොට මම ලියන්න යන නවකතාව පිළිබඳ සැලැස්මක් ඉතාම හොඳින් මගේ මනෝ ලෝකය තුළ සකස් වෙලා තියෙන්නේ. ඒක ලිඛිත එකක් නෙමෙයි. නමුත් ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවීම් පෙළගැසෙන ආකාරය ගැන චරිත ගොඩනැඟෙන ආකරය ගැන මම දැනුවත්. එම නිසා මේ පටන් ගන්න වාක්‍යය කියන්නේ කිසිසේත්ම අහම්බයක් නෙමෙයි. මට ඒ වාක්‍යයට අදාළ සිදුවීම ගැන හොඳ අවබෝධයක් තියනවා. කෞශල්‍ය: ඔබගේ සෙංකොට්ටං සහ මාණික්කාවත කියන නවකතා දෙකම ඓතිහාසික පසුබිමක දිගහැරෙන නවකතා. මෙවැනි නවකතාවක් පරිකල්පනය කරන්න ඓතිහාසික තත්වයන් ගැන දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ දැනුම සම්පාදනය වෙන ආකාරය ගැන යමක් කියන්න පුළුවන් ද? මහින්ද: මේ නවකතා දෙකේම පරිසරය මට සමීප එකක්. මොකද ඒ මං ඉපදුණු ජීවත් වුණු ගම් පළාත. නමුත් කාලය මට දුරස්. මේ නවකතා දෙකම ගොඩනැගෙන්න මුලින්ම බලපාන්නේ මං කුඩා කාලයේ සිට මං අහපු දේවල්. ගමේ වැඩිහිටියන් විසින් කියපු කතා. ඒවා ඉවහල් වුණා මට මගේ පරිකල්පන ලෝකය ගොඩනගා ගන්න ආධුනිකයෙක් හැටියට. මේ විදිහට සියයට විස්සක් විතර දේවල් මගෙ ඇඟේ තියනවා. නමුත් ඉතිරි කොටස මට සොයා ගන්න සිද්ධ වෙනවා දත්ත සහ තොරතුරු හැටියට. පාරිසරික දේවල් වෙන්න පුලුවන්, සිදුවීම් වෙන්න පුලුවන්, භූමියට අදාළ යම් යම් දේවල් වෙන්න පුලුවන්, එම කාලයට අදාළ සමාජ දේශපාලනික තොරතුරු වෙන්න පුලුවන් මේ ආදී දේවල් මට පොතින් පතින් සොයා ගන්න සිද්ධ වෙනවා. පැරණි පත්තර පොත් පත් ආදියෙන් තමයි ඒ වකවානුව සම්බන්ධ බාහිර පරිසරය නිර්මාණය කර ගත්තේ. මේ හැදෑරීමේදි මට ලිඛිත සටහන් තබා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය ඇතුළේ මං අනුමාන කරනවා 1930 වර්ෂයේ දි කෙනෙක් කඩපොලට ගියොත් මොනවගේ දේවල් කතා කරන්න ඇති ද? මොන වගේ බලපෑමක් බාහිර ලෝකයෙන් මේ ගැමි ජීවිත වලට තියෙන්න ඇති ද? ඒ කාලෙ ආදරය කරන දෙන්නෙක්ගේ ලෝකය මොන වගේ වෙන්න ඇති ද? මේ වගේ දේවල් මං අනුමාන කරනවා. ඒ සඳහා අවශ්‍ය දේවල් මගේ මනෝ ලෝකය ඇතුළේ තැන්පත් වෙලත් තියනවා. මේ සඳහා මං මේ වෙනකොට බලල තියෙන පැරණි චිත්‍රපටි, කිය වූ පොත පත ආදිය බලපානවා. ඒ දේවල් අවිඥානිකව තැන්පත් වෙලා තියෙනවා. මං හිතන්නේ කතාවට අදාළ මනෝමය වර්ණය නිර්මාණය කර ගන්න ඒ දේවල් බලපානවා. ඇත්තටම විධිමත් ව මේ කාලය ගැන කරන හැදෑරීමට පෙර මා තුළ තිබුණු දේවල් වලින් කතාවේ මූලික සැකැස්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් මේ හැදෑරීමට තමයි වැඩිපුරම කාලයක් ගත වෙන්නේ. දැන් මේ දෙකම එකට කඹයක් ගොතනවා වගේ ගෙතෙන කොට තමයි මං අපේක්ෂා කරන කතාව ගොඩනැගෙන්නේ. කෞශල්‍ය: දැන් ඔබ කියන ආකාරයට ලිවීම ආරම්භ කරන්න කලින් ඔබ කතාව සැළකිය යුතු ආකාරයකට ගොඩනඟල තියෙන්නේ. දැන් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ ඔබ කලින් සැලසුම් කරපු ආකාරයටම කතාව දිගහැරෙනව ද? මහින්ද: මං හිතන්නෙ ලිවීම කියන ප්‍රායෝගික ක්‍රියාවලියට එනකොට මං බර ගොඩක් එකතු කර ගෙන තියෙන්නෙ. ලිවීම තුළ සිද්ධ වෙන්නේ මේ බර ටිකෙන් ටික සැහැල්ලු වෙන එක. හැබැයි මේක ඇතුළේ මං එකතු කර ගත්තු බරෙන් සමහර කොටසක් ලිවීමට ඇතුළත් නොකර ඉවත දාන්න මට සිද්ධ වෙනවා. ඒ එක්කම ලිවීමේ ක්‍රියාවලියට ඇතුල් වුනාට පස්සේ අර එකතු කර ගත්ත බරට අමතරව කොහෙන්දෝ ඉඳල මා වෙත එන දේවල් ටිකක් කතාවට එකතු වෙන අවස්ථාත් තියනවා. ඒකට හේතුව මං කලින් කරපු ව්‍යායාම වලට මා දක්වපු අවංකභාවය සහ ඒ සඳහා ගත කරපු කාලය කියලත් මට හිතෙනවා. කොහොම නමුත් සමහර අවස්ථා තියනවා මම පරිකල්පනය කරපු ආකාරයට වෙනස් විදිහට ලිවීම තුළ චරිත සකස් වුණු. උදාහරණයක් හැටියට 'සෙංකොට්ටං' නවකතාවෙ 'ලුවිස් හේනයා' කියන චරිතය මම පරිකල්පනය කරල තිබුණේ අනෙකුත් චරිත එක්ක යම් ගැටීමක් එක්ක ගොඩනගන්න. නමුත් ලිවීම ඇතුළේ ඔහු නිර්මාණය වුණේ වෙනස් ආකාරයකට. ඔහුගේ හඬ අපට ඇහෙන්නේ නැහැ. ඔහු ගැන තොරතුරු පමණයි අපිට එන්නේ. මෙවැනි දේවල් සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් මම ලිවීමට පෙර ගොඩනඟන මූලික සිදුවීම් සහ චරිත බොහෝ දුරට ලිවීම තුළ දී කතාවට එකතු වෙනවා. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන හැටි ගැන? මහින්ද: මම වෙන රස්සාවක් කරන ගමන් ලියන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ලියන එකට තමයි මගේ ජීවිතේ වටිනාම කාලය වෙන් වෙන්නෙ. ලිවීමට පරිබාහිරව මං කරන සෑම දෙයක්ම මං හිතන්නෙ මගේ ලිවීම කිසියම් ආකාරයකට පෝෂණය කරන දේවල් හැටියට. ඉතින් නවකතාවක් ලියන්න පටන් ගන්නකොට මං ඒ වෙනුවෙන් නිශ්චිත කාලයක් වෙන් කර ගන්නවා, මාස දෙකක් හෝ තුනක්. මං ලියන්නේ පෑනෙන් කොළ වල. ඉතින් ලියන්න පටන් ගත්තම කිසියම් පරිච්ඡේදයක් මගේ හිතට හරියන තුරු මම නැවත නැවත ලියනවා. මම විශාල කොළ ප්‍රමාණයක් මේ කාලය තුළ අහක දානවා මගේ හිතට හරියන තුරු. මම ලියන දේවල් යතුරු ලියනයට බාර දෙන වෙලාව වෙන කොට මං ඒ දේවල් අවම වශයෙන් හය සැරයක් වත් නැවත නැවත ලියල තියෙන්නේ. මං මේ නැවත ලියනව කියල කියන්නේ අලුත් කොළ වල නැවත මුල සිට ලියන එක. එතෙන්දි අර කලින් ලියපු දේවල් තියනවා නමුත් අලුතෙන් එකතු වීම් සහ අඩුවීම් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දවසකට සමහර විට පැය හතරක් විතර ලිවීම සඳහාම වැය වෙන්න පුළුවන් නමුත් ඒ දවසේ අනෙක් කාලයත් මම මේකත් එක්කම තමයි ගත කරල තියෙන්නේ. යම් අවස්ථාවක ඉතාම සතුටට පත් වෙන ආකාරයට මගේ අතින් ලිවීම සිද්ධ වුණොත් ටිකක් එළියට ගිහින් ඇවිදල යාලුවෙක් හම්බවෙලා, ඕනෙනම් පොඩි අඩියක් ගහල එන අවස්ථා තියනවා. ලිවීම සතුටුදායක නොවන කිසියම් හිරවීමක් තියන වෙලාවක මං එතනින් ඈතට යන්නෙම නැහැ ඒ ගැටලුව ජය ගන්නා තුරු. කෞශල්‍ය: ඔබ මේ කියපු දේවල් වලින් සංස්කරණය ගැන තියන උනන්දුවත් ඉතාම පැහැදිලිව පේනවා. මේකට යම් දෙයක් තව එකතු කරන්න තියනවද සංස්කරණය පැත්තෙන් බැලුවොත්? මහින්ද: ඇත්තටම මං සංස්කරණයට ඉතාම උනන්දු කෙනෙක්. මගේ නවකතා ලියල අවසන් වුනාට පස්සෙ ඊළඟ අදියරට යන විට මට උදව් කරන දෙන්නෙක් තමයි ජයප්‍රිය දසුන් සහ ලහිරු කරුණාරත්න කියන දෙන්නා. ඒ දෙන්නා මට පෙන්වා දීලා තියනවා සමහර රිපීට් වෙන වාක්‍ය, සමහර මට මඟහැරුණු සියුම් තැන්, යම් වෙලාවක මේ වාක්‍ය මේ විදිහට නැතුව මෙහෙම ලියවුණොත් හොඳයි කියන එක වගේ දේවල්. මේ සඳහා අපි සැළකිය යුතු කාලයක් අරගෙන තියෙනවා මේ කාරණා වෙනුවෙන්. මීට අමතරව භාෂාව පිළිබඳ සංස්කරණයත් සිද්ධ වෙනවා. කොහොම වුණත් අපි අවම වශයෙන් තුන් වතාවක් වත් නැවත නැවත මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේක තමයි අවසාන වතාවට මැණිකක් ඔප දානව වගේ කෘතියට ඒ අවශ්‍ය ආලෝකය ලබා දෙන අවස්ථාව. කෞශල්‍ය: අවසන් වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි ඔබ ලිවීම විඳින හැටි ගැන? මහින්ද: ඇත්තටම ලිවීම කියන්නේ ඉතාම සතුට දනවන ක්‍රියවලියක්. ඒක මගෙ ජීවිතේ ඉතාම රමණීය දෙයක් හැටියටයි මම දකින්නේ. ඒක මම කරන ගොඩනැඟීමක්; ඒක මගේ මැවීමක්. මම දේවල් හොයමින් එකතු කරමින් ලෝකයට වින්දනය කළ හැකි යමක් ප්‍රදානය කරනවා කියන එක. එහි සතුට මෙතරම් කියල කියන්න බැරි තරම්. ඒක විශාල ආත්මීය සතුටක්. මීට අමතරම මගේ දේවල් කියවල ඒවාට ප්‍රතිචාර ලැබෙන කොට ඒවත් එක්කම ජීවත් වෙන කොට මේ මට විශාල අභිමනයක්, වින්දනයක් ලැබෙනවා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නවකතා භාවිතය හා ඒ සමඟ බැඳුණු හැඟීම් අපට ඔහුගේ නවකතා කියවීමට අලුත් කවුළුවක් විවර කරන්නට ඉඩ ඇතුවා සේම නවකතාකරණයට උනන්දුවන්නන්ට එයට ප්‍රවේශ වීමට තල්ලුවක් සපයන්නට ඉඩ ඇත. ලබන සතියේ අප අරුණ ප්‍රේමරත්න නවකතාකරුවා මුණගැසෙන්නේ ද මේ මූලික අරමුණු දෙක සිහි තබා ගෙනය. එනම් අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ සාහිත්‍යය විඳ ගැනීමට නැවුම් ප්‍රවේශයක් සහ ලිවීමට ආශා කරන්නන්ට අනුප්‍රාණයක් යන්නයි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
හිරු එළියෙන් සිතුවම් මවන මඩකලපුවේ ශිවනේෂරාසා | හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවෙකු ගැන අපිට මඩකලපුවෙන් අසන්නට ලැබිණි. 26 වැනි වියේ පසුවන ඔහු නමින් ශිවනේෂරාසා ලිංගේෂ්වරන් ය. හිරු එළියෙන් සිතුවම් මවන ඉන්දීය කලාකරුවකුගේ නිර්මාණ දැකීමෙන් මේ සඳහා තමන් තුළ පෙළඹවීමක් ඇති කළ බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය. |
'මම ලියන හැටි': දර්ශනා ශම්මි විජේතිලක | දර්ශනා ශම්මි විජේතිලක යනු වර්තමාන සිංහල සාහිත්‍ය හඳුනන පාඨකයාට කිසිසේත්ම හැඳින්වීමක් අවශ්‍ය නවකතාකාරියක නොවේ. දෙවත, ගිරග සසල විය, නිසල දියවත, මන්දාරම් උයන, අසනග වැසි, විසඹසර වැනි ඇගේ නවකතා පාඨකයන් අතර සේම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාවට පාත්‍ර වී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : සුපුරුදු පරිදි මම ඔබගෙනුත් අහන්නේ නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? දර්ශනා: ඇත්තටම පළවෙනි වාක්‍යය ලියන එක තමයි අමාරුම දේ. පාඨකයාට මොකද්ද මේ කියල හිතන්න සිද්ධ වෙන තැනකින් තමයි මම නවකතාවක් පටන් ගන්න කැමති. ඉතින් ලියන්න යන කතාව මොන තරම් හිතේ ගොඩනැගිල තිබුණත් මෙහෙම තැනක් මතුවෙන තුරු ඉන්න සිද්ධ වෙනවා. දැන් මගෙ 'මන්දාරම් උයන' කියන නවකතාව පටන් ගන්නේ පින්තූරයක් පොළවේ ගහල ඒක උඩට මුත්‍රා කරන දර්ශනයකින්. එතකොට 'අසනග වැසි' පටන් ගන්නේ කිරිබත් වඩවන දර්ශනයකින්. 'ගිරග සසල විය' නවකතාවෙ ආරම්භයේ තියෙන්නෙ කාන්තාවක් දරු ප්‍රසූතියකදි වේදනාවෙන් කෑගහන හඬ. මේ හැම ආරම්භයකම මම අපේක්ෂා කළේ පාඨකයාට මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියන එක ගැන හිතන්න දෙයක් ලබා දෙන්න. කෞශල්‍ය: මේ පළවෙනි වාක්‍යය ලියන මොහොත වෙන විට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? දර්ශනා: මම මුළු නවකතාවම ගොඩනඟා ගත්තට පස්සෙ තමයි පළවෙනි වාක්‍යය ලියන්නෙ. මේ වෙනකොට ගොඩනැගිල නැත්තෙ නවකතාවෙ අවසානය විතරයි. ආරම්භය වගේම සහ සමහරවිට ඊටත් වඩා අපහසු දෙයක් තමයි නවකතාවක අවසානය ලියන එක. මගෙ 'මන්දාරම් උයන' නවකතවේ අවසානය ලියන්න මට අවුරුද්දක් විතර ගත වුණා. ඉතින් පළමු වාක්‍යය ලියන මොහොත වෙන කොට අවසානය හැර අනෙක් දේවල් මුළුමනින්ම ගොඩනැගිල තියෙන්නේ. මොකද ලිවීමට වඩා මට කාලය ගත වෙන්නේ මෙන්න මේ ගොඩනැගීමට. සමහර වෙලාවට අවුරුදු කීපයක් ගත වෙනවා නවකතාවක් ලියන්න පටන් ගන්න කලින් ඒක හිතේ ගොඩනගා ගන්න. 'අසනග වැසි' වලට අවුරුදු දෙකහමාරක් විතර ගත වුණා ඒක හිතේ ගොඩනගා ගන්න ඒ වගේම ඒකට අදාළ දේවල් හොයන්න. කෞශල්‍ය: දැන් ඔබ සැළකිය යුතු කාලයක් ගත කරනවා නවකතාව ලියන්න පෙර ඒක ගොඩනඟා ගන්න. දැන් මේ කාලය තුළ ඔබ යම් සටහන් තබා ගැනීමක් කරනවාද? දර්ශනා: නැහැ, මම කිසිම දෙයක් සටහන් තියා ගන්නේ නැහැ. හැම දෙයක්ම තියෙන්නේ මගෙ හිතේ. කොටින්ම පොතේ ශ්ලෝකයක් තියනවා නං ඒකත් තියනවා ඔලුවේ. කරුණු හොයන කාලෙම ඒකත් හිතේ තියාගන්නවා. ලියන කොට නැවත පොතක් බලල ලියන්නෙ නැහැ. කතාව ගලාගෙන යන අනුපිළිවෙල, චරිත වල ඇඳුම් පැළඳුම්, ආහාර රටාවන්, අංග චලන මේ හැමදෙයක්ම හිතේ මැවිල තියෙන්නේ. අනික මම ලියන්න පටන් ගත්තම එක දිගට ලියාගෙන යනවා. කප කප වෙනස් කර කර එහෙම නෙමෙයි මම ලියන්නේ. මේ දේවල් අයින් කරන්න ඕන, ආයෙ නැවත නැවත ලියන්න ඕන, මේ චරිතය මෙතනින් අයින් කරල අතෙන්ට දාන්න ඕන වගේ දේවල් නැහැ. එහෙම ලියන්න පුළුවන් වෙනතුරු මම මහන්සි වෙනවා ඒක හිතේ ගොනු කර ගන්න. ඒක මගෙ අඩුපාඩුවක්ද දන්නෙත් නැහැ. හැබැයි එහෙම තමයි ලියවෙන්නෙ. එහෙම නොකලොත් මගෙ අතින් ඒ කතාව හරියට ලියවෙන්නෙ නැහැ. ඉතින් මම අවුරුදු කීපයක් නවකතාව හිතේ ගොනු කර ගන්න ගත කරල හරිම වේගෙන් ලියනවා. මාස එකහමාරක් දෙකක් හෝ තුනක් ඇතුළත නවකතාව ලියල අවසන් කරනවා. මට චරිත වල නම් පැටලෙන නිසා පොතේ අන්තිම පිටුවේ නම් ලියල තියා ගන්නව ලියන අතරෙම. කෞශල්‍ය: දැන් මේ හිතේ ගොනු වුණු කතාව ඒ විදිහටම ලියවෙනව ද? එහෙම නැත්නම් ඔබ නොහිතපු විදිහට සමහර එතරම් නොවැදගත් චරිත මේ ලියන ක්‍රියාවලිය ඇතුළේ ප්‍රබල චරිත බවට පත්වෙන අවස්ථා වගේ දෙවල් සිද්ධ වෙනවද? දර්ශනා: ඔව් එහෙම දේවල් සිද්ධ වෙනවා. දැන් 'අසනග වැසි' නවකතාවේ 'පොකුටා' කියන චරිතය ගත්තොත් ඒක මම හිතේ ගොනු කරන් හිටියට වඩා වෙනස් විදිහට මුලු කතාව පුරාම පැතිරුණු චරිතයක් බවට පත් වුණා. මන්දාරම් උයන නවකතාවේ උපුල්ගෙ අම්මගෙ චරිතයත් එහෙම එකක්. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා ලියන ක්‍රියාවලිය ඇතුළේ. ඒ ඇරුනම සාමාන්‍යයෙන් හිතේ ගොඩනැඟුණු විදිහට තමයි නවකතාව ලියවෙන්නේ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද මේ ලියන කාලය ගතවෙන හැටි ගැන? දර්ශනා: දවසෙ පැය විසි හතරෙ ඕනම වෙලාවක ලියන එක සිද්ධ වෙන්න පුළුවන් ආවේශයත් එක්ක. මම ලියන්න වැඩිපුර කැමති නිස්කලංක පරිසරයක, එළියෙ ගහක් යට, මල් වැලක් යට වගේ. මට මගෙ ගෙදර ඒ පහසුකම තියනවා. ලියන වෙලාවට පොඩි කෑමක් ළඟ තියා ගන්නවා, ඔය පළතුරු ටිකක් කජු ටිකක් වගේ. බත් වගේ දේවල් කනව අඩුයි ඒ වෙලාවට. සමහර දාට දෙහි වීදුරු දහයක් විතර බොනවා. සමහර වෙලාවට ලියන්න ගත්තම නිදාගන්න ගත කරන පැය හතරක් පහක් ඇරුනම අනිත් කාලය ලියන්න ගත වෙන දවස් තියනවා. සමහර දාට ලියන්නෙ පැයක් විතර වෙන්නත් පුලුවන්. ඒකෙ එහෙම පිළිවෙලක් නැහැ. මම සාමාන්‍යයෙන් පැයක් හෝ පැය භාගයක් එක දිගට වේගෙන් ලියාගෙන ගිහින් විනාඩි දහයක් විතර නවත්තල පොඩ්ඩක් ඇවිදිනවා. සමහර වෙලාවට ලියන්න තියන ඩයලොග්ස් එහෙම තනියෙන් කියවනවා මේ අතරෙ. මම ලියන කාලෙට වෙන පොත් කියවන්නේ නැහැ. සංගීතයට සවන් දෙනවා. ඒ අරුනම මගෙ ජීවිතේ අනිත් දේවල් අතහැරල ලියනව කියල එකක් නැහැ. පාටි එකකට යන්න තිබුණත් ෂොපින් යන්න තිබුණත් ඒ දේවල් කරනවා. ලියන වෙලාවට විතරයි නවකතාව ඇතුළේ ඉන්නේ. හැබැයි ඉතින් මට වේගෙන් ලියන්න පුළුවන්. සමහර වෙලාවට අකුරු වල කෑලි තියෙන්නේ. කෞශල්‍ය; ඔබ මුලින් කිව්වා ලිවීම පටන් ගනිද්දි ඔබ නොදන්නා එකම දේ නවකතාවෙ අවසානය කියල. මේ අවසානය කොහොමද ඔබ හොයා ගන්නෙ? දර්ශනා: පාඨකයාට මගෙන් ප්‍රශ්න කරන්න දෙයක්, හිතන්න දෙයක්, අපි හිතපු විදිහ හරිද වගේ නැවත සිතා බැලීමක් කරා යන්න පුලුවන් තැනකින් තමයි මම නවකතාවක් අවසන් කරන්න කැමති. සමහර වෙලාවට මට මේ අවසානය හොයා ගන්න ටික කාලයක් ගත කරන්න වෙනවා. සමහර නවකතා වල ඉතාම පහසුවෙන් මේක ලියවෙනවා. නමුත් මගෙ මන්දාරම් උයන වගේ නවකතාවක මට අවුරුද්දක් විතර ගත වුණා මේ අවසානය ලියන්න. කෞශල්‍ය: ඔබ නවකතාවක් ලියල අවසන් වුණාට පස්සෙ හෝ ලියන අතර තුර සංස්කරණය කිරීමක් සිද්ධ කරනව ද? දර්ශනා: නැහැ. සංස්කරණයක් සිද්ධ වෙන්නෙ නැහැ. මම කලින් කිව්ව වගේ ලියන දේවල් මම කප කප හිත හිත නෙමෙයි ලියන්නෙ. ඒව එකවර ලියවෙනවා. මට නැවත ඒව හදන්න ඕනෙ වෙන්නෙ නැහැ. දැන් මම අත්පිටපත ම තමයි දෙන්නෙ ටයිප් සෙට් කරන්න. ඒකෙ ඔය අකුරක් එහෙම වැරදිලා කපපු තැනක් ඇරුනම වෙන කිසිම ආකාරයකට කප කපා ලියපු තැන් නැහැ. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? දර්ශනා : මම ලියන දේවල් මම නැවත කියවමින් මම ඒව විඳිනවා. මගෙ අතින් යම් කොටසක් ඉතාම හොඳට ලිය වුණා කියල මට දැනුනොත් මම ඒ කොටස් නැවත නැවත කියවමින් රසවිඳිනවා. දැන් උදාහරණයක් හැටියට මගෙ අලුත්ම නවකතාව 'විසඹසර' , ඒකෙ ප්‍රධාන චරිතය 'සසඳරා' එයාගෙ ජීවිතේ ඟඟත් එක්ක සම්බන්ධයි. ගේ තියෙන්නේ හුදෙකළා ගම්මානයක ඟඟක් අයිනේ. එයා ලොකු ළමයෙක් වෙන්නෙත් ඟඟේ, එයාගෙ සැමියා එක්ක පළමු වතාවට ලිංගිකව එක්වෙන්නෙත් ඟඟේ, දරුවා බිහි කරන්නෙත් ඟඟේ. මගෙ හැම පොතකම සෙක්ස් කියන දේ තියනවා. නමුත් අමුවෙන් නෙමෙයි. සුන්දර විදිහට තමයි තියෙන්නේ. දැන් මේ නවකතාවේ මේ දෙන්න එකතු වෙන තැන ලිව්වම මට විශාල සන්තෝෂයක් දැණුනා. සසඳරා ගේ සැමියා, ඔවුන් විවාහ වෙන්න කලින්, ගලක් උඩ වාඩිවෙලා ඉන්නවා. මේක දැකල එයත් එතෙන්ට පීනගෙන යනවා, ඟඟේ ස්වාභාවය, හුළඟ හමන හැටි මේ දේවල් එක්ක. ඇයම තමයි ඉස්සර වෙන්නෙත් මෙතෙන්දි. සාමාන්‍යයෙන් ඉතින් ගැමි පරිසරයක් ඇතුළේ ගෑනු කෙනෙක් ඉස්සර වෙන්නේ නැහැනෙ සෙක්ස් වලදි. ඉතින් මේ වගේ යම් දර්ශනයක් ඉතාම හොඳින් ලියවුණා කියල දැනුණම මට විශාල සතුටක් දැනෙනවා. නැවත ඒවා කියවමින් මම ඒක විඳිනවා. දර්ශනා ශම්මි විජේතිලක නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත. ලබන සතියේ අප මුණගැසෙන්නේ තවත් සුවිශාල පාඨක ආකර්ෂණයක් දිනා ගත් නවකතාකරුවෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
ගේබ්‍රියල් ගාර්සියා මාර්කේස්ට විනාශ කිරීමට අවශ්‍ය වූ අවසන් නවකතාව පුත්‍රයන් විසින් ප්‍රකාශයට පත් කරයි. | නොබෙල් ත්‍යාගලාභී ගේබ්‍රියල් ගාර්සියා මාර්කේස් දශකයකට පෙර අභාවප්‍රාප්ත වෙද්දී, ඔහු ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටියදී රචනා කරන ලද නවකතාවක් නොතකා හැර තිබිණි. ජීවත් වූ අවසන් දින කිහිපයේදී, ඔහු සිය පුතුන්ට පවසා තිබුණේ, එම ග්‍රන්ථය විනාශ කරන ලෙස ය. කෙසේ වෙතත්, ඔවුන් සිය පියාට අකීකරු වෙමින්, "පාවා දීමේ" ක්‍රියාවක් ලෙස සැලකෙන, එම ග්‍රන්ථය මුද්‍රණය කර තිබේ. Until August නමැති එම කෘතිය සම්බන්ධයෙන් මිශ්‍ර විචාර පළවී ඇති අතර, ද ගාඩියන් පුවත්පතේ විචාරකයා එය විස්තර කළේ, "සාමාන්‍යයෙන් කටු සටහනක් ලෙස බොඳවූ ලේඛනයක් සහ දෝෂ සහිත කටු සටහනක්" ලෙසිනි. "ඒත්, දැවැන්තයෙකුගේ කටු සටහන සාදරයෙන් පිළිගන්නවා," ලුසී හියුස් හැලට් සඳහන් කර තිබිණි. "මැකී ගිය සිහිවටනයක් වැනි" පිටු 100කින් යුත් මෙම ග්‍රන්ථය, "දුර්වල මට්ටමක පැවතිය ද, මාර්කේස් ඔහුගේ සාර්ථක ම අවධියේදී මවා පෑ අපූරු මනඃකල්පිත ලෝකය ඇසුරු කිරීම සඳහා වැදගත් වන," බව ඇය පැවසුවා ය. 2014 වසරේදී අභාවප්‍රාප්ත වූ කොලොම්බියානු ලේඛකයා වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ, ඓන්ද්‍රජාලික යථාර්ථවාදී ලේඛන ශෛලියේ පුරෝගාමියා වශයෙනි. ඔහු Love in the Time of Cholera සහ One Hundred Years of Solitude ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර එය ලොව පුරා පිටපත් මිලියන 50කට වඩා අලෙවි වී තිබේ. 'ඒකට තමයි දරුවන් ඉන්නේ' පොත ප්‍රකාශයට පත්කිරීම සාධාරණීකරණය කරමින් ගාර්සියා මාර්කේස්ගේ පුත් ගොන්සාලෝ, BBC Radio 4හි Front Row වැඩසටහනට පැවසුවේ, අවසානය වන විට, කතුවරයා "ඔහුගේ කෘතියේ අඩුපාඩු පමණක් දැකිය හැකි නමුත් එහි ඇති රසවත් දේ විනිශ්චය කිරීමේ තත්ත්වයක නොසිටි," බව ය. මෑතකදී අත්පිටපත (පෙළ) නැවත කියවීමෙන් පසු ගොන්සාලෝ පැවසුවේ, "මාර්කේස් එය විනිශ්චය කළ තරම් විනාශකාරී බවක් තමාට නොපෙනුණු" බවත්, එය ඔහුගේ නව පැතිකඩක් පෙන්වූ නිසාත්, "අනන්‍ය වූ" නිසාත් එම නවකතාව මාර්කේස්ගේ කෘතිවලට වටිනා එකතු කිරීමක් බව ය. "නිසැකයෙන් ම, අපි ඒක විනාශ කරන්න ගියේ නෑ," ඔහු පැවසීය. "2022දී අපි එක සංස්කරණයක් කියෙව්වා. ඒ ගැන ලොකු සාකච්ඡාවක් ඇති වුණේ නෑ." "අපට තේරුණා පොත සම්පූර්ණ කරලා තියෙන බව, ලොකු සංස්කරණයක් කරන්න දෙයක් තිබුණෙ නෑ කියලා අපට තේරුණා. කිසි ම දෙයක් අලුතින් එකතු කළේ නෑ, ලොකු වෙනස්කමක් කරලාත් නෑ. ඒ නිසා ඇත්තට ම කිසි ම සාකච්ඡාවක් සිද්ධ වුණේ නෑ." "ඒක මගේ දෙමාපියන් පාවාදීමක් ද? මගේ පියාගේ කැමැත්ත පාවාදීමක් ද? - අපට ඒ ගැන හිතන්න ගත වුණේ තත්පර තුනයි." "අපි තීරණය කළා, ඔව්, ඒක පාවාදීමක් කියලා. ඒත්, ඒකට තමයි දරුවො ඉන්නේ." අවසානයේ එය ප්‍රකාශයට පත් කිරීමට තමන් බැඳී සිටින බවත්, එබැවින් සිය පවුලේ සාමාජිකයින් අනුමත කළ අනුවාදයක් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය බවත්, එහි ප්‍රකාශන හිමිකම ආරක්ෂා කරන බවත් ඔහු පැවසීය. තම මවගේ සොහොන නැරඹීමට සෑම ගිම්හානයක ම තනිව දූපතකට යන මැදිවියේ කාන්තාවක මෙම නවකතාවට කේන්ද්‍රගත වන අතර, සතුටුදායක විවාහයක් ගත කළ ද, සෑම සංචාරයකදී ම ඇය නව පෙම්වතෙකු රැගෙන යයි. ගාර්සියා මාර්කේස් සිය නවකතාවක කාන්තා ප්‍රධාන චරිතයක් වටා කේන්ද්‍රගත වූ පළමු අවස්ථාව මෙය වේ. The i පුවත්පතේ මැක්ස් ලියු, පැවසුවේ, "ඔහුගේ පවුල සහ ඔහුගේ ප්‍රකාශකයින්" පොත ප්‍රකාශයට පත් නොකළ යුතු බවට වූ, "ඔහුගේ කැමැත්තට ගරු කළ යුතුව තිබූ" බව ය. "සාමාන්‍යයෙන්, කතුවරයෙකුගේ මරණයෙන් පසු පළ කරන දුර්වල කෘතියක් හෝ දැවැන්ත ලේඛකයෙකුගේ සුළු කෘතියක් ගැන විචාරයකදී, එහි අඩුපාඩු තිබුණත්, එය ඔහුට ළැදි පාඨකයින් සතුටු කරනු ඇති." "ඒක Until August සම්බන්ධයෙන් සත්‍යයක් කියලා මම පිළිගන්නේ නෑ. මාර්කේස් මේක දැනගෙන හිටියා. ඒ වගේ ම ඒක ප්‍රසිද්ධියට පත් නොකරන්න තීරණය කරපු එක නිවැරදි තීරණයක්," ඔහු තවදුරටත් පැවසීය. 'අමුතු කම්පනයක්' එසේ වුව ද, "එම නවකතාවේ ගුණාංග කිහිපයක් තිබෙනවා," ඒ වගේ ම, "එය සැබෑව සහ මායාව අතර සමතුලිතතාවක් ඇති කරන වපසරියක පිහිටා තිබෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. තරු තුනේ විචාරයක් කරමින්, ද ටෙලිග්‍රාෆ්හි සාරා පෙරී පැවසුවේ, නවකතාවේ සමස්ත බලපෑම "අමුතු කම්පනයක්" බව ය. "වැඩිහිටි මාර්කේස් සහ බාල මාර්කේස් පොත තුළ අන්තර්ගත වූවාක් මෙන්, මහලු වයසේ හැඟීම් සහ විඩාබර හාස්‍යයක් සමගින් ආධුනිකයෙකුගේ අස්ථිර තත්ත්වයක් ඇති වී තිබෙනවා," කෙසේ වෙතත්, "එම නවකතාව, මාර්කේස්ගේ ජන කතා, පසුබිම් කතා සහ වාචික ශක්තීන්ගෙන් අලංකෘත වූ නිර්මාණාත්මක ආඛ්‍යාන ශෛලියෙන් බැහැරව පවතින බව," ඇය සඳහන් කළා ය. "Until August කෘතිය ගැබෝගේ (මාර්කේස්) විශිෂ්ටත්වය වැඩි කිරීමට හෝ අඩු කිරීමට කිසි දෙයක් කරන්නෙ නෑ," ඇය අවසන් වශයෙන් පැවසීය. Netflix සැලසුම් එමෙන් ම, 1967 වසරේදී පළ කෙරුණු මාර්කේස්ගේ One Hundred Years of Solitude නමැති නවකතාව ස්පාඤ්ඤ බසින් Netflix කතා මාලාවකට අනුවර්තනය වෙමින් පවතී. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසන පරිදි, වසර ගණනාවක් තිස්සේ මාර්කේස්ට ඔහුගේ නවකතාව චිත්‍රපටයකට නැගීම සඳහා ඉල්ලීම් රැසක් ලැබුණු නමුත් එය ස්පාඤ්ඤ භාෂාවෙන් පමණක් කිරීමට ඔහුට අවශ්‍ය වූ බැවින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ ය. ගාර්සියා මාර්කේස්ගේ ග්‍රන්ථය, කතුවරුන්ගේ කැමැත්තට එරෙහිව මරණින් පසු ප්‍රකාශයට පත් කළ පළමු නවකතාව නොවේ. BBC Radio 4හි Front Row වැඩසටහන තුළින් සහ BBC sounds වෙතින් ගොන්සාලෝ ගාර්සියා බාර්කාගේ සාකච්ජා සඳහා තවදුරටත් ඔබට සවන් දිය හැකිය. Until August කෘතිය දැනටමත් ස්පාඤ්ඤ භාෂාවෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මාර්තු 12 වන අඟහරුවාදා එනම් අද සිට ලොව පුරා පොත් සාප්පු වලින් පාඨකයින්ට ලබා ගැනීමට හැකිය. |
2024 ඔස්කාර් සම්මාන රැය අතික්‍රමණය කළ ඕපන්හයිමර් | ඕපන්හයිමර් ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන රැසක් හිමි කරගත් චිත්‍රපටය බවට පත්වද්දී කිලියන් මර්ෆි හොඳ ම නළුවා සම්මානය දිනාගත් පළමු අයර්ලන්ත ජාතිකයා බවට පත් වී තිබේ. මෙම චිත්‍රපටය සම්මාන උළෙලේ ආධිපත්‍යය දැරුවේ හොඳ ම චිත්‍රපටය, හොඳ ම අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝෆර් නෝලන් සහ හොඳ ම සහය නළුවා රොබට් ඩව්නි ජූනියර් විසින් දිනා ගනු ලැබීමත් සමග ය. මර්ෆි හොඳ ම නළුවා ලෙස නම් කරනු ලැබුවේ, න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ජේ. රොබට් ඕපන්හයිමර් ලෙස ඔහු ඉදිරිපත් කළ ප්‍රශංසනීය නිරූපණය සඳහා ය. සිය ජයග්‍රහණය පිළිබඳව "මහත් සතුටට" පත්ව සිටින බව ඔහු පැවසුවේ: "මම අද රාත්‍රියේ මෙහි සිටගෙන සිටින ඉතා ආඩම්බර අයර්ලන්ත ජාතිකයෙක්" යැයි ද සඳහන් කරමිනි. ඔහු නෝලන්ට සහ නිෂ්පාදක එමා තෝමස්ට ස්තුතිය පුද කළේ, "ඔබ මා ගෙන ගිය තැතිගන්වනසුලු, අතිශය ප්‍රමෝදමත්, නිර්මාණාත්මකව තෘප්තිමත් ගමන" ලෙස සඳහන් කරමිනි. තමන් වෙත "සහය ලබා දුන් සමස්ත කාර්ය මණ්ඩලයට මෙන් ම නළු-නිළි පිරිසට ද" මර්ෆි සිය ගෞරවය පුද කළේ ය. ඔහු මෙසේ සිය [ජයග්‍රාහී] කතාව අවසන් කළේ ය: "පරමාණු බෝම්බය නිර්මාණය කළ මිනිසා ගැන අපි චිත්‍රපටයක් නිර්මාණය කළා. හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන් [බෝම්බය], අපි හැම කෙනෙකු ම ජීවත් වෙන්නේ ඕපන්හයිමර්ගේ ලෝකයේ, ඒ නිසා මම මේ සම්මානය සෑම කොනක ම ඉන්න සාමය ඇති කිරීම වෙනුවෙන් කැපවෙන මිනිසුන් වෙනුවෙන් පුද කරන්න කැමතියි." ඕපන්හයිමර්හි එක්සත් ජනපද රජයේ නිලධාරියෙකු වන ලුවිස් ස්ට්‍රෝස්ගේ චරිතය වෙනුවෙන්, ඩව්නි ජූනියර් හොඳ ම සහය නළුවා ලෙස සම්මාන ලැබී ය. සම්මානය පිළිගනිමින් ඔහු හාස්‍යජනක ලෙස පැවසුවේ: "මම කැමතියි, පිළිවෙලින්, මගේ අසුන්දර ළමා කාලයට සහ ඇකඩමියට ස්තුති කරන්න. "රස්සාවට මාව අවශ්‍ය වුණාට ත් වඩා මට මේ රස්සාව අවශ්‍ය වුණා," ඔහු තවදුරටත් පැවසීය. "අන්න ඒ නිසා තමයි හොඳ මිනිහෙක් විදිහට ඔබ ඉදිරියේ හිටගෙන ඉන්නේ." ඔහු තම බිරිඳ සූසන් ඩව්නිට සිය කෘතඥතාව පළ කළේ ය. ඇය තමා "ජීවිතයේ අපහසු කාල පරිච්චේදයක් ගත කරමින්" සිටි අවධියේ සොයා ගත් බව ඔහු පැවසුවේ, ඇයගේ "ආදරය මාව ජීවත් කළ නිසයි මම අද මෙතන ඉන්නේ," යැයි ද සඳහන් කරමිනි. මාර්වල් අයන් මෑන් ලෙසින් ප්‍රසිද්ධියට පත් ඩව්නි ජූනියර්, දශක දෙකකට වඩා වැඩි කලකට පෙර බරපතළ ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිට පසුව අතිසාර්ථක ලෙස හොලිවුඩ් සිනමාව වෙත නැවතත් ප්‍රවිෂ්ඨ විය. අධිකරණය විසින් නියම කරන ලද මත්ද්‍රව්‍ය පරීක්ෂණ මග හැරි ඔහුට සිර දඬුවම් පවා විඳීමට සිදු විය. ඔහු සිය කතාව අවසන් කළේ රැස්ව සිටි පිරිසට මෙසේ පවසමිනි: "අපි කරන දේ අර්ථාන්විත යි වගේ ම අපි කරන්න තීරණය කරන දේ වැදගත්." සම්මාන උළෙල මෙහෙය වූ ජිමී කිමල් නළු නිළියන් හා චිත්‍රපට කාර්ය මණ්ඩලය වෙත සරදම් කළේ, චිත්‍රපටයේ සාර්ථකත්වය හමුවේ ඔවුන් එය"මධුවිතින් සමරමින් සිටි" බව පවසමිනි. හොඳ ම අධ්‍යක්ෂකවරයාට හිමි සිය පළමු ඔස්කාර් සම්මානය පිළිගන්නා අවස්ථාවේ නෝලන් මෙසේ පැවසීය: "මගේ මුළු ජීවිතය පුරාවට ම මා ගැන විශ්වාස කළ, මා වෙනුවෙන් සිටි අයට ස්තූතියි." ඇකඩමිය අමතමින් ඔහු මෙසේ පැවසීය: "චිත්‍රපට අවුරුදු 100කට වඩා ටිකයි වයස, අපි දන්නේ නෑ මේ ඇදහිය නොහැකි ගමන මෙතැන් සිට යන්නේ කොතැනට ද කියලා. ඒත් මාත් ඒකෙ අර්ථවත් කොටසක් කියලා ඔබ හිතනවා කියල දැනෙද්දී, ඒක මට ලෝකයක් තරම් වටිනවා." තරමක් අතරමං වූ ස්වභාවයක් පෙන්නුම් කළ අල් පචීනෝට රාත්‍රියේ ඉහළ ම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස ඕපන්හයිමර් ප්‍රකාශයට පත් කිරීමට පෙර, හොඳ ම චිත්‍රපටය සඳහා නිර්දේශ වූ චිත්‍රපට 10 හඳුන්වා දීමට අමතක වූ බවක් පෙනී ගියේ ය. ත්‍යාගය පිළිගනිමින් නිෂ්පාදක එමා තෝමස් මෙසේ පැවසුවා ය: "මම හිතන්නේ චිත්‍රපට හදන අපි කවුරුත් මේ මොහොත ගැන සිහින දකිනවා. නමුත් ඒක කිසිදාක සැබෑවට ම සිදු වේවි කියලා හිතුනේ නැහැ." ඕපන්හයිමර් චිත්‍රපටය හොඳ ම සංස්කරණය, හොඳ ම සංගීත නිර්මාණය සහ හොඳ ම කැමරාකරණයට හිමි සම්මාන ද දිනා ගත්තේ ය. කෙසේ වෙතත්, වාර්තාගත ජයග්‍රහණ සංඛ්‍යාවක් ලැබීමට තිබුණු අවස්ථාව ගිලිහෙමින් එයට අනෙක් තාක්ෂණික අංශවල සම්මාන අහිමි විය. ඒ වෙනුවට, අසාමාන්‍ය 'ස්ටීම්පන්ක්' ශානාරයේ චිත්‍රපටයක් වන පුවර් තින්ග්ස් හොඳ ම නිෂ්පාදන සැලසුම්කරණය, හොඳ ම ඇඳුම් නිර්මාණය, හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් සඳහා වන සම්මාන මෙන් ම එමා ස්ටෝන් සඳහා හොඳ ම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ ය. යෝර්ගෝස් ලැන්තිමෝස්ගේ මෙම චිත්‍රපටය වැඩිහිටි කාන්තාවකගේ ශරීරයකට සිය මොළය බද්ධ කර ඇති ළදරුවෙකු ලොව පුරා දේවල් සොයා වික්‍රමාන්විත ගමනක යෙදීම පිළිබඳව කියැවේ. "මේක ඇත්තෙන් ම අතිශය සතුටුදායක අවස්ථාවක්," ස්ටෝන් ඇගේ කතාවේදී පැවසීය. "මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න ආදරය, දයාව සහ ප්‍රභාව ලබා දුන්න සෑම රංගන ශිල්පියෙකු ම, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ම, සෑම පුද්ගලයෙකු ම සමග මේ සම්මානය බෙදා ගන්න ලැබීම මට මහත් ගෞරවයක්." ජයග්‍රාහකයා පුරෝකථනය කිරීම අපහසු වූ එක ම ප්‍රධාන සම්මාන කාණ්ඩය වූයේ හොඳ ම නිළිය කාණ්ඩය යි. එය ස්ටෝන් සහ කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන්හි ලිලී ග්ලැඩ්ස්ටන් අතර කරට කර පැවති තරගයක් ලෙස දිස් විය. නමුත් 1920 ගණන්වල ඔසේජ් ජාතිකයින් ඝාතන මාලාවක් ගැන කියැවෙන මාර්ටින් ස්කෝසෙයිසීගේ මෙම චිත්‍රපටය සම්මාන උළෙලේ කාණ්ඩ 10ක් යටතේ නිර්දේශ වුව ද එයට හිස් අතින් ගෙදර යාමට සිදු විය. 2023 වසරේ වැඩි ම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන බාර්බි, එය නිර්දේශ වූ සම්මාන අටෙන් එකක් පමණක් දිනා ගත්තේ ය. ඒ, බිලී අයිලිෂ්ගේ 'What Was I Made For?' ගීතය හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය හිමි කර ගැනීමත් සමග ය. "ඇකඩමියට බොහෝ ම ස්තූතියි, මම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. මට දැනෙනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මේක මට ගෞරවයක්," යැයි අයිලිෂ් පැවසුවේ ඇයගේ සහෝදරයා සහ එම නිර්මාණය සඳහා දායක වුණු ෆිනියස් ඕ'කෝනල් සමග සම්මානය පිළිගන්නා අතරතුර ය. ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටයේ තම පුතාගේ මරණයට මුහුණ දීමට උත්සහ කරන පාසල් සූපවේදිනියකගේ චරිතය නිරූපණය කළ ඩේ'වයින් ජෝයි රැන්ඩොල්ෆ් හොඳ ම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය. රැන්ඩොල්ෆ් තම සම්මානය පිළිගනිමින් සිදු කළ කතාවේදී ප්‍රේක්ෂකයන්ට මෙසේ පැවසුවා ය: "බොහෝ කලක් තිස්සේ මට වෙනස් වෙන්න ඕනේ වෙලා තිබුණා. ඒ වගේ ම මට දැන් තේරෙනවා මට වෙන්න ඕනේ, මම ම කියලා, මාව හඳුනා ගත්තාට ස්තුතියි." ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් චිත්‍රපටය හොඳ ම ශබ්ද සැලසුම්කරණය සඳහා වන සම්මානය දිනා ගත් අතර හොඳ ම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු බ්‍රිතාන්‍ය චිත්‍රපටය බවට ද පත්විය. විචාරක පැසසුමට ලක් වූ හොලොකෝස්ට් චිත්‍රපටය, අවුෂ්විට්ස් කඳවුරට යාබදව ජීවත් වන ජර්මානු පවුලක් ගැන තේමා වී තිබේ. සම්මානය පිළිගැනීමේ කතාවේදී අධ්‍යක්ෂ ජොනතන් ග්ලේසර් ඊශ්‍රායලය සහ ගාසා තීරයේ පවතින යුද්ධය විවේචනයට ලක් කළේ ය. හොඳ ම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ, ට්වෙන්ටි ඩේස් ඉන් මරියුපොල් චිත්‍රපටය යි. එහි අධ්‍යක්ෂ මිස්ටිස්ලව් චර්නොව් ප්‍රේක්ෂකයන්ට පැවසුවේ, යුක්‍රේනයේ ප්‍රථම ඔස්කාර් සම්මානලාභියා වීම තමාට "ගෞරවයක්" බව ය. "මේ වේදිකාව මතදී, මම කවදාවත් මේ චිත්‍රපටය හැදුවේ නැත්නම්, කියන පළමු අධ්‍යක්ෂවරයා මම වෙන්න පුළුවන්," යැයි ඔහු පැවසුවේ: කිසි ම විටෙක යුක්‍රේනයට පහර නොදෙන, අපේ නගර අල්ලා නොගන්න, රුසියාව එක්ක මට මේක හුවාමරු කර ගන්න තිබුණා නම්," ලෙස ද සඳහන් කරමිනි. ඊට අමතරව, ඇනටමි ඔෆ් අ ෆෝල් චිත්‍රපටය හොඳ ම ස්වතන්ත්‍ර තිර රචනයට හිමි සම්මානය දිනා ගත්තේ ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ සම-රචකයා වන ජස්ටින් ට්‍රියේ සරදමට මෙන් සඳහන් කළේ, මෙම ඔස්කාර් සම්මානය "මගේ මැදිවියේ අර්බුදයෙන් මිදීමට උපකාරී වේවි," යනුවෙනි. මෙම චිත්‍රපටයේ තම සැමියා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවක සහ එම ඝාතනය සිදුවන විට ඒ අසල සිටි එක ම සාක්ෂිකරු වන ඇගේ දෘෂ්‍යාබාධිත පුත්‍රයා ගැන කියැවේ. ඇමෙරිකන් ෆික්ෂන් හොඳ ම අනුවර්තිත තිර රචනය ලෙස නම් කෙරිණි. එහි රචක කෝඩ් ජෙෆර්සන් මෙසේ පැවසීය: "මම නිතර ම වගේ කියලා තියෙනවා මේක ගැන කතා කරද්දී කී දෙනෙක් ප්‍රතික්ෂේප කළා ද කියලා උදව් කරන්න. ඒ ප්‍රතික්ෂේප කිරීම් ගැන කතා කරන එක නිකම් පළිගැනීමක් වගේ පෙනුනොත් ඒක ගැන මම කණගාටු වෙනවා. නමුත් මේක මට ලැබුණු අවස්ථාව අවශ්‍ය බොහෝ අය ඉන්න බව හඳුනා ගන්න කරන ආයාචනයක්. " හොලිවුඩය "අවදානමක් ගන්න අකමැති කර්මාන්තයක්" යැයි තමා දන්නා බව ඔහු ප්‍රකාශ කළ නමුත් චිත්‍රාගාර කුඩා පරිමාණයේ චිත්‍රපට සඳහා ලබා දෙන ඉඩ වැඩි කළ යුතු බව පැවසීය. "එක ඩොලර් මිලියන 200ක චිත්‍රපටයක් කරනවා වෙනුවට ඩොලර් මිලියන 10ක චිත්‍රපට 20ක් නිර්මාණය කරන්න උත්සහ කරන්න," ඔහු පැවසීය. ජපන් ෆැන්ටසි චිත්‍රපටයක් වන ද බෝයි ඇන්ඩ් ද හෙරන් හොඳ ම සජීවිකරණ වෘතාන්ත චිත්‍රපටය ලෙස නම් කෙරුණේ ස්පයිඩර්-මෑන්: අක්‍රොස් ද ස්පයිඩර්-වර්ස් චිත්‍රපටයෙන් එල්ල වූ අභියෝගය නතර කරමිනි. රෝල්ඩ් ඩාල්ගේ කතාව පාදක කරගත් ද වොන්ඩර්ෆුල් ස්ටෝරි ඔෆ් හෙන්රි ෂුගර් සඳහා අධ්‍යක්ෂක වෙස් ඇන්ඩර්සන් හොඳ ම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය කාණ්ඩය යටතේ ඔහුගේ පළමු ඇකඩමි සම්මානය දිනා ගත්තේ ය. කිමල්ගෙන් ට්‍රම්ප්ට පහරක් සිව්වන වරටත් සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ ජිමී කිමල් විසිනි. චිත්‍රපට කර්මාන්තයේ පසුගිය මාස 12 ගැන සඳහන් කරමින් මෙම එක්සත් ජනපද සාකච්ඡාමය වැඩසටහන් මෙහෙයවන්නා උළෙල ආරම්භ කළේ ය. හොලිවුඩයේ කටයුතු ඇනහිටීමට හේතු වූ වැඩ වර්ජන සිහිපත් කළ කිමල්, නළු නිළියන්ට සහ රචකයින්ට සාධාරණ කොටසක් ලබා ගැනීමට ගත් උත්සහයට උපහාර දැක්වීය. රංගන ශිල්පීන්ට - ශිල්පිනියන්ට දැන් "කෘත්‍රිම බුද්ධිය මගින් ප්‍රතිස්ථාපනය වීම ගැන කරදර වීම නැවැත්විය හැකි බව ත්, තරුණ, වඩා ත් ආකර්ෂණීය පුද්ගලයින් විසින් ප්‍රතිස්ථාපනය වනු ලැබීම ගැන කනස්සල්ලට පත්විය හැකි බව ත්" ඔහු සරදමට මෙන් පැවසුවේ ය. බාර්බි චිත්‍රපටයේ තරු වන මාර්ගෝ රොබී සහ රයන් ගොස්ලින් වෙත ඔහුගේ අවධානය යොමු කරමින් ඔහු මෙසේ පැවසීය: "අද රාත්‍රියේ ඔබ දෙදෙනාගෙන් කිසිවෙකුට හෝ ඔස්කාර් සම්මානයක් නොලැබුණත්, මම කියන්න කැමතියි, ඔබ ඊට වඩා වටිනා දෙයක් දිනලා තියෙන්නේ, සහජ දක්ෂතාව." මේ වසරේ නිර්දේශිත චිත්‍රපට "ඉතා දිගු වූ" බව පෙන්වා දෙමින් කිමල් සඳහන් කළේ, “මම කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් බලන්න ගියා ම මගේ ලියුම් (තියටර් එකට) සිනමා ශාලාවට ෆෝවර්ඩ් කරලා තිබුණා." "කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් සෑහෙන දිගයි," ඔහු තවදුරටත් සඳහන් කළේ, "ඔබට එය නැරඹීමට ගත වූ කාලය තුළ, ඔක්ලහෝමා වෙත වාහනයක් පදවාගෙන ගිහින් ඒ මිනීමැරුම් ඔබට ම විසඳා ගන්න පුළුවන්." සම්මාන උළෙල අවසානයේ කිමල්, තම ඉදිරිපත් කිරීම ගැන අවලාද නැගූ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔන්ලයින් සටහනක් ගැන සඳහන් කළේ ය. ට්‍රම්ප්ට සජීවීව ප්‍රතිචාර දක්වමින් කිමල් මෙසේ පැවසීය: "ස්තූතියි ජනාධිපති ට්‍රම්ප්, නැරඹුවාට ස්තූතියි, ඔයා තවමත් නැගිටලා ඉන්න එක ගැන මට පුදුමයි. ඔයා හිරේ හිටපු කාලේ ඉවර ද?" |
2024 ඔස්කාර් සම්මාන උළෙල: සම්මාන දිනූ සහ නිර්දේශිත නාම ලැයිස්තුව ඔබ දන්නවා ද? | 2024 ඔස්කාර් සම්මාන උළෙලේ නිමාවට පත්වුයේ, ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපට වැඩි ගෞරවයක් අත්කර දෙමිනි. හොඳම චිත්‍රපයට හිමි සම්මානය ඇතුළු සම්මාන 7ක් දිනා ගැනීමට ඕපන්හයිමර් චිත්‍රපටය සමත්විය. ඔස්කාර් සම්මාන හිමිකරගත් ලැයිස්තුව පහතින් බලන්න. හොඳ ම චිත්‍රපටය (Best picture) හොඳ ම නළුවා (Best actor) හොඳ ම නිළිය (Best actress) හොඳ ම සහය නිළිය (Best supporting actress) ඩේ'වයින් ජෝයි රැන්ඩොල්ෆ් 2024 ඔස්කාර් සම්මාන උළෙලට පෙර පැවති Golden Globes සහ Critics Choice Awards ඇතුළු සම්මාන උළෙලවලදී තම අණසක පැතිරවීමට සමත් වූ අතර ඇය මෙවර සම්මාන උළෙලේදී හොඳ ම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට ඉඩ ඇතැයි පෙර සිටම අනුමාන කෙරුණි. හොඳ ම සහය නළුවා (Best supporting actor) හොඳ ම අධ්‍යක්ෂවරයා (Best director) හොඳ ම අනුවර්තිත තිර රචනය (Best adapted screenplay) හොඳ ම ස්වතන්ත්‍ර තිර රචනය (Best original screenplay) හොඳ ම ස්වතන්ත්‍ර ගීතය (Best original song) හොඳ ම සංගීත නිර්මාණය (Best original score) හොඳ ම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය (Best international feature) හොඳ ම සජීවිකරණ වෘතාන්ත චිත්‍රපටය (Best animated feature) හොඳ ම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය (Best documentary feature) හොඳ ම ඇඳුම් නිර්මාණය (Best costume design) හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් (Best make-up and hairstyling) හොඳ ම නිෂ්පාදන සැලසුම්කරණය (Best production design) හොඳ ම ශබ්ද සැලසුම්කරණය (Best sound) හොඳ ම චිත්‍රපට සංස්කරණය (Best film editing) හොඳ ම කැමරාකරණය (Best cinematography) හොඳ ම දෘශ්‍ය ප්‍රයෝග (Best visual effects) හොඳ ම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය (Best live action short) හොඳ ම සජීවිකරණ කෙටි චිත්‍රපටය (Best animated short) හොඳ ම වාර්තාමය කෙටි චිත්‍රපටය (Best documentary short) |
'මම ලියන හැටි' : සමන් වික්‍රමාරච්චි | සමන් වික්‍රමාරච්චි යනු සිංහල සාහිත්‍යය තුළ ගණනාවකින් පෝෂණය කරන සාහිත්‍යකරුවෙකි. ඔහු අතින් ලියවුණු 'අසංධිමිත්තා' සහ 'අප්පච්චි ඇවිත්' යන නවකතා සුවිශාල පාඨක සහ විචාරක ඇගයීමකට ලක් විය. එසේම ඔහු සාහිත්‍ය විචාරකයෙක්, පරිවර්තකයෙක් සහ කෙටිකතාකරුවෙක් ලෙස දශක කිහිපයක් තිස්සේ සිංහල සාහිත්‍ය එහි සීමාවන්ගෙන් ඉදිරියට ගෙන යාමට දරන වෑයම කිසිසේත්ම අමතක කල නොහැකිය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු විදිහට මම ඔබගෙනුත් අහන්නෙ නවකතාවක් ලිවීම ආරම්භ කරන මොහොත ගැන. ඔබ ලියූ නවකතා ගැන කල්පනා කරන විට පළමු වාක්‍යය ලියවුනු ආකාරය ගැන යමක් කියන්න පුළුවන්ද? සමන්: මම කොයිම වෙලාවකවත් දැන් මම නවකතාවක් ලියන්නයි යන්නෙ කියලා මේසේ ඉස්සරහ වාඩි වෙලා ලියන්න පටන් අරගෙන නවකතාවක් ලියපු අවස්ථාවක් නැහැ. මගෙ නවකතාවෙ පළවෙනි වාක්‍යය මොකද්ද කියන එක හරියටම කියන්නත් බැහැ. දැන් 'අප්පච්චි ඇවිත්' නවකතාව ගත්තොත් ඒකෙ මුලට තියන කොටස මම පසුව එකතු කරපු එකක්. නවකතාව පටන් ගන්නේ ඊට පස්සේ. නමුත් එතෙන්දි පවා මම මුලින් ලියපු දේවල් කපල හුඟක් විට වෙනත් දේවල් ලියල. ඒ නිසා ලිවීමේ ක්‍රියාවලිය තුළ පළවෙනි වාක්‍යය වුනේ මොකද්ද කියන එක දැන් හොයන්න බැහැ. ඒක අතුරුදන් වෙලා. 'අසංධිමිත්තා' නවකතාව ගත්තත් එහෙම තමයි. මගෙ ලිවීම දිග හැරෙන්නේ මේ වගේ අපිළිවෙළක් එක්ක. එහෙම නැතුව පිළිවෙලට පොතක් අරගෙන නවකතාව ලියන්න වාඩි වුනොත් මම හිතන්නෙ නැහැ මට එක වචනයක්වත් ලියන්න පුලුවන් වෙයි කියල. මම නවකතාව ලියන්න පටන් ගන්නේ හදිසියේ හිතට එන අදහසක් එක්ක. එතකොට ඒ වෙලාවේ අතට අහුවෙන කොළයක ඒක ලියනවා. එහෙම නැති වුණොත් මම හිතන්නෙ මට අර රයිටර්ස් බ්ලොක්, මම ඒකට කියන්නෙ 'ලේඛක අඩස්සිය' කියල, අන්න ඒකට මුහුණ දෙන්න වෙනවා. දැනටත් මම නවකතාවක් ලියමින් යනවා. ඒකෙත් දැනට ලියවිලා තියෙන්නෙ එහෙම ලොකු පිළිවෙලක් නැති සටහන් ගොඩක් සහ ආරම්භයන් ගොඩක්. කොහොම වුණත් මගේ ලිවීම ගැන සලකා බලන කොට ඒකේ අපහසුම මොහොත මේ ආරම්භය. පටන් ගත්තට පස්සේ මට ඉතාම ඉක්මනට ලියාගෙන යන්න පුලුවන් වෙලා තියනවා. කෞශල්‍ය: මේ විදිහට ඔබ ලිවීම පටන් ගන්න මොහොත වෙන කොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද? සමන්: ලියන්න පටන් ගන්න කොට සැළකිය යුතු තරම් දේවල් හිතේ ගොඩනැගිල තියෙන්නේ. චරිත ගැනත් සැළකිය යුතු අදහසක් තියනවා. මගේ නවකතා වල මම උත්සාහ කරන්නේ සමාජයට ඇතුල් වීමට වඩා ආත්මීයත්වය ගවේෂණය කරන්න. ඉතින් ලිවීම පටන් ගන්න කලින් කරන සිතීම තුළ මේ චරිත වල මනෝභාවයන් ගැනත් මම කල්පනා කරනවා. හුඟක් විට මම මුලින්ම හිතන්න පටන් ගත්ත දේ ඒ මගේ මේ සිතීම ඇතුළේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නත් පුලුවන්. ලියන ක්‍රියාවලිය ඇතුලෙත් මේක නැවත වෙනස් වෙනවා. ලියන්න යන නවකතාවේ තේමා වෙනස් වෙන්නේ නැහැ බොහෝ විට. වෙනස් වෙන්නේ කතා වින්‍යාසය, කතාව ගලාගෙන යන අනුපිළිවෙල. චරිත ගැන මම හිතපු දේවල් ලිවීමේ ක්‍රියාවලිය තුළ වෙනස් වෙනවා. සමහර වෙලාවට ලියන්න යන නවකතාවේ වාක්‍ය පවා හිතෙන් ලියවිලා ඒවා මට කට පාඩම් වෙලා වගේ තියන වෙලාවලුත් තියනවා. ලියන්න යන මොහොතෙදි ඒවා මතකයට නැඟිලා වෙනස් වෙලා නැවත ලියවෙනවා. කොහොම වුණත් නවකතාවේ අවසානය ගැන අදහසක් නිශ්චිතතාවක් මේ වෙන කොට නැහැ. ලියාගෙන ලියාගෙන ගිහින් නවකතාව අවසන් වෙන්නේ මමවත් හිතන්නේ නැති තැනකින් වෙන්න පුළුවන්. අනිත් එක තමයි, නවකතාවේ සැකැස්ම ගැන මම කිසිම සටහනක් තියා ගන්නේ නැහැ. දැන් සමහර ලේඛකයෝ ඉන්නවා ලියන්න පටන් ගන්නේ සිදුවීම් ගැන චරිත ගැන පරිච්ඡේද අනුපිළිවෙල ගැන බොහෝ දේවල් සටහන් තියාගෙන. මට එහෙම කරන්න බැහැ. ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ තමයි මට මේ දේවල් සිද්ධ වෙන්නෙ. සමහර චරිත ගොඩනැගෙන්නේ, අලුත් චරිත එකතු වෙන්නේ, මේ හැමදෙයක්ම වෙන්නේ ලියන ක්‍රියාවලිය ඇතුළේ. මේ දේවල් ගොඩක් විට මගෙ ඔලුව ඇතුළේ තියෙන්නේ සිනමාත්මක ස්වරූපයකින්. හරියටම කිව්වොත් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් වගේ. සමහර වෙලාවට නවකතාවේ ආඛ්‍යාන ශෛලිය වෙන්නෙත් ඒ වගේ එකක්. තවත් දෙයක් කියන්න ඕන. කලා කෘතියක, අපි නවකතාව ගත්තොත් මම ඉහළින් තියන්නේ ඒකෙ ආකෘතිය. ආකෘතියම තමයි අන්තර්ගතය කියන තැන ඉඳල මම ආකෘතිය ගැන ටිකක් වද වෙනවා. දැන් උදාහරණයක් හැටියට සිහිනයක් ගන්න, ෆ්‍රොයිඩියන් විදිහට ගත්තොත් සිහිනයක් විශ්ලේෂණය කරන්න අන්තර්ගතයට වඩා වැදගත් වෙන්නෙ ආකෘතියනේ. අපි ඒ හීනය දකින විදිහ. හීනය ඇතුළේ දේවල් කැටි වෙලා තියෙන විදිහ, සමහර දේවල් හීනය ඇතුළේම වාරණය වෙලා තියන විදිහ, දැන් මේ දේවල් හරහා නේ හීනයෙ ඇත්ත අර්ථය හොයා ගන්න වෙන්නේ. අන්න ඒ වගේ මම ලියන නවකතාවෙත් ෆෝම් එක මම හදනවා. ඒ අර්ථයෙන් තමයි මම ආකෘතියම තමයි අන්තර්ගතය වෙනව කියන එක කිව්වේ. මෙතෙන්දි තවත් දෙයක් වෙනවා, ඒ තමයි මේ නවකතාව විශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙන විචාර ප්‍රවේශයකුත් ඒක තුළම ගොඩනැගෙන එක. කෞශල්‍ය: දැන් එතකොට මේ ආකෘතිය ගොඩනැගෙන එක සිද්ධ වෙන්නේ කතාවෙ තේමාවත් එක්ක ඔබ සිදු කරන තාර්කික සංවාදයක ප්‍රතිඵලයක් හැටියට ද නැත්තං තේමාව විසින්ම මෙන්න මේ ආකාරයේ ආකෘතියක් ගොඩනැගීමට ඔබව මෙහෙයවනවාද? සමන්: මං හිතන්නේ තේමාවත් එක්ක තාර්කික සංවාදයක් තමයි ඇතුළේ ගොඩනැගෙන්නේ. ඒ තාර්කික සංවාදය ඇතුළේ මම සමහර වෙලාවට ඒ ගැන වෙනත් කියවීම් වලටත් යනවා. දැන් සමහර නවකතාකරුවන් නවකතා ලිවීමට අදාළව රිසර්ච් පවා කරනවනේ. ලේඛනාගාරයට එහෙමත් ගිහින්. සමහර වෙලාවට ඒ නිසාම ඒ කෘති වල නවකතාමය ගුණය යට ගිහින් ඒ රිසර්ච් එකෙන් හොයා ගන්න දේ අධිනිශ්චය වෙන්නත් පුලුවන්. මං කියන්නේ වැරැද්දක් හැටියට නෙමෙයි. දැන් මටත් යම් තාක් දුරකට මේක වෙන්න පුලුවන්. මං කරන රිසර්ච් එක අර වගේ එකක් නෙමෙයි. මම කිසියම් විදිහකට දාර්ශනික, න්‍යායාත්මක කියවීම් වලට යනවා. දැන් උදාහරණයක් හැටියට පශ්චාත් නූතන ධාරාවට අදාළ ෆෙඩ්රික් ජෙම්සන්ගෙ 'පොලිටිකල් අන්කොන්ෂන්' වගේ පොතක් කියවනවා කියල හිතන්න. දැන් මේක කියවද්දි මට නවකතාව මතක් වෙනවා. එතකොට මගෙ නවකතාව ඒවයෙනුත් පෝෂණය වෙනවා. තවත් දෙයක් තමයි ඉතින් මට නූතනවාදී නවකතාවේ ස්වරූපය ගැන අදහස් ටිකකුත් කියනවනේ. ඒක හැදෙන්න මිලාන් කුන්දේරා වගේ නවකතාරුවන් මට බලපාල තියනවා. ඒවත් එක්ක මගෙ නවකතාවල දී චරිත ගැන සිද්ධි ගැන ඒවයේ ඉතිහාසය ගැන දීර්ඝ විස්තර කිරීම් වලට මම යන්නේ නැහැ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද මේ ලියන කාලය ගත වෙන විදිහ ගැන? සමන්: ඇත්තටම ලියන්න පටන් ගත්තට පස්සෙ මට තියන දෙයක් තමයි මේක කොහොම හරි ඉක්මනින් ලියල ඉවර කරන්න ඕන කියන හැඟීම. කතාව ඔලුවේ වර්ධනය වෙන කාලෙදි මේ හැඟීම නැහැ. ඒක එන්නේ ලියන්න පටන් ගැනීමත් එක්ක. ලියල ඉවර කරල බලන්න ඕන කියන හැඟීම තමයි එන්නේ. මේ ලිවිල්ල වුණත් අර මේසයක් ඉස්සරහ පිළිවෙලකට ඉඳගෙන ලියන එකක් නෙමෙයි. ගෙදරම වුණත් එක එක තැන් වල ඉඳන් ලියවෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කාලය තුළ ඒක කෙරෙනවා. දැන් මේ දවස් වල මම ලියන්න සැලසුම් කරමින් ඉන්න නවකතාව, සමහර දේවල් ලියලත් තියෙන්නෙ, ඒත් මට හිතෙන්නෙ මං තාම ඒක පටන් ගත්තෙ නෑ කියලා. ඒක පටන් ගත්තොත් එහෙම ඉක්මනට ලියල ඉවර කරන්න පුලුවන් වෙයි කියල මට හිතෙනවා. මගෙ තියන එක දුර්වල චරිත ලක්ෂණයක් තමයි දේවල් කල් දාන එක. හැබැයි කල් දාන කොට මට විශ්වාසයක් තියෙනවා පටන් ගත්තොත් ඉතාම ඉක්මනින් මේක අවසන් කරන්න පුලුවන් කියන එක ගැන. ලියන්න පටන් ගත්තම බොහෝ විට දිනපතා ලියනවා. දැන් 'අසංධිමිත්තා' නවකතාව ගත්තොත් මම මාස හයක් විතර ඇතුළත ලියල අවසන් කළා. 'අප්පච්චි ඇවිත්' නවකතාව මම හිතන්නේ අවුරුද්දකට අඩු කාලයක් තුළ අවසන් කළා. දැන් හැබැයි 'අසංධිමිත්තා' වගේ නවකතාවක් ගත්තොත් ඒකෙ තේමාව මගෙ ඔලුවට ඇවිල්ල අවුරුදු දහයකටත් වැඩියි. තවත් දෙයක් තමයි මම ලියන දේවල් ගෙදර ඉන්න කාට හරි ඇහෙන්න කියවනවා සමහර වෙලාවට. ඒක ලිවීමේ මුල ඉඳන් සිද්ධ වෙන දෙයක්. විශේෂ පාඨක සමාජයකට නෙමෙයි. ගෙදර සමීප කෙනෙකුට. ඒ වගේම මේ ලියන දේවල් මමත් නැවත නැවත කියනවා. වේ නැවත කියවීම ඉදිරියට ලියාගෙන යන්න විශාල උත්තේජනයක් සපයනවා. දැන් මට හිතුනොත් එහෙම මේ ලියවිලා තියන එක මදි කියල මං හිර වෙනවා. මට ලියාගෙන යන්න බැරුව යනව දිගට. වෙන කෙනෙකුට ඇහෙන්න කියවන එකෙත් මම ම නැවත කියවන එකෙනුත් කරන්නෙ ඒ මම තෘප්තිමත් ද කියන එක සොයා බලන එක. කෞශල්‍ය: දැන් මෙහෙම ලිවීම ආරම්භයේදී කොටසක් කියෙව්වම වෙන කෙනෙකුට එයා ඇහුවොත් මේක ඉදිරියට යන්නෙ කොහොමද කියල එයාට කතාව කියනවද? සමන්: ඔව් සමහර විට මම යම් ආකාරයකට ඒක කියනවා. නමුත් මට දැන් හිතිල තියෙන්නෙ ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියල. මොකද මම මේක ලියල අවසන් කරල ගන්න තියන තෘප්තිය ඊට පෙර ලැබෙනව වගේ දෙයක් එතනදි සිද්ධ වෙනවා. කෞශල්‍ය: ඔබ කිව්ව ඔබේ ලිවීම කිසියම් අපිළිවෙල ආකාරයකට තමයි සිද්ධ වෙන්නෙ කියල. නවකතාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිද්ධ වෙන සංස්කරණ ක්‍රියාවලිය ගැන යමක් කියන්න පුලුවන් ද? සමන්: දැන් 'අප්පච්චි ඇවිත්' සහ 'අසංධිමිත්තා' කියන නවකතා දෙකම ගත්තොත් ඒ නවකතා ආරම්භ වන ආකාරය මම ලියල තියෙන්නේ ලිවීම අවසන් කළාට පස්සෙ. මේකත් සංස්කරණ ක්‍රියාවලියේ එක් වැදගත් තැනක්. සමහර වෙලාවට මම ලියල තියන කොටසක් ඇතුල් වෙන්න ඕන ස්ථානය ලිවීම අවසන් වුණාට පස්සේ මට තීරණය කරන්න වෙන්න පුළුවන්. දැන් මම ලියාගෙන යන නවකතාව ගත්තොත් මම පිටු තිහක විතර කොටසක් ලියල තියෙන්නෙ. නමුත් ඒක ආරම්භය නෙමෙයි. හැබැයි මේ ලියපු කොටස යම් යම් වෙනස්කම් සහිතව ඒ නවකතාවෙ කොහේ හෝ තැනකට එනවා. මෙන්න මේ විදිහට කිසියම් අපිළිවෙල ලිවීමක් අවසානයේ දී පිළිවෙලක් අත් කර ගන්නවා සංස්කරණය හරහා. මේ සංස්කරණය නවකතාව ලියන අතරෙත් ලිවීමෙන් පස්සෙත් සිද්ධ වෙනවා. සමහර කොටස් ඉවත් වෙනවා, ඒ වෙනුවට අලුත් කොටස් ලියවෙනවා. මේ වගේ දේවල් හරහා තමයි පිළිවෙල හොයා ගන්නේ. විසිවන සංවාදය : කැත්ලීන් ජයවර්ධන විසිඑක් සංවාදය : මංජුල සේනාරත්න විසි දෙවන සංවාදය :රූපා ශ්‍රියානි ඒකනායක විසි තුන්වන සංවාදය : කේ කේ සමන් කුමාර විසි හතර වන සංවාදය : චන්දි කොඩිකාර කෞශල්‍ය: ඔබ ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? සමන්: මම ලිවීමෙන් විශාල ආශ්වාදයක් ලබනවා. මම ආශ්වාදයක් කියන්නෙ අර මනෝවිශ්ලේෂණාත්මක එන්ජෝයිමන්ට් කියන අර්ථයෙන්. දැන් එන්ජෝයිමන්ට් කිව්වම එතන පොඩි වේදනාත්මක සතුටක් නේ තියෙන්නෙ. ලිවීම කියන්නෙ වේදනාවක් ඒ වගේම ඒක විශාල සතුටක්. සමන් වික්‍රමාරච්චි නවකතාකරුවා ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඔහු ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඔහුගේ නවකතා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත බැලීමට ඔහුගේ අදහස් කැඩපතක් වන්නට ඉඩ ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සුවිශාල පාඨක විචාරක අවදානයකට පාත්‍ර වූ නවකතාකාරියක වන දර්ශනා ශම්මි විජේතිලක යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
රම්‍යා වනිගසේකර: දැවැන්ත හඬ පෞරුෂය සහ විශිෂ්ට රංග පෞරුෂය නිවී යයි | වේලාව උදෑසන හය යි... මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි... මෙන්න ප්‍රවෘත්ති, ප්‍රකාශය රම්‍යා වනිගසේකර විසින්... දැවැන්ත හඬ පෞරුෂයකින් මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයින්ට ප්‍රවෘත්ති ඉදරිපත් කළ, රම්‍යා වනිගසේකරගේ හඬ සිකුරාදා (මාර්තු 08) පෙරවරුවේ නිවී ගියේ ය. කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යන විට ඇය 73 වන වියේ පසු වූවා ය. චරිතාංග රංගන ශිල්පිනියක, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකාවක සහ පසුබිම් ගායිකාවක ලෙස ද දැවැන්ත පෞරුෂයක් හිමි කරගෙන සිටි ඇය පිළිබඳ මතකාවර්ජනයකි, මේ. මුල් විය කෑගල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේදී 1950 ජූලි මස 17 වන දා රම්‍ය වනිගසේකර උපත ලැබුවේ, දරුවන් 7 දෙනෙකුගෙන් යුත් පවුලේ පස් වැන්නා ලෙස ය. ඇයගේ පියා හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වතු අධිකාරිවරයෙකු වූ අතර, මව ඇහැලියගොඩ ප්‍රදේශයේ උපන් කාන්තාවකි. රම්‍යා වනිගසේකර සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ, කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයෙනි. ඉන්පසු පාසල් කිහිපයකින් ම අධ්‍යාපනය ලැබූ ඇය, ද්විතීක අධ්‍යාපනය අවසන් කළේ, රුවන්වැල්ල රාජකීය විද්‍යාලයෙනි. රංගන දිවිය 1974 වසරේදී ඇය මුල් වරට වේදිකා නාට්‍ය කලාවට එක් වූයේ, චන්දි ගුණතිලක නිෂ්පාදනය කළ 'හේවායෝ' වේදිකා නාට්‍යයේ පසුබිම් ගායිකාවක ලෙස ය. ඉන්පසු ඇය ජයතිස්ස අලහකෝන් විසින් නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍ය රැසක පසුබිම් ගායිකාවක ලෙස කටයුතු කළා ය. රම්‍යා වනිගසේකර පළමු වරට වේදිකා නාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වූයේ, 1976 වසරේදී ය. ඒ, රංජිත් ධර්මකීර්තිගේ 'හස්තිරාජ මහත්තයා' නමැති නාට්‍යයේ සුළු චරිතයකට පණ පොවමිනි. පසුව, රංජිත් ධර්මකීර්තිගේ 'අංගාරා ගඟ ගලා බසී' නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ ප්‍රේමසිරි කේමදාස යටතේ එහි පසුබිම් ගායිකාවක ලෙස කටයුතු කිරීමට ද ඇයට අවස්ථාව හිමි විය. ඊට අමතරව, ඇය එහි සුළු චරිත කිහිපයකට ද රංගනයෙන් දායක වූවා ය. වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ඇය ස්ථාවරත්වයකට පත්වූයේ, 1978 වසරේදී වේදිකාගත කෙරුණු චූලා කාරියවසම්ගේ 'මන රංජන වැඩ වර්ජන' නාට්‍යයේ ගුණවතී චරිතය හේතුවෙනි. පසුව, ආර්. ආර්. සමරකෝන්ගේ 'කැලණි පාලම' නාට්‍යයේ 'මැටිල්ඩාගේ' චරිතය නිරූපණය කළ චන්ද්‍ර කළුආරච්චි ගැබිනි මවක වීම නිසා එම චරිතයට රම්‍යා වනිගසේකර තෝරා ගැනිණි. එය, ඇයගේ රංගන දිවියේ පමණක් නොව සැබෑ දිවියේ ද කඩඉමක් බවට පත් විය. ඒ, 'කැලණි පාලම' නාට්‍යයේ නිෂ්පාදක ආර්.ආර්. සමරකෝන් පසුකලෙක ඇයගේ ස්වාමි පුරුෂයා බවට පත්වූ හෙයිනි. 'කැලණි පාලම' නාට්‍යයෙන් පසු ඇය, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, මූදු පුත්තු, මා හේනේ රීරි යකා, ලියතඹරා, සිරි සඟබෝ, හිරු නැති ලොව ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවා ය. 'කැලණි පාලම' නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතය වසර 41ක් පුරා ඇය නිරූපණය කළා ය. ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක බවට පත්වූයේ, ශ්‍රී ලංකාවේ තුන් වන ටෙලිනාට්‍යය ලෙස සැලකෙන 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍යයෙනි. එම නාට්‍යය ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ද පළමු ටෙලිනාට්‍යය විය. "ඇත්තට ම රම්‍යා වනිගසේකර කලා ශිල්පිනිය මට හමුවෙන්නෙ මගේ රංගන ජීවිතයේ හිමිදිරි උදෑසන. පළිඟු මැණිකේ කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය වංශ කතාවේ තුන් වෙනි ටෙලිනාට්‍යය. එහිදී ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. රම්‍යා ඊට පස්සේ අවසාන කාලය වන තුරු ම සිනමාව, වේදිකාව ආදියේ නිර්ව්‍යාජව වැඩ කටයුතු කළ කාන්තාවක්. මේ අභාවය කලාකරුවෙකු විදිහට ලොකු කනගාටුදායක සිද්ධියක්. ඇය ගුවන් විදුලි හඬ පෞරුෂයත් බොහොම ශක්තිමත්ව නිරූපණය කරපු කාන්තාවක්. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ඇයගේ ප්‍රේමණීය හඬ පෞරුෂය අපට අහන්න ලැබුණා. රංගනයේදීත් ඇය චරිත නිරූපණ කලාවේදී බොහොම ශක්තිමත්ව නිරූපණය කළා. 'සඳ තනිවෙලා' කියන ටෙලිනාට්‍යයේ ඇය මගේ මව ලෙස රඟපෑවා. ඇය ඉන්න තැන බොහොම ප්‍රේමණීය යි," ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සිය මතකය ආවර්ජනය කළේ, එලෙසිනි. පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයට අමතරව, ඇය, කන්දෙ ගෙදර, දියණියෝ, කූඹියෝ, මැණික් නදිය ගලා බසී, නෑනාලා, යර්ස් බොස් ඇතුළු ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කළා ය. රිදී නිම්නය චිත්‍රපටයේ රඟපාමින් 1982 වසරේදී සිනමාවට පිවිසි ඇය, මාරුතය (1995), ටිකිරි සුවඳ (2010), සරිගම (2016) ආදී චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වූවා ය. ප්‍රවෘත්ති නිවේදිකාව දැවැන්ත ගුවන් විදුලි හඬ පෞරුෂයකට හිමිකම් කී රම්‍යා වනිගසේකර, ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද ජනාදරයට පත්ව සිටියා ය. ඇය, එවකට රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වූයේ, 1982 වසරේදී ය. එතැන් සිට 2006 දක්වා වසර 26ක කාලයක් ඇය ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා ය. ඇය සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ සමකාලීන නිවේදිකාවක වූ තිලකා රණසිංහ සිය මතකය අවදි කළේ, මෙලෙසිනි. "ඇය රංගන ශිල්පිනියක් වීමෙන් පස්සේ තමයි, ගුවන් විදුලියට එකතු වුණේ. මම ඇය රඟපාන කාලේ ඉඳලා දැනගෙන හිටියත්, ගොඩක් සමීපව ඇසුරු කළේ, ගුවන් විදුලියට ආවට පස්සේ. ඇය ඉතා ම සුහදශීලී, වගකීමෙන් තමන්ගේ සේවය ඉටු කළ දැවැන්ත චරිතයක්. ඒ හඬ පෞරුෂයට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ විතරක් නෙවෙයි, ඇය රංගනයත් ඉතා ම සාර්ථකව කළා. ඒ නිසා ඇයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමි වුණා. ඇය අසනීප තත්ත්වයේ සිටිද්දීත් මාත් එක්ක නිතර කතාබහ කළා. ඇයගේ අභාවය ඇත්තට ම ලොකු පාඩුවක් වගේ ම ලොකු දුකක්," ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා තිලකා රණසිංහ පැවසීය. සම්මාන රම්‍යා වනිගසේකර සම්මානනීය රංගන ශිල්පිනියක පමණක් නොව සම්මානනීය ගුවන් විදුලි ශිල්පිනියකි. 1991 වසරේදී ඇයට වේදිකා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ම කාන්තාව වෙනුවෙන් වූ රාජ්‍ය සම්මානයත්, ලංකාදීප විජය සම්මාන උළෙලේ වසරේ ජනප්‍රිය ම රංගන ශිල්පිනියට හිමි සම්මානයත් හිමි විය. 1993 වසරේදී රාජ්‍ය සම්මාන උළෙලේ ජනප්‍රිය ම නිළියට හිමි සම්මානය හිමි විය. 1994 වසරේදී ද ඇයට ජනප්‍රිය ම නිළියට හිමි OCIC සම්මානය ලැබිණි. 1995 වසරේදී 'ලිහිණි' වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳ ම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය. 2010 වසරේදී රංගන ශිල්පිනියක ලෙස ඇය දැක්වූ දායකත්වය වෙනුවෙන් කලාභූෂණ සම්මානය ඇයට පිරිනැමිණි. ඊට අමතරව, 1994/95 වසර සඳහා හොඳ ම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ජනාධිපති සම්මානය හිමි වූයේ ද, රම්‍යා වනිගසේකරට ය. |
ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව | ටියුනීසියානු චිත්‍රපට නිෂ්පාදිකා කවුතර් බෙන් හනියා, ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව ලෙස ඉතිහාසගත වන්නීය. මෙවර ඇය නිර්දේශ වූයේ, විශිෂ්ටතම වාර්තා චිත්‍රපටය සඳහායි. ඇගේ වාර්තා චිත්‍රපටය වන ‘Four Daughters’ හි අන්තර්ගත වන්නේ ටියුනීසියානු පවුලක ඉස්ලාමීය සටන්කාමීන් විසින් රැඩිකල්කරණයට ලක් කළ වැඩිමහල් දියණියන් දෙදෙනෙකු සහ ඊට සම්බන්ධ නොවූ බාල දියණියන් දෙදෙනෙකුගේ කතාවයි. ඇගේ වාර්තා චිත්‍රපටය ‘Four Daughters’ වේ. |
'මම ලියන හැටි' : චන්දි කොඩිකාර | චන්දි කොඩිකාර යනු සිංහල පාඨකයන්ගේ සුවිශාල ආදරයකට ලක් වන නවකතාකාරියකි. හිම යායක මල් පිපිලා නවකතාවෙන් ඇරඹෙන ඇගේ නවකතාකරණය සාහිත්‍ය වෙත එක් කර ඇති නවකතා ගණන මෙහි සඳහන් කළ නොහැකි තරමට සුවිශාලය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මේ සංවාදය ආරම්භ කිරීමට මම ඔබගෙනුත් අහන ප්‍රශ්නය තමයි නවකතාවක ආරම්භයට මුහුණ දෙන ආකාරය. ඔබේ නවකතාවල පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? චන්දි: ඇත්තටම නවකතාවක් කොච්චර හිතේ කැරකුණත් ඒකේ පළවෙනි වාක්‍යය ලියන එක තමයි අමාරුම දේ. මම නවකතාව හිතේ තියාගෙන සෑහෙන වෙලාවක් කල්පනා කරනවා කොහොමද ලියන්න ඕනෙ කියලා. කීප සැරයක් පටන් ගන්නවා කීප සැරයක් මකලා දානවා. එහෙමත් බැරි වුණොත් මම කරන්නේ ඒක අතහැරලා දාල හොඳට නිදා ගන්නවා. සාමාන්‍යයෙන් මට හීනත් එක්ක තියෙන්නෙ පුදුම සබැඳියාවක්. මට දැන් පටන් ගන්න අමාරුවෙලා තියන එක සමහර වෙලාවට මම හීනෙන් දකිනවා මෙතනින් තමයි පටන් ගන්න ඕන කියල. මම ඒක දකින්නේ කවුරුහරි හීනෙන් ඇවිත් මට කියනවා වගේ මෙතනින් පටන් ගන්න කියල. සමහර වෙලාවට නවකතාවක් හිතේ අහලකවත් නැති වෙලාවල් වලත් මට හීනෙන් පේන වෙලාවල් තියෙනවා මෙහෙම කතාවක් මෙතනින් පටන් අරගෙන ලියන්න කියල. එතකොට මම නැගිට්ට ගමන් ඒක සටහන් කරල තියාගන්නවා. ඇත්තටම අමාරුම දේ තමයි පළවෙනි වාක්‍යය ලියන එක. කෞශල්‍ය: පළවෙනි වාක්‍යය ලියන්න හදන මොහොත වෙන කොට ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? චන්දි: දැන් මම හුඟක් ලියන්නේ පුවත් පත් නවකතා නෙ, ඒ නිසා ගොඩාක් හිත හිත ඉන්න බැහැ ටිකක් ඉක්මනට ලියන්න වෙනවා. සතියෙන් සතිය මම කොටස කොටස දෙන්න ඕනෙ නේ. සමහර වෙලාවට පළවෙනි වාක්‍යය ලියන කොට කතාවෙ අඩක් විතරයි හිතේ තියෙන්නේ. මේක කොහොම වෙයිද අවසානය මොනවගේද කියන ඒව ගැන හැඟීමක්වත් නැහැ. සමහර වෙලාවට මම පටන් ගන්න චරිතය නෙමෙයි මූලික වෙන්නේ වෙනස්ම චරිතයක්. අතුරු චරිතයක්. සමහර වෙලාවට කතාවේ දුෂ්ඨයා වෙන්න පුලුවන් ඉස්සරහට එනකොට ප්‍රධාන චරිතය වෙන්නෙ. මොකද මම පටන් ගන්නෙ කිසියම් අදහසක තදින් එල්ඹගෙන ඉන්නව කියන හැඟීමෙන් නෙමෙයි. මේ වගේ කතාවක් ලියන්නේ, මෙහෙම චරිත ඉන්නව කියන අදහස තියනවා. මම දැකපු අහපු දෙයකින් තමයි කතාවේ සැකිල්ල හැදිල තියෙන්නේ. මම ඒ ඔස්සේ තමයි ගොඩක් කල්පනා කරන්නේ. දැන් මම මගෙ නමින් ලියපු පළවෙනි නවකතාව, 'හිම යායක මල් පිපිලා' පොත නං ලිව්වෙ ඉංග්‍රීසි නවකතාවක් ඇසුරෙන්. මම ගොඩක් ඉංග්‍රීසි නවකතා කියවනවා. මගෙ හිතේ නං තියෙන්නෙ ඒක පරිවර්තනයක් කියලා. නමුත් අනුවර්තනයක් හෝ මේ දෙක අතර එකක් කියල කියන්න පුලුවන්. මම ඒකෙ කතාව අරගෙන අපේ පරිසරයට ගැලපෙන විදිහට මගෙ පරිකල්පනය එකතු කරල තමයි ලියන්නේ. ඒ නවකතාව ගොඩක් ජනප්‍රිය වුණා. කෞශල්‍ය: දැන් ඔබ කිව්ව ඔබේ නමින් ලිව්ව පළවෙනි නවකතාව හිම යායක මල් පිපිලා කියලා. ඒ කියන්නෙ ඊට කලින් ඔබ වෙනත් නමකින් නවකතා ලියල තියනවද? චන්දි: ඒක මෙහෙමයි. ඒ කාලේ පුවත්පත් ජනප්‍රිය කර ගන්න ජනප්‍රිය නළු නිළියෝ, ක්‍රීඩකයෝ ලියන විදිහට ලියනවා. ඉතින් මමත් මගෙ මුල්ම නවකතාව ලිව්වෙ ජනප්‍රිය නළුවෙකුගේ නමින්. ඇත්තටම කියනව නං සනත් ගුණතිලකගේ නමින්. සනත් අයිය දන්නෙත් නෑ මම එහෙම නවකතාවක් ලිව්ව කියල. මෑතකදි හම්බෙච්ච වෙලාවක මම එයාට කිව්වම එයා පුදුම වුණා. ඒ කාලෙ සනත් ගෙ ස්වර්ණමය කාලේ . එයා තමයි ලංකාවෙ යුවතියන්ගෙ සිහින කුමාරයා. ඉතින් මගෙ කතෘතුමා මගෙන් ඇහුවා සනත් ගුණතිලකගේ නමින් ලියන්න පුලුවන්ද කියල. මම ඒ වෙලාවෙ එකඟ වුණා. 'වතුසුදු මල්' තමයි නවකතාවෙ නම. කුමරි පත්තරේට තමයි ලිව්වෙ. ඒක තමයි මගෙ පළවෙනි නවකතාව. සති පතා ලිව්වෙ. එක කාලයක් තිබුණා මම නවකතා හතක් ලියනවා පත්තර හතකට. ඒක ඉතාම කාර්ය බහුල කාලයක්. හුඟක් දෙනෙක් අහනවා එහෙම නවකතා ගොඩක් එකට ලියන කොට චරිත පැටලෙන්නෙ නැද්ද කතාව පැටලෙන්නෙ නැද්ද කියල. ඇත්තටම මට කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද මම නවකතාවක් ලියන කොට ඒ නවකතාවේ විතරමයි ඉන්නෙ. අනික ඒ හැම නවකතාවකටම වෙන වෙනම ෆයිල්ස් තියනවා. ඒකෙ තියනවා චරිත ගැන සහ කතාවේ සාරාංශයක්. ඒ නිසා කොහොමටවත් පැටලෙන්නෙ නැහැ. හැබැයි පත්තර වලට නවකතා ලියන එක අභියෝගාත්මක දෙයක්. විවිධ වර්ගයේ පාඨකයන් ඇද බැඳ තබා ගන්න පුලුවන් භාෂාවකින් ලියන්න ඕන. සිදුවීම්, කුතුහලය තියෙන්න ඕන. ඒ සතියෙ කොටස අවසන් වෙන්න ඕන පාඨකයා ඊළඟ සතියෙ කොටස එනකන් බලන් ඉන්න විදිහට. ඒ වගේම තමයි පත්තරයකට ලියද්දි අපිට යම් යම් සීමාකම් දාගන්න වෙනවා. උදාහරණයක් හැටියට අපි නිදන කාමරයක දර්ශනයක් ඒ නිදන කාමරයේ දොර ළඟින් නවත්තන්න වෙනවා. පොතක දි එහෙම නැහැ අපිට නිදහසේ ලියන්න පුලුවන්. අනිත් එක තමයි සති පතා ලැබෙන පාඨක ප්‍රතිචාර. අපි ලියන්න පටන් ගන්න කාලෙ අන්තර්ජාලය තිබුණේ නැහැ. දුරකථන පවා මේ විදිහට තිබුණේ නැහැනෙ. ලියුම් තමයි ලැබෙන්නේ. ඉතින් සමහරු විවේචනය කරල එවනවා සමහරු හොඳ කියල එවනවා. හුඟක් අය මේ චරිතත් එක්ක බැඳෙනවා. අපි මේ චරිතයකට අසාධාරණයක් කළොත් අපිත් එක්ක තරහ වෙනවා. මං ලිව්ව 'සුදු මල් පියවිලි' කියල නවකතාවක්. මේක ක්‍රිකටර් කෙනෙක් වටා තමයි ගොඩනැඟිල තියෙන්නේ. මේ ක්‍රිකටර් කසාද බැඳපු කෙනෙක් හැබැයි එයාට තියෙනවා විශේෂ සම්බන්ධයක් එයාගෙ පළමු පෙම්වතිය එක්ක. ඇය තමයි එයාව මෝටිවේට් කරන්නෙ. ඉතින් ගොඩක් පාඨකයන්ට කතාව අවසානයේ මේ දෙන්නව එකතු කරන්න ඕන වුනා. නමුත් මට එහෙම කරන්න ඕන වුණේ නැහැ. මේ නවකතාව කොටස් 5 කට පොත් පහක් හැටියට තමයි ආවෙ. ඒ කාලෙ මට හිටිය ගොඩක් හොඳ පාඨකයෙක් ඇය ග්‍රීසියේ හිටියෙ. සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර කෝල් කරල විස්තර එහෙම කියනවා. ඇය මම අවසාන කොටස ලියන කාලෙ මට කිව්ව ඔයා මධුරංගිට, ඒ කියන්නේ අර පළමු පෙම්වතියට, අසාධාරණයක් කළොත් මම ආය ඔයත් එක්ක කතා කරන්නෙ නැහැ කියල. කොහොම හරි පොත ආවට පස්සෙ මං එයාට කතා කරල කිව්ව පොත පිට වුණා කියල. එතකොට එයා ලංකාවට ඇවිත් හිටියෙ. එයා දැන්මම පොත ගන්නව කියල මට කිව්ව. එයා මට පහුවදා කෝල් කරල කිව්ව, මම පොත කියෙව්වා, මම පොරොන්දු කඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං කවදාවත් ආය ඔයාට කතා කරන්නෙ නැහැ කියල. අද වෙනතුරු එයා මට කතා කළේ නැහැ. කෞශල්‍ය: දැන් මේ විදිහට නිරන්තරයෙන් නවකතාව ලියන අතරෙ එන පාඨක අදහස් වලින් ලියන නවකතාව වෙනස් වෙන්නේ නැද්ද? චන්දි: නැහැ, මොකද ඒ වෙනකොට මගෙ හිත ඇතුලෙ නවකතාව සැලසුම් වෙලා ඉවරයි. නමුත් මෙහෙම දෙයක් වුණා. දැන් මගෙ මුල් කාලෙ නවකතා වල අවසානයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් මිය යනවා. මේකට මට පාඨකයන්ගෙන් විශාල විවේචන ආවා. සමහරු මගෙ පොත් කියවන්නෙ නැහැ කියල තර්ජනය කළා. ඉතින් මගෙ පසුකාලීන නවකතා වල ඒක වෙනස් වුණා. ඒක එහෙම වෙන්න ඒ පාඨක විවේචන බලපෑවා. කෞශල්‍ය: දැන් ඔබ කිව්ව නවකතා කිහිපයක් එකවර ලියනවා කියල. විවිධ හැඟීම් තියන, විවිධ දුක් කරදර වලට මුහුණ දෙන චරිත ගොඩක් එක්ක ජීවත් වෙන එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? චන්දි: මම හුඟක් වෙලාවට මගෙ නවකතා ලියන්නෙ සත්‍ය කතා ඇසුරෙන්. බොහෝ අය මට ඒ අයගෙ කතා කියනවා. අනිත් එක මම ගොඩක් විට කාන්තා චරිත මූලික කරගෙන තමයි ලියන්නෙ. සමහර අයගෙ කතා ඇහුවම මට දවස් කීපයක් නින්ද යන්නෙ නැහැ. කොහොමද ගැහැනු මේ තරම් දුක් විඳින්නෙ කියල හිතෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් දුක්විඳිමින් ඒත් ඒ ඉන්න තැන් වලින් ගැලවිලා එන්නෙ නැතුව ඉන්න හැටි ගැන පුදුම හිතෙනවා. ඉතින් මේ කතා මගෙ නවකතා වලට එද්දි මං ඒ අයගෙ දෛවය නවකතාව තුළ වෙනස් කරනවා. කෞශල්‍ය: දැන් මේ සිද්ධ වෙන වෙනස ඔබ හිතාමතා කරන දෙයක් ද? චන්දි: සමහර වෙලාවට හිතාමතා කරන දෙයක් නෙමෙයි. අපේ හිත ඇතුළේ වස්තු බීජයක් තියන කොට ඒක පියාපත් ලැබිල වගේ පියාඹන්න හදනවනේ. ඒක අපේ පාලනයෙන් තොර වෙනවා. එතකොට චරිත යන දිහාට අපිට ඒ අයව යවන්න වෙනවා. විසිවන සංවාදය : කැත්ලීන් ජයවර්ධන විසිඑක් සංවාදය : මංජුල සේනාරත්න විසි දෙවන සංවාදය :රූපා ශ්‍රියානි ඒකනායක විසි තුන්වන සංවාදය : කේ කේ සමන් කුමාර කෞශල්‍ය: දැන් මෙහෙම ලියාගෙන යද්දි නවකතාවක් අවසාන වෙන තැන වටහා ගන්නේ කොහොමද? චන්දි: පොතක අවසානය ගොඩක් ප්‍රබල වෙන්න ඕන. අර පළමු වාක්‍යය ලියන්න කල්පනා කරනවා වගේ දවස් ගානක් කල්පනා කරල තමයි අවසානයත් ලියන්නෙ. සමහර වෙලාවට පෲෆ් බලන කොට පදාස පිටින් වෙනස් කරනවා අවසානය ප්‍රබල එකක් කරන්න ඕන නිසා. සමහර වෙලාවට මම අවසාන කොටස් නැවත අලුතෙන්ම ලියල තියනවා. කෞශල්‍ය: ඔබ ලියන හැටි ගැන ටිකක් කියන්න පුලුවන්ද? චන්දි: මම වැඩිපුරම ලියන්න කැමති පාන්දරට. නමුත් රාත්‍රියට තමයි වැඩි පුර ලියන්න වෙන්නෙ. හැබැයි මට ඕනෙම තැනක ඕනෙම වෙලාවක ලියන්න පුලුවන්. දැන් ඉස්සර මගෙ දරුවො පොඩි කාලෙ ඒ ගොල්ලන්ව පන්ති වලට දාන්න යනකොට මම කාරෙකේ ලියන්න අවශ්‍ය දේවල් දාගෙන තමයි යන්නෙ. ඒ දෙන්න එනකන් ඉන්න අතරෙ මම ලියනවා. එහෙම නිස්කලංක පරිසරයක් ඕනෙ වගේ දෙයක් නැහැ. හැබැයි පාන්දර තමයි මම වඩාත්ම ප්‍රිය කරන වෙලාව. එතකොට ලියාගෙන ලියාගෙන යන්න පුළුවන් නවත්තන්නේ නැතුව. දැන් කම්පියුටර් එකෙන් ලියන නිසා ගොඩක් වෙලාවට ලියන කාමරේ තමයි ලියන්නේ. දැන් වුණත් හදිස්සියේ දුර පළාතක විනෝද ගමනක් වගේ ගියොත් මං අතින් ලියනවා. මොකද මං කොහෙ හරි ගියොත් ඒ පරිසරයේ හැම පුංචි දෙයක් ගැනම අවදානයෙන් ඉන්නේ. ඉතින් ඒ දේවල් නිර්මාණයක් කරන කොට ඒකට එකතු වෙනවා. නවකතා ලියන්න ගත වෙන කාලය ගත්තොත් සමහර නවකතා මාස දෙක තුනකින් ලියල ඉවර කරන්න පුලුවන්. සමහර නවකතා වලට ලොකු කාලයක් යනවා. දැන් මං 'ස්වප්න මායා' කියල නවකතාවක් ලිව්වා ඒකට අවුරුදු හයක් විතර ගියා. ටිකක් ලියනවා නවත්තනවා ආය ලියනවා. ඒකට මං කොච්චර කැප වුණා ද කිව්වොත් මං හින්දි භාෂාව පවා ඉගෙන ගත්තා. කොහොම වුනත් දැනටත් මම නවකතා දෙකක් තුනක් සමාන්තරව ලියනවා. 'අහස් උයන' කියල මගෙ පේජ් එකක් තියනවා ඒකට එකක් ලියනවා. පොතක් හැටියට තව එකක් ලියනවා. ඒ වගේම මම කම්පියුටර් එකෙන් ලිව්වට එක පොතක් තාමත් පෑනෙන් ලියනවා අකුරු කැත වෙයි කියලා. සාමාන්‍යයෙන් මම ලියාගෙන යද්දි හිර වීමක් ආවොත් හරි ඒ චරිතත් එක්ක ගැටිල ටිකක් බෝරින් වුනොත් මං වෙන එකක් ලියනවා. එහෙම නැත්තං පොත් කියවනවා. කොහෙ හරි ගමනක් ගිහින් ඇවිත් නැවත වාඩි වෙනවා. නැත්තං අලුත් කෑමක් හදනවා, එක්කෝ වත්තෙ වැඩක් කරලා නැවත එනවා. මෙහෙම තමයි. කොහොම හරි අඩුම තරමෙ දවසකට පැය තුනක්වත් ලියනවා. නොලියා හිටියොත් නොකා හිටිය වගේ අඩුවක් දැනෙනවා. කෞශල්‍ය: ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? චන්දි: මම ඇත්තටම ලියන්න පටන් ගත්තෙ දැන් මට අහිමි දෙයක් තියනවානෙ, මේක හිමි කරගන්න. දැන් හිතන්නකො මට අලුත් ගවුමක් නෑ කියල. හැබැයි මගෙ නවකතාවල ඉන්න අය ලස්සනට ගවුම් ඇඳල ඉන්නවා. මේක මං උදාහරණයක් හැටියට කිව්වෙ. මට අහිමි දේවල් ඔක්කොම මං නවකතා ලෝකය තුළ විඳිනවා. අනිත් අතින් ඉතින් මගෙ විනෝදාංශයත් ලියන එක, මගෙ වෘත්තියත් ලියන එක. හුස්ම ගන්නවා වගේ දෙයක් තමයි ලියන එක මට. සිංහල පාඨකයන් අතර සුවිශාල ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියක වන චන්දි කොඩිකාර ගේ ලිවීම සමඟ බැඳුණු අදහස් හා හැඟීම් ඇගේ නවකතා දෙස නැවත බලන්නට කෙනෙකුට බල කරන්නට ඉඩ ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සමකාලීන සිංහල සාහිත්‍යය තුළ සුවිශේෂී සලකුණක් තැබූ නවකතාකරුවකු වන සමන් වික්‍රරමාරච්චි ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
Rat Rod : 'කාර් එක පුරා එල්ලලා, ඇඳලා තියෙන්නේ මගේ සිතුවිලි' | 'Rat Rod' කලාව අනුව වඩාත් පැරණි පෙනුමක් ලැබෙන පරිදි නවීකරණය කළ ශ්‍රී ලංකාවේ මෝටර් රථයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය යොමු වූ වීඩියෝවක් සංසරණය වේ. එබැවින් එම කලාව සහ එම මෝටර් රථයේ හිමිකරු ගැන අපි සොයා බැලුවෙමු. තමන්ගේ වාහනයට අලුත් පෙනුමක් ලබා දීමට බොහෝ දෙන උනන්දු වුව ද කඩවත පදිංචි තාරුක තියුම් දාබරේට අවශ්‍යව තිබෙන්නේ ඔහුගේ මෝටර් රථයට පැරණි, වෙනස් පෙනුමක් ලබා දීමය. ''මේ කාර් එක පුරා එල්ලලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ මගේ සිතුවිලි. මේක මගේ ප්‍රකාශන මාධ්‍යය.'' යනුවෙන් තාරුක තියුම් දාබරේ BBC සිංහල සේවයට පැවසුවේය. |
'මම ලියන හැටි' : කේ කේ සමන් කුමාර | කේ කේ සමන් කුමාර යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ මඟහැරයා නොහැකි නවකතාකරුවෙකි. එසේම සිංහල සාහිත්‍ය නවීකරණය කිරීමට අධිපති ආකෘතීන්ට නිරන්තරයෙන් අභියෝග කරන නවකතාකරුවෙකි. නේරංජනේ ඉස්නානේ, පිණි අහුරක් ඉහිරුණා, මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා, මහිලාවංශය වැනි නවකතා ඔස්සේ සේම ඔහු විශිෂ්ට කෙටිකතා, කවි සහ විචාර ග්‍රන්ථ ඔස්සේ සිංහල සාහිත්‍යයේ වර්ධනයට සුවිශාල ලෙස දායක වී ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මම මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි ඔබ නවකතාවක සමාරම්භක මොහොතට මුහුණ දෙන හැටි ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු ආකාරය ගැන යමක් කියන්න පුලුවන් ද? සමන්: හැම පොතකදිම එකම විදිහයි කියල කියන්න බැහැ. නමුත් බොහෝ වෙලාවට මගෙ තියෙන්නේ සැලසුම් නොකළ ලිවීමක්. අපි ඔය ස්වයං සිද්ධ ලේඛනය කියල කියන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් සැලසුම් නොකරනවා කියන එක නෙමෙයි. සමහර වෙලාවට අවුරුදු ගාණක් ඒ ප්ලොට් එක ඔලුවේ තියාගෙන ඉඳලා ඒකෙ ආකිටෙක්චර් එක නෝට්ස් ගහලා එහෙම තියෙන්නත් පුලුවන්. දැන් මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන. මගෙ තියෙන එකක් තමයි ස්ටෝරි කියන එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒකෙන් කියන්නෙ මං ස්ටෝරි එන්ටර්ටේන් කරන්නෙ නැහැ කියන එක නෙමෙයි. වෙන අයගෙ ඒවා මං එන්ටර්ටේන් කරනවා. නමුත් ස්ටෝරි ලයින් එක පුලුවන් තරන් මකන්න තමයි මගෙ ඇඟෙන් එන්නෙ. ඒක මේ තියරිටිකලි එන එකක් නෙමෙයි. මට ඔය අංකොං, ඔය අනවශ්‍යයි කියල බැහැර කරන ඒව තියෙන්නෙ, ඒ වගේම උපාඛ්‍යානමය කෑලි, කිසිම සම්බන්ධයක් නැති ඒව මගෙ ලිවීම ඇතුළේ උඩට එනවා. එක රටාවකට ගොනු කරගෙන යන එකම මට හිතෙන්නේ උන්නතිකාමී යමක් ලුහුබඳින එකේ ප්‍රක්ෂේපණයක් කියල. මට ලයිෆ් එක ගැනත් එහෙමයි හිතෙන්නේ. ඕකට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ධනේෂ්වර මධ්‍යම පාංතික ආශාවන් ලුහුබැඳීම කියල කියන්න පුලුවන්. ස්ත්‍රීවාදී විදිහට ඕනෙනම් පිරිමි සුරතාන්තය හඹායාම කියල කියන්න පුලුවන්. මේක මට හරි පීඩාකාරී. මොකද මගෙ ලයිෆ් එක යන්නෙ එහෙම නෙමෙයි. තවත් විදිහකට කිව්වොත් දැන් ලෝකයේ සෞන්දර්ය විද්‍යාව ඇතුළේ හෙජමොනියක් හැදිල තියනවානෙ ඓතිහාසිකව. බටහිර ගත්තොත් ඇරිස්ටෝටලියන් ආඛ්‍යානය, මෙහෙ ගත්තොත් භරතමුණිගේ සංස්කෘත එක. මොඩර්නිසම්, පෝස්ට් මොඩර්නිසම් මොනවා ආවත් අවසානයේ ඒව අතෙන්ට සම්බන්ධ වෙනවා. ලෝකයේ තියන හෙජමොනික දේවල් ඔය බුකර්, නොබෙල් ප්‍රයිස් වගේ ඒවා ගත්තත්, මෙහෙ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල, සාහිත්‍ය පිටු සංස්කාරකවරු ගත්තත්, ඇකඩමියාවේ උගන්නන ඒව ගත්තත් එක හෙජමොනික ආඛ්‍යානයක් තියනවා. ඒක ඇතුළේ විවිධත්වයන් තියනවා. ඒක මම පිළිගන්නවා. ඒක බිඳ දමන දේවලුත් ඒක ඇතුළෙම තියනවා. හැබැයි මේ ඔක්කොම අවසානයේ අරකටම තමයි යන්නේ. දැන් කොටින්ම මනෝවිශ්ලේෂණය පවා යනවනෙ එතෙන්ට අන්තිමට ඔය සංකේතීය පියා වැනි සංකල්ප එක්ක සහ සමහර ලිංගිකත්වයන් විපරීත හැටියට සලකුණු කිරීම එක්ක. මේකෙ මට අවසානයේ පේන්නේ දෙවියන්වහන්සේම තමයි. අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගේන පොලිටිකල් කරෙක්ට්නස්, එතික්ස්, ඩයිවර්සිටි වගේ දේවල් ගත්තොත් මට අවසානයේ පේනවා බයිබලයේ කෝඩ් එක, ඒ දස පනතම. දැන් මෙහෙන් ගත්තොත් පංච ශීලය හරි දස සීලය හරිම පේනවා. අපි සාමාන්‍යයෙන් සෞන්දර්ය විෂුවල් එකක් පවා හදන්නේ මේක ඇතුළේ ස්ටීරියෝ ටයිප් කරපු විදිහකට. දැන් මේකෙදි යටපත් කරන ලද චිත්තවේග තියනවා, භාවවේග තියනවා, සංස්කෘතික භාවිත තියනවා. මං මේ වෙනකොට මගෙ ලිවීම ඇතුළේ අල්ලන්න හදන්නේ අන්න එවැනි මේ හෙජමොනික ආඛ්‍යානය විසින් බැහැර කරන දේවල් තමයි. හැබැයි යම් කාලයක් මමත් අරකෙ හිටියා. දැන් මං ආපහු ඔබගේ ප්‍රශ්නයට එන්නම් පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන. මට හුඟක් වෙලාවට ප්ලොට් එකත් හදිසියේ පහළ වෙනවා, ඒකත් එක්කම පළවෙනි වාක්‍යයත් එනවා. ඒක නිකං අවිඥ්ඥානික, කොහෙන්දෝ තියන ලෝකයකින් එන එකක් වගේ. අර ආධ්‍යාත්මික සාහිත්‍යයේ කියන්නේ විශ්වයෙන් එන පණිවිඩයක් කියල. ඒ විදිහට හදිසියේ පහළ වෙලා සති දෙකෙන් විතර ඉවර කරපු වැඩත් තියනවා. සමහර ඒව තියෙනවා පළවෙනි වාක්‍යය ලියන මුල් ඡේදයක් දෙකක් ලියල ඔහේ කාලයක් පල් වෙමින් තියන වැඩ. හැබැයි ඒ මොහොතෙ ඉඳන් ඉන්නෙ ඒකත් එක්ක. හැබැයි පළවෙනි වාක්‍යය අර සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ තියෙන්නෙ හෙණයාක් සේ පතිත වූ අහසින් කියල. එතෙන්දි අපි හෙණය කියන එක හරි මිහිරි එකක් හැටියට ගමුකෝ. අන්න ඒ වගේ එක පාරටම එන විදුලියක් වගේ තමයි එන්නේ. කෞශල්‍ය: දැන් එතකොට මේ පළවෙනි වාක්‍යය ලියවෙන මොහොතෙදි මේ ලියන්න යන නවකතාව ගැන තියන දැනුම මොනවගේ ද? සමන්: ඒක එකිනෙකට වෙනස්. දැන් මාව සාහිත්‍යකරුවෙක් හැටියට මුලින්ම වැඩිදෙනෙක් අඳුරගන්න 'සර්පයෙකු හා සටන් වැද' කෙටිකතාව ගත්තොත් ඒකට එහෙම ප්ලොට් එකක් ඔලුවෙ තිබුණේ නැහැ. හැබැයි මම සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කියවල ඒකට වශී වෙලා හිටියෙ. එතකොට මං අහල තිබුණ මං හිටපු පළාතේ එක ගෙදරක තාත්තයි දුවයි අතර සම්බන්ධයක් තියනවා කියල. මේ අසූවෙ මුල. ඒ වෙනකොට මට කිසිදු ලිංගික අත්දැකීමක් නෑ. පෝර්න් කියලත් ඒ දවස් වල අපිට තිබුනෙත් පත්තරනේ. චිත්‍රපටයකවත් ලිංගික දර්ශනයක් දැකල නැහැ. හැබැයි දවසක් මං කඩේට ගිහින් එන විනාඩි පහක මොහොත ඇතුළේ එකපාරට මේ ප්ලොට් එක ස්පාර්ක් වුණා. ගෙදර ආවා වාඩි වුණා ලිව්වා. විනාඩි විස්සක් විතර ඇතුළත මේ කෙටිකතාව මං ලියල ඉවර කළා. අදටත් ඒකෙ කිසිම දෙයක් වෙනස් කරල නැහැ. හැබැයි නවකතාවක් වගේ එකකදි එහෙම බැහැ නෙ. එතෙන්දි අපි කොච්චර විරුද්ධ වුණත් මහා ආඛ්‍යානයක් තියනවනේ. අපි කොච්චර ස්ටෝරි ලයින් එකට විරුද්ධව කතා කළත් ස්ටෝරි ලයින් එකක් තියනවනේ ඒකෙ ආකිටෙක්චර් එක හැටියට හරි. දැන් මගෙ 'නේරංජනේ ඉස්නානේ' නවකතාව මං ලිව්වෙ ඒ වෙනකොට මාත් එක්ක ජීවත් වුණු චරිතයක් මගෙන් ඈත් වෙන මොහොතක. එයාටත් වෙන සම්බන්ධයක් ගොඩනැගිල තිබුණා ඒ වෙනකොට. දවසක් රෑ එයා ඇඳේ නිදාගෙන හිටියා. මම ලියන්නේ බිම කුෂන් එකක් දාගෙන දණගහගෙන වගේ තමයි ඒ දවස් වල. මම එකපාරටම හැරිල බලද්දි මං දැක්ක මෙයාව, එයා නිරුවතින් තමයි නිදාගෙන හිටියෙ. එයාගෙ පිටුපස තමයි මට පේන්නේ. මට එකවරම හිතුනා මේ ගෑනි මේ බුදුවෙන්න නේද ට්‍රයි කරන්නෙ කියල. එහෙම තමයි නේරංජනේ ප්ලොට් එක ආවෙ. ඒක ලියවුණේ මාසයක් වගේ ඇතුළත. දැන් මේ ප්ලොට් එක දවස් දෙකක් විතර ඔලුවෙ වැඩ කරන අතරෙ මං නැදිමාලේ බෞද්ධ මධ්‍යස්ථානයට ගිහින් සමහර පිටක අරගෙන ආවා. මං කලින් ඒවා කියවලත් තිබුණා. ඊට අමතරව ඔය බෞද්ධ විද්වත්තු එක්ක යම් යම් දේවල් කතා කළා. මේ විදිහට සතියක විතර කාලයක් ගියා. ඉන් පස්සෙ මාසයක් විතර ඇතුළත නවකතාව ලියල ඉවර වුණා . දැන් 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' නවකතාවෙ පළවෙනි වාක්‍යය ලියවෙන කොට මට ප්ලොට් එකක් තිබුණේ නැහැ. ප්ලොට් එක ආවෙ පස්සේ. ඒකත් මම මාස තුනක් විතර ඇතුළත ලියල ඉවර කළා. ඒක එක විදිහක්. දැන් 'මහිලාවංශය' වගේ නවකතාවක් ගත්තොත් ඒක තුළ මගෙ අම්මගෙ ඉඳල මගෙ කුඩම්මගෙ ඉඳල මගෙ ස්ත්‍රී සම්බන්ධතා ඉඳල මේ සියල්ල මට ගොනු කරන්න ඕනෙ වෙනවා. මං මේව තුළ විඳපු සයිකොලොජිකල් දේවල් මට ගේන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒක තුළ ආකයිවල් ෆෙමිනිස්ට් ලයින් එකක්, ඒ කියන්නේ ඔය කුවේනි ගෙ දේවතාවියන්ගෙ වගේ දේවල් සහිත ලයින් එකක් ගේන්න ඕනෙ වෙනවා. මේ වගේ තව බොහෝ දේවල් මේක තුළ ගොනු වෙලා තිබුනා. හැබැයි මම 2005 විතර ඉඳන් මේක ලියන්න ට්‍රයි කරනවා ඒ හැම අවස්ථාවකම මොකක් හරි දෙයක් ඇවිත් ඒකට බාධා වෙනවා. හොඳට ලියාගෙන යද්දි ජීවත් වෙන්න සල්ලි නැතිම තත්වෙට පත්වෙනවා, වතාවක් මගෙ අත පණ නැති වෙනවා, ජීවිතේ විශාල බිඳවැටීම් එනවා. මේක ලියන්න දෙන්නෙම නෑ. මේකම සයිමන්ටත් උනා ස්වර්ණ වන්නියේ වල්ලිඅම්මලා ලියද්දි. ඒක ලියන්න දුන්නෙම නෑ. වතාවක් අත්පිටපත නැති වෙනවා. අදටත් ඒ පොත තියෙන්නෙ මැද්දෙන් ඉවර වුණු එකක් හැටියට. දැන් මේ සයිමන් ගේ පොත ඇතුළේ එයාගෙ සම්භවය පිලිබඳ අවිඥ්ඥාණික ට්‍රෝමා එක තිබුණා කියන එක මම දැනගෙන හිටියා. ඒක මම විචාර වල සඳහන් කරලත් තියනවා. එතකොට මගෙ මහිලාවංශය ඇතුළෙත් අම්මා සහ තාත්තා පිළිබඳ යම් ට්‍රෝමා එකක් තිබුණා. දැන් මේකෙ එක ඩ්‍රීම් එකක් තේරුම් ගන්න මං මනෝවිශ්ලේෂණයේ සියලු ගුරුකුල ඇසුරු කරනවා, අභිධර්ම කියවනවා, කර්මය පිළිබඳ ඉන්දියානු සම්භාව්‍ය ග්‍රන්ථ හොයාගෙන යනවා. දැන් මේක මැද්දේ මගෙ අත පණ නැති වෙන කොට මට හිතෙනවා මේක මගෙ මනසෙ ඇති වෙන සයිකොසිස් එකක්. මට මේක ලියන්න දෙන්නේ නැහැ. ඒ අතම පණ නැති කරනවා. එතෙන්දි මං සයිකියැට්රිස්ට් කෙනෙක් ගාවට මාස හයක් විතර දිගටම යනවා. පස්සෙ ෆිසියොතෙරපි එහෙම කරල ඒක හොඳ වෙනවා මේ 2008 වගේ කොහොම හරි අන්තිමට 2015 දි මට උදව් කරන මිත්‍රයෙක් එයා මට අවුරුද්දක් විතර වෙන කිසිම වැඩක් නොකර මේ පොත ලියන්න මට ස්පොන්සර් කරනවා. එහෙම තමයි අන්තිමට 'මහිලාවංශය' පළවෙනි වෙලුම ලියල ඉවර කරන්නෙ. ඉතින් මේක තවත් විදිහක්. කෞශල්‍ය: මේ ලියන ක්‍රියාවලිය ඇතුළේ ඔබගෙ ජීවිතය ගෙවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? සමන්: මගෙ තියනවා අර මලපෙරේතයා වගේ ලියන එක. සමහර වෙලාවට දවස් දෙක තුන දත් මදින්නේ නෑ මූණ හෝදන්නේ නැහැ. සුලු ආහාරයකින් ඉන්නේ. ඔය කෝපි වගේ දෙයක් වැඩිපුර ගන්නවා. අනිත් සමහර වෙලාවට බස් එකෙත් ලියනවා. ඉඩක් අහුවෙන තැනක ලියනවා. මේ අවස්ථාවේ මං ලියන එක ගත්තොත් එහෙම සිතිවිල්ල එක එක හිතේ තියාගෙන ඉන්න බැහැ. මොකද මම ලියන්නෙ කතාන්දරයක් හැටියට නෙමෙයිනෙ. එන සිතිවිලි, අපි උදාහරණයක් හැටියට ගම්මුකො චක්කු විඥ්ඥානය කියල. දැන් අපි නිකන් පිරිමි බැල්ම තුළින් හිතුවොත් අපිට ගෑනියෙක් දැක්කම ඒ රූපය මොලේට යන්න කලින් ඇහේම පහළ වෙනවනෙ සිතිවිල්ලක්. මේක මේ විද්‍යාත්මක අර්ථ නිරූපනයක් නෙමේ. මං මේ කියන්නේ අපි දකින කොටම එන සිතිවිල්ල ගැන. දැන් මේක හිතේ තියාගෙන ඉඳල ලියන්න බැහැ. මේ වැඩේදි මං පාරෙ යන කොටත් නෝට් පොතක් තියනවා. හිටිගමන් ලයිට් කණුවක් ගාව නතර වෙලා ලියනවා. එතකොට මගෙ කොමෝඩ් එක ලඟ නොට් බුක් එකක් තියනවා, උයන තැන තව එකක් තියනවා. වෙන වෙනම එක එක තැන් වල මං කඩදාසි තියල තියෙන්නෙ. දැන් මේ ලියවෙන ඒවයෙ සමහර වෙලාවට කිසිම සම්බන්ධයක් නෑ. අර විශ්වයේ කේඕස් එක වගේ. දැන් මගෙ සංවිධානාත්මක ලිවීම ගත්තොත් මං පාන්දර හතරට විතර ඇහැරෙනවා. එතකොට අර ඇහැරෙනකොටම එන සිතිවිලි. කුරුල්ලන්ගෙ සද්ද යන්තමට ඇහෙද්දි. ඇඳේ ටෝච් එකක් තියනවා. කඩදාසි තියනවා. නයිට් ලෑම්ප් එකකුත් දාල තියෙන්නෙ. මං ඕකෙ කුරුටු ගානවා. සමහර වෙලාවට හරියට නැගිටින්නෙත් නෑ. ඒක අර්ධ නින්දක්. ඒක ඊලඟට මං ගන්නෙ ලුසිඩ් ඩ්‍රීම් එකක් හැටියට. ලුසිඩ් ධ්‍රීම් එකක් කියන්නෙ නිදිත් නෑ නිදි නැත්තෙත් නෑ. මේක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. සමහර වෙලාවට මේකෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඒකට මං දැන් ටොටම් එකක් තියාගෙන ඉන්නෙ මේකෙන් ගැලවෙන්න. මං අතරමං වෙච්ච වෙලාවට එලියට එන්නෙ ඒකෙන්. ඔහොම පාන්දරින් පටන් ගන්න ලිවීම නතර වෙන්නෙ මුත්‍රා බරක් ඇවිල්ල, කෝපි එකක් හදා ගන්න එළියට ඇවිත් වගේ දේකින්. දැන් ඊට පස්සෙ ලිවීම සිද්ද වෙන්නෙ අර පාන්දර එකට වඩා සවිඥ්ඥානිකව. මේක නවතින්නෙ දරා ගන්න බැරි බඩගින්නක් ආවම. මේ විදිහට මුලු දවසම ලියන එක තමයි කරන්නෙ. දැන් අවුරුදු හතක් විතර තිස්සෙ මං මේ ලියන නවකතාව ගත්තම ඒකෙ මං වැඩිපුරම උනන්දු වෙන්නෙ මේ සවිඥ්ඥානිකත්වයේ මැදිහත් වීමෙන් තොරව එන දේවල් ලියන භාෂාව හොයා ගන්න. කෞශල්‍ය: දැන් ඔබේ නවකතා අවසන් කරන තැන ඔය කොහොමද හොයා ගන්නේ? සමන්: ඒකත් නිකං එක ෆීලිං එකක් මේක තමයි අන්තිම වාක්‍යය කියල. ඒකත් අර පළවෙනි එක වගේ, අර සමාරම්භක වාක්‍යය වගේ, ඒ තරං හොඳ වාක්‍යයක් තවත් නෑනේ. මං කවදාවත් පළවෙනි වාක්‍යය ලියල පැත්තකට දාලා ආයා ලියල එහෙම නෑ. ඒක එකපාරටම පහළ වෙනවා. අවසානයත් ඒ වගේ තමයි එන්නෙ. ඒක මගෙ පාලනයෙන් පරිබාහිරයි. හැබැයි හරියටම ඒ අන්තිම වාක්‍යය ලියන්න කලින් ඊට කලින් වාක්‍යකදි දැනෙනවා මේ අවසානය කියල. ඊලඟ වාක්‍යය තමයි අවසාන වන තැන කියල. ඒක තාර්කිකව නෙමෙයි හිතෙන්නෙ. ඒක ඉවක් වගේ දෙයක්. සමහර වෙලාවට තවදුරටත් යා හැකිව තිබිය දී, නිකං තව දුරටත් රමණය කළ හැකිව තිබිය දී තෘප්තියෙන් ඉන්න විට නවතිනවා වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඒක කලින් සැලසුම් කරන්න බැහැ. දැන් මේ ලියමින් ඉන්න නවකතාව ගත්තොත් ඒකෙ ප්‍රින්ටඩ් වර්ෂන් එක පිටු 2000ක් විතර වෙයි. මේකෙ සමහර කොටස් මම පළ කරන්න හිතන් ඉන්නෙ මගෙ මරණයෙන් පස්සෙ. ඒක වෙබ් වර්ෂන් එකක් හැටියට මගෙ මරණයෙන් පස්සෙ පළ වෙයි. එතකොට මුලු පොත පිටු 3000ක් විතර වෙයි. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුනාම දැනෙන්නේ කොහොමද? සමන්: මට 'මහිලාවංශය' පළවෙනි කොටස ලියල ඉවර වුනාම තමයි මම ලොකුම අර්බුදයට ගියේ. ඒක අවුරුද්දක් ඇතුළත එක දිගට ලිව්වනෙ. මිනිස් ආශ්‍රයක් නෑ. එළියේ යථාර්ථයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මේක ලියන අතරෙත් වතාවක් මාව ටිකක් අවුල් වුනා ඔය නිසා. ඉතින් 'මහිලාවංශය' ලියල ඉවර වෙලා මං කොළඹ පාරවල් වල ඔහේ ඇවිද්දා. ඔය අසූව දශකයෙ අපි චිත්‍රපටි බලන්න ගියපු තැන් වල, ඒ කාලෙ තේ බීපු පෙට්ටි කඩ තිබුණ තැන් වල. අර හදවතට වැදිච්ච තැන් තියෙන්නෙ අපේ තැන් කියල. ඒ හැම තැනකම මං ඇවිද්දා. මොකද නවකතාවක් ලියල ඉවර වුනාම අර නොදන්නා රටකට ආවා වගේ එකක් තියනවා. මේක නෝමල් වෙනකං මං ඇවිදිනවා. යාලුවො හම්බ වෙනවා. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? සමන්: ලිවීම මට පේන්නෙ එක පැත්තකින් තාපසයෙකුගෙ සොයා යාමක් වගේ. අනිත් පැත්තෙන් විද්‍යාඥයෙකුගේ සොයා යාමක් වගේ. තවත් පැත්තකින් මානසික ලෝකයක් තුළ අමු සල්ලාලයෙක්, පාදඩයෙක්, මේ විදිහෙ ජීවිත ගණනාවක ට්‍රිප් එකක්, ඇඩ්වෙන්චර් එකක් ගන්න උත්සාහ කරන රෝල් එකක් විදහට තමයි මට මේක පේන්නෙ. ජීවිතයේ පරම ප්‍රමෝදය ලුහුබඳින දෙයක්, දැන් පරම ප්‍රමෝදය විවිධාකාරයි නේ. සමහරු මේක ස්ත්‍රීන් එක්ක කරනවා, දැන් මට ඒක නෑ, මට ලව් එක්ක විපරීත සම්බන්ධයක් තියනවා ඒක වෙන ආකාරයකට. දැන් මට ඩ්‍රග්ස් වගේ එකක් කොහොමටවත් නෑ. ඇල්කොහොල් වුණත් යම් ප්‍රමාණයකටනේ ගන්න පුලුවන්. ඒව ඉවර වෙනවා. හැබැයි ලිවීමේ ප්‍රමෝදය කියන්නෙ මේ කිසි එකක් වගේ නෙමෙයි. ඉවර වෙන්නෙ නැහැ. ඒක මේ පාඨකයෙක් කියවන්න ඕන කියල එකක් නෑ. ඒ ලියන ප්‍රොසෙස් එක තුළ තමයි මේක තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවන පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකරුවෙකුගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඔහුගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඔහුගේ ආත්මය ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත. මීළඟ සතියේ අප මුණගැසෙන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අතිශය ජනප්‍රිය නවකතාකාරියක වන චන්දි කොඩිකාර යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
බොබ් මාලිගේ කොණ්ඩය හැඩ කළ ආගම | බොබ් මාලි සහ ඔහුගේ කැරලි කොණ්ඩය ලොවක් හඳුනන අනන්‍ය සංකේතයකි. රෙගේ තරුවගේ ජීවිතය පිළිබඳ නව චිත්‍රපටයක් එළිදක්වන විට, ඔහුගේ රස්තෆාරි ඇදහිල්ල ගැන තොරතුරු මේ වීඩියෝවේ ඇතුළත් වේ. |
'මම ලියන හැටි' : රූපා ශ්‍රියානි ඒකනායක | රූපා ශ්‍රියානි ඒකනායක යනු සිංහල සාහිත්‍යය තුළ සුවිශේෂ පාඨක විචාරක ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියකි. ඇය අතින් විජයයි කුවේණියයි, සෙංකඩගල මහබිසෝ, සෝබන මාලිගා, දුටිමි නෙතින් කසුප් නිරින්ද් වැනි ඓතිහාසික නවකතා ද බැද්දේ කුලවමිය, සිටුවර පුවත, භේරුණ්ඩ කැදැල්ල වැනි සමකාලීන සමාජය පරිකල්පනය කරන නවකතා ද උන්මාද තොටමුණ වැනි අනාගතය පුරෝකථනය කරන නවකතා ද ලිය වී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලිවීම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මුලින්ම මම ඔබගෙනුත් අහන්නේ නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? රූපා: පළවෙනි වාක්‍යය නවකතාවකට ඉතාම වැදගත්, මොකද නවකතාවට පිවිසුම් දොරටුව වගේ පාඨකයාට හැඟෙන්නේ පළවෙනි වාක්‍යයෙන් තමයි. සමහර වෙලාවට නවකතාවක පළවෙනි වාක්‍යය ඩයලොග් එකක් වෙන්නත් පුළුවන්. දැන් මගෙ සමහර පොත් වල එහෙම ඩයලොග්ස් වලින් පටන් අරන් තියනවා. නමුත් ඒ දෙබස් කණ්ඩය නවකතාව හකුළුවා දක්වන එකක් වුණොත් තමයි ඒක ආරම්භයට ගැලපෙන ප්‍රාණවත් එකක් වෙන්නේ. දැන් ලෝක සාහිත්‍යයේ වුණත් නවකතා ගත්තොත් ඒ සමහර පළමු වාක්‍යය අපිට දැනටත් මතකයට එනවා. මට මතකයි ජෝර්ජ් ඔවෙල්ගේ 1984 නවකතාව පටන් ගන්නේ "It was bright cold day in April, and the clocks were striking thirteen" කියලා. දැන් සාමාන්‍යයෙන් ඔරලෝසුවේ දහතුන වදිනව කියන එකත් එක්ක කියවන්නාට ඇතිවෙනවා අමුත්තක්. ඇත්තටම මම නවකතා ලිවීම ආරම්භ කරන කාලේ මට මේක ගොඩක් වැදගත් දෙයක් හැටියට හිතුණේ නැහැ. නමුත් පසුකාලීනව මම මේක පාඨකයා ඇදබැඳ ගැනීමට මොනතරම් වැදගත් ද කියන එක තේරුම් ගන්නවා. හැබැයි මම ලියන පළමු වාක්‍යය නිතරම වෙනස් වෙනවා. ලියාගෙන යද්දි හිතෙනවා ලියපු ඡේදේ වෙනුවට මේ ඡේදේ පළවෙනියට දැම්ම නම් හොඳයි මේ වාක්‍යය පළවෙනියට දැම්ම නං හොඳයි වගේ කියල. කොහොමවුණත් ඒක තීරණය වෙන්නේ අදාළ වාක්‍යය මොනතරම් දුරට මේ නවකතාවට ප්‍රවේශ වීමේ මොහොතට මොන තරම් සාර්ථක ද කියන එක මත. මට තව දෙයක් කියන්න ඕන, අපි දැකල තියනවා ලෝක සාහිත්‍ය සංවාද වල මේ පළමු වාක්‍යයේ වැදගත්කම ගැන කතා කරනවා නිතරම. නමුත් මම මොනතරම් ලංකාවෙ සම්මුඛ සාකච්ඡා වලට ගියත් මේ ප්‍රශ්නය මගෙන් පළමු වතාවට අහන්නේ ඔයා. ඒකට ස්තුතියි. මොකද නවකතා ලිවීමට උනන්දු වන අයට වගේම විචාරකයන්ටත් මේක අතිශය වැදගත් තැනක්. නවකතාකරුවාගේ පැත්තෙන් හිතුවොත් මට නං මේක හරිම චැලෙන්ජින් දෙයක්. මේ පළමු වාක්‍යය ලියන එක. හැබැයි ඒක ලිව්වට පස්සේ අනෙක් වාක්‍යය ඉතා පහසුවෙන් ගලාගෙන එනවා. කෞශල්‍ය: දැන් මේ පළමු වාක්‍යය ලියන අවස්ථාවේ දි ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? රූපා: සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තමයි මම ලියන්න යන නවකතාව මේක තමයි පරිසරය මෙහෙම චරිත තමයි ඉන්නේ, මේ තේමාව වටා තමයි ගමන් කරන්නේ කියන දේවල් වලින් හැදිච්ච පොඩි සංක්ෂිප්ත විස්තරයක් ඔළුවෙ කැරකෙනවා. ඒකත් එක්ක තමයි මම ලියන්න වාඩි වෙන්නෙ. සිද්ධි දාමයක් ඔළුවෙ කැරකෙනවා. ඒක ලිවීම ඇතුළේ ගොඩක් වෙලාවට වෙනස් වෙන්න ඉඩ තියනවා. දැන් මම ඓතිහාසික නවකතා ලියල තියනවනේ. විජයයි කුවේණියයි, සෙංකඩගල මහබිසෝ, සෝබන මාලිගා වගේ ඒවා. එතනදි ඉතින් ඉතිහාසෙ ලියවිලා තියන කතාවක් අරගෙනම තමයි මම වාඩි වෙන්නේ. චරිත විකාශනයෙදි ඒ ඉතිහාසේ ඉන්න චරිතයම නෙමෙයි අපි විකාශනය කරන්නේ. නමුත් ඓතිහාසික විස්තරයක් අපේ ඔළුවෙ සටහන් වෙලා තියනවා. දැන් පරිකල්පනය එක්ක ලියන සමාජ නවකතා, ඔය සිටුවර පුවත, භේරුණ්ඩ කැදැල්ල වගේ ඒවා ගත්තොත් ඒවයේදිත් මම මෙන්න මේ චරිත එක්ක තමයි මේ නවකතාවෙ ජීවත් වෙන්නෙ කියල ලියන්න පටන් ගන්න කලින් දන්නවා. දැන් මීට අමතරව මම ලිව්ව 'උන්දමාද තොටමුණ' කියල නවකතාවක් මේක ලිව්වෙ අනාගතය ගැන. 2033 දි ලංකාව මොන වගේ වෙයිද කියන එක පිළිබඳ පුරෝකථනයක්. මම මූලිකව ගත්තේ තාක්ෂණය, රොබෝ ටෙක්නොලොජි එක. අපි ලෝකයේ සිද්ධ වෙන තාක්ෂණික වර්ධනයන් එක්ක 2033 දි මොනවගේ තැනකට යයි ද කියන එක ගැනයි ඒකෙදි කියන්න උත්සාහ කළේ. මේකෙදි ලියන්න කලින් හිතේ ගොඩනැඟුණු දේවල් ලියද්දි සෑහෙන්න චැලේන්ජ් වුණා. කෞශල්‍ය: දැන් එතකොට මේ දේවල් හිතේ විතර ද තියෙන්නේ ලිවීමට පෙර ගහගන්න කටු සටහන් වගේ දෙයක් තියනව ද? රූපා: ඇත්තටම ලියන්න පටන් ගන්න කලින් මම කිසිම ස්කෙච් එකක් හෝ සටහනක් තියා ගන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ හිතේ. නමුත් ලියන්න පටන් ගත්තට පස්සෙ, අපි ලියන්නේ අනෙකුත් වැඩ අතරෙනේ, එතකොට මතක් වෙනවා මෙන්න මේ සිද්ධිය මෙතෙන්ට ආවොත් හොඳයි වගේ කියල. සමහර වෙලාවට ඒ ඒ චරිත වල දෙබස් හිතට එනවා. ඒ වෙලාවට සටහන් තියා ගන්නවා. මොකද එහෙම එන දේවල් ආයෙ කවදාවත් එන්නේ නැහැ. නමුත් නවකතාව ලියන්න පටන් ගන්න කලින් කිසිම ස්කෙච් එකක් ගහන්නේ නැහැ. දැන් ඓතිහාසික නවකතා ලියද්දි ලිවීමට පෙර ලොකු හැදෑරීමක් කරන්න වෙනවා. එතෙන්දි කියවපු පොත් වල අදාළ තැන් වල බුක් මාක් තියල ලියන අතර තුර නැවත පරිශීලනයට සූදානම් කිරීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට කෙටි සටහන් ගැනීමක් කරනවා. නමුත් එතෙන්දි වුණත් ලොකුවට ලියන නවකතාවට අදාළ කටුසටහනක් හැදෙන්නේ නැහැ. කෞශල්‍ය: ලිවීම පටන් ගනිද්දි නවකතාව අවසන් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් ද? රූපා: ලිවීම ආරම්භ කරද්දි යන්නෙ කොහෙටද කියන එක ගැන දැනුවත්. හැබැයි ලියාගෙන යනකොට ඒ යන්න හිතපු තැන නැහැ යන්නෙ වෙනත් දිශාවන් වල. අපි පොඩි චරිත හැටියට ගන්න ඒවා ප්‍රබල චරිත බවට පත් වෙනවා. අපි කේන්ද්‍රීය චරිත හැටියට ගන්න ඒවා දුර්වල චරිත බවට පත් වෙනවා. දැන් උදාහරණයකට බැද්දේ කුලවමිය නවකතාව ගත්තොත් මම ෆෝකස් කළේ 'චංචලා' කියන ගැමි යුවතියගෙ චරිතයට. නමුත් ලියාගෙන යනකොට චංචලාගෙ මහත්තයගෙ අම්මගෙ චරිතය, 'කුමාරි මැණිකේ' ගේ චරිතය ඉතාම ප්‍රබල වෙලා. හුඟක් අය පොත කියවල මගෙන් ඇහුවා 'බැද්දේ කුලවමිය' කියන්නෙ චංචලා ද නැත්තං එයාගෙ නැන්දම්මද කියල. මේ විදිහට අපි ප්‍රධාන චරිතයක් හැටියට ගන්න අය වෙනත් චරිත විසින් යටපත් කරන අවස්ථා තියනවා. ඔයත් දන්නවනෙ අපිට චරිත හසුරුවන්න බැහැ. චරිත විසින් අපිව හසුරුවනවා. මං අහල තියනවා කවුරුහරි ලියෝ ටෝල්ස්ටෝයි ගෙන් අහනවා ඇයි ඇනා කැරනිනාව කෝච්චියට පැන්නුවේ ඒක හරිම ඛේදනීයයි නේ කියල. එතකොට ටෝල්ස්ටෝයි කියල තියනවා, මම දන්නෙත් නැහැ ඇනා කැරනිනා කෝච්චියට පැනල කියල. අන්න ඒ වගේ. මම හිතනවා මේ විදිහට චරිත වලට නිදැල්ලේ යන්න ඉඩ දෙන එක හොඳ දෙයක් කියල. නමුත් එතකොට අපි ලියන්න කලින් හිතපු අවසානය වෙනුවට නවකතාව වෙනත් ගමනාන්තයක් හොයාගෙන ගිහිල්ල අපි දන්නෙත් නැහැ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන හැටි ගැන. දැන් නවකතාවක පළමු වාක්‍යය ලිව්වට පස්සෙ මේකත් එක්ක කාලය ගත වෙන්නේ කොහොමද? රූපා: ඒක නවකතාවෙන් නවකතාවට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඓතිහාසික නවකතා ගත්තොත් ඒකට ටිකක් වෙලා යනවා. ඒකෙදි ඒ ඓතිහාසික පරිසරය ඒ චරිත ඒ වගේම මේ මැද්දට අපි දානව පරිකල්පිත චරිත. එතකොට ඓතිහාසික සැබෑ චරිත එක්ක මේ චරිතත් ඝට්ටනය වෙනවා. මේව එක්ක ගනුදෙනු කිරීමේදී ගත කරන්න සිද්ධ වෙන කාලය වැඩියි. දැන් මම අනගාරික ධර්මපාල තුමාගේ චරිතය කේන්ද්‍ර කරගෙන ලියපු සෝබන මාලිගා කියන නවකතාවේ මම යන්ග් කපල් එකක් දානවා ඒ ගොල්ලො තමයි මේ කතාව කියන්නේ. දැන් මෙතෙනදි සමීපව හදාරන්න වෙනවා අපි මේ කරන දේවල් හරිද කියන එක ගැන. දෙබස් වුණත්, ඒ ගොල්ලෝ යන එන තැන්, ඒ ගොල්ලන්ගේ චර්යා රටා මේ හැම දෙයක්ම ගැන හරි සියුම්ව බලන්න වෙනවා. ඒ හින්ද කතාවත් එක්කම ජීවත් වෙන්න වෙනවා. දැන් මම කිව්වෙ මම අර අනාගතය පුරෝකථනය කරල නවකතාවක් ලිව්ව කියල. ඒවගේ ලිවීම් වලදි ඉතින් ඉන්නේ මා නොවන මම තමයි. හරිම ඔබ්සෙස්ඩ්. ඒකත් එක්කම කාලය ගත කරන්න තමයි ඕනෙ. වෙන වැඩ එනකොට සමහර වෙලාවට තරහත් යනවා. මම හිතපු දේවල් ගිලිහෙයිද කියල හිතෙනවා. ඕනෙම නවකතාවක් ලියද්දි මං හිතන්නෙ මං ලෝක දෙකක ජීවත් වෙනවා. සමහර වෙලාවට නවකතාව කියන කුටුම්බයට හරි චේම්බර් එකට හරි කොටු වෙලා ඒ සිහින ලෝකෙ ඉන්නවා. ඒ අතර අපේ එදිනෙදා පැවැත්මටත් එනවා. එතකොට යම්තාක් දුරට අර සිතිවිලි වෙනස් වෙනවා. මෙන්න මේ දෙක අතර දෝලනය වෙමින් තමයි ඉන්නේ. මං හිතන්නේ නවකතාවක් ලියල ඉවර වුනාම දැනෙන මහා සැහැල්ලුව එන්නේ ඒක නිසයි. අන්ධකාර ගුහාවක ගැඹුරු කල්පනා ලෝකයක ඉඳල දියඇල්ලක් පේන කඳු මුඳුනකට ගිහින් අවට ලෝකය බලනවා වගේ නිදහස් ගතියක් එනවා නවකතාවක් අවසන් කළා ම. දැන් ඔය ලේඛකයන්ට එක එක පුරුදු තියෙන්නෙත් ඒ නිසා නෙ. මං අහල තියනවා මායා ඇන්ගලෝව් වගේ කෙනෙක් ලියන්න කලින් බාත් ටබ් එකට බැහැල ඉන්නවා කියල. තව කවුරුහරි ලේඛකයෙක් එයාගෙ බල්ලගෙ මැක්කෝ අහුලනවා කියල ලියන්න කලින්. දැන් සමහරුන්ට 'ස්මෝකින්' තියනවා. දැන් මහගමසේකර, සයිමන් නවගත්තේගම වගේ අය එහෙමයි. මේ වගේ හැබිට්ස් එන්නෙත් මං හිතන්නේ ලිවීම එක්ක ජීවත් වෙන්න ඕන නිසා. මම ලියන්න ගත කරන කාලය පැත්තෙන් බැලුවොත් මං වැඩිපුරම ලියන්නේ බ්රෙක්ෆස්ට් එකෙන් පස්සේ ලන්ච් එක වෙනකන් වගේ තමයි. හවස එහෙම මං වැඩිය ලියන්න යන්නෙ නැහැ. ඔය කියවන ඒව එහෙම තමයි හවස් වරුවට කෙරෙන්නේ. මං නිදිමරාගෙන ලියල නැහැ කවදාවත්. මං හුඟක් ස්ලෝ රයිටර් කෙනෙක්. ඒ වගේම මං ලියන විදිහ ගැන කියද්දි කියන්න ඕන දෙයක් තමයි මං මුල ඉඳන්ම ලිව්වෙ පරිගණකයෙන්. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමු ද සංස්කරණය ගැන? රූපා: මං ලියන්න වාඩි වෙන කොට හුඟක් වෙලාවට කලින් ලියපු දේවල් මගෙ අතින් එඩිට් වෙනවා. මේක ටිකක් එක්සෙසිව් විදිහට වෙනවා. හැබැයි මට ප්‍රෆෙෂනල් එඩිටර් කෙනෙක් නැහැ. ලංකාවේ කොහොමත් එහෙම අය අඩුයිනේ. ඒත් සමහරු සාහිත්‍යය ගැන අවබෝධයක් තියන හිතවත් අයට තමන්ගෙ කෘති දීල එඩිට් කරනවා. මං එහෙම කරන්නේ නැහැ. නවකතාවෙ ආත්මයට අදාළ දේවල් ඒ විදිහට වෙනස් කරන්න මං කැමති නැහැ. මගෙ සමහර කෘති මං මගෙ හස්බන්ඩ්ට දෙනවා කියවන්න. එහෙම දුන්නම සමහර වෙලාවට වැරදි එහෙම අහුවෙනවා. ඔය නම් වගේ දේවල් වරද්දල ලියපු දේවල් එහෙම. මුල නම නෙමේ අගට යද්දි තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කියවන එක වැදගත්. කොහොම වුණත් මං කියන්න ඕන මගෙ හස්බන්ඩ්ගෙන් මගෙ ලිවීමට ලොකු සහයක් ලැබෙනවා. ලියන්නේ නැතුව ඉන්න කොට සමහර වෙලාවට අහනවා ලියන්නෙ නැද්ද කියල. ඉතින් සංස්කරණය ගැන නැවත කිව්වොත් ලියල ඉවර වුණාට පස්සෙත් පෲෆ් රීඩර් ට දීල ප්‍රින්ට් එකට යවන මොහොත දක්වාම පොත මගෙ අතින් විවිධ මට්ටම් වලින් වෙනස් වෙනවා. අලුත් පරිච්ඡේද පවා එකතු වෙනවා. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? රූපා: ඇත්තටම කියන්න ඕන මං මගේ ලිවීම් රසවිඳිනවා. මං හිතන්නේ පාඨකයන්ට වින්දනය කරන්න කලින් මං ලියන දේවල් මට වින්දනය කරන්න පුළුවන් වෙන්න ඕන. මගෙ අතින් හොඳට ලියවිලා තියනවා කියල මට හැඟෙන දේවල් කියවීමෙන් ලොකු සංතෘප්තියක් දැනෙනවා. මං හිතනවා නවකතාකාරයෙක් වෙන්න, මං කියන්නේ ලියන්න හිතෙන්න ලොකු වාසනා ගුණයක් තියෙන්න ඕන. මං කියන්නේ ලියන්න පුළුවන් වීම නෙමෙයි. මං හිතන්නේ ගොඩාක් අයට ලියන්න පුළුවන්. ලියන්නේ නැතුවා මිසක්. ඒ නිසා ලියන්න හිතෙන එක තමයි වැදගත්ම දේ. ඒක ලොකු වාසනා ගුණයක්. පොත් ලිව්ව ඇති කියල මට හිතෙන්නේ නැහැ. ඒ නවකතා ලෝකය තුළ ඒ ජීවිත ත් එක්ක දිගටම ඉන්න ආසයි. දශක දෙකකට වැඩි කාලයක් ලිවීම සිය පැවැත්මේ අත්‍යන්ත අංගයක් කරගත් නවකතාකාරියකගේ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් දෙස අලුත් ඇසකින් බැලීමට ද අපට ඉඩක් විවර කරනු ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ සිංහල සාහිත්‍යයේ මඟහැර යා නොහැකි සුවිශේෂී නවකතාකරුවෙකු වන කේ.කේ. සමන් කුමාර යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
'මම ලියන හැටි' : මංජුල සේනාරත්න | මංජුල සේනාරත්න යනු මෑත කාලයේ සුවිශේෂී පාඨක අවදානයක් දිනා ගත් ලේඛකයෙකි. ලාංකීය සාහිත්‍ය සංස්කෘතිය තුළ බරපතල ලෙස වර්ධනය නොවූ නවකතා ශානර සමඟ කටයුතු කරමින් ඔහු එකතු කර ඇති 12 12 12 සහ බියුරෝ වැනි සන්ත්‍රාසය මූලික කර ගත් නවකතා අතිශය ජනප්‍රියත්වයක් දිනා ගෙන ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගනන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි ඔබගෙනුත් අහන්නෙ ලිවීමේ සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍ය ලියවුණු ආකාරය ගැන යමක් කියන්න පුළුවන්ද? මංජුල: ලංකාවේ පාඨක පිරිස ගැන බැලුවහම මට හිතෙන්නෙ අපි විශේෂයෙන් පළමු වාක්‍යය ගැන උනන්දු වෙන්න ඕන කියල. ඔවුන් එක්තරා විදිහකට පොතක පිදුම ලියවිලා තියෙන්නෙ කොහොමද කියන එක ගැන පවා උනන්දුයි. දැන් මම අවුරුදු තිහක් පමණ තිස්සේ ජීවත්වෙන ප්‍රංශයේ පාඨකයෝ ගත්තොත් ඔවුන් පිදුම වැනි දෙයක් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ලංකාවෙ පාඨකයන් මම පහළට දානව නෙමෙයි. ඔවුන් පහසුවෙන් පොත් වලට බැඳෙනවා. ඒ නිසා මං හිතනවා ආරම්භක වාක්‍යය ඒ සම්බන්ධයෙන් හරි වැදගත් කියන එක. ඒ වගේම අපි ලෝක සාහිත්‍යය දිහා බැලුවත් අපි ලේඛකයන් පළමු වාක්‍යය ගැන දක්වන ලද උනන්දුව ගැන තේරුම් ගන්න පුලුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් ලියද්දි කරන්නේ පළමු වාක්‍යයට ඉඩ තියල ලියා ගෙන යන එක. පළමු වාක්‍යය විතරක් නෙමෙයි, පළමු ඡේදයටත් සමහර විට පළමු පරිච්ඡේදයටත් ඉඩ තියල ලිවීම ආරම්භ කරන එක. හැම පොතක් පිටිපස්සෙම තියනවානේ අභිරහසක්. මේ ලිවීමේ ක්‍රියාවලිය බොහෝ වෙලාවට ලේඛකයාටත් පැහැදිලි නැහැ. අර අදහසක් තියෙන්නේ පොත ලියන්නේ ලේඛකයා නෙමෙයි පොත විසින්ම පොත ලියවෙනවා කියල. මං දන්නවා මං ලියද්දි මං ලියන දේවල් වෙනස් වීමට නියමිතයි කියල. මේක හරියට වන්දනා ගමනක් යනව වගේ. මං දන්නව යන්නෙ කොහෙටද කියල. ඒත් මේ යන ගමනේදී මං එකතු කර ගන්න දේවල් මොනවද කියල මං හරියටම දන්නෙ නැහැ. මං පටන් අරන් ලියාගෙන යද්දි මට බොහෝ වෙලාවට හිතෙන දෙයක් තමයි මෙය මේ විදිහට නෙමෙයි සිදුවිය යුතුව තිබුණේ කියල. මේ වෙලාවෙදි තමයි මං ආරම්භය ගැන නැවත හිතන්න ගන්නේ. දැන් 'දෙවෙනි ගැහැනිය' නවකතාව ගත්තොත් පොතේ මැද්දට යද්දි මුළු කතාවම සම්පූර්ණයෙන් වෙනස් වුණා. මම කියන්න ආපු දේ නෙමෙයි අවසානයට කියන්න සිද්ධ වුණේ. එතෙන්දි මට සිද්ධ වුණා ආරම්භයට ගිහිල්ල පොතේ ආරම්භය ගැන ප්‍රශ්න කරන්න. ඒ නිසා ඇත්තෙන්ම මං දන්නෙ නැහැ කොයි මොහොතෙද නවකතාවක ආරම්භය සිද්ධ වෙන්නේ කියන එක. තවත් උදාහරණයක් ගත්තොත් දැන් 12 12 12 නවකතාව ලියන්න පටන් ගනිද්දි මං දැනං හිටිය ඒක පටන් ගන්න විදිහ ඒක අවසන් වෙන විදිහ මේ හැම දෙයක්ම. මං පොත ලියල ඉවර වුණාට පස්සේ මට එක මොහොතක හිතුනා මේ පොතේ කිසිම ට්විස්ට් එකක් නැහැ කියල. ඒ වෙනකොට මං මගෙ ප්‍රකාශකයා, කවීෂට මේකෙ අත්පිටපතත් යවල තිබුණේ. මං කවීෂගෙන් ඇහුවම ඔහුත් කිව්ව අයියෙ මේක පොඩ්ඩක් මදි කියල. එතෙන්දි මට හිතෙනවා මේකෙ අවසානයට පොඩි පන්ච් එකක් ආවොත් හොඳයි කියල. මට මතකයි මේක වෙනස් කරන්න ඕන කොහොමද කියන අදහස එන්නෙ මං වැඩ කරමින් ඉන්නකොට. මං ඒක ඒ වෙලාවෙ ලියා ගත්ත. ඊට පස්සෙ මං කවීෂගෙන් තවත් මාස හයක් ඉල්ලගෙන පොත ආයෙමත් ලිව්වා අලුත් අවසානයත් එක්ක. එතෙන්දි මට සිද්ධ වුණා නැවත මුලට ගිහින් මුල චැප්ටර් එකත් වෙනස් කරන්න. මේක තමයි මං පොතක ආරම්භය එක්ක ගනුදෙනු කරන විදිහ. මගෙ නවකතා හැම එකකම වගේ සස්පෙන්ස් එකක් තියනවනේ. මේ සස්පෙන්ස් එක මගෙ ඇතුළේ නිතර වෙනස් වෙනවා. එතකොට ආඛ්‍යානය සිදුවීම් මේ දේවලුත් වෙනස් වෙනවා. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ නවකතාවක් ලියන්න පටන් ගන්න කලින් කරන වැඩ ගැන. මංජුල: මං අවුරුදු විස්සක් විතර තිස්සේ ලිව්වට මාව පාඨකයෝ අඳුරගන්නෙ 2019 පස්සෙ 12 12 12 නවකතාවත් එක්ක. ඊට පස්සෙ මං පළ කරපු පොත් ගත්තොත් ඒව සම්බන්ධයෙන් මගෙ සූදානම එකනෙකින් වෙනස්. 'දෙවැනි ගැහැනිය' සම්බන්ධයෙන් කිසිම සූදානමක් අවශ්‍ය වුණේ නැහැ. ඒක පවුල ගැන පදනම් වෙච්ච නවකතාවක්. 12 12 12 සම්බන්ධයෙන් සහ 'බියුරෝ' සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පර්යේෂණයක් අවශ්‍ය වුණා. බියුරෝ කියන්නෙ ස්පයි ත්‍රිලර් එකක්. මං හිතන්නේ ලංකාවේ මේ ශානරයේ නවකතා ලියවිලා නැහැ. මේක තමයි පළවෙනි එක. ඒකෙදි මට සිද්ධ වුණා ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරීත්වයන් ගැන, ත්‍රස්තවාදී සංවිධාන ගැන, රහස් ඔත්තු සේවයන් ගැන විශාල වශයෙන් සොයා බැලීමක් කරන්න මාස හයක විතර. මං දැනට ලියමින් ඉන්න පොත සම්බන්ධයෙන් වුණත් මට යම් කාලයක් සොයා බැලීමක් කරන්න සිද්ධ වුණා. මං හිතන්නේ මේ පර්යේෂණයන් වලින් ලේඛකයාගේ ජීවිතයටත් අගයක් එකතු වෙනවා. මොකද අපි මේ සොයන දේවල් වලින් පොතට ඇතුල් වෙන්නේ සීයට විස්සක් විතර තමයි. ඉතුරු දේවල් එකතු වෙන්නේ ලේඛකයාගේ ජීවිතයට. ඉතින් මේ විදිහට සොයා බැලීම් කරන අතරතුර මම නෝට්ස් ගන්නවා අදාළ දේවල් වල. ඊට පස්සේ මං ස්කෙච් එකක් ගහගන්නවා. මගෙ කතාවට අදාළ පුද්ගලයෝ අදාළ සිද්ධි, අදාළ ස්ථාන අඛ්‍යානයට අනුව මතු වෙන්නෙ කොහොමද කියල. උදාහරණයක් විදිහට 'බියුරෝ' කියන පොතට අදාළව පිටු අසූවක අනූවක විතර කටු සටහන් ගහල තිබුණා. අර චිත්‍රපටයක් කරන්න කලින් ස්ටෝරි බෝඩ් අඳිනවා වගේ ක්‍රමයක් මමත් භාවිත කරනවා. සිදුවීම් පෙළ ගැහෙන විදිහ මම ලයිස්තු ගත කරනවා. දැන් 'බියුරෝ' ගත්තොත් ඒකෙ ගොඩක් සිදුවීම් වෙන්නෙ යේමනයේ. මම යේමනයට ගිහින් නැහැ. ඒක යන්න පහසු තැනක් නෙමෙයි. එතකොට මං මේ නවකතාවට අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න යූ ටියුබ් එකේ තිබුණ ෆිල්ම්ස් විශාල ප්‍රමාණයක් බලන්න සිද්ධ වුණා. එහෙම බලල තමයි මේ නවකතාවට අවශ්‍ය පරිසරය මම නිර්මාණය කර ගන්නේ. මේ විදිහෙ සූදානමක් එක්ක තමයි නවකතාවක් ලිවීම පටන් ගන්නේ. නමුත් මං කලින් කිව්ව වගේ මොන තරම් සැලසුම් හැදුවත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුලෙ දි මේ සැලසුම් වෙනස් වෙනවා. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන විදිහ ගැන? මංජුල: මං හිතන්නේ පොඩි කාලෙ මගෙ හිතට තදින් වැදිච්ච කතාවක් තියනවා චාල්ස් ඩිකන්ස් කියපු. ලේඛකයා පෑනෙන් ලියද්දි පෑනෙ තීන්ත හැටියට එන්නේ ලේඛකයාගේ ශරීරයෙ තියන රුධිරය කියල. ඒ නිසා මං ලියන්නේ පෑනෙන්. මට හිතෙනවා එතකොට අදහස් හොඳින් ගලාගෙන එනවා කියල. ඒ වගේම මුල් කාලේ මං දැනං හිටපු ලේඛකයෝ හැමෝම වගේ ලිව්වෙ අතින්. අනිත් එක මං කාලයක් තිස්සෙ ජීවත් වෙන්නේ ප්‍රංශයෙ. සිංහල භාෂාවත් එක්ක මගෙ සම්බන්ධය ඒ නිසා දුරස්. මට ඇහෙන්නේ ප්‍රංශ භාෂාව. මං වැඩිපුර කියවන්නේ ප්‍රංශ හෝ ඉංග්‍රීසි. ඉතින් අපේ භාෂාවත් එක්ක සම්බන්ධ වෙන්න මේ පෑනෙන් ලියන එකත් බලපානවා. අපිට ලස්සන අකුරු තියන හෝඩියකුත් තියනවනේ. ඉතින් මගෙ භාෂාවත් එක්ක සම්බන්ධ වෙන්න තියන හොඳම විදිහ මගෙ භාෂාවේ අකුරු අතින් ලියන එක කියල මට හිතෙනවා. මං නවකතාවක් ලියද්දි මුලින් පෑනෙන් ලියල ඊට පස්සේ එක පිටුවක් දිනපතා ටයිප් කරනවා. මේක මම දිනපතා කරන දෙයක්. මම පෑනෙන් මොන තරම් ලිව්වත් මම ටයිප් කරන්නේ එක පිටුවයි. එතෙන්දිත් පෑනෙන් ලියපු ඒව යම් විදිහකට එඩිට් වෙනවා. සමහර වෙලාවට අඩු වෙනවා, සමහර වෙලාවට වැඩි වෙනවා. ඉතින් දවසකට පැය දෙකක් හෝ දෙකහමාරක් විතර තමයි මට ලිවීම වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් වෙන්නේ. ඉතින් දවසකට පිටුවක් ලියන එක තමයි මගෙ රිචුවල් එක. රාත්‍රී කාලයේදි තමයි මම සාමාන්‍යයෙන් ලියන්නේ. හුඟක් විට රෑ නමය සිට එකොළහ වගේ. සති අන්තයේ ලියවෙන්නෙ නැහැ සාමාන්‍යයෙන්. සමහර වෙලාවට වැඩි කාලයක් ගත කරන්නෙ කියවීමට. මම දිනපතා දෙවරක් විනාඩි හතලිස් පහක් පනහක් පොදු ප්‍රවාහනයේ ගමන් කරනවා. එතකොට මං දන්නවා. මට අනිවාර්යෙන් පොතක පිටු හතලිහක් පනහක් කියවන්න පුලුවන් වෙනවා කියල. මේ කියවීම විසින් ලිවීමට විශාල ආලෝකයක් සපයනවා. මීට අමතරව කියන්න ඕන දෙයක් තමයි මං නිතරම පොඩි නෝට් පොතක් මගෙ ළඟ තියාගෙන ඉන්නෙ. ඕනෙම වෙලාවක එන අදහසක් මම කෙටියෙන් සටහන් කර ගන්නව. මොකද ඊළඟ තත්පරයෙදි ඒක හොයා ගන්න බැරිවෙනවා නැත්තං. අනිත් එක තමයි මට හීනෙන් ගොඩක් දේවල් පේනවා මගෙ පොත් වලට අදාළව. උදාහරණයක් කිව්වොත් 12 12 12 ලියල අවසන් කරපු කාලෙ දවසක මං හීනයක් දකිනවා, මං ඉන්නෙ කාන්තාරෙක, මිසයිල්ස් එහෙම ගහනවා, යුධමය පරිසරයක්. මං ගිහින් ඉන්නෙ මගෙ පුතාව හොයාගෙන. මේ කාලෙ මගෙ පුතාගෙ වයස අවුරුදු පහළවයි. ඒ දවස් වල ප්‍රංශෙ තරුණ ලමයි ජිහාඩ් සටනට එකතු වෙන්න ඉස්ලාම් ආගමට හැරිල රටින් පැනල යන සිදුවීම් වාර්තා වුණා. ඒ නිසා මගෙ හිතේ බයක් තිබුණා අපි දන්නෙ නෑ අපේ ළමයි ගෙදරින් එළියෙදි මොනවද කරන්නෙ කියල. මේ හීනෙ දකින්නෙ ඒකත් එක්ක. හැබැයි පස්සේ 'බියුරෝ' නවකතාව ලියවෙන්න මූලික වෙන්නෙ මේ හීනේ. 12 12 12 ලියන කාලේ මං දවසක් දැක්ක හීනෙන් මං ගෙදර එනකොට ගෙදර කවුරුත් නෑ පාළුයි ගෙදර මිනීමැරුම් ගොඩක් වෙලා. මෙවැනිම සිදුවීමක් 12 12 12 තියෙනවා. කෞශල්‍ය: අපි දැන් ටිකක් කතා කරමුද ඔබේ නවකතා වල සංස්කරණ ක්‍රියාවලිය ගැන මංජුල: මට 2019 සිට වෙච්ච ලොකුම දේ තමයි මං ලියන දේවල් කියවන්න කෙනෙක් සිටීම. මං හිතන්නෙ හැම ලේඛකයෙකුටම වැදගත් වෙනවා තමන් ලියන දේවල් ප්‍රකාශ කිරීමට පෙර කියවන්න කෙනෙක් ඉන්න එක. මටත් ඉන්නවා එහෙම කෙනෙක්. ඇය මගෙ පාඨිකාවක්. මම ලියන දේවල් කොටස් හැටියට ඇයට යවනවා. ඇයට තියනවා ලොකු හැකියාවක් මේ ලිවීම හැඩ ගැස්වීමේ. මමත් හුඟක් වෙලාවට ඇය කියන දේවල් පිළිගන්නවා. මේක මගේ ලිවීමේ සහ සංස්කරණ ක්‍රියාවලියේ අතිශය වැදගත් දෙයක්. මීට අමතරව ගත්තම මං කරන්නෙ ලියල ඉවර වුනාට පස්සෙ පොතක් මාස කිහිපයක් තියල ඒක සම්පූර්ණයෙන්ම අමතක කරල වෙන වැඩක් කරල නැවත ඒකට එන එක. එහෙම සකස් කරල තමයි මම මගෙ ප්‍රකාශකයට යවන්නේ. ඊට පස්සෙ ඔහු අතිනුත් යම් යම් සංස්කරණයන් සිද්ධ වෙනවා. පොත ප්‍රකාශයට පත් වෙන්නෙ අපි තුන් දෙනාම සතුටු වන මට්ටමට ආවට පස්සේ. කෞශල්‍ය: ලියන විට ඉන්න ඔබ ගැන යමක් කියන්න පුළුවන්ද? මංජුල: ජීවිතේ අසීරු තැන් අර්බුද ආව හැම වෙලාවකම මාව බේර ගත්තෙ ලිවීම. ලියන්න තිබුන හැකියාව නිසා අනිත් මිනිස්සු බේරෙන්නේ නැති අර්බුද වලින් මං ගැලවිලා තියනවා කියල මට හිතෙනවා. ලියන්න පුලුවන් වීම ලොකු භාග්‍යයක්. ඒක මට ලැබුණේ තාත්තගෙන්. එයා ගීත රචකයෙක්. මං හිතන්නේ නවකතාකරුවෙකුට විශේෂ අවස්ථාවක් තියනවා චරිතයක් හදන්න, ඒ චරිතයේ හැඟීම් එක්ක කාලයක් ජීවත් වෙන්න, ඒ චරිතයත් එක්ක දිග ගමනක් යන්න, ඒවගේම ඒ චරිතය මරන්න, මේක සුවිශේෂී දෙයක්. මේ හදන චරිත පාඨකයන් ආදරෙන් වැලඳ ගන්නා විට දැනෙන සතුටත් තවත් වැදගත් දෙයක්. ඒ නිසා මං හිතන්නේ ලේඛකයෙක් වීම කියන එක විශාල වාසනාවක්. මේ ආකාරයට මංජුල සේනාරත්නගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඔහුගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත. ඔහු සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙළිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි. මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ තවත් ජනාදරයට පත් නවකතාකාරියක වන රූපා ශ්‍රියානි ඒකනායක යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
තලන්ගම ජයසිංහ: කාටූන් කලාව වෙනුවෙන් වසර 60ක් කැප කළ දැවැන්තයෙකුගේ නික්ම යාම | වසර 60කට අධික කාලයක් පුරා චිත්‍රකතා නිර්මාණකරුවෙකු, කාටුන් ශිල්පියෙකු, කවියෙකු, ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ජනාදරයට පත් ප්‍රවීණ මාධ්‍යවේදී තලන්ගම ජයසිංහගේ අභාවය සමගින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ තවත් දැවැන්තයෙකුගේ සමුගැනීම සනිටුහන් විය. පෙබරවාරි 07 වන දා ඔහු දිවි සැරිය නිම කරන විට 88 වන වියේ පසු විය. ඔහු ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ, පුවත්පත් කාටූන් ශිල්පියෙකු සහ චිත්‍රකතා නිර්මාණ ශිල්පියෙකු ලෙස ය. තලන්ගේ සැබෑ නම තලන්ගම ජයසිංහ උපත ලැබුවේ, තලංගමදී ය. 1936 ජූලි 5 වන දා උපන් ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් නම වන්නේ, ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ යනුවෙනි. නිදහස ලැබීමට පෙර එනම් ඉංග්‍රීසි යටත් විජිත සමයේ උපන් ඔහුට සිය පියා තැබූ නාමය ඉංග්‍රීසි ඌරුවක් ගත්තේ ය. තලන්ගම ජයසිංහ සමීපව ආශ්‍රය කළ සමකාලීනයින් පවසන්නේ, පියා තැබූ ඉංග්‍රීසි නමට ඔහු කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් සිය නම වෙනස් කර ගැනීමට ඔහුට අවශ්‍යතාවක් පැවති බව ය. කෙසේ වෙතත්, පියා තැබූ නාමය පියා ජීවත්ව සිටින තුරු වෙනස් කිරීමට ඔහු කැමැත්තක් නොදැක්වූ අතර, 1955 වසරේ පියාගේ අභාවයෙන් පසු සිය නාමය 'තලන්ගම ජයසිංහ' යනුවෙන් භාවිත කිරීමට පටන් ගත්තේ ය. විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකුගේ ආරම්භය තලංගම, විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ඉගෙනුම ලැබූ ඔහු, එකල පැවති ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් වීමෙන් පසු රජයේ කලායතනයකට බැඳී වසර පහක චිත්‍ර කලා පාඨමාලාවක් හැදෑරී ය. ජයසිංහ පාසල් සමයේ සිට ම කවි රචනා කිරීමට දක්ෂතා දැක්වූ අතර, පාසල් සමයේදී ම ළමා සඟරාවලට, පුවත්පත්වල ළමා පිටුවලට කවි නිර්මාණ යවා ඇත්තේ, ඊට ගැලපෙන සිතුවමක් ද සමගිනි. එකල එම නිර්මාණ පළ කර තිබුණේ, 'තලන්ගම තිලක ජයසිංහ' යන නමිනි. පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු, 1951 වසරේදී ඔහු හේවුඩ් ආයතනයට බැඳී චිත්‍ර කලාව පිළිබඳ පස් අවුරුදු පාඨමාලාවකට ලියාපදිංචි විය. කෙසේ වෙතත්, ඔහු චිත්‍ර කලාවේ විශිෂ්ට දක්ෂතා දැක්වීම හේතුවෙන් දෙවරක් ම 'ඩබල් ප්‍රොමෝෂන්' ලැබුණු හෙයින් ඉතා කෙටි කලක් තුළ එම පාඨමාලාව නිම කිරීමට සමත් විය. ඔහු එහිදී සිතුවම් කලාවට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයට අයත් නිර්මාණ පිළිබඳව හැදෑරූ අතර නිවාස සැලසුම් ශිල්පය ද අධ්‍යයනය කළේ ය. ඒ අතරතුර, ඔහු මරදානේ 'ටෙක්නිකල් කොලීජීයෙන්' චිත්‍ර කලාවේ තාක්ෂණික ශිල්ප ක්‍රම ඉගෙන ගත්තේ ය. වෘත්තීය අධ්‍යාපනය ලබන අතරතුර ඔහු වෙළෙඳ දැන්වීම් ආයතන කිහිපයක සේවය කළේ ය. තලංගම ජයසිංහගේ පළමු චිත්‍ර කතා නිර්මාණය පළ කෙරුණේ, ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ ය. ඒ, 'චිත්‍රා' නමැති චිත්‍ර කතාව ය. 1954 වසරේදී එය පළ කරන විට ඔහු පසු වූයේ, 18 හැවිරිදි වියේ ය. එම අවස්ථාව ඔහුට හිමිවීම සම්බන්ධයෙන් රසවත් කතාවක් තිබේ. ප්‍රවීණ මාධ්‍යවේදී පර්සි ජයමාන්න උපුටා දක්වමින් මව්බිම පුවත්පතේ පළ කළ ලිපියක එම සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේ ය. 'ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳගෙන තලංගම ජයසිංහ දිනමිණ කන්තෝරුවට ගියා. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතා යි. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළේ ය. විලේගොඩ මහතා ඔහුගේ නිර්මාණය දෙස බලා, "ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු" කියා භාර ගත්තා.' වෘත්තීය දිවිය 1957 වසරේදී ඔහු ලේක් හවුස් ආයතනයේ නිත්‍ය සේවයට බැඳී එම ආයතනයේ ප්‍රකාශන රැසකට චිත්‍රකතා සහ කාටූන් නිර්මාණය කළේ ය. ඒවා අතර ඇටසැකිල්ල, මිනිස් දඩයම, පණට පණ, මා ආලය කළ තරුණිය, ව්‍යාඝ්‍රයෝ ආදී චිත්‍රකතා රැසක් විය. ඉහත කී නිර්මාණ ඇතුළු චිත්‍රකතා 72ක් පමණ නිර්මාණය කර ඇති තලංගම ජයසිංහගේ 'වියරු මුහුද' නමැති චිත්‍ර කතා මාලාව පසු කලෙක එච්. ඩී. ප්‍රේමරත්න සිනමාවේදියා විසින් 'සප්ත කන්‍යා' නමින් සිනමාවට නගන ලදී. ලේක්හවුස් ප්‍රකාශනයක් වූ 'මධුර' චිත්‍ර කතා පුවත්පතේ කතුවරයා ලෙසින් වසර 18ක් කටයුතු කළ ඔහු, පසුකලෙක විජය පුවත්පත් සමාගමට අයත් ලංකාදීප පුවත්පතේ කාටුන් ශිල්පියෙකු ලෙස සේවය කළේ ය. තලන්ගම ජයසිංහයන් ලංකාදීපය පුවත්පතට නිර්මාණය කළ 'A - තුමා' සහ 'පලාමල්ල' කාටුන් මෙන් ම 'අනේ ද කියන්නේ' යන සිව් පද කවිය ද පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය විය. විශේෂයෙන්, දේශපාලනික සවිඥානික භාවයකින් යුතුව ඔහු නිර්මාණය කළ කාටූන් ශ්‍රී ලාංකික පාඨකයින් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබිණි. ශ්‍රී ලංකා කර්තෘ සංසදය පිරිනැමූ ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන සම්මානයෙන් තලංගම ජයසිංහ පිදුම් ලැබී ය. අවසන් කටයුතු පැය 24න් තලන්ගම ජයසිංහයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (පෙබ: 09) පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ, ඔහුගේ ඉල්ලීමක් අනුව ය. තමන්ගේ අභාවයෙන් පැය 24ක් තුළ අවසන් කටයුතු කරන ලෙස ඔහු සිය පවුලේ සාමාජිකයින්ට දැනුම් දී තිබිණි. |
'මම ලියන හැටි' : කැත්ලීන් ජයවර්ධන | කැත්ලීන් ජයවර්ධන යනු කිසිසේත්ම සිංහල පාඨකයන්ට හැඳින්වීමක් අවශ්‍ය ලේඛිකාවක් නොවේ. මේ වන විට විස්සකට අධික ඇය විසින් රචිත නවකතා අතර සත්‍යකාම, අග්නිචක්‍ර, අකාල යාත්‍රා, ධාරා, හිමකඳු, මහසෙන්, ඉන්දුමතී, බලන් කඩතුරා හැර දෑසේ යනාදී වශයෙන් විවිධ තේමාත්මක දාර්ශනික තලයන් ඇසුරු කරන කෘති අපට මුණගැසෙයි. මීට අමතරව දෙස් විදෙස් සාහිත්‍ය ගැන ඇය විසින් ලියා පළ කර ඇති තීරු ලිපි සහ කෘතීන් සිංහල සාහිත්‍ය පෝෂණයට සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මම සාමාන්‍යයෙන් මේ කතාබහ ආරම්භ කරන්නේ නවකතාවක පළමු වාක්‍යය ලියවෙන තැනින්. මම කැමතියි ඔබගෙනුත් අහන්න නවකතාවක සමාරම්භක මොහොත ගැන ඔබේ අත්දැකීම? කැත්ලීන්: මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න පටන් ගන්නේ කිසියම් තේමාවක් හිතට අරගෙන තමයි. නමුත් මුල්ම වාක්‍යය ලියන එක අභියෝගයක් වෙන වෙලාවල් තමයි මට සාමාන්‍යයෙන් තිබිල තියෙන්නේ. පළමු වාක්‍යය ලියන එක ලේසි නෑ. හේතුව තමයි නවකතාවක ආර තේරුම් ගන්න තියන පළමු අවස්ථාව තමයි පළමු වාක්‍යය කියල කියන්නේ. ඉතින් මං ලියන පළමු වාක්‍යය මට පස්සේ වෙනස් කරන්න වෙන්නේ ලිවීම ඇතුලේ මගෙ ප්ලොට් එක වෙනස් වෙන හින්ද. මම ලියාගෙන ලියාගෙන යන කොට මගේ හිතේ තිබුණු ප්ලොට් එක කැඩි කැඩී වෙනත් වෙනත් ප්‍රදේශ වලට නොහිතපු තැන් වලට යනවා. එතකොට නවකතාවේ පළමු වාක්‍යය විතරක් නෙමේ මුල් ඡේදයමත් වෙනස් වෙන අවස්ථා තියනවා. ලියන්න පටන් ගත්ත තේමාවම නෙමෙයි පොත අවසන් වෙද්දි වැඩියෙන්ම උත්කර්ෂයට නැංවිලා තියෙන්නේ. මේක මගෙ මුල්ම කාලේ නවකතා වලට නං ඒ තරම් බලපෑවේ නෑ. උදාහරණයකට මගෙ මුල්ම නවකතාව වන 'බලන් කඩතුරා හැර දෑසේ වගේ' එකක් මං ලියන්නෙ මං පාසල් යන කාලේ. ඒක මුද්‍රණය වෙන්නේ 1977. ඒ කාලෙ දි මට ඍජු තේමාවක් තිබුණා මං ඒක දිගේ ගියා. අද වෙනකොට මං නවකතාව කියන ශානරය හඳුනාගන්නා ආකාරයේ සැලකිය යුතු වෙනසක් වෙලා තියනවා. ඒක වඩා සංකීර්ණ වෙලා තියනවා කිව්වොත් ඒක හරිද දන්නේ නැහැ. නමුත් නවකතාව කියන්නේ සිද්ධි දාමය සහ කතාන්දරය අතික්‍රමණය කරපු එක්තරා චින්තන ධාරාවක්, එක්තරා දාර්ශනික ප්‍රවේශයක් හැටියටයි මං අද වෙනකොට ඒක තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසා දැන් මං ලියන නවකතා වල මුල් වාක්‍ය ඡේද පිටින් වෙනස් කරන්න වෙනවා. කෞශල්‍ය: ඔබ නවකතාවක් ලිවීම ආරම්භ කරන අවස්ථාවේ ඒ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? කැත්ලීන්: දැන් මගේ නවකතා අතර වැඩිපුරම පාඨක විචාරක අවධානයට ලක් වුණ කෘතිය වන ‘සත්‍යකාම’ ගත්තොත් ඒක මම මුලින්ම ලියන්නේ කෙටි රේඩියෝ නාට්‍යයක් හැටියට. සුගතපාද ද සිල්වා මහතා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඔහු මේක කියවල මට කිව්ව මේක හරිම ප්‍රබල කතාවක් මේකෙන් නවකතාවක් ලියන්න කියල. ඒ කතාව ස්ථානගත වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව හයවෙනි සියවසේ. ඒකෙ තියෙන්නේ තමන්ගේ නිවසේ දාසිකයගේ රූපයට වශී වෙන සත්‍යකාම කියන තරුණයා ඇයව නිවසින් පිටමං කලාට පස්සේ ඔහුගේ පියා ඔහු ඇයව සොයනවා වනගත වෙලා. ඔහුට දැනෙන්නේ නැහැ කාලය ගත වෙන විදිහ. අවසානයේ ඔහු ඇයව දකින්නේ වසර තිහකට පස්සේ නෙළුම් පොකුණක දි. ඔහු ඇගේ අතින් අල්ල ගත්තම මේ තරුණිය බියට පත් වෙලා දුවන්න හදනවා. එතන ඉන්නේ ඔහු ප්‍රේම කළ තරුණියගේ දියණිය. හැබැයි එදා ඉඳන් ඔහුට පුළුවන් වෙන්නේ අර දුවට ආදරය කරන්න තමයි. ඉතින් මේ වගේ ප්‍රේම කතාවක් සිද්ධ වෙන්න බැහැ කියල හිතපු නිසා මේක මම ස්ථාන ගත කරන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ඒ වෙනුවෙන් මට විශාල හැදෑරීමක් කරන්න වෙනවා. හැබැයි ඒ වෙනකොට මං ලියන්න යන කතාව ගැන හොඳින් දැනුවත්. නමුත් මගෙ අනෙකුත් බොහෝ නවකතා දිහා බැලුවොත් මං කියන්න ඕන මගෙ එහෙම පූර්ව සැලසුම් නැහැ. මම චරිත වල සිද්ධි වල සටහන් තියාගෙන එහෙම නෙවෙයි ලිවීමේ යෙදෙන්නේ. මට හිතෙන හිතෙන වෙලාවට මම ලියනවා. මගෙ හිතට ඒ මොහොතේ දැනෙන උණුසුම් හැඟීමක් පිටපත් කරලා ඒකෙ තියන අලංකාරය හා උචිතභාවය දිහා බලල තෘප්තිමත් වෙමින් තමයි යන්නේ. ලියන වෙලාවට මගෙ හිත ඇතුලේ මම නොහිතන පෙරළි සිද්ධ වෙනවා. සමහර වෙලාවට මං කියවන පුවත්පත් වාර්තාවක් වෙනම වෙනස්ම ආකාරයකට මගෙ නවකතාව යන පාර වෙනස් කරන්න පුළුවන්. ඒක වෙන්නේ ඒ වාර්තාවේ තියන දෙයක් නවකතාවට ඇවිත් නෙමෙයි හුඟක් විට; නමුත් ඒක කියවීමෙන් මගෙ හිතේ ඇතිවුණු යම් හැඟීමක් තමයි මේ පෙරළිය කරන්නේ. හුඟක් නවකතා ඉවර වුනේ මේ නිසා මං පටන් ගත්ත තැනින් නෙමෙයි. අතුරු පාරවල් දිගේ ගිහින් වෙනම පාරකින් තමයි ඒව අවසන් වෙන්නේ. ඉතින් මම ජීවත්වෙන ලෝකය, සමාජය දිහා බලල මට අවංකව හැඟුණු දැනුණු හැඟීම් තමයි මම ලියන්නේ, හැබැයි මොළය මුල් කරගෙන නෙමෙයි, හදවත මුල් කරගෙන. මං හිතන්නේ ජීවිතය වෙනස් කරන සාහිත්‍ය බිහිවෙන්නෙ එතනින්. ඇත්තටම සමාජ විපර්යාසයක් කරන්න පුලුවන් ආගමෙන් නෙමෙයි සාහිත්‍යයෙන්. සමහරවිට ආගම් වලින් පෙන්වන තැනට මග සකස් කරල දෙන්නේ සාහිත්‍යය. කෞශල්‍ය: සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න පටන් ගන්නකොට මොකක්වත් අදහසක් නැද්ද මේක අවසන් වෙන්න ඕන තැන ගැන? කැත්ලීන්: එහෙම නිශ්චිත අවසානයක් ගැන අදහසක් නැහැ. මගෙ නවකතා වල ආඛ්‍යානයෙ රටාව හැදිල තියෙන්නේ ඒකෙ චරිත වල ස්වභාවයට අනුව. ඉතින් මෙහෙම ඉදිරියට යද්දි අවසානය ළං වෙනකොට මට එක ක්ෂණික මොහොතක් එනව හරියට විදුලියක් කොටනව වගේ දැනෙනව මේක මෙතෙන්ට ගන්න ඕන කියල. පොත ලිවීමේ විඩාව සහ මානසික තෘප්තිය උපරිම තලයකට නැගල තියෙන වෙලාවක තමයි මේ ක්ෂණික මොහොත උදාවෙන්නේ. ඊට පස්සෙ මං හිතන්නෙ අන්තිම පරිච්ඡේද දෙක වගේ සැකසෙන්නේ අවසානය ගැන නිශ්චිත හැඟීමක් එක්ක. කෞශල්‍ය: ඔබ ලියන විදිහ ගැන, මං කියන්නේ ඔබ ලියන තැන, ලියන වෙලාව මොනවගේද? කැත්ලීන්: මට හරිම අවිනිශ්චිත උත්තරයක් තමයි මේකට දෙන්න වෙන්නේ. මට සමහර විට වාහනයක යද්දි මොනව හරි දැනුණොත් මං ඒ වෙලාවෙ බෑග් එකෙන් කොලයක් අරගෙන ඒකෙ චූටි සටහනක් දා ගන්නවා. දැන් ඒකෙ භාෂාත්මක එලඹුම තියෙන්නේ මගෙ හිතේ. පස්සෙ ඒක අදාළ තැන ලියනවා. කොහොමත් මම ලියන්නේ පෑනෙන්. අනිත් එක තමයි මට උදේට ද ලියන්නෙ රෑට ද වගේ විශේෂයක් නැහැ. ගෙදර කෑම මේසෙ තමයි බොහෝ විට මට ලියන්න පාවිච්චි වෙන්නේ. ලයිබ්‍රරි එකට මං යන්නෙත් නැහැ. මගෙ ලිවීමේ එවැනි පිළිවෙලක් නැහැ. හැබැයි යම් ලිවීමකට වැදිච්ච වෙලාවට රෑ දොළහ විතර වෙනකනුත් ලියනවා. නවකතාවක් ලියන එක ඉතින් යකා බැඳගත්ත වගේ වැඩක් කියන එක ඔයත් දන්නවනෙ. යකා ඉතින් නිදහසක් දෙන්නෙම නෑනෙ. ඒ වගේම තමයි ඉතින් නවකතාවක් ලියල ඉවර වුනාම දැනෙන සැහැල්ලුව. වෙලාවකට හිතෙනවා මොනවටද අපි මේ තරම් නහින්නෙ කියල. මේක ඇත්තටම ඇඟේ අමාරුවට කරන දෙයක්. මේකෙන් අපිට ගැලවෙන්න බැහැ. මේකෙන් නිදහස් වෙන්න වෙන්නේ ජීවිතෙන් නිදහස් වුන දාට තමයි. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද නවකතාවක් අවසන් වුනාට පස්සෙ හෝ අතරතුර සිද්ධ වෙන සංස්කරණ ක්‍රියාවලිය ගැන? කැත්ලීන් : පොත අවසන් වුනාට පස්සෙ පෲෆ් සෙට්ස් පහක් විතර බලන්න ඕන මට. අපි යමක් සමාජයට දෙනකොට ඒක පරිපූර්ණව නොදුන්නොත් අපි කරන්නේ එක්තරා අපරාධයක්. මම උත්සාහ කරනවා ව්‍යාකරණ සහ අක්ෂර දෝෂ මගහරවා ගෙන පොත මුද්‍රණය කරන්න. පොත ලියන අතරතුර ගැන කිව්වොත් මම කරන දෙයක් තමයි මම ලියන පරිච්ඡේදෙන් පරිච්ඡේදය මගෙ සැමියාට දෙන එක කියවන්න. අපි දෙන්න සමහර වෙලාවට කොන් දෙකක ඉන්නව කියල ඕනෙ නං කියන්න පුලුවන්. මොකද එයා ඇවිල්ල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකත්වය දරපු කෙනෙක්. ඒ කියන්නේ එයා වමේ දේශපලානයත් එක්ක ඉන්න කෙනෙක්. මට කවදාවත් දේශපාලනයත් එක්ක ළඟ ගණුදෙනුවක් තිබුණේ නැහැ. මම වම අඳුරගත්තෙ එයාගෙ යාලුවො අපේ ගෙදර ඇවිල්ල කතා කරන දේවල් වලින්. ලෙනින් ගෙ වෙළුම් පවා කියවන්න මට ඉන්පස්සේ උනන්දුවක් ඇති වුනා. කොහොමහරි මං කියමින් හිටියෙ මගෙ සැමියාට කියවන්න දෙන එක ගැන. එතෙන්දි එයාගෙන ලැබෙන ප්‍රතිචාර අනුව මං සියයට සියයක් නොවුණත් සැලකිය යුතු වෙනස්කම් කරල තියනවා. ඒ වගේම ලේඛන කලාවේ ඉතාම පරිණත එක්තරා පරිවර්තකයෙකුට මං පොත ලියල ඉවර වුනාට පස්සේ මුල සිට අගට කියවන්න දෙනවා. ඒ වගේ දේවල් ටිකක් කරල තමයි මුද්‍රණයට යවන්නෙ. කෞශල්‍ය: මේ සංවාදය අවසන් කරන්න මං අහන්න කැමැතියි ලියන විට ඉන්න ඔබ මොනවගේ කෙනෙක් ද කියන ප්‍රශ්නය? කැත්ලීන්: ලිවීම කියන්නේ නිකං දේවාරූඬයක් යක්ෂාරූඬයක් වගේ දෙයක් නේ. එතකොට ඉතින් ඒකෙන් අපේ කායික මානසික තල දෙකේම අපේ වෙනස් කම් වෙන්න පුලුවන්. පෑන අල්ලන් ඉන්න අතේ ඇඟිලි විතරක් නෙමේ අපි මුළු ශරීරයම ඒකට නතු කරලනේ තියෙන්නේ. කැත්ලීන් ජයවර්ධන නවකතාකාරියගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කරගන්නා ආකාරය අපට ඇගේ නවකතා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත බැලීමට ඇගේ අදහස් කැඩපතක් වන්නට ඉඩ ඇත. ලබන සතියේ සිය රහස් දිවියේ දොර අප වෙනුවෙන් විවර කරනු ලබන්නේ මෑත කාලයේ සුවිශාල ජනාදරයකට පාත්‍ර වූ මංජුල සේනාරත්න නවකතාකරුවා යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
මැඩියා වන්නම: ලයනල් රන්වල නිසා රැකුණු ගැමියන්ගේ විද්‍යා දැනුම ප්‍රකට වන අප්‍රචලිත වන්නමක් | ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු 'වන්නම්' පිළිබඳව අසා ඇති බවට සැකයක් නැත. මූලික වශයෙන් වන්නම් ප්‍රභේද තුනක් පිළිබඳව නර්තනය සහ සංගීතය හදාරන්නෝ අධ්‍යයනය කරති. උඩරට, පහතරට සහ සබරගමුව යන සම්ප්‍රදායන්ට අයත් වන්නම් රැසක් පවතී. කෙසේ වෙතත්, මෙම ප්‍රභේදවලට අමතරව අප්‍රචලිත වන්නම් සම්ප්‍රදායක් ද පවතින බව ජන සංගීත පර්යේෂකයෙකු වූ ලයනල් රන්වල මීට ටික කලකට ඉහතදී අනාවරණය කළේ, ඔහු විසින් කරන ලද පර්යේෂණවලදී අනාවරණය වූ තොරතුරු මත ය. ඒ අනුව, රජරට වන්නම් යනුවෙන් අප්‍රචලිත වන්නම් සම්ප්‍රදායක් පැරණි සිංහල සමාජයේ පැවති බව අනාවරණය වී තිබේ. රජරට වන්නම් 21ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති අතර, එය රජරට 'එක්විසි වන්නම්' ලෙස හැඳින්වේ. රජරට වන්නම් සම්ප්‍රදායේ විශේෂත්වය වන්නේ, ඒවා නර්තනය සඳහා නිර්මාණය කරන ලද ඒවා නොව හුදෙක් ගායනා කිරීම උදෙසා නිර්මාණය කරන ලද ඒවා වීම ය. මෙම ලිපිය මගින් උත්සහ කෙරෙන්නේ, රජරට වන්නම් සම්ප්‍රදායට අයත් සුවිශේෂී වන්නමක් වන 'මැඩියා වන්නම' පිළිබඳව හඳුන්වා දීමට ය. වන්නම යන්නෙහි අර්ථය වර්ණනාව යන්න ය. ඒ අනුව, මෙම වන්නම මගින් කෙරෙන්නේ, මැඩියන් පිළිබඳ වර්ණනාවකි. තාම් තීම් තාම් තර්කඃ තානක්ක නෙයියනේ තා ජෙම්ත්ර තක තානක්ක නෙයියනේ යාම් ඌම් ඉඳුම් මැද - යාම් ඌම් ඉඳුම් මැද සබ මැද ඉඳ අද තරග කරනව ද මැඩියා වන්නමෙන් කියම්... හීන් හීන් පොද/// වරුසා කාලෙට පුංචි පුංචි ගෙඹි මිත්තන්නේ නද ක්රීටු ක්රීටු යන // නාදෙන් පවසන්නේ... නළුවනි අහපන්නේ දෙවනිය මාසේ වරුසා කාලෙට// දෙවෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද දෙවෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද ක්‍රාම් ක්‍රීම් යන... ක්‍රාම් ක්‍රීම් යන... ක්‍රාම් ක්‍රීම් යන නාදෙන් පවසන්නේ නළුවනි අහපන්නේ තුන් වෙනි මාසේ වරුසා කාලෙට// තුන් වෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද තුන් වෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද ක්‍රගහක ක්‍රගහක ක්‍රගහක ක්‍රගහක කකු කුං කුං කුං යන නාදෙන් පවසන්නේ නළුවනි අහපන්නේ සිව් වන මාසේ වරුසා කාලෙට// සිව් වන කොටස ගෙඹි මිත්තන්ගේ නද සිව් වන කොටස ගෙඹි මිත්තන්ගේ නද හතර පත නැළියෙන් දෙක දෙක දෙක දෙක හතර පත නැළියෙන් දෙක දෙක දෙක දෙක ගොං ගොං ගොං ගොං ගොං ගොං ගොං ගොං ඥං ඥං ඥං ඥං ඥං ඥං ඥං ඥං යන නාදෙන් පවසන්නේ නළුවනි අහපන්නේ පස් වන මාසේ වරුසා කාලෙට// අන්තිම නායක මැඩියාගේ නද අන්තිම නායක මැඩියාගේ නද ඕක්කු බං බං ඕක්කු බං බං උජං කුජ ඕර බං බං බං බං බං බං යන නාදෙන් පවසන්නේ නළුවනි අහපන්නේ... මෙම වන්නම් පද මගින් කියැවෙන්නේ, මැඩියාගේ ජීවන චක්‍රය ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය යි. වර්ෂා කාල පහක් පසු කරමින් මැඩියන්ගේ ජීවන චක්‍රය වෙනස් වන ආකාරය මෙන් ම ඔවුන්ගේ හඬ වෙනස් වන ආකාරය ද මෙහිදී විද්‍යාත්මකව පැහැදිලි කෙරේ. ගැමියන්ගේ විද්‍යාත්මක දැනුම මෙම වන්නම් ගායනාව අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයෙන් හමු වී තිබිණි. "ඇත්තට ම මේක සුවිශේෂී නිර්මාණයක්. විද්‍යාවෙන් ගොඩක් දියුණු වෙලා ඉන්න වත්මන් සමාජය බොහෝ විට දන්නේ, ගෙම්බා 'බක බක' ගානවා කියන ශබ්දය විතර යි. ඒත්, ගෙම්බා විවිධ අවස්ථාවලට අනුකූලව විවිධ ශබ්ද නගන බව අතීතයේ ගැමියන් අධ්‍යයනය කර තිබූ බව මේ වන්නමෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා මේක මීට සියවස් ගණනකට කලින් ජීවත් වුණ ගැමියන්ගේ විද්‍යාත්මක සහ පාරිසරික දැනුම වටහා ගත හැකි වටිනා නිර්මාණයක්," මෙම වන්නම් පිළිබඳ පර්යේෂණයේ නිරත වූ ලයනල් රන්වලගේ පුත් රන්වල බළකායේ කළමනාකරණ අධ්‍යක්ෂ සහන් රන්වල බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, ඔහුගේ පියා වන ලයනල් රන්වල රජරට ප්‍රදේශයේ ජන සංගීතය පිළිබඳ පර්යේෂණයන්හි නිරත වන අතරතුර මෙම වන්නම් ගායනය පටිගත කරගෙන තිබූ බව ය. "තාත්තා පටිගත කරගෙන තිබුණ ගායනා අතරින් මේ ගායනය අපට හමුවුණා. ඊට පස්සේ අපි ඒ ගැන අධ්‍යයනය කරලා ඊළඟ පරම්පරාවට ඒ දැනුම් ලබා දෙන්න පියවර ගන්නවා. මේ වගේ අප්‍රචලිත දේවල් සමාජගත කරන එක ඉතා ම වැදගත්," සහන් රන්වල පැවසීය. මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ ප්‍රදීප් මුතුකුඩආරච්චි බීබීසී සිංහල සේවයට පැවසුවේ, වෑගොල්ලාකඩ කිරිහාමි මොහොට්ටාල නමැත්තෙකු රජරට වන්නම් සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස සැලකෙන බව ය. ඒ පිළිබඳව සී. ද එස්. කුලතිලකගේ 'වන්නම්' නමැති කෘතියේ සඳහන් වන බව ඔහු සඳහන් කළේ ය. "කිරිහාමි මොහොට්ටාල කියන්නේ උඩරට රජතුමාගේ කවිකාර මඩුවේ කවියෙක් කියලයි සැලකෙන්නේ. ඔහු තමයි මේ වන්නම් සම්ප්‍රදාය ආරම්භ කරලා තියෙන්නේ." මැඩියා වන්නම සහ මණ්ඩුක වන්නම ගෙම්බා වර්ණනා කරමින් නිර්මාණය කරන ලද වන්නම් දෙකක් හමු වන බව ප්‍රදීප් මුතුකුඩආරච්චි පවසයි. ඒ, රජරට වන්නම් සම්ප්‍රදායට අයත් මැඩියා වන්නම සහ සබරගමු සම්ප්‍රදායට අයත් මණ්ඩුක වන්නමයි. මණ්ඩුක වන්නම නර්තනය සඳහා නිර්මාණය කරන ලද වන්නමකි. "මණ්ඩුක වන්නම ගායනා කරමින් නර්තනයේ යෙදෙන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඒත්, මැඩියා වන්නම නිර්මාණය කරලා තියෙන්නේ, ගායනා කිරීමට පමණ යි. ඒක යම් තාල වාද්‍ය භාණ්ඩයක් වාදනය කරමින් ගායනා කළ නොහැකි එනම් අනාඝාතාත්මක ගායන ශෛලියක් කියලා හඳුන්වනවා," ප්‍රදීප් මුතුකුඩආරච්චි සඳහන් කළේ ය. වන්නම් ඉතිහාසය වන්නම් ඉතිහාසය වර්ෂ 300ක් දක්වා ඈතට දිව යන බව පිළිගැනේ. මහනුවර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ, මල්වතු විහාරවාසී භික්ෂූන් වහන්සේ නමකගේ සහය ද ඇතිව, ඉන්දීය අභාසයක් සහිත ගණිතාලංකාර නමැත්තෙකු විසින් වන්නම් ආරම්භ කරන ලද බවට විශ්වාස කෙරේ. වන්නම් යන වචනය දෙමළ වචනයකින් නිර්මාණය වී ඇති අතර, එහි අර්ථය වර්ණනාව යන්න ය. මුල් කාලීනව රජතුමා වර්ණනා කිරීම පිණිස මෙම වන්නම් නිර්මාණය වූ අතර පසු කාලීනව එය වෙනස් වූ බව පෙනේ. උඩරට, පහතරට සහ රජරට සම්ප්‍රදායන්හි විවිධ සතුන් සහ පක්ෂීන් වර්ණනා කිරීම සඳහා වන්නම් නිර්මාණය කරනු ලැබ ඇති අතර, පහතරට සම්ප්‍රදාය අනුව සියලු වන්නම් රචනා කර ඇත්තේ, උපුල්වන් හෙවත් විෂ්ණු දෙවියන් වර්ණනා කිරීම සඳහා ය. |
'මම ලියන හැටි': අනුරසිරි හෙට්ටිගේ | අනුරසිරි හෙට්ටිගේ නවකතාකරුවෙක් සේම කෙටිකතාකරුවෙක් ලෙසද පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වී ඇත. ඔහුගේ නවකතා විවිධ තේමාත්මක කලාපයන් වෙත ගමන් කරමින් මිනිස් ජීවිතය සහ ලෝකය සෞන්දර්යාත්මකව ස්පර්ශ කරන බව ඔහුගේ නවකතා වන ගනදුරෙහි දිලෙන එළි , කියග මගිය එනු කොහි සිට, කළුවරයි පුරහඳ, ස්මරණ, බැඳමාරිය, පණ්ඩක පුත්‍ර වස්තුව සහ නිශා දෙස බලන විට පෙනී යයි. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මේ කතාබහ ආරම්භ කරන්න මම ඔබගෙනුත් අහන්නේ ඔබේ නවකතා වල පළමු වාක්‍ය ලියවුණු හැටි ගැන. ඔබේ නවකතා වල අත්දැකීම් ඇසුරෙන් ඒ ගැන යමක් කියන්න පුළුවන් ද? අනුරසිරි: මගෙ මුල්ම නවකතාව ගත්තොත් ඒක මට ගොඩක් දුරස් පරිකල්පනීය ලෝකයක තමයි ගොඩනැඟිල තිබුණේ.ඒ නිසා මට ලියන්න පටන් ගන්න කලින් මේක සෑහෙන තරම් මේක මගෙ හිතේ නිර්මාණය කර ගන්න සිද්ධ වුණා. ඒකෙදි පළවෙනි වාක්‍යය ලියන එක සෑහෙන බරපතල දෙයක් හැටියට තමයි මට දැනුණේ. කොටින්ම මට නවකතාවක් ලියන්න පුළුවන්ද කියන එක ගැන පවා මට සැකයක් තිබුණා ඒ වෙලාවේ. මොකද මේක මගෙ පළවෙනි නවකතාව. නමුත් යම් වෙලාවකදි දැන් මම මේක ලියන්න ඕන කියල වාඩි වුනාට පස්සෙ මම පළවෙනි වාක්‍යය විතරක් නෙමේ මුල් පරිච්ඡේදය විතර එක දිගට ලියාගෙන ගියා. ඇත්තටම මේ පළවෙනි වාක්‍යය කියන එක නවකතාවක අපි එතෙක් පරිකල්පනය කරපු සමස්තය වෙනත් තැනකට ගෙනියන්න දායක වෙනවා. කොහොම හරි, මම මාස හයක දි විතර ඒ නවකතාව ලියල අවසන් කලා. ඒක මම ලිව්වේ ඩී. ආර් විජේවර්ධන අනුස්මරණ ත්‍යාගය ඉලක්ක කරගෙන. අන්තිමේදි ඒක අවසන් කෘති දහය ඇතුළේ හය වෙනි තැනට ඇවිත් තිබුණා. ඒක ආධුනිකයෙක් විදිහට මම ලබපු ජයග්‍රහණයක්. කොහොම වුණත් මාව නවකතාකරුවෙක් හැටියට සමාජය දැන ගත්තේ 'කරුවලයි පුරහඳ' නවකතාවෙන්. මම ඒක ලිව්වේ මම හැදුණු වැඩුණු පිටකොටුවෙ පරිසරය කේන්ද්‍ර කරගෙන. කවුරුත් දන්නවා ඒක හරිම කටුක පරිසරයක්. ඒකෙදි මම මුහුණ දුන්න අභියෝගය තමයි මට මේ අත්දැකීම් වල තියන සමීපකම. ඔබත් නවකතාකරුවෙක් හැටියට දන්නවා ඇති තමන්ට සමීප අත්දැකීම් ලියන්න යන කොට ලේඛකයෙක් මුහුණ දෙන අසීරුව. ඉතින් මේකෙන් ගැලවෙන්න මම රාත්‍රියේ පිටකොටුවෙ වීදි වල ඇවිදින්න ගත්ත. මට ඕනෙ වුණේ මේ නවකතාව රාත්‍රියකින් පටන් ගන්න. දවසක් මගෙ මේ රාත්‍රී වීදි සංචාරය මාව පිටකොටුවෙ ස්ටේෂන් එක ලඟට ගෙනත් තිබුණ. ඒ වෙලාවෙ මට ඇහුණා කෝච්චියක හෝන් සද්දයක්. මගෙ හිතේ ඇඳුනා අඳුරේ ඇදෙන දුම්රියක්. මට තේරුණා මෙතනින් තමයි මගෙ නවකතාව පටන් ගන්න ඕන කියල. ඇත්තටම 'කරුවලයි පුරහඳ' නවකතාවේ සාර්ථකත්වය තියෙන්නෙ ඒ පළවෙනි පරිච්ඡේදය ආරම්භ කරපු විදිහෙ කියල මට හිතෙනවා. මොකද ඒ පරිච්ඡේදයේ තියෙන්නේ කොළඹ වීදි දිගේ යන ගමනක්. කෞශල්‍ය: දැන් මේ පළවෙනි වාක්‍යය ලියන කොට ඔබ ලියන්න යන නවකතාව ගැන කොයි තරම් දුරට දැනුවත් ද ? අනුරසිරි: ඇත්තටම මම ලියන්න යන නිර්මාණයෙන් සියයට හැටක් විතර මගෙ පරිකල්පනය තුළ ගොඩනඟාගෙන තමයි මම ලියන්න පටන් ගන්නේ. නමුත් ලිවීම තුළ මම අපේක්ෂා නොකළ චරිත ඇවිත් ඒත් එක්කම අතුරු සිදුවීම් ඇවිත් මේක වෙනස් වෙනවා. ඒක ලිවීමේදී සාමාන්‍ය දෙයක්. නමුත් පළවෙනි වාක්‍යය ලියන මොහොතෙදි මම නවකතාවෙන් සියයට හැටක් විතර මගෙ පරිකල්පන ලෝකය තුළ නිර්මාණය කරගෙනයි ඉන්නෙ. ඒ නිසා ඒක ලිවීමට ලොකු පහසුවක් වෙනවා. කෞශල්‍ය: දැන් ලිවීම ආරම්භ කිරීමට කලින් ඔබ පරිකල්පනය තුළ ගොඩනඟන මේ සියයට හැට ඔබේ හිතේ විතර ද තියෙන්නේ නැත්නම් ඔබ මේවා කොහේ හෝ සටහන් කර ගන්නවාද? අනුරසිරි: දැන් කරුවලයි පුරහඳ ලියන්න කලින් ලියපු නවකතා තුනේම වගේ මම නෝට්ස් ගහල තිබුණ මේ මේ පරිච්ඡේද වල එන්නේ මේ දේවල් කියල. මේ විදිහට පරිච්ඡේද පහකට හයකට විතර ගහපු නෝට්ස් මං ළඟ තිබුණා. හැබැයි මේ නෝට් එක නෙමෙයි මම ලියන්න පටන් ගත්තට පස්සෙ ලියවෙන්නේ. 'කරුවලයි පුරහඳ' නවකතාවට මම එහෙම නෝට්ස් ගැහුවේ නැති වුණාට මගෙ පරිකල්පනය තුළ ඒ ඒ පරිච්ඡේද වල එන්නේ මොනවද කියන එක තිබුණා. හැමදේම නෙමෙයි ප්‍රධාන සිදුවීම් ටික තිබුණා. දැන් උදාහරණයක් හැටියට පළවෙනි පරිච්ඡේදයෙදි මේ නවකතාවේ ප්‍රධාන චරිතය ජනදාස කොටුව ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් එයා ඇවිදගෙන යන ගමනෙදි එයාට මුණගැහෙන විවිධ චරිත ගැන අදහසක් මට තිබුණා. තෙල් බෙහෙත් වෙළෙන්දෝ, කොන්ඩම්ස් විකුණන අය, පිරිමි ගණිකාවෝ, සිංදු කියන කපල්ස් මේ එක් එක් අය හමුවෙන නිශ්චිත තැන් මම අත්දැකීමෙන් දැනගෙන හිටිය. කෞශල්‍ය: දැන් 'කරුවලයි පුරහඳ' නවකතාවට සටහන් ගත්තේ නැති වුනාට ඔබ කලින් නවකතා වලදි ඒක කලා. ඉන් පස්සේ ලියන නවකතා වලදි ඔබ අනුගමනය කළේ මේ දෙකෙන් මොකද්ද ? අනුරසිරි: 'කරුවලයි පුරහඳ' සාර්ථකත්වයත් එක්ක මට තේරුණා මාව කොටු කරනවා කියල මම කොළඹ ගැන ලියන ලේඛකයෙක් කියල. ඒ නිසා මම අභියෝගයක් බාර ගත්ත. මගෙ අත්දැකීම් කලාපයේ කොහෙවත් නැති මොණරාගල පැත්තේ මායිම් ගම්මානයක් ගැන මම නවකතාවක් ලියනවා 'බැඳමාරිය' කියල. නවකතාකරුවා ප්‍රබන්ධ කරුවෙක්නේ. ප්‍රබන්ධ කරුවාට කොයි පිට්ටනියෙත් සෙල්ලං කරන්න පුලුවන් වෙන්න ඕන. ඉතින් මෙතෙන්දි මට මේ අත්දැකීම් ගන්න මේ ප්‍රදේශයේ සංචාර කිහිපයක් යන්න වුණා. ඒ දවස් වල මම ඔය තිඹිරියාගම බංඩාරල එක්ක යනවා ඒ පැති වල ඉස්කෝල වල සාහිත්‍ය වැඩ වලට එහෙමත්. මට නැති මේ අත්දැකීම් මට බාහිරින් ගන්න සිද්ධ වුණා. එතෙන්දි මම ආයෙමත් අර පරිච්ඡේද වලට ගහන සටහන් වලට යන්න සිද්ධ වුණා. ඇත්තටම ඒකෙදි හැම පරිච්ඡේදයකම අතුරු සිදුවීම් පවා මම සටහන් කලා ලිවීමට කලින්. මොකද මේ නවකතාවේ භාෂාව පරිසරය මේ සියල්ල ලේඛකයාට ආගන්තුකයිනේ. භාෂාව මට වෙනම අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. නවකතාකරුවෙක් තමන්ට සමීප අත්දැකීම් ලියන විට මුහුණ දෙන අභියෝගයට වඩා හාත්පසින් වෙනස් අභියෝගයකට ඔහු ආගන්තුක අත්දැකීම් ලියනකොට මුහුණ දෙනවා. මේ නිසා මේ පූර්ව සැලසුම මට සෑහෙන උදව් වුනා මෙතෙන්දි. කෞශල්‍ය: දැන් මේ හැමදේම සටහන් කරල තිබුණ මේ සැලසුම ඒ විදිහටම නවකතාව ලියන කොට සිද්ධ වුනාද? අනුරසිරි: නැහැ. මං අර කලින් කිව්ව වගේම ලියාගෙන යනකොට එන අළුත් චරිත, අළුත් සිදුවීම් එක්ක මේ සැලසුම වෙනස් වෙනවා. මං හිතන්නේ අපි ඒ වෙනකොට පරිකල්පනය කරල නොතිබුණු දේශපාලනයන්, සංස්කෘතික කාරණා පවා මේ අතුරු චරිත සහ සිදුවීම් එක්ක නවකතාව ඇතුළට එනවා කියල. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ නවකතාවක් අවසාන කරන හැටි ගැන? අනුරසිරි: පරිකල්පනය තුළ කතාව ගොඩනගද්දි ඒකට අවසානයක් තියනවා. නමුත් ලියාගෙන යද්දි ඒක වෙනස් වෙනවා. දැන් 'කරුවලයි පුරහඳ' ගත්තොත් මම ඒක අවසාන කරන්න හිටියෙ පියවතී, ඒ කියන්නෙ ඒකෙ ප්‍රධාන චරිතය, ජනදාස ප්‍රේම කරන ගැහැණිය, ඇය ලිංගික ශ්‍රමිකාවක්, ඇයට මේකෙ ප්‍රතිඵලයක් හැටියට කුෂ්ඨ රෝගයක් එනවා. එයින් ඇය මිය යනවා. එතකොට ඇගේ මරණය සහ ජනදාසගේ හුදෙකළාව, යම් විදිහකට රොමෑන්ටික් ශෝකාන්තයක්. පොත අවසන් වෙන්න තිබුණෙ ඇගේ අවමංගල්‍ය වෙලාවේ සුසාන භූමියෙන්. පොතේ ඒක තියනවා. නමුත් එතනින් නොනැවතී ජනදාස කනත්තේ සිට බොරැල්ල හන්දිය දක්වා යනවා. ඒ දවස් වල දෙමටගොඩ පාලම හදනවා. නිතරම තැඹිලි පාට ලයිට් එක තමයි පත්තු වෙලා තියෙන්නේ කොලයි රතුයි එන්නේ නැහැ. උඹලට ඕන්නම් පලයන් කියන අදහස තමයි ඒකෙ තියෙන්නේ. කොළ ආවෙත් යන්නම වෙනවා, රතු ආවොත් ඉන්නම වෙනවා. මම මුලින් නවකතාව අවසන් කරන්නේ එතනින්. ඊට පස්සෙ පොත ටයිප් කරල මගෙ අතට ආවට පස්සෙ මම මේක තවත් ඉදිරියට ගෙනියනවා. පොත අවසන් වෙන්නේ ජීවිතයේ නිස්සාරත්වය ගැන ජනදාසට එන සිතිවිල්ලකින්. එතනදි ධම්මපදයේ ගාථාවකින් තමයි ඒක ඉවර වෙන්නේ . නමුත් දැන් මම ඒ අවසානයට ඒ තරම් කැමති නැහැ. අද මම ඒක අවසන් කළා නම් කරන්නේ අර කහපාට සංඥා ආලෝකය ගාවින්. කොහොම වුණත් පියවතීගේ මරණය කියන මම පරිකල්පනය කරපු තේමාත්මක අවසානය මෙතෙන්දි වෙනස් වුනේ නැහැ. නමුත් 'බැඳමාරිය' වගේ නවකතාවකදි මේ තේමාත්මක අවසානය පවා ලිවීම තුළ යම් විදිහකට වෙනස් වෙනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් මම හිතන්නේ අපි පරිකල්පනය කරන තේමාත්මක අවසානය වෙනස් වෙන්නේ කලාතුරකින් නමුත් ආඛ්‍යානය තුළ නවකතාව අවසාන වෙන තැන වෙනස් වෙනවා. කෞශල්‍ය: අපි ටිකක් කතාකරමුද ඔබ ලියන විදිහ ගැන? අනුරසිරි: මම නවකතා ලිවීම පටන් ගන්න කාලේ මම පදිංචි වෙලා හිටියේ කොළඹ 12 මහල් නිවාසයක. දැනට ඒව කම්කරු නිවාස. ඒකෙ කාමර නැහැ ගෙදර කොටස් දෙකකට වෙන් වෙලා තියනවා. එකක් සාලයයි කුස්සියයි. අනිත් එක කාමරයයි බාත් රූම් එකයි. දැන් මේ ගෙදර මමයි මගෙ බිරිඳ අසෝකයි, පුතයි, මගෙ අම්මයි තාත්තයි ජීවත් වුණා. ඉතින් මේකේ මට ලියන්න වෙනම තැනක් තිබුණේ නැහැ. ඉතින් මම ලියන්නේ රෑට. මම සාලෙ පුටුවක ඇන්දක එක්සයිස් පොතක් තියාගෙන තමයි ලියන්නේ. දවල්ට ලියනවා කියන එක අභියෝගයක්. හරි ඝෝෂාවක් තියනවා. ගෙවල් ළඟ ළඟ තියෙන්නේ. වලං හූරන සද්දේ පවා ඇහෙනවා. ඉතින් මම දිගටම ලිව්වෙ රාත්‍රියට අර පුටු ඇන්දේ තියාගෙන. මම 2005 දි කොටිකාවත්තෙ ගෙදරකට එනවා. එතෙන්දි මට ලියන්න කාමරයක් ලැබෙනවා. නමුත් මට එතෙන්දි මේසෙක ලියන්න අපහසුවක් දැනෙන්න ගන්නවා. මම ආපහු අර ෆැලැට් එකේ තිබුණ පුටුවෙම ලියන්න ගන්නවා. මම දැනුත් වාඩි වෙලා ඉන්නේ ඒ පුටුවක. කොහොමහරි ටික කාලෙකට පස්සෙ මම පරිගණකයෙන් ලියන්න පුරුදු වෙනවා. ඒ නිසා ඒකට මට ගෙදර විශේෂ ස්ථානයක් හදාගන්න සිද්ධ වුණා. 'කොළඹ ළමයි' කෘතිය තමයි මම පරිගණකයෙන් ලියපු මුල්ම කෘතිය. දැනටත් මම රාත්‍රි කාලේ තමයි වැඩිපුර ලියන්නේ . බාධා අඩුයිනේ. මම ලියන්න කලින් ලියන්න යන කොටස හිතේ ලියාගෙන ඉන්නේ. බස් එකේ යන එන ගමන්, කන බොන ගමන්, වැසිකිළියේ ඉන්න ගමන්, ඩ්‍රින්ක් එකක් දාන ගමන් මම ටිකෙන් ටික මේක මගෙ හිතේ ලියනවා. ඒ නිසා ලියන්න වාඩි වුනාට පස්සෙ මම අමුතුවෙන් හිතන්නේ නැහැ. නමුත් ලිවීම තුළ මම හිතපු දේවල් වෙනස් වෙනවා. එතකොට මම නැවත මුලට ගිහින් ඒ අදාළ වෙනස්කම් කරමින් තමයි ඉදිරියට යන්නෙ. මේ නිසා හැම වෙලේම පොත එඩිට් වෙනවා. මං හිතන්නෙ මගෙ පොතක් සිය පාරක් විතර එඩිට් වෙනවා. ඒවගේම මම නවකතාවක් ලියමින් ඉන්න වෙලාවක සතියකට වඩා මට ඒක ලියන්න බැරි වුණොත් මම මොනතරම් ලියල තිබුණත් ලියන්න පටන් ගන්න කලින් ලියල තියෙන ඔක්කොම කියවනවා. කෞශල්‍ය: ඔබ දැන් කිව්වා ලියන අතර තුර ඔබේ නවකතා සැළකිය යුතු වාර ගණනක් සංස්කරණය වෙනවා කියල. තව ටිකක් කියන්න පුළුවන් ද මේ සංස්කරණ ක්‍රියාවලිය ගැන? අනුරසිරි: ඇත්තටම පළවෙනි නවකතාව ලිව්වට පස්සෙ තමයි මම සංස්කරණයේ වැදගත්කම තේරුම් ගත්තේ. මගෙ මුල්ම නවකතාව මම කිව්වනෙ මම ඒක ලිව්වෙ ඩී. ආර් විජේවර්ධන සම්මානය ඉලක්ක කරගෙන කියල. මම ඒක තරඟෙට යවද්දි නැවත කියෙව්වෙත් නැහැ. ඊට පස්සෙ මුද්‍රණය කරද්දිත් සංස්කරණය කළේ නැහැ. පස්සේ මම ඒක කියවද්දි මට තේරුණා සංස්කරණය නොකිරීම නිසා මොනතරම් ඒ ප්ලොට් එක අපතේ ගිහින් තියනවද කියන එක. මං හිතන්නේ සංස්කරණය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. කෞශල්‍ය: නවකතාවක් අවසන් කළාට පස්සේ කොහොමද දැනෙන්නේ? අනුරසිරි: අප්පා... සතියක් විතර යනකන් කිසිදෙයක් කරන්න බැහැ. ඔය සින්දුවක් කියාගෙන ඩ්‍රින්ක් එකක් දාල ඉන්න පුළුවන්. හරිම අමුතු හිස්කමක් දැනෙනවා. අර බෝම්බයක් පිපිරුණ ගමන් තත්පර ගානකට විශාල නිහඬතාවයක් ඇති වෙනව කියන්නේ. අන්න ඒ වගේ. මොකද්ද වුනේ කියල හිතා ගන්න බැහැ වගේ දෙයක්. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? මම අහන්නේ නවකතාකරුවෙක් ලෙස ඔබට ඔබේ පැවැත්ම දැනෙන හැටි ගැන. අනුරසිරි: ඇත්තටම ඒක වචනයෙන් කියන්න අමාරු දෙයක්. අපි මේ චරිත ඇතුලෙ ජීවත් වෙනවනේ. එතකොට මේ චරිත වල හැඟීම් අපිත් විඳිනවා. ඒ දුක් වේදනා, ආදරය, සටකපටකම් මේ හැම දෙයක්ම. දැන් පියවතී කියන චරිතය ගත්තොත් ඇය ගණිකාවක්. නමුත් ඇය ගෙදර ආවම අම්මා කෙනෙක්. ඇයගේ චරිතය නිර්මාණය කරද්දි මට ආවේ මගෙ අම්මගෙ සමහර ලක්ෂණ. පියවතී කියන්නෙ මගෙ අම්මා නෙමේ. නමුත් සමහර රූප ලක්ෂණ සහ චරිත ලක්ෂණ මගෙ අම්මගේ. අපේ අම්මගෙත් කම්මුලේ පොඩි ගෙඩියක් තිබුණා, ඒකෙ තිබුණ පොඩි කෙස් ගහක්. දැන් මේක පියවතීගෙත් තිබුණ. ඉතින් මේ විදිහට නවකතා ලිවීමේ දී අපි අත්විඳින හැඟීම් හරිම සංකීර්ණයි. විවිධයි. ඒක සිද්ධ වෙන්නෙ චරිත ඇතුළේ ජීවත් වෙන එකත් එක්ක. අනුරසිරි හෙට්ටිගේ නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද ඇතැම් විට මේ කතාබහ දායක වනු ඇති. ලබන සතියේ අප හා එක් වන කැත්ලීන් ජයවර්ධන යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ සුවිශාල ජනාදරයකට පත් වූ නවකතාකාරියකි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
ගාලු සාහිත්‍ය උළෙල : 'ලේඛකයන්ට, කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක්' | ගාලු සාහිත්‍ය උළෙල වසර කිහිපයක නිහඬතාවයෙන් පසු මෙම වසරේ ජනවාරි 25 - 28 දිනයන් හිදී පරිදි ගාලු කොටුව ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය. 'ගාලු සාහිත්‍ය උළෙල' යනු කුමක්ද? 2007 වසරේ දී ආරම්භ වන ගාලු සාහිත්‍ය උළෙල ශ්‍රී ලාංකීය සාහිත්‍ය ඉතිහාසය තුළ සුවිශේෂී වන්නේ එය ලෝක මට්ටමේ සාහිත්‍යකරුවන්, ශාස්ත්‍රඥයින්, ජනමාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් මෙරටට ගෙන්වා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලක ප්‍රමිතියෙන් යුතුව පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙනි. ලෝක සහ කලාපීය සාහිත්‍යයට අමතරව මේ ඔස්සේ මූලික වශයෙන් අවධානයට පාත්‍ර වන්නේ ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය සංස්කෘතියයි. ඉංග්‍රීසි භාෂාවෙන් රචනයේ යෙදෙන ලේඛකයන්ගේ විවිධත්වය සහ ගැඹුර ගැන දැනුවත්භාවයක් ඇති කිරීම මෙහි අරමුණු අතර ප්‍රධාන තැනක් ගනියි. පසුගිය වසර පහ තුළ 'බුකර්' සහ වෙනත් සාහිත්‍ය ත්‍යාගයන් ඔස්සේත් ජනප්‍රිය ලැයිස්තු ඔස්සේත් ජාත්‍යන්තර සාහිත්‍ය වේදිකාව තුළ අවධානයට බඳුන් වූ ලාංකීය ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් සමග නවක සාහිත්‍යකරුවන්ද එකම අවකාශයකට ගෙන ඒමෙන් ඔවුන් වෙත අවධානයක් ලබා දීම ද මෙහි තවත් අරමුණකි. "ගාලු සාහිත්‍ය උළෙල තුළ මෙවරත් ගෝලීය සහ දේශීය සාහිත්‍යකරුවන්, කලාකරුවන්, ශාසත්‍රඥයන් සමඟ පැවැත්වෙන සාකච්ඡා, වැඩමුළු, ප්‍රදර්ශන සහ සංස්කෘතික අංග රාශියක් ගාලු කොටුවේ කුඩා හෝටල් වල සුපුරුදු විදිහට පැවැත්වෙන නිසා එක්තරා දුරකට මෙවර උළෙලත් ගාලු සාහිත්‍ය උළෙලේ සුපුරුදු ආකෘතිය අනුගමනය කරනවා. නමුත්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නව අනුග්‍රාහකයෙක් ලෙස මෙවර සාහිත්‍ය උළෙලට සම්බන්ධ වන නිසා සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් නව වෙනස්කම් උළෙල ඉදිරිපත් කරන ආකාරයට එකතු වෙලා තියනවා කියල කියන්න පුළුවන්" 2024 ගාලු ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ජිසෙල් හාර්ඩිංග් මෙවර උළෙල ගැන අප සමඟ අදහස් දක්වමින් කියා සිටියාය. ශ්‍රී ලංකාවේ පවතින අනෙකුත් සාහිත්‍ය උළෙල හා සංසන්දනාත්මකව බැලු විට ගාලු සාහිත්‍ය උළෙලේ පවතින විශේෂත්වය කුමක් දැයි බීබීසී සිංහල ඇගෙන් කළ විමසීමට ඇය ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි. "ලෝකයේ ඕනෑම සාහිත්‍ය උළෙලකට ඒවාටම සුවිශේෂී වූ අනන්‍යතා තියනවා. ඒ අනන්‍යතා ඇති වීමට ඒවා පැවැත්වෙන ස්ථානය ගොඩක් දුරට අදාළ වෙනවා. මේ නිසා ගාලු සාහිත්‍ය උළෙලේ අනන්‍යතාව ගාලු කොටුවේ සුන්දරත්වය සහ එහි ඇති ආගන්තුක සත්කාර සංස්කෘතිය විසින් බොහෝ දුරට තීරණය කරල තියනව කියල කියන්න පුළුවන්. ඒ වගේම අන්තර්ගතය අතින් බලන කොට උළෙලට ඇතුළත් වන අංග ඉතා සාරවත් සේම සතුට ගෙන එන ඒවා කියල තමයි මම හිතන්නේ." එසේම මෙරටේ පවතින 'සිංහල හා දෙමළ සාහිත්‍ය' පුළුල් පාඨක ලෝකය වෙත ගෙන යාමට අවශ්‍ය දියුණු පරිවර්තන සංස්කෘතියක් ලංකාව තුළ ඇති කිරීමට ගාලු සාහිත්‍ය උළෙලට කිසියම් දායකත්වයක් දැක්විය නොහැකිද යන්න ඇයගෙන් විමසන ලදුව ඇය කියා සිටියේ "මම හිතන්නේ ඒක වැදගත් යෝජනාවක්. අපේ ඉදිරි උළෙලවල දී පරිවර්තකයන් සමග පවත්වන වැඩමුළු ගැන අවධානය යොමු කරන්න පුළුවන්" යනුවෙනි. මෙවර ගාලු සාහිත්‍ය උළෙලට එන සාහිත්‍ය ලෝකයේ සුවිශේෂී චරිත සහ වැඩසටහන් මෙවර ගාලු සාහිත්‍ය උළෙලට සම්බන්ධ වන සම්භාවනාවට පාත්‍ර වූ නවකතාකරුවන්, කවියන්, ප්‍රබන්ධ නොවන ශානරයන්ගේ ලේඛකයන්, මාධ්‍යවේදීන් සහ ශාස්ත්‍රඥයන් අතර ශෂී තරූර්, සෙබස්තියන් ෆෝක්ස්, රොමේෂ් ගුණසේකර, ෂෙහාන් කරුණාතිලක, ඩීබීසී පියේර්, නයෝමි මුණවීර, ගයි ගුණරත්න, අමීනා හුසේන්, සුජිත් සිවසුන්දරම්, ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත්, ක්‍රිස්ටිනා ලෑම්බ්, ජගත් වීරසිංහ, අමන්දා ජයතිස්ස, නෙලූෆර් ද මෙල් වැනි සුවිශේෂී පිරිසකගේ නම් දැකිය හැකිය. ප්‍රබන්ධ රචනය සම්බන්ධ වැඩමුළු, පොත් එලිදැක්වීම්, ලේඛකයන් සමඟ දිවා හා රාත්‍රී භෝජන සංග්‍රහ, කාව්‍ය ඉදිරිපත් කිරීම්, සංවාද, සංගීත හා නාට්‍යමය අත්දැකීම්, දෘශ්‍ය කලා ප්‍රදර්ශන, සූපවේදී ඉදිරිපත් කිරීම් යනාදියෙන් පිරිපුන් මෙවර ගාලු සාහිත්‍ය උළෙල වින්දනාත්මක හා බුද්ධිමය අත්දැකීමක් වනු ඇත. උළෙලේ ඇතැම් වැඩසටහන් වල ප්‍රවේශ පත් මේ වන විටත් ව්කිණී අවසන්ව තිබේ. එවැනි අතිශය ජනප්‍රිය අංග අතර බුකර් සම්මානයට පාත්‍ර වූ ලාංකීය නවකතාකරු ෂෙහාන් කරුණාතිලක, සූපවේදී කරන් ගොකානි සහ අමල් ද සිල්වා විජේරත්න එක්ව 'ලංකාවට සුවිශේෂී මත්පැන්' පිළිබඳ සිදු කරන කතාබහ සමග රාත්‍රී භෝජනය සහ අරක්කු රසවිඳීම (Arrack Tasting), අමීනා හුසේන් ගේ ඉබන් බතූතා කෘතිය පිළිබඳ සාකච්ඡාව, ඒ.සී. ග්‍රේලිංග් ඔහුගේ 'දර්ශනය සහ ජීවිතය' කෘතිය ඇසුරෙන් කරන දේශනය වැනි ඒවා දැකිය හැකිය. පසුගිය වසරේ ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූ චිරන්ති රාජපක්ෂ ගාලු සාහිත්‍ය උළෙල ගැන අප සමග අදහස් දක්වමින් කියා සිටියේ "ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් අතර මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ගාලු සාහිත්‍ය උළෙල අතිශය වැදගත් අවස්ථාවක් ලංකාවේ සාහිත්‍යකරුවන්ට ලබා දෙනවා. මට විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි පාඨකයන් මුණගැසීමට ලැබෙන අවස්ථාව. ලේඛකයෙක් හැටියට ඒක මම සෑහෙන විඳින දෙයක්" යනුවෙනි. මේ අතර ළමා සාහිත්‍ය වෙනුවෙන් වෙන් වූ විශේෂ වැඩසටහන් මාලාවක් ජනවාරි 27 වන දා තෝමස් ගෝල් පාසැලේ දී පැවැත්වෙන අතර කිරන් මිල්වුඩ් හාග්‍රේව්, හිස්රානා ෆරූක් ඇතුළු ප්‍රකට ළමා සාහිත්‍යවේදීන් විසින් මෙහෙය වන මෙම වැඩසටහන් අවුරුදු 2-5 දක්වා දරුවන්ගේ සිට 12 න් ඉහළ දරුවන් දක්වා සහභාගී විය හැකි ලෙස විවිධාංගීකරණයෙන් යුක්ත වේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ සාහිත්‍යයට සමගාමීව දිගහැරෙන දෘශ්‍ය කලා ධාරාවේ වැඩසටහන් මාලාවයි. ජගත් වීරසිංහ, චන්න දාස්වත්ත, ෆැබියෙන් ෆ්‍රැන්කෝට්, විනීට් වොහ්රා වැනි විශිෂ්ට දෘශ්‍ය කලාවේදීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩමුළු, ප්‍රදර්ශන, සජීවී අත්දැකීම් සහ සංවාද ආදියෙන් මෙය සමන්විතය. ‘මේක ලෝකය පුරා සිටින ලේඛකයන්ට හා කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක්' "මේක ලෝකය පුරා සිටින ලේඛකයන්ට හා කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක් වගේම ලාංකීය සාහිත්‍ය හා කලාකරුවන්ට තමන්ගේ දක්ෂතා පෙන්වීමට ලැබෙන මහඟු අවස්ථාවක්. කොවිඩ් වසංගතයෙන් පස්සේ වසර හතරක් විතර මූල්‍යමය හා වෙනත් අපහසුතා නිසා පැවැත්වීමට නොහැකි වූ මෙම උළෙල මෙවර නැවත පැවැත්වීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. ඒවගේම මේක ඉදිරියේ දී තවත් වර්ධනය විය යුතුයි. ජාත්‍යන්තර සාහිත්‍ය කලා අත්දැකීම් ලංකාවට ගෙන ඒමට වගේම ලාංකීය සාහිත්‍ය කලාවන් ලෝකය වෙත ගෙන යාමට මෙම උළෙලට අනාගතයේ දී තවත් හැකියාව ලැබෙයි කියල මම විශ්වාස කරනවා." ගාලු සාහිත්‍ය උළෙලේ පුරෝගාමී කමිටු සාමාජිකාවක් සහ ප්‍රකට ලේඛිකාවක වන අමීනා හුසේන් බීබීසී සිංහල සමග කියා සිටියාය. කලාපීයවත් ගෝලීයවත් සාහිත්‍ය උළෙල අතර තම අනන්‍යතාව සලකුණු කිරීමට සමත් වී ඇති ගාලු සාහිත්‍ය උළෙල සාහිත්‍ය කලා රසිකයන් හට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. |
මියගිය සිනමා තරු යළි මෙළොවට රැගෙන එන කෘත්‍රිම බුද්ධිය | රංගන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකු සිහින මවන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක මනසේ රැඳෙන වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ය. එය වැඩි දෙනෙකුට ළඟා කර ගත නොහැකි අතර, රංගන කර්මාන්තය යනු සාර්ථකත්වයට පත්වීම අතිශය දුෂ්කර ක්ෂේත්‍රයකි. එසේ සාර්ථකත්වයට පත්වන්නන්ට රිදී තිරයේ යම් ආකාරයක අමරණීයත්වයක් ලබා ගත හැකි අතර, එමඟින් ඔවුන්ගේ නාමයන් ආලෝකවත් වීමට ඉඩ සැලසෙයි. අමෙරිකානු සිනමා නළු ජේම්ස් ඩීන් එවැනි දැවැන්තයෙකි. 1955 වසරේ දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඔහු චිත්‍රපට තුනකට පමණක් රංගනයෙන් දායක වී අතිශය ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහු මියගොස් දශක හතකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද, නව සිනමා කෘතියක් වන Back to Eden නමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවයි. කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කරන ලද එම රංගන ශිල්පියාගේ ඩිජිටල් ක්ලෝනය, චිත්‍රපටයේ සෙසු නළු නිළියන් සමග ඇවිද යයි, කතා කරයි. එමෙන් ම, ඔවුන් සමග රංගනයේ යෙදෙයි. හොලිවුඩ් පරිගණක ආශ්‍රිතව නිර්මිත දර්ශන (CGI) තාක්ෂණික වශයෙන් අතිශයින් උසස් මට්ටමක පවතියි. එහෙත්, වසර 43කට පසු පළමු වරට හොලිවුඩයේ වැඩ වර්ජනයකට එක්වූ නළු නිළියන් සහ තිර රචකයන් විසින් මතු කරන ලද ඇතැම් කරුණුවල මූලය ද එය වේ. ලාභය වෙනුවෙන් නිර්මාණශීලීත්වය වෙනුවට කෘත්‍රිම බුද්ධිය ආදේශ කර ගනු ඇතැ යි බියට පත්ව සිටින බවට ඔවුන් තර්ක කරයි. රංගන ශිල්පිනී සූසන් සැරන්ඩන් ද මේ ගැටළු පිළිබඳව කතා කළ අය අතර සිටියි. ඇය කෘත්‍රිම බුද්ධිය විසින් "මට තෝරාගත නොහැකි දේ කීමට සහ කිරීමට" බල කරනු ඇති බවට අනතුරු අඟවයි. උසස් ඩිජිටල් තාක්‍ෂණයේ සහ හොලිවුඩ් ඓන්ද්‍රජාලික යෙදවීම් හරහා මියගිය නළුවන් තිරය මත නැවත පණ ගැන්වූ පළමු අවස්ථාව ඩීන්ගේ ඩිජිටල් පුනර්ජීවනය නොවේ. කැරී ෆිෂර්, හැරල්ඩ් රමිස් සහ පෝල් වෝකර් යනු මරණින් පසු ප්‍රසිද්ධ චිත්‍රපට චරිත නිරූපණය කළ කැපී පෙනෙන කීර්තිමත් පුද්ගලයින් අතරින් කිහිප දෙනෙකු පමණි. බ්‍රසීලියානු ගායිකා එලිස් රෙජිනා ද මෑතකදී මෝටර් රථ වෙළඳ දැන්වීමක් සඳහා පුනර්ජීවනය ලැබූ අතර, එහිදී ඇය ඇගේ දියණිය මාරියා රීටා සමග යුග ගායනයක නිරත වනු පෙන්වන ලදී. ඔවුන්ගේ තිරයේ පෙනී සිටීම, WorldwideXR (WXR)හි ප්‍රධාන විධායක ට්‍රැවිස් ක්ලොයිඩ් පැහැදිලි කරන පරිදි ඩීප්ෆේක්වලට සමාන "ප්‍රතිචාර නොදක්වන පැතලි තිර, ද්විමාන" නිරූපණයක් පෙන්වයි. ඩීන්ගේ ඩිජිටල් ක්ලෝනය චිත්‍රපටයක් සඳහා යොදාගත් දෙවන අවස්ථාව මෙය යි. 2019 වසරේ දී ඔහු Finding Jack නමැති චිත්‍රපටයක් සඳහා CGI තාක්ෂණය මඟින් පුනර්ජීවනය කරන බව නිවේදනය කරන ලද නමුත් පසුව එය අවලංගු කරන ලදී. කෙසේ වෙතත්, ක්ලොයිඩ් බීබීසී වෙත තහවුරු කළේ, ඩීන් ඒ වෙනුවට "බැක් ටු ඊඩ්න්" නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ රඟපානු ඇති බව ත්, එහි "එලොව සිට සත්‍ය සෙවීමට ජේම්ස් ඩීන් සමග අමෙරිකාව හරහා කරන සංචාරයක් අන්තර්ගත වන," බව ත් ය. ඩීන්ගේ ඩිජිටල් ක්ලෝනකරණය ද, සිදුවිය හැකි දේ සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් නියෝජනය කරයි. ඔහුගේ AI අනුරුවට (avatar) Back to Eden සහ පසුව එන චිත්‍රපට මාලාවක පැතලි තිර භූමිකාවක් රඟ දැක්වීමට හැකියාව තිබෙනු ඇතිවා පමණක් නොව, පරිගණක නිර්මිත යථාර්ථය, අතථ්‍ය යථාර්ථය සහ පරිගණක ක්‍රීඩා ඇතුළු අන්තර්ක්‍රියාකාරී අවකාශයන්හි ප්‍රේක්ෂකයින් සමග සම්බන්ධ වීමට ද හැකි වනු ඇත. මේ තාක්‍ෂණය, ඩිජිටල් ප්‍රතිනිර්මාණයට හෝ වෙනත් කෙනෙකුගේ ශරීරයට වෙනත් පුද්ගලයෙකුගේ මුහුණ ආදේශ කරන ඩීප්ෆේක් තාක්‍ෂණයෙන් ඔබ්බට යයි. එය, වෙනත් වෘත්තියකින් ගත නොහැකි අමරණීයභාවයක් රංගන ශිල්පීන්ගේ ජීවිතය අවසන් වී බොහෝ කලකට පසුව වුව ද අත්කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රංගන ශිල්පීන් තුළ අපේක්ෂා වර්ධනය කරයි. එහෙත්, ඉන් දුෂ්කර ප්‍රශ්න කිහිපයක් ද මතු වෙයි. යමෙකු මියගිය පසු ඔහුගේ මුහුණ, කටහඬ සහ ඔහු ජීවත්ව සිටියදී ගොඩනගා ගත් පෞරුෂත්වයේ අයිතිය හිමි වන්නේ කාට ද? මරණයෙන් පසු ඔවුන්ගේ වෘත්තියේ දිශානතිය සම්බන්ධයෙන් ඔවුන් සතුව තිබිය හැකි පාලනය කුමක් ද? යථාර්ථවාදී කතා පුවත් සහිත නාට්‍යවල රඟපෑ නළුවෙකු මියගිය පසු එක්වර ම හුදු හාස්‍යෝත්පාදක නාට්‍යවල හෝ කාමුක දර්ශනවල පවා පෙනී සිටීමට සැලැස්විය හැකි ද? වෙළෙඳ දැන්වීම්වල නොමිලේ සන්නාම ප්‍රවර්ධනය සඳහා ඒවා භාවිත කළ හැකි නම් කුමක් කළ යුතු ද? එසේ නම්, මේ කීර්තිමත් පුද්ගලයින්ට සමාදානයේ සැතපීමට ඉඩ නොදෙන්නේ ඇයි? කුඩා කාලයේ ඉලිනොඒ ප්‍රාන්තයේ පිහිටි ගොවිපළක ඩීන් සමග සිටි, ඩීන්ට 'ජිමී' යන සුරතල් නාමයෙන් අමතන ඔහුගේ ඥාති සොයුරෙකු වන මාර්ක් වින්ස්ලෝ විශ්වාස කරන්නේ, ඔහුගේ ඥාති සොහොයුරා වෙත ඇති දැඩි ආකර්ෂණය පරම්පරාවන් ඉක්මවා යන හෙයින්, ඔහු නූතන සිනමාවේ ප්‍රධාන භූමිකාවක් සඳහා ආකර්ෂණීය තේරීමක් බවට පත්ව ඇති බව ය. "තිරයේ තවත් පුද්ගලයින් දෙතුන් දෙනෙක් හිටිය ත්, කෙලින් ම ඔබේ ඇහැ යන්නේ ඔහු වෙතට," ඔහු පවසයි. "ඔවුන් වෙනුවට ආදේශ කරන්න කිසි ම කෙනෙකුට පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඒත්, ඒ දේ පණ තියෙන ආකාරයට තිරය මතට ගේන්න පුළුවන්." ඩිජිටල් ක්ලෝන ඩීන්ගේ රූපය, ඇමිලීයා ඉයර්හාර්ට්, බෙටී පේජ්, මැල්කම් එක්ස් සහ රෝසා පාර්ක්ස් ඇතුළුව, WRX සහ එහි සහෝදර බලපත්‍ර සමාගම වන CMG වර්ල්ඩ්වයිඩ් යන සමාගම් විසින් නිර්මාණය කරන ලද රූප සිය ගණනක් අතරින් එකකි. වසර 68කට පෙර ඩීන් මියගිය පසු, WRX සමාගමේ ක්ලොයිඩ් "මූලාශ්‍ර ද්‍රව්‍ය" ලෙස හඳුන්වන ඔහුගේ ගති පැවතුම් ඇතුළත් විශාල එකතුවක් චිත්‍රපටවල, ඡායාරූපවල සහ හඬපටවල ඉතිරි විය. ක්ලොයිඩ් පවසන්නේ, ඩීන්ගේ ඡායාරූප තුළින් යථාර්ථවාදී නිරූපණයක් ලබා ගැනීම සඳහා, ගණනය කළ නොහැකි තරම් රූප සංඛ්‍යාවක් ස්කෑන් කර, ඉහළ ගුණාත්මකභාවයක් දක්වා සුසර කර, උසස් තාක්ෂණය භාවිත කරමින් ඩිජිටල් විශේෂඥයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලබන බව ය. හඬ, රූපරාමු සහ කෘත්‍රිම බුද්ධිය එකතු කිරීමෙන්, මෙම කොටස් ඩීන් ලෙස කතා කරන, චලනය වන සහ ප්‍රතිචාර දක්වන ඩිජිටල් ක්ලෝනය ගොඩනැගෙන කොටස් බවට පත්වේ. සමාජ මාධ්‍යවල නියැළෙන, පෞද්ගලික සෙල්ෆි ඡායාරූප ගන්නා, කෙටි පණිවුඩ සහ ඊමේල් යවන, සෙවුම් යාන්ත්‍රණ භාවිත කරන, සිල්ලර බඩු සඳහා ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ මිල දී ගන්නා සහ මාර්ගගත වෛද්‍ය ඖෂධ වට්ටෝරු මිල දී ගන්නා වර්තමාන ජනප්‍රිය පුද්ගලයින් මෙන් නොව, ඩීන් ඉතිරි නොකළ දෙයක් වන්නේ ඩිජිටල් මතක සටහන් ය. මෙම ක්‍රියාකාරකම්, අප සිතන සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳ විශාල දත්ත සංඛ්‍යාවක් සපයන අතර, එය හුදෙක් මතුපිටින් පෙනෙන නිවුන්නෙකුගේ සිට ජීවතුන් අතර සිටින බව ඒත්තු ගැන්විය හැකි පරිදි සංවාද කළ හැකි බුද්ධිමත් පුද්ගලයෙකු දක්වා ඩිජිටල් ක්ලෝනයක් දියුණු කිරීමට භාවිත කළ හැකි ය. සොහොනෙන් එපිට සිට ජීවතුන් අතර සිටින්නන් සමග කතාබස් කරන "ඩෙඩ්බොට්" නිර්මාණය කිරීම සඳහා මියගිය ආදරණීයයෙකුගේ ඩිජිටල් දත්ත උඩුගත කිරීමට පරිශීලකයින්ට අවසර දෙන සමාගම් පවා දැන් බිහිවී තිබේ. වැඩි මූලාශ්‍ර ද්‍රව්‍ය සහිත, වඩා ත් නිවැරදි හා බුද්ධිමත් ඩෙඩ්බොට් යනු නිර්මාණය වීම යනු, නූතනයේ කීර්තිමත් පුද්ගලයකුගේ වත්කමේ උරුමක්කාරයෙකුට චිත්‍රපට කර්මාන්තයේ අඛණ්ඩව වැඩ කිරීමට සහ තරමක් ස්වයංක්‍රීයව දායකවීමට මියගිය සිනමා තාරකාවක යථාර්ථවාදී ක්ලෝනයකට ඉඩ සැලසිය හැකි වීම ය. Adam Buxton Podcast වෙත අදහස් දක්වමින් රංගන ශිල්පී ටොම් හෑන්ක්ස් මෑතකදී පුරෝකථනය කළේ, ඔහුගේ ආයු කාලය හමාර වීමෙන් පසුව ද හොඳින් වැඩ කළ හැකි බව ය. "මම හෙට බස් එකක හැප්පෙන්න පුළුවන්, එතනින් මම ඉවරයි. ඒත් මගේ රංගන කටයුතු දිගට ම කරගෙන යන්න පුළුවන්." මියගිය අය නිසා රැකියා අහිමි වන නළු නිළියෝ ඩිජිටල් මානව පුනර්ජීවනයේ මීළඟ අදියර හරහා කීර්තිමත් පුද්ගලයින්ට සහ එදිනෙදා පුරවැසියන්ට සදාචාරාත්මක, නීතිමය සහ ප්‍රායෝගික ගැටලු නිර්මාණය වනු ඇතැයි බියෙන් සිටින නළු නිළියන්ට හෑන්ක්ස්ගේ ප්‍රකාශය සැබෑ ගැටළුවක් මතු කරන්නකි. විශේෂයෙන් ම හඬ නළුවෝ, රංගන සංසද හරහා නළුවන්ගේ අයිතිවාසිකම් සහ වෘත්තීන් ආරක්ෂා කිරීමට ඒකාබද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා සංවාදයක් මෙහෙයවති. "මිකී මවුස්, පෝර්කි පිග්, ස්නෝ වයිට් වගේ චරිතවලට හඬ දුන්න අය මියගියාම ඒ හඬ ලබා ගන්න අලුත් නළුවෙක් ගන්නවා," අමෙරිකාවේ හඬ නළුවන්ගේ ජාතික සංගමයේ සභාපති ටිම් ෆ්‍රයිඩ්ලෑන්ඩර් පවසයි. "ඒත්, සදහට ම මෙල් බ්ලෑන්ක් (ලූනි ටියුන්ස් කාටූන් චරිත රැසකට ජීවය දුන් හඬ නළුවා) පාවිච්චි කරන්න පුළුවන් වුණොත් මොකක් වෙයි ද?" මෙම තත්ත්වය ඇති වීම ආසන්න බවට ත්, ඩිජිටල් භාවිතයෙන් පුනරුත්පත්තිය ලබන හඬ නළුවන් හඬ කැවීම් කර්මාන්තය ඒකාධිපතිත්වයට නතුකර ගනු ඇති බවට ත්, ජීවමාන නළුවන්ට රැකියා අහිමි වනු ඇති බවට ත් ෆ්‍රයිඩ්ලෑන්ඩර් සහ ඔහුගේ හඬ නළු සගයෝ බියට පත්ව සිටිති. "මැරුණ හඬ නළුවන් නිසා ජීවත් වෙලා ඉන්න කිසි ම හඬ නළුවෙකුට අවස්ථාවක් නෑ. මොක ද, බග්ස් බනී, පෝර්කි පිග් වගේ කාටූන් චරිතවල (ලූනි ටියුන්ස් චරිත) හඬ නළුවා ඔහු නිසා." රංගන අවස්ථා අඩුවීමේ සම්භාවිතාවක් පැවතිය හැකි බව ක්ලොයිඩ් පිළිගත්ත ද, ඔහු දරන්නේ, මියගිය රංගන ශිල්පීන් රැකියාවේ නියුක්ත කිරීම "අර්ධ වශයෙන් සුබවාදී කාර්යයක්" යන අදහස ය. "සියල්ල අවසානයේ රැකියා ගොඩක් නිර්මාණය වේවි," ඔහු එසේ පවසන්නේ, තාක්ෂණය හරහා සිනමා කර්මාන්තමය සහ කාර්මික වශයෙන් රැකියා උත්පාදනය වෙනු ඇති බව පෙන්වා දෙමිනි. "ඒ නිසා එය එක් කෙනෙකුගේ චරිතයක් හෝ රැකියාව අහිමි කළ හැකි වුණ ත්, ඒත් එක්ක ම, ඊට වඩා ඉහළ මට්ටමකින් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් මෙය කිරීමට අදාළව රැකියා සිය ගණනක් නිර්මාණය වෙනවා." මළවුන්ගේ අයිතිවාසිකම් මළවුන් - හෝ ඒ වෙනුවට, ඔවුන්ගේ ඩිජිටල් ක්ලෝන - සදාකාලිකව වැඩ කරන්නේ නම්, එම වැඩ කිරීමෙන් ලබන මූල්‍යමය ප්‍රතිලාභ ලබන්නේ කවුද? එමෙන් ම, මළවුන්ට අයිතිවාසිකම් තිබේ ද? සරලව පැවසුවහොත්, ඊට අදාළ නීති ප්‍රශ්නසහගත වන අතර, ලෝකයේ සමහර කලාපවල නීති නොපවතියි. අමෙරිකානු නීතිඥ සංගමය විසින් පළ කරනු ලබන Landslide සඟරාවට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රචාරණ අයිතිය පිළිබඳ ලිපියක් සම්පාදනය කරමින් එහි සම-කර්තෘ නීතිඥ එරික් කාන් පවසන්නේ, එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයක ම එකිනෙකට වෙනස් තත්ත්වයක් පවතින බව ය. ඇතැම් ප්‍රාන්තවලට මියගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කැමැත්ත ආරක්ෂා කිරීමට පැහැදිලි බුද්ධිමය දේපළ නීති යටතේ කීර්ති නාමය අවභාවිත කිරීමට එරෙහිව ක්‍රියාත්මක විය හැකි අයිතිවාසිකම් නැත. සාමාන්‍යයෙන්, ප්‍රසිද්ධ පුද්ගලයෙකු මියගිය පසු, ඔහුගේ "කීර්තියේ අයිතිය" එම පුද්ගලයාගේ සමීපතම ඥාතීන්ට හෝ කැමැත්තෙන් එම අයිතිවාසිකම් පැවරූ පාර්ශවයකට හිමිවේ. එහෙත්, කාන් පවසන්නේ, සාමාන්‍යයෙන් මියගිය කීර්තිමත් පුද්ගලයාගේ ප්‍රතිරූපය සහ සමානතා වාණිජමය වශයෙන් භාවිත කිරීමෙන් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ කාට ද යන්න අවසන් කැමැත්තකින් නියම කෙරුණ ද, "ඒක කොන්ත්‍රාත්තුවක් වගේ නොවෙන නිසා ඒක පාර්ශවීය ලියවිල්ලක්" බැවින් ඊට ඇත්තේ සීමිත නීතිමය බරක් බව ය. එම පුද්ගලයාගේ රූපය භාවිත කරන ආකාරය පිළිබඳ බලය ඔවුන්ගේ ජීවමාන උරුමක්කාරයා වෙත පැවරෙයි. රොබින් විලියම්ස් වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට මරණයෙන් පසු ඔවුන්ගේ සමානතා යොදා ගැනීම සීමා කිරීමට අවසන් කැමැත්ත භාවිත කළ හැකි වූ නමුත් එම සීමාව වසර 25කට පසු අවසන් වේ. කෙසේ වෙත ත්, කීර්තිමත් පුද්ගලයින් යම් යම් ආකාරයේ අපකීර්තියට පත්වීම්වලින් ආරක්ෂා වීමට අමතර ප්‍රතිලාභ ලබන බව කාන් පවසයි. නිදසුනක් වශයෙන්, මැරිලින් මොන්රෝගේ රූපය සහ ලක්ෂණ භාවිත කිරීම ඇගේ උරුමකරුවන් අනුමත නොකළහොත්, ඇගේ රූපය මරණින් පසු කාමුක චිත්‍රපටයක සේවයේ යෙදවිය නොහැකි ය. ප්‍රාන්තය මත පදනම්ව, මොන්රෝගේ උරුමකරුවන් හිමිකම් උල්ලංඝණය කර ඇති බවට තර්ක කළ හැකි ය. ඇගේ සැබෑ කීර්තිය පිළිබිඹු නොකරන අසත්‍ය ප්‍රකාශවලින් ඇය අපකීර්තියට පත් වී ඇති අතර, හානිකර ආලෝකයකින් ඇයව නිරූපණය කිරීම "අනාගත ව්‍යාපාරික වාසියට බාධාවක්" විය හැකි ය. මීට අමතරව, ෆෙඩ්රල් ලැන්හැම් පනත මියගිය ප්‍රසිද්ධ පුද්ගලයින් ව්‍යාජ හෝ නොමඟ යවනසුලු වෙළෙඳ දැන්වීම්වලට භාවිතා කිරීමෙන් සහ වෙළෙඳනාම අයිතිවාසිකම් උල්ලංඝණයෙන් ආරක්ෂා කරන අතිරේක ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරයි. "ප්‍රචාරණයේ අයිතිය" යන්නට වඩා ත් සවිස්තරාත්මක අර්ථ නිරූපණය කර ඇත්තේ නිව් යෝර්ක් ප්‍රාන්තය බවට සැලකෙන අතර, ඉන් මියගිය පුද්ගලයින් වාණිජමය වශයෙන් සූරාකෑම සහ ඔවුන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ අනවසරයෙන් භාවිත කිරීම ආදිය වළක්වයි. එහෙත්, දැඩි රෙගුලාසි ඇතැයි පෙනී යන ප්‍රාන්තවල පවා, ප්‍රචාරණ අයිතිය මඟින් ඇත්ත වශයෙන් ම ආරක්ෂා කරන්නේ මියගිය පුද්ගලයාගේ බූදලය මිස මියගිය පුද්ගලයා නොවේ. "ඔබේ පවුලේ සාමාජිකයින්ට ඔබ විකිණීමට අවශ්‍ය නම්, සහ ඔබ මියගොස් සිටියි නම්, ඔබට ලොකු දෙයක් කරන්න බැහැ," කාන් සමග ආන්දෝලනාත්මක නීති ලේඛනයේ සම-කර්තෘත්වය දැරූ පෞ අයි "බොනී" ලී පවසයි. මෙයින් අදහස් කරන්නේ, උදාහරණයක් ලෙස, මැරිලින් මොන්රෝගේ බූදලයේ හිමිකරුවන් ඇගේ රූපය සහ ඇගේ ලක්ෂණ භාවිත කිරීමට අවසර දෙන්නේ නම්, ඇගේ රූපය නීත්‍යනුකූලව කාමුක චිත්‍රපටයකට යෙදවිය හැකි බව ය. "බූදලය හිමිකරුවන් ඒක කරන්න අවශ්‍ය බව කියනවා නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒත් මට හිතෙන්නේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා," ලී පවසයි. පෞද්ගලික භාවිතය සහ අප්‍රසිද්ධ පුද්ගලයන් මියගිය ප්‍රසිද්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රතිරූපය සහ සමානත්වය වාණිජමය වශයෙන් සූරාකෑමට එරෙහිව නිශ්චිත අධිකරණ බල සීමාවන් තුළ යම් නිශ්චිත නොවන ආරක්ෂාවක් ඇති නමුත්, සාමාන්‍ය පුරවැසියන්ට මරණින් පසු ඔවුන්ගේ සමානත්වය සහ ඩිජිටල් උරුමය භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඇත්තේ ඉතා දුර්වල පාලනයකි. පෞද්ගලික භාවිතය සඳහා මියගිය පුද්ගලයින් ඩිජිටල්කරණය හරහා නැවත පණ ගැන්වීම වැළැක්වීමට අමෙරිකාව තුළ සුළු නීති පවතියි. ඔබ මියගිය විට, ඩෙඩ්බොට් එකක් හෝ අන්තර්ක්‍රියාකාරී AI අනුරුවක් සැකසීමට ඕනෑ ම කෙනෙකුට ඔබේ පොදු ඩිජිටල් තොරතුරු AI මෘදුකාංගයට උඩුගත කළ හැකි ය. නිව් යෝර්ක් වැනි වඩාත් විස්තීරණ පශ්චාත්-මරණ ආරක්‍ෂාව ඇති ප්‍රාන්ත අයහපත් අරමුණු සඳහා ඇතැම් පුද්ගලයන්ගේ අනන්‍යතා භාවිත කිරීම තහනම් කර ඇතත්, මෙම ආරක්‍ෂාව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න ගැන ලී සැක පළ කරයි. "අවසානයේ කවුරු හරි ඒක බලාත්මක කළ යුතු යි," ඇය පවසයි. මියගිය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සහ සෙසු අයගේ අයිතිවාසිකම් සහ සැමරුම් ආරක්ෂා කිරීම සඳහා ඉක්මනින් ම නීති සම්පාදනය කළ යුතු බව ක්ලොයිඩ්, ෆ්රයිඩ්ලෑන්ඩර් සහ කාන් යන තිදෙනාගේ ම අදහස යි. තාක්‍ෂණය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින අතර, මියගිය පුද්ගලයින්ගේ ඩිජිටල් නිරූපණය පිළිබඳ සදාචාරාත්මකභාවය සම්බන්ධයෙන් දැනටමත් විවාද වර්ධනය වෙමින් තිබේ. මියගිය පුද්ගලයින් ඩිජිටල්කරණයෙන් පණ ගන්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මුල දී "මඳ කනස්සල්ලකින්" සිටි බව ක්ලොයිඩ් පිළිගන්නා අතර, එහෙත්, මෙම කාරණය සමග කටයුතු කිරීමේදී WXR සමාගම ක්‍රියාශීලීව සහ සංවේදීව ක්‍රියා කරන බව ඔහු විශ්වාස කරයි. ෆ්‍රයිඩ්ලෑන්ඩර් ද රැකියා අහිමි වන හඬ නළුවන් වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස නීතිමය උපදෙස් ලබා දෙයි. හඬ නළුවන්ගේ ජාතික සංගමයේ (Nava) කාර්යය ලොව පුරා රංගන ශිල්පීන්ගේ සංගම් සංවිධානය කිරීමට සහ සාධාරණ අවස්ථා වෙනුවෙන් පෙනී සිටීමට උපකාරී වනු ඇතැ යි ඔහු අපේක්ෂා කරයි. වින්ස්ලෝගේ සිද්ධිය ගත්කල, ඔහුගේ ඥාති සොයුරා ඩිජිටල් ලෙස නැවත පණ ගන්වනු දැකීම ගැන මිශ්‍ර හැඟීම් ඇති බව ඔහු පිළිගනියි. "මම දන්නෙ නෑ ඒ ගැන මොනවා හිතන්න ද කියලා," ඔහු පවසයි. "ඔහු ගෞරවයට පත්වනු දැකීම තමයි මට අවශ්‍ය. එයා ඇත්තට ම රංගනයට යොමු වී හිටියා. ඒක කැපවීමෙන් කළා. මට අවශ්‍ය ඒ ප්‍රතිරූපය ම නැවත ඇති කරන්න යි." |
'මම ලියන හැටි' : සේපාලි මායාදුන්නේ | සේපාලි මායාදුන්නේ යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන සුවිශේෂී නවකතාකාරියකි. ලාංකීය ඉතිහාසයේ විවිධ යුග, භූගෝලීය ප්‍රදේශ සහ සුවිශේෂී ජන කණ්ඩායම් සාහිත්‍යමය ලෙස ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ කරන ඇගේ නවකතාකරණය 'අස්මිමාන' නවකතාවෙන් ඇරඹෙන අතර තිදස, හීන්දොස් මාලේ, සිදුරු පත්තර, මහාසාමි, අත්තානි කණු වැනි නවකතා පසු කර දැන් සිංහ සෙයියාව නවකතාව අසල මඳ විවේකයක් ගනිමින් සිටියි. නවකතාකරණයට සේම ශාස්ත්‍රීය පර්යේෂණයට ද ඇගේ ඇති කැපවීම අති විශාලය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමටය. කෞශල්‍ය: සුපුරුදු පරිදි මම කැමතියි ඔබෙනුත් අහන්න නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? සේපාලි: මම ලියන්න කලින් ලියන්න යන දේ හිතේ හොඳින් ගොඩනගාගෙන තමයි පටන් ගන්නෙ. ඒ නිසා පළමු වාක්‍යය ලියන එක මට ඒ තරම් අසීරු දෙයක් වෙන්නෙ නැහැ. මෙතෙක් මම ලියපු කිසිම නවකතාවක ලිවීමේ සමාරම්භක මොහොත මට ගැටලුවක් වෙලා නැහැ. මං හිතන්නෙ එහෙම වෙන්නෙ මගේ හිත ඇතුළේ මම ඉතාම හොඳින් මේ කතාව නිර්මාණය කර ගෙන ලිවීමට ප්‍රවේශ වෙන නිසා කියලයි. කෞශල්‍ය: ඒ කියන්නේ ලිවීම ආරම්භ කරන්න කලින් ලියන්න යන නවකතාවේ සමස්තය ගැනම ඔබ හොඳින් දැනුවත්. සේපාලි: නවකතාවේ අවසානය ගැන මම ඒ තරම් දැනුවත් නැහැ. නමුත් මේ කාලවකවානුව තුළ මෙන්න මේ නිශ්චිත ප්‍රදේශයන් ඇසුරු කරගෙන අදාළ චරිත ඔස්සේ දිගහැරෙන කතාව මොකද්ද කියන එක ඒ වෙනකොට මම තීරණය කරල ඉවරයි. ඒක පටන් ගන්න ඕන තැන මොකද්ද කියන එකත් ඒ නිසා මම හොඳින් දන්නවා. මම නොදන්නේ මේ කතාව අවසාන වෙන්නේ කොතනින්ද කියන එක විතරයි. කෞශල්‍ය: දැන් එතකොට මේ දේවල් නවකතාවට එන්න කලින් ඔබගේ හිතේ විතර ද තියෙන්නනේ එහෙම නැත්නම් ඔබ මේ දේවල් කොහේ හරි සටහන් කරල තියා ගන්නවද? සේපාලි: කවදාවත් මම සටහනක් තියා ගන්නේ නැහැ. එතකොට මගෙ නිදහස ඇහිරෙනවා වගේ දැනෙනවා; සටහනක් ඔස්සේ ලියා ගෙන යනව නම්. හිතට එන විදිහට මේ නවකතාව මේ විදිහට ලියාගෙන ගියොත් හරි කියන එක අනුව තමයි මම ඉදිරියට යන්නෙ. ඒ නිසා සටහන් තියා ගැනීමක් මම කිසිවිටක කරන්නේ නැහැ. කෞශල්‍ය: දැන් ඔබේ නවකතා ගත්තොත් මේ හැම නවකතාවක්ම ලිවීම සඳහා විශේෂ හැදෑරීමක් අවශ්‍යයි. ඒවා බොහෝ විට විවිධ ඓතිහාසික කාලයන්, විවිධ භූගෝලීය කලාප, ඒ ඒ යුග වල සිටි සුවිශේෂී සමාජ තීරු හෝ භූමිකා කේන්ද්‍ර කරගෙන තමයි දිගහැරෙන්නේ. ඒ ගැන යමක් කියන්න පුළුවන්ද? සේපාලි: මට නිදහස ලැබෙන හැම වෙලාවමකම වගේ මම ඉන්නේ පුස්තකාලයක් ඇතුළේ. කොළඹ තියන ප්‍රධාන පුස්තකාල කිහිපයකම මම සාමාජිකයෙක්. ඒ කියන්නෙ කොළඹ ජාතික පුස්තකාලය, කෞතුකාගාර පුස්තකාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුස්තකාලය සහ මහජන පුස්තකාලය. ඉතින් මේ පුස්තකාල වලට ගිහින් මම කියවන පොත්, ඓතිහාසික ලේඛන, පුස්කොල පොත් වගේ දේවල් ඇසුරෙන් තමයි මගේ නවකතා ගොඩනැගෙන්නෙ. දැන් 'මහාසාමි' වගේ එකක් ගත්තොත් ඒක නුවර යුගය පසුබිමේ දිගහැරෙන්නෙ, අත්තානි කනු කඩාවැටුණු රාජධානියක පාලකයෝ ගැන කියවෙනවා, මගෙ අලුත්ම නවකතාව 'සිංහ සෙයියාව' නවකතාවෙ කියවෙන්නෙ කෝට්ටේ යුගය බිඳවැටුණු හැටි ගැන. මේ හැම එකක්ම ලොකු හැදෑරීමක් ඇත්තටම. මේක සාමාන්‍යයෙන් දවසකින් දෙකකින් පොතක් දෙකක් කියවල ලියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තමයි මම මේ පුස්තකාල වල පොත් සහ ලේඛන ඇසුරේ මගෙ කාලය හැකි තරම් ගත කරන්නේ. කෞශල්‍ය: දැන් ඔබේ නවකතාවල මූලික අදහස් ඇවිත් තියෙන්නෙ වෙනත් යමක් කියවමින් ඉන්න කොට ද? සේපාලි: දැන් උදාහරණයකට 'මහාසාමි' ගත්තොත්, මම බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය ගැන කියවමින් ඉන්න අවස්ථාවක තමයි ඒකෙ අදහස ආවෙ. මට කියවන්න හම්බවුනා ඔය ඒකනායක සුමංගල ග කියන කෙනා ගැන මම කියෙව්වා පුස්කොල තුඩපතක්. ඒකෙ තියනවා එයාට රජ්ජුරුවො පිරිනමපු වරදාන වරප්‍රසාද ගැන. මේ ගණින්නාන්සේ රජතුමාගේ ලේකම් විදිහටත් වැඩ කරනවා, බස්නායක නිලමේ හැටියටත් වැඩ කරනවා. ඒ වගේම තානාපති කෙනෙක් විදිහටත් වැඩ කරනවා. මේත් එක්ක කතාව හිතේ ගොඩනැගෙනකොට මම යම් යම් දේවල් උපකල්පනය කරනවා. කතාවේ ගැටුම නිර්මාණය වෙන්නේ මේ ගණින්නාන්සේ ලන්දේසින් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඇති කියන උපකල්පනය මත. මේත් එක්කම මම සීතාවක යුගයෙන් පස්සෙ ගණින්නාන්සේලා කියන අලුත් පූජක පක්ෂය බිහිවීම ගැන හැදෑරීමක් කළා. ඒකත් එක්ක අපේ සංස්කෘතියත් වෙනස් වෙනවා අපේ දේශපාලන රටාවත් වෙනස් වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න මීට අදාලව බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය, පුරාවිද්‍යාව, ඉතිහාසය ආදී දේවල් මම කියව ගත්ත මේ කතාවේ පසුබිම ගොඩනගා ගන්න. එතකොට මම කරන්නේ කතාවෙ මූලික අදහස මේ ඓතිහාසික පසුබිම තුළ හරියට පිහිටුවලා ඒකත් එක්ක තර්ක කරමින් තමයි කතාව දිගහරින්නේ. කෞශල්‍ය: එතකොට ඔබ මේ විදිහට හිතේ ගොඩනඟන කතාව ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ වෙනස් වෙන්නෙ නැද්ද? සේපාලි: නැහැ. මම වෙනස් කරන්නෙ නැහැ. භාගයක් විතර ලියල බලනවා හොඳද කියන එක. කීප සැරයක් කියවල මට හොඳයි කියල දැනෙනව නං දිගටම ලියනවා. හැබැයි අද වෙනකං හොඳ නැහැ කියන එක මට දැනුනේ නැහැ. මොකද මං ඒක ඇතුලට ගිහින් තමයි ලියල තියෙන්නේ. කෞශල්‍ය: ඔබ කියපු විදිහට නවකතාවෙ අවසානය හැර අනෙක් හැම දෙයක්ම වගේ ලිවීම ආරම්භ කරන මොහොතේ ඔබ දන්නවා. එතකොට නවකතාවේ අවසානය ඔබ කොහොමද හොයා ගන්නේ? සේපාලි: නවකතාවක අවසානය හිටිගමන් කඩා වැටුණු දෙයක් වගේ නොවෙන්න ඕන. දිය පාරක් වගේ ගලාගෙන එන එකක් එක පාර නවත්තන්නේ නැතුව පාඨකයට අදහසක් දෙනවා මේක මේ විදිහට වෙන්න ඕන නේද කියලා. දැන් 'සිංහ සෙයියාව' වගේ නවකතාවක් ගත්තොත් මම හිතපු නැති දේවලුත් පාඨයන් හිතල තිබුණා. මේකෙන් කියවෙන්නේ පැරණි රජු කේන්ද්‍රීය සමාජයෙන් සාමාන්‍ය සමාජය කරා පැමිණීම නේද කියල සමහරු අහල තිබුණා. මම අවසන් කරල තියන විදිහ නිවැරදියි කියල මට එතකොට හිතෙනවා. කෞශල්‍ය: ඔබ ලියන විදිහ ගැන ටිකක් කියන්න පුළුවන්ද? සේපාලි: ඉස්සර නං රෑට තමයි ලිව්වේ. දැන් මං රිටයර් වෙලා නිසා ඔය ගෙදර වැඩ ඉවර කරල වත්තෙ පොඩි පොඩි වැඩ ඉවර කරල ලියන්න ගන්නවා. නිදහස තියන වෙලාවට. සමහර වෙලාවට රෑත් වෙන්න පුළුවන්, දවල් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තං උදේ පාන්දර වෙන්නත් පුළුවන්. නිදහසක් හිතට දැනෙන වෙලාවට විතරයි ලියන්නේ. පටන් ගත්තොත් නං පොතක් ඒක ඉවර වෙනකං හිත වද කරනවා ඒක දිගටම ලියන්න. ඒක හිතට හරි කරදරයක් වගේ දැනෙන්න ගන්නවා. ඒක හින්ද එතකොට පුළුවන් තරම් ලියන්න බලනවා. දවසට පැය හතරක් විතර සාමාන්‍යයෙන් ලියනවා. ඒවගේම තමයි එකම පොතක ඉන්නෙත් නැහැ. මට නවකතාවක් ලියාගෙන යද්දි කම්මැලි හිතුනොත් පර්යේෂණ පොතක් ලියන්න ගන්නවා. දැන් ගිය අවුරුද්දේ ප්‍රින්ට් කරපු පොත් දෙකෙන් එකක් නවකතාවක් අනෙක් එක සිංහල කුල ක්‍රමය කියල පර්යේෂණ කෘතියක්. ඔය දෙකම මම සමාන්තරව තමා ලියාගෙන ගියේ. මම දැන් නං මගෙ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ තමයි ලියන්නෙ. ඒ නිසා පොත් දෙකක වැඩ එකවර කරන එක අපහසුවක් නැහැ. කෞශල්‍ය: ඔබේ නවකතා වල සංස්කරණය සිද්ධ වෙන්නෙ මොන ආකාරයටද? සේපාලි: ඇත්තටම මම සංස්කරණය කරන්නේ නැහැ. මම ලියල ඉවර වුණහම ප්‍රකාශකට යවනවා. අද වෙනකන් ඒගොල්ලෝ වුණත් සංස්කරණය කරන්න කියල නැහැ. ඔය 'මහාසාමි' වගේ ලොකු පොතක් වුණත් එහෙමයි. 'සිංහ සෙයියාව' වගේ පොඩි පොතකත් එහෙමයි. මුලින් ලියපු පොත ඒ විදිහම තමා තියෙන්නේ. ලියන අතරතුර වුණත් මම එඩිට් කරන්නේ නැහැ. දැන් පළවෙනි පරිච්ඡේදය ලියල ඉවර වුණාට පස්සේ මම ආපහු ඒකට අත තියන්න යන්නේ නැහැ. ඔබ මගේ පොත් වල කියවන පළමු වාක්‍යය කියන්නේ මම ලිවීම ආරම්භ කරද්දි ලියපු පළවෙනි වාක්‍යයම තමයි. හුඟක් වෙලාවට ලියල ඉවර වුණාට පස්සේ මට සමහර වෙලාවට පුදුමයක් වගෙත් දැනෙනවා මම ද ලිව්වේ කියල. කෞශල්‍ය: ඔබේ නවකතා ගත්තොත් සමහර විට අපිට පේනවා එක් එක් පොත් වලට අනන්‍ය වූ සුවිශේෂී භාෂා ශෛලීන් තියනවා. ඒක වෙන්නේ අදාළ ඓතිහාසික යුගය, ප්‍රදේශය සහ ජන කණ්ඩායම නිසා. දැන් මෙතෙන්දිවත් සංස්කරණය අවශ්‍ය වෙන්නේ නැද්ද? සේපාලි: ඇත්තටම නැහැ. දැන් මගෙ 'මහාසාමි' පොත ගත්තොත් ඒක ලොකු පොතක් වුණාට ඒක ලියන්න ඒ තරම් කාලයක් මට ගියේ නැහැ. ඒකෙ තියෙන්නේ මං අර මුලින් කියපු පුස්කොල පොතේ භාෂාව. මං හිතන්නෙ මං අති විශාල වශයෙන් පොත් කියවීම නිසා මට මේ භාෂා ශෛලීන් හැසිරවීම පහසුයි. මං හරිම කුඩා කාලේ ඉඳන් පොත් කියවනවා. මං අකුරු කියවල තියෙන්නේ අවුරුදු දෙකේදි. මං උපාධිය කරන්න කොළඹට එන්න කලින් මං හැදුණේ අනුරාධපුරේ පොඩි ගමක වුණත් ඒ කාලේ ඔය රුසියන් පරිවර්තන එහෙම හරියට තිබුණා ඒ දවස් වල. ඒ නිසා මං ගොඩක් පොඩි කාලේ ඉඳන් වැදගත් පොත් සෑහෙන කියෙව්වා. ඒ කාලේ ඉතින් අපි ගෑනු පිරිමි භේදයක් නැතුව ගස් නැගල ඇලේ දොලේ පැනල සෙල්ලම් කරනවා. ඒත් ටික කාලෙකින් මට තේරෙන්න ගත්ත මට හිතෙන දේවල් කතා කරන්න අය නැති වෙමින් යනවා කියල. එතකොට මං කළේ ගස් වැල් වලට මගේ බෝනික්කන්ට කතන්දර කියන්න පටන් ගත්ත එක. ලියන එක පටන් ගත්තේ එතනින් පුංචි කාලේ ඉඳල. ඊට පස්සේ නිතරම මගෙ කවි කෙටිකතා පත්තර වල ගියා. මගෙ ප්‍රකාශයට පත් වෙච්ච පළවෙනි පොත 'සෙල්ලම් කාලය' කියන යෞවන සාහිත්‍ය කෘතිය පළ වුණේ 1991 වුනාට ඒක මම ලිව්වෙ හැත්තෑ ගණන් වල මං හතේ පන්තියේ විතර ඉන්න කාලේ . මගෙ මුලින්ම ලියපු නවකතාව මං ප්‍රකාශ කලේ නැහැ මොකද කෙනෙක් ඒකෙ නම තව කෙනෙකුට දීල තිබුණ නිසා. මගෙ ප්‍රකාශයට පත් වුණු මුල්ම නවකතාව 'අස්මිමාන' මම ලිව්වෙ 1993. ඒකෙ අන්තිම චැප්ටර් එක ලියන්න යන කොට මාව සීසර් කරන්න හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න තිබුණා. ඉතින් මං ඒක ඉක්මනින් ලියල අත් පිටපත ලේක් හවුස් එකට යවන්න කියල තමයි ගියේ ඩී.ආර් විජේවර්ධන සම්මානයට. ඒක තමයි ඒ අවුරුද්දේ දින්නේ. කෞශල්‍ය: මේ සංවාදය අවසන් කරන්න මං මෙහෙම අහන්නං. ලියන මොහොත තුළ ඔයා මොනවගේ කෙනෙක්ද? සේපාලි: ලියද්දි මං පිරිමි කෙනෙක් වෙනවා. ඔය 'සිදුරු පත්තර' කියන පොත ඇරෙන්න අනිත් හැම නවකතාවකම මං පිරිමියෙක්. අපි ඉන්න සමාජයේ අපි කොච්චර කාන්තා අයිතිවාසිකම් ගැන කිව්වත් අපිට තියන නිදහස අඩුයි. රෑ වෙලා ගෙදර එන්න බයයි. රෑට බස් එකක යන්න බයයි. ඉස්සරත් එහෙමයි. පුංචි කාලෙ අපි සෙල්ලං කරද්දි ඔය උස පළු ගස් වීර ගස් වල මුදුන් වලට නැග්ගේ අපේ යාළු පිරිමි ළමයි. ඒ ගොල්ලෝ විඳපු ඒ නිදහස මට ඒ විදිහට ලැබුණේ නැහැ. මං එතකොට හිතින් ඒ ගොල්ලෝ වෙලා හිටියෙ. ඒක පොඩි ඊරිසියාවක් එක්ක වෙන දෙයක්. දැනුත් ලියද්දි ඒක තමයි වෙන්නෙ. පිරිමියෙක් වෙන්න පෙළඹවීමක් තියනවා. ඒ විදිහට ලිව්වොත් තමයි මට ඒ නිදහස දැනෙන්නේ . කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවින පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකාරියකගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඇයගේ පැවැත්ම ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත. ඊලඟ සතියේ අප හා එක් වන්නේ අපට සිටින තවත් වැදගත් නවකතාකරුවෙකු වන අනුරසිරි හෙට්ටිගේ ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
යමුනා සඟරසිවම්: මයිකල් ජැක්සන් සමග යුගල නර්තනයකට එක්වූ ශ්‍රී ලාංකික මහාචාර්යවරිය | පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් යනු ලෝකයේ සංගීත ලෝලීන් විශාල පිරිසකගේ ආදරය දිනා ගැනීමට සමත්වූ දැවැන්තයෙකි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ, ඔහුගේ අර්ථාන්විත ගීත නිසා පමණක් නොව ඔහුට ම ආවේණික නර්තන ශෛලිය නිසා ය. එවන් ලෝක ප්‍රකට දැවැන්තයෙකු සමග යුගල නර්තනයක යෙදීමට යමෙකුට අවස්ථාව හිමි වන්නේ නම් එය කෙතරම් භාග්‍යක් ද? එවන් භාග්‍යයක් උදා කර ගත් ශ්‍රී ලාංකික තරුණියක වූ යමුනා සඟරසිවම් පිළිබඳව මෙතෙක් කල් දැන සිටියේ ස්වල්ප පිරිසක් පමණක් විය හැකිය. Black or White ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ උපන් යමුනා සඟරසිවම් ලෝකයේ ම අවධානයට පාත්‍ර වූයේ, මයිකල් ජැක්සන්ගේ Black or White ගීතය සඳහා නිර්මාණය කළ වීඩියෝ දර්ශන පෙළිනි. එම ගීතය හරහා මයිකල් ජැක්සන් දුන් පණිවුඩය වූයේ, වර්ණ භේද වාදය, සංස්කෘතික භේද ආදිය ලෝකයෙන් තුරන් විය යුතු ය යන්න ය. එහිදී ඔහු යමුනා සඟරසිවම් යොදා ගනිමින් ආසියානු ඔඩිසි නර්තන කලාව සහ තමන්ගේ පොප් නර්තන කලාව සම්මිශ්‍රණය කර පෙන්වන්නේ, ශෛලීන් දෙකක් එකතු වීමෙන් නිර්මාණය වන සුන්දරත්වය යි. යමුනා සඟරසිවම් යනු කවුද? සිංගප්පූරු ජාතික පියෙකුට සහ මැලේසියානු ජාතික මවකට දාව ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ උපත ලැබූ යමුනා සඟරසිවම්, වයස අවුරුදු 9 වන තෙක් ශ්‍රී ලංකාවේ වාසය කළා ය. ඇය ශ්‍රී ලංකාව හැර ගොස් අමෙරිකාවේ පදිංචියට ගොස් ඇත්තේ, 9 හැවිරිදි වියේදී ය. වයස අවුරුදු 6 පසුවෙද්දී ඇය, නර්තනය හැදෑරීමට ඇලුම් කළ අතර, මුලින් ම භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය ඉගෙනීම ආරම්භ කළා ය. පසුව ඇය ඔඩිෂා ප්‍රාන්තයේ ඉගෙනීම් කටයුතුවල නිරත වෙමින් සිටි කාලයේදී ඔඩිසි නර්තන සම්ප්‍රදාය ප්‍රගුණ කළා ය. ඊට අමතරව, ඇය බටහිර සංගීතය සහ දෙමළ කර්ණාටක සංගීතය ද හැදෑරී ය. අහම්බෙන් හිමිවූ දුර්ලභ අවස්ථාව මයිකල් ජැක්සන්ගේ 'Black or White' ගීතය වෙනුවෙන් නර්තනයක යෙදීමට අවස්ථාව හිමි වීම අහම්බෙන් සිදුවූවක් බව යමුනා සඟරසිවම් ඉන්දියාවේ මාධ්‍ය ආයතනයක් සමග ඔන්ලයින් ඔස්සේ කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කර තිබුණේ මෙසේ ය. "මම ඉගෙන ගත්ත කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදි තමයි මේ ඔඩිෂන් එක ගැන දැන ගන්න ලැබුණේ. යාළුවො මට කිව්වා යමුනා අපි යනවා මයිකල් ජැක්සන්ගේ වීඩියෝ එකක නැටුම් ඔඩිෂන් එකකට, ඔයත් අපි එක්ක එන්න කියලා. මට අවශ්‍ය වුණේ නෑ ඒකට යන්න. මම නිකම් ගෙදර ගිහින් අම්මාට යි තාත්තාට යි කිව්වා ම තාත්තා හරි උත්තරයක් දුන්නෙ නෑ. අම්මා කිව්වා ඒක හොඳ අවස්ථාවක්, ඔයා අනිවාර්යයෙන් යන්න කියලා. එතනට ගියා ම මම ඉගෙන ගන්න විෂය ගැන ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඉතින් අන්තිමට මම ඒකට ගියා," යමුනා සඟරසිවම් අතීතය ස්මරණය කළා ය. නර්තන පරීක්ෂණයට සහභාගි වූ අවස්ථාවේදී තමන්ට දැනුණු හැඟීම් පිළිබඳව ද පැහැදිලි කර තිබිණි. "ඒ අවස්ථාව ගැන කියන්න වචන නෑ. මම නිකම් වෙන ම ලෝකෙක පාවෙනවා වගේ දැනුණේ. ගොඩක් තිගැස්මක හිටියේ. එතන අපව ගත්තේ කණ්ඩායම්වලට වෙන් කරලා. මම හිටියේ ආසියානු කියලා නම් කරලා තිබුණ කණ්ඩායමේ. ඒක අසාමාන්‍ය අත්දැකීමක්. මට වියට්නාම්, කාම්බෝජ, චීන ආදී ගොඩක් රටවල කලාකරුවන් මුණ ගැසුණා එතනදී. ඒ විවිධ සංස්කෘතීන්ට අයත් අයගේ ඉදිරිපත් කිරීම් දැක ගන්න මට පුළුවන් වුණා. එතකොට මම නර්තනයේ මානව විද්‍යාව හදාරමින් හිටියේ." එම පරීක්ෂණයට නර්තන ශිල්පිනියන් 3000කට අධික පිරිසක් ඉදිරිපත් වී සිටියහ. ඒ සියලු දෙනා අතරින් මියුසික් වීඩියෝව සඳහා තෝරා ගනු ලැබ තිබුණේ, යමුනා ය. තමන් ඊට තෝරා ගත් බව දැන ගත් අවස්ථාවේ ඇති වූ සතුට ඇය මෙසේ පැහැදිලි කළා ය. "එතනදී අපේ නර්තනයක් බැලුවා. සම්මුඛ සාකච්ඡාවක් කළා. ඊට පස්සේ සතියකට විතර පස්සේ මට කෝල් එකක් ආවා. කතා කරපු කෙනා කිව්වා වීඩියෝ එකේ නර්තනයට මාව තෝරා ගත්තා කියලා. එයා මට කිව්වා මේ දර්ශනයේ මයිකල් ජැක්සන් එක්ක එකට මට නටන්න තියෙන නිසා විශේෂ නර්තනයක් කියලා. මම ඉතින් කැමැත්ත ප්‍රකාශ කළා. ඉතින් මම ෆෝන් එක තියලා කෑගහලා අම්මලාට කතා කරලා කිව්වා මාව තෝරගෙන කියලා. මට දැනුණ සතුට කියන්න වචන නෑ." ඇය මයිකල් ජැක්සන්ගේ ප්‍රබල රසිකාවියක වූ අතර, ඔහු මුහුණට මුහුණ හමුවේ යැයි ඇය කිසි දා විශ්වාස නොකළ බව ඇය පවසා තිබේ. එහෙත්, මයිකල් ජැක්සන් සමග එක්ව නර්තනයක යෙදීමට තරම් ඇය දක්ෂ මෙන් ම වාසනාවන්ත ද වූවා ය. රූගත කිරීම් සිදුවූ හැටි මෙම වීඩියෝව වෙනුවෙන් මයිකල් ජැක්සන් සහ යමුනාගේ නර්තනය රූගත කෙරුණේ, ලොස් ඇන්ජලීස්හි අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමෙන් පසුව ය. රූගත කිරීම් සිදු කෙරෙන අවස්ථාවේ රථවාහන ධාවනය නතර කර තිබූ අතර දර්ශන තලයට අදාළව රථවාහන කිහිපයක් ධාවනය කරවන ලදී. මෙම රූගත කිරීම් පැය 14ක් තිස්සේ සිදු කෙරුණු අතර වීඩියෝවේ තත්පර 20ක කාලයක් එම නර්තනය සඳහා වෙන් කර තිබේ. 1991 වසරේදී එළිදක්වන ලද මෙම මියුසික් වීඩියෝව රටවල් 27ක ප්‍රදර්ශනය කෙරුණු අතර, පුද්ගලයින් මිලියන 500කට අධික පිරිසක් නරඹනු ඇතැයි විශ්වාස කෙරිණි. යමුනා සඟරසිවම් නමැති මහාචාර්යවරිය 1990 වසරේදී ඇය අමෙරිකාවේ මිනිඅපොලිස්හි මිනසෝටා විශ්වවිද්‍යාලයෙන් සංගීත විද්‍යාව සහ පියානෝ වාදනය සම්බන්ධයෙන් ප්‍රථම උපාධිය හිමි කර ගත්තා ය. පසුව 1992 වසරේදී නර්තනය පිළිබඳ ජනවාර්ගික විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබී ය. මානව විද්‍යාව විෂය යටතේ ඇය දර්ශන විශාරද හෙවත් ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ, 2000 වසරේදී ය. ඒ, සයිරකියුස් විශ්වවිද්‍යාලයෙනි. අමෙරිකාවේ පදිංචි වී සිටින යමුනා සඟරසිවම් මේ වන විට එරට නාසරෙත් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කර යි. ඊට අමතරව, ඇය සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව අධ්‍යයන අංශවල කාන්තා සහ ලිංගිකත්ව අධ්‍යයන පිළිබඳ උපාධි වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කරන්නී ය. |
රංගන ශිල්පියෙකුගේ රංගන ශෛලිය අනුකරණය කිරීම අපරාධමය වරදක්ද? | රංගනය අනුකරණය කිරීම සිනමාවේ පමණක් නොව එදිනෙදා ලෝකයේ ද දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමකි. එහෙත් කිසියම් නිර්මාණයක් සඳහා යම් රංගන ශිල්පියෙකුගේ රංගනයක් අනුකරණය කළ හැකිද යන්න වන සැකය කාලයක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ පැවතුණි. එහෙත් යමෙකුගේ රංගන ශෛලිය අනුකරණය කිරීම අපරාධමය වරදක් නොවන බව දැක්වෙන ඉතා වැදගත් නඩු තීන්දුවක් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරිණි. රංගන ශෛලීන් අනුකරණය කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ නිකුත් කෙරුණු පළමු නඩු තීන්දුව මෙය බව නීතිවේදීහූ පෙන්වා දෙති. ‘කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක්’ තම රංගන ශෛලිය අනුකරණය කරන බවට චෝදනා කරමින් ප්‍රවීණ රංගන ශිල්පියකු වන බන්දු සමරසිංහ විසින් බින්දු බෝතලේගමට එරෙහිව ගොනුකරන ලද අපරාධ නඩුවක තීන්දුව දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි. ප්‍රවීණ සිනමා නළු බන්දු සමරසිංහ විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබුණි. පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා කර තිබූ චෝදනා පත්‍රය මගින් සඳහන් කර තිබුණේ උදයකාන්ත වර්ණ සූරිය විසින් අධ්‍යක්ෂණය කළ "ගින්දරි" චිත්‍රපටයට රංගනයෙන් එක් වූ බින්දු බෝතලේගම විසින් පැමිණිලිකාර බන්දු සමරසිංහගේ රංගන ශෛලිය අණුකරණය කරමින් රංඟනයක නිරත වී ඇති බවයි. ඒ තුළින් තමන්ට ආර්ථිකමය පාඩුවක් සිදුවන බවත් ඒ හරහා සිය බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වන බවත් බන්දු සමරසිංහ සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණි. ඒ අනුව බුද්ධිමය දේපල පනතේ 178 වන වගන්තිය යටතේ අනුකරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් බන්දු සමරසිංහ අධිකරණයට ඉදිරිපත් කළ සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. නඩු විභාගය පැවති අවස්ථාවේදී අධිකරණය විසින් පැමිණිලිකාර බන්ධු සමරසිංහගේ සාක්ෂියද සටහන් කරගෙන තිබුණි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ‘පැහැදිලි නිර්ණායකයක් නැහැ’ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකාර බින්දු බෝතලේගම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය. එම තීන්දුව තුළින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණේ "මෙම නඩුවේදී බුද්ධිමය දේපළ කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය සාක්ෂි දී තිබුණා. ඇය සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා බුද්ධිමය දේපළ පනතේ 178 වන වගන්තිය යටතේ රංගනයක් අනුකරණය කිරීම වරදක් වශයෙන් දක්වා නොමැති බව. එය අපරාධමය වරදක් නොවන බවත් ඇයගේ සාක්ෂියෙන් සඳහන් වුණා" ඒ අනුව රංගනයක් අනුකරණය කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස විත්තිකරු විත්තියේ සාක්ෂි නොකැඳවාම නිදොස් කොට නිදහස් කරන බවත් අධිකරණය තීන්දු කළේය. මෙම තීන්දුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අදාල නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රසාද් සූරියාරච්චි කියා සිටියේ "මේක ඉතා වැදගත් නඩු තීන්දුවක්.මේ නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා යම් කිසිවකුගේ රංගනය ශෛලියක් අනුකරණය කිරීම අපරාධමය වරදක් නොවන බව. මොකද රංගනය කියන දේ අනුකරණය කරන්න පුළුවන්.” “රංගන ශෛලිය අනුකරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට නම් එම අනුකරණය සිදුවන බව ඔප්පු කිරීමට පැහැදිලි නිර්ණායකයක් තිබිය යුතුයි.” ඔහු පැවසීය. “එහෙත් රංගන ශෛලිය අනුකරණය කළා කියලා ඔප්පු කරන්න පැහැදිලි නිර්ණායකයක් මේ ලෝකයේ නැහැ. එය විද්‍යාත්මකව ඔප්පු කර හැකි ක්‍රමවේදයකුත් නැහැ. ඒ නිසා රංගනයක් අනුකරණය කිරීමෙන් අපරාධමය වරදක් සිදුවන බවට නිගමනයකට එළැඹීමකට අධිකරණයටත් අපහසුයි. ඒවගේම අපගේ බුද්ධිමය දේපළ පනතට අනුව අනුකරණය අපරාධමය වරදක් වශයෙන් දක්වා නැහැ." යනුවෙන් නීතීඥ ප්‍රසාද් සූරියාරච්චි සඳහන් කර සිටියේය. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ ප්‍රසාද් සූරියාරච්චි "මේ නඩු තීන්දුව රංගන ශෛලීන් අනුකරණය කිරීමට අදාලව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රථම නඩු තීන්දුව වශයෙන් සඳහන් කරන්න පුළුවන්. රංගනයක් අනුකරණය කරන්න පුළුවන්ද බැරිද යන සැකය කාලයක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ පැවතුණා. දැන් ඊට පැහැදිලි පිළිතුරක් ලැබී තිබෙනවා."යනුවෙන් සඳහන් කර සිටියේය. |
'මම ලියන හැටි': ලියනගේ අමරකීර්ති | ලියනගේ අමරකීර්ති යනු මේ මොහොතේ සිංහල සාහිත්‍ය තුළ සිටින වැදගත්ම නවකතාකරුවන් අතරින් කෙනෙක් පමණක් නොවේ. ඔහු විශිෂ්ට කෙටිකතාකරුවෙක්, සාහිත්‍ය විචාරකයෙක් සහ පරිවර්තකයෙක් ද වෙයි. එසේම තුලනාත්මක සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස ඔහු සිංහල සාහිත්‍යයට එකතු කර ඇති ශාස්ත්‍රීය ගැඹුර අතිශය තීරණාත්මකය. 'මහකන්ද පාමුල' නවකතාවෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය අටවක පුත්තු, අහම්බකාරක, කුරුළු හදවත, රතු ඉරි අඳින අත හරහා පැමිණ දැන් කෙටි විරාමයක් ගනිමින් සිටින්නේ කැළලිකාරයෝ නවකතාව අසලය. නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුනෙමි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: සුපුරුදු විදිහටම මම ඔබගෙනුත් අහන්නේ ඔබේ නවකතාවල සමාරම්භක මොහොතට ඔබ මුහුණ දෙන ආකාරය ගැන. ඔබේ නවකතා වල මුල්ම වාක්‍ය ලියවුණ හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? අමරකීර්ති: දැන් මෙහෙමයි, මුද්‍රිත පොතේ පාඨකයෝ දකින පළවෙනි වාක්‍යය නෙවෙයි වෙන්න පුළුවන් මගෙ අතින් ලියවෙන පළවෙනි වාක්‍යය. ලිවීමේ ආරම්භය සිද්ධ වෙන්නේ නවකතාවේ ඕනම තැනකින් වෙන්න පුළුවන්. මගෙ සමහර නවකතා තියනවා නවකතාවේ මැද හරියෙන් ලිවීම පටන් ගත්ත. දැන් 'කුරුළු හදවත' වගේ නවකතාවක් මුලින්ම තමයි පටන් ගත්තේ. එතකොට 'අටවක පුත්තු' පටන් ගත්තේ කතාවේ මැදින්. 'අහම්බකාරක' වුණත් එහෙමයි. මගෙ නවකතා මම දකින්න කැමති තේමාත්මක නවකතා විදිහට. දැන් මගෙ නවකතාවල පරිසරයේ හෝ කාලයේ එහෙම වෙනසක් නැහැනේ. දැන් සමහර ලේඛක ලේඛිකාවෝ ඉන්නවා එක නවකතාවක් අනුරාධපුර යුගය පසුබිම් කරගෙන, තව නවකතාවක් මහනුවර යුගය පසුබිම් කරගෙන, තව නවකතාවක් විදේශයක් පසුබිම් කරගෙන, තව නවකතාවක් ලංකාවේ. අන්න ඒ විදිහෙ වෙනස්කම් මං දැනට ලියල තියන නවකතාවල නැහැ. මම පාවිච්චි කරන්නේ එකම වගේ භෞතික භූගෝලීය පසුබිම්. හැබැයි ඒවා තේමාත්මකව වෙනස්. ඒවායින් ගවේෂණය කරන්නෙ අපි ජීවත් වන යුගයට සමාජයට ජීවිතයට අදාළ තේමාවන්. එතෙන්දි නවකතාවක ආරම්භක වාක්‍යය, ආරම්භක ඡේදය, ආරම්භක සිතිවිල්ල ඔය තේමාවට ආසන්න එකක් හැටියට තමයි එන්නේ. දැන් උදාහරණයක් හැටියට මම 'අටවක පුත්තු' නවකතාව ගත්තොත් ඒකෙ තේමාව තියෙන්නේ ඒ නමෙන්ම හැඟවෙන එකක්. පුදුමයකට වගේ 'අටවක පුත්තු' කියන නමත් ඒ ආරම්භක සිතිවිල්ලත් එක්කම ආවා. 'අටවක' කියන අදහස, එතන අදහස් දෙකක් තියෙනවා. එකක් අට තැනකින් වක් වුණු කියන එක. අනිත් එක අඬක් පිරුණු කියන එක. මගේ තේමාත්මක අදහස තමයි නිදහසින් පසු එහෙමත් නැත්තන් අපේ පශ්චාත් යටත්විජිත ජීවිතය, දේශපාලනය, තනි පුද්ගල ජීවිත මේවා අඬක් පිරුණු, බොහෝ තැන් වලින් නැමුණු, වක ගැසුණු , වංක වුණු ජීවිත කියන එක. ඉතින් පළමු වාක්‍යය කියන එක අතිශය වැදගත් එකක්. සාමාන්‍යයෙන් මං ප්‍රිය කරන විශිෂ්ට නවකතාවල පළමු වාක්‍යය හැම එකක්ම ඉතාම සැළකිල්ලෙන් ලියපු ඒවා කියන එක මට පෙනිල තියනවා. මට සමහර වාක්‍යය ඇත්තටම කටපාඩම්. කෞශල්‍ය: දැන් මේ විදිහට ලිවීම ආරම්භ කරද්දි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද? දැන් ඔබ කිව්වා අටවක පුත්තු නවකතාව පටන් ගත්තේ මැදින් කියල. අපි කියවන නවකතාවෙ ආරම්භයේ තියන ඒ ප්‍රධාන චරිතයේ ළමා කාලය ගැන තියන ආකර්ෂණීය සිදුවීම් ගැන ආරම්භයේ දී ඔබ දැනගෙන හිටිය ද? අමරකීර්ති: ඔව් අනිවාර්යයෙන් දැනගෙන හිටියා. 'අටවක පුත්තු' නවකතාව සැළසුම් කරල තිබුණේ කොටස් හතරකට නිසා ඒකේ ලිවීම මේ විදිහට මැදින් පටන් ගැනීම කරන්න පුලුවන්කම තිබුණා. මම ලිවීම පටන් ගත්තේ දෙවෙනි කොටසින් වුණාට, පළවෙනි කොටසෙ දී ළමා කාලයට යනවා, ළමා කාලය පටන් ගන්නේ මේ හරියෙන් සහ එයා ඇතුළේ තියන දෙවෙනි විඥානය පිළිබඳ අදහස. එයා ඇතුළේ තියනවානෙ අර එයා අටවක දවසක ඉපදුණු නිසා අම්මගෙ බඩේ එයත් එක්ක හිටපු දෙවෙනි නිවුන්නා ඉපදුණේ නැහැ කියන එක. ඒක පවුලේ තියන විහිළුවක්. ඉතින් මේ දේවල් ගැන අදහසක් තිබුණා ලිවීම පටන් ගනිද්දි. හැබැයි ළමා කාලයේ සිට විශ්වවිද්‍යාලය දක්වා විශාල කාලමය පිම්මක් තියනවා කතාවේ, ඒක කොහොමද කරන්නේ කියන එක ගැන මට අදහසක් තිබුණේ නැහැ. කෞශල්‍ය: දැන් එතකොට මේ ලිවීම ආරම්භ කිරීමට පෙර ඔබ ලියන්න යන නවකතාව ගැන ඔබ දන්න දේවල් කොහේ හෝ සටහන් කරල තියා ගත්තද? අමරකීර්ති: දැන් 'අටවක පුත්තු' ම උදාහරණයට ගත්තොත් ඒක මගෙ දෙවෙනි නවකතාව වුණාට මම නවකතා කලාව ටිකක් බරට අරගෙන සෑහෙන අධ්‍යයනයකින් පස්සේ ලියපු පළමු නවකතාව මේක. මේක ලිව්වේ මගෙ පශ්චාත් උපාධිය කරන කාලේ, ඒ නිසා නවකතා ලියන හැටි ගැන ඉංග්‍රීසි භාෂාවෙන් විශාල වශයෙන් කියවන්න පටන් අරන් තිබුණා. ඒ වගේම නවකතාත් සෑහෙන කියෙව්වා. ලේඛකයෝ අනුගමනය කරන විවිධ ක්‍රම ගැනත් දැනගෙන හිටියා. ඕක ලියන කාලෙ මට මතකයි මම ලියන තැන ඉස්සරහ බිත්තියේ මාකර් එකකින් ලියන්න පුලුවන් බෝඩ් එකක් අලවල තිබුණා. ඒකෙ මම ලියල තිබුණා නවකතාවෙ කාල රාමුව, චරිත, ඒ ඒ චරිත කාල රාමුවේ මොන මොන අවස්ථාවල ද එන්නේ ඒ වගේම සම්පූර්ණ කාල රාමුවෙ ඉන්න චරිත මොනවද මැදින් ඇවිල්ල අතුරුදන් වෙලා යන චරිත මොනවද කියන දේවල් ගැන දළ සටහනක් තිබුණා. ඒ කාලෙ මම හිටපු එපාර්ට්මන්ට් එකේ මට පුස්තකාල කාමරයක් තිබුණා මට එතන මගෙ ලේඛන කටයුතු පහසුවෙන් කරන්න පුලුවන්කම තිබුණා. මට මතක විදිහට මං ලංකාවට එද්දි ඒ සටහන රෝල් කරල අරගෙන ආවා. ඉතින් ලියන කාලය තුළ මේ සටහන මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මගෙ අනිත් නවකතාවලදිත් මේ වගේ දළ සටහනක් මං පාවිච්චි කරල තියනවා, ඒවා බිත්තියේ නොගැහුවට. දැන් මම සාමාන්‍යයෙන් අතින් තමයි නවකතා ලියන්නේ. අඩු තරමෙ ෆස්ට් ඩ්‍රාෆ්ට් එක ලියන්නෙ පෑනෙන්. මේ පෑනෙන් ලියන ඒව ටයිප් කරල ප්‍රින්ට් අවුට් අරගෙන මම දාල තියන ෆයිල් එකක් තියනවා. ඒ ෆයිල් එකේ තියනවා සීආර් පොතක්. මම ආසයි ඔය ඒ 5 සයිස් එකේ පොත් වලට. ඒ පොත ඇතුළේ තමයි අර දළ සටහන තියෙන්නේ. ඔය සීආර් පොතේ තමයි මම විවිධ වෙලාවට නවකතාව ගැන හිතට එන දේවල් ලියල තියෙන්නෙ. ඒ පොතේ තියන දේවල් නවකතාවෙ විවිධ පරිච්ඡේද වලට විවිධ තැන් වලට යනවා, සමහර වෙලාවට යන්නෙම නැහැ. ඉතින් මේ සීආර් පොත ඒ නවකතාවටම වෙන් වුණු එකක්. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියල ඉවර වුනාම මේ පොත ඒ මැනූස්ක්‍රිප්ට් ෆයිල් එකටම දාල නූලකින් බැඳල තියනවා. මම ලියපු හැම නවකතාවෙම වගේ එහෙම කරල තියනවා. කෞශල්‍ය: දැන් නවකතාව ගැන අදහස් විවිධ වෙලාවල් වලදි එන්න පුලුවන් නේද? එතකොට මොකද කරන්නේ? අමරකීර්ති: ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම නවකතාවක් නොලියන කාලෙට වුණත් මගෙ සාක්කුවේ තියනවා පුංචි නෝට් බුක් එකක්. සාක්කුවේ දාන්න පුලුවන් නොට් බුක් වලට මං හරි ආසයි. ඒවා එකතු වෙලා තියනවා සිය ගානක්. මං ඇවිදින කොට හරි, වාහනේ එලවද්දි, එහෙමත් නැත්තං ස්කූටරෙන් යද්දි මේ මොන වෙලාවක වුණත් මේක මං ගාව තියනවා. නවකතාවක් ලියන කාලෙට නවකතාවක් නෙමේ ඕනෑම පොතක් ලියන කාලෙට අපේ විඥානයෙන් අඩකටත් වැඩිය පිරිල තියෙන්නෙ මේකට අදාළ දේවල්. ඉතින් නොයෙක් දේවල් හිතට එනකොට මං ඩ්‍රයිව් කරමින් හිටියත් අර චූටි පොතේ කාරෙක නවත්තල ලියනවා. සමහර වෙලාවට පන්තියේ දේශනයක් කරමින් ඉන්න අතරතුර අපි ඔය විරාම ගන්න වෙලාවල් තියනවනේ, ඒ වගේ වෙලාවට වුණත් හිතට එන දෙයක් ලියනවා. මෙහෙම ලියල ගෙදර ආපු ගමන් අර නවකතාවට අදාළ ෆයිල් එකේ තියන සීආර් පොතට මේ දේවල් කොපි කරනවා. මේකෙන් අදහස් වෙන්නෙ නෑ මේ සේරම දේවල් නවකතාව ඇතුළට යනවා කියල. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන වෙලාව ගැන. අමරකීර්ති: මගෙ ගෙදර තියෙන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉඳන් විනාඩි පහක දහයක දුරින්. ඉතින් පොතක් ලියන කාලෙට මං සාමාන්‍යයෙන් දේශන අවසන් වුණු ගමන් ගෙදර යනවා. මම නවකතාවක ආඛ්‍යානයට හොඳින් ඇතුළු වෙලා ආවේශයෙන් ලියන කාලෙට මං පාන්දර හතරට අවදි වෙලා ලියන්න පටන් ගන්නවා. එහෙම කාලෙට මං හැකියාවක් තියනව නං දේශන බාර ගන්නේ දහයෙන් පස්සේ . එතකොට උදේ හතරෙ ඉඳන් නමය වෙනකංවත් ලියනවා. එතන පැය පහක් තියනවනේ. මේ කාලෙ නං මං සැබටිකල් ලීව් ඉන්නේ, එතකොට ඉතින් දවසට පැය අටක් නමයක් විතර ලියන්න වැය කරනවා. දවසේ ඕනෑම වෙලාවක වැඩ කරන්න පුලුවන්. නමුත් ප්‍රබන්ධ රචනයට මං හිතන්නෙ මේ පාන්දර වෙලාව ගොඩක් ප්‍රොඩක්ටිව්. උදේට තියනවනෙ අර්ධ වශයෙන් අවදි වුණු අර්ධ නිද්‍රාශීලි තත්වයක්. හතරට ඇවිල්ල කෙලින්ම ඉඳගත්තම ලියන්න අපේ තාර්කික විඥානය අර්ධ වශයෙන් තමයි අවදි වෙලා තියෙන්නේ. අනිත් එක අපි දෛනිකත්වය ඇතුළට ඇවිත් නැහැනේ උදේම. කෞශල්‍ය: සමහර විට අපේ හීන වල වුණත් මේ ලිවීමට අදාළ දේවල් තිබිල තියෙන්න පුලුවන් නේද? අමරකීර්ති: හරියටම හරි. දැන් මං හතරට ලියන්න එන සමහර දවස් වල අර ආඛ්‍යානයට අදාළ දේවල් නින්දෙදි සිහිනයක වගේ තිබිල තියනවා. ඒක තමයි මං කිව්වෙ අර්ධ විඥානයක් කියල. අපේ සිහින වල අපේ අවිඥානයේ තිබුණු දේවලුත් පාන්දර ලියන කොට එනවා. මං ලියන්න ඉඳගන්නේ දහයට විතර වුනොත් අර දෙක අතර පරතරය වැඩියි. එතකොට අර නින්දේ සිහින වල අඩසිහියෙන් තිබුණු කතාවේ මතක එහෙම ගිහිල්ල ඉවරයි. ඒක හරි අපරාදයක්. කෞශල්‍ය: මේකත් එක්කම අපි කතා කරමුද ලියන ක්‍රියාවලිය ගැන. ඔබ නවකතාවක් ලියන්නේ පූර්ව සැළසුමක් සහිතව. දැන් මේ සැළසුමට අනුවම නවකතාව ලියවෙනවද? අමරකීර්ති: නැහැ. මේ සැලැස්ම බොහෝ දුරට නවකතාව ලිවීමේ ගමන ආරම්භ කරන තැන වගේ එකක්. ඒක නිකං ඩයිවින් බෝඩ් එක වගේ. මේ රාමුව තිබුණට ඒක දරදඬු එකක් නෙමෙයි. ඒ රාමුවට වඩා සමහර වෙලාවට අපි දන්නෙම නැති දේවල් එනවා. මේ දළ සටහන අවශ්‍ය වෙන්නේ මට යන්න මේ පාර තියනවා කියල ලියන්න ඉඳගන්න විතරයි. ටිකක් ලියාගෙන යනකොට ආඛ්‍යානයකුත් ගොඩනැගෙන කොට මේ ආඛ්‍යානය ඇතුළට චරිත ඇවිල්ල මේ චරිත වල විඥානය වෙන වෙනම වැඩ කරන්න පටන් ගන්නකොට අර රාමු කඩාගෙන යනවා. ඉතින් ඒ රාමු කඩාගෙන යන දිශාව තේමාත්මකව මම කැමති දිශාවක් නං මං ඒකට ඉඩ දෙනවා. නවකතාවක් ලියනවා කියන්නෙ කොන්ක්‍රීට් වලින් ෆ්‍රේම් එක ගහල ඒක ගඩොල් වලින් පුරවනවා වගේ එකක් නෙමේ. ඊට වඩා සුඛනම්‍ය එකක්. ඒක තමයි ආඛ්‍යාන කලාවේ තියන වැදගත්කම. කෞශල්‍ය: ඔබ කොහොමද මේ නවකතාව අවසන් කරන තැන හොයා ගන්නේ ? අමරකීර්ති: ආඛ්‍යානයක, විශේෂයෙන්ම නවකතාවක් වගේ එකක අවසානය කොහොමත් හිතුමතිකයිනෙ. එතෙන්දි අපේ ජීවිත නවතින්නෙ කොතනින්ද කියන එක හිතුමතිකයි. මම හිතුමතිකයි කියන්නෙ ආබිට්‍රරි කියන අදහසින්. ඒ කියන්නේ ඒක කිසිදු තර්කානුකූල දෙයක් නොවන්න පුලුවන්. දැන් කෙටිකතාවක නං ආඛ්‍යානය අවසන් කරන්න පුලුවන් පාඨකයා තුළ බරපතල අන්තර් දෘෂ්ටියක්, තියුණු දැක්මක්, තියුණු කම්පනයක් ඇති කරන තැනකින්. පාඨකයාට යළි හිතන්න පුළුවන් තැනකින්. නවකතාවෙදි අපි දීර්ඝ කාලයක් ගත කරල තියන නිසා අර වගේ කම්පනීය අවසානයක් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා කරන්න පුලුවන් වැඩක් තමයි මේක නේද මනුස්ස ජීවිතය කියල ආවර්ජනයකට මනුෂ්‍යමය ගැඹුරකට භාවනාත්මක මොහොතකට පාඨකයා ගෙනල්ල නතර කරන එක. දැන් මගෙ 'රතු ඉරි අඳින අත' නවකතාව පිටු දෙසීයක විතර කෙටි නවකතාවක්. ඒක කෙටියෙන් ලියල තියෙන්නෙම නවකතාව අවසන් වුණාට පස්සෙ පාඨකයට මේක නැවත කියවන්න ඉඩ හදන්න. මං අන්තිමට ලියපු 'කැළලිකාරයෝ' නවකතාව ගත්තොත් ඒකෙ පාඨකයට හිතා ගන්න ඉඩ දීල තියනවා විකල්ප අවසාන ගණනාවක්. ඒකෙන් එක පැත්තකින් උත්සාහ කළේ නවකතාවක අවසානය කියන්නේ හිතුමතිකව කතුවරයා විසින් නිර්මාණය කරන එකක් කියන එක අවධාරණය කරන්න. අනික් අතට පාඨකාට එයාගෙ තේමාත්මක හා ආඛ්‍යානයමය කුතුහලය අනුව අවසානයක් තෝර ගන්න ඉඩ දෙන්න. හැබැයි අපි මේ මොන දේවල් කලත් අපි මේ නවත්තපු තැන හරිද කියන එක ගැන ලේඛකයෙකුට වුණත් නිශ්චිත නිගමනයට එන්න අමාරුයි. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනාම ඔබට දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද? අමරකීර්ති: ලොකු හිස්කමක් දැනෙන්නේ. මං හිතන්නේ නැහැ කිසිම නවකතාකරුවෙකුට ඕනෙ කියල තමන් ලියන නවකතාවක් ඉවර කරන්න. මම ඒ තරම් වේගෙන් නවකතා ලියන ලේඛකයෙක් නෙමෙයි. මගෙ නවකතා දෙකක් අතර වසර කිහිපයක පරතරයක් බොහෝ විට තියනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ, මට නවකතා ලියන්න අදහස් නැහැ කියල. මං ගාව තියනවා ස්ටෝරි අයිඩියාස් සටහන් කරන පොතක්. ඒක දැන් සීආර් පොත් දෙකක් එකට අමුණල තියෙන්නේ. ඉතින් මම කිව්වේ නවකතාවක් ලියාගෙන යනකොට ඒක අවසන් කරන්න හිතෙන්නෙ නැහැ කියන එක. තමන්ම ගොඩනගපු ලෝකයක් තුළ ජීවත් වෙනව කියන එක පුදුම ආස්වාදජනක දෙයක්. ඒ නිසා මේක ඉවර වුණු ගමන් පුදුමාකාර හිස් කමක් දැනෙනවා. මං ලියන්නෙ නවකතා විතරක් නොවන නිසා; මං සාමාන්‍යයෙන් කරන්නේ නවකතාවක් ඉවර වුණාම පරිවර්තනයක් හරි, ශාස්ත්‍රීය පොතක් හරි පටන් ගන්නවා. හැබැයි ඉතින් ඔබත් නවකතාකාරයෙක් හැටියට දන්නව ඇති සාමාන්‍යයෙන් නවකතාවක් ඉවර වුණාම අපේ ආත්මයෙන් කොටසක් ඒකට ගියා වගේ දැනෙන හැඟීමක් තියනවා. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනාට පස්සේ හෝ අතරතුර සංස්කරණය කිරීම කොහොමද සිද්ධ වෙන්නේ? අමරකීර්ති: මම සාමාන්‍යයෙන් ප්‍රබන්ධ රචනයේ දී අතින් ලියන්නේ. මොකද කතාව සහ මගෙ සිතිවිලි යන වේගයට මට ටයිප් කරන්න අමාරුයි. පිටු කිහිපයක් ලිව්වට පස්සෙ මට සමහර වෙලාවට හිතෙනවා දැන් මට මේක ටයිප් කරන්න පුලුවන් කියල. එතකොට මේ පළවෙනි කම්පියුටර් පිටපත කියන්නේ සංස්කරණය වුණු දෙවෙනි පිටපත. ඊට පස්සෙ මම ප්‍රින්ට් අවුට්ස් ගන්නවා. ඊට පස්සෙ ගොඩක් වැඩ කරනවා. සමහර කොටස් එකතු කරනවා. සමහර කොටස් කපල දානවා. හැබැයි නවකතාවක් ලියන කොට ඒකට තියන බැඳීමත් එක්ක අපිට සමහර දේවල් පේන්නේ නැහැ. අපි හිතනවා අපි ලියපු වාක්‍යය පිටුවේ තියනවා කියල, නමුත් එතන තියෙන්නේ වෙන එකක්. ඒක තියෙන්නෙ අපේ හිතේ. අපිට පේනවා ඒක පිටුවේ තියනවා වගේ. ඒ නිසා දැන් මං හිතනවා මේ ප්‍රින්ට් අවුට් එක අඩු තරමේ මාසයක්වත් පරණ වෙන්න ඇරල එඩිට් කරන එක හොඳයි කියල. කෞශල්‍ය: නවකතාවක් ලියාගෙන යද්දි තවදුරටත් ලිවීම අසීරු වෙන අවස්ථාවන්ට මුහුණ දීල නැද්ද? අමරකීර්ති: තියනවා. මට සාමාන්‍යයෙන් ඔය රයිටර්ස් බ්ලොක් වගේ දේවල් සිද්ධ වෙනව අඩුයි. නමුත් නවකතාවක් ලියාගෙන යද්දි අපිට චරිත සම්බන්ධයෙන් තේමා සම්බන්ධයෙන් විසඳගත යුතු ප්‍රශ්න ඇති වෙනවා. ඒක විසඳන්නේ නැතුව ඉදිරියට යන්න බැහැ. ඒ වගේ අවස්ථා වල මම කරන එක දෙයක් තමයි; මං ඉන්න මේ උඩ පේරාදෙණිය ලස්සන පරිසරයේ මම ඇවිදින රවුම් කීපයක් තියනවා. මගෙ නෝට් පොතයි පෑනයි සාක්කුවේ දාගෙන මම ඇවිදිනවා. ඉස්සර නං සමහර වෙලාවට මම අපේ විශ්වවිද්‍යාලයේ ස්විමිං පූල් එකේ පීනන්න යනවා. එතකොටත් පූල් එකේ ඉඳන් අතපොවන තැනක මගෙ සටහන් පොත තියල තියෙන්නේ. සමහර අදහස් ආවම මම තෙමි තෙමිම ලියල තියනවා. සාමාන්‍යයෙන් ආඛ්‍යානයක යන්න පාරවල් ගොඩක් තියනවා. මේ මොන පාරද තෝරගන්නෙ කියන එක තමයි අර හිරවීමට බොහෝ විට හේතු වෙන්නේ, පාරවල් නැති වීම නෙමෙයි. තේමාත්මක නවකතාකාරයෙකුට එන ප්‍රශ්නය තමයි තමන්ගේ තේමාව තවදුරටත් උද්දීපනය කරන්න පුලුවන් පාර මොකද්ද කියන එක හොයන එක. කෞශල්‍ය: අවසාන වශයෙන් මං අහන්න කැමතියි නවකතාකරුවෙක් හැටියට ඔබ ඔබේ ලිවීම විඳින හැටි ගැන. ඒ වගේම නවකතාවක් ලියන වෙලාවට ඔබ මොන වගේ කෙනෙක් ද කියන එක. අමරකීර්ති: මට නං ලිවීම කියන්නේ හරිම අනුරාගී දෙයක්. ඕල් මෝස්ට් ලයික් සෙක්ස්. ඒක නිකං ලාලසාත්මක අනුරාගී සෙල්ලම් කිරීමක් වගේ. නවකතා ලියන කොට ඉන්න මම හරිම ප්ලේෆුල්. ඔය අතුල සමරකෝන් එහෙම මට කියන එකක් තමයි, සාමාන්‍යයෙන් ඉන්න මම වැඩිය ජෝක්ස් එහෙම කරන්නේ නැහැ, නමුත් මගේ නවකතා තුළ ඉන්න මම හාස්‍යයට බර හරිම ප්ලේෆුල් කෙනෙක් කියලා. මං හිතන්නේ ඒක හොඳ නිරීක්ෂණයක්. හරියට නිකං හරිම විනෝදාත්මක ක්‍රීඩාවක් සෙල්ලම් කරන මිනිහෙක් වගේ. දැන් ඔය හොඳ ක්‍රිකටර් කෙනෙක්ගේ බැට් එකේ බෝලේ වදින මොහොත ඒක හරි මිහිරි මොහොතක් වගේනේ පේන්නේ, හිතන්න ලාරා හරි අරවින්ද වුණත්. ඒ වගේ තමයි. ලිවීම කියන්නෙ අපි විඳින වැඩක්. ඒක රාජකාරියක් නෙමෙයි. ඒක හරිම ප්ලේෆුල්. එහෙම මිනිහෙක් තමයි ලියන මම හැටියට මම දකින්නේ. ලියනගේ අමරකීර්ති නම් වූ විශිෂ්ට ලේඛකයාගේ නිර්මාණ කියවමින් අප විස්මයට පත් වන විට ඒ විස්මය නිර්මාණය කරන්නට වචන සමග අනුරාගී ලෙස ක්‍රීඩා කරන ඔහු ගැන ද දැන් අපට පරිකල්පනය කල හැකිය. එසේම නවකතාකරුවෙක් ලෙස ඔහු සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. මීළඟ සතියේ සිය ලේඛන ජීවිතයේ ඇතුලාන්තය අප වෙත නිරාවරණය කරනු ලබන්නේ අපට සිටින විශිෂ්ට ලේඛිකාවක වන සේපාලි මායාදුන්නේ යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ. |
'මම ලියන හැටි': කාංචනා අමිලානි | කාංචනා අමිලානි මේ වන විට ලියා ඇත්තේ ‘ගුහා සටන’ නවකතාව පමණක් වුවද අද්විතීය පරිකල්පනයක ඵලයක් වූ එම කෘතිය ඔස්සේ පාඨක විචාරක අවධානය තමන් වෙත යොමු කර ගැනීමට ඇය සමත් වූවාය. ඇගේ ‘ගම්මිරිස් කුරුල්ලා’ කෙටිකතා සංග්‍රහයත් ‘ප්‍රේමයේ කාර්තු’ සහ ‘බූමරංගය ඔබේ ඇස් දෙක’ කාව්‍ය සංග්‍රහත් ඇය විවිධ තේමාත්මක, භාෂාත්මක හා භාවාත්මක කලාපයන්හි සැරිසරමින් සංකීර්ණ අත්දැකීම් පාඨකයා වෙත නැවුම් විලාසයන්ගෙන් රැගෙන ඒමේ ශක්‍යතාව ප්‍රකට කර ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමටය. කෞශල්‍ය: පුරුදු පරිදි මං ඔබගෙනුත් මුලින්ම අහන්නේ නවකතාවක් ලිවීමේ සමාරම්භක මොහොත ගැන. කාංචනා: මම මේ වන විට පළ කරල තියෙන්නේ එක නවකතාවයි. ඒක ලියන්න පටන් ගන්නෙ කොවිඩ් ලොක් ඩවුන් කාලේ දි. මම ගෙදර ඉන්න කොට ඒ දවස් වල මගෙ ෆෝන් එකට මැක්‍රෝ ලෙන්ස් එකක් ගහගෙන ඔය දිමියන්ගෙ එහෙම ෆොටෝ අරගනිමින් ඉන්න කොට දැකපු සිද්ධියක් නිසා තමයි මට කතාවක් ලියන්න ඕන කියන අදහස ඇති වුණේ . ඒත් ඒක නවකතාවක් ද කියන එක මම දැනගෙන හිටියේ නැහැ. ලියන කතාව මොකද්ද කියන මම දැනගෙන හිටියා. ඒක අවසාන වෙන හැටිත් මම දැනගෙන හිටිය. එතකොට මේ කතාව මේ අවසානය කරා ගොඩනඟන එක තමයි මට කරන්න තිබුණේ. නමුත් මේක පටන් ගන්න ඕන කොහොමද කියන එක ගැන මට ටිකක් කල්පනා කරන්න සිද්ධ වුණා. කියවන්නෙක් හැටියට ගත්තොත් මං හරි ඉක්මනට කියවන දේවල් අතහරින කෙනෙක්. පළවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යය මට හරි ගියේ නැත්තං මං එතනින් එහාට කියවන්නේ නැහැ. මගෙ ඔළුවෙ නිතරම වැඩ කරන එකක් තමයි මං ආස කරන දෙයක් තමයි වෙන කෙනෙකුට කියවන්න දෙන්න ඕන කියන එක. මං සාමාන්‍යයෙන් කැමතියි මම ලියන දේවල් දෙබසක් වගේ එකකින් පටන් ගන්න, මොකද ඒ විදිහට ආරම්භ වෙන දේවල් කියවන්න මං කැමති නිසා. මේ නවකතාවේ ආරම්භයටත් ඒ නිසා මං යොදා ගත්තේ දෙබසක්. නමුත් මට අවශ්‍ය වුණා ඒ තුළින් කිසියම් රූපමය දෙයක් ගොඩනගන්න. මොකද මේ කෘතිය සම්බන්ධයෙන් මගේ සිතීම රූපමය සිතීමක්. අතින් ලියාගෙන වචන හැටියට ග්‍රහණය කර ගන්නවට වඩා මම මේක සම්බන්ධයෙන් කරපු මූලික වැඩ වලදිත් එක්කො වීඩියෝස් හැටියට නැත්තං ෆොටෝස් හැටියට තමයි දේවල් එකතු කර ගත්තේ. ඉතින් මේ නවකතාවෙ ආරම්භක වාක්‍යය වුනේ ‘අමතන්න අමතන්න ජෙනරාල් යොන් මින් අමතන්න’ කියන එක යුද්ධයක් ඇතුළේ වෝකිටෝකි එකකින් සිද්ධ වෙන දෙබසක්. මට ඕනේ වුණේ පාඨකයා ඉක්මනින් යුද්ධය තුළට ඇද ගන්න. නවකතාවක ආරම්භක මොහොත කියන්නේ හරිම එක්සයිට්මන්ට් එකක්. මම දන්නෙ නැති ලෝකෙකට මං ජනේලෙකින් හරි දොරකින් හරි ඇතුළු වෙනවා වගේ. එහෙම ඇතුළු වුණාට පස්සෙ ආපහු හැරීමක් නෑ. මං තවත් ජනෙල් දොරවල් ඇරගෙන පාර වල් හොයා ගෙන මේකෙන් එළියට එන්නත් ඕනෙ. කෞශල්‍ය: ඒක හරිම ආකර්ෂණීය උපමාවක් නවකතාවක ආරම්භක මොහොත ගැන. ඉතින් මේ නවකතාව ගැන අදහස ඇවිත් මේ ආරම්භය ගන්න ඔබට මොන තරම් කාලයක් ගත වුණා ද? කාංචනා: ලියන්න ඕන අදහස ඇවිල්ල සතියක විතර කාලයක් තමයි ගත වෙන්නේ. මොකද මේක ඉක්මනට කරන්න ඕන වගේ අදහසක් මට තිබුණා. මේ සතිය ඇතුළත දළ සටහනක් මේකට ගහගත්තා. ඊට පස්සේ මේකෙ ඉන්න චරිත වල නම් හදා ගත්තා. යුද්ධයක් කියන්නේ එක තැනකට සීමා වෙච්ච දෙයක් නෙමේ නෙ මේක පැතිරුණු පැටලිලි සහගත එකක්. ඒ නිසා මට ඕනෙ වුනා මේ චරිත වලට මිශ්‍ර නම් දාන්න. ප්‍රංශ, ජර්මන්, ඉන්දියානු, අප්‍රිකානු, චීන ඒ වගේම සමහර ග්‍රීක මිථ්‍යා කතා වල එන චරිත වල නම්, මහාවංශයෙ අප්‍රකට සෙනෙවිවරුන්ගේ නම්. මේවා එකට එකතු කරන තර්කයත් ඒ හැම නමකටම ඉස්සරහින් මම ලියල තියා ගත්ත. මම ලියපු මුල් පිටපතේ චරිත 114 ක් තිබුණා. පොතක් හැටියට ප්‍රකාශ කරද්දි මේක හැට ගානකට අඩු කරනවා. මීට අමතරව යුද්ධය ගැන, යුධ අගලක පරිසරය ගැන ගැන තේරුම් ගන්න, මිනිස්සු එකිනෙකා වෙඩි තියා ගනිද්දි මොකද්ද ඇත්තටම කරන්නේ කියන එක ගැන හැඟීමක් ගන්න මං ගොඩක් ටීවී සීරිස් සහ ඩොකියුමන්ට්‍රිස් බැලුවා. පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ ගැන, වියට්නාම් යුද්දේ ගැන වාර්තා චිත්‍රපටි විශේෂයෙන්ම. මේ දේවල් මට ගොඩක් උදව් වුනා මේ කතාව පුරා තියන ක්‍රෑරත්වය නිර්මාණය කරන්න. මීට අමතරව පුලුවන් විදිහට මේ යුද්ධ සම්බන්ධ දේවල් කියෙව්වා. මේ විදිහට මම හරිම වේගයෙන් මේ කතාවට අවශ්‍ය දේවල් එකතු කර ගත්තා. මොකද මට බයක් තිබුණා මං මේක ඉක්මනින් ලිව්වෙ නැත්තං මං මේක ලියන එකක් නැහැ කියල. මං මුලින්ම කොටස් හතරක් ලියල මේක මගෙ මීඩියම් එකවුන්ට් එකේ දිනපතා පළ කරන්න පටන් ගත්ත. කොහොම හරි මාස තුනක් ඇතුළත මං මේ නවකතාව ලියලත් ඉවර කළා. ඇත්තටම මුල් කොටස් ලියද්දි මං දැනං හිටියෙ නැහැ මේක නවකතාවක් ද කියලා. ඒත් ටිකක් ඉදිරියට යද්දි මට තේරුණා මේක ගොඩක් ලියන්න වෙනවා නැතුව මේක ඉවර කරන්න බැහැ කියන එක. කෞශල්‍ය: දැන් ඔබ යම්කිසි සැලැස්මක් එක්ක තමයි මේ ලිවීම ආරම්භ කරන්නෙ. ලිවීමේ ක්‍රියාවලිය මේ සැලැස්මට අනුවම ද සිද්ධ වුණේ ? කාංචනා: මූලික අදහස වෙනස් වුනා කියල කියන්න බැහැ. නමුත් චරිත වල හැසිරීම එක්තරා මොහොතකට පස්සේ මට පාලනය කරන්න බැරි වුණා . මුලින් මේ ප්‍රධාන චරිත මගෙන් තවත් අනු චරිත ඉල්ලා හිටින්න පටන් ගත්ත. ඒ ගොල්ලන්ට මේක තනියම කරන්න බැහැ කියල. ඒ නිසා චරිත ප්‍රමාණය විශාල වුණා. ඒ වගේම මේ චරිත මට ඕනෙ දේවල් වෙනුවට ඒ ගොල්ලන්ට ඕනෙ දේවල් කරන්න පටන් ගත්ත. සමහර වෙලාවට මේ චරිත මොනතරං මුරණ්ඩු වුණා ද කිව්වොත් මං ලියන එක පැත්තකින් තියල යනවා. ආපහු නැවත ඇවිත් ලියන කොට සමහර වෙලාවට මුරණ්ඩු කම ටිකක් අඩු වෙලා. මම මීට කලින් කෙටිකතා, කවි ලියල තිබුණට මේ විදිහෙ දේකට මම මුහුණ දුන්නේ පළමු වතාවට. ඒක මට අලුත් අත්දැකීමක් වුණා. ඉතින් මම කතාව ලියමින් තමයි ඉගෙන ගත්තෙ කතාව ලියන්නෙ කොහොමද කියන එක. මම මාස තුනක් තිස්සෙ දිනපතා මේක ලිව්වා. හැමදාම මගෙ මීඩියම් අකවුන්ට් එකේ කොටසක් පළ කලා. මුල් මාසය වගේ මම වැඩ කළේ ගෙදර ඉඳන්. එතකොට මම ගෙදර කොහෙ හරි තැනක ඉඳන් ෆෝන් එකෙන් තමයි ලිව්වෙ. මං කොහොමත් කොළ වල ලියනව අඩුයි. ඊට පස්සේ වැඩට යන්න පටන් ගත්තට පස්සෙ මං ගොඩක් වෙලාවට ලිව්වෙ කෝච්චියෙ යන එන ගමන්. කෞශල්‍ය:මේ නවකතාවෙ අවසානයට ඔබ කොහොමද මුහුණ දෙන්නේ? කාංචනා: ආරම්භයේ දී මේක අවසන් කරන්න සැලසුම් කළ තැනින්ම තමයි මේක අවසන් වුනේ. නමුත් මම අවසානයන් තුනක් ලිව්වා. මුලින් තරමක් විස්තරාත්මක අවසානයක් ලිව්වා. පසුව ඒක තරමක් දුරට කෙටි කළා. නමුත් අන්තිමේදි මං හිතුව මේක අනපේක්ෂිත අවසානයක් වන නිසා ඒක හැකිතාක් කෙටියෙන් තැබිය යුතුයි කියල. මේ නිසා පොතේ දැන් තියන අවසානය පිටුවකටත් අඩුයි. නවකතාව ලියල අවසන් වුණා ට පස්සෙ සතුටකට වඩා දැනුණේ දැන් මං මොකද කරන්නෙ වගේ හැඟීමක්. මං මාස තුනක් තිස්සේ මේ වැඩේ එක දිගට කළා. දැන් ඒ වැඩේ නැහැ. මං හිතන්නෙ මං නවකතාව අවසන් කළා ට ඒක අවසන් නැහැ. මට තවත් ලියන්න තිබුණා කියන එක මගෙ හිතේ තිබුණා . කෞශල්‍ය: ඔබ මුලින් කිව්වා මේ නවකතාවෙ මුල් පිටපතේ තිබුණ චරිත 114 මුද්‍රණය කරන කෘතිය තුළ හැට ගණනකට අඩු කරනවා කියල. මේ සංස්කරණ ක්‍රියාවලිය ගැන යමක් කියන්න පුළුවන්ද? කාංචනා: ඔව් මේ චරිත 114 මම 63 කට අඩු කළා . මම මුලින්ම කළේ නම් සහිතව හිටපු අවශේෂ චරිත ඉවත් කරන එක. යුද්ධය තුළ කතාවෙ මැද හරියෙදි මියයන සෙබළුන්ගේ ගෙ නම් මම ඉවත් කරල ඒ අය සමූහයන් බවට පත් කළා . සමහර චරිත සිදුවීම් එක්කම සම්පූර්ණයෙන් ඉවත් කළා . තවත් සමහර චරිත මරල දාන්න සිද්ධ වුණා . ඒක හරි වේදනාවක් එක අතකට මොකද මං මහන්සි වෙලා හදපු චරිතනේ. නමුත් මේ විදිහට තමයි චරිත ප්‍රමාණය අඩු කළේ . මීට අමතරව සමහර පරිසර වර්ණනා, යුද්දෙට අත්‍යවශ්‍යම නැහැ කියල හිතෙන සිද්ධි වගේ දේවල් ඉවත් කළා . මුල්ම සංස්කරණයේ දී මේ විදිහෙ ඉවත් කිරීම් හරිම අමාරු දෙයක් වුණා . නමුත් දෙවන තුන්වන සංස්කරණ වලට එනකොට ඒ අසීරුකම ක්‍රමයෙන් මගහැරුණා. මීට අමතරව සංස්කරණය හැටියට භාෂාත්මක වෙනස්කම් සිදුකළා . කෞශල්‍ය: අවසාන වශයෙන් මේ සංවාදය නිමා කිරීමට පෙර ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? කාංචනා: ලියන එක මූලිකව මට හිතෙන්නෙ අතිශය වේදනාකාරී දෙයක් කියල. මට නං ලිවීම කියන එක සතුටු අවස්ථාවක් නෙමෙයි. මම නවකතාවක් ලිව්වත් කෙටිකතාවක් ලිව්වත් කවියක් ලිව්වත් මං ලියන එක මොනතරම් හාස්‍යජනක වුණත් ලියන එක වේදනාකාරී දෙයක්. ලියන එක ඇතුළේ තමන් මොනතරම් අකමැති වුණත් තමන්ගෙ කොටස් එළියට දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මං හිතන්නේ වේදනාව කියල මං කියන්නේ. ඒ වේදනාවත් එක්කම ගැට ගැහුණු ඊට සමගාමී ප්‍රහර්ෂයකුත් තියනවා ලිවීම ඇතුළේ. ඒක එන්නේ චරිත හැදීම, සිදුවීම් මැවීම වගේ දේවල් නිසා ලැබෙන බලයත් එක්ක. වචන වලින් මට ඕනෙ දේවල් කරන්න පුලුවන් කියන හැඟීමත් එක්ක. මට ඒක මුලින්ම දැනෙන්න ගත්තේ ජනමාධ්‍යවේදියෙක් හැටියට පත්තරේ වැඩ කරන එකත් එක්ක. මම ආර්ටිකල්ස් වලට සූදානම් වෙන හැටි, ඒවත් එක්ක දවස ගත කරන හැටි එක්ක මට ඒක දැනුණා. අනිත් අතට දවස තිස්සෙම මං කරන්නෙ ලියන එක. ඒ නිසා මට ලියන්න මූඩ් එකක් ඕනෙ වගේ දෙයක් නැහැ. මට ඕනෙම වෙලාවක ලියන්න පුලුවන්. මේ ආකාරයට කාංචනා අමිලානිගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඇගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත. ඇය සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙළිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි. මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ ලියනගේ අමරකීර්ති නවකතාකරුවා ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
'මම ලියන හැටි': චන්ද්‍රරත්න බණ්ඩාර | මෙවර කතාබහට එක්වන චන්ද්‍රරත්න බණ්ඩාර යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන තීරණාත්මක නවකතාකරුවෙකි. ‘මෙරු’ කෘතියෙන් ආරම්භ වන ඔහුගේ නවකතාකරණය වනසපු මල, විමන් දොරකඩ, හැන්දෑදුරය, වළාකුළු බැම්ම ආදී නවකතා හරහා පැමිණ පසුගිය කාලයේ අතිශය ජනාදරයට පත් ‘ප්‍රේමානිශංස’ නවකතාව අසල දැන් කෙටි විරාමයක් ගනිමින් සිටියි. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මම ඔබෙනුත් අහන්නේ ඔබේ නවකතා වල සමාරම්භක මොහොත ගැන. නවකතාවක මුල්ම වාක්‍ය කිහිපය ලියවෙන හැටි සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මොනවගේ ද ? චන්ද්‍රරත්න: මගේ මුල්ම නවකතා හතර ගත්තොත් මම හිතන්නේ මම ඒ පළමු වාක්‍යය හෝ පළමු ඡේදය සම්බන්ධයෙන් විශේෂත්වයක් දැක්වුවේ නැහැ කියලයි. එක්දාස් නමසිය අනූ ගණන් වල මම ලිව්ව 'විමන් දොරකඩ' කියල නවකතාවක්. මම ඒක අරගෙන ගියා දයාවංශ ජයකොඩි ගාවට ප්‍රකාශනය කර ගන්න. එයා ඒක බලලා මට කිව්ව මේකේ පළවෙනි ඡේදය වෙනස් කරන්න ඒක කැචී නැහැ කියල. මම ඒ වෙලාවේ උද්දච්ච වුණා. ඔහුගේ යෝජනාවට එකඟ නොවී මම කිසිම වෙනසක් නොකර වෙනත් ප්‍රකාශකයෙකු හරහා ඒ නවකතාව පළ කළා . නමුත් පස්සේ මට තේරුම් ගියා මගේ ඒ ප්‍රවේශය වැරදියි කියන එක. විශේෂයෙන්ම පසු කාලීනව වඩ වඩාත් නවකතා කියවීමත් එක්ක මේ සමාරම්භක වාක්‍යය හා ඡේදයේ වැදගත්කම මම වටහා ගත්තා. මගේ 'ප්‍රේමානිශංස' සහ 'වළාකුළු බැම්ම' නවකතා වලට එද්දි ඒක පේන්න ගන්නවා. මම නවකතාවක් ලියන්න ගන්න කොට ඒකෙ සමස්තය ගැන මට අදහසක් තියන නිසා ඒ සමස්තයට අදාළ වන පළමු වාක්‍යයත් ඒ නවකතාව කියවන පාඨකයාට මොනතරම් වැදගත් ද ඒ වගේම එවැන්නක් ප්‍රවේශයක් ලෙස මට මොනතරම් වැදගත් ද කියන කාරණය මම අද තදින් හිතන දෙයක්. ඒවගේම පොතේ අවසානය තෙක්ම අල්ලගෙන ඉන්න ෆ්ලෑෂ් ලයිට් එක තමයි ඒ පළමු වාක්‍යය සහ පළමු ඡේදය. කෞශල්‍ය: දැන් ඔබ මේ සමාරම්භක වාක්‍යය ලියන මොහොතේ දී ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද? චන්ද්‍රරත්න: ඒක ඇත්තටම හරිම වැදගත් ප්‍රශ්නයක්. මම මේකට උත්තර දෙද්දි මම සන්සන්දනය කරන්නේ ඔයා කීර්ති වැලිසරගේ එක්ක කලින් සතියක කරපු සංවාදයත් එක්ක. මගේ ප්‍රවේශය ඔහුගේ ප්‍රවේශයේ පූර්ණ ප්‍රතිපක්ෂය හැටියට තමයි මට තේරෙන්නේ. මං ප්ලොට් එකක් ආවම ඉක්මනින් ලියන්න පටන් ගන්නවා. මම ගමක ඉපදිලා, උප නගරයක පාසල් ගිහින්, අග නගරයට ඇවිත් ඉන්පස්සේ ටොරන්ටෝවට ආපු මනුස්සයෙක් හැටියට මගේ ජීවිතය දිහා බැලුවම ඒක සාමාන්‍ය වත්පොහොසත්කම් තියන මනුස්සයෙක් ආපු ගමනක් වගේ නෙමෙයි. හැම තැනම අරගලයක් තිබුණා මට. මම ඒ අස්සේ දේශපාලනය කළා . මම තමයි සමසමාජ පක්ෂයේ හිටපු ලාබාලම සාමාජිකයා. අවුරුදු පහළොව වෙන්නත් කලින්. මම ඒ පැරණි වාමාංශයයි නව වාමාංශයයි දෙකම ආශ්‍රය කළා. මම අදටත් කියන්නේ සමසමාජ පක්ෂය තමයි මගේ ලොකුම විශ්වවිද්‍යාලය. මොකද එන්. එම් ල කොල්වින් ල ඉන්න කාලෙ අපිට ඇසුරු කරන්න ලැබුණනේ. ඒ වගේම මගේ ජීවිතයේ ප්‍රේමය සම්බන්ධයෙන් තිබ්බ විශාල හැලහැප්පීම්. මේ හින්ද මගෙ ජීවිතයේ මේ හැම තැනක ම ලබපු අත්දැකීම් වලින් මගෙ මතක ගබඩාව පිරිල තියනවා. මේ නිසා මම ප්ලෑන් කරන්නේ නැහැ. ප්ලොට් එකක් ආවම ලියන්න ගන්නවා. මෙහෙම ලියාගෙන යද්දි කොතන හරි හිර වුණහම මම රිසර්ච් කරන්න ගන්නවා. සමහර වෙලාවට වෙනත් රටවල් වලට පවා යනවා කතාවට අවශ්‍ය වෙන වෙලාවට. නමුත් වඩා වැදගත් වෙලා තියෙන්නේ මගෙ ජීවන අත්දැකීම්. ඉතින් මං ලියන්න පටන් ගනිද්දි මට තියෙන්නෙ ප්ලොට් එකක් සහ ආරම්භයක් විතරයි. මේක විකාශනය වෙන්නේ ලියන එක අතරතුර යි. කෞශල්‍ය: ඒ කියන්නෙ ලිවීම ඇතුලේ ඔබ අපේක්ෂා නොකරන බොහෝ දේවල් සිද්ධ වෙන්න පුලුවන් කියන එක ද? චන්ද්‍රරත්න: ඔව් අනිවාර්යෙන්ම. ලියන එක ඇතුලේ තමයි කතාව වර්ධනය වෙන්නේ. සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවන විදිහට සමහර චරිත ගොඩනැගෙන්න පටන් ගන්නවා. දැන් 'ප්‍රේමානිශංස' වල 'කෙවින්' වගේ චරිතයක් ගත්තොත් මට එයා ඕන වුණේ ඉතාම සුළු වැඩකට. නමුත් එයා කතාව ඇතුළට ආවට පස්සේ ඒකෙ විශාල භූමිකාවක් නිරූපණය කරනවා. මේ වගේ දේවල් මගේ ලිවීම ඇතුලේ නිතර සිද්ධ වෙනවා. කෞශල්‍ය : නවකතාවක අවසානයට ඔබ මුහුණ දෙන්නේ කොහොම ද? චන්ද්‍රරත්න: ඇත්තමට ඒක නොවිසඳුණු ප්‍රශ්නයක්. මම දැන් හිතන දෙයක් තමයි මගේ නවකතා ගලාගෙන ගිය ආකාරයට සාපේක්ෂව ගත්තම ඒ අවසානයන් ප්‍රමාණවත් නැහැ කියල හිතෙනවා. ගලායාමට සාපේක්ෂව යම් තරමකට හෝ සාර්ථක තර්කනයක් තියෙන්නේ 'ප්‍රේමානිශංස' වල තමයි. ඒක වුණත් තවදුරටත් වර්ධනය විය යුතුවා තිබුණා කියල තමයි මට දැන් හිතෙන්නේ. කවුරුත් මට එහෙම කිව්වෙ නැහැ. නමුත් නැවත මගේ සාහිත්‍යය දිහා හැරිල බලන කොට මට හිතෙන දෙයක් ඒක. මේ නිසා ආරම්භය තරම් ම අවසානයත් වැදගත් කියන කාරණය මම නැවත සළකා බැලිය යුතුයි. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් කළා ට පස්සේ තත්වය ගැන ටිකක් කියන්න පුලුවන් ද? චන්ද්‍රරත්න: ඇත්තටම මගේ හැම නවකතාවක් ම මාව හිටපු තැනින් වෙනත් තැනකට ඔසවා තැබුවා. මේ නිසා ඒ හැම නවකතාවක් එක්කම මට බැඳීමක් තියනවා. නවකතාවක් අවසන් කළාට පස්සෙ ඊළඟ නවකතාව ආරම්භ කරන කාලය ටිකක් අභියෝගාත්මක යි. දැන් මම අලුත් නවකතාවක් ලියන්න පටන් අරන් තියෙන්නෙ. ඒත් මට තාම හිතෙන්නේ මං ඉන්නේ 'ප්‍රේමානිශංස' ලියල අවසන් කරපු තැන කියලයි. මම ඒ තරමට ඒකට බැඳිල තියෙන්නෙ. මගෙ ජීවිතේ මේ තරම් අත්දැකීම් හැලහැප්පීම් නොතිබුණා නම් මම ආයෙ නවකතාවක් නොලියා ඉන්න පවා ඉඩ තිබුණා. කෞශල්‍ය: දැන් ඔබගේ ලිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද? චන්ද්‍රරත්න: මම සාමාන්‍යයෙන් ලියන්නේ උදේ වරුවෙ. ලියන එක පටන් ගන්න කලින් මං ටික වෙලාවක් ගත කරනවා වෙනත් දේවල් කියවමින් හෝ සමහර වෙලාවට මං කැමති චිත්‍රපටියක කොටසක් බලමින්. මේක කරන්නෙ ලිවීමට ආවේශය ගන්න. මේක ඔයත් එක්ක කරන සංවාදයක දී කියන්න ලැබුණු එක දෛවෝපගත දෙයක්. දැන් 'ප්‍රේමානිශංස' ලියන අතරෙ මම එහෙම කියවපු එකක් තමයි ඔයාගෙ 'නිම්නාගේ ඉතිහාසය' නවකතාව. ඒ වගේම ෂෙහාන් කරුණාතිලකගෙ 'චයිනාමන්'. ධර්මසේන පතිරාජගේ කඩුල්ල ටෙලිනාට්‍යයත් එතෙන්දි අතිශය වැදගත් වුණා. මං ඒ කිව්වේ 'ප්‍රේමානිශංස' ලිවීමේ ක්‍රියාවලියට අදාළවනේ. දැන් සාමාන්‍යයෙන් එහෙම ආවේශය ගන්න මං නිතර කියවන දෙයක් තමයි ආරියවංශ රණවීර මහත්තයගේ කවි. ඒ වගේම ගුණදාස අමරසේකර මහත්තයගේ 'ගන්ධබ්බ අපදානය' වගේ පොත්. මොකද මගේ භාෂාව ගොඩනැගෙන්න මට වැඩියෙන්ම බලපෑවේ අමරසේකර. ඉතින් මේ විදිහට ලිවීමට පෙර ආවේශය ගැනීමට වෙනත් පොත් කියවීම තමයි මුලින් සිද්ධ වෙන්නේ. උදේ වරුවේ මං ලියන්නෙ පෑනෙන් හාෆ් ෂීට්ස් වල. මට තියනවා විවිධ වර්ගයේ පෑන්. බෝල්පොයින්ට් පෑන්. තීන්ත පෑන්. වගේම අර පරණ තාලෙ තීන්ත කූඩුවකුත් තියනවා. ඒ වගේම මං එක එක පාට කොළ පාවිච්චි කරනවා. මෙහෙම කරන්නේ ලිවීම හිර වෙන තැන් එනකොට ඒවයින් ගැලවෙන්න. සමහර වෙලාවට මං ලියන තැන මාරු කරනවා. ගෙදර ඉන්නෙ නැතුව කොෆී ෂොප් එකකට ගිහින් ලියනවා. එහෙමත් නැත්තං ලයිබ්රරි එකකට යනවා. මං හරිම අකමැති දෙයක් තමයි තනියම ඉඳීම සහ අඳුර. මම ලියන තැන හොඳට ආලෝකමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම කොෆී ෂොප් එකක හෝ පුස්තකාලයක මං නොදන්නා මිනිස්සු මගෙ අවට ඉන්න එක මට පහසුවක්. මං ලියන කොට මා තුළ ඉන්න තව කෙනෙක් මේ ලිවීමට සම්බන්ධ වෙනවා. එයා තමයි මේ මගේ මතක ගබඩාවෙ තියන දේවල් අවශ්‍ය විදිහට මේ කතාවට අරන් එන්නෙ. එයා මැදිහත් නොවී ලියවෙන දේවල් හරිම ටෙක්නිකල් ලිවීම් බවට පත් වෙනවා. එතකොට මට ඒ කොළ විනාශ කරන්න සිද්ධ වෙනවා. මේ නිසා මගේ ඇතුලාන්තයේ සිට ලියන්නා මතුවෙන්නෙ නැත්තං එයා මතු කර ගන්න තමයි ඔය කොෆී ෂොප්ස් වලට ගිහින් ලියනව වගේ දේවල් කරන්නේ. ඉතින්, මේ විදිහට උදේ කාලයේ පෑනෙන් ලියන ඒවා රාත්‍රියට මං සංස්කරණය කරමින් පරිගණකයෙන් ලියනවා. කියන්න ඕන තවත් දෙයක් තමයි මීට අමතරව මං මගෙ කාරෙකේ නෝට් පොතක් තියල තියනවා මට එළියෙදි එන අදහස් ලියන්න. මං මෙහෙ පත්තරයක් කරන නිසා මට මාසෙකට සැරයක් කිලෝමීටර් දාහක් එක්දාස් පන්සීයක් මේ ප්‍රොවින්ස් එක පුරාම ඇවිදින්න වෙනවා. එතකොට තමයි ගොඩක් වෙලාවට ලියන එක ෆිල් කරන අදහස් එන්නෙ. සමහර වෙලාවට ෆෝන් එකේ නෝට්ස් වලත් ලියා ගන්නවා. කොහොමටත් මම පොතක් කියවනකොට හරි චිත්‍රපටියක් බලනකොට හරි මට වැදගත් කියල හිතෙන දේවල් සටහන් කර තැබීමේ පුරුද්දක් මට තියනවා. එතකොට මං මගෙ ඇඳ ගාව පොතක් සහ පෑනක් තියල තියනවා නිදාගන්න වෙලාවට අදහස් ආවොත් ලියන්න. මොකද සමහර වෙලාවට ඒ හැඟීම් ප්‍රබල වුණහම ඒවා ලියන්නේ නැතුව නිදා ගන්න බැහැ. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? චන්ද්‍රරත්න: නවකතාවක් ලියන කොට මං ඒකෙ කොටසක් බවට පත් වෙන එක හරිම තෘප්තිමත් දෙයක්. දැන් අර මං කලින් කිව්වෙ අර මගේ අභ්‍යන්තර ලියන්නා, මගේ ඇතුළේ ඉන්න කෙනා මගේ උදව්වට පැමිණීම එක්ක නිකං ලඟ යාළුවෙක් ඉන්නව වගේ. ඒ නිසා තෘප්තිය නැත්තම් මං ලියන්නෙ නැහැ. අනිත් එක තමයි මම ලියන්නේ මගේ ස්මරණ සහ අත්දැකීම් ඇසුරෙන් නිසා ඒක මාව වෙනම නොස්ටැල්ජික් ලෝකයකට අරන් යනවා. දැන් මගේ වයස හැට තුනයි. නමුත් මට තියෙන ප්‍රශ්නයක් තමයි මට මේ හැට තුනට එන්න බැරි එක. ඒ විපත්තිය කරල තියෙන්නෙ මේ ලිවීම තමයි. මගේ මතකයන් ගත්තොත් මට අවුරුදු දෙකේ තුනේ ඉඳන් සමහර දේවල් සිද්ධි හැටියට විතරක් නෙමේ ඒ වෙලාවෙ මූණ දුන්න හැඟීම් හැටියට පවා මතකයි. අම්ම බැනපු අවස්ථා සහ ඒ වෙලාවේ මට දැනුණ හැඟීම් දෙකම මතකයි. ප්‍රේමය සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. ඒ වින්ද චමත්කාරය වගේම එහෙම නොවන දේවලුත් මතකයේ තියනවා. ඒ නිසා මේ හැම දෙයක්ම නොනිමි පරිච්ඡේද වගේ. ඉතින් ලිවීම නැවත නැවත මේ කරා මාව අරගෙන යනවා. මං හිතන්නෙ ඒ නිසාම ලිවීම කියන්නෙ මට නං තාරුණ්‍ය අහිමි වීමේ වේගය අඩු කරන දෙයක් බවටත් පත් වෙනවා. නවකතාකරුවෙක් ලෙස ලිවීම තුළ චන්ද්‍රරත්න බණ්ඩාර අත්විඳින සංවේදනා, ඔහුට දැනෙන හැඟීම් සහ ඔහුගේ භාවිතයන් හා තාක්ෂණයන් අප මෙතෙක් හමු වී ඇති අනෙකුත් නවකතාකරුවන් හා කාරියන්ගේ කතාබහ ද අපට නැවත සිහිපත් කරවයි. මේ හැම කෙනෙකුම ලිවීම තුළ පවතින ආකාරයේ සුවිශේෂීත්වයන් හා සමානකම් ඇත. මේ දෙස තුලනාත්මකව බැලීම ලිවීමට ආශා කරන්නන් වෙත තියුණු ආලෝකයක් සපයන්නට ඉඩ ඇත. ලබන සතියේ මුණගැසෙන කාංචනා අමිලානි කරුණාමුනි මෙම සිතාබැලීම තවදුරටත් විචිත්‍ර හා සංකීර්ණ කරනු ඇත. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
රෙක්ස් කොඩිප්පිලි: දිවි රඟ මඩලින් බැස ගිය 'දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයා' | සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට පණ පෙවූ බොහෝ දෙනෙකු සැබෑ ලෝකයේ ද ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට අසමත් වුව ද, රෙක්ස් කොඩිප්පිලි එසේ නොවීය. ඔහු සිනමාවේ දුෂ්ට චරිතය නිරූපණය කළ ද, සැබෑ ලෝකයේ ප්‍රේක්ෂකයින් අතර ඔහුට ගෞරවණීය පිළිගැනීමක් තිබූ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. එවන් ආකර්ෂණීය රංග පෞරුෂයකට හිමිකම් කී 'සිංහල සිනමාවේ ජනප්‍රිය දුෂ්ටයා' ඉරිදා (දෙසැම්බර් 24) පෙරවරුවේ දිවි රඟ මඩලින් බැස ගියේ ය. රෝගී තත්ත්වයක පසුවූ ඔහු අභාවප්‍රාප්ත වන විට 85 වන වියේ පසු විය. ඔහු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 130කට අධික වන අතර ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ. දක්ෂ පොලිස් නිලධාරියෙක් 1938 ඔක්තෝබර් 06 වන දා බදුල්ලේදී උපත ලැබූ රෙක්ස් ජෝසෆ් කොඩිප්පිලිගේ පියා මිනින්දෝරුවරයෙකු වූ අතර රෙක්ස් මාස 18ක වයසේ පසුවෙද්දී පියා අභාවප්‍රාප්ත විය. පුතුන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා වූ රෙක්ස්, පළමුව බදුල්ල සෙන්ට් බීඩ්ස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව බදුල්ල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. පාසල් සමයේදී ඔහු දක්ෂ ගායකයෙකු ලෙස බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ලබා සිටි අතර, ඔහුට "බදුල්ලේ මොහිදීන් බෙග්" යනුවෙන් අන්වර්ථ නාමයක් ද පටබැඳී තිබිණි. පාසල් අධ්‍යාපනය නිම කළ ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර විසිර යාමේ උත්සවයේදී හාර සියයකට අධික පොලිස් ආධුනික භටයින් අතරින් ඔහු දෙවන ස්ථානය හිමි කර ගත්තේ ය. 1958 වසරේ පොලිස් සේවය ආරම්භ කළ ඔහු එහි සේවය කරද්දී බොක්සිං සහ පිහිනුම් ක්‍රීඩාවල නිරත විය. ඊට අමතරව ඔහු මිලිටරි පොලිසියේ ශාරීරික යෝග්‍යතා උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. වසර 5ක සේවා කාලයකින් පසු පොලිස් සේවයෙන් ඉවත් වූ රෙක්ස් කොඩිප්පිලි, පිළිවෙළින් මරීනා කැෆේ, හොටෙල් ඇට් පෙටා සහ සලාකා යන ආයතනවල කළමනාකාරවරයෙකු ලෙස සේවය කළේ ය. සිනමාවට පිවිසීම ඔහුට සිනමාවට පිවිසීම සඳහා මාර්ගයක් සකස් වූයේ අහම්බයෙනි. සලාකා කළමනාකාරීත්වය දරන සමයේ ඔහු ඔස්වල්ඩ් ජයසිංහ සහ ඩොමී ජයවර්ධන සමග හිතවත්කමක් තිබිණි. 1969 වසරේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කරමින් සිටි චිත්‍රපටයක දර්ශන තලයක් වෙත ඔස්වල්ඩ් සහ ඩොමී මෝටර් රථයකින් ඇරලීමට ගිය අවස්ථාවක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ඔහුට සටන් නළුවෙකු ලෙස රංගනයට ඇරයුම් කළේ ය. ඒ අනුව, කතුරු මුවාත් චිත්‍රපටයේ පික් පොකට්කරුවෙකුගේ චරිතයකට පණ පොවමින් රෙක්ස් කොඩිප්පිලි සිය රංගන දිවිය ආරම්භ කළේ ය. 1972 වසරේදී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ලොකු ම හිනාව චිත්‍රපටයේ ද අවදානම් ජවනිකා කිහිපයකට පෙනී සිටි ඔහු, එහිදී බරපතළ අනතුරකට මුහුණ පා මාස 10ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. ඔහු දුෂ්ට සහ සටන් නළුවෙකු ලෙස සිනමාවේ බොහෝ චිත්‍රපටවලට සම්බන්ධ වුව ද, දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස ද චිත්‍රපට රැසක භූමිකා ඉදිරිපත් කර තිබේ. මුවන් පැලැස්ස චිත්‍රපටයේ කදිරා, සාගරිකා චිත්‍රපටයේ රත්නෙ අයියා, කොටි වලිගය චිත්‍රපටයේ සාජන්ට් සිල්වා යන භූමිකා ඊට නිදසුන් සපයයි. 1982 වසරේදී 'බයිසිකලේ' චිත්‍රපටය තුළින් ඔහු චිත්‍රපට නිෂ්පාදනයට සහ තිර රචනයට ද පිවිසියේ ය. කතුරු මුවාත්, ලොකු ම හිනාව, අපරාධය සහ දඬුවම, දුප්පතාගෙ හිතවතා, මගේ නංගි ශ්‍යාමා, කවුද රජා, නිල්ල සොයා, ආශා දෑසින්, මුවන් පැලැස්ස, මහින්දාගමනය, මහරජ අජාසත්, ගිනි අවි සහ ගිනි කෙළි ඔහු රංගනයෙන් දායක වූ 130කට අධික චිත්‍රපට රාශියෙන් කිහිපයකි. 2019 වසරේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. "දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයෙක්" ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් යනු රෙක්ස් කොඩිප්පිලි සමග චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයක රංගනයේ නිරත වූ රංගන ශිල්පියෙකි. ඔහු රෙක්ස් කොඩිප්පිලි සම්බන්ධයෙන් අදහස් පළ කළේ, මෙසේ ය. "ඔහු බොහෝ අනතුරුවලට ලක්වෙමින් රංගන දිවිය වෙනුවෙන් කැප කිරීම් රැසක් කරපු විශිෂ්ට කලාකරුවෙක්. ඔහු බොහෝවිට දුෂ්ටයෙකු විදිහට සිනමාවේ පෙනී සිටියත් විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙසත් දක්ෂතා දැක්වූවා. මෙතන තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔහු දුෂ්ට චරිතවලට පණ පෙව්වත්, සමාජයේ අකැමැත්තක් පළ වුණේ නෑ. ඔහු බොහෝවිට ගෞරවණීය විදිහට තමන්ගේ සැබෑ ජීවිතයත් ගත කළා. ඔහු සිනමාවේ දැක්වූ ප්‍රතාපවත් බව සැබෑ ජීවිතයේදීත් තිබුණා. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්." |
'මම ලියන හැටි': ශාන්ති දිසානායක | ශාන්ති දිසානායක යනු කිසිසේත්ම සිංහල පාඨකයන්ට හැඳින්වීමක් අවශ්‍ය ලේඛිකාවක් නොවේ. වරාමල්, අග්නි, වංකගිරිය, ගිරිදේවි, ගිරිකුළ, හැන්දෑව, වාළුකා ඇතුළු ජනාදරයට පත් නවකතා විසි අටක් ඇය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව කෙටි කතා සංග්‍රහ, තීරු ලිපි සංග්‍රහ, යොවුන් නවකතා හා ළමා කතා ද ඇතුළත් ඇගේ නිර්මාණ සමස්තය සුවිශාල ය. ඇගේ නවකතා ඇසුරින් ටෙලිනාට්‍යය එකොළහක් සහ චිත්‍රපට දෙකක් මේ වන විට නිර්මාණය වී තිබේ. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මම මුලින්ම ඔබගෙනුත් අහන්නේ ඔබ නවකතාවක පළමු වාක්‍යය ලියන හැටි ගැන. ඒ අත්දැකීම ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද? ශාන්ති: මං ජීවත්වෙන පසුබිම ගැන පැහැදිලි කළොත් මට ඒකට ප්‍රවේශවෙන්න ලේසියි. මං ජීවත් වෙන්නේ වෙනස්ම පරිසරයකනේ. මං ඉන්නේ ගොවි ජනපදයක. මට තියෙන්නේ වෙනස්ම කතන්දරයක්. මං පොඩි කාලෙ ඉදන් ම ලිව්ව. එතකොට තාත්ත තමයි ළඟ හිටියෙ. තාත්ත හරියට අගය කළා මං ලියපු දේවල්. හැබැයි මං විවාහ වුණාට පස්සෙ මං ලියන එක ගැන මට පැකිලීමක් තිබ්බ. මං ඉන්නෙ මිනිස්සු ගිනි අව්වෙ පොළවත් එක්ක හැප්පෙන පරිසරයකනේ. ඉතින් මං කාමරේකට වෙලා ලියන කොට ඒක ටිකක් ඔබින්නේ නැති ගතියක් තියනවා. මට පොඩි වරදකාරී හැඟීමක් තිබුණා. ඒක තේරුම් ගන්න නං වන්නියේ අව්ව තේරුම් ගන්න ඕන. ඒක දරන්න අමාරු අව්වක්. ගොවියෝ දිහා බැලුවම ඒක පේනවා. ඉතින්, මං ලියන බව සැමියා දැනගෙන හිටියත් මං ලියනවා දැක්කොත් මොන වගේ වෙයිද කියල ප්‍රශ්නයක් මට තිබුණා. ඉතින් ඉස්සර එයාගේ අඩි සද්දෙ ඇහෙන කොට මං ලියන කොළ ටික මේස රෙද්ද යටට දානවා. ඒ නිසා ලියන එක රහසිගත දෙයක් වෙලා තිබුණේ. මට එහෙම රහස් තිබුණා. දැන් මං පුංචි කාලේ මුලින්ම අකුරු ඉගෙන ගත්තෙත් රහසිගතව. අපේ ගෙදර හිටිය මාමා කෙනෙක් තාත්තගේ උදව්වට. එතකොට එයා තරුණයි මං පුංචියි. ඉස්කෝලේ යන්නත් කලින්නේ. හැමදේටම වයසක් තියනව කියන අදහස මේ පළාත්වල ටිකක් තදින් තියන නිසා ඉස්කෝලේ යන්න කලින් අකුරු ඉගෙන ගන්න එක අපි කළේ හොරෙන් වගේ. අපේ තාත්තට සිල්ලර කඩයක් තිබුණා. ඒකට එන පත්තර එහෙම ගෙනත් තමයි මාමා මට උගන්නන්නේ. තාත්ත හදපු උක් වගාවක් තිබුණා. ඒකෙ අඹ ගහක් යට වාඩි වෙලා උක් දළු වල සිරිසිරියත් එක්ක තමයි මුලින්ම අකුරු ඉගෙන ගත්තේ. එතකොට මං ටිකක් ලොකු වෙද්දි නවකතා කියෙව්වෙත් හොරෙන්. තාත්ත මට කියවන්න දුන්නට කිරි අම්ම බනිනවා, නවකතා කියවල ඉක්මනට කොල්ලෙක් එක්ක යාළුවෙලා පැනල යයි කියල. ඉතින් මේ වගේ විවාහයෙන් පස්සේ ලියන එකත් සිද්ධ වුණේ රහසිගතව. මගෙ දරුවෝ කාලයක් යනකන් දැනන් හිටියේ නැහැ මං ලියනවා කියල. මොකද හුඟක් වෙලාවට ඒගොල්ලන්ව නිදි කරල තමයි මම ලියන්නෙ. මට හරි තැනක් වෙලාවක් තිබුණේ නැහැ ලියන්න. මොකද මට දරුවො පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩත් එක්ක තමයි මං ලියන්නේ. මං ලියන්න පටන් අරන් අවුරුදු විසි පහකට පස්සේ දැන් තමයි මට මගේ කියල මේසයක් තියෙන්නේ. ඔයා අහපු ප්‍රශ්නෙට දැන් ආවොත් පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන. දැන් මොකක් හරි තේමාවක් මගේ ඔළුවෙ වැඩ කරනවනේ. ඒක සංවර්ධනය වෙන්නේ මං උයන පිහන අතරෙම තමයි. මට උයන එක හරිම චමත්කාරජනක දෙයක්. අපි ඉතින් වත්ත පිටියෙන් හොයා ගන්න දේවල් වලින් තමයි ගොඩක් වෙලාවට උයන්නේ. ගහක තිබුණ ගෙඩියක් ගින්දර, වතුර, තුන පහ, පොල් කිරි, තෙල් එක්ක එකතු වෙලා වෙනස්ම හැඩයක් ගන්න හැටි බලල මං අදත් පුදුම වෙනවා. තාමත් මට ඒ වසඟයෙන් මිදෙන්න බැරිවෙලා තියනවා. ගින්දර කියන්නෙත් ඉතින් ඕනෙනං යමක් විනාශ කරන්නත් පුලුවන් ඕනෙනං යමක් නිර්මාණය කරන්නත් පුළුවන් දෙයක්නේ. ඉතින් මේ දේවල් එක්ක තියන ඉවීමේ චමත්කාරය ඇතුළෙත් මට මගේ නවකතාවල පළමු වාක්‍යය ඇවිත් තියන වෙලාවක්. ඒ වගේම තමයි වැවේ හරි ඇලේ හරි නාන වෙලාව. ඒක වෙනම ජෛව පද්ධතියක්නේ. වැව ඇතුළෙත් ජීවයක් තියෙනවා වැව වටේටත් එහෙමයි. ඒ වෙලාවටත් මට පළමු වාක්‍ය ඔළුවට ඇවිත් තියනවා. පළමු වාක්‍යය විතරක් නෙමේ සමහර නවකතා තවදුරටත් ලියාගෙන යන්න බෑ කියල හිර වෙන වෙලාවට මට මේ වැවේ හරි ඇලේ හරි නාන එක උදව් වෙනවා. තවත් දෙයක් තියනවා කියන්න. මට නිතර හීන පේනවා. ඉස්සර මං පොඩි කාලෙ කිරි අම්මයි මමයි ගෙදරින් එළියට යන කොට ගෙදර කවුරුත් නැත්තං අපි කුස්සියේ බිත්තියේ අඟුරු කෑල්ලකින් ලියල යනවා අපි කොහෙද යන්නෙ කියන එක. මං සමහර වෙලාවට ඒ බිත්තියෙ අඟරු වලින් මගේ කැත අකුරෙන් මම ලියන්න යන නවකතාවෙ පළමු වාක්‍යය ලියවිලා තියනවා හීනෙන් දැකල තියනවා. ඒ විතරක් නෙමේ ලියන්න යන නවකතාවෙ සිදුවීම් එහෙමත් මම හීනෙන් දකිනවා. කොහොමහරි ඉතින් මේ එක එක විදිහට එන පළමු වාක්‍යය වලින් පටන් අරගෙන මං දිගට ලියාගෙන ගිහින් පස්සේ පළවෙනි වාක්‍යය වෙනස් කරන අවස්ථාත් තියනවා. හැබැයි එහෙම වෙනව හරි අඩුයි. කෞශල්‍ය: ඉතාම විචිත්‍ර දේවල් ටිකක් ඔබ කිව්ව. දැන් මේ විදිහට පළමු වාක්‍යය ලියන වෙලාව වෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත්ද? ශාන්ති: මගෙ ඔළුවෙ ලියන්න යන නවකතාව ගැන සැලසුමක් තියනවා. නමුත් කවදාවත් මම මුලින් සැලසුම් කරපු විදිහට නවකතාව ලියවෙන්නේ නැහැ. මම හදපු චරිත වුණාට ඒ අය ටික වෙලාවකට පස්සෙ ඒගොල්ලන්ට ඕන විදිහට හැසිරෙන්න ගන්නවා. ඒ නිසා කලින් ගහන සැලසුම හැම වෙලේම වෙනස් වෙනවා. සමහර වෙලාවට තරහත් යනවා මට මේ චරිත මට ඕන විදිහට පාලනය කරන්න බැරි වෙන කොට. හැබැයි මං ඒකට කැමතියි. මං හිතන්නේ ඒක තමයි නවකතා ලිවීමේ දී වෙන්න ඕන කියල. නවකතාවෙ මූලික අදහස වෙනස් වෙන්නෙ නැහැ. දැන් උදාහරණයකට මගෙ 'වාළුකා' පොත ගත්තොත් ඒකෙ තියන කුල පීඩනය සහ සමාජ පෙරළිය ගැන අදහස වෙනස් වෙන්නේ නැහැ. ඒ හැරෙන්න සිදුවීම්, චරිත වල හැසිරීම් සහ අවසානය ඒ චරිත විසින්ම වෙනස් කරනවා. සමහර වෙලාවට මට මේ චරිත එක්ක ගැටෙන්නත් සිද්ධ වෙනවා. මංම හදපු චරිත මට විරුද්දව යනකොට. ඒක හරියට මේ වගේ. දැන් අපේ ආතා යකැදුරෙක්. ඒ ගොල්ලෝ ඔය පිල්ලි යවනවනේ හතුරො මෙල්ල කරන්න. දැන් ඔය මන්තරයක් පොඩ්ඩක් එහා මෙහා වුණොත් පිල්ලියක් ගුරුන්නාන්සෙව විනාස කරන්න එන්න පුලුවන් කියලයි කියන්නෙ. ඉතින් සමහරවෙලාවට චරිතත් එක්ක ඔට්ටු වෙද්දි මට ආතා මතක් වෙනවා. කෞශල්‍ය: ඒක ලස්සන උපමාවක්. දැන් ඔබ කලින් මුලින්ම කියපු දේවල් දිහාත් බලන කොට පේන්නේ ඔබ ලියන වෙලාව සහ තැන නිරන්තරයෙන් වෙනස් වෙන්න පුලුවන් කියන එක. ලියන විදිහ ගැන ටිකක් කතා කරමුද? ශාන්ති: ඔව් දැන් සමහර වෙලාවට උයන කොටත් ලියනවා. ඒ නිසා සමහර කොළ වල දැලි ගෑවිලා එහෙම තමයි තියෙන්නේ. රෑට දරුවො නිදා ගත්තට පස්සෙත් ලියනවා. සමහර වෙලාවට රෑ මැද්දෙ නින්දෙන් ඇහැරිලත් ලියනවා. ඉඩක් ලැබෙනකොට මං කැමතියි මිදුලෙ වත්ත පැත්තට වෙන්න ඉඳගෙන ලියන්න. සාමාන්‍යයෙන් බිත්ති හතරක් ඇතුළේ ඉද්දි මගෙ හුස්ම හිරවෙනවා වගේ දැනෙන නිසා එලිමහනේ ඉඳං ලියන්නයි මම ආසා. හැබැයි ඉතින් බාධා වීම් නිතරම සිද්ධ වෙනවා. මේක ඉතින් ගමක්නෙ. ගම්වල මිනිස්සු තවත් ගෙදරකට එද්දි කලින් දැනුම් දීල එන්නේ නැහැනේ. ඒ වගේම තමයි ප්‍රශ්න කියාගෙන දුවන් එන මිනිස්සු. ඒත් ඉතින් මං මිනිස්සුත් එක්ක කතා කරන එකට කැමැතියි. මගෙ ඔලුව ඇතුළේ ඉන්න ප්‍රබන්ධ චරිත හැදෙන්න මේ ඇත්තට ඉන්න මිනිස්සුනේ බලපාන්නේ. කොහොමහරි ඉතින් එක දිගට පැයක් ලියන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. මට තියන වාසිය තමයි මට වේගෙන් ලියන්න පුලුවන් වීම. මට වේගෙන් කියවන්නත් පුලුවන්. නවකතාවක් ලියන්න පටන් ගත්තම මට හැම වෙලේම බයක් දැනෙනවා මට මේක ලියල ඉවර කරගන්න පුලුවන් වෙයිද කියල. මම සෑහෙන්න මරණ මංචකයේ ඉන්න මිනිස්සු දැකල තියන කෙනෙක්. මං වුණත් 88/89 කාලේ ජීවිතේ බේරගත්තෙ අනූනමයෙන්. වතාවක් පෙළ පාලියක මගෙ එහා පැත්තෙ හිටිය මගෙ යෙහෙළියක් වෙඩි වැදිල මැරුණ. ඊළඟ උණ්ඩේ එන්න තිබ්බෙ මට. මේවත් එක්ක මට හැමතිස්සෙම නවකතාවක් ලියද්දි මේ බය එනවා, අනේ මං මේක ඉවර කරන්න කලින් මං මැරිල ගියොත් කියලා. අනිත් එක මගෙ හිතේ ලියන්න මහ ගොඩක් දේවල් තියනවා. මං දන්නව මගෙ ජීවිත කාලේ ඇතුළත ඒව ලියල ඉවර කර ගන්න බැහැ කියල. ඒ නිසත් මට වේගෙන් ලියන්න ඕන. ඒවගේම මේ චරිත සිදුවීම් හිත ඇතුළේ තියන් ඉන්න එක හරිම වේදනාකාරී දෙයක්. එක වෙලාවකට පස්සෙ ඒවා හිත ඇතුළේ තෙරපෙන්න ගන්නවා. ඒ නිසා ඒවා කොළේකට ගන්නකං හරිම නොඉවසිල්ලක් තියනවා. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුණාට පස්සෙ දැනෙන්නේ කොහොමද? ශාන්ති: මට මහ පුදුමයක් දැනෙනවා. මං මේක ඉවර කළා නේ කියල. අර ඔන්චිල්ලාව හයියෙන් පදිද්දි යටිබඩට දැනෙනනවා වගේ එකක් දැනෙනවා. තවත් පැත්තකින් විශාල සැහැල්ලුවක් දැනෙනවා. ඒත් මං දන්නවා ඒක තාවකාලික යි කියල. මොකද මං ඊට පස්සෙ මගෙ ඊළඟ පොත පටන් ගන්නවනේ. මට චෝදනාවකුත් තියනවා මං හරි වේගෙන් පොත් ලියනවා කියල. ඒත් මට හරි වේගෙන් ලියන්න දේවල් එනවා. හරි පුංචි දෙයක් ඇති මට නවකතාවක මූලික අදහස එන්න. දැන් මගේ 'සංග්‍රාමය' නවකතාව ගත්තොත්, මට ඒකෙ අදහස ආවෙ එක්තරා වැහි බර දවසක මට ඇහෙනව දරුවෙක් බාප්පේ කියනවා හැඬුම්බර හඬකින්. කොටින්ම මං ඒ දරුවගෙ මූණවත් දැක්කෙ නැහැ. මේක අර අඳුරු අහසක ක්ෂණිකව මතු වෙලා නැතිවෙන අකුණු සැරක් වගේ දෙයක්. කෞශල්‍ය: නවකතාවක සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොන විදිහට ද? ශාන්ති: ලියාගෙන යද්දි වෙනම ආවේශයකින්නේ ලියන්නේ. එතෙන්දි සංස්කරණයක් වෙන්නේ නැහැ. අවසන් වුණාට පස්සෙ මං සතියක් දෙකක් ඒක පැත්තකින් තියල ආයෙ කියවනව වෙන කෙනෙක්ගේ එකක් කියවනව වගේ. එතකොට මට මේකෙ යම් ගැටළු පෙනුනොත් ඒව සකස් කරනවා. සමහර වෙලාවට හොඳ නැහැ කියල හිතල පැත්තකට ම දාපු අවස්ථා තියනවා. ඒ විදිහට ප්‍රකාශයට පත් නොකළ නවකතා කිහිපයක් ම තියනවා. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? ශාන්ති: මං හිතන්නෙ විඳීම තියෙන්නෙ මං මේ චරිතත් එක්ක හදාගන්න බැඳීමත් එක්ක. ඒ වගේම විඳවීමකුත් තියනවා. මට මේක ඉවර කරන්න පුලුවන් වෙයි ද? මං මැරුණොත් එහෙම මේ චරිත වලට මොකද වෙන්නෙ වගේ දේවල් එක්ක. ඒ වගේම පොත අවසන් වුණාට පස්සෙ එන අතෘප්තියක් තියනවා මට ඕනෙ විදිහට මේ පොත ලියවුනා ද කියන ප්‍රශ්නෙත් එක්ක. හැබැයි ඉතින් ලියන කාලය තුළ අකුරක් නෑර ඒක විඳිනවා. ඒත් එක්කම බැඳිල විඳවීම සහ අතෘප්තියත් තියනවා. සිංහල පාඨකයන් අතර සුවිශාල ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියක වන ශාන්ති දිසානයකගේ ලිවීම සමඟ බැඳුණු රහස් ඇගේ නවකතා දෙස නැවත බලන්නට කෙනෙකුට බල කරන්නට ඉඩ ඇත. එසේම දරුවන් පස් දෙනෙකු ද සමඟ කුටුම්බය තුළ ඔට්ටුවෙමින් ගොවි ජනපදයක ජීවත් වෙමින් නවකතා විසි අටක් වසර විසි පහක් තුළ පළ කරන්නට හැකිවීම නවකතාකරණයට ප්‍රවේශ වන්නට ආසා කරන්නියකට අසීමිත ධෛර්යයක් සපයනු ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ අපට කිසිසේත් මඟහැර යා නොහැකි චන්ද්‍රරත්න බන්ඩාර නවකතාකරුවා යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
'සැපවත් ජීවිත' සොයා යන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ යථාර්ථය | 'සංක්‍රමණය' යන්න ශ්‍රී ලාංකිකයින්ට මේ වන විට ආගන්තුක වචනයක් නොවේ. දේශපාලනික තත්ත්වයන් සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයින් පෙර නොවූ විරූ ආකාරයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වෙමින් සිටින බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන ඇති පරිදි සංක්‍රමණය වීමට බලපාන ප්‍රධාන හේතු සාධක කිහිපයක් වේ. ඇතැමුන් වඩා යහපත් රැකියා සහ ආර්ථික අවස්ථා සඳහා විදෙස් රටවලට සංක්‍රමණය වන අතර, ඇතැමෙක් පවුලේ සාමාජිකයින් සමග එකතු වීම හෝ අධ්‍යාපනය ලැබීමේ අරමුණින් සංක්‍රමණය වෙති. ගැටුම්, පීඩා, මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝණය වීම් මෙන් ම, දේශගුණ විපර්යාස, ජලගැලීම් ඇතුළු හේතු මත ද සංක්‍රමණය වීම් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි 2020 වසරේ ජුලි මස පළමුවන දා වන විට ලෝකය පුරා පුද්ගලයින් මිලියන 281ක් විදෙස් රටවලට සංක්‍රමණය වී තිබේ. එය ලෝකයේ සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 3.5%කි. මේ අතර, දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන තුනක් පමණ විදේශ රටවල වෙසෙන බව සැලකේ. ශ්‍රී ලාංකිකයින් වැඩි ම පිරිසක් වෙසෙන රටවල් පහ ලෙස වාර්තා වන්නේ, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යි. 'Not So Greener Pastures' ඉහත දැක්වූ සංක්‍රමණ සම්බන්ධ තොරතුරු ගෙන හැර පෑමට හේතු වූයේ, ආචාර්ය උදාන් ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද ඔහුගේ අටවැනි වාර්තා චිත්‍රපටය වන 'Not So Greener Pastures'හි අන්තර්ගතය ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සිව් දෙනෙකු වටා ගොඩනැගී ඇති හෙයිනි. මෑතක දී නිර්මාණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටයෙහි අන්තර්ගත වන්නේ, ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු අහඹු ලෙස ටිමෝර් ලෙස්ටි නමැති සංවර්ධිත නොවූ රටකට ගොස් දුක් ගැහැට විඳිමින් ජීවත් වීමට දරන උත්සාහය යි. "මේ මාතෘකාව තෝරා ගන්න මට බලපෑව හේතුව තමයි, ලංකාවේ පුද්ගලයන්ගෙන් 10%ක් විතර ඉන්නේ විදෙස් රටවල පදිංචි වෙලා. තවත් 10%ක් විතර වෙනත් රටවලට ගිහින් වැඩ කරනවා. ඇත්තට ම ලංකාවෙන් ලොකු පිරිසක් ඉන්නේ පිටරටවල. ලංකාවේ ශ්‍රම බලකායෙන් ලොකු ප්‍රතිශතයක් පිටරටවල තමයි සේවය කරන්නේ. මේ කාරණා නිසා තමයි මට සංක්‍රමණිකයින් ගැන චිත්‍රපටයක් කරන්න හිතුණේ," ආචාර්ය උදාන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ පිරිස අතරින් කුසලතා හෝ අධිකුසලතා පදනම මත විදෙස් රටවලට යන අයට කිසි පීඩාවක් වෙන්නෙ නෑ. ඒත් ජීවිතය පරදුවට තියලා බෝට්ටුවලින් විදෙස් රටවලට සංක්‍රමණය වෙන්න උත්සහ කරන අය ලොකු පීඩාවන්ට මුහුණ දෙනවා. මට ඒ වගේ ගොඩක් අය මුණ ගැහිලා තියෙනවා. හැබැයි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙලා ගොඩ එන මිනිස්සුත් ඉන්නවා." ‘වෙනස් කතාවක් ඇති ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක්’ ආචාර්ය උදාන් ප්‍රනාන්දු 'නොට් සෝ ග්‍රීනර් පැස්චර්ස්' නමැති වාර්තා චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේ සංවර්ධිත රටවලට සංක්‍රමණය වීම වෙනුවට, ඇතැම් විට ශ්‍රී ලංකාවටත් වඩා නොදියුණු රටකට සංක්‍රමණය වූ සිව් දෙනෙකි. "ටිමොර් ලෙස්ටි කියන්නේ දියුණු හෝ ප්‍රසිද්ධ රටක් නෙවෙයි. මේක සරුසාර රටක් නෙවෙයි. ශ්‍රී ලංකාවටත් වඩා දුප්පත් රටක්. මේ සිව් දෙනා අවුරුදු විස්සක් පුරා එහේ ජීවත්වුණු ආකාරය තමයි චිත්‍රපටයේ ඇතුළත් වෙන්නේ," ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය. දෙමළ ජාතික කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකු, තොරතුරු තාක්ෂණ / පරිගණක වෘත්තිකයෙකු, ආගමික පසුබිමක නිරත වූ පුද්ගලයෙකු සහ රථවාහන කාර්මිකයෙකු ටිමොර් ලෙස්ටි වෙත පැමිණ ලැබූ අත්දැකීම් මෙයින් දිගහැරෙයි. ඔවුහු ශ්‍රී ලංකාවේ උතුර (මනිපායි), දකුණ (හම්බන්තොට), වයඹ (මඩහපොළ) සහ බස්නාහිර (ගම්පහ) යන සිව් දිගින් පැමිණි පුද්ගලයෝ වෙති. ලසන්ත නමැති මෝටර් රථ කාර්මිකයා, ඔහු ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි ටිමෝරයට යන විට විදුලි බලය, ජල සැපයුම වැනි මූලික අවශ්‍යතා ද නොතිබුණු බව පවසයි. මේ සිව් දෙනාගෙන් තිදෙනෙක් මේ වන විට එරට කාන්තාවන් සමග විවාහ වී දරුවන් ද ලබා සිටිති. චිත්‍රපටයේ අරමුණ කුමක් ද? "මම මේ චිත්‍රපටය හරහා යම් පණිවුඩයක් දෙන්න උත්සහ කළා. සුන්දර අනාගතයක සිහින මවාගෙන ක්‍රමානුකූල නොවන ආකාරයට විදෙස්ගතවීමෙන් ලැබීමට සිදුවන දුක් ගැහැට පැහැදිලි කිරීම එක් අරමුණක්. හැබැයි ඒක තීරණය කරන්න ඕන ප්‍රේක්ෂකයෝ තමයි," ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය. චිත්‍රපටය නැරඹිය හැක්කේ කෙසේ ද? මෙම චිත්‍රපටය මෙතෙක් ජනතාවට නැරඹීමට අවස්ථාවක් සලසා නැත. ආචාර්ය උදාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මේ වන විට අනුරාධපුරය, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පමණක් මෙය ප්‍රදර්ශනය කළ බව ය. "අපි මේක අනුරාධපුර, පුත්තලම වගේ පැතිවල විශේෂයෙන් ප්‍රදර්ශනය කළේ විශේෂ හේතුවක් ඇතුව යි. දැනට විදෙස්ගත වන විශාල පිරිසක් එන්නේ ඒ ප්‍රදේශවලින්. ඒ නිසා ඒ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සංක්‍රමණය කියන දේ ඇති බරපතලකම පෙන්වන්න තමයි ඒ ප්‍රදේශ තෝර ගත්තේ." ඉදිරියේදී මෙම චිත්‍රපටය මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට පියවර ගන්නා බව ද ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය. ආචාර්ය උදාන් ප්‍රනාන්දු යනු කවුද? ආචාර්ය උදාන් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව යන විෂය යටතේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගෙන තිබේ. සීපා හෙවත් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ඇතුළු වගකීම් රැසකට උර දුන් ඔහු මේ වන විට ආසියානු අධ්‍යයන සංගමයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරයි. ඔහු ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව පදනම් කරගෙන සේවය කරන අතර, මෙම චිත්‍රපටයට පාදක වූ ටිමෝරය ඇතුළු ආසියානු රටවල සංවර්ධනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නෙකි. |
ලෝක ප්‍රකට Emmy සම්මානයක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා ජේසන් රාජසිංහ | ලෝක රූපවාහිනී ක්ෂේත්‍රයේ දැවැන්ත ම සම්මාන උළෙලක් ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ එමී සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ පසුගිය දා සමත්විය. ඒ, ඔහු ඩිස්කවර් මීඩියාවර්ක්ස් සමාගම වෙනුවෙන් නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති කතාංගය වෙනුවෙනි. ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ, ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී ය. Outstanding Achievement for Lifestyle අංශයෙන් ඔහුට මෙම සම්මානය හිමිවිය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත "මේ සම්මානය හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට යම් උත්තේජනයක් ලැබේවි කියා මම හිතනවා. ශ්‍රී ලංකාව තුළ සිනමා කර්මාන්තයක් ස්ථාපනය කරන්න අපේ ජනතාව තුළ ඇති හැකියාව ගැන මෙමඟින් පණිවුඩයක් ලැබේවි. මේ වැඩේ සාර්ථක කර ගන්න ඇමෙරිකාවේ දී මට මෙවැනි කණ්ඩායමක් ලැබීම ඇත්තට ම ආශිර්වාදයක්. මම මගේ කැමැත්ත වැඩදායක දෙයක් කරන්න උත්සහ කළා," සම්මානය ලැබීම ගැන සතුට පළ කරමින් ජේසන් රාජසිංහ පැවසීය. 2011 වසරේ දී ආරම්භ කළ IFILMSRILANKA නමින් යුත් ඔහුගේ සමාගම හරහා ඔහු ශ්‍රී ලංකාවට ආවේණික සිනමා කලාවක් වර්ධනය කිරීමේ උත්සහයක නිරතව සිටියි. ඊට අමතරව, ඔහු RAD PRODUCTIONS USA නමින් ඇමෙරිකාවේ දී තවත් සිනමා සමාගමක් ස්ථාපනය කර තිබේ. එම සමාගම හරහා ඔහු ORIGIN නමැති වැඩසටහනක් නිෂ්පාදනය කරමින් සිටින අතර, එය විවිධ රටවල ආහාරවල සම්භවය සහ ඉතිහාසය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණාත්මක වැඩසටහනකි. එහි එක් වැඩසටහනක් 2024 වසරේදී ශ්‍රී ලංකාවේ දී රූගත කිරීමට සැලසුම් කර තිබේ. කවුද මේ ජේසන්? 2010 වසරේ දී රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසි ජේසන් රාජසිංහ, පළමුවෙන් ම PRIME TV ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වෘත්තිය ආරම්භ කළේ ය. ඔහු, 2010 වසරේ සිට 2012 වසර දක්වා Creative House ආයතනයේ සේවය කළ අතර, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපට නිර්මාණවලට දායක වී තිබේ. 2011 වසරේ දී ඔහු CSN (Carlton Sports Network) රූපවාහිනී සේවයේ රැකියාව කළ අතර, රථවාහන සම්බන්ධ වැඩසටහන් මාලාවක් වූ MoTORQUEහි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය. 2017 වසරේ දී ඔහු හෝප් රාජසිංහ සමග විවාහවිය. |
'ගජමෑන්' ඇතුළු ජීවමාන කාටූන් චරිත රැසක් ඉතිරි කර නිහඬව ම නික්ම ගිය කැමිලස් පෙරේරා | පුවත්පත් ක්ෂේත්‍රයේ පමණක් නොව කලා ක්ෂේත්‍රයේ ද තවත් දැවැන්තයෙකුගේ නිමාව දෙසැම්බර් 17 වන දා සනිටුහන් විය. කාටූන් සහ චිත්‍ර කතා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන් ම විශිෂ්ටයෙකු ද වූ කැමිලස් පෙරේරා එලෙස දැයෙන් සමුගත්තේ ය. ඔහු, ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය කාටුන් චරිත වූ ගජමෑන්, මගෝඩිස් තුමා, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස් ඇතුළු කාටුන් චරිත රැසක් ජනතාව අතර ජීවමාන කළ ප්‍රවීණ කාටුන් ශිල්පියෙකි. 1939 වසරේ දෙසැම්බර් පළමුවන දා මීගමුවේ දී උපත ලැබූ කැමිලස් පෙරේරා, අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය. වෛද්‍ය උපදෙස් මත, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (දෙසැ:17) පස්වරුවේ ම සිදු කළ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය. කැමිලස් පෙරේරා ඔහුගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ, මීගමුව සාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙනි. ඉන්පසු ඔහු මාරිස්ටෙලා විද්‍යාලයයෙන් සහ සාන්ත මරියා විද්‍යාලයයෙන් ද සිප් සතර හැදෑරීය. කැමිලස් පෙරේරා චිත්‍ර කලාවෙහි දක්ෂයෙකු බව ඔප්පු කළේ, කුඩා අවධියේදී ම ය. ඊට අමතරව ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ අතර මීගමුවේ ජුපිටර් පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෙකු විය. විශිෂ්ට කාටූන් ශිල්පියෙකුගේ ගමන්මඟ කැමිලස් පෙරේරාගේ කාටූන් නිර්මාණයක් මුලින් ම පුවත්පතක පළ වී ඇත්තේ 1964 වසරේ දී ය. ඒ, ලේක්හවුස් ආයතනයෙහි 'සරසවිය' පුවත්පතේ ය. 1965 වසරේ සිට 'දවස' පුවත්පත වෙනුවෙන් දිනපතා කාටූනයක් නිර්මාණය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. ඒ සඳහා ඔහු නිර්මාණය කළ කාටූන් චරිතය වූයේ 'තෙපානිස්' චරිතය යි. 1966 වසරේ සිට ඔහු දිනපතා නිකුත් කෙරෙන 'ජනතා' පුවත්පත සඳහා ‘දොන් සේතන්’ නමින් කාටූන් චරිතයක් නිර්මාණය කළේ ය. දොන් සේතන් චරිතය සමග සේතංගේ බිරිය සිමෝනා, දියණිය මෙරායා සහ බාල දරුවා ලපයා, දියණියගේ පෙම්වතා ගොඩ්ඩින් අයියා ආදී එවකට අතිශය ජනප්‍රිය වූ චරිත රැසක් ඔහු බිහි කළේ ය. ඔහු ලේක්හවුස් ආයතනය පළ කළ මිහිර පුවත්පතට ‘ටික්කා‘ නමින් කාටූනයක් ද එහි ම ක්‍රීඩා පුවත්පතට 'සෙල්ලං සේන' චරිතය ද නිර්මාණය කළේ ය. ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත ලෙස සැලකෙන 'සතුට' පුවත්පත වෙනුවෙන් ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය ම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය කරන ලද්දේ 1972 වසරේ දී ය. එහි අතිශය ජනප්‍රියත්වය නිසා ම ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වෙනුවෙන් ද යොදා ගන්නා ලද්දේ ගජමෑන් චරිතය යි. එම චිත්‍රපටයෙහි කැමිලස් නිර්මාණය කළ චරිත රැසක් ඇතුළත් විය. පසුකලෙක ඔහු 'සතුට' පුවත්පතින් ඉවත්ව මල්ටිපැක්ස් ආයතනය නිකුත් කළ 'සිත්තර' පුවත්පත හා සම්බන්ධ වූ අතර එම පුවත්පත එවකට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණි. 1982 වසරේදී මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත්වූ කැමිලස් ඔහුගේ ම ආයතනයක් පිහිටුවා, 'කැමිලස්ගේ ගජමෑන් සමග සත්සිරි' නමින් පුවත්පතක් එළිදැක්වීය. එය අතිශයින් ජනප්‍රිය වී අලෙවි වාර්තා බිඳ දැමීමට සමත් වූ අතර, ඔහුගේ ව්‍යාපාරික දැනුම ද ඉන් දිස්විය. 2002 වසරේ දී 'ගජමෑන්' චරිතයෙහි 30 වන උපන් දිනය සැමරූ අතර ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වීය. ‘චිත්‍ර කතා සහ කාටූන් ශිල්පීන් සිය ගණනකට අතහිත දුන්නා’ කැමිලස් පෙරේරා දශක ගණනාවක් පුරා ඔහුගේ අනන්‍යතාව රැක ගනිමින්, කාටූන් සහ චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස පෞරුෂයක් ගොඩනගා ගත් නිර්මාණකරුවෙකි. ඔහුගේ අනුග්‍රහය මත මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන බීබීසී සිංහල සේවයට මෙසේ පැවසීය: "මටත් ඒ කාලේ ආභාසයක් තිබුණා අපේ ඉස්කෝලෙ චිත්‍ර ටීචර් හිටියේ, හෙන්රි තෙන්නකෝන්. අර 'සමාජ සමයං' කාටූන් එක ඇන්ද කෙනා. ඒ නිසා මමත් කාටූන් ඇන්දා. ඇන්ටන් බී. පෙරේරා කියන චිත්‍ර ශිල්පියා තමයි මාව මුලින් ම කැමිලස් පෙරේරා ගාවට එක්කගෙන ගියේ. ඒ කාලේ එයා මල්ටිපැක්ස් සමාගමෙන් මුද්‍රණය කරපු සිත්තර පත්තරේ තමයි වැඩ කළේ." පසුකලෙක ජනප්‍රියත්වයට පත්වූ චිත්‍ර ශිල්පීන් රැසකට මඟ විවර කර දුන්නේ, කැමිලස් පෙරේරා බව ද රන්ජන් පරණවිතාන පැවසීය. "එයා චිත්‍ර කතා ශිල්පීන් සිය ගණනකට අතහිත දුන්නා. පසු කාලවල ගොඩක් ජනප්‍රිය වුණ චිත්‍ර ශිල්පීන් ගොඩක් අය ගෙනාවේ කැමිලස් තමයි. ජනක රත්නායක, බන්දුල හරිශ්චන්ද්‍ර, බලංගොඩ සරත් මධූ වගේ ගොඩක් අය ඒ අතර ඉන්නවා. කැමිලස් පෙරේරා චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි, ඔහුට තිබුණා වර්ණ ගැලපීමේ පුදුමාකාර දක්ෂතාවක්. බොහෝ විට ඔහුගේ අතින් තමයි ඔහු යටතේ මුද්‍රණය වුණු පුවත්පත්වල මුල් පිටුව නිර්මාණය වුණේ. ඔහු චිත්‍ර කතා සහ කාටූන් ක්ෂේත්‍රයට කරපු මෙහෙවර කියලා නිම කරන්න බැරි තරම්." මේ අතර, පුවත්පත් කාටූන් කලාවට කැමිලස් පෙරේරා කළ සේවය අමතක නොකළ යුතු බව මව්බිම පුවත්පතේ සේවය කරන ප්‍රවීණ කාටූන් ශිල්පී එම්. ඩී. වීරරත්න පවසයි. "ඔහු කාටූන් ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෙක් කියලා කියන්න පුළුවන්. ඔහු පුවත්පත් කාටූන් ශිල්පීන්ට යම් ගෞරවයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයෙක්. ඔහුගේ අඩි පාරේ ගිහින් විශිෂ්ටයින් බවට පත්වුණ ගොඩක් අය ක්ෂේත්‍රයේ ඉන්නවා. ඇත්තට ම ඔහුගේ අභාවය ගැන ඇසුවා ම මට ඇති වුණේ කම්පාවක්." ‘මම කැමති මගේ මුල් ගජමෑන්ට’ කැමිලස් පෙරේරා සමීපව ඇසුරු කළ රන්ජන් පරණවිතාන 'ගජමෑන්' චිත්‍රපටය සම්බන්ධයෙන් කැමිලස් කී අදහසක් ද අප සමග පැවසීය. "ඔහු ජීවතුන් අතර ඉන්න කාලෙදි ම චිත්‍රපටය තිරගත කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටු වුණා. හැබැයි චිත්‍රපටය බලලා මට කිව්වා, මම කැමති මගේ මුල් ගජමෑන්ට කියලා. ත්‍රිමාණ සජීවීකරණයෙන් නිර්මාණය කළ ගජමෑන්ට වඩා ඔහු ආදරය කළා තමන්ගේ තෙලිතුඩෙන් ඇන්ද ගජමෑන්ට." |
'මම ලියන හැටි' : කීර්ති වැලිසරගේ | කීර්ති වැලිසරගේ යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ මඟහැරයා නොහැකි නවකතාකරුවෙකි. 1999 වසරේ පළවන 'දුර්යෝගය' නවකතාවෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය උණු දූවිලි, මායා තීර්ථ, දැදුරු ගිරිකුළු, කාල සර්ප, ගරුඬ මුහුර්තය, දෛව, සන්ධ්‍යානන්දය, උත්පත්ති යන විශිෂ්ට නවකතා සිංහල සාහිත්‍යයට දායක කර ඇත. නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුනෙමි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාද මාලාවේ සුපුරුදු සමාරම්භක ප්‍රශ්නයම මං ඔබෙනුත් අහන්නම්. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? කීර්තිඃ මම නවකතාවක් ලියන්න තීරණය කරන්නේ වස්තු බීජය සැලකිය යුතු කාලයක් හිතේ තැන්පත් වෙලා තිබුණට පස්සේ. ඒක සමහර වෙලාවට අවුරුදු ගණනක් හිතේ තිබිච්ච අදහසක් වෙන්න පුළුවන්. එතකොට මේසෙක වාඩි වෙලා කොළ ටිකක් ලං කරගෙන ලියනවයි කියන එකට කලින් පෙර වැඩ විශාල සංඛ්‍යාවක් මගෙ අතින් සිද්ද වෙනවා. ඇත්ත වශයෙන්ම නවකතාව ලිවීම ආරම්භ වෙනවා කියන්නේ ඒ වැඩ ආරම්භ වීමයි කියල තමයි මට දැනෙන්නේ. බොහෝ වෙලාවට මගෙ නවකතාවල නිශ්චිත සමාජ දේශපාලන ආර්ථික පසුබිමක් එක්ක තමයි මගෙ නවකතා ලියවෙන්නේ. අපි ජීවත් වෙන තත්කාලීන සමාජය වෙන්නත් පුලුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඓතිහාසිකව මේ පරිසරය හා එවක පැවති දේශපාලනයත් අදාළ වෙනව. එවැනි ආකාරයක භෞතික සමාජ දේශාපාලන පසුබිමක් නැතුව මගේ පැත්තෙන් ගත්තොත් නවකතාවකට අවශ්‍ය ප්‍රවේශය ගන්න බැරි වෙනවා. ඒ වගේම චරිත, අවස්ථා, සිද්ධි, ඒ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය එකම නවකතාවේ වර්තමානයත් අතීතයත් යන ආකාර දෙකටම ගමන් කරන්න පුළුවන්. මේක මගෙ නවකතා දිහා බැලුවම පේන්න තියනවා. ඒ නිසා ලිවීමට කලින් මට විශාල පෙර වැඩ ප්‍රමාණයක් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තං අවශ්‍ය පරිදි මට නිරූපණ ක්ෂේත්‍රය ගොඩනගන්න බැරි වෙනවා. මම මේ පෙර වැඩ වල ස්වභාවය ඉදිරි ප්‍රශ්න එක්ක කතා කරන්නම්. ඉතින් මේ පළමු වාක්‍යය ලිවීමට මම මුහුණ දෙන්නේ මේ විශාල කාලයක් ගත වෙන පූර්ව සූදානමෙන් පසුවයි. මම මොනතරම් කාලයක් මම ලියන්න යන මගේ චරිතත් එක්ක ගත කර තිබුණත් ඒ සිදුවීම් පසුබිම ගැන දැන සිටියත් මේ පළමු වාක්‍ය ලිවීම කියන්නේ අතිශය අසීරු දෙයක්. මම කරන්නේ මේ පෙර සූදානමෙන් පසු ඒ වාක්‍යය එනතුරු බලා ඉන්න එක. ඒක කොයි වෙලේ එනවද දන්නෙ නැහැ. යම් වෙලාවක මේ ඔක්කොම සමෝධානය වෙලා ඒ වාක්‍යය එනවා, ඒක උදේද දවාලෙද රෑද දන්නේ නැහැ. නිශ්චිත තැනකුත් නැහැ. සමහර විට මං වෙන වැඩක් කරමින් ඉන්න වෙලාවක වෙන්නත් පුලුවන්. එතකොට මං කරන්නේ අතට අහුවෙන කොළයක් අරගෙන නවකතාව ලියන්න පටන් ගන්න එක. කෞශල්‍ය: ඔබ කියන ආකාරයට පළමු වාක්‍යය ලියන මොහොත වෙන විට ඔබ ලියන්න යන නවකතාව ගැන ඉතා හොඳින් දන්නවා. අපි ටිකක් කතා කරමුද මේ දැනුවත් භාවය ඔබ ලබා ගන්නා ආකාරය ගැන. කීර්තිඃ ඔව් ඇත්තටම මේ ක්‍රියාවලිය අවුරුදු කීපයක් ගත වෙන එකක්. මුලින්ම නවකතාව ගැන මූලික අදහස එනවා. ඒකත් එක්ක මගෙ හිතේ යම් චරිත සිදුවීම් සමුදායක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම කරන්නෙ මේ චරිත පිහිටන පරිසරය සහ සමාජ ආර්ථික දේශපාලන ඓතිහාසික පසුබිම අධ්‍යයනය කරන්න පටන් ගන්න එක. මේ අධ්‍යයනය තුළ තමයි කිසියම් විදිහකට චරිත පූර්ණත්වයට පත් වෙන්නේ. ඒ වගේම අවශේෂ චරිත බිහිවෙන්නෙත්. ඉතින් මේ චරිත පිහිටන භූගෝලීය පරිසරය මට හුරුපුරුදු එකක් නෙමේ නම් එහෙමත් නැත්තම් මං කෙටි කාලයකට පමණක් දන්නා එකක් නම් මං මුලින්ම කරන්නෙ මේ ප්‍රදේශ කරා ගමන් කරන එක. එහෙම ගිහින් ඒ පැත්තෙ මිනිස්සු යම් විදිහකට ඇසුරු කරන එක. මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන මගෙ නවකතා වල නිතරම ඓතිහාසික කාලයන් දෙකක් හෝ කිහිපයක් තුළ කතාව ගමන් කරනවා. උදාහරණයකට මගේ 'මායා තීර්ථ' නවකතාව ගත්තොත් ඒකට 19 වන සියවසේ අගභාගයත් 20 වෙනි සියවසේ මැද භාගයත් කියන දෙකම ඇතුලත් වෙනවා. එතකොට මේ වගේ නවකතාවක් වෙනුවෙන් මගේ අධ්‍යයනය කරද්දි එක පැත්තකින් මං උත්සාහ කරනවා මේ කාලය තුළ ජීවත් වෙච්ච පරපුර දැන් ජීවතුන් අතර නැත්තම් ඔවුන්ගෙන් ඒ අත්දැකීම් අසා දැනගත් ඊලඟ පරපුර ඇසුරු කරමින් මේ කාලය ගැන තොරතුරු සටහන් කර ගන්න. ඒ වගේම 1890 ගණන් නිර්මාණය කිරීමට මට පුරාකතා, පුරාණෝක්ති වැනි දේත් ජාතික ලේඛනාගාරය වැනි තැන් වල තියෙන විවිධ ලේඛනත් අතිශය වැදගත් වෙනවා. මම හැමවිටම කරන දෙයක් තමයි මේ යුගයන් ගැන සාමාන්‍ය මිනිසුන්ගේ කතා වල එන සිදුවීම් සහ කාලයන් මේ ලේඛනාගාරයේ තියෙන ලේඛන සමග සන්සන්දනය කර නිරවද්‍යතාව පරීක්ෂා කරන එක. මේ විදිහට සෑහෙන කාලයක් මම සටහන් තබා ගනිමින් මේ හැදෑරීම කරනවා. යම් වෙලාවකට පස්සේ මම කරන මට පුරුදු වුණු තවත් දෙයක් තියනවා. මේක මට ආවේනික දෙයක්ද නැත්තං තවත් ලේඛකයන් කරන දෙයක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. මම මේ එකතු කර ගත්ත සටහන් ඇසුරෙන් ස්කෙච් එකක් ගහනවා. මේකට මට බ්‍රිසල් බෝඩ් එකක් තරම් ලොකු එකක් ඕන. නවකතාවට පසුබිම් වන සමස්තය මම මේ බ්‍රිසල් බෝඩ් එකට ගන්න උත්සාහ කරනවා. එක පැත්තකින් ඒක සිතියමක්. භෞතික පරිසරය සිතියමක් හැටියට අර බ්‍රිසල් බෝඩ් එකට අරගන්නවා. ඒ වගේ බ්‍රිසල් බෝඩ් රෝල් ගණනාවක් ගෙදර තියනවා එක් එක් නවකතාවට ගහපු. දැන් මේකේ තියනවා ඒ ප්‍රදේශයට ආවේණික ශාක, සත්තු වගේ දේවල්. සමහර කලින් තිබුණු ශාක හෝ හිටිය කියල කියන සතුන් දැන් නැත්තං මං මිනිසුන්ගේ විස්තර කිරීම් ඇසුරෙන් මෙතන ඒවා නිර්මාණය කරනවා. එතකොට මේ ස්කෙච් එකේ පැත්තක් වෙන් වෙනවා පාරවල් වල පිහිටුම, ගඟ ගලන්නේ කොතනින්ද, අදාළ චරිත වල ගෙවල් පිහිටල තියෙන්නෙ කොතනද වගේ දේවල් සිතියම් ගත කරන්න. මෙතෙක් කාලයක් මං සටහන් ගත්තු නොට් පොත් ටිකත් ලං කර ගෙන තමයි මං මේක ස්කෙච් එක ගහන්නේ . ඊට පස්සෙ මං ලියන තැන මේ ස්කෙච් එක තියා ගන්නවා. මට ඒක අවශ්‍යමයි. තවත් දෙයක් කියන්න ඕන, මම මේ ස්කෙච් එකේ එක කොටසක් හිස්ව තියා ගන්නවා. ඒක පිරවෙන්නෙ නවකතාව ලියන අතරෙයි. ඒක චරිත පිළිබඳ රුක් සටහනක් සහ කාලානුක්‍රමණය දැක්වෙන සටහනක්. ඒ කියන්නේ ඒ චරිත මොන වකවානුවක ද ජීවත් වෙන්නෙ කියන එක. සමහර නවකතා වල කාලානුක්‍රමණය ගොඩක් දීර්ඝයිනේ. අවුරුදු 150 ක් විතර යන වෙලාවල් තියනවා. ඒ වගේ අවස්ථාවල මේ රුක් සටහනේ අපිට පේනවා කොහොමද ප්‍රධාන චරිත, අතුරු චරිත සහ අලුතෙන් එකතු වෙන චරිත මේ කාලය ඔස්සේ පැතිරෙන්නේ කියල. ඇත්තටම නවකතාවකට චරිත පනහක් සීයක් එනකොට තමයි ඔය වගේ දෙයක වැදගත් කම හොඳටම පේන්න ගන්නේ. ඒ වගේ වෙලාවට නවකතාව ලියන කෙනාට මේ වගේ රුක් සටහනක්, ධාරා සටහනක් හරිම පහසුවක් වෙනවා. කෞශල්‍ය: ඇත්තටම මේක හරිම වැදගත් දෙයක්. විශාල අධ්‍යයනයක් ඇතුලේ එකතු කර ගත්ත සටහන් මේ තනි ස්කෙච් එකක් ඇතුලට ගන්න එකත් ඇත්තටම සුවිශේෂ විධික්‍රමයක්. දැන් මේ විදිහට නවකතාව ගැන පැහැදිලි අවබෝධයකින් ඔබ ලියන්න වාඩි වුනාට පස්සෙ ඔබ මේ සැලසුම් කරපු ආකාරයටම ඔබේ චරිත හැසිරෙනවද? කීර්ති: හැමවිටම එහෙම වෙන්නෙ නැහැ. චරිත වල සංකීර්ණතාවයත් එක්ක ඒ අය මං කලින් අපේක්ෂා නොකළ දිශාවන්ට ගමන් කරන අවස්ථා තියනවා. මං කලින් නොහිතපු සම්බන්ධතාවයන් ඇති කර ගන්නා වෙලාවල් තියනවා. උදාහරණයකට දැන් මගෙ 'ගරුඬ මුහුර්තය' නවකතාවෙ සරනා කියන චරිතය ගත්තොත් එයාගේ බිරිඳ කුසුඹි මම කලින් සැලසුම් කරපු ආකාරයටම ඉදිරියට ගියා. නමුත් කුසුඹිගේ නංගි කපුරු සහ සරනා අතර ඇති වෙන සම්බන්ධය නවකතාව ලියාගෙන යද්දි ඇති වුන එකක්. මනුෂ්‍ය ස්වභාවයත් එක්ක එන ඒ ඉල්ලීමට ඉඩ නොදී ඉන්න විදිහක් නෑ ඒ වෙලාවට. චරිත වල සම්බන්ධතා සංකීර්ණ වෙන ආකාරය අනුව චරිත වල හැසිරීමට මම ඉඩ දෙනවා නමුත් හැම වෙලාවකම කතාවේ තේමාත්මක ගැඹුරට හානියක් වෙන දේවල් වලින් වැලකී සිටීමට වගබලා ගන්නවා. කෞශල්‍යඃ ඔබ ලියන හැටි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඔබේ නවකතා වල උදාහරණත් එක්කම මේ ලියන කාලයේ අත්දැකීම් දැන ගන්න අපි කැමතියි. කීර්තිඃ ඇත්තටම මං අර කලින් කියපු ඔක්කොම වැඩ අවසන් වෙන්න සමහර වෙලාවට අවුරුදු පහක් විතර ගත වෙන්නත් පුලුවන්. හැබැයි ඊට පස්සේ ලියන්න පටන් ගත්තම දීර්ඝ කාලයක් ගත වෙන්නෙ නැහැ. දැන් මගේ 'ගරුඬ මුහුර්තය' වගේ නවකතාවක් ගත්තොත් මම ඒක ලිවීම සඳහා ගත වුණ කාලය මාස අටක් වගේ. මම දිනකට මෙච්චර කාලයක් ලියනවා වගේ එකක් මට නැහැ. නමුත් මම ලියන්න ගත්තම පැය හත අටක් වුණත් එක දිගට ලියන්න පුලුවන් ආහාර ගැනීම පවා ප්‍රමාද කරමින්. එහෙම ලිව්වට පස්සෙ මම දවසක් හමාරක් විවේකයක් ගන්නවා නැවත ලිවීමට පෙලඹවීම එනතුරු. සාමාන්‍යයෙන් නවකතාව ඉදිරියට යන්න යන්න මේ පෙළඹවීම වැඩි වෙන්න ගන්නවා. මං සාමාන්‍යයෙන් ලියන තැන් තුනක් තියනවා. එකක් මගෙ නිදන කාමරයේ තියන මේසය, අනික සාලෙ කෑම මේසය, ඒ වගේම මගෙ පුස්තකාල කාමරයේ මේසය. මේ කොතන ලිව්වත් මට අවශ්‍යම දේ තමයි කොන්ද කෙලින් තියන පුටුවක්. මං ලියන්නෙ බෝල් පොයින්ට් පෑනෙන් හාෆ් ෂීට් කොළ වල. ලිවීමේ අත්දැකීම ගැන හිතද්දි මට මතක් වෙන එකක් තමයි මගෙ 'මායා තීර්ථ' නවකතාව. ඒකට වැඩි කාලයක් ගත වුණා . මොකද මම මාස හයක් විතර මුලින් ලිව්ව පරිච්ඡේද පහක්. ඉන් පස්සෙ මට ඒක නවත්තන්න සිද්ධ වුණා. මම ඒක නවත්තල අවුරුද්දක් විතර ගත වුණාට පස්සෙ දවසක හැන්දෑවක මං ආරියවංශ රණවීර මහත්මයා මුණගැහුණා . ඔහු දැනගෙන හිටිය මම මේ නවකතාව ලියන බව. ඔහු මගෙන් ඇහුවා කොහොමද ලියන නවකතාව කියල. මං එතකොට කිව්ව මං ඒක ලියන එක නවැත්තුව, මට ඒක තවදුරටත් ලියන්න බැහැ කියල. එතකොට ඔහු මගෙන් හේතු විමසුවා. එතකොට මං ඔහුට කියපු දේ තමයි මේ නවකතාවෙ පස් වෙනි පරිච්ඡේදයේ තියනව අතිශය කෲර මිනීමැරුමක්. 19 වන සියවසේ සිද්ධ වෙන කාන්තාවක් ඝාතනය කිරීම. මේක රචනා කිරීමෙන් පස්සේ මම දරුණු මානසික කම්පනයකට පත් වුණා . නැවත මට මේ නවකතාව ලියන්න බැහැ කියල. එවිට ඔහු මට කිව්ව මෙතෙක් ලියපු දේවල් කට වචනයෙන් ඔහුට කියන්න කියල. මම එහෙම කළාට පස්සේ ඔහු මට තදින් කියා සිටියා ඔබ මේ නවකතාව අවසන් කළ යුතුමයි කියල. මම හිතන්නේ රණවීර මහතාගේ ඒ වචන වලින් මට ශක්තියක් ලැබුණා නැවතත් එය ආරම්භ කරන්න. එහෙම තමයි 'මායා තීර්ථ' නවකතාව මම ලියා අවසන් කළේ . නමුත් තවමත් මට එය ලියද්දි ඇති වූ ඒ මානසික කම්පනය නම් සම්පූර්ණයෙන් දුරු වෙලා නැහැ. ඇත්තටම ලේඛකයෙක් හැටියට ලිවීමේදී මම මුහුණ දුන්න අසීරුම මොහොත තමයි ඒක. කෞශල්‍ය: මං හිතන්නේ පාඨකයන් ඒ කෘතියෙන් ඒ තරම් කම්පනයට පත් වීමට හේතුව මෙතන තියනවා. මං දැන් කැමතියි දැන ගන්න ඔබ නවකතාවක අවසානයට මුහුණ දෙන ආකාරය ගැන? කීර්තිඃ මං හිතන්නේ නවකතාවකට නිශ්චිත අවසානයක් නැහැ කියල. නමුත් හරියට අර රේඛා සමුදායක් නැත්තං ආලෝක කිරණ සමුදායක් එක තැනකදි ඡේදනය වෙලා නැවතත් ගමන් කරනවා වගේ මේ චරිත සිදුවීම් එකට ඡේදනය වන ලක්ෂ්‍යයක් වගේ තැනක් අපිට හමුවෙනවා. එතෙන්දි අපිට නවකතාව අවසන් කළ හැකියි. නමුත් එතනින් පස්සෙත් නවකතාව ඉදිරියට යනවා. උදාහරණයකට 'ගම්පෙරළිය' නවකතාව ගත්තොත් ඒක අවසන් ඒක අවසන් වෙන්නේ ඒ විදිහෙ අවස්ථා චරිත ඡේදනය වන තැනකදි නමුත් ඊට පස්සෙත් ඒ නවකතාව 'කලියුගය' සහ 'යුගාන්තයේදී' තවදුරටත් ඉදිරියට යනවා. මේ නිසා නවකතාවක දි නිමි කියල දාන එකට මම එකඟ නැහැ. කෞශල්‍ය: නවකතාවක් ලියා අවසන් වුණාට පස්සෙ සංස්කරණය සිද්ධ වෙන ආකාරය මොන වගේද? කීර්ති: මං ලියන මුල් පිටපත සාමාන්‍යයෙන් අවසන් එකට වඩා කෙටියි. අවසානයේ පිටු තුන්සීයක නවකතාවක් නම් පළමු පිටපත වෙන්නෙ පිටු දෙසීයක් වගේ. මේක ලියල අවසන් වුන ගමන් මං නැවත කියවන්නෙ නැහැ. කෙටි විවේකයක් අරගෙන දෙවන පිටපත ලියන්න ගන්නවා මේකෙ වර්ධනය කළ යුතු තැන් වර්ධනය කරමින්. සමහර තැන් වල අතර මැද පරිච්ඡේදයක් වුණත් එන වෙලාවල් තියනවා. සම්පූර්ණ නවකතාව ලියවෙන්නේ මේ දෙවෙනි පිටපතේ දි. නමුත් මං ඒකෙනුත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒක බලාගෙන නැවත තුන් වෙනි පිටපතකුත් ලියනවා. මේ පිටපත් තුනම මුල සිට අගට අලුතෙන්ම ලියවෙනවා. මේක තමයි සංස්කරණ ක්‍රියාවලිය. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුණ හම දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද? කීර්ති: හරිම සැහැල්ලුවක් දැනෙනවා. එතකොට ඉතින් ලියන කාලෙ අතපසු වෙච්ච වැඩ එහෙම කරන්න ගන්නවා. මේ වෙන කොට වත්ත එහෙම වල් බිහි වෙලා තියෙන්නෙ ඒ නිසා වත්ත එලිපෙහෙළි කරන්න මල් පැලයක් හිටවන්න වගේ දේවල් කරමින් සැහැල්ලුවෙන් ඉන්න තමයි බලන්නෙ. කෞශල්‍ය: ලියන එක ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? කීර්ති: ලිවීම සිද්ධ වෙන්නේ ලොකු භාව කම්පනයක් එක්ක. ඒ නිසයි අවසන් වුනහම විශාල සැහැල්ලුවක් දැනෙන්නෙ. මං අර කලින් කියපු 'මායා තීර්ථ' ලියද්දි මුහුණ දුන්න අත්දැකීමෙන් පේන්නෙ ඒක තමයි. හැම නවකතාවක්ම ලියද්දිම විවිධ තීව්‍රතාවයන්ගෙන් මේ භාව කම්පනය තියනවා. මොකද චරිත මුහුණ දෙන ඒ අවස්ථාවන් මුලින්ම අත්විඳින්නෙ මමනේ. ඒ නිසා මට මේකට තෘප්තිය කියන වචනය යොදා ගන්න බැහැ. නවකතාවක් මුද්‍රණයෙන් පළ වුනාට පස්සෙ මං කවදාවත් මගේ තෘප්තියට කියල කියවන්නෙත් නැහැ. ඇත්තටම පොඩි අතෘප්තියක් තියනවා මට කියන්න ඕන දේ හරියට කියවුණා ද කියල. කීර්ති වැලිසරගේ නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද සමහර විට මේ කතාබහ දායක වනු ඇත. ලබන සතියේ අප හා එක් වන ශාන්ති දිසානායක යනු සමාකාලීන සිංහල සාහිත්‍යයේ සුවිශාල ජනාදරයකට පත් වූ නවකතාකාරියකි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
වචනයෙන් කිව නොහැකි දේ සිතුවමට නඟන හඬ අහිමි දරුවෝ | “දවසක් ළමයෙක් ඇන්දා එයාගේ තාත්තා මැරිලා ඉන්න එක. මිනිය ඇඳලා ඒක වටේ කට්ටිය ඉන්නවා. එයාට කියා ගන්න බැරි දේ එයා චිත්‍රයක් විදියට ඇන්දා.” සුළු මොහොතකට හෝ තමන්ගේ වචන, හැඟීම් හෝ අදහස් ප්‍රකාශ කරගන්නට නොහැකි වුවහොත් ඔබට මොන වගේ හැඟීමක්, අපහසුතාවයක් ඇතිවනු ඇති ද? එවැනිම වූ දරුවන් හට ජීවිතය එළි කරගනිමින් අනාගතය සුබවාදී කරගන්නට රත්මලාන බිහිරි විදුහල මහත් පිළිසරණක් වී තිබේ. දෙසවන් නෑසෙන, හඬ අහිමි දරුවන්ට චිත්‍ර ඇඳීම ඉගෙනීමට අවස්ථාව සලසා දී ඇත්තේ ඔවුන්ගේ හැඟීම් පිටකර ගැනීමේ මාධ්‍යයක් ආකාරයට මෙන්ම වෘත්තියක් ලෙස ඔවුන්ගේ අනාගතය එළිය කරගැනීමට ය. ‘එයාලගේ හැඟිම් ප්‍රකාශ කරන්න තියෙන එකම විදිය සමහර විට චිත්‍රයක්’ “මගේ එක දරුවෙක් ඉන්නවා, එයාගේ මාමා ගාව පන්සලේ ඉන්නේ. අම්මා ඉන්නේ අම්පාරටත් එහා. එයාගේ මුළු ලෝකෙම තියෙන්නේ අම්මා. ඇන්දේ අම්මාව. එයාගේ ගෙදර ඉන්න හුරතල්ලු දෙන්නා පූසෝ දෙන්නෙක්, ඒ දෙන්නා එක්ක අම්මාව ඇන්දා,” රත්මලාන බිහිරි විදුහලේ ප්‍රාථමික සිසු සිසුවියන්ට සිතුවම් නිර්මාණය ගැන ගුරුහරුකම් දෙන ලක්මිණි ද සිල්වා ගුරුතුමිය බීබීසි සිංහල සේවයට කියා සිටියා ය. ඇය විසිතුන් අවුරුද්දක් තිස්සේ රත්මලාන බිහිරි විදුහලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මඟ පෙන්වීම ලබා දෙන්නී ය. ලක්මිණි ගුරුතුමිය මෙන්ම සමන්කුමාරි තිලකරත්න ගුරුතුමිය ද බිහිරි විදුහලේ චිත්‍ර විෂය ඉගෙන්විමේ කටයුතු සිදු කරනු ලබන අතර, එම විදුහලේ සිසු සිසුවියන්ගේ සිතුවම් 150කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් ප්‍රදර්ශනය “නිහඬ සිතුවම්” නමින් දෙසැම්බර් 12 හා 13 කොළඹ 07, JAD පෙරේරා කලාගාරයේ දී පැවැත්වෙයි. “එයාලගේ හැඟිම් ප්‍රකාශ කරන්න තියෙන එකම විදිය සමහර විට චිත්‍රයක්. මම සයින් එක [සංඥා භාෂාව] දන්නවා ගුරුවරයෙක් විදියට. සමහර දෙමව්පියෝ සයින් එක දන්නේ නෑ, පිට මිනිස්සු සයින් එක දන්නේ නෑ, නමුත් එයාලා [දරුවෝ] ගොඩක් දේවල් චිත්‍රයෙන් අපිට කියනවා,”යි දශක දෙකක් තිස්සේ හඬක් නැති දරුවන් සිය ගණනකට මවක් වූ ලක්මිණි ද සිල්වා පැවසුවා ය. වචනවලින් කියා ගන්න බැරි දේ චිත්‍රයෙන් “සමහර වෙලාවට පවුල අඳින්න දුන්නාම සමහර තැන් හිස්. එක්කෝ අම්මා නැහැ, එක්කෝ තාත්තා නැහැ, ඒ තැන හිස් අනිත් ටික ඇඳලා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ වචනවලින් කියන්න බැරි දේ අපි ඒ චිත්‍රවලින් දැනගන්නවා.” ඔවුන්ගේ හැඟීම් හරියාකාරව සන්නිවේදනය කරගැනීමට නොහැකි බිහිරි දරුවන්ට ජීවිතයේ ලැබුණ එකම ජයග්‍රාහණය චිත්‍ර ඇඳීම බව පවසන ඇය, ලෝකයට අවශ්‍ය දේ කියා පෑමට ඔවුන් චිත්‍රය තෝරාගත් බව කියා සිටියා ය. “මගේ පන්තියේ දරුවෙක් ඉන්නවා, එයාට කෙලින් හිටගන්නවත් බැහැ. අකුරක් ලියා ගන්න බැහැ, එයාගේ අත, ඇඟිලි හෙල්ලෙනවා ස්නායු ප්‍රශ්නයක් නිසා. එයාට පුළුවන් ඉරි කෑලි ගහන්න විතරයි. ඒ ඉරි කෑලිවලින්, ඇඟිල්ලෙන් තමන්ගේ පවුල ඇන්දා. ඒවා දකිද්දි මට හරි සතුටුයි මගේ දරුවෝ ගැන,” ලක්මිණි ගුරුතුමිය බීබීසි සිංහල සේවය හා කියා සිටියා ය. ළමයින් පස්දෙනෙකුගෙන් ආරම්භ කළ වෘත්තිය පුහුණුව රත්මලාන බිහිරි විදුහලේ වෘත්තිය පුහුණුවක් ලෙස ආරම්භ වූ චිත්‍ර විෂය ඉගෙන්වීමට පටන්ගත් ආකාරය ගැන එම විද්‍යාලයේ චිත්‍ර විෂය බාර ආචාරිනී සමන්කුමාරි තිලකරත්න බීබීසි සිංහල සේවය හා විස්තර කළා ය. “මීට මාස හතකට කලින් වගේ අපි වෘත්තිය පුහුණුවක් විදියට ඉස්කෝල වෙලාවෙන් පස්සේ චිත්‍ර විෂය පටන් ගත්තා. ඒකේ දී චිත්‍ර අඳින්න හැකියාව තියෙනව ළමයි පස්දෙනෙක් තෝරගෙන තමයි අපි මුලින්ම මේක ආරම්භ කළේ. දැන් වෙද්දි මුළු පාසලේම ළමයි චිත්‍ර අඳින්න එනවා.” ඇය වසර අටක පමණ සිට රත්මාලන බිහිරි විදුහලේ දරුවන්ගේ ජීවිතය එළිය කර ගැනීමට ගුරුහරුකම් ලබා දෙමින් වෙහෙසවන්නී ය. නේවාසික පාසලක් වන රත්මලාන බිහිරි පාසලට ලංකාවේ සතරදිග් භාගයෙන්ම ළමුන් පැමිණ සිප් සතර හදාරයි. ඔවුන් රැකියාවකට යොමුකරන තෙක්ම හා ඉන්පසුවත් එම විදුහල එම දරුවන් රැක බලා ගනු ලබයි. දුෂ්කරතා මැඩගෙන චිත්‍ර ඉගැන්වීම “චිත්‍රවලට ඒ අය ගොඩක් කැමතියි. අකුරු වුණත් ඒ අය අඳින එක තමයි කරන්නේ. සමහර ළමයි ඉන්නවා බිහිරි වගේම ආබාධිත අය. ඒ අය අඳින දේවල් දැක්කාම හිතාගන්න බැහැ මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියලත්,” ඇය සඳහන් කළා ය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට චිත්‍ර විෂය ඉගැන්වීමේ දී දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවෙයි. මහත් වෙහෙසක් දරමින් ඒ දරුවන්ගේ ජීවිත අලෝකමත් කිරීමට වෙර දරන සමන්කුමාරි ගුරුවරිය ඒ පිළිබඳව විස්තර කළා ය. “හැමදේම උගන්වන්නේ සයින්වලින් තමයි. චිත්‍රවලට අඳින ඒවාට ලොකු අමාරුවක් නැහැ. හැබැයි තියරි උගන්වනකොට නම් සමාන්‍ය විදියටම අමාරු යි. ඒ වෙලාවට අපි රූප පෙන්වනවා, පොටෝස් පෙන්වනවා, ඇඳලා පෙන්වනවා, සයින් එකෙන් පෙන්වනවා එහෙම තමයි අපි ඒ දේවල් කියලා දෙන්නේ.” “අපේ ළමයින්ට සඳකඩපහණ ගැන කිව්වොත් ඒ අය ඒ ගැන දන්නේ නැහැ. හැබැයි ඒ අයට පොටෝ එකක් පෙන්නුවොත් හරි ගෙනිහින් පෙන්නුවොත් හරි ඒ අයට ඒක මතක යි. ක්ෂේත්‍ර චාරිකා ගෙනිහිල්ලම තමයි අපි ඒ අයට දේවල් පෙන්වන්නේ," ඇය උදාහරණ සහිතව ඉගැන්වීම් කරන ආකාරය පැහැදිලි කළා ය. කථන හැකියාව නොමැති බිහිරි දරුවන්ට අනාගත වෘත්තිය ලෙස හෝ ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කර ගැනීමට චිත්‍ර විෂය මහඟු උපකාරයක් වනු ඇත. දරුවන්ට සිය දැනුම ලබාදීමෙන් ඔවුන්ගේ අනාගතය එළියකර ගැනීමට සහායවීමට හැකිවීමෙන් මහත්වූ ආත්ම තෘප්තියක් ලබන බව සමන්කුමාරි තිලකරත්න ගුරුතුමිය වැඩිදුරටත් කියා සිටියා ය. |
'මේ සියඹලා ගහ යට තමයි නඩු ඇහුවේ' | 1908 දී දකුණු පළාතේ ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා ලෙස රාජකාරි ආරම්භ කළ ලෙනාඩ් වුල්ෆ් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ඉතිරි කළ මතකයන් රැසක් තිබේ. බැද්දේගම නමින් නවකතාවකට සහ සිනමා පටයකට සිංහලට පරිවර්තනය වූ 'Village in the Jungle' කෘතිය, හම්බන්තොට මීගහජඳුරේ පිහිටි නඩු ඇසූ සියඹලා ගස සහ ඔහු නවාතැන් ගත් වලව්ව ලෙනාඩ් වුල්ෆ් ගැන මතකය ඉතිරි කළ සංකේතයන් වේ. 1911 දී ලංකාවේ රාජකාරි නිමවා එංගලන්තයට ගිය ඔහු ඉන් වසර 50කට පසු යළි ලංකාවට පැමිණ අතීත මතකයන් හරහා ගමන් කළේය. වසර තුනක රාජකාරි කාලය තුළ ලෙනල්ඩ් වුල්ෆ් හම්බන්තොට පාසල් 43ක් ආරම්භ කළ බව ලෙනාඩ් වුල්ෆ් ඇසුරු කළ විජේසිංහ බෙලිගල්ල ඔහුගේ 'ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්' කෘතියේ සඳහන් කර ඇත. මීගහජඳුරේ නඩු ඇසීමට පැමිණි අවස්ථාවේ දී ලෙනාඩ් වුල්ෆ් නවාතැන් ගත වලව්ව ද අද ගරා වැටෙමින් පවතී. |
'මම ලියන හැටි': සුනේත්‍රා රාජකරුණානායක | සුනේත්‍රා රාජකරුණානායක යනු කිසිසේත්ම හැඳින්වීමක් අවශ්‍ය සාහිත්‍යකාරියක නොවේ. අසූව දශකයේ අගභාගයේ 'සඳුන්ගිර ගිනි ගනියි' නවකතාව සමග සිදුවන ඇයගේ ප්‍රවේශය සමකාලීන සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැළකිය හැකිය. ප්‍රේම පුරාණය, සද්ගුණාකාරය, රිදී තිරංගනාව, කවි කඳුර, පොදු පුරුෂයා, කැන්ඩි මහල්, සිලෝනාගමනය හරහා වීසාචකයෝ නවකතාව දක්වා දිගහැරෙන ඇයගේ දීර්ඝ නවකතා ලැයිස්තුව වෘත්තීය ලේඛිකාවක ලෙස ලිවීමට ඇති ඇයගේ කැපවීම සහතික කරයි. මීට අමතරව ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇති කෙටිකතා සංග්‍රහ සහ සංචාරක සටහන් ද සළකන විට සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කිසිසේත්ම මගහැරයා නොහැකි ලේඛිකාවක බවට ඇය පත් වෙයි. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවාය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මේ සංවාද මාලාවේ සුපුරුදු සමාරම්භක ප්‍රශ්නයම මං ඔබෙනුත් අහන්නම්. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? සුනේත්‍රා: සමහර සමාරම්භක වාක්‍යය ලියන්න යන නවකතාව මොකද්ද කියල දැනගන්නත් කලින් ආපු අවස්ථා තියනවා. සමහර අවස්ථා වල කිසිම සැලසුමක් නැතුව ලියන්න වාඩි වෙලා පළමු වාක්‍යයේ ඉඳන් එක දිගට ලියාගෙන ගිය අවස්ථා තියනවා. එහෙම ලියාගෙන ගිහින් නවකතාව අවසන් කලාට පස්සේ නැවත පළමු වාක්‍යය වෙනස් කළ අවස්ථාත් තියනවා. එහෙම අවසන් කළ නවකතා වල එක අකුරක්වත් වෙනස් නොකළ පළමු වාක්‍යයත් තියනවා. ඒ නිසා ඒක නිශ්චිතව මෙහෙමයි කියල කියන්න බැහැ. කෞශල්‍ය: ඒ කියන්නේ නවකතාවක පළමු වාක්‍යය ලියන මොහොතේ ලියන්න යන නවකතාව ගැන ඔබට තියන දැනුමේ ස්වභාවය විවිධාකාරයි. සුනේත්‍රා: ඔව්. දැන් ඓතිහාසික නවකතාවක් ලියන්න පටන් ගන්න කොට ඒක ගැන තියන දැනුම ගොඩක් වැඩියි. උදාහරණයක් හැටියට මගේ 'සිලෝනාගමනය' වගේ නවකතාවකට මම අවුරුදු විස්සක් විතර රිසර්ච් කලා. රාජසිංහ රජ්ජුරුවන්ගේ නෑයෝ ඉන්නව කිව්වට මං ලිපිනයක්වත් නොදැන තමයි හොයාගෙන ගියේ. දැන් මං මේ වෙලාවෙත් නුවර ඇවිත් ඉන්නෙත් ඒ වගේ කටයුත්තකට. ඒ වගේම දේශපාලන පසුබිමක් සහිත නවකතා ලියනකොටත් එහෙමයි. නමුත් සමහර නවකතා තියනවා ඒවගේ පූර්ව දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැති. විශේෂයෙන් වර්තමාන කතා ලියනකොට. එවැනි අවස්ථාවල ලියන්න යන්නේ මොකද්ද කියන එක ගැන ලොකු දැනුමක් නැතුව ලිවීම පටන් ගන්න හැකියාවකුත් තියනවා. අපි නවකතාව ගැන උගන්නනකොට නවකයන්ට කියන දෙයක් තමයි සැකිල්ලක් එක්ක පටන් ගන්න කියන එක. නමුත් මං ලියන එක පටන් ගත්තම මගේ චරිත විසින් මගේ කතාව පාලනය කරන්න පටන් ගන්නවා. දැන් 'බුද්ධදාසි' කියන පොත පටන් ගත්තේ ඒ චරිතේ චීනේ දක්වා ගෙනියන්න. නමුත් ලියාගෙන යද්දි ඒක අවශ්‍ය නෑ කියන එක දැනෙන්න ගන්නවා. හිතන්නකෝ අපි පෙම් කතාවක් ලියනවා කියලා. ඒක පටන්ගන්න කොට අපේ හිතේ තියෙන්නෙ දෙන්නෙක්ගේ ආදර කතාවක්. දැන් ඕක ලියාගෙන යද්දි අපිට ඔන්න තව චරිතයක් එනවා කමෙන්ට් එකක් දාන්න, නිකං අහල පහළ චරිතයක්. ඒක ප්ලෑන් කරපු එකක් නෙමෙයි. හැබැයි ඒ චරිතේ ආවට පස්සේ ඒ චරිතෙත් එක්ක මේ ප්‍රධාන චරිත දක්වන අන්තර් සම්බන්ධය මත තමයි මේකේ ඊළඟ ඡේදේ තීරණය වෙන්නේ. මොකද අපිට මේ චරිතේ අතෑරල ඊටපස්සේ යන්න බැහැනේ. අපේ ජීවිතේ වගේ තමයි. අපිට හම්බෙන මිනිස්සු, අපි මුහුණ දෙන අත්දැකීම් අපි යන එන තැන්, අපි කරන රැකියා අපේ ජීවිතේට බලපානවනේ. ඒ දේවල් එක්ක ජීවිතේ වෙනස් වෙනවනේ. එතකොට කතා කලාවෙදි අපි තෝරගන්න භූගෝලීය පරිසරය, ඒ අපේ චරිතවල සමාජ පසුබිම, උගත්කම මේ දේවල් වලින් ඇති කරන සීමාවන් ටිකක් තියනවා. උදාහරණයකට දැන් මගේ 'සද්ගුණාකාරය' පොතේ ඉන්න 'රෝස නෝනා' කියන චරිතය කොලඹටවත් ගිහින් නැහැ. එතකොට මට එයාව ලියන්න බැහැනේ මගෙ 'ප්‍රේම පුරාණය' නවකතාවේ ඉන්න නිර්මලා කියන ජර්නලිස්ට් ගැන ලියන විදිහට. රෝස නෝනගේ භාෂාව, සිතුම් පැතුම්, ඇඳුම් පැළඳුම් අර රත්නපුරේ ගමේ සීමාවෙන් එහාට ගෙනියන්න මට අවසරයක් නැහැ. කතා කලාවෙදි ලයිසන්ස් නිකුත් කරන්නේ තමන් වුනාට, ඒ කියන්නේ ලොකේෂන්, චරිත තෝර ගන්නේ තමන් වුනාට ඒකෙ සැඟවුණු නීති රීති ටිකක් තියනවා. ඒවට අවංක වෙන්න ඕන. මගේ පුද්ගලික අත්දැකීම් වලින් විතරක් චරිත ගොඩනගන්න බැහැ. ඒවට හැදෑරීම් කරන්න වෙනවා. දැන් මගේ 'ශ්‍රී ශාන්ත්' කියන පොතේ තියෙන්නේ ඉන්දියාවේ ජෛන පවුලක් වටා ගෙතුන කතාවක්. එතකොට මං ජෛන පූජකයෙක් ගැන ලියනකොට ලංකාවේ මම දන්න බෞද්ධ භික්ෂුවක් ගැන හෝ කතෝලික දේවගැතිවරයෙක් ගැන ලියනව වගේ ලියන්න බැහැ. ඒක වෙනම හදාරන්න වෙනවා. ඒකෙදී ඉන්දියාවේ ගිහිල්ල ඒ අය මුණගැහිල කාලයක් ගත කරන්න වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ ශාස්ත්‍රීය පොත පත ඇසුරු කරන්න වෙනවා. කෞශල්‍ය: ඔබ විශාල වශයෙන් ශාස්ත්‍රීය පොත පත කියවන හදාරණ කෙනෙක්. දැන් මේ ශාස්ත්‍රීය කියවීම් ඔබ කරන්නේ නවකතාකාරියක් හැටියට ද? සුනේත්‍රා: මං ඉස්සර ඉඳන් විශාල දැනුම් පිපාසයක් තියෙන කෙනෙක්. ශාස්ත්‍රීය පොතපත හැදෑරීම කරන්නේ මේ පිපාසය නිසා. හැබැයි එහෙම කියවන දේවල් නවකතාවලට වැදගත් වෙනවා. ඒ වගේම යම් අවස්ථා තියනවා නවකතාවක් වෙනුවෙන්ම හැදෑරීම් කරන්න සිද්ධ වෙන. ඒ දෙක වෙනස්. මං සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය පොතපත තමයි වැඩිපුර කියවන්නේ. ඒ නිසා නවකතා කියවන එක සිද්ධ වෙන්නේ අඩුවෙන්. මෙතෙන්දි හැදෑරීම කියන්නේ පොත් කියවන එක විතරක් නෙමෙයි. විවිධ රටවල ඇවිදින එක, කෞතුකාගාරවලට යන එක. මං මියුසියම් එකකට උදේ ගියොත් එළියට එන්නේ හැන්දෑවෙලා කකුල් කෙඩෙත්තුව හදාගෙන. මං හැම කෞතුක වස්තුවක් ළඟටම ගිහින් ඒව ගැන විස්තර සටහන් තියාගනිමින් තමයි ඇවිදින්නේ. පොත් කියවන කොට ගත්ත මේ වගේ සටහන් විශාල ප්‍රමාණයක් තියනවා. ඒ වගේම තමයි සංචාරයේදිත්. මං හිතන්නේ නවකතාකාරයෙකුගේ මල්ලේ පොඩි නෝට් පොතක් හැම වෙලේම තියෙන්න ඕන. මං ගාව මේ වෙනකොට එකතුවෙච්ච මේ විදිහෙ සටහන් මහ විශාල ප්‍රමාණයක් තියනවා. මං හිතන් ඉන්නේ මැරෙන්න කලින් හොඳ තරුණ ලේඛක ලේඛිකාවෝ ටිකකට කතා කරල මේව දෙන්න. මොකද මං ඒවයෙන් පාවිච්චි කරල තියෙන්නෙ ටිකයි. වෙනත් කෙනෙකුට ඒව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. කොහොම වුනත් මේ ශාස්ත්‍රීය පිපාසය හරිම ප්‍රිය කටයුත්තක්. මේ ප්‍රිය කටයුත්ත තියන නිසා සමාජ ආශ්‍රය ඔය මඟුල් ගෙවල් වලට යන්න, වෙන එකක් තියා සාහිත්‍ය උත්සව කටයුතු වලට යන්නත් උනන්දුවක් නැහැ. මොකද අඛණ්ඩව වෙන කතිකාවතකනේ යෙදිල ඉන්නේ. කෞශල්‍ය: ඔබ මේ හැදෑරීම සහ කියවීම ගැන කියපු දේවල් අතිශය වැදගත්. දැන් ටිකක් කතා කරන්න පුළුවන්ද ඔබ ලියන කාලය ගතවෙන හැටි. සුනේත්‍රා: ඉස්සර නං උදේ ඉඳන් රෑ වෙනකං ලියපු කාලෙකුත් තිබුණා. ඒ කාලේ පත්තර දෙකකට විතර කොලම්ස් එහෙමත් ලිව්වා. නමුත් වැඩි කාලයක් යෙදුවේ නවකතා ලිවීමට. මට මතකයි එක දවසක්, 'රිදී තිරංගනාව' ලියන කාලෙ, මහාචාර්ය ලක්ෂ්මී ද සිල්වා මට කතා කරල මගෙ කෙටිකතාවක් ගැන අගය කිරීමක් කළා. මේකෙන් ලැබිච්ච ප්‍රමෝදයත් එක්ක මං හැන්දෑවේ හතරට විතර ලියන්න වාඩි වුණා. එක දිගට ලියාගෙන ගියා මගේ සැමියා ඇවිල්ල දැන් කෑම කෑවොත් හොඳයි නේද කියල කියන කං. ඊට පස්සේ වලං පිඟන් හෝදල ආයෙත් වාඩි වුණා. දැන් මං ලියාගෙන ලියාගෙන ගිහිල්ලා මට තේ තිබහක් දැනෙනවා. එතකොටම මගේ සැමියා නැගිටලා ඇවිත් තේ බොන්න ඕන කිව්වා. එතකොට මං කිව්ව අනේ මටත් තේ තිබහක් දැනෙනව කියල. එයා කියනවා, ඔව් පුදුමයක් නෙමෙයිනේ දැන් පාන්දර පහයි කියල. ඉතින් මං දන්නේ නැතුව රෑ එළි වෙනකං ලියල හැබැයි වෙහෙසක් මුකුත් දැනුණේ නැහැ. ඔන්න එයා වෙලාව කිව්වට පස්සෙ තමයි නිදිමැරවය නිදා ගන්න ඕනය කියන ඒවා කල්පනා වුණේ. හැබැයි දැන් ලබන අවුරුද්දට මට හැත්තෑවක් වෙන්න එනවා. ඒ නිසා රෑට ලියන එක දැන් නැවතිලා. ගොඩක් වෙලාවට හැන්දෑ වෙද්දි ලියන එක නවත්තනවා. රෑ වෙනකන් ලිව්වත් දොළහ පහුවෙනකන් ලියන එක සිද්ධ වෙන්නෙ නැහැ. තාමත් මං අතින් තමයි ලියන්නේ. අතේ ප්‍රශ්නයක් ආවෙ නැත්තං ඒක වෙනස් වෙන එකක් නෑ. දැන් නවකතාවක් ලියල ඉවර වුනාම උරහිසේ පැත්තක් ඉදිමිලා වගේ තියනවා. එහෙම තමයි ඉතින්. ලියන කාලෙට ගෙදරට කට්ටිය එනවට මං කැමති නැහැ. මං එළියට යන්නෙත් නැහැ. මිනිස්සු තරහත් වෙනව සාහිත්‍ය උත්සව වලට එහෙම ආවෙ නැති වුනාම. ඒත් කරන්න දෙයක් නැහැ. මං මගේ ට්‍රැක් එකේ ඉන්න ඕන. එහෙම එළියට ගියොත් එහෙම මගේ ට්‍රැක් එක කැඩෙනවා. ඊට පස්සේ දවස් දෙකක් විතර යනවා රිකවර් වෙන්න. ඉතින් ඒ නිසා දුරකථනයට වැඩිය කතා කරන්නෙත් නැහැ. ඥාති හිතමිත්‍රයන්ගේ කටයුතු මගේ ස්වාමි පුරුෂයට පවරල මං මගෙ ලියන ලෝකය ඇතුළට වෙලා ඉන්නවා. සමහර කාල වල මං දහනමවෙනි ශතවර්ෂයේ ඉන්නේ එතකොට මට මාර අමාරුයි විසිඑක්වෙනි ශතවර්ෂයට එන්න. එහෙම වැඩකළේ නැත්තං මෙච්චර පොත් ගොඩක් ලියන්න බැහැ. අපි අපේ ගේ පිරිසිඳු කර ගන්නවා වගේ අපිට මේ ලියන කාලෙදි කරන්න පුලුවන් වැඩ මොනවද බැරි වැඩ මොනවද කියල තේරුම් ගන්න ඕන. කෙනෙක්ගේ උපන්දින උත්සවයකට අපි යන්නම ඕනද? පන්සලේ වැඩකට යන්නම ඕනද නැද්ද කොටින්ම තමන් ඉගෙන ගත්ත පාසලේ ආදි ශිෂ්‍යාවන් මුණගැසෙන නොමිලේම යන්න ලැබෙන ට්‍රිප් එක පවා මම නං අතාරිනවා ලියන්න ඕන නිසා. වෘත්තීය ලේඛකයෙකුට ලේඛිකාවකට එයාගෙ ලෝකය තියෙන්නේ හරියට තනියම මාලිගාවක් ඇතුලේ ඉන්නවා වගේ. කෞශල්‍ය: මේ අදහස් හරිම වැදගත් ලිවීමට කැමැත්තෙන් ඉන්න ඕනෑම කෙනෙකුට. අපි ටිකක් කතා කරමුද නවකතාවකට මූලික බීජය එන හැටි සහ ඒත් එක්ක ගත කරන කාලය ගැන? මං හිතන්නෙ මේකත් එකිනෙකට වෙනස්. සුනේත්‍රා: ඔව් දැන් 'සිලෝනාගමනය' ප්ලොට් එක ඇවිත් මං අවුරුදු විස්සක් විතර හෙමින් ඒ ගැන හැදෑරීමක් කළා අනිත් නවකතා ලියන අතරේ. දැන් මගෙ 'සඳුන් ගිර' වගේ එකක් ගත්තොත් මට එක වෙලාවක තේරුණා දැන් මේක ලියන්න ඕන කියල. එතකොට එක දිගට ලියාගෙන ගියා. මං දැන් වෘත්තීය ලේඛිකාවක් නිසා මට කොහේ ගියත් ප්ලොට්ස් එනවා. දැන් මං මේ පාර ලන්ඩන් ගියේ ඓතිහාසික නවකතාවකට රිසර්ච් කරන්න. ඒත් ඒකට රිසර්ච් කරද්දි තව කතා කීපයකටම ප්ලොට්ස් ආවා. අනිත් එක එහෙදි මට මගෙ පරණ යාලුවෙක් අවරුදු පණහකට පස්සේ හම්බෙලා එයාල ලියන්න හදපු ඒ ගොල්ලන්ගේ කතාව මට දෙනවා. පිටු දහයක් විතර ලියල තිබුණේ. ඒකෙන් තමයි මං 'වීසාචකයෝ' නවකතාව ලියන්නේ. නමුත් ඒක ඒගොල්ලන්ගේ කතාව නෙමෙයි. ඉතින් ඔහොම තමයි. මං බස් ස්ටෑන්ඩ් එකක හිටියත් දුම්රිය පොළක හිටියත් මං බලාගෙන ඉන්නේ චිත්‍රපටියක් බලනවා වගේ. එතකොට මේ දකින දේවල් කොයි වෙලේ පාවිච්චි වෙනවද දන්නෙ නැහැ. මං 'සද්ගුණාකාරය' ලියන්නේ රත්නපුරේ ගැමි පරිසරයෙ මං අත්දැකපු දේවල් වල මතකය එක්ක. මට ලැබුණ ලොකුම වාසිය තමයි කුඩා කාලේ ඉඳන් අපේ තාත්තා සමසමාජ කාරයෙක් වීම නිසා නිතරම මාරුවීම් ලැබුන එක. මට විවිධ පරිසරයන් විවිධ මිනිසුන් ඇසුරු කරන්න ලැබුණා. උදේට ගැමි දරුවන් එක්ක ඇලේ දොළේ පීනල ඉරිදට හොඳට ඇඳ පැළඳගෙන පල්ලියේ ඉංග්‍රීසියෙන් සිද්ධ වෙන දේව මෙහෙයට යනවා. මේ විදිහට ලෝක දෙකක් අතර ඉන්න ලැබුණු නිසා මට විවිධ සමාජ තලයන් ගැන ලියන එක පහසු වුණා. කෞශල්‍ය: දැන් ඔබ කිව්වේ ප්ලොට්ස් ගොඩක් හැමවිටම ඔළුව ඇතුලේ කැරකෙනවා කියන එක. මේකට මුහුණ දෙන්නෙ කොහොම ද? සුනේත්‍රා: ඇත්තටම එකපැත්තකින් ඒක අමාරු දෙයක්. දැන් මං ලන්ඩන් වලදි වෙනත් නවකතාවක් වෙනුවෙන් වැඩ කරන්න ගියාට අන්තිමට ලිව්වෙ 'වීසාචකයො' නේ. හැබැයි එහෙමයි කියල අරක නැති වෙලා නැහැ. ඒකත් තියනවා. ඒ අතරේ තවත් කෙනෙක් කියනවා ඇහෙනවා, අනේ ඇයි මගෙ කතාව ලියන්නෙ නැත්තේ කියල. ඉතින් එහෙම තමයි. මං මේ පාර ලියන්න වාඩි වෙලා ඒ කිසිවක් නොවන එකක් ලියන්න පටන් ගත්ත. තවත් පැත්තකින් බැලුවොත් මේක නිකං තැන්පත් ධනයක් වගේ. ටිකක් එළියට අරගෙන ඒකෙන් ලියන්න පටන්ගන්න වෙනවා. ඉතින් ඒ අතරේ අනිත් ඒව නවත්තගෙන ඉන්නවා. ඒක පහසු දෙයක් නෙමෙයි. මොකද ඇතුලේ අභ්‍යන්තර සංවාදයක් තියනවානේ. කෞශල්‍ය: ඔබට කවදාවත් ලිවීමට අපහසුවක් දැනිල නැද්ද මං කියන්නෙ රයිටර්ස් බ්ලොක් වගේ එකක්? සුනේත්‍රා: එහෙම වෙන්නේ යම් යම් කම්පනයන් එක්කනේ. මට හැම කම්පනයක්ම තව තවත් ලිවීම පෝෂණය කළා. මට සිද්ධ වුණු හැම නරක දෙයක්ම මට මුණගැසුණු හැම නරක මිනිහෙක්ම මගේ ලිවීම තවතවත් ශකතිමත් කළා. කම්පනයන්ගෙන් හිතේ ඇති වුණ තුවාල නැති වෙලා නැහැ. සොහොන් පිටි වගේ ඒ තුවාල තිබුණට මට ඒ සොහොන් පිටි කිරිගරුඬ මූර්ති දාලා සරසන්න පුළුවන්නේ. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනාම කොහොමද දැනෙන්නේ ? සුනේත්‍රා: ලොකු නිදහසක් දැනෙනවා. විශේෂයෙන් සංස්කරණය කරන්න නැත්තං මං එදාම ප්‍රකාශකයට යවනවා. ඊට පස්සේ දවසක් දෙකක් ගෙදර අස්කරනවා. වත්තේ වල් පැල ගලවනවා. ඒකට නං සතියක් විතර යනවා. ඒ වැඩේ ඉවර වුණාට පස්සේ ඔය වැඩිහිටි කෙනෙක්, ලෙඩෙක් බලන්න වගේ යායුතු ගමනක් තියනව නං යනවා. ඔන්න ඊට පස්සෙ මට හරි වරදකාරී හැඟීමක් දැනෙන්න ගන්නව හරියට හොරට ලෙඩ නිවාඩු දාල ඉන්නව වගේ. ඉතින් මං මගේ ඊළඟ පොත පටන් ගන්නවා. එතකොට සතියක් දෙකක් තමයි ඉන්නේ. එහෙම නැත්තං ඉන්දියාවේ යනවා. දැන් ඉස්සර වගේ ඇවිදින්නේ නෑ වැඩිය. ඔය රාමන අශ්‍රමයට වගේ ගිහින් ඉන්නවා. එතන පුස්තකාලයක් එහෙම තියනවා ආගම් දර්ශනයන් ගැන පොත් විශාල ප්‍රමාණයක් තියන. අනික ගමේ මිනිස්සුත් දැන් මාව දන්නවා. ඔහොම ඉන්නකොට ඊළඟ පොත පටන් ගන්න පුලුවන් වෙනවා. කෞශල්‍ය: මං අවසාන වශයෙන් අහන්න කැමතියි ඔබ ලිවීම විඳින හැටි ගැන? සුනේත්‍රා: වැදගත්ම දේ ලිවීමත් එක්ක මට මගේම කිංග්ඩම් එකක් හැදිල තියෙනවා. ඒකෙ වැසියත් මම, හතුරත් මම, රජතුමත් මම. කිසිම කෙනෙක් එක්ක කතා නොකර මට මගේම හුදෙකළාව ඇතුලෙ මාස දෙක තුනක් වුණත් ඉන්න පුළුවන්. කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවන පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකාරියකගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඇයගේ වෙහෙස ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත. එසේම සුනේත්‍රා රාජකරුණානායකගේ සුවිශේෂී ජීවිතයේ විවිධ පැතිකඩ දෙස බලා ලේඛකයෙකුගේ පැවැත්මේ ආකර්ෂණීය බව ගැන සිතන්නට ද මේ සංවාදය ඉඩ විවර කරනු ඇත. මීළඟ සතියේ අප මුණගැසෙන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අතිශය වැදගත් නවකතාකරුවෙකු වන කීර්ති වැලිසරගේ ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
වෙනත් රටවල කෞතුක වස්තු ළඟ තබාගෙන සිටින රටවල් මොනවා ද? | යුරෝපීය රටවල් ලොව පුරා ඒවායේ අධිරාජ්‍යයන් ගොඩනැගීමත් සමග බොහෝ වටිනා වස්තූන් අත්පත් කර ගත් අතර ඒවා දැන් එම රටවල කෞතුකාගාරවල ප්‍රදර්ශනය කර තිබේ. මෑතක දී, මතභේදයට තුඩු දුන් බෙනින් ලෝකඩ ප්‍රතිමා සහ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු ඇතැම් කෞතුක වස්තු ඒවායේ මුල් අයිතිකරුවන් වෙත ආපසු ලබා දී ඇත. කෙසේ වෙතත්, ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සතුව ඇති එල්ජින් කිරිගරුඬ ප්‍රතිමා (Elgin Marbles) තවදුරටත් එරට සතුව තබා ගැනීමට එක්සත් රාජධානියේ රජය පියවර ගෙන තිබේ. ඇස්ටෙක් රජවරයෙකු වූ මොක්ටෙසුමාගේ ශීර්ෂ පළඳනාව වැනි තවත් සමහර භාණ්ඩ ආපසු ලබා දීමට නොහැකි තරම් බිඳෙනසුලු ය. එල්ජින් කිරිගරුඬ ප්‍රතිමා යනු මොනවා ද? එල්ජින් කිරිගරුඬ - නොඑසේ නම්, පාර්තනොන් මූර්ති - යනු, වසර 2,000කට වඩා පැරණි, ගණනින් 30කට අධික, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා තිබෙන ග්‍රීසියට අයත් පැරණි ගල් මූර්ති වේ. ඒවායෙන් බොහෝමයක්, ක්‍රි. පූ. පස්වන සියවසේ පුරාණ ග්‍රීකයන් විසින් ඉදිකරන ලද දේවාලයක් වන ඇතන්ස්හි පාර්තනොන් වෙතින් ලබාගත් ඒවා ය. ඇතැම් මූර්ති ක්‍රි. පූ. 1300 සහ 1250 අතර කාලයේ ඉදිකරන ලද මයිසීනේහි ඒට්‍රියස් භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා ලද ඒවා ය. ඉන් අදහස් වන්නේ, එම මූර්ති වසර වසර 3,000කට වඩා පැරණි බව ය. මෙම කිරිගරුඬ 19 වන සියවසේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එල්ජින් සාමිවරයා විසින් එවකට ඇතන්ස් නුවර පාලනය කළ ඔටෝමන් අධිරාජ්‍යයාගේ අවසරය ඇතිව ගෙනගොස් තිබේ. මෙම කිරිගරුඬ "නුදුරේ පැමිණෙන, නොවැළැක්විය හැකි තර්ජනයකට" මුහුණ පාමින් තිබුණු බව එල්ජින් ප්‍රකාශ කළේ ය. 1816 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒවා එය නීත්‍යනුකූලව අත්පත් කරගෙන ඇති බවට තීරණය කළ අතර, පසුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඒවායේ හිමිකරු බවට පත් කරමින් නීතියක් සම්මත කළේ ය. මෙම එල්ජින් කිරිගරුඬ පාර්තනොන්හි ඉතිරිව ඇති මූර්තිවලින් අඩක් පමණ වේ. ඉතිරිය ඇතන්ස්හි ඇත. එක්සත් රාජධානිය ග්‍රීසියට මෙම කිරිගරුඬ ප්‍රතිමා ආපසු ලබා නොදෙන්නේ ඇයි? 1983 වසරේ දී එල්ජින් කිරිගරුඬ ආපසු ලබා දෙන ලෙස ග්‍රීසිය ප්‍රථම වරට නිල වශයෙන් ඉල්ලා සිටි නමුත් බ්‍රිතාන්‍යය එය ප්‍රතික්ෂේප කළේ ය. 2009 වසරේ දී, ඇක්‍රොපොලිස් පාමුල කෞතුකාගාරයක් ඉදිකරන ලද්දේ අතුරුදන් වූ කෞතුක වස්තු සඳහා ද ඉඩක් වෙන් කරමිනි. මෑතක දී එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ග්‍රීක අගමැති වන කිරියාකොස් මිට්සොතාකිස් හමුවීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ, එල්ජින් කිරිගරුඬ "ඉඳුරා ම සොරකම් කර ඇති" බව මිට්සොතාකිස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් සහ ඒවා යළිත් ලබාදෙන ලෙස නැවත නැවතත් සිදු කළ ඉල්ලීම්වලින් පසුව ය. බ්‍රිතාන්‍යය පවසන්නේ, කිරිගරුඬ නැවත ග්‍රීසියට ලබා දීමේ සූදානමක් නොමැති බව ය. ලොව පුරා මිලියන හතරක ජනතාවක් සෑම වසරක ම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති මෙම කිරිගරුඬ ප්‍රතිමා නරඹන බවට ඔවුහු තර්ක කරති. කෙසේ වෙතත්, ග්‍රීක කෞතුකාගාරවල ඇති අනෙකුත් පැරණි කෞතුක වස්තු හුවමාරු කර ගැනීම සඳහා, ඇතැම් මූර්ති තාවකාලිකව ඇතන්ස් වෙත ආපසු ලබා දීමට කෞතුකාගාරයේ භාරකරුවෝ සාකච්ඡා කරමින් සිටිති. බෙනින් ලෝකඩ භාණ්ඩ ආපසු ලබා දෙන්නේ කුමන කෞතුකාගාර ද? බෙනින් ලෝකඩ (Benin Bronzes) යනු, 15 වන සහ 19 වන සියවස් අතර නිර්මාණය කරන ලද ලෝහ ප්‍රතිමා, ඵලක සහ කැටයම් දහස් ගණනකි. 1897 වසරේ දී, නූතන නයිජීරියාවට අයත් බෙනින් නගරය කොල්ලකෑ අවස්ථාවේ දී බ්‍රිතාන්‍ය හමුදා විසින් ඒවා රැගෙන යන ලදී. ඒවායින් බොහෝ ඒවා පසුව ලන්ඩනයේ දී වෙන්දේසි කරන ලද අතර ඇතැම් ඒවා ලොව පුරා කෞතුක වස්තු එකතුකරන්නන් විසින් මිල දී ගනු ලැබ තිබේ. නයිජීරියාවේ කෞතුකාගාර සහ ස්මාරක සඳහා වන ජාතික කොමිෂන් සභාව විසින් මෙම ලෝකඩ ප්‍රතිමා නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා වන නිල ඉල්ලීම් ලොව පුරා කෞතුකාගාර වෙත නිකුත් කරනු ලැබ ඇත. 2022 නොවැම්බරයේ දී ලන්ඩනයේ හෝර්නිමන් කෞතුකාගාරය ඇතැම් බෙනින් ලෝකඩ ප්‍රතිමා ඇතුළු භාණ්ඩ 72ක් භාර දීමට එකඟ විය. අධ්‍යක්ෂ නික් මෙරිමන් පැවසුවේ, "ඒවා කොල්ලකෑමට ලක් වූ බවට සැකයක් නැහැ - ඒ නිසා ඒවා නැවත ලබාදීම වෙනුවෙන් සදාචාරාත්මක තර්කයක් තිබුණා". ඊට පසු එළඹි මාසයේ දී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයය ලෝකඩ ප්‍රතිමා 116ක් ආපසු ලබා දීමට එකඟ වූ අතර ජර්මනිය එය සතුව තිබූ ලෝකඩ ප්‍රතිමා 22ක් ආපසු ලබා දුන්නේ ය. 2026 සිට, යළි ලබා දෙන ලද මෙම ලෝකඩ ප්‍රතිමා බෙනින් නගරයේ එඩෝ බටහිර අප්‍රිකානු කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත. නවසියයක පමණ වන විශාලතම තනි බෙනින් කෞතුක වස්තු එකතුව සතු බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුළු අනෙකුත් එක්සත් රාජධානි කෞතුකාගාරවලට අයත් සංරක්ෂණාගාරවල තවත් ලෝකඩ ප්‍රතිමා ඉතිරිව තිබේ. 1963 බ්‍රිතාන්‍ය කෞතුකාගාර පනත ඒවා නැවත ලබා දීම වළක්වන බව කෞතුකාගාරය පවසයි. ලෙව්කේ දිසාවගේ කොල්ල කෑ කාලතුවක්කුව ආපසු ලබා දුන්නේ කවුද? 2023 ජූලි මාසයේ දී නෙදර්ලන්ත රජය විසින් නිවේදනය කරන ලදුව, එරට රයික්ස් කෞතුකාගාරය විසින් ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙනු ලැබුණි. එය 1765 වසරේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමේ භට පිරිස් විසින් තවත් භාණ්ඩ පහක් සමග කොල්ලකනු ලැබ තිබිණි. මොක්ටෙසුමාගේ ශීර්ෂ පළඳනාව ආපසු මෙක්සිකෝවට ලබා දිය නොහැක්කේ ඇයි? වසර ගණනාවක් තිස්සේ මෙක්සිකෝ රජය ඇස්ටෙක් රජෙකු වූ මොක්ටෙසුමාට අයත්යැ යි සැලකෙන ශීර්ෂ පළඳනාව ආපසු ලබා දෙන ලෙසට ඉල්ලීම කළේ ය. අඩි තුනක් පමණ පළල එය දීප්තිමත් හරිත වර්ණ පිහාටු 450කට වැඩි ගණනකින් සාදා ඇති අතර, දැනට ඔස්ට්‍රියාවේ වියානා අගනුවර මානව වංශ විද්‍යා කෞතුකාගාරය සතුව පවතියි. ඇතැමුන් විශ්වාස කරන්නේ, එය 16 වන සියවසේ ස්පාඤ්ඤ ආක්‍රමණිකයෙකු වූ හර්නාන් කෝර්ටෙස් වෙත මොක්ටෙසුමා ලබා දුන් ත්‍යාගයක් බව ය. තවත් සමහරුන් තර්ක කරන්නේ, එය එකල ඇස්ටෙක් පූජකයන් විසින් පළඳින ලද ශීර්ෂ පළඳනාවක් බව ය. එය කවදා හෝ යළි මෙක්සිකෝවට ලැබුණහොත් සදාකාලිකව ම රට තුළ තිබිය යුතු බවට වන මෙක්සිකානු නීතිය හේතුවෙන් ඔස්ට්‍රියානු රජය එය යළි මෙක්සිකෝවට ලබා දීමට මැළිවිය. 2012 වසරේ දී මෙක්සිකෝව නීති වෙනස් කළ අතර ඔස්ට්‍රියාව එය තාවකාලිකව ආපසු ලබා දීමට එකඟ විය. කෙසේ වෙතත්, කෞතුකාගාර විශේෂඥයින් පසුව නිගමනය කළේ, ශීර්ෂ පළඳනාව මෙක්සිකෝවට ප්‍රවාහනය කිරීමෙන් පිහාටු යළි සැකසිය නොහැකි ලෙස හානියට පත් වනු ඇති බව ය. මීට අස්වැසීමක් ලෙස වියානාහි මානව වංශ විද්‍යා කෞතුකාගාරය ගත් පියවර වන්නේ, එය නැරඹීමට පැමිණෙන සියලු ම මෙක්සිකානු පුරවැසියන්ට කෞතුකාගාරය වෙත නොමිලේ ප්‍රවේශවීමට ඉඩ ලබා දීම ය. |
සුමින්ද සිරිසේන: දුෂ්කර ගමක ඉපිද රංගනය දිග්විජය කළ රංගධරයෙකුගේ නික්ම යාම | ප්‍රවීණ රංගධරයෙකු වූ සුමින්ද සිරිසේන අද (දෙසැ. 04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 75 වන වියේ පසුවිය. කලක් සිට ස්නායු ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩා විඳි සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වූයේ, ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය යන ක්ෂේත්‍ර තුන ම ජයගත් ප්‍රවීණයෙකු වූ සුමින්ද සිරිසේනයන්ගේ ජීවිතාවලෝකනය සඳහා බීබීසී සිංහල සේවය තබන සටහනකි, මේ. මුල් විය සුමින්ද සිරිසේන 1948 ජූලි හතරවන දා කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පිටිසර ගමක් වන බොස්සැල්ලේදී උපත ලැබුවේ, බුලත්ගමුව සිරිසේන සහ පුංචි නෝනාගේ කුළුඳුල් පුත්‍රයා ලෙසිනි. ඔහුගේ පියා සාම්ප්‍රදායික ජන නාට්‍ය රඟදැක්වූවෙකි. මව වූ පුංචි නෝනා ගෘහණියක විය. සුමින්ද සිරිසේන බාල සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකුගේ වැඩිමල් සොහොයුරා විය. උපන් ගමේ පාසල වූ පුස්සැල්ලාව මහා විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු, 1963 වසරේ දී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් හිමිකර ගත්තේ ය. පසු කලෙක විශිෂ්ටත්වයට පත්වූ ඔහුගේ කලා දිවියට පදනම වැටුණේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයෙනි. ඔහු තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ කාලයේ දී, සංගීතඥයෙකු සහ පසුකලෙක සම්මානනීය රංගන ශිල්පියෙකු වූ දයා අල්විස්, ප්‍රකට කවියෙකු වූ ආරියවංශ රණවීර සහ ප්‍රවීණ කලාකරුවෙකු වූ ජයසුමන දිසානායක යන කලාකරුවන් එම විද්‍යාලයයේ ගුරු මණ්ඩලයේ සේවය කළහ. ඔවුන්ගේ ඇසුර ලබමින් නාට්‍යකරණයට පිවිසි සුමින්ද සිරිසේන පාසල් සමයේ දී ම වේදිකා නාට්‍ය රංගනයට දායක විය. ඒ අනුව, 1967 වසරේ රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලැබූ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයේ 'ගිරිකූඨ' නාට්‍යය ඔහු වේදිකාවේ රඟපෑ පළමු නාට්‍යය වූ අතර, එහිදී ඔහුට රංගන විශිෂ්ටත්වය වෙනුවෙන් කුසලතා සහතිකයක් ද හිමි විය. පාසල් අධ්‍යාපනයෙන් පසු පාසල් අධ්‍යාපනයෙන් පසු සුමින්ද සිරිසේන, විශේෂ ආධුනික නිලධාරියෙකු ලෙස 1969 වසරේ දී ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක්වී තිබේ. පසුව, ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලද ධම්ම ජාගොඩ මෙහෙයවූ ශිල්ප ශාලිකා රංග පාඨමාලාව හැදෑරූ ඔහු 1969 වසරේ දී ප්‍රසිද්ධ වේදිකාවේ ඔහුගේ ප්‍රථම රංගනය 'මූදු පුත්තු' වේදිකා නාට්‍යයෙන් සනිටුහන් කළේ ය. ඒ අතරතුර ඔහු 1970 වසරේ දී ඕමානයට ගොස් වසර දෙකක කාලයක් ව්‍යාපෘති තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළේ ය. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ BA උපාධියක් ලබාගත් අතර පසුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් MA උපාධිය සම්පූර්ණ කර තිබිණි. රංගන දිවිය 1969 වසරේ දී ප්‍රසිද්ධ වේදිකාවට පය තැබූ ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූයේ 'මූදු පුත්තු' නාට්‍යය යි. 1970 දශකයේ දී සුමින්ද 'මීපුර වැසියෝ' ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ අතර, 'අන්දරේලා' සහ 'රෝමය ගිනි ගනියි' නාට්‍යවල රඟපෑම් වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, බවකඩතුරාව, මහාසාර, මනමේ නාට්‍යවල රගපෑම ඔහුගේ රංගන දිවියේ වැදගත් සංධිස්ථානයන් විය. පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු රඟපෑ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 වසරේ දී විකාශය වූ 'සිහින නිම්නය'යි. 'හිරුට මුවාවෙන්' ටෙලි නාට්‍යයේ ඔහු කළ රංගනයත්, 'අසල්වැසියෝ' ටෙලි නාට්‍යයේ ලොකු අයියා චරිතයත්, 'චරිත තුනක්' ටෙලි නාට්‍යයේ 'ඉසා' චරිතයත් බෙහෙවින් ජනාදරයට පත්විය. ඔහු ටෙලි නාට්‍ය 40කට වැඩි ගණනක රඟපා ඇති අතර, රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගෙන තිබිණි. ඔහුගේ මංගල සිනමා රංගනය දිග හැරුණේ, 1976 වසරේ තිරගත වූ 'දුහුළු මලක්' චිත්‍රපටයේ ය. ඔහු සප්ත කන්‍යා, යකඩ පිහාටු, උප්පලවණ්ණා, සමනල තටු, ඉර හඳ යට, ගුරු ගෙදර, උඩුගං යාමය, ගමණි, බෝම්බ සහ රෝස ඇතුළු චිත්‍රපට රැසක රඟපා තිබේ. ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් කලා කීර්ති (2017) සහ කලා භූෂණ (2014) යන ගෞරවණීය සම්මානවලින් ද පිදුම් ලබා ඇත. 2002 වසරේ දී ඔහු 'සිවුරංග' නමින් නාට්‍ය පාසලක් පිහිටුවීය. එම නාට්‍ය පාසලෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි වූ අතර, පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස සේවය කළේ ය. රෝගී වීම 2012 මැයි මාසයේ දී සුමින්ද සිරිසේන හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර ඉන්පසු ඔහුට ඇවිදීමේ දුෂ්කරතා ඇති විය. ඔහු පසුව භෞතචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියේ ය. ඔහු එලෙස රෝගී වූයේ, 'සේපාලිකා' සහ 'බොරළු පාර' ටෙලි නාට්‍යවල රංගන කටයුතුවල නියැළෙමින් සිටි අතරතුර දී ය. ඔහු ඉන්පසු රංගනයට සම්බන්ධ වූයේ නැත. සමකාලීනයින්ගේ මතක සැමරුම් සුමින්ද සිරිසේන සමග මහාසාර ඇතුළු සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය රැසක මෙන් ම 'අසල්වැසියෝ' නාට්‍යයේ සුමින්ද සිරිසේනගේ බාල සොහොයුරෙකු ලෙස ද රංගනයෙන් දායක වූ ශ්‍රියන්ත මෙන්ඩිස් ඔහුගේ සමීප මිත්‍රයෙකි. සුමින්ද සිරිසේන සම්බන්ධයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් ඔහුගේ මතක සැමරුම් මෙසේ දිග හැරියේ ය: "ඔහු මාත් එක්ක රඟපෑවා, අසල්වැසියෝ ටෙලි නාට්‍යයේ මගේ අයියා ලෙස. තවත් ටෙලි නාට්‍ය රැසක වගේ ම එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර ඇතුළු නාට්‍ය කිහිපයකම මාත් සමග රඟපෑවා. යමක් ඉගෙන ගන්නත්, ඉගෙනගත් දේ අන් අය සමග බෙදා ගැනීමටත් ඔහුට අවශ්‍යතාවක් තිබුණා. ඔහුගේ දායකත්වය අහිමි වීම ශ්‍රී ලංකාවේ රංගන කලාවට විශාල පාඩුවක්." මේ අතර, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සේවයේ ආලකමන්දාව වැඩසටහන වෙනුවෙන් සුමින්ද සිරිසේන කලාකරුවා පිළිබඳ තිර පිටපතක් රචනා කරමින් සිටි ප්‍රවීණ නාට්‍ය ශිල්පියෙකු සහ සාහිත්‍යධරයෙකු වන බුද්ධදාස ගලප්පත්ති බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය. "සුමින්ද සිරිසේන ගැන තිර පිටපතක් ලියමින් සිටි අතරතුර තමයි ඔහු අභාවප්‍රාප්ත වුණා කියන ප්‍රවෘත්තිය දැන ගන්නට ලැබුණේ. මම පිටපත ලියලා ඉවර කරලා තිබුණේ. මට අවශ්‍ය වෙලා තිබුණේ, සුමින්ද හමුවෙලා ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්න විතරයි. ඊයේ රෑ තමයි වැඩසටහනේ නිෂ්පාදකයා එක්ක කතා කරලා ඒ සම්මුඛ සාකච්ඡාව සැලසුම් කළේ. අද වේද්දී එතුමා අපි අතර නැහැ. මගේ තිර පිටපත් අසම්පූර්ණ යි ඒ නිසා," බුද්ධදාස ගලප්පත්ති හැඟුම්බර ස්වරයකින් පැවසීය. අවසන් කටයුතු සුමින්ද සිරිසේනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් හත්වැනි බ්‍රහස්පතින්දා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන බව ඔහුගේ පුත් නන්දිත සිරිසේන පවසයි. එතෙක් දේහය බොරැල්ල රේමන්ඩ් හවුස් මල් ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබේ. |
'මම ලියන හැටි': මොහාන් රාජ් මඩවල | 'මාගම් සෝලිය' නවකතාවෙන් සිය නවකතාකරණය අරඹන මොහාන් රාජ් මඩවල මේ වන විට 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'කලම්බෝ', 'අයි ඩී' , 'නිල්කට්රොල්' සහ 'රැජින' යන නවකතා ප්‍රකාශයට පත් කරමින් පාඨකයන් දැඩි ලෙස සිය සාහිත්‍යයේ ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වී ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුනු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මීට පෙර සංවාද වගේම මේ සංවාදයටත් මුලපුරන්න මම කැමැතියි ලිවීමේ සමාරම්භක මොහොත සිහිපත් කරමින්. ඔබ ලියපු නවකතා ගැන හිතුවොත් මේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? මොහාන්: මං දන්නෙ නැහැ මට මේකට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්ද කියල. හැබැයි මේ එළඹුම ලියන එක තමයි අසීරුම දේ. මං සාමාන්‍යයෙන් ප්ලොට් එකක මාව ෂොක් කරන මොහොත එනකං ඒක ලියන්න පටන් ගන්නෙ නැහැ. එතකං මං ඒකත් එක්ක ජීවත් වෙනවා. ඒකත් එක්ක හිතනවා ඒවගේම සාමාන්‍ය ජීවිතය ගත කරනවා. මම එක දිගට ලියන කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියන එක සලකන්නෙ ප්‍රොජෙක්ට් එකක් හැටියට. ඒක ඇතුලේ මම මූලික සංකල්පයත් එක්ක ගත කරන කාලයට අමතරව විවිධ ආකාරයේ රිසර්ච් තියනවා. මෙහෙම ඒකත් එක්ක ඉන්නකොට එක වෙලාවක මටම වාව් කියල හිතෙන තැනක් එනවා. මොකද මම දන්නවා මට එහෙම හිතෙන්නෙ නැත්තං පාඨකයන්ට එහෙම හිතෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ලිවීම ඇරඹෙන තැන එන්නේ ප්ලොට් එකේ මටම විස්මය දැනෙන මොහොතත් එක්ක. කෞශල්‍ය : දැන් අපි සාමාන්‍යයෙන් ඔබේ නවකතා වල කියවන පළමු වාක්‍යය ඔබ ඒ නවකතා ලිවීම අරඹන විට ලියපු පළමු වාක්‍යයද? මොහාන්: බොහෝ දුරට ඔව්. මම සංස්කරණය ගොඩක් විශ්වාස කරන කෙනෙක් වගේම මුලින්ම සිද්ධ වෙන ඉමෝෂනල් රයිටින් එක ගැනත් තදින් විශ්වාස කරන කෙනෙක්. ඒ හැඟීම් එක්ක ඉඳිමින් අපි අතින් ලියවෙන දේවල් වල කිසියම් නිර්ව්‍යාජත්වයක් තියනව කියන එක මම ගොඩක් පිළිගන්න කෙනෙක්. මේ නිසා මම බොහෝ විට උත්සාහ කරනවා ඒ එකවර ලියවෙන කොටස් ඒ ආකාරයෙන් කෘතිය තුළ තියන්න. කෞශල්‍ය : ඔබ නවකතාවක් ලියන්න පටන් ගන්න විට ඒ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත්ද? මොහාන්: මෙහෙම යන්න ඕන කියල පොඩි ස්කෙච් එකක් තියනවා. අවසානය මෙහෙම හැඩයක් ගනියි කියල අදහසක් තියනවා. නමුත් ලියාගෙන යද්දි ඒක වෙනස් වෙන්න පුළුවන්. අතුරුකතා, අතුරු චරිත, සිදුවීම් එක්ක ඔළුවේ තියන සැකිල්ල වෙනස් වෙන්න තියන ඉඩ වැඩියි. සමස්ත නිර්මාණය කියන්නේ සීයක් කියල ගත්තොත් මම ඒ සීයෙන් හැටක් හැත්තෑවක් දෙන්නේ පරිකල්පනයට. ඉතින් පරිකල්පනය කියන්නේ අපිට කලින් ප්ලෑන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ඔළුවේ හදාගෙන එන සැලුසුම් වෙනස් කරන්න පරිකල්පනයට හැකියාව තියනවා. කෞශල්‍ය: දැන් එතකොට මේ ලිවීම ආරම්භ කරන්න කලින් තියන ස්කෙච් එක තියෙන්නෙ ඔළුවේ විතරද නැත්තං කොහෙහරි සටහන් කරල තියෙනවද? මොහාන්: නෑ, බොහෝ දුරට තියෙන්නේ ඔළුවේ තමයි. හැබැයි ලියාගෙන යද්දි මම තව ස්කෙච් එකක් ගහනවා මම ලියල අවසන් කරපු කොටස් සම්බන්ධයෙන්. මොකද මම යම්තාක් දුරට ලිව්වට පස්සේ එදිනෙදා ලිවීම පටන් ගන්නකොට කියවන්නේ අන්තිමයට ලියපු චැප්ටර් එක විතරයි. ඒ නිසා මම ලියපු දේවල් වල ස්කෙච් එකක් ලියල තියාගන්නව මගේ පැහැදිලිතාවය වෙනුවෙන්. ඒ ඇරුනහම ලිවීම ආරම්භ කරන්න කලින් කතාව ගැන තියන සැකිල්ල තියෙන්නෙ බොහෝ දුරට මගෙ හිතේ. කෞශල්‍ය: දැන් ඔබ පසුගිය කාලයේ වැඩිපුරම වැඩ කලේ ඉතිහාස කතා පාදක කරගෙන. ඒවා හැම විටම තරමක් විශේෂ හැදෑරීමක් ඉල්ලා හිටිනවා. නවකතා ලිවීම සහ මේ හැදෑරීම කොහොමද එකට සම්බන්ධ වෙන්නේ? මොහාන් : දැන් මගෙ නවකතා වලින් උදාහරණ අරගත්තොත් මට ලොවිනා නවකතාව ලියන අදහස එන්නෙ මගෙ හිතවතෙක් එක්ක කරපු කතාබහකින් පස්සේ. ඊට පස්සෙ මම මේ ගැන හොයන්න පටන් ගන්නවා. දැන් මවුන්ට් ලැවීනියා හෝටලේ වෙබ්සයිට් එකට ගියොත් ඒකෙ තියනවා, තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ මේ ලොවීනා කියන රොඩී තරුණිය අතර තදබල ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියන කතාව. නමුත් මං මේ ගැන තවදුරටත් හොයන කොට මට පේන්න ගන්නවා මේක ප්‍රේම සම්බන්ධයකට වඩා බලය දේශපාලනය සහ ලිංගිකත්වය එකට එකතු වුණු වෙනත් යමක් කියන එක. අන්න එතකොට තමයි මට මේක නවකතාවකට ගේන්න ඕන කියන එක එන්නෙ. අපි සාමාන්‍යයෙන් දන්නා ඉතිහාසයේ නොපෙනෙන තැනක් මට අහුවෙනකන් මට ඒ ඉතිහාස කතාවෙන් නවකතාවක් ලියන්න ඕන කියන එක එන්නේ නැහැ. දැන් රැජින නවකතාව ගත්තොත් අනුලා බිසවගේ කතාවෙන් නවකතාවක් ලියන්න ඕන කියන එක මට කලින් තිබුණු අදහසක් නෙමේ. නමුත් යම් වෙලාවක මට වැටහෙනවා අනුලා ලංකාවේ රජ කරන කාලයේ ම තමයි ඊජිප්තුවේ ක්ලියෝපැට්රා පාලනය කරන්නේ කියන එක. අන්න ඒ මොහොත තමයි මාව මේ කතාව නවකතාවක් කරන්න ඕන කියන තැනට ඇදගෙන යන්නේ. මේක දැනගත්තට පස්සෙ මං ඊජිප්තුවෙ සංචාරයකුත් යනවා. කවුරුත් දන්නේ නැහැ මං මේ නවකතාවක් හිතේ තියාගෙනයි ගියේ කියල. ඒ වගේ තමයි, ඉතිහාස කතාවක් නවකතාවක් බවට පත් කරන්න ඕන කියන තැනට මාව තල්ලු වෙන්නේ මගේ සොයා බැලීම් එක්ක අපි දන්න කතාවේ නොදන්නා අමුතු තැනක් මට අහුවෙන වෙලාවෙදි. කෞශල්‍ය: ඔබේ නවකතා වල අවසානය ගැන ඔබ දරන අදහස මොන වගේ එකක්ද? මොහාන්: මම හිතන්නේ මගේ නවකතා වල තියෙන්නෙ විවෘත අවසානයන්. මම කැමතියි පාඨකයාට අර්ථකථනය කළ හැකි අවසානයන් ඉතුරු කරන්න. මං හිතන්නෙ නැහැ නිශ්චිත අවසානයන් කලා කෘතියකට වැදගත් කියල. ජීවිතයත් එහෙමයි නේ. කෞශල්‍ය: මේ විදිහට අවසන් වෙන ඔබේ නවකතා සංස්කරණය වීම සිද්ධ වෙන්නේ මොන විදිහටද? මොහාන්: ඇත්තටම මම ලියන විට කලින් ලියපු කොටස් කියවන කොට ඒ අතරේ තමයි සංස්කරණය සිද්ධ වෙන්නෙ. මං කලින් කිව්ව විදිහට මුලින් ලියවෙන දේවල් වලට මගෙ විශේෂ ලව් එකක් තියනවා. ඒ නිසා මං සංස්කරණය කරන්නේ මම කියන දේ කියවන්නාට ව්‍යාකූලයි කියල හිතෙනවා නං විතරයි. ලියල ඉවර වුනාට පස්සෙ මුද්‍රණයට පෙර මං මගේ පොත් කියවන්න දෙන පහළවක විස්සක විතර පිරිසක් ඉන්නවා. මේ අය විවිධ මට්ටම් වල අය. සමහරු සාහිත්‍ය හා කලාව සංකීර්ණ දැනුමක් තියෙන අය තවත් සමහරු සාමාන්‍ය පාඨකයන් මට මේ අයගෙන් ලැබෙන අදහස් මත මම සමහර වෙනස්කම් කරල තියෙනවා. මේකත් මගෙ සංස්කරණයේ එක් ආකාරයක්. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුනාම දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද? මොහාන්: ඇත්තටම නවකතාවක් ලියල ඉවර වුනාට පස්සේ දැනෙන්නේ මාර හිස් කමක්. මගෙ ඇතුලේ තිබුණු සියල්ල මේකට දුන්නට පස්සෙ පට්ට හිස් කමක් දැනෙනවා. නැවත මාව පිරෙනකන් කිසිදෙයක් ලියන්න බැහැ. ඒකයි මම එක දිගට ලියන්නෙ නැත්තේ. මං දන්නවා නවකතාවක් ලියල අවසන් වුනාට පස්සෙ මං මා සතුව තිබුණු සියලු දේ ඒකට දුන්නට පස්සේ නැවත නවකතාවක් පටන් ගන්න මට කාලයක් ගන්න වෙනවා. එතකොට මං කරන්නෙ මාව නැවත පිරෙන්න අවශ්‍ය දේවල් කරන එක. ට්‍රැවල් කරනවා, රස්තියාදු ගහනවා, විවිධාකාරයේ මිනිස්සු ආශ්‍රය කරනවා, විවිධ වර්ගයේ පොත් පත් කියවනවා, මෙහෙම ඉන්න කොට තමයි කොහෙ හරි තැනක් ආයෙමත් ස්පාර්ක් වෙන්නේ. ඒ නිසා ඒකට අනිවාර්යෙන්ම අවුරුද්දක දෙකක කාලයක් අවශ්‍යයි. කෞශල්‍ය: අවසාන වශයෙන් ඔබ ලියන ආකාරය සහ මේ ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න මොහාන්: මට මං ලියන එක හොඳින්ම විඳින්න පුලුවන් පෑනෙන් ලියන කොට. කම්පියුටර් එකෙන් ලියන්න මං ට්‍රයි කරල තියනවා. නමුත් මගේ පරිකල්පනයේ රිද්මයත් එක්ක හරියටම ගැලපෙන්නේ පෑනෙන් ලිවීම තමයි. ඒ වාක්‍ය වල රහ මට දැනෙන්නෙ පෑනෙන් ලියන කොට. මං වාක්‍ය වල සවුන්ඩ් එක ගැන රිද්මය ගැන හරියට උනන්දු වන කෙනෙක්. මගෙ හිත ඇතුලෙන් වාක්‍ය නැවත නැවත කියවමින් තමයි ලියන්නේ. මට ලියන තැන ගැන එතරම් ලොකු විශේෂයක් නැහැ. නමුත් මං වැඩිපුර ලියන්නේ ගෙදර පුස්තකාලය තියන කාමරේ. වඩා වැදගත් වෙන්නේ තැනට වඩා ඩිස්ටර්බන්ස් නැති එක තමයි. මොකද ලිවීමේ මූලිකම දේ වෙන්නේ පරිකල්පනය. ඒකට අවශ්‍ය නිදහස තියෙන්න ඕන. එච්චරයි, ඒ ඇරුනම මං නවකතාවක් ලියමින්ද ඉන්නෙ නැද්ද කියන එක දැන ගන්න මාව හම්බෙන අයට අසීරුයි. මොකද මං සාමාන්‍ය විදිහට මගෙ අනික් වැඩ කරන අතර තමයි ලියන එකත් කරන්නේ. මොහාන් රාජ් මඩවලගේ නවකතා භාවිතය හා ඒ සමඟ බැඳුණු හැඟීම් අපට ඔහුගේ නවකතා කියවීමට අලුත් කවුළුවක් විවර කරන්නට ඉඩ ඇතුවා සේම නවකතාකරණයට උනන්දුවන්නන්ට එයට ප්‍රවේශ වීමට තල්ලුවක් සපයන්නට ඉඩ ඇත. ලබන සතියේ අප සුනේත්‍රා රාජකරුණානායක නවකතාකාරිණිය මුණගැසෙන්නේ ද මේ මූලික අරමුණු දෙක සිහි තබා ගෙනය. එනම් අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ සාහිත්‍යය විඳ ගැනීමට නැවුම් ප්‍රවේශයක් සහ ලිවීමට ආශා කරන්නන්ට අනුප්‍රාණයක් යන්නයි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
'මම ලියන හැටි': සුමුදු නිරාගී සෙනෙවිරත්න | සුමුදු නිරාගී සෙනෙවිරත්න මේ වන විට ලියා ඇත්තේ 'දූල්වල ආලංකාරේ' නවකතාව පමණක් වුවද එයින් පාඨක විචාරක අවධානය තමන් වෙත යොමු කර ගැනීමට ඇය සමත් වූවාය. ඇගේ කෙටිකතා සංග්‍රහ වන 'සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්' සහ 'ගිහින් එන්න කානිවල්' කෘති ඔස්සේ ඇය විවිධ තේමාත්මක හා භාෂාත්මක කලාපයන්හි සැරිසරමින් සංකීර්ණ අත්දැකීම් පාඨකයා වෙත නැවුම් විලාසයන්ගෙන් රැගෙන ඒමේ ශක්‍යතාව ප්‍රකට කර ඇත. ඈ මෙතෙක් පළ කල සාහිත්‍ය කෘති තුනම විවිධ සාහිත්‍ය සම්මානයන්ට පාත්‍ර වී ඇති බව ද සිහිපත් කළ යුතුය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : පුරුදු විදිහටම සංවාදය පටන්ගන්න මං කැමතියි අහන්න ලිවීමේ සමාරම්භක මොහොත ගැන. ඔබ නවකතාවක පළමු වාක්‍යය හෝ වාක්‍යය කිහිපය ලියන හැටි ගැන සිහිපත් කරමුද? සුමුදු: හිතට යම් කිසි අදහසක් ආවට පස්සෙ ඒකත් එක්ක මං යම් කිසි කාලයක් ගත කරනවා. ඒ කාලය ඇතුලේ තමයි අදහස කතාවක් ලෙස යම් තාක් දුරට ගොඩනැගෙන්නේ. මේ කාලය තුළ අවශ්‍ය නම් මං ඒ කතාව දිගහැරෙන ස්ථාන හෝ ප්‍රදේශ වලට පවා යනවා. මේක මම කරල තියනවා කෙටිකතා වලදි. මගේ 'දූල්වල අලංකාරේ' නවකතාව ගත්තොත් ඒක ඓතිහාසික පසුබිමක යන නවකතාවක්නේ, මම ලියන්න වාඩි වෙන්න කලින් ඒකේ චරිත වල නම් සහ ඒ චරිත නවකතාව තුළ සිදුකරන වැඩ කොටස ගැන කටුසටහන් අරගෙන තිබුණා. මේ තරම් විස්තරාත්මකව නොවුණත් මම කෙටිකතා ලියද්දිත් මේ කටුසටහන් ගැනීම කරනවා. මම මේ දේවල් කරන්නේ ලිවීම පටන් ගන්න එකට සූදානම් වෙන්න. මොකද පළමු වාක්‍යය කිහිපය ලිවීම කියන්නෙ අතිශය අසීරු දෙයක්. ඒ වගේම මම ඉතාම පරිස්සමෙන් කරන දෙයක්. මේ විදිහට චරිත සහ සිදුවීම් වලට අදාළ තොරතුරු එකතු කරමින් ඉන්න අතරේ එක්තරා මොහොතකදි දැනෙනවා දැන් ලියන්න පටන් ගන්න පුලුවන් කියන එක. මේ වෙනකොට කතාවෙ සිදුවීම් වල අනුපිළිවෙල ගැන අදහසක් තියනවානෙ. දැන් 'දූල්වල අලංකාරේ' නවකතාව ගත්තොත්, මම දැනගෙන හිටියා කතාව පටන් ගන්නෙ සුරේන්දර නයිදේ ගෙ චරිතයෙන් කියල, ඔහු දකිනවා අර සුදු ජාතික වැවිලිකරුගේ බිරිඳ අශ්වයා පිටේ එනවා. දැන් එතකොට මම පටන් ගන්න දර්ශනය දන්න නිසා මට දැන් තියෙන අභියෝගය වෙන්නෙ ඒක ගැලපෙනම ආකාරයට වාක්‍ය බවට පත් කරන එක. මට මතකයි මම ඒ වාක්‍යය කිහිප වරක් ලිව්වා. කෞශල්‍ය : ඒ කියන්නේ මේ ආකාරයට ඔබ ලිවීම ආරම්භ කරන මොහොතෙදි ලියන්න යන නවකතාව ගැන සැළකිය යුතු තරම් ඔබ දැනුවත් කියන එකද? සුමුදු: මං හිතන්නෙ අඩු තරමෙ මං සියයට පනහක් විතර දන්නවා. කලින් කිව්ව වගේ ප්‍රධාන චරිත සහ ඒ චරිත නවකතාව තුළ පිහිටන හැටි වගේම සිදුවීම් පෙළ ගැහෙන හැටි ගැනත් සැලකිය යුතු අවබෝධයක් තියනවා. නමුත් ලිවීමේ ක්‍රියාවලිය තුළ යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බැහැ. මොනතරම් දේවල් සැලසුම් කලත් අපේ සැලසුමට පිටතින් දේවල් සිදුවීමේ හැකියාව තියනවා. උදාහරණයක් හැටියට මගේ කටුසටහන් වල නැති චරිතයක් කතාවට එකතු වෙලා වැදගත් භූමිකාවක් කතාව තුළ ඉටුකරන්න පුළුවන්. ඒ වගේම තමයි නවකතාව අවසන් වන ආකාරය ගැන මම දන්නෙ නැහැ. ඒක කතාව විසින්ම තමයි තීරණය කරන්නේ. කෞශල්‍ය : ඔබ කියන විදිහට නවකතාවක් ලිවීමට පෙර ඔබ එහි චරිත හා සිදුවීම් ගැන කටුසටහන් තබා ගන්නා කෙනෙක්. ඊට අමතරව නවකතාව ගොඩනැගීමට ඔබ කරන ශාස්ත්‍රීය හැදෑරීම මොනවගේ එකක්ද? මං මේක අහන්නෙ ඔබේ 'දූල්වල අලංකාරේ' නවකතාවෙ තියෙන සුවිශේෂී ඓතිහාසික පසුබිම නිසයි. සුමුදු: ඇත්තටම 'දූල්වල අලංකාරේ' නවකතාවේ අදහස මගෙ හිතට එන්නේ හරිම අහඹු විදිහට. මං කරමින් හිටිය ශාස්ත්‍රීය කටයුත්තකට අදාළව තමයි මං නුවර යුගයේ චිත්‍ර කලාව ගැන කියවමින් හිටියේ. ඒ සම්බන්ධයෙන් ලියවුණු ශාස්ත්‍රීය පොත් හා ලිපි ගණනාවක් මං කියෙව්වා. ඔය අතරෙදි මගෙ යාලුවෙක් ශාස්ත්‍රාලයීය නූතන චිත්‍ර කලාව ගැන එයා ලියපු පොතක් මට පෲෆ් බලන්න කියල දුන්න. මේ දෙකම එකවර සිද්ධ වුණේ . මං නුවර යුගයේ චිත්‍ර කලාව ගැන කියවමින් ඉන්න අතරෙ ඒ යුගයෙන් පස්සෙ ලංකාවෙ ප්‍රචලිත වෙන චිත්‍ර කලාව ගැන පොතක් තමයි මට මගෙ යාලුව දෙන්නේ. මෙතෙන්දි මට පේන්න ගත්ත මේ දෙක අතර තියන සම්බන්ධය. අපේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව කොහොමද නූතන චිත්‍ර කලාව දෙසට හැඩගැහුණේ කියන එක. එතකොට තමයි මට හිතුණේ මෙතන ලස්සන කතාවක් තියනවා කියල. නවකතාවක් වුනත් ලියන්න පුලුවන් විදිහෙ සිද්ධි මාලාවක් මෙතන තියෙනවා කියන එක වැටහෙන්න ගත්තෙ මේ විදිහටයි. ඊට පස්සෙ මං කල්පනා කළා මේක නවකතාවකට නඟනවා නං කොහොමද ඒක කරන්නේ කියන එක. එතෙන්දි මම ඒ කාලයේ අපේ රටේ සමාජ පසුබිම ගැන හදාරන්න පටන් ගන්නවා. ඇත්තටම චරිත සහ සිදුවීම් ගැන ලියපු කටුසටහන් වලට වඩා වැඩි ප්‍රමාණයක් තියනවා මම මේ නවකතාවට අදාළව ලියපු සහ එකතු කරපු ශාස්ත්‍රීය සටහන්. ඒවගේම මේ යුගයේ භාෂාව ගැන වෙනම අධ්‍යයනයක් කරන්න සිද්ධ වුණා . එතෙන්දි මට ගොඩක් වැදගත් වුනා මහාචාර්ය ජේ.බී දිසානායකගේ උඩරට සිංහලය වගේ පොත්. මේවා ඔස්සේ විවිධ ව්‍යවහාරයන් ගැන දැනුවත් වෙමින් ඒ කාලේ පාවිච්චි වෙන්න ඇත්තේ කුමන ආකාරයේ භාෂාවක් ද කියන එක අනුමාන කරන්න සිද්ධ වුණා. කෞශල්‍ය :මේක ටිකක් සිත්ගන්නාසුළු දෙයක්. නවකතාවක මූලික අදහස ආවට පස්සේ කරන හැදෑරීම තමයි සාමාන්‍යයෙන් අපිට වැඩිපුර මුණගැසෙන්නේ. මෙතෙන්දි වෙන්නේ නවකතාවෙ අදහස ශාස්ත්‍රීය ව්‍යායාමයක් අතරේ පැමිණීම. සුමුදු: ඔව්. මේක මට කෙටිකතා වලදිත් වෙලා තියෙන දෙයක්. ඒ වගේම තමයි මේකෙ අනිත් පැත්ත, ඒ කියන්නෙ මුලින් කතාවේ බීජය හිතට ඇවිත් ඉන්පසුව ඒ ගැන කරන හැදෑරීම, ඒකත් මම කරන දෙයක්. මම දැනට ලිවීම ආරම්භ කරල තියන මගෙ දෙවෙනි නවකතාවෙදි වුණේ ඒක. කෞශල්‍ය: ටිකක් කියන්න පුළුවන්ද ලිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි ගැන? සුමුදු: මම සාමාන්‍යයෙන් ලියන්නේ රෑට. මට පාන්දර ඇහැරිලා ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. මගෙ පළවෙනි නවකතාව ගත්තොත් මම ඒකෙ භාගයක් විතර එක දිගට ලියාගෙන ගියා. දවසකට පැය තුනක් විතර අඩුවැඩි වශයෙන් මාස හයක් හතක් මම එක දිගට වැඩ කළා. අදහස් එනකොට ඒව ඒ වෙලාවේ ලිව්වෙ නැත්තං ආයෙමත් ඒවා ඒ විදිහට එන්නේ නැහැ. ඉතින් මං වෙන වැඩක් කරමින් ඉන්න වෙලාවක වුණත් හැම වෙලේම පුංචි නෝට් බුක් එකක් තියාගෙන ඉන්නේ නවකතාවට හෝ ලියමින් ඉන්න කෙටිකතාවකට අදාළ අදහසක් ආවම ඒක සටහන් කරල තියාගන්න. එතකොට කම්පියුටර් එක ඉස්සරහ වාඩි වුණා ම මට ඒක ලියන්න පුළුවන් වෙනවා. මම සාමාන්‍යයෙන් ස්ටඩි කරන ටේබල් එකේම තමයි ලියන්නේ. කෞශල්‍ය: මේ ලිවීම එහෙමත් නැත්තං මේ ලියන කාලය ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? සුමුදු: ලිවීම වින්දනය කරන එක ලියන අතරෙත් වෙනවා ලිව්වට පස්සෙත් වෙනවා. ලියන අතරෙම මං කලින් ලියපු දේවල් නැවත නැවත කියවනවා. ලියල අවසන් කළ කොටසේ තියන මං කැමති වාක්‍ය මං කැමති සිද්ධි වගේ ඒවා යළි යළිත් කියවල රසවිඳින්න මං හරි ආසයි. මේ විඳීම සඳහා නැවත නැවත කියවීමත් එක්ක මේ ලේඛනය ඔප වැටෙන ගතියකුත් තියනවා. මොකද ඒ කියවන වෙලාවට දැනෙනවානෙ මේක තව ලස්සනයි මෙහෙම වුනානං කියල. එතකොට පොලිෂ් වෙනවා. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුණා ම දැනෙන දේ ගැනත් යමක් කියන්න? සුමුදු: මුලින්ම දැනෙන්නේ සැහැල්ලුවක්. හැබැයි අවසන් වුණා කියල සම්පූර්ණයෙන් ඒකෙන් මිදෙන්නේ නැහැ. ඒක නැවත නැවත කියවනවා. මං මගෙ අම්මට තමයි සාමාන්‍යයෙන් මුලින්ම කියවන්න දෙන්නේ. කෞශල්‍ය: ඔබේ අම්මා පද්මිණී සෙනෙවිරත්ත කියන්නෙත් පාඨක විචාරක ආදරයට පාත්‍ර වුණු නවකතාකාරියක්. ලියන අතරතුර ඔබ ලියන දේවල් ඇයට පෙන්නන්නේ නැද්ද? සුමුදු: නැහැ. මම ලියල ඉවර වෙනකන් කාටවත් පෙන්නන්නේ නැහැ. මොකද කවුරුහරි මට එකඟ වෙන්න බැරි දෙයක් කිව්වොත් එහෙම මාව බ්ලොක් වෙනවා. මට එහෙම වෙලා තියෙනවා. ඒ නිසා දැන් මම කාටවත් සම්පූර්ණයෙන් ලියල අවසන් වෙනතුරු කියවන්න දෙන්නෙ නැහැ. අම්ම නං එයා ලියන ඒවා ඒ ඒ වෙලාවල් වල ලියන හැටියට කියවන්න දෙනවා. අම්මගෙ පළවෙනි පාඨකයා මම. මගෙ මුල්ම පාඨකයා අම්මා. හැබැයි එයාට ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මට ඒක කරන්න බැහැ. කෞශල්‍ය: සාමාන්‍යයෙන් ඔබේ ලිවීම් සංස්කරණය කිරීම සිද්ධ වෙන්නේ කොහොමද? සුමුදු: සංස්කරණය කියන එක ලියන එක වගේම හෝ ඊටත් වඩා වැදගත් දෙයක් මට නං. මම සාමාන්‍යයෙන් සංස්කරණය පටන් ගන්නේ සම්පූර්ණයෙන් ලියල ඉවර වුණාට පස්සේ. ලියල ඉවර වුණාට පස්සෙ මම සති තුනක් විතර ඒක පැත්තකටම දාල වෙන වැඩ කරමින් ඉන්නේ. ඊට පස්සෙ තමයි සංස්කරණය කරන්න පටන් ගන්නේ. ලිවීම අවසන් වුණු ගමන් කියෙව්වට ගොඩක් දේවල් අහු වෙන්නෙ නැහැ. ඒ වෙලාවට මට හිතෙන්නේ ලියපු හැමදෙයක්ම අවශ්‍යයි කියල. නමුත් යම් බ්රේක් එකකින් පස්සේ නැවත කියවනකොට ඉවත් කළ යුතු තැන්, අනවශ්‍ය තැන්, නැවත ලිවිය යුතු තැන් වගේ දේවල් පේන්න ගන්නවා. දැන් 'දූල්වල අලංකාරේ' ගත්තොත් ඒකෙ තියෙන්නේ නුවර යුගයේ භාෂාවනේ. එතකොට මම භාෂාව ගැන විතරක් සැළකිලිමත් වෙමින් මේක කීප සැරයක් කියෙව්ව. එහෙම කියවද්දි සමහර වෙලාවට අහුවෙනවා වර්තමාන භාෂාවේ වචන අහම්බෙන් කතාවට ඇතුල් වෙලා තියෙනවා. එවැනි වෙලාවට ඒ වචන ඉවත් කරල ඒ යුගයේ තියෙන්න ඇති කියල හිතන වචන ඒ තැනට ආදේශ කලා. විශේෂයෙන්ම දෙබස් වලදි තමයි මේවගේ දේවල් වෙන්නේ. ඒ වගේම මේ සංස්කරණ ක්‍රියාවලියෙදි නවකතාවෙ අවසානය මම කීප සැරයක් වෙනස් කළා. වෙනස් කළා කියන එකෙන් අදහස් කළේ සම්පූර්ණ වෙනසක් කියන එක නෙමේ. ඒක කියන විදිහ, ස්ටයිල් එක. මේ නිසා ලිවීම අවසන් කළාට පස්සේ සිදුවන සංස්කරණය කියන්නේ මට නං අතිශය වැදගත් දෙයක්. මේ ආකාරයට සුමුදු නිරාගී සෙනෙවිරත්න ලේඛිකාවගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඇගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත. ඇය සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙළිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි. මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ මොහාන් රාජ් මඩවල නවකතාකරුවාය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
මත්ද්‍රව්‍ය අතහැර ජනප්‍රිය 'ටැටූ ආර්ටිස්' කෙනෙකු වූ ගුර්ප්‍රීත් සිං | ඉන්දියාවේ, පන්ජාබ් ප්‍රාන්තයේ ජිවත් වන ලුදියානා දිස්ත්‍රික්කයේ ගුර්ප්‍රීත් සිං අට ශ්‍රේණියේ සිටිය දී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිය අධ්‍යාපනය කටයුතු අතහැර දැමුවේය. අධ්‍යාපනය ලබන විට ඔහු සමත් වූයේ පන්ජාබි සහ චිත්‍ර විෂය පමණි. නමුත් ඔහු පසුව මත්ද්‍රව්‍ය වලින් මිදී ජනප්‍රිය 'ටැටූ අර්ටිස්' කෙනෙකු බවට පත්විය. කුඩා කල මත්ද්‍රව්‍ය භාවිතයේ ගොදුරක් බවට පත් වූ ඔහු ජීවිතය ජයගත් අයුරු විස්තර කරයි. |
ලක්ෂාන්ත අතුකෝරල: වසරේ සියලු කාව්‍ය සම්මාන දිනාගත් කාව්‍ය කෘතියේ හිමිකරු | 'කියූ ලියූ වදන්වලින් දෙයක් වේ ද ඔබට දැනුණු නොදුටුවේ ද ඒවා තුළ තිබුණු සියුම් කොඩි සලකුණු? ඈත සිටන් පොළොව යටින් එළා තිබෙන රැහැන් වැලක් සේ රහසින් විදුලිය දෙන හැඟුම් නහර ගොමුවක් ඇත මා රිදවන සෑරූ කිසිවෙකුට මෙතෙක් මුණ නොගැසුණ අත හැර ආ භවාරාමයකින් විදෙන ගුප්තාදර කිරණාවලියක් ද කුමන නොදනිමි මට දිය නොහැකිය අතට රැගෙන එය භූගත මල් යායකි ඔබම සරන අදහන්නට බැරි ආදර නදියක් ඇත පසෙහි ගිලුණු නොදුටුවෙහි ද එය අඟවා සැලෙන සියුම් කොඩි සලකුණු?' ඉහත කාව්‍යය ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ සුවිශේෂී කාව්‍ය සංග්‍රහයක් වන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චයේ පළමු කවිය යි. මේ කවියෙන් ඇරඹෙන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චය සුවිශේෂී කාව්‍ය කෘතියක් යනුවෙන් හැඳින්වූයේ, එම කාව්‍ය සංග්‍රහය 2023 වසරේ කාව්‍ය කෘති සඳහා සම්මාන පිරිනමන සාහිත්‍ය උලෙළවල් හතරේ දී ම විශිෂ්ටතම කාව්‍ය කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම හේතුවෙනි. එම කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ, රජත පුස්තක සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ යන සම්මාන උලෙළ හතරෙහි දී ම සම්මානයට පාත්‍ර විය. ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ දී වසරේ හොඳ ම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් සම සම්මානය ලක්ෂාන්ත අතුකෝරලගේ 'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියට හිමි විය. අනෙක් කෘතිය වූයේ, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ 'මල් සුවඳැති හිසරදයක්' කාව්‍ය සංග්‍රහය යි. 'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියේ විශේෂතා ලක්ෂාන්ත අතුකෝරල යනු ඔහුගේ කාව්‍ය කෘති එකිනෙකට වෙනස් ප්‍රස්තුතයන් ඔස්සේ ඉදිරිපත් කරන කවියෙකි. ඔහු භාවිත කරන ප්‍රස්තුතයන් යම් සමාන්තර මනෝභාවයක් සහිත රේඛාවක් ඔස්සේ දිවෙන කාව්‍ය නිර්මාණවලින් සමන්විත වෙයි. 'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියට පාදක වූ ප්‍රස්තුතය සිතිවිලි ලෝකයකි. සිතිවිලි ලෝකයක කිමිදෙන හැඟීම් සමුදායක් මෙම එක එක කවියෙහි අන්තර්ගත වේ. "අපට ඇති වන විවිධාකාර හැඟීම් අතරේ අපට ම තේරුම් ගන්න බැරි විදිහේ හැඟීම්, උදාහරණයක් විදිහට ටෙලිපති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අතීතකාමී අදහස් වෙන්න පුළුවන්, කිසි ම හේතුවක් නැතිව දොම්නසක් ඇති වන මනෝභාවයන් (melancholy) වෙන්න පුළුවන්, ඒ වගේ මතක ගොන්නක් අනුසාරයෙන් ලියපු කවි එකතුවක් තමයි 'හැඟුම් ගඟෙහි හැංගිලා' නමින් පොතක් විදිහට නිකුත් කළේ," ලක්ෂාන්ත අතුකෝරල බීබීසී සිංහල සේවය සමග ඔහුගේ අනුභූතීන් ගැන කතා කළේ එසේ ය. මෙම කෘතියට මෙතරම් සතුටුදායක ප්‍රතිචාර ලැබෙනු ඇතැයි ලක්ෂාන්ත තුළ විශ්වාසයක් නොතිබූ බව ඔහු පැහැදිලි කළේය. "මම හිතුවෙ නෑ අනිත් අයට මේ හැඟීම්වල තියෙන දේවල් අහුවෙයි කියලා. නමුත් ඒක අහුවෙලා තියෙනවා. ගොඩක් අය කැමතියි ඒකට. හිතුවට වැඩිය මං අදහස් කරපු දේ සන්නිවේදනය වෙලා තියෙනවා. මගේ අත්දැකීම් පෞද්ගලික මට්ටමින් එහාට ගිහිල්ලා වෙනත් අයටත් ඒ අත්දැකීම් තිබිලා තියෙනවා කියලා මට දැනෙනවා." සිය කෘතිය වෙනුවෙන් වසරේ සම්මාන හතරම හිමිවීම සම්බන්ධයෙන් ඇති හැඟීම කෙබඳුදැ යි විමසූ විට ඔහු පළ කළේ මෙවන් අදහසකි: "ඇත්තට ම ගොඩක් සතුටු යි. ඒක මගේ ඉදිරි නිර්මාණවලට ලොකු පෙළඹවීමක්. ඒත් මම කවි ලියන්නේ සම්මානයක් හිමිවිය යුතු යි කියන අපේක්ෂාවෙන් නම් නෙවෙයි. අඩු තරමින් මේ පොත පළ කරනකොට මට හිතුණෙ නෑ මම අදහස් කරපු දේ පාඨකයින් අතරට යයි කියලාවත්. ඒත් නොසිතූ විදිහට හොඳ ප්‍රතිචාර ලැබුණ එක ගැන ගොඩක් සතුටු යි." "ඒ වගේ ම හොඳ නිර්මාණ කියවන පාඨක පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ රසිකත්වය යම් ඉහළ මට්ටමක පවතිනවා. ඒක හොඳ ප්‍රවණතාවක්," ලක්ෂාන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසීය. ‘ලක්ෂාන්තගේ සියලු පොත් කියවන පාඨක පිරිසක් ඉන්නවා’ - ප්‍රකාශකයාගේ ප්‍රතිචාරය 'හැඟුම් ගඟෙහි හැංගිලා කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් පළ කළ විදර්ශන ප්‍රකාශන සමාගමේ අධිපති ජනක ඉනිමංකඩ, ලක්ෂාන්ත අතුකෝරල ඇතුළු කවීන් කිහිප දෙනෙකුගේ කවි පොත් සියල්ල කියවිය යුතු ය යන මතය දරන පාඨක පිරිසක් බිහිවී ඇති බව පැවසුවේ ය. "ලංකාවේ කවීන් කීප දෙනෙක් ඉන්නවා, කවි කියවන අය අනිවාර්යයෙන් ඒ ගොල්ලන්ගේ කෘති කියවනවා. ඒගොල්ලො තහවුරු වෙච්ච කවීන්. උදාහරණයක් විදිහට ලක්ෂාන්ත එවැනි කවියෙක්. ඒ වගේ ම ලංකාවේ කවි කියවන පිරිස් අතර, ලක්ෂාන්තගේ හැම පොතක් ම තමන් සතු වෙන්න ඕන කියන අදහසක් තියෙනවා. ලක්ෂාන්තගේ සම්මාන හතරක් හිමි වුණ කෘතිය මේ වෙනකොට මුද්‍රණ වාර තුනක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ පිටපත් 2000ක් විතර විකිණිලා තියෙනවා," ජනක ඉනිමංකඩ පැවසීය. ලක්ෂාන්ත අතුකෝරල ගැන නොදත් කරුණු 1978 වසරේ උපන් ලක්ෂාන්ත අතුකෝරල ගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයයේ ඉගෙනුම ලැබූවෙකි. පාසල් සමයේ සිට කවි ලිවීමට යොමු වී සිටි ඔහු විසින් රචනා කරන ලද 'සෙනෙහස සහ සෙනෙහස' නමැති කවිය 1993 වසරේ දී මුල් වරට දිවයින පුවත් පතේ පළවිය. ඔහු 1997 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයට ඇතුළත් වී නීතිඥයෙකු බවට පත්විය. ඒ අතරතුර කාව්‍ය රචනයෙහි නිරත වූ ඔහුට කවි පොතක් පළ කිරීමේ අදහසක් නොපැවතිය ද, ලාල් හෑගොඩගේ මඟපෙන්වීම මත 2006 වසරේ දී සරසවි පොත් ප්‍රකාශනයක් ලෙස 'අමාවකේ සඳක් සිඹිමි' කාව්‍ය සංග්‍රහය නිකුත් කෙරිණි. ඔහු නීතිඥයෙකු ලෙස වසර 20ක් සේවය කළ අතර, කොළඹ මහාධිකරණය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවය කළේ ය. මේ වන විට කෙටි කාලයක් සඳහා එංගලන්තයේ රැඳී සිටින ලක්ෂාන්ත අතුකෝරල, රැකියාවෙන් තාවකාලිකව ඈත්ව සිටින හෙයින් නව නිර්මාණ කිරීම සඳහා ඔහුට විවේකයක් ලැබෙන බව පවසයි. ඔහුගේ කවි පන්තියක් පස්වැනි ශ්‍රේණිය සිංහල කියවීම් පොතට ද ඇතුළත් කර තිබේ. ලක්ෂාන්තගේ කෘති සහ දිනූ සම්මාන |
'මම ලියන හැටි': මනෝහරී ජයලත් | යොවුන් නවකතාවක් ලෙස සලකන සිය මුල්ම නවකතාව වන ‘මැට්ටී’ 2021 වසරේ ප්‍රකාශයට පත් කරන මනෝහරී ජයලත් 2023 වසරේ දී 'කඩදොර' නවකතාව ප්‍රකාශයට පත් කරන විට ඇගේ නමට යටින් එක් වන නවකතා ගණන පහක් බවට පත් වෙයි. සුවිශේෂී භාෂාමය ලෝකයක් තුළට කියවන්නා ඇතුල් කරගන්නා ඇගේ නවකතා පාඨකයන් අතර සේම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාවට පාත්‍ර වී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මේ සංවාදයට ප්‍රවේශවෙන්න මං කැමතියි අහන්න ඔබ නවකතාවක පළමු වාක්‍යය ලියන ආකාරය ගැන. මනෝහරී: මගේ පොත් වල නං මුළු ශක්තියම තියෙන්නෙ පළවෙනි වාක්‍ය වල කියල තමයි මට හිතෙන්නෙ. ඒක මට හරිම වැදගත්. මං මේ කියන්නේ පාඨකයගේ පැත්තෙන් නෙමේ මගේ පැත්තෙන්. පළවෙනි වාක්‍යය මට ඕනෙ හැටියට එනකං මං පොතක් ලියන්න පටන් ගන්නේ නැහැ. පොතේ කතාව මගෙ හිත ඇතුලෙ ඇති වෙමින් තියෙනව ඇති එහෙම වුණත් මට සීයට සීයක් ගැලපෙන වාක්‍යය එනකොට තමයි මම ලියන්න පටන් ගන්නෙ. පොත දිගටම ලියාගෙන යාමේ ශක්තිය එන්නෙම ඒ වාක්‍යයෙන් කියල තමයි මට හිතෙන්නෙ. අර ගෙදරකට මුල් ගල තියනවා වගේ මගෙ හැම පොතකම පළවෙනි වාක්‍යය ගොඩක් හිතල තමයි මං ලියල තියෙන්නෙ. ඒ වෙලාවෙ ලියවුණු ඒ මුල් වාක්‍යයම තමයි හැම පොතකම මුද්‍රණය වෙලා තියෙන්නෙත්. මොකද ඒ තරම් ගැලපෙන එකක් නැවත ලියවෙන්නේ නැහැ. කෞශල්‍ය : දැන් ඒ පළවෙනි වාක්‍යය ඒ විදිහට ලියවෙන කොට ලියන්න යන නවකතාව ගැන ඔබ කොයිතරම් දුරට දන්නවද? මනෝහරී: ලියන්න යන නවකතාවෙ චරිත ගැන සහ ඒ චරිත වලට අදාළ හැඟීම්වල ස්වභාවය ගැන තමයි මම ඒ වෙනකොට දන්නෙ. මගේ කතාව කොහෙද යන්නෙ මේ චරිත මාව කොයිතරම් දුර එක්ක යනවද කියන එක දැනගන්නෙ ටිකක් දුර ගියාට පස්සෙ. මුල් පරිච්ඡේද වල ඒ චරිත මාව ගෙනියන තැන් වලට මම යනවා. මැදදි තමයි මම මේ චරිත එක්ක විවේචනාත්මකව ගනුදෙනු කරන්න පටන් ගන්නේ. අන්තිම පරිච්ඡේද වලදි තමයි මට තේරෙන්නේ මං මේ චරිත එක්ක මේ ගමන තමයි ආවේ කියල. මගෙ නවකතාවල මං මූලිකත්වය දෙන්නේ මිනිස් හැඟීම් වලට. ඒ නිසා කලින් හදාගත්ත කටුසටහනක් පස්සේ යන්නෙ නැහැ මම. හැඟීම් වලට මුල් තැන දීල චරිත එක්ක කරන ගනුදෙනුවක් මේක. කෞශල්‍ය : එතකොට නවකතාව පටන් ගන්න කොට ඒ වෙනුවෙන් කිසිම සටහන් තබාගැනීමක් කරල නැද්ද? ඔබ ලියපු සංසක්කාරී හෝ ගිරිජා වගේ නවකතා කිසියම් ඓතිහාසික පසුබිමක ගොඩනැගෙන කතා ඒ වගේම ඒවාට අදාළ භාෂා ශෛලීන් වලත් සුවිශේෂතා තියනවා. මනෝහරී: එහෙම සටහන් තබා ගැනීමක් කරන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ මිනිස් හැඟීම් වල චමත්කාරය සංකීර්ණත්වය ගැන කියන්න. මං විශ්වාස කරන විදිහට ගැහැනියකගේ හැඟීම් අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් එක සමානයි. පිරිමියෙකුටත් එහෙමයි. මම කොහේ හරි ඓතිහාසික ස්ථානයකට ගිහාම මම හිතන්නේ ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇතිද කියන එක. ගල් පඩි පෙළක් දැක්කාම මේව හදපු මිනිස්සු මොනවගේ වෙන්න ඇතිද ඒ අය මේක කරද්දි කාල ඉන්න ඇත්තේ මොනවද. මේ වගේ දේවල් තමයි මට හිතෙන්නේ. අපේ ඉතිහාස කතා අපිට කියන්නේ රජවරුන්ගේ ඉතිහාසය ගැනනෙ. ඉතින් ඉතිහාසය කියවද්දිත් මම හිතන්න උත්සාහ කරන්නේ ඒ ඒ යුග වල සාමාන්‍ය ජනතාවගේ ජීවිතයෙ ස්වභාවය ගැන. දැන් මං 'සංසක්කාරී' ලියද්දි මට ඒකෙ ඉන්න ඩිංගිත්ති කියන චරිතය රජ වාසලට යවන්න උවමනාවක් තිබුණේ නැහැ. මට ඕනෙ වුණේ රදා ගමක සමාන්‍ය ජීවිතය ගැන කියන්න. නමුත් එතෙන්දි ඩිංගිත්ති මාව ඇදගෙන රජ වාසලට ගියා. එතකොට සමහර වෙලාවල් තියනවා අපිට පිළිගත් ඓතිහාසික කාල නිර්ණනයන් ගැන සැළකිලිමත් වෙන්න. සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැනේ. උදාහරණයකට මහවැලි ගඟ ගලන්නේ කොතනින්ද කියන එක නිශ්චිතයිනේ. ඒ නිසා සමහර කරුණු ගැන සැළකිලිමත් නොවුනොත් කතාව සුරංගනා කතාවක් වෙනවා. ඒ නිසා ඒ දේවල් ගැන මම සැළකිලිමත් වෙනවා. නමුත් විශේෂ සටහන් තබාගැනීමක් කරන්නේ නැහැ. දැන් භාෂාව ගැන ගත්තත් මගෙ හිතේ ලොකු ඩිපොසිට් එකක් තියනවා වචන වල. මම සිංහල භාෂාවට ගොඩාක් ආස කෙනෙක්. ඒ වගේම මම සවන්දෙන්න කැමති කෙනෙක් නිසා මට නීති වෘත්තියේ යෙදෙද්දි නිතරම අලුත් වචන අහන්න ලැබෙනවා. ඔප්පු ලියන්න එහෙම නිතර එන්නේ වැඩිහිටියොනේ. මං ජීවත්වෙන නුවර ප්‍රදේශයේ වැඩිහිටියෝ හරි ලස්සන වචන පාවිච්චි කරනවා විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න. එතකොට මං ඒව මගෙ හිතේ රඳවා ගන්නවා. මම ලියද්දි ඒවා නිරායාසයෙන් එන්න පටන් ගන්නවා. මේ වචන මොන ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට ද අදාළ කියල කියන්න තරං දැනුමකුත් මට තියනවා. මීට අමතරව මම ඓතිහාසික ලේඛන, උදාහරණයකට රාජසිංහ රජුගේ නඩු තීන්දු වගේ දේවල් කියවන්න මගෙ උනන්දුවක් තියනවා. එක්තරා යුගයක භාෂාව වටහා ගන්න එවැනි දේවල් අතිශය වැදගත්. හැබැයි මේ කිසිම වෙලාවක මම විශේෂයෙන් සටහන් තබා ගැනීමක් කරන්නෙ නැහැ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ලියන විදිහ ගැන. මං අදහස් කරන්නේ ලියන වෙලාව, ලියන තැන, ලියද්දි තියෙන්න ඕනෙ පරිසරය වගේ දේවල්. මනෝහරී: මම තරමක් පසුකාලීනව ලියන්න පටන් ගත්ත කෙනෙක්නේ. මම තේරුම් අරන් තියන එකක් තමයි මම ලියන කොට පරිසරය නිස්කලංක නිහඬ එකක් වුනොත් මට ලියා ගන්න බැහැ. නිහඬභාවය නිස්කලංකභාවය මාව පීඩාවට පත් කරනවා. ඒ වෙලාවට අදහස් ගලාගෙන එන්නෙ නැහැ. මං කලින් කියපු විදිහට මං ලියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් තෙරපෙන විදිහ ඒව විකාශනය වෙන විදිහ ගැනනේ. එතකොට ශාන්ත පරිසරයක් තුළ මගෙ හිතත් නිමිල තියනව නං මට ඒක ලියාගන්න අමාරුයි. මට කලබලය ඕනෙ. ඝට්ටන ගොඩක් තියනව නං තමයි මගෙ අත ඉක්මන් වෙන්නේ. සමහරවිට ලොකු වේදනාකාරී ප්‍රශ්නයක් වුනත් තියනව නං. ඒක පැත්තකින් තියල ලියන්න මාව පෙලඹෙනවා. මගෙ විතරක් නෙමෙයි මට සම්බන්ධ වෙන කෙනෙක්ගෙ හරි ගැටළු දුක් කරදර එහෙමත් නැත්තං මං ඒ මොහොතේ ඉන්න තැනට අදාළ ප්‍රශ්න මේ දේවල් තියනවා නං මට පහසුවෙන් ලිවීමේ හැකියාව තියනවා. ඒ වෙලාවට මට ගොඩක් හැඟීම් ඇති වෙනවා. අනිත් එක තමයි ලියද්දි මගෙ පෙර සූදානම ගොඩක් වැඩියි. මම ලියන්න යන්නෙ කියන එක දැනුනම මං හුඟක් වෙන වැඩ කරනව. සමහර වෙලාවට උයනවා. මල් පැලයක් හදල එනවා. ලිවීමට සම්බන්ධ නැති වෙනත් බොහෝ දේවල් කරල තමයි ලිවීමට තැන්පත් වෙන්නේ. එහෙම ලියන්න වාඩි වුණහම මම ලියන්නේ පිටු තුනයි හතරයි. එහෙම පිටු තුන හතරක් ලියන කොට මං කැමතියි මොකක් හරි ඩින්ටර්බන්ස් එකක් එනවට. ගෙදරදි නං අඩුතරමේ දරුවෙක් හරි කතා කරල අම්මෙ තේ එකක් ඕනෙ කියල කියන එකට මං කැමතියි. ඒක කරන අතරේ තමයි මට ආපහු අර කලබල තත්වෙ එන්නෙ. ඒකත් එක්ක තමයි ප්‍රබල හැඟීම් ඇති වෙන්නෙ. ඊට පස්සෙ ආයෙත් ඇවිල්ල චුට්ටක් ලියන්න පුලුවන්. මං කවදාවත් නිදිමරාගෙන ලියල නැහැ. මම එක දිගට කවදාවත් පැය තුන හතරකට වඩා ලියල නැහැ. මං බොහොම පුංචි වෙලාවක් තමයි එක දිගට ලියල තියෙන්නේ. මට ලියන්න තැනක් නැහැ, ලියන මේසයක් නැහැ, කාමරයක් නැහැ.මං ලිවීම පටන් ගන්න කාලෙ ලිව්වෙ හාෆ් ෂීට්ස් වල. කොච්චර වේගෙන් ලියවෙනවද කියනව නං හරියට ෂෝට් හෑන්ඩ් වගේ අකුරු වල කෑලි විතරයි. දැන් මම ලියන්නෙ ෆෝන් එකේ. මට ලොකු ෆෝන් එකක් නැහැ. පොඩි ස්මාට් ෆෝන් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඕනෙම තැනකදි මට ලියන්න පුලුවන්. දැන් වැඩිපුරම ඇඳේ ඉඳන් තමයි ලියන්නෙ නමුත් ට්‍රිප් එකක් ගියත්, උසාවියේ විවේකයක් ලැබුණ වෙලාවටත් මේ ඕනෙම වෙලාවක මට ලියන්න පුලුවන් මොකද මගෙ අතේ ෆෝන් එක තියනවනෙ. නවකතාවක් ලියන කාලෙදි මම ඉන්නෙ සමාන්තර ලෝක දෙකක. එකක් නවකතාවේ ලෝකය අනික මං ජීවත්වෙන ලෝකය. නවකතාවේ ලෝකයෙන් ගැලවිලා ඉන්න බැහැ මොන වැඩ කළත්. හිත ඇතුලේ ඒ චරිත ඉන්නවා. ඒගොල්ලෝ කෑවද බිව්වද ඒ ගමන ගියාද මේ දේවල් හිතෙනවා. කෞශල්‍ය: මේ ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? මනෝහරී: පොතක් ලියල මුද්‍රණය වුණාට පස්සෙ මං කවදාවත් ඒ පොත් කියවල නැහැ. ඇත්තටම නවකතාව ලියල ඉවර වුණාට පස්සෙ ස්තූතිය හෝ පෙරවදන් ලියන එකත් මට හරි අසීරු වැඩක්. මොකද මං කතාව ලියන තරම් ඉන්පස්සේ සිද්ධ වෙන දේවල් වින්දනය කරන්නේ නැහැ. නමුත් නවකතාව ලියන කොට මං උපරිමයෙන් විඳිනව ඒ චරිතත් එක්ක ගත කරන කාලය. ඒ චරිත යන හැම තැනකටම, හැම අහුමුල්ලකටම මං ඒගොල්ලොත් එක්ක යනවා. ඒ වගේම යම් දෙයක් මට ඕනෙ විදිහටම ලියවුණාම මට විශාල තෘප්තියක් දැනෙනවා. මේක ලියන්න පුළුවන් හොඳම විදිහට තමයි ලියවුණේ කියන එක දැනුන වෙලාවට තමයි එහෙම වෙන්නේ. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනහම දැනෙන හැඟීම් මොනවගේද? මනෝහරී: නවකතාවක් ලියල ඉවර වුනාම පුදුම වේදනාවක් දැනෙනවා. මට දැනෙන්නේ මගෙ සමීපතමයන් පිරිසකගෙන් සදාකාලයටම සමුගත්ත වගේ එකක්. ඒක කියන්න අමාරුයි. හිස්තැනකට ඇද වැටෙනවා. මගේ දෙයක් මට නැති වුනා කියල තමයි මට හැමතිස්සෙම හිතෙන්නෙ. මං අන්තිමට ලිව්වේ 'කඩදොර' නවකතාව. මේකෙ තියෙන්නේ කොත්මලේ ජලාශය හදද්දි ඒකට ගිලිල ගිය ගම්මානයක පවුලක් සම්බන්ධයෙන්. පොත අවසානයේදි මට දැනුණේ මාවත් මේ ජලාශයට ගිලිල ඉවරයක් වුණා වගේ. ඒකෙන් පස්සේ තාම මං හරියට රිකවර් වෙලා නැහැ කියල මට හිතෙනවා. කෞශල්‍ය: නවකතාවක් අවසන් වෙලා තවත් නවකතාවක් පටන් ගන්න කාලය ගැන යමක් කියන්න පුළුවන්ද? මනෝහරී: මං හැමදාම නවකතා දෙකක් එකට ලියල තියනවා. මගේ මුල්ම නවකතාව, ඒක යොවුන් නවකතාවක් කියල තමයි හැඳින්නුවේ. 'මැට්ටි' ලියන අතරෙම තමයි සංසක්කාරීත් ලිව්වේ. මේ දෙක එකිනෙකින් ගොඩක් වෙනස්. මැට්ටි කියන්නේ පුංචි ළමයෙක් වටා ගෙතිච්ච බොහෝ දුරට හාස්‍යය තියන කතාවක්. සංසක්කාරී කියන්නේ මං භාෂාව ඉතා ගැඹුරින් හසුරවපු පොතක්. මේ දෙක ශානරයන් දෙකක්. මං හිතන්නේ මං අතින් එහෙම ලියවෙනව ඇත්තේ මගෙ හිත සමතුලිත කරන්න වෙන්න ඇති. එතකොට 'ගිරිජා' පටන් ගත්ත සංසක්කාරී අවසන් වෙන්න කලින්. 'කඩදොර' නවකතාව ලියද්දි ඒත් එක්ක මම 'නැනී' නවකතාව ලිව්ව. ඒ දෙකත් එකිනෙකින් ගොඩාක් වෙනස්. ඒ වගේම මේ මොහොතෙත් මං ලියමින් ඉන්නවා වෙනස්ම පාරවල් දෙකක යන නවකතා දෙකක්. එදිනෙදා ලියද්දි මං ඒ වෙලාවේ ඉන්න මූඩ් එකට අනුව මගෙ ඇතුළත වඩාත්ම සතුටට පත් වෙන එක තමයි මං තොරාගන්නේ. මේ දෙකක් හෝ තුනක් එකට ලිවීම මාව විශාල වශයෙන් සමබර කරනවා. මනෝහරී ජයලත් නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත.එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත. ලබන සතියේ අප එබෙන්නට සූදානම් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න නවකතාකාරියගේ ලෝකයට. යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ: 'ජනපතිට වැරදුණු තැන්' තිබුණා ද? | 20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ අඟහරුවාදා (නොවැ: 14) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වුණේ, වසර 3කට පසුව වන අතර, 2019 සහ 2020 දෙවසර තුළ තිරගත වූ සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි. 2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් සහ 2020 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට 12ක් ලෙස චිත්‍රපට 42ක් පාදක කර ගනිමින්, රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් සහ සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 9ක් මෙහිදී පිරිනැමිණි. එහිදී පිරිනැමුණු ප්‍රධාන සම්මාන සම්මාන මෙසේය. මෙහිදී, 2020 වසරේ හොඳ ම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනීට හිමි වූ සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය අසුන්ගෙන සිටි ස්ථානයට ම ගොස් පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය. ෆේස්බුක් හි සටහනක් තබමින් සම්මාන උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි පවසා තිබුණේ සම්මාන දීමේදී තමන් විසින් ක්ෂණිකව යෝජනා කරන ලද ඇරයුමකට ජනාධිපතිවරයා එකඟ වූ හෙයින් එලෙස එම සම්මානය පිරිනැමූ බවයි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත විවේචන සහ සම්මාන පිළිබඳ වාද විවාද වසර 3කට පසුව පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇතැමෙකු විරෝධය පළ කර තිබූ අතර ඇතැමෙකු උපහාසාත්මක ප්‍රතිචාර දක්වා තිබිණි. එවැනි කතාබහකට ලක්වූ එක් කරුණක් වූයේ, සිනමා සම්මාන උලෙළේ ජූරි සභාවය. මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ජූරි සභාව සභිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත විය. ඒ, ආචාර්ය ශර්මාල් විජේවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, පියල් කාරියවසම්, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, චතුර ජයතිලක, දීප්ති කුමාර ගුණරත්න සහ රංග දසනායකයි. ඔවුන් අතරින් කිහිප දෙනෙකුට සිනමාව සම්බන්ධයෙන් පවතින දැනුම පිළිබඳව සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර තිබිණි. ඔවුන්ගේ තෝරා ගැනීම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබිණි.ඒ පිළිබඳව, මීට පෙර සිනමා සම්මාන උලෙළවල් රැසක ජූරි සභාව නියෝජනය කර ඇති ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය. "මේ ජූරි සභාවේ සිනමාව ගැන දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. මම නම් ඔවුන් තෝරපු දේවල් ගැන දොස් කියන්නෙ නෑ. මොකද රුචිකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. මට හොඳ දේ වෙන කෙනෙකුට නරක වෙන්න පුළුවන්. මෙතනදි වරද කරලා තියෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව. ඔවුන් දැන ගන්න ඕන සුදුස්සන්ව ජූරි සභාවට පත් කරන්න. ඒ නිසා මම නම් දොස් කියන්නේ, චිත්‍රපට සංස්ථාවට," ගුණසිරි සිල්වා පවසයි. "මගේ පෞද්ගලික කියවීම අනුව හොඳ ම චිත්‍රපටය 'ගින්නෙන් උපන් සීතල' නෙවෙයි. මට හිතෙන්නේ පිටපත ගත්තත්, සමස්ත චිත්‍රපටය ගත්තත් 'දැකල පුරුදු කෙනෙක්' චිත්‍රපටය ඉදිරියෙන් ඉන්නවා. අනික් අතට 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ විජේවීරගේ බිරිඳගේ චරිතයට පණ පෙවූ සුලෝචනා වීරසිංහටත් සම නැගී එන නිළිය සම්මානය දෙන්න තිබුණා. ඇගේ රංගනය විශිෂ්ට මට්ටමක තිබුණා. හැබැයි මේ මගේ මතය. අර ජූරි සභාවට ඊට වඩා වෙනස් මතයක් තියෙන්න පුළුවන්. ජූරි සභාවේ අවුලක් තියෙනවා නම් ඒකට වග කියන්න ඕන චිත්‍රපට සංස්ථාව," ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළ "තනිකර ම කොමඩියක්" බව ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා පවසයි. ඔහු එම සම්මාන උලෙළේ ආරාධිත අමුත්තෙකු වූ අතර ඔහු ඊට සහභාගී විය. එවැනි අදහසක් පළ කිරීමකට බලපෑ හේතු මොනවා ද? යනුවෙන් අපි ගුණසිරි සිල්වාගෙන් විමසුවෙමු. 'ජනපතිට වැරදුණු තැන්' තිබුණා ද? "අවස්ථා කිහිපයක් ම තිබුණා හාස්‍යය උපදවන. එකක් තමයි, 'රන් මුතු දූව' චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රඟපෑවා කියපු එක," ඔහු පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙසේය. "රන් මුතු දූවේ මාලිනී ෆොන්සේකා මෙතන ඉන්නවා. තාම මතකයි, 'පිපී පිපී රේණු නටන' සින්දුව." එහෙත්, ගුණසිරි සිල්වා පැවසුවේ, රන් මුතු දූව චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක නොවූ අතර එහි ප්‍රධාන භූමිකාව ජීවරාණී විසින් රගපානු ලැබූ බවය. බීබීසී සිංහල විසින් කළ සොයා බැලීමකදී ද තහවුරු වුයේ මයික් ජේ විල්සන් අධ්‍යක්ෂණය කරන ලද, සෙරන්ඩිබ් චිත්‍රපට ඉදිරිපත් කළ ශේෂා පලිහක්කාර සහ ආතර් සී. ක්ලාක් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ මුල්ම අංග සම්පුර්ණ වර්ණ චිත්‍රපටය ලෙස හැඳින්වෙන රන් මුතු දූව චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස සමග එහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවා ඇත්තේ ජීවරාණී කුරුකුලසූරිය බවයි. මේ අතර ජනාධිපතිවරයාට දැක් වූ තවත් අදහසක් විවාදයට පාත්‍ර වී තිබේ. ඒ නන්දා මාලිනීට සම්මානය ලබාදෙන මොහොතේ ජනාධිපතිවරයා කියන ලද කරුණක් සම්බන්ධයෙනි. "1963 සරසවි සම්මාන උළෙලේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දී මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සෙ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ දොයිය බබා නැළැවිලි ගීතය එතුමියගේ හඬින් අහපු අවස්ථාව මගේ හිතේ තවමත් තියෙනවා. ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීතයක් ලෙස තිබුණේ ඒ නැළවිලි ගීතයයි, Over the Waves වාදනයයි විතරයි. මෙතුමියගේ සංගීතය අප රස විඳිනවා. එතුමිය කළ සේවයට මගෙත්, මුළු රටේම ජනතාවගේත් ස්තුතිය මම පුද කරනවා.” ජනාධිපති රනිල් වික්‍රම්සිංග කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ගුණසිරි සිල්වා පවසන්නේ "මං දන්න තරමින් නම් ගම්පෙරළිය චිත්‍රපටයේ ගීතයක් තිබුණෙ නෑ," යනුවෙනි. නමුත් උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටිගෙන් මේ සම්බන්ධයෙන් විමසමින් ඔහුගේ ෆෙස්ක්බුක් පොස්ටුවට එක්කොට තිබු කමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා තිබුණේ එවන් ගායනයක් ගම්පෙරළියේ ඇති බවත්, නමුත් සිරස්තලවල නමක් සඳහන් කර නොමැති බවත් ය. "ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවක හා නන්දක්කා හමු වූ අවස්ථාවක මම මේ ගැන වැඩි විස්තර අසා දැනගන්න උත්සාහ කරන්නම්" ඔහු එහි වැඩිදුරටත් සඳහන් කොට තිබුණි. මේ සම්බන්ධව අප කළ තොරතුරු සොයා යාමේදී අපට මෙතෙක් හමුවුයේ ලෙස්ටර් ජෙම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටය 'ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය' ලෙස ඉතිහාසයට එක්ව ඇති බවත්, චිත්‍රපටය වෙනුවෙන් ඩබ්ලිව්. ඩී. අමරදේව සංගීතය නිර්මාණය කොට ඇති බවත් යන්න පමණි. 'ගීත ගායනය/ නැළවිලි ගායනා ' චිත්‍රපටයේ සිරස්තල නාම ලේඛනයට ඇතුළත්ව නොතිබුණි. කලා නිර්මාණවලින් 'වාරණය' යන වචනය ඉවත් කළ යුතුයි මේ අතර ජනාධිපතිවරයා කලා නිර්මාණ වාරණය සම්බන්ධයෙන් ද සම්මාන උලෙළේ දී සිය අදහස් පළ කළේය. "රැඟුම් පාලනය සම්බන්ධයෙන් නව පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා. මෙරට රැඟුම් පාලක මණ්ඩල පනත දැන් වසර සියයකටත් වඩා පැරණියි.රැගුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා." "එසේම කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙනවා. ඒ හේතුවෙන් කලාකරුවන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදු වෙනවා. අප මේ පිළිබඳ අලුතින් සිතියි යුතුයි. පැරණි නිතිවලට සිරවී එම කටයුතු කළ නොහැකියි. ඒ නිසා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරනවා. මෙම නිති ලබන වසරේදී ඉදිරිපත් කිරීමට අප බලාපෙරොත්තු වෙනවා" හෙතෙම කියා සිටියේය. |
'මම ලියන හැටි': උපුල් ශාන්ත සන්නස්ගල | මෙවර කතාබහට එක්වන උපුල් ශාන්ත සන්නස්ගල යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන ජනප්‍රියම නවකතාකරුවකු පමණක් නොව ජනප්‍රිය සංස්කෘතික සංකේතයකි. කෙසේ වුවත් මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. 'සරසවි දියණියෝ' නවකතාවෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය 'වස්සාන සිහිනය', 'නේත්‍රා', 'ලලනායනය', 'පිරිමි ගොඩයි මං විතරයි', ආදී නවකතා පසු කර 'No Stopping or Turning Back' නවකතාව අසල දැන් විරාමයක් ගනිමින් සිටියි.ඒ ඔහුගේ දාහත් වන නවකතාවයි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ දක්වා මේ සංවාද මාලාව ඇරඹුණු විදිහට ම මම ඔබෙන් අහන්නෙත් ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවෙන ආකාරය ගැන. අපිට කියන්න පුළුවන්ද මේ සමාරම්භක මොහොතට ඔබ මුහුණ දෙන්නේ කොහොමද කියල? සන්නස්ගල: මම මේ වෙනකොට නවකතා දාහතක් විතර ලියල තියන නිසා, ඒ ඔක්කොම අරගෙන බැලුවොත් ඒ පොත් වල මුද්‍රණය වෙලා තියෙන්නෙ මම ඒවා ආරම්භයේදී ලියපු පළවෙනි වාක්‍යය නෙමෙයි. මගෙ පළවෙනි පොත, 'සරසවි දියණියෝ', ගත්තොත් එහෙම මට ඒකෙ පළවෙනි වාක්‍යය, පළවෙනි ඡේදය, සහ පළවෙනි පරිච්ඡේදය ලියා ගන්න සති දෙකක් විතර තටමන්න සිද්ධ වුණා. ලියනවා කපනවා ආයෙමත් ලියනවා. ඒ කාලෙ අපි ලිව්වෙ පෑනෙන්. මගෙ අකුරු කැතයි. මුල් පිටු හතර විතර ලිව්වට පස්සෙ මම මේක ටයිප් කරව ගත්ත. මොකද මට මේ වචන වල ලස්සන පේන්නේ නැහැ මගෙ අත් අකුරු වලින් දැක්කම. ප්‍රේමය කියන වචනයේ තියන ලස්සන, ඔයා කියන වචනයේ තියන ලස්සන මට පේන්නෙ නැහැ එහෙම දැක්කම. ඉතින් මම මේක ටයිප් කරවගෙන බැලුවා. මේක මම ඊට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක්. මං සංහිඳ ප්‍රෙස් එක පටන්ගත්තට පස්සෙ මම ලියන දේවල් එවෙලෙම ටයිප් කර ගත්ත. නැවතත් ලිවීමේ සමාරම්භක මොහොතට ගියොත්, නවකතාවක පළවෙනි වාක්‍යය කියන්නේ මට ඉතාම අපහසු දෙයක්. දැන් 'නේත්‍රා' වගේ නවකතාවක් ගත්තොත් මම A 4 කොළ පනහක් විතර වැය කළා ඒක ලියන ආකෘතිය හොයා ගන්න. ඒ කියන්නේ මට අදහසක් තියනවා ඒක කියාගන්නේ කොහොමද කියන එක හොයාගන්න. දැන් මගෙ අන්තිම නවකතාව ගත්තොත් ඒකෙ මට තිබුණ uber එකක් දාන විදිහ ලියන්න ආරම්භයේදි. මම යාළුවෝ කීපදෙනෙකුට කතා කරල කිව්ව මට ඒගොල්ලො uber එකක් දාන විදිහ ලියල එවන්න කියල. නවකතාව කියන ආකෘතිය වගේම නවකතාව ලියන භාෂා ස්ටයිල් එක හොයා ගන්න එකත් අතිශය අසීරු දෙයක්. මගෙ සමහර පාඨකයෝ මට කියල තියනවා ඒ අය මගෙ නවකතා කියවද්දි කොහොමද මේ භාෂාවෙ රිද්මයත් එක්ක බැඳෙන්නෙ කියන එක. මෙහෙම තමයි, ආරම්භය තමයි නවකතාවක මට තියන ලොකුම ප්‍රශ්නය. හැබැයි එතනින් පස්සේ ලියාගෙන යන එක හරිම පහසුයි. හරියට තමන්ගෙ පෙම්වතිය හරි පාට්නර් හරි කම්ෆටබල් වෙනකන් ගත කරන කාලය වගේ. එයා කැමති දේවල් මං කැමති දේවල්, එයයි මායි යමක් ෂෙයා කරගන්න විදිහ, දේවල් වලට එන්ටර් වෙන විදිහ. දැන් එතනින් පස්සෙ මේක ටොප් එකට ප්ලේ වෙන්න ගන්නවා. කෞශල්‍ය: ඒක ඉන්ට්‍රස්ටින් උපමාවක්. දැන් එතකොට ඔබ මේ අසීරු මොහොතට මුහුණ දෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද? සන්නස්ගල: මම හිතන්නෙ මං සෑහෙන ප්‍රමාණයක් දන්නවා. නමුත් ඒක නවකතාවෙන් නවකතාවට වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට මම 'නිර්වාණ' පොත ලියද්දි, කොළඹ නගරයේ ඉන්න පොහොසතුන්ගේ දුක කියන්න ඕනෙ කියන අදහස මට තියනවා. සාමාන්‍යයෙන් අපි ලංකාවෙදි කතා කරන්නෙ දුප්පතාගෙ දුක ගැනනේ. මං දුප්පත්ව හිටපු කාලෙ මගෙ දුකට වඩා මං පොහොසත් කාලෙ දුක බරයි. දුප්පත් කාලේ දුක එළියට පේනවා. පොහොසත් කාලේ දුක එහෙම පේන්නෙ නැහැ. ඉතිං මට ඕනෙ වුණේ මේ පොහොසත් දුක ගැන නවකතාවක් ලියන්න. ඒකෙදි මං කැරැක්ටර්ස් වල කෙමෙස්ට්‍රි එක මුලින් හැදුවා. එයා කන්න කැමති මොනව ද එයා උසයි එයාගෙ හෙයා ස්ටයිල් එක මොකද්ද එයාගෙ සපත්තු වල වර්ගය මොකද්ද මේ විදිහට මං චරිත වල කෙමෙස්ට්‍රි එක හැදුවා. ඊට පස්සෙ දැන් මේ චරිත වල රසායනයට අදාළ භාෂාවක් තියනවනෙ. ඊට පස්සෙ මං ස්කෙච් කලා මේ භාෂාව මොන වගේ වෙයි ද කියල. එතකොට මං ඒ චරිත වල පරම්පරාවල් පවා හැදුවා චාට් එකක. ඒ ගෙවල් වල තියන බඩු වල ලිස්ට් එකක් හැදුවා. කොටින්ම මං සමහර රූප පවා ඇන්දා. මං ගාව තාම තියනවා ඒ සඳහා මං හදපු නෝට්ස්. දැන් 'නේත්‍රා' ගත්තොත් එතනදි මම ඒක පදනම් කර ගන්නේ මං අහපු ඇත්ත කතාවක් මත. ඇත්ත කතාවෙ හිටියෙ මිනිස්ටර් කෙනෙක් මං එයාගෙ විදිහට ව්‍යාපාරිකයෙක් හැදුවා. දැන් 'කොළ පාට ඇස්' නවකතාව ගැන බැලුවොත් ඒක මං ලියන්නේ ආරතී මොහාන්දාස් එක්ක. ආරතීයි මමයි එකතු වෙලා නවකතාව පටන් ගන්න කලින් පරිච්ඡේද වල මමයි එයයි ලියන්නෙ මොනවද කියන එක කලින් ලිව්වා. ඒ විදිහට මුළු ස්ට්‍රක්චර් එකම සම්පූර්ණයෙන් එලුවා. මේ විදිහට පොතින් පොතට මං ලියන්න පටන් ගනිද්දි දන්න දේවල් සහ ඒකට ගන්න ප්‍රවේශය වෙනස් වෙනවා. මං තව උදාහරණයක් කියන්නං. දැන් මගෙ ෆිල්ම් එක, 'තංගමලේ ඩයරීස්' වල ස්ක්‍රිප්ට් එක ඉවර කරල තියනවා සුසිත විජයමුණි. එයා ස්ක්‍රිප්ට් එක ලියල තියෙන්නෙ මගෙ කතාවකින්. දැන් මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ මම චරිත දැකල, සිදුවීම් දැකල, හැසිරීම් දැකල තියෙන්නෙ. දැන් මං අර්බුදයක ඉන්නවා මං කොහොමද මේකෙන් මගෙ නවකතාව ලියන්නෙ කියලා. ඒ වෙනුවෙන් මං කරන්න ඕන අභ්‍යාසය මොකද්ද කියල මං තාම දන්නෙ නැහැ. කෞශල්‍ය: දැන් අපි ටිකක් කතා කරමුද ලිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි ගැන? සන්නස්ගල: මම දැන් වෙනකොට විශ්වාස කරන දෙයක් තමයි නවකතාව කියන්නෙ කේවල කලා කෘතියක් නෙමේ කියන එක. ඒ කියන්නේ ඒක තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙමෙයි. ඒකත් එක්ක සාමූහිකයක් ඉන්නවා. මගෙ නිර්වාණ' පොතට හිටිය මැදිහත් මඩුල්ලක්. ඒක ඒ පොතේ දාල තියනවා. මගෙ අලුත් පොතටත් එහෙමයි. මේ මැදිහත් මඩුල්ල පොතට විවිධ තල වලින් සම්බන්ධ වෙනවා. නිර්වාණ පොතේ මැදිහත් මඩුල්ලේ හිටිය වෛද්‍යවරයෙක්, මට එයාගෙන් දැන ගන්න ඕනෙ වුනේ සයනයිඩ් අරගෙන මිනිහෙක් මැරුණම මිනියේ පාට මොන වගේ ද වගේ දේවල්, ඒකෙ හිටිය තිලිණ බාලසූරිය මට එයාගෙන් දැන ගන්න ඕන වුණා කොළඹ නගරයේ රොක් කොන්සර්ට්ස් ගැන. මේක එක තලයක්. දැන් චාමර ගුරුගේ තමයි නිර්වාණ වල අනු මාතෘකා හැම එකක්ම වගේ දැම්මේ. එතකොට එයා ඍජුවම මේකෙ නිර්මාණාත්මක තලයට සම්බන්ධයි. එයත් මේ මැදිහත් මඩුල්ලේ හිටිය. පොතේ කවරය නිර්මාණය කරපු මො.ල. සෙනෙවිරත්නත් මේ මැදිහත් මඩුල්ලේ හිටිය. මං දැන් වෙද්දි හිතන දෙයක් තමයි පොතක කවරය කියන්නේ පොතේ අන්තර්ගතයට තදින් සම්බන්ධ වෙන දෙයක් බව. මේ විදිහට මේ නිර්මාණාත්මක ක්‍රියාවලියට සම්බන්ධ වෙන සමූහයක් ඉන්නවා. අනිත් අතින් ලිවීමේ ක්‍රියාවලියේ පුද්ගලික තලය ගැන හිතුවොත්, මට ලියන්න නිශ්චිත වෙලාවක් නැහැ. මං මහ රෑ හීනෙන් අවදි වෙලත් ලියල තියනවා, වාහනේ යද්දි යමක් හිතට ඇවිල්ල එහෙමත් ලියල තියනවා, මගෙ පෙම්වතියත් එක්ක ලිංගික එක්වීමකින් පස්සේ ඇතිවෙන සුරතාන්ත සැහැල්ලුවෙන් පස්සෙත් මං ලියල තියනවා, සමහර වෙලාවට මට පාට්නර් කෙනෙක් නැත්තං ඒත් මට ලිංගික එකතු වීමක උවමනාව තියනවා නං අන්න ඒ අසීරු වෙලාවෙත් මං ලියල තියනවා. ඒ නිසා මට ලියන්න තැනක් වෙලාවක් නැහැ. නිශ්ශබ්දයි ද සද්ද තියනව ද කියන එක අදාළත් නැහැ. හැබැයි මං ලියන එකට වෙන කෙනෙක් එබෙන්න බැහැ. කවුරුහරි කිව්වොත් ඔයා ලියන්න මං බලන් ඉන්නං කියල ආය ඉතින් සතියකට ලියන්න බැරි වෙයි. නමුත් ලියපු දේවල් අනික් අයට කියවන්න මං ආසයි. ඒක මං ලොකු සතුටක් ලබන දෙයක්. කෞශල්‍ය: දැන් මේ ලිවීමේ ක්‍රියාවලිය පටන් ගන්න කොට ඔබ දන්නවද මේ නවකතාව අවසන් වෙන හැටි? සන්නස්ගල: මං හිතන්නෙ ඒක තමයි දන්නෙ නැත්තෙ. ආරතී මොහාන්දාස් එක්ක ලියපු 'කොළ පාට ඇස්' නවකතාවෙදි විතරක් ඉවර කරන්නෙ කොහොමද කියන එක ගැන අදහසක් තිබුණා. අනිත් කිසිම නවකතාවක මෙතනින් තමයි එන්ඩ් වෙන්නෙ කියන එක තිබුණේ නැහැ. මං එක උදාහරණයක් කියන්නං, මං ලිව්ව 'අපේ ආදර කතාව' කියල නවකතාවක්. ඒකෙ අන්තිම පරිච්ඡේදය දක්වා ඇවිත් තිබුණේ හැබැයි මට මේක අවසන් කරන හැටි ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. මේක වැලන්ටයින් ඩේ එක දවසෙ එළියට දාන්නත් සැලසුම් කරල පොතේ අනිත් කොටස් හැම එකකම පෲෆ් බලල ඉවර වෙලා තිබුණේ. ප්‍රෙස් එක බලං ඉන්නවා මං අවසානය ලියල දෙනකන්. මේ වෙලාවෙ මගෙ නුවර පන්තියෙ ළමයෙකුගෙ අම්ම කෙනෙක් මට කෝල් කලා. ඒ ළමය කැන්සර් එකක හැදිල මරණාසන්නව ඇසුත් අන්ධ වෙලා හිටියෙ. මේ දරුව තදබල වේදනාවක හිටි නිසා මෙයා ඇඳ වියල අස්සෙ අත් දාලා අතේ ඇටකටු කඩා ගන්නව මේ වේදනාව දරාගන්න බැරුව. මේ අම්ම මගෙන් ඇහුව දුව කියනවා සර්ට කතා කරන්න ඕනෙ කියල සර්ට එන්න පුලුවන්ද කියල. මං එතකොට කොළඹ හිටියෙ මං කිව්ව ඒ ළමයට ෆෝන් එක දෙන්න කියල. ඒ ළමය මට කිව්ව සර් මේ වටේ ඉන්න උන් හිතන් ඉන්නෙ මගෙ ඇස් පේන්නෙ නැති වුණාට කන් ඇහෙන්නෙත් නෑ කියල, මුං කෑ ගහනවා අනේ මේ දරුව විඳින දුක කිය කිය. සර්ට ඇවිල්ල මුංගෙ කටවල් වහල දෙන්න බැරිද කියල. ඒ දරුව ඊට ටිකකට පස්සෙ නැති වුණා. දැන් මේ සිදුවීමෙන් පස්සෙ මං අපේ ආදර කතාවේ අවසානය ලියනවා, ඒකෙ ප්‍රධාන චරිතයක් කැන්සර් එකක් හැදිල මැරෙනවා. දැන් මේ අවසානය මං කලින් දැනගෙන හිටපු එකක් නෙමෙයි. කෞශල්‍ය: දැන් ඔබ මුලින් කිව්වා බොහෝ වෙලාවට ලියන්න යන චරිත සහ සිදුවීම් ගැන සැළකිය යුතු තරම් දැනගෙන තමයි පටන් ගන්නෙ කියලා. නමුත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුලේ ඔබටත් නොදැනී ඔබේ අතින් ඔබ අපේක්ෂා නොකල දේවල් සිද්ධ වෙලා නැද්ද? සන්නස්ගල: වෙලා තියනවා. මට ඒක ගැන මෙහෙම කියන්න හිතෙනවා. සමහර වෙලාවට ආර්ටිස්ට් කෙනෙක් ස්ටේජ් එකට නැග්ගම සමහර වෙලාවට අර අපිට පේන්නෙ මොකක් හරි ආරූඬ වෙලා වගේ. මං ඒක දැකල තියනවා රූකාන්ත ගුණතිලකගෙන්. ස්ටේජ් එකෙන් පල්ලෙහා ඉන්නකොට අපිට හම්බෙන යාළුවා නෙමෙයි ස්ටේජ් එකට නැග්ගම ඉන්නෙ. එතනදි සිද්ධ වෙන ආරූඬය ඇතුලෙ තමයි තරු ලකුණු පහල වෙන්නෙ මං හිතන්නෙ. එතකොට ආර්ටිස්ට් අතින් හිතපු නැති දේවල් වෙන්න පුලුවන්. ඒක අර ආරූඬය විසින් සිද්ධ කරන දෙයක්. ඒ වගේ ලියන කොට සමහර වෙලාවට කැරැක්ටර් එක මාව තල්ලු කරල එයා මේක ලියන අවස්ථා තියනව. මං ලිව්වට ඒක එන්නෙ එයාගෙන්. කැරැක්ටර් එක මෝරල ඇවිල්ල එයා එයාට ඕන දේ ලියවනවා. එතකොට මට මරු කියල විසිල් එකක් ගහන්න හිතෙනවා. එහෙම දේවල් ඕනෙ තරං වෙනවා. ඒක ඇඟ ඇතුලෙ වෙන හරි මැජික් වැඩක්. මං එක පාරක් කියල තියනවා මට ප්‍රේම සම්බන්ධතා හතලිහක් විතර තිබිල තියනවා මං ගෑනු පහළවක් එක්ක විතර බුදියන් ඉඳල තියනවා කියල. පොතක් ලියද්දි ඒ කාන්තාවෝ මගෙ සෙක්ස් පාට්නර් වෙනවා, මගෙ පෙම්වතිය වෙනවා, මගෙත් එක්ක කතා කරනවා මගෙත් එක්ක ගමන් යනවා, මගෙත් එක්ක හීන දකිනවා. ඒ කියන්නෙ මං උන් එක්ක තමයි ඒ කාලෙට ඉන්නෙ. එතකොට මේක ඔලුවෙ හොඳට හැදෙනවා. ඒකට නිකං පොඩි පණ තියන විදිහක් එනවා. ඊටපස්සෙ එයා ප්ලේ කරන්න ගන්නවා. පොත ලියල ඉවර වුණාට පස්සෙ එයා ඒ ප්ලේ එකෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. එයා ඔලුවෙ දඟලන්නෙ නැහැ ආපහු. ලියන කාලෙට එන අර අසහනකාරී ඩිප්‍රෙස්ඩ් ගතිය එන්නෙ මේ චරිත වල දැඟලීමත් එක්ක. සමහර වෙලාවට දවසක් දෙකක් නාන්නෙත් නෑ දත් මදින්නෙත් නෑ රැවුල කපන්න හිතෙන්නෙ නෑ. සෙක්ස් කරන එක ලව් කරන එක පවා අඩු වෙනවා. ඒ කාලෙට බාහිර කිලුට්ට ගැන මං හිතන්නෙ නැහැ.මගෙ ඇඳුම, පර්ෆියුම් එක ඒවා අදාළ වෙන්නෙ නැහැ මොකද මං අභ්‍යන්තරිකව වෙනම අරගලයක ඉන්න හින්ද. මං සම්පූර්ණයෙන්ම ක්ලීන් වෙන්නේ ලිවීම අවසන් වුනාට පස්සේ. කෞශල්‍ය: ලියද්දි දැනෙන සතුට ගැන මොකද හිතෙන්නේ? සන්නස්ගල: මෙතන සතුටු වර්ග දෙකක් තියනවා. මං කෑම වලින් උදාහරණයක් අරගෙන කියන්නං. අර කෑම ඉව්වම කියන්නෙ මං පස්සෙ කන්නං උයපු නිසා කන්න බැහැ කියල. මොකද රස විඳින්නෙ උයන එක. කන්නේ වෙන කට්ටියක්. පාඨකයො කියවද්දි මං බලං ඉන්නවා. මම කියවන්න යන්නෙ නැහැ. මං බොහොම කලාතුරකින් තමයි මම ලිව්ව එකක් නැවත කියවල තියෙන්නෙ. මං ආස නෑ නැවත ඒ ට්‍රිප් එක යන්න. හැබැයි අනිත් අය කියවන කොට ඒක දකින එකේ තියනවා සැහැල්ලු සතුටක්. හැබැයි ඒක අර ලියද්දි තියන සතුටට වඩා වෙනස්. ලියන මොහොත තුළ උපුල් ශාන්ත සන්නස්ගල නමැති නවකතාකරුවා පවතින්නේ කෙසේ ද යන්න යන්තමින් හෝ දැන් අප දන්නා නිසා ඔහුගේ නවකතා කියවන අතර අපට එය සිහිපත් කළ හැකිය. ලබන සතියේ සිය රහස් අප වෙත හෙලිදරව් කරනු ඇත්තේ මෑත කාලයේ පාඨක විචාරක ආදරයට පාත්‍ර වූ මනෝහරී ජයලත් නවකතාකාරිය යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
මිකී මවුස්ගේ හඬ ඉපදුණු හැටි | මිකී මවුස්ට හඬ දී ඇත්තේ, හඬ නළුවන් සිව් දෙනෙකු පමණි. 1929 වසරේ සිට 1946 වසර දක්වා පළමුවෙන් මිකී මවුස්ට හඬ දී ඇත්තේ, වෝල්ට් ඩිස්නි බවට බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. මෙම වීඩියෝ වේ, මිකීගේ වත්මන් කටහඬ ලබා දෙන හඬ නළුවා තමන්ට වෝල්ට් ඩිස්නි බලපෑ ආකාරය පැහැදිලි කරන අතර එහි මුල් හඬ අපට ඇසෙයි. |
'මම ලියන හැටි':සුමිත්‍රා රාහුබද්ධ | බුමුතුරුණු නවකතාවෙන් ඇරඹෙන සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාකරණය 'සුර අසුර', 'ඉටි පහන්', 'කන්දක් සේමා', 'අත අත නෑර', 'තම්මැන්නා', ආදී නවකතා පසුකර පැමිණ දැන් 'සීතා මැරී රම් රද' අසළ තාවකාලික විරාමයක් ගනිමින් සිටියි. සුවිශාල ලෙස පාඨක විචාරක අවදානයට ලක් වූ ඇගේ නවකතා ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයට පරිවර්තනය වීම අලුත් දෙයක් නොවුව ද ඇගේ 'කන්දක් සේමා' නවකතාව ඇසුරෙන් තැනුණු සිනමා පටය මේ දිනවල ප්‍රදර්ශනය වෙමින් තිබෙන බව නොකියා සිටිය නොහැකිය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : පුරුදු විදිහට ම මම ඔබෙන් අහන්නෙත් නවකතාවක් ලිවීමේ සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළවෙනි වාක්‍ය ලියවුන ආකාරය ගැන යමක් කියන්න පුලුවන්ද? සුමිත්‍රා : ඒක ඇත්තටම හරිම අමාරු වැඩක්. හරියට අර නානකොට පළවෙනි වතුර බාල්දිය අදිනව වගේ. එහෙමත් නැත්තං රියදුරු බලපත්‍රය හම්බවුනාට පස්සෙ මුල් වතාවට වාහනයක් තනියම පාරට දානව වගේ. හැප්පෙයිද දන්නෙ නැහැ. අපිට හයියෙන් යන්න පුලුවන් වෙයිද හෙමින් යන්න වෙයිද දන්නෙ නැහැ.මේ වගේ චකිතයක් අවිනිශ්චිත බවක් එක්ක තමයි ඒක කරන්නේ. පළවෙනි වාක්‍යය අසීරු දෙයක්. මං සමාන්‍යයෙන් නවකතාවක වස්තු බීජයක් ඔළුවට ආවම ඒක මෝරනකං ඒක එක්ක සෑහෙන කාලයක් වැඩ කරන කෙනෙක්. උදාහරණයකට 'කන්දක් සේමා' නවකතාවෙ මූලික බීජය හොයාගත්තට පස්සෙ මම මාස ගණනක් ජපානයේ මේ කියන 'නීගතාවෙ' ගත කරනවා. මේක ඇතුලෙ තියෙන දේ පටන් ගන්නෙ කොහොමද? මේ ගෑනු ළමයට වෙච්ච දේ මම පටන් ගන්නෙ කොතනින්ද? මේක හොයා ගන්න මං සෑහෙන කාලයක් ලිවීමට කලින් වැඩ කරනවා. ඉතින් ලිවීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වුනාට පස්සෙ මේ පළමු වාක්‍යය හරියට ලියවුණොත් ඒක ඉදිරියට යෑමට ලොකු තල්ලුවක් වෙනවා. මම සාමාන්‍යයෙන් ලියන නවකතා මුද්‍රණයට කලින් කිහිප සැරයක් වෙනස් වෙනවා. නමුත් මං මුලින්ම ලියපු වාක්‍යය කවදාවත් වෙනස් වෙලා නෑ. කෞශල්‍ය: ඔබේ කියපු දේවල් වලින් මතුවෙන අතිශය වැදගත් අදහසක් තමයි කතාවේ මූලික බීජය ආවට පස්සෙ ලිවීම ආරම්භ කිරීමට පෙර ඒකත් එක්ක වැඩ කරන කාලය. වෙනත් විදිහකට කිව්වොත් මේක නවකතාව වෙනුවෙන් කිසියම් හැදෑරීමක්, පර්යේෂණයක් කරන කාලයක්. මේ ගැන තව ටිකක් කතා කරමුද? සුමිත්‍රා : මගෙ හැම නවකතාවකට ම මේක අදාළ යි. ඒක එහෙම නොවුණේ මගෙ පළමු නවකතාව වන 'බුමුතුරුණු' ලියද්දි විතරයි. ඉන් පස්සෙ ලියපු හැම නවකතාවකදිම මම මූලික බීජය හිත තුළ මෝරණ තුරු ඒ කතා වලට අදාළ පසුබිම ගැන හැදෑරීමක් කළා. මේ හැදෑරීමේ ආකාරය නවකතාවෙන් නවකතාවට වෙනස් වෙනවා. දැන් 'කන්දක් සේමා' නවකතාවේදී මට සිද්ධ වෙනවා ජපානයට ගිහින් මගේ කතාවේ ප්‍රධාන චරිතය ගොඩනැගෙන ආකාරය තේරුම් ගන්න. මේ කතාව මට කියන ඒ කාන්තාව එයා ටෝකියෝවේ සිට නීගතාවට බුලට් ට්‍රේන් එකේ ගිය හැටි මට කියල තිබුණා. ඒ නිසා මමත් ටෝකියෝවෙ සිට නීගතාවට ගියේ බුලට් ට්‍රේන් එකේ. මම නීගතාවට ගිහින් ඇයත් එක්ක ඇගේ සැමියා එක්ක ඒ කතාවට අදාළ තැන් වලට ගියා. මේ ක්‍රියාවලියෙදි මං හරි අඩුවෙන් තමයි සටහන් තියා ගත්තෙ. හැම දෙයක්ම චිත්‍රයක් වගේ මගෙ හිතේ තවමත් තියනවා. දැන් 'තම්මැන්නා' වගේ නවකතාවක් ගත්තොත් ඒකෙ තියෙන අපේ දේශපාලන ඉතිහාසයට අදාළ කාරණා. ඒවා නිවැරදිව ග්‍රහණය කර ගන්න මං පොත් හාරසීයයක් විතර කියෙව්වා. ඒ එක්කම කුමාරි ජයවර්ධන වගේ මේ ඉතිහාසය ශාස්ත්‍රීය ලෙස හදාරපු අය මුණගැහුණා. ඊට අමතරව රුවන්වැල්ලේ ගිහින් එහෙ පරණ වමේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ එක්ක කතා කරමින් ඒ කතාවේ සිදුවීම් වලට අදාළ මුඛපරම්පරාගත ඉතිහාසයත් සොයා බැලුවා. එන්.එම්.පෙරේරා රුවන්වැල්ලේ දේශපාලනය කරපු කාලය පුරා ම එයා නැවතිලා හිටිය වලව්ව එක්ක බැඳුණු සමහර සිදුවීම් පොත් වල නැහැ. මේකට පස්සෙ කාලෙ මිනිස්සු කිව්වෙ රතු වලව්ව කියල. ඒ වලව්වෙ මැණිකේ සහ එන්.එම් අතර සම්බන්ධයේ ස්වභාවය, ඔහුගේ බිරිඳ සෙලිනා එක්ක තිබුණු සම්බන්ධය වෙනස් වෙන හැටි මේ දේවල් හමුවෙන්නේ ලේඛනගත ඉතිහාසයෙන් එළියේ . එන්.එම් මැරුණම ප්‍රාදේශීය දේශපාලනඥයින් මැණිකෙගෙන් ඉල්ලා හිටිනවා මේ වලව්ව එන්.එම් වෙනුවෙන් කෞතුකාගාරයක් කරන්න කියල. නමුත් ඒක සිද්දවෙන්නෙ නැහැ. සෙලිනා මේ වෙනකොට ඉන්නෙ ඉන්දියාවේ. එයා රෝස මලක් එවනවා. එන්.එම්ගෙ කොටා රෝඩ් එකේ ගෙදර උකසකට සින්න වෙන්න යමින් තිබුණේ. සෙලිනා ඒ වෙලාවේ බර්නාඩ් සොයිසාට පවර් ඔෆ් ඇටර්නි එකක් එවල කියනවා එයාට අයිති කොහුවල තිබුණ දේපල විකුණල එන්.එම්ගෙ ගෙදර බේරගන්න, එන්.එම් කියන ඒ උසස් මිනිසා වෙනුවෙන් ඒක පුස්තකාලයක් බවට පත් කරන්න කියල. දැන් මේ ඉතිහාසයට අදාළ සියුම් මානව සම්බන්ධතා හොයා ගන්න වෙන්නෙ මුඛපරම්පරාගත ඉතිහාසය ඇතුළේ . දැන් මේක තමයි 'තම්මැන්නා' කෘතියට අදාළ හැදෑරීමේ ස්වභාවය. ඒක වෙනස් 'කන්දක් සේමා' එක වෙනුවෙන් කරපු හැදෑරීමට වඩා. දැන් ‘සිය සිය පත් සිය’ වගේ නවකතාවක තියෙන්නේ ලංකාවෙ විවාහ චාරිත්‍ර වෙනස් වෙන හැටි. මගෙ අම්ම ඉස්සර නිතර කියනවා විවාහ උත්සව වල එයාගෙ අත්දැකීම්. කුල ප්‍රශ්නයක් ඇවිත් මඟුල් මේසේ පෙරළපු හැටි වගේ දේවල්. එයාගේ කතා නිසා මම ගොඩක් දේවල් දැනගෙන හිටියට නවකතාව ලියන්න ඒක මදි. මට සිද්ද වෙනවා මේ සම්බන්ධයෙන් පොතපත කියවන්න වගේම තවත් අය එක්ක මේ ගැන කතා කරන්න. කෞශල්‍ය: දැන් මේ විදිහට මූලික බීජය හිතේ තියාගෙන ඒ වෙනුවෙන් කරන හැදෑරීම පටන් ගත්ත ම ඒ හැදෑරීමෙන් නවකතාව ලිවීමට ප්‍රවේශ වෙන හැටි කොහොම ද සිද්ද වෙන්නෙ? සුමිත්‍රා: මේක මට ඇත්තටම හරිම අමාරු දෙයක්. මම කියවන්න පටන් ගත්ත ම මට ඒක නවත්ත ගන්න බැහැ, ලියන එක අමතක වෙලා යනවා. ඔය කාලෙට මගෙ ඇඳ වටේ, මේසෙ පුරාම සහ මගෙ කම්පියටර් එකේ තියෙන්නෙ මම කියවන පොත් සහ මගෙ නෝට්ස්. ඒ කාලෙට මගෙ දුව එහෙම මගෙත් එක්ක හරි තරහයි. ඔන්න ආයෙත් වනසනවා කියල තමයි කියන්නේ. මොකද මට මේසයක් තිබුණට මම වැඩිපුර වැඩ කරන්නේ අපේ ඩයිනිං ටේබල් එකේ. ඒක පැත්තකත් මම මේ කියවන පොත් වනාගෙන තමයි ඉන්නෙ. ඒක අඩි 12 විතර දිගයි, දුව සමහර වෙලාවට අහනව, 'අම්මි ඔයාට ඔය මේසෙට තව එක්ස්ටෙන්ෂන් එකක් ඕනෙද කියල'. ඔහොම කියවමින් ඉන්න කොට එක වෙලාවක් එනවා දැන් මම ලියන්න පටන් ගන්න ඕන කියල දැනෙන. එතකොට තමයි මම පටන් ගන්නේ. ඒ වෙනකොට මේ කියවන කාලය තුළ කතාවෙ මූල බීජය හිත ඇතුලෙ සෑහෙන තරම් මෝරා වැඩිල තියෙන්නෙ. තවත් දෙයක් කියන්න ඕන, මම ලියන්න පටන් ගත්ත ම කිසිම දෙයක් කියවන්නෙත් නැහැ. හැබැයි මගෙ නොට්ස් ටික මං ගාව තියනවා. කෞශල්‍ය: තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ඔබ ලියන්න යන නවකතාව ගැන ඔබ මේ වෙනකොට දන්න ප්‍රමාණය ගැන? සුමිත්‍රා: මම දන්නව මම ලියන්න යන චරිත මොනවද කියන එක, ඒව පිහිටන පරිසරය ගැන. හැබැයි මම දන්නේ නැහැ කතාවේ අවසානය ගැන. මම මැදිහත් වෙලා නවකතා අවසන් කරන්නෙ නැහැ. ඒවා අවසන් වෙන්න හරිනවා. ඒ නිසා කතාව ඉදිරියට යන්නෙ මේ චරිත වල හැසරීමත් එක්ක. ඒක මම කලින් සැලසුම් කරල තියන එකක් නෙවෙයි. එතකොට මම කලින් හිතපු යම් යම් දේවල් වලට වඩා වෙනස් දේවල් අපේක්ෂා නොකළ දේවල් සිද්ද වීමේ හැකියාවක් තියනවා. මොකද ලිවීමට පාලනයක් නැහැ. කෞශල්‍ය: ලියන කාලෙට ඔබ මොනවගේ කෙනෙක් ද? සුමිත්‍රා: අපේ පරම්පරාවෙ ගැහැනු ගත්තොත් බොහොමයක් දෙනාට අනෙකුත් දේවල් කරන්න වෙන්නෙ ගෙදර වැඩ පල කරන ගමන්. දැන් අපේ ගෙදර වැඩට සේවකයෙක් නැහැ.මම එහෙම තියා ගන්න කැමති නැහැ මොකද මට ඒක ටිකක් අන් ඊසි. ඉතින් මට ඒ දේවල් එක්ක තමයි ලියන්න වෙන්නෙ. මට ලියන්න විශේෂ වෙලාවක් නැහැ, උදේ ද දවල්ද රෑ ද කියන එක බලපාන්නෙ නැහැ. ඒ කොයි වෙලාවෙදි හරි මට හිතුනොත් දැන් ලියන්න ඕන කියල මම ලියනවා. හිතන්න මං දවල් ලියමින් ඉන්නව කියල, ඔන්න සමහර වෙලාවට මගෙ නංගි ඇවිත් අහනවා, අක්කෙ අද දවල්ට මොනවද උයන්නෙ කියල, එහෙම නැත්තන් අන්න කෙනෙක් ඇවිත් ඉන්නවා හම්බවෙන්න එයාට මොකද කියන්නෙ කියල. ඉතින් මේ වගේ ඩිස්ටර්බන්ස් එක්ක තමයි දවල් වෙලාවට වැඩ කරන්න වෙන්නෙ. නමුත් මං දැන් ඒකට හුරු වෙලා. ඒ නිසා අනික් අය මොනව කළ ත් අහල පහළ මොන දේ වුනත් මං ලියනවා. රෑට ලියන කොට නං හරි පහසුයි නිශ්ශබ්දතාව තියන නිසා. ඒ නිසා මං උත්සාහ කරනවා වැඩිපුර රෑට ලියන්න. කෞශල්‍ය: ඔබ ලියන නවකතා ඔබේ අතින් මොන තරම් දුරට සංස්කරණය වෙනවද? සුමිත්‍රා: මම අතින් තමයි ලියන්නෙ. අතින් ලියන තරම් සුමට ව මට කම්පියුටර් එකෙන් ලියද්දි අදහස් එන්නෙ නැති නිසා. මම ලියාගෙන යනකොට එක වෙලාවකදි මට හිතෙනවා දැන් මේක අවසානයට ළං වෙලා තියෙන්නෙ කියල. එතකොට මම කරන්නේ ලිවීම නවත්තල මාසයක් විතර ඉන්නවා. එහෙම ඉන්න කොට අවසාන කළයුතු ආකාරය මගෙ හිතට එනවා. එතකොට නැවත ලිවීම පටන් අරන් නවකතාව අවසන් කරනවා. ඉන්පස්සේ කරන්නේ මේක ටයිප් සෙට් කරගන්න එක. එතන ඉඳන් හය වතාවක් විතර මේක නැවත නැවත සකස් වෙනවා. ලියපු කොටස් කපනවා, අලුතෙන් දේවල් ඇතුල් කරනවා. ඉතින් මාත් එක්ක ප්‍රින්ටර්ස්ල හරි තරහයි. මොකද මගෙ පෲෆ් බැලීමේ දි හැම වෙලේම නවකතාව වෙනස් වෙනවා. එතනදි තමයි මගෙ එඩිටින් ඇත්තටම සිද්ද වෙන්නේ. කෞශල්‍ය: මේ කෙටි සංවාදය අවසාන කිරීමට ඔබ ලිවීම විඳින ආකාරය ගැන යමක් කියන්න පුළුවන්ද? සුමිත්‍රා: මම ලිව්ව ම ඒක නැවත නැවත කියවන්න ආසයි. හිතන්න, මං පරිච්ඡේදයක් ඉවර කළා කියල, ඒක මං නැවත නැවත කියවනවා. සමහර වෙලාවට මං දුවට කියනවා ඒක අහගෙන ඉන්න කියල. දුව තමයි මගෙ හොඳම යාළුවා සහ තරහකාරයා ඔක්කොම. මගෙ හස්බන්ඩ් ජීවතුන් අතර ඉන්න කාලෙ මං එයාට ත් මම ලියපු දේවල් කියවනවා. හැබැයි අපේ විවාහයේ මුල් අවුරුදු පහෙන් විතර පස්සෙ මං එයාට මං ලියපුවා කියවන එක නවත්තනවා. මොකද එයාගෙ අදහස් එයා මේක ඇතුළට ගේන්න හදන නිසා. හැබැයි දුව එහෙම නැහැ.එයා නිදහස්ව හිතන කෙනෙක්. ඒ නිසා එයා එහෙම මැදිහත් වෙන්න එන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ නවකතා ලිවීම සාමූහික දෙයක් කියල. ඒක වැරදි වෙන්න පුළුවන්, නමුත් මගෙ චරිත ස්වභාවය අනුව මම හිතන්නෙ එහෙමයි. දුව යම්කිසි දෙයක් ගැන එයාගෙ අදහස කිව්වොත් මං ඒක පරිස්සමෙන් සළකා බලනවා. නමුත් මම ඒ චරිතය ගැන හිතන ආකාරයට වෙනත් කෙනෙකුට ඇඟිලි ගහන්න මම දෙන්නෙ නැහැ. හරි හෝ වැරදි හෝ මගේ එක තමයි එළියට යන්න ඕන කියල මම හිතන්නේ. ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි. මම පරිච්ඡේදෙන් පරිච්ඡේදය රස විඳිමින් තමයි ලියන්නේ. කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවින පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකාරියකගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඇයගේ වෙහෙස ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත. මීළඟ සතියේ අප මුණගැසෙන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ජනප්‍රියම නවකතාකරුවන් අතරින් කෙනෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
මැතිව් පෙරී: ලොවක් 'සිනහවෙන් සරසා' දිවියට සමු දුන් 'ෆ්‍රෙන්ඩ්ස්' තරුව | අනූව දශකයේ ජනප්‍රිය ප්‍රහසන රූපවාහිනී කතා මාලාවක් වූ 'ෆ්‍රෙන්ඩ්ස්'හි 'චැන්ඩ්ලර් බිං' ලෙස බොහෝ සෙයින් ජනාදරයට පත්ව සිටි අමෙරිකානු නළු මැතිව් පෙරී වයස අවුරුදු 54දී අභාවප්‍රාප්ත විය. ලොස් ඇන්ජලීස්හි පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු මියගොස් සිටිබව පොලිස් ආරංචි මාර්ග එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසීය. එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ ජීවත්වන තරුණ මිතුරන් හය දෙනෙකුගේ දෛවය ගැන කියැවෙන 'ෆ්‍රෙන්ඩ්ස්', 1994 සිට 2004 දක්වා විකාශය විය. එහි අවසන් කතාංගය එක්සත් ජනපදයේ මිලියන 52.5ක ප්‍රේක්ෂක පිරිසක් විසින් නරඹනු ලැබ තිබුණේ, එය 2000 ගණන්වල වැඩි ම පිරිසක් නරඹන ලද රූපවාහිනී කතාංගය බවට පත් කරමිනි. පෙරී ඔහුගේ නිවසේ උණුසුම් ජල තටාකයක් තුළ සිහිසුන්ව සිටිය දී හමුවූ බව, ඔහුගේ මරණය මුලින්ම වාර්තා කළ ලොස් ඇන්ජලීස්හි ටයිම්ස් සහ TMZ පැවසීය. නිශ්චිතව නොදැන සිටි "ජලය සම්බන්ධ හදිසි අවස්ථාවක්" සඳහා මුදාගැනීමේ නිලධාරීන් පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ ලිපිනයක් වෙත ගිය බව, ලොස් ඇන්ජලීස් ගිනි නිවීම් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ ය. නමුත් ඔහු පෙරීගේ නම සඳහන් නොකළේ ය. ලොව පුරා නැවත විකාශය වූ අවස්ථාවන්හි දී නව පරම්පරාවේ නරඹන්නන් අතර ආදරයට පාත්‍ර වූ මෙම දිගු රූපවාහිනී කතා මාලාව නිෂ්පාදනය කළ වෝනර් බ්‍රදර්ස්, පෙරී "අප සැම ලද සැබෑ ත්‍යාගයක්"ලෙස විස්තර කළේ ය. 1969 වසරේ මැසචුසෙට්ස්හි දී උපත ලද පෙරී කැනඩාවේ ඔටාවාහි හැදී වැඩුණු අතර, පසුකාලීනව කැනේඩියානු අගමැති බවට පත් වූ ජස්ටින් ටෲඩෝ සමග ප්‍රාථමික ශ්‍රේණියේ දී අධ්‍යාපනය ලැබීය. කැනේඩියානු අගමැතිවරයා Xහි මෙසේ ලිවීය: "මැතිව් පෙරීගේ අභාවය කම්පනයක් වගේ ම කණගාටුදායක සිදුවීමක්. ඉස්සර අපි ඉස්කෝලෙ මිදුලේ කරපු සෙල්ලම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මම දන්නවා ඔහු ගෙනදුන් ප්‍රීතිය ලොව පුරා සිටින ජනතාවටත් කිසි දවසක අමතක වෙන්නේ නැහැ කියලා. ඒ හැම හිනාවකට ම ස්තුතියි මැතිව්. ඔබ ආදරයට පාත්‍ර වුණු කෙනෙක් - ඔබ නැති අඩුව දැනේවි." පෙරී, නව යොවුන් වියේ දී ලොස් ඇන්ජලීස් වෙත පැමිණියේ ය. ඔහු 'බෝයිස් විල් බී බෝයිස්හි' චැස් රසල් ලෙස රඟපෑ අතර, 'ග්‍රෝවින් පේන්ස්' ඇතුළු රූපවාහිනී කතා මාලාවල ද රඟ දැක්වී ය. නමුත් ඔහු ජාත්‍යන්තර තරුවක් බවට පත් වන්නේ 'ෆ්‍රෙන්ඩ්ස්' තුළිනි. එය නිව් යෝර්ක් වැසියන් හයදෙනෙකුගේ ආදර සබඳතා, රැකියා සහ මිත්‍රත්වය වටා ගෙතුණු කතා මාලාවක් විය. ජෙනිෆර් ඇනිස්ටන්, කෝර්ට්නි කොක්ස්, ඩේවිඩ් ෂ්විමර්, මැට් ලෙබ්ලාන්ක් සහ ලීසා කූඩ්රෝව් ද රංගනයෙන් දායක වූ මෙම ප්‍රහසන රූපවාහිනී කතා මාලාව, මෙතෙක් බිහි වූ අතිසාර්ථක ම කතා මාලාවන්ගෙන් එකක් බවට පත්විය. පෙරී, උපහාසාත්මක කෙටි විහිළුත්, ඔහුගේ කාමර සගයා වන ජෝයි ට්‍රිබියානි සමග බොළඳ ලෙස හැසිරීම ගැනත් ප්‍රසිද්ධවූ නුහුරු ලෙස හැසිරෙන චැන්ඩ්ලර් බිං ලෙස රඟපෑවේ ය. මෙම භූමිකාව වෙනුවෙන් ඔහු 2002 වසරේ දී එමී සම්මානය සඳහා නිර්දේශ විය. නමුත් ඔහු ලද ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවේදී ත් පෙරී වේදනා නාශක සහ මත්පැන්වලට ඇති ඇබ්බැහිය සමග පොරබදමින් සිටි අතර, අවස්ථා කිහිපයක දී පුනරුත්ථාපන සායනවලට ද සහභාගී විය. මත්පැන් සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් ෆ්‍රෙන්ඩ්ස් රූගත කළ වසර තුනක කාලයක් ඔහුගේ මතකයේ නොමැති බව ඔහු 2016 වසරේ දී බීබීසී රේඩියෝ 2 වෙත පැවසුවේ ය. පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු කතා මාලාව නැරඹීමෙන් වැළකී සිටි ආකාරය ගැන සඳහන් කළේ ය. "මම ඒක බැලුවේ නැහැ. මම ඒක බලලා නැහැ. එතකොට මට 'බිව්වා, අබිං ගතතා, බිව්වා, කොකේන් ගත්තා' වගෙ කියන්න පුළුවන්," ඔහු පැවසීය. "මට සීසන් එකෙන් සීසන් එකට, මාව පේන විදියෙන් කියන්න පුළුවන් [මම මොන මත්ද්‍රව්‍යය ද ඒ කාලෙ ගත්තෙ කියලා]. ඒ නිසයි මට ඒක බලන්න ඕන නැත්තේ, මොක ද මට පේන්නේ ඒක. "ඒත් මම හිතනවා මම ඒක බලන්න පටන් ගනීවි කියලා. මොක ද ඒක විවිධ පරම්පරාවල හදවත් ස්පර්ශ කරනවා දකින්න ලැබුණු එක නියමම දෙයක්." පෙරී 2018 වසරේ දී මත්ද්‍රව්‍ය භාවිතාව නිසා බඩවැල් පුපුරායාම ඇතුළු සෞඛ්‍ය ගැටළු අත්විඳි අතර, එනිසා සැත්කම් කිහිපයකට ද භාජනය විය. පෙරීගේ මරණය සැලවීමත් සමග ලොස් ඇන්ජලීස් පුරා පැතිර ගිය හැඟීම "කම්පනයක්" ලෙස ත්, පෙරී මියගියබව විශ්වාස නොකරමින් "අස්සක් මුල්ලක් නෑර නැගුණු ප්‍රතිචාරයක්"ලෙස ත් ප්‍රාසංගික පුවත් වාර්තාකරු ෂෝන් මැන්ඩෙල් විස්තර කළේ ය. පෙරී 'ෆ්‍රෙන්ඩ්ස්හි' සාර්ථකත්වය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ත්, ඔහු එහි "තීරණාත්මක සාධයක්" ලෙස සිටි අයෙකු බව ත් ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවේ ය. "ඔහුගේ චරිතය ක්ෂණික හාස්‍ය රසය, ඒත් එක්ක ම අව්‍යාජ බව හා යථාර්ථවාදී බව කදිමට කැටි වෙලා තිබුණා," ඔහු පැවසීය. පෙරී, 'ෆූල්ස් රෂ් ඉන්', 'ඕල්මෝස්ට් හීරෝස්' සහ 'ද හෝල් නයින් යාඩ්ස්' ඇතුළු චිත්‍රපට කිහිපයක ම ද පෙනී සිටි නමුත් 'ෆ්‍රෙන්ඩ්ස්' තුළින් ඔහු ලද අතිවිශාල සාර්ථකත්වයට හා ජනප්‍රියත්වයට සම කළ හැකි චිත්‍රපටයක් කිසි විටෙකත් හමු නොවී ය. කෙසේ වෙතත්, ඔහුගේ පසුකාලීන රූපවාහිනී රඟපෑම් යම් ගෞරවයකට පාත්‍ර විය. එරන් සෝර්කින්ගේ 'ද වෙස්ට් වින්ග්හි' සහකාර ධවල මන්දිර උපදේශක ජෝ ක්වින්සි ලෙස සිදු කළ රංගනය සඳහා ඔහු 2003 සහ 2004 වසරවල දී රූපවාහිනී කතා මාලාවක කැපී පෙනෙන ආරාධිත නළුවා වෙනුවෙන් ලබාදුන් එමී සම්මානය සඳහා දෙවතාවක් නිර්දේශ විය. ඔහු සෝර්කින්ගේ පසුකාලීන කතා මාලාවක් වූ 'ස්ටුඩියෝ 60 ඔන් ද සන්සෙට් ස්ට්‍රිප්'හි ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර, පසුව ඔහු විසින් ම ලියා නිෂ්පාදනය කර ලද 'මිස්ටර් සන්ෂයින්' නම් කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑවේ ය. 'ෆ්‍රෙන්ඩ්ස් රීයූනියන්' හැර ඔහුගේ අවසාන කැපී පෙනන රූපවාහිනී නිර්මාණ කාර්යය වූයේ අමෙරිකානු රූපවාහිනියේ සීසන්ස් තුනක් දක්වා පමණක් විකාශය වුණු 'දි ඔඩ් කපල්හි' නව නිෂ්පාදනයකි. 2017 වසරේ දී, පෙරී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, ඔහු රූගත කිරීම් සඳහා පැමිණි අවස්ථාවේ දී එය අවලංගු කර ඇතැ යි දැනගත් බවත්, දර්ශන තලයේ දොර මත තිබුණු ඔහුගේ රූපයක මුහුණ වැසී යන අයුරින් කොළ පැහැ තීන්තවලින් පින්තාරු කර ඇතැ යි දුටු බව ත් සඳහන් කළේ ය. ෆ්‍රෙන්ඩ්ස්හි චැන්ඩ්ලර්ගේ කරදරකාරී හිටපු පෙම්වතිය වන ජැනිස්ගේ චරිතයට පණ පෙවූ මැගී වීලර්, පෙරීගේ සමග රඟපෑ නළු නිළියන්ගෙන් ඔහුට ප්‍රසිද්ධියේ ගෞරව දැක්වූ පළමුවැන්නිය විය. පෙරී ඔහුගේ "ඉතා කෙටි ජීවිත කාලය තුළ බොහෝ දෙනෙකුට" ගෙන ආ ප්‍රීතිය "නොනැසී පවතිනු ඇති" බව වීලර් පැවසුවා ය. "අපි එක්ව බෙදා ගත්ත හැම නිර්මාණාත්මක මොහොතක් ම මට ලොකු ආශිර්වාදයක් විධියට දැනෙනවා," ඇය ඉන්ස්ටග්‍රෑම්හි ලිවී ය. තිරයේ දී පෙරීගේ මව හා කාමුක නවකතා ලේඛිකා නෝරා බිං ලෙස රඟපෑ මෝගන් ෆෙයාර්චයිල්ඩ් මෙසේ පැවසුවා ය: "මගේ 'පුතා' මැතිව් පෙරීගේ අකල් මරණය ගැන මම ගොඩක් කම්පා වෙනවා." "මෙතරම් දක්ෂ තරුණ නළුවෙකුගේ අහිමි වීම කම්පනයක්," ඇය තවදුරටත් පැවසුවා ය. 'කෘඅල් ඉන්ටෙන්ෂන්ස්හි' නිළි සෙල්මා බ්ලෙයාර්, පෙරී ඇගේ "පැරණි ම පිරිමි යහළුවා" බව පැවසුවා ය. "අපි හැමෝම මැතිව් පෙරීට ආදරය කළා, මම විශේෂයෙන් ම. හැම දවසක ම. මම ඔහුට කොන්දේසි විරහිතව ආදරය කළා. ඔහු මට ත්," ඇය වැඩිදුරටත් පැවසුවා ය. "මට මේක ලොකු වේදනාවක්. මගේ හදවත බිඳිලා ගිහින්. සුවසේ නිදන්න මැටී. සුවසේ නිදන්න." 'ස්ටුඩියෝ 60 ඔන් ද සන්සෙට් ස්ට්‍රිප්හි' රඟපෑ ලුසී ඩේවිස්, පෙරී සමග කතා මාලාවේ එක්ව කටයුතු කිරීමට ලැබීම "ගෞරවයක්" බව පැවසුවා ය. Xහි සටහනක් තබමින් ඇය මෙසේ ලිවීය: "තිරය තුළ දී වගේ ම තිරයෙන් පිටත් ඔහු හරි ම විනෝදකාමී යි. ඔහු මට ඇත්තට ම හරි ම කරුණාවන්ත විදිහට සැලකුවා: එක සතියක් තිබුණා රැකියාවේ යම් ගැටළුවක් නිසා මම අමාරුවෙන් කාලය ගත කරපු. ඔහු ඇවිල්ල මට කිව්වා, දුක් වෙන්න එපා, මම ඔයා එක්ක ඉන්නවා කියලා. "අපි එකට රඟපාන අවස්ථාවල දි මාව ප්‍රශංසා කරන්න තරම් උදාර ගති තිබුණ කෙනෙක් ඔහු," දි ඔෆිස්හි රඟපෑ තරුව තවදුරටත් පැවසුවා ය. "හැම හිනාවකට ම ස්තූතියි මැතිව්. ඔබ මට විශාල බලපෑමක් කළා." දින කිහිපයකට පෙර පළ කරන ලද පෙරීගේ අවසාන ඉන්ස්ටග්‍රෑම් සටහනෙහි, ඔහු වහළ මත වූ තාටකයක විවේකී සුවයෙන් පසුවන අයුරු දැක්විණි. ඒ පෝස්ටුව වෙත රසිකයන්ගෙන් ගුණකථන රැසක් ගලාවිත් තිබේ. පෙරීට, ඔහු කුඩා කාලයේදී වෙන්වූ ඔහුගේ දෙමාපියන් වන ජෝන් බෙනට් පෙරී සහ සුසෑන් පෙරී ද, මව් හා පිය පාර්ශවයෙන් අර්ධ සහෝදර සහෝදරියන් පස් දෙනෙකු ද සිටියි. ඔහු කිසි දිනෙක විවාහ නොවූ අතර දරුවන් ද නොසිටියේ ය. 1997 වසරේ දී ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ එක් කතාංගයක පෙනී සිටි ඔහුගේ පියාගෙන් ඔහු ආභාෂය ලැබූ බව පෙරී පැවසුවේ ය. පියා, රේචල් සමග ප්‍රේම සම්බන්ධයක් පැවති ජෝෂ්ගේ පියා වන බර්ජින් ලෙස රඟපෑවේ ය. |
'මම ලියන හැටි': ජයතිලක කම්මැල්ලවීර | සිංහල සාහිත්‍යය තුළ ජයතිලක කම්මැල්ලවීර සලකුණ ඇත්තේ කෙටිකතාව තුළ පමණක් නොවේ. 'අට අවුරුද්ද' නවකතාවේ සිට 'තාත්තලාගේ කතාව', 'චුම්බන කන්ද' හරහා 'ඩොල්කි' දක්වා මෙතෙක් පළකර ඇති ඔහුගේ නවකතා අට ගත් විට ඒවා නවකතා කලාවේ ආකෘතික සීමා පුළුල් කරන්නට දැරූ සුවිශේෂී අභ්‍යාසයන් ලෙස ද සැළකිය හැකි ය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය :මේ සංවාද මාලාවේ මෙතෙක් සිදුවුණු විදිහට ම මම පළවෙනි ප්‍රශ්නය හැටියට ඔබෙන් අහන්නෙත් ඔබේ නවකතා වල පළවෙනි වාක්‍යය ගැන. කොහොමද මේ සමාරම්භක වාක්‍යය ලියවෙන්නේ? කම්මැල්ලවීර: නවකතාවක් වේවා කෙටිකතාවක් වේවා මට මේ පළවෙනි වාක්‍යය සහ පළමු ඡේදය ඉතාම වැදගත්. දැන් මං නිදර්ශනයක් ගත්තොත් මගෙ 'අට අවුරුද්ද' නවකතාවෙ, 'ලට්ට ලොට්ට පටවා අවසන් වුවත් ලොරිබාගේ තවත් ඉඩකඩක් ඉතුරු වෙයි' කියන වාක්‍යය ඒක හරිම තීරණාත්මකයි. ඒ කියන්නෙ මුලු සමස්තය ම එතෙන්ට කැටිකර ගත්ත වගේ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම 'චුම්බන කන්දෙ' සිංහයා ගල උඩ වාඩි වෙලා ඉන්න හැටි ගැන කියවෙන ඡේදය එහෙමත් නැත්තං 'පුරා හඳ' නවකතාවේ හාමුදුරුවො භාවනා කරමින් ඉන්න ඒ අවස්ථාව ගැන ලියවෙන ඒ සමාරම්භක කොටස, මට ඇත්තට ම පළවෙනි වාක්‍යයට ත් වඩා මේ පළවෙනි ඡේදය අතිශය වැදගත්. මේක හරියට ලියවුනොත් මට විශාල උත්තේජනයක් ලැබෙනවා කතාව දිගට ම ලියාගෙන යන්න. මම සාමාන්‍යයෙන් කතාවක් හිතේ ගොඩනැගුනම ඒක දර්ශන වලට එහෙමත් නැත්තම් සිදුවීම් වලට කඩා ගන්නවා. ඊට පස්සෙ මම ජීවත් වෙන්නේ මේ දර්ශන එක්ක. මේ හැම කතාවක් ම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ නිසා මම ඒවා අත්වින්ද පරිසරය හිතින් මවාගෙන ඒ තුළට මේ චරිත අරන් එනවා. එතනින් තමයි එතකොට මේ සමාරම්භක ඡේදය ලියවෙන්නෙ. ඒක හරියට චිත්‍රයක් බලාගෙන ලියනවා වගේ දෙයක්. හැබැයි චිත්‍රය තියෙන්නෙ හිතේ. කෞශල්‍ය : දැන් මේ පළවෙනි ඡේදය ලියද්දි ලියන්න යන නවකතාව ගැන ඔබ කොයි තරම් දුරට දැනුවත් ද? කම්මැල්ලවීර : දැන් මම ලියල තියන නවකතා අටම ගත්තොත් එයින් දෙකයි තියෙන්නෙ මුද්‍රිත පිටු දෙසීයට වඩා වැඩි. ඒ කියන්නේ කෙටිකතා කරුවෙක් හැටියට ම තමයි මම නවකතා ලියද්දිත් මාව භාවිත වෙලා තියෙන්නෙ. ඒ නිසා සමස්ත කතාව ම වගේ ඔළුවේ ගොඩනැගිල තියන කොට තමයි මට ලියන්න හිතෙන්නෙ. ඒ නිසා දීර්ඝ කාලයක් ගත වුණත්, දැන් උදාහරණයකට 'පුරා හඳ' ප්ලොට් එක මගෙ ඔළුවේ අවුරුදු විස්සකට ත් වඩා වර්ධනය වෙමින් තිබුණ. නමුත් ඒක ලියන්න ඕන ආකෘතිය මට වැටහිලා තිබුණේ නැහැ. ඉතින් මේක තමයි මං කෙටිකතා ලියන ආකාරය. මුළු කතාව ම හිත ඇතුලෙ ගොඩනැගුණට පස්සෙ තමයි ලිවීම ආරම්භ වෙන්නෙ. කෙටිකතාවක් බොහොම කලාතුරකින් තමයි ලිවීම අතරතුර වෙනස් වෙන්නෙ. 'පුරා හඳ' ගැන කියපු නිසා මට තවත් දෙයක් දැන් මේ මතක් වුණා. මේකෙ කතා වෙන්නෙ පන්සල් වල සමලිංගික ජීවිතය ගැන. ඉතින් සිංහල බෞද්ධ උමතුවක් තියන සමාජයකට මම මේ කතාව ඉදිරිපත් කරන්න ඕන කොහොමද කියන එක ගැන මට විශාල ගැටලුවක් තිබුණ. මෙහෙම ඉන්නකොට තමයි සෝමලතා සුබසිංහ, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගෙ 'මදර් කරේජ්' නාට්‍යය 'මවකගේ සංග්‍රාමය' නමින් වේදිකාගත කරන්නේ. මේකෙ ඉන්නව ගොළු ගෑනු ළමයෙක්. මේ චරිතය රඟපෑවෙ මගෙ දුව නදී කම්මැල්ලවීර. එයා මේ චරිතය රඟපාන කොට මේ ළමයාගෙ හැඟීම්, අදහස් ගොළු අංග චලනයෙන් ඉදිරිපත් කරනවා. මේක දැක්කම මට හිතුනා ගොළු චරිතයක් හරහා මගේ හිතේ තියන මේ නවකතාව ලියන්න පුලුවන් නේද කියල. එහෙම තමයි මේකෙ ප්‍රධාන චරිතය ගොළු චරිතයක් වෙන්නෙ. ඒ නවකතාවේ ආකෘතිය ඒ තරම් සරල එකක් නෙමේ. ඒකෙ චිත්‍ර කතා කරනවා. ළමයෙක් ඇඳපු චිත්‍ර හැටියට තමයි ඒක කතාවේ දී ඉදිරිපත් වෙන්නෙ. මම තමයි ඒ චිත්‍ර ඇන්දෙ. ඒව මේ චිත්‍ර හැටියට අගය කරන්න පුලුවන් ඒව නෙමේ. නමුත් චිත්‍රවලින් අදහස් කියවෙනවා. කෞශල්‍ය : ඒක ඇත්තටම ගොඩක් වැදගත් කතාවක්. කොහොමද අත්දැකීමක් නවකතාවක් බවට පත්වෙද්දි ඒකෙ ආකෘතිය සොයාගන්නෙ කියන එක ගැන. දැන් එතකොට මෙහෙම පටන් ගන්න නවකතාවක් අවසාන වන ආකාරය ගැනත් පටන් ගන්නකොට ම ඔබ ඉතාම පැහැදිලිව දැනුවත් ද? කම්මැල්ලවීර: ඔව්. මගෙ නවකතා දේශපාලන නවකතා නේ. මම එහෙම කියන්නෙ ඒවා ඉතා තදින් දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා තියන හින්ද. ඒ නිසා ඒවා අවසන් කරන ආකාරය ගැන මට පැහැදිලි අවබෝධයක් තියනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒ අවසාන වෙන සිදුවීම මොකද්ද කියන එකත් මම දන්නව කියන එක. දැන් උදාහරණයක් හැටියට මගෙ 'තාත්තලාගේ කතාව' කෘතියෙ තියෙන්නේ සමසමාජ ව්‍යාපාරයේ බිඳවැටීම ඒ ව්‍යාපාරයත් එක්ක හිටපු දෙවෙනි පෙළේ ගම්මට්ටමේ නායකත්වය අත්දැක්ක විදිහ. ඒකෙදි මම මේක අවසන් කරන තැන ගැන දන්නවා. හැබැයි මම එක නවකතාවක් ලියල තියනවා අවසන් කරන ආකාරය ගැන අදහසක් නැතුව. ඒ තමයි 'සියොත් තටු සිඳ'. මම කොටස් වශයෙන් පත්තරේකට ලියපු එකම නවකතාව. නමුත් මේකෙ අවසානය මගෙ හිතේ මට නොදැනී තිබිල තියන බව පේනවා. ඒක ගැන හරි අපූරු කතාවක් තියනවා කියන්න. ඒ නවකතාව අවසාන වෙන්නෙ ඒකෙ ඉන්න ප්‍රධාන චරිත දෙක විවාහ වෙලා, ඒ කියන්නෙ යුද්ධයට මැදිවුණ ගම්මානයක පාසලක ශිෂ්‍යාවක් සහ පිට පළාතකින් ඒකෙ උගන්නන්න එන තරුණ ගුරුවරයෙක්. මේ නවකතාව පළවෙලා ටික කාලෙකට පස්සෙ මට ඒ චරිතයට පාදක වුන ගුරුවරයා දුරකථන ඇමතුමක් දීල කියනවා, 'කම්මැල්ලවීර මහත්තය මම විවාහ වෙනවා, ඔබ එන්න ඕන මගෙ විවාහයට අත්සන් කරන්න. මම උදුලා තමයි බඳින්නෙ' කියලා. උදුලා කියන්නෙ මම ඒ ශිෂ්‍යාවගේ චරිතයට දීපු නම. කෞශල්‍ය: ඒක හරිම අපූරු කතාවක්. එතකොට මේ නවකතාව සම්පූර්ණයෙන්ම ඔබ දන්න කතාවක් මත ද පදනම් වුණේ? කම්මැල්ලවීර: ඒක වුනේ මෙහෙමයි. ඒ කාලෙ අපි නිතර යනව ඔය දුෂ්කර පළාත් වල සාහිත්‍ය සම්මන්ත්‍රණ වලට. අපිට වරක් ත්‍රිකුණාමලය පැත්තෙ පාසලක ගුරුවරයෙකුගෙන් එහෙම ආරධනාවක් ආවා. අපි, මමත් රත්න ශ්‍රී සහ තවත් කිහිපදෙනෙක් සම්මන්ත්‍රණයට කලින් දවසෙ ඒ පාසලට යනකොට මේ ගුරුවරයා සූදානම් කරල තිබුන අපිව පිළිගන්න ගීතයක්. ඔහු සර්පිනාව වාදනය කරන අතරෙ පාසලේ ළමයින් කිහිප දෙනෙක් තමයි ඒක ගායනා කලේ. මට මතකයි ඒ ළමයි දැකපු ගමන් රත්න ශ්‍රී ගේ ඇස් වල කඳුලු පිරුණ. ඒ තරම් අසරණ ළමයි. මේ අය අතර හිටිය වැඩිහිටි ම ශිෂ්‍යාවට අවුරුදු දහතුනක් විතර ඇති. ඇයට තිබුණ අනිත් අයට වඩා පැහැපත් පෙනුමක්. මට මතකයි මේ වෙලාවෙ මං රත්න ශ්‍රීගේ කණට කරල කිව්ව 'රත්නෙ මගෙ ඔළුවට කතාවක් ආවා' කියල. කෞශල්‍ය: එතකොට මේ නවකතාව ලියන අතරෙ මේ අය ගැන තවත් හොයන්න උත්සාහ කළාද? කම්මැල්ලවීර: නැහැ. ඉන් පස්සෙ මේ චරිත මගෙ පරිකල්පනය තුළ තමයි වැඩෙන්නෙ. අර පාසල් ගුරුවරයා පසුකලෙක මේ පැත්තෙ පාසලකට මාරු වෙලා ආව නිසා වරින් වර මුණ ගැහුණා. නමුත් ඔහුගෙන් අර ශිෂ්‍යාවගේ දැන් තත්වය සොයා බැලීමක් වගේ දෙයක් කලේ නැහැ. නවකතාව ආරම්භයේදී කිසිම ආකාරයකින් ඒ ගුරුවරයාට මේ ශිෂ්‍යාව ගැන එවැනි හැඟීමක් නැහැ. ඇය ඔහු සමග වැඩ කරන්න පටන් ගන්නෙත් දැරියක්ව සිටින කාලයේ. ඒ නිසා මේ දෙන්න විවාහ වීම මේ නවකතාව ආරම්භයේ දී මම අපේක්ෂා කල අවසානයක් වුණේ නැහැ. නමුත් ඒ අවසානය මටත් නොදැනී මා තුළ තිබිල තියනව වගේම පස්සෙ කාලෙක ඒක නවකතාවෙන් පිටත ත් සිද්ධ වෙනවා. කෞශල්‍ය: දැන් මෙහෙම නවකතාවක් ඔළුව ඇතුලේ ගොඩනැගිල ඒක ඔබ මුලින්ම කිව්ව වගේ සිදුවීම් වලටත් කඩාගෙන, ලියන ආකෘතියත් සොයාගෙන යන මේ කාලය තුළ කිසියම් ආකාරයකට මේ දේවල් කොහේ හෝ සටහන් තැබීමක් කරනවද? කම්මැල්ලවීර: නැහැ. මම කිසිම ආකාරයක සටහන් තැබීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට මම කරන්නෙ මුළු කතාව ම මගෙ හිතේ ගොඩනගන එක. නමුත් ලියන්න පටන් ගත්තට පස්සෙ වරින් වර හිතට එන අපූර්ව අදහස් එහෙම සටහන් කරල තියනවා. දැන් නිදර්ශනයක් හැටියට 'පුරා හඳ' නවකතාවෙ එන ඒ ආලවකයා කියන චරිතය ගමේ එහෙ මෙහෙ යන්නෙ මීහරකෙක් පිටේ. දැන් ඒක කලින් මගෙ හිතේ තිබුණ අදහසක් නෙමේ. ඒක ආවෙ ලියන්න පටන් ගත්තට පස්සෙ. අන්න ඒ වගේ දේවල් ආව ම මං සටහනක් දාගන්නවා. මොකද මේවගේ දේවල් හරියට හීන වගේ. අපි හීනයක් දැක්කම හිතනවා ඒක මරු කියල. නමුත් පහුවදාට අමතක වෙනවා. ඒ නිසා එවැනි දේවල් ආවම ලිවීම අතරතුර සටහනක් දාගන්නවා. ඒ ඇරුනම නවකතාව වෙනුවෙන් කරන විශේෂ සටහන් ගැනීමක් නැහැ. මම ලියන කම්පියුටරය තියන මේසෙ පැත්තක කඩදාසියක් තියනවා අර වගේ දේවල් ලියල තියාගන්න. කෞශල්‍ය: දැන් සාමාන්‍යයෙන් ඔබ ලියන්න පටන්ගන්නෙ සමස්ත නවකතාව ම ඔබේ හිත තුළ ගොඩනැගුනට පස්සෙ. නමුත් ලියාගෙන යනකොට ඔබ අපේක්ෂා නොකළ දේවල් සිද්ධවෙන්නේ නැද්ද මේ චරිත වලට? කම්මැල්ලවීර: සිද්ධවෙනවා. ඒක ගැන හිතද්දි මට ගන්න තියන හොඳම නිදර්ශනය මගේ අවසන් නවකතාව, 'ඩොල්කි'. හැබැයි ඒ නවකතාව මම ලියන්නෙ ඔළුවෙ සම්පූර්ණයෙන් කතාව ගොඩනැගිල නෙමෙයි. ඒකෙ චරිත මං අපේක්ෂා නොකළ දිශාවන්ට ගමන් කලා. ඒකෙ ඉන්නවා ගම්බද සාම්ප්‍රදායික අම්ම කෙනෙක්. ඒ අම්මට පන්සලේදි හමුවෙනවා කාන්තාවක් ඇය ගමේ ගණිකාවක්. දැන් මේ ගණිකාව මුණගැහෙන ප්‍රථම අවස්ථාව විතරයි මගෙ හිතේ තිබුණෙ. නමුත් පස්සෙ මේ චරිතෙ කතාව ඇතුලේ විශාල චරිතයක් බවට පත්වෙනවා. පස්සෙ මේ දෙන්න එකට ඉන්දියාවේ යනවා. මේ විදිහට මං හිතන්නෙ මේ නවකතාවෙදි මාවත් තල්ලු කරගෙන ඒ චරිත ගමන් කළා කියල තමයි මට දැනෙන්නෙ. ඒ අතින් ‘ඩොල්කි’ නවකතාව මට විශේෂ එකක්. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ලිවීම සිද්ද වෙන ආකාරය ගැන. කම්මැල්ලවීර: ලියන්න ආවේශයක් ආවට පස්සෙ මම වෙන මොන දේවල් කළත් මම ඔළුවෙන් ලියමින් තමයි ඉන්නෙ. මම සාමාන්‍යයෙන් ගෙදර ඉවුම්පිහුම් කටයුතු වලට ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා මම නිතර කෑම උයනවා. ඒ කෑම ඉවීම ත් මගෙ ලිවීමේ ම එක විලාසයක්. උයන අතරේ මම ඔළුවෙන් ලියනවා. ඉන් පස්සේ හරි කම්පියුටරය ඉස්සරහ වාඩි වුනහම පහසුවෙන් ලියාගෙන යන්න පුලුවන් ඒ ගොඩනගා ගත්ත කොටස. සමහර දවස් තියනවා මහ රෑ වෙනකන් ලියන. තවත් දවස් තියනවා වාක්‍ය දෙක තුනකට වඩා නොලියන. හිතෙන් ගොඩනගපු දේ වචන වලින් ලියවිලා අවසන් වුණාම සමහර වෙලාවට හිස් කමක් ඇති වෙනවා. එතකොට මම නැගිටිනවා. සමහර වෙලාවට එහෙම නැගිට්ට ම දවස් දෙක තුනක් වුණත් ඉන්න වෙන්න පුලුවන්. සමහර නවකතා අතරමග නැවතිලා තිබිල කාලෙකට පස්සෙ නැවතත් පටන් අරන් තියනවා. කොහොම වුනත් මං නවකතා ලියන අතරෙම තමයි සංස්කරණය කරන්නෙ. මේ සංස්කරණ ක්‍රියාවලිය මට හරි වැදගත් එකක්. ඒක තුළ නවකතාව වෙනස් වෙනවා. මං නවකතාව ලියල අවසන් කලාට පස්සෙ සංස්කරණය කිරීමක් කරන්නේ නැහැ. යම් කොටසක් ලිව්වට පස්සෙ මං ඒක හිතෙන් අත්හරින්නෙ නැහැ. ඒක ගැන තවදුරටත් හිතනවා. සමහර විට ඊළඟ දවසෙදි ඒ ලියපු කොටස මගෙ අතින් සංස්කරණය වෙනවා. කෞශල්‍ය: ඔබට ලියන්න විශේෂ තැනක් තියනවාද? කම්මැල්ලවීර: දැන් අපි ඉන්න ගෙදර නං මට එහෙම තැනක් තියනවා. නමුත් මේ ගෙදරට ඇවිත් දැනට අවුරුදු පහයි. ඊට කලින් හිටපු ගෙවල් වල මට එහෙම තැනක් තිබුණේ නැහැ. ඒවා කුඩා ගෙවල්. මං ගැන මීට ටික කාලෙකට කලින් කරපු උපහාර උළෙලක දි ඒ අය උපහාර ග්‍රන්ථයක් කරනවා. ඒකට මගෙ දුව නදී ලියපු සටහනක තියෙන්නෙ මං ලියන්න තැනක් නැති කෙනෙක් හැටියට. ඉස්සර මං පෑනෙන් ලියන කාලෙ ලිව්වෙ ඇඳි පුටුවක වාඩි වෙලා ඒ උඩ තියා ගන්නවා කළු ලෑල්ලක්. ඒක උඩ තමයි ලියන කොල ටික තියාගන්නේ. කෞශල්‍ය: මේ ලියන කාලෙට ඔබේ හැසිරීමේ යම් වෙනස්කම් වෙනවද? කම්මැල්ලවීර: ඔව් තදබල විදිහට ලිවීම හිතේ වැඩකරමින් ඉන්න වෙලාවට එහෙම වෙනවා. ඔන්න හිටිගමන් ගේ අතුගාන්න හිතෙනවා. දවසක් මං ලියමින් ඉන්න වෙලාවක කඩේට ගිහාම මුදලාලි මගෙන් ඇහුව මොකද මහත්තය කොස්සක් අතින් අරන් කියල. මං කඩේ ගිහින් තියෙන්නෙ එහෙම. ඒ වගේ දේවල් තියනවා. අනිත් එක විශාල තිබහක් එනවා. ඒ නිසා විශාල වශයෙන් තේ බොනවා. මම ම තමයි තේ හදාගන්නේ. කෞශල්‍ය: මං අවසන් වශයෙන් අහන්න කැමතියි ලිවීම ඔබ විඳින හැටි. ඒක මොනවගේ ද? කම්මැල්ලවීර: ලිවීම ඇත්තටම ඉතාම තෘප්තිමත් දෙයක්. මං මගෙ 'චුම්බන කන්ද' නවකතාවෙ කතෘ සටහනේ ලියල තියනවා මේක ගැන. මං ඒකෙ ලිව්ව මේ නවකතාවේ පළවෙනි වාක්‍යයේ සිට අවසාන වාක්‍යය දක්වා ලිවීම තුළ මා ලැබුවේ 'අපරිමිත තෘප්තියකි' කියල. ඇත්තටම ලිවීමත් එක්ක ඇතිවෙනවා විශාල ආත්මාභිමානයක්. මම නෙ දැන් මේක ලියන්නෙ කියන එක. සමහර වාක්‍ය ලියවුණාම මං දවස් ගණන් ඒක ගැන කල්පනා කරමින් ඉන්නවා. ඒක කොහෙන්ද ආවෙ, කොහොමද ඒ වචන ඒ විදිහට පෙළගැහුනේ කියන එක ගැන විශාල විස්මයක් ඇතිවෙනවා. ජයතිලක කම්මැල්ලවීර නම් වූ විශිෂ්ට ලේඛකයාගේ නිර්මාණ කියවමින් අප විස්මයට පත් වන විට ඒ වචන ඔහුව ම විස්මයට පත් කරන හැටි දැන් අපට පරිකල්පනය කළ හැකිය. එසේම ඒ නිර්මාණ බිහිකරන ලේඛක ආත්මයේ ස්වභාවය ගැන මේ කතාබහ තුළ අප අත්දුටු අල්ප මාත්‍රය යළි සිහිපත් කළ හැකි ය. මීළඟ සතියේ සිය ලේඛන ජීවිතයේ ඇතුලාන්තය අප වෙත නිරාවරණය කරනු ලබන්නේ අපට සිටින ප්‍රවීන ලේඛිකාවක වන සුමිත්‍රා රාහුබද්ධ යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
සහල් ඇටයෙන් විශ්මිත නිර්මාණ මවන ක්ෂුද්‍ර කලා ශිල්පියා | තාක්ෂණයේ දියුණුවත් සමගම, ලෝකයට අලුත් දෑ එකතු කරමින් කලාවේ නව මානයන් සොයා යන්නට කලාකරුවන්ට ද ඉඩ හසර ලැබී ඇත. මහනුවර පදිංචි ලොකුලියනගේ දයානන්ද ද, පියාගේ ආභාසයෙන් ඔහු වෙත උරුම වූ කලා හැකියාව තාක්ෂණය ද සමග මුසුකොට එවන් අපුර්වතම නිර්මාණ ලෝකයට ලබාදෙන්නෙකි. ක්ෂුද්‍ර කලාවේදියකු (micro artist) වන ඔහුගේ අපුර්වතම හා විශ්මිත කලා නිර්මාණය වන්නේ සහල් ඇටය මත සිතුවම් කරනු ලබන අලේඛය රූප ය. සිව් වසරක් තිස්සේ ඔහුගේ අපූර්ව හැකියාවෙන් ලෝකය විචිත්‍රවත් කරන ඔහු, තමන් මෙරට සිටින එකම වෘත්තිමය ක්ෂුද්‍ර කලාකරුවා ලෙස හඳුන්වා දෙමින් බීබීසි සිංහල සේවය හා කතා බහකට එක්විය. “මයික්‍රෝ ආර්ට් කිව්වාම ගොඩක් දේවල් තියෙනවා. මොනම හරි කලා නිර්මාණයක් කුඩා පරිමාණයෙන් කරන කෙනෙක් තමයි මයික්‍රෝ ආර්ටිස්ට් කෙනෙක් කියන්නේ. ඒකෙ දී මම දැනට කරනවා පැන්සල් තුඩුවල විවිධ නිර්මාණ කරනවා. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ චිත්‍ර අඳිනවා. උදාහරණයක් විදියට, හාල් ඇටවල ඕනම කෙනෙක්ගේ මූණක් මට අඳින්න පුළුවන්. විවිධ චිත්‍ර හාල් ඇටවල නිර්මාණය කරනවා. ඊට අමතරව කුඩා රත්තරන් කැබලිවල හූරලා කරන නිර්මාණ (Engraving) වගේ ක්ෂුද්‍ර පරිමාණයේ විශාල ප්‍රමාණයක් කරනවා.” ලොව පුරා සීමිත කලාකරුවන් පමණක් සිටින, ඉතා දුර්ලභ කලාවක් වූ ක්ෂුද්‍ර කලාව ස්වයං අධ්‍යනය හරහා උගත් ආකාරය ද ඔහු විස්තර කළේ ය. “පියාගේ ආභාසයෙන් පොඩි කාලේ ඉඳලා මට චිත්‍ර අඳින්න පුළුවන්. දැනට අවුරුදු හතරකට කලින් මම ව්‍යාපාර කටයුත්තක් කළා. ඒක සාර්ථක නොවුණ තැන මගේ ඇඟේ කලාව තියෙන නිසා මම බැලුවා ටිකක් වෙනස් විදියේ දෙයක් කරන්න. එතකොට තමයි මම දැක්කේ වෙන රටවල ශිල්පීන් මේ වගේ නිර්මාණ කරලා තියෙනවා. ඒ බලලා මම හිතුවා මේක මට කරන්න පුළුවන් කියලා. ඇත්තටම යුටියුබ් එකෙත් දාලා තියෙනවා මේ නිර්මාණ කරන විදිය. මම ඒවා දිහාත් බලලා මට තියෙන සරල උපකරණවලින් මම මේ නිර්මාණ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක සාර්ථක වුණා. “ඊට පස්සේ මම ටික ටික ඩිවලප් කරගත්තා. ටූල්ස් ගත්තා. ඇස්වලින් බලලා කරන ඒවා වෙනුවට කාච භාවිතා කරලා කරන්න ගත්තා. ඊට පස්සේ මයික්‍රෝස්කෝප් එකක් වගේ උපකරණ අරගෙන ඒවගේ ඩිවලප් කරලා ඒ ශිල්පීන් කරලා තිබුණ නිර්මාණවලට වඩා එහාට ගිය නිර්මාණ මම දැන් කරලා තියෙනවා,” ක්ෂුද්‍ර කලා ශිල්පී දයානන්ද කියා සිටියේ ය. ක්ෂුද්‍ර නිර්මාණයක් කිරිමට අවම වශයෙන් දින තුන හතරක් හෝ ඊට වඩා වැඩි කාලයක් වැය වන අතර, නිර්මාණය අවසන් කිරිමට පෙර සුළු හෝ වැරදීමක් සිදුවුවහොත් නැවත එම නිර්මාණය මුල සිට අලුතින් ආරම්භ කිරිමට සිදුවේ. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත සහල් ඇටයෙන් ගිනස් වාර්තාවට යාමේ බලාපොරොත්තුව සහල් ඇටයේ අලේඛ්‍ය නිර්මාණ හා චිත්‍ර ඇඳීම ආරම්භ කර වසර එකහමාරක් පමණ වනබව පවසන හෙතෙම, එම නිර්මාණ ආරම්භයේ ඉතිහාස කතාව ද බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය. “මම පැන්සල් තුඩුවල නිර්මාණ කරද්දි මට ඕන වුනා අඳින එක කරන්න. එතනදි මම බැලුවා කුඩා ප්‍රමාණයේ නිර්මාණ කරන්න පුළුවන් ද කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ හාල් ඇටයක චිත්‍රයක් අඳින්න පුළුවන් ද කියලා. හාල් ඇටය මම තෝරගත්තේ ඒ නිසා. එතකොට මට වෙනම නමක් හදාගන්න පුළුවන්. විවිධ කුඩා දේවල්වලින් මම අධ්‍යයනය කරලා බැලුවා, ඒ අතරින් තමයි මම හාල් ඇටේ තෝරගත්තේ. “මම ලෝකේ ප්‍රසිද්ධ අයගේ පෝට්රේට් (Portrait) කලෙක්ෂන් එකක් කරනවා. ඒකේ දැනට 80ක් විතර කරලා තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලෝකේ ජනප්‍රියම, ප්‍රසිද්ධම පුද්ගලයන් සිය දෙනාගේ පෝට්රේට් ටික කරලා කුඩාම පෝට්රේට් ටික හෝ කුඩාම චිත්‍ර විදියට හෝ ඒ දෙක වෙන වෙනම කරලා ඒකෙන් ගිනස් වාර්තාවක් ඉල්ලන්න,” ඔහු පැවසීය. සහල් ඇටයෙන් කරන නිර්මාණ සඳහා වසර 10ක පමණ වගකීම් කාලයක් ලබා දෙන බව පවසන මේ ක්ෂුද්‍ර කලා ශිල්පියා, ඔහුම යොදනා ආරක්ෂිත ආලේපනයක් හරහා හාල් ඇටයට සිදුවන ස්වාභාවික හානි වළක්වා ගැනීමට සමත්ව ඇත. පැන්සල් තුඩින් සිදුකරන නිර්මාණවලට ද එවැනිම වගකීමක් ලබා දෙන ඔහු, වසර 30කට වැඩි කාලයක් කිසිදු ස්වාභාවික හානියක් නොවී එම නිර්මාණ ආරක්ෂා කර ගත හැකි බවට විශ්වාසය පළ කරයි. මෙම නිර්මාණයන්හි විචිත්‍රත්වය පියවි ඇසින් දැක ගැනීමට හැකිමුත් එය තරමක් අපහසු ය. ඔහු ඔහුගේ නිර්මාණ වඩා පැහැදිලිව රස විඳීමට ඒ සමගම කාචයක් හෝ කුඩා ප්‍රමාණයේ අන්වීක්ෂයක් පරිභෝගියන්ට ලබා දීමට කටයුතු කරයි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙරටට වැඩිය පිටරටින් ඉල්ලුම ක්ෂුද්‍ර කලා ශිල්පය පිළිබඳ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරිමේ බලාපොරොත්තුවකින් සිටින දයානන්ද පවසන පරිදි, මෙම ශිල්පය හැදෑරීමට මෙරටින් ලැබෙන ඉල්ලීමට වඩා වැඩි ඉල්ලීමක් විදෙස් රටවලින් ලැබෙයි. “මම ඇකඩමි එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මගේ ප්‍රමාණයට, මේ රටේ ප්‍රමාණයට යන්න පුළුවන් දුර ගිහිල්ලා තියෙන්නේ. ඉන්දියාවෙන් පවා මේ වෙනකොට මට වර්ක්ෂොප් ඔර්ගනයිස් කරලා තියෙනවා. අවසනාවකට ලංකාවේ කතා කරලා කෙනෙක් මේ ගැන අහනවා හරි අඩු යි,” මෙම ශිල්පය ඉදිරි පරපුරට දයාද කිරීමට බලා සිටින ක්ෂුද්‍ර කලා ශිල්පියා කියා සිටියේ ය. විදෙස් රටවලින් විශාල ඉල්ලුමක් ඇති මෙම නිර්මාණයන් අන්තර්ජාලය හරහා ඔහු විදෙස් රටවලට අලෙවි කරනු ලබන අතර, දේශීය පරිභෝගිකයන්ට නිර්මාණ අලෙවි කිරිමේ දී එම නිර්මාණයට වැයවන කාලයට පමණක් මුදල් අය කරන බව ද සඳහන් කළේ ය. ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට මේ තාක් නොහැකිවීම ගැන කනස්සල්ලෙන් පසුවන ඔහු, එය නොහැකිවූයේ ඊට වැය වන අධික මුදලට අනුග්‍රාහකයකු සොයා ගැනීමට අපහසු වීම නිසායැ යි ද වැඩිදුරටත් කියා සිටියේ ය. |
'කකුල් පුපුරනකම් ගුටි කා' නැටුම් ඉගෙනගත් 'නර්තන රැජිණ' | ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ උන්නතියට දායක වූ තවත් විශිෂ්ට කලාකාරියක දැයට අහිමි වී තිබේ. ඒ, ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වූ කලාශූරී, විශ්ව කලා කීර්ති රැජිණි සෙල්වනායගම් ය. සිකුරාදා (ඔක්. 20) රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසු වූ අතර ඇය දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසු විය. 'නර්තන රැජිණ' යන විරුදාවලියෙන් ද හැඳින්වූ ඇය රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේ පදංචි වී සිටියා ය. ළමා අවධිය රැජිණි සෙල්වනායගම්ගේ මව බලංගොඩ පදිංචිව සිටි කාන්තාවක වූ අතර, පියා යාපනයේ උපත ලැබූ ද්‍රවිඩ ජාතිකයෙකු විය. ඔවුන් දෙදෙනාට දාව රැජිණි ඇතුළු දූවරුන් 9 දෙනෙක් සහ එක් පුත්‍රයෙක් උපත ලැබූහ. ඒ අනුව, රැජිණිට සහෝදර සහෝදරියන් 9 දෙනෙක් සිටියහ. පියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරුවෙකු ලෙස සේවය කළ අතර ඔහුට ලැබෙන ස්ථාන මාරු වීම් නිසා පාසල් කිහිපයක ම ඉගෙනුම ලැබීමට රැජිණිට සිදු විය. ඒ අනුව, ඇයගේ පළමු පාසල වූයේ, කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලය යි. පසුව පියාට ලැබුණු ස්ථාන මාරුවක් හේතුවෙන් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වීමට ඇයට සිදු විය. ජීවිතයේ හැරවුම් ලක්ෂය රැජිණි සෙල්වනායගම් පවසා ඇති පරිදි ඇයගේ නර්තන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීම ය. "මට පොඩි කාලේ ඉඳන් මට හීනෙන් වගේ හැම තිස්සෙ ම පෙනුණා, නැටුම. මම හැම තිස්සෙ ම ඒ කාලේ අතපය නටවනවා. ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී මගේ වාසනාවට මගේ ගුරු සරත් ලාල් පනාවල මහත්මයා මට මුණ ගැසුණා. එතුමා තමයි මට මේ තරම් ලොකු ගමනක් යන්න මග පෙන්නුවේ," රූපවාහිනී සාකච්ඡාවකදී වරක් ඇය පැවසුවා ය. පසු කලෙක ශ්‍රී ලංකා කලා කෙතෙහි විශිෂ්ටයින් බවට පත්වූ නිශ්ශංක දිද්දෙණිය සහ සුමනා රත්නපාල යන කලාකරුවන් ද රැජිණි සෙල්වනායගම් සමග සරත් ලාල් පනාවල නර්තන ගුරුවරයාගෙන් ඉගෙනුම ලැබූ සමකාලීනයින් දෙදෙනෙකි. "අම්මා කකුල් පුපුරනකම් ගැහුවා" රැජිණි ඇතුළු සිය දූවරුන් ගුරුවරියන් බවට පත්වනු දැකීමට කැමැත්තෙන් සිටි ඇගේ මව රැජිණි නර්තනය හැදෑරීම සම්බන්ධයෙන් කිසිදු කැමැත්තක් නොදැක්වූවා පමණක් නොව, එය නතර කිරීමට බොහෝසෙයින් උත්සහ කළා ය. "අම්මා සම්පූර්ණයෙන් ම විරුද්ධ වුණා. අම්මා ගහලා තියෙනවා මගේ කකුල් පුපුරන්න. අම්මා කිව්වෙ ම නටන්න එපා කියලා. අම්මා කිව්වේ ගෑණු ළමයින්ට නැටුම් සුදුසු දෙයක් නෙවෙයි කියලා. අක්කලාත් විරුද්ධ වුණා. ඉස්කෝලෙ නැටුවා ම අක්කලා ගෙදර ඇවිත් අම්මාට කේලම් කිව්වා. අම්මා ඉතින් ඒවා අහලා මට කකුල් පුපුරන්න ගහනවා," ඇය පවසා තිබිණි. කෙසේ වෙතත්, ඇය සිය සිහිනය වූ නර්තන ශිල්පිනියක වීමේ අරමුණ අත්හැරියේ නැත. වැඩිදුර අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රැජිණි, කොළඹ සෞන්දර්ය විද්‍යා පීඨයට ඇතුළු වී එවකට පැවති නර්තන ඩිප්ලෝමාව නිම කළා ය. ඒ, වසර 5ක අධ්‍යයන කටයුතුවලින් පසුව ය. ඊට අමතරව, ඇය භරත නාට්‍යම් විෂය සම්බන්ධයෙන් ද ඩිප්ලෝමාවක් ලබා ගත්තා ය. ඇයට තමන් ආශාවෙන් උගත් ශිල්පය දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය වූයේ, ඉන් පසුව ය. ඒ අනුව ඇය 1975 වසරේ පෙබරවාරි මස 5 වන දා 'චාමර කලායතනය' නමින් නර්තන කලායතනයක් ආරම්භ කළා ය. එම වකවානුවේදී ඇයට නර්තන ගුරුවරියක ලෙස රජයේ ගුරු පත්වීමක් ද ලැබිණි. නර්තන ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කළේ, හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ ය. ඇය පාසල් නර්තන ගුරුවරියක ලෙස වසර 18ක් සේවයේ නිරත විය. පාසල් ගුරුවරියක ලෙස සහ සිය කලායතනය හරහා ඇය දරුවන් ලක්ෂයකට වැඩි පිරිසකට නර්තනය උගන්වා ඇතැයි ඇය පවසයි. ඇයගේ සැමියා වූයේ, හරීන්ද්‍ර රොද්‍රිගු නමැත්තෙකි. විවාහයෙන් ඇයට දරුවන් නොසිටිය ද ඇය ඒ සම්බන්ධයෙන් කම්පාවට පත්වූයේ නැත. ඇය වරක් මෙසේ කීවා ය. "මට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණාට දෙවියන් වහන්සේ මට දරුවෝ ගොඩක් දීලා තියෙනවා. මම උගන්වපු හැම දරුවෙක් ම මට මගේ ම දරුවෙක් කියලායි හිතෙන්නේ. දෙවියන් වහන්සේ මට දරුවන් දුන්නා නම් සමහර විට මට මේ වගේ විශාල දරුවන් පිරිසකට අම්මා වෙන්න බැරි වෙයි. ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා මට ලැබුණු ජීවිතය ගැන." |
'මම ලියන හැටි': ශමෙල් ජයකොඩි | සිය මුල් ම නවකතාව වන 'යළි උපන් ගැහැණිය' 2008 වසරේ ප්‍රකාශයට පත් කරන ශමෙල් ජයකොඩි 2023 වසරේ දී 'කොස්මොපොලිටන් ජීවිත' නවකතාව ප්‍රකාශයට පත් කරන විට ඇගේ නමට යටින් එක් වන නවකතා ගණන දාහතක් බවට පත් වෙයි. බලපොරොත්තු සහගත අනාගතයක් වෙත හැරුණු ඇගේ නවකතා පාඨකයන් අතර සේ ම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාව ට පාත්‍ර වී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන,ලියන විදිහ,ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මෙතෙක් මේ සංවාද මාලාවේ සිද්ධ වුණු විදිහට ම මම ඔබගෙනුත් මුලින්ම අහන්නෙ ඔබ නවකතාවක පළවෙනි වාක්‍යය ලියන හැටි ගැන. අපි ඔබේ පොත් වල දකින මේ පළමු වාක්‍යයම ද ඔබ ඒ නවකතා ලියන්න පටන් ගනිද්දි ලිව්වේ? ශමෙල්: ඇත්තෙන්ම ලේඛකයෙකුට නවකතාවක් ලිවීම ආරම්භයේදී ම තමන්ට අවශ්‍ය පළමු වාක්‍යය ලියවෙනවා නම් ඒ අය ගොඩක් වාසනාවන්තයි. හැබැයි මගෙ කතාව ඊට වඩා වෙනස්. පිටු විස්සක් තිහක් සමහර විට පිටු පනහක් විතර ලිව්වට පස්සෙ තමයි මං හරියටම පොතට ඇතුල් වෙලා කතාව විකාශනය වන හැටි, චරිත මොනවගේද වගේ දේවල් තේරුම් ගන්නෙ. කතාව කොහොමද කියන්න ඕන කියන එක වුණත් මම තේරුම් ගන්නෙ එහෙමයි. මම උදාහරණයක් කියන්නම්. මගෙ ‘වීනස්ගේ උපත’ නවකතාව ගත්තොත්, ඒක තරුණියක් ගැන කතාවක්. නමුත් මේ කතාව කියන්න වඩාත්ම හොඳ ක්‍රමය ඒ කතාවෙ එන පවුලෙ ඉන්න බාලම පිරිමි දරුවා හරහා මේක කියන එක කියල මම තේරුම් ගන්නෙ පිටු ටිකක් ලිව්වට පස්සේ. ඊට පස්සෙ මං ඒ කෝණයෙන් කතාව කියන්න පටන් ගන්නවා. එතකොට මම කරන්නේ කතාව අලුතෙන් සංවිධානය වුන ආකාරයට අනුව පළමු වාක්‍යය නැවත සකස් කරන එක. ඇත්තෙන්ම කියන්න ඕන පළවෙනි වාක්‍යය ගැන මං ඉතා ම සැළකිලිමත්. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි පළමු වාක්‍යයෙන් කතාව ගැන කිසියම් පෙර දැනුම් දීමක් කරනවා කියන එක. නමුත් මට නං අවශ්‍ය වෙන්නේ පාඨකයන් කුල්මත් කරමින් කතාවට ප්‍රවේශ වෙන්න. කෞශල්‍ය : දැන් මේ විදිහට ඔබ කතාවට ඇතුල් වෙලා කතාව කියන කෝණය ආදී දේවල් පිළිබඳ වටහා ගන්නා මොහොත වෙන කොට ඔබ පිටු විස්සක් තිහක් ලියලයි තියෙන්නෙ. කතාව පිළිබඳ අලුත් වටහා ගැනීමත් එක්ක ඒ ලියපු දේවල් වලට මොකද්ද වෙන්නේ? ශමෙල්: මෙහෙමයි, මම ලියන්න පටන් ගන්නකොට මම දන්න දේවල් ටිකක් තියනවා. එකක් කතාවේ අවසානය ගැන මට දළ අදහසක් තියනවා. මම වැඩ කරන්න යන චරිත කිහිපයක් ගැන අදහසක් තියනවා.මේ චරිත විකාශනය වන යුගය ගැන, සමාජය ගැන අවබෝධයක් තියනවා. ඒ වගේම මේ තුළ තියන මානුෂික සබඳතාවල මූලික ස්වරූපය කවරාකාර ද කියන එක, ඒ කියන්නේ දරුවෙක් සහ දෙමාපියන් අතර සම්බන්ධයක් වගේ දෙයක් ද කියන එක. වෙන විදිහකට කිව්වොත් කතාවේ තේමාව මම දන්නවා. ඒ නිසා මම අර ලියපු දේවල් වලට විශාල වෙනස්කම් කරන්න වෙන්නෙ නැහැ. මොකද මේ හැමවෙලාවක ම කතාවේ තේමාව තුළ තමයි මම ඉන්නෙ. පිටු විස්සක් තිහක් ගියාට පස්සෙ බොහෝ විට සිද්ධ වෙන්නෙ මේ කතාව කියන්න ඕන ආකාරය මම සොයා ගැනීම. කොහොමටත් මම අර කලින් කියපු මගෙ හිතේ තියන අවසානයට මේ චරිත කොහොමද යන්නෙ කියන එක ගැන මේ වෙනකොටත් සම්පූර්ණයෙන් දන්නෙ නැහැ. ඒක තමයි මට තියන අභියෝගය. මං හිතන්නෙ මේ අභියෝගය ම තමයි එක අතකින් නවකතා ලියන්න මට ආශාව ඇති කරන්නේ. කෞශල්‍ය : මේ කතා තේමාවන් හිතට එන විදිහ ගැන යමක් කියන්න පුලුවන්ද? ශමෙල්: මේ හැම එකක්ම මගෙ අත්දැකීමක් එක්ක සම්බන්ධයි. සමහර විට කිසියම් අත්දැකීමක් හරහා මීට අවුරුදු දහයකට පහළවකට කළින් මගෙ හිතේ පැලපදියම් වෙච්ච අදහසක් වෙන්න පුලුවන්. මං කිව්වනෙ අවුරුදු දහයක් පහළවක් කියල, මං හිතන්නෙ ඊට පස්සෙ මේ කාලය තුළ මම අහන දේවල් දකින දේවල් මගෙ හිතේ කොහෙහරි තැනක තැන්පත් වෙනවා. ඒක මම හිතල කරන දෙයක් නෙමේ. ඒ දේවල් වලින් අර හිතේ පැලපදියම් වුණු අදහස පෝෂණය වෙනව. මං ලියන්න ගන්න වෙලාවට මට ඒ දේවල් හැම එකක්ම ආවර්ජනය කරන්න පුලුවන්. මං උදාහරණයක් ගත්තොත්, මගෙ අලුත්ම පොත 'කොස්මොපොලිටන් ජීවිත'. ඒ පොතේ කතා වෙන්නෙ නිව්යෝක් නුවරට ඇවිත් වසර ගාණක් ජීවත් වෙච්ච පවුලක් ළඟට සිංහල තරුණයෙක් නවතින්න යනව. ඔහු සිසුවෙක් විදිහට ඇවිල්ල ඉන්නෙ. දැන් මේ හැමෝම යුද්ධයක් පැවතුණු රටක ජීවත් වුණු අය. දැන් මට මේක අත්විඳින්න වුණේ මීට අවුරුදු විස්සකට කලින්. මොකද මං කැනඩාවට එන්නේ මීට අවුරුදු විස්සකට කලින් එතකොට මට මෙහෙ ජීවත් වෙන්න වෙනවා ලංකාවෙ දෙමළ ප්‍රජාවත් එක්ක. මේ අත්දැකීම විඳින වෙලාවෙ මං මේක නවකතාවකට ලියන්න ඕනෙ කියල හිතල තිබුණේ නැහැ. ඒක නවකතාවක තේමාවක් බවට පත්වෙන්නේ දැන් අවුරුදු විස්සකට පස්සෙ. මෙහෙම තමයි අත්දැකීම් නවකතා බවට පත්වෙන්නේ. අනිත් එක මං කියන්න ඕන අත්දැකීමක් වේදනාබර නං තමයි ඒක නවකතාවක් ලියන්න තල්ලුවක් වෙන්නෙ. කිසිම සතුටුදායක අත්දැකීමක් මෙතෙක් එහෙම වෙලා නැහැ. මට නවකතා ලියන්න හැමවිටම උදව් කරල තියෙන්නෙ වේදනාකාරී අත්දැකීම් තමයි. මගෙ හැම නවකතාවක් දිහාම දැන් හැරිල බලන කොට මට පුලුවන් ඒ නවකතා පදනම් වෙච්ච අත්දැකීම, එහෙමත් නැත්තං ඒ මතකය සොයාගන්න. කෞශල්‍ය : එහෙමනං දැන් අපි ටිකක් කතා කතාකරමුද මේ අත්දැකීම ප්‍රබන්ධයක් බවට පත් වෙන හැටි ගැන? කොහොමද මේව ඔබේ පරිකල්පනය තුළ වෙනස් වෙන්නේ? ශමෙල්: මෙහෙමයි, නවකතාවක් ලියන්න යම්කිසි තේමාවක් ආවම මං මුලින්ම කරන්නේ ප්‍රබන්ධ ලෝකයක් හදාගන්න එක. ඒ කියන්නෙ චරිත, ඒ චරිත පිහිටන සමාජය සහ යුගය මේ දේවල් සහිත කතා රාමුවක්. උදාහරණයක් හැටියට මගේ චිකාගෝ හදවත නවකතාවෙ ලංකාවෙ ඉඳන් යුවලක් චිකාගෝවට එනව කෘත්‍රිම දරු පිළිසිඳගැනීමකට. නමුත් ඒක අසාර්ථක වෙලා ඔවුන් ලංකාවට ගිහින් දරුවෙක් අරගෙන නැවත චිකාගෝවට එනවා ඒ දරුව ඇතිදැඩි කරන්න. දැන් මේක තමයි මගේ ප්‍රබන්ධ ලෝකය. දැන් මේක තුළ මං කතාව ගොතන විදිහෙ යම්කිසි නිදහස් චලනයක් තියෙනවා. අන්න එතෙන්දි මං මගෙ අත්දැකීම් එකතු කරන්න ගන්නවා. එතකොට තමයි කතාවට ජීවයක් එකතු වෙන්නේ. මං හිතනවා මං මගේම දේවල් ඇතුල් කරන්න කරන්න කතාවට විශ්වසනීය බවක් ලැබෙනවා කියලත්. මං හිතන්නෙ පාඨකයත් අපිත් එක්ක බැඳෙන්නෙ අපිට කිට්ටු ම දේවල් ලියනකොට. අනිත් එක මං මෙතෙන්දි කියන්නෙ මගෙ පරණ අත්දැකීම් විතරක් නෙමේ. හිතන්න, මං අද ලියන්න වාඩි වුණාම වහින්න ගත්තොත් මගෙ කතාවෙ වැස්සක් තියෙන්න පුලුවන්. මං ලියන තැනට කුරුල්ලෝ කෑගහනව ඇහෙනවා නං මගෙ කතාවට කුරුල්ලෝ සම්බන්ධ වෙන්න පුලුවන්. කෞශල්‍ය : අපි තව ටිකක් කතා කරමුද මේ ලිවිමේ ක්‍රියාවලිය ගැන. ඔබ කතාව ආරම්භයේ ගොඩනගන චරිත හැමවිටම ඔබට අවශ්‍ය ආකාරයට ම හැසිරෙනවද නැත්තං ඔබ අපේක්ෂා නොකළ දේවල් සිද්ධවෙලා තියනවාද? ශමෙල්: මේක මට ඇත්තට ම ඉතාම වැදගත් දෙයක්. මගෙ කතා වල හැමවිට ම චරිත වලට විශාල වැදගත්කමක් ලැබෙනවා. කතාව සම්පූර්ණයෙන් ම පදනම් වෙන්නේ මේ චරිත වල විකාශනය මත. මං මුලින් කිව්ව වගේ මං ලියන්න ගන්නකොට මගෙ හිතේ තියෙන්නෙ චරිත ටිකක් සහ අවසානයක්. ඉතින් මේ චරිත ඒ අවසානයට යන්නෙ කොහොමද කියන එක මං දන්නෙ නැහැ. ඒක වෙන්නෙ ලියන ක්‍රියාවලිය ඇතුළේ. එතෙන්දි සමහර චරිත උඩට එනවා සමහර චරිත යට යනවා. මං මුලදි නොහිතන දේවල් ගොඩක් වෙනවා. මෙතන්දි මට කියන්න පොඩි රහසක් තියනවා. මං හිතන්නෙ චරිත එක්ක මං මගේම ජීවිතය ගලපගන්නවා, එතෙන්දි මට කරන්න බැරි දේවල් මං මේ චරිත වලට කරන්න ඉඩ හරිනවා. ඒකෙන් මම ලොකු සතුටක් විඳිනවා. මේ චරිත මම වගේ නෙමෙයි. මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. මට වඩා කටකාරයි, මට වඩා නිර්භීතයි, මට කියන්න බැරි දේවල් කෑගහල කියනවා, ආදරය ප්‍රකාශ කරනවා. මට හිතෙන්නෙ මං මේ චරිත මට නොදැනීම එක්කං යනවා මට හැකියාවක් නැති ප්‍රදේශයකට. එතෙන්දි මගෙ යටි හිතේ තිබුනු කැමැත්තවල් මේ චරිත වලට ආරෝපනය වෙනවා. ඒ නිසා මගෙ කතා වල චරිත මං හිතුවට වඩා වෙනස් මාර්ග වල යනවා, චරිත වල ස්වභාවය වෙනස් වෙනවා, හිතපු නැති පැති වලට මාවත් ඇදගෙන යන වෙලාවල් තියනවා මගෙ විඥ්ඥානයෙන් තොරව. නමුත් ඔවුන් කතාවෙ තේමාව තුළ රැඳෙනවා. කෞශල්‍ය: ඔබ කලින් කිව්ව ලියන්න පටන් ගනිද්දි ම ඔබට මේ චරිත ගමන් කරන අවසානය ගැන අදහසක් තියනවා කියල. ඉතින් හැමවිටම ඔබට අවශ්‍ය වෙච්ච අවසානයට ඔබ ළඟා වෙලා තියනව ද මේ චරිත ත් එක්ක? ශමෙල්: ඔව් බොහෝ විට එහෙම තමයි. මොකද මගෙ පොත් වල පැහැදිලි අවසානයක් මම දෙන්නෙ නැහැ හැම විටම තියෙන්නෙ විවෘත අවසානයන්. ජීවිතය වගේම තමයි. චරිත වලට බලාපොරොත්තු සහගත අනාගතයක් තියනවා. මේක එක්තරා විදිහට මගෙ ඇබ්බැහියක්, ඒකෙන් මිදෙන්න බැරිකමකුත් තියනවා. අනික මං කැමතියි පාඨකයාට තමන් ගැනම ගැඹුරු ආවර්ජනයක් ඇති කරන්න. ඉතින් මේකට යන්න මට ඒ තරම් අසීරු නැහැ. ඔන්න චරිතයක් මැරෙනවා නං එහෙම ඒක තරමක් බරපතල දෙයක්. කොහොමද එතෙන්ට යන්නෙ කියන එක සැලසුම් කරන්න වෙනවා. නමුත් මගේ අවසානයන් ඊට වෙනස්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ පහසුයි කියන එක. සමහර අවස්ථා වල විශාල වෙහෙසක් දරන්න වෙලත් තියනවා. පාඨකයාගෙත් හිත හැදෙන විදිහට මගෙ හිතේ තියන දේ කියාගන්නෙ කොහොමද කියන එකට. මට මතකයි ‘කුමර කොබෙයි’ නවකතාවෙදි ඒකෙ ප්‍රකාශකයා මගේ අත්පිටපත කියවල මට යෝජනාවක් කළා ‘ශමෙල් ඔයාගෙ පොතේ මෙන්න මේ තැනින් නැවැත්තුවොත් මොකද කියල’ ඒ වෙලාවෙ මං ඒ කියපු දේ ඒ ආකාරයෙන් ම පිළිගත්තා. මම සාමාන්‍යයෙන් එහෙම යෝජනා වලට නම්‍යශීලී කෙනෙක්. කෞශල්‍ය: සාමාන්‍යයෙන් ඔබ නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ දිනපතා ලියනව ද? ලියන්න කලින් එදිනෙදා ලියන්න යන දේ ගැන සැලසුම් කරනව ද? මං මෙහෙම අහන්නම්කෝ , මේ ලියන කාලෙට ඔබේ හැසිරීම මොනවගේ ද? ශමෙල්: ලියන කාලෙට මං සාහිත්‍යයෙන් ඈත්වෙලා තමයි ඉන්නෙ. මොකද මගෙ අවට නැහැ සාහිත්‍ය ගැන උනන්දු අය. ඒක මට ලොකු පහසුවක්. ඒ කාලෙට මං කැමතියි බස් එකේ කෝච්චියෙ යන්න, මොකද මට මගෙ චරිතත් එක්ක ඉන්න පුලුවන් නිසා. ඒ වගේම මං කාර්යබහුල වෙන තරමට මගෙ චරිත වල ගොඩනැංවීම මට පහසු වෙනවා. මං යන එන හැම තැනකදි ම මං මේ චරිත ත් ලෝකයට විවෘත කරනවා. ඇත්තට ම මට ලිවීමට වඩා වැදගත් දේ වෙන්නෙ මෙන්න මේ පරිකල්පනීය කාලය තුළ.ලියන එක මට මගෙ පරිගණකය විවෘත කර ගන්න පුලුවන් වෙන ඕනෙම වෙලාවක කරන්න පුලුවන්. ඒත් මේ චරිත වල විකාශනය පරිකල්පනය කරන කාලය ඊට වඩා ගොඩක් වැදගත්. හැබැයි මේ පරිකල්පනය සිද්ධ වෙන්නෙ මගෙ ඔළුවේ ඇතුළේ විතරක් නෙමෙයි. මං අර කිව්ව වගේ මගේ එදිනෙදා ජීවිතයෙ අහන දකින දේවල් වලට මේ චරිත ත් නිරාවරණය වෙනවා. මං උදාහරණයක් කියන්නං, මට ඉන්නවා ලොකු යෙහෙළියො පිරිසක්, මේ සමහරු සමාජයේ ඉතා ම ඉහළ තල වල ඉන්න අය, සමහරුගෙ ජීවිත වල විශාල අර්බුද තියන අය, ඉතින් මේ අය මට නිතරම ඒගොල්ලන්ගෙ ජීවිත වල සිදුවීම් කියනවා. ඒ අය දන්නෙ නැහැ මං නවකතාවක් ලියමින් ඉන්න බව. මේ කවුරුවත් සාහිත්‍යට කලාවට සම්බන්ධ අය නෙමේ. බොහෝ අය පොත් කියවන්නෙවත් නැහැ. ඉතින් මේ විශාල පරාසයක මිනිසුන් ඇසුරු කිරීම මගෙ චරිත වල පරාසය ලොකු කරන්න බලපානවා. ඒකයි මං කිව්වෙ ලිවීම ට මට වඩා මට මෙන්න මේ ක්‍රියාවලිය හරි වැදගත් කියල. මං ඇත්තට ම එහෙම පිළිවෙලකට දිනපතා මේ තරම් වෙලාවක් ලියනවා කියල ලියන කෙනෙක් නෙමේ. මොකක් හරි ලියන්න දෙයක් ආවොත් උයමින් හිටියත් දුවගෙන ගිහින් ඒක ලියල එනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට පරිකල්පනය මට තවදුරටත් දරාගෙන ඉන්න බැරි තැනදි මං ලියනවා. බොහෝ විට පිටු තුනක් විතර තමයි. සමහර දවසට එක පිටුවක්වත් ලියවෙන්නේ නැති දවස් තියනවා. කොහොම වුනත් පැයකට වඩා නං දවසකට ලියල නැහැ. ලියන්න විශේෂ තැනක් කියල එකකුත් නෑ. ඉස්සර නං මං රැකියාව කරපු තැන ලිව්වේ. දැන් නං කෑම මේසෙ ඉස්සරහ වාඩි වෙලා තමයි ලියන්නෙ. හැබැයි සීත කාලෙට තියනවා සීත අඩුතැනක්. රස්නේ කාලෙටත් තියෙනවා රස්නේ අඩු තැනක්. කෞශල්‍ය: ඔබේ නවකතාවල සංස්කරණ ක්‍රියාවලිය මොනවගේ එකක්ද? ශමෙල්: මං සාමාන්‍යයෙන් අවසන් වාක්‍යය ලියල ඉවර වෙනකන් ඉන්නව සංස්කරණය පටන් ගන්න. මුලින්ම ප්‍රින්ට් අවුට් එකක් අරගෙන මේක නැවත නැවත කියවනවා. නවකතාවේ ගලායාම සහ කටහඬ තේරුම් ගන්න. චරිතවල කටහඬ නෙමෙයි නවකතාවේ කටහඬ. මම දන්නෙ නැහැ මේකද නිවැරදි වචනෙ කියල. නමුත් මගෙ හිතේ ඒ අදහස වෙනුවෙන් මං තියං ඉන්නෙ ඔය වචනෙ. ඉතින් මේ දේවල් වල රිද්මය හරියාකාරව ඇවිත් තියනවද කියන එක තමයි මම බලන්නෙ. මොකද කතාව විශ්වසනීය දෙයක් බවට පත්වෙන්නෙ මේ රිද්මයෙන් කියල මම හිතනවා. ඉතින්, මේ කාලෙට ගමනක් ගිය ත් මේ ප්‍රින්ට් අවුට්ස් ටික අරගෙන තමයි යන්නෙ. මේක එක ආකාරයක සංස්කරණයක්. තවත් ආකාරයක සංස්කරණයක් මම කරනවා. ඒ තමයි පොත ලියල ඉවර වුනාට පස්සෙ ඒක අමතක කරල මාස දෙකක් විතර වෙනත් වැඩ කරමින් ඉඳල නැවත එන එක. මේ කෙටි දුරස් වීමෙන් පස්සේ මට වඩා පැහැදිලිව පොතේ ගැටලු පේන්න ගන්නවා. මෙතෙන්දි මං උනන්දු වෙනවා විශේෂයෙන් චරිත වල ගතිස්වභාවයන්ට අදාළ නොවන දේවල් ඒ චරිත අතින් කියවෙනවද කියන එක ගැන. සමහර කාරණයක් කියවිය යුතුව තියෙන්නෙ ඒ චරිතය අතින් නෙමේ වෙනත් චරිතයක් අතින් වෙන්න පුලුවන්. අනිත් එක මගේ අදහස් ඒ චරිත වල ස්වභාවය ඉක්මවමින් ඇතුල් වෙලා තියනවාද කියන එක. ඒ වගේම යම් යම් අදහස් උවමනාවට වඩා නැවත නැවත කියවිලා තියනවද කියන එක ගැනත් මම බලනවා. මේ සංස්කරණ ක්‍රියාවලියෙදි මම සමහර කොටස් කපා ඉවත් කරනවා සහ සමහර දේවල් අලුතෙන් ඇතුල් කරනවා. නමුත් ලියන ලද වාක්‍ය වල භාෂාත්මක සංස්කරණ සිද්ධ වෙනවා අඩුයි. මොකද මම හිතනවා ඒ සමහර වාක්‍ය මුලින්ම ලියවුනු ආකාරය තමයි හොඳම ආකාරය කියල. කෞශල්‍ය: ඉතින් මේ කතාබහ අවසන් කරන්න මං කැමතියි අහන්න ඔබ කොහොමද මේ ලිවීම විඳින්නෙ කියන එක? ශමෙල්: මට දෙන්න තියන උත්තරේ ටිකක් පරස්පර ව්‍යාකූල එකක්. එක පැත්තකින් මේ ලිවීම ලොකු දුකක්. ඒක මගෙ ජීවිතේ වේදනාකාරී අත්දැකීම් සහ මතක එක්ක පැටලිලා තියෙන්නෙ. ලියන කාලය තුළ මම ඉන්නෙ මගේ ම ප්‍රතිබිම්බ වගේ චරිත ටිකක් එක්ක හීන ලෝකයක් ඇතුළේ. ඉතින් ලිවීම අවසන් වුන ත් එකපාරම එතනින් ගැලවෙන්නත් අමාරුයි. සමහර වෙලාවට එකපාරට හිතෙනවා දැන් මගෙ චරිත මොනවා කරනව ඇතිද කියල. මේක එක්තරා විදිහක පිස්සුවක්. අනිත් අතින් මට කියන්න ඕන දේවල් ලියන කොට දැනෙන සතුටක් තියනවා. ඒත් ඔයා මගෙන් ඇහුවොත් මේ දෙකෙන් මොකද්ද වැඩි කියල මට කියන්න වෙන්නෙ දුක තමයි වැඩි කියල. ඔබ ශමෙල් ජයකොඩි ගේ නවකතා කියවන විට පවා ඇයගේ පරිකල්පනීය සිහින ලෝකය තුළ එම නවකතා වල චරිත තවදුරටත් ජීවත් වෙමින් වෙනස් වෙමින් සිටිනවා විය හැකිය. ලිවීම විසින් ලේඛකයා ආක්‍රමණය කරන හැටි තවත් කවුළුවකින් දකින්නට ලබන සතියේ අප මුණගැසෙන්නේ ප්‍රවීන ලේඛකයෙකු වන ජයතිලක කම්මැල්ලවීර යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
බූසාන් සම්මානයෙන් පිදුම් ලද ප්‍රසන්න විතානගේගේ දෙරටකට අයිති සිනමා කෘතිය | පාරාදීසයක් ලෙස සැලකුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින බොඳ වී ගිය බවක් පෙනුණ ද, ඒ අභියෝගාත්මක කාල පරිච්ඡේදය ප්‍රතිනිර්මාණය කරමින් ලාංකික සිනමා ප්‍රේක්ෂකයින්ට අපේක්ෂාවක් දැල්වීමට ප්‍රසන්න විතානගේ සිනමාකරුවා (ඔක්:13) සමත් විය. ඒ, දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK) සම්මානය දිනා ගනිමිනි. සම්මානය හිමි වූයේ, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'පැරඩයිස්' චිත්‍රපටයේ විශිෂ්ටත්වය වෙනුවෙනි. මෙවර ජීසොක් සම්මානය සඳහා ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්ථානය, තායිලන්තය, ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තෝරා ගෙන තිබිණි. විශේෂ කරුණක් වූයේ, 'පැරඩයිස්' චිත්‍රපටය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේ ම නියෝජනයක් ලෙස එම සම්මාන උළෙල නියෝජනය කිරීම ය. බූසාන් සිනමා උළෙලේ නිර්මාතෘවරයෙකු වන කිම් ජීසොක් නමින් පිරිනැමෙන මෙම සම්මානය ආසියානු කලාපයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් සීමා වෙයි. මොකක් ද මේ සම්මානනීය 'පැරඩයිස්'? "පාරාදීසයක් විදිහට හඳුන්වපු රටක ආර්ථික අර්බුදයත් සමග ඇති වූ පෙරළිය සහ ජනතාව මුහුණ දුන් අත්දැකීම් තමයි මේ සිනමා පටයෙන් පැහැදිලි කරන්නේ. ඒ වෙලාවේ ඉන්දියාවේ රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අඩු වුණා ම ඉන්දියානුවන් බොහෝ දෙනෙක් කල්පනා කළා ශ්‍රී ලංකාවට යන එක හොඳයි කියලා. ඉතින් එහෙම ලංකාවට ඉන්දියාවෙන් ආව තරුණ යුවළක් මුහුණ දෙන අත්දැකීම් මත තමයි මේ චිත්‍රපටය දිග හැරෙන්නේ," ජීසොක් සම්මානය හිමි කර ගැනීමෙන් පසු දකුණු කොරියාවේ සිට බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රසන්න විතානගේ පැවසීය. මෙය ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ කලාකෘතියක් ලෙස නිර්මාණය වී තිබේ "ඉන්දියාවේ මුම්බායිවල ජීවත් වන මලයාලම් යුවළක් ඔවුන්ගේ 5 වන විවාහ සංවත්සරය සැමරීමට ලංකාවට එනවා. ඒ යුවළ වෙනුවෙන් මම යොදා ගත්තේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වෙන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන්. ඔවුන් සමග වැඩ කරන එක ඉතා ම පහසු වුණා. ශාරීරිකව සහ මානසිකව ඔවුන් අපේ වැඩේට උපරිම දායකත්වයක් ලබා දුන්නා. අපේ රටට ඒ වගේ වෘත්තීය නළු නිළියන් අවශ්‍ය යි," ප්‍රසන්න විතානගේ ප්‍රකාශ කළේ ය. ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන 'පැරඩයිස්' චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ, කේරළ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් ෆිල්ම්ස් සමාගම යි. මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ලොව පුරා තිර ගත කරවන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවළක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් සමග ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළියන් පිරිසක් පැරඩයිස් සඳහා රාංගනයෙන් දායක වී සිටිති. Jaya Jaya Jaya Jaya Hey, C U Soon, Koode වැනි මලයාලම් සිනමා පට හරහා ජනප්‍රියත්වයට පත් දර්ශනා රාජේන්ද්‍රන් 2022 වසරේ තිරගත වූ Hridayam චිත්‍රපටය හරහා වඩාත් ප්‍රේක්ෂක අවධානයට ලක්වූවා ය. Anandam, Thottappan, Kappela, Moothon ආදී මලයාලම් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති රෝෂන් මැතිව්ට, චියාන් වික්‍රම්ගේ Cobra නමැති දමිළ චිත්‍රපටයටත්, ආලියා භාත්ගේ Darlings නමැති හින්දි චිත්‍රපටයටත් දායක වීමට අවස්ථාව හිමි විය. ඉන්දීය සිනමාවේ සම්මානනීය සිනමා ශිල්පීන් වන රජිව් රවී කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, K සංගීත අධ්‍යක්ෂණයෙන් ද පැරඩයිස් සිනමා පටයට දායක වී තිබේ. ඉන්දීය නිෂ්පාදකයෙකු ලැබුණු හැටි "මේ චිත්‍රපටයට මූල්‍යමය අර්ථපතීත්වය සැලසෙන්නේ ඉන්දීය සමාගමක් හරහා. ඒක ඇත්තට ම කේරළයේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක්. ඔවුන් මේක කරන්න ඉදිරිපත් වුණේ, විශේෂයෙන් ම මේ තිර රචනය මා අතින් සම්පාදනය වුණාට පස්සෙ තිර රචනය දැකලා, ඔවුන්ට ඒක යොමු කළේ මගේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා. ඔහු ඉන්දීය කැමරා අධ්‍යක්ෂවරයෙක් වන රජිව් රවී. ඉතින් ඔවුන් ඒකට දායකත්වය දක්වන්න කැමති වුණා," ප්‍රසන්න විතානගේ පැවසීය. මෙම චිත්‍රපටය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක ම ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව ද චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. මනිරත්නම්ගේ අගැයීම මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ඉන්දීය සම්මානනීය සිනමාකරුවෙකු වන මනිරත්නම් දැක්වූ අදහස් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙසේ ය. ''පාරාදීසයේ සමාජීය මෙන් ම ආර්ථික වශයෙන් ද කඩා වැටීමක් ඇති වන විට, ස්ත්‍රී-පුරුෂ සබඳතා නැවත අගැයීමක් සිදු වන විට, ඉතිහාසයේ කීර්තිමත් භූමියක් වර්තමාන ගැටලුකාරී කාලවලදී පිළිබිඹු වන ආකාරය ප්‍රතිනිර්මාණය වන, 'පාරාදීසය' චිත්‍රපටය, දැක්මක් සහිත චිත්‍රපටයක්." ප්‍රසන්න විතානගේගේ බූසාන් සිනමා මතක 1996 වසරේදී මුල්වරට ඇරඹුණු බූසාන් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටයට හිමි විය. එය ඔහු නිර්මාණය කරන ලද දෙවන චිත්‍රපටය මෙන් ම ඔහු ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ මුල් ම අවස්ථාව විය. බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල්වරට පිරිනමන ලද්දේ, අනන්ත රාත්‍රිය චිත්‍රපටය වෙනුවෙනි. ඉන්පසු 28 වන සම්මාන උලෙළේදී ප්‍රසන්න ආසියානු සිනමාවේ මුල් පෙළ සිනමාකරුවෙකු ලෙස දෙරටක් නියෝජනය කරමින් තරග වැද සම්මානයට පාත්‍රවීම බූසාන් උලෙළේ ද විශේෂ සිදුවීමක් විය. ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙල අතර දකුණු කොරියාවේ බූසාන් සිනමා උළෙලට හිමි වන්නේ, සුවිශේෂී ස්ථානයකි. ප්‍රසන්න විතානගේගේ සිනමා දායකත්වය 1991 වසරේදී ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටය හරහා සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රසන්න විතානගේ, මේ වන විට චිත්‍රපට 11ක් පමණ අධ්‍යක්ෂණය කර ඇති ප්‍රවීණයෙකි. එම චිත්‍රපට මෙසේ ය. එම චිත්‍රපට වෙනුවෙන් ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන, සිග්නිස් සම්මාන ආදී දේශීය සම්මාන පමණක් නොව බූසාන්, නෙට් පැක්, IFFF ආදී ජාත්‍යන්තර සම්මාන රැසක් ද හිමි වී තිබේ. |
'මම ලියන හැටි': මංජුල වෙඩිවර්ධන | මෙවර කතාබහට එක්වන මංජුල වෙඩිවර්ධන යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන තීරණාත්මක නවකතාකරුවෙකු සේම විශිෂ්ට කවියෙක් සහ කෙටිකතාකරුවෙකි. ඊට අමතරව ටෙලිනාට්‍ය පිටපත් රචනයේ සහ ගීත රචනයේ ද ඔහු යෙදෙයි. 'බත්තලංගුණ්ඩුව' කෘතියෙන් ආරම්භ වන ඔහුගේ නවකතාකරණය ‘මගේ ආදරණීය යක්ෂණී', ‘පැරිස් වළාකුළු', ‘ඒ අහඹු අතීත හැන්දෑව' හරහා පැමිණ ‘මුන්නක්කරේ සංසාරේ' අසළ දැන් කෙටි විරාමයක් ගනිමින් සිටියි. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුනු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය' (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ,ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාද මාලාවේ දිගටම සිද්ධ වුණු විදිහටම මම මුලින්ම ඔබෙනුත් අහන්නෙ ඔබේ නවකතාවල පළවෙනි වාක්‍යය ලියවුනු හැටි ගැන. අපි දෙන්න ම හොඳින් දන්න දෙයක්නෙ මේ සමාරම්භක මොහොත මොනතරං වැදගත් ද කියන එක. මංජුල: ඔව් අනිවාර්යෙන්ම. හැබැයි මට සාමාන්‍යයෙන් නවකතාවක් ඔළුවේ වැඩකරන්න පටන් ගත්ත ම මුලින්ම එන්නෙ මම ලියන්න යන නවකතාවෙ නම. 'බත්තලංගුණ්ඩුව' ගත්තත්, ‘මගේ ආදරණීය යක්ෂණී' ගත්තත්, ‘පැරිස් වළාකුළු' හරි ‘මුන්නක්කරේ සංසාරේ' හරි ගත්තත් ඒ හැමවෙලේ ම මුලින්ම ඇවිත් තියෙන්නෙ පොතේ නම. ‘ඒ අහඹු අතීත හැන්දෑව' විතරයි එහෙම නොවුනෙ, මොකද ඒක මම මුලින්ම ලියන්නෙ ‘ඇහිපිල්ලමක් යට' කියන ටෙලි නාට්‍යය හැටියට. හැබැයි ඒ ප්ලොට් එක මුලින් ආවෙ නවකතාවක් හැටියට. එතකොට ආපු නම තමයි ඇහිපිල්ලමක් යට. ඒක ටෙලි නාට්‍යයට දුන්න නිසා තමයි වෙනත් නමක් නවකතාවට එන්නෙ. ඉතින්, යමක් නවකතාවක් බවට පත්වෙනවා කියන අදහස එනකොටම වෙන්නෙ මේ විදිහට නමක් ඔළුවට එන එක. කෞශල්‍ය : දැන් එතකොට මේ වෙද්දි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරං දැනුවත් ද? මංජුල: මේ වෙනකොට මූලික චරිත ටික ඔළුව ඇතුලේ ස්ථානගත වෙලා. මම ලියන්න යන සමස්ත වියමනේ ඡායාවක් මා තුළ තියනව කියල මට දැනෙමින් තියනවා. ඒක පරිපූර්ණ සවිඥ්ඥානික දැනුමක් නෙමෙයි. මා තුළ විශ්වාසයක් තියනවා මේ චරිත ත් එක්ක මේ සැකැස්ම මා තුළ තියනව කියන එක ගැන. නමුත් පළවෙනි වාක්‍යය නැත්තං වාක්‍යය කිහිපය ලියවීම ත් එක්ක තමයි මේක හැඩගැහෙන්න පටන් ගන්නෙ. පළවෙනි වාක්‍යය කියන එක මට හරිම වැදගත්. නවකතාවෙදි විතරක් නෙමේ මාධ්‍යවේදියෙක් හැටියට මම ලියපු විශේෂාංග වලත් ඒක එහෙමයි. පළවෙනි වාක්‍යය කිහිපය අවශ්‍ය ආකාරයට ලියන්න මං සෑහෙන වෙහෙසක් දරනවා. 'බත්තලංගුණ්ඩුව' නවකතාව ලියන්න කලින් මං බත්තලංගුණ්ඩුවට ගිහින් ලියපු විශේෂාංග ලිපියක් තියනවා 2000 අවුරුද්දෙ විතර. ඒ ලිපියෙ පළවෙනි වාක්‍යය තමයි ඒ ආකාරයෙන්ම නවකතාවට ඇවිත් තියෙන්නෙ. දැන් උදාහරණයකට ‘මුන්නක්කරේ සංසාරේ' නවකතාව ගත්තොත් ඒක මගෙ ඔළුව ඇතුලේ වැඩෙන්න පටන් ගන්නෙ 2013. නමුත් මේක හිත ඇතුලෙ වද දෙමින් තිබිල පළවෙනි වාක්‍යය ලියවෙන්නෙ 2015 දී. ඒ ලියපු පළමු වාක්‍යය තමයි පොතේ දැන් තියෙන්නෙ. කෞශල්‍ය : දැන් එතකොට ‘මුන්නක්කරේ' ලියන්න පටන්ගත්තට පස්සෙ ඒකට කලින් ඔබ තව නවකතා දෙකක් විතර පළ කරල තියනවා. මේක කොහොමද වෙන්නෙ? මංජුල: මං ඇත්තටම එකවර වැඩ කීපෙක ඉන්නෙ. එකක් ඉවර වෙලා තව එකක් පටන් ගන්නව වගේ එකක් නෙමේ මගෙ විදිහ. දැන් උදාහරණයක් හැටියට, මං ‘මගේ ආදරණීය යක්ෂණී' අවසන් කළාට පස්සෙ දැන් ඊළඟ නවකතාව පටන් ගන්නව වගේ එකක් නෑ. හැබැයි ඒ වෙනකොටත් නවකතා විදිහට පටන් ගත්තු නම් දාපු තුන හතරක් මගෙ පරිගණකයේ තියනවා. හැබැයි නවකතාවක් අවසන් වුනාට පස්සෙ මම කරන්නෙ මගෙ සාමාන්‍ය ජීවිතේට යන එක. කඳු නගින, ඇවිදින, වැවේ නාන, ඍතු මාරු වෙන එකට මුහුණ දෙන ඒ ජීවිතේ ගත කරමින් ඉන්න කොට යම් කිසි දෙයක් විසින් ඊළඟ වැඩේ තීරණය කරන්න පුලුවන්. මං ‘මුන්නක්කරේ' ලියමින් ඉන්නකොට තමයි තමලිනී පිළිකාවකින් නැතිවුණා කියන ප්‍රවෘත්තිය එන්නෙ. තමලිනී කියන දන්න කියන චරිතය, ඉතාම දුක් විඳිමින් උසාවි ගෙනිහිං, පුනරුත්ථාපනය වෙලා, හමුදාව විසින් කපුකම් කරල, සම්පූර්ණයෙන්ම තමන්ගෙ යාන්ත්‍රණයට ප්‍රතිවිරුද්ධ කෙනෙක් ස්වාමි පුරුෂයා හැටියට අභිමුඛ වෙලා... දැන් මෙන්න මේ දේවල් හිතට එන්න ගන්නකොට අර ලියමින් හිටපු ‘මුන්නක්කරේ' හෝ තවත් දේවල් පොඩ්ඩක් පැත්තකට වෙලා මේකත් එක්ක ගැවසෙන්න, සැතපෙන්න හැමිනෙන්න ගන්නවා. එහෙම තමයි ‘පැරිස් වළාකුළු' ‘මුන්නක්කරේ' ඕවර්ටේක් කරන්නෙ. නවකතාවක් අවසාන අර්ථයෙන් අපේ ආත්මීයත්වයත් එක්කනෙ බැඳිල තියෙන්නෙ. නවකතා ලිවීමේ පිස්සුව එන්නෙ ඒකත් එක්ක. එහෙම නැත්තං අපි නිකම්ම කතාකාරයො වෙනවා. ඉතින් හැමවෙලේම ලියමින් ඉන්න කීපයක් අතේ තිබුණත් මේ වගේ හේතු මත යමක් ඉදිරියට එනවා. ඒකත් එක්ක වැඩ කරන අතරෙ තව එකක් ඉදිරියට එන්නත් පුලුවන්. මේ විදිහට වැඩ කරල යමක් මුද්‍රණයට සුදුසු පරිසමාප්ත තත්වයට පත් වෙලා කියල දැනෙන කං කරන්නෙ හංගගෙන තනියම රසවිඳින එක. කෞශල්‍ය : මොනතරම් ආත්මීය සාධක මත නවකතාවක් ලිවීම තීරණය වුනත් අපි දන්නව ඒ ඒ නවකතාව ගොඩනැංවීමට අදාළව කළ යුතු පර්යේෂණ තියනවා. මේක කොහොමද වෙන්නෙ? මංජුල: ඔව්, අනිවාර්යයෙන්ම. මට මේ හැදෑරීම, මේ පර්යේෂණය හැම විටම ද්වීතිකයි. මුලින්ම නවකතාවෙ සංකල්පය පහළ වෙලා, නමකුත් ඇවිල්ලා පළවෙනි වාක්‍ය කිහිපයත් ලියල තියෙන්නෙ. දැන් මෙතන කතාවක් තියනවා නමුත් මේක නවකතාවක් වෙන්න නං මේ කතාව ගැටගැහිල තියෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික ප්‍රවාහය තේරුම් ගන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි රිසර්ච් එක එන්නෙ. මං මුන්නක්කරෙන් උදාහරණයක් දෙන්නං, දැන් ඒකෙ අර මෝඩ ඇල පාලම හදන්න කලින් තියන ලෑලි පාලමෙන් ඌරු පැටව් දාගෙන යන ට්‍රැක්ටරයක් පාලම කඩාගෙන ඇලට වැටෙනවා. ඊට අවුරුදු පනහකට විතර පස්සෙ පාලම උඩ විනෝදෙට බිලී බාමින් ඉන්න ඉඩම්හිමි ව්‍යාපාරිකයෙකුගෙ බිලී පිත්තට පැටලිලා මේ ට්‍රැක්ටරේ ගොඩට එනවා, මේකෙ හිටපු ඌරු පැටව් පාලම උඩට වැටිල මේ පොතේ කියවෙන පල්ලි දෙකක් දෙසට දුවන්න පටන් ගන්නවා. දැන් කොහොමද ඒක වෙන්නෙ. මේ සිදුවීම් දෙක පුරුද්දන්න රිසර්ච් එකක් අවශ්‍යයි. ඒක එහෙම ලියවිලා තියන එක පිටුපස තියනවා හැදෑරීමක්. ඒ නිසා කතාවක් සමාජ අර්ථික දේශපාලන දැලක පටලන්න තමයි රිසර්ච් එක අවශ්‍ය වෙන්නෙ. එහෙම නැති වුනොත් මේක නිකම්ම කතාවක් විතරක් වෙනවා. කෞශල්‍ය : ලිවීමත් එක්ක ගත කරන කාලය ගැන යමක් කියන්න පුලුවන් ද? මංජුල: නවකතාකාරයෙකුට වැකේෂන් නෑනෙ. අපි හැමවෙලේම ලියමින් ඉන්නෙ නැති බව ඇත්ත. නමුත් අපි වැකේෂන් එකකට ගියත් ලියන්නෙකුගේ මානසිකත්වයෙන් ගැළවෙන්න බැහැ. මුහුදු වෙරළකට ගියත් බාර් එකකට ගියත් අපි දේවල් දකින්නෙ අත්විඳින්නෙ ලියන්නෙකුගෙ ඇසින්, ලියන්නෙකුගෙ ආත්මයෙන්. මාත් එක්ක ඉන්න කෙනා වීදුරුව අල්ලන විදිහ, බොන විදිහ එයා වේටර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන විදිහ දැන් මේවා පේන එක නවත්තන්න බැහැනෙ. ඒකයි මම කිව්වෙ ලියන්නෙකුට වැකේෂන් එකක් නෑ කියල. හැබැයි මම පිළිගන්නවා මේකෙ එක එක තල තියනවා. දැන් පොතක අවසානයට ළං වෙනකොට මම දවසකට පැය දහ අටක් විතර පොතත් එක්ක ඉන්නවා. මේක අදහස් වේගයෙන් ගලන වෙලාවක්. සමහර වෙලාවට මගෙ බෙල්ලෙ ඉඳන් පිට වෙනකං හිරි වැටිල, ඒත් අත් වැඩ කරනවා. මං සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ මේසෙ. මේ වගේ කාලෙට සමහර වෙලාවල් තියනවා මං පොත් රාක්කෙක එක තට්ටුවක පොත් අයින් කරල ලැප්ටොප් එක එතන තියාගෙන හිටගෙන ලියන. මොකද මොන තරං අසීරු වුනත් මේ වෙලාවට ලියන එක නවත්තන්න බැහැ. සාමාන්‍යයෙන් පොතක් අවසානයට ළං වුනාම මාස තුනක් විතර මේ විදිහට වැඩ කරනවා. මේක බොහොම ආවේශකර කාලයක්. ලියන්නා කියන පැවැත්මේ උපරිම මොහොත තමයි මේ. නමුත් ලියන එකම විතරක් නෙමේ මේ කාලය තුළ කරන්නෙ. වෙන් වෙන්ව ලියල තියන පරිච්ඡේද සහ කොටස් එකට එකතු කරන එකත් ලිවීම තරම් ම අසීරු දෙයක්. වඩාත්ම අමාරු දේ ලියපු දේවල් කපා ඉවත් කිරීම. ඉතින් මේ විදිහට වැඩ කරද්දි වරින් වර දවසක බ්රේක් එකක් අරන් දිග නින්දක් ගන්නවා. ඒක ඇත්තටම ඒ වෙලාවට ශරීරය ඉල්ලන එකක්. මෙහෙම නොවන කාලෙට කියවීමට ලිවීමට දිනපතා කාලයක් වෙන් වෙනවා. අනිත් එක ලියනවා කියන එකේදි සමහර දවසට පැය ගානක් ගත කරල තියෙන්නෙ එක වාක්‍යයක් වෙනුවෙන් වෙන්න පුලුවන්. එහෙම නැත්තං එක වාක්‍යයක් ලිවීම වෙනුවෙන් කරන හැදෑරීම වෙනුවෙන් වෙන්නත් පුලුවන්. සමහර වෙලාවට ලියන නවකතාවක පරිච්ඡේදයක් ගැන හිතමින් ලී කොටයකින් එක එක දේවල් නිර්මාණය කරන එක වෙන්න පුලුවන්. කෞශල්‍ය:පොඩ්ඩක් ඒක ගැන තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද? ලී කොටයක් එක්ක හැප්පෙමින් මේ කරන දේ ලිවීමත් එක්ක සම්බන්ධ වෙන හැටි. මංජුල: ඒක එක්තරා විදිහකට මං රිලැක්ස් වෙන්න කරන දෙයක්. කැලේට ගිහිං අජීවී දර කොටයක් අරන් ඇවිත් මං ඒකත් එක්ක හැප්පෙමින් ගත කරන කාලය මට හිතන්න ගොඩක් උදව් වෙනවා. මං ගෙදර ගැරේජ් එකේ පොඩි වර්ක්ෂොප් එකක් හදල තියෙන්නෙ. ඒකෙ අවශ්‍ය කරන ටූල්ස් තියනවා. මං මේ වුඩ් කාර්විං වැඩේ ප්‍රංශෙට ආවට පස්සෙ විධිමත්ව ඉගෙන ගෙනත් තියෙනවා. නමුත් ඒක මූලිකවම හිතමින් නිදහසේ කරන දෙයක්. ඒ වුනාට ඉතින් අන්තිමට යම් දෙයක් ඉතුරු වෙනවා. මං ඔය බෙල්ලෙ දාන දේවල් එහෙම මම ම හදපුවා. එහෙම දේවල් තමයි මම යාළුවෙක් මුණගැහුණම තෑගි හැටියට දෙන්නෙත්. මොකද ඒ පුංචි ලී කෑල්ලත් එක්ක මම ගත කරපු කාලයක් ශ්‍රමයක් තියනවා. ඒ නිසා ඒක මං හිතන්නෙ හොඳ මතකයක්. කෞශල්‍ය: ඇත්තටම ඒක හරිම සිත්ගන්නාසුළු දෙයක්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න නවකතාකාරයෙක් හැටියට ඔබ ලිවීම විඳින්නෙ කොහොමද? ඒ විඳීම මොනවගේ දෙයක් ද? මංජුල: එක්තරා විදිහකට ගත්තම ඒක අතිශය වේදනාකාරී දෙයක්. කිසියම් චරිතයක් ලියද්දි අපිට ඒ චරිතයට අනන්‍ය වෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට හිතන්න වෙනවා. ඒ විදිහට දේවල් අත්විඳින්න වෙනවා. හිතන්න, අපි ස්ත්‍රී චරිතයක් නිර්මාණය කරනකොට අපිට ස්ත්‍රියක් වෙන්න වෙනවා. අප තුළ තියන ස්ත්‍රී ආත්මය අවදිවෙනවා. එහෙම නැති කෙනෙකුට ඒක කරන්න බැහැනෙ. අපි මාර පිරිමි කියල හිතන් හිටියට එතෙන්දි අපේ ජෙන්ඩර් එක ප්‍රශ්නගත වෙනවා. ඔයත් නවකතාකාරයෙක් හැටිය මේක හොඳටම දන්නවනෙ. මේ විදිහට විවිධ චරිත වල ආත්මයට ඇතුල් වෙමින් ගත කරන කාලයේ විශාල වේදනකාරීබවක් තියනවා. අනිත් අතට මේකෙ ආශ්වාදය තියෙන්නෙත් මෙතනමයි. ඒ ඇරුනම සතුට කියල වෙනම එකක් නැහැ. දැන් ඔය සමහරු කියන්නෙ ලියන කාලෙ මාර දුකක් වින්ද පොත පළ වුනාම හරිම තෘප්තියක් දැනෙනවා කියල. මට නං ඒක තේරෙන්නෙ නැහැ. නවකතාවක් ලිවීමේ ආශ්වාදය තියෙන්නෙ ඒකෙ චරිත ඒ හැඟීම් එක්ක ගත කරන කාලයේ අත්විඳින වේදනාව ඇතුලෙමයි. ඒ නිසා තමයි මං නැවත නැවත නවකතා ලියන්නෙ. නවකතාකරුවෙක් ලෙස ලිවීම තුළ මංජුල අත්විඳින සංවේදනා, ඔහුට දැනෙන හැඟීම් සහ ඔහුගේ භාවිතයන් හා තාක්ෂණයන් අප මෙතෙක් හමු වී ඇති අනෙකුත් නවකතාකරුවන් හා කාරියන් ගේ කතාබහ ද අපට නැවත සිහිපත් කරවයි. මේ හැම කෙනෙකු ම ලිවීම තුළ පවතින ආකාරයේ සුවිශේෂීත්වයන් හා සමානකම් ඇත. එසේම නවකතාකරුවෙකුගේ වැකේෂන් නැති ජීවිතය ගැන මංජුලගේ හෙළිදරව්කිරීම් අපට නවකතා ලිවීමේ සෞන්දර්යය ගැන යළි සිතා බැලීමට බලකරයි. ලබන සතියේ මුණගැසෙන ශමෙල් ජයකොඩි මෙම සිතාබැලීම තවදුරටත් විචිත්‍ර හා සංකීර්ණ කරනු ඇත. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
'සකල කලාවේ දස්කම් පා' වසර එක හමාරක් නිහඬව ම සිට නික්ම ගිය 'පනාපුත්‍ර කුහුඹුපැණියා' | ඔහු හඳුන්වා දීමට තනි වචනයක් හෝ වචන කිහිපයක් සොයා ගැනීම පහසු නැත. ඒ, කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය අංශයකට හෝ කිහිපයකට සීමා නොවූ නිසා ය. නළුවෙකු, ගායකයෙකු, නිවේදකයෙකු, සාහිත්‍යවේදියෙකු, කලා විචාරකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නර්තන ශිල්පියෙකු, හඬ නළුවෙකු, ගවේෂකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, මාධ්‍ය කළමනාකාරවරයෙකු ආදී තවත් විශේෂණ රැසක් ඔහුගේ නමට පෙර යෙදිය යුතුව තිබේ. ඔහු නියැළුණු ඉහත කී සෑම කාර්යයකට ම ඔහු විශේෂඥයෙකු වූ බව කීම අතිශයෝක්තියක් නොවේ. පනාපුත්‍ර කුහුඹුපැණියා හෙවත් ජැක්සන් ඇන්තනි නම් වූ එම විශිෂ්ට කලාකරුවා දැයට සමුදී හමාර ය. ජැක්සන් නිහඬ කළ අනතුර ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනෙකු ගමන් කරමින් සිටි කැබ් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක් වූයේ, 2022 වසරේ ජූලි මස 02 වන දා ය. එම අනතුරින් ඔහු ගමන් ගත් වාහනයට ද දැඩි හානි සිදුව තිබූ අතර, මොරගොඩ ප්‍රදේශ වාසීන් පිරිසක් සහ තලාව පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණි. ඔහු වසර එක හමාරකට ආසන්න කාලයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය. මේ අතර, අනතුරට ලක්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරක කාලයක් ජැක්සන් ඇන්තනිට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ද ඔහුගේ පවුලේ සාමාජිකයින්ට දැඩි විවේචන එල්ල විය. දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලබා ගත නොහැකිව දරුවෙකු මිය යාමේ සිද්ධියක් හේතුවෙන් එම විවේචන තවත් තීව්‍ර වන්නට විය. බොහෝ දෙනෙකු චෝදනා කළේ, ජැක්සන් ඇන්තනි යන්ත්‍රානුසාරයෙන් හුස්ම ගැනීම පමණක් සිදු කරන අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් රඳවාගෙන සිටීම මුදල් නාස්තියක් මෙන් ම වෙනත් රෝගීන්ට කරන අසාධාරණයක් බවට ය. මිය යන විට 65 වන වියේ පසුවූ ජැක්සන් ඇන්තනි 1958 ජූලි 08 වන දා රාගමදී මෙලොව එළිය දුටු අතර, කොන්ගානිගේ ජෝසෆ් මල්සි ජැක්සන් ඇන්තනි යනුවෙන් ඔහුට නම් තබන ලදී. ඔහු ඉගෙනුම ලැබුවේ, හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලය සහ ගම්පහ, ගණේමුල්ල, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙනි. උසස් පෙළ විභාගය සමත් වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් ගෞරව උපාධියක් හිමි කර ගත් අතර, පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත්තේ ය. ජැක්සන් ඇන්තනි කලා ලොවට පිවිසියේ, පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී ම ය. "ජැක්සන් සිය පියාට බොහෝ සේ ආදරය කළේ ය. ඔහු වරෙක පැවසුවේ, ‘මගේ කලාවේ ආරම්භය මගේ තාත්තාගේ ඔඩොක්කුව යි කියා ය. තාත්තා පාස්කුවේත් සෙබස්තියන් වාසප්පුවේ සහ අන්තෝනි වාසප්පුවේත් ප්‍රධාන නළුවා විය. කෙසේ වෙතත්, පාසල් අධ්‍යාපන චාරිකාවකදී අනුරාධපුරයේ සමාධි පිළිමය දැකීමෙන් පසු ඇති වූ සිතිවිල්ලක් අනුව එතැන් පටන් බෞද්ධ පොත පත කියවීම ඇරඹූ ජැක්සන්, උසස් පෙළ විෂයයක් වශයෙන් බෞද්ධ සංස්කෘතිය තෝරා ගත් බවත් බුද්ධ ධර්මය හ බෞද්ධ දර්ශනය පිළිබඳව දැනුම් සම්භාරයක් එක්රැස් කර ගත්," බවත් මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වූ අතර, ඉන්පසුව නෙවිල් ඩයස් සුබසිංහගේ ‘‘වාරුවෙන් යන මිනිසුන්’’ සහ ‘‘මානවයෝ’’ මෙන් ම ඊ.එම්.ඩී. උපාලිගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ යන නාට්‍යවලට රංගනයෙන් දායක විය. කලා ලොවට පිවිසීම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මංගල සේනානායකගේ ‘එහෙත්’ නමැති නාට්‍යයෙහි රඟපෑ ඔහුට හොඳම නළුවා සම්මානය හිමි විය. එම සම්මානයට ඔහු තෝරා ගත් සුගතපාල ද සිල්වා, සිය ‘මරාසාද්’ නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාව ඔහුට පිරිනමමින් නාට්‍ය කලාවේ දැවැන්ත රංග භූමිකාවකට පාර පෙන්වීය. පසුව, සරච්චන්ද්‍රගේ ‘ලෝමහංස’, දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’, ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’, ‘මෝරා’ සහ ‘ඔත්තුකාරයා’ වැනි නාට්‍යවල ජැක්සන් රඟපෑ භූමිකා ශ්‍රී ලංකා නාට්‍ය කලාවේ නොමියෙන සිහිවටන වේ. මහාචාර්ය සරච්චන්ද්‍රගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන පරිදි, ලෝමහංස නාට්‍යය සඳහා ජැක්සන් ඇන්තනි තෝරා ගත්ත ද, මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඔහුගේ නමට අකමැති වී තිබිණි. එවකට ඉංග්‍රීසි ඌරුවක් තිබූ නම් වෙනස් කර සිංහල නම් දමා ගැනීමේ ප්‍රවණතාවක් පැවතිණි. යූස්ටස් රෙජිනෝල්ඩ් යනුවෙන් උප්පැන්න සහතිකයේ තිබූ නම එදිරිවීර සරච්චන්ද්‍ර යනුවෙන් වෙනස් කරගෙන සිටි මහාචාර්යවරයාට අවශ්‍ය වී තිබුණේ, ජැක්සන්ගේ නම 'සිරිමෙවන් ධර්මප්‍රිය' ලෙස වෙනස් කිරීමට ය. එහෙත්, තමන් මහත් සේ ආදරය කළ පියා විසින් තබන ලද ජැක්සන් ඇන්තනි යන නාමය වෙනස් කිරීම ඔහු ප්‍රතිකේෂප කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. කලා ලොවේ නොබිඳුණු මිතුදම පාසල් දෙකක ඉගෙනුම ලැබුව ද, ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස් සහ ජැක්සන් ඇන්තනි යනු එක ම ගම් පියසේ හැදී වැඩී, එකට කලා ලෝකයට පිවිස, එක්ව කලා ලෝකය ජය ගත් කලාකරුවන් දෙපළකි. ඔවුන් දෙදෙනා එක් ගමක වාසය කළ ද, මිතුරන් බවට පත්ව ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික් නාට්‍ය තරගාවලියකදී ය. "අපි මුලින් ම මිතුරන් බවට පත්වුණේ ඒ නාට්‍ය උළෙලේදී. ඊට පස්සේ දිගට ම අපි එකට වැඩ කළා. මුලින් ම වේදිකා නාට්‍යකදී අපි එකට රඟපෑවේ, ජයන්ත චන්ද්‍රසිරිගේ 'අත්' නාට්‍යයේ. 'පළිඟු මැණිකෙ' ටෙලි නාට්‍යය තමයි අපි දෙන්නා එකට රඟපෑ පළවෙනි ටෙලි නාට්‍යය. පස්සේ ගොඩක් කලා කටයුතුවලදී අපි එකට වැඩ කළා," ශ්‍රියන්ත මෙන්ඩිස් ආවර්ජනය කළේ ය. "ඔහු නිකම් ම කලාකාරයෙක් නෙවෙයි. කලාව සම්බන්ධයෙන් දැනුම් සම්භාරයක් තිබුණ විශ්ව කෝෂයක් වගේ මිනිහෙක්. ඔහුගෙන් අපේ කලා ක්ෂේත්‍රයට ඇති වන අඩුව පුරවන්න කවදාවත් පුළුවන් වෙයි ද කියලා සැක යි. ඒ තරමට ම ඔහු අතිදක්ෂ, වටිනා මිනිහෙක්. ඔහු අපෙන් සමුගැනීම ඇත්තට ම ලොකු පාඩුවක්." රංගන ප්‍රතිභාව "මෙරට නළු පරම්පරාවේ වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය මෙන් ම සිනමාව ද එක සේ ජයග්‍රහණය කළ එක ම මහා නළුවා ජැක්සන් ඇන්තනි වන," අතර, ඔහු සිනමා රංගනයෙහි අතිවිශිෂ්ටයෙකු බව තහවුරු කර ගැනීමට, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බවදුක’ සහ ‘බවකර්ම’, උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ සහ ‘රන්දිය දහර’, එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘විසිදැල’, බෙනට් රත්නායකගේ ‘අස්වැසුම’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාකටිං’ සහ ‘මහරජ ගැමුණු’, ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සූරිය අරණ’, ජැක්සන්ගේ ම ‘ඇඩ්‍රස් නෑ’, එස්. රවීගේ ‘ධර්ම යුද්ධය’ යන චිත්‍රපට කිහිපය වුව ප්‍රමාණවත්," බව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අදහස යි. ඔහු සිනමා නළුවෙකු ලෙස තැබූ පියවර කූටප්‍රාප්තියට පත් වූයේ, කේරළ සිනමාවේ ‘ලක්නව්’ නමැති මලයාලම් චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයට තෝරා ගැනීමත් සමග ය. ජැක්සන් දක්ෂ ගායන ශිල්පියෙකු බව ප්‍රකට වූයේ, 'සුසීමා' ටෙලි නාට්‍යය වෙනුවෙන් ඔහු ගැයූ ගීත කිහිපයකිනි. "දෑස පියා ගත් කල" නමැති ගීතය තවමත් අතිශයින් ජනප්‍රිය ගීතයකි. 1992 වසරේදී ඔහු සිය මංගල ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සනිටුහන් කරමින් "ඇසළ කළුවර" අධ්‍යක්ෂණය කළේ ය. ඉන්පසුව 2014 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ දෙවන ටෙලි නාට්‍යය වූ ‘‘දස්කොන්’’ දේශීය සම්මාන උළෙල කිහිපයකදී ම සම්මාන දිනා ගත්තේ ය. ඔහුගේ රංගන දිවිය තුළ සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී. සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී හොඳ ම නළුවා සම්මාන 20කට වඩා හිමි කරගෙන තිබීමෙන් ඔහුගේ රංගන කෞෂල්‍යය ප්‍රකට වෙයි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ගෞරවයට පාත්‍ර විය. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වූ ‘‘ජුලියට්ගේ භූමිකාව’’ වෙනුවෙන් විචාරක සම්මාන උළෙලේදී වඩාත් බලාපොරොත්තුසහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට හිමි විය. 'පාරාදීසය' ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතර ඔහු අධ්‍යක්ෂණය කළ 'අබා', චිත්‍රපටය බොහෝ සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය වෙනුවෙන් 2015 දෙරණ චිත්‍රපට සම්මාන උලෙළේ හොඳ ම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ද ජැක්සන් ය. පසු කලෙක ඔහු ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ සමයේ, 'ගඟ දිගේ', 'සලංහන්තේ', 'මහා සිංහලේ වංශ කතාව' ආදී වැඩසටහන් ගණනාවක් නිෂ්පාදනය කළේ ය. සමාජයෙන් ආ විවේචන 'සකල කලා වල්ලභ' යනුවෙන් ආදරණීය ලෙස අතිශය ජනාදරයට පත්ව සිටි ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් සමාජයෙන් විවේචන එල්ල වන්නට වූයේ, පසුකාලීනව දේශපාලනික වශයෙන් ඔහු දැක්වූ මත හා අදහස් හේතුවෙනි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටි කාලයේ ඔහු සමග සමීපව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබුණු අතර, හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේදී 'කරදිය මංගල්‍යය' නමින් ඉදිරිපත් කළ වැඩසටහන සම්බන්ධයෙන් ඔහුට විවේචන එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනකට ද මුහුණ දීමට ඔහුට සිදු විය. එම චෝදනා ඔප්පු නොවූ අතර, පසුව රාජපක්ෂ පවුල සහ දුටු ගැමුණු රජුගේ පරම්පරාව සමග පැවති ඥාතිත්වයක් ගෙන හැර පෑමට ගත් උත්සහයක් නිසා සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන්නට සිදු විය. ‘මහා සිංහලේ වංශ කතාව’ ජැක්සන් රූපවාහිනී තිරයට හඳුන්වා දුන් පර්යේෂණාත්මක විචිත්‍රාංගයක් වූ අතර එහි ගවේෂණාත්මක සහ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කෙරිණි. කෙසේ වෙතත්, එම වැඩසටහන සහ ‘අබා’ චිත්‍රපටය හරහා ද ශ්‍රී ලංකා ඉතිහාසය ඇතැම් අවස්ථාවලදී විකෘති කරනු ලැබූ බවට ද විවේචන එල්ල විය. ජැක්සන්ගේ භූමිකා කිහිපයක් වේදිකා නාට්‍ය - මාරාසාද්, බෙර හඬ, අත්, ඔත්තුකාරයා, මෙතනින් මරුවෙනු, ලෝමහංස, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, මහා සමයම, ධවල භීෂණ ටෙලි නාට්‍ය - සුසීමා, පළිඟු මැණිකේ, කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව, වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ චිත්‍රපට - ගුරු ගෙදර, චිත්ති, අයෝමා, ලොකු දුව, බව දුක, බව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලෙ සොයා, රන් දිය දහර, ගරිල්ලා මාර්කටිං, ධර්ම යුද්ධය, අබා |
'මම ලියන හැටි': කත්‍යානා අමරසිංහ | 'නිලි වැස්ස' නවකතාවෙන් ඇරඹෙන කත්‍යානා අමරසිංහගේ නවකතාකරණය මේ වන විට 'වර්ණදාසි' සහ 'ධරණි', පසුකර විත් දැන් 'බාන කුසුම්' අසල කෙටි විවේකයක් ගනිමින් සිටියි. සිය පළමු නවකතාවෙන්ම ස්ත්‍රීත්වයේ සංකීර්ණතා සෞන්දර්යාත්මකව හසුකර ගත් ලේඛිකාවක ලෙස අවදානයට ලක් වූ කත්‍යානා ඇගේ අවසන් නවකතාව වෙත එන විට ස්ත්‍රී ආත්මයේ අඳුරු අහුමුළු වචන වලින් එළිය කරන්නට සමත් ලේඛිකාවක ලෙස පාඨක විචාරක සිත් දිනාගෙන ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුනු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මීට කලින් සති වල කතාබහට එක් වුණු ලේඛකයන්ගෙනුත් මම මුලින්ම අහපු ප්‍රශ්නය තමයි ඔවුන්ගේ පොත් වල පළවෙනි වාක්‍යය ලියපු විදිහ. අපි ඔබේ පොත් වල දකින පළවෙනි වාක්‍ය ලියවුණු විදිහ ගැන යමක් කියන්න පුලුවන් ද? කත්‍යානා: මං මේකට මෙහෙම උත්තර දෙන්නං.මගේ අත්දැකීම අනුව නවකතාවක ප්ලොට් එක ඉබේම එනවා. චරිත ගොඩනැගෙනවා.සිදුවීම් එනවා. සමහර අවස්ථා වල දි කතාව පටන් ගන්න විදිහ සහ පළවෙනි වාක්‍යය පවා එනවා. නමුත් ලියන්න පටන් ගැනීම කියන්නෙ වෙනම කාර්යයක්. එතෙන්දි අර ඉබේම ඇවිත් අපේ පරිකල්පනය තුළ වර්ධනය වුනු දේවල් වලින් සියයට පනහක් වගේ ඒ විදිහටම එළියට එනවා.නමුත් ලිවීමේ පුහුණුවක් ඇතුලෙ ලියනකොට මේ ඉබේ වර්ධනය වුණු දේවල් වලින් යම් කොටසක් නිරායාසයෙන් ම නියාමනයකට ලක් වෙනවා.මේ නිසා මගේ පළවෙනි වාක්‍යය ලියවෙන්න මෙන්න මේ යාන්ත්‍රණයන් දෙකම බලපානවා.ඒ වගේම මට හිතෙනවා ජනමාධ්‍යවේදියෙක් හැටියට මං ලබපු පුහුණුව මට බලපාල තියනවා මෙතෙන්දි කියල.මම විශේෂාංග ලියපු මාධ්‍යවේදියෙක් හැටියට,අපිව පුහුණු කරල තියෙනවා පළමු වාක්‍යය තුළ ලිපියේ සාරයට අදාල වූ යමක් කාවද්දන්න.ඉතිං මගෙ හිතේ ඉබේ මතුවෙන වාක්‍යයක් නිරායාසයෙන්ම නියාමනයකට ලක් වෙද්දි ඒ වෙනකොට මගේ හිතේ ගොඩනැගිල තියන කතාවෙ සාරයට අදාළ වූ යමක් මේ වාක්‍යය තුළට ඇතුල් වෙනවා. කෞශල්‍ය : ඔබ දැන් මේ ලිවීමේ ක්‍රියාවලිය පටන් ගන්නකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද? කත්‍යානා: මං හිතන්නෙ මම සෑහෙන දැනුවත්.මොකද මං නවකතාවක් ලියන්න පටන් ගන්නෙ සෑහෙන දුරට හිතල හිතල නවකතාව ඔළුව ඇතුලේ ගොඩනගල තවදුරටත් මේක දරාගෙන ඉන්න බැරි තත්වයකට ආවම.ඒ කියන්නෙ එක්තරා මොහොතකදි මට දැනෙනවා දැන් මේක ලියන්නම ඕනෙ කියන එක.ඒ වගේ තැනකට එනවා කියන්නෙ සෑහෙන දුරකට ප්ලොට් එක හැදිල තියෙන්නෙ.මම දන්නවා මොකද්ද මේ ලියන්නෙ කියල.සමහර විට අවසානය මම දන්නෙ නැති වෙන්න පුලුවන් දන්නව වෙන්නත් පුලුවන්.දන්නව වුනත් ඒක වෙනස් වෙන්න පුලුවන්.මැද්දෙ තියන සමහර චරිත ගැන මම ඒ තරම් හිතල නැති වෙන්න පුලුවන්. හැබැයි මට පැහැදිලි මූලික අදහසක් තියනව මම ලියන්න යන්නෙ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. කෞශල්‍ය: දැන් ඔබ මෙහෙම ලියාගෙන යද්දි ඔබේ ඔලුව ඇතුලෙ තියෙන මේ සැලැස්ම ඒ විදිහටම හැමවිට ම ලියවුනා ද? කත්‍යානා:නෑ. ඒක වෙනස් වෙච්ච අවස්ථා තියනවා. උදාහරණයක් හැටියට වර්ණදාසි සහ බාන කුසුම් ලියද්දි ඒක වුණා.මට තේරුණා කතාව විසින් මාව ඇදගෙන යනව වෙනත් පැති වලට කියල.මගේ පළවෙනි නවකතාව, නිලි වැස්ස සහ තුන්වෙනි එක, ධරණි ලියද්දි මට එහෙම වුනේ අඩුවෙන්. ඒත් වෙනස් වීම් සිද්ද වුණා. සමහර සැලසුම් කරල තිබුණ චරිත ඇතුල් නොකරන්න තීරණය කලා ලිවීම ඇතුලෙ. ඒවගේ දේවල් ඒ නවකතා වලදිත් වුණා. නමුත් විශේෂයෙන්ම බාන කුසුම්, ඒ කියන්නෙ මගෙ අන්තිම නවකතාව ලියද්දි මට දැනුන මට වමට යන්න ඕනෙ වුණත් කතාව මාව දකුණට ඇදන් යනව වගේ.නමුත් ඒකට ඉඩ දෙනකොටත් මම ගියේ දැනුවත්ව.සමහර වෙලාවට අපට පුලුවන්නෙ ඇදගෙන යනකොට වුණත් යන දිශාව ගැන දැනුවත්ව යන්න.ඒ නිසා මම කල්පනාවෙන් ඒ ඇදගෙන යන දිහාට ගියා. කොහොම වුණත් අර මුලින් සැලසුම් කරල තිබුණු එක වෙනස් වුණා . කෞශල්‍ය:දැන් ඕකට අදාළවම මම මෙහෙම අහන්නං. ඔබ කලින් සැලසුම් කරල තියන චරිත වල තත්ත්වය ලිවීමේ ක්‍රියාවලිය ඇතුලෙ වෙනස් වෙලා තියනවාද? සමහර වෙලාවට අපි චරිත ගොඩනගනවනෙ කතාවෙ හරිම පොඩි දෙයක් වෙනුවෙන්. මේ වගේ සුළු චරිත අපි අපේක්ෂා නොකළ විදිහට කතාව තුළ ජීවත් වෙන්න පටන් ගැනීම වගේ දෙයක් ලිවීමේ ක්‍රියාවලිය තුළ ඔබ අත්විඳල තියනවාද? කත්‍යානා: අනිවාර්යෙන්ම එහෙම වෙලා තියෙනවා.මං කියන්නෙ නැහැ හැම නවකතාවෙදිම එහෙම වුනා කියල. බාන කුසුම් වල දෙවෙනි භාගෙ ඇතුලෙ ගොඩනගපු සමහර චරිත වලට එහෙම වුණා. මුලදි මට සැලසුමක් තිබුණේ නැහැ ඒගොල්ලො තීරණාත්මක චරිත බවට පත් වෙයි කියල.ඒත් එහෙම වුණා.මං අර කලින් කිව්වෙ නවකතාව විසින් මාව ඇදගෙන යනව කියල සමහර වෙලාවට, අන්න ඒ වගේ වෙලාවට තමයි ඕක වෙන්නෙ.අපි හිතපු නැති පැති වලට නවකතාව යනකොට අපි හිතපු නැති සුළු චරිත විශාල වෙන්න ගන්නවා.ඒක ඕන්නං මෙහෙම කියන්නත් පුලුවන්.මේ සුළු චරිත විශාල වෙන්න ගන්නකොට තමයි කතාව අපි නොහිතපු පැති වලට ගමන් කරන්න පටන් ගන්නෙ කියලත්.ඒ නිසා මේ දෙක එකිනෙකට සම්බන්ධයි. කෞශල්‍ය : ඔව්, ඒක හරිම සිත්ගන්නා සුළු දෙයක්. මට දැන් ටිකක් කියන්න පුලුවන් ද නවකතාවක අවසානයට ඔබ මුහුණ දෙන්නෙ කොහොමද කියන එක? කත්‍යානා: අවසානය කියන එක නං ඇත්තටම මගේ පාලනයෙන් තොරව සිද්ද වෙන දෙයක්. මට කවදාවත් මෙතනින් ඉවර කරනවා කියල හිතා ගෙන ලියන්න බැහැ. මම ලියාගෙන යද්දි තමයි අවසානය කියන එක ඒ තුළින්ම මතුවෙන්නෙ.ඒ විදිහට අවසානයක් පිළිබඳ අදහස ආවම මං ඒකට ඇබ්බැහි වෙනවා.එතනින් එහාට මට එක වචනයක් වත් ලියන්න බැහැ.ඒ වගේම ලියාගෙන යද්දි කතාව අවසන් කරන්න හොඳයි කියල තාර්කිකව පේන තැන් ආවත් මම අර ඇබ්බැහි වුණු අවසානය එනකං මට ලිවීම නවත්තන්නත් බැහැ.නවකතාව ප්‍රකාශයට පත් වුණා ට පස්සෙ සමහර පාඨකයො විචාරකයො කියන අවස්ථා තියනවා මේක නවත්තන්න තිබුණේ වෙනත් තැනකින් කියල.ඒ වෙලාවට මං ඒ ගැන හිතනවා.සමහර විට ඔවුන් ඒ කියන අවසානය පොතට වඩාත් හොඳ වෙන්නත් පුලුවන්.නමුත් මං දන්නවා මට ඒක කළ හැකිව තිබූ දෙයක් නෙමෙයි කියල. මං නවකතාව අවසන් කරල තියෙන්නෙ ලිවීමේ ක්‍රියාවලිය තුළ ඒක අවසන් කල යුතුයි කියල මගෙ ඇඟටම දැනුණ තැනින්. කෞශල්‍ය:ඒක දැනෙන්න ගන්නෙ නවකතාවෙ අවසානයට කිට්ටු වෙද්දි ද? කත්‍යානා:මෙහෙමයි, ලියන්න පටන් ගනිද්දිත් අවසානයක් ගැන අදහසක් තියනවා.නමුත් ඒක හරියමට හැඩගැහෙන්නෙ ලිවීමත් එක්ක මම නවකතාව තුළ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙ.ටිකක් උපමා රූපිකව කිව්වොත් හරියට,මම සුළියකට අහුවෙලා වගේ ඉන්නකොට ඒක විසින් ම යම් වෙලාවක මාව ඒකෙන් පිටතට දාන වෙලාව තීරණය කරනවා වගේ දෙයක්.ඇත්තට ම මේක සිද්ද වෙන්නෙ අවසානයට කිට්ටු වෙද්දි තමයි. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවරවුනාම කොහොමද දැනෙන්නෙ? කත්‍යානා: මං ඒකට මෙහෙම උත්තරයක් දෙන්නං.මම කවදාවත් ඔය ඉස්කෝලෙ පංති කාමර අධ්‍යාපනයට ආස කෙනෙක් නෙමේ.ඉතින් විභාගයක් තියන කොට ඒක මට හරි පීඩනයක්.මං බලං ඉන්නෙ ඒක ඉවර වෙනකන්.නවකතාවක් ලියන එක මං එන්ජෝයි කරන දෙයක්. ලියන්න මං ආසයි.නමුත් ඒක ඉවර වුනාම මට දැනෙනවා විශාල සැනසීමක්.මගෙ හිතේ තිබුණු මහා බරක් පැත්තකින් තිබ්බ වගේ දෙයක්.මං අර කලින් කිව්වෙ ලියමින් ඉන්නකොට මං ඉන්නෙ සුළියකට අහු වෙලා වගේ කියල. ඒකෙන් එලියට ආවම දැනෙන සැහැල්ලුව වගේ දෙයක් තමයි මට දැනෙන්නෙ. කෞශල්‍ය:එතකොට ලියමින් ඉන්න කාලෙදි ඔබේ හැසිරීම මොන වගේ ද? කත්‍යානා: ලියන කාලෙ ඇතුළත මම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය පරිහරණයෙන් සම්පූර්ණයෙන්ම වගේ ඈත් වෙනවා.මට ඒකත් එක්ක ගැටෙන්නම බැහැ. මං අනිත් නවකතා කියවීම සම්පූර්ණයෙන්ම වගේ නවත්තනවා.ප්‍රබන්ධ නොවන දේවල් කියවන්න පුලුවන්,සමහර වෙලාවට කතාවට අදාළ වන කිසියම් තොරතුරු සොයා ගැනීම වගේ දේවල් වලදි එහෙම දේවල් කියවන්න වෙනවා.මගෙ කතාව විතරයි මගෙ ඔළුවෙ තියෙන්නෙ. අඩුම තරමෙ මං ඒ කාලෙදි ෆිල්ම් එකක්වත් බලන්නෙ නැහැ. ෆිල්ම් එකක කතාවක්වත් මගෙ ඔළුවට යන්න බැහැ.මං ඉන්නෙ මගේ චිත්‍රපටිය බලමින්.මේකත් එක්ක මගේ ආහාර රටාවල් වෙනස් වෙනවා මගේ නින්ද වෙනස් වෙනවා.සමාජ සම්බන්ධතා අවම වෙනවා.මං මගේ ලෝකයක් අස්සෙ තමයි ඒ දවස් වලට ඉන්නෙ. කෞශල්‍ය: ඔබ ලියන විදිහ මොන වගේද සංවිධානය වෙලා තියෙන්නෙ? කත්‍යානා: මට ලිවීමට සුවිශේෂ වෙලාවක් කාල සටහනක් නැහැ. මේ දවස් වල නං මං වැඩි පුරම ලියන්නෙ ඇඳේ වාඩි වෙලා.සමහර වෙලාවට මේසෙ,තවත් වෙලාවල් තියනවා බිම වාඩිවෙලත් ලියන.පරිගණකයෙන් තමයි ලියන්නෙ.මට ලිවීමේ ආවේගය එන්නෙ මොන වෙලාවෙද ඒ වෙලාවට මං ලියනවා.මට ඇඟට අමාරුවක් නැත්තං, ඔළුවට වද දෙන වෙන ප්‍රශ්නයක් නැත්තං මං ලියනවා. ඒක උදේ ද දවල් ද රෑ ද කියන එක මට අදාළ ම නැහැ.ලිවීමේ වෙලාව තීරණය වෙන්නෙ ඒ එනර්ජි එකත් එක්ක. එතකොට සමහර වෙලාවට පැය දෙක තුනක් එක දිගට ලියන්න පුලුවන්. එක දවසක් මට මතකයි මං ලියන්න පටන් ගත්තෙ රෑ එකොලහට විතර මං ලිවීම නවත්තන කොට එළිය වැටීගෙන එනවා කුරුල්ලො කෑ ගහන්න පටන් අරන්. සමහර වෙලාවට එක දිගට ලියන්නෙ පැය භාගයක් පැයක් වගේ වෙන්නත් පුලුවන්. හැබැයි නවකතාවක් ලියන කාලෙට වෙන වැඩක් කලත් ඔෆිස් ගියත් ඒ කතාව ඇතුලෙ තමයි ඉන්නෙ. මට සාමාන්‍යයෙන් එහෙම ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන්න පුලුවන්.මම කරන්නෙ ඒ ෆැන්ටසි ලෝකෙ ඇතුලට මගෙ අනිත් වැඩත් අරන් යන එක.එතකොට ඒවත් කරන ගමන් මට මගේ කතාවෙ පරිකල්පනීය ලෝකය තුළ ත් ඉන්න පුලුවන්. කෞශල්‍ය: මං අවසාන වශයෙන් අහන්න කැමතියි ලියන විට ඔබ විඳින සතුට ගැන? කත්‍යානා:සංවේදනා, හැඟීම්, සංකල්ප රූප හැටියට මගෙ ඔළුව ඇතුලෙ තියන දේවල් වචන බවට හැරෙන කොට දැනෙන සතුට අමුතු එකක්.මනසින් විඳිමින් හිටියට හරියටම භාෂාවට ගේන්න අසමත් වෙලා තිබුන දෙයක් ලිවීම තුළ වචනයට නැගුණහම මං හිතින් විඳිමින් හිටියෙ මේකද කියල සමහර වෙලාවට විස්මයක් දැනෙනවා. ඒ නිසා ඒක විස්මිත සතුටක්. කත්‍යානා අමරසිංහ නවකතා ලියන අතරේ ඒ විස්මිත සතුට විඳින හැටි ඇයගේ නවකතා කියවන අතරතුර දැන් අපට පරිකල්පනය කළ හැකිය. එසේම ඒ සතුට විඳීම වෙනුවෙන් ඇය දරන වෙහෙස ද එවිට අපේ මතකයට නැඟෙනු ඇත. නවකතාවක් ලියන විට පවතින ඇය යනු නවකතාවක් ලියා අවසන් කළ පසු අපට හමු වන ඇය නොවන බව ද මේ කතාබහ අපට ඉඟිකරයි. මීළඟ සතියේ තම රහස් ජීවිතය අපට හෙළිදරව් කරන නවකතාකරුවා වන්නේ මංජුල වෙඩිවර්ධන යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය නෝර්වීජියානු ලේඛක සහ නාට්‍ය රචක යෝන් ෆොස්සේට | නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියෙකු වන යෝන් ෆොස්සේ නම් කර තිබේ. ස්වීඩන් ඇකඩමිය බ්‍රහස්පතින්දා කියා සිටියේ, එය ඔහුගේ "කිව නොහැකි දේ වෙනුවෙන් හඬක් ලබාදෙන නව්‍යකරණය වූ නාට්‍ය සහ ගද්‍ය රචනා වෙනුවෙන්" පිදෙන බව ය. ත්‍යාගයය අමතරව, ෆොස්සේ වෙත ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11 (පවුම් 822,000) ද හිමි වනු ඇත. ජයග්‍රහණයෙන් තමා "උද්දාමයට පත් වූ අතර තරමක් බියට පත් වූ" බව ද සඳහන් කරමින් ඔහු පැවසුවේ, "වෙනත් අරමුණු අරඹයා කටයුතු කිරීමෙන් තොරව සාහිත්‍ය පළමු කොට සැලකීම හේතුවෙන්" ඔහුගේ කාර්යය මෙලෙස ඇගයීමට පාත්‍ර වූ බව ය. එක් කෘතියක් සඳහා පමණක් නොව සමස්තයක් ලෙස සාහිත්‍ය වෙනුවෙන් කරන ලද කාර්යභාරය වෙනුවෙන් පිරිනමන මෙම ත්‍යාගය මීට පෙර දිනා ගත් පිරිස අතර ටෝනි මොරිසන්, ඩොරිස් ලෙසින්, ගේබ්‍රියෙල් ගාසියා මාකේස් සහ බොබ් ඩිලන් යන සාහිත්‍යවේදීහු සිටිති. 1959 වසරේදී උපත ලද ෆොස්සේගේ කෘති නාට්‍ය 40ක් හා නවකතා, රචනා, ළමා පොත් සහ පරිවර්තන දක්වා විහිද යයි. ස්වීඩන් ඇකඩමිය පැවසුවේ, ඔහු "ඔහුගේ නෝර්වීජියානු පසුබිමෙහි ගැබ් වූ ස්වභාවය කලාත්මක තාක්ෂණික ප්‍රයෝග සමග මුසු කරන" බව ත් ඔහුගේ කෘතිවල "මානව අත්දැක්වීම් වන කාංසාව සහ දෙගිඩියාව ආදිය වෙත වඩා ත් ගැඹුරු ස්පර්ශයක් ලබා දීම" වෙනුවෙන් ඔහු පැසසුමට ලක්වන බව ත් ය. ඔහුගේ කෘති ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති අතර ඔහු දැනටමත් ජාත්‍යන්තර සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ. 'ෆොස්සේ අවමවාදය' සංවිධායකයින් පැවසුවේ, ෆොස්සේ සෙසු නෝර්වීජියානු ලේඛකයෙකු වන ටයෙයි වෙසාස් මෙන් ම, සැමුවෙල් බෙකට්, තෝමස් බර්න්හාඩ්, ගෙඕග් තාකිල් සහ ෆ්‍රාන්ස් කෆ්කා වැනි පැරණි විශිෂ්ට ලේඛකයින් සමග සැසඳිය හැකි බව ය. "තම පූර්වගාමීන් මෙන් ෆොස්සේ ද ජීවිතය සහ ලෝකය පිළිබඳ අශුභවාදී දැක්ම බෙදා ගන්නා අතර ඔහුගේ විශේෂිත ඥානවාදී දැක්ම ලෝකය කෙරෙහි අර්ථ ශූන්‍ය ආකල්පයක් ඇති කරනු ඇතැයි කිව නොහැක." "ඇත්ත වශයෙන් ම, ඔහුගේ කාර්යය තුළ විශාල සමීප බවක් සහ හාස්‍යය අඩංගු වන අතර අභියෝගාත්මක මානව අත්දැකීම් පවා අව්‍යාජව ගෙන හැර දක්වනවා," යැයි නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කළේ ය. ඔවුන් සඳහන් කළේ, ඔහුගේ නවකතා තුළ "ෆොස්සේ අවමවාදය" නම් ශෛලිය අනුගමනය කළ දැඩි සරල බවක් දක්නට ඇත," යනුවෙනි. ඔවුහු මෙසේ ද පැවසූහ: "ෆොස්සේ අපට අපගේ ජීවිත තුළින් ම ක්ෂණිකව හඳුනාගත හැකි දෛනික ජීවිතයේ සිදුවීම් ඉදිරිපත් කරනවා." 1901 වසරේ සිට පිරිනැමෙන නොබෙල් ත්‍යාග, සාහිත්‍යය, විද්‍යාව, සාමය සහ මෑතක සිට ආර්ථික විද්‍යාවේ ජයග්‍රහණ ද ඇගයීමට ලක් කරයි. සාහිත්‍ය ත්‍යාගය පිරිනමනු ලබන්නේ, 1895 වසරේ ස්වීඩන් ව්‍යාපාරික සහ දානපති ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තට අනුව, "පරමාදර්ශී දිශාවක් ඔස්සේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යයක නියැළුණු පුද්ගලයාට" ය. ත්‍යාගය සඳහා නිර්දේශිත නාම ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කර නොතිබුණ ද සල්මාන් රුෂ්ඩි, කැන් ෂුඒ, මාග්‍රට් ඇට්වුඩ් සහ හරුකි මුරකාමි ඒ අතර සිටි බවට සැලකේ. පසුගිය වසරේ, එය ප්‍රංශ ලේඛිකාවක වන ඇනී එහ්නූ විසින් ජයග්‍රහණය කරන ලද අතර කමිටුව ප්‍රකාශ කළේ, "ස්ත්‍රී පුරුෂ සමාජභාවය, භාෂාව සහ පන්ති සම්බන්ධ විශාල විෂමතා සලකුණු වූ ජීවිතයක්" ස්පර්ශ කරන "නොවෙනස්වනසුලු" වසර 50ක කාර්ය භාරය වෙනුවෙන් එය ඇයට පිදෙන බව ය. |
'තෙරපි වලින් මට තේරුණා අවුරුදු 17 දී සම්බන්ධයකට මාව පොලඹව ගන්න හදපු බව' | බ්‍රිතාන්‍ය-ජපන් පොප් තාරකාවක් වන රීනා සවයමා, ඇගේ දෙවැනි සංගීත ඇල්බමය පිටුපස වූ දැඩි මානසික වේදනාවක් ඇතිකළ කතාව බෙදාගත්තා ය. සවයමා, බටහිර සංස්කෘතිය දෙස පිටස්තර ඇසකින් බැලීමට හැකිවීම හා සංගීත ක්ෂේත්‍රය තුළ ඇති ජාතිවාදය අත්විඳීම ගැන ද මේ වීඩියෝව හරහා කතාබහ කරයි. |
'කලාපීය සංහිඳියාව වෙනුවෙන්' හරිහරන්ට ගීතයක් හැදූ දර්ශන සහ වත්සලා | පොළොන්නරුවේ, පළුගස්දමන නමැති අතිශය දුෂ්කර ගම්මානයේ ඉපිද හැදීවැඩී, එහි ම අධ්‍යාපනය ලබා දුෂ්කර ගමනක් පැමිණි ඔහු මේ වන විට ඉන්දියාවේ රන් හඬ ලෙස සැලකෙන පද්ම ශ්‍රී හරිහරන්ට තනු නිර්මාණය කරයි. එපමණක් නොව හරිහරන් සමග හරි හරියට ගීත ගයයි. ඒ අන් කිසිවෙකු නොව, මීට දින කිහිපයකට පෙර රට ම දැන සිටි, මේ වන විට ජාත්‍යන්තරයේ ද බොහෝ දෙනෙකු දන්නා දර්ශන රුවන් දිසානායක නම් සංගීතවේදියා ය. "මම මගේ රටට ආදරෙයි. ඔහු ඔහුගේ රටට ආදරෙයි. අපි දෙන්න ම මේ කලාපයට ත් මේ මුළු ලෝකයට ම ත් ආදරෙයි. ඇත්තට ම ආදරය අපි ළඟ තියෙනවා නම් මිනිස්සු විදිහට කිසි ම ආකාරයේ බෙදීමක් හෝ වෙන්වීමක් අපට තියෙන්න විදිහක් නැහැ. ඉතින් මම මා තුළත් මගේ කලාව තුළත් හැම මොහොතක ම ආදරය ගොඩ නගන්නට වෙහෙස දරමි," මේ දර්ශන රුවන් දිසානායකගේ වදන් ය. මේ අදහස් දැක්වීමට මුල් වූ හේතුව වන්නේ, දර්ශන සහ හරිහරන් එක්ව ගැයූ 'සංජීවනී' හෙවත් 'කලාපීය සංහිඳියාවේ ගීතය' යි. දර්ශන රුවන් දිසානායක විසින් තනු සහ සංගීත නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී ගීතය හින්දි බසින් රචනා කරනු ලැබ ඇත්තේ, ශ්‍රී ලාංකික ගේය පද රචිකාවක වන වත්සලා සමරකෝන් විසිනි. දර්ශනගෙන් දෙමළ චිත්‍රපටයක් මෙම ගීතය පිළිබඳව දර්ශන රුවන් දිසානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූයේ, එය පටිගත කිරීම සහ එළිදැක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතරවාරයේ ය. "මේ ගීතය කරන්න අදහස ආවේ මම කරන දෙමළ චිත්‍රපටයට සමගාමීව යි. පූජියම් (බින්දුව) කියන දෙමළ චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. මේ ගීතය නිර්මාණය කළේ, ඒ චිත්‍රපටය වෙනුවෙන්. මුලින් ගීතය එළිදක්වන්න තීරණය කළා. ඒ අනුව තමයි, මේක සැප්තැම්බර් 28 වෙනි දා එළිදැක්වූවේ." සිංහල අධ්‍යක්ෂවරයෙකු විසින් නිර්මාණය කරනු ලබන දෙමළ චිත්‍රපටය සඳහා ගැයීමට නියමිත මෙම ගීතය රචනා කර ඇත්තේ හින්දි බසිනි. "මේ ගීතය හින්දි භාෂාවෙන් කරන්න හිතුවේ, ආසියානු කලාපයේ වැඩි දෙනෙක් කතා කරන භාෂාව හින්දි නිසා. මේ පණිවුඩය කලාපයේ වැඩි දෙනෙක් අතරට ගෙනියන්න අවශ්‍ය වුණ නිසා ඒ තීරණය ගත්තා. චිත්‍රපටය වෙනුවෙන් මේ ගීතය දෙමළ බසින් කරන්න සැලසුම් කරලා තියෙනවා," දර්ශන පැවසීය. කලාපීය සංහිඳියාවේ ගීතය විවිධ හේතු සාධක මත කොටස්වලට බෙදී සිටින ආසියානු කලාපයේ ජනතාව අතර සංහිඳියාවක් ඇති කිරීම මෙම ගීතය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූ බව දර්ශන රුවන් දිසානායක පැවසීය. "ආදරයට පුළුවන් සියලු බෙදීම්, ඒ කියන්නෙ ආගම් අනුව, දුප්පත් පොහොසත්කම් අනුව සහ වෙනත් හේතු අනුව ඇතිවෙලා තියෙන සියලු බෙදීම් නැති කරන්න ආදරයට පුළුවන්. ඒ අදහස තමයි මම වත්සලාට දුන්නේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල් සියල්ලේ ම ජනතාව අතීතයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මිනිස්සු විදිහටයි මම දකින්නේ. ඒ මිනිස්සු හුස්ම ගත්තේ එකට, දුක් වුණේ එකට, සතුටු වුණේ එකට, ජීවත් වුණේ එකට. ඒත් දැන් අපි රටවල් ඇතුළෙත් විවිධ හේතු නිසා බෙදිලා. මට අවශ්‍ය වුණේ බෙදුණු ජනතාව අතර ආපහු එකමුතුකම ඇති කරන්න. ඒ නිසයි මේ ගීතය කලාපීය සංහිඳියාවේ ගීතය කියලා නම් කළේ." හරිහරන්ගේ දායකත්වය මෙම ගීතයේ හින්දි බසින් ගැයෙන පද ගැයෙන්නේ පද්ම ශ්‍රී සම්මානලාභී හරහරන්ගේ හඬිනි. එපමණක් නොව එම ගීතය පටිගත කෙරෙන්නේ ද, මුම්බායිහි පිහිටි හරිහරන්ගේ ශබ්දාගාරයේ ය. "මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න ලැබුණු එක ලොකු ගෞරවයක් විදිහටයි මම සලකන්නේ. මේකේ කොටස්කාරයෙක් වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේ ම දර්ශනගේ ඉමිහිරි සංගීතය, තනුව විතරක් නෙවෙයි, වත්සලාගේ පද මාලාවත් ආකර්ෂණීයයි. අපි දෙන්න හදන පණිවුඩය මේ සංගීතය සහ පද මාලාව හරහා සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. මේක අනිවාර්යයෙන් ම හදවත් මිලියන ගණනක් ස්පර්ශ කරන ගීතයක් වෙන බව මට විශ්වාසයි," ගීතය එළිදැක්වූ අවස්ථාවේ හරිහරන් මෙම ගීතය ගැන පළ කළේ එවන් අදහසකි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත වත්සලා සමරකෝන්ගේ හින්දි ගේය පද මෙම සුවිශේෂී ගීතයේ හින්දි බසින් ගේය පද රචනා කරනු ලැබූ වත්සලා සමරකෝන්, කැලණිය විශ්වවිද්‍යාලයයේ හින්දි භාෂාව පිළිබඳ උපාධිධාරිණියකි. ඇය, රූපවාහිනී නිවේදිකාවක ලෙස ද කටයුතු කරන්නී ය. "රූපවාහිනී වැඩසටහනකට ආව වෙලාවක තමයි මට දර්ශන මුණගැහුණේ. මම මුලින් සිංහල සින්දුවලට හින්දි වචන දාලා ගීත ලිව්වා. ඒ ගැන දැන ගත්ත දර්ශන මේ වැඩේ මට භාර දුන්නා. මම ගොඩක් ආසාවෙන් ඒක භාර අරන් උපරිමයෙන් කැප වෙලා ගීතය නිර්මාණය කළා," වත්සලා සමරකෝන් පැවසීය. ගීතයේ ආරම්භක වචනය ලෙස 'සංජීවනී' යන්න භාවිත කර ඇත්තේ, සංකේතාත්මක අර්ථයකිනි. "සංජීවනී කියන්නේ රාමායණයට අනුව මරණාසන්නව සිටින අයට ආපහු පණ දෙන්න පුළුවන් බෙහෙත් පැළෑටියක්. බෙදී වෙන්වෙලා මරණාසන්නව ඉන්න ජාතීන්ට යළිත් පණ දෙන්න පුළුවන් කියන අදහස දෙන්නයි මම සංජීවනී කියන සංකේතය පාවිච්චි කළේ." ලක්ෂ්මන මරණාසන්න තුවාල ලබා සිටිය දී ඔහුට යළි පණදීම සඳහා හනුමාන් ලවා මේරු පර්වතයේ සිට සංජීවනී පැළෑටිය ගෙන්වාගත් බව රාමායණයේ සඳහන් වේ. "මේ වචනය දැකපු ගමන් හරිහරන් ගොඩක් සතුටු වුණා. එයා මේ පද මාලාව ගැන ගොඩක් අගය කළා. මගේ හතරවන ගීතය හරිහරන් වෙනුවෙන් ලියන්න ලැබුණ එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඇත්තට ම ඒක මගේ හීනයක් හැබෑ වීමක්," වත්සලා වැඩිදුරටත් පැවසීය. |
ප්‍රේක්ෂක ආදරය දිනු හැරී පොටර් හි 'මහාචාර්ය ඩම්බල්ඩෝර්' අභාවප්‍රාප්ත වෙයි | ශ්‍රීමත් මයිකල් ගැම්බොන් බ්‍රිතාන්‍යයේ සිටි අද්විතීය රංගන ශිල්පීන්ගෙන් අයෙකු විය. ඔහු රූපවාහිනිය සහ සිනමාව ඔස්සේ සාර්ථකත්වයේ හිනි පෙත්තට ම ගමන් කළ ද, ඔහුගේ ප්‍රේමිය වූයේ වේදිකාව යි. ෂේක්ස්පියර්ගේ නාට්‍ය රැසක් සඳහා විශිෂ්ට රංගන දායකත්වයක් සැපයූ ඔහු 'ඉන්ස්පෙක්ටර් මේග්'රේ ලෙස රූපවාහිනියේ පෙනී සිටි අතර, වරක් ජේම්ස් බොන්ඩ්ගේ චරිතය සඳහා තිර පරීක්ෂණයකට ද සහභාගී විය. ඔහු හැරී පොටර් චිත්‍රපටවල ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවීමත් සමග ඔහු වටා ජාත්‍යන්තර රසිකයින් එක්රොක්වීම ආරම්භ විය. මයිකල් ජෝන් ගැම්බොන් 1940 ඔක්තෝම්බර් 19 වන දා ඩබ්ලින්හි ඉන්ජිනේරුවෙකුගේ සහ මැහුම් ශිල්පිනියකගේ පුතෙකු ලෙස උපත ලැබීය. දෙවන ලෝක යුද සමයේ ජර්මනිය එක්සත් රාජධානියට බෝම්බ හෙලීමෙන් පසු, ඔහුට වයස අවුරුදු පහේ දී ඔහුගේ පියා අගනුවර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා ලන්ඩනයට සංක්‍රමණය විය. ගැම්බොන්, ඔහුගේ පවුල නැවතත් කෙන්ට් වෙත යාමට පෙර හයිගේට්හි සාන්ත ඇලෝෂියස් විද්‍යාලයයේ ඉගෙනුම ලැබුවේ ය. ඔහුගේ පියා ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවට පත්කළ අතර, එනිසා, පසුකලෙක ඔහු ලද නයිට් පදවිය ගරු තනතුරක් නොව සියලු වරප්‍රසාද හිමි පදවියක්බවට පත්විය. පාසල් විය ඔහුගේ ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් විය. ඒ සම්බන්ධයෙන් "මට කිසිම සුන්දර මතකයක් නෑ,"යි ඔහු පැවසූ අතර, වයස අවුරුදු 15 දී පාසල් ගමනට තිත තබා විකර්ස් සමාගමේ ආධුනික මෙවලම් තනන්නෙකු ලෙස රැකියාවක් ලබාගත්තේ ය. ඔහු තුළ වූ යම් දෙයක් ඔහු සෑම විට ම රංගනය වෙත ආකර්ෂණය කළ අතර, ඔහු උද්යෝගිමත් සිනමා රසිකයෙකු බවට පත්විය. නමුත් 20 වන වියට එළඹෙන තුරු ම ඔහුට වේදිකාවට සම්බන්ධ වෘත්තියක සක්‍රීයව නියැළීමට නොහැකි විය. 'ටිකක් මහතයි' ඔහු විවිධ නාට්‍ය සමාගම්වලට ලිපි ලිවීම ආරම්භ කළේ, රංගන ශිල්පියෙකු ලෙස ඔහු තුළ ඇතැ යි මවා ගෙන සිටින දස්කම් විස්තර කරන අතිශයෝක්තියෙන් යුක්ත ජීව දත්ත පත්‍රිකා ද ඒ සමග යවමිනි. අවසානයේ, ඔහු ලන්ඩනයේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟ පෑ බවට කළ ප්‍රකාශයේ සත්‍යතාව පරීක්ෂා නොකළ, ඔහුගේ උපන් ගම වන ඩබ්ලින්හි ගේට් රඟහල විසින් ඔහුට කනිෂ්ඨ රැකියාවක් පිරිනමන ලදී. ඔතෙලෝ නිෂ්පාදනයක් සඳහා යුරෝපයේ සංචාරය කිරීමෙන් පසු, ගැම්බොන්, ලෝරන්ස් ඔලිවියේ යටතේ ජාතික රඟහලට සම්බන්ධ විය. එහිදී ඔහුට ඩෙරෙක් ජැකොබි සහ ෆ්‍රෑන්ක් ෆින්ලේ ඇතුළු ජනප්‍රිය තරු සමග වේදිකාව බෙදා ගනිමින් සහය චරිත ගණනාවකට පණ පෙවීමට අවස්ථාව ලැබිණි. තරුණ ගැම්බොන් ඔහුගේ අත්දැකීම් පුළුල් කර ගැනීමට අවශ්‍යයැ යි යෝජනා කළේ ඔලිවියේ ය. එබැවින්, 1967 වසරේ දී ඔහු බර්මින්හැම් නාට්‍ය සමාගමට සම්බන්ධ වූ අතර එහිදී ඔහුට ඔතෙලෝ, මැක්බත් සහ කොරියෝලනස් නිෂ්පාදනවල ප්‍රධාන චරිත ඇතුළු ප්‍රමුඛ චරිත තෝරා ගැනීමට ඉඩ සැලසිණි. දහසයවන ශතවර්ෂයේ ස්කොට්ලන්තය පසුබිම්කර ගත් බීබීසී රූපවාහිනී කතා මාලාවක් වන The Borderersහි ඔහුගේ අද්විතීය රංගනය දුටු කබී බ්‍රෝකලී, ජේම්ස් බොන්ඩ් කතා මාලාවට ෂෝන් කොනරි සමුදීමට ගත් තීරණයත් සමග එහි නව චිත්‍රපටය වූ On her Majesty's Secret Service සඳහා තිර පරීක්ෂණයකට සහභාගී වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. ගැම්බොන්ගේ බොන්ඩ් චරිතය කෙසේ විය හැකි ද යන්න මෙනෙහි කිරීම හාස්‍යජනක ය. එය චරිතය ජේම්ස් බොන්ඩ්ට වඩා ජෝර්ජ් ස්මයිලි ලෙස පිළිඹිබු විය හැකිව තිබුණි. එය භාර ගැනීමට ඔහු තුළ එතරම් උද්යෝගයක් ද නොවී ය. "මට ලස්සන කොණ්ඩයක් නැහැ. මම ටිකක් මහතයි," ඔහු බ්‍රෝකලීට පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස එම චරිතය ජෝර්ජ් ලෑසන්බි වෙත පිරිනැමිණි. වේදිකාව වෙනුවෙන් ඔහු කළ කැපකිරීම්වල ඵල ලැබුණේ, 1974 වසරේ දී ඇලන් ඒකබෝන්ගේ කොටස් තුනකින් සමන්විත The Norman Conquests හි ටොම්ගේ චරිතයට පණ පෙවීමට ලැබීමෙනි. වෙස්ට් එන්ඩ්හි වේදිකාගත වූ එම නිර්මාණය වෙත ගලා ආ ප්‍රශංසනීය ප්‍රතිචාර ඔහුට විශිෂ්ට කුසලතා ඇති විකට නළුවෙකු ලෙස කීර්තියක් අත්කර ගැනීමට පිටිවහලක් විය. ෆැන්ටසි ලෝකයක් තව ද 1978 වසරේ දී සවුත් බෑන්ක්හි දී වේදිකාගත වුණු පීටර් හෝල්ගේ නිෂ්පාදනයක් වුණු හැරල්ඩ් පින්ටර්ගේ Betrayal නාට්‍යයේ ජෙරීගේ චරිතය සඳහා ඔහු තව තවත් ප්‍රශංසාවට ලක් විය. වසර දෙකකට පසුව, 17 වන සියවසේ ඉතාලි ජාතික විද්‍යාඥයෙකුගේ ජීවිතය අලලා බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් ගෙනහැර දක්වන ලද 'ද ලයිෆ් ඔෆ් ගැලීලියෝ' වේදිකා නාට්‍යයේ ඔහුගේ විශිෂ්ට ඉදිරිපත් කිරීමක් දක්නට ලැබිණි. එක් විචාරකයෙකු ඔහුගේ ඉදිරිපත් කිරීම විස්තර කළේ, "හැඟීම් විරහිත, භයානක සහ අතිමහත් බලවත්" ඉදිරිපත් කිරීමක් ලෙස ය. එමෙන් ම, ඔහු රංගනය අවසන් කර නේපථ්‍යාගාරය වෙත යන තුරු ම සෙසු නළු නිළියන් අත්පොළසන් හඬ නැගූ බවට ද වාර්තා විය. 1986 වසරේ දී විකාශය කෙරුණු ඩෙනිස් පෝටර්ගේ ටෙලි නාට්‍යයක් වන The Singing Detectiveහි බීබීසී නිෂ්පාදනය ඔහු පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙන ගියේ ය. සංකීර්ණ සහ අඳුරු වෘතාන්තයක් වන එය දැන් බ්‍රිටිෂ් ටීවී ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. චර්ම හා සන්ධි රෝගයක් හේතුවෙන් ඔත්පළව සිටි, ඔහු රහස් පරීක්ෂකයෙකුයැ යි ෆැන්ටසියක් මවා ගෙන සිටි අභිරහස් රචකයෙකුගේ භූමිකාව වෙනුවෙන් ගැම්බොන් බැෆ්ටා සම්මානයක් දිනා ගත්තේ ය. ඔහු 1989 වසරේ දී පීටර් ග්‍රීන්වේගේ අඳුරු, අපරාධ ප්‍රහසන චිත්‍රපටයක් වන The Cook, the Thief His Wife & Her Lover හි ප්‍රචණ්ඩ මැරයෙකු වන ඇල්බට් ස්පයිකා ලෙස රඟපෑ අතර, සහ 1990 දශකය පුරාවට ම තවත් ප්‍රධාන චිත්‍රපට භූමිකා ගණනාවකට සම්බන්ධ විය. ඒවා අතර ඔහු රොබින් විලියම්ස් සමග රංගනයෙන් දායක වුණු Toys මෙන් ම, Plunkett & Macleane, Sleepy Hollow සහ Gosford Park විය. ඔහු ජෝර්ජස් සිමෙනොන්ගේ කෘති ඇසුරෙන් අයිටීවී නිෂ්පාදනය කළ කතා මාලා දෙකක් දක්වා දිව ගිය ටෙලි නිර්මාණයක 'ඉන්ස්පෙක්ටර් මේග්‍රේ' ලෙස ද රඟ දැක්වීය. පෙන්ගුයින්ලා දෙදෙනෙක් නමුත් රිචඩ් හැරිස්ගේ අභාවයෙන් පසු ඔහුට උරුම වූ චරිතයක් වූ හැරී පොටර් චිත්‍රපට හයක මහාචාර්ය ඩම්බල්ඩෝර් ලෙස පෙනී සිටීමේ දී පවා, ඔහු සිනමාව ඔහුගේ වේදිකා රංගනය තරම් බැරෑරුම් ලෙස සැලකුවේ නැත. "මට මම රඟපාපු එක චිත්‍රපටයක්වත් මතක නැහැ," ඔහු වරෙක පැවසීය. "ඔබ එකකින් තවත් එකකට යනවා. ඒ හැම එක ම එකට එකතු වෙලා මහ ගොඩක් [මතක] හැදෙනවා. මට හැරී පොටර් මතක මම ඇඳපු ඇඳුම නිසා. සිල්ක් ඇඳුම් තට්ටු දෙකකුයි සැපපහසු සෙරෙප්පු යි. හරි ම සුවපහසුයි." ඔහු වේදිකා රංගන හරහා තෘප්තිමත් වීම නැවතුණේ නැත. 2001 වසරේ හැරල්ඩ් පින්ටර්ගේ The Caretaker නාට්‍යයේ ඩේවිස් ලෙස රඟපෑ අතර 2005 වසරේ අවසානයේ ජාතික රඟහලේ දී Henry IV නාට්‍යයේ 1 සහ 2 යන කොටස්වල ෆෝල්ස්ටාෆ් ලෙස රඟ දැක්වීමට ඔහු තුළ වූ අභිලාෂය අවසානයේ දී ඉටුකර ගත්තේ ය. 2010 වසරේ දී ඔහු ඔහුගේ රංගන දිවිය ආරම්භ කළ ඩබ්ලින්හි ගේට් රඟහල වෙත ආපසු පැමිණ, බෙකට් ක්‍රැප්ගේ Last Tapeහි රඟපෑවේ ය. එය අවසානයේ ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් (ලන්ඩනයේ ඉහළ පෙළේ ප්‍රදේශයක්) වෙත ගිය නාට්‍යයක් විය. ජේන් ඔස්ටින්ගේ Emmaහි බීබීසී අනුවර්තනයක මිස්ටර් වුඩ්හවුස්ගේ චරිතය ඇතුළු ටෙලි නාට්‍ය ද ඒ අතර විය. ඒ සඳහා ඔහු එමී සම්මානයෙන් පිදුම් ලැබී ය. ඔහුගේ කටහඬට දැඩි ඉල්ලුමක් විය. ඔහු, පෙන්ගුයින්ලා දෙදෙනෙකු ඇතුළත් වූ ජනප්‍රිය ගිනස් බීර වෙළෙඳ දැන්වීමක කථකයා වූ අතර වීඩියෝ ක්‍රීඩා ගණනාවකට ඔහුගේ සුවිශේෂී කටහඬ ලබා දුන්නේ ය. එමෙන් ම, 2017 වසරේ නිකුත් වූ Paddington නිෂ්පාදනයේ පැඩිංටන්ගේ මාමා, පැස්ටුසෝ සඳහා හඬ කැවූයේ ද ඔහු ය. 'වේදිකාවෙන් ඇද වැටුණා' ඔහුට දෙබස් මතක තබා ගැනීම වඩ වඩාත් දුෂ්කර වූ බැවින්, 2015 වසරේ දී ඔහු වේදිකාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේ ය. වේදිකාවේ පසෙක සිට දෙබස් මතක්කර දීමේ ක්‍රමවේදය සඳහා ඔහු ඔහුට ම වෙන් වූ ශ්‍රවණ උපකරණයක් භාවිත කර අත්හදා බැලීමක් කළ ද එය රංගනය වෙත අවධානය යොමු කිරීමට බාධා පමුණුවන බව ඔහු අවබෝධ කර ගත්තේ ය. කෙසේ වෙතත්, ඔහුගේ රූපවාහිනී සහ චිත්‍රපට කටයුතු අඛණ්ඩව සිදු වූ අතර, 2016 වසරේ නිකුත් වුණු Dad's Armyහි චිත්‍රපට අනුවාදයක ප්‍රයිවෙට් ගොඩ්ෆ්‍රේගේ චරිතය ඇතුළුව විනෝදජනක ඔත්තු බලන්නෙකු වටා ගෙතුණු ප්‍රහසන චිත්‍රපටයක් වන Johnny English Strikes Agaiහි ඒජන්ට් ෆයිව් ලෙස, The Hollow Crown නම් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක රූපවාහිනී අනුවාදයක මෝටිමර් ලෙස, සහ 2019 වසරේ තිරගත වූ Cordelia චිත්‍රපටයේ මෝසස් ලෙස ඔහු ඔහුගේ අවසන් භූමිකාව රඟ දැක්වීය. රංගනය හැරුණුකොට, ඔහු පෞරාණික වටිනාකමින් යුතු ගිනිඅවි හා ඔරලෝසු එකතු කර ප්‍රතිසංස්කරණය කළේ ය. පැරණි මෝටර් රථ ලෝලියෙකු ද වූ ඔහු 2002 වසරේ දී Top Gear වැඩසටහනකට ද සහභාගී විය. එම වැඩසටහනේ දී ඔහු "reasonably priced car" එකක් පැදවූ ප්‍රකට අවස්ථාවේ දී ධාවන පථයේ අවසන් වංගුව රෝද දෙකකින් පමණක් පසුකර යන අයුරු දිස්විය. නිෂ්පාදකයින් ඉන් කෙතරම් උද්දාමයට පත්වූවා ද යත්, ඔවුහු එම වංගුව ඔහුගේ නමින් නම් කිරීමට පියවර ගත්හ. ඔහු 1998 වසරේ දී නයිට් පදවියක් ලද ද, ඇතැම් රංගන ශිල්පීන් මෙන් නොව ඔහු කිසි විටෙකත් එම පදවි නාමය භාවිතා නොකළේ ය. ප්‍රසිද්ධිය ඔහුට එතරම් වැදගත් නොවූ අතර ඔහු කිසි විටෙකත් මහජන ආකර්ෂණය පසුපස හඹා යාමට උත්සහ නොකළ අයෙකු විය. ඔහු හැකි සෑම විට ම සම්මුඛ සාකච්ඡා මඟහැරියේ ය. මාධ්‍යවේදීන් ඔහු අල්ලාගෙන ප්‍රශ්න කළ අවස්ථාවන්හි දී ඔහුගේ ජීවිතය පිළිබඳ විශ්වාස කළ නොහැකි ආකාරයේ කතා පැවසීමට ඔහු හුරුව සිටියේ ය. ඔහුගේ නව පෙම්වතිය බොට්ස්වානාහි ප්‍රබල පුද්ගලයෙකුගේ අඩි හයක් උස දියණියක බව වරෙක ටයිම්ස් පුවත්පතට පැවසු ඔහු, රාජකීය බැලේ කණ්ඩායමේ ඔහුගේ වෘත්තිය ගමන අවසන් වූයේ ඔහු වේදිකාවෙන් ඇද වැටීම නිසා බව ඉතා අවාසනාවන්ත මාධ්‍යවේදියෙකුට පැවසුවේ ය. බොහෝ විචාරකයින් මයිකල් ගැම්බොන් විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙස හැඳින්වූ නමුත් එය ඔහු විසින් බැහැර කරන ලද ගුණනාමයකි. "මම රඟපාන හැම චරිතයක් ම මගේ පෞරුෂයේ එක් ආකාරයක් පමණයි," ඔහු වරෙක කීවේ ය. "මෙතන සැබෑ චරිතාංග නළුවෙක් නෑ, ඉන්නේ මම විතරයි." |
'මම ලියන හැටි': සුරත් ද මැල් | සුරත් ද මැල් සිය පළමු නවකතාවෙන් ම පාඨක ආදරය දිනා ගැනීමට සමත් වූ ලේඛකයෙකි.‘තී හා තා’ කෘතියෙන් ඇරඹී ‘සී ප්ලස්’ හා ‘ඩුඕ’ හරහා දිගහැරෙන සුරත් ගේ නවකතාකරණය අද වන විට ‘ලමුතු අමයා’ දක්වා පැමිණ ඇත. ඔහුගේ සාහිත්‍යයේ එක් සුවිශේෂීත්වයක් වන්නේ එය සමකාලීන ලාංකීය තාරුණ්‍යයේ සහ ගැටවරවියේ සංකීර්ණතා නැවුම් රචනා ශෛලීන් ඔස්සේ නිරූපණය කිරීමට සමත් වීම ය. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක් ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.ලියන තැන,ලියන විදිහ,ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන් ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මං කැමතියි මේ කතාබහ පටන් ගන්න ඔබේ නවකතා ආරම්භ වන පළවෙනි වාක්‍ය වලින්.ඒවා ඉතා ම සිත්ගන්නාසුළු ඒවා.අපි මේ කියවන පළමු වාක්‍ය ද ඔබ මේ නවකතා ලියන්න පටන් ගන්න කොට ලිව්වෙ? සුරත් :අපෝ නැහැ.ඒ ලියපු පළවෙනි වාක්‍ය මොකද්ද කියල දැන් මට මතකවත් නැහැ. මං අසාමාන්‍ය විදිහට සංස්කරණය කරන කෙනෙක්.උදාහරණයක් හැටියට ‘තී හා තා’ මුල් පිටපත ලියල ඉවර වෙන කොට ඒක පිටු දාහකටත් වැඩියි.හැබැයි මුද්‍රණය වුන පොතේ තියෙන්නේ පිටු හාරසිය ගානයි.මං සංස්කරණයේදි මුලින් ම කළේ පිටු අටසිය ගානක් කපල අයින් කරපු එක.ඊට පස්සෙ තව පිටු දෙසීයක් විතර අලුතෙන් ලිව්වා.මගෙ දෙවෙනි පොත ‘සී ප්ලස්’ මම දහ සැරයක් විතර නැවත නැවත ලිව්වා.මුල් පිටපතේ තියෙන්නෙ පිටු දෙසීයක් විතර,මුද්‍රණයට යනකොට පිටු හාරසිය ගාණක් තිබුණා. තුන්වෙනි පොතේ මුලින් ලියල ඉවර වෙන කොට තිබුනෙ එක කතාවයි.නමුත් මුද්‍රණය කරන වෙලාව වෙනකොට ඒක කතා දෙකක් වෙලා තිබුණා. ඉතින් පැහැදිලියි නේ,ඔබ කියවන පලමු වාක්‍ය මම මේ සංස්කරණ වලදි නැවත ලියපු එකක් මිස ඒ ඒ පොත් ලිවීම පටන් ගනිද්දි මම ලියපු එක නෙමෙයි. කෞශල්‍ය : ඔබ දැන් නවකතාවක් ලියන්න පටන්ගන්න යන්නෙ කියන එක කොහොම ද දැනෙන්නෙ? ඒක ඔබ ඉතා දැනුවත්ව කරන දෙයක් ද? සුරත් : දැන් ‘තී හා තා’ ගත්තොත් එහෙම මං මේ නවකතාවක් ලියන්න යන්නෙ කියන එක තිබුණේ නැහැ.මං ඒක පටන් ගන්නෙ මගෙ ප්‍රේම සම්බන්ධයක් බිඳවැටුනට පස්සෙ මට ඇතිවුන පශ්චාත්තාපයෙන් ගැලවෙන්න.ඒ පොතේ තියෙන්නෙ මගෙ කතාව.මේක පිටු දාහක් විතර ලියවෙන්නෙ ඒකයි.මේ ගැන දන්න මගෙ යාලුවෙක් මට කියපු දෙයක් තමයි ඒ සම්බන්ධයෙ බිඳ වැටීමෙන් මට ඇතිවුන ඩිප්‍රෙෂන් එකෙන් ගැලවෙන හීලිං ප්‍රොසෙස් එක තමයි මේ ලිවීම කියල.ඒක ඇත්ත. මට පිටු දාහක් නෙමේ විසිදාහක් වුනත් ඒක ලියන්න තිබුනා.නමුත් ඒ ලිවීම විසින් මාව ඒ මානසික ආතතියෙන් ගැලෙව්වට පස්සෙ මේක පොතක් හැටියට ප්‍රින්ට් කරන්න ඕනෙ කියල හිතන කොට මට තේරුණා මිනිස්සුන්ට පිස්සු නෑ පිටු දාහක් මේක කියවන්න කියල.කොටින්ම පිටු සීයක් විතර ඒකෙ තිබුනා මමයි මගෙ පෙම්වතියයි හුවමාරු කර ගත්ත ඇත්තම ලියුම්.ඉතින් සංස්කරණයෙදි තමයි මේ දේවල් අයින් වෙලා මේක නවකතාවක් වෙන්නෙ.හැබැයි ප්‍රධාන චරිත දෙකේ චරිත ස්වභාවයන් වෙනස් වුණේ නැහැ.මට ඒ නවකතාවෙ ඕනෙ වුනේ ඇත්ත ලියන්න. දෙවෙනි පොත ලියන්න ගනිද්දි මං දැනං හිටිය මං මේ නවකතාවක් ලියන්න යන්නෙ කියන එක. ආදරේට පස්සෙ ජීවිතේ තිබුණ අනිත් බරපතලම දේ මිත්‍රත්වයන්.ඉතින් දෙවෙනි එක හැටියට මට ඕනෙ වුනේ මිත්‍රත්වයන් ගැන නවකතාවක් ලියන්න. කෞශල්‍ය :ඔබ ලියන්න පටන් ගනිද්දි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද? සුරත්: ලියන්න යන නවකතාවෙ අදහස ගැන ගැඹුරු අවබෝධයක් තියනවා. නමුත් ලියන්න යන කතාව ගැන හරියටම දන්නෙ නැහැ.ලියාගෙන යද්දි තමයි ඒක හැදෙන්නෙ. ඒ කියන්නෙ කතාවෙ සිදුවීම් පෙළගැහෙන හැටි චරිත වර්ධනය වෙන හැටි මේවා තීරණය වෙන්නෙ ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ.මගෙ තුන්වෙනි පොත, ‘ඩුඕ’, ඒකෙ කතා දෙකක් තියනවා,ඒකෙ දෙවෙනි කතාව ලියද්දි මං කටුසටහන් ගහල පරිච්ඡේද වල සාරාංශ පවා ලියල තමයි පටන් ගත්තෙ. ඒත් පළවෙනි පරිච්ඡේදෙන් පස්සෙ මං සැලසුම් කරපු කතාව වෙනස් වුණා.කතාව වෙන ම දිශාවකට යන්න ගත්ත. මං හිතන්නෙ ඒක මං සැලසුම් කලාට වඩා හොඳ දිශාවක්.හැමවිටම මෙහෙම තමයි, අපි පටන් ගන්න කොට ලියන්න යන චරිත ගැන දන්නව වුණ ත් ඒ චරිත වලට නිදහසේ හැසිරෙන්න දුන්න ම ඒවා අපි අපේක්ෂා නොකළ අන්තයන්ට ගමන් කරනවා.මගෙ පළවෙනි හා දෙවෙනි නවකතා වල මට වැඩිපුරම ඕනෙ වුනේ චරිත වල මානසික ලෝකය හැසිරෙන විදිහ පෙන්නන්න මිසක් කතාවකට මුල් තැන දෙන්න නෙමේ.චරිත වල සිතුම් පැතුම් හැඟීම් එළියට එනකොට කතාව යන්නෙ ඒකට අනුව.මට නං කතාවක් නිශ්චිතව ගොඩනැගෙන්නෙ ලිවීමේ ක්‍රියාවලිය ඇතුළෙමයි.අපි පරිකල්පනය නොකළ දේවල් ලියන ක්‍රියාවලිය ඇතුළේ ලියවෙනවා. ලිව්වට පස්සෙ කියවල බලද්දි හිතෙනවා කොහොමද මං මේක ලිව්වෙ කියල.ලිවීමේ පරමානන්දය තියෙන්නෙත් එතන මං හිතන විදිහට. කෞශල්‍ය : ඔබ කිව්ව පළවෙනි නවකතාවෙ තියෙන්නෙ ඔබේ ම කතාව කියල. තමන්ගෙම අත්දැකීමක් නවකතාවක් බවට පත්වෙන කොට ලේඛකයෙක් අත්විඳින දේවල් ගැන ටිකක් කියන්න පුලුවන් ද? සුරත් :පළවෙනි එක විතරක් නෙමේ දෙවෙනි එක ගත්තත් එහෙමයි.මම දැනට ලියල තියන දේවල් වලින් හතරෙන් තුනකටත් වඩා තියෙන්නෙ මගෙ අත්දැකීම්.මේ ගොඩක් චරිත මං පුද්ගලිකව දන්න අය.නමුත් ලිවීමේදි ඇත්තට මං දන්න චරිතයේ ගති ලක්ෂණ තවත් චරිත වලට කාන්දු වෙන්න පුලුවන්.මගෙ මිත්‍රයන් අතරින් චරිත තුනක් මගෙ කතාවකට ආවොත් ඒ අයට සම්බන්ධ ඇත්ත ලෝකෙ ඉන්න තවත් අයගෙ ගුණයන් මේ චරිත වලට එන්නත් පුලුවන්.ඒ වගේම මේ හැම චරිතයකට ම මගේ චරිතයේ ස්වභාවය විවිධ පරිමාවන්ගෙන් ඇතුළු වෙනවා.ඒ නිසා කවදාවත් මට පූර්ණ ලෙස යහපත් චරිතයක් නං ලියන්න වෙන්නෙම නැහැ.මේ විදිහට තමයි සැබෑ ජීවිතය ප්‍රබන්ධ ලෝකයට ඇතුළු වෙන්නෙ. ඒ නිසා අත්දැකීම නවකතාවක් බවට පත්වෙද්දි ඒක යටත් වෙන්නෙ ප්‍රබන්ධයේ තර්කනයට,මොකද දැන් මේ අත්දැකීම් එන්නෙ මගෙ මතකයෙන් නවකතාවක් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ.හැබැයි පළවෙනි නවකතාවෙදි නං ඇත්තට ම මේ ප්‍රධාන චරිත දෙකේ ස්වභාවයන් ඇත්ත චරිත වල වගේම,ඒ කියන්නෙ ඒ අත්දැකීමට මුහුණ දුන්න මං සහ එවකට මගේ පෙම්වතියගේ ස්වරූපයට ආසන්නයෙන් තිබුණා.මොකද ඒක ලියවුණු ක්‍රියාවලිය වෙනස් මං මුලින් පැහැදිලි කරපු විදිහට. කෞශල්‍ය : ඔබ කලින් කිව්ව ඔබ ලියන දේවල් සෑහෙන තරම් සංස්කරණය කරනව කියල. මේ සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද? සුරත්: ඇත්තට ම කිව්වොත් මං සෑහෙන තරම් නෙමේ නොසෑහෙන තරම් සංස්කරණය කරනව කියල තමයි කියන්න වෙන්නෙ.මොකද මං පළවෙනි ඩ්‍රාෆ්ට් එක හරි වේගෙන් ලියනවා. ඒකෙදි මට ඕනෙ මගෙ හිතේ තියන හැඟීම පුලුවන් තරං ඉක්මනින් පිට කරන්න. මං කොහොමත් නොඉවසිලිවන්ත කෙනෙක්.ඒ නිසා මේ පළවෙනි ලිවීම මට හරි වදයක්.හරි පීඩනයක්.හැකි ඉක්මනින් මගෙ හිතේ තියෙන දේ ලියල ඉවර වුනා ම මට හරි සහනක් දැනෙනවා.ඊට පස්සෙ ඒක සංස්කරණය කරන්න පටන්ගන්න තැන ඉඳල තමයි මං ලිවීම එන්ජෝයි කරන්න පටන් ගන්නෙ. ඇත්තටම කතාව ගොඩනැගෙන්න පටන් ගන්නෙ මේ ක්‍රියාවලිය ඇතුළේ.මෙතෙන්දි මම සමහර දේවල් නැවත ලියනවා වගේම ගොඩක් දේවල් අලුතෙන්මත් ලියනවා. මම පරිච්ඡේදෙන් පරිච්ඡේදෙ අරගෙන මුලු පොතම එක වරක් මේ විදිහට සංස්කරණය කළා ට පස්සෙ මම ඒකෙ ප්‍රින්ට්අවුට් එකක් අරගන්නවා ඒ 5 සයිස් එකට, ඒ කියන්නෙ පොතක ප්‍රමාණයට ම.ඊට පස්සෙ ඒක කියවමින් දෙවෙනි සංස්කරණය පටන් ගන්නවා.මේ විදිහට මේක පොතක් හැටියට මුද්‍රණය කරන්න මං සෑහීමට පත් වෙනකං මේ ක්‍රියාවලිය යනවා. මං කලින් කිව්වෙ,දෙවෙනි පොතේ දි දහ පාරක් මම මේක කළා.මං හිතන්නෙ සංස්කරණය කියන දේ කරන්න බැරි නං මං ලේඛකයෙක් වෙන එකක් නැහැ. කෞශල්‍ය:මේ සංවාදය අවසන් කරන්න පෙර මට කියන්න ඔබ ලියන්නෙ මොන වෙලාවටද? ඔබ වැඩිපුරම ලියන තැන මොකද්ද? සුරත්: මම පාන්දර හතරට නැගිටිනවා.හතරට නැගිටින්නෙ ලියන්න ඕනෙ හින්ද ම නෙමේ මට ඊට පස්සෙ නින්ද යන්නෑ.මම කොහොමත් ටිකක් ඩිප්‍රෙස්ඩ්. ඊට පස්සෙ පුතා නැගිටිනතුරු හය විතර වෙනකං වැඩ කරනවා.මං සිංගල් පේරන්ට් කෙනෙක් නේ.ඉතිං පුතා ඉස්කෝලෙ යනකං එයාගෙ වැඩ තියනවා.එයා ඉස්කෝලෙ යැව්වට පස්සෙ මං පැය එකහමාරක විතර වෝක් එකක් දානවා.ඒක මේ ව්‍යායාම අරමුණින් කරන එකක් නෙමේ,රිලැක්ස් වෙන්න කරන එකක්.මං ඇවිදින්නෙ පාරෙ මිනිස්සු දිහා බල බල. ඊට පස්සෙ ආපහු පුතා ගෙදර එනකං මං ලියනවා.මං මුලින් ලිව්වෙ සාමාන්‍ය විදිහට මේසෙ, පුටුවක වාඩි වෙලා.පෑනෙන් තමයි ලිව්වෙ.මං ලියන්නෙ කොලේට නැමිල, මගෙ මූණ තියෙන්නෙ පෑනට උඩින් අල්ලන කැමරාවක් වගේ. මෙහෙම ටික කාලයක් වැඩ කලාට පස්සෙ මට කොන්දේ අමාරුවක් ආවා.දැන් ලියන විදිහ තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ.ටැබ් එකෙන් තමයි ලියන්නෙ.මට දැන් මේක මෙසෙ ලියනවාට වඩා ගොඩක් පහසුයි.තවත් දෙයක් කියන්න ඕනෙ,මං දැන් පූර්ණකාලීන ලේඛකයෙක්.මට වෙන රස්සාවක් නැහැ. මේ කෙටි සංවාදය තුළ මා උත්සාහ කළේ සුරත් ද මැල් නවකතාකරුවෙකු ලෙස පවතින ආකාරය අත්දැකීමට ය.තම පොත් මත සමරු අත්සන් යොදන විට සිටින පුද්ගලයාට හෝ තම පොත් ගැන සම්මුඛ සාකච්ඡා වලට මුහුණ දෙන පුද්ගලයාට වෙනස්ව එම පොත් ලියන විට සිටින පුද්ගලයා කෙවැනිදැයි සොයා බැලීම මේ සාකච්ඡා මාලාවේ අරමුණ යි. ලියන විට සිටින පුද්ගලයාගේ හැඟීම්,වතාවත් හා තාක්ෂණයන් හෙළිදරව් කිරීම මෙහි අපේක්ෂාවයි. දැන් සුරත් ද මැල් නැමැති නවකතාකරුවා ගේ නවකතාවක් කියවන ඔබට මදකට දෑස් වසාගෙන ඔහු එහි එක් එක් වාක්‍යය ලියන විට අත්විඳි වේදනාවන් හා ආනන්දයන් පරිකල්පනය කළ හැකිය. සංවාද මාලාවේ ඉදිරි මුණගැසීම කත්‍යානා අමරසිංහ සමඟ සිදුවන්නේ ද එම අපේක්ෂාවෙනි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
තරු මාවතේ ගමන් කරන සංක්‍රාන්ති ලිංගික නර්තන ශිල්පිනිය | නර්තන ශිල්පිනී කුෂී ෂෙයික්ට, මුම්බායිහි දී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු ලෙස හැදී වැඩීම පහසු කටයුත්තක් නොවීය. ඇය, මහමඟ සිඟමන් යැදීමෙහි සිට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ පිළිගැනීම ලැබීම දක්වා ප්‍රසිද්ධිය කරා වැටුණු මාවතේ නර්තනයේ යෙදුණා ය. බීබීසීය සමග සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී, කුෂී ඇගේ දිලෙන ජීවිතය ගැන විවෘතව කතාබහ කරයි. |
සරිත් - සුරිත්: ‘සල්ලි’කොඩිගහ යටට ආවේ කොහොමද? | සරිත් ජයවර්ධන සහ සුරිත් ජයවර්ධන එතරම් හුරුපුරුදු නම් දෙකක් නොවූවත්, සරිත් - සුරිත් යන යුගල නාමය අතිශයින් ජනප්‍රිය වූයේ අද ඊයේ නොවේ. 'පොඩ්ඩන්ට පුළුවන්' රූපවාහිනී රියැලිටි වැඩසටහන හරහා කුඩා කල සිට ම ශ්‍රී ලාංකික සංගීත රසිකයින්ගේ දැඩි අවධානයකට පාත්‍ර වූ සරිත් සහ සුරිත් නිවුන් සොහොයුරෝ 'සල්ලි' ගීතය නිසා තවත් ජනප්‍රියත්වයට පත්ව සිටිති. මේ වන විට විදෙස් සංචාර රැසකට ඇරයුම් ලබන සරිත් - සුරිත් සුසංයෝගය 'නිව්ස් අධිමාත්‍රා ඔන් ටුවර්' යනුවෙන් ප්‍රසංග මාලාවක් සංවිධානය කර තිබේ. එහි පළමු ප්‍රසංගය සිකුරාදා (සැප්: 22) නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී පැවති අතර වෙලිංටන් සහ ඔක්ලන්ඩ් යන නගරවල ද සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට නියමිතය. සරිත් ජයවර්ධන, බීබීසී සිංහල සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවට එක්වූයේ, නවසීලන්තයේ සිට ය. තවමත් 22 වන වියේ පසු වන සරිත් සහ සුරිත් විදෙස් රටවල සංගීත ප්‍රසංග සඳහා වැඩි වශයෙන් ඇරයුම් ලබන ශ්‍රී ලාංකික සංගීත ශිල්පීන් දෙදෙනෙකි. "ඇත්තට ම ගොඩක් සතුටුයි අපට මේ වගේ ආදරයක් ලැබෙන එක ගැන. ගොඩක් රටවලින් මේ වෙනකොට අපට ආරාධනා ලැබිලත් තියෙනවා. ලැබෙමිනුත් පවතිනවා. මට ඊටත් වඩා සතුටු කොළඹ වගේ ප්‍රධාන නගරවලින් විතරයි අපට ඉස්සර ආරාධනා ලැබුණේ. මේ වෙනකොට ඈත ප්‍රදේශවලින් පවා අපට ආරාධනා ලැබෙනවා. ඒ කියන්නේ මේ වෙද්දී අපේ රටේ සෑම ජන කොටසක ම ආදරය අපට ලැබෙමින් පවතිනවා කියන එකයි. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා වගේ ම ගොඩක් සතුටුයි," සරිත් ජයවර්ධන පැවසීය. අධ්‍යාපන ගමන සරිත් සහ සුරිත් මාතර උපත ලබා ඇති අතර ඔවුන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ, මාතර, රාහුල විද්‍යාලයෙනි. "මුලින් ම ඒගොල්ලො ගියේ මාතර රාහුල විද්‍යාලයට. 8 ශ්‍රේණිය වෙනකම් ඒකට ගියා. CHOGM සමුළුවේ ඒගොල්ලෝ සංගීත ප්‍රසංගවලට සහභාගි වුණාට පස්සේ කොළඹ ඉස්කෝල ගණනාවකින් ආරාධනා ලැබුණා. ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද වගේ ඉස්කෝල ඒ අතර තිබුණා. මගේ තාත්තා කැමති වුණේ, ආනන්දයට දාන්න. ඒ නිසා ආනන්ද විද්‍යාලයට ඇතුළු කළා," සරිත්ගේ සහ සුරිත්ගේ පියා වන ජගත් ජයවර්ධන පැවසීය. "මම හිතාගෙන හිටියෙ පුතාලා දෙන්නාව කොළඹ බෝඩිමක නතර කරන්න. මම ඒ කාලේ රාහුල විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒත් ආනන්දෙ විදුහල්පතිතුමා කිව්වා ඒක හරි යන්නෙ නෑ. ඔයාත් ආනන්දෙට මාරුවක් හදා ගන්න කියලා. ඒ අනුව තමයි මමත් ආනන්දයේ පත්වීම ගත්තේ." සරත් සහ සුරිත් සංගීතයට යොමු කිරීම සම්බන්ධයෙන් තමන්ට පවුලේ සාමාජිකයින්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බව ද ඔහු පැවසීය. "පොඩි කාලෙ ඉඳලා ඒගොල්ලො මියුසික් තමයි වැඩිපුර කළේ. මම ඉතින් රිස්ක් එකක් අරගෙන, යම් යම් අවස්ථාවල පවුලේ සාමාජිකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් දෝෂ දර්ශනයට ලක් වෙමින් තමයි මේක කරගෙන ගියේ. නමුත් අද වෙනකොට මේගොල්ලො ඉන්න තැන බලලා සතුටු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ තරම් දුරක් ආවේ ඒක ගොඩක් ආසාවකින් කරපු නිසා. කෙනෙකුට තමන් කැමති දේ වෘත්තිය විදිහට කරන්න ලැබෙනවා කියන එක විරල දෙයක්. ඒ නිසා මම තවත් ඒකට උදව් කරනවා." මේ අතර, කුඩා කාලයේ සිට ම සංගීතයට යොමු වීමට බලපෑ කරුණු පිළිබඳව සරිත් ජයවර්ධන අදහස් පළ කළේ ය. "අපේ තාත්තාට ඒ කාලේ සංගීත කණ්ඩායමක් තිබුණා. ඒ නිසා අපේ ගෙදර හැම තැන ම තිබුණේ, සංගීත භාණ්ඩ. ඒ වගේ ම ගොඩක් දවස්වල බෑන්ඩ් එකේ පුහුණුවීම් තිබුණා. ඉතින් අපට හැම වෙලාවෙ ම ඇහුණෙ සංගීතය විතරයි. ඒ නිසා අපිත් සංගීත භාණ්ඩ වාදනය කරන්න පුරුදු වුණා." 2012 වසරේදී 'පොඩ්ඩන්ට පුළුවන්' රියැලිටි වැඩසටහනේ පළමු ස්ථානය දිනා ගත් ඔවුන් දෙදෙනා අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කළ බවට සාක්ෂි දරන්නේ, ඔවුන් දෙදෙනා ම උපාධි අපේක්ෂකයින් ලෙස හැදෑරීම්වල නිරතව සිටීමයි. "අපට ලොකු අරමුණු සැලසුම් නෑ. රසිකයින්ගේ ආදරය දිනා ගන්න පුළුවන් ගීත නිර්මාණය කරමින් සංගීත ක්ෂේත්‍රය තුළ යම් වෙනසක් කරන්නයි අපට අවශ්‍ය. අපි අද මෙතන ඉන්නේ අපට ආදරය කරන රසික පිරිස නිසා. ඒ රසික පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තියෙන බව අපට දැනෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි," සරිත් පැවසීය. "තරුණ නිර්මාණකරුවන් අතර යම් විනයක් ඇති කර ගැනීම අවශ්‍යයි" "දක්ෂ තරුණ නිර්මාණකරුවො ගොඩක් ඉන්නවා අපේ රටේ. ඔවුන්ට ඉදිරියට එන්න මාර්ගත් තියෙනවා. හැබැයි ඔවුන් ඉදිරියට එන්න ඕනෙ සංස්කෘතියත් එක්ක ගැලපෙන විදිහට යම් විනයක් ඇතිවයි. වීඩියෝ නිර්මාණවලදීත් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි සංගීතඥයො විදිහට ගීත නිර්මාණය හොඳින් කරන්න ඕන. ඒකට ගැලපෙන්න තමයි අනිත් සියල්ල කරන්න ඕනෙ," සරිත්ගේ අදහසයි. 'සල්ලි' සහ 'කොඩි ගහ යට' මේ දිනවල අතිශය ජනප්‍රිය ගීතයක් වන සරිත් - සුරිත්ගේ 'සල්ලි' ගීතය සහ 'කොඩි ගහ යට' ටෙලි නාට්‍යය අතර සම්බන්ධය ගැන බොහෝ දෙනෙක් කතා කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරිත් ජයවර්ධන 'සල්ලි' ගීතයේ පසුබිම් කතාව ද පැහැදිලි කළේය. "ඔය සින්දුව මගේ තාත්තා ලිව්වේ ගොඩක් කලින්. 2002දී විතර. ඒත් ඒකට මෙලඩි එකක් දාලා, මියුසික් කරලා මම සින්දුව එළියට දැම්මේ මෑතකදී. ඒක ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳ ගත්තා." කෙසේ වෙතත්, මෙම ගීතය 'කොඩි ගහ යට' නාට්‍යය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් නොවන බව ඔහු අනාවරණය කළේය. "අපි දෙන්නා ම කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ රසිකයෝ. සින්දුවේ අදහසත් සල්ලි ගැන නිසා අපට හිතුණා ඒ සින්දුව නාට්‍යයත් එක්ක ක්‍රොස් ඕවර් එකක් කරන්න. ඒක යෝජනා කළා ම ජගත් මනුවර්ණ අයියා අපට අවස්ථාවක් දුන්නා ඒකට. එහෙමයි ඒක ඒ නාට්‍යයත් එක්ක සම්බන්ධ වුණේ." 'සල්ලි' ගීතය Sarith and Surith යූටියුබ් නාලිකාව තුළින් එක් කෝටි විස හය ලක්ෂයකට අධික වාර ගණනක් මේ වන විට නරඹා තිබේ. ඔවුන් දෙදෙනා 'සල්ලි' ගීතයට අමතරව, 'මායාවී', 'මල් කැකුළක්', 'අපට රැක දෙන්න' ආදී ගීත රැසක් නිර්මාණය කර ඇත. |
'මම ලියන හැටි':නෝබට් අයගමගේ | නෝබට් අයගමගේ යනු තම පළමු නවකතාවෙන් ම ජනාදරයට සහ සම්මානයට පාත්‍ර වූ සාහිත්‍යකරුවෙකි. 'කාල නදී ගලා බසී' නවකතාවෙන් පටන්ගෙන 'සුර අසුර යාමය' හරහා මෑතක දී පළ වන 'කුර හඬකි වියැකෙන' නවකතාව දක්වා වූ ඔහුගේ නවකතාකරණය අපේ අතීත ජන ජීවිතය යළි නිපදවීමට දරන සෞන්දර්යාත්මක වෑයමක් වැනිය. ගුවන් විදුලි විශේෂාංග රචකයෙකු ලෙස කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගත් දැනුම තම ජීවින අත්දැකීම් හා කැටිවී ඔහු අතින් සිය පළමු නවකතාව ලියවෙන්නේ 2012 වසරේදී ය.එතැන් පටන් නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුණෙමි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක් ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන් ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. අද සිට ඇරඹෙන මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මං කැමතියි පළවෙනි වාක්‍යයෙන් පටන් ගන්න.ඔබට කියන්න පුලුවන් ද නවකතාවක පළවෙනි වාක්‍යය ලියවුණ හැටි ගැන.ඔබේ නවකතා වල අපි දකින පළමු වාක්‍යයම ද ඔබ මුලින්ම ලිව්වෙ. නැත්තං ඒවා පස්සෙ වෙනස් වුණා ද? නෝබට්: නෑ. ඒවා තමයි මුලින්ම ලිව්වෙ.ඉතාම සුළු වෙනස්කම් තමයි වුණේ.මම ලියන්න පටන්ගන්නෙ හොඳට සූදානම් වෙලා ලියන දේ සැලසුම් කරලා.ඒ නිසා ලියන්න පටන් ගත්ත ම මට එක දිගට ලියාගෙන යන්න පුලුවන් වෙහෙසක් හෝ හිරවීමක් නැතුව.ඒ දේවල් මගෙ අතින් සංස්කරණය වෙන්නේ හරි ම අඩුවෙන්. කෞශල්‍ය : කොහොමද සැලසුම් කරන්නේ. ඔබ කටුසටහන් පාවිච්චි කරනව ද? නෝබට්: මං කටුසටහන් තියාගන්නෙ නෑ.හැමදේම තියෙන්නෙ මගෙ හිතේ.මං කාලයක් තිස්සෙ ලියන්න යන දේ ගැන අධ්‍යයනය කරනවා සහ මෙනෙහි කරනවා.ඒ නිසා හැම චරිතයක් ම සිදුවීමක් ම ගැන මට හොඳ අවබෝධයක් තියනවා පටන් ගන්න කලින්. සමහර වෙලාවට චරිත වල කටහඬ වල් පවා තනියම අනුකරණය කරමින් තමයි මං ඒකත් එක්ක ඉන්නෙ.ඒවගේම සිදුවීම් සහ චරිත වලට අදාළ වචන මාලාව ගැනත් හොඳින් දැනුවත් වෙනවා.අනිත් එක නවකතාවක් සැලසුම් කරමින් ඉන්න කොට කඩේට ගියත් බස් එකක ගියත් වෙනත් පොතක් කියෙව්වත් හිතේ පැත්තක ඒක වැඩ කරනවා.කොයිම වෙලාවක වත් ඒකෙන් ගැලවෙන්නේ නැහැ.එතකොට ලියන්න පටන් ගත්ත ම පැය ගාණක් එක දිගට ලියාගෙන යන්න පුලුවන්.ඒ හින්ද මගෙ නවකතා වල පළමු වාක්‍ය හැටියට ඔබ දකින්නෙ ඒ විදිහට ලියන්න වාඩි වුනහම නිරායාසයෙන් ලියවුණු ඒවා. කෞශල්‍ය :ඒ කියන්නෙ ඔබ කතාවෙ සැලැස්ම කොහෙවත් සටහන් නොකළට පළවෙනි වාක්‍යය ලියන කොට ඔබ දන්නවා ඔබ ලියන්න යන නවකතාවෙ දිග පළල? නෝබට්: ඔව් ඇත්තෙන්ම මම ලියන්න යන නවකතාවෙ මුල මැද අග ගැන ඉතා හොඳ අවබෝධයකින් තමයි ලිවීම පටන් ගන්නෙ.මගෙ සැලැස්ම මම කොහෙවත් ලියන්නෙවත් කාටවත් කියනනෙවත් නෑ.ඒක දන්නෙ මං විතරයි.හැබැයි මම කටුසටහන් නොදැම්මට සමහර ඓතිහාසික සිද්ධි සහ පුද්ගලයන්ගේ නම් කොළයක ලියල තියාගන්නව මොකද එක දිගට ලියන කොට ඒව අමතක වෙන්න පුලුවන් නිසා. කෞශල්‍ය : ඔබ නවකතාව මනසින් සැලසුම් කරමින් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්න විට මේක ලියන්න පටන් ගන්න වෙලාව ඔබ හොඳට හිතල තෝරගන්නවද නැත්තං එක මොහොතක දි ඔබටත් පාලනය කරගන්න බැරි විදිහට ඒක කරන්න සිද්ධ වෙනව ද? නෝබට්: මං 'කාල නදී' ලියන්න පටන් ගත්තෙ 2012 නොවැම්බර් 18.මට ඒ දවස හොඳට මතක එදා මහින්ද ජනාධිපතිවරයගේ උපන්දිනය.ඒ වෙනකොට මගෙ බිරිඳ රැකියාව කළේ බැංකොක් වල ලංකාවෙ තායිලන්ත තානාපති කාර්යයාලේ. මමත් ඇයත් එක්ක එහෙ හිටියෙ.මතකනෙ මහින්ද මහත්තයගෙ උපන්දිනය දවසට ඒ කාලෙ ලංකාවෙ ඔය කාර්යයාල වල බෝධි පූජා එහෙම ලෑස්ති කරනවනෙ. එදා තානාපති කාර්යයාලයෙනුත් එහෙම ආගමික කටයුත්තක් සුදානං කරල තිබුණ නිසා ගෙදර හැමෝම ඒකට ගිහිං මං විතරයි හිටියෙ.මේ වෙනකොට 'කාල නදී' ගැන මං සෑහෙන්න වැඩ කරල තිබුණේ. මේකට විෂය වුණු පාරුකාරයින්ගේ ජීවිතය ගැන මං ඕනැවටත් වඩා දැනන් හිටිය. මොකද අපේ තාත්තගෙ තාත්තත් පාරු කාරයෙක් නිසා මං හැදුණේ වැඩුණේ මේ කතා අහගෙන. ඊට අමතරව මං මේ ගැන අධ්‍යයනය කරල කතාව හිතෙන් සැලසුම් කරල තිබුණේ.ඒ නිසා ඒක කොලයකට පනින්න මාන බලමින් හිතේ තෙරපෙමින් හිටි වෙලාවක තමයි ගෙදර කවුරුත් නැති මේ නිස්කලංක දවස ආවෙ.එදා මං පැය ගාණක් එක දිගට ලිව්වා.මේ කතාවේ සිදුවීම් කාලයක් තිස්සෙ මගෙ හිතේ තෙරපෙමින් තිබ්බ නිසා මේකත් එක්ක මට මහ පුදුම බන්ධනයක් තිබුණා.හරිම ඉක්මනින් පොත යි මම යි එකට හුස්ම ගන්න තත්වෙට පත් වුණා.ඒ හින්ද මාස හයක් යන්නත් කලින් මට මුළු නවකතාව ම ලියල අවසාන කරල ලංකාවට ත් එවන්න පුලුවන් වුණා පළ කරන්න. කෞශල්‍ය : ඔබ මෙහෙම ලියාගෙන යද්දි සුළු චරිත හැටියට සැලසුම් කරන ඇතැම් චරිත ඔබ අපේක්ෂා නොකළ පරිදි ප්‍රබල චරිත බවට පත් වුණ අවස්ථා තියනව ද? නෝබට්: ඇත්තටම ඔව්.මම කිසිසේත්ම බලවත් චරිත හැටියට සැලසුම් නොකළ චරිත මං නොහිතපු ආකාරයෙන් කතාව තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන චරිත බවට පත්වුණ අවස්ථා තියනවා.අපි මොනතරන් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලියේ දී මෙවැනි දේ සිද්ධ වෙනවා. නවකතාකරුවෙක් හැටියට ඔබට ත් මේ අත්දැකීම ඇති.මට තියන ආසන්න ම උදාහරණය මගේ 'කුරහඬෙකි' නවකතාවේ 'අංචිරාල' කියන චරිතය.ඔහු එතරම් නොවැදගත් සුළු චරිතයක් හැටියට මම සැලසුම් කර තිබුණ ත් පසුව කතාවේ විකාශනය තුළ ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළා. කෞශල්‍ය : ඔබ මේ කියන්නෙ අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය තුළ අපි කලින් නොහිතපු අනපේක්ෂිත දේ සිද්ධ වෙන්න පුලුවන් කියන එක ද? නෝබට්: ඔව්. නවකතා රචනය ගැන මොන නීති රීති තිබුණත් අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ එහෙම ගතිකයක් තියනවා.ඒක තමයි ඒකේ සුවිශේෂත්වය. කෞශල්‍ය : ඔබ ලියන නිශ්චිත වෙලාවක් සහ තැනක් එහෙම තියනව ද? නෝබට්: වැඩිපුරම මං ලියන්නෙ කාමරේ මගෙ ලියන මේසෙ.ඒක එහෙම ගම්භීර තැනක් නං නෙමේ. ලියන්න පටන් ගන්නේ පාන්දර.ඒ නිශ්ශබ්ද නිසා ම නෙමේ.මට ලිවීමේ දි නිශ්ශබ්දතාවය විතරක් නෙමේ සද්දබද්ද ත් ඕනෙ.පාන්දර පැය කීපයක් එක දිගට ලියනවා.ඉන් පස්සෙ දවසෙ සාමාන්‍ය වැඩ පල කරල ආයෙමත් හැන්දෑවෙ හයට විතර පටන් අරන් පැය කීපයක් ලියනවා.හැබැයි නවකතාවක් ලියමින් ඉන්න කාලෙදි සමහර වෙලාවට ලියන්න යමක් හිතේ තෙරපෙන්න ගත්තොත් පාන්දර එකට දෙකට වුණත් නැගිටල ඇවිත් ඒක ලියල ගිහින් ආයෙමත් නිදාගන්නවා.මොකද එහෙම එන ඒවා ඒ වෙලාවෙ ලිව්වෙ නැත්තං ආපහු එන්නෙ නැහැ. කෞශල්‍ය: අවසාන වශයෙන් මට කියන්න ඔබ ලියන සමහර වාක්‍ය ඔබව ම පුදුමයට පත් කරනව ද? ලියන කොට දැනෙන සතුට ගැන යමක් කියන්න පුලුවන් ද ? නෝබට්: හරියට ලියවෙනවා නේද ඡේදයක් හෝ පරිච්ඡේදයක්,ඒක ඉතින් කියල වැඩක් නෑ පුදුම සතුටක්.ඒ වෙලාවට ඒක නැවත නැවත කියවමින් කොම්බු පවා හදනවා.සමහර වෙලාවට හරි විස්මයක් දැනෙනවා සමහර යෙදුම් එහෙම ලියවුණා ම.ඒ වෙලාවට තව පරිච්ඡේද දෙක තුනක් වුණ ත් ඒ ගැම්මට එකදිගට ලියන් යන්න පුලුවන්.ලිවීමේ දි දැනෙන තෘප්තිය නං නිකං හරියට අති රමණීය රමණයක දි වගේ. ලිවීමේ දී ලේඛකයෙකු අනුගමනය කරන වතාවත් එකිනෙකාගෙන් වෙනස් විය හැකි බව අපට තේරුම් ගත හැකි ය. එහෙත් ලිවීමේ දී ලේඛකයෙකු අත්විඳින රමණීයත්වය එසේ වෙනස් විය හැකි ද?මට ද නවකතාකරුවෙකු ලෙස අයගමගේ මහතා විඳින ඒ රහස් සතුට ගැන ඉඟියක් ඇත.නමුත් මේ ගැන තවදුරටත් තේරුම් ගත හැකි වන්නේ මේ සංවාද මාලාවේ ඉදිරි මුණගැසීම් වලදී ය. මේ කෙටි කතාබහ තුළ මා උත්සාහ කළේ නෝබට් අයගමගේ නම් නවකතාකරුවා ලිවීම තුළ පවතින ආකාරය දෙස ඉක්මන් බැල්මක් හෙළීමට ය. ලබන සතියේ සුරත් ද මැල් සමග සිදුවන සංවාදය දිගහැරෙනු ඇත්තේ ද ඒ අපේක්ෂාවෙන් මය. බීබීසී සිංහල වෙනුවෙන් අද සිට ඇරඹෙන මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
එක්සත් රාජධානියේ 'දැවැන්ත ම සාහිත්‍ය උළෙලකට' ඇරයුම් ලැබූ ශ්‍රී ලාංකික කිවිඳිය | එක්සත් රාජධානියේ පැවැත්වෙන දැවැන්ත ම කාව්‍ය සහ නිරූපණ සාහිත්‍ය උළෙලක් වන බීබීසීහි Contains Strong Language 2023 නියෝජනය කිරීමේ ගෞරවණීය අවස්ථාව ශ්‍රී ලාංකික කිවිඳියක වන රම්‍යා ජීරසිංහට හිමි වී තිබේ. සැප්තැම්බර් 21 දා එක්සත් රාජධානියේ ලීඩ්ස්හි දී ඇරඹෙන මෙම සාහිත්‍ය උළෙල දින හතරක් පුරා පැවැත්වෙන අතර, ඊට ලෝකයේ ප්‍රමුඛ පෙළේ කවියන් සහ කලාකරුවන් මෙන් ම නවක සාහිත්‍යකරුවන් ද සහභාගිවීමට නියමිත ය. එහිදී, රම්‍යා ජීරසිංහ සාහිත්‍ය ඉසව් තුනක දී ඇගේ කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ, සැප්තැම්බර් 22, 23 සහ 24 යන දිනයන්හි දී ය. Contains Strong Language සාහිත්‍ය උළෙල යනු කුමක් ද? මෙය බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දැවැන්ත ම කාව්‍ය සහ නිරූපණ සාහිත්‍ය උළෙලක් ලෙස සැලකෙයි. එය මෙවර පැවැත්වෙන්නේ හත්වන වරට ය. සාහිත්‍ය නිර්මාණ සහ නිර්මාණකරුවන්‌ගේ අදහස් බෙදා ගැනීම සඳහා කවියන්, කලාකරුවන්,ලේඛකයින් සහ චින්තකයින්ගේ මිශ්‍රණයකින් සමන්විත එකතුවක් මෙහිදී ඒකරාශී වනු ඇත. මෙම උළෙලේ දී නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බෙලීස්, කෙන්යාව, ශ්‍රී ලංකාව, ට්‍රිනිඩෑඩ්, නයිජීරියාව මෙන් ම, ලීඩ්ස් සහ බටහිර යෝක්ෂයර්හි ජාත්‍යන්තර කවියන් රාශියකගේ කෘති රස විඳිය හැකි ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසී ඇත්තේ රම්‍යා ජීරසිංහට ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත රම්‍යා ජීරසිංහ යනු කවුද? රම්‍යා චාමලී ජීරසිංහ ශ්‍රී ලංකාවේ උපත ලබා සාහිත්‍යකරණයේ නියැළෙන ජාත්‍යන්තර සම්මානලාභී සාහිත්‍යවේදිනියකි. කිවිඳියක, නවකතාකාරියක සහ ප්‍රබන්ධ නොවන කතා රචිකාවක වන ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභිනියක ද වන අතර, දෙවරක් ග්‍රේෂන් ත්‍යාගය වෙනුවෙන් නිර්දේශයට පත්වූ ලේඛිකාවකි. 2009 වසරේ දී ඇය එක්සත් රාජධානියේ ගාර්ඩියන් ඔරේන්ජ් ෆර්ස්ට් වර්ඩ්ස් (Guardian Orange First Words Prize) සම්මාන උළෙලේ සම දෙවන ස්ථානය හිමිකර ගත්තා ය. පසුව, 2011 වසරේ දී ඇය රචනා කළ 'There’s an Island in the Bone' කාව්‍ය සංග්‍රහයට සම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ඇයගේ දෙවන කාව්‍ය එකතුව වූ 'Love Poems from a Frangipani Garden 2018' වසරේ දී එක්සත් රාජධානියේ මිකා ප්‍රෙස්හි ප්‍රකාශයට පත් කරන ලදී. ඊට අමතරව ඇය 'Rhythm of the Sea', 'Trinity' සහ 'When Life Touches Life' යන ප්‍රබන්ධ නොවන කතා ද රචනා කර තිබේ. රම්‍යා ජීරසිංහ ලන්ඩන් විශ්වවිද්‍යාලයයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආචාර්ය උපාධිය ද ලැබූවෙකි. බීබීසී සිංහල සේවය සමග රම්‍යා ජීරසිංහ කළ සාකච්ඡාවේ දී, ඇය ඇයට එක්සත් රාජධානියේ දැවැන්ත ම සාහිත්‍ය උළෙලට සහභාගිවීමට අවස්ථාව හිමිවූ ආකාරය පැහැදිලි කළා ය. "ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ උත්සවයට සහභාගී වෙන්න කියලා මට බීබීසී ආයතනය ආරාධනා කළා. උළෙලේ සාහිත්‍ය ඉසව් තුනක දී මගේ කවි කියවනවා. සැප්තැම්බර් 22,23, 24 දිනවල මගේ කවි කියවනවා. එක්සත් රාජධානියේ සහ ලීඩ්ස්වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මේ උත්සවයට එන්න කියලා ආරාධනා කරන්න කැමතියි." ඇය ඇගේ පාසල් සමය සහ සාහිත්‍යකරණයට පිවිසීම පිළිබඳව ද අදහස් පළ කළා ය. "මම ඉපදුණේ ගම්පහ, උඩුගම්පොළ. කොළඹ හැදුණේ වැඩුණේ. ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. මගේ සාහිත්‍ය ගුරුවරිය සහ මඟපෙන්වන්නා වුණේ යුදෙව් කිවිඳියක වූ ඈන් රණසිංහ. ඇයගේ නිර්මාණ සහ අදහස් මගේ නිර්මාණවලට ගොඩක් බලපෑවා." "ශ්‍රී ලංකාව සතුව ප්‍රබල ලේඛකයින් සහ ප්‍රබල සාහිත්‍යයක් ඇතිබව" ද ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළා ය. |
රැප් ගායනයෙන් ජාත්‍යන්තරයේ නමක් තබන්න සිහින දකින මැය කවුද? | මෙරට සංගීත ක්ෂේත්‍රයට විවිධ නවක ගායක ගායිකාවන් එක්වුද රැප් ගීත ගායනයට හැකි ගායිකාවන් එක්වීම මදක් විරලය. රැප් ගායන කේෂත්‍රයට යොමු වූ එවැනි තරුණ ගායිකාවක් සම්බන්ධයෙන් මෙරට නව පරපුරේ අවධානය යොමුව තිබේ. ඇය නමින් හිරුෂි ජයසේනය. 1996 වර්ෂයේ බ්‍රිතාන්‍යයේදී උපත ලබන ඇය අධ්‍යාපනය හදාරණු ලබන්නේ කොළඹ විසාකා විදුහලේය. ඇය මානසික සෞඛ්‍ය, ව්‍යවසායකත්වය, සංගීත භාණ්ඩ වාදනය, රංගනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සරසවි කිහිපයකින් උසස් අධ්‍යාපනය හදාරා තිබේ. "මගේ ජීවිතයේ සතුට තියෙන්නේ ගායනයත් එක්ක " ගායන ක්ෂේත්‍රයට තමන් යොමු වීමට ප්‍රධාන කරුණ වුයේ තම පියාගෙන් සහ මවගෙන් ලද ආභාෂය බව හිරුෂි ජයසේන බීබීසි සිංහල සේවය සමග පිළිසඳරකට එක්වෙමින් පැවසුවාය. "මගේ පියා විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහු ගීත රචනා කරනවා ගොඩක් ජනප්‍රිය ගායක ගායිකාවන්ට 1980 දශකයේ ඉදලා. ඒ වගේම මගේ අම්මා විනෝදාංශයක් විදිහට ගීත ගායනා කරනවා." "ඒ වගේම මම කුඩා කාලේ ඉදලා සමස්ත ලංකා පාසල් ගායන තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සියලු දේ එක්ක මම ගායනයට කැමැත්තක් දක්වනවා." "මගේ ජීවිතයේ සතුට තියෙන්නේ ගායනයත් එක්ක. මට මොන විදිහේ උසස් අධ්‍යාපනයක් තිබුණත් ජීවිතයේ සතුට තියෙන්නේ ගායනය එක්ක." "මම පළමුවරට චිත්‍රපටයක් සඳහා ගායනයෙන් දායක වුනේ මායා චිත්‍රපටයට, 2016 වසරේදී. ඒ වගේම මගේ පළවෙනි ස්වයං ගීත නිර්මාණය කළේ 2018 වසරේදී." ඇය පැවසුවාය. වැඩියෙන් ඇසීමට කැමති කුමන ආරක ගීත ද ? තමන් 80-90 දශකයේ සිට ජනප්‍රිය වූ විවිධ භාෂාවන්වල ගීත ඇසීමට ප්‍රිය කරන බව හිරුෂි සඳහන් කළාය. විවිධ භාෂා මෙන්ම සංගීත කාණ්ඩ නියෝජනය කරන ගීත එක් එක් කාලයට ඇසීමට තමන් ප්‍රිය කරන බව ඇය පැවසුවාය. "ගොඩක් වෙලාවට 80-90 කාලයේ ක්ලැසිකල් මියුසික්, දැන් කාලයේ ඉන්න පොප් ආර්ටිස්ලගේ සිංදු අහනවා. ඒ වගේම ජෑස් වගේ සංගීතය අහනවා." ඇය පැවසුවාය. "මම ආසයි අභියෝග භාර ගන්න" මෑත කාලයේදී රැප් ගායිකාවක් ලෙස සමාජයේ ප්‍රසිද්ධියක් ලැබීම සම්බන්ධයෙන් ඇය අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ තමන් අභියෝග භාර ගැනීමට කැමැත්තක් දක්වන බවයි. "මම කැමති අභියෝග භාරගන්න. මම අදටත් කියන්නේ නැහැ මම රැප් ආර්ටිස්ට් කෙනෙක් කියලා. සර්ව සම්පුර්ණ රැප් ආර්ටිස්ට් කෙනෙක් බිහිවෙන්න ලොකු ස්කිල්ස් සෙට් එකක් ඕන. රැප් කියන්න පමණක් නොවෙයි. රැප් ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ ගොඩක් දේවල් කරන්න ඕන. මම ඒ ගමන පටන් ගත්තා විතරයි.” "මට හිපොප් හරි රැප් ට්‍රැක් එකක් හරි එකපාරක් අහලා මගේ මතකයෙන් ඒක කියන්න පුළුවන්. මම ඒක නිකම් අත්හදා බැලුවා පහුගිය කොවිඩ් ලොක්ඩවුන් එක කාලේ. ඒක සාර්ථක වෙලා තියෙනවා. ලොකු ෆෑන් බේස් එකක් හැදිලා තියනවා ඒකට." "ඉස්සරහට අඩු පාඩු හදාගෙන මගේම රැප් ගීත කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා." ඇය පැවසුවාය. ජාත්‍යන්තරයේ නමක් තියන්න පුලුවන් වෙයිද ? රැප් ගායිකාවක් ලෙස තමන්ට ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට හැකියාව ලැබුනොත් එය වාසනාවක් ලෙස සලකන බව ඇය සඳහන් කළාය. එමෙන්ම රැප් ගායන කේෂ්ත්‍රයෙන් ශ්‍රී ලංකාවේ රසික රසිකාවියන්ට වින්දනයක් ලැබිය හැකි හොඳ නිර්මාණ බිහි කිරීම මේ වන විට තමාගේ අරමුණ බව ඇය මෙහිදී පැවසුවාය. ඇය මේ වන විට චිත්‍රපට දෙකකට සහ ටෙලි නාට්‍යය තුනකට පසුබිම් ගායනයෙන් දායකත්වය ලබාදී ඇත. එමෙන්ම තමන්ගේ අනාගත බලාපොරොත්තුව ප්‍රාසාංගික කලාකාරිනියක් ලෙස ඉදිරියට පැමිණීම බව පැවසු ඇය, නුදුරේදීම තමන්ගේම සංගීත ප්‍රසංගයක් පැවැත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බවද සඳහන් කළාය. |
ශ්‍රී ලාංකික සිනමාව ජාවාරම්කරුවන්ට යටවෙලා ද? නව සිනමාකරුවන් හයදෙනෙකුගේ නිර්මාණ 6ක් | මේ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳ විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් වන කාලයකි. කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දැවැන්ත අර්බුදයකට මැදි වී තිබූ ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් සුබවාදී පුවත් කිහිපයක් පසුගිය කාලයේ අසන්නට ලැබිණි. එමෙන් ම, ඓතිහාසික සිද්ධි අළලා නිර්මාණය කෙරුණු චිත්‍රපට ආදායම් වාර්තා තබමින් අතිශය සාර්ථකව තිරගත වන බවට තොරතුරු ලැබෙමින් පවතියි. ඒ අතර විදේශීය චිත්‍රපට නැරඹීම සඳහා සිනමාහල් වෙත ඇදී එන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව ද ඉහළගොස් තිබේ. නමුත් මේ වන විට, "කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ජාවාරම්කරුවන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙමින් සිටින" බවට ද චෝදනා නැගෙමින් තිබේ. මේ සියල්ල මධ්‍යයේ සිනමා කර්මාන්තයේ ප්‍රගමනයක් ගැන සිහින දකින සිනමාකරුවෝ පිරිසක් විවිධ දුෂ්කරතා මැද සිනමා නිර්මාණකරණයේ නියැළෙමින් සිටිති. එවැනි සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිරගත කෙරෙන සිනමා උළෙලක් සැප්තැම්බර් දෙක, තුන දෙදින පැවැත්වීමට නියමිත ය. ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රාගාරයේ දී තිරගත කෙරෙන මෙය චිත්‍රපට හයකින් සමන්විත වේ. මේ, එම සිනමා නිර්මාණ සම්බන්ධයෙන් ඒවායෙහි නිර්මාණකරුවන් සමග බීබීසී සිංහල සේවය කළ සාකච්ඡා තුළින් සකස් කෙරෙන ලිපියකි. නව චිත්‍රපට නිර්මාණය කිරීමේ දී සිනමාකරුවන් මුහුණ දෙන අභියෝග, මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. 1. මාරියා - අරුණ ජයවර්ධන චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මාරියා' චිත්‍රපටය සැප්තැම්බර් දෙවන දා පෙරවරු 10.30ට තිරගත කිරීමට නියමිත ය. "මාරියා චිත්‍රපටයේ කතා තේමාව මට හම්බවුණේ අවුරුදු හතරකට කලින්. ඉන්දුනීසියාවේ ධීවරයින් පිරිසකට මාළු අල්ලමින් ඉන්න අවස්ථාවක සෙක්ස් ඩෝල් කෙනෙක් හම්බවුණා. ඒක ජාත්‍යන්තර වගේ ම ලංකාවේත් ලොකු අවධානයක් යොමුවුණ ප්‍රවෘත්තියක් වුණා. ඒක ඇතුළෙ කෙතරම් දේවල් අපට කතා කරන්න පුළුවන් ද කියන එක තමයි මේ චිත්‍රපටයෙන් උත්සහ කළේ. බාහිරින් එන සියල්ල අපේ කරගන්න යාමෙන්, අපේ මානුෂික සම්බන්ධතාවලට සහ සංස්කෘතික වටිනාකම්වලට මොකද වෙන්නේ කියන එක ගැන තමයි මේ චිත්‍රපටයෙන් පැහැදිලි කරන්න හිතුවේ," අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන පැවසීය. මෙම චිත්‍රපටය මෙතෙක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ චිත්‍රපටවලට වඩා නව හැඩයකින් යුත් චිත්‍රපටයක් බවත්, එය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වනු ඇති බවත් අරුණ ජයවර්ධන විශ්වාස කරයි. "මේ සිනමා කර්මාන්තය බිඳ වැටිලා, ආර්ථිකය කඩා වැටිලා කිය කිය ඉන්න හැමදාම අපට බැහැ. ඒ නිසා යම් ඉදිරි පියවරක් තියන්න නිර්මාණකරුවන් උත්සහ කරනවා. ඒ උත්සහයට රජයෙනුත් සහයක් අවශ්‍ය යි." මේ අතර, වත්මන් ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා නිර්මාණ බිහි කිරීම අභයෝගයක් වී ඇතැ යි ද ඔහු පැවසීය. "වත්මන් ප්‍රේක්ෂකයෝ සමහර වෙලාවට නිර්මාණකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් ලෝකය පුරා හැදෙන විශිෂ්ට සිනමා කෘති නරඹනවා. ඔවුන් අපේ නිර්මාණවලිනුත් ඒ විශිෂ්ටත්වය අපේක්ෂා කරනවා. ඒ නිසා අපි ඒ ගැනත් හිතලා නිර්මාණකරණයේ නියැළෙන්න වෙනවා." "කළු සල්ලි සුදු කර ගන්න චිත්‍රපට කරනවා කියන මතයක් තියෙනවා. එතනදී මම දකින්නේ, ඒක නිර්මාණකරුගේ ප්‍රශ්නයක් හැටියට නෙවෙයි. නිර්මාණකරුවෙකු කරන්නේ තමන්ගේ නිර්මාණය වෙනුවෙන් වෙහෙසෙන එක. එතන දී කර්මාන්තයේ දියුණුවට මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා නිර්මාණකරුවාට ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නෑ." 2. සන් කරමි - ශ්‍යාම් ප්‍රනාන්දු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු මෙන් ම හඬ නළුවෙකු ලෙස ද අනන්‍යතාවක් ගොඩ නගාගෙන සිටින ශ්‍යාම් ප්‍රනාන්දුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'සන් කරමි' චිත්‍රපටය සැප්තැම්බර් දෙවැනි දා පස්වරු 2.30ට තිරගත වේ. දරුවන් පාසලට ඇතුළත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා හේතුවෙන් දෙමාපියන් මුහුණ දෙන ගැටලු මුල්කර ගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ. ඔහුගේ දරුවා පාසලට ඇතුළත් කිරීමට නොහැකිවීම මත අනාගතයේ දරුවන්ට වන අසාධාරණකම් නතර කිරීමේ අරමුණින් ඊට ප්‍රතිචාර දක්වන පියෙකුගේ කතාවක් මෙහි අන්තර්ගත වේ. අමාත්‍යවරයාගේ දියණිය පැහැර ගැනීම හරහා මෙම පණිවුඩය දීමට ප්‍රධාන භූමිකාව මෙහෙයවා තිබේ. "ඇත්තට ම ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයෝ ලෝක සිනමාව ගැන ලොකු අවබෝධයක් තියෙන පිරිසක්. ඔවුන්ට දැනෙන සිනමා කෘතියක් අවම වියදමකින් කරන එක සිනමාකරුවෙකු මුහුණදෙන ලොකු අභියෝගයක්. ඒත්, මලයාලම් සිනමාව ගත්තහම ලොකු පිරිවැයක් නැතුව විශිෂ්ට කතා පුවත් හරහා ලෝක සිනමාව ජයගත් සිනමා කර්මාන්තයක්. මම අනුගමනය කරන්න උත්සහ කරන්නේ ඒ ක්‍රමය. මෙතෙක් මගේ චිත්‍රපටය නරඹපු අයගෙන් ලැබුණු ප්‍රතිචාරවලින් මට දැනෙන්නේ මගේ උත්සහය යම් ප්‍රමාණයකින් සාර්ථක වෙලා තියෙන බව යි," ශ්‍යාම් ප්‍රනාන්දු පැවසීය. සිනමා කර්මාන්තය හරහා මුදල් විශුද්ධිකරණය සිදුවනවාදැයි ඇසූකල ඔහු පැවසුවේ මෙවැන්නකි: "මට දැනිලා තියෙනවා යම් යම් අවස්ථාවල එවැනි තත්ත්වයක් තියෙනවා කියලා. මම පෞද්ගලිකවත් ඒක අත්දැක්කා. හැබැයි මගේ අදහස තමයි මුදල් විශුද්ධිකරණය සඳහා නිර්මාණකරුවෙකු සහය නොදැක්විය යුතු බව. ඒ නිසා මම මගේ නිර්මාණයට කළු සල්ලි නොවන පැහැදිලි ලෙස උපයාගත් මුදල් යෙදවිය හැකි මගේ මිතුරෙකු සම නිෂ්පාදක ලෙස සම්බන්ධකර ගත්තා. විශුද්ධිකරණය විතරක් නෙවෙයි, විවිධ ජාවාරම් කෙරෙනවා මේ ක්ෂේත්‍රයේ. උදාහරණයක් විදිහට අපෙන් යම් මුදලකට අපේ නිර්මාණය මිල දී අරන්, ඒක ඊට වඩා විශාල මුදලකට අලෙවි කරන ජාවාරමුත් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල අතරින් නිෂ්පාදකයෙක් හොයාගෙන සාර්ථක නිර්මාණයක් කරන එකත් ලොකු අභියෝගයක්." 3. රහස් කියන කඳු - ජගත් මනුවර්ණ ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය සැප්තැම්බර් 2 වන දා පස්වරු 6.30ට තිරගත වේ. වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස අනන්‍යතාවක් ගොඩනගාගත් ජගත් මනුවර්ණ මේ වන විට ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙකු බවට පත්ව සිටියි. 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අනෙක් ශ්‍රී ලාංකික සිනමාපටය වූයේ, ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි. එය Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ අතර, NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව, 'රහස් කියන කඳු' සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය. "ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වුණ යම් යම් ඝාතන සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් මගේ හිතේ ඇතිවුණ කම්පනය තමයි මේ සිනමා පටයෙන් ප්‍රතිනිර්මාණය කළේ. ඒ කම්පනය සිනමාවට ගේන්න මං සෑහෙන කාලයක් කල්පනා කරමින් හිටියා. ඒ සිද්ධි සිනමාරූපීව ඉදිරිපත් කිරීමක් තමයි මම කළේ. මේක ප්‍රබන්ධිත කතාවක්," ජගත් මනුවර්ණ පැවසීය. චිත්‍රපට නිෂ්පාදනය හරහා "කළු සල්ලි සුදු කරන" බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ වෙනස් අදහසකි. "සල්ලි කළු ද සුදු ද කියලා හොයන්න නිර්මාණකරුවන්ට බැහැ. ඒක අපේ රාජකාරියක් නෙවෙයි. ඒකට තියෙනවා මුදල් විශුද්ධිකරණ පනතක්. ඒ හරහා ඔවුන්ට දඬුවම් දිය යුත්තේ රජය. අපට බැහැ ව්‍යාපාරිකයින්ගේ අක්මුල් හොයන්න. නිර්මාණකරුවා කරන්නේ තමන්ගේ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන එක. ඇඳක් ගන්න ගියා ම අපි හොයන්නෙ නෑනේ ඒක හදලා තියෙන තේක්ක ගහ හොරෙන් කපපු එකක් ද අවසරයක් ඇතිව කපපු එකක් ද කියලා." 4. පාස්පෝර්ට් - ක්‍රිස් ඇන්තනි ක්‍රිස් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'පාස්පෝට්' චිත්‍රපටය සැප්තැම්බර් තෙවන දා පෙරවරු 10.30ට තිරගත කෙරේ. ඉටුකර ගත නොහැකි බලාපොරොත්තු රැසක් මැද ජීවිතය ජයගැනීමට නොහැකි තරුණයින් දෙදෙනෙකු ජීවිත සාර්ථක කර ගැනීම සඳහා යුරෝපා රටකට සංක්‍රමණය වීමට දරන උත්සහයක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ. කූට ඒජන්සිකරුවෙකු හරහා ව්‍යාජ ලේඛන සකස්කර යුරෝපයට සංක්‍රමණය වීමට උත්සහ දරනා ඔවුන් මුහුණ දෙන කටුක අත්දැකීම් අළලා මෙම චිත්‍රපටය සකස්කර තිබේ. රූපවාහිනී දැන්වීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක් සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති ක්‍රිස් ඇන්තනිගේ කුළුඳුල් සිනමා නිර්මාණය මෙය යි. "මේ චිත්‍රපටයෙන් කියන්නේ, ලෝකේ කොහේ යන්න හිතුවත් උපන් රට තරම් වටින තැනක් නෑ කියන එකයි. ලංකාවේ ඉඳගෙන ම ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් කියන අදහසත් මේ හරහා දෙන්න උත්සහ කළා," ක්‍රිස් ඇන්තනි පැවසීය. මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස පැහැදිලි කළේ මෙසේ ය. "මම මගේ නිර්මාණය හරහා වින්දනාත්මක විදිහට සමාජයට පණිවුඩයක් දෙන්නයි උත්සහ කරන්නේ. මේ චිත්‍රපටයෙන් මම කියන්නේ, ජාවාරම්කාරයින්ට අහු වෙන්නෙ නැතුව තරුණයෙක් සාර්ථක වෙන්නෙ කොහොම ද කියන එක. නිෂ්පාදකයා මුදල් උපයා ගත්තේ කොහොම ද කියලා හොයන එක අපට කරන්න අමාරු යි." 5. දූස්රා - චන්න දේශප්‍රිය චන්න දේශප්‍රියගේ 'දූස්රා' චිත්‍රපටය සැප්තැම්බර් තෙවන දා පස්වරු 2.30ට තිරගත කෙරේ. චන්න දේශප්‍රිය මීට පෙර 'යූ-ටර්න්' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර 'දූස්රා' ඔහුගේ දෙවන චිත්‍රපටය යි. "ඈත ගමක පෙම්වතුන් යුවළක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. ගමේ ක්‍රියාත්මක කරන විශාල සංවර්ධන ව්‍යාපෘති නිසා ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් අහිමි වෙනවා. එතකොට ඒගොල්ලො අයථා විදිහට සල්ලි හොයන්න පටන් ගන්නවා. පස්සේ ඒක ඔවුන්ට ම පාරා වළල්ලක් වෙලා ඔවුන් මුහුණදෙන ගැටලු ගැන මේකෙ අන්තර්ගත වෙනවා," චිත්‍රපටයේ කතා තේමාව පැහැදිලි කරමින් චන්න දේශප්‍රිය පැවසීය. රටේ ආර්ථික කඩා වැටීමක් පැවතිය ද සිනමාව කෙරෙහි ප්‍රේක්ෂක අවධානය වර්ධනය වෙමින් පවතින බව ඔහුගේ අදහස යි. කෙසේ වෙතත්, චන්න දේශප්‍රිය පවසන්නේ මුදල් විශුද්ධිකරණය කිරීමට සිනමාව යොදා ගැනීම හොඳ ප්‍රවණතාවක් බව යි. "සිනමාව හරහා කළු සල්ලි සුදු කරන එක මේ ආසියානු කලාපයේ ම කෙරෙනවා. ඒ හරහා කළු සල්ලි සුදු වෙනවා නම්, හොඳ සිනමා නිර්මාණ බිහි වෙනවා නම් හොඳයි නේ. කළු සල්ලි සුදු කරන ඒවා හොයන්න රජයේ ආයතන තියෙනවා. අපි කරන්නේ අපේ වෘත්තිය." 6. මනල් - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' චිත්‍රපටය තිරගත කෙරෙනුයේ සැප්තැම්බර් තෙවන දා පස්වරු 6.30ට ය. රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය 'මනල්' සිනමා පටයට හිමිවිය. ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු ඔහුගේ අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි. "පශ්චාත් යුද්ධ සමයේ, ඒ කියන්නේ 2009 වසරේ දී, අත්අඩංගුවට පත්වුණ තරුණයෙක් සිරගතව ඉඳලා අවුරුදු පහකට පස්සේ එළියට එනවා. ඒක තමයි මේ නිර්මාණයේ වස්තු බීජය. ඒ තරුණයා එයාගේ නැතිවුණ ආදරවන්තියව හොයනවා. යුද්ධයේ අන්තිම කාලේ කාණ්ඩයක් අත්අඩංගුවට පත්වුණා. කාණ්ඩයක් අතුරුදන් වුණා. තව කාණ්ඩයකට යන එන මං නැති වුණා. තවත් සමහරු අවුරුදු ගාණක් තිස්සේ සරණාගත කඳවුරුවල ඉන්නවා. එහෙම අතරමං වුණ අයව හොයන කාලයක තමයි මේ කතාව දිවෙන්නේ," මනල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසීය. ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පවසන්නේ, මූල්‍යමය වශයෙන් සාර්ථක නොවන විශිෂ්ට සිනමා නිර්මාණ වෙනුවෙන් රජය යම් දායකත්වයක් දැක්විය යුතු බව ය. ඓතිහාසික සිද්ධි පාදකකර ගනිමින් නිර්මාණය කෙරෙන චිත්‍රපට හරහා කර්මාන්තයට මුදල් ගලා ඒම ද කර්මාන්තයේ පැවැත්මට අවශ්‍ය බව ඔහුගේ අදහස යි. මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහු පළ කළේ මිශ්‍ර අදහසකි. "ඒ ක්‍රියාවලිය හරි කියන්න බෑ. කළු සල්ලි සුදු කරන්න හිතාගෙන චිත්‍රපට නිෂ්පාදනය කරන්න දරන උත්සහයන් සාධාරණීකරණය කරන්න බැහැ. ඒත් ඔවුන් ගැන පියවර ගත යුත්තේ, රජය. හැබැයි පෞද්ගලිකව මම නම් මගේ නිර්මාණවලට එවැනි කූට ව්‍යාපාරිකයින් සම්බන්ධකර ගන්නෙ නෑ. මොක ද මම සිනමාකරුවෙක් විදිහට ජාවාරම්කරුවන්ට සහාය දෙන්න කැමති නෑ." |
බාර්බි චිත්‍රපටයේ රයන් ගොස්ලින්ට සැබවින් ම ඔස්කාර් සම්මානයක් දිනාගත හැකි ද? | මැටෙල් සමාගමේ නිෂ්පාදනයක් වන බාර්බි බෝනික්කා සහ ඇගේ පිරිමි සහකරු ගැන කියැවෙන, ග්‍රේටා ගර්විග්ගේ බාර්බි චිත්‍රපටයේ තේමා පාඨය ලියැවී ඇත්තේ "ඇය තමයි හැමදේ ම. ඔහු නිකම්ම කෙන්," ලෙස ය. අප්‍රේල් මස නිකුත් වූ එම තේමා පාඨය සමාජ මාධ්‍ය තුළ 'මීම්ස්' රැසක් නිර්මාණය වීමට අඩිතාලම සැපයුවේ ය. එය, 1961 වසරේ දී 'කෙන්' නම් චරිතය බිහි වූ දා සිට එතරම් වැදගත් නොවන සහාය චරිතයක් ලෙස පැවතීම යන කරුණ හාස්‍යයට ලක්කළේ ය. එහෙත්, මෙම සතියේ බාර්බි චිත්‍රපටය වෙත ප්‍රතිචාර ගලා ඒමත් සමග ඊට පරස්පර විරෝධී අදහසක් ඇති කරුණක් ඉස්මතු විය. එනම්, සැමදා සහාය නළුවා වූ ඔහු සැබවින් ම චිත්‍රපටයේ තාරකාව බවට පත් වීම ය. බාර්බිලන්තය තුළ දක්නට ලැබෙන විවිධ ආකාරයේ කෙන්ලා මධ්‍යයේ, මේ රන්වන් පැහැති හිසකෙස් ඇති "සාම්ප්‍රදායික කෙන්" ලෙස රඟ දක්වන රයන් ගොස්ලින් තරම් අන් කිසිවෙකුත් මෙතරම් අවධානයක් දිනාගෙන නොමැත. චරිතය සඳහා ඔහු මහත් කැපවීමකින් යුතුව භෞතිකව සිදු කරගෙන ඇති වෙනස්කම්වලට (බ්ලීච් කළ රන් පැහැ හිසකෙස්, ව්‍යාජ ලෙස දුඹුරු පැහැ ගන්වන ලද ඡවි වර්ණය, නියෝන් වර්ණ සහිත රෝද සපත්තු පැළඳ ගමන් කරන දර්ශන සඳහා රෝම ඉවත් කරන ලද පාද), සුදුසු ම අවස්ථාවල මතු කරන හාස්‍ය රසයට, සහ ජවසම්පන්න ලෙස ඉදිරිපත් කරන ගීත සහ නර්තන ඇතුළත් දර්ශනවලට ස්තූතිවන්ත වන්නට ගොස්ලින් ඔහුගේ රංගන දිවියේ ලද ඉහළ ම පිළිගැනීමට ලක්වී තිබේ. "හැමෝම දක්ෂ ලෙස රඟපානවා. හැබැයි ගොස්ලින්ගේ රංගනය තමයි කැපිලා පේන්නේ," කර්ස්ටන් අකූනා, ඉන්සයිඩර් වෙබ් අඩවිය වෙත ලිවීය. එම්පයර් මැගසින්හි බෙත් වෙබ් සඳහන් කරන්නේ, "මස්පිඬු ප්‍රදර්ශනය කරන හැම වාරයම, හිස කෙස් ගස්සන හැම වාරයම, ගිටාරය වයන හැම වාරයම හරියට ම කරනවා. සමහර තැන් තියෙනවා, ඔහු ඔබේ හුස්ම සොරා ගන්නවා," යනුවෙනි. චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් තිරය තුළ මෙන් ම තිරයෙන් පිට ත් ඔහු සැලකිය යුතු කැපකිරීමක් සිදු කර තිබේ. "මේ චරිතය මට හරියට ම ගැලපෙනවා. මෙහෙම කිව්වොත්, මට ඒ චරිතය කරන්න 'කෙන්-ජවය' තිබුණා. දැන් ඒ 'කෙන්-ජවය' (Ken-ergy)මේ මොහොතෙත් මා තුළ තියෙනවා," MTV පුවත් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, චිත්‍රපටය නිකුත්වීමට ආසන්නයේ දී හාස්‍යයෙන් පිරුණු තව ත් සම්මුඛ සාකච්ඡා ද ලබා දෙමිනි. 'හිම්බෝ' චරිතයට පෙරළියක් *'හිම්බෝ' යනු කඩවසම් පෙනුමක් ඇති නමුත් බුද්ධිමත් නොවන තරුණයෙකි ගොස්ලින්ගේ රංගනය සත්‍ය වශයෙන් ම, පිටපත තරමට ම විශිෂ්ඨ ය. සාමාන්‍යයෙන් කෙන්ගේ චරිතය බාර්බිගේ සරල, යටහත් පහත් සහකරු ලෙස ඉදිරිපත් කර තිබුණු නමුත්, ගර්විග් සහ ඇගේ සහකරු මෙන් ම සම-පිටපත් රචකයා ද වන නෝවා බෝම්බැක් එහි පෙරළියක් සිදු කරති: ඒ අනුව කතාවෙහි මාර්ගෝ රොබී රඟ දක්වන "සාම්ප්‍රදායික බාර්බි" චරිතය සහ ගොස්ලින් රඟ දක්වන කෙන් චරිතය 'සැබෑ ලෝකය' වෙත ගෙන එයි. එහිදී බාර්බි ඇගේ පැවැත්ම පිළිබඳ අර්බුදයකට මැදිවීමට පටන් ගන්නා අතර, කෙන් ද ඔහු තුළ ඇති අනාරක්ෂිතභාවයෙන් සහ කාංසාවෙන් පෙළෙන බව අපට වැටහෙයි. ඔහු, ඔහු සිරවී සිටින සාම්ප්‍රදායික කූඩුවෙන් ඉවතටවිත් පීතෘමූලිකත්වය යන සංකල්පය සොයා ගන්නා අතර, එවැනි සමාජ ක්‍රමයක් බාර්බිලන්තයේ ද ස්ථාපනය කිරීමට තීරණය කරයි. රොබීගේ චරිතයේ බැරෑරුම් ලක්ෂණ ඉස්මතු කරන ප්‍රහසන රංගන ශිල්පියා වෙමින්, ගොස්ලින් ඔහු ගායනයෙන් මෙන් ම නර්තනයෙන් ද Disney Mouseketeerහි චරිතයක් රඟදැක්වූ කුඩා කාලය මුළුමනින් ම වැළඳ ගන්නේ, මාර්ක් රොන්සන් සහ ඇන්ඩෲ වයට් විසින් ලියන ලද "I'm Just Ken" නම් මෘදු රොක් ගීතය ඔහුගේ හාස්‍යජනක රංගනය කැපී පෙනෙන අවස්ථාවන්ගෙන් එකක් බවට පත් කරමිනි. සුප්‍රසිද්ධ නර්තන ශිල්පී බොබ් ෆොසීගේ ශෛලියෙන් ආභාසය ලද, අනිත් කෙන්ලා සමග නර්තනයේ යෙදෙන දර්ශනය ඔහු කෙතරම් දක්ෂ ලෙස ඔහු සතු ශිල්පීය ගුණාංග පෙන්නුම් කරන අවස්ථාවකි. ඔහු එහි ඉතා තාත්විකව නර්තනයේ යෙදෙන ආකාරයෙන්, කෙන් චරිතයට ගොස්ලින් කෙතරම් කැපවීමක් කිරීමට සූදානම් ද යන්න ඉතා විනෝදජනක ලෙස සිහිපත් කරයි. ඔහු එම දර්ශනය සඳහා අවශ්‍ය කරන සියලු ම 'කෙන්-ජවය' නිසි ආකාරයෙන් වැළඳ ගනියි. ගොස්ලින්ගේ අනෙක් දක්ෂතාව නම්, කෙන් සත්‍ය ලෝකය ගැන කිසිදු අදහසක් නැති ලෙස පෙන්වන රඟ දැක්වීම්වල දී පවා ඔහුට සැබවින් ම වෛර කිරීම අපහසු වීම යි. ඔහු මොණරෙකු මෙන් ඔබමොබ සැරුවත්, ඇත්තෙන්ම ඔහු තම දුර්වලතා පිළිගැනීමට මත්තෙන්, වසර ගණනාවක් තිස්සේ බාර්බිගේ සෙවණැල්ල වී සිටීමෙන් පසු තම අනන්‍යතාව සොයා ගැනීමට වෙහෙසෙන, නොමඟ ගිය, තරමක් දුක්ඛිත සහ අනුකම්පාසහගත චරිතයකි. ගර්විග් එල්ඒ ටයිම්ස් වෙත පැවසුවේ, කෙන්ගේ ගමන්මඟ නිරූපණය කිරීමේදී ගොස්ලින් විවෘත හදවතකින් යුතුව චරිතය වැළඳ ගැනීම ගැන තමන් පැහැදුණු බව ය: "ඔහු දර්ශන තලයේ හිටපු හැම කෙනෙක්ට ම පිරිමිබව ගැන වෙනස් ආකාරයේ අවබෝධයක් ලබා දුන්නා. එතන හිටපු පිරිමි ඒකට ගොඩක් ඇලුම් කළා. මම හිතන්නේ ඒකෙන් ඒ අයට සහනයක් ලැබුණා." ගොස්ලින්ගේ රංගනය මෙතරම් සුවිශේෂී වන්නේ, ඔහු අඳුරු ස්වභාවයක් ගන්නා චිත්‍රපට හා සම්බන්ධ නළුවෙකු වීම නිසා ය; කල්පනාවෙහි ගිළුණු, විවිධ පීඩාවන්ගෙන් පසුවන චරිත රඟ දැක්වූ Drive සහ A Place Beyond the Pines චිත්‍රපට මෙන් ම, සමාජයෙන් කොන්වී විවිධ ඇබ්බැහිවීම් සමග අරගල කරන පිරිමින්ගේ චරිත ඇතුළත් Blue Valentine සහ Half Nelson ආදී චිත්‍රපට ඒවා අතර වෙයි. ඔහුට එතරම් බැරෑරුම් නොවන සැහැල්ලු චරිත සහ විනෝදාත්මක චරිත නිරූපණය කිරීමේ හැකියාව ද ඇත. රෝමාන්තික-ප්‍රහසන චිත්‍රපට වන Crazy Stupid Love සහ ගැයුම් රැඟුම්වලින් පිරි La La Landහි මෙන් ම, එතරම් ජනප්‍රිය නොවුණු ප්‍රහසන-ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Nice Guys යන චිත්‍රපට තුළ ඔහු එය ඉතා දක්ෂ ලෙස පිළිබිඹු කර තිබේ. නමුත් ඔහු කිසි දිනෙක මෙතරම් විනෝදකාමී වී නැත. හාස්‍යෝත්පාදන සිනමාව සම්මානයට පාත්‍ර වනවා ද? බාර්බිහි කෙන් ලෙස ඔහුගේ රංගනය පරිපූර්ණ හාස්‍යජනක රංගනයක් බව පෙන්වා දෙන ඇතැම් පිරිස්, මෙම චරිතය ඔහු ඇකඩමි සම්මානයක් දක්වා රැගෙන යනු ඇතැ යි දැනටමත් යෝජනා කරයි. පූර්ව තිරගත කිරීමකට සහභාගි වීමෙන් පසුව ඒ බව මුල් වරට යෝජනා කළේ ComicBook.comහි ජේමී ජිරාක් ය. ට්විටර්හි අදහස් පළ කළ ඔහු, "රයන් ගොස්ලින්ව ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ කරන්න! මම ඇත්තට ම කියන්නේ!"යි පැවසීය. British GQහි ලූසී ෆෝඩ් ද එවැනි ම අදහසක් පළ කරමින්, "අවංකව ම ඔහු ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ විය යුතු යි," යනුවෙන් ප්‍රකාශ කළා ය. ඔහුට ජයග්‍රහණය කළ හැකි යැයි සිතීම ෆැන්ටසියක් ද? ඉතිහාසය පෙන්නුම් කරන්නේ, චිත්තවේගීයව නිර්මාණය කරන ලද නාට්‍යානුසාරී සහ චරිතාපදාන චිත්‍රපටවල නළු නිළියන් සමග ඇති සටනේ දී, My Cousin Vinny චිත්‍රපටයේ මරිසා ටෝමයි සහ As Good As It Getsහි ජැක් නිකල්සන් හැරුණුකල ඔස්කාර් සම්මාන උළෙලක දී හාස්‍යෝත්පාදන චිත්‍රපටවල රංගනයෙන් දායක වන නළු නිළියන් සාර්ථක වී ඇත්තේ කලාතුරකින් බව ය. විකට චරිත වෙනුවෙන් සම්මාන දිනූ නළු නිළියන් අතරින් ගොස්ලින් වැනි හාස්‍යජනක, අතිශයෝක්තියෙන් පිරුණු සහ බුද්ධිහීන චරිත රංගනයන් ඉදිරිපත් කර ඇත්තේ ස්වල්ප දෙනෙකි. නැවතත් බාබන්හයිමර්, එනම්, එක ම දිනයේ නිකුත් වූ බාර්බි චිත්‍රපටය සහ න්‍යෂ්ටික බෝම්බය නිපදවීම ගැන කියැවෙන ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපට අතර බොක්ස් ඔෆිස් සටන ලොව පුරා අවධානයට ලක් වී තිබේ. නොඑසේ නම්, ඒ චිත්‍රපට ද්විත්වයම විවිධ අංශ ඔස්සේ නිර්දේශිත සම්මාන ලැයිස්තුවට ඇතුළුවනු ඇතැ යි ඇකඩමි සම්මාන උළෙලේ චිත්‍රපට වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන පිරිස කැමැත්තෙන් සිටිනවා විය හැකි ය. ගොස්ලින් කෙන් ලෙස "සාර්ථකව රඟපෑ බව" චිත්‍රපට විචාරක එලන් ඊ. ජෝන්ස් සිතූ නමුත්, එය ඇකඩමි සම්මාන උළෙලේ දී බලපෑමක් ඇති කරනු ඇතැ යි ඇය නොසිතයි. "රයන්ට ඔස්කාර් සම්මානයක් දිනා ගැනීමට අවස්ථාවක් ලැබේවි කියලා මම හිතන්නේ නැහැ," ඇය බීබීසී කල්චර් වෙත පවසයි. "පළමුවෙන් ම, අපි මේ ඉන්නේ පොදුවේ ලෝකයේ සමාජ වෙනස්කම්වලට අනුකූලව සම්මාන උළෙලවල් ප්‍රතිසංස්කරණයට ලක් වන යුගයක වුණ ත්, මෙම උළෙලවලින් අවසානයටම ඉවත්වෙනවා ඇත්තේ ඒවායේ තියෙන නීරස ස්වයං-බැරෑරුම්කම කියල මම විශ්වාස කරනවා... ඒ හේතුව නිසා, ගොස්ලින්ගේ අතිශය සාර්ථක හාස්‍යෝත්පාදක ඉදිරිපත් කිරීම ඇගයීමට ලක් නොවන්න ඉඩ තියෙනවා." එමෙන් ම ඇය පෙන්වා දෙන්නේ, "ස්ත්‍රීවාදී චිත්‍රපටයක් සඳහා පිරිමියෙකුට සම්මානයක් ලබා දීමට තරම් දෘෂ්ඨියක් නොමැති" බව ය. ඒ කෙසේ වෙතත්, ගොස්ලින් නිසැකව ම කෙන් චරිතය හරහා හොලිවුඩයේ වඩාත් ම බහුනිපුණතා ඇති නළුවෙකු ලෙස තම ස්ථානය ස්ථාවර කිරීමට සමත් වී ඇත. ඔස්කාර් සම්මානයක් ලැබුණත් නැතත්, බාර්බිහි ඔහුගේ පැස්ටල් පැහැති ලොම් කබාය මුදුනේ ඇති තේමා පාඨය නැවත ලියමින් මෙසේ පැවසිය හැකි ය: ඔහු නළුවෙකු ලෙස ඕනෑවටත් වඩා හොඳ ය. |
මෙතෙක් ඉන්දීය සිනමාවේ නිෂ්පාදිත වැඩිම කම්පනයක් ඇතිකරන චිත්‍රපටය 'අග්‍රා' ද? | ඉතිහාසය පුරා රිදී තිරය මත ලිංගික දර්ශන නොව සිපගැනීමේ දර්ශන පවා පෙන්වීමට ඉඩ නොදුන් ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමා නිර්මාණයන් නිසා, බොලිවුඩ් සිනමාව එහි සිංදු හා නර්තනයන් නිසා ප්‍රසිද්ධවන තරමටම එහි 'නිර්මලත්වය' නිසා ද ලොව පුරා ප්‍රසිද්ධියක් දිනා තිබේ. ඇත්තෙන්ම, පසුගිය සියවසේ බොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට රැඟුම් පාලක වාරණයන්ගේ අප්‍රසාදිත රැවුමෙන් ගැලවෙන අන්දමට ලිංගිකත්වය නිරූපණය කිරීමේ ක්‍රමයන් සොයාගැනුමට සිදුව ඇත - මීට උදාහරණයක් ලෙස, සුදු සාරියකින් සැරසුණු ලැජ්ජාශීලී නිළියක වතුර මලක් හරහා දුවන දිගු නර්තනාංගයක් දැක්විය හැකි ය. නමුත්, සමස්ත ඉන්දීය සිනමාව ඉතාමත්ම අවිහිංසක හා නිර්මලයැ යි සිතා සිටි සැවොම මේ වසරේ කෑන්ස් සිනමා උළෙලේ දී මහත් පුදුමයට පත්වූහ. මැයි 25 දා 'ඩිරෙක්ටර්ස් ෆෝට්නයිට්' අංශයේ දී ප්‍රදර්ශනය කෙරුණු අධ්‍යක්ෂක කානු බේල්ගේ 'අග්‍රා' චිත්‍රපටය, ලිංගිකව යටපත් කළ ඉන්දීය පිරිමි දෙස සෘජු හා මහත් කම්පනයක් ඇති කරන බැල්මක් හෙළන, නිරුවත හා පැහැදිලි ලිංගික දර්ශනවලින් පිරුණු නිර්මාණයකි. එසේම එය අඩු කතාබහට ලක්වන අන්දමේ අතික්‍රමණශීලී, විකල්ප ඉන්දියානු සිනමා නිර්මාණ පෙළකට එකතුවන නවතම චිත්‍රපටය යි. අධ්‍යක්ෂක බේල් පවසන පරිදි: "ඉන්දියාව ඇතුළෙ මහා ගොඩක් චිත්‍රපටි හැදෙනවා. ඒ වගේම එතන බෙදී ගිය පෞරුෂයක් තියෙනවා, හරියට ඉන්දියානු සිනමාව ගැන එකිනෙකට වෙනස් අදහස් දෙකක් තියෙනවා වගෙ. එතන තියෙනවා, ගොඩක් මිනිස්සු දන්නා ඉන්දියානු සිනමාවෙ ප්‍රසිද්ධ බොලිවුඩ් ආකෘතිය; අනිත් අතින්, දැනට හෝ පහුගිය අවුරුදු පහ දහය ඇතුළෙ නෙවේ, දශක ගණනාවක් තිස්සේ ගොඩක් සිත්ගන්නාසුළු චිත්‍රපටි හදලා තියෙන ඊට සමාන්තර නිදහස් ඉන්දියානු සිනමා ලෝකය තියෙනවා.” අග්‍රා අපට පවසන්නේ, කුඩා නිවෙසක ඔහුගේ දෙමාපියන් හා විවාහක සොයුරු සොයුරියන් ද සමග ජීවත් වෙන, ලිංගිකව යටපත්ව වෙසෙන 'ගුරු' නම් ඇමතුම් මධ්‍යස්ථාන සේවකයෙකුගේ කතාව යි. ඔහුගේ කුඩා තදබද නිවෙසේ දී පවුලේ කිසිවෙකුගේ දැනගැනීමට සහ විවේචනවලට පත්‍ර නොවී සහකාරියක සොයාගන්නට හෝ ලිංගික දිවියක් ගත කරන්නට නොහැකි හෙයින්, නිවෙසට යාකොට නව අංගනයක් ගොඩනැගීමට ඔහුට අවශ්‍යවෙයි. දැඩි ඉච්ඡාභංගයට පත්ව සිටින ගුරු, පෙම් සබඳතා ගොඩනගා ගැනීම සඳහා නිපදවා ඇති ඇප්වලට ඇබ්බැහිවී, ප්‍රචණ්ඩකාරී ලිංගික ෆැන්ටසි මාලාවක් ක්‍රියාවට නංවමින් දවස ගෙවන නමුත්, මේවා සත්‍ය සිදුවීම් ද, නැතහොත් ගුරුගේ පරිකල්පනයේ අංගයන්දැ යි අධ්‍යක්ෂක බේල් පැහැදිලි නොකරයි. ගුරුගේ ග්‍රස්තීන් හා මායා විශ්වාසයන් සත්‍යය හා ප්‍රබන්ධය බොඳකර දක්වන ආකාරය තුළ, 'ඇමෙරිකන් සයිකෝ' චිත්‍රපටයේ පැට්‍රික් බෙට්මන්ගේ යම් ලක්ෂණ අපට පෙනෙයි. එඩිතර චිත්‍රපටයක් වන මෙහි පළමු ලිංගික දර්ශනය අවසන්වන්නේ කාන්තාවක් විශාල මීයෙකුබවට හැරෙන දර්ශනයකින් වන අතර, ගුරු ෆැන්ටසිකරුවෙකුබව අපට වැටහීම ඇරඹෙයි. මෙම දර්ශනය යම් විකාරසහගතබවක් දැරුවත්, ගුරුගේ වඩාත් කුපිත සහ ප්‍රචණ්ඩ ෆැන්ටසීන් පෙන්වීමට බේල් පසුබට නොවෙයි. මේ ඉන්දියානු අධ්‍යක්ෂකවරයා, කාන්තාවන් යටපත්කර තම පුරුෂත්වයේ බලය තහවුරුකර ගන්නට සිහින මවන [මානසිකව] ඉතා රෝගී මනුෂ්‍යයෙකුගේ දරුණු මනස තුළට නරඹන්නා ගෙනයෑමට දරන ප්‍රයත්නය කම්පනය ගෙන එන අතර, ඇතැම්විට නැරඹීමට පවා අපහසු ය. "මේ චිත්‍රපටිය, හැමෝගෙම ජීවිතේ තියෙන නමුත් කවුරුවත් කතා නොකරන විධියෙ යම් යම් රහසිගත අවකාශයන් දිහා බලනවා," 42-හැවිරිදි අධ්‍යක්ෂකවරයා පවසයි. "උතුරු ඉන්දියාවේ කොල්ලෙක් විදියට හැදී වැඩෙද්දී මට දැනිච්ච ලිංගිකව මැඬපවත්වපු ගතියක් දැනුනා. මට විතරක් නෙවේ, ලිංගික මේරීම ප්‍රමාද වෙච්ච නිසා දුෂ්කරතාවන්ට පත්වෙච්ච ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා," බේල් වැඩිදුරටත් කියයි. බේල්ගේ චිත්‍රපටයෙන් ලිංගික මැඬපැවැත්වීම යන ගැටලුව අධ්‍යයනය කරන අතර, ඉන්දියාවේ විශේෂයෙන්ම ඉහළ ලිංගික ප්‍රචණ්ඩත්ව අනුපාතිකයන් සමග එහි සම්බන්ධයක් ඇතිබවට යෝජනා කරයි. චිත්‍රපටයෙන් ඉන්දියාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය යන පුළුල් චිත්‍රය දෙස නොබැලුවත්, එහි යටිපෙළවන්නේ, 2021 වසරේ ගාඩියන් වාර්තාවක් මඟින් යෝජනා කළ පරිදි ඉන්දියාව "කාන්තාවකට ජීවත්වීමට භයානකම ස්ථානයක්" බවට පත්වීමට පිරිමින්ගේ ලිංගික නොමේරූභාවය ද බලපා ඇති බවයි. 2012 දී දිල්ලියේ බස් රියක් තුළ දී ශිෂ්‍යාවක් ම්ලේච්ඡ ලෙස සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධිය, ඉහළ ලිංගික ප්‍රචණ්ඩත්ව අනුපාතිකයන් ලෝකයේ අවධානයට යොමුවන බවට වගබලා ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු පාර්ලිමේන්තුව ලිංගික අපරාධයන් සඳහා වඩාත් දැඩි දඬුවම් හඳුන්වාදුන් නමුත්, එයින් අපරාධ අනුපාතිකයන්හි විශාල වෙනසක් සිදුව නැත. වාර්තාවන දූෂණ සංඛ්‍යාව ඉහළගොස් ඇති අතර, තවත් බොහෝ දෙනා නීතිය ඉදිරියට පැමිණීමට බියෙන් පසුවෙති. එක් 'රෝගී' මිනිසෙකුගේ කතාව හරහා මේ අඳුරු විෂයය ආවර්ජනය කිරීමේ දී, බේල් සිතා හෝ නොසිතා නිර්මාණයකර ඇත්තේ බොහෝ තහංචි බිඳ දමන චිත්‍රපටයකි. "මම තහංචි බිඳින්න බලාගෙන නෙවේ මේක පටන්ගත්තෙ, ඒත් මේකෙ විෂය නිසා මට එහෙම කරන්න සිද්ධවුණා," ඔහු පවසයි. ඉන්දියාවේ ලිංගික චාරිත්‍රධර්ම හා ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සම්පූර්ණ ගැටලුවම බේල් ප්‍රවේසමෙන් මුහුණපෑ යුතු විෂයයක්විය. කතාවේ ඔහුගේ පළමු පිටපතෙහි සෘජු ලිංගික දර්ශන නොවීය. සිනමාකරුවන් සඳහා වන 'ත්‍රී රිවර්ස් රෙසිඩන්සි' වැඩසටහනට සහභාගීවී සිටිය දී, ගුරුගේ ලිංගික මැඬපැවැත්වීම ඔහුගේ ශාරීරික ආශාවන් කොපමණ විකෘතිකර ඇති ද යන්න ප්‍රේක්ෂකයාට වටහාගැනීමට හැකිවනු පිණිස, කතාවේ අවලක්ෂණ සහ අඳුරු පැත්ත දෘශ්‍යමාන කළ යුතු බව ඔහුට පවසනු ලැබිණි. "උපදේශකවරයා මගෙ පිටපත කියවලා ඇහුවා ඇයි මං මේ ෆිල්ම් එක හදන්නෙ කියලා. එතකොට මං කිව්වා මට ඉන්දියාවේ ලිංගික මර්දනය සහ ශාරීරික අවකාශයන් ගැන කතාබහ කරන්න ඕන කියලා. උපදේශකවරයා එතකොට කිව්වා, එහෙනම් ඇයි ඔයා ඒක කරන්නේ නැත්තෙ? ඔයාට ඒක ඇත්තටම කරන්න ඕන නම්, ඒක බාගෙට දමලා ගහලා දාන්න බෑ කියලා. එදා රෑ මං තීරණය කළා, විරුද්ධ ලිංගිකයන් එක්ක හැසිරෙන්න දන්නෙ නැති අන්ත අසරණයෙක් ගැන ෆිල්ම් එකක් කරනවා කියලා. එහෙම කට්ටිය නිවට, අනපේක්ෂිත විදියට හැසිරෙන හැටි මට පෙන්නන්න සිද්ධවුණා." ඉන්දීය සිනමාවේ ජානය බේල් ගමන් කරන්නේ කදිම මඟක ය - මන්ද, ඉන්දියානු සිනමාවේ අඳුරු පැත්ත සැමදා පැවතුනේයැ යි, බර්ලින් චිත්‍රපට උළෙල සඳහා ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ නියෝජිතවරියක ද, ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් උපදේශිකාවක ද, මෙවසරේ කෑන්ස් උළෙලේ 'ක්‍රිටික්ස් වීක්' ජූරියේ සභිකාවක ද වූ මීනාක්ෂි ෂෙඩ් පවසන්නී ය. "අපට හැමවිටම ප්‍රබල අතික්‍රමණ ජානයක් තිබිලා තියෙනවා. ඒක ප්‍රබල ලෙස ඉස්මතුවෙලා නැතත්, ඒක පටන්ගැන්මේ ඉඳන්ම ඉන්දීය සිනමාවේ DNAවල තිබිලා තියෙනවා. සිනමාවේ ආරම්භයේ දී අතික්‍රමණශීලී පුද්ගලයින් විතරක් චිත්‍රපටි හදපු ගොඩක් සංස්කෘතීන්වල මේක බොහෝවිට සුලබවෙන්න පුළුවන්. ඉන්දියාවේදි චිත්‍රපටවල සම්බන්ධ වෙලා වැඩ කරන එක දුරාචාරවත් දෙයක් විදියට සැලකුණු නිසා, ඉන්දියාවේ දී එහෙම කළේ පහත් කුලවල අය, ආන්තික ජන කොටස් සහ සංක්‍රමණිකයෝ." ඉන්දීය සිනමාවේ පළමු දිගු චිත්‍රපටය ලෙස නිතර සැලකෙන 1913 වසරේ 'රාජා හරිස්චන්ද්‍ර' චිත්‍රපටය, ඉන්දියාව තුළ සිනමාව ජනප්‍රියත්වයට පත් කළේ ය. නමුත් කලාවන් අතර සත්වැනි කලාවට එසමයේ දී ලබා දී තිබුණේ කෙතරම් පහත අගයක් ද යත්, ප්‍රධාන නිළි චරිතය සඳහා පිරිමියෙකු යෙදවීමට චිත්‍රපටයේ අධ්‍යක්ෂක දාදාසාහිබ් ෆල්කේට සිදුවිය. චිත්‍රපට කර්මාන්තයේ නියැලීමම පවා අතික්‍රමණශීලී ක්‍රියාවක්විය. "ඒ [අතික්‍රමණශීලී] රැල්ල දිගටම පැවතිලා, 1950 ගණන්වල දී වේගය වැඩිකර ගෙන [බෙංගාලයේ සිනෙමා ව්‍යාපාරයක් වූ] සමාන්තර සිනමාව එක්ක 1970 ගණන්වලට පිවිසුනා. අපි සත්‍යජිත් රායිගේ ෆිල්ම්ස් දිහා බැලුවොත්, උදාහරණයක් විදියට, පාතෙර් පංචාලි (මාවතේ ගීතය) හැදුවේ 1955 දී. ම්රිනාල් සේන්, රිත්වික් ඝටක් වගේ ඔහුගේ සමකාලීනයෝ සහ සම්භාවනීය සහෘද කලාකාරයෝ ඒ කාලේ සිද්ධවෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරපු ඉතාම අතික්‍රමණශීලී, දේශපාලනික චිත්‍රපට නිර්මාණය කළා." නමුත් දිගු කලක් තිස්සේ ඉන්දීය සිනමාවේ එම ස්වාධීන රැල්ල සොයාගැනීම, විශේෂයෙන්ම ඉන්දියාවෙන් පිටත දී එය සොයාගැනීම දුෂ්කරවිය. ඉන්දියාවෙන් පිටතට ගමන් කළේ, සම්ප්‍රදායික "මසාලා" සූත්‍රය වූ ප්‍රේමය, ගීත හා සතුටුදායක අවසානයන් සහිත ප්‍රධාන ධාරාවේ බොලිවුඩ් චිත්‍රපට පමණි. 1990 ගණන් වන විට, චිත්‍රපට නිෂ්පාදනයේ වියදම ඉහළයෑමත්, බොලිවුඩය වේගයෙන් වැඩෙමින්, විදේශයන්හි ඉන්දීය-නොවන වෙළඳපොළේ ඉඩකඩ අත්පත්කර ගැනීමත් නිසාවෙන් විකල්ප ඉන්දීය සිනමා ව්‍යාපාරය බොහෝදුරට අතුරුදන්විය. ආර්ථික යථාර්ථයන් විසින්, ප්‍රධාන ධාරාවේ හින්දි සිනමාව හැර අන් කිසිවක් නිකුත් කිරීමට ඉන්දියානු ප්‍රදර්ශකයින් තුළවූ ආශාව අඩුකර දැමුණි. කෙසේ වෙතත්, 21 වැනි සියවසේ ඩිජිටල් තාක්ෂණය හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනයේ පිරිවැය අඩුවීම හේතුවෙන් පසුගිය වසරවල දී ස්වාධින ඉන්දීය සිනමාව පුනර්ජීවනයක් ලබමින්, ශොනාලි බෝස් හා අනුරාග් කාශ්‍යප් වැනි සිනමාකරුවෝ ප්‍රසිද්ධියට පත්වෙමින් සිටිති. වාරණය ද ලිහිල්වී ඇති හෙයින් සිනමාවට නැගෙන මාතෘකා පුළුල්වී තිබෙන අතර, සිත් කරදර කරවන දේශපාලන ඉතිහාසයන් සහ LGBTQ අයිතීන් වැනි සමාජ ව්‍යාපාරයන් දෙස අවධානය යොමුකරන චිත්‍රපට නිර්මාණය වෙමින් පවතියි. බර්ලින් සහ කෑන්ස් වැනි සිනමා උළෙලවල් මෙම චිත්‍රපටයන්ට ප්‍රේක්ෂකාගාරය සපයයි. ඉන්දියාවේ සත්‍ය පොලිස් දූෂණය මත පදනම්වූබව කියන, නියෝ නොවා සම්ප්‍රදායට අයත් කාශ්‍යප්ගේ නව සිනමා නිර්මාණය වන 'කෙනඩි', කෑන්ස් සිනමා උළෙලේ දී සීමා මායිම් හා ගැටෙන සිනමා නිර්මාණයන් සමරන 'මිඩ්නයිට් සෙක්ෂන්' අංශය හරහා ප්‍රදර්ශනය කෙරිණි. ඉන්දීය සිනමාවේ මෙම රැල්ල ලොව පුරාවෙන් පැමිණෙන විචාරක ප්‍රශංසාවන්ට ලක්වීම දැන් දැන් වැඩි වැඩියෙන් සිදුවෙයි. එසේම, එය ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමාවට ද බලපෑමක් ඇතිකරමින්, ඔවුන්ගේ චිත්‍රපට ප්‍රේක්ෂකාගාරයේ රසයට වඩාත් ගැලපෙන ලෙස අනුවර්තනය වන අයුරින්, ඒවා නිර්මලත්වයෙන් අඩු, වඩාත් නිර්භීත විෂයයන් ආවරණය කරන නිර්මාණබවට පත්කරන්නට චිත්‍රාගාරයන්ට සිදුව තිබේ. "මේ නිසා බොලිවුඩ්වල 'මසාලා' පන්නයේ නිර්මාණකරුවෝ වඩාත් කාලීන මාතෘකා වඩාත් යථාර්ථවාදී ආකාරයෙන් පෙන්වන තැනට පත්වෙලා ඉන්නවා,"යි පවසන ෂෙඩ්, අනෙක් අතට ස්වාධීන සිනමාවේ යෙදුනු නිර්මාණකරුවන් ද දැන් "වඩාත් විශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවෙන්න නැටුම්-ගැයුම් වැළඳගනිමින්" සිටිනබව ද පෙන්වා දෙන්නී ය. ඉන්දීය සිනමාව ආක්‍රමණය කළ බොලිවුඩයට වඩා ඉන්දීය සිනමාවේ අතික්‍රමණශීලී මූලයන් සමග වඩාත් සම්බන්ධ සාරවත්, විවිධත්වයෙන් යුත්, මතවාදීමය සාකච්ඡාවන් ඇති කරන අන්දමේ සමයකට සිනමාව පිවිසෙනු ඇතැ යි අපේක්ෂා ඇති කරන, ඉන්දීය සිනමාව සඳහා උද්යෝගීමත් යුගයකි මේ. ගැස්පා නෝ, ජැක් ස්මිත් හා කෙනත් ඇන්ගර් (මැයි මස දී මියගියේ ය) වැනි සිනමාකරුවන්ගේ මතවාදීමය සාකච්ඡාවන් ඇති කරන, ඇතැම්විට නැරඹීමට ද දුෂ්කර අන්දමේ නිර්මාණ මෙන් මේ චිත්‍රපට ද සමාජය වෙත කැඩපතක් දිගුකරයි. අග්‍රා ද මේ අච්චුවට සරිලන්නකි. බේල් කෙතරම් සාර්ථක අයුරින් අප ගුරුගේ චෛතන්‍යය වෙත ගෙන යන්නේ ද යත්, ඔහුගේ චිත්‍රපටය පිළිකුල් කටයුතු යමකට හැරෙමින්, අපගේ සංඥාවන්ට පහරදෙමින්, අප තුළ අප්‍රසන්න අන්තරංග ප්‍රතික්‍රියාවක් ඇතිකරයි. මුදල් පොළියට දීම ඇතුළත් කිරීම සඳහා චිත්‍රපටයේ කතා වස්තුව පුළුල් කෙරෙන විට ද යථාර්ථය හා ප්‍රබන්ධය අතර වෙනස හඳුනාගැනීම අසීරු වන අතර, මෙය ඇතැමුන්ට දැඩි නොසන්සුන්බවක් ද, තවෙකුන්ට ව්‍යාකූලත්වයක් ද ඇති කිරීමට හැකි ය. නමුත් බේල්ගේ නිර්මාණයේ විශිෂ්ටතම ගුණය නම්, එය ඉන්දියාව තුළ විශාලතම නමුත් අඩුවෙන්ම කතාබහට ලක්වූ විෂයයන් නීරසභාවයකින් තොරව ඉදිරිපත් කිරීමට සමත්වීම යි. තව තවත් ඉන්දීය සිනමා නිර්මාණයන් එතරම්ම කුපිත කරවනසුළු හා කලාත්මක අතින් එඩිතර නිර්මාණයන් වේවා! |
නතාෂා එදිරිසූරිය:‘ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද?’ | නතාෂාට මහාධිකරණයෙන් ඇප රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (ජූලි 5 වැනිදා ) නියෝග කළේය. ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් නියෝගය නිකුත් කරනු ලැබීය. ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය. පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවති "මෝඩාභිමානය" නැමැති වැඩ සටහනකදී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත් ඇය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව සඳහන් කළේය. ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් බවත් ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදු දහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. "ස්වාමීනී.. මෙම තැනැත්තිය "මෝඩාභිමානය" වැඩ සටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා"යනුවෙන් සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණයට කිසියම් ලේඛණයක් ද ඉදිරිපත් කළේය. යූටියුබ් වීඩියෝ වලින් අදායම් ඉපයීම නීතිවීරෝධී යැයි නීතියක් තිබේද? ලේඛනය පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා" ඕනම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවන්. ඒ තුළින් උපයාගන්නා ආදායම නීතිවිරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද? " යනුවෙන් විනිසුරුවරයා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ එසේ මුදල් උපයා ගැනීම නීති විරෝධී නොවන බවය. මෙම පුද්ගලයින් ද්වේශ සහගත තොරතුරු ඇතුළත් වීඩියෝ යූ ටියුබ් නාලිකාව මුදා හැර මුදල් උපයා ගන්නා බව සඳහන් කිරීම සඳහා තමා මෙම ලේඛනය ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. ‘ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද?’ මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඇමතූ විනිසුරුවරයා " මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? යම් යම් ප්‍රකාශ වලින් විවිධ පුද්ගලයින්ගේ හා ජන කණ්ඩායම් වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුලත් කරන්න බැහැ. " යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා බුදුරජාණන් වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනාකර ඇති බවත් සඳහන් කර සිටියේය. අනතුරුව විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ "එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා විසින්. එසේ ඉදිරිපත් කරමින් එම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් කිරීම සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත තුළ අන්තර්ගත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගෙන නොමැති අයිතිවාසිකම් මෙරට තුළ තහවුරු කිරීම සඳහා තමයි අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකය සම්මත කළේ. ඉතින් ඒ පනත් කෙටුම්පතේ 3 (1) වගන්තියේ සඳහන් වෙනවා "වෛරී ප්‍රකාශ" පිළිබඳව. මේ වෛරය ප්‍රකාශය මොනවාද? යන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ වෛරී ප්‍රකාශ පිළිබඳ වැඩ සටහනේ සඳහන් වෙනවා. එක්සත් ජාතීන්ගේ නිර්ණායකයට අනුව වෛරී ප්‍රකාශ වර්ග තුනක් තිබෙනවා. සමූල ඝාතන පිළිබඳ වෛරී ප්‍රකාශ, මධ්‍යම මට්ටමේ වෛරය ප්‍රකාශ සහ හුදු නඩු පැවරීම් වලට හේතු වන වෛරී ප්‍රකාශ. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් "වෛරී ප්‍රකාශ" යන්න අර්ථකථනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක සමඟයි. එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් "වෛරී ප්‍රකාශ" යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මෙරටට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම. ඊට පටහැනිව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළහොත් ව්‍යවස්ථාදායකයේ අරමුණු බිඳ වැටෙන්න පුළුවන්" යනුවෙන් විනිසුරුවරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව දැනටමත් තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක් සිටින රටක් බවය. මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක්ද මතු වීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතන වලට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය. කෙසේවෙතත් සැකකාරියක් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය. ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය. ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියේය. බෲනෝට ඇප බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි SL Vlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමටත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (ජුනි 21වැනිදා) නියෝග කළේය. ඒ අනුව බෲනෝ දිවාකර රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 02ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර සිටියේය. එහිදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරිය ජුලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය ඇප දෙන ලෙසට ඉල්ලීමක්... සැකකාර නටාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න (ජුනි 7වැනිදා) අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මාගේ සේවාදායිකාව කළ ප්‍රකාශයක් නිසා බෞද්ධයින් කලබලයට පත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙවැනි සිද්ධීන් වලින් බෞද්ධයින් කවදාවත් කලබලයට පත් වෙන්නේ නෑ. මෙවැනි ප්‍රකාශ නිසා බෞද්ධයින් කවදාවත් වෛරය පතුරු වන්නෙත් නෑ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුණ තමයි බෞද්ධයාගේ මූලික පදනම. ඒ නිසා මාගේ සේවාදායිකාවගේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගන්න බැහැ.” ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ, “මෙම ප්‍රකාශය අප්‍රේල් මස පළමු වැනිදා "මෝඩාභිමානය" නැමැති වැඩසටහනක දී සිදුකරන ලද්දක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කරමින් සඳහන් කර තිබෙනවා තමන් වහන්සේ කියන දෙයක් පවා එකවරම පිළිගන්න එපා කියලා. හොඳට හොයලා බලලා පිළිගන්න කියලයි උන්වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. මේ සැකකාරිය සිදු කළ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේට හෝ බෞද්ධ දර්ශනයට අපහාසයක් සිදුවී නෑ. එම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීමක් ඇති වෙලත් නෑ. ඒ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යන්න බැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න තම සේවාදායිකාව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. සැකකාර බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත 3(1) වගන්තිය යටතේ මාගේ සේවාදායකයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා. 3 (1) වගන්තිය යටතේ යුද්ධය පැතිරවීම, ප්‍රචණ්ඩ ක්‍රියා වලට පෙළඹීම් සිදුකිරීම, ජාතීන් හා ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට අනුබල දීම වැනි කටයුතු ඇතුළත් වෙනවා. එහෙත් මෙම ප්‍රකාශය අන්තර්ජාලයට උඩුගත කරා කියලා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් උද්වෙගත වෙලා නෑ. යුද්ධය පැතිරවීමක් සිදුවෙලාත් නැහැ. එසේ නම් මාගේ සේවාදායකයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අත්අඩංගුවට ගන්නේ කොහොමද?”ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය. “බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී "චිංචිමානවිකාව" පැමිණ උන් වහන්සේට අපහාස කළා. මෙම සිද්ධියට පාදක වන ප්‍රකාශයට වඩා දරුණු අපහාසයක් තමයි එදා සිදු වුණේ. එම අපහසයට එරෙහිව බුදුරජාණන් වහන්සේ කැළඹුණේ නැහැ. පැමිණිලි කළෙත් නැහැ. ඇක්ෂන් ගන්න කියලා උන් වහන්සේ එදා ආණ්ඩුවට කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍යය ජයගන්නා බව දැන සිටියා. ඒ නිසා එවැනි පියවරවල් වලට උන්වහන්සේ ගමන් කළේ නැහැ. බෞද්ධයින් තුළ තාදි ගුණය තිබිය යුතුයි. නොසැලෙන ගුණය තිබිය යුතුයි. නියම බෞද්ධයා අටලෝ දහමින් සැලෙන්නේ නැහැ. මෙම නඩුවට පාදක වන ප්‍රකාශයේ බරපතළ භාවය වටහා ගෙන මාගේ සේවාදායකයා පසුව එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන තිබෙනවා. සමාව ඉල්ලීමක් කර තිබෙනවා. එසේනම් මේ ආකාරයෙන් පියවර ගන්නේ ඇයි? නියම බෞද්ධයින් මේවා ක්‍රියා කරන්නේ නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. “හැමෝම රහත් වෙලා නැහැ” මෙහිදී පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් සම්බන්ධයෙන් මත පළ කරන්න පුළුවන්. ඒත් අපහාස කරන්න බැහැ. මෙම සැකකාරියගේ ප්‍රකාශයෙන් බුදුදහමට දැඩි අපහාසයක් සිදුවී තිබෙනවා. බුදු දහම කියන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සුරක්ෂිත කොට පෝෂණය කර තිබෙන ධර්මයක්. ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධ බව ඇත්ත. ඒත් ඒ හැමෝම රහත් වෙලා නැහැ. මෙම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීම් ඇති වෙන්න පුළුවන්. මිනීමැරීම් වැනි අනතුරු පවා ඇතිවීමට හැකියාව තිබෙනවා"යනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ පැවසීය. සිංහල රාවය සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇතැම් පුද්ගලයින් මාධ්‍ය සංදර්ශන පවත්වා ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට බලපෑමක් කර ඇති බව අවධාරණය කළේය. " ස්වාමීනී.. මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විදර්ශන කන්නන්ගර, තරිඳු ජයවර්ධන, ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. මේක කෙලින්ම අධිකරණයට කරපු බලපෑමක්. අධිකරණයේ ස්වාධීනත්වයට කරපු අපහාසයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතුයි" යනුවෙන් ඉල්ලීමක් කළ එම නීතිඥවරයා අදාළ ප්‍රකාශ අඩංගු වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට (ජුනි 7වැනිදා) නියෝග කරනු ලැබීය. ඉන් අනතුරුව ඇප ඉල්ලීම් වලට අදාල ලිඛිත දේශන සහ ඊට අදාළ විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය (ජුනි 21 වැනිදා) වැනිදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළේය. ICCPR පනතට යටතේ විමර්ශන ඒ අනුව මෙම සැකකරු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ මීට ප අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතු මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකරු ආධාර අනුබල දීමක් කළ බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් වී තිබේ දැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාවට එම ප්‍රකාශය කිරීම සඳහා පහසුකම් සැලසීම, මහජනතාව රැස්කිරීම, වේදිකාව තනා දීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය. අදාල අපහාසාත්මක ප්‍රකාශ අඩංගු වීඩියෝ පටය මෙම සැකකරුට අයත් කලම්බු කොමඩි සෙන්ට්‍රල් නැමැති youtube නාලිකාවේ පළකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ අපහාසාත්මක ප්‍රකාශය කිරීමට සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි බව පැවසීය. යම්කිසි ප්‍රකාශයක් අන්තර්ජාලයට යොමු කළ පමණින් ඔහු අපරාධයකට ආධාර අනුබල දීමක් කළ බවට චෝදනා නගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ නීතිඥ වේරගොඩ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ තම සේවාදායකයාට එල්ල කර තිබෙන චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවත් තර්ක කළේය. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ සඳහන් කර තිබෙන්නේ රජය අපහසුතාවට පත් කිරීමේ චෝදනාව යැයි සඳහන් කළ නීතිඥ වේරගොඩ, මෙම නඩුවට පාදක වන ප්‍රකාශය තුළින් රජය අපහසුතාවයකට පත් වීමක් නොවන බවත් එය පදනම් විරහිත බවත් සඳහන් කර සිටියේය. එමෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(2) වගන්තිය ප්‍රකාරව යම් වරදකට ආධාර අනුබලදීම නැමැති චෝදනාව ඉදිරිපත් කළ නොහැකි බවත් තම සේවාදායකයා ඇපමත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරයා අමතමින් "ඕනෑම ප්‍රකාශයක් අන්තර්ජාලයට උඩුගත කරන්න පුළුවන්. නමුත් උඩුගත කරන ප්‍රකාශයකින් ප්‍රශ්නයක් මතුවන බව කලින් පෙනෙන්නට තිබෙනවා නම් ඒවා නොකර හිටියාම ඉවරයි." යනුවෙන් සඳහන් කළේය. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර බෲනෝ දිවාකර (ජුනි 7 වැනිදා) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කර සිටියේය. CID අත්අඩංගුවට ‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය. බෲනෝ දිවාකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත (මැයි 31වැනිදා) පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. පැය 08 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. ‘ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි’ මේ අතර ප්‍රහසන ශිල්පී නතාෂා එදිරිසුරිගේ ඉදිරිපත් කිරීම ඇතුලත් වීඩියෝ පටය මුදාහරින ලද SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර මීට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ යම් ප්‍රකාශයක් කර ඇති නම් එහි වගකීම භාර ගත යුත්තේ එය සිදුකළ පුද්ගලය බවය. "එය පළකිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. එහි කාලය සම්බන්ධයෙන් ලොකු අත්වැරදීමක් සිද්ධ වුනා. ඒ සම්බන්ධයෙන් අවංකවම අපි කණගාටුව පළ කරලා වීඩියෝවක් දැම්මේ ඒ නිසයි. එය අතිශයින්ම වැරදි තීන්දුවක්." "මෙහෙමයි, මම මෙතන ප්‍රෙස් එකක් තියලා ඔයා කොහේ හරි එකක දැම්මාම ඒ කරන ප්‍රකාශයේ වගකීම තියෙන්නේ මගේ නේ. ඒ ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි. මම ප්ලැට්ෆෝම් එකක් විදිහට ඒ කන්ටෙන්ට් බ්‍රෝඩ්කාස්ට් කරනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපේ එක ඇතුලේ ඕනෑම එකක් කරන්න ඉඩ තියෙනවා කියලා. එතකොට කන්ටෙන්ට් එකේ වගකීම පැහැදිලිවම තියෙන්නේ මොකක් හරි ප්‍රකාශයක් කරනවා නම් එය කරන කෙනා සතුවයි." ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය. නතාෂා එදිරිසූරිය වහා නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියයි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය වහාම නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරයි. ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම සංවිධානයේ අවධානය යොමුවී ඇති බවය. ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය යනු, ගැඹුරු අහිතකර ප්‍රකාශ ඇතුළුව සියලු වර්ගවල තොරතුරු සහ අදහස් ඊට අදාළ වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කිරීමට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් සියලුම නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් සුළු ජාතීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අසාධාරණ ලෙස සීමා කිරීම්වලට තුඩු නොදෙන පරිදි, කෙටුම්පත් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහතික විය යුතු බවද එම සංවිධානය අවධාරණය කළේය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ, ‘දේශීය නීති පද්ධතියට ICCPR හඳුන්වා දීමේදී ICCPR පනතේ 3(1) වගන්තිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට වරින් වර භාවිතා කර’ ඇති බවය. වෙනස් කොට සැලකීම, ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකම උසිගැන්වීමක් ලෙස වෛරී ප්‍රකාශ එමගින් තහනම් කරයි. වෛරී ප්‍රකාශ යනු කිසියම් කණ්ඩායමක සාමාජිකයන් කෙරෙහි ද්වේශ සහගත අදහස් හෝ අදහස් ප්‍රකාශ කිරීමට වඩා වැඩි යමක් වන අතර, එයට අදාළ කණ්ඩායමට එරෙහිව වෙනස් කොට සැලකීම, සතුරු වීම හෝ ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමට අන් අයව පොළඹවාලීමේ චේතනාව පෙන්වීම පැහැදිලිව අවශ්‍ය බව බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි. භාෂණයේ අයිතිය මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපොහොසත් වීමේදී , එය කම්පන සහගත, ප්‍රහාරාත්මක හෝ බාධාකාරී වියහැකි වුවද, රාජ්‍යය විසින් එය ආරක්ෂා කළ යුතු බවද ක්ෂමා සංවිධානය අවධාරණය කරයි. මානව හිමිකම් ගිවිසුම අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පිළිපැදීමට බැඳී සිටින නීතිමය බැඳීම් දේශීය නීති සම්පාදනයට හඳුන්වා දීම සඳහා ICCPR පනත බලාත්මක කෙරිණි. ‘හාස්‍යයට කරුණ නම්, ශ්‍රී ලංකා බලධාරීන් එය සුළු ජාතීන් ඉලක්ක කර ගැනීමේ මර්දන මෙවලමක් ලෙස යොදා ගැනීමයි. මෙය අවසන් කළ යුතුය.’ නතාෂා එදිරිසූරිය නිදහස් කළ යුතු අතර ඇයට එරෙහිව පවතින චෝදනා වහා ඉවත් කළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කළේය. නතාෂා එදිරිසූරිය ජුනි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි 'බුදුදහමට අපහාසයක් කළ බවට' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (මැයි 28) නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ නාතාෂා එදිරිසුරියට එරෙහිව ICCPR පනත යටතේ චෝදනා ගොනු කොට ඇති බවයි. එමෙන්ම ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 08ක් ලැබී ඇති බවත් ඊට අමතරව මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ද පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය. ඇය (මැයි 28 වැනිදා) අළුයම සිංගප්පුරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී රැඳී සිටියදී අත්අඩංගුවට ගැනිණි. මෙම ශිල්පිනිය අත්අඩංගුවට ගැනුණේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ද මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් CID විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරවාරයේදීය. එම ප්‍රකාශයෙන් අනතුරුව එම දේවගැතිවරයා ද සිංගප්පුරුව වෙත ගොස් තිබූ අතර ඔහු විදෙස්ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබුණි. ඔහු යලි දිවයිනට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණ ද මේ දක්වා ඔහු දිවයිනට පැමිණ නැත. නාතාෂා එදිරිසුරියට එරෙහි චෝදනාව කුමක් ද ? ප්‍රහසන ශිල්පිනියක් ලෙස කටයුතු කරන නාතාෂා එදිරිසුරිය විසින් කොළඹ දී පසුගියදා පැවැත්වූ ප්‍රහසන වැඩ සටහනකදී කළ ඉදිරිපත් කිරීමක් මීට දින කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. එම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන, ඇගයීම් මෙන්ම ආගමික හා පුජ්‍ය පක්ෂවලින් සැලකිය යුතු විරෝධතාවන්ද එල්ල වෙමින් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ආගමික අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් 'ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ' බවයි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවය වෙත තහවුරු කරන ලදී. සමාව ගැනීම සහ වීඩියෝව ඉවත් කිරීම තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාතාෂා එදිරිසූරිය සමාව ඉල්ලා සිටියේය. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින්ය. "කිසියම් කණ්ඩායමකගේ හෝ පුද්ගලයෙකුගේ හිත රිදීමක් සිදුවූවා නම් බොහොම නිහතමානීව සමාව ඉල්ලනවා. මගේ යුටියුබ් චැනල් එකෙනුත් වීඩියෝව අයින් කරලා තියෙන්නේ." ඇය එහිදී ප්‍රකාශ කර සිටියාය. දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම් මෑත කාලයේ සිට බුදු දහමට අපහාස කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත්, සිංහල බෞද්ධ රටක් ලෙස හඳුන්වන බහුතර බෞද්ධ ජනතාවක් ජීවත්වන මේ රටේ 'මෑතක සිට සහජීවනය නමින් ඉදිරියට පැමිණෙමින් බුදු දහමට සහ භික්ෂුන්වහන්සේලාට අපහාස කිරීම ආරම්භ කොට ඇති බවත්' පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පුජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ. 'මෙලෙස බුදුදහමට අපහාස කරන්නන්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ ඊට විරෝධයක් පැමිණියහොත් ඒ තුළින් සමාව ගැනීමට ද එය වැරදීමකින් සිදුවුණ සිදුවීමක් ලෙස සමාව ඇයද සිටිමින් මේ සියල්ල යටගැසීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙමින් පවතින බව' ද නාහිමියන් පවසයි. නතාෂා එදිරිසුරිය අදාළ ප්‍රහසන වැඩසහන අතරතුර කළ ඉදිරිපත් කිරීම උපුටා දක්වමින් පුජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් විසින් පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇත්තේ ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ ගතහැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එමෙන්ම 'ඇය කඩිනමින් අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇයට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදී බුදුදහමට කරනු ලබන අපහාසයන් නැවැත්වීමට කටයුතු කරන ලෙස' ද පොලිස්පතිවරයා වෙත යොමු කළ එම ලිපියෙන් උන්වහන්සේ ඉල්ලා ඇත. 'ආගමික වෛරය පැතිරවීමක් එම ප්‍රකාශ තුළ නැහැ' නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පෙන්වා දෙන්නේ තම නිරීක්ෂණයට අනුව නතාෂාගේ ස්ටෑන්ඩප් කොමඩි වීඩියෝවේ අන්තර්ගතය තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ වරදක් ලෙස ගැනෙන ප්‍රකාශයක් ඇතුළත් නොවන බවය. ඔහු ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ, ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමක් එම ප්‍රකාශ තුළ අන්තර්ගත නොවන බවය. “බෞද්ධ සාහිත්‍යයේ සදහන් වන සිදුවීමක් නතාෂා හාස්‍යට ලක් කරයි. එකී හාස්‍යයට එරෙහි වන ඇතැම් අය නතාෂා කෙරෙහි පතුරවන වෛරය නතාෂාගේ ප්‍රකාශයට වඩා බරපතල බවක්” පෙනී යන්නේ යැයිද ජයන්ත දෙහිඅත්තගේ ෆෙස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබේ. “බුදුන්වහන්සේට අපහාස උපහාස කළ කිසිවකු හට රාජ නීතිය ක්‍රියාත්මක කළ බවක් මා අසා නැත. ඔවුන් සම්බන්ධයෙන් ද්වේශයෙන් කටයුතු කළ බවක්ද මා අසා නැත.” ඔහු වැඩිදුරටත් එහි සඳහන් කොට ඇත. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී අප වෙත අදහස් දක්වමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ කියා සිටියේ; “බහු ආගමික රටක, අපේ රටේ විතරක් නෙමේ, කොයි රටෙත් එහෙමයි, ආගමික සහ විශ්වාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තර්ක බුද්ධියට වඩා ඒගොල්ලන්ගේ විශ්වාස මත එළඹගෙන තමා ඉන්නේ, කෙනෙක්ගේ ආගමික විශ්වාසයක් හරි ආගමික ඇදහිල්ලක් හරි අපිට තර්ක කරලා ඒක හරිද වැරදිද කියලා ඔප්පු කරන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. ලංකාවට අදාළවත් ඒක එහෙමයි. ඕනෑම කෙනෙකුට කැමති ආගමක්, කැමති ඇදහිල්ලක්, කැමති විශ්වාසයක් දරන්න පුළුවන් කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාවෙන් අපි පිළිඅරගෙන තියෙනවා. එහෙම තියෙද්දි අපි පුද්ගලයෝ විදිහට කටයුතු කරද්දි හැමෝටම වගකීමක් තියෙනවා අනිත් අයගේ ආගමික විශ්වාස සහ ඇදහිලි; ඒවා බැළු බැල්මට සත්‍ය නොවන බවට පේන්න පුළුවන්. එහෙම වුනත් ඒවා ගැන කතා කරද්දි ඒ ඇදහිල්ල හරි ආගම හරි දරන අයගේ විශ්වාස වලට හැඟීම්වලට වෙන්න පුලුවන් බලපෑම ගැනත් අවබෝධයෙන් තමා අපි කටයුතු කරන්න ඕනේ. අපි පුද්ගලයෝ විදිහට අපිට තියෙන වගකීමක්. හැබැයි මම කියන්නේ යම් කෙනෙක් කරන එහෙම ප්‍රකාශ පදනම් කරගෙන ඒවගෙන් කිසිම වෛරය, ප්‍රචණ්ඩත්වය පැතිරීමක් වෙන්නේ නැතිනම්, ඒ අයව අත්අඩංගුවට අරගෙන, රිමාන්ඩ් බන්ධනාගාරගත කරන එක හරි, හිරේ දාන එක හරි සම්බන්ධයෙන් මගේ එකඟතාවක් නැහැ. නමුත් අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා ඒ ආගමික හැඟීම් තේරුම් අරගෙන කටයුතු කරන්න.” යනුවෙනි. 'නතාෂාට එරෙහිව ICCPR එපා' - තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පොලිස්පතිට ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුත පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ. මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය මෙම පනත භාවිත කළේ පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමා කිරීමට බව සිදුවීම් කිහිපයකදීම පැහැදිලි වී ඇති බව පවසන ඔවුහු, මෙම සම්මුතියේ 20 වැනි වගන්තියේ සඳහන් වන කරුණු සලකා බැලිය යුත්තේ එම සම්මුතියේ 19 වැනි වගන්තියේ සඳහන් වන අදහස් ප්‍රකාශය කිරීමේ නිදහස සමඟ බව වැඩි දුරටත් එහි සඳහන් කොට තිබේ. |
2023 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය දිනූ දන්ත වෛද්‍යවරිය සහ පරිගණක ඉංජිනේරුවා | මෙවර පැවති 30 වන ග්‍රේෂන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉංග්‍රීසි බසින් රචනා කරන ලද විශිෂ්ටතම සාහිත්‍ය කෘතියට හිමි සම්මානය කෘති දෙකකට හිමි විය. එලෙස සම්මානයට පාත්‍ර වූයේ, චිරන්ති රාජපක්ෂ විසින් රචනා කරන ලද, Keeping Time and Other Stories නමැති කෙටිකතා සංග්‍රහය සහ යුධන්ජය විජේරත්නගේ The Wretched and the Damned නමැති නවකතාව ය. ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් රචනා කරන ලද කෘති 4ක් මෙවර අවසන් වටය සඳහා නිර්දේශ වී තිබිණි. එම කෘති වූයේ, ඉසුරුණී මල්ලවආරච්චිගේ Flowers Teach Me To Let Go නමැති පද්‍ය සංග්‍රහය, ශිරන්ති රාජපක්ෂගේ Keeping Time and Other Stories නමැති කෙටිකතා සංග්‍රහය, ශිරාණි රාජපක්ෂගේ Samsara නමැති පද්‍ය සංග්‍රහය සහ යුධන්ජය විජේරත්නගේ The Wretched and the Damned නමැති නවකතාව ය. මෙවර ග්‍රේෂන් සම්මානයේ විනිශ්චය මණ්ඩලය වූයේ, කීර්තිමත් ශ්‍රී ලාංකික ලේඛකයින් වන රොමේෂ් ගුණසේකර (සභාපති), කෞෂල්‍යා පෙරේරා සහ සුකන්‍යා විග්නරාජා ය. ජූරියේ සභාපති ධූරය දැරූ රොමේෂ් ගුණසේකර පැවසුවේ, "විශිෂ්ටතම කෘතිය තෝරා ගැනීම අතිශය දුෂ්කර වූ බව ය. කෙසේ වෙත ත්, භාෂා භාවිතය, කතා වින්‍යාසය ආදී තාක්ෂණික කරුණු සහ පාඨකයින්ට ලෝකය සහ අවට පරිසරය පිළිබදව ලබා ගත හැකි අත්දැකීම් ආදී කරුණු ගණනාවක් සැලකිල්ලට ගෙන විශිෂ්ටතම කෘතිය තෝරා ගැනීමට උත්සහ කළ," බව ය. මෙවර ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූ විශිෂ්ටතම කෘති රචනා කළ ලේඛිකාව සහ ලේඛකයාගේ අත්දැකීම් විමසා බැලීමට ද බීබීසී සිංහල සේවයට හැකි විය. සම්මානනීය ලේඛිකාවක බවට පත්වූ නීතිඥ දන්ත වෛද්‍යවරිය Keeping Time and Other Stories නමැති කෙටිකතා සංග්‍රහය රචනා කළ ශිරන්ති රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ, ලේඛක පවුල් පසුබිමක් තමන්ට නොතිබුණ ද දීර්ඝ කාලයක සිට නිර්මාණකරණයේ නිරත වෙමින් සිටි බව ය. 2017 වසරේදී ඇය පළ කළ Names & Numbers නමැති පළමු කෙටිකතා එකතුව ද, එම වසරේ ග්‍රේෂන් සම්මානයට නිර්දේශ විය. මාතර ඉපිද, මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලැබූ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍යවරියක ලෙස උපාධියක් හිමි කර ගත්තා ය. පසුව, ඇය ස්වයං අධ්‍යයනයෙන් නීතිය හදාරා නීතිඥවරියක ලෙස ද පත්වූ අතර මේ වන විට ඇය ලර්න් ඒෂියා ආයතනයේ පර්යේෂිකාවක ලෙස කටයුතු කරයි. "මම මගේ කෙටිකතා හරහා කියන්න උත්සහ කළේ, එදිනෙදා අප මුහුණ දෙන අත්දැකීම් සම්බන්ධ කතා කිහිපයක්. මගේ පළවෙනි කෙටිකතා එකතුව ග්‍රේෂන් සම්මානයට නිර්දේශ වීම මට ලොකු ධෛර්යයක් වුණා. මේ සම්මානය හිමි වීම ලේඛිකාවක ලෙස මට ලොකු ඉදිරි පිම්මක්. අපි ලියන්නේ, පාඨකයින් සමග අත්දැකීම් බෙදාගැනීමට, ඔවුන් දැනුවත් කිරීමට සහ ඔවුන්ට රස වින්දනයක් ලබා දීමට. එතනදී ලේඛකයෙකුට අගැයීම කියන දේ ඉතා වැදගත් වෙනවා," ශිරන්ති රාජපක්ෂ පැවසීය. ඇය පෙන්වා දුන්නේ, ඉංග්‍රීසි බසින් රචනයේ යෙදෙන ශ්‍රී ලාංකිකයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව ය. "ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛනයේ නිරත වෙන ශ්‍රී ලාංකිකයින්ගේ වර්ධනයක් දකින්න පුළුවන්. ඒක ඉතා හොඳ දෙයක්. ෂෙහාන් කරුණාතිලක වගේ ශ්‍රී ලාංකික ලේඛකයන් ලෝකයේ අවධානයට ලක් වී තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවක්. මේ නිසා ශ්‍රී ලාංකික සාහිත්‍යයේ හෙට දවස ගැන අපට සතුටු වෙන්න පුළුවන්." පරිගණක ඉංජිනේරුවෙකු සම්මානනීය ලේඛකයෙකු වූ හැටි මෙවර ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූ අනෙක් කෘතිය වූ The Wretched and the Damned නමැති නවකතාවේ ලේඛකයා, යුධන්ජය විජේරත්න ය. උසස් පෙළ වෙනුවෙන් අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී පාසල හැර ගිය යුධන්ජය, බම්බලපිටියේ මැජෙස්ටික් සිටිහි පරිගණක වෙළෙදසලක රැකියාවක් කළේ ය. ඒ අතරතුර ඔහු වෙබ් අඩවි සහ බ්ලොග් සදහා තොරතුරු තාක්ෂණයට අදාළ ප්‍රවෘත්ති සමබන්ධ ලිපි සැපයීය. පසුකාලීනව මෘදුකාංග නිර්මාණකරණයේ නිරත වන ආයතනවල සේවය කළ යුධන්ජය, ලේඛන කටයුතු අත්හැරියේ නැත. "ලියන එක හැර අනික් සියල්ලට මගේ ජීවිතයේ හිමි වන්නේ දෙවන තැන. ඒ නිසා ලියන එක මම දිගට ම කරගෙන ගියා. දැනටත් මම අලුත් නවකතා ලියමින් ඉන්නේ. මේ ලැබුණු සම්මානය මට ලොකු ශක්තියක්," ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ නවකතාවට පාදක වුණේ, ශ්‍රී ලාංකිකයින් ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දෙන නිරන්තර අරගලයයි. මේක මම ලිව්වේ 2021 වසරේදී, ඇත්තට ම සිදුවුණ අරගලයට කලින්." ඔහු ඓන්ද්‍රජාලික යථාර්ථවාදය අනුගමනය කරමින් ආර්ථික අර්බුදය, මුදල් අච්චු ගැසීම, අවසන් නොවන අරගල ආදී සිද්ධි කේන්ද්‍ර කර නවකතාව ගොඩ නගා තිබේ. "මේ සම්මානය ලැබුණේ මගේ පස් වන නවකතාවට. ලියන එක තමයි මගේ ජීවිතයේ වැදගත් ම දේ. ඉදිරියට ත් මම ලියනවා. මේ සම්මානය ලැබුණාට පස්සේ මට ලැබුණු දුරකතන ඇමතුම්වලින් මට තේරුණා මේ රටේ මිනිස්සු කොයිතරම් සාහිත්‍යයට ලැදි ද කියලා." ග්‍රේෂන් සම්මානයේ ඉතිහාසය ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේ නිරත වන ශ්‍රී ලාංකික කතුවරයින් හඳුනා ගැනීම සඳහා පැවැත්වෙන ග්‍රේෂන් සම්මානය පිරිනැමෙන්නේ, 1992 වසරේදී මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද The Gratiaen Trust භාරය මගිනි. ඔහු රචනා කළ The English Patient නවකතාව වෙනුවෙන් බුකර් සම්මානය සමග හිමිවූ මුදල් ත්‍යාගය භාවිත කරමින් ඔහු The Gratiaen Trust 1993 වසරේදී ආරම්භ කළේ ය. එතැන් සිට අඛණ්ඩව වසරක් පාසා පිරිනැමුණු මෙම ත්‍යාගය මෙවර පිරිනැමෙන්නේ 30 වන වරට ය. 1993 වසරේ සිට ග්‍රේෂන් සම්මානය හිමි කර ගත් කතුවරයින් සහ ඔවුන්ගේ නිර්මාණ ලැයිස්තුව පහත දැක්වේ. ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේ නිරත වන ශ්‍රී ලාංකික කතුවරයින් හඳුනා ගැනීම සඳහා පැවැත්වෙන ග්‍රේෂන් සම්මානය පිරිනැමෙන්නේ, 1992 වසරේදී මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද The Gratiaen Trust භාරය මගිනි. ඔහු රචනා කළ The English Patient නවකතාව වෙනුවෙන් බුකර් සම්මානය සමග හිමිවූ මුදල් ත්‍යාගය භාවිත කරමින් ඔහු The Gratiaen Trust 1993 වසරේදී ආරම්භ කළේ ය. එතැන් සිට අඛණ්ඩව වසරක් පාසා පිරිනැමුණු මෙම ත්‍යාගය මෙවර පිරිනැමෙන්නේ 30 වන වරට ය. 1993 වසරේ සිට ග්‍රේෂන් සම්මානය හිමි කර ගත් කතුවරයින් සහ ඔවුන්ගේ නිර්මාණ ලැයිස්තුව පහත දැක්වේ. 1993 - කාර්ල් මුලර් (Jam Fruit Tree) - නවකතා, ලලිතා විතානච්චි (Wind Blows over the Hills) - කෙටිකතා 1994 - පුණ්‍යකාන්ති විජේනායක (Amulet) - නවකතා 1995 - සිබිල් වෙත්තසිංහ (The Child in Me) - විත්ති කතා, රජීව විජේසිංහ (Servants) - කෙටිකතා 1996 - තිස්ස අබේසේකර (Bringing Tony Home) - නවකතා 1997 - ගාමිණී අක්මීමන (The Mirage) - නවකතා 1998 - ජියෑන් ත්වයිට්ස් (It’s a Sunny Day on the Moon) - කෙටිකතා 1999 - විසාකේස චන්ද්‍රසේකරම් (Forbidden Area) - නාට්‍ය, නීල් ප්‍රනාන්දුපුල්ලේ (Shrapnel) - කෙටිකතා 2000 - රුවන්ති ඩි චිකේරා ( Middle of Silence) - නාට්‍ය, ලක්ෂ්මී ද සිල්වා (Kuveni - හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයේ පරිවර්තනය) - නාට්‍ය 2001 - එල්මෝ ජයවර්ධන (Sam’s Story) - නවකතා, සුමති සිවමෝහන් (In the Shadow of the Gun/The Wicked Witch) - නාට්‍ය 2002 - විජිතා ප්‍රනාන්දු (Out of the Darkness - ගුණදාස අමරසේකරගේ අසත්‍ය කතාව නවකතාවේ පරිවර්තනය) - නවකතා 2003 - නිහාල් සිල්වා (Road from Elephant Pass) - නවකතා 2004 - ජගත් කුමාරසිංහ (Kider Chetty Street) - නවකතා 2005 - ඩිලන් වීරසිංහ (Thicker Than Blood) - නාට්‍ය 2006 - සේනක අබේරත්න (3 Star K) - නාට්‍ය, ඉසංක්‍යා කොඩිතුවක්කු (The Banana Tree Crisis) - කෙටිකතා 2007 - විවිමාරී වැන්ඩර්පූටන් (Nothing Prepares You) - පද්‍ය 2008 - ෂෙහාන් කරුණාතිලක (Chinaman – the Legend of Pradeep Mathew) - නවකතා 2009 - ප්‍රශානි රඹුක්වැල්ල (Mythil’s Secret) - නවකතා 2010 - සකුන්තලා සචිතනාදන් (On the Streets and Other Revelations) - පද්‍ය 2011 - මධුභාෂිණී දිසානායක (There's Something I Have to Tell You) - නවකතා 2012 - ලාල් මැදවත්තේගෙදර (Playing PiIlow Politics at MGK) - නවකතා 2013 - මලින්ද සෙනෙවිරත්න (Edges) - පද්‍ය 2014 - විහඟ පෙරේරා (Love & Protest) - පද්‍ය 2015 - ත්‍යාගරාජා අරසනායගම් (White Lanterns – Wesak 2011) - පද්‍ය 2016 - චාරුලතා අබේසේකර (Stories) - නවකතා 2017 - ජීන් අරසනායගම් (The Life of the Poet) - පද්‍ය 2018 - අරුන් ප්‍රේමතිලක (The One who Loves You So) - නාට්‍ය 2019 - ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු (Upon a Sleepless Isle) - විත්ති කතා 2020 - කාර්මල් මිරැන්ඩා (Crossmatch) - නවකතා 2021 - අශෝක් ෆෙරී (The Unmarriageable Man) - නවකතා විශිෂ්ටතම පරිවර්තන කෘතිය වෙනුවෙන් පිරිනැමෙන එච්.ඒ.අයි. ගුණතිලක සම්මානය මේ අතර, 2021 - 2022 විශිෂ්ටතම ඉංග්‍රීසි පරිවර්තන කෘතිය ලෙස මානෙල් ඊරියගම විසින් පරිවර්තනය කරන ලද Jewels නමැති කෙටිකතා එකතුව සම්මානයට පාත්‍ර විය. එම කෙටිකතා සමුච්චය විවිධ රචකයින්ගේ තෝරා ගත් කෙටිකතා 14කින් සමන්විත වේ. මෙවර එහි ජුරිය ආචාර්ය ප්‍රභා මනුරත්න (සභාපති) ලේඛක කෞෂල්‍යා කුමාරසිංහ සහ ආචාර්ය පොන්නි අරසු නියෝජනය කළහ. සිංහල හෝ දෙමළ මුල් කෘතියක් විශිෂ්ට ලෙස ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය නම් කර ඇත්තේ, එච්.ඒ.අයි. ගුණතිලකයන්ට උපහාර පිණිස ය. හෙන්රි ඇල්ෆ්‍රඩ් ඉයන් ගුණතිලක යනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු පුස්තකාලයාධිපතිවරයෙකි. 1922 ජනවාරි 05 වන දා උපත ලැබූ ඔහු ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි. 1940 වසරේදී ඔහු ලංකා විශ්වවිද්‍යාල කොලීජියෙන් උපාධියක් ලබා ගත්තේ ය. 1997 ජනවාරි 05 වන දාට යෙදුණු ඔහුගේ 75 වන උපන් දිනය දා ඔහු 60 වසරක් පුරා එකතු කර ගන්නා ලද පොත්පත් සහ වටිනා ලේඛන සියල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කළේ ය. |
'ස්ටෑන්ඩ් අප් කොමඩි’:නවීන්-රිකී ට්විටර් හබය | හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක විසින් (මැයි 30 වැනිදා) පලකළ ට්විටර් පණිවිඩයක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතිකාවතක් ඇතිවී තිබේ. ඒ, බ්‍රිතාන්‍ය ප්‍රහසන ශිල්පියෙකු වන රිකී ජිවේස් විසින් හිටපු අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයට අදහස් දැක්වීමත් සමගයි. හිටපු ඇමති නවීන් තැබූ ට්විටර් පණිවිඩය කුමක් ද ? මේ වන විට සමාජයේ කතාබහට තුඩු දී ඇති මාතෘකාවක් වන 'ස්ටෑන්ඩ් අප් කොමඩි' සහ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක විසින් ඉංග්‍රීසි භාෂාවෙන් තබා තිබු ට්විටර් සටහනේ සිංහල පරිවර්තනය පහතින් දක්වා ඇත. " ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක නිදහස් අදහස් දක්වීමේ කොටසකි. එය රස විඳිය හැකි දෙයක් මිසක් අන්‍යයන්ගේ ආගමික හැඟීම් රිදවන දෙයක් නෙමෙයි. ඔබට විහිළුවක් වන දේයක් තවත් කෙනෙකුට විහිළුවක් නොවෙන්න පුළුවන්. සංවාදයේදී ආගම ඈත් කර තැබීම වඩාත් නුවණට හුරුයි. මොකද ඒක පුද්ගලිකයි." මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ලැබුණු ප්‍රතිචාර මොනවා ද ? හිටපු අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධයෙන් ට්විටර් තුළ විවිධ පුද්ගලයින් සිය අදහස් ප්‍රකාශ කර තිබුණි. ඒ අතරින් එක් අයෙකු මෙලෙස ප්‍රශ්නයක් මතුකර තිබුණේය. " ආගම සංවාදයෙන් ඈත් කරන්නද? භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ඔබ සැලසුම් කරන්නේ කුමන ආකාරයේ සංස්කරණයක්ද?" යන්නයි. හිටපු අමාත්‍යවරයා එම පැනයට ප්‍රති පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ මෙවන් දෙයකි. " ඔබට මූලික ඉංග්‍රීසි භාෂාව හෝ තේරෙන්නේ නැද්ද? ඔබ කරන කිසිම ක්‍රියාවකට ආගම හෝ ආගමික චරිත ඈඳා ගන්න එපා." යනුවෙනි. මේ අතර තවත ට්විටර් පරිශීලකයෙකු විමසා සිටියේ " එය අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් ද?" යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් හිටපු ඇමතිවරයා පවසා සිටියේ "ඔව් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 20(2) වගන්තිය යටතේ." මේ අතර හිටපු අමාත්‍ය නවීන් දිසානායක විසින් තබන ලද ට්විටර් සටහනට ලෝව ප්‍රකට ප්‍රහසන ශිල්පියෙකු වන රිකී ජිවේස් ද අදහස් දක්වා තිබුණි. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවුයේ මෙවන් සංවාදයකි. ප්‍රහසන ශිල්පී රිකී ජිවේස් " ඔබේ ට්වීට් එක මට කොතරම් රිදෙව්වාදැයි මට කිව නොහැක. සත්‍යවශයෙන් පැවසුවොත් මට ඒකට කලකිරෙනවා. කරුණාකර එය මකා දමා වහාම සමාව ගත හැකිද?" යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් හිටපු ඇමතිවරයා මෙසේ පවසා සිටියේය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත " සමාවෙන්න මම ඔයාට රිදෙව්වා නම් @rickygervais, නමුත් මම මගේ ට්වීට් එක මකන්න යන්නේ නැහැ. ඒ මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි මිත්‍රයා." යනුවෙනි. ඊට ප්‍රහසන ශිල්පී රිකී ජිවේස් " බින්ගෝ" යනුවෙන් පිළිතුරු ලබා දී තිබුණා. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ප්‍රහසන ශිල්පියා සමග ඇතිවූ සංවාදය පිළිබඳව හිටපු ඇමති නවීන් ද අදහස් දැක්වීය. ප්‍රහසන ශිල්පී රිකී ජිවේස් වගේ ලෝක ප්‍රකට අයෙකු තමන්ගේ ට්විටර් සටහනට අදහස් දැක්වීම සුබ දෙයක් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේය. " දැන් මගේ ට්විටර් එකට රිකී ජිවේස් වගේ එක්කෙනක් කමෙන්ට් එකක් දාන එක, මිලියන 15ක් ෆ්ලොවර්ස්ලා ඉන්න ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පියෙක්. ඒක ඇත්තටම මට සුබ දෙයක්. මගේ එක දැක්කා කියන එක." "එයා (ප්‍රහසන ශිල්පී රික් ජිවේස්) කියලා තියෙනවා එයා හර්ට් වෙලා තියෙනවා කියලා. මම කිව්වා ' අයි ඈම් සොරි ෆෝ හර්ට් යු. බට් අයි ඈම් නොට් ගොයින් ටු ඩිලීට් මයි ට්විටර්, බිකොස් ඉට්ස් මයි ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෂන් කියලා." "ඒකට එයා (ප්‍රහසන ශිල්පී රික් ජර්වෙයිස්) කියලා තියෙනවා 'බින්ගෝ' කියලා." "ඒ දීලා තියෙන පිළිතුරට අපේ සමහර අය අර්ථ කථනය කරනවා එයා මට හොඳ ෂොට් එකක් දුන්නා කියලා. ඔය ට්විටර් එකේ වෙන දේවල්. ඒවා එච්චරයි." මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ස්ටෑන්ඩ් අප් කොමඩි කරද්දී අවධානයෙන් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩ් අප් කොමඩි කිරීමට බාධාවක් නොමැති වුවද එහිදී ආගම්වලට ගැටළු නොවන ආකාරයේ කටයුතු කිරීමට පියවර ගත යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි. " ස්ටෑන්ඩ් අප් කොමඩි ඒක සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ නිදහස තියෙනවා. මේක ආගම් බහුල රටක්. ඒ නිසා ඉතින් මම හිතන්නේ කොමිඩියන්ස්ලා පාවිච්චි කරන වචන වලින් එහෙම ආගම් වල සිත් රිදවීම් ඇති වෙන්න පුළුවන්. එච්චරයි මම කියන්නේ." "අනෙක් පැත්තෙන් කියනවා භාෂණයේ නිදහස නිසා ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම ඕනෑම දෙයක් කියන්න පුලුවන්, නමුත් පුද්ගලයෙකුගේ චරිතය ඝාතනය කරන්න බැහැ. නීතිය අනුව වැරදි අදහස් දෙන්න බැහැ. එහෙම වුනොත් නඩු දාන්න පුළුවන්." "නමුත් ආගම් අවුස්සන එක ගැන තමයි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 20(2) වගන්තිය යටතේ තියෙන්නේ. ඉතින් දිගටම ස්ටෑන්ඩ් අප් කොමඩි කරන අය දිගටම ලංකාවේ තිබ්බානේ. ඒක කාටත් ප්‍රශ්නයක් නැහැ. තියන වාතාවරණයත් එක්ක ප්‍රහසන ශිල්පීන් ආගම් සම්බන්ධයෙන් වැඩි පරිස්සමකින් වැඩ කරන්න අවශ්‍යයි කියලයි මම කියන්නේ." "ආගම් නැතිව අනෙක් ඕනෑම පැත්තකින්, දේශපාලනය ගැන විහිළු කරන එක සාමාන්‍ය දෙයක්. දේශපාලනඥයෙකු වුනාම ඒක දරා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. තියෙන වාතාවරණය උඩ ආගම් රිදවිමකින් තොරව කරන දේ කරන්න වගබලා ගන්න ඕන. ඒකයි මගේ ඉල්ලීම." හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරන්න ජනාධිපතිතුමාගේ අදහසක් නැහැ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමට ජනාධිපතිවරයා කිසිදු විටක අදහස් නොකරන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කර සිටියි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ රටේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔහු දරන්නේ කෙබඳු අදහසක් ද යන්න මතුකරන ලද පැනයට පිළිතුරු දෙමිනි. " හැමෝටම සෝෂල් මීඩියා භාවිතා කරන්න ලංකාවේ අවසර තියෙනවා. සමහර රටවල ඒක නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කාගේවත් නැති කරන්නවත්, අහෝසි කරන්නවත්, අත්හිටුවන්නවත් ජනාධිපතිතුමාට කිසිම අදහසක් නැහැ. එතුමත් ඉන්නවා ට්විටර්වල. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අගයන නායකයෙක්. ඉතිං මම හිතන්නේ ඒක හොදයි." යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. කෙසේවෙතත් ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායකගේ ට්විටර් පණිවිඩය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් විවිධ අදහස් හා ප්‍රතිචාර පළවෙමින් තිබේ. |
Subsets and Splits