title
stringlengths
22
149
text
stringlengths
112
31.4k
'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැන නොදත් කතාවක්
"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමග එම ගීතය පිළිබඳ කතාබහක් මතුව තිබේ. 1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශුරින් විසින් රචනා කොට විශ්වනාත් ලව්ජී විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මේ ගීතය වසර 120ක් පමණ පැරණි ගීතයකි. මෙම නෘත්‍ය ගීතය මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව සහ වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි පවතී. ජාතික වින්දනයට සහ චින්තනයට ශතවර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින්, " දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කර ඇත. මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි බීබීසී සිංහල සේවයට පවසා සිටියේ මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ඉතා වටිනා ක්‍රියාවක් බවයි. "ඔය ගීතය කවදාවත් නොමැරෙන ගීතයක්. ඉතින් මේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කරපු එක, දැනට නෘත්‍ය ගී ගායනා කරපු සහ ඒවා දැනට උගන්වන කලාකරුවෙක් ලෙස මට හරිම සතුටක් දැනෙනවා." ඔහු පවසා සිටියි. නෘත්‍ය කලාවේ ඉතිහාසය සහ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වීමට හේතු.. 1880 වර්ෂයේදී උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නුර්ති කලාව මෙරට ජනතාව අතර ඉක්මනින් ජනප්‍රිය වූ බවයි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ බිබිසි සිංහල සේවයට පවසා සිටියේය. "1880 වර්ෂයේදී උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන නාට්‍ය කණ්ඩායමක් තමයි නෘත්‍ය රංග සම්ප්‍රදාය පළමුවෙන් මෙරටට රැගෙන එන්නේ. ඔවුන්ගේ පළමු උත්සාහය වුනේ රුවල් නැවකින් එංගලන්තයට ගොස් මේ නාට්‍ය සම්ප්‍රදාය එහෙදි රඟ දක්වන්න. නමුත් එංගලන්තය වැනි දීර්ඝ මුහුදු ගමනකදී මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධ ආපදාවල පෙරහුරුවක් විදිහට තමයි එම කණ්ඩායම ඉන්දියාවට ආසන්නම රට වෙන ලංකාවට එන්නේ." "ඒගොල්ලෝ පාර්සි භාෂාව කතාකරන නාට්‍ය කණ්ඩායමක්. පළමු වරට රඟ දක්වපු නාට්‍ය තමයි 'ඉන්දර් සභා' ඒ කියන්නේ දේව සභාව කියන නාට්‍යය. ඒකේ ප්‍රධාන නළුවා බොහොම රූප සම්පන්න කෙනෙක්. එයාගේ නම තමයි බලිවාලා කියන්නේ." "මේ නාට්‍ය කණ්ඩායම ඉතිහාසයේ නම් තුනකින් හඳුන්වනවා. බලිවාලා රූමත් නළුවා නිසා බලිවාලා නාට්‍ය කණ්ඩායම විදිහටත්, පළමුවට රඟ දක්වපු ඉන්දර් සභා කියන නාට්‍යයේ නම නිසා ඉන්දර් සභා නාට්‍ය කණ්ඩායම කියලා වගේම ඔවුන් නාට්‍ය පෙන්වූ භාෂාව වූ පාර්සි භාෂාව නිසා පාර්සි නාට්‍ය කණ්ඩායම කියලත් මේ අයව හඳුන්වා තිබෙනවා. මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ එකම නාට්‍ය කණ්ඩායම." "මේ අය ඇවිල්ලා මුලින්ම පිටකොටුවේ වර්තමානයේ කොළඹ වරාය ඉදිරිපිට තිබ්බ 'ශාමස් ධාන්‍යගාරයේ' තමයි පළමු නාට්‍ය රඟ දක්වලා තියෙන්නේ. මේ නාට්‍යයේ තිබුණු වර්ණවත් භාවය සහ සංගීතය නිසා ඉතා ඉක්මනින් මෙරට ජනතාව අතර නෘත්‍ය රංග සම්ප්‍රදාය ජනප්‍රිය වුනා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට පවසා සිටියේය. නෘත්‍ය රංග සම්ප්‍රදායේ මෙරට ප්‍රවීණයින් කවුරුන් ද ? සිංහල නුර්ති රංග සම්ප්‍රදායේ පුරෝගාමීන් ලෙස අමතක කළ නොහැකි නම් කිහිපයක් ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පවසා සිටියේය. " නෘත්‍ය රංග සම්ප්‍රදායේ මෙරට ප්‍රාරම්භකයා තමයි දොන් බස්තියන් ජයවීර බණ්ඩාර. ඔහු නාඩගම් රචකයෙක් වගේම ආරම්භක නෘත්‍ය රචකයෙක් විදිහට සැලකෙන්නේ. ඊට පස්සේ මහා දැවැන්තයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම නීතිඥවරුන්. ඔවුන් තමයි නීතිඥ ජෝන් ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස් මේ කලාව තුළ විශාල දායකත්වයක් ලබාදීලා තියෙනවා. ඒ නීතිඥ චාල්ස් ඩයස් ගේ, මාමා තමයි හෙන්රික් සෙනවිරත්න. ටවර් රඟහලේ අයිතිකරු තමයි ඔහු." ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවසුවේය. 'වර්තමානයේ "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා" ගීතයේ තනුව වැරදියි' වර්තමානයේ දී ' දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා' ගීතය සඳහා භාවිත වන තනුව වැරදි එකක් බව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවසීය. " ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ තියෙනවා මුලින්ම ගායනා කරලා තියෙන්නේ එච්.ඩබ්ලිව්. රූපසිංහ හෙවත් රූපසිංහ මාස්ටර් විසින්. හැබැයි ඒකෙ පොඩ්ඩක් තනුව වෙනස්. දැනට වර්තමානයේ භාවිතා වන්නේ වැරදි තනුවක්. ඔරිජනල් තනුව අහන්න ඕනේ නම් රූපසිංහ මාස්ටර් ගායනා කරපු ගුවන් විදුලි සංස්ථාවේ තියෙන තැටිය අහන්න ඕන. ගීතය ඉතාම වැරදි විදිහට භාවිත වුණා. වරක් ලෝරන්ස් කියලා නමක් තියෙන කෙනෙක් බටහිර උරුවට මේ ගීතය ගායනා කළා. අන්තිමේදී ගොඩක් අය කිව්වා මේක බටහිර ගීතයක් කියලා. ඒ වගේ ගොඩක් විකෘති වලටත් ගීතය භාජනය වුණා." "මේ ගීතය බටහිරට කියන්නත් පුළුවන්, හින්දුස්තාන් විදිහට කියන්නත් පුළුවන්, දේශීය විදිහටත් කියන්න පුළුවන් අතිශය ලස්සන තනුවක් තියෙන ගීතයක් මේක." යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ කියා සිටියේය. මෙරට භාවිත වන පැරණිම තනුවක් වසර 120කට වඩා පැරණි දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා ගිතය දැනට මෙරට භාවිත වන පැරණිම තනුව සහිත ගීතයක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පෙන්වා දුන්නේය. " අපේ දැනට තියෙන පැරණිම තනුවක්, වර්තමානයේ මංගල උත්සවයන් වලදී මංගල යුවල පෝරුවෙන් බැහැලා කේක් කපන්න ගියාම මුලින්ම පටන් ගන්න කියලා ඥාතීන් ඉල්ලන්නේ දන්නෝ බුදුන්ගේ ගීතයේ අනුවාදනය. හැබැයි ඒකට හේතුව ඥාතීන් දන්නෙත් නැහැ. හේතුව තමයි දිර්ඝායුෂ. ලංකාවේ තියෙන දිර්ඝායුෂ ගීතය නිසයි මේක වාදනය කරන්න කියන්නේ. දැන් ඕනෑම රංග ශාලාවක් විවෘත කරන්න යද්දී පෙන්වන්න කියන්නේ මනමේ නාට්‍යය. ඇයි දිර්ඝායුෂ. මනමාල යුවලට දිර්ඝායුෂ පතන්න මේ ගීතය භාවිත කරනවා, සමාජ උත්සව වලදී එහෙම." ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවසුවේය. "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා" ගීතය පළමු වරට ගායනා කළේ කවුද? "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා" ගීතය පලමු වරට ගායනා කලේ කවුරුන් ද යන්න ඉතිහාසයේ සඳහන් නොවන බව අප කළ විමසීමකදී ටවර් හෝල් රංග පදනමේ වැඩසටහන් අංශය සඳහන් කළේය. ඔවුන් සතුව ඇති පුස්තකාල තොරතුරු අනුව එම ගීතය වික්ටර් වික්‍රමගේ, නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ යන ශිල්පින් ගායනා කර තිබේ. එමෙන්ම අතීතයේදී රුක්මනී දේවි ද මෙම ගීතය ගායනා කර ඇති බව ප්‍රකාශ වී ඇත.
ලෙස්ටර්ගෙන් පසු කාන් සිනමා උළෙලේ ජූරි සභාවකට ශ්‍රී ලාංකිකයෙක්
ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රංශයේ කාන් සිනමා උළෙලට සමාගාමීව පැවැත්වෙන සිනමා ව්‍යාපෘතියක ජූරි සභිකයෙකු ලෙස සම්මානනීය ශ්‍රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර තෝරාගෙන තිබේ. කාන් සිනමා උළෙලේ ජූරි සභාවකට ආරාධනා ලැබූ දෙවන ශ්‍රී ලාංකික සිනමාකරුවා වන්නේ, ඔහු ය. මීට පෙර 1992 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කාන් සිනමා උළෙලේ ප්‍රධාන කාණ්ඩයක් වන වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළේ ය. "ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇත්තට ම සාමාජිකත්වය දැරුවේ ප්‍රධාන කාණ්ඩයේ ජූරි සභාවක. ඒක මගේ කාණ්ඩයට වඩා වෙනස්. ඒක ප්‍රධාන ජූරියක්. නමුත් මේක ශ්‍රී ලාංකිකයෙකු ලෙස මට ලැබුණු වටිනා අවස්ථාවක්," සංජීව පුෂ්පකුමාර බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ වෙත ත්, කාන් සිනමා උළෙලේ ජූරි සභාවක මෙතෙක් සාමාජිකත්වය හිමි වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සංජීව පුෂ්පකුමාර යි. ඒ අනුව, කාන් සිනමා උළෙලේ එවන් ගෞරවයක් ශ්‍රී ලංකාවට මෙවර හිමි වී ඇත්තේ, වසර 21කට පසුව ය. කාන් සිනමා උළෙලේ සංජීවගේ කාර්ය භාරය ප්‍රංශයේ පැවැත්වෙන 76 වන කාන් සිනමා උළෙලේ Cannes Residence Pitching Jury මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සංජීව පුෂ්පකුමාර තෝරාගෙන තිබේ. එහි සෙසු සාමාජිකයින් වන්නේ, බර්ලින්, කාන් සහ ලොකාර්නෝ සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර වූ ඊශ්‍රායෙල් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ නඩාව් ලපීඩ් (Nadav Lapid) සහ ප්‍රංශ ජාතික චිත්‍රපට නිෂ්පාදිකාවක වන ජූලී පරාතියන් (Julie Paratian) ය. කාන් සිනමා උළෙලේ නේවාසික චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ අප්‍රිකානු, කැරිබියානු සහ පැසිෆික් කලාපයේ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නිර්මාණය කිරීමට නියමිත ප්‍රථම සහ දෙවන චිත්‍රපට ව්‍යාපෘති අතරින් හොඳ ම ව්‍යාපෘතිය තෝරා ගැනීම සංජීව ඇතුළු ජූරි සභාවට පැවරී ඇති වගකීම යි. මැයි මස 16 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වෙන කාන් සිනමා උළෙලට සමගාමීව මෙම ව්‍යාපෘති ඉදිරිපත් කිරීම සිදු කෙරේ. ලෙස්ටර්ගේ භූමිකාව සංජීව දකින හැටි "ලෙස්ටර් තමයි කාන් සිනමා උළෙලේ ප්‍රධාන ජූරියකට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා සහ දකුණු ආසියාතිකයා. ඉන්පසු කාන් සිනමා උළෙලේ කුමන හෝ ජූරියකට ශ්‍රී ලාංකිකයෙකුට ඇරයුම් ලැබුණේ මේ වතාවේ තමයි. ඒ නිසා මේක ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් වැදගත් දෙයක්. හැබැයි මම කියන්නේ නෑ ලෙස්ටර්ගේ තැන මට ලැබුණා කියලා," සංජීව පුෂ්පකුමාර පැවසීය. කවුද මේ සංජීව පුෂ්පකුමාර? සංජීව පුෂ්පකුමාර 1977 වසරේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කන්තලේ ප්‍රදේශයේ උපත ලැබූවෙකි. 2005 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය හිමි කර ගත් සංජීව, 2008 වසරේදී ජන සන්නිවේදනය විෂය යටතේ සිය ශාස්ත්‍රපති උපාධිය නිම කළේ ය. ඔහුගේ සිනමා ආගමනය සිදුවූයේ, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මෙහෙයවන ලද චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව ය. ගුවන් විදුලි නිවේදකයෙකු, පුවත්පත් කලාවේදියෙකු සහ ඉන්පසු රූපවාහිනී නිවේදකයෙකු ලෙස සේවය කළ සංජීව පුෂ්පකුමාරට 2007 වසරේදී චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ ඉගෙනීමට දකුණු කොරියාවේ සංස්කෘතික සහ සංචාරක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබිණි. මේ වන විට ඔහු දකුණු කොරියාවේ Chung-Ang විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටී. සංජීවගේ සිනමා නිර්මාණ 'ඉගිළෙන මාළුවෝ' (Flying Fish) චිත්‍රපටයෙන් වෘත්තාන්ත චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ඔහු එම සිනමා නිර්මාණය වෙනුවෙන් ජාත්‍යන්තර රොටර්ඩෑම් සිනමා උළෙලේදී හ්‍යුබර්ට් බාල්ස් මූල්‍ය ප්‍රතිපාදන ත්‍යාගය දිනා ගත්තේ ය. ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වූ 'දැවෙන විහඟුන්' (Burning Birds) චිත්‍රපටය බූසාන් සිනමා උළෙල නියෝජනය කළේ ය. තෙවන නිර්මාණය වූ 'විහඟ ප්‍රේමය' (Peacock Lament) 35 වන ටෝකියෝ සිනමා උළෙලේදී හොඳ ම කලාත්මක දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.
තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන තොටළඟ තොරණ
වෙසක් සමය සමග බැඳී තිබෙන තවත් එක් ප්‍රධාන අංගයක් වන්නේ වෙසක් තොරණ යි. තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන්නේ තොටළඟ තොරණ යි. "තොටළඟ තොරණ කියන්නේ මේ ප්‍රදේශයේ සලකුණ කියලා කියන්න පුළුවන්. මේ වසරේ දී තොටළඟ තොරණ පවත්වන්නේ 68 වෙනි වතාවට යි," තොරණේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙන්ම තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රාජා සිරිමාන්න ප්‍රකාශ කළේ ය. තොටළඟ තොරණේ ඉතිහාසය "තොටළඟ තොරණ පළමු වරට ඉදිකෙරුනේ 1955 වර්ෂයේ දී. නමුත් ඊට කලින් පොඩි පෙට්ටි තොරන් පෙන්නලා තිබුණා තොටළඟ දී. ඒ පෙට්ටි තොරණ හැදුවේ සංඝදාස මාස්ටර්. ඔහු පරණම නාට්‍ය කතා රචකයෙක්. 'හිතුවක්කාරී' වගේ නාට්‍ය කතා ලිව්වේ ඔහු. 1952 වසරේ දී පළමුවෙන්ම තමන්ගේ ගෙදර ඉදිරිපිට වෙසක් කාලයේ දී පෙට්ටි තොරණක් හදලා පෙන්නුවේ සංඝදාස මාස්ටර්," තොටළඟ තොරණේ ආරම්භයට මුල පිරුණු අයුරු ගැන අදහස් දක්වමින් රාජා සිරිමාන්න පැවසුවේ ය. "අපි ඒ කාලේ පොඩි අය. පස්සේ ගමේ තරුණ පිරිස් එකතුවෙලා මේ පෙට්ටි තොරණ විශාල කරමු කියලා කතා වෙලා සංගමයක් පිහිටුවා ගත්තා. ඒකෙන් පස්සේ තමයි 1955 වසරේ ඉඳලා තොටළඟ තොරණ ඉදිවෙන්න පටන් ගත්තේ," රාජා සිරිමාන්න තොරණේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. තොටළඟ තොරණේ නිර්මාතෘවරයා තොටළඟ තොරණ 1955 වර්ෂයේ දී ඉදිකිරීම සඳහා පිහිටුවා ගත් තොරණ සමිතියේ ප්‍රධානියා ලෙස එවකට කටයුතු කරනු ලැබ ඇත්තේ, එම තොරණේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එච්. ඒ. විල්බට් පෙරේරා යි. "මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු පදිංචි වී සිටියේ නාගලගම් විදියේ. මගේ තාත්තට ආපු මේ අදහසත් එක්ක තොරණ ඉදිකරන්න කටයුතු කරලා තියෙනවා. පළවෙනියට ඉදිකරපු තොරණේ ප්‍රදර්ශනය කෙරුනේ මහා භද්‍ර කල්පයයි. අපේ වැඩිහිටියෝ කියන විදිහට ඒ තොරණ නරඹන්න දවස් 12ක් යනකම් ජනතාව ඇවිල්ලා තියෙනවා." "ඒ කාලයේ තොටළඟ තොරණ නරඹන්න එන ජනතාව වතු මැදින් පැන පැන ඇවිල්ලා තියෙන්නේ. පාර දෙපැත්තේ ලයිට් එහෙම නොතිබ්බ නිසා එන ජනතාවට රෑ කළුවර නිසා විලක්කු දල්වලා තිබ්බා," විල්බට් පෙරේරාගේ පුත්‍රයා වන අනුර පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේ ය. ජපානයට රැගෙන ගිය තොටළඟ තොරණ වරක් තොටළඟ තොරණ ජපානයේ පවා ප්‍රදර්ශනය කෙරුණ බව තොටළඟ සිරිමාන්න පැවසුවේ ය. "80 දශකයේ අගභාගයේ දී ශ්‍රී ලංකාවේ පැවති ජපන් එක්ස්පෝ වැඩමුළුවට පැමිණ සිටි ජපන් ජාතිකයින් පිරිසක් තොටළඟ තොරණ දැකලා ඔවුන් අපේ සමිතියෙන් ඉල්ලීමක් කළා ජපානයේ දී ඒ තොරණ ප්‍රදර්ශනය කරන්න අවසර දෙන්න කියලා. ඒ වසරේ තොරණේ ප්‍රදර්ශනය කෙරුනේ යමා මහා පෙළහර ජාතක කතාව යි. "ඒ අනුව ඔවුන් විසින් තොටළඟ තොරණ ජපානයට රැගෙන ගියා. ඒ තොරණේ විදුලි ශිල්පියා ලෙස කටයුතු කළ ඒ. බී. ආරියදාස ඇතුළු කණ්ඩායමත් සමග යි. තොරණේ ශිල්පීන් නැවත මෙරටට පැමිණෙන විට ජපන් ජාතිකයින් විදුලි බල්බ ඇතුළු වටිනා කියන භාණ්ඩ රැසක් පරිත්‍යාග කරලා තිබුණා. ඒ තොරණේ චිත්‍ර නිර්මාණය කලේ ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකු වන පුෂ්පානන්ද දෙනිපිටිය යි," සිරිමාන්න සඳහන් කළේ ය. පදික වෙළඳුන් පවා ආධාර දෙන තොටළඟ තොරණ තොටළඟ තොරණ නිර්මාණය වූ 1955 වසරේ සිට මේ දක්වා ප්‍රදර්ශනය කර ඇති වාර සංඛ්‍යාව 67ක් වන අතර එය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් දෛනිකව සම්මාදම් එකතු කිරීමට කටයුතු කරනු ලබන බව තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ සභාපති මේනක වාසනා විතානගේ පැවසුවේ ය. "තොටළඟ තොරණ වෙසක් සමයේ දී ප්‍රදර්ශනය කෙරුණත් මේකට වසර පුරාම වැඩ කටයුතු සිදුකරනවා. තොටළඟ ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික මහතුන් සහ මේකේ පදික වෙළදාමේ යෙදෙන පුද්ගලයින් පවා දෛනිකව තොරණේ වැඩ සඳහා යම් මුදලක් ලබා දීම සිදුකරනවා. අපේ සමිතියෙන් වෙනම ඒ සඳහා කෙනෙක් පත් කරලා තියෙනවා. ඔහු වසරේ සෑම දිනකම අදාල මුදල එකතු කරනවා." "සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයින් දෛනිකව ලබාදෙන රුපියල් 10, 20, 50 සහ 100 වගේ මුදල් එකතු වෙලා තමයි වෙසක් සමයේ දී මුළු මහත් රටටම බලන්න තොරණ ඉදිකිරීම සිදුකරන්නේ. ඒ විතරක් නෙමෙයි තොරණ වෙනුවෙන් ලබා දෙන දායක මුදල වෙනුවෙන් සමිතිය විසින් රිසිට් පතක් ලබාදීම සිදුකරනු ලබනවා," ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ සභාපතිවරයා කරුණු දැක්වීය. 'ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි' පසුගිය කාල සීමාවට සාපේක්ෂව මෙවර තොරණ ඉදිකිරිම සිදුකර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළත්, ඉදිරියේ දී තොරණ පවත්වාගෙන යෑමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වන බව තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරනු ලබන ජනක ලාල් පෙරේරා පවසා සිටියේ ය. "මේ වසරේ දී අපට තොරණ ප්‍රදර්ශනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ විදුලි උත්පාදන යන්ත්‍රයක (ජෙනරේටරයක) ආධාරයෙන්. සාමාන්‍යයෙන් දිනකට පැය හතක් හෝ අටක් තොරණ ප්‍රදර්ශනය කරන්නයි බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් කිලෝවොට් 300ක පමණ ධාරිතාවය තියෙන ජෙනරේටරයක් අවශ්‍යයි. දවසකට ජෙනරේටරයට ඩීසල් ලීටර් 350ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව අපිට තොරණ ප්‍රදර්ශනය කරන්න දවසකට විදුලිය වෙනුවෙන් විතරක් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් වගේ අවශ්‍යයි." "මේ අවුරුද්දේ පෙන්වන තොරණ අඩි 65ක් උසින් සහ අඩි 65ක් පළලින් යුක්ත යි. තොරණ අලංකරණයට විදුලි බල්බ 65 000ක් යොදා ගන්නවා. "පසුගිය කාලයේ වගේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාරික ප්‍රජාවෙන් පවා දෛනිකව එකතුවෙන මුදලේ යම් අඩුවක් තියෙනවා. ඒ නිසා මෙවර අපිට පෞද්ගලික ධානපතියන්ගේ ආධාර බලාපොරොත්තු වෙන්න සිද්ධ වුණා විදුලිය ප්‍රශ්නයත් නිසා. අඩුම තරමින් රජයෙන් අපිට සහන මිලකට විදුලිය ලබා දෙනව නම් ඒක වටිනවා. අපි නිකම් නෙමෙයි ඉල්ලන්නේ. යම් කිසි මිලක් අඩු කරලා ලබා දෙන්න කියලා," ජනක ලාල් පෙරේරා පැවසුවේ ය. මේ වන විට තොරණ නිර්මාණය සඳහා අවශ්‍ය කරනු ලබන තීන්ත ඇතුළු අමුද්‍රව්‍යයන්හි මිල ගණන් ඉහළ යාම නිසා තොරණක් නිර්මාණය කිරීමට අවශ්‍ය මුදල තෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව මෙරට ජ්‍යෙෂ්ඨ තොරණ චිත්‍ර ශිල්පියෙකු වන පුෂ්පානන්ද දෙනිපිටිය පවසා සිටියේ ය. "රටේ ඇතිවූ ආර්ථික තත්ත්වය හේතුවෙන් චිත්‍ර නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සීමා වෙලා තියෙන්නේ. ගොඩක් අවශ්‍ය තීන්ත, පින්තාරු බුරුසු ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වන්නේ ඉන්දියාවෙන්. නමුත් ඒවා අද වන විට හිඟයි සහ මිල ගණන් ඉහළයි. ඉස්සර තොරණක් නිර්මාණය කරන්න ගියේ රුපියල් ලක්ෂ 20ක වගේ මුදලක්. නුමුත් දැන් ඒ සඳහා රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් වියදම් වෙනවා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ තොරණ චිත්‍ර ශිල්පී දෙනිපිටිය බීබීසී සිංහල සේවයට සිය අදහස් පළ කළේ ය. තොරණ කලාවේ අභාවය ගැන ඉඟියක් වසර 70කට අධික ඉතිහාසයක් සහිත මෙරට තොරණ කලාව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය උනන්දුව සහිත චිත්‍ර ශිල්පීන් සිටින්නේ සීමාසහිත පිරිසක් බව චිත්‍ර ශිල්පී දෙනිපිටිය පවසා සිටියේ ය. "මේ කේෂ්ත්‍රය ගැන උනන්දුවක් දක්වන චිත්‍ර ශිල්පීන් දැන් ගොඩක් අඩු යි. චිත්‍ර ශිල්පීන්ගේ අඩුපාඩුව දැනටමත් තියෙනවා. ඉතාම අතලොස්සක් තමයි දැන් මේ කේෂ්ත්‍රයේ රැඳී සිටින්නේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් 25ක් වත් නැහැ. අනාගතයට මේ තොරන් කලාව අරන් යන්න උනන්දුවක් දක්වන පිරිසක් හෝ චිත්‍ර ශිල්පින් නැහැ යි කියලයි මට පෙනෙන්න තියෙන්නේ." "ඒ වගේම ඩිජිටල්කරණයට ලක්වීම හරහා සාම්ප්‍රදායික තොරන් කලාව ඉදිරියේදී නැතිවී යන්න පුළුවන්. බොහෝ ක්ෂේත්‍ර ඩිජිටල්කරණයට ලක්වෙමින් තියෙනවා. ඒ වගේමයි තොරන් කලාවත්. හැමදෙයක්ම අතින් කරන නිර්මාණවලට වටිනාකමක් තියෙනවා නේ. නමුත් මේකෙදි වෙන්නේ කොම්පියුටරයකට ඇතුළත් කරලා තියෙන මෘදුකාංගවලින් නිර්මාණය කරන චිත්‍රයක්. ඒ අතරින් බලද්දී අතින් අඳින චිත්‍රයකට තියෙන වටිනාකම ඊට වඩා වැඩියි," ඔහු අදහස් දැක්වීය.
90 දශකයේ කාම චිත්‍රපට රැල්ල සහ ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ භූමිකාව
90 දශකයේ බිහිවූ කාම චිත්‍රපට ශානරයේ ආරම්භකයා ලෙස පිළිගැනෙන ලුවී වැන්ඩස්ට්‍රාටන් අප්‍රේල් 20 වන දා අභාවප්‍රාප්ත විය. ඔහුගේ ඥාතිවරියක පැවසුවේ, 76 වන වියේ පසුවූ ඔහු දියවැඩියා රෝගී තත්ත්වයකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇති වූ හෘදයාබාධයකින් මියගියබව ය. සිංහල සිනමාවේ එක් යුගයක අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට ශානරයක ආරම්භකයා ලෙස ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ නිර්මාණවලින් සිංහල සිනමාවට සිදුවූ බලපෑම පිළිබඳ විමසා බැලීමකි මේ. කාම චිත්‍රපට පෞද්ගලික රූපවාහිනී නාලිකා ආරම්භ වීම, රූපවාහිනී නාලිකා ඔස්සේ හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආදී විවිධ හේතු මත සිනමා ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවෙන් ඈත් වෙමින් පැවති 90 දශකයේ, ප්‍රේක්ෂකයින් යළි සිනමා ශාලාවලට රැගෙන ඒම සඳහා සිංහල චිත්‍රපට ශානර දෙකක් ගොඩනැගිණි. ඒ අතරින් කාම චිත්‍රපට ශානරයේ නිර්මාතෘ ලෙස පිළිගැනෙන්නේ, ලුවී වැන්ඩස්ට්‍රාටන් ය. "90 දශකයේ ආව ලිංගික චිත්‍රපට ශානරයේ ආරම්භකයා තමයි, ලුවී. එයාගේ 'ඇගේ වෛරය' තමයි පළවෙනි චිත්‍රපටය (1995). ඒක විශාල ආදායමක් ලැබුවා. ඒක කළු සුදු චිත්‍රපටයක්. එයාගෙ 'අපි බය නැහැ' කියන චිත්‍රපටය තමයි 1996 ආවේ. ඒක තමයි ඔය ශානරයේ පළවෙනි වර්ණ චිත්‍රපටය. 'ඇගේ වෛරය' තමයි ඒ වසරේ ඉහළ ම ආදායම් ලැබූ චිත්‍රපටය," ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ සිනමා භාවිතය පිළිබඳව පර්යේෂණයකට දායක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය‍. "ස්ත්‍රී ශරීරයේ කොටස් විකිණීම" ඔහු පැවසුවේ, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ චිත්‍රපටවලට බටහිර ලිංගික චිත්‍රපටවල බලපෑමක් ඇතැ යි සිතිය හැකි වුව ද, ඔහු එම චිත්‍රපටවල පැවති කලාත්මක ලක්ෂණ සිය නිර්මාණ සඳහා භාවිතකර නොමැති බව ය. "ලිංගික චිත්‍රපටවලට ලිංගිකත්වය ඇතුළත් කරද්දී සාමාන්‍යයෙන් බටහිර චිත්‍රපටවල වැඩ කිහිපයක් වෙනවා. එකක් තමයි මිනිසුන්ගේ ජීවිතයේ තියෙන සංකීර්ණ පැති, ජීව විද්‍යාත්මක කාරණා සෞන්දර්යාත්මක විදිහට නිර්මාණය කරනවා. හැබැයි මේ එකක්වත් මේ චිත්‍රපටවල තිබුණෙ නෑ. "ස්ත්‍රියගේ ශරීරය විකිණීම තමයි ඇත්තට ම මේ චිත්‍රපට ඇතුළෙ ප්‍රධාන වශයෙන් ම තිබුණෙ. ඒ චිත්‍රපටවල තිබුණ ප්‍රධාන දේ තමයි, ස්ත්‍රී ශරීරයේ කොටස් වැඩි වාර ගණනක් පෙන්වීම. පියයුරු, කලවා, අඩ නිරුවත, සිපගැනීම් මේ වගේ දේවල් වැඩි වාර ගණනක් පෙන්නනවා. 'ඇගේ වෛරය' චිත්‍රපටයේ කලවාවල විතරක් රූප රාමු 14ක් තිබුණා," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ ය. "චිත්‍රපටය කෙරෙහි තිබූ ගෞරවය නැති වුණා" මේ අතර, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ "කාම රැල්ලේ චිත්‍රපට" නිසා චිත්‍රපට සහ නළු නිළියන් කෙරෙහි ප්‍රේක්ෂකයින්ගේ පැවති ගෞරවය සහ විශ්වාසය බිඳ වැටුණු බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමරකෝන් පවසයි. "මේ චිත්‍රපට නිසා චිත්‍රපට කෙරෙහි ශ්‍රී ලංකාවේ රසිකයන් තුළ පැවති යහපත් පිළිගැනීමට බලපෑමක් එල්ල වුණා. ඒක ඒ චිත්‍රපටවල රඟපෑව නිළියන්ටත් බලපෑවා. ඇතැම් ප්‍රධාන නිළියන්ට රට හැර යාමට පවා සිදුවුණා. ඔවුන්ගේ ජීවිතවලටත් ඒ මඟින් බලපෑම් එල්ල වුණා. මුලින් ම සිංහල සිනමාව බයිස්කෝප් විදිහට තමයි හැඳින්වුණේ. ඒත් ඒ තත්ත්වයෙන් මිදිලා තිබුණා 90 දශකයේ මුල වෙනකම් විතර. පස්සේ මේ චිත්‍රපට හරහා ඒක ආපස්සට ගියා කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ චිත්‍රපට කෙරෙහි තිබුණ විශ්වාසය, ආකල්ප පසුබෑමකට ලක්වුණා මේ ශානරය ජනප්‍රිය වීම නිසා." "ලුවීට තිබුණ සිනමා දැනුම නිසි විදිහට භාවිත කළේ නැහැ" - ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා "1956 රේඛාවෙන් පස්සේ දකුණු ඉන්දියානු ආකෘතියෙන් මිදිලා කිසියම් ආකාරයක අපට අනන්‍ය වූ සිනමාවක් ගොඩනගමින් තිබුණ යුගයක් ඒක. ලෙස්ටර්ලා, සිරි ගුණසිංහලා සිනමාව කියන්නේ ජීවිතය කියවන්න පුළුවන් මාධ්‍යයක් කියන එක තමයි රූපණය කළේ. ඒ කාලේ තමයි ලුවී පටන් ගත්ත සරල විනෝදය තකා හදපු කාම චිත්‍රපට රැල්ල ආවේ. "ඔහුට වැඩක් කරන්න පුළුවන් කියන එක පෙනුණා, චිත්‍රපට ඇතුළේ. නමුත් ඔහු ඒක භාවිත කළේ මුදල් ඉපයීමේ කාර්යයක් හැටියට කියලයි හිතෙන්නෙ. ඒකෙන් සිංහල සිනමාව පෝෂණය වුණා කියලා මම නම් විශ්වාස කරන්නේ නෑ. අපරාධෙ ඔහුට සිනමාව ගැන නිවැරදි දැක්මක් නොතිබුණ නිසා ඒක නිසි විදිහට භාවිත කළේ නැහැ. ඒක අවාසනාවක්." සම්මානනීය ඉංග්‍රීසි සාහිත්‍යකරුවා කෙසේ වෙතත්, ලුවී වැන්ඩස්ට්‍රාටන් යනු ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් පැවති අයෙකු බව ද පැවසේ.‍‍ ඔහු ඉංග්‍රීසි බසින් රචනා කරන ලද 'බුද්ධි' නවකතාව හොඳ ම ඉංග්‍රීසි යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීය. ඔහු 90 දශකයට පෙර බිඳුණු හදවත් (1971), පෙම් කුරුල්ලෝ (1975), බෝනික්කා (1983), මව්බිම නැත්නම් මරණය (1985) ආදී සාමාන්‍ය වාණිජ ශානරයේ චිත්‍රපට කිහිපයක් නිර්මාණය කර තිබිණි. ඔහු ආරම්භ කළ කාම චිත්‍රපට ශානරයේ ආරම්භය 1995 වසරේ තිරගත වූ 'ඇගේ වෛරය' චිත්‍රපටයෙන් සනිටුහන් විය. ඔහු නිර්මාණය කළ චිත්‍රපට නාමාවලිය මෙසේ ය: බිඳුණු හදවත් - 1971, පෙම් කුරුල්ලෝ - 1975, සජා -1977, බෝනික්කා - 1983, මව්බිම නැතිනම් මරණය - 1985, ජූරිය මමයි - 1993, ඇගේ වෛරය - 1995, අපි බය නැහැ - 1996, ඇගේ වෛරය 2 - 1997, වියරු ගැහැනියක් - 1997, ගර්ල් ෆ්‍රෙන්ඩ් - 1998, ඇගේ වෛරය 3 - 1998, දඩබිම - 2000, ඇගේ වෛරය 4 - 2000, කන්‍යාවියගේ රාත්‍රිය - 2001, බලකාමය - 2001, සුන්දර වරද - 2001, සෙල්ලං කුක්කා - 2001, සරාගී - 2002, හාදු වැස්සක් - 2004, ගිනිගත් හෝරාව - 2004, සීතල හාදු - 2005, ධර්ම පුත්‍ර - 2006, අලි පැංචා මගේ මිතුරා - 2008, සුර සැප සොයා - 2008, නිදි යහන කැලඹෙයි - 2011 රැල්ලේ අවසානය 1995 වසරේ ඇරඹි ජනප්‍රිය රැල්ලේ කාම චිත්‍රපට සඳහා පැවති ප්‍රේක්ෂකත්වය ක්‍රමයෙන් හීනවී ගිය බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමරකෝන් පවසයි. "90 දශකයේ අග වෙද්දී මේ ප්‍රේක්ෂක උනන්දුව බිඳවැටෙනවා. ඒකට හේතුව තමයි ප්‍රේක්ෂකයන්ට මේවා එපාවෙනවා. එහෙම වුණේ ඒක ඒකාකාරී වුණ නිසා. එක ම කතන්දර ටික, එක ම වට්ටෝරුව, බොහෝ විට එක ම නළු නිළියෝ, එක ම විදිහට තමයි මේවා කළේ. ඒ නිසා ඒක හරි ම නීරස වුණා."
වසර තුන් හාරසීයක් පැරණි දූව ගම්මානයේ පාස්කු නාට්‍යය
එක් පසෙකින් ඉන්දියන් සාගරයෙනුත්, අනෙක් පසින් මීගමුව කලපුවෙනුත් වටවූ මසුන් මරන්නන්ගේ කුඩා ගම්මානයේ ධීවර යාත්‍රාවලට කලකට පසුව විවේකයක් ලැබී ඇති හැඩකි.‍ අප්‍රේල් මාසයේ පැමිණෙන ගොබ් ඉරිදාවෙන් පසු දූව ගම්මානයේ ධීවරයන් බෝට්ටුවලට විවේක දෙන්නේ ඔවුන් වේදිකාවට ගොඩවෙන කාලය පැමිණ ඇති නිසා ය. ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස තෝරා ගත්තේ ද ධීවරයන් පිරිසකි. දූව ධීවර ගම්මානය කතෝලික ජනයා අතර ඉමහත් ජනාදරයට පත්වන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ රඟ දක්වන "දූවේ පාස්කු නාට්‍යය" හේතුවෙනි. “දූවේ පාස්කු නාට්‍ය පටන් අරන් අවුරුදු තුන් හාරසීයකට වැඩියි. මුලින්ම රූකඩවලින් කරන්න අරගෙන 1939 දී තමයි අපේ දූවේත් මිනිස්සුගෙන් පාස්කු නාට්‍ය කරන්න පටන් අරන් තියෙන්නේ. මර්සලින් ජයකොඩි පියතුමා තමයි පිටපත ලියලා ඒක ආරම්භ කරලා තියෙන්නේ,” වත්මන් පාස්කු නාට්‍යයේ සම අධ්‍යක්ෂක රාජ් ලිවේරා බීබීසී සිංහල සේවයට කියා සිටියේය. පාස්කු නාට්‍යයේ රංගන ශිල්පියෙක්ව සිටි කාලාභූෂණ රාජ් ලිවේරා, සහ මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචිත නාට්‍ය පිටපතේ නව සංස්කාරක ශාස්ත්‍රපති ක්ලෙමන්ට් ප්‍රනාන්දු වත්මන් දූවේ පාස්කු නාට්‍යයේ සම අධ්‍යක්ෂකවරු වෙති. දූවේ පාස්කු නාට්‍යය ඇරඹුණේ කොහොමද ? ක්‍රිස්තු වර්ෂ 1728 දී පමණ ආරම්භ වී ඇතැ යි පැවසෙන මීගමුව දූව පාස්කු නාට්‍යය, වර්ෂ 1839 දී එහි 100 වන පාස්කු දර්ශනය පැවැත්වූ බව පැවසෙයි. මුල් යුගයේ දී රූකඩ යොදා ගනිමින් රඟදැක්වූ නාට්‍යය එවක දූව සින්ද්‍රාති දෙව් මැඳුරේ මීසම් පාලකව සිටි, 'පන්සලේ පියතුමා' යන විරුදාවලිය ලත් මර්සලීන් ජයකොඩි පියතුමා විසින් මිනිසුන් යොදා ගනිමින් 1939 දී මුල් වරට රඟ දක්වා ඇත්තේ එතුමන්ගේ පිටපතකට අනුව ය. එම වකවානුවේ දී කාන්තා චරිත සඳහා ද යොදාගෙන ඇත්තේ පිරිමි නළුවන් ය. ඒ සඳහා නිළියන් යොදා ගැනුණේ පසු කලෙක වන අතර, මැගිලින් ලිවේරා දූව පාස්කු නාට්‍යයේ රඟපෑ ප්‍රථම නිළිය ලෙස සඳහන් වේ. දැනට වසර 84කට වැඩි කාලයක් තිස්සේ රඟ දක්වන දූවේ පාස්කු නාට්‍යය සඳහා තවමත් භාවිතා කරනුයේ මර්සලින් ජයකොඩි පියතුමා 1939 දී රචනා කරන ලද පිටපත වුව ද ඊට සුළු වෙනස්කම් කර ඇත. එමෙන්ම ජේසුස්ගේ කුරුස ගසෙහි උකුත්වීම නිරූපණය කිරීමට යොදාගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන එන ලද සියවසකට වඩා ඉපැරණි ප්‍රතිමාවක්වීම මෙහි තවත් විශේෂත්වයකි. “අපි කුරුසගත කරන ක්‍රිස්තු ප්‍රතිමාව 1838 දී තමයි දූවට ගෙනත් තියෙන්නේ. ඉස්සර දූවේ කට්ටිය පැටිල් ඔරුවල නැගලා එක එක බඩු අරගෙන යනවා ඉන්දියාවේ කොචින්වලට. ඒ ගිය වෙලාවක ජෝකීනු කියන සුරුවම් නෙලන වඩු කාර්මිකයාට කියලා මේ ප්‍රතිමාව හදාගෙන මෙහෙට ගෙන්නලා තියෙනවා,” පාස්කු නාට්‍ය ධීවර ජිවිතයේ කොටසක් බවට සාක්ෂි ලෙස හුවා දක්වමින් රාජ් ලිවේරා කියා සිටියේ ය. “අපේ ගමේ කට්ටිය තමයි මේකේ රඟපාන්නේ. පිට ගමකින් කවුරු හරි බැඳලා මෙහෙට ආවොත්, නැතිනම් මෙහෙන් බැඳලා පිට ගමකට ගියොත් අපි ඒ අයවත් මේ නාට්‍යයට සම්බන්ධ කරගන්නවා. අපෙන් පස්සේ මේක ඉදිරියට ගෙනියන්න අපි කට්ටිය පුහුණු කරමින් යනවා,” පාරම්පරික උරුමයක් ලෙසින් ඉදිරියට යන පාස්කු නාට්‍ය ගැන ඔහු විස්තර කළේ ය. පාස්කු නාට්‍ය සඳහා වයස් භේදයකින් තොරව නළු නිළියන් 200කට ආසන්න පිරිසක් සම්බන්ධ කරගනියි. අතීතයේ දී සහ වර්තමනයේ දී නාට්‍ය සඳහා පිරිස් රැස් කරගන්නා ආකාරය ගැන නාට්‍ය අධ්‍යක්ෂ රාජ් ලිවේරා විස්තර කළේ ය. “ඉස්සර අපි පොඩි කාලෙ කළේ පාස්කු කිට්ටු වෙද්දි නාට්‍යයේ වැඩවලට කට්ටිය එකතු කරන්න සීනුව ගහගෙන ගම වටේ යනවා 'පාස්කු මඩුව හදන්න මිනිස්සුන්ට එන්න කිව්වෝ' කියාගෙන. ඊට පස්සේ පාස්කු නාට්‍ය පුරුදු කරද්දි 'පාස්කු නාට්‍ය පුරුදු වෙන්න මිනිස්සුන්ට එන්න කිව්වෝ' කියාගෙන අර විදියටම සීනුව ගහගෙන ගම වටේ යනවා. “දැන් නම් ඉතින් මේ තරුණයෝ හැමදේම කරන්නේ ෆෝන්වලින්. අපිට නම් ඒ දේවල් තේරෙන්නේ නෑ. හැබැයි මේ තරුණයෝ ඔන්ලයින් හැමදේම කරලා කට්ටිය රැස් කරගන්නවා, ෆෝන්වලින් විස්තර දැනුම් දෙනව,” සියවස් ගණනක් තිස්සේ නොනැසී පවතින දූව පාස්කු නාට්‍යයේ සම්ප්‍රදායන් වෙනස්ව ඇති ආකාරය ඔහු එලෙස විස්තර කළේ ය. සියවස් ගණනක් තිස්සේ පරම්පරා කිහිපයක් විසින් ඉදිරියට ගෙන ආ දූවේ පාස්කු නාට්‍ය සංරක්ෂණය කිරීමට රජය මැදිහත් වී තිබීම තවත් විශේෂත්වයකි. “ශ්‍රී ලංකාව තුළ සංස්කෘතික මිනිසෙක් බිහි කිරීම කියන අරමුණ ලේඛනාරක්ෂණ දෙපාර්තුමේන්තුවට තියෙනවා. ඒ ඔස්සේ ලංකාවේ පොදු සංස්කෘතිය පෝෂණය කරන සිංහල හෝ දෙමළ කතෝලික ජනතාවගේ සංවේදී කතා වස්තුවක් අළලා රචනා වෙච්ච ඓතිහාසික පාස්කු නාට්‍යයේ ක්‍රියාවලිය ශ්‍රව්‍ය දෘෂ්‍ය ලෙස පටිගත කරලා එය සංරක්ෂණ කිරීම සඳහා තමයි අපි මේ කටයුත්ත සූදානම් කළේ,” ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තුමේන්තුව සංවර්ධන නිලධාරි දිලිප් කුමාර නානායක්කාර බීබීසී සිංහල සේවයට පැවසීය. පාස්කු නාට්‍යයට අදාළව අතීතයේ පැවති තත්ත්වය හා වත්මන් තත්වය පිළිබඳව සියලු තොරතුරු සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත දායාද කිරීම තම දෙපාර්තුමේන්තුවේ අරමුණ බව ද ඔහු කියා සිටියේ ය. තම තොරතුරු වාර්තාකරණය කතෝලික ජනයා ජිවත්වන ප්‍රදේශවන මීගමුව පිටිපන හා දූව ගම්මාන ආශ්‍රිතව මේ වන විටත් ආරම්භ කර සිදුවෙමින් පවතින බව දිලිප් කුමාර නානායක්කාර පවසයි. “පාස්කුව හා බැඳුන යම් යම් වටිනා උරුමයන් ඒ ජනතාව අතරම තියෙනවා. ඒ සමහර කොටස් ඒ අයගේ නිවස්වලම පවත්වාගෙන යන්න තමයි ඒ අය කැමති. ඒ නිසා එවැනි දේවල් ඒ ජන කොටස් ඇතුළතම සුරක්ෂිත කිරිම ගැන අවශ්‍ය දැනුම බෙදා දීමට ලේඛනාරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය උපදෙස් දී තිබෙනවා,” හෙතෙම තවදුරටත් කියා සිටියේ ය.
ලෝකයේ වේදනාව විදහාපාන වීදි සිතුවම්
2020 ග්‍රීෂ්ම ඍතුවේ දී, ලොව පුරා නගරවල තාප්ප බිත්ති මත පුද්ගලයෙකුගේ මුහුණු රූපයක් සිතුවමට නැගී තිබිණි: ඒ, 2020 මැයි 25 වන දින පොලිස් නිලධාරි ඩේවිඩ් ෂෝවින් විසින් අමානුෂික ලෙස හුස්ම සිරකර මරා දමන ලද කළු ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ රූපයකි. එම සිතුවම් අතරින් බහුතරයට පදනම් වී තිබුණේ, ෆ්ලොයිඩ් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ 2016 වසරේ දී ගන්නා ලද ඔහුගේ ඡායාරූපයකි. බොහෝදෙනෙක් ඔහු ඝාතනය කිරීමේ දී දුන් වධහිංසා සහ ඔහුගේ අවසන් වචන ගැන සඳහන් කළහ. ඇමෙරිකාවේ සිට සැතපුම් දහස් ගණනක් එපිටින් පිහිටි යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන මහද්වීපවල නගරවල ද ෆ්ලොයිඩ් වෙනුවෙන් වීදි සිතුවම් නිර්මාණය කරමින් උපහාර දැක්වීමේ විරෝධතා රාශියක් සිදු කෙරිණි. කරච්චියේ දී, ට්‍රක් රථවල සිතුවම් අඳින චිත්‍ර ශිල්පී හේදර් අලි ඉංග්‍රීසි හෑෂ්ටැග් ('#blacklivesmatter') සහ උර්දු ගී පද ("මේ ලෝකය සුදු හෝ කළු ජාතිකයින්ට අයිති නැත, එය අයිති හදවත් ඇති අයට යි") යනුවෙන් සඳහන් කර සිතුවමක් පින්තාරු කළේ ය; වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ්හි, යුද්ධයෙන් විනාශ වූ නටබුන් අතර ෆ්ලොයිඩ් පෙනී සිටියේ ය; නයිරෝබිහි, ඔහුව සිත්තම් කර තිබුණේ 'යුක්තිය' යන අර්ථය ඇති "හාකි" යන ස්වාහීලී වචනය සමගිනි (කෙන්යානු චිත්‍ර ශිල්පී ඇලන් මුවන්ගි, හෙවත් මිස්ටර් ඩීටේල් සෙවන්, විසින් ඇඳි සිතුවමක); පලස්තීන චිත්‍ර ශිල්පී ටාකි ස්බාතින් බටහිර ඉවුරේ බාධකය මත ෆ්ලොයිඩ් සිතුවම් කළේ ය; බර්ලිනයේ මවර්පාක්හි බිත්තියක් මත ඩොමිනිකානු ජාතික චිත්‍ර ශිල්පියෙකු වන එමී ෆ්‍රීතින්කර් විසින් ෆ්ලොයිඩ් සිත්තම් කෙරිණි. ඒ සමගම ප්‍රසිද්ධ ඇමෙරිකානු කළු ජාතික චරිත රාශියක් ද ඇඳ තිබුණි: මැල්කම් එක්ස්, මාර්ටින් ලූතර් කිං, ඇන්ජෙලා ඩේවිස්, ෂෝන් මයිකල් බාස්කියට් සහ සංගීතඥ ප්‍රින්ස් එහි වූහ. මෙම සිතුවම් මානව සංවේදනයට සහ බ්ලැක් ලයිව්ස් මැටර් (Black Lives Matter/කළු ජාතික ජීවිත වටනේ ය) ව්‍යාපාරයේ ආරම්භයට සාක්ෂි දැරුවේ ය. බිතුසිතුවම් යනු පෞරාණික ක්‍රමවේදයක් (ඉපැරණි ග්‍රීසියේ සහ රෝමයේ බිතු සිතුවම් කලාව තෙක්) මෙන් ම සමාජය පිළිබඳ සමකාලීන ප්‍රකාශයකි. ස්වාධීන බිතුසිතුවම් සහ අණ කිරීමක් මත සිදුවුණු ප්‍රසිද්ධ චිත්‍ර නිසා ද Black Lives Matter වෙත අවධානය යොමුවිය. ඉතිහාසය දැඩි ලෙස ප්‍රශ්න කරන වසරක සහ ගෝලීය වසංගතයක් හේතුවෙන් සාම්ප්‍රදායික ගැලරි සහ කෞතුකාගාර වසා දමා ඇති වසරක, වීදි චිත්‍ර විවිධ දෘෂ්ටි කෝණයන් ඉස්මතු කළේ ය. ෆ්ලොයිඩ්ගේ ඝාතනය ප්‍රසිද්ධියේ සිදුවූ භීෂණයක් (කැමරාවක සටහන් කරගත්) බවට පත්වූ නමුත්, එවැනි භීෂණ සිදුව ඇත්තේ ඔහුට පමණක් නොවේ. පරම්පරා ගණනක අහිංසක කළු ඇමෙරිකානු වින්දිතයින්ගේ නම් බිත්ති ස්මාරකවල දැකිය හැකි ය. ඒ අතර, බ්‍රියෝනා ටේලර් (2020 මාර්තු 13 වන දා ඇයගේ ම නිවස තුළදී පොලිසිය විසින් මරා දමන ලදී), 12 හැවිරිදි තමීර් රයිස් (2014 නොවැම්බර් 22 වන දා පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය), 14 හැවිරිදි එමෙට් ටිල් (1955 අගෝස්තු 28 වන දා ජාතිවාදීන් පිරිසක් විසින් ඝාතනය කරන ලදී) වූහ. ජාත්‍යන්තර චිත්‍ර ශිල්පීහු ඔවුන්ට ආවේණික වූ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරති: ෆ්ලොයිඩ් පිළිබඳ නයිරෝබිහි ඇඳි සිතුවම කෙන්යාවේ පොලිස් කෲරත්වය පිළිබඳ චෝදනා දෙස අවධානය යොමු කරයි: ෆ්‍රීතින්කර් නමැති කලාකරුවා පැවසුවේ, ඔහුගේ බර්ලින් බිතු සිතුවම ෆ්ලොයිඩ්ගේ මරණය මවාපෑමකට වඩා ඔහුගේ ජීවිතයට ගෞරව කිරීමක් විය යුතු බව ය. එහෙත්, ඔහු සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේ, "කිසි ම හේතුවක් නැතිව මගේ රටේ ගොඩක් මිනිස්සු පොලිසිය නිසා ඝාතනය වෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා ඒක කොහොම දෙයක් ද කියලා මම දන්නවා," යනුවෙනි. අනීස් හම්දූන් සමග ඉඩ්ලිබ්හි බිතු සිතුවමක් නිර්මාණය කළ අසිස් අස්මාර් 'ද නැෂනල්' පුවත්පතට පැවසුවේ, "කලාව විශ්වීය භාෂාවක්. අපේ මනුෂ්‍යත්වයට අපෙන් අවශ්‍ය වෙන්නේ අසාධාරණයට මුහුණදෙන අනෙක් මිනිස්සු එක්ක එක්වෙන එක. විනාශ වෙච්චා ගොඩනැගිලිවල බිත්ති මත චිත්‍ර අඳිනකොට අපි ලෝකයට කියන්නේ, මේ ගොඩනැගිලි යට මියගිය මිනිස්සු ඉන්නවා, ගෙවල් අතෑරලා ආපු මිනිස්සු ඉන්නවා කියලා. ඒකෙන් පේනවා ඇමෙරිකාවේ වුණ අසාධාරණය වගේ මෙතනත් අසාධාරණයක් වුණා කියලා," යනුවෙනි. බිතු සිතුවම්වල තාවකාලික ගුණාත්මකභාවයක් මෙන් ම කල්පවත්නා බලයක් ද රැඳී තිබේ. The City Beneath: A Century of Los Angeles Graffiti නමැති ග්‍රන්ථයේ කතුවරිය යන සූසන් ඒ. ෆිලිප්ස් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ පළකළ ලිපියක් මඟින් තර්ක කළේ, "දේශපාලනික බිතුසිතුවම් කියන්නේ පළාත් පාලන ආයතන සහ පොලිසිය වීදි වසා දැමීමට උත්සහ දරන පසුබිමක නාගරික අවකාශය භාවිත කිරීම සඳහා කරන තීරණාත්මක මැදිහත්වීමක්. විරෝධතා විසුරුවා හැරීමෙන් පසුව පවා ඔවුන්ගේ සාමූහික හඬට සාක්ෂියක් ලෙස සිතුවම් ඉතිරි වෙනවා. සිතුවම් ඉක්මනින් සෝදා හැරිය හැකි වුවත්, ඉතිහාසයේ කොටසක් බවට පත්වීම වැළැක්විය නොහැකියි." ෆ්ලොයිඩ්ගේ ඝාතනය සිදුවූ ඇමෙරිකාවේ දකුණු මිනියැපොලිස්හි කප් ෆුඩ්ස් වෙළඳසැල් ගොඩනැගිල්ල මේ වන විට අනුස්මරණීය සිතුවම්වලින් සරසා තිබේ. එහි විශේෂ චලනය වන කොටසක් නිර්මාණය කරන ලද්දේ, දේශීය චිත්‍ර ශිල්පිනියක සහ ගුරුවරියක වන මෙඩෝලී ස්ට්‍රෝං විසිනි. ෆ්ලොයිඩ්ගේ මරණාසන්න ආයාචනය සිහි කරමින් 'මමා' ලෙස නම් කර ඇති එය ඇමෙරිකානු ධජයක් ඉදිරිපිට දුක්වන කළු ජාතික මව්වරුන් නිරූපණය කරයි. "මම ත් අම්මා කෙනෙක්. ජෝර්ජ් අම්මා කියලා කෑ ගහනකොට, ඔහු අවසන් හුස්ම හෙළනකොට, මට ත් ඇඬුණා," මෙඩෝලී ස්ට්‍රෝං BBC Culture වෙත පැවසීය. "අපි මොකක් හරි ලොකු ප්‍රශ්නයක ඉන්න වෙලාවට, එහෙමත් නැත්නම් බය වුණ වෙලාවට අපි කතා කරන්නේ දෙවියන්ට හෝ අම්මාට යි. මගේ පුතාට පොලිසියෙන් අඩන්තේට්ටම් කළා. මම දන්න කියන ගොඩක් අය පොලිසියේදී අපයෝජනයට ලක්වූ අවස්ථා මම දැකලා තියෙනවා. එම බොහෝ සිදුවීම්වල බිය සහ අත්දැකීම්වලින් අපට දැනෙන වේදනාව මා සිතුවම් කළ මුහුණුවලින් මට දැනෙනවා.. මේ සිතුවම ජෝර්ජ් ෆ්ලොයිඩ් ගැන වුණත්, ඒක පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් දරුවන් අහිමි වූ සියලු ම මව්වරුන් වෙනුවෙන් කැප කරනවා." අප කොතැනක සිටිය ද, සමාජ මාධ්‍ය මෙම වීදි සිතුවම් සහ ප්‍රකාශ අපට වඩාත් සමීප කරවයි. දේශීය සහ ගෝලීය මට්ටමින් වීදි බිතුසිතුවම්වල ධනාත්මක බලවේගය ජයග්‍රහණය කරයි ("එය ප්‍රජාව සවිබල ගන්වන අතර එය අභිමානයක් ලබා දෙයි. මෙම රූපවල නියෝජනය වන පුද්ගලයින් සහ සංස්කෘතිය ප්‍රජාවකට වටිනාකමක් දෙයි. ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගත් කල, එය මෙතරම් කාලයක් යටපත් කර තිබූ හඬට අවකාශයක් ලබා ගැනීමට ඉඩ සලසයි"). ඒ සමග ම, මාධ්‍ය දැනුමක් ඇති කලාකරුවන් ඇතැම් විට ප්‍රජා හඬ යටපත් කරන ආකාරය පිළිබඳව ද ඇය සියුම් කරුණු ඉදිරිපත් කරයි: "මම තවමත් මේක පිළිගන්නවා," ඇය පවසයි. "හැම කෙනෙකුට ම මතයක් තියෙනවා. හැමෝම ඒ ගැන ක්‍රියා කරන්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව. සුදු වාර්ගික කලාකරුවන් තමන්ගේ ඉතිහාසය පිළිබඳ සලකුණු තබන එක වරදක් විදිහට මම දකින්නෙ නෑ. ඒත් මම විශ්වාස කරනවා, කළු ජාතික, දේශීය සහ අඳුරු සම සහිත කලාකරුවන්ට ත් (BIPOC artists) තැනක් ලැබිය යුතුයි කියලා. බොහෝ විට අපි පැත්තකට වෙලා හිටියේ. ඒත්, දැන් සමාගම් සහ අනුග්‍රාහකයන් අපගේ වැඩ සොයා යන ප්‍රවණතාවක් දකිනවා; එය 'සුදු අයගේ වරද පිළිගැනීමක්' හෝ 'හුදු ජනප්‍රිය ප්‍රවණතාවක්' දැයි විශ්වාස නෑ. නමුත් BIPOC කලාකරුවන් සැම විට ම මෙහි සිට ඇති අතර ඉදිරියට ත් සිටින බව වටහා ගත යුතු යි." ස්ට්‍රොංගේ අදහසට අනුව මෙම අර්බුදය සඳහා කල්පවත්නා වෙනසක් අවශ්‍ය වේ: "අපිව නිකම් ම පාවිච්චි කරන්න එපා. අපේ හඬ සවිබල ගන්වන්න අවශ්‍ය සම්පත් සහ වේදිකාව අපට සපයන්න. එය ප්‍රවණතාවක් තෘප්තිමත් කිරීම පමණක් නොව සැබෑ වෙනසක් සඳහා ප්‍රයත්න දැරීමක් විය යුතු යි. ඒ වගේ ම සැබැවින් ම අපට ඇහුම්කන් දෙන්න. අපි කිහිප දෙනෙකුට සවන් දෙන්න. එක් කලාකරුවෙක් පමණක් තෝරාගෙන ඔහුව හෝ ඇයව සමස්ත කණ්ඩායමේ ප්‍රකාශයකයා බවට පත් නොකළ යුතු යි. අපි අපේ ප්‍රජාව ඇතුළේ විවිධත්වයක් දරනවා. අපට වෙනස් ආකාරයේ දේවල් ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා." සාධාරණ කෝපය Black Lives Matter ව්‍යාපාරයට සම්බන්ධ සිතුවම්වල සාධාරණ කෝපයක් නිරූපණය වන නමුත් ඒවායේ සුන්දරත්වයක් ද දැකිය හැකි ය: ශ්‍රේෂ්ඨ චින්තකයින්, නිර්මාණකරුවන් සහ ක්‍රියාකාරීන්ගේ නම්; එකමුතුකම සහ ශක්තිය දැක්වෙන රූප ඒ අතර වේ. කළු වර්ණය සහිත පුද්ගලයින්ගේ අත්දැකීම් හුදෙක් කම්පනයක් ලෙස ලඝු කළ නොහැක; එහි සැමරුම් සහ ආස්වාදජනක පරාසය සම්පූර්ණයෙන් ම පිළිගත යුතු ය. Black Lives Matter සමග නිශ්චිතව සම්බන්ධ නොවූ, නමුත් ඔවුන්ගේ කෘතීන් එහි ශක්තිය මූර්තිමත් කරන සැලකිය යුතු සමකාලීන කලාකරුවෝ ද සිටිති. ලන්ඩන්හි චිත්‍ර ශිල්පියෙකු සහ අධ්‍යාපනඥයෙකු වන ඩ්‍රෙෆ් (නීකායේ සානේ) විසින් අඳින ලද සිතුවම් බ්‍රසීලය ඇතුළු ලෝකය පුරා ස්ථාන රැසක දක්නට ලැබේ. "මගේ අරමුණ තමයි පෙළඹවීමක් ඇති කිරීම; ඔබට කම්පනයක් ඇතිවූ විට ඔබ කරන්නේ කුමක් ද?" ඩ්‍රෙෆ් BBC Culture වෙත පැවසීය. "දවස පුරා ම අපි ඍණාත්මක දේවලින් පහර කෑමට ලක්වෙනවා. ඒ ගැන අපි කරන්නේ මොනවා ද? එය ධනාත්මක දෙයකට හැඩ ගැසිය යුතු යි... සන්දර්භය කුමක් වුවත්, සත්‍ය, ප්‍රබෝධවත්, අර්ථාන්විත, සිතුවිලි අවුස්සන කාර්යයක් කිරීමට යි මට අවශ්‍ය වන්නේ." ඩ්‍රෙෆ්ගේ බලපෑම්සහගත සිතුවම් අතරට නිව් යෝර්ක්හි හිප්-හොප් බිතු සිතුවම ද ඇතුළත් වේ ("අපේ කාර්යය වූයේ ප්‍රවේශ විය නොහැකි සහ ළඟා වීමට අපහසු ස්ථාන වෙත අපගේ නිර්මාණ ගෙන ඒමයි; මම වැඩ කරන්නේ ඒ මානසිකත්වය සමග යි"). ඔහුගේ සිතුවම් විලාසය කාලෝචිත වන අතර පැහැදිලිව ම ඔහුගේ ම නිර්මාණ බව පෙනී යයි. බ්‍රිතාන්‍යයේ, ඔහුගේ වීදි-ආලේඛ්‍ය සිතුවම් මාලාවට බහු සංස්කෘතික දේශීය වීරයන්ගේ සැමරුමක් වන Migrations නමැති චිත්‍රය ද ඇතුළත් වේ - විශේෂයෙන් කැරිබියන් සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයන් සිය ගණනක් වැරදි ලෙස පිටුවහල් කෙරුණු Windrush අර්බුදය ඉන් ප්‍රතිනිර්මාණය කෙරිණි. You Are Enough නමැති සිතුවම තවත් එවැනි නිර්මාණයකි. ඉන් ප්‍රබෝධවත් නූතන කාන්තාව නිරූපණය කරයි. 18 වන සියවසේ බටහිර අප්‍රිකාවේ උපත ලද ලේඛකයෙකු වූ ඕලෝඩා ඉක්වියානෝගේ බිතුසිතුවමක් බෙල්ෆාස්ට්හි නිර්මාණය කර තිබේ; ඉක්වියානෝ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු වුව ද, මෙම සිතුවම හරහා ඔහු පිළිබඳව සමාජයීය අධ්‍යාපනයක් ලැබේ. එහි හොඳ ම දෙය නම්, වීදි සිතුවම් තුළින් ප්‍රජාව පිළිබඳ හැඟීමක් ඇති කරයි. "මට තේරිලා තියෙනවා, බිතු සිතුවම් කලාව යතුරක් කියලා. මට වීදි සිතුවම් ව්‍යාපාරය නිසා ලෝකයේ ඕන ම රටකට ගිහින් ඒ රටේ වාසය කරන්නෙක් මුණ ගැහෙන්න පුළුවන් මිනිත්තු කිහිපයකින්. ඒක ජාලයක්," ඩ්‍රෙෆ් පවසයි. "මම යන හැම තැනකදී ම, මම කරන දේ ගැන ඉගෙන ගන්නවා වගේ ම ඒක තවත් දියුණු කරනවා. මගේ සිතුවම්වල එක් කොටසක් තමයි ප්‍රජාවට සවන් දීම," ඔහු ප්‍රකාශ කළේ ය. "උදාහරණයක් විදිහට කිව්වොත් මම බ්‍රික්ස්ටන් (දකුණු ලන්ඩනයට අසල්වැසි නගරයක්) ගියොත් මගේ සිතුවමක් නිර්මාණය කරන්න මට අවම දින තුනක් ගත වෙනවා. මම ඒ සිතුවම් හරහා මම අත්දැකපු නැති යමක් ඒ විශේෂ ප්‍රජාවට ලබා දෙනවා. දවස් දෙකකට විතර පස්සේ මම තේ කෝප්ප කිහිපයක් බොන අතරතුර, මට ඒ රටේ දේශපාලනික තොරතුරු දැන ගන්න ලැබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ඒ ප්‍රදේශය ගැන තොරතුරු දැන ගන්නවා. සිතුවමක් හරහා ජනතාව දකින්නේ මගේ කාර්යයෙන් කොටසක් විතරයි." ඩ්‍රෙෆ්ගේ බොහෝ කලා කෘති සැලකිය යුතු කාලයක් තිස්සේ එහි පවතියි; ඒ අතරින් තරුණ කළු ජාතික කාන්තාවකගේ රූපයක් (මීටර් 5ක් උස මීටර් 2ක් පළල) ප්‍රධාන පෙළේ බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වන EastEndersහි එළිමහන් පසුතලයේ ස්ථිර අංගයක් බවට පත්විය. EastEnders මේ කාර්යය මට කරන්න කියලා කියපුවා ම, සර්ව කාලීන වැඩක් ඔවුන්ට අවශ්‍ය වුණා," ඩ්‍රෙෆ් පැවසීය. "ඔවුන්ට අවශ්‍ය වුණා අර්ථාන්විත දෙයක් කරන්න. මම කරපු දේ පදනම තමයි මේ සියලු වචන. වෙලාවට අනුව ඒක කරන්න මට හැකි වුණා. ඔවුන්ට අවශ්‍ය වුණා අව්‍යාජ දෙයක්." එවැනි පොප් සංස්කෘතික සංසිද්ධියක් Black Lives Matter සමග සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීම සුදුසු ය; EastEndersහි පසුබිම සැපයීම කල් ඉකුත් වූ සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමක් වේ (ජීවිත කාලය පුරා මෙම වැඩසටහන නරඹන්නෙකු ලෙස මීට වසර 30කට පෙර එය ආරම්භයේදී මෙවැනි ප්‍රකාශයක් කිරීමට සිදුවේයැයි මට සිතුණේ නැත). මාධ්‍ය, ප්‍රජාවන් සහ මහද්වීප හරහා වීදි සිතුවම් එවැනි ජීව ගුණයක් සන්නිවේදනය කරයි. එය වටිනා මතකයක්, සීමාරහිත විවිධත්වයක් සහ නොමැකෙන දර්ශනයක් ගෙන එයි.
මහාචාර්ය සනත් නන්දසිරි: මිලින වී ගිය 'තේජාන්විත හඬ පෞරුෂය'
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි අඟහරුවාදා (මාර්තු 28) දිවි සැරිය නිමා කළේ ය. මියයන විට ඔහු 81 වන වියේ පසුවූ අතර කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස ද කටයුතු කළේ ය. මෙරට "සුභාවිත සංගීතයට පණ පෙවූ" ඔහු විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ "වාග්ගේයකරුවෙකු" ලෙස ය. සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු හා ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට රසික හදවත් දිනූ කලාකරුවෙකි. පෞද්ගලික තොරතුරු 1942 වසරේ පෙබරවාරි 15 වන දා ගොතටුවේ දී උපන් සනත් නන්දසිරි, ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයයෙන් සහ සාන්ත මැතිව්ස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා තිබේ. සනත් නන්දසිරි, විල්ෆ්‍රඩ් පීරිස් යටතේ මුල් කාලයේ දී සංගීතය හදාරා ඇති අතර පසුව හේමතිලක දයාරත්න යටතේ ශාස්ත්‍රීය සංගීතය හදාරා තිබේ. ඔහු තබ්ලා වාදනය හදාරා ඇත්තේ මහේෂ් සින්නයියා සහ වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස්ගෙනි. 1955 වසරේ දී ඔහු ජාතික ගුවන්විදුලියට සම්බන්ධ වී ඇත. අනතුරුව 1960 වසරේ දී ලක්නව් නුවර පිහිටි භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වීම සඳහා ඉන්දියාව බලාගිය ඔහු, එහි සිටි විශිෂ්ට ආචාර්යවරුන් යටතේ ශිල්ප හදාරා 1966 වසරේ දී ගායනයට සහ තබ්ලා වාදනයට විශාරද උපාධි දෙකක් ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ය. මහාචාර්ය සනත් නන්දසිරි 1992 වසරේ දී සංගීත් නිපුන් උපාධිය ලබා ගත්තේය. 1971 වසරේ දී විශාරද මල්කාන්ති නන්දසිරි හා විවාහ වූ ඔහුගේ දියණිය විශාරද අනුරාධා නන්දසිරි ය. සංගීත ක්ෂේත්‍රයට ක‍රන ලද මෙහෙවර එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා, පෙමාතුර හැඟුම්, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ, එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, ලස්සන නම් නෑ පෙනෙන්නේ, මේ ප්‍රථම වසන්තය යි, හිච්චි නගේ, දඟකාර ඔය දෑස, කවුරුදෝ අර කවුළුවෙන්, දූ අනුරාධා, මගේ රටට දළදා හිමි සරණයි, නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, බෝ මළුවේ මල් සුවඳක පැටලී ආදී ගීත ඔහු ගැයූ අතිශය ජනාදරයට පත් වූ ගීත අතර වේ. 1969 වසරේ සුගතපාල සෙනරත් යාපාගේ 'හන්තානේ කතාව' චිත්‍රපටයේ 'අනන්ත වූ දෙරණ සරා දෑස් නිවන අහස් ගව්ව නැග ගත්තේ,' යන ගීතය ගයන ලද්දේ මහාචාර්ය සනත් නන්දසිරි විසිනි. ඔහු විසින් රචනා කරන ලද ගීත ගොන්නක් අතර 'බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ' යන ගීතය අදට ත් රසිකයින්ගේ සිත් ස්පර්ශ කරන ගීතයකි. ගුවන්විදුලිය, සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔහුගේ සංගීත නිර්මාණ කාර්යයන්ගෙන් හැඩවුණු බව විචාරකයින්ගේ අදහස ය. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, ධර්මදාස වල්පොළ, සුජාතා අත්තනායක, ගුණදාස කපුගේ, නන්දා මාලිනී, නිරංජලා සරෝජනී, අබේවර්ධන බාලසූරිය, මල්කාන්ති නන්දසිරි වැනි මෙරට අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ ගායක ගායිකාවන් රැසකට ඔහු අතින් ගී තනු නිර්මාණය විය. 1974 වසරේ දී මහාචාර්ය සනත් නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන 'ස්වර්ණ කුණ්ඩල' පැවැත් වූ අතර, ඔහුගේ පළමු ගී තැටිය එම නමින් ම පසුකාලීනව නිකුත් විය. 2019 වසරේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඔහු ‘ජනාභිමානී ගෞරව සම්මානයෙන්’ පිදුම් ලැබී ය. සනත් නන්දසිරි මුල් වරට ගීතයක් ගයා ඇත්තේ 1947 වසරේ දී ය. ඒ, ඔහුගේ වැඩිමල් සොහොයුරිය වූ ඊඩා සමග ය. "යමුනා යමුනා සෝබන ගංගා" ගීතයේ තනුවට "පායා පේනා චන්ද්‍රා පේමා" නම් යුග ගීතය ඔහු එලෙස ගයා තිබේ. එතැන් පටන් මේ දක්වා ඔහු ගීත 140කට අධික සංඛ්‍යාවක් ගයා ඇත. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති සංගීත උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු 1969 වසරේ දී විශාරද ආචාර්ය ලයනල් එදිරිසිංහ විසින් ගායනය පිළිබඳ රජයේ ලලිත කලා ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගනු ලැබ තිබේ. එතැන් පටන් පැමිණි ගමනේ, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යනාංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ ප්‍රථම සංගීත පීඨාධිපති ලෙස පත් වන්නේ ය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස කටයුතු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ අභාවයෙන් පසු 2016 වසරේ දී එම ධුරය සඳහා මහාචාර්ය සනත් නන්දසිරි පත්විය. ඒ, කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ තෙවන කුලපති ලෙස ය. ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ඔහු ගෞරව මහාචාර්ය පදවියකින් ද පිදුම් ලැබී ය. "සනත් නන්දසිරි කියන ඒ මහා පෞරුෂයට ආදරේ කරන්නේ නැති කෙනෙක් හොයාගන්න බැහැ" - අභිෂේකා විමලවීර "අමරදේව මාස්ටර් වගේ ම සනත් නන්දසිරි කියන්නෙත් අපේ රටේ සංගීතයේ අක්මුල්," එසේ පවසන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නව පරපුරේ ගායන ශිල්පිනියක වන අභිෂේකා විමලවීර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. මහාචාර්ය සනත් නන්දසිරිගේ අහිමිවීම කෙතරම් ද යන්න කිසිවෙකුටත් "විස්තර කළ නොහැකි" බව ඇය පැවසුවේ තම පළමු සංගීත ගුරුවරයා වූ ඔහු පිළිබඳව අතීතාවර්ජනයක ද යෙදෙමිනි. "අවුරුදු 10ක පුංචි ළමයෙක් මම, මට මේ සනත් නන්දසිරි කියන දැවැන්ත මනුස්සයා මුණගැහෙද්දී. මාව එක්කන් ගියා තාත්තා නුගේගොඩ සර් ගාවට. මම පුංචි නිසා ම නෙවෙයි, මට ඒ ගෙදර පෙනුනෙත් මාළිගාවක් වගේ. මහා දැවැන්ත, මහා තේජාන්විත හඬක් වගේ පෞරුෂයක්. මුළු ඇඟෙන් ම රැස් විහිදෙනවා. මම එතුමාව මුලින් ම දැක්කා ම හිතුනේ ඒකයි. ඊට පස්සේ කිව්වා පුතේ මට සිංදුවක් කියලා පෙන්නන්න කියලා. මම 'ආදරේ ඇයි පොඩි හඳ මාමේ' සිංදුව කිව්වා. කිව්වට පස්සේ මාව ප්‍රවේශිකා පන්තියට දාන්නේ නැතුව කෙලින් ම ප්‍රථමා පන්තියට දැම්මා. ගායනය කියන්නේ, සංගීතය කියන්නේ, ගරු කරන්න ඕනේ දෙයක් කියලා කියලා දුන්නා." ඇය සඳහන් කළේ සංගීතය යනු, "තරගයක් නොවන බව" ඔහු සැම විට ම තම ශිෂ්‍යයින්ට කියා දුන් බව ය. "එතුමා බිහි කරපු ගෝල බාලයෝ එතුමා බලාපොරොත්තු වුණ විධියට ම එතුමාගේ සංගීත දැනුම සංගීතයේ සුවඳ ලංකාවේ හැම තැනකට ම අරන් යයි. ඒ වගකීම මම එතුමා වෙනුවෙන් කරනවා මමත් එතුමාගේ ගෝලයෙක් විධියට. මම හිතෙන්නේ එතුමාගේ අහිමිවීම කොයි තරම් පාඩුවක් ද කියලා කියන්න අපි කාටවත් ම බැහැ. මම හිතන්නේ සනත් නන්දසිරි කියන ඒ මහා පෞරුෂයට ආදරේ කරන්නේ නැති කෙනෙක් ලංකාවෙන් ලෝකෙන් හොයා ගන්න බැහැ. අමරදේව මාස්ටර් වගේ ම සනත් නන්දසිරි කියන්නෙත් අපේ රටේ සංගීතයේ අක්මුල්." බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරට ත් මෙසේ පැවසුවා ය. "ජ්‍යෙෂ්ඨයන් නවකයන්ව පාගලා දානවා කියන යුගයක, ජ්‍යෙෂ්ඨයන් අලුත් අයට ඉදිරියට එන්න අවස්ථාවක් නොදෙනවා කියන යුගයක, එක ම පිරිසක් වටා තමන්ට වඩා අඩු දක්ෂයින් පිරිසක් විතරක් තරුණ පරම්පරාව විධියට ඉස්සරහට ගේන්න හදන ප්‍රවීණයන් පිරිසක් ඉන්නවා කියන යුගයක, ඒ කතාව සම්පූර්ණයෙන් ම වෙනස් කරන පෞරුෂය මහාචාර්ය සනත් නන්දසිරි." මහාචාර්ය සනත් නන්දසිරි විසින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයය තුළ මෙන් ම ඉන් පිටත ද බිහිකරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන අති විශාල ය. ගී පද රචකයින් ගණනාවක් බිහි කිරීමට ද ඔහු දායක වුණු බව විචාරකයින්ගේ අදහස යි. "ඔහු අද්විතීය, අග්‍රගණ්‍ය, අමරණීය පුද්ගලයෙක්" - මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර "සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපතිව සිටි මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවා අභාවප්‍රාප්ත වීම අතිශය ශෝකාකූල කාරණයක්," ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ද මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගැයූ ගී ලියූ ගේය පද රචකයෙකි. ඔහු සඳහන් කළේ, නව පරම්පරාවට තනු නිර්මාණයකර දීම මෙන් ම, නව ගීත රචක පරම්පරාවකට අතහිත දීමත් නිසා බොහෝ කලාකරුවන් පිරිසක් මහාචාර්ය සනත් නන්දසිරිගේ ආශ්‍රයෙන් බිහි වූ බව ය. "ඒ පාඩුව අපිට දරාගන්න අමාරු යි. ඔහු අද්විතීය, අග්‍රගණ්‍ය, අමරණීය පුද්ගලයෙක්. ගුරුවරයෙක්, මහාචාර්යවරයෙක් හැටියටත් එහෙම යි. තනු නිර්මාපකයෙක්, සංගීතවේදියෙක්, ඒ වගේ ම අලුත් පරම්පරාවකට තනු නිර්මාණයකර දීමත්, සංගීත නිර්මාණයකර දීමත්, අලුත් ගීත රචක පරම්පරාවකට අතහිත දීමත් නිසා බොහෝ කලාකරුවන් ඔහු වෙතින්, ඔහුගේ ආශ්‍රයෙන් බිහි වුණා. කිසි ම ලෝබකමක් නැතුව තමන්ට නිර්මාණය කරන තනු වෙනත් අයට ත්, අලුත් වේවා, ප්‍රවීණ වේවා, ඔහුට ඒ පිළිබඳව ගැටලුවක් තිබුණේ නෑ. මුදල් මුල් කර ගෙන නෙවෙයි ඒ තනු නිර්මාණය කළේ.” මහාචාර්ය සනත් නන්දසිරි එවකට සංගීතය ඉගැන්වීම් කටයුතුවල යෙදුණු ආකාරය ද ආවර්ජනය කරමින් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මෙසේ පැවසීය. "මනුස්සකම් අතින් අපි දැකලා තියෙන, බොහෝ ම උදාර ගති තියෙන, සත් පුරුෂ ගුණ තියෙන පුද්ගලයෙක්. කාගේ දුකේ දී සැපේ දී ඉස්සෙල්ලා ම පැමිණෙන පුද්ගලයෝ සනත් නන්දසිරි - මල්කාන්ති නන්දසිරි යුවළ. විශාරද අනුරාධා නන්දසිරිටත් උගන්නන එක ම සංගීතය තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ගුරුමුෂ්ටි තබා ගන්නේ නැතුව එතුමා හැම වෙලාවේ ම ලබා දුන්න හැටි අපිට මතක යි. එක ම පැදුරේ වාඩි කරලා, දුව කියලා වෙනසක් නැහැ." ඔහු පෙන්වා දුන්නේ, මහාචාර්ය සනත් නන්දසිරි "උසස් රසිකත්වයක්" ලබා දීමට ක්‍රියා කළ කලාකරුවෙකු බව ය. මහාචාර්ය සනත් නන්දසිරි "සංගීතය, තනු නිර්මාණය, වාදනය, රචනා කිරීම ගායනා කිරීම ආදී හැම අතකින් ම පූර්ණත්වයට පත් කෙනෙකු" බැවින් ඉන්දියානු සංගීත ක්‍රමය අනුව ඔහු "වාග්ගේයකරුවෙකු" ලෙස හැඳින්විය හැකි බව බීබීසී සිංහල සේවය සමග තවදුරටත් අදහසක් දැක්වූ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පැවසීය. "ඉතින් එතුමාගේ වියෝවීම අපිට හරි දුකක්. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා, එනවා වගේ ම අපි කාටත් නික්මිලා යන්න වෙනවා. ආව විධියට වඩා සත්පුරුෂයෝ හැටියට ලෝකයට සේවය කරලා නික්මිලා යන්නට තියෙනවා නම්, ඒක තමයි උතුම් වන්නේ. සනත් නන්දසිරි කලාකරුවා, එබඳු විශාල වැඩ කොටසක් රට, ලෝකේ වෙනුවෙන් කරලා නික්මිලා ගියා," ඔහු වැඩිදුරට ත් පැවසීය.
'මට ඕන වුණේ කලාවේ ඒකාධිපතිත්වය බිඳින්න': අඳුරු සිපිරිගෙයක් කලාගාරයක් කළ අභිෂේකා
"ආදරය කියන්නේ නිදහස කියල හිතන හැමෝම බෝගම්බර හිරගෙදරට එන්න. නිදහස් වෙන්න" මේ වැකිය අභිෂේකා විමලවීර නම් ගායන ශිල්පිනියගේ මහනුවර පැවති 'අභී - ලයිව් ඉන් කොන්සර්ට්' සංගීත ප්‍රසංගයේ පූර්ව ප්‍රචාරක පටයකින් උපුටා ගැනුණකි. 'නිදහස් වෙන්න හිරගෙදරට එන්න' යන යෙදුම අතිශයින් උත්ප්‍රාසාත්මක ය. ඒ, අභිෂේකා නිදහස් වීමට පැමිණෙන ලෙස කී ස්ථානය අඳුරු අතීතයකට උරුමකම් කියන ඓතිහාසික ස්ථානයක් වීම නිසා ය. ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරීමෙන් පසු ඇයගේ දේහය ගොඩ ගැසූ ස්ථානය එය යි. වරදකරුවන් 500 දෙනෙකුට අධික පිරිසක් එල්ලා මරා දමා ඇති ස්ථානය එය යි. එවන් අඳුරු අතීතයකට උරුමකම් කියන බෝගම්බර බන්ධනාගාර භූමිය රසිකයින් පිනවන, ඔවුන්ට නිදහස සපයන කලාගාරයක් බවට පත් කිරීමට පසුගිය මාර්තු 04 වන දා ගායන ශිල්පී අභිෂේකා විමලවීරට හැකි විය. "මම පළවෙනි කොන්සර්ට් එක කළා කොළඹ නෙළුම් පොකුණේ. ඒක ලංකාවේ හොඳ ම තැන කියලනෙ කියන්නේ. ඉතින් මගේ මහනුවර කොන්සර්ට් එක තියන්න ඊට වඩා හොඳ තැනක් ඕන වුණා. නෙළුම් පොකුණේ තාක්ෂණික තත්ත්වයට තරගයක් දිය හැකි ස්ථානයක් මට මහනුවරින් හොයා ගන්න ලැබුණේ නෑ. ඒ නිසා මට හිතුණා මේ වැඩේට ආධ්‍යාත්මික වැදගත්කමක් තියෙන තැනක් හොයා ගන්න ඕන කියලා. ඒකට සුදුසු තැනක් හොය හොය නුවර වටේ යද්දී අපි මේ ස්ථානය දැක්කා," සිය සංගීත ප්‍රසංගය සඳහා බෝගම්බර බන්ධනාගාරය තෝරා ගැනීමට හේතු වූ කරුණු ගැන අභිෂේකා බීබීසී සිංහල සේවයට එලෙස පැහැදිලි කළා ය. "මහනුවර මැද තියෙන නිධානයක් වගේ ඉඩමක් මේක. ඒක අවුරුදු ගණනක් තිස්සේ සම්පූර්ණයෙන් ම වහලා. ඇයි මේක නාස්ති කරන්නේ? මේක හැම දා ම මුස්පේන්තු බිමක් විදිහට තියෙන්න ඕන ද? නැත්නම් නුවරට මේකෙන් ප්‍රයෝජනවත් දෙයක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා ද? කියන එක බලන්න තමයි මට ඕන වුණේ. ලංකාව නිධානයක් නේ. නිධානයක් උඩ වාඩි වෙලානේ මේ අපි හිඟා කන්නේ. ඒ වගේ තැනක් තමයි බෝගම්බර බන්ධනාගාරය. ඒක වෙනස් විදිහකට සංචාරක ආකර්ෂණය වැඩි වෙන ආකාරයට වෙනස් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න පළමු පියවර විදිහට තමයි මම එතන තෝර ගත්තේ," ඇය පැවසීය. "විදුලියවත් තිබුණේ නෑ" "අපිට මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය කිව්වා විදුලිය ඇතුළු කිසි ම දෙයක් මෙතන නෑ කියලා. හැම දේ ම පිටින් ගන්න වෙයි කිව්වා. මං කිව්වා බන්ධනාගාරයේ පසුබිම විතරක් මට දෙන්න කියලා. ඊට පස්සේ මේ ප්‍රසංගය සංවිධානය කරන්න මාසයක් විතර කාලයක් සැලසුම් කළා," අභිෂේකා විමලවීර පැවසීය. ඇය පැවසුවේ, විදුලිය ඇතුළු සියලු සේවා පිටතින් සපයා ගනිමින් මෙම ප්‍රසංගය පැවැත්වූ බව ය. මෙම ප්‍රසංගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර 2000 ම දින දෙකක් තුළදී අලෙවි වී අවසන් වූ බව ඇය පැවසුවා ය. වෙනස් ආරම්භයක් පසුගිය මාර්තු 04 වන දා අභී - ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය ආරම්භ කෙරුණේ, වෙනස් මුහුණුවරකිනි. එහිදී, ප්‍රසංගය ආරම්භයට පෙර එම ස්ථානයේ එල්ලා මරා දැමූ සිරකරුවන් සහ ඇහැලේපොළ කුමාරිහාමි සිහි කිරීමක් සිදු කෙරිණි. "ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය ගොඩ ගැසූ තැනට අඩි කිහිපයක් දුරින් තමයි මේ ප්‍රසංගය පැවැත්වුණේ. අපි ආරම්භයේදී ඇහැලේපොළ කුමාරිහාමිට ගෞරව දක්වලා සියලු දෙනා නැගිටලා ඒ භූමියෙන් අවසර ගත්තා. ඊට අමතරව එතන එල්ලා මැරීමට ලක්වූ 546 දෙනා මතක් කරලා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරලා තමයි මේ ප්‍රසංගය ආරම්භ කළේ. ඒ නිසා ඒක මහනුවර ජනතාවට ලේවලට ම දැනෙන අත්දැකීමක් වුණා." "ලාංකික කලාවේ ඒකාධිපතිත්වය බිඳ දැමීමත් මගේ අරමුණක් වුණා" "අපේ කලාවේ තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි, ඒකාධිපතිත්වය. හැම තිස්සෙ ම කලාව කියන එක හුවමාරු වෙන්නෙ අතේ ඇඟිලි ගාණට සමාන කීප දෙනෙක් මත. ඉන්ටර්වීව් එකක් ගත්තොත් හැම දා ම එක ම දහ දෙනා. හැම දා ම එක ම ලොකේෂන්. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගත්තත් කීප දෙනෙකුට විතරයි අවස්ථාව දෙන්නේ. ඒ දේ වෙනස් කළොත් අපේ කලාව දියුණු වෙයි. රට ත් දියුණු වෙයි. මට ඒ ඒකාධිපතිත්වය බිඳින්න ඕන වුණා," අභිෂේකා විමලවීර ප්‍රකාශ කළා ය. "අන්ධකාර ගුහාව ආලෝකවත් කරන්න අභිෂේකාට හැකි වුණා" - මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර අන්ධකාර අතීතයක ගිලී තිබූ බෝගම්බර බන්ධනාගාරයට ආලෝකයක් රැගෙන ඒමට අභිෂේකා විමලවීර ගත් උත්සහයට ජනතාවගේ ප්‍රසංශාව හිමි විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. "ශ්‍රී ලංකාවේ සංස්කෘතික ජීවිතය අභියෝගයට ගැටලුවකට ලක්වෙලා තියෙන වෙලාවක්. අපේ ඉතිහාසයේ අන්ධකාර අතීතයක් ඇති බෝගම්බර බන්ධනාගාරය වගේ තැනක සංස්කෘතිකමය වශයෙන් කලා කටයුත්තක් ආස්වාදනීය දෙයක් සිද්ධ වුණා කියලා දැන ගන්නට ලැබීම සතුටක්. අභිෂේකා විමලවීර ගායන ශිල්පිනිය ලොකු උත්සහයක් දරලා තියෙනවා, මේ අන්ධකාර ගුහාව නැත්නම් අන්ධකාර ස්ථානය ආලෝකවත් කරන්නට, ප්‍රභාෂ්වර ආලෝකයක් ගෙනෙන්නට සංගීත නාදයෙන් සහ ගායනයෙන්. ඇය නිවැරදිව ශ්‍රැති, ස්වර, තාල පිහිටලා ගයන කෙනෙක්. එය මං හිතන්නේ ජනාස්වාදයට වගේ ම ජනාකර්ෂණයට වගේ ම ජනයාගේ ප්‍රසංශාවට ලක් විය යුත්තක්. දැනට ම ත් එය වෙමින් පවතිනවා. මෙතනින් එහාට දිගින් දිගට ම ඔය ස්ථානය එබඳු කටයුතුවලින් ආලෝකයෙන් සතුටින් පිරේවායි පතනවා," මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පැවසීය. බෝගම්බර බන්ධනාගාරයේ අතීතය බෝගම්බර බන්ධනාගාරය ඉංග්‍රීසි පාලන සමයේ එනම් 1876 වසරේදී මෙරට ප්‍රථම බන්ධනාගාර හා ‍පොලිස් කොමසාරිස්වරයා වූ එන්.ආර්. සෝන්ඩර්ස්ගේ අධීක්ෂණය යටතේ ඉදිවූ බව පැවසේ. එක ම තනි පදනමක් මත ආසියාවේ ඉදිවූ දිග ම ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වූ අතර, මෙහි සිරමැදිරි 328ක් පැවතිණි. මෙම බන්ධනාගාරය එවකට ඉදිකරනු ලැබ ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය වූ මුදල ලෙස සඳහන් වන්නේ, රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලකි. මෙම බන්ධනාගාරය මහනුවර නගර මධ්‍යයේ හෙක්ටයාර් 50,596 පුරා පැතිර පවතී. ශ්‍රී ලංකාවේ පළමු වරට එල්ලුම් ගසක් ඉදිකර ඇත්තේ ද මෙම බන්ධනාගාරය තුළ ය. එහි එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකි ආකාරයට ස්ථිර ලෙස ඉදිකර තිබේ. 1876 වසරේ සිට මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් 500කට අධික සංඛ්‍යාවක් (මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය පවසන පරිදි 546ක් එල්ලා මරා දමා ඇති අතර එය 524ක් ලෙස ඇතැම් වාර්තාවල දැක්වේ) එල්ලා මරා දමා ඇත. මෙම එල්ලුම්ගසේ අවසන් වරට එල්ලා මරා ඇත්තේ, එකල මහත් ආන්දෝලනයක් ඇති කළ තිස්මඩ මිනීමැරුමේ වරදකරුවන් දෙදෙනා වූ ඩබ්ලිව්. ඩී. රිචඩ් හා ටී. එම්. ජයවර්ධන යන වරදකරුවන් ය. ඒ, 1975 නොවැම්බර් 21 හා 22 යන දෙදින තුළ ය. ඊට අමතරව, බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇති ස්ථානයේ පිහිටි බෝගම්බර වැවේ එදා ඇහැ‍ලේ‍පොළ කුමාරිහාමි දියේ ගිල්වා මරා පසුව එම මළ සිරුර ගොඩ ගත් ස්ථානය ලෙස සැලකෙන්නේ ද බෝගම්බර බන්ධනාගාරය තුළ ඇති ස්ථානයකි. එසේ ම උතුවන්කන්දේ සරදියෙල් සහ මරු සිරා වැනි විශේෂ සිරකරුවන් ද මෙහි රඳවා සිට ඇත.
රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්
ශ්‍රී ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස කඩා වැටී තිබෙනබවට අදහස් පළවුව ද, සිනමාව කලාවක් ලෙස තවමත් කඩා වැටී නැතිබව තහවුරු කරමින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ දී (IFFR) ශ්‍රී ලාංකික නිර්මාණ දෙකක් ඉහළ අගැයීමට ලක්විය. ඒ, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය සහ ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' (Whispering Mountains) සිනමා කෘතිය යි. මෙම ජයග්‍රහණය පිළිබඳව ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සහ ජගත් මනුවර්ණ බීබීසී සිංහල සේවය සමග අදහස් පළකළහ. රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙල යනු කුමක් ද? 1972 වසරේ ජූනි 28 වන දා පළමු සිනමා උළෙල පැවැත්වූ රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ ඉතිහාසය අඩසියවසක් ඈතට විහිදෙයි. මෙම සම්මාන උළෙල රොටර්ඩෑම් කලා පදනමේ ක්‍රියාන්විතයකි. රොටර්ඩෑම් සම්මාන උළෙල, ලෝකයේ ස්වාධීන සිනමාකරුවන්ගේ නිර්මාණ වෙනුවෙන් පවත්වනු ලබන 'විශිෂ්ට සිනමා උළෙලක්' ලෙස සැලකෙයි. 2023 රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සහ ජගත් මනුවර්ණ සම්මානයට පාත්‍රවූහ. මනල් - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය 'මනල්' සිනමා පටයට හිමිවිය. ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි. "පශ්චාත් යුද්ධ සමයේ, ඒ කියන්නේ 2009 වසරේ දී අත්අඩංගුවට පත්වුණ තරුණයෙක් සිරගතව ඉඳලා අවුරුදු පහකට පස්සේ එළියට එනවා. ඒක තමයි මේ නිර්මාණයේ වස්තු බීජය. ඒ තරුණයා එයාගේ නැතිවුණ ආදරවන්තියව හොයනවා. යුද්ධයේ අන්තිම කාලේ කාණ්ඩයක් අත්අඩංගුවට පත්වුණා. කාණ්ඩයක් අතුරුදන් වුණා. තව කාණ්ඩයකට යන එන මං නැති වුණා. තවත් සමහරු අවුරුදු ගාණක් තිස්සේ සරණාගත කඳවුරුවල ඉන්නවා. එහෙම අතරමං වුණ අයව හොයන කාලයක තමයි මේ කතාව දිවෙන්නේ," මනල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසීය. ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසුවේ, සිය සිනමා නිර්මාණ තුළින් අපේක්ෂා කරනුයේ ජනතාවට පණිවුඩයක් ලබාදීම වෙනුවට යම් ප්‍රශ්න කිරීමක් සිදු කිරීම බව ය. "අවුරුදු 30ක යුද්ධයක් කළා. ඒ යුද්ධය එක පිරිසක් ජයග්‍රහණය කළා. තව පිරිසක් පරාජයට පත්වුණා. එතකොට දැන් සේරම හරි ද? ඒ කියන්නෙ අපේ ප්‍රශ්න ටික ඉවර ද? ඒවා අත්විඳපු මිනිස්සුන්ගෙ කතාවල් මොනවා ද? දකුණේ අය දන්නෙ නෑ ඇත්තට ම උතුරේ මිනිස්සුන්ගෙ කතාවල් මොනවා ද කියලා. උතුරේ අය හොයන්න යන්නෙ නෑ දකුණෙ අයගේ කතාවල් මොනව ද කියලා. මේ ආකාරයට යම් හිඩැසක් තියෙනවා. මේ ගැන ප්‍රශ්න කිරීමක් තමයි මේ සිනමා පටයෙන් කෙරෙන්නේ." මනල් සිනමා පටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ඇති නමුත්, එය දෙමළ බස මාධ්‍ය කර ගත් සිනමා පටයක් බැවින් ඊට ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි වෙයි ද යන්න අවිනිශ්චිත බව ඔහු සඳහන් කළේ ය. "අපට තියෙන ප්‍රශ්නෙ මිනිස්සු ඇත්තට ම මේක බලයි ද කියන එක. දෙමළ චිත්‍රපටයක් බලන්න සිංහල ප්‍රේක්ෂාගාරය සූදානම් ද කියන එක. දෙවන ප්‍රශ්නය තමයි මේක බලන්න දෙමළ ප්‍රේක්ෂාගාරය සූදානම් ද කියන එක. ලංකාවේ දෙමළ ප්‍රේක්ෂාගාරය කලාත්මක යි කියන ඒවා බලන්න ලොකු උනන්දුවක් නෑ." ජාත්‍යන්තර සම්මාන ලැබෙන්නේ 'කුණු රසය' සහිත සිනමා පටවලට ද? 'ජාත්‍යන්තර සම්මාන දිනාගැනීම සඳහා රටක් කුණු රසය පදනම් කර ගත් සිනමා නිර්මාණ කළ යුතු ය' යන දුර්මතයක් පවතින බවත්, එය පිළිනොගන්නා බවත් ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසීය. "රටක ජීවත් වෙනකොට කුණු රස යි, පැණි රස යි දෙක ම තියෙනවා. මේ දවස්වල අපට ගොඩක් දැනෙන්නේ කුණු රස තමයි. අපි කතා කියන්නන් හැටියට ඔය දෙක ම තෝර ගන්නවා. යම් යථාර්ථවාදී නිර්මාණයකින් රටක් ගැන දුක හිතෙන හෝ තරහක් ඇති වන ප්‍රතිරූපයක් මැවෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. අපි සම්මාන බලාගෙන කුණු රසය ගැන නිර්මාණ කරන්නෙ නෑ. ඒක දුර්මතයක්." කවුද මේ විසාකේස චන්ද්‍රසේකරම්? ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් 1986 වසරේ දී පමණ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ය. 'ශක්ති', 'රජ කෙල්ලෝ' සහ 'ත්‍රීෂූල්' යන වාණිජ සිනමා පට තුනෙහි සහාය අධ්‍යක්ෂවරයා ලෙස ඔහු සේවය කළේ ය. කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදිශිෂ්‍යයෙකු වන ඔහු උසස් පෙළ විභාගයෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයට ඇතුළත් වී නීතිවේදියෙකු බවට පත්විය. පසුව, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු එහිදී ආචාර්ය උපාධිය හිමිකර ගෙන වසර ගණනක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක සේවය කළේ ය. මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණි ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහු 2013 වසරේ දී 'ෆ්‍රැන්ජිපානි' සහ 2018 වසරේ දී 'පාංශු' නමින් සිනමා කෘති දෙකක් නිර්මාණය කළේ ය. 'රහස් කියන කඳු' - ජගත් මනුවර්ණ 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අනෙක් ශ්‍රී ලාංකික සිනමා පටය වූයේ, ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි. එය Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ අතර, NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව, 'රහස් කියන කඳු' සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය. "ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වුණ යම් යම් ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් මගේ හිතේ ඇතිවුණ කම්පනය තමයි මේ සිනමා පටයෙන් ප්‍රතිනිර්මාණය කළේ. ඒ කම්පනය සිනමාවට ගේන්න මං සෑහෙන කාලයක් කල්පනා කරමින් හිටියා. ඒ සිද්ධි සිනමාරූපීව ඉදිරිපත් කිරීමක් තමයි මම කළේ. මේක ප්‍රබන්ධිත කතාවක්," ජගත් මනුවර්ණ බීබීසී සිංහල සේවයට පැවසීය. ජගත් මනුවර්ණ මීට පෙර 'ගින්දර පොඩ්ඩක්' (2004) සහ 'වෝටර් ලිලී' (2011) යනුවෙන් කෙටි චිත්‍රපට නිර්මාණය කර තිබිණි. ඔහුගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන්නේ, රොටර්ඩෑම් සිනමා උළෙලේ NETPAC සම්මානයට පාත්‍ර වූ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳව ඔහු ඉදිරිපත් කළේ මෙවන් අදහසකි: "ලංකාවේ තාමත් මිනිස්සු චිත්‍රපටි බලනවා. හොඳ විදේශීය සහ දේශීය චිත්‍රපට ආවම මිනිස්සු ගිහින් බලනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ, තව කොච්චර කාලයක් ඒක රඳා පවතියි ද කියන එකයි. මේ ආර්ථික කඩා වැටීමත් එක්ක සිනමාව, නාට්‍යවලින් මිනිස්සු ඈත් වෙමින් යනවා. සමස්තය කඩා වැටිච්ච රටක සිනමා විතරක් ඉතුරු වෙන්න හේතුවක් නෑ."
කේ.බී. හේරත්:'පිරවිය නොහැකි හිඩැසක්' තබා නික්ම ගිය නාට්‍ය කලාවේ 'ස්වතන්ත්‍ර නිර්මාණකරුවා'
සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ "පිරවිය නොහැකි හිඩැසක්" නිර්මාණය කරමින් තවත් ප්‍රවීණයෙකු වූ කේ.බී. හේරත් ජීවිත කරළියට සමු දුන්නේය. සිංහල වේදිකා නාට්‍ය පමණක් නොව ටෙලිනාට්‍ය කලාවේ ද ඔහු තැබූ සලකුණ මැකී නොයනු ඇතැයි විචාරකයින්ගේ මතයයි. ජනවාරි 29 වන දා ඔහු අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 81ක් විය. පෞද්ගලික තොරතුරු පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගමදී උපත ලැබූ හේරත් මුදියන්සෙලාගේ කපුරු බණ්ඩාර හේරත් හෙවත් කේ.බී. හේරත් කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පසුව ඔහු 1965 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හිමි කර ගත්තේය. කලක් ගුරු වෘත්තියෙහි ද නියැළුණු ඔහු 1979 වසරේදී 'සුදු කරල්' නමැති වේදිකා නාට්‍යය රචනා කරමින් සිය නිර්මාණ ජීවිතය ආරම්භ කළේය. පිටපත් රචකයා 'සුදු කරල්' නාට්‍යයෙන් පසු ඔහු වේදිකා නාට්‍ය රැසක් රචනා කළ අතර ඉන් බොහෝමයක් සම්මානයට පාත්‍ර විය. මායා දේවී, නාග ගුරුළා, දෝන කතිරිනා, දෙවෙනි මහින්ද, කළු කුමාරි, වාසුදේව, යශෝදරා සහ ජගන්මා යන නාට්‍යවලට රාජ්‍ය නාට්‍ය උළෙලවල හොද ම නාට්‍ය රචනය ඇතුළු සම්මාන රැසක් හිමි විය. විමලරත්න අදිකාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද පාරමී දම් ටෙලි නාට්‍යය රචනා කරමින් ඔහු ටෙලි නාට්‍ය තිර රචනයට එක්වූ අතර, ගජමන් නෝනා, ඉසිවර අසපුව, ඉති අතු, ගිරි දෙරණ, සදගිරි පව්ව, දෙනුවර මැණිකේ, ටිකිරි නිලමෙ, ‍සසර සෙවණැලි ආදී ටෙලි නාට්‍ය ජනාදරයට පත් විය. ඉංගම්මාරුව ආදී ඒකාංගික ටෙලි නාට්‍ය මාලා කිහිපයක් ද ඔහු විසින් නිර්මාණය කරන ලදී. ඔහු නාට්‍ය පිටපත් 500කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇතැයි විශ්වාස කෙරේ. පසු කලෙක සිංහල සිනමාවට ද පිවිසි ඔහු සුදු නෙළුම් සහ අපි මැරෙන්නෙ නෑ යන චිත්‍රපටවල පිටපත් රචනා කළේය. තවත් විශේෂත්වයක් වන්නේ, මුද්‍රණයෙන් එළි දක්වන ලද ඔහුගේ තිර පිටපත් රැසක් සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීමය. 2020 වසරේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඔහුට නාට්‍යවේදය පිළිබද ආචාර්ය උපාධියක් පිරිනැමුණු අතර ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. ජාතික යොවුන් නාට්‍ය පාසලේ අධ්‍යක්ෂ (2004 - 2007), ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2004 - 2007), යොවුන් නාට්‍ය උළෙලේ විනිසුරු මණ්ඩලයේ සභාපති (වසර 30ක්), ජාතික නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති (2015 - 2018) සහ ජාතික නාට්‍ය උළෙලේ සභාපති (2003, 2016, 2017) යන තනතුරු දරමින් ඔහු සිංහල නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු සිය නිර්මාණශීලීත්වයෙන් දායක විය. "සමස්ත කලාවට වූ පාඩුවක්" - බුද්ධදාස ගලප්පත්ති කේ.බී. හේරත්ගේ අභාවය "සමස්ත ශ්‍රී ලාංකික කලාවට සිදුවූ පාඩුවක්" බව ප්‍රවීණ කවියෙකු මෙන් ම කේ.බී. හේරත්ගේ නාට්‍ය රැසක අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කර ඇති බුද්ධදාස ගලප්පත්ති පවසයි. "අපේ රටේ ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෝ සහ නිෂ්පාදකයෝ අඩුයි. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය නාට්‍ය උත්සවවලදී බොහෝවිට සම්මාන ලබන්නේ විදේශීය කෘතියක අනුවර්තනයක් වගේ නිර්මාණයක්. නමුත් කේ.බී. හේරත් අපේ රටේ හිටපු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෝ කිහිප දෙනා අතරින් ඉතා ම ඉහළ තලයක හිටපු නිර්මාණකරුවෙක් හැටියට හදුන්වන්න පුළුවන්. ඔහු එක වතාවක මායා දේවී කියන නාට්‍යය රචනා කරල නිෂ්පාදනය කළා. ඒ නාට්‍යය නරඹපු මහාචාර්ය සරච්චන්ද්‍ර ඉතා ම උද්දාමයට පත් වෙලා කිව්වා මේ වගේ නාට්‍ය නිෂ්පාදකයෝ, රචකයෝ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි, කියලා. ඔහු ඒ නාට්‍යය ගැන පුවත්පත්වලට විචාර පවා ලියලා තිබුණා. ඒකෙන් ම තේරෙනවා මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ විශිෂ්ටයෙක් කේ.බී.ගේ නාට්‍යය අගය කිරීමෙන් ඔහුගේ නාට්‍යවල තිබුණ නාට්‍යමය ගුණය.‍ ඉතින් මේ වගේ බහුවිධ දක්ෂතා තියෙන නිර්මාණකරුවෙකුගේ අභාවය ශ්‍රී ලංකාවේ කලාවට ඉතා ම දැඩි ලෙස බලපානවා. මොක ද ඒකෙ විශාල රික්තයක් වෙලා තියෙනවා කේ.බී.ගේ අභාවය." "ඔහුගේ නාට්‍ය සියල්ලක ම වගේ අංග රචනා ශිල්පියා ලෙස වැඩ කළේ මම. මට මගේ ජීවිතයේ අංග රචනා ශිල්පියෙකු ලෙස රාජ්‍ය සම්මාන 5ක් ලැබිලා තියෙනවා. ඒ පහෙන් තුනක් ම කේ.බී. හේරත් මිත්‍රයාගේ නාට්‍ය නිෂ්පාදන වීම වැදගත් දෙයක්," බුද්ධදාස ගලප්පත්ති වැඩිදුරටත් පැවසීය. "හිඩැස පුරවන්නට කෙනෙක් පේන තෙක් මානයක නෑ" - ශ්‍රියන්ත මෙන්ඩිස් කේ.බී. හේරත් යනු සිය නාට්‍ය හරහා සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ටයින් හදුන්වා දුන් නිර්මාණකරුවෙකි. ශ්‍රියන්ත මෙන්ඩිස් යනු එවැනි විශිෂ්ට රංගධරයින් අතරින් එක් අයෙකි. "මම රගපාපු පළමු වෙනි නාට්‍යයේ පිටපත ලිව්වේ එතුමා. ඒක ඉල්ලීස ජාතක කතාව කියල එකක්. එතකොට මේක සුවිශේෂී වෙනව මට. ඒ වගේ ම දෝන කතිරිනා වේදිකා නාට්‍යයේ මට රගපාන්න අවස්ථාව ලැබුණා සුවිශේෂී චරිතයක්. ඒ වගේ ම ඉංගම්මාරුව ටෙලි මාලා නාට්‍යයේත් ප්‍රධාන චරිතය මට ලැබුණා. එතුමාණන්ගේ අභාවය අපි හැමෝට ම විශාල පාඩුවක්. කේ.බී. හේරත් අපට අතිවිශිෂ්ට නාට්‍යකරුවෙක්, රචකයෙක් සහ ඉතා හොද මිනිසෙක්. ඒ හිඩැස පුරවන්නට කෙනෙක් අපට පේන තෙක් මානෙක නෑ," ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසීය.
සිඩ්නි සම්මාන උළෙලේ සම්මාන 4ක් දිනූ The Jungle and the Sea ගැන නදී කම්මැල්ලවීර සමග කතාබහක්
Sydney Theatre Awards යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වේදිකා නාට්‍ය සම්මාන උළෙල ලෙස සැලකේ. එම සම්මාන උළෙලේදී යම් නිර්මාණයක් සම්මානයට පාත්‍ර වීම ඔස්ට්‍රේලියාවේ මහත් ගෞරවයට පත් වන අවස්ථාවක් බව විචාරකයින්ගේ අදහසයි. 2005 වසරේදී ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, 17 වන වරටය. එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සම්මාන උළෙලකදී ශ්‍රී ලාංකික රංගන ශිලිපිනියක රංගනයෙන් දායක වන වේදිකා නාට්‍යයකට සම්මාන 4ක් හිමි වී තිබේ. ඒ, නදී කම්මැල්ලවීර රංගනයෙන් දායක වන The Jungle and the Sea (ගණ වන මුහුද) වේදිකා නාට්‍යයයි. එම නාට්‍යයට හිමි වූ සම්මාන 4 වන්නේ, The Best Mainstage Production, Best New Australian Work, Best Ensemble සහ Best Music Score of a Mainstage Production යන සම්මානයි. බෙල්වොයර් තියටර් නමැති නාට්‍ය සමාගමේ නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂවරයා ඒමොන් ෆ්ලැක් වන අතර පිටපත ඒමොක් ෆ්ලැක් සහ එස්. ශක්තිධරන් එක්ව රචනා කර තිබේ. මෙම සම්මානිත නාට්‍යයේ චරිත දෙකක් නදී කම්මැල්ලවීර නිරූපණය කළාය. මෙම නාට්‍යය සහ එය ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබදව බීබීසී සිංහල සේවය, නදී කම්මැල්ලවීරගෙන් අදහස් විමසීය. The Jungle And The Sea වේදිකා නාට්‍යයේ තේමාව සහ එහි අන්තර්ගතය පිළිබදව නදී කම්මැල්ලවීර පැහැදිලි කළේ මෙසේය. "Jungle and the Sea නාට්‍යයට තේමාව වුණේ ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරට මැදිවුණු සාමාන්‍ය පවුලකට අත්වුණු ඉරණම. එය ලංකාව සහ ඔස්ට්‍රේලියාව කියන රටවල් දෙකේ ම දිග හැරෙන කතාවක්. තමන් අවට සෑම දේ ම බිඳ වැටෙද්දීත්, ජිවිතය සහ අනාගතය පිළිබඳ අපේක්ෂා අත් නොහරින මිනිසුන් පිළිබඳ කතාවක්. ධර්මය සහ අධර්මය අතර තෝරාගැනීම් පිළිබඳ කතාවක්. එය එක අතකට කිසි දා නොමැකෙන තුවාල සහිතව, තමන්ගේ රටින් පලා යාමට බල කෙරුණු යුද්ධ සරණාගතයන්ගේ කතාවක්. තවත් අතකට ප්‍රේමය වෙනුවෙන් අතිදුෂ්කර තෝරාගැනීම් කළ ආදරවන්තයින්ගේ කතාවක්. තවත් පැත්තකින්, දේශපාලකයන්ගේ සහ විමුක්ති සටන් සංවිධානවල නායකයන්ගේ උද්දච්චභාවය, මමංකාරය සහ අවස්ථාවාදී දේශපාලන ප්‍රයෝග හමුවේ රටකට සහජීවනය කරා යාමට තිබුණු අවස්ථා ඛේදනීය ලෙස අහිමි වීම පිළිබඳ කතාවක්."  Jungle and the Sea වේදිකා නාට්‍යයේ නදී කම්මැල්ලවීර චරිත දෙකකට පණ පොවන්නීය. "මං මේ නාට්‍යයේ චරිත දෙකක් රඟපෑවා. එකක් මධු කියන චරිතය. එය කතාවේ ප්‍රධාන දෙමළ පවුලේ දියණියකගේ චරිතයක්. අනික් චරිතය දේව්ලා කියන, පුහුදුන් මිනිසුන් ඇසුරේ ජීවත්වීම ප්‍රකිත්ෂේප කරමින් කැලෑ වැදී, ස්වභාවධර්මයේ නියාමයන්ට අනුව ජීවත්වෙන, සමාජය විසින් '' පිස්සු ගෑනියෙන්'' විදියට නම් කරන ලද වියපත් ස්ත්‍රියකගේ චරිතයක්," නදී පැවසීය. එම නාට්‍යයට සම්බන්ධ වීමට ඔබට අවස්ථාව හිමි වූයේ කෙසේ ද? යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නදී කම්මැල්ලවීර සදහන් කළේ, එම අවස්ථාව තමන්ට අහම්බයකින් ලැබුණු එකක් නොවන බවය. "මේ නාට්‍යය නිෂ්පාදනය කළේ සිඩ්නි වල බෙල්වොයර් තියටර් කියන නාට්‍ය සමාගමෙන්. එය අධ්‍යක්ෂණය කළේ ඒමොන් ෆ්ලැක්. පිටපත ලිව්වේ ඒමොන් සහ එස්. ශක්තිධරන් එකතුව. මං මේ දෙන්නා මීට කලින් නිර්මාණය කරපු Counting and Cracking කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඊට පස්සේ ඒමොන් අධ්‍යක්ෂණය කරපු ඇන්ටන් චෙකොෆ්ගේ The Cherry Orchard නාට්‍යයේත් මං රඟපෑවා. ඒමොන් සහ ශක්ති එක්ක නිර්මාණ කීපයක් කරලා තියෙන නිසා වෙන්න ඇති Jungle and the Sea නාට්‍යයටත් මාව සම්බන්ධ කරගත්තේ ." මෙම නාට්‍යයට නදී කම්මැල්ලවීර සමග තවත් ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ වූ අතර ඔහු නමින් බිමන් විමලරත්නය. නාට්‍යයේ අහිලන් ඇතුළු තවත් චරිත කිහිපයකට ඔහු රංගනයෙන් දායක වේ. මේ අතර, ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිතවලට දරුණු ලෙස බලපෑ තත්ත්වයන් පිළීබද අත්දැකීම් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් සිය නිර්මාණ සදහා යොදා ගැනීම විරල බව නදී කම්මැල්ලවීරගේ අදහස විය. "මට හිතෙනවා 1983 කළු ජූලිය, 88-89 භීෂණ සමය, තිස් අවුරුදු සිවිල් යුද්ධය, යුද්ධයේ අවසාන අදියර වැනි රටේ ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ, රටේ සමස්ත සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරපු අත්දැකීම් අපේ රටේ නිර්මාණකරුවන් අතින් නිර්මාණවලට පාවිච්චි වෙන්නේ ඉතා අඩුවෙන් කියලා. විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ නාට්‍ය නිර්මාණවලට මේ අත්දැකීම් යොදාගෙන තියෙන්නේ හුඟක් අඩුවෙන්. තරුණ නිර්මාණකරුවන් යම්කිසි දුරකට මේවා ගැන කතා කළත් ප්‍රවීණ නිර්මාණකරුවන් අතින් ඒවා පදනම් කරගත් නිර්මාණ බිහි වෙලා තියෙන්නේ අතලොස්සක්. ඇත්ත, මේවා දුෂ්කර තේමාවන්. විවාදයකට බඳුන් විය හැකි, නිර්මාණකරුවන්ට විශාල අභියෝගයන් එල්ල කරන තේමාවන්. නමුත් අපිට ඒවා මග හැර යන්න පුළුවන් ද? නිර්මාණකරුවන්ට ‍වගකීමක් තියෙනවා තමන්ගේ රටේ මිනිස් ජීවිතවලට දරුණු ලෙස බලපාපු තත්ත්වයන් නිර්මාණාත්මක විග්‍රහයන්ට ලක් කරන්න. සමාජයක් හැටියට අපට අනෙකාගේ දුක් වේදනාවන් පිළිබඳ සානුකම්පිත බවක් ඇති කරන්න පුළුවන් එතකොටයි. සිංහල ප්‍රජාව දෙමළ ප්‍රජාවගේ අත්දැකීම් ගැනත්, දෙමළ ප්‍රජාව සිංහල ප්‍රජාවගේ අත්දැකීම් ගැනත් සවිඥානික වීමෙන් පමණයි අපට රටක් හැටියට සුවපත් වෙන්න පුළුවන්. මෙතනදි කලාකරුවන්ට ලොකු කාර්යභාරයක් පැවරෙනවා. මේ අදහස අවධාරණය කරන්න මං කැමතියි."  "රටත් කලාවත් රැක ගන්න නම් සංවේදී නැණවත් මිනිසුන් බලයට පත් විය යුතුයි" "රටක් මුළුමනින් ම ආර්ථික දේශපාලන වශයෙන් පරිහානියට පත්වෙද්දී ඒ රටේ නාට්‍ය කලාව රැක ගන්න කියලා කිසි දෙයක් කරන්න බැහැ. අපේ රට අද වැටිලා තියෙන අගාධයෙන් මුදවා ගැනීම තමයි පළමුව සිදු කළ යුත්තේ. නාට්‍ය කලාව ඔසවා තබන්නට නම් අපට රටක් හැටියට ජාතික මට්ටමේ සංස්කෘතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එසේ තිබිම අත්‍යවශ්‍ය බව දේශපාලකයන් විතරක් නෙමෙයි පොදු ජනතාවත් පිළිගත යුතුයි. දියුණු සංස්කෘතියක ජීවිතයක් පුරවැසියන්ට ලබා දීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩගැගිය යුතුයි. ඒ කියන්නේ රට පුරා නාට්‍ය ශාලා, සිනමා ශාලා, පුස්තකාල, උද්‍යාන, එළිමහන් රංග පීඨ, ඕනෑ ම වෙලාවක නාට්‍යයක් බලලා ගෙදර යන්න පුළුවන් විදියට පහසු පොදු ප්‍රවාහන සේවාවන් ස්ථාපනය කළ යුතුයි. නාට්‍යයක් චිත්‍රපටියක් බලන්න ටිකට් එකක් ගන්න, සංගිත ප්‍රසංගයක් රස විඳින්න, පොත් ගන්න ආර්ථික හැකියාවක් සියලු පුරවැසියන්ට තිබිය යුතුයි. රාජ්‍ය මැදිහත් වී උසස් කලා නිර්මාණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කළ යුතුයි. කලා සංස්කෘතික වැඩවල ආයෝජන කරන්නට ව්‍යපාරිකයන්ව දිරි ගැන්විය යුතුයි.  නිදහසේ කලා නිර්මාණ කිරීමේ ප්‍රකාශන නිදහස රටේ ස්ථාපනය විය යුතුයි. මේ සියල්ල කරන්න නම් හැම දේට ම පළමුව රට ගැන කැක්කුමක් තියෙන රටේ ජනතාව ගැන සංවේදිබවක් තියෙන නැණවත් මානුෂික හදවත් ඇති මිනිසුන් බලයට පත් විය යුතුයි. රටේ පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවිය යුතුයි කියන සැබෑ අවංක අරමුණ සහිත නායකත්වයක් තවත් කල් නොයා බලයට නොපැමිණියොත්, අපේ රටේ නාට්‍ය කලාව නෙමෙයි, මනුෂ්‍ය ජීවිත ටිකවත් ඉතුරු වෙයි ද කියන්න බෑ." මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ඔස්ට්‍රේලියාවෙන් ඉහළ ප්‍රතිචාර The Jungle and the Sea නාට්‍යය සිඩ්නි නුවරදී සති 5ක කාලයක් තුළ දර්ශන වාර 41ක් රඟ දැක්වූ බව නදී කම්මැල්ලවීර පැවසීය. "ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. අපි එක දිගට සති 5 ක් පුරා නාට්‍ය දර්ශන වාර 41 ක් පෙන්නුවා. හැම දවසක ම නාට්‍ය ශාලාව පිරෙන්න සෙනග හිටියා. මං මේ කියන්නේ අතිශයෝක්තියක් නෙමෙයි. හැම දවසක ම පාහේ නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂාගාරය අසුන්වලින් නැගිටලා (Standing Ovation) තමන්ගේ ප්‍රසාදය පළ කළා. නාට්‍ය ගැන විචාරාත්මක සටහන් බොහොමයක් මාධ්‍යවල පළ වුණා. මේ නාට්‍යය, ඔස්ට්‍රේලියානු නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ අවධානයට ලක් වුණු, ප්‍රශංසාවට බඳුන් වෙච්ච නිර්මාණයක්," ඇය වැඩිදුරටත් පැවසීය. මෙම නාට්‍යය සම්බන්ධයෙන් 'ද ගාඩියන්' පුවත්පත පළ කර තිබූ විචාරයක දැක්වුණේ, 'ව්‍යාකූලත්වය, බලය සහ ප්‍රීතිය හා පැවැත්ම කෙරෙහි මිනිසුන් තුළ පවතින සහජ බුද්ධිය සහ තිරසර සංවේදනය විදහා දැක්වෙන ජයග්‍රහණයක් ලෙස මෙම නාට්‍යය සැලකිය හැකි,' බවය. 'සිඩ්නි නුවර මේ වන විට නැරඹීමට ඇති හොද ම නාට්‍යය මෙයයි," යනුවෙන් ටයිම්අවුට් සගරාව පවසයි.
දිවි සැරිය නිමා කළ 'සිංහල සිනමාවේ සුවිශේෂ ස්ත්‍රී සලකුණ' සුමිත්‍රා පීරිස්
සිංහල සිනමාවේ "සුවිශේෂ ස්ත්‍රී සලකුණ" සටහන් කළ ආචාර්ය සුමිත්‍රා පීරිස් අද බ්‍රහස්පතින්දා (ජනවාරි 19) සිය දිවි සැරිය නිම කළාය. අද්විතීය සිනමාකරුවෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වූ සුමිත්‍රා පීරිස්, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී මිය යන විට 88 වන වියේ පසුවිය. සිංහල සිනමාවේ අධ්‍යක්ෂණය සහ සංස්කරණය වැනි කාර්මික ක්ෂේත්‍රය දිග්විජය කළ කාන්තාවන් අතළොස්ස අතර ඇය දැවැන්ත චරිතයක් බව විචාරකයින්ගේ මතයයි. සිංහල සිනමාවේ මානවවාදී අන්තර්ගතය නියෝජනය කළ සිනමාකාරියක ලෙස පිළිගැනෙන ඇය ඒ සදහා නිරායාස පෙළඹවීමක් ලද්දේ ඇගේ පවුල් පසුබිමෙන් ම බව ඇය පවසා තිබේ. සුමිත්‍රා ගුණවර්ධන 1935 මාර්තු 24 වන දා ඇය උපත ලැබුවේ, ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී දේශපාලනික චරිතයක් වූ බොරලුගොඩ ගුණවර්ධනට ඥාතීත්වය දරන පවුලක ය. ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥවරයෙකු ලෙස කටයුතු කළ අතර ඇයගේ මව හැරියට් වික්‍රමසිංහ විය. සුමිත්‍රා පීරිස් දහහතර වන වියේ පසුවන විට ඇයගේ මව මෙලොව හැර ගියා ය. සිය සිනමා භාවිතය කෙරෙහි පවුලේ දේශපාලනික පසුබිම බලපෑ බව ඇය මාධ්‍යයට පවසා තිබේ. "අපි පොඩි කාලේ අවිස්සාවේල්ලේ හැදුණේ. දේශපාලන පසුබිමකින් ආවේ. දේශපාලනයෙන් ක්‍රමය වෙනස් කරලා සමාජයට යහපතක් කළ යුතුයි කියන හැඟීම නොදැනුවත්ව ම ආගමක් වගේ අපේ ලේවලට ම කා වැදිලා තිබුණා. බාප්පලා විතරක් නෙවෙයි විවියන් ගුණවර්ධන මගේ කසින් වුණත් එහෙමයි. අනෙක අපි අවිස්සාවේල්ලේ හින්දා ඔය රත්නපුර පැත්තේ සූරියමල් ව්‍යාපාරය වගේ දේවල් කරන්න යද්දි අපේ ගෙදර නැවතිලා යන්නේ. මේ ඔක්කොම මගේ ඔළුවට ආවට මගේ හිතුම් පැතුම් ඔක්කොම මගේ ප්‍රකාශනයක් ලෙස මොන විදිහට ද කරන්නේ කියන එක සමහර විට යටි හිතේ අවිඥානිකව රැඳිලා තිබෙන්න ඇති. ඒත් සවිඥානිකව එහෙම දෙයක් තිබුණේ නැහැ. රැකියාවක් ගැන වුණත් අපේ තරුණ කාලේ මේ වගේ තරගයක් තිබුණේ නැහැ. අපට ඕනෙ වුණේ හොඳට රටට මිනස්සුන්ට යහපතක් වෙන්න අපි දන්න දේ බෙදා හදා ගන්න හොඳම මාධ්‍ය මොකක් ද කියන දේ මම මෙයට හැරෙන්න බලපාන්න ඇති." (සරසවිය පුවත්පත - 2018 නොවැම්බර් 15) සුමිත්‍රා ඉගෙනීම ආරම්භ කළේ අවිස්සාවේල්ලේදී ය. පසු කලෙක ඇය කොළඹ විසාකා විද්‍යාලයට ඇතුළත් වූ අතර ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලැබුවේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙනි. සුමිත්‍රා වයස අවුරුදු 20 වන විට ප්‍රමාණවත් මුදලක් එක්රැස් කොටගෙන ප්‍රංශයට ගොස් සිය සොහොයුරා මුණ ගැසුණා ය. ඇය සිනමාව පිළිබදව අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇත්තේ,එහිදී ය. ඇයට සිංහල සිනමාව පිළිබද කිසිදු අවබෝධයක් ඒ වන විට නොතිබුණු බවත්, දැවැන්ත සිනමාකරුවෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබදව දැන නොසිටි බවත් ඇය පවසා තිබේ. කෙසේ වෙතත්, පසු කලෙක ශ්‍රී ලංකාවට පැමිණ ඇගේ සොහොයුරෙකුගේ හිතවතෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග සිනමා නිර්මාණවලට දායක වීමට ඇයට අවස්ථාව උදා වී තිබිණි. දක්ෂ සංස්කාරකවරියක් සුමිත්‍රා පීරිස් සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ප්‍රකට වුව ද, ඇය දක්ෂ සංස්කාරකවරියක බව බොහෝ දනෙකු නොදන්නා කරුණකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටත්වයේ ලා සැලකෙන සිනමා නිර්මාණ වැඩි සංඛ්‍යාවක සංස්කාරකවරිය ලෙස කටයුතු කළේ සුමිත්‍රා පීරිස් ය. දෙලොවක් අතර (1967) ගම්පෙරළිය (1968) ගොළු හදවත (1969) බක්මහ දීගේ (1971) මඩොල් දූව (1976) අහසින් පොළොවට (1978) ඇයගේ සිනමා සංස්කරණයන් අවස්ථා රැසකදී සම්මානයට ද පාත්‍ර වී තිබේ. හොඳ ම සංස්කරණය සඳහා අහසින් පොළොවට, ගඟ අද්දර, ගම් පෙරළිය, දෙලොවක් අතර චිත්‍රපටවලට ජනාධිපති, සරසවි සහ ඕ.සී.අයි.සී. සම්මාන හිමි වී ඇත. "සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා සංස්කරණ භූමිකාව ගැන හරියට කතා කරලා නෑ. ඇත්තට ම ඇය විශිෂ්ට සංස්කාරකවරියක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ විශිෂ්ට සිනමා කෘති රැසක සංස්කාරකවරිය ලෙස දායක වුණේ ඇය. ඇයගේ නිර්මාණශීලී සංස්කරණය නිසා ඒ චිත්‍රපටවලට විශාල ආලෝකයක් ලැබුණා. සිනමා සංස්කරණය ක්ෂේත්‍රයේත් කාන්තා දායකත්වය ඉතා අඩුයි. විශේෂයෙන් ම සුමිත්‍ර පීරිස් මහත්මිය සිනමා ක්ෂේත්‍රයට පිවිසි කාලයේ කාන්තාවන් සිනමාවට පැමිණියේ ඉතා අඩු වශයෙන් සහ අභියෝග රැසක් මැද යි. ඒත් සුමිත්‍රා මහත්මියට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණේ නෑ ඇයගේ පවුල් පසුබිමෙන් ලැබුණු ශක්තිය නිසා," සිනමා විචාරකයෙකු සහ තිර පිටපත් රචකයෙකු වන බූපති නලින් බීබීසී සිංහල සේවයට පැවසීය. අධ්‍යක්ෂණයට පිවිසීම සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ, සංස්කරණය ඇතුළු කාර්මික දැනුමක් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග එක්ව කටයුතු කිරීමෙන් ලද නිර්මාණ අත්දැකීම් සම්භාරයත් සමගිනි. ඇය අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ කිහිපයක් මෙසේ ය. ගැහැනු ළමයි (1978) ගඟ අද්දර (1980) යහළු යෙහෙළි (1982) මායා (1984) සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988) ලොකු දුව (1996) දුවට මවක මිස (1997) සක්මන් මළුව (2003) යහළුවෝ (2009) එම සිනමා නිර්මාණ අතරින් ගඟ අද්දර (ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන), යහළු යෙහෙළි (ජනාධිපති සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ලොකු දුව (ජනාධිපති සම්මාන), දුවට මවක මිස (ජනාධිපති සම්මාන), මායා (සරසවිය සම්මාන), සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා (සරසවිය සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ගැහැනු ළමයි (ඕ.සී.අයි.සී. සම්මාන) යන චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබීය. ඊට අමතරව, ගැහැනු ළමයි චිත්‍රපටය Carthage International Film Festival හිදී සහ London Film Festival හිදී සම්මානයට පාත්‍ර වූ අතර ඇගේ තවත් චිත්‍රපට රැසක් ජපානය, ජර්මනිය, රුසියාව ඇතුලු රටවල් රැසක පැවති ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට ලක් විය. සුමිත්‍රා පීරිස් බැබළුණේ ලෙස්ටර් නිසා ද? සුමිත්‍රා පීරිස්, සිංහල සිනමාවේ විශිෂ්ටයෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිද වූ නිසා සිනමා ක්ෂේත්‍රයට පිවිස ගෞරවයට පාත්‍ර වූවා ද යන්න පිළිබද ප්‍රශ්නයට සිනමා විචාරක බූපති නලින් දුන්නේ මෙවැනි පිළිතුරකි. "සුමිත්‍රා පීරිස් සිනමාව හදාරන්න ප්‍රංශයට යන්නේ ලෙස්ටර් ගැන ‌අහලාවත් නැති පසුබිමකයි. ඇය ප්‍රංශයට ගිහින් සිනමාව ගැන අධ්‍යයනය කරන කාලයේ තමයි ඇයට ලෙස්ටර් මුණ ගැසිලා තියෙන්නේ. ඇය තමන්ට උරුමයෙන් හිමි වූ විශාල මුදලක් වියදම් කරලා ප්‍රංශයට ගිහින් සිනමාව හදාරලා ශ්‍රී ලංකාවට ඇවිත් තමන්ගේ ‌දේපොළ විකුණලා චිත්‍රපට හදපු කෙනෙක්. ඇයට යම් පරිචයක් ලෙස්ටර් හරහා හිමි වෙන්න ඇති. ඒත් ඇය සිනමාවේ තැබූ ලකුණ ස්වාධීන යි. ඇගේ නිර්මාණවලට ලෙස්ටර් කිසිම බලපෑමක් කළේ නෑ කියලා ඇයත් කියලා තියෙනවා." "සිංහල සිනමාවේ හියුමනිසම්, ඒ කියන්නේ මානවවාදය විදහා දක්වන චිත්‍රපට තමයි සුමිත්‍රා මහත්මිය ගොඩක් කළේ. ඇය හැදී වැඩුණු මාක්ස්වාදී පසුබිම ඒකට බලපාන්න ඇති." එමෙන් ම, ආචාර්ය ලෙස්ටර් සහ ආචාර්ය සුමිත්‍රා චිත්‍රපට කර්මාන්තය සිය පාරිභෝගික ජීවිතයේ සුඛ විහරණය සඳහා භාවිත නොකළ බව ද බූපති නලින් පෙන්වා දුන්නේ ය. "ගොඩක් නිර්මාණකරුවන් චිත්‍රපට හදලා මුදල් හම්බ කරපු අය. ඒත් සුමිත්‍ර සහ ලෙස්ටර් කළේ ඒකෙ අනික් පැත්ත. ඔවුන් තමන්ගේ සල්ලි වියදම් කරලා චිත්‍රපට කළා. අවසානයේ ඔවුන්ට ම කියලා නිවසක් හෝ වාහනයක්වත් තිබුණේ නෑ. ඒ තරම් ඔවුන් කලාව වෙනුවෙන් ජීවිතය කැප කළා." "සිංහල සිනමාවේ දැවැන්ත ම කාන්තා නියෝජනය" සුමිත්‍රා පීරිස් සිංහල සිනමාවේ දැවැන්ත ම කාන්තා නියෝජනය බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඇයගේ අභාවයෙන් සිංහල සිනමාවේ ඇති වූ පුරප්පාඩුව පියවීම "අතිශය දුෂ්කර කාර්යයක්" බව ය. "සිනමාවේ අධ්‍යක්ෂණය, සංස්කරණය වගේ ක්ෂේත්‍රවලට කාන්තාවන් ප්‍රවේශ වෙන්නේ ඉතා අඩුවෙන්. ගොඩක් වෙලාවට කාන්තාවන්ට මේ ක්ෂේත්‍රයේදී විශාල අභියෝගවලට මුහුණු පාන්න සිද්ධ වෙනවා. සුමිත්‍රා පීරිස් කියන්නේ සිනමාවේ නිර්මාණාත්මක සහ කාර්මික යන දෙපැත්ත ම සම සමව විශිෂ්ට ලෙස අධ්‍යයන කරපු, ඒ දෙපැත්තෙන් ම විශිෂ්ටත්වයට පත්වුණු නිර්මාණකාරියක්. ඉතින්, ඒ අඩුව පුරවන්න අපට හැකි වෙයි ද? කියන එක සිංහල සිනමාව මුහුණ දෙන ප්‍රශ්නයක්."
'මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ': කැසට් පට ගීත යුගය වර්ණවත් කළ නිහාල් නෙල්සන් ජීවන වේදිකාවට සමුදෙයි.
වේග රිද්ම ගීත කලාව නව මානයකට රැගෙන ගිය ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අද (දෙසැම්බර් 13 වැනිදා) උදෑසන අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 76 කි. ශ්‍රී ලාංකීය වේග රිද්ම ගීතයේ රජු..! නිහාල් නෙල්සන් වාර්තා අතරට එක්ව සිටියේ වැඩිම කැසට් පට සංඛ්‍යාවක් එළිදැක්වූ ගායන ශිල්පියා ලෙසය. ඔහු එළිදක්වා ඇති කැසට් පට ගණන 113 කි. මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම චරිතයක් වු නිහාල් නෙල්සන් සමාජයේ කතා බහට ලක්වු මෙන්ම අඳුරු පැතිකඩ විදහා දක්වන තේමාවන් මුල් කරගනිමින් ගීත ගායනා කිරීම හේතුවෙන් වඩාත් ජනාදරයට පාත්‍රවිය. 1978 දී ‘ගුණේ අයියගේ කාමරේ’ සමඟින් ඔහු පළමු කැසට් පටය එළි දක්වනු ලැබීය. එවකට කැසට් පටයක් නිකුත් කළ ශ්‍රී ලාංකේය ගායන ශිල්පීන් අතර ඔහු දෙවැනි ස්ථානයේ පසු විය. සංයුක්ත ගී තැටියක් නිකුත් කළ පළමු ගායන ශිල්පීන් අතරට නිහාල් නෙල්සන් ද එක්විය. තමාටම අනන්‍ය වූ ශෛලියකින් ප්‍රසංග වේදිකාවට ප්‍රවිශ්ට වූ ඔහු, ප්‍රසංග වේදිකාවේ අපරාජිත තරුවක් ලෙස සැලකෙයි. දශක 6කට අධික කාලයක් ප්‍රසංග වේදිකාව තුළ වැජබී සිටිමට ඔහුට හැකි විය. 1946 ජනවාරි 9 වැනිදා මොරටුවේ උපන් නිහාල් නෙල්සන් පාසල් වියේ සිටම ගායනයට දක්ෂතා ප්‍රදර්ශනය කළේය. මොරටුව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු 1963 වසරේදී ලස්සනට පිපුණු වන මල් ගීතය තුළින් ගායන ලෝකයට ප්‍රවිශ්ට විය. 1963 මාර්තු 31 වන දින දහවල් 12.20ට එවකට ගුවන් විදුලියෙන් ‘ලස්සනට පිපුණු වනමල්' ගීය මුල්වරට ප්‍රචාරය කරමින් එවකට කරුණාරත්න අබේසේකර විසින් මුල්වරට නිහාල් නෙල්සන්ව හඳුන්වාදුන් අවස්ථාවේදී “ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ" යනුවෙන් පැවසු බව කියවේ. ඔහු ගායනා කළ “සල්ලි මිටි ගණන්, කිරි දුන්නේ දරුවන්ටයි” වැනි ගීත සමාජයට දැඩි බලපැමක් එල්ල කළ හැකි ගීත බවට පත්විය. ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට සංගීත කේෂත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබීය. ඔහු ගායනා කළ ගීත සංඛ්‍යාව සිය ගණනකි. නෙල්සන් බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ ප්‍රථම පසුබිම් ගායනය පෙම් කුරුල්ලෝ චිත්‍රපටිය තුළින් වාර්තා අතරට එක්විය. සක්විති සුවය, ලෝක හොරු,හරි යනකොට ඔහොම තමයි, සඳ වට රන්තරු, ලොකු තාත්තා, මල් වරුසා, වාලම්පුරි, දියමන්ති යන චිත්‍රපටවලට ද ඔහු පසුබිම් ගායනයෙන් දායක විය. කෙතරම් නව ගීත එළි දැක්වුවත්, නිහාල් නෙල්සන් ගායනා කළ ගීත අදටත් ප්‍රසංග වේදිකාවක, සාදයක, විනෝද චාරිකාවකදී නිතැතින්ම මතකයට නැගෙන්නේ එම ගීත එතරම්ම මෙරට සංගීත ලෝලීන්ගේ සිත්තුළ කාවැදී පැවතීම හේතුවෙනි. නිහාල් නෙල්සන් ජීවන වේදිකාවට සමුදෙනු ලැබුවද ඔහු ගායනා කළ ගීත ප්‍රසංග වේදිකාව තුළ සදා අමරණීය වනු ඇත.