summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
වර්ගවාදී වෛරී අදහස්වලට එරෙහිව හඬනගන ලෙස ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානු සමාජයෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරන ලද්දේ වර්ගවාදී ක්‍රියාවන් ඉදිරියේ මුනිවත රැකීම ''එවැනි ක්‍රියාවන් අනුමත කරනු ලැබීමක්'' වනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ පසුගියදා 'ඇට්ලන්ටා' ප්‍රාන්තයේ දී ඇමෙරිකානු - ආසියානු ප්‍රමුඛයන් මුණගැසුනු අවස්ථාවේය. පසුගිය සතියේ අඟහරුවාදා 'ඇට්ලන්ටා'හි සම්බාහන මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල වූ අතර එයින් ඇති වූ බිහිසුණු තත්ත්වය මැද එම හමුව සිදුවිය. අඟහරුවාදා ප්‍රහාර මගින් කාන්තාවන් අටදෙනකු මරාදමනු ලැබුණි. ඔවුන්ගෙන් හයදෙනකුම ආසියානු කාන්තාවන්ය. එම ප්‍රහාරය වර්ගවාදී පසුබිමක් සහිත ක්‍රියාවක් ලෙස ඇමෙරිකානු පොලිසිය විසින් විග්‍රහකරනු ලැබ නැතත් එය එල්ල කෙරුණේ ආසියානු විරෝධී මතවාදය සහ ප්‍රහාර රැල්ලක් පැතිරයමින් පවතින සමාජ පරිසරයකය. කොරෝනා වසංගතය පැතිරයමින් පවතින අතරවාරයේ ඇමෙරිකානු සමාජයේ ජීවත්වන නැගෙනහිර ආසියානුවන්ට එරෙහි අපරාධ වැඩිවෙමින් තිබුණි. ''ජාතිවාදය අපගේ ඇමෙරිකානු සමාජයේ දිගුකලක් හොල්මන් කරමින් තිබුන විකාරරූපී විසක්. එය නැතිකර දැමීම සඳහා ඇමෙරිකානුවන් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා'' ජනාධිපති බයිඩන් කියා සිටියේය. ජෝ බයිඩන්ගේ අදහස් ආසියානු-ඇමෙරිකානු සම්භවයක් සහිත ව්‍යවස්ථා සම්පාදකයන් දෙදෙනකු විසින් කොරෝනා වෛරස් වසංගතය සමඟ බැඳුණු වෛරී අපරාධවලට අදාළව පසුගිය මාසය මුලදී හඳුන්වාදෙන ලද පනත් කෙටුම්පතක් සම්මත කරන ලෙස ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කළේය. 'කොවිඩ්-19 වෛරී අපරාධ පනත' එවැනි අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව දරන ප්‍රයත්නයට පහසු පරිසරයක් නිර්මාණය කරනු ඇත. ''එම පනත් කෙටුම්පත නිසා වසංගත සමයෙහි වැඩිවෙමින් පවතින වෛරී සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රතිචාරය කඩිනම් කෙරෙන අතර, වෛරී අපරාධ වාර්තාකරනු ලැබීම සාර්ථකව සිදුකිරීමට ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතනවලට ආධාරවීමක් සහ ආසියානු-ඇමෙරිකානු ප්‍රජාවන්ට වෛරී අපරාධ පිළිබඳ තොරතුරු ලබාගැනීම සහතික කිරීමක් ද සිදුවෙන'' බව ධවල මන්දිරය පවසයි. කොවිඩ්-19 වසංගතය ආරම්භයේ පටන් ආසියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ට එල්ලකෙරෙන ප්‍රහාරයන්හි වේගවත් වැඩිවීමක් පෙන්නුම් කළේය. වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ආසියානුවන්ට දෝෂාරෝපණය කරනු ලැබීමක් දක්නට ලැබුණි. කෙසේවුවද, ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කළේ ''නීතියට සිදුකළ හැකි සියලු යහපත් දේ සඳහා අපගේ හදවත් වෙනස්කර ගැනීමට සිදුවන'' බවය. ''වෛරය සඳහා ඇමෙරිකාවේ ක්‍ෂේම භූමියක් නැහැ. එය තුරන්කළ යුතුයි'' ජනාධිපතිවරයා අවධාරණය කරයි. ''එය තුරන්කර දැමීම අප සියලු දෙනාගේම කාර්යයක්. අපි එකමුතුව ඉටුකළ යුතු කාර්යයක්'' ඇට්ලන්ටා ප්‍රහාරයට ගොදුරු වූ ආසියානු සම්බාහන මධ්‍යස්ථානයක් ඉදිරිපිට සමරුවක් ඇට්ලන්ටා හි ආසියානු සම්බාහන මධ්‍යස්ථාන තුනකට එල්ල කෙරුණු ප්‍රහාරයන්හිදී මරණයට පත් කාන්තාවන් අටදෙනකුගේ නම් පසුගිය සතියේ සිකුරාදා ප්‍රකාශයට පත්කරනු ලැබුණි. ප්‍රහාරයට ගොදුරු වූ නවවැන්නා බරපතල තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ ඇත. ආසියානුවන් ඉලක්ක කරගනිමින් මින් පෙරත් එල්ල කෙරුණු ප්‍රහාර රාශියකි. එක් අවස්ථාවක තායි ජාතික සංක්‍රමණිකයකු පොළොවට තල්ලුකරනු ලැබීම නිසා මරණයට පත්ව ඇති බව මාර්තු මාසය මුලදී බීබීසී වාර්තා කළේය. කාඩ්බෝඩ් පෙට්ටි ඇසුරුම් කපන ආයුධයකින් පිලිපීන-අමෙරිකානුවෙකුගේ මුහුණ කපා තිබුණි. චීන කාන්තාවකට කම්මුල් පහර එල්ලකර අනතුරුව ගිනිතබා තිබූ බවත් එම බීබීසී වාර්තාවේ දැක්වෙයි. මෙයින් අවුරුද්දකට පමණ කාලයකට පෙර කොවිඩ් වසංගතය පැතිරයාම ආරම්භයේ පටන් එවැනි ප්‍රහාර රැල්ලක් වාර්තා වූ අතර ඉහත සඳහන් කරන ලද්දේ ආසියානු-ඇමෙරිකානුවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාර සම්බන්ධයෙන් නිදසුන් කීපයක් පමණි. වචනයෙන් නින්දා පරිභව කිරීම්වල පටන් ශාරීරික මට්ටමින් පහරදීම් තෙක් ආසියානුවන් මුහුණදෙන හිරිහැර ගැන පසුගිය මාසවල වාර්තාවුණේ දහස් ගණනිනි. නීතිවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් ඉහත කී ආකාරයේ ක්‍රියා වෛරී අපරාධ ලෙස විග්‍රහකරන අතර එම අපරාධ සහ කොවිඩ්-19 වෛරසය පැතිරයාමට ආසියානුවන් වගකිව යුතුය යන දුර්මතය අතර සම්බන්ධයක් ඇතැයි පෙන්වා දෙති. ආසියානු ජනයාගෙන් පැවත එන ජනතාවට එරෙහි වෛරී අපරාධ රැල්ලක් ව්‍යාප්ත වියහැකි බවට ඇමෙරිකානු ෆෙඩරල් ඔත්තු අංශය කොවිඩ්-19 වසංගතය පැතිරයාම ආරම්භයේදීම අනතුරු අඟවා තිබුණි. ෆෙඩරල් පාලනය 2020 වසරේ වෛරී අපරාධ ක්‍රියාවන්ට අදාළ දත්ත තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබ නැත. එහෙත් 2019 දී දශකයකට අධික කාලයක් ඇතුළත වෛරී සාපරාධී ක්‍රියාවන්හි වැඩිමේ මට්ටම වාර්තා කළේය. වාර්ගික ආකල්ප මත ආසියානු-ඇමෙරිකානුවන්ට එරෙහිව සිදුකරන ලද වෛරී ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩ ප්‍රහාර ''අනතුරුදායක මට්ටමකින්'' වැඩිවෙමින් ඇතිබව පෙන්වාදෙන සවිස්තරාත්මක වාර්තාවක් 2020 වසර අවසන් භාගයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබුණි. පසුගිය වසරේ සෘජුව ම ආසියානු-ඇමෙරිකානුවන් ඉලක්ක කරගත් 2,800කට අධික වෛරී ක්‍රියාවන් පිළිබඳව වාර්තා වූ බව ''Stop AAPI Hate'' නම් උපදේශන සේවාව පවසයි. කොවිඩ්-19 වසංගතය ආරම්භයේ දී එම උපදේශන සේවාව එවැනි අපරාධ පිළිබඳව ස්වයං මට්ටමින් වාර්තාකරනු ලැබීම සඳහා පහසුකම් සලසා තිබුණි. එවැනි සාපරාධී ක්‍රියා ගැන තොරතුරු සමාජ මාධ්‍ය ජාලය තුළ වේගයෙන් හුවමාරුවෙන්නට පටන් ගැනීමත් සමඟ සමාජයේ නමක් සහිත කීර්තිමත් චරිත සහ බලපෑම් සහගත පුද්ගලයන් පවා මේ ප්‍රශ්නය ගැන අදහස් පළකරනු ලැබ ඇත. අලුත්ම ජනගහන වාර්තා අනුව කැලිෆෝනියාවේ පමණක් ආසියානු ප්‍රභවයක් සහිත ජනගහනය මිලියන හැටකටත් අධික ය. එය ආසියානුවන් වැඩිම ඇමෙරිකානු ප්‍රාන්තයයි. එය ප්‍රාන්ත ජනගහනයෙන් 15% ඉක්මවයි. ආසියානු-ශාන්තිකර ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය මගින් නිකුත්කරනු ලැබ ඇති වාර්තාවක් පවසන පරිදි 2020 මාර්තු මාසයේ පටන් මැයි මාසය තෙක් පමණක් කැලිෆෝනියාවේ ප්‍රාදේශීය 'කවුන්ටි'වලින් කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ වෛරී හැසිරීම් 800කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. ප්‍රහාරවලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ හේතු වුණාද? මෙහිදී ඇතැමෙක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන ලද චීන විරෝධී අදහස් සම්බන්ධයෙන් සෘජුව චෝදනා කරති. ජනාධිපති ට්‍රම්ප් විසින් කොවිඩ් -19 වසංගතය දිගින් දිගටම හඳුන්වනු ලබමින් සිටියේ ''චීන වෛරසය''("China virus") එසේත් නැත්නම්,''කුන්ග් ෆ්ලු''( "kung flu")යනුවෙනි.. එහෙත් බලයට පත්ව සතියක් ඇතුළත ඉදිරි පියවරක් ගත් ජනාධිපති ජෝ බයිඩන් ''ෆෙඩරල් පාලනය තුළ එවැනි භාෂාවක් භාවිත කරනු ලැබීම විශේෂයෙන්ම තහනම් කෙරෙන'' විධායක ආඥාවකට අත්සන් කළේය. ඇට්ලන්ටා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග කරන ජෝර්ජියා ප්‍රාන්තයේ ෂෙරීෆ්වරයාගේ කාර්යාලය පසුගියදා තවත් පියවරක් ගෙන තිබුණි. එනම්, එම කාර්යාලයේ ප්‍රකාශකයා එම නඩු විභාගයෙන් ඉවත්කරනු ලැබීමය. ඊට හේතු වූයේ එම ප්‍රකාශක කපිතාන් ජේ.බේකර් (Jay Baker) කොවිඩ්-19 වසංගතය චීනයෙන් ආනයනය කරන ලද්දක්ය යන අදහස දැක්වෙන "imported virus from CHY-NA" උද්ධෘතය ඇතුළත් ටී-ෂර්ටයක් ප්‍රචාරය කිරීමට මැදිහත්වන බවක් සමාජ මාධ්‍ය ජාලයේ පළවීමත් සමඟය. ආසියානු විරෝධී ප්‍රහාරයකදී දිවි බේරාගනිමින් සටන් වැදුන චීන කාන්තාවක් කියවන්න;
2018 වසරේදී මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා පහක් විනාශ කිරීම සම්බන්ධයෙන් 16 දෙනෙකුට එරෙහිව අඟහරුවාදා (අප්‍රේල් 20) නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට දෙවසරක් පිරීමට එක් දිනක් තිබියදී ය.
යුක්තිය අයදින පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස හැඳින්වුණු නවුෆර් මවුලවි, ඉබ්‍රාහිම් මවුලවි, මොහොමඩ් සජිඩ්, මොහොමඩ් සාහිඩ්, සාදික් අබ්දුල්ලා, සයිනුල් අබ්දීන්, මොහොමඩ් මිල්හාන් සහ තවත් 9 දෙනෙකු ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ එමඟින් ප්‍රජාවන් අතර ආගමික අසමගිය ඇති කිරීමට එරෙහිව කෑගල්ල මහාධිකරණයේදී එසේ අධි චෝදනා ගොනු කෙරිණි. මෙම නඩුව මහාධිකරණයේ විශේෂ අධිකරණයක් හමුවේ විභාග කරන ලෙස නීතිපතිවරයා අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් ඉල්ලා ඇත. ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මීගමුව මෙවැනි තත්ත්වයක් දිගහැරුණ ද 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධවූවන්ට එරෙහිව මේ දක්වා නීතිමය පියවර ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වින්දිතයන්, කතෝලික ප්‍රජාව ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල කනස්සල්ල පළවෙමින් තිබේ. ප්‍රහාරවලදී 268 දෙනෙක් මිය ගිය අතර 500 ට අධික පිරිසක් තුවාල ලැබූහ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෙරුණු පරීක්ෂණ උපයෝගී කරගෙන ඇමරිකාව විසින් එරට අධිකරණයක නඩු පවරනු ලැබුව ද ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දී නීතිය ඉටු වූවාද යන්න තවමත් ප්‍රශ්න කෙරේ. ඇමෙරිකානු පරීක්ෂණ පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ විදේශීය ත්‍රස්ත සංවිධානයකට (ISIS) ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට චෝදනා එල්ල කළ බව ය. කිතුනු දේවස්ථාන සහ විදේශිකයන් නිතරම පැමිණෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහාය වූ ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) නිලධාරීන් විසින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිසා අධිකරණයේ මෙම අපරාධ නඩුව ගොනු කරන ලදී. ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසකගේ කොටස්කාර සංවිධානයක් වූ අතර "ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්" ලෙස හැඳින්වූ මෙම සංවිධානය එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළු 268 දෙනෙකු මරණයට පත් කර තවත් 500 ට වැඩි පිරිසක් තුවාල ලැබූ ප්‍රහාරයට වගකිවයුතු බව ෆෙඩරල් අපරාධ පැමිණිල්ලෙන් කියැවිණි. මියගිය එක්සත් ජනපද පුරවැසියන්ගෙන් එක් අයෙක් එරට වාණිජ දෙපාර්තමේන්තුවේ සේවකයකු වන අතර ඔහු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇත. 2019 අප්‍රියෙල් 21 වන දින කොළඹ, මීගමුවේ කටුවාපිටිය සහ මඩකලපුව යන නගරවල එකවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට තුඩු දුන් කුමන්ත්‍රණයේ විත්තිකරුවන්ගේ භූමිකාව සහ සිදුවීම් මෙම පැමිණිල්ලේ තවදුරටත් දක්වා ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ නිවේදනයෙන් පැවසීය. අයිඑස්අයිඑස් සංවිධානයට පක්ෂපාතී වන බවට පොරොන්දු වූ මෙම විත්තිකරුවන් තිදෙනා සාපරාධී පැමිණිල්ලේ නම් කර ඇති අතර එම සැකකරුවන් නම්: මොහොමඩ් නවුෆර්, අයිඑස්අයිඑස් ආධාරකරුවන්ගේ කණ්ඩායමේ "ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්" ලෙස හැඳින්වූ කණ්ඩායමේ "දෙවන එමීර්", කණ්ඩායමේ ප්‍රචාරක කටයුතු මෙහෙයවූ තැනැත්තා මෙන්ම ඔහු අයිඑස්අයිඑස් හා සම්බන්ධ වීමට වෙනත් අය බඳවා ගත් තැනැත්තා වන අතර, ඔහු බහු දින මිලිටරි ආකාරයේ පුහුණු මාලාවකට නායකත්වය දුන් තැනැත්තාය.පාස්කු ප්‍රහාර සඳහා භාවිත කරන ලද වැඩිදියුණු කළ පුපුරණ උපකරණ නිෂ්පාදනය කිරීමට උදව් කළ බවට චෝදනා ලැබූ මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කන් හා අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ බවට චෝදනා ලබා ඇත. ඔහු ඔත්තුකරුවෙකුටද වෙඩි තබා ඇතැයි චෝදනා එල්ල වන අතර වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් සොයා බැලීමද කළ පුද්ගලයෙකි.මේ අතර අයිඑස්අයිඑස් වෙතින් මිලිටරි ආකාරයේ පුහුණුවක් ලැබීමට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් නෆාර් සහ මිල්හාන්ට යන පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කෙරේ යනුවෙන් ද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය. පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් සහ පහරදීම්වලට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවේ රඳවා සිටින අතර අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතී යනුවෙන් එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකාවේ පරීක්ෂණ පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 202 ක් බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 66 දෙනෙකු රඳවා තබා ගෙන විමර්ශණය කෙරෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය. මේ වන විට 408 දෙනෙක් ඇප මත නිදහස්ව සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශණය කෙරෙන බව ඔහු කීය. ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන තුනක් වන ජාතික ත්ව්හීඩ් ජමාද්, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් හා විල්ලයාත් අස් සේලානි හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රහාරයයන් පසු තහනම් කරනු ලැබිණි. එසේම අයිඑස්අයිඑස් සහ අල් කයිඩා සංවිධානයද ඇතුළුව සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් පත්‍රය අප්‍රේල් 10 වෙනිදා නිකුත් කළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම රජයට අදාළ කාරණයක් නොවන බවය. "නඩු පැවරීම රජයට කිසිදු සම්බන්ධයක් නැත, රජයට චෝදනා ගොනු කළ නොහැකි අතර ජනාධිපතිවරයාට හෝ ඇමතිවරුන්ට එය කල නොහැකියි එය ගරු නීතිපතිවරයාගේ කාර්යයක්," යැයි ඔහු කීය. ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වන තුරු නීතිපතිවරයා සිටි බව කී ඔහු, වාර්තාවේ ඇතුළත් ශාක්ෂි ද උපයෝගී කරගනිමින් නඩු පැවරීමට හැකි යැයි නීතිපති වරයා පැවසූ බව අමාත්‍ය අලි සබ්රි සඳහන් කළේය. ඔහු තවදුරත් පැවසුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් කාල සීමාවක් නිර්ණය කිරීම රජයට කළ නොහැකි නමුත් අදාළ කාර්යයන් නිසි ආකාරයෙන් සිදුවනවාදැයි නිරීක්ෂණය කළ හැකි බවකි. "යම් කිසි කාලයකට හෝ නියමිත දිනට නියමිත වේලාවට සිදුකරනවාට වඩා නිසි ආකාරයෙන් එය සිදුකිරීම ඉතාමත් වැදගත් යැයි මම සිතනවා. අවසානයේදී ඔබ එය සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එබැවින් එය කෙටි මාර්ගයකින් තොරව නිසි ආකාරයෙන් කළ යුතුයි. එය හරියාකාරව සිද්ධ නොකළහොත් වැරදිකරුවන්ට වරදින් ගැලවී යා හැකියි. අපට අවශ්‍ය උපරිමයෙන් නිවැරදි ව සිද්ධ කරන්න. මම හිතන්නේ නීතිපතිවරයාට ඔහුගේ කාර්යය කළ හැකියි," කෙසේවෙතත්, අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින සම්පත් හා පහසුකම් යටතේ කටයුතු කළ යුතු බව ය. "මගේ මතය අනුව ලොව පුරා ත්‍රස්ත විමර්ශනවලට බොහෝ කාලයක් ගතවෙනවා. අපේ රටේ පැය 48 ක් ඇතුළත ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනෙකුත් සංවිධාන තහනම් කිරීම දැනටමත් සිදුවී ඇති අතර අපගේ අභ්‍යන්තර ආරක්ෂාව මෙන්ම බුද්ධි අංශද ශක්තිමත් කර තිබෙනවා." "එම නිසා නඩු පැවරීම සහ මේ සියල්ල අපට ධාරිතාවය හා අප සතුව ඇති පහසුකම් යන සියලු දේ සමඟ කටයුතු කළ යුතුයි. අනවශ්‍ය ප්‍රමාදයක් සිදුවී ඇති බව මට පෙනෙන්නේ නෑ."
ජීවිතය ගලා යන විට මුහුණ දීමට සිදු වන බාධක, දුක් කම්කටොළු වගේම සතුට බෙදාගැනීමට ද මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටීම ඉතා වැදගත්ය. නමුත් "අපට සමාන ගති පැවතුම් තිබෙන පිරිසක්" පමණක් ආශ්‍රය කිරීමෙන් ජීවිතයේ යම් හිඩැසක් ඇති නොවන්නේද?
යම් පුද්ගලයකුට දිනපතා මුණගැසෙන පිරිස සහ ඔහුගේ සමාජ ජාලය ජීවිතයේ කොටසක් ලෙස හැඳින්විය හැකිය. මිතුරන් ආශ්‍රය කිරීමෙන් මානසික ආතතිය අවම කරන බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. එමෙන්ම මේ ලෝකය තුළ අපට හිමි ස්ථානය හඳුනාගැනීමට ඔවුන් උපකාර කරනු ඇත. නමුත් මිනිසුන් සිය මිතුරන් ලෙස බොහෝ විට තෝරා ගන්නේ එක සමාන ගති පැවතුම්, අදහස් ඇති පුද්ගලයන් බව සාක්ෂි නිරීක්ෂණය කිරීමෙන් හෙළි වෙයි. පුද්ගලයකු තම සමාජ සම්බන්ධතා පුළුල් කිරීම තුළින් බොහෝ වාසි අත් කර ගත හැකිය. උදාහරණයක් ලෙස වෙනස් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම තුළින් නිර්මාණශීලී හැකියාව වර්ධනය වෙනවා සේම එම පුද්ගලයාට සහ සමාජයට අත් වන වාසි බොහෝය. පුද්ගලයකුගේ අදහස්වලට සමාජ ජාලයෙන් එල්ල වන බලපෑම පිළිබද පරීක්ෂක කණ්ඩායම් තවමත් අධ්‍යයනය කරති. අප තුළ ඇති ආකල්ප අනුව ලෝකය දකින ආකාරය වෙනස් විය හැකි අතර එයට ප්‍රතිරෝධී අදහස් ඉවත ලෑමට බොහෝ අය පෙළඹෙති. ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ මත සනාථ කරගැනීම සඳහා අන් අයගේ අදහස් සහ තමන්ට නොගැළපෙන තොරතුරු මඟහැරීමට කටයුතු කිරීමට ඉඩ ඇත. බොහෝ මිනිසුන් සමාන සමාජ මනෝභාවයන්ගෙන් සමන්විත මිතුරන් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වන අතර, ඉතා කුඩා පිරිසක් පුළුල් පරාසයකින් යුත් අදහස් සහිත පුද්ගලයන් සමග මිශ්‍ර වීමට කැමැත්ත දක්වති. විවිධ අදහස් සහ ගති ලක්ෂණ සහිත පුද්ගල කණ්ඩායමක සිටින සාමාජිකයන් තුළ අන් අයගේ අදහස්වලට ගරු කිරීමේ ප්‍රවනතා දැකිය හැකිය. එමගින් ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ද ඇති විය හැකිය. "එක වර්ගයේ කුරුල්ලන් එක රංචුවට පියඹනවා" වැනි හැසිරීමක් සමාජ විද්‍යාඥයින් හඳුන්වන්නේ 'සමානුකූලතාව'(homophily) ලෙසය. එවැනි කණ්ඩායමකට අයත් පුද්ගලයන් ඒකාකාරී බවින් යුක්තය. මෙය බොහෝ ආකාරයට සිදුවිය හැකිය. නිදසුනක් වශයෙන්, පාසලේ දී එකම ජාතියකට අයත් දරුවන් එක කණ්ඩායමක සිටිනු දැකිය හැකිය. එපමණක් නොව, එක සමාන කොණ්ඩා මෝස්තර තිබෙන අය මෙන්ම ඇස් කණ්නාඩි පළඳින අය එකට කාණ්ඩ ගැසී සිටිනු දක්නට ලැබෙයි. මේ තොරතුරුත් කියවන්න: වැඩිකලක් ගත වීමට පෙර පුද්ගලයන්ගේ වයස, සමාජ පන්තිය, දේශපාලන දර්ශනය, ආගම සහ ජාතිය අනුව සමාජය කුඩා කොටස්වලට බෙදී යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් තුළ වෙනස් ආකාරයේ අධිමානසික තත්වයන් වර්ධනය වීමට ඉඩ ඇත. නිදසුනක් වශයෙන්, එක් කණ්ඩායමක්,අන් පුද්ගල කණ්ඩායම්වලට වඩා සිය කණ්ඩායම වඩාත් "හොඳ" ලෙස දැකීමට පුරුදු විය හැකි අතර, සිය කණ්ඩායම අන් අයට වඩා දැනුමෙන් සහ විනෝදයෙන් ඉහළ මට්ටමක සිටින බව සිතීමට පෙළඹෙනු ඇත. මෙම තත්වය තවත් නරක අතට හැරෙමින් විවිධ කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් එක් ප්‍රදේශයකට සංක්‍රමණය වී අසල්වැසියන් ලෙස ජීවත් වීම ආරම්භ කරන අතර, ඔවුන්ගේ මතයට සරිලන පාසල්වලට යාමට පටන් ගනු ඇත. කලාතුරකින් මුණ ගැසෙන පුද්ගලයන්ගේ මතය විමසනවාට වඩා අප හා සමාන අදහස් දරන පුද්ගලයන් ඇසුරු කිරීමට අපි කැමැත්තක් දක්වන්නෙමු. එසේ ක්‍රියා කිරීමෙන් අන් අයගේ පුරුදු, සිතුවිලි සහ හැඟීම් නොසලකා හැර ලෝකය පිළිබද අප තුළ ඇති මතය ගොඩ නගා ගැනීමට අපි උත්සාහ දරන්නෙමු. කෙසේ වෙතත්, විවිධ කාණ්ඩවලට අයත් මිතුරන් ඇති කර ගැනීම ඉතා යහපත් බව පර්යේෂණවලින් පෙනී යයි. තවත් තොරතුරු: එක සමාන පුද්ගලයන් තුළ එක සමාන ඍණාත්මක අදහස් ද තිබිය හැකිය. විවිධ චරිත ලක්ෂණ සහිත පුද්ගලයන් ඇසුරු කිරීම තුළින් අප තුළ ධනාත්මක සිතුවිලි ජනනය විය හැකි අතර මානසික ආතතිය අවම වීමට එය හේතුවක් විය හැකිය. විවිධ පුද්ගලයන්ට සවන් දීමෙන් සමාජය දෙස පොදුවේ සානුකම්පිතව බැලීමට අප පුරුදු වෙනු ඇත. උදාහරණයක් වශයෙන් සමරිසියන් ඇසුරු කිරීමෙන් ඔවුන් පිළිබඳව අප තුළ මුල්බැස ගත් ආකල්ප වෙනස් වනු ඇත. එම ආකල්පමය වෙනස, උදාහරණයක් ලෙස අපට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් මුදල් ඇති පුද්ගලයන් ඇසුරු කරන විට යහපත් ආකාරයට බලපානු දැකීම පුදුමය දනවන සුළු වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප තුළ මුල්බැස ගත් මානය, දුර්මත සහ කාණ්ඩ ගැසීම් අවම වනු ඇත. නොයෙක් කණ්ඩායම් සමග සබඳතා ගොඩනගා ගැනීමෙන් අප තුළ ඇති ආකල්ප වෙනස් වන බව ලොව පුරා සිදු කළ බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත. මුල් කාලයේ දී මෙම අධ්‍යනයන්ගෙන් වැඩි කොටසක් සිදු කර ඇත්තේ එක්සත් ජනපදය තුළය. එහි සුදු ඇමෙරිකානු පාසල් සිසුන් සහ අප්‍රිකානු සම්භවයක් ඇති සිසුන් එකම පාසලක අධ්‍යාපනය හැදෑරීමට සැලැස්වීමෙන් පෙර තිබූ බෙදීම් අවම කර ගත හැකි වූ බව පෙනී ගොස් ඇත. ඊට සමාන සාර්ථක පරීක්ෂණ මහා බ්‍රිතාන්‍යයේ ද සිදු කරනු ලැබ ඇත. එහෙත් බොහෝ සමාජයන්හි විවිධ ජන කොටස් තවමත් කණ්ඩායම් වශයෙන් බෙදී ජීවත් වනු දක්නට ලැබෙයි. ඒ අතරවාරයේ ඔවුන් සමග අනියම් ආකාරයෙන් සබඳතා ඇති කර ගැනීමෙන් වුවද අප තුළ ඇති ආකල්ප වෙනස් කර ගත හැකිය. නිදසුනක් ලෙස, අන්‍යෝන්‍ය මිතුරන් හරහා අනෙකුත් කණ්ඩායම් සමග සම්බන්ධ වීම ඔවුන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වීම තරමටම ඵලදායී වනු ඇත. විවිධ ජන සමූහ සහ පුද්ගලයන් පිළිබඳව නිර්මාණය කර ඇති සිනමාපට හෝ රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් ඔවුන් ගැන ඇති ආකල්ප වෙනස් කර ගැනීමට බොහෝ අයට හැකි වී ඇත. උතුරු ඇමෙරිකාව, යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව පදනම් කර ගනිමින් හැට වසරකට ආසන්න කාලයක් එවැනි පර්යේෂණ සිදු කර ඇත. විවිධ වර්ගයේ මිනිසුන් ඇසුරු කිරීමෙන් සහ ඔවුන් සමග එකට ජීවත් වීමෙන් වඩාත් සාමකාමී, ධනාත්මක අදහස් ඇති ලෝකයක ජීවත් විය හැකි බව එම පර්යේෂණවලින් හෙළි වී ඇත. (බීබීසී #CrossingDivides වැඩසටහන් මාලාව ඇසුරෙනි)
පසුගිය සතියේ නොදැන සිටි කරුණු පහක් 01. "ළෙන්ගතු ස්පර්ශ කිරීම්" වැඩි වශයෙන් සිදු කිරීම හේතුවෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයෝ වඩාත් සතුටින් පසු වෙති.
වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයන් වඩාත් සතුටින් පසුවීමේ නැඹුරුවක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි. අධ්‍යයනය සඳහා පුද්ගලයන් හාරසිය දෙනෙකු සහභාගී වී ඇති අතර ලිංගික සේවනයේ යෙදෙන වාර ගණන, කොපමණ සතුටින් සිටීදැයි යන්න සහ ජීවිතයේ තෘප්තිමත්භාවය, සිය සහකාරිය හෝ සහකරු අතර කොපමණ ළෙන්ගතු ස්පර්ශ කිරීම් සිදු වනවා දැයි යන්න (තුරුළට ගැනීම, වැළඳ ගැනීම, සිප ගැනීම සහ එකිනෙකා ස්පර්ශ කර ගැනීම) පිළිබඳ ඔවුන්ගෙන් විමසා තිබේ. 02. පොදු පිහිනුම් තටාකවල මුත්‍රා ලීටර 75 ක් පිහිනුම් තටාකවල ජලය සමග මුත්‍රා ලීටර 75ක් මිශ්‍රව පවතින බව විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇතැයි ගාඩියන් පුවත්පත පවසයි. පිහිනුම් තටාකවල කොපමණ ප්‍රමාණයක් මුත්‍රා මිශ්‍ර වනවාදැයි යන්න ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගන්නා ලද ක්‍රමවේදයට අනුව, ශරීරයෙන් පිට කෙරෙන, සකසන ලද ආහාරවල වැඩි වශයෙන් අඩංගු කෘතීම රසකාරකවල සාන්ද්‍රණය මැන බැලීම මූලික වශයෙන් සිදු කරනු ලබයි. අදාළ පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් ලීටර 830,000 ක ධාරිතාවකින් යුත් පිහිනුම් තටාකයක් යොදා ගනු ලැබ තිබේ. 03. ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කළ හැක. ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කිරීමේ ක්‍රමවේදයක් කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ. එම සොයා ගැනීම ප්‍රතිජනනීය ඖෂධවල අනාගතය තීන්දු කෙරෙන නව දොරටුවක් විය හැකි බවට විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති. 04. පාන් රාත්තලකට කාබන් ඩයොක්සයිඩ් කිලෝ භාගයක්. එක්සත් රාජධානිය තුළ පාන් රාත්තලක් නිෂ්පාදනය කිරීමේදී බරින් කිලෝග්‍රෑම් භාගයකට සමාන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරෙන බව අධ්‍යනයකින් හෙළිව ඇති බව 'නිව් සයන්ටිස්ට්' වෙබ් අඩවිය වාර්තා කරයි. 05. සංගීත ශිල්පිනී රිහානා ප්‍රසංග සඳහා සංචාරය කරන විට සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා කුළු බඩු පෙට්ටියක් රැගෙන යයි. (Bonappetit වෙබ් අඩවිය) සබැඳි යොමු
ළමා දූෂකයන් සහ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම පැනවීමෙන් ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට කිසිදු සහයක් නොලැබෙන බව ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසයි.
"නීතිය ක්‍රියාත්මකවීම හැරි හැටි කෙරෙනව නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. දැන් බලන්න සරත් එන් සිල්වා මහත්තයා පවා අත්හිටවූ දඬුවම් දුන්න ළමා අපයෝජනයට. ඒක මේ දණ්ඩ නීති සංග්‍රහයේ නෑ" මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ළමා අපචාර, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ල මැඩපැවැත්වීම පිණිස මරණ දඬුවම ක්‍රියාත්මක කරන මෙන් කෙරෙන ජනතා ඉල්ලීම පිළිබඳ අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ විද්‍යා යෝගේෂ්වරන් පාසල් ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමට එරෙහිව ඉරිදා සවස කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවයට සහභාගි වෙමින්. අත්හිටවූ දඬුවම් එහෙත් මරණ දඬුවම පැනවීම අපරාධ වැළැක්වීමට රුකුලක් වනු නැති බව ළමාරක්ෂක ක්‍රියාධරයන්ගේ තර්කයයි. මීට දස වසරකට ඉහතදී ළමා අපචාර සම්බන්ධයෙන් දැඩි දඬුවම් හඳුන්වා දුන් බව පෙන්වා දෙන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, අවශ්‍යව තිබෙන්නේ අලුත් නීති පැනවීම නොව පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම බව අවධාරණය කරයි. "ළමයට පුනරුත්තාපනයත්, වැරදි කරන පුද්ගලයට පුනරුත්තාපනයත් වැදගත්. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීම" "මම කියන්නේ සිරදඬුවම් දෙන්න ඕනේ. ඒ වගේම පුනරුත්තාපනය පැත්තකුත් තියෙන්න ඕන. ළමයට පුනරුත්තාපනයත්, වැරදි කරන පුද්ගලයට පුනරුත්තාපනයත් වැදගත්. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීම," මහාචාර්යවරයා සංදේශයට කියා සිටියේය. යාපනයේදී විද්‍යා යෝගේෂ්වරන් පාසල් දැරිය දූෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් පොලිසිය නීතිය නිසි පරිදි ක්‍රියාවට නැගුවේ දැයි යන්න ගැටලුවක් බවයි, ළමා කටයුතු භාර රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක කොළඹ පැවති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවයේදී සඳහන් කළේ. "නීතිය ක්‍රියාත්මකවීම හරි හැටි කෙරෙනව නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. දැන් බලන්න සරත් එන් සිල්වා මහත්තයා පවා අත්හිටවූ දඬුවම් දුන්න ළමා අපයෝජනයට. ඒක මේ දණ්ඩ නීති සංග්‍රහයේ නෑ," මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා වැඩිදුරටත් පැවසීය. සිය ස්ථාවරය වත්මන් ආණ්ඩුවට විරෝධය පෑමක් නොවන බව මහාචාර්යවරයා අවධාරණය කළේය.
අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔල්මර්ට් හට අධිකරණය විසින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි.
හිටපු අගමැති එහුද් ඔල්මර්ට් හට එරට උසාවිය විසින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි ඊශ්‍රායල ආණ්ඩුවේ හිටපු ප්‍රධානියෙක් දූෂණ චෝදනා මත සිරගත කෙරෙන පළමු අවස්ථාවයි මෙයයි. ඔල්මර්ට් හිටපු අගමැතිවරයා, ජෙරුසෙලමේ නගරාධිපතිව සිටි සමයේ නිවාස ව්‍යාපෘතියකට සහයෝගය පළ කිරීම සඳහා අල්ලස් ගත් බවටයි වරදකරු වී තිබෙන්නේ. රාජද්‍රෝහී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු අගමැති ඔල්මර්ට් හා අල්ලස් ගැනීමට සම්බන්ධ වූ නිලධාරීන් ඇමතූ විනිසුරුවරයා කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියාකලාපය රාජද්‍රෝහි ක්‍රියා ලෙසින් සැලකෙන බවයි. ඒරියල් ශරෝන් ගෙන් අනතුරුව දෙදහස් හය වසරේ අගමැතිධුරයට පත් වූ යෙහුද් ඔල්මර්ට් දෙදහස් අට වසරේ දී තනතුරෙන් ඉවත් විය. තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පවසති .
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවැත්වෙන තුන්වෙනි ටෙස්ට් තරගය අධික දුමාරය හේතුවෙන් වරින් වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබේ.
සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නවතා දැමීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වේ. හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්විණි. ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා ඇත. බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ, ඉරිදා (දෙසැම්බර් 03) එවැනි ගැටලුවක් පැවතුනු නමුත් සඳුදා තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි සඳහන් කළේය. කණ්ඩායම සමග සාකච්ඡාවක නිරතව සිටින බැවින් මේ මොහොතේ වැඩි විස්තර සඳහන් කළ නොහැකි බව ද ඔහු පැවසීය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් පැන යාමේ උත්සාහයක නිරතවන බවට ඉන්දීය කණ්ඩායමේ ඇතැම් හිටපු ක්‍රීඩකයන් සහ ක්‍රීඩා විචාරකයන්ගේ චෝදනාව විය. එහෙත් තත්ත්වය පිළිබඳව India Times පුවත්පතට ලිපියක් සපයමින් ක්‍රීඩා විචාරක ආනන්ද් වාසු දිල්ලි නුවර දුමාරය හඳුන්වා දී තිබුණේ "ලැජ්ජාවේ මුඛවාඩම්" යනුවෙනි. ලැජ්ජාවට පත්විය යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නොව, සිය පරිසරයට සහ නගරවලට කළ හානිය පිළිබඳව සියලු ඉන්දියානුවන් ලැජ්ජාවට පත්විය යුතු බව ඔහු සිය ලිපියේ සඳහන් කරයි. මේ අතර ගාඩියන් පුවත්පතේ පළ වූ වාර්තාවක් ට්විටර් ජාලය ඔස්සේ බෙදාගනිමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේ මීරා කම්දාර් පවසන්නේ පරිසර දූෂණය මෙතරම් ඉහළ ගොස් තිබියදී අගනුවර තවදුරටත් සාමාන්‍ය තත්ත්වයක් පවතින්නේ යයි ව්‍යාජ ලෙසින් පෙන්නුම කිරීමට ඉන්දියාවට හැකියාවක් නොමැති බවය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 'බොරු කරන' බවට ඇතැම් ඉන්දීය ක්‍රීඩා විචාරකයන් සහ හිටපු ක්‍රීඩකයන් චෝදනා කර තිබුණි. ඒ අතර මුඛවාඩම් පැළඳ පිටියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇතැම් ඉන්දීය ක්‍රීඩාලෝලීන් හූ හඬ නැගූ බව ද වාර්තා විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Island Cricket වෙබ් අඩවියේ ඩැනියෙල් ඇලෙක්සැන්ඩර්, ඉන්දීය ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවේදී සැලකූ ආකාරය පිළිබඳව සඳහ කළේ විරාත් කෝලිගේ ට්විටර් පණිවුඩයක් යළි පළකරමිනි. මේ අතර පාකිස්ථාන PakPassionවෙබ් අඩවියේ කතුවරයා වන සාජ් සදික් පෙන්වා දී තිබුණේ දිල්ලි නුවරදී මුඛවාඩම් පැළඳියේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොවන බවය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් "මුඛවාඩම තුළ සැඟවීමට උත්සාහ කරන" බවට ක්‍රිකට් විස්තර විචාරය අතරවාරයේ ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් කළ ප්‍රකාශය ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට ලක් වී තිබිණ. මේ අතර එතරම් අයහපත් වාතාවරණයක් පවතිද්දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගය දිල්ලි නුවර පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව ඉන්දියාවේ ජාතික හරිත විනිශ්චය සභාව (National Green Tribunal) විසින් බලධාරීන් දැඩි විවේචනයට ලක් කරනු ලැබූ බව Outlook සඟරාව වාර්තා කරයි. එහෙත් ඉන්දීය රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක වන සුචෙරිතා කුක්රෙටි ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව සැක පහළ කර තිබුණි. වායු දූෂණය දිල්ලියට කරන හානිය හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් තරගය වරින්වර නවතන මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කළ ඉල්ලීම සාධාරණ බව වෛද්‍ය විශේෂඥයෙක් මේ අතර පෙන්වා දී තිබේ. දින කිහිපයක සිට දිල්ලි අගනුවර වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පැවති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් ප්‍රකාර ඉරිදා තත්ත්වය ඉතා බරපතල ස්වභාවයක පැවැතිණි. "මේ වගේ වාතාවරණයක කාටවත් ක්‍රීඩා කරන්න බෑ," Max Smart Super Speciality Hospital රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රශාන්ත් සක්සේනා පැවසීය. තවත් තොරතුරු:
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට ක්‍රීඩා තහංචියක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීන්දු කර ඇත.
සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සැක පළ කළේ ඔහු පසුගිය මැයි සහ ජුනි මාසවල එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරත වෙමින් සිටියදී. එංගලන්තය සමඟ පැවැත්වුන එම තරඟාවලියේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති හතර වැනි එක්දින තරඟයේ දීයි එම ප්‍රශ්නය මතු වුණේ. කාඩිෆ් මෙට්‍රෝපොලිටන් සරසවිය සචිත්‍ර ගේ පන්දු යවන ඉරියව් සම්බන්ධයෙන් සිදු කළ විභාගයකින් අනතුරුවයි ක්‍රීඩා තහංචිය පනවනු ලැබුණේ. කාඩිෆ් පරීක්ෂණය මේ අනුව සචිත්‍ර සේනානායකට ඉදිරි ජාත්‍යන්තර තරඟ වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අහිමි වෙයි. පන්දු යැවීමේ ඉරියව්වල නීත්‍යානුකූලභාවය තක්සේරු කෙරෙන අදාළ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව ක්‍රිකට් නීතියට අනුකූල නොවන බව තීන්දු කොට ඇති බවත් එම පදනම අනුව ක්‍රීඩකයාට වහාම බල පැවැත්වෙන මට්ටමින් ක්‍රීඩා තහනමක් පනවන බවත් ඉහත කී වාර්තාවේ දැක්වෙයි.
කාම්බෝජ ජාතික ශ්‍රමිකයන් බලහත්කාරයෙන් ආපසු යැවීමට තමන් කටයුතු නොකරන බව තායිලන්ත හමුදා බලධාරීහු පවසති.
බලපත්‍ර රහිත විදේශීය ශ්‍රමිකයන් ඇල්ලීම සඳහා කටයුතු කරන බව තායි රජය පවසයි ලක්ෂයකට අධික කාම්බෝජ ශ්‍රමිකයන් පිරිසක් පසුගිය දින කිහිපය තුළ තායිලන්තය හැර ගොස් තිබේ. කාම්බෝජ සංක්‍රමනිකයන්ගෙන් වැඩි පිරිසක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ රැකියාවල නිරතව සිටින අතර තායිලන්තයේ නව හමුදා රජය බලපත්‍ර රහිතව රැකියා කරන විදේශීය ශ්‍රමිකයන් ඇල්ලීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙලෙස ඔවුන් තායිලන්තය හැරයාමට පටන්ගෙන ඇත්තේ. අනෙකුත් විදේශීය ශ්‍රමිකයන් තවමත් විශාල වශයෙන් තායිලන්තය හැර යන බවක් පෙනෙන්නට නැත. තායිලන්තය හා කාම්බෝජය අතර පවතින දුර්වල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙලෙස කාම්බෝජ ජාතිකයන් විශාල ප්‍රමාණයෙන් තායිලන්තය හැරයාමට හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ.
ඉන්දියාවේ මෑතක දී වාර්තා වූ දරුණු ළමා දූෂණ මාලාව මුල් කොට ගෙන රට පුරා විරෝධතා පැන නැගීම හමුවේ, වයස අවුරුදු දොළහට අඩු දරුවන් දූෂණය කරන අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේය.
ඒ අනුව එය ඇතුළත් කරමින් ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට නියමිතය. ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමත් සමග පසුගිය සති කිහිපය තුළ රට පුරා විරෝධතා පැන නැඟුනි. විශේෂයෙන්ම දරුවන්ට එරෙහි ලිංගික අපචාර ඇතුලු අපරාධ රැල්ලට එරෙහිව මේ දක්වා රජය ප්‍රමාණවත් පියවර නොගැනීම මෙම විරෝධතාවලට ප්‍රධානතම හේතුව විය. වර්තමානයේ ඉන්දීය නීතියට අනුව දරුණු ගණයේ අපරාධ කිහිපයකට මරණ දණ්ඩනය පැනවිය හැකි වුවත්, දරුවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එය බලනොපැවැත්විණ. 2016 වර්ෂයේ දී ළමා දූෂණ නඩු 19,000 කට ආසන්න ප්‍රමාණයක් ලේඛනගත වී ඇත. ඒ අනුව දිනකට පනහකට අධික ළමා දූෂණ සිද්ධි වාර්තා වී තිබේ. මේ තොරතුරුද දැනගන්න: කුමක්ද මේ නව නීතිය? අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් රැස් වුණ කැබිනට් මණ්ඩලය මෙම විධායක නියෝගය පිළිබඳ වැඩිදුර සාකච්ඡා පවත්වා තීරණයකට එළැඹ ඇත. ඒ අනුව වයස අවුරුදු දොළහට අඩු දරුවෙකු දුෂණය කිරීමේ අපරාධයට වරදකරු වන ඕනෑම පුද්ගලයෙකුට මරණ දණ්ඩනය ලබා දීමට අවස්ථාව සැලසේ. වයස අවුරුදු දහසයට අඩු ගැහැණු ළමුන් සහ කාන්තාවන් දූෂණය කිරීමේ වරදට එරෙහිව දිය හැකි අවම සිර දඬුවම ඉහළ නැංවීමට ද මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත. නමුත් එම තීන්දුවේ පිරිමි ළමුන් හෝ පුරුෂයන් දූෂණයට ලක් වීමට එරෙහිව අදාළ නීති ගැන සඳහන් වී නොමැති බව එම තීන්දුවේ පිටපතක් දුටු රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. නීති සංශෝධනයට හේතුව කුමක්ද? මෑතක දී වාර්තා වූ ළමා දූෂණ සිද්ධීන් දෙකක් ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට සහ කම්පනයට හේතු විය. මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවිය. එහෙත් ඇය දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම විරෝධය පළකිරීමත් සමගය. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයට අයත් සාමාජිකයෙකු උත්තර් ප්‍රදේශ්හි දී වයස අවුරුදු දහසයක දැරියක දූෂණය කිරීමේ සිද්ධිය ද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. 2012 වර්ෂයේ දී දිල්ලි නගරයේ බස් රියක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධියත් සමග ඉන්දියාව තුළ බහුලව වාර්තා වන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වීම ආරම්භ වුණි. නමුත් කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික හිංසන තව දුරටත් රට පුරා වාර්තා වෙමින් පවතී. තවත් තොරතුරු: ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? පසුගිය දශකය තුළ ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා තුනක දී පමණය. දිල්ලි නගරයේ බස් රිය තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම වුවත්, එය මෙතෙක් ක්‍රියාත්මක කර නැත. එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ චූදිතයන්ට පැනවූ දඬුවම "අතිශය විරල දෙයක්" බවය. ඉන්දියාවේ බල පැවැත්වෙන දණ්ඩ නීති සංග්‍රහයට අනුව කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ වරදට මරණ දඬුවම ලබා දිය හැකි බව 'හින්දුස්ථාන් ටයිම්ස්' වාර්තා කරයි. ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලබන්නේ එල්ලා මරා දැමීමෙනි. එය අවසාන වරට ක්‍රියාත්මක කර තිබෙන්නේ 2015 දීය.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිවු' යන මැයෙන් සංවිධානය කෙරුණ ව්‍යාපාරය දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව වරදවා වටහා නොගත යුතු යැයි උතුරු පළාතේ මහ ඇමති සී.වී විග්නේස්වරන් පවසයි.
'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි. සිය අයිතිවාසිකම් දිනා ගනු වස් හඬ නැගීම පිටුපස සිංහල විරෝධයක් නොමැති බව උතුරු පළාත් මහ ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටියි. රට තුළ භීෂණයක් මවා පෙන්වා දෙමළ ජනතාවගේ අරමුණු මුදුන් පත් කර ගැනීමේ උත්සාහයක් සිය ක්‍රියාමාර්ගය තුළින් අපේක්ෂා නොකරන බවයි ''එළුග තමිල්'' උද්ඝෝෂණයට එක් වූ මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ. 'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි. ජාතික ගැට‍ළුවට දේශපාලන විසඳුමක් ලබා ගැනීම, උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම සහ දෙමළ සංස්කෘතියට බලපෑම් එල්ල වන අන්දමින් උතුරු පළාත තුළ බලහත්කාරයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නවතා ලීම යන ඉල්ලීම් තුනක් මූලික කර ගනිමිනුයි ''එළුග තමිල්'' ව්‍යාපාරය දියත් කෙරුණේ. 'එළුග තමිල් - දෙමළ අයිතිවාසිකම් සටනක්' දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයා දීම, උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම් නිදහස් කිරීම යන ඉල්ලීම්ද එහි දී ඉස්මතු කෙරුණි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන් මොනවා දැයි යන්න දෙමළ නායකයින් විසින් ඉතා පැහැදිලිව සාධාරණ ලෙස කලින් පැවති රජයන්ට සහ වත්මන් රජයට පෙන්වා දී ඇති නමුත් ඒ සඳහා සාධාරණයක් ඉටු නොවන තැන මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි උතුරු පළාත් මහ ඇමතිවරයා පවසන්නේ. ''එළුග තමිල්'' වැඩ පිළිවෙල සමඟ අද (24) යාපනය නගරයේ සියළුම වෙළඳසැල් වසා දමා තිබූ අතර ගමනාගමන කටයුතු බෙහෙවින් අඩාල වී තිබූ බව දිනසේන රතුගමගේ බීබීසී සිංහල සේවයට වාර්තා කරයි. සෙනසුරාදා දිනවල විවෘත කිරීමට නියමිත රජයේ කාර්යාල විවෘතව පැවති නමුත් නිලධාරීන් ස්වල්ප දෙනකු පමණක් රාජකාරියට වාර්තා කොට තිබිණි. යාපනය නගරයට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා තිබෙනු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ඔහු ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කණ්ඩායමේ නායකත්වය දැරීය. තිසර පෙරේරා ඒ බව ලිපියකින් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. තමා පසෙකට වී වඩාත් තරුණ සහ වඩාත් දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට කාලය එළඹ ඇතැයි හැඟෙන බව තිසර පෙරේරා සිය ලිපියේ සඳහන් කර ඇත. සිය පුද්ගලික ඉලක්ක සහ පවුල් ජීවිතයට අවධානය යොමු කිරීමට නිසි වේලාව පැමිණ ඇති බවත් ඉහත කී ලිපියේ දැක්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ අතීතයේ මෙන්ම වර්තමානයේදීත් තමන්ට සහාය ලබා දුන් ක්‍රිකට් කණ්ඩායම් නායකයන්ට, ඔහු සමඟ ක්‍රීඩා කළ අනෙකුත් සාමාජිකයන්ට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයට ද ඔහු ස්තූතිය පළ කර තිබේ. මේ ගැනත් කියවන්න:
අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හටගත් ගැටුම් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය පවසයි.
ගැටුම්වලට අනුබල දුන් බවට එල්ල වන චෝදනාව බොදු බල සේනාව ප්‍රතික්ෂේප කරයි එහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා, ගැටුම් හටගත් ජුනි 15 වැනි දින අලුත්ගම දී පවත්වන ලද රැස්වීමේදී කළ කථාවට අදාලව එම ප්‍රකාශය සටහන් කරගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ. රැස්වීමේදී අදහස් දැක්වූ අනෙක් කථිකයන් ගෙනුත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පවසන පොලිස් නිවේදනය, සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න හිමියන් ගෙන් පසුගිය ජුනි 30 වැනි දින ප්‍රකාශයක් සටහන් කර ගත් බවද සඳහන් කරයි. ගැටුම් සම්බන්ධයෙන් සැකකරුවන් 117 දෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව පවසන පොලිසිය, එයින් 88 දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත්, 25 දෙනකු පොලිස් ඇප මත මුදා හරින ලද අතර තවත් සිවු දෙනකු මේ වන විටත් පොලිස් භාරයේ සිටින බවත් ප්‍රකාශ කරයි. 'නිදහස් කළේ නෑ' අලුත්ගම රැස්වීමේදී ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ සිදු කරමින් ගැටුම් ඇවිල වූ බවට බොදු බල සේනාවට චෝදනා කරන රාජිත සේනානායක, මහින්ද යාපා අබේවර්ධන වැනි අමාත්‍යවරුන් මෙන්ම මාධ්‍යවේදී සංවිධාන, නීතිවේදී සංවිධාන සහ සමාජ ක්‍රියාධරයන් එම සංවිධානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට පොලිසිය දැඩි විවේචනයට ලක් කළහ. බොදු බල සේනා සංවිධානය ආරක්ෂා කරන 'අදිසි හස්තයක්' තිබෙන හැඩක් පෙනී යන බව වාසුදේව නානායක්කාර ඇමතිවරයා සංදේශයට පැවසීය. බොදු බල සේනාවේ ප්‍රකාශවලට එරෙහිව පියවර ගැනීමට හැකියාවක් නොමැති බව පොලිස්පතිවරයා පැවසීය බොදු බල සේනාවට පූර්ණ අනුග්‍රහය දක්වමින් පොලිසියද ගැටුමට අනුබල දුන් බවට සාක්ෂි තිබෙන බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසූරිය සංදේශයට පැවසීය. එහෙත් බොදු බල සේනාව ගැටුමට සම්බන්ධ බවට සාක්ෂි ලැබී නැති බවයි, පොලිස්පති එන්කේ ඉලංගකෝන් සහ පොලිස් ප්‍රකාශකවරයා පසුගියදා මාධ්‍ය අමතමින් කියා සිටියේ. බොදු බල සේනා සංවිධානයද තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි. රැස්වීමේදී උද්වේගකර ප්‍රකාශයක් කරමින් තමන් වහන්සේ අපේක්ෂා කළේ ජනතාවගේ ආවේගය සංසිඳුවීමට බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සංදේශයට පැවසූහ. එමෙන්ම ජුනි 15 වැනි දින අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 13 දෙනකු බොදු බල සේනා සංවිධානයේ නියෝග මත නිදහස් කරන ලද බවටත් පොලිසියට චෝදනා එල්ල වී තිබේ. සැකකරුවන් පිරිස නිදහස් කරන මෙන් කළුතර ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන්ට තමන් නියෝග නොකළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය සහ තවත් විමර්ශන අංශ අදාළ ගැටුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත් පොලිස් නිවේදනයේ සඳහන්.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.
කැබිනට් සාකච්ඡාවට පෙර ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිවසේ දී හමුවූ බවට වාර්තා අඟහරුවාදා (අප්‍රේල් 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ බව එම හමුවට එක්වූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. එයට ප්‍රතිචාර වශයෙන්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ තීන්දුව යයි ඔවුන්ට දැනුම්දීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කටයුතු කළ බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය. එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය එස්බී දිසානායක පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ ඒකමතික අදහස අගමැතිවරයාට දැනුම් දුන් බවය. අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කොට තිබෙන්නේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසිනි කෙසේ වුවත් මීට දින කිහිපයකට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ විශ්වාසභංග යෝජනාවට තමන් පුද්ගලිකව 'තරයේ විරුද්ධ' බවය. ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මත කිහිපයක්ම තිබෙන බව සඳුදා (අප්‍රේල් 02) එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පවසා තිබේ. අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් සාකච්ඡාවට පෙර ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර හමුවක් ජනාධිපතිවරයාගේ නිවසේ පැවති බවට මාධ්‍ය වාර්තා කළ අතර එහිදී සාකච්ඡා වූ කරුණු තවමත් හෙළිවී නැත. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා එක්සත් ජාතික පෙරමුනේ අමාත්‍යවරුන් අතර සඳුදා පැවති හමුවේදී ද එකඟතාවක් ඇතිකර ගැනීමට දෙපාර්ශවයම අපොහොසත් විය. බදාදා (අප්‍රේල් 04) පාර්ලිමේන්තුවේදී ආරම්භවන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැය 12 ක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව රාත්‍රී 9.30ට පමණ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතය. යෝජනාව ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ, අවම තත්වයේ වුවද යෝජනාව ජන්ද හතකින් ජයගැනීමට තමන්ට හැකියාව තිබෙන බවය. දෙමළ ජාතික සන්ධානයේ සහාය ද අගමැතිවරයාට හිමිවුවත් තම ජයග්‍රහණයට එය ගැටලුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය. විශ්වාසභංගය සම්බන්ධයෙන් ගන්නා තීරණය ගැන සාකච්ඡා කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතව තිබුණි. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වසන්ත සේනානායක සහ පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරුන් සඳුදා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමන් තවමත් අවසාන තීරණයකට එළැඹ නැති බවය. තවත් වාර්තා:
'ටොප් ගියර්' රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරකට ලක් වී තිබේ.
එම වැඩසටහන රූ ගත කෙරෙන අතරතුරදී ඔහු පැද වූ ත්‍රිරෝද යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පැයට සැතපුම් 124ක වේගයකින් සිය ත්‍රිරෝද යතුරු පැදිය පදවා තිබේ. නමුත් ඔහු කිසිදු තුවාලයක් හෝ නොලබා බේරී තිබෙන බව බීබීසීයට අනාවරණය වේ. 41 හැවිරිදි හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගේ යතුරු පැදිය එල්වින්ටන් ගුවන් පථයේ ධාවනයේ යෙදෙන අතරතුර ලිස්සා ගොස් ඇත. "මට කිසිවක් වුණේ නැහැ. මම බොහොම හොඳින් ඉන්නවා. අද රූ ගත කිරීම්වලට සහභාගි වුනා," ෆ්ලින්ටොෆ් පැවසීය. "මම හිතුවට වැඩිය දුරක් ධාවනයේ යෙදුනා. මට ඕනෑ වුණේ හොඳට ඒ රූ ගත කිරීම කරන්න. නමුත් මේ අවස්ථාවේ මම ගිය දුර ටිකක් වැඩියි. ඒක ටෙලිවිෂන් එකේ බලන කොට මට අවේ හාස්‍යජනක හැඟීමක් බියකරු හැඟීමකට වැඩිය." ඔහු පැඩී මැගිනස් සහ ක්‍රිස් හැරිස් යන දෙදෙනා සමග 'ටොප් ගියර්' නම් රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරයි. එම අනතුර සිදුවූයේ ඔවුන් තිදෙනා ධාවනයේ යෙදී සිටින අතරවාරයේ දීය. මීට පෙර ටොප් ගියර් වැඩසටහන ඉදිරිපත් කළ රිචර්ඩ් හැමන්ඩ් 2006 දී අනතුරකට ලක් වී දරුණු ලෙස තුවාල ලැබුවේ ද මෙම ගුවන් පථයේදීම ය. අනතුර සිදුවන අවස්ථාවේ, ෆ්ලින්ටොෆ් 'ටයිම් බැන්ඩිට්' ලෙස නම් කර ඇති ත්‍රිරෝද යතුරු පැදියක් ධාවනය කරමින් සිටියේය. ඒ අවස්ථාවේ ඔහු නිසි ලෙස ආරක්ෂක ඇඳුම් සහ උපාංග ලා සිටි බව වාර්තා වේ. "ටොප් ගියර්" යනු එංගලන්තය ඇතුළු බොහෝ රටවල ප්‍රකට රූපවාහිනී වැඩසටහනකි. වේගය සහ ත්‍රාසය පිරි එම වැඩසටහන මගින් විවිධාකාර යතුරු පැදි සහ වෙනත් රථ නිෂ්පාදක පිරිවිතයන් හා අනුකූල දැයි විමසා බැලේ. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂතම තුන් ඉරියව්වෙන් දස්කම් පෑ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ඬෘ ෆ්ලින්ටොෆ්, 2009 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය. කියවන්න:
කිසිවකු ගේ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධ ලිපිගොනු තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කරයි.
"ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක. අනිත් හොරු නොරැක, ප්‍රධාන හොරාට රැකෙන්න බෑ" ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එසේ ප්‍රශ්න කළේ ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන්ගේ වංචා, දූෂණ පිලිබඳ ලිපිගොනු තමා සතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් පලිගැනීමට ක්‍රියා නොකරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින්. "යුද්දේ ඉවර වෙලා, පාර්ලිමේන්තු පිට්ටනිය ගාව රැස්වීමක් තිබ්බ. ඒ රැස්වීමේදී ඔහු මොකක්ද කිවුවේ? මගේ පළමු පියවර යුද්දේ අවසන් කිරීම කිවුව, දෙවැනි යුද්දේ මම පටන් ගන්නේ වංචා දූෂණ අහෝසි කිරීමට කිවුව," යනුවෙන් දිසානායක මන්ත්‍රීවරයා සිහිපත් කළේය. එදා එසේ සඳහන් කළ ජනාධිපතිවරයා දැන් ලිපිගොනු තබාගෙන 'බම්බු ගසන්නේ දැයි' ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි. 'ඒකාධිපති වියරුව' "ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක. අනිත් හොරු නොරැක, ප්‍රධාන හොරාට රැකෙන්න බෑ. සොර මුලක්. ප්‍රධාන සොරා ලොකු පංගුව ගන්න අතර, අනෙක් සොරාටත් කුඩා පංගුව හරි ලබාදෙන්නේ නැත්නම් ඒ සොර මුලට පවතින්න බෑ," යනුවෙන්ද කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමේ අරමුණ වෙනුවෙන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම උදෙසා දිගටම ක්‍රියාත්මක වන නමුත් එළැඹෙන ජනපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ 'ඒකාධිපති වියරුව' ඇතුළු ප්‍රතිවිපාක පිළිබඳව එය නිර්මාණය කළ අවස්ථාවේ පටන්ම සිය පක්ෂය ජනතාව දැනුවත් කළ බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, එබැවින් මැතිවරණයක් අවසානයේ 'ජනතාව නරඹන්නන් බවට පත්වන' ක්‍රියාදාමයෙන් ඔබ්බට යන පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම සිය පක්ෂයේ අරමුණ බව අවධාරණය කළේය.
2017 වසරේ ආසියානු ඔලිම්පික් ශූරතා තරඟාවලියේ සත්කාරක රට හැටියට ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු අයිතිය ආසියානු ඔලිම්පික් කමිටුව විසින් ඉවත් කර ගනු ලැබ ඇත.
හම්බන්තොට ක්‍රීඩා සැණකෙලියක රැඟුමක් ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ක්‍රීඩාවට සිදු කෙරෙන දේශපාලන මැදිහත් වීමයි. ක්‍රීඩා ඉසව් ගණනාවකින් සමන්විත 2017 ආසියානු ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ හම්බන්තොට නගරයේයි. ඒ සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරනු ලැබ ඇති නව නිවේදනයක දැක්වෙන්නේ, ‘ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ අධිකාරයට එල්ල වී ඇති ප්‍රශ්න හේතුවෙන්’ හම්බන්තොට ලද සත්කාරක වරම ඉවත් කර ගන්නා බවයි. එහෙත් ආණ්ඩුව විසින් සිදු කරන ලද දේශපාලන බලපෑම් මොනවාද යන්න සම්බන්ධයෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුර විස්තර ඇතුළත් නොවෙයි. ජකර්තා නගරයට කෙසේවුවද, ඉහත කී අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් 2017 ආසියානු ඔලිම්පික් ශූරතා තරඟාවලිය ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ සංවිධානය කිරීමට තීන්දු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ. ඊට අදාළ අවසාන තීන්දුව ලබන සැප්තැම්බර් මාසයේ කැඳවන මහා මණ්ඩල රැස්වීමේ දී ගනු ලබන බවත් ආසියානු ඔලිම්පික් කමිටු නිවේදනයේ දැක්වෙයි. කුවේටයේ බලධාරියකු වන ෂේක් අහමඩ් අල්-ෆහාඩ් අල්-සබා මෙහෙයවන ආසියානු ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාව තුළ තරඟ සූදානම අතින් ප්‍රගතියක් නොවීම සම්බන්ධයෙන් අසතුටට පත්ව ඇති බවක් වාර්තා වීමත් සමඟ හම්බන්තොටින් එම තරඟාවලිය ඉවත් කර ගනු ලබනු ඇතැයි සැක පළ වෙමිනුයි තිබුණේ.
මුස්ලිම් වැසියන්ට සිදු වූ හිංසාකාරී තත්ත්වයට විරෝධය දැක්වීම පිණිස දිවයිනේ ප්‍රදේශ කීපයක හර්තාල් ව්‍යාපාර දියත් කර ඇත.
වවුනියා නගරයේ හර්තාලය හේතුවෙන් වෙළෙඳ සැල් වසා තිබූ අයුරු දහනව වෙනිදා අලුත්ගම දර්ගා නගරය, කොළඹ, ගාල්ල, වවුනියාව, පුත්තලම සහ වව්නියාව යන ප්‍රදේශ වල හර්තාල් ව්‍යාපාර දියත් කොට තිබීම හේතුවෙන් මුස්ලිම් වෙළෙඳ සැල් වසා දමා ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ කොළඹ ඇතුළුව බස්නාහිර පළාතේ ස්ථාන කීපයක දියත් කළ හර්තාලය සාර්ථක වූ බවයි. වවුනියවේ හර්තාලයට මුස්ලිම් වැසියන් මෙන් ම දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ ද සහාය ලැබුණු බව වවුනියාව ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මෞලවි මොහොමඩ් නාජිත් පැවසීය. බීබීසී වාර්තා කරු දිනසේන රතුගමගේ සංදේශයට කියා සිටියේ හර්තාල් ව්‍යාපාරය ඉතා සාමකාමී අන්දමට පැවැති හෙයින් එම ප්‍රදේශ වල වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක් එල්ල වී නොතිබුණු බවත් නගර ආශ්‍රිතව විශේෂ පොලිස් බල ඇණි යොදවා ආරක්ෂාව දැඩි කොට තිබෙන අයුරු දක්නට ලැබුණ බවයි.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට පත් වී තිබේ.
පාකිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර පසුගියදා පැවති ටෙස්ට් තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් විය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මුල් වරට හඳුන්වා දෙනු ලැබුවේ 2003 වසරේදී. පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පළමු ස්ථානය කරා පැමිණියේ ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට පසු බස්සවමිනි. ඒ වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමගයි. ආරක්ෂක හේතූන් මත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වසර හයක සිට සිය රට තුළදී ටෙස්ට් තරඟයකට සහභාගී වී නොමැත.
ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි.
ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු ඉහත කී ලිපිගොණු ලොව පුරා පුවත් සිරස්තල මවන්නට හේතු විය. 01. බදු රැකවරණ ලබා දෙන 'ක්ෂේම භූමියක්' මොසැක් ෆොන්සේකා සමාගම පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා වෙනත් රටවල සමාගම් ලියාපදිංචි කරන ධනවතුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් විසින් තම මුදල් එම සමාගම්වල යොදවනු ලැබේ. එවැනි සමාගම් හා සම්බන්ධ සාක්ෂි ලෝකයාගෙන් වසන් කිරීමට ඉහත කී පිරිස් බොහෝ විට සමත් වෙති. එසේ ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගම සිය සේවාදායකයන්ට පහසුකම් සලසා දී ඇති බවයි පසුගියදා එළිදැක්වුණු ලිපිගොණු මගින් පෙනෙන්නට තිබෙන්නේ. 02. මිතුරු සමාගම් රුසියානු ජනාධිපති පූතින් සහ ඔහුගේ සමීපතමයකු වන සෙර්ගෙයි සොර්දුගින් බදු රැකවරණ ලබා දෙන ක්ෂේම භූමි වෙත ගලා ආ මුදල් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතීන්ට අයත් බවක් නොපෙනේ. නමුත් ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සම්භාරයක් රුසියානු ජනපතිවරයාගේ මිතුරන්ට අයත් බවයි පෙනෙන්නට ඇත්තේ. ක්‍රෙම්ලිනය විසින් පැනමා ලිපිගොණු හා සම්බන්ධ හෙළිදරව් විග්‍රහ කරනු ලබන්නේ රුසියාවේ නාමයට හානි කිරීම සහ පූතින් භීතිය ඇති කිරීමේ සංඥාවක් ලෙසයි. තම මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා සිය විශ්වසනීය මිතුරන් යොදා ගෙන ඇතැයි පෙනෙන්නට තිබෙන බව ඇතැමෙකුගේ අදහසයි. 03. අයිස්ලන්තය දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය සිය ස්කැන්ඩිනේවියානු ඥාති සහෝදරයන් මෙන් යහපත්, අවංක, ශිෂ්ට සම්පන්න සහ විශ්වසනීය රටක් බවයි අයිස්ලන්තය පිළිබඳව මෙතෙක් පැවති උපකල්පනය වූයේ. පැනමා ලිපිගොණු එළිදැක්වීමත් සමග ඩොලර් මිලියන ගණනක වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳ අයිස්ලන්ත අගමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය. ඒ සමග දහස් ගණනක් ජනතාව වීදි බැස අගමැතිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වූහ. දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය. 04. බ්‍රිතාන්‍ය අගමැති සහ බොලිවුඩ් රජු අවංකභාවය පිළිබඳ විවේචන එල්ල වීමත් සමග සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය පැනමා ලිපිගොණුවලින් හෙළි වූ කරුණු පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නැසී ගිය පියා ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි විය. තම පියා ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද විදේශ සමාගම් වල කොටස් සඳහා තමා ද හිමිකම් කියන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් පිළිගෙන තිබේ. මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවංකභාවය පිළිබඳ විවේචන එල්ල වීමත් සමග සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට ඔහු කටයුතු කළේය. වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් කියා සිටියේ. අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම් පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බවයි 'ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොටතිබුණේ. 05. පෙරදිග සහ මැදපෙරදිග චීන ජනපති ෂී ජින්පින්ගේ පවුලේ සාමාජිකයන්ගේ නම් පැනමා ලිපිගොණු තුළ ඇතුළත් වේ පැනමා ලිපිගොණු හා සම්බන්ධ ඇතැම් පුවත් අන්තර්ජාලය තුළ සෙවීම චීන වැසියන්ට අපහසු කාර්යයක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් වෙනත් රටවල ලියාපදිංචි කරනු ලැබූ සමාගම් හා සබඳතා පැවති බව දැක්වෙන බලයේ සිටින සහ පෙර බලයේ සිටි චීන නායකයන් හත් දෙනෙකුගේ ඥාතීන් වෙත චෝදනා එල්ල කරමින් පළ වූ ලිපි ඒ අතුරින් විශේෂයි. චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහ එරට පාලක මණ්ඩලයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයන් දෙදෙනෙකුගේ නම් පැනමා ලිපිගොණු තුළ ඇතුළත් වේ. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පනවනු ලැබ තිබියදීත් සිරියාවේ පාලනය හා සම්බන්ධ ප්‍රමුඛ පෙළ සාමාජිකයකු වන රාමි මක්ලොවුෆ්ට සිය සමාගම්වල වෙළඳ කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසා දී ඇති බව පැනමා ලිපිගොණුවලින් හෙළි විය. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය එම සංගම් පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් ලිපිගොණු මගින් පෙනෙන්නට තිබේ.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස පත්කිරීමට විරෝධය පළකරමින්, ශ්‍රී ලංකාව යුද හමුදාවට සාම සාධක රාජකාරිවල යෙදීමේ අවස්ථාව අහිමි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා හමුදා ශ්‍රී ලංකා යුද හමුදාවට සාම සාධක රාජකාරී අහිමි කිරීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (සැප්තැම්බර් 25) නිවේදන කළේය. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සමග දැනට සිටින ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් හා සෙබළුන්ගේ වත්මන් රාජකාරි අවසන්වූ පසු ශ්‍රී ලංකාවට නැවත එවන බව පැවසූ නියෝජ්‍ය මහලේකම්වරයා එම පිරිස වෙනුවෙන් අලුතෙන් හමුදා පිරිස් ශ්‍රී ලංකාවෙන් ගෙන්වා සම්බන්ධ කර නොගන්නා බව පවසා තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවය. එක්සත් ජාතීන්ගේ 74 වෙනි මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ 2019 සැප්තැම්බර් 27 වෙනි සිකුරාදා මෙම කරුණ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් හා සෙබළුන් 651 දෙනෙක් මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වල යෙදී සිටිති. නව තීන්දුව අනුව ඔවුන් ඉදිරියේදී සිය කාල සීමාව අවසන්වූ පසු නැවත ශ්‍රී ලංකාවට එවනු ඇත. ඔවුන් වෙනුවට එම රාජකාරි සඳහා පිටත් කිරීම සඳහා මේවන විට ශ්‍රී ලංකාවේ පුහුණුව ලබන හමුදා සාමාජිකයන්ට ද එම අවස්ථාව අහිමිවේ. අවසන් වරට පසුගිය ජුලි මාසයේදී සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණු සුඩානය බලා පිටත්ව ගියහ. 2018 වර්ෂයේදී මාලි රජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර මරණයට පත්වුහ. ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 වසරේදීය. ඉන් අනතුරුව 1960 වසරේ දී අප්‍රිකාවේ කොංගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය 6 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස 1962 වසර දක්වා එහි සේවය කළහ. මාලි රජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් හී නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර මරණයට පත්වුහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවට අනුව මෙම කාලය තුළ අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් 19,000ක් පමණ මෙහි සේවය කර තිබේ. ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඊට දැඩි විරෝධයක් එල්ල විණි. "එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක්ද නිකුත් කළේය. දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරියේ යෙදෙන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් යුද්ධයේ අවසාන අදියරයේදී (2009) ශවේන්ද්‍ර සිල්වා විසින් නායකත්වය දෙන ලද 58 වෙනි සේනාංකය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට චෝදනා එල්ල වි එහෙත් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වන එම චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වුවත් චෝදනා ලත් පුද්ගලයෙකු යුද හමුදාපති ධුරයට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අතර පවතින සහයෝගීතාව පිරිහීමට හේතු විය හැකි බවට එම අවස්ථාවේදී වාර්තා පළ විය. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට සහභාගීවීම සඳහා හමුදා සාමාජිකයන් පුහුණුකිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනම පුහුණු ආයතනයක් පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණය දිගු කාලීනව ක්‍රියාත්මක වුවහොත් එම ආයතනයේ අනාගතයද අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමේ ඉඩ කඩ ද පවතී.
මැනොස් නගරයේ බන්ධනාගාරයකින් පැන පළා යමින් සිටින අතරතුර තම ෆේස්බුක් පිටුව යාවත්කාලීන කළ රැඳවියෙක් පිළිබඳ බ්‍රසීලයෙන් වාර්තා වේ.
බ්‍රයන් බ්‍රෙමර් (වම් පසින්) පළා යමින් සිටින තවත් රැඳවියන් දෙදෙනෙකු සමග එක්ව ගත් සෙල්ෆි ඡායාරූපයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් දඬුවම් ලැබ බන්ධනාගාර ගත කෙරුණු බ්‍රයන් බ්‍රෙමර් පළා යමින් සිටින තවත් රැඳවියන් දෙදෙනෙකු සමග එක්ව ගත් සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පළ කොට තිබේ. මැනොස් නගරයේ බන්ධනාගාර දෙකක රඳවා සිටි සිරකරුවන් කණ්ඩායමක් ඉන් පළා ගොස් ඇත්තේ පසුගිය ඉරිදායි. ඉන් එක් බන්ධනාගාරයක් තුළ කැරලිකාරී වාතාවරණයක් හටගෙන ඇති අතර එහිදී සිරකරුවන් පනස් හය දෙනෙකු මරුමුවට පත් විය. රැඳවියන්ට අන්තර්ජාලය භාවිත කිරීම තහනම් කොට ඇති නමුත් බ්‍රෙමර් සිරගත වී සිටියදීත් සිය ෆේස්බුක් ගිණුම භාවිත කොට ඇති බව වාර්තා වේ. වාසිබස් දොඩමින් බ්‍රෙමර් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ඡායාරූප බ්‍රසීලයේ සමාජ ජාල තුළ විශාල වශයෙන් පළ වෙමින් තිබේ. බ්‍රෙමර් සමග ඡායාරූපයට පෙනී සිටි එක් සිරකරුවෙකු ඇතුළු පළා යමින් සිටි රැඳවියන් හතළිස් දෙනෙක් අල්ලා ගත් බව බ්‍රසීල බලධාරීහු පවසති.
ලෝකයේ වයස්ගතම යූටියුබ් තරු අතරින් කෙනෙකු වූ දකුණු ඉන්දියාවේ 107 හැවිදිරි මස්තනම්මා මියගොස් ඇත.
2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රිය විය අසාමාන්‍ය ඉන්දියානු කෑම මුල සිටම පිළියෙළ කරන ඇය සමාජ මාධ්‍ය ජාල තුළ ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටියාය. 'Country Foods' නම් ඇයගේ යූටියුබ් නාලිකාවේ සිය ගණනක් වීඩියෝ පළ කර ඇති අතර, මිලියන ගණනක ග්‍රාහකයෝ පිරිසක් සිටිති. මේ අතරින්, ඇයට ආවේණික වූ ක්‍රමයකට සකසා ගත් කොමඩු සහ කුකුල් මස් ව්‍යංජනය අතිශය ජනප්‍රිය විය. 2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ මෙම යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රියත්වයට පත් විය. ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය ආන්ද්‍රා ප්‍රදේශ්හි උපත ලැබූ මස්තනම්මාගේ වයස 2017 දී අවුරුදු 106ක් බව වරක් බීබීසී සේවයට පැවසීය. නමුත් එය තහවුරු කිරීමට ඇය සතුව උප්පැන්න සහතිකයක් නොතිබිණි. ඈත ගම්මානයක එළිමහන් ස්ථානයක බිම වාඩි වී, උපකරණ අවම ප්‍රමාණයක් භාවිත කර ආහාර පිසින ආකාරය ඇයගේ සෑම වීඩියෝවකම දැකිය හැකිය. මේ තොරතුරුද දැනගන්න: ඇය සිය නියපොතු භාවිත කරමින් එළවළුවල පොතු ගලවා පැරණි ඉන්දියානු සාම්ප්‍රදායක පිහියක් භාවිත කර ඒවා කපා ගනී. ඇය ආහාර පිළිගන්වන්නේ සාම්ප්‍රදායක දකුණු ඉන්දීය ක්‍රමයට අනුව කෙසෙල් කොලයක තබාය. "සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය තරුවක් බවට පත් වුණා" 2016 දී මස්ටනම්මා හමුවූ බීබීසී මරාති සේවයේ ඔන්කාර් කරම්බලේකාර් පැවසුවේ ඇය ආහාර පිසින ක්‍රමය වෙනත් යූටියුබ් වීඩියෝවල පෙන්වන ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් බවය. ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය. "සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය තරුවක් බවට පත් වුණා," ඔන්කාර් කරම්බලේකාර් පැවසීය. Country Foods යූටියුබ් නාලිකාව ඔස්සේ පසුගිය සඳුදා (දෙසැම්බර් 3) ඇයගේ මරණය ගැන දැනුම් දුන්නේය. ඒත් සමගම, බොහෝ සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් ඇයගේ ආහාර වට්ටෝරු ගැන වර්ණනා කරමින් මරණය ගැන සිය ශෝකය පළ කර තිබිණි. මුඛයේ දත් නොමැති සිනහව මෙන්ම, කොමඩු සහ කුකුල් මස් එකතු කර පිසින ලද ආහාරය සමාජ මාධ්‍ය ජාල තුළ අතිශය ජනප්‍රිය විය. ඇය පිසූ වම්බටු ව්‍යංජනය සහ මාළු ව්‍යංජනය ද අතිශය ජනප්‍රිය වූයේය. තවත් තොරතුරු:
ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික්-වී' එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (මාර්තු 4) බීබීසී සිංහල සේවය පැවසීය.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා 'කොවිෂීල්ඩ්' එන්නත මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරනු ලැබ ඇති අතර එම ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් මෙතෙක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. "ස්පුට්නික් වී එන්නත ලංකාවේ හදිසි භාවිතයට අවසර ලබාදුන්නා, මේක ගේන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්, මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා රුසියාවේ ගමාලියා පර්යේෂණ ආයතනයත් එක්ක කොච්චර ප්‍රමාණයක් කොයි දවසේ කුමන මිලකට ගන්න පුළුවන්ද කියලා" යැයි අමාත්‍ය චන්න ජයසුමන පැවසීය. ඔහු පැවසුවේ චීන රජය සතු සමාගමක් විසින් නිපදවන සීනෝෆාම් එන්නත භාවිතයට අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය අයදුම්පත මේ වනවිට ඇගයීමට ලක්වෙමින් පවතින බවය. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන තවදුරටත් පැවසුවේ ලංකාවේ එන්නත් ක්‍රියාවලිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන පසුබිමක් තුළ ෆයිසර් - බයෝ එන්ටෙක් ආයතන විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් මාත්‍රා මිලියන 4 හෝ 5ක් ශ්‍රී ලංකාවට සැපයීමට එම සමාගම එකඟ වී ඇති බවය. ඔහු පෙන්වා දෙන පරිදි, එන්නත්කරණය ක්‍රියාත්මක කෙරෙන අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙතම, අවශ්‍ය කෙරෙන උෂ්ණත්ව පාලනය පවත්වා ගනිමින් එන්නත් සැපයීමට අදාළ සමාගම එකඟවීම විශේෂත්වයකි. මේ අතර ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය ද ඔවුන්ගේ එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලබා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා කීය. රජය පසුගිය මාසයේදී පැවසුවේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 10 ක් ඩොලර් මිලියන 52.5 ක මුදලකට සීරම් ආයතනයෙන් මිලදී ගන්නා බවය. එම එන්නතේම තවත් මාත්‍රා මිලියන 3.5ක් බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා ආයතනයෙන් ලබාගැනීමට ගිවිසුමකට එළඹීමට තීරණය කළ බව ද සඳහන් කර තිබිණි.ජනවාරි 29 වදා සිට එන්නත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ කෙරුණේ ඉදිරිපෙළේ සෞඛ්‍ය අංශ නිලධාරීන් එන්නත් කරමිනි. ඉන් අනතුරුව වයස අවුරුදු 30-60 ත් අතර පසුවන නිදන්ගත රෝග සහිත අවදානම් ගණයේ ලා සැලකිය හැකි පුද්ගලයන් වෙත එන්නත ලබාදීමට පියවර ගැනිණි. කෙසේ නමුත්, මේ වනවිට ක්‍රියාත්මක එන්නත්කරන වැඩපිළිවෙල තුළ විධිමත් සැලසුමක් නැති බවට විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ. ඉන් එක් චෝදනාවකින් කියවෙන්නේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ නෑ හිතවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින් වෙනුවෙන් 'ප්‍රභූ එන්නත් මධ්‍යස්ථාන' පවත්වාගෙන යන බවකි. එහෙත්, මෙම බොහෝ චෝදනා පදනම් විරහිත බව ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබිණි. මාර්තු තුන්වෙනිදා අවසන් වන විට පුද්ගලයන් 600,724 දෙනෙකු එන්නත් කර ඇති බව කෝවිඩ්-19 වසංගතය වැළක්වීම පිළිබඳ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත පවසා තිබිණි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී රට තුළ කොරෝනා දෙවෙනි රැල්ල බ්‍රැන්ඩික්ස් ආයතනය මුකික කරගෙන ආරම්භ වීමත් සමග වෛරස් රෝගීන් වැඩි වී තිබේ. ආරම්භයේ සිට මේ දක්වා රට තුළ රෝගීන් 84,225 ක් වාර්තා වී ඇති අතර මරණ 484 ක් වාර්තා වී තිබේ.
උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා බලධාරීහු පවසති.
මිසයිලය නිකුත් වී සුළු වේලාවකට පසු පුපුරා ගිය බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ. සති දෙකක් ඇතුළත උතුරු කොරියාවෙන් වාර්තා වූ දෙවන 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීම මෙයයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරමින් කියා සිටියේ උතුරු කොරියාව, චීනය සහ එරට ජනාධිපතිවරයාට "ගරු සැලකිල්ලක් ප්‍රදර්ශනය කර නොමැති" බවය. සෙනසුරාදා (අප්‍රේල් 29) අලුයම ප්යොංයැං අගනුවරට උතුරින් පිහිටි දකුණු ප්යොන්ගැන් පළාතෙන් මිසයිලය නිකුත් වී ඇති බව දකුණු කොරියාව පවසයි. ඇමරිකාව සහ චීනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ "මිසයිල අත්හදා බැලීම අසාර්ථක වූ නමුදු උතුරු කොරියාව එම ක්‍රියාවෙන් චීනයේ අභිමතාර්ථයන්ට සහ එරට ගරු කටයුතු ජනාධිපතිවරයාට අගෞරව වන සේ කටයුතු කර තිබෙනවා. හරිම නරකයි" යනුවෙනි. උතුරු කොරියාව සම්බන්ධයෙන් "ඉතාමත් දැඩි උත්සාහයක" නිරතව සිටින බව පවසමින් ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇගයීමට ලක් කළේය. උතුරු කොරියාවේ යුද සංදර්ශනයක් නවතම මිසයිල අත්හදා බැලීම සිදු වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට පැය කීපයක් ගත වීමත් සමගය. උතුරු කොරියාවට බලපෑම් කිරීම සඳහා සහායවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලොව සෙසු රටවලින් ඉල්ලා සිටි නමුත් උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සමග එකඟතාවකට පැමිණීමට ඇමරිකාව සූදානම් බවට ද ඔහු සංඥා කර තිබේ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසවල නිරත වීමත් සමග කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී. මේ අතර 'අසාර්ථක' වූ මිසයිල අත්හදා බැලීම හෙළා දකිමින් ජපානය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි ඉන්දීය මහ මැතිවරණයෙන් පසු කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය යලි බලයට පත්වුවත් තමන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වදින්නේ නැතැයි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ප්‍රකාශ කරයි.
වසර තුනකට පසුව මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ. රාහුල් ගාන්ධි ඉන්දීය අගමැතිවරයා පැවසුවේ කොන්ග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි ඒ සඳහා විශිෂ්ට සුදුසුකම් ලබා සිටින බවයි. සුදුසු අවස්ථාවේ දී තම පක්ෂය එම තීරණය ගනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය. මීළඟ මැතිවරණයේ දී එක්සත් ප්‍රගතිශීලි සන්ධානයෙන් නව අගමැතිවරයකු පත්වීම පිළිබඳව තමන්ට පූර්ණ විශ්වාසයක් ඇතැයි අගමැති ආචාර්ය මන්මෝහන් සිං පැවසුවේය. භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කරන නරේන්ද්‍ර මෝඩි ගැන සඳහන් කළ අගමැති මන්මෝහන් සිං ඔහු රටේ අගමැතිවරයා වශයෙන් පත්වුවහොත් එය අතිශයින් අවාසනාවන්ත දායක තත්වයක් බවයි කියා සිටියේ. මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති මන්මෝහන් සිං පැවසුවේ තමන් පාකිස්තානයට යාමට ඉතා කැමැත්තෙන් සිටින බවයි. වර්තමානයේ බටහිර පන්ජාබ් නමින් හැඳින්වෙන පළාතේ ගම්මානයක තමන් උපන් බවයි ඔහු පැවසුවේ. සැබෑ ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි තත්වයක් පවතින්නේ නම් රටක අගමැතිවරයා ලෙස තමන් පාකිස්තානයට යා යුතු බවයි අගමැතිවරයා කියා සිටියේ. තමිල්නාඩුවේ ගැට‍ළු තමිල්නාඩුවේ ප්‍රධාන ගැට‍ළු දෙකක් ඇති බව මෙහි දී මාධ්‍යවේදියකු පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය” සහ “තමිල්නාඩු ධීවරයන්ගේ ගැටලුව” එම ප්‍රශ්න දෙක බව පැවසූ මාධ්‍යවේදියා එම ප්‍රශ්නවලට ස්ථිර විසදුම් ලබා දෙන්නේ කවදා දැයි අගමැතිවරයාගෙන් විමසා සිටියේය. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුවී නැති බව පැවැසීම සත්‍යයෙන් තොර යයි පැවසූ අගමැති ආචාර්ය මන්මෝහන් සිං, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය යොමු කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම ඉන්දීය රජය විසින් සෑම විටම ගෙන ඇති බවයි පැවසුවේ. ඉදිරියේදීත් දිගටම එසේ කරන බව අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කළේය. ධීවරයන්ගේ ප්‍රශ්නය තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නයද ශ්‍රී ලංකා රජය සමඟ අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කොට ඇති බවයි ඔහු පැවසුවේ. දැන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමළ ජනතාවගේම රජයක් ඇති නිසා දෙරට ධීවරයන්ට වාඩි වී සාකච්ඡා කොට දෙපාර්ශවයට එකඟ විය හැකි විසඳුමක් සොයා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට තමිල්නාඩු සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබී ඇති බව ඉන්දීය රජයට හැඟී යන්නේ යයි අගමැතිවරයා පැවසුවේය. එය සිදු වේ යැයි තමා සිතන බව පැවසූ ඉන්දීය අගමැතිවරයා දෙරටේම ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්න විසඳා ගත හැකි එකම ක්‍රමයත් එය යැයි ප්‍රකාශ කළේය. ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ඉදිරි අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත්නොවන බව ප්‍රකාශ කිරීම බෙහෙවින් බලාපොරොත්තු වූ දෙයක් බවයි බීබීසි යේ දිල්ලි වාර්තාකරු සන්ජෝය් මජුම්දර් (Sanjoy Majumder) ප්‍රකාශ කළේ. අප්‍රසාදය ඉකුත් වසරේ දී ඔහුගේ කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දූෂණ සිද්ධීන් සහ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් අප්‍රසාදයට පත්ව ඇති බව පවසන බීබීසි දිල්ලි වාර්තාකරු , අසූ එක් වියැති අගමැතිවරයාටත් ඔහුගේ රජයටත් ජනතාවගේ සහයෝගය අහිමි වෙමින් තිබෙන බවයි පැවසුවේ. උද්ධමනයද පාලනය කිරීමට නොහැකි අඩියකට පත්ව ඇති බව සඳහන් කරන ඔහු ඉකුත් මාසයේ දී රජය ප්‍රාන්ත රාජ්‍ය මැතිවරණ කිහිපයක දී පරාජයට පත්වූ බව කියා සිටියේය. ඉදිරි මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයෙන් නරේන්ද්‍ර මෝඩි අගමැති තනතුර සඳහා තරඟ වදින බව කියා සිටි බීබීසී වාර්තාකරු මේ මැතිවරණයේ දී නරේන්ද්‍ර මෝඩි ඉදිරියෙන් සිටින බව බෙහෙවින් පෙනෙන්ට තිබෙන බව සදහන් කළේය. ගුජ්රාත් ප්‍රාන්තයේ වත්මන් මහ ඇමතිවරයා වන නරේන්ද්‍ර මෝඩි ඉතා දැඩි පරිපාලකයකු ලෙස සැලකෙන බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.
ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන බවට පොලිස්පතිවරයා ප්‍රතිඥා දීමෙන් අනතුරුවත් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
එජාප රැස්වීමක් සංවිධානය කළ පුද්ගලයකුගේ ත්‍රීරෝද රථයට පහර දී ගිනි තැබීමට උත්සාහ දරා තිබේ සිකුරාදා උදෑසන සහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ මොණරාගල සහ හාලිඇල දී විරුද්ධ පක්ෂ ක්‍රියාධරයන්ට එරෙහිව තවත් ප්‍රහාර එල්ල වී තිබෙන බව, කැෆේ සංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට කියා සිටියේය. හාලිඇලදී එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් සංවිධානය කළ පුද්ගලයකුගේ ත්‍රීරෝද රථයට පහර දී ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේ අසල්වාසීන් ගේ විරෝධය හමුවේ පලා ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින තත්වය මැතිවරණ කොමසාරිස්වරයා සිය සංචාරයෙන් අනතුරුව හොඳින් වටහාගෙන සිටින බව පවසන රජිත් කීර්ති තෙන්නකෝන්, එහෙත් පොලිස්පතිවරයාගේ පොරොන්දුවෙන් පසුවත් ජනතා විමුක්ති පෙරමුණේ තවත් කාර්යාල දෙකකට පහර දී තිබෙන බව සංදේශයට පැවසීය. 'සාපේක්ෂ අඩුවක්' කෙසේ නමුත් සාපේක්ෂ වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළේය. "තවමත් ගරාජ් අසංක සහිත වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීති විරෝධීව යොදා ගන්න තත්වයක් තියෙනව. මේවා පාලනය වීම ඉතාමත් සෙමින් සිදුවන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. එමතු නොව පොලිස් මාර්ග බාධක නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම පිණිස සිය නිලධාරීන් යෙදවීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදු වී තිබෙන බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි. "මොකද මේ පහරදීම් සියල්ලම එකම රටාවකට, එකම කණ්ඩායමක් විසින් සිදු කරන බව ඉතාමත් පැහැදිලිව පේනවා," යනුවෙන්ද රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට පැවසීය. ප්‍රචණ්ඩ ක්‍රියා හැරුණු විට මැතිවරණය සඳහා මහජන දේපොළ සහ රාජ්‍ය සම්පත් යොදා ගැනීමේ අඩුවක් නොමැති බවත් මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද සිකුරාදා උද්ඝෝෂණයක නිරත වුනේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් මේ වන විට විවිධ පාර්ශව වලින් එල්ල වෙමින් තිබෙන බව පවසමින්.
යාපනය විශ්වවිද්‍යල‍යේ ආචාර්යවරුන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් එල්.ටී.ටී.ඊ.යට යළි පණදීමට සූදානම් බව පැවසෙන පත්‍රිකා මීට දින දෙකකට ඉහතදී විශ්ව විද්‍යාලය හා ඒ අවට පළාත්වල කිසියම් පිරිසක් විසින් බෙදා හැර තිබේ. ජීවිත තර්ජන මේ නිසා තම ජීවිතවලට විශාල තර්ජනයක් එල්ලවී ඇති බව ප්‍රකාශ කරන විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙම පත්‍රිකා ව්‍යාපාරයට රජය හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂද ආරක්ෂක අංශද සම්බන්ධ බවට තමන් සැකකරන්නේ යැයිද පවසති. යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරු වහාම මේ තත්ත්වය නතර කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල බලධාරීන් ඇතුලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති. අසාධාරණ ක්‍රියාවක් මේ අතර ලබන මැයි මස 16 වෙනිදා සිට 20 වෙනිදා දක්වා යාපනය විශ්ව විද්‍යාලය කිසිදු හේතුවක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබීම අසාධාරණ ක්‍රියාවක් ලෙසද ඔවුහු පෙන්වා දෙති. යාපනය විශ්ව විද්‍යාලය මෙම කාලය තුළ වසාදැමීමට හේතුව කුමක්දැයි කොළඹ බී.බී.සී.වාර්තාකරු අසාම් අමීන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් විමසුවිට ඔහු කියා සිටියේ බුද්ධි අංශ විසින් සිදුකළ දැණුම් දීමකට අනුව විශ්ව විද්‍යාලය වසා දමා ඇති බවයි. බුද්ධි අංශ දැනුම්දීම් අවසන් යුද සැමරුම් කාලයේදී මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිහි කිරීම පිණිස මේ කාලය තුල සංවිධානාත්මක උත්සව පැවැත්විය හැකි බවට බුද්ධි අංශ දැනුම් දී ඇති බවයි ඇමතිවරයා පැවසුවේ. පසුගිය වසරේද යාපනය විශ්වවිද්‍යල‍ය තුල එවැනි සිදුවීම් ඇතිවූ බවද ඇමතිවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කළහොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ පවසති.
දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය පක්ෂය ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන 'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' රැස්වීම අමතමින් කියා සිටියහ. 2009 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවරක් විධායක ජනපති පදවිය හෙබවූ තැනැත්තෙකුට යළිත් වතාවක් තරඟ වැදීමට තිබූ බාධාව ඉවත් කෙරුණු අතර, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභාද අහෝසි කෙරිණ. මාදුළුවාවේ සෝභිත හිමියන්, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍යවරුන්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගි වී සිටියහ. රැස්වීමට සහභාගිව සිටි ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂඅතුරලිය රතන හිමියන් සභාව අමතන අවස්ථාවේ එහි සිටියේ නැත.
රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම්වල සියලු මාධ්‍ය ක්‍රියාකාරකම් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝගයේ අරමුණ ජනතාවට සැබෑ තොරතුරු දැන ගැනීම වැළැක්වීම බව ක්‍රියාධරයෝ පවසති.
'වද හිංසා පිළිබඳව නීතියක් තියෙනවා මේ රටේ. 2009 න් පස්සේ එක නඩුවක් දාන්න නීතිපතිට හයිය නැහැ' ඔවුන් ඒ බව කියා සිටියේ, සිවිල් සමාජ කණ්ඩායම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමින්. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන සිය විෂය පථයට ඔබ්බෙන් කටයුතු කරන්නේ නම්, රටේ නීතිය ක්‍රියාත්මක නොවන තත්වයක් පැවතීම එයට හේතුව බව සිවිල් සමාජ සාමූහිකයේ බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. "ආණ්ඩුව දිගින් දිගටම නීතියට පිටින් කළ ඔලමොට්ටල හා කුපාඩි වැඩ හින්දයි අපට සීමාවලින් එහා යනව නම් යන්න වෙලා තියෙන්නේ," යනුවෙන්ද බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය. 'හොඳම සාක්ෂිය' ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය විෂය පථය අභිබවා ගොස් නීති විරෝධීව කටයුතු කරන ආකාරය පිළිබඳව කතාකිරීම, සිවිල් සමාජ කණ්ඩායම්වලට මෙවන් නියෝග පැනවීමට හේතුව බවද ඔහු පැවසීය. "වද හිංසා පිළිබඳව නීතියක් තියෙනවා මේ රටේ. 2009 න් පස්සේ එක නඩුවක් දාන්න නීතිපතිට හයිය නැහැ. එතකොට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කොහොමද විෂය පථය තුල වැඩකරන්නේ? ආයුධ පෙන්නන්න ගිහිල්ල දැන් 125 දෙනෙක් විතර මරලා තියනවා." ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම් ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තරව අත්සන් තැබූ ප්‍රඥප්තිවල විෂය පථයන්ට අනුකූලව බව, සිවිල් සමාජ සාමූහිකයේ නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දුන්නාය. "ගෝඨාභය රාජපක්ෂට ඕන වුණාම නීතියට පිටින් ගිහිල්ලා අනවසර ඉදිකිරීම් කඩනවා වගේ ඒ මතවාදය උඩ ඉඳන් කියනවා මේවා නීති විරෝධීයි කියලා. නමුත් අපේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයත් රටේ ව්‍යවස්ථාවත් පදනම් කරගෙන ක්‍රියාවට නඟන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්,"යනුවෙන්ද ඇය පැවසීය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි අදහස් දක්වමින්: "මේ ලියුමම ඇති අපේ අදහස් නොමැතිව ලෝකේ ඕනෑම කෙනෙකුට මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරගෙන යන ගමන පෙන්වන්න," යනුවෙන් පැවසීය. 'උල්ලංඝනය කරනවා' බටහිර තානාපති කාර්යාලවලින් මුදල් ලබා ගෙන රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩු පෙරලීමේ උත්සාහයක නියැලෙන බවට ආණ්ඩුව කරන චෝදනා පිළිබඳව මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ එයට පිළිතුරු දුන් නීතිවේදී ජේසී වැලිඅමුණ: "ආණ්ඩුව නොයෙක් ගෝනි බිල්ලෝ මවනවා. ඔය එක බිල්ලෙක්. මොකද රජයේ මතයට විරුද්ධ මතයක් දරන අයට යම්කිසි මඩක් ගහලා වෙනස් අතකට අවධානය යොමුකරනවා," යනුවෙන් සඳහන් කළේය. මේ අතර බදාදා නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත් භූමිකාවක් ඉටුකරන්නා වූ සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා රජයට බලකර සිටියි. ආරක්ෂක අමාත්‍යංශයේ චක්‍රලේඛය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට එල්ල කරන ලද මරු පහරක් බව එක්සත් ජාතික පක්ෂයද (එජාප) පවසයි. රටේ මූලික නීතිය මගින් පුරවැසියන්ට තහවුරු කර ඇති ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහසට එම චක්‍රලේඛය මගින් තහංචි පනවා ඇති බවයි, එජාපය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට බලයක් නැති බැවින් එම නියෝගය තමන් උල්ලංඝණය කරන බව නීතිවේදී එකමුතුවේ සම කැඳවුම්කරු නීතිඥ ලාල් විජේනායක සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. එය උල්ලංඝනය කරන මෙන් අනෙක් සියලු සිවිල් සංවිධානවලින්ද තමන් ඉල්ලීමක් කරන බව පැවසූ නීතිඥ විජේනායක, ඒ හේතුවෙන් අත් අඩංගුවට පත් වන්නේ නම් එයට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ල්නාඥානය කිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට තමන් පසුබට නොවන බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය මර්දනය කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ සොයාගෙන තිබෙන නව බැක්ටීරියාව යොදා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත් සේනාරත්න පවසයි.
ජනපති සහ සෞඛ්‍ය ඇමති අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක ඕස්ට්‍රේලියාව සොයා ගත් බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල අත්හදා බලා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එය කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව පවසන ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ඕස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ද එම පරීක්ෂණ ආරම්භ කිරිමට බලාපොරොත්තු වේ. "එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුල් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සඳහන් කරයි," යනුවෙන්ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසයි. රෝගීන් 63987 ක් නව බැක්ටීරියාව හඳුන්වා දීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරයා ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. මේ වසරේ ගතව ගිය මාස හය ඇතුළත ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 63987 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ. ඒ අතරින් ආසන්න වශයෙන් 42.62%ක් පමණ වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය රෝගීන්ගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර සෙනසුරාදා (ජුනි 17) මුල්ලේරියාව අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩෙංගු රෝගීන්ගේ සුව දුක් ද විමසා බැලුවේය. ඩෙංගු රෝගීන්ගෙන් රෝහල පිරි පැවතීම හේතුවෙන් මතු වූ තදබදය හමුවේ රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර තිබුණත්, රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සමග ඔවුන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වෙත යොමු කිරිමෙන් අනතුරුව රෝහලේ කටයුතු යළිත් ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතී.
ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි.
ට්‍රම්ප් සහ පවුලේ සාමාජිකයන් ඡන්ද ප්‍රතිඵල නරඹමින් ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ලබා ගෙන ඇති නියෝජිත ඡන්ද සංඛ්‍යාව අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කර ගෙන සිටින නියෝජිත ඡන්ද සංඛ්‍යාව 278කි. ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා යම් අපේක්ෂකයකු නියෝජිත ඡන්ද 270 ක් හිමි කර ගත යුතු වේ. ජනපතිවරණ සටනේ පසුබා සිටින හිලරි ක්ලින්ටන් මේ වන විට ලබා ඇත්තේ නියෝජිත ඡන්ද 218 ක් පමණි. කනස්සල්ලට පත් හිලරි ක්ලින්ටන් පාක්ෂිකයින් ජනාධිපතිවරණ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ යැයි සැලකෙන ෆ්ලොරිඩා, ඔහායෝ, උතුරු කැරොලිනාව සහ ආයොවා යන ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගනු ලැබ ඇත. ට්‍රම්ප් කඳවුරේ ආධාරකරුවන් සහ පාක්ෂිකයින් දැනටමත් උද්දාමයෙන් පසු වන අතර ක්ලින්ටන් ආධාරකරුවන් කනස්සල්ලට පත්ව ඇති ස්වභාවයක් දක්නට ලැබේ. එක්සත් ජනපදය පුරා ඉතා ඉහළ මට්ටමකින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වී ඇති බව වාර්තා වේ.
යුද ගැටුම් වලට මැදිවූ ළමුන් පුනරුත්ථාපනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
යුද්ධයට ළමා සොල්දාදුවන් යොදා ගැනීම පිළිබඳව එල්ටීටීඊ සංවිධානය අපකීර්තියට පත් වී සිටියේය මෙම ප්‍රගතිය හේතුවෙන් ලොව පුරා යුද්ධයට මැදිවූ දරුවන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අද (ජුනි 12 වැනිදා) ඉදිරිපත් කොට තිබෙන වාර්තාවේ "නින්දා ලැයිස්තුවෙන්" මේ වසරේ ශ්‍රී ලංකාව ඉවත් කොට තිබේ. විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය විසින් යුද්ධයට ළමා සොල්දාදුවන් යොදා ගැනීම හේතුවෙන් ළමුන් යුද ගැටුම්වලට යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව කලක් අපකීර්තියක් ඉසිලීය. එවැනි ළමා සොල්දාදුවන් ගේ ඉරණම පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වී සිටීම පිළිබඳව තම ප්‍රසාදය පළ වී ඇතැයි පවසන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, එබැවින් ශ්‍රී ලංකාව මේ වසරේ "නින්දා ලැයිස්තුවෙන්" ඉවත් කොට ඇති බව ද සඳහන් කරයි. ඒ කෙසේ වුවත් එල්ටීටීඊ ය විසින් බඳවාගන්නා ලද ළමුන් 7000 කට ආසන්න පිරිසෙන් 1400 දෙනෙකු සහ ටීඑම්වීපී යේ ජනාධිපති උපදේශක ඉනිය භාරතී ගේ පාර්ශවය විසින් බඳවාගත් ළමුන්ගෙන් පස්දෙනෙකු ද තවමත් අතුරුදහන්ව සිටින බව ද වාර්තාවේ දැක්වේ. එල්ටීටීඊ ය බඳවාගත් ළමුන් 1400 දෙනෙකු සහ ජනාධිපති උපදේශක ඉනිය භාරතී ගේ ටීඑම්වීපී පාර්ශවය බඳවාගත් ළමුන්ගෙන් පස්දෙනෙකු තවමත් අතුරුදහන් ළමා සෞඛ්‍යය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් හි ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය "විශිෂ්ට" බව පවසමින් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රසාදයට ලක්වීමෙන් අනතුරුවයි, යුද ගැටුම් වලට මැදිවූ ළමුන් සම්බන්ධ වාර්තාව ද නිකුත් වූයේ. මෑතදී ශ්‍රී ලංකාවේ සංචාරයකින් අනතුරුව අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්, ගැටුම් පැවති කාලය පුරාවටම ශ්‍රී ලංකා ආණ්ඩුව ගැටුම් වලට මැදිවූ ප්‍රදේශවල දරුවන් පාසල් යැවීම සහ ඔවුන් ට එන්නත් ලබාදීම පිණිස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කළේය. එමෙන්ම දරුවන් ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කලාපයේ අනෙක් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින බවද ඔහු පැවසීය. මහ ලේකම් බැන්කි මූන් ද සඳහන් කොට ඇති පරිදි, යුද ගැටුම් වලට මැදිවූ දරුවන් යලි ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියක් යුනිසෙෆ් සංවිධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව ඒකාබද්ධව දැනටමත් ක්‍රියාවට නගා තිබේ. උතුරේ හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ ඇතැම් පාසල්වලින් ඉවත් වී ඇතත්, පාසල් 15 ක් තවමත් හමුදාව විසින් භාවිත කරමින් සෙවීම පිළිබඳව මහ ලේකම්වරයා මේ අතර සිය අවධානය පළ කොට තිබේ. මේ අතර දරුවන් සඳහා අන්තරායකාරී රැකියා පනහකට වැඩි සංඛ්‍යාවක් ලේඛන ගත කොට තිබෙන ශ්‍රී ලංකාවේ ළමා රක්ෂණ අධිකාරිය, තොරතුරු එක රැස් කිරීමේ ප්‍රායෝගික ගැටළු ඇති හෙයින් ළමා ශ්‍රමිකයන් පිලිබඳ සංඛ්‍යාලේඛන නොමැති බව ද ප්‍රකාශ කරයි.
හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු තමන් සතුව ඇතැයි පැවැසූ රුසියානු නීතිඥවරියක හමු වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතු දැඩි ප්‍රතිචාරයක් පළ කොට තිබේ.
නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් හිලරි ක්ලින්ටන් පිළිබඳ "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි පසුගිය වසරේ සිදු වූ හමුව සම්බන්ධයෙන් එකිනෙකට පටහැණි ප්‍රකාශ නිකුත් කළ බවට එල්ල වන චෝදනා ජනාධිපති පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් ප්‍රතික්ෂේප කරයි. ප්‍රතිවාදී දේශපාලනඥයෙකු හා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත් ඔහු පවසා තිබේ. පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති. ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ එවක ප්‍රධානියාව සිටි පොල් ජේ මැනෆට් ද නතාලියා වෙසෙලින්ස්ක්යා හා පැවති හමුවට එක් වී තිබේ. ජනාධිපති ධුරය සඳහා තරග කළ සිය පියාගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් පිළිබඳ නීතිඥ නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි. 2016 වසරේ ජුනි 09 වෙනිදා නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ දී අදාළ හමුව සිදුව තිබේ. පළමු අවස්ථාව? ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනා ලබා ගෙන සති දෙකකට පසුවය. රුසියානු ජාතිකයෙකු සහ ජනාධිපති ට්‍රම්ප්ගේ පවුලේ සමීප සාමාජිකයන් අතර පෞද්ගලික මට්ටමේ හමුවක් පැවතිබව තහවුරු කෙරුණු පළමු අවස්ථාව මෙය බව විශ්වාස කෙරේ. රුසියාව සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහ කර ඇති බව ඇමරිකානු මාධ්‍ය පසුගිය මැයි මාසයේ වාර්තා කර තිබිණි. 'වොෂිංටන් පොස්ට්' සහ 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් විසින් වාර්තා කරනු ලැබ තිබුණේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් රහසින් සවන් දීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ඔහු ප්‍රයත්නයක් දරා ඇති බව ය. ජනාධිපති බෑණනුවන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ජැරඩ් කුෂ්නර් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබ සිටින ජැරඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුර්ෂයාය. තමන් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පළ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත චෝදනා කරයි. ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට පළ වන වාර්තා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන නියඟය මාර්තු මාසය තෙක් වර්ධනය වීමට ඉඩ ඇති බැවින් ජලය සහ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි මාස තුන ඇතුලත වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරිමාර්ගවල ජල ධාරිතාව 27% ක් දක්වා පහත වැටී ඇති බවත් ඔහු පැවසීය. "මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 220 ක ජල ධාරිතාව 30% ක් බවයි වාර්තා වෙන්නේ. කෘෂිකාර්මික පැත්තෙන් වගාකරලා තියෙන්නේ මේ කන්නේ 1/3 ක් පමණයි," ඔහු පැවසීය. 2016 වසරේ නිසි ලෙස වර්ෂාව නොලැබීම මේ තත්වයට හේතුවී ඇති බව පැවසූ අමාත්‍යවරයා, මාර්තු මස අග පමණ වන විට නැවත වර්ෂාව බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය. එබැවින් ජලය සහ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි. බිමට ජලය ආරක්ෂා කිරීම සඳහා ඇතැම් ප්‍රදේශවලට කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබාදීම සිමා කර ඇති බව මෙම අවස්ථාවට එක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරි සඳහා තෝරා ගැනුණු පළමු ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරිනියන් දෙදෙනා මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගියහ.
මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ මේජර් නිශාන්ති ලියනගේ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ සහ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සමග ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරික්ෂණ රාජකාරි සඳහා හමුදා නිලධාරිනියන් වෙත ආරාධනා ලද ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. එසේ ආරාධනා ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ මේජර් නිශාන්ති ලියනගේ වසරක කාලයක් එහි රාජකාරිවල නිරතවීමට නියමිතය. සාම සාධක කටයුතු නිරීක්ෂණය සඳහා දිවයිනෙන් බැහැරව යාමට ප්‍රථම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ හමුදා නිලධාරිනියන්ට සිය වෘත්තියමය ජීවිතයේ ඉතා වටිනා අවස්ථාවක් හිමිව ඇති බවය. සිය වෘත්තීය නිපුණත්වය මනාව ප්‍රදර්ශනය කරමින් රාජකාරි ඉටුකරන ලෙස ඔවුන්ට උපදෙස් දුන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ඉදිරියේදී තවත් නිලධාරිනියන් කිහිප දෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරි සඳහා එක්වීමට නියමිත යයි වැඩිදුරටත් සඳහන් කළ බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක් වේ. කැපවීමෙන් සහ වගකීමෙන් සිය රාජකාරි ඉටු කිරීමට බලාපොරොත්තු වන බව මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ මේජර් නිශාන්ති ලියනගේ ඒ අවස්ථාවේ හමුදාපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළහ. යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කර්නල් සේනා විධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ ද එම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 වසරේදීය. ඉන් අනතුරුව 1960 වසරේ දී අප්‍රිකාවේ කොංගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස 1962 වසර දක්වා එහි සේවය කළහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කර තිබේ. මේ අතර 2004 -2007 කාල සීමාවේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අනුයුක්තව හයිටි රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලංකා හමුදා භටයන් 134 දෙනෙකුට ළමා අපචාර චෝදනා එල්ල විය. පසුව ඒ අතරින් 114 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට කැඳවන ලද අතර, ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් හමුදාව විසින් පරීක්ෂණයක් පවත්වන ලද බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මීට ඉහතදී බීබීසී සිංහල සේවයයට පැවසීය. අදාළ බලකායේ අණදෙන නිලධාරියා සේවයෙන් ඉවත් කළ බව පැවසූ හමුදා ප්‍රකාශකවරයා, හමුදා සාමාජිකයන් අට දෙනෙකුට එරෙහිව විනය පියවර ගත් බවත් වැඩිදුරටත් සඳහන් කළේය. සබැඳි යොමු:
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක 'කොල්කටාහි කුමාරයා' (Prince of Kolkata) යනුවෙන් හැඳින්වෙන සව්රව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත්වී තිබේ.
වසර 20කට වැඩි කාලයක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ ඔහු ඉන්දියාවේ සාර්ථක ම ටෙස්ට් නායකයින් අතරින් කෙනෙකි. End of Twitter post, 1 විශිෂ්ට වමත් පිතිකරුවෙකු වූ ගංගුලි එක්දින ලකුණු 10000 ඉක්මවූ, කඩුලු 100කට වඩා බිද හෙළූ, උඩපන්දු 100කට වඩා රැක ගත් සුවිශේෂී ක්‍රීඩකයෙකි. දේශීය තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ සව්රව් ගංගුලි ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අතර සිය පළමු ඉනිමේදී ම ශතකයක් (131) වාර්තා කරමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. ඔහු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය භාර ගත්තේ, තරග පාවාදීමේ සිද්ධි හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ පා සිටි වකවානුවකය. ඔහු නව කණ්ඩායමක් සකසා, කණ්ඩායමේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමට සමත් වූ අතර, එය ඔහුගේ ක්‍රීඩා දිවියේ දක්නට වූ පෞරුෂත්වයේ අනන්‍යතාව විය. තරුණ ක්‍රීඩකයින්ට අවස්ථා දෙමින් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීය. තරග ජය ගැනීමේ පුරුද්දක් ඉන්දීය කණ්ඩායම තුළ ඇති කළේ ගංගුලිය. ඔහු නායකයෙකු ලෙස ක්‍රියා කළ ආකාරය පසුව නායකත්වයට පත්වූ රාහුල් ඩ්‍රාවිඩ්ගේ සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයට පදනම සැකසීය. සව්රව් ගංගුලි සිය වෘත්තීය ජීවිතය තුළ මතභේදයන්ට මුහුණ දුන්නේය. වැඩි ම කතාබහට ලක්වූයේ, එවක ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රෙග් චැපල් සමග ඇති කර ගත් අර්බුදය ය. එංගලන්තය පරාජය කිරීමෙන් පසු ලෝඩ්ස්හිදී ගංගුලි එය සැමරූ ආකාරය දැඩි අවධානයට ලක් විය. එම ක්‍රියාව ඉන්දියාව පරාජය කිරීමෙන් පසු මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී කමිසය ගලවා දමමින් සතුට සැමරූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ට දුන් පිළිතුරක් ලෙස සැලකිණි. ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් පසු සව්රව් ගංගුලි දේශපාලනයට අවතීර්ණ වනු ඇති බවට කටකතා පැතිරිණි. එහෙත්, ඔහු දේශපාලනයට පිවිසියේ නැත. 2014 ලෝක් සභා මැතිවරණයට තරග කරන ලෙස භාරතීය ජනතා පක්ෂය කළ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන්දීය පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවට සව්රව් ඇතුළත් කරගැනීමට එහි වැඩි බලය හිමි ත්‍රින්මූල් කොංග්‍රසයට අවශ්‍ය විය. ඒ වන විට සචින් තෙන්දුල්කර් ද එම මණ්ඩලයට ඇතුළත් කර තිබිණි. කෙසේ වෙතත්, සව්රව් ගංගුලි එයට ඇතුළත් කිරීමේ කටයුතු සාර්ථක නොවීය. 2021 වසරේදී පැවැත්වීමට නියමිත බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේදී සව්රව් ගංගුලි ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය උත්සහ දරයි. කෙසේ වෙතත්, ඔහු එම පක්ෂයට නිලවශයෙන් එක්වනු ඇත්දැයි යන්න හෝ ඒ වෙනුවෙන් සහය පළකරන්නේදැයි යන්න මෙතෙක් පැහැදිලි නැත. ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, එය සිදු නොවන දෙයක් වන අතර කිසිවකු එවැන්නක් තමන්ට පවසා නැති බවය. සව්රව් ගංගුලි බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති ධූරය දරමින් සිටි අතර ඔහුට ඉන් ඉවත් වීමට සිදුවේ. මේ වන විට එම සංගමයේ සම ලේකම් ධූරය දරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මෝහන් ඩල්මියාගේ පුත් අභිෂේක් ඩල්මියා බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති ධූරයට පත් වීමේ ඉඩකඩ පවතී. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාවට අනුව සභාපති ධූරය ගංගුලිට හිමි වනුයේ, මාස නවයක කාලයක් සදහා පමණි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යුහය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සාමාජිකයින් 9 දෙනෙක් ඇතුළත් වෙති. සභාපති, උප සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, සම ලේකම්, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ පිරිමි නියෝජිතයෙකු, කාන්තා නියෝජිතවරියක, ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලයේ නියෝජිතයෙකු සහ මධ්‍යම රජයේ නියෝජිතයෙකු යන පිරිස එම මණ්ඩලයට අයත් වෙති. තවදුරටත් කියවන්න.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන එකම නිතිය ජනතිපති මහින්ද රාජපක්ෂගේ කැමැත්ත පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
ඉකුත්දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමිනුයි ජවිපෙ නායකයා මෙම අදහස් පල කළේ. වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය හා උතුරේ ප්‍රශ්නයට සිදු කෙරෙන ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වැනි කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය මෙහි දී ජවිපෙ නායකයා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් පැහැදිලි කළේය. 1987/88 වකවානුව ශ්‍රී ලංකාවේ සිටින කිසිදු දේශපාලන ව්‍යාපාරයක් නැවත 1987/88 වකවානුවක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට සුදානම් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. " ඒකේදී අපිත් අත්දැකීම් ගත්තා, පාලක පක්ෂයත් අත්දැකීම් ගත්තා, ඒ වගේම මේ රටේ ජනතාවටත් මේ රටේ ඒ ඉතිහාසයේ ඛේදජනක අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මේ සමාජය හෝ දේශපාලන ව්‍යාපාර කිසිසේත් 87/88 මේ රටේ නිර්මාණය කරන්න සුදානම වනු ඇතැයි අපි විශ්වාස කරන්නේ නැහැ" හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැනි නායකයන්ට බලය අතහැර සිටිය හැකි බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නමුත් වර්තමාන ආණ්ඩුව කුඩා උද්ඝෝෂණ පවා පාලනය කිරීමට හැසිරුණු වියරු ආකාරය දෙස බලන විට ඔවුන් තම බලය රැක ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසුවේය. " රතුපස්වල, හලාවත, කටුනායක තිබ්බේ ආණ්ඩු පෙරළන උද්ඝෝෂණ නොවෙයි. සාධාරණ ඉල්ලීම් දින ගන්නා උද්ඝෝෂණ, නමුත් ඒවාට ඔවුන් හැසිරුණු වියරු ආකාරය අපි දැක්කා, ඒ නිසා තමන්ගේ බලයට කුඩා හෝ තර්ජනයක් එල්ලවන ඕනෑම මොහොතක මේ ආණ්ඩුව ඉතාමත් නරක දිසාවට තල්ලුවන ආකාරය අපි දැක්ක" ජනමාධ්‍ය වලට ප්‍රහාර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවතින්නේ ජනමාධ්‍ය මත බව පැවසූ මන්ත්‍රීවරයා එය පවත්වා ගැනීම සදහා ජනමාධ්‍ය වලට ප්‍රහාර එල්ල කිරීම, මිල දී ගැනීම සහ වරප්‍රසාද ලබා දීම සිදු කරන බවයි ඔහු පැවසුවේ. " රාජපක්ෂ යනු මාධ්‍ය විසින් ගොඩ නැගු ප්‍රබන්ධයක්, මේ ඇත්ත රාජපක්ෂ නෙමෙයි, එතකොට මේ රාජපක්ෂ ප්‍රබන්ධය පවත්වා ගැනිමට පහු ගිය කාලය පුරාවට මාධ්‍ය ආයතන ගණනාවකට පහර දුන්නා, මාධ්‍යවේදීන් ගණනාවකට පහර දුන්න" ශ්‍රී ලංකාවේ සිදු වූ ආන්දෝලනාත්මක ඝාතන හෝ අපරාධවලට වරදකරුවන් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනමාධ්‍යවේදීන්ගේ ඝාතකයන් සොයා ගෙන නැත්තේ ඒවා සිදු කර ඇත්තේ ආණ්ඩුව නිසා බවයි විදේශ වාර්තාකරුවන් හමුවේ පැවසුවේ. ශ්‍රි ලංකාවේ අධිකරණය ද මුළුමනින් ම රාජපක්ෂ පවුලට යටත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙහිදී පැවසුවේ අධිකරණ අමාත්‍යංශය යටතේ පැවතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුව පවා ජනතිපතිවරයා යටතේ ඇති බව පෙන්වා දෙමින්. රටේ නීතිය " අද අපේ රටේ නීතිය රාජපක්ෂගේ කැමැත්ත, ඔහු තමයි තීරණය කරන්නේ කවුද ඇතුළේ ඉන්න ඕනෑ, කවුද එළියේ ඉන්න ඕනෑ කියල, අසාත් සාලි ගේ අත් අඩංගුවට ගැණීම, ගත්ත විදිහත් වැරදියි, නිදහස් කරපු විදිහත් වැරදියි " නීතිපති දෙපාර්තමේන්තුව හරහා පහු ගිය කාලය පුරාවටම ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ඉල්ලා අස්කර ගැනීම හා එකඟ නොවන අයට නඩු පැවරීම සුලබ කටයුත්තක් වුනා", ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා තවදුරටත් පැවසුවේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීමට උත්සාහ කරන බව පැවසූ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණු නායකයා එයට තම පක්ෂය විරුද්ධ බවයි විදෙස් මාධ්‍යවේදීන්ට පැවසුවේ. නමුත් මෙවන් තත්වයක් ඇතිවුයේ ආණ්ඩුවේ වරදින් බවයි ඔහු පෙන්වා දුන්නේ " තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින්, මානව හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කොට තිබෙනවා, ඒ නිසා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමට ඇතුල්වීමට දොරටු විවෘත මේ ආණ්ඩුවේ තීරණ නිසා" පළාත් සභා දෙමළ භාෂාව කථා කරන ජනතාව, ඔවුන් දෙමළ ජාතිකයන් වීම හේතු කොටගෙන ම, ඔවුන්ට ශ්‍රී ලංකාවේ විශේෂ ගැට‍ළු ඇති බව තම පක්ෂය පිළිගන්නා බව පැවසූ ඔහු නමුත් තමන් බලය බෙදීමට විරුද්ධ බව ද පැවසුවේය. " මේ පළාත් සභා අහෝසිකළ යුතුයි, මේ පළාත් සභා 9 ක් අපට වැඩක් නැහැ, නමුත් විශේෂ අනන්‍යතා සහිත ගැටළු ඇති ප්‍රදේශ තිබෙනවා, ඒ ගැටළු නිරීක්ෂණය කරලා ඒ ප්‍රදේශවල වෙනම බල ඒකක හැදෙන්න ඕනේ" මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතු සිදු කරන ආකාරය ද දැඩි ලෙස විවේචන කල අතර ඔහු සිය සාකච්ඡාව අවසාන කළේ ජනතා විමුක්ති පෙරමුණ සමීප ලෙස අධ්‍යයනය කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ රට තුල ගොඩ නගා ඇති මත නිවැරදි නොවන බව මාධ්‍යවේදීන්ට ඒත්තු යනු ඇති බව පවසමින්.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී සැබෑ ලෙසම ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් නියෝජනයවන පරිදි මහජන අදහස් විමසීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇත්දැයි ප්‍රශ්නයක් මතුවන බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක පවසයි.
මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම උදෙසා මහජන අදහස් ලබාගැනීම සඳහා පත්කර ඇති කමිටුව විසින් රටපුරා ගොස් අදහස් ලබා ගනිමින් නිකුත් කරන ලද වාර්තාව පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. "කමිටුවක් පිහිටුවලා දිවයින පුරා අදහස් විමසීම ආරම්භ කළා. මට ඒ වාර්තාව කියවූ විට දැනුණේ රාජ්‍ය නොවන සංවිධාන වැනි සීමිත කණ්ඩායම් වර්ග කීපයක අදහස් තමයි ඒ වාර්තාවේ අඩංගු වෙන්නේ," ඔහු සඳහන් කළේය. ජනතාවට වඩාත් සමීප වී අදහස් විමසිය හැකි ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම මහ ඇමතිවරයා පෙන්වා දෙයි. "මහ නගර සභාවක සියලුම කාර්ය මණ්ඩල නියෝජනයවන , වෛද්‍යවරු, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඉන්න වියත් සභාවකදී මම විමසීමක් කළා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු විමසීමට පත් කළ කමිටුවට මෙතන ඉන්න කවුරුන් හෝ අදහස් ලබා දී තිබෙනවද කියලා. අදහස් ලබා දීපු කිසිම කෙනෙක් එතන හිටියේ නැහැ, මම ඇරෙන්න." ඔහු පැවසීය. කෙන්යාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී ඒ සඳහා මහජන අදහස් ලබා දෙන ලෙස ඉල්ලා රූපවාහිනි පුවත් විකාශය අතරතුර දැන්වීම් පළ වූ බවත් මහ ඇමතිවරයා පෙන්වා දුණි. "එවැනි අවස්ථාවක් ලබා දුන්නොත් කාටවත් කියන්න බැහැ අපෙන් අදහස් ගත්තේ නැහැයි කියලා,"ඔහු පැවසීය. කෙසේවෙතත් 1972 සහ 1978 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසීමේදී මහජන අදහස් විමසීමක් සිදු නොවූ බවත් මහ ඇමතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කිහිප වතාවක්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබා ගෙන තිබෙන බව පෙනී යන්නේ යයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
කිහිප වතාවක්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබා ගෙන තිබෙන බව පෙනී යන්නේ යයි අමාත්‍යවරයා පවසයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ කණ්ඩායමේ කළමනාකාර ඒආර්එම් අරූස් තමන්ගෙන් අල්ලස් ලබා ගත් බවට කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. අදාළ චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී ඔහු වැරදිකරු බව නිගමනය කෙරුනොත් ඔහුට එරෙහිව සියලු නීත්‍යානුකූල පියවර ගන්නා බවයි, ඇමතිවරයා පවසන්නේ. ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය සමයේ නායිකා සිරිවර්ධන තමන්ට මුදලක් ලබා දුන් බව ඩේලි මිරර් පත්‍රයට පවසා තිබූ කළමනාකාර අරූස්, කෙසේ නමුත් එය අල්ලසක් නොවන බව අවධාරණය කොට තිබිණ. රමිත් රඹුක්වැල්ල ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තුරු ඔහු විනිසුරු කමිටුවේ සභාපති පදවියෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 'සැර මත්පැන් ඔහු භාවිතා කරලා නෑ. මොකද කණ්ඩායමේ අය එහෙම මත්පැන් පානය කරන්නේ නෑ' ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දැරූ සියලු පදවිවලින්ද ඔහු ඉල්ලා අස්වී තිබේ. මේ අතර ලන්ඩනය බලා යාත්‍රා කරමින් තිබුණු බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක දොර විවෘත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, ක්‍රීඩකයාට බීමතින් හැසිරීමේ චෝදනාවක් එල්ල වී නොමැති බවයි. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, ගුවන් මගියා බීමත්ව සිටි බව තම විශ්වාසය බවයි. "ඔහු කුඩා වයින් බෝතලයක් හෝ දෙකක් බීපු බව තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න සැර මත්පැන් ඔහු භාවිතා කරලා නෑ. මොකද කණ්ඩායමේ අය එහෙම මත්පැන් පානය කරන්නේ නෑ," යනුවෙන් ද අමාත්‍ය අලුත්ගමගේ සංදේශයට පැවසීය. පාසල් වියේදී රමිත් රඹුක්වැල්ල ක්‍රීඩකයාට එරෙහිව චෝදනාවක් එල්ල වූ අවස්ථාවේ එය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණු බව පවසන අමාත්‍යවරයා, මේ වතාවේ ඔහු වරදක් කොට තිබෙන බවට අදාළ පරීක්ෂණයේදී සනාථ වන්නේ නම් ඔහුට දඬුවම් කිරීමට පසුබට නොවන බව අවධාරණය කරයි.
දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයකු වන ඒඩී ආරියදාසට විශේෂ කාර්ය බලකායෙන් යැයි කියා ගත් පිරිසක් පහර දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාධරයකු වන ඔහු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභාවේ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් වශයෙන්ද කටයුතු කරයි. එළඹෙන ජනාධිපතිවරණය හා සම්බන්ධ දේශපාලන පළිගැනීමක් ලෙස ඒඩී ආරියදාස මෙම ප්‍රහාරය හඳුන්වයි. ‘මේ මැතිවරණයත් එක්ක ඒගොල්ලෝ වියරු වැටිලා ඉන්නේ. ඒගොල්ලන්ට ජනතාව ජනවාරි අට වෙනිදාට නිසි පිළිතුරු ලබා දෙයි’ යනුවෙන් ඒඩී ආරියදාස පැවසුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත සමග අදහස් දක්වමින්. 'වියරුවක්' අඟහරුවාදා අලුයම දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවය නිම වී සිය නිවස කරා යමින් සිටියදී තමාගෙන් ප්‍රශ්න කළ විශේෂ කාර්ය බලකායේ යැයි කියා ගත් පිරිස තමාට අමානුෂික ලෙස පහර දුන් බවයි ඒඩී ආරියදාස කියා සිටියේ. ‘මට පිස්තෝලයක් පෙන්නලා කිව්වා අපි ‘එස්ටීඑෆ්’ එකෙන් කියලා. ඒ කියනවත් එක්කම පිටිපස්සේ හිටපු අනික් කට්ටිය පොලු වලින් ගහන්න ගත්තා. සිවිල් හිටියේ. හය දෙනෙක් විතර හිටියා’ යනුවෙන් ඔහු පැවසීය. පහර කෑම හේතුවෙන් ඒඩී ආරියදාසගේ අතේ අස්ථියක් බිදී ඇති අතර ඔහු මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
පොදු ප්‍රවාහන සේවාවලදී සහ මහ මගදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව පුරා බොහෝ රටවල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
"පිරිමි කට්ටියක් බස් එකට නැග්ගා ඉන් එක්කෙනෙක් මා දිහා බලාගෙනම හිටියා පස්සේ මා ගාව වාඩි වුනා" ඊට වැට බැඳීම සඳහා ලොව පුරා රටවල් විවිධ ක්‍රමවේද අත්හදා බලමින් සිටිති. කාන්තාවන්ට හිරිහැර කරන පුරුෂයන් ලැජ්ජාවට පත්කරනු පිණිස බ්‍රසීලයේ දුම්රියක පසුගියදා ලිඟු ආසනයක් ද සවිකර තිබුණි. බ්‍රිතාන්‍යයේ ද පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව බලධාරීහු පවසති. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඡායාරූප ශිල්පිනී එලීසා හැච් මහමග දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අත්දැකීම් වාර්තාකරණයේ යෙදෙන්නීය. 'Cheer Up Luv' කාන්තා ලිංගික හිංසනය කැමරා ඇසින් ඇය එවැනි අත්දැකීම් සහිත කාන්තාවන් සිය කැමරා කාචයට හසු කර ගන්නේ 'Cheer Up Luv' නමැති ඡායාරූප මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රබල ව්‍යාපෘතිය සඳහාය. එම ව්‍යාපෘතිය ඔස්සේ තරුණියෝ මහමග දී තමන්ට මුහුණ පෑමට සිදු වූ අත්දැකීම් විස්තර කරති. 2102-13 වසරවලදී 650 ක්ව තිබුණු බ්‍රිතාන්‍ය පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර 2016-17 වන විට 1448 ක් දක්වා වැඩි වී තිබුණු බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ (British Transport Police) සංඛ්‍යාලේඛනවල දැක්වේ. සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට පසුගියදා විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනා කර තිබුණු නමුත් බොහෝ දෙනා ඒ අදහස ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලංකාවේ තත්ත්වය බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් විය ශ්‍රී ලංකාවේ ද කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිවේදනය කළේය. එහෙත් ඒ අතරින් පොලිසියේ සහාය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කළේය. මේ තත්වය යටතේ 'ඇය සුරැකි ගමනකද' මැයෙන් පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අවම කිරීමේ වැඩපිළිවෙලක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නගා තිබේ. පොදු ප්‍රවාහන සේවාවලදීත්, මහා මගදීත්, වැඩපොළේදීත් තමන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද අනාවරණය කළහ.
ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුස්මා ස්වරාජ් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. එල්.පීරිස් අතර කරුණු ගණනාවක් ඔස්සේ සාකච්ජා පැවැත්වුන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ දෙරට අතර වෙළෙදාම, ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන ඇතුළු කරුණු ගණනාවක්ම සාකච්ඡාවට ලක්වූ බවයි. ආයෝජන ශ්‍රී ලංකාව හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ඩොලර් කෝටි සියයක ආයෝජන ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවත් ඔහු පැවසුවේය. එසේම ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ඊට සමාන වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡා කළ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ. වගවීම් සොයා බැලීම සහ සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාතික මට්ටමින් ගන්නා උත්සාහයන් ගැනද සාකච්ඡා කළ බව ඔහු පැවසුවේය. මානව හිමිකම් මානව හිමිකම් කඩවීම් පිලිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති නිසා ඒ ගැන සාකච්ඡා කළේද යන ප්‍රශ්නය යොමු කළ විට අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ ඉන්දියාවේ ස්ථාවරයේ වෙනසක් නැති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකී සිටි බව ඔහු සිහිපත් කළේය. ජාත්‍යන්තර සංවිධාන මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ රටවල් සමඟ සහයෝගයෙන් ඒවා විසඳිය යුතු බවත් දඬුවම් පැමිණවීමේ අදහසින් එම ක්‍රියාවලිය සිදු නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය. ධීවර ප්‍රශ්නය අත් අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාව කඩිනම් පියවර ගැනීම පැසසුමට ලක්වූ බවයි, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කලේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ. ඊට අදාළ ගැටලු විසඳා ගැනීමට දෙරට දිගටම සාකච්ඡා පවත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ලෝක උරුම සිංහරාජ රක්ෂිතය ආශ්‍රිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූයේ නම් ඒ බව සඳහන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන මෙන් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටිති.
ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ, වාරිමාර්ග ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවය වෙත බ්‍රහස්පතින්දා (මාර්තු 25) කළ ප්‍රකාශයත් සමගය. "අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කලා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ," යනුවෙන් ආචාර්ය මීගස්වත්ත එහිදී සඳහන් කළේය. ගිං ගඟ හරස් කර, ඉදිකිරීමට නියමිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය වෙනුවට, වෙනත් විකල්ප මාර්ගයක් සෙවීමට ඇමතිවරයා එහිදී වාරිමාර්ග ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු පැවසීය. චීන සමාගමක සැලසුම් මත ක්‍රියාත්මක වීමට නියමිත අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට අයත් හෙක්ටයාර 5 ක භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වෙතැයි ඇස්තමේන්තු කෙරේ. එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය ආසන්නයේ පිහිටි ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීමත් සමග එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය. ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් සහ වාරිමාර්ග ඇමතිවරයා අතර ඉහත කී සාකච්ඡාව සිදු වූයේ යෝජිත ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය වෙත ඉල්ලීම් සහ පෙත්සම් ඉදිරිපත් වෙමින් පවතින අතරතුරදීය. පසුගිය වසරේ, මතභේදයට තුඩු දුන් සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීමේ දී ද යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරන පරිසරවේදීහු මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම නියෝජිතයන් සිදු කරන ප්‍රකාශයන්හි විශ්වසනීයත්වය ප්‍රශ්න කරති. "මහ ඈතකට යන්නේ නැතුව 2020 අවුරුද්දේ, ලංකාගම මාර්ගය හදන විටත් යුනෙස්කෝ ලංකාවේ කාර්යාලය එවැනි ප්‍රකාශ සිදු කළා," යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත පැවසීය. එබැවින්, මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට, වාරිමාර්ග අමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇත්නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී. "වන සත්ත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව රක්ෂිතයක, අභය භූමියක කිලෝමීටරයක් යන තුරු කිසිම ඉදිකිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නීතිය පදනම් කරගෙන යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයට පුළුවන් ලෝක උරුම රක්ෂිතයේ මායිමට හෝ අභ්‍යන්තරයට යම් හානියක් වෙන්නේ නම්, එවැනි ව්‍යාපෘතියක් සිදු නොවන බව ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්න," "ඒ ලියුම අරගෙන, ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයේ එකඟතාව මෙය බව පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට දැනුම් දී, සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කිරීමේ කාර්යයට එකතු වෙන්න, එවිට අපි සියලු දෙනාටම හැකි වෙනවා," යනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය. යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට ලක්ව ක්‍රියා කරන බවට පසුගිය කාලය පුරා, පරිසරවේදීන් සහ පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා නියෝජිතයින් නිසි මැදිහත්වීමක් සිදු නොකරන බැවින් තමන්ට පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. අදාළ ජලාශ ව්‍යාපෘති සඳහා අවසර ලබා දීමට ඇති හැකියාව පිළිබඳ විමසමින් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය (ලෝක උරුම කමිටුවට) වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසිය වෙත තහවුරු කළේය. 'කිව්වට බෑ, ලිඛිතව දෙන්න' - පරිසරවේදීන් යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන්ගෙන් ඉල්ලයි පසුබිම් කතාව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ "සුරකිමු ගංගා" වැඩසටහනට අදාළ සංචාරයක් අතරතුර ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජලාශ දෙකක් ඉදි කිරීම සඳහා වූ සැලසුම පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගියදා වීරකැටියේ පැවති උත්සවයකදී අදහස් පළ කිරීමත් සමග, ඒ හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට සහ එහි පරිසර පද්ධතියට විය හැකි බලපෑම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය. තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ඇතුළු හම්බන්තොට ප්‍රදේශය වෙත ජලය ලබා දීම සඳහා එවක මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ගෙන ආ අදාළ වාරිමාර්ග ව්‍යාපෘතිය සඳහා සැලසුම් සකස් කිරීමේ කාර්යය චීන සමාගමකට භාර කෙරුණු බවත් ඇමතිවරයා සඳහන් කර තිබිණි. "නමුත් පහුගිය අවුරුදු පහේ මේ වැඩේ නැවතුණා. අපි ඒ සමාගමට යම් කිසි මුදලකුත් දී තිබුණා මේ වැඩ ටික කරන්න. නමුත් අපි එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තිබෙනවා. අපි කුඩා වැව් දෙකක් උඩහා බඳින්න වෙනවා. ඒක බඳින්න තියෙන්නේ සිංහරාජ වනාන්තරය ඇතුළේ. එක වැවක් අක්කර පහක් විතර. මේ වගේ වැව් දෙකක් බඳින කොට කැලේ යට වෙනවා," "එතකොට සිංහරාජ කලාපය අධි ආරක්‍ෂිත කලාපයක්. ඇතුල් වෙන්න තියා ගහක් කොලක ඇටයක් ඇහිඳ ගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අපි ඒ අයත් එක්ක කතා කරනවා අපිට මේ වැව හදාගන්න ඉඩ දෙන්න... එතන අක්කර පහ වෙනුවට අපි තව අක්කර පනහක්, හැටක්, සීයක් වනාන්තරය වගා කරලා දෙන්නම් කියන පොරොන්දුව උඩ," යනුවෙන් චමල් රාජපක්ෂ ඇමතිවරයා ඉහත කී උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වන අයුරු මාධ්‍ය වාර්තාවල දැක්විණි. පසුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, යුනෙස්කෝ අවසරය ඇතිව නිසි අධ්‍යයනයකින් පසු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය. පසුගිය ආණ්ඩු සමය සිංහරාජ පිවිසුම් මග ඇති දැන්වීම් පුවරුවක් ගිං සහ නිල්වලා ගංගාවන්හි සමස්ත ජල ධාරිතාවෙන් 80% ක් පමණ කිසිඳු ප්‍රයෝජනයකට නොගෙන ඉන්දීය සාගරයට යොමු වන බැවින්, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක අයත් ගිණිකොන දිග ශුෂ්ක වියලි කලාපයේ ජීවත්වෙන ලක්ෂ ගණනක් වූ ග්‍රාමීය ජනතාව මුහුණ දෙමින් සිටින අතිශය උග්‍ර පානීය සහ වාරි ජල අවශ්‍යතාව මෙන්ම එම දිස්ත්‍රික්කයන්හි ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කර්මාන්ත සහ සේවා අංශවල ජල අවශ්‍යතා සපුරාලනු පිණිස දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයන පදනම්ව අදාළ ව්‍යාපෘති යෝජනාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සම්පාදනය සඳහා සිය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව සිකුරාදා (මාර්තු 26) වාරිමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 2009 වසරේ සැලසුම් කරන ලද යෝජිත ගිං නිල්වලා ව්‍යාපෘතිය මගින් ස්ථාපනය කිරීමට යෝජිත ජලාශ: වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායකගේ අත්සනින් නිකුත් කරන ලද ඉහත කී නිවේදනයේ දැක්වෙන පරිදි මතභේදයට තුඩු දී ඇති යෝජිත මාදුගැටේ ජලාශයේ භූ විද්‍යා සමීක්ෂණ අධ්‍යයනය සහ පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ පැවති මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩු සමයේදීය. වාරිමාර්ග අමාත්‍යංශයේ වාර්තා අනුව යෝජිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ආශ්‍රිතව වසර 2009 සිට මේ දක්වා සිදු කර ඇති සාකච්ඡා, පර්යේෂණ, අධ්‍යයන සහ ගවේෂණ පහත දැක්වෙන අයුරින් පෙළ ගැසී ඇත. මේ ගැනත් කියවන්න:
ජර්මනියේ බර්ලින් අගනුවර නත්තල් වෙළඳපොළක් තුළට ට්‍රක් රථයක් පදවනු ලැබීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැක කොට පරීක්ෂණ පවත්වන බව එරට පොලිසිය පවසයි.
අනතුරින් එහි සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් වී තවත් හතළිස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ වෙළඳපොළ තුළ සිටි සාමාන්‍ය වැසියන් දෙසට සිතා මතාම ට්‍රක් රථය පදවා ඇති බවය. අනතුරින් එහි සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් වී තවත් හතළිස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති. ට්‍රක් රථයේ රියදුරු වශයෙන් සැක කෙරෙන පුද්ගලයෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටියි. ඔහු ඇෆ්ගනිස්තානයේ හෝ පාකිස්තානයේ සිට දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි සරණාගතයෙකු බවත් වාර්තා වේ. පෝලන්තයේ ලියා පදිංචි කරන ලද අංක තහඩු සහිත ට්‍රක් රථයේ මගී ආසනයේ සිටි පෝලන්ත ජාතිකයෙකු ද තුවාල ලැබීම හේතුවෙන් මරුමුවට පත් වී තිබේ. ට්‍රක් රථයේ වේගය අඩු නොකොට බර්ලින් නගර මධ්‍යයේ පිහිටි කාර්යබහුල වෙළඳපොළ වෙත ධාවනය වූ බව ඇසින් දුටුවෙක් කියා සිටියේය.
ඔස්ට්‍රේලියාවට ඇතුල්වීම සඳහා සරණාගතයන් ලිංගික අපයෝජන සිදුවූයේ යැයි බොරු කියන බවත් හිතා මතාම තමන්ට හානි සිදුකර ගන්නා බවත් එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා පවසයි.
ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිලිබඳ අමාත්‍ය පීටර් ඩටන් පවසන්නේ සරණාගතයන් පිළිබඳව නිකුත් වී යයි කියන රහසිගත වාර්තා වල සඳහන් සිදුවීම නිර්මාණය කල ඒවා බවයි පීටර් ඩටන් මේ බව පැවසුවේ නාවුරු රැඳවුම් කඳවුරේ සිදුවීයි කියන අපචාර වලට අදාළ ලිපිගොණු දෙදහසක් හමුවී ඇති බවට වාර්තා පලවී දිනකට පසුවයි. මෙම 'නාවුරු ලිපිගොණු' වලින් අනාවරණය වන්නේ ලිංගික අපයෝජනයට ලක්වූ රැඳවියන් තමන්ටම හානි සිදුකරගැනීම් සහ එම කඳවුරු තුළ පවතින අතිශය දුර්වල ජීවන තත්වය පිලිබඳ චෝදනාවන්ය. එම ලිපිගොණු එළිදැක්වීම ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් පිලිබඳ ප්‍රතිපත්ති යළි සලකාබැලීමට ඉල්ලීම් කිරීමක් බඳු විය. 'ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්' ආයතනය විසින් ගන්නා ලද නාවුරු කඳවුරේ ඇතුළත ඡායාරූපයක් ගාර්ඩියන් පුවත්පත මගින් අන්තර්ජාල යොමුවක් ඔස්සේ පලකළ සමස්ථ 'නාවුරු ලිපිගොණු' අතර 2013 වසරේ සිට 2015 වසර දක්වා නාවුරු රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් ලියන ලද වාර්තා ද ඇතුළත්ව තිබුණි. එහෙත් ආගමන කටයුතු අමාත්‍ය ඩටන් එම ලිපිගොණු නොසලකා හැර තිබුණේ ඒවායේ සඳහන් චෝදනා වලින් බොහොමයක් පිළිබඳව කලින් වාර්තාවී ඇති බව පවසමින්. 'මොනවහරි ලිංගික අපයෝජනයක් සිදුවෙලා තියනවනම් මම ඒක නොසලකා ඉන්නේ නැහැ. එත් මට දැනගන්න ලැබිල තියනව වාර්තා කරල තියන ලිංගික අපයෝජන පිලිබඳ ඇතැම් සිදුවීම් බොරු චෝදනා කියල. මොකද ඇතැමුන්ට කොහොම හරි අපේ රටට ඇතුල්වෙන්න ඕන වුණු නිසා ජාවාරම් කරුවන්ට මුදල් දීලයි ඇවිත් තියෙන්නේ' යනුවෙන් ඔහු පැවසුවේ 2GB Radio නම් ගුවන් විදුලි සේවයකට අදහස් දක්වමින්. ලෝකයේ කුඩාම රාජ්‍යය වන නාවුරු තුළයි ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් රඳවා තැබෙන්නේ. 'සමහර මිනිස්සු තමන්ටම හානි සිදුකරගන්න උත්සාහ කරලා තියනව, තවත් සමහරු සිරුරට ගිනි තබාගෙන පවා උත්සාහ කරන්නෙ ඔස්ට්‍රේලියාවට එන්න. නිසැකවම සමහර අය බොරු චෝදනා ඉදිරිපත් කරමින් රට ඇතුලට එන්න උත්සාහ කරලා තියනව' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර රටින් පිටත පිහිටා ඇති රැඳවුම් කඳවුරු පිළිබඳව කොමිසමක් පත්කරන ලෙස හරිත පක්ෂයෙන් කරන ඉල්ලීමට අගමැති මැල්කම් ටර්න්බුල් විරෝධතාවය දක්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන ගිලියන් ට්‍රිග්ස් ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සේවයට ප්‍රකාශ කළේ සරණාගතයන් නාවුරු කඳවුරේ රඳවා තැබීම නීති විරෝධී සහ සදාචාර සම්පන්න නොවන, කල් නොපවතින ක්‍රියාවක් බවයි. 'නාවුරු ලිපිගොණු' වලින් වැඩි ප්‍රමාණයක් කඳවුර තුළ සිදුවීම් පිලිබඳ වෘත්තීයවේදීන් විසින් සිදුකළ වාර්තා වන බවයි ඇය පැවසුවේ.
ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකය මගින් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද පියවර ගන්නා බව පොලිසිය පවසයි.
රට අවුරුදු තිහක යුද්ධයක් තිබුන රටක්, නැවත එවැනි ගැටළු ඇතිවෙනවා නම් ඒවා වලක්වා ගැනීම තමයි අපේ අරමුණ' පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව කියා සිටියේ, ආගමික කටයුතු අමාත්‍යංශය පරිශ්‍රයේ සඳුදා පිහිටවන ලද ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකයේ අරමුණ පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ මෙම ඒකකයට තවත් නිලධාරීන් දාහත් දෙනකු යෙදවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ආගමික ගැටුම් සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙන්ම කිසියම් ප්‍රාදේශීය පොලිසියක් ආගමික ගැටුම් සම්බන්ධ නිසි පියවර නොගන්නේ නම් ඒ පිළිබඳව කටයුතු කිරීමත් මෙම ඒකකයට අයත් රාජකාරි අතර වේ. බොදු බල සේනා ශ්‍රී ලංකාවේ 'බහුවාර්ගික සමාජයේ විවිධ ජනකොටස්වල සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් පුහුණුවක්' විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේට සහ ශ්‍රී ලංකාවේ සුළුතර ආගමික කණ්ඩායම් ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර සහ තර්ජන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බව පොලිසියට එල්ල වන ප්‍රධාන චෝදනාවක්. "ඔවු ඇත්ත වශයෙන්ම එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව පවා විමසීමට තමයි, මෙම විශේෂ ඒකකය ස්ථාපිත කරලා තියෙන්නේ," යන්න එම චෝදනාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගේ ප්‍රතිචාරයයි. ළමා සහ කාන්තා හිංසන සම්බන්ධයෙන් 2013 දී පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 16,000 කට අධිකයි. පුරා විද්‍යා කොල්ලකෑම් සම්බන්ධයෙන් දෙදහසකට ආසන්න පැමිණි සංඛ්‍යාවක් පොලිස් පුරාවිද්‍යා අංශයට ලැබී තිබේ. මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් පොලිස් සමූහ මංකොල්ලකෑම් අංශයට ලැබී තිබෙන පැමිණි සංඛ්‍යාවද දෙදහසකට ආසන්න වේ. 'බහුවාර්ගික සමාජයක්' මෙවන් වාතාවරණයක් තුල ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමේ අරමුණ දහස් ගණන් ආගමික ගැටුම් වාර්තාවීමදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකවරයා කියා සිටියේ, දැනටමත් විශේෂිත කාර්යයන් වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුල ඒකක පනස් දෙකක් තිබෙන බැවින් ආගමික සංහිඳියාව සහ සජ්හජීවනය වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවා 'කැපවී ක්‍රියාකිරීමට' පොලිසිය පසුබට නොවන බවයි. "බරපතල ගැටළු තියනවට වඩා, මේ රට අවුරුදු තිහක යුද්ධයක් තිබුන රටක්, නැවත එවැනි ගැටළු ඇතිවෙනවා නම් ඒවා වලක්වා ගැනීම තමයි අපේ අරමුණ," යනුවෙන්ද පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය. මුස්ලිම් සහ දෙමළ නිලධාරීන්ද මෙම ඒකකයට අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන අතර, සිංහල සහ දෙමළ භාෂාවන් මෙන්ම ශ්‍රී ලංකාවේ 'බහුවාර්ගික සමාජයේ' විවිධ ජනකොටස්වල සම්ප්‍රදායයන් සහ චාරිත්‍ර සම්බන්ධයෙන් එම නිලධාරීන් පිරිසට පුහුණුවක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.
උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කරමින් පළාත්වලට බලය විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම් සෙවීමේ මූලික පදනම විය යුතු බව දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.
දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ මූලික පදනමක් බව දෙජාස පවසයි දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් ඒ බව කියා සිටියේ, උතුරු පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන පළාත් සභා හරහා ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට සැරසෙන බවට ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සිය පක්ෂයට කරන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්. "උතුරු නැගෙනහිර ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි 13 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ ආකාරයට තමයි ඒකාබද්ධ කරන්න ඕනේ. ඒකට නැගෙනහිර පළාතේ ජීවත්වෙන අයත් ඒගොල්ලන්ගේ කැමැත්ත පළ කරන්න ඕනේ," බවයි මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ අභිප්‍රායයක් සිය පක්ෂයට නොමැති බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, එක්සත් රාජ්‍යයක් තුල බලය බෙදා ගනිමින් සමගිව ජීවත්වීම සිය පක්ෂයේ උත්සාහය බව ද සඳහන් කළේය. 'ආණ්ඩුව කැමති නෑ' වසර 25 ක් මුළුල්ලේ පළාත් සභා ක්‍රියාත්මක වූ රටක උතුරු පළාත් සභා මැතිවරණය මුව විටේදී පළාත් සභාවලට එරෙහිව එක්වරම උද්ඝෝෂණයක් මතුවීම පිළිබඳව ඔහු විමතිය පළ කළේය. "මේකෙන් හෙලිවෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාවට බලය බෙදීමට අකමැතියි කියන එක," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. 2011 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුව සමඟ 18 වතාවක් තම පක්ෂය සාකච්ඡා පැවැත් වූ බව පවසන සුමන්දිරන් මන්ත්‍රීවරයා, එම සාකච්ඡාවේ එකඟතාවයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුව කඩ කළේ තම පක්ෂය නොව ආණ්ඩුව බව ද අවධාරණය කරයි. එම පොරොන්දුව ඉටු කළේ නම්, තේරීම් කාරක සභාවට සහභාගි වීමට පවා සිය පක්ෂය සූදානමින් සිටි බව ද මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය. "අපිට විතරක් නෙවෙයි, ඉන්දියාවට, ජාත්‍යන්තර ප්‍රජාවට දීපු පොරොන්දු සේරම කඩ කරලා ආණ්ඩුව දැන් දහ තුන් වැනි සංශෝධනයත් අයින් කරගන්න යන්නේ," ඔහු පැවසීය. මේ තත්වය යටතේ ජාතික ප්‍රශනය විසඳීම සම්බන්ධ තේරීම් කාරක සභාවට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබේ. දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුව සහ දෙජාස අතර සංවාදයක් ඇති කිරීමේ උත්සාහය පිළිබඳව විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය "හැම අවස්ථාවේම" සූදානම් බවයි.
ජන ජීවිතයට බලපා ඇති අපහසුතා පිළිබඳ අවධානය යොමු කොට සහන සැලසීමේ අරමුණින් නැවතත් වැට් බදු සංශෝධනයක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බදාදා ගිරාඳුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ පැවති වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ත්‍රික් ජාතික වැඩසටහනට එක් වෙමිනි. රාජ්‍ය නිලධාරියන්ගේ වාහන බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ අහිමි වූ වරප්‍රසාදය නැවත ලබා දීමට මේ වන විට චක්‍රලේඛ නිකුත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. දැනට සිටින මහ බැංකු අධිපතිවරාගේ නිල කාලය හෙට (30) අවසන් වන බැවින්, ඉදිරි පැය කීපය තුළ නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. බරපතළ සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය, නිවාරණය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන වසර වන විට සම්පූර්ණයෙන් අවසන් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය. ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවට අනාවරණය වීමත් සමග ග්ලයිෆොසේට් වල් නාශකය ගෙන්වීම රජය තහනම් කළ අතර ඒ වෙනුවෙන් ගෙන්වන විකල්ප වල් නාශකය පිළිබඳවද මේ වන විට පර්යේෂණ සිදු කරමින් පවතින බවත් එම වල් නාශකය ද භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින්නේ නම් එය ගෙන්වීමද වහාම නැවැත්වීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය නමක් පර්සි අබේසේකර.
ක්‍රීඩා දිරිගන්වන්නකු ලෙස පිටිය වටා දිව ගිය පර්සි අබේසේකර අද (30) අසූ වැනි වියට පා තබයි. කොපමණ වයස් ගත වුවත් රට වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිරි ගැන්වීමේ නිරත වන බව පර්සි අබේසේකර කියා සිටියේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි. 'මම කොච්චර වයසට ගියත්, අවසානය දක්වා ලංකාව වෙනුවෙන් චියර් කරනවා. මේ ආත්මේ පමණක් නෙවෙයි, ලබන ආත්මෙත්' ඔහු සඳහන් කළේය. (පර්සි අබේරත්න සමග පැවැත්වූ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)
පාසැලේ පැවති උත්සවයක් සඳහා ඇඩොල්ෆ් හිට්ලර් සේ වෙස් ගෙන පැමිණි සිසුවාට 'හොඳම ඇඳුම ඇඳි සිසුවා' ට හිමි සම්මානය ලබා දීම පිළිබඳව ඕස්ට්‍රේලියානු පාසැලක් කණගාටුව පළකරයි.
පාසලේ පැවති උත්සවයක් සඳහා හිට්ලර් ගේ වෙස් ගැනීමට මෙම ඕස්ට්‍රේලියානු සිසුවාට අවස්තාව උදාවිය මේ පිළිබඳව හෙළිවූයේ බදාදා ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින් නගරයේ සාන්ත පිලිප් පෞද්ගලික පාසැලේ දීය. හුවමාරු සිසුන් ලෙස පාසැලේ ඉගෙනීම ලබන යුදෙව් ජාතික සිසුන් ගෙන් පාසැල් බලධාරීහු මේ පිළිබඳව සමාව ඉල්ලා සිටියහ. නාසි ආක්‍රමණිකයා වෙසින් සැරසී පැමිණීමට පාසැලේ 'කාගේත් ගෞරවයට පත්ව සිටින' ගුරුවරියක විසින් සිසුවාට අවසර දී තිබුණු බව විදුහල්පතිවරයා සනාථ කළේය. 'කාර්යබහුල වෙලාවක මේ ශිෂ්‍යයා ගිහිං 'කාගේත් ගෞරවයට පත්ව සිටින' ඒ ගුරුවරියගෙන් අහල තියනව මෙහෙම ඇඳගෙන ආවට කමක් නැද්ද කියල, ඇය කියල තියනව කමක් නැහැ කියල' යනුවෙනුයි විදුහල්පති රොජර් හර්බර්ට් ඕස්ට්‍රේලියානු රුපවාහිනියට පැවසුවේ. දැන් එම ගුරුවරිය එසේ කීම පිළිබඳව ඉතාමත්ම අපහසුතාවට පත්වී ඇති බවයි ඔහු පැවසුවේ. පසුගිය මාසයේ බටහිර ඕස්ට්‍රේලියාවේ මවක් චෝදනාවට ලක්වූයේ තම පුතුගේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයාට ගෞරව පිණිස පුතුගේ සමේ පැහැය කළු පැහැයෙන් පාටකර පාසලට එවීම හේතුවෙන්.
නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන අද (අගෝස්තු 15) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුණි.
ජනාධිපති නීතිඥයකු වන අමාත්‍ය තිලක් මාරපන අලුතින් භාර ගත් විදේශ අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන කාර්යභාර අමාත්‍ය ධුරය ද හොබවයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි තිලක් මාරපන කලක් වත්මන් ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. නමුත් ඔහුට එම ධුරයේ කටයුතු කිරීමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. තිලක් මාරපනට එලෙස සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ ඔහු කලක් නීති උපදෙස් ලබා දුන් ඇවන්ගාඩ් සමාගමට පක්ෂපාතීව අදහස් පළ කළ බවට විවේචන එල්ල වීමේ තත්ත්වය හේතුවෙනි. එම සමාගම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණවලට එම ධුරය හරහා බාධාවක් සිදු වෙතැයි ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර මතු වී තිබූ සැකය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඔහුට ඉල්ලා අස් වීමට සිදු විය. ජවිපෙන් ඉල්ලීමක් බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කර ගනිමින්, විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක සිය ධුරයෙන් ඉල්ලා අස්විය පසුව මෑත සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ඔහුට සංවර්ධන කාර්යභාර නමැති නව ඇමති ධුරයක් හිමි විය. ඇවන්ගාඩ් සමාගම මුල් කර ගනිමින් ඇමති ධුරයෙන් ඉවත් වීමට සිදු වූ තිලක් මාරපනට විදේශ ඇමති ධුරය ලබා නොදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ.
මෙය "විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්" ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත. රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත. මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කරති. අප සියලු දෙනාගේ ජීවිත මත පැටවී ඇති බාධක ඉවත් කිරීමේ හොඳම මග - සාර්ථක ප්‍රතිකාර එක්ව යන - එන්නතක් බව හඳුනාගෙන තිබේ. එන්නත් දුසිමක් පමණ ඒවායෙහි අවසන් අදියරවල අත්හදාබැලීමෙහි යොදවා ඇති අතර ඉන් පළමු වරට සාර්ථක ප්‍රතිඵලයක් අත්කර දී ඇත්තේ මෙම එන්නත ය. මෙය සම්පූර්ණයෙන් ම පර්යේෂණමය ප්‍රවේශයක් - වෛරසයේ ජානමය කේතයේ කොටසක් එන්නත් කිරීමද ඇතුළත් - වන අතර එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම අපේක්ෂා කෙරේ. අතරමැදි සති තුනක විරාමයක් අවශ්‍ය කෙරෙන මාත්‍රා දෙකක් මින් ලබා දේ. එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදී දින 7 ක් ගෙවී ගිය තැන 90% තරම් ආරක්ෂාවක් ළඟා කරගත හැකි වූ බව එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනා, දකුණු අප්‍රිකාව හා තුර්කිය යන රටවල කරන ලද පරීක්ෂණවලදී පෙන්වා ඇත. මෙම වසර අවසානය වනවිට මාත්‍රා මිලියන 50ක් සැපයීමට හැකිවනු ඇති අතර වසර 2021 අවසානය වනවිට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයිය හැකි බවට විශ්වාසය Pfizer පළ කරයි. කෙසේවෙතත්, සෙල්සියස් සෘණ 80 ට පහළින් වූ අධි ශීත තත්ත්වයක එන්නත රඳවා ගත යුතු බැවින්, එන්නත සැපයීමේ අභියෝග මතු කළ හැකිය. ප්‍රතිශක්තිකරණය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන් ද ගැටලු පවතී. "මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදය අවසානය කරා ගෙන ඒමට සහය විය හැකි, වඩා අවශ්‍යව තිබූ සොයා ගැනීම ලොව පුරා ජනතාව වෙත සම්පාදනය කිරීමේ ඉතා සුවිශේෂී ආසන්න පියවරට අප ළඟා වී සිටිනවා" යැයි Pfizer හි සභාපති ආචාර්ය ඇල්බර්ට් බොර්ලා පැවසීය. BioNTech හි සමාරම්භකයෙකුවන මහාචාර්ය උගුර් සහීන් මෙම ප්‍රතිඵලය පෙන්වා දුන්නේ "සන්ධිස්ථානයක්" ලෙසිනි. එක්සත් රාජධානිය මේවන විට මාත්‍රා මිලියන 30 ක් ඇණවුම් කර තිබේ. එන්නත 'සහයක් පමණයි' කොරෝනාවෛරසයට එරෙහිව එන්නත් අත්හදාබැලීමක් බිළිබඳ බලාපොරොත්තු සහගත ලකුණු පළවීම විශිෂ්ඨ පුවතක් වුව ද එය තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කිරීමක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙක් අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ්-19 පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නබාරෝ පෙන්වා දෙන්නේ එන්නතක් පැවතියේ වුව ද, වෛරසයේ පැතිරීම පමා කිරීමට සහයක් වූ චර්යා තවදුරටත් පවත්වාගැනීමට ජනතාව හා ආණ්ඩු ක්‍රියා කිරීම ඉතා වැදගත් බවය. "ලබන මාසයේදී එන්නතක් ආවත්, අප පවත්වාගත් මෙම මූලධර්ම නිසැකවම අවශ්‍ය වන බව මම අවධාරණය කරන්න ඕනෑ" යැයි ඔහු සඳහන් කරයි. "එනනතකින් සහයක් ලැබෙන නමුත් එය සම්පූර්ණයෙන් තත්ත්වය වෙනස් කරන්නක් නොවෙයි." නියාමන ක්‍රියාපිළිවෙත් හරහා එන්නත සළකා බැලිය යුතු යැයි කී ඔහු එය "ආරක්ෂාකාරී හා ඵලදායි" යැයි කීමට බලධාරීන්ට හැකිවීමට පෙර "පියවර ගණනාවක්" ඇති අතර ඒ සඳහා අවම වශයෙන් "මාස කිහිපයක්" ගතවනු ඇති බවට ද වෛද්‍ය නබාරෝ පුරෝකථනය කරයි. මෙම තොරතුරු ද දැනගන්න:
උතුරේ සහ නැගෙනහිර ජනතාව සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ මාවතක් කරා යොමු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ, සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය වෙනුවෙන් මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන ඊ පී ඩී පී සංවිධානයේ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාපතිවරයා ඝාතනය කිරීමේ සිදුවීම් ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් සිදුවුනේ කුමක් ද යන්න තාමත් දැනගන්නට නැති බවත් මේ සිදුවීම් ජාතික සමගියට බාධාවක් වන බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය. මෙය හමුදා සුපරීක්ෂණය යටතේ පවතින ප්‍රදේශයක මහ දවල් සිදුවූ මිනීමැරීමක් වන අතර විනිවිද පෙනෙන ක්‍රියාමාර්ගයක් අනුගමනය කොට වැරදිකරුවන් නීතිය හමුවට කැඳවීම ආණ්ඩුවේ වගකීමක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුනේය. යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ කෝවිල් සහ පාසැල් කඩා ඉවත් කිරීම අනුමත නොකළ හැකි බවත් සියළුම ජාතීන් තමන්ගේ අනන්‍යතාවට ගරු කිරීම අපේක්ෂා කරන බවත් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ අධි ආරක්‍ෂිත කලාප වැඩපිළිවෙළ ද මන්ත්‍රීවරයාගේ දෝෂ දර්ශනයට ලක්වූ අතර ජනතාවගේ ඉඩම් හමුදාව විසින් කොටු කර ගැනීම ජාත්‍යන්තර බලපෑම් වලට මග පාදන බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
පිහි, පොලු මුගුරු සහ වෙනත් අවිවලින් සන්නද්ධව පැමිණි කලහකාරී පිරිසක් විසින් උතුරු දිග මියන්මාරයේ මුස්ලිම් පල්ලියක් සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇත.
ප්‍රහාරකයන් විසින් පල්ලිය ගිනි බත් කොට බිමට සමතලා කොට ඇති බවයි වාර්තා වන්නේ ප්‍රහාරකයන් විසින් පල්ලිය ගිනි බත් කොට බිමට සමතලා කර ඇති බවයි වාර්තා වන්නේ. කචින් ප්‍රාන්තයේ පිහිටි ඉහත කී පල්ලියට එල්ල වූ ප්‍රහාරයට සමාන ප්‍රහාරයකට මධ්‍යම මියන්මාරයේ පිහිටි තවත් පල්ලියක් පසුගිය සතියේදී ගොදුරු විය. මියන්මාරය තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය සහ වෙනත් ආගම් සහ ඇදහිලි නොඉවසීමේ තත්වය එහි සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජිතයාගේ අවධානයට ලක් වී තිබේ. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත යැන්ගී ලී, අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුත් මියන්මාර් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මුස්ලිම් ප්‍රජාවන් ඉලක්ක කොට සිදු කෙරෙන ආයතන ගත නොසලකා හැරීම් අවසානයක් කරා ගෙන ඒමට මූලිකත්වය ලබා දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවිය පිවිසීමට නොහැකි වන සේ වාරණය කර ඇතැයි පවසමින් එය දැඩි ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම වාරණය වහාම ඉවත් කරන මෙන් ආණ්ඩුවට බල කරති.
"මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නක්" බව සිය නිවේදනයේ සඳහන් කරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, වෙබ් අඩවිය වාරණය කර තිබෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් හෙළි වී ඇති බවත් කියා සිටියි. "එම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ,ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයක්," වන බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කරමින් එම වෙබ් අඩවියට එරෙහිව බලධාරීන් විසින් "නිල නොවන වාරණයක්" පනවා ඇති බවක් පෙනී යන බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට උත්සාහ කළ නමුත් ප‍්‍රතිචාරයක් නොලැබුණ බව ද සඳහන් කරයි. ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර "ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ. සබැඳි යොමු: එබැවින් ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය මතය හෙළි කළ යුතු යයි අවධාරණය කරන ජනමාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකරන සංවිධාන වැඩිදුරටත් පවසන්නේ, බලධාරීන්ගේ නිහඬතාව මගින් එල්ල වෙමින් පවතින චෝදනාවලට තවදුරටත් පිළිගැනීමක් ලැබී ඇති බවය. එල්ල වෙමින් පවතින චෝදනාව සත්‍යයක් නම් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරය මගින් රජය පෙන්නුම් කර ඇත්තේ වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද ඉදිරියේ දී අත්තනෝමතික ලෙස ක‍්‍රියා කිරීමට ඔවුන් තුළ ඇති සූදානම බවත් ඉහත කී ආයතන කියා සිටිති. මාධ්‍යවේදීන්ට පහරදීම සහ තර්ජනය කිරීම පිළිබඳව වත්මන් ආණ්ඩුව යටතේ ද චෝදනා එල්ල විය එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි. එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරා ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප‍්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ප්‍රායෝගික ක්‍රියාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක‍්‍රියාමාර්ගය සැළකිය හැකි බවත් පෙර දැක්වූ නිවේදන මගින් පැවසෙයි. මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, අය වැය විවාදය හේතුවෙන් කාර්ය බහුලව සිටි බැවින් ඒ පිළිබඳව තමන් වැඩිදුර විස්තර නොදන්නා බවය. එබැවින් පසුව තමන් අමතන මෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි.
එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා තිබීමය. මෙම ජනපති පුතු ද මන්ත්‍රීවරයෙකි. එම පුවත දිග හැරෙන්නේ මෙසේය. මාධ්‍යවේදිනියකට වන්දි ගෙවන ලෙස බ්‍රසීලයේ අධිකරණයකින් නියෝග කර ඇත්තේ එරට ජනාධිපති ජායිර් බොල්සොනාරෝ වෙතය. ඔහුට එම නියෝගය නිකුත් වූයේ, අදාළ මාධ්‍යවේදිනියගේ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ වරදට ය. තමන් පිළිබඳ සෘණාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා පැට්‍රිෂියා කැම්පෝස් මෙලෝ නමැති මාධ්‍යවේදිනිය එක්තරා සම්පත්දායකයෙකු සමඟ ලිංගිකව එක්වී ඇති බව අඟවමින් ජනාධිපතිවරයා පසුගිය වසරේ ප්‍රකාශයක් කර තිබුණි. අධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ ජනාධිපති බොල්සොනාරෝ ගේ ප්‍රකාශය මගින් මාධ්‍යවේදිනියගේ ගෞරවයට හානිවී ඇති බවය. "අගනා දිනයක්" ඊට වන්දි වශයෙන් බ්‍රසීල මුදලින් (රියල්) 20,000ක් (ඇමරිකානු ඩොලර් 3,500ක්) මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනාධිපතිවරයාට නියෝග කර තිබේ. මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව පවතී. බ්‍රසීලයේ සම්මානලාභී මාධ්‍යවේදිනියක වන පැට්‍රිෂියා මෙලෝ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ විනිසුරුවරයා ලබා දී ඇති තීන්දුව "ස්ත්‍රීන් වන අප සියලු දෙනාගේම ජයග්‍රහණයක්" බවය. මෙය මාධ්‍යවේදිනියන්ට මෙන්ම බ්‍රසීලයේ වෘත්තීමය මාධ්‍යකරණයට "අගනා දිනයක්" බව The Journalists Against Harassment කණ්ඩායම පැවසීය. 2019 ජනවාරි මාසයේදී බලයට පත් වූ බොල්සොනාරෝ, දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකි. තමන්ගේ පාලනය විවේචනයට ලක් කරන මාධ්‍යවේදීන් වෙත එදිරිවාදිකම් සිදු කරන ඉතිහාසයක් ඔහු සතුය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ඉහත කී මාධ්‍යවේදිනිය නීතිය ඉදිරියට ගියේ 2020 වසරේ පෙබරවාරියේදී ය. එම නඩු වාර්තාවේ සඳහන් වන්නේ ජනාධිපති බොල්නාසොනාරෝ විසින් "ලිංගික ඇනුම්පද" කියමින් මෙම මාධ්‍යවේදිනියට අපහාස කරනු ලැබ ඇති බවය. 2018 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බොල්සොනාරෝ ට සහයෝගය දැක්වූ එක්තරා වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳව මෙම මාධ්‍යවේදිනිය පර්යේෂණාත්මක ලිපි පෙළක් ලිව්වාය. ජනපති පුතු පසුගිය ජනවාරියේ දී මෙම මාධ්‍යවේදිනිය මෙවැනිම වූ තවත් නඩු විභාගයකින් ජය ලැබුවාය. එම නඩුව ගොනු කර තිබුණේ ජනාධිපති බොල්සොනාරෝ ගේ පුත්‍රයාට එරෙහිවය. ඔහු බ්‍රසීලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. පසුගිය වසරේ මැයි මාසයේ යූටියුබ් ඔස්සේ පළ කර තිබුණු වීඩියෝවක ඔහු අඟවා තිබුණේ, තම පියාට එරෙහිව තොරතුරු ලබා ගැනීම සඳහා මෙම මාධ්‍යවේදිනිය විසින් එක්තරා පුද්ගලයෙකු ලිංගිකව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරනු ලැබ ඇති බවය. එම ප්‍රකාශය මාධ්‍යවේදීන්ගේ ගෞරවයට කරන ලද ප්‍රහාරයක් බව විනිසුරුවරයා පැවසීය. ඊට වන්දි වශයෙන් රියල් 30,000ක් එම මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනපති පුතුට අධිකරණය නියෝග කළේය.
කැරලිකරුවන්ගේ පාලනයේ පවතින සිරියාවේ අලෙප්පෝ නගරය දෙවන දිනයේදීත් ගුවන් ප්‍රහාර වලට ලක්විය.
නගරය යළි අත්පත් කරගැනීම සඳහා පහරදීම් කරන බවට සිරියානු රජය විසින් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවයි මෙසේ මෙහෙයුම් දියත්වී ඇත්තේ. විරුද්ධවාදී සටන්කරුවන් සිටින ප්‍රදේශවලින් ඉවත්වී සිටින ලෙස රජය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා ඇති අතර ඔවුනට පලා යාම සඳහා ඇතැම් ස්ථාන විවෘත කරනු ඇති බවයි ප්‍රකාශ කළේ. අලෙප්පෝ නගරය තුළ සිටින ක්‍රියාධරයන් පැවසුවේ හිරු උදාවත් සමග ගුවන් ප්‍රහාර ආරම්භවූ අතර ඉන්පසු කාලතුවක්කු ප්‍රහාරද එල්ලවූ බවයි. ස්වේච්ඡා සහන සේවකයෙකු පැවසුවේ දැනට සිදුවෙමින් තිබෙන්නේ සමූලඝාතනයක් බවයි.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද (13) තම තනතුරේ අවසන් දිනය ආරම්භ කළේය.
අගමැති කැමරන් අවසන් වරට පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් විසින් අසනු ලබන ප්‍රශ්ණ වලට මුහුණ දීම සඳහා පිටත්ව ගියේය. පාලක කොන්සර්වටිව් පක්ෂයේ නව නායිකාව ලෙස තේරී පත්වුණු තෙරේසා මේ වෙත තනතුර භාර දීම සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඩේවිඩ් කැමරන් තනතුරින් ඉවත්ව යන්නේ යුරෝපා සංගමය තුළ බ්‍රිතාන්‍යය රැඳී සිටිය යුතුද, නැත්ද? යන්න පිළිබඳව පැවති ජනමත විචාරණයේ දී 'රැඳී සිටිය යුතුයි' යනුවෙන් ඔහු දැරූ මතය බ්‍රිතාන්‍ය ජනතාවගෙන් වැඩි පිරිසක් ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසුවයි. තෙරේසා මේ බ්‍රිතාන්‍යයේ දෙවන අගමැතිවරිය වීමට නියමිතය අගමැති කැමරන් අවසන් වරට පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාගෙන් අසනු ලබන ප්‍රශ්ණ වලට මුහුණ දීමට අපේක්ෂා කරයි. ඉන්පසු බකිංහැම් මාලිගයේ දී එලිසබෙත් රැජින හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස ඔහුගේ සේවා කාලය අවසන් වෙයි. ඩවුනින් වීදියේ අගමැති නිල නිවසින් ඉවත්ව යන ඔහු ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි ඔහුගේ පුද්ගලික නිවස වෙත යනු ඇත. නව අගමැතිවරිය ලෙස පත්වන තෙරේසා මේ ජනමත විචාරණයේ දී ඩේවිඩ් කැමරන්ගේ මතයම දැරුවද අගමැති පදවිය භාර ගැනීමෙන් පසු 'ඉවත් විය යුතුය' යන ජනමතය අනුව කටයුතු කිරීමට පොරොන්දු වුවාය. අගමැතිවරිය ලෙස ඇයගේ පළමු නිළ කාර්යය වනු ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කටයුතු සඳහා නව ඇමතිවරයෙකු පත්කිරීමයි. අගමැති නිල නිවසින් ඩේවිඩ් කැමරන් ගේ බඩු බාහිරාදිය ඉවත්කර ගැනීම දැනටමත් ආරම්භ කර ඇත.
මේගන් කෙනඩි සහ තෝමස් කාහුන් විවාහ ගිවිස ගත්තේ සිය මංගල්‍ය උත්සවය සරුවට ගැනීමේ අපේක්ෂාවෙනි.
ඒ සඳහා සියල්ල සැලසුම් කෙරුණි. උත්සව ශාලාව වෙන් වුණි. ආරාධනා පත් තැපැල් කළහ. මේගන්ගේ දෙවන මනාලියන් සහ යෙහෙළියන් තෝරා ගැනුණි - එකතුව දස දෙනෙකි. නමුත් කොරෝනාව ඒ සියල්ලට ම හරස් විය. මංගල උත්සවය අවලංගු කිරීමට සිදු විය. අවසානයේ අමුත්තන් 15 දෙනෙකුට පමණක් සීමා වූ පුංචි විවාහ මංගල්‍යයකට අවසර ලැබුණි. මේගන් ගේ මුල් සැලසුම් සියල්ල වෙනස් විය. දෙවන මනාළියන් ලෙස සිය මිත්තනියන් දෙදෙනා තෝරා ගැනීමට මේගන් තීරණය කළාය. එක් මිත්තනියක ගේ වයස අවුරුදු 80ක් වූ අතර අනෙක් මිත්තනිය 90 හැවිරිදි වූවාය. මේ පිළිබඳව මිත්තනියන්ට මුලින් ම දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ එය "ටිකක් මෝඩ" අදහසක් බවය. "ඒ දෙන්න කිව්වේ දෙවන මනාලියන් වෙන්න 'අපි වයසට ගිහින් වැඩියි' කියල" මේගන් බීබීසීයට පැවසුවාය. "ඔවුන් තෝරා ගැනීම ගැන දෙන්නම සතුටු වුනත් ඒක හාස්‍ය ජනක දෙයක් හැටියටයි ඔවුන් හිතුවේ." සිය මංගල උත්සවයට ආරාධනා කිරීම සඳහා මුලින් සැකසුණු නාම ලැයිස්තුව ඉතා දීර්ඝ එකක් විය. එය 15 දෙනෙකුට සීමා කිරීම මේගන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි. "මුළු උත්සවය ම 15 දෙනෙකුට සීමා කෙරුණම අඩු තරමේ මගේ හොඳම මිතුරියටවත් ඉඩක් නොලැබෙන බව මට තේරුම් ගියා." මේගන් පැවසුවාය. අසූ හැවිරිදි ගිලියාන් හොලොවේ සහ අනූ හැවිරිදි මේරි කෙනඩි මෙම විවාහ මංගලෝත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණියේ පසුගිය ඔක්තොම්බරයේදී ය. පසුගිය මාර්තු මාසයෙන් පසුව ඔවුන් දෙදෙනා නිවසින් පිට එතරම් ඈතකට ගියේ පළමු වතාවට ය. "ඒ දෙන්න මගේ මගුල් ගෙදරට එනවනම් පුළුවන් උපරිමයෙන් මේක ඔවුන්ට විශේෂිත අවස්ථාවක් කරන්න ඕන කියල අපි හිතා ගත්ත." මේගන් ප්‍රකාශ කළාය. දෙවන මනාලියන් හැඳ සිටියේ එකම මෝස්තරයේ ඇඳුම් පැළඳුම් නොවේ. නමුත් දෙදෙනා අත මල් කළඹක් විය. මනාලිය දෙපසින් උත්සව සභාවට සීරුවෙන් පිය මැන්නෝය. තම මංගල උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය. කාගේත් වැඩි අවධානය යොමු වී තිබුණේ මනාල යුවළ මිත්තනියන් සමඟ සිටින ඡායාරූප කෙරෙහි ය. නමුත් සමාජ මාධ්‍ය පිළිබඳව දැනුමක් මිත්තනියන් දෙදෙනාටම නොමැත. "මම කිව්වම මිත්තනියගේ පින්තුරවලට ලයික් 5000ක් ලැබිල කියල, ඒක එයාලට තේරුණේ නැහැ. 'කවුද ඒවාට කැමතියි කිව්වේ' කියල එයාල මගෙන් අහනවා." "ඒ පින්තූර කීදෙනෙක් බලල තියෙනවද කියල දැනගන්නේ කොහොමද කියන එක ගැන දැනුමක් එයාලට නැහැ." මේගන් පැවසුවාය. මෙම පුවත 'බෙල්ෆාස්ට් ටෙලිග්‍රාෆ්' පුවත්පතෙහි පළ විය. ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලයක පළවනවාට වඩා පුවත්පතක ඔවුන් ගැන මුද්‍රණය වී තිබෙනු දැකීම, මිත්තනියන්ට වඩා සතුටක් ඇතිකරවනු ඇති බව මේගන් සිතන්නීය. එම පුවත්පත මිත්තනියන් දෙදෙනාට යවන බව මේගන් පැවසුවාය. "ඒ දෙන්නම හිතන්නේ මේක පිස්සු වැඩක් කියල. ඒ වුණාට ඒ දෙන්නටම මේකෙන් ලොකු උද්යෝගයක් ලැබුණා." මෙම වසර අවසානයේ, සරුවට විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීමට මේගන් සහ තෝමස් බලාපොරොත්තුවෙන් සිටිති.
කොළඹ නගරයට අයත් ඉඩම් සහ දේපළ හදිසියේ විකිණීමෙන් වැළකී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගනුවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
'ඉදිරියේදී ගැණුම්කරුවන් මීට වඩා හොඳ මිලකට එම ඉඩම් ඉල්ලා සිටිවී' 'තමන් සතු ඉඩම් හදිසියේ විකුණන්න එපා. එම ඉඩම් තබා ගන්න තව වසරකින් හෝ දෙකකදී ගැණුම්කරුවන් මීට වඩා හොඳ මිලකට එම ඉඩම් ඉල්ලා සිටිවී. තමන්ගේ ගොඩනැගිල්ල හෝ ඉඩම දියුණු කරන අතරම එම වාසිය ලබා ගැනීමට උත්සාහ කරන්න.' අගමැතිවරයා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ මරදාන සුදුවැල්ලේ සංවිධානය කොට තිබූ බක්මහ උළෙලක් අමතමිනුයි. ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රධාන නගරය බිහි කිරීමේ ඉදිරි සැලසුම යටතේ කොළඹ නගරය සහ බස්නාහිර පළාත මූල්‍ය සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවයි අගමැතිවරයා පවසන්නේ. විදෙස් ආයෝජන 'අද විශේෂයෙන්ම මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව කටයුතු කිරීම ආයෝජකයන්ට විශාල ශක්තියක් බව කිව යුතුයි. දැන් විදේශ ආයෝජකයින් එනවා. දැන් පක්‍ෂ අතර කඹ ඇදිල්ලක් නැහැ.' ප්‍රතිපත්ති මත පිහිටා ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් ලබා දී ඇති බවත් ඔහු පැවසීය. 'දේශීය හා විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ මේ රටේ ජනවාර්ගික හා ආගමික ප්‍රශ්න විසඳා ගනිමින් සාමය ස්ථාපිත කළ විට, රට තුළ සාමය පවතින අවස්ථාවලදී පමණයි' මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ජනතාව අතර හොඳින් මුදල් ගැවසුණු බවත් රටේ ආර්ථික දියුණුවක් සිදුව ඇති බව එයින් පෙන්නුම් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රවර්ධනය කරමින් පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
"ඒක වැරදියි කියන එක අපි අදාළ අපේක්ෂකයාගේ පක්ෂයට දැනුම් දුන්නා. ඒ එක්කම ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන කරුණු දක්වන්න කියලා අපි ලිපි යොමුකළා" යැයි අද (ඔක්තෝබර් 16) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය. වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අජිත් පි පෙරේරා අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබ තිබිණි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ වර්තමාන යුද හමුදාපතිවරයාගේ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් බවය. "පැරණි ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් වත්මන් යුද හමුදාපතිවරයාගෙ නිල නාමය සහ තනතුර යොදාගෙන ඒක භාවිතා කිරීම ඉතාම කණගාටුදායක කරුණක්. ඒ කරුණ කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නේ නැහැ" මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම දැන්වීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයක් නිකුත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඔහු එසේ නොකළොත් එය ඔහුගේ අනුදැනුම මත සිදුවූවක් බව සිතීමට සිදුවන්නේ යැයි සඳහන් කළේය. සතියක් පමණ ඇතුළත ජනාධිපති ලේකම්වරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී කියා සිටියේය "යුද්ධය, වීර ක්‍රියා කිසිදු පක්ෂයකට තනියම අයිති දෙයක් නෙවෙයි. කිසිදු පක්ෂයකට නැති අය මේ යුද්ධය වෙනුවෙන් සටන් කරලා තියෙනවා. යුද්ධයේදී ලැබූ ජයග්‍රහණ රටේ එකක් මිසක් පෞද්ගලිකව පක්ෂයක එකක් නෙවෙයි. ඒ නිසා එවැනි කරුණු යොදාගන්න එපා කියලා ඉල්ලීමක් කරලා තියෙනවා" යුද ජයග්‍රහණය මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදානොගන්නා ලෙස දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය. ඊයේ කොළඹදී පැවැත්වූ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදීයෙකු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පැවසුවේ "ඒක අපෙන් කෙරිච්ච එකක් නෙවෙයි" යනුවෙනි. මේ අතර අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හැසිරෙන අකාරය ගැන දැඩි කණස්සල්ල පළකළේය. රුපවාහිනී ආයතනවල නම් සඳහන් නොකර එක් අපේක්ෂකයාට ලබාදී තිබෙන ප්‍රචාරණ කාලය ගැන ප්‍රස්ථාර ඇසුරෙන් කරුණු දැක්වූ ඔහු මාධ්‍ය සමබරව කටයුතු නොකළහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමර්ග ගැනීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක්ද කළේය.
එක් වර කෙසෙල් ගෙඩි ගණනාවක් අනුභව කිරීම මාරාන්තික විය හැකි බවට ලෝකයේ කතාවක් පවතියි.
සත්‍ය වශයෙන්ම එක වරකට කෙසෙල් ගෙඩි හයකට වඩා අනුභව කිරීමෙන් පුද්ගලයෙකු මිය යා හැකිද? මෙම කියමනේ සත්‍යතාව විමසීම උදෙසා විද්‍යාත්මක හේතු සෙවීමටයි මේ ප්‍රයත්නය. කෙසෙල් ලොව ජනප්‍රිය ම පලතුරු වර්ගයක් වන අතර ඉතා මිහිරි රසයකින් යුතු මේ පලතුර ඛනිජ ලවන සහ විටමින් වර්ග වලින් පිරි මිනිස් සෞඛ්‍යයට ඉතා හොඳ ආහාරයක්. ඉහත කරුණ සත්‍ය නම් කෙසේ ගෙඩි රාශියක් එකවර ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට සිදු විය හැකි හානිය කුමක්ද? කෙසෙල් මාරාන්තික විය හැකිද? සාමාන්‍ය ප්‍රමාණයේ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක් අඩංගු වන අතර එවැනි කෙසෙල් ගෙඩි හයකට වඩා වැඩි ප්‍රමාණයක මිනිස් සිරුරට හානි කළ හැකි තරම් පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු වීමට ඉඩ ඇත. එසේනම් පුද්ගලයෙකුට සිය සිරුරට ශක්තිය සහ පෝෂණය ලබා දෙමින් කෙසෙල් ගෙඩි හයක් හානියක් නොමැතිව අනුභව කළ හැකි නමුත් හත් වැනි කෙසෙල් ගෙඩිය අනුභවයෙන් ඔහු මරණයට පත් විය හැකිද? පොටෑසියම් අප සිරුරට බලපාන ආකාරය සොයා බැලීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකියි. ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥවරිය වන කැතරින් කොලින්ස් පවසන්නේ පොටෑසියම් පුද්ගලයෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය සහ සෘජුවම බලපාන සාධකයක් විය හැකි අතර අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගත වන බවයි. සෛල තුල පොටෑසියම් ක්‍රියාකාරීත්වය විස්තර කළ විශේෂඥවරිය කියා සිටියේ පොටෑසියම් මගින් සෛලයක ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යාමට අවශ්‍ය සියුම් විදුලි ආරෝපණයක් ජනිත කිරීම සිදු කරන බවයි. මීට අමතරව අග්න්‍යාශය විසින් සිදු කෙරෙන රුධිර ග්ලුකෝස් පාලනයටත් පොටෑසියම් උපකාරී වන අතර විශේෂයෙන්ම රුධිර පීඩනය පාලනය කිරීමටත් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරයි. පොටෑසියම් ක්‍රියාකාරීත්වය සිරුරේ ඇති පොටෑසියම් ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පහත බැසීම හෝ ඉහළ නැගීම මගින් හෘද ස්පන්දනය අක්‍රමවත් කිරීම, උදරයේ වේදනාවක් ඇති කිරීම, ඔක්කාරය සහ පාචනය ඇති කළ හැකියි. සිරුරට එකවර මුදා හැරෙන ඉතා ඉහළ ප්‍රමාණයක පොටෑසියම් ක්ලෝරයිඩ් හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නැවත්වීමට පවා හේතු විය හැකියි. කෙසේ වෙතත් හෘද ස්පන්දනය නවතින තරම් පොටෑසියම් ප්‍රමාණයක් කෙසෙල් ගෙඩි මගින් ලබා ගැනීමට නම් දිනක් තුල කෙසෙල් ගෙඩි 300ක පමණ ප්‍රමාණයක් අනුභව කළ යුතු බවයි කැතරින් කොලින්ස් පෙන්වා දෙන්නේ. වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට පොටෑසියම් මිලි ග්රෑම් 3500ක් පමණ සිරුරට අවශ්‍ය වන අතර ග්රෑම් 125ක් පමණ බරැති කෙසෙල් ගෙඩියක අන්තර්ගත වන්නේ පොටෑසියම් මිලි ග්රෑම් 450 පමණ වන බවයි බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පවසන්නේ. එබැවින් වැඩිහිටි පුද්ගලයෙකුට කෙසෙල් ගෙඩි හතක් පමණ ආහාරයට ගැනීමෙන් විද්‍යාත්මක ව අනුමත කරන ලද පොටෑසියම් ප්‍රමාණය කරා ලඟා විය හැකියි. නමුත් යමෙක් වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර රාශියක් එකවර අනුභව කිරීම එතරම් ශරීර සෞඛ්‍යට යෝග්‍ය නොවන බවයි විශේෂඥවරිය වැඩි දුරටත් පවසන්නේ.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පසුගියදා ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් ලැබීමත් සමගම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම පිළිබඳව යළිත් වරක් ප්‍රබල අවධානය පළ වී තිබේ.
සිම්බාබ්වේ තරගාවලියට පෙරාතුව ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් ද මතභේදයට තුඩු දුන්නේය. ක්‍රිකට් ක්‍රීඩාව තවමත් විනාශ වී නැතත්, "විනාශ වෙමින් යන" බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග, මේ බිඳ වැටීමේ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවත් සඳහන් කරයි. මේ අතර කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයෙකු ද වන සිදත් වෙත්තමුණි පවසන්නේ ක්‍රිකට් පරිපාලනයේ වගවීම සහ විනිවිද පෙනෙන සුළු භාවය ඇතිකිරීමට අපොහොසත් වනතුරු ක්‍රීඩාව නගා සිටුවීම ඉතා දුෂ්කර කාර්යයක් බවය. සබැඳි යොමු: ඔවුන් දෙදෙනාම ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත්, ක්‍රීඩාව නගා සිටුවීම පිණිස කඩිනම් පියවර ගත යුතුව තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද පිළිගනියි. ක්‍රිකට් ක්‍රීඩාව "වැඩියෙන්ම විනාශ වූයේ" සිය ආණ්ඩුවේ පාලන කාලය තුළ බව පවසන අමාත්‍ය අර්ජුන රණතුංග එම බිඳ වැටීම පිළිබඳව ඇමතිවරයෙක් වශයෙන් තමන් දැඩිව කණගාටුවන බවත් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. "මේකට ජනාධිපතිවරයා, ක්‍රීඩා ඇමතිවරයා වගකියන්න ඕනේ. මම අදත් කියනවා. අතුරු පාලක මණ්ඩලයක් ගෙන්න ඕනේ. නැත්නම් ක්‍රිකට් හදන්න බෑ," ඔහු පැවසීය. 'ෆිට්නස්' ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ 'ෆිට්නස්' යහපත් මට්ටමක නැතැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ලසිත් මාලිංගට අත්හිටවූ තරග තහනමක් සහ දඩයක් නියම කෙරිණ. ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවසන්නේ අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන් තුළ විනයක් තිබිය යුතු බවය. "මිනිස්සුන්ට දැන් ක්‍රිකට් එපා වෙලා. හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. කණ්ඩායමේ මානසිකත්වයත් බිඳ වැටිලා. මේක ගොඩගන්න දේශපාලන නායකත්වයට සැබෑ වුවමනාවක් නෑ" එහෙත් 'බඩ තිබුණු' පමණින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බිඳ වැටී ඇතැයි පිළිගත නොහැකි බව ද ඔහු අවධාරණය කරයි. "ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රිකට් ෆිට්නස්. එහෙම නැතුව අපි මලල ක්‍රීඩකයෝ නෙවෙයි," අමාත්‍ය අර්ජුන රණතුංග බීබීසී සිංහල සේවයට පැවසීය. "මේකට ප්‍රධානම හේතුව අපි පිටරටවලින් ෆිට්නස් ගැන දන්න අය ගෙනල්ල ඒගොල්ලොත් එක්ක සාමාන්‍ය ෆිට්නස් කරනවා, නමුත් ක්‍රිකට් ෆිට්නස් ගැන කාටවත් දැනුමක් නෑ." සබැඳි යොමු: කෙසේ නමුත් තමන් ඒ අදහස් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය. "1996 ක්‍රිකට් ක්‍රීඩාවයි, අද ක්‍රිකට් ක්‍රීඩාවයි අතර ලොකු පරස්පරයක් තියෙනව. එතුමාට පුළුවන් මට ක්‍රිකට් ක්‍රීඩාව උගන්වන්න. හැබැයි ෆිට්නස් පිළිබඳව එතුමාට වැඩිය මට දැනුමක් සහ ප්‍රායෝගික දැනුමක් තියෙනව," ක්‍රීඩා ඇමතිවරයා පැවසීය. ක්‍රිකට් පරිපාලනය දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින නමුත් පරිපාලනයේ දුර්වලතා සහ ක්‍රීඩාවේ දේශපාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී සිටින බව හිටපු ක්‍රිකට් නායක සිදත් වෙත්තමුණි මේ අතර බීබීසී සිංහල සේවයට පැවසීය. විශේෂයෙන්ම තමන් අන්තර්වාර කමිටුවේ සභාපති ධුරය හෙබැවූ සමයේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (එවකට ජනාධිපති නීතිඥ) ප්‍රසන්න ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අන්දම පිළිබඳව අයර්ලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල ව්‍යවස්ථාවන් හදාරා පූර්ණ වාර්තාවක් සකස් කළ බව පවසන ඔහු, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඒ සඳහා අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බවත් සඳහන් කළේය. ක්‍රීඩා සමාජවලට අනිසි ලෙසින් බලපෑම් කිරීමේ අවස්ථාව අහුරමින්, පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තුරු සහ මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන් පවා පෙන්වා දී ඇති පරිදි පළමු පෙළ ක්‍රීඩා තරගාවලිවල ව්‍යුහය පූර්ණ වෙනසකට බඳුන් කරන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ප්‍රබල බලාපොරොත්තු තබාගත නොහැකි බවත් සිදත් වෙත්තමුණි වැඩිදුරටත් පැවසීය. "මිනිස්සුන්ට දැන් ක්‍රිකට් එපා වෙලා. හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. කණ්ඩායමේ මානසිකත්වයත් බිඳ වැටිලා. මේක ගොඩගන්න දේශපාලන නායකත්වයට සැබෑ වුවමනාවක් නෑ." බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන සකස් කළ වාර්තාව තමන් වෙත ලැබී නැති බවය. ක්‍රිකට් ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳව සිදත් වෙත්තමුණි ඇතුළු ක්‍රීඩාවේ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව සඳහන් කරන අමාත්‍යවරයා, කෙසේ නමුත් ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව ඔහු ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳව තමන්ගේ ප්‍රබල මනාපයක් නොමැති බවත් පැවසීය. ග්‍රැහැම් ෆෝඩ් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව "අන්ධ මිනිස්සු පාරේ යනවා වගේ" ගමනක යෙදෙමින් සිටින බවය. එයට ප්‍රතිචාර දක්වන අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ තිලංග සුමතිපාල විසින් ගන්නා ලද ඇතැම් තීන්දු වැරදි බව තමන් ද පිළිගන්නා බවය. "දැන් ග්‍රැහැම් ෆෝඩ් තෝරාගන්න එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුණ. අන්තිමට වුනේ ග්‍රැහැම් ෆෝඩ් ඒක අතෑරලා දාල ගියා. මම හැම වෙලාවෙම කලපනා කළ දේ තමයි ලංකාවේ ඉන්න පුහුණුකරුවන් ගැන අපි පොඩ්ඩක් අවබෝධය ලබාගන්න ඕන." උදාහරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අන්තර්වාර කමිටුවක් විසින් චන්දික හතුරුසිංහ "රටෙන් එලෙවුව" බව පවසන අමාත්‍යවරයා, වර්තමානයේ ඔහු ඩොලර් 40,000 ක වැටුපක් ලබමින් බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගමින් සිටින බව පෙන්වා දුන්නේය. ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පියවර ගන්නා අතරවාරයේම වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ද අඩුපාඩු තිබෙන බව පිළිගන්නා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ, අමාත්‍ය අර්ජුන රණතුංග පවසන පරිදි එම පරිපාලනය වෙනුවට අන්තර්වාර කමිටු පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදයට විසඳුම යයි තමන් විශ්වාස නොකරන බවය. ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් සලකා බලන විට ඔවුන්ගේ මානසිකත්වය සහ ශාරීරික යෝග්‍යතාවය ගොඩ නැංවිය යුතු අතරම, එක් කළමනාකරුවෙකු විසින් ක්‍රීඩකයන් විශාල පිරිසක් කළමනාකරණය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ යුද අපරාධ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා යොදා ගැනෙන ආකෘති පත් කිලිනොච්චියේ වැසියන් අතර බෙදා දුන්නේ යැයි චෝදනා කරමින් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චියේ පුනරීන් පළාතේ ඉරණේයිමාදුවාන් ගමෙහි පදිංචි සින්නතම්බි ක්‍රිෂ්ණරාජා නැමති පනස්හත් හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ අත් අඩංගුවට පත්ව තිබෙන්නේ. මේ වන විට ඔහු ත්‍රස්ත මර්දන ඒකකයේ වවුනියාව කාර්යාලයේ රඳවා තබා ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේය. එල්ටීටීඊ සාමාජිකයෙකු බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලියකියවිලි තොගයත් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වැඩි දුරටත් ප්‍රකාශ කළේය. එල්ටීටීඊ සාමාජිකයකුව සිට පුනරුත්ථාපනය නොවීම, හැඳුනුම්පත් දෙකක් ඇතුළු රහස් ව්‍යාජ ලියකියවිලි ළඟ තබා ගැනීම යන චෝදනා මත පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම පියා අත් අඩංගුවට ගැනීමට තරම් සාක්කි හෝ ඊට අදාළ ක්‍රියාකාරකම් ඇතැයි තමාට විශ්වාසයක් නොමැති බව අඩංගුවට පත් ක්‍රිෂ්ණරාජාගේ පුතෙකු වන කේ සුදාකරන් සංදේශයට කියා සිටියේය. මෙය නීති විරෝධී අත් අඩංගුවට ගැනීමක් බව පවසන සුදාකරන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් සඳහන් කළේය.
ඊයේ ඉරිදා ව්‍යාකූල තත්වයකට පත් තායිලන්ත මහ මැතිවරණයෙන් අනතුරුව විපක්ෂයේ උද්ඝෝෂකයෝ අද සඳුදාත් ආණ්ඩු විරෝධී ව්‍යාපාර පෙරට ගෙන යමින් සිටියහ.
ආණ්ඩුව පෙරලා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී කණ්ඩායම් විසින් ඊයේ ඉරිදා ඡන්ද මධ්‍යස්ථාන වට කරනු ලැබීම නිසා දසලක්ෂ සංඛ්‍යාත ජනකායකට ඡන්දය දීමේ අවස්ථාව අහිමි විය. ඡන්දය විමසීමට නොහැකි වූ එවැනි පලාත්වල යළි මැතිවරණ කැඳවීම සඳහා තවත් සති කීපයක්ම ගත විය හැකි බවයි ,තායිලන්ත මැතිවරණ නිලධාරීන් පවසන්නේ. ප්‍රතිඵල අවලංගු කරන්න මහමැතිවරණය වර්ජනය කල ප්‍රධාන විපක්ෂය වන තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියා සිටින්නේ, අධිකරණය විසින් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි. රට තුළ ව්‍යාකූල සහ අවිනිශ්චිත තත්වයක් පවතින බවයි, බැංකොක් අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ. මේ අතර බීබීසී යට ප්‍රකාශයක් කරන තායිලන්ත අගමැතිනි, යින්ග්ලුක් සිනවත් කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයත් සමඟ දිගටම රැඳී සිටීමේ උවමනාව මහජනතාව විසින් ප්‍රදර්ශනය කරන ලද බවයි.
ඊයේ, බදාදා ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව විසිතුන දක්වා ඉහළ ගොස් තිබේ.
ගලවා ගැනීමේ කණ්ඩායම් පසුගිය රාත්‍රිය පුරා නාය යාමට හසුව සිටින පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇත. මහාරාෂ්ට ප්‍රාන්ත අගමැති මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නිවාස හතලිස් හතරක් නාය යාමට ගොදුරුව ඇති අතර විශ්වාස කරන අන්දමට පුද්ගලයන් එකසිය හැටකට අදික ප්‍රමාණයක් සුන්බුන් අතර සිරව සිටින බවයි. වාර්තාවල සඳහන් නොවන නමුත් පස් සහ සුන්බුන් අතර සිර වී ඇති බවට සැක කරන පුද්ගලයන් එකසිය පනහක් පමණ සෙවීමට ගත් උත්සාහයට දිගින් දිගටම කඩා හැළෙන වර්ෂාවෙන් බාධා එල්ල වෙමින් ඇත. ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ බලකායේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා අඩාළ වූ ගලවා ගැනීමේ මෙහෙයුම් අද, බ්‍රහස්පතින්දා උදෑසන සිට නැවත අරඹා ඇති බවයි. මේ අතර පුද්ගලයන් අට දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ඇති බවත් වාර්තා වේ. මින්පෙර කඩා හැලුණු ධාරානිපාත මෝසම් වැස්ස හේතුවෙන් ඉන්දියාවේ පූනේ දිස්ත්‍රික්කයේ 'මාලින්' නම් ගම්මානයද නාය යාමකට හසු ව පස් කන්දකට යට විය. එම ප්‍රදේශයේ දිගින් දිගටම සිදු වන වනාන්තර විනාශයේ ප්‍රතිවිපාකයක් ලෙස නාය යාම් වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩ වැඩි වී ඇත.
යම්කිසි පුද්ගලයකුට වසර 15ක් තිස්සේ නිකරුණේ වැටුප් ගෙවීමක් කළ හැකිද? වැටුපක් ලබන පුද්ගලයෙකුට ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක නිරත නොවී සිටිය හැකිද?
සේවයට වාර්තා කළත් 'ගන්න පඩියට වැඩක් නොකර නිකම්ම කාලය කා දමා ගෙදර යන' ඇතැම් නිලධාරීන් ගැන, ඇතැම් රටවල ජනතාවගෙන් නිතර දෙවේලේ චෝදනා මතු වීම අලුත් පුවතක් නොවේ. නමුත් මෙම පුද්ගලයා වසර 15ක් තිස්සේ රාජකාරියට වාර්තා කිරීමක් හෝ සිදුකර නැතැයි පැවසේ. නමුත් වැටුප් ලබා ඇති බවට චෝදනා එල්ලවේ. මෙම අපූරු පුවත වාර්තා වන්නේ ඉතාලියෙන් ය. රෝහල් සේවකයෙකු ලෙස පත්වීම් ලබා සිටියදී රාජකාරියට වාර්තා කිරීමකින් තොරව පහළොස් වසරක් පුරා වැටුප් ලබා ඇතැයි මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබේ. ඉතාලියේ දකුණු කලාපයේ, කටන්සාරෝ නගරයේ පිහිටි Ciaccio රෝහලේ සේවය සඳහා පත්වීම් ලබා සිටි ඔහු 2005 වසරේ පටන් රාජකාරියට වාර්තා කර නොමැති බව පැවසේ. ඉතාලියේ Ansa පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, වංචා කිරීම, අසාධාරණ ලෙස මුදල් අය කිරීම සහ රාජකාරිය අවභාවිතයේ යෙදවීම යන චෝදනා මත මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ. කිසිදු රාජකාරියක් කර නොමැති බවට සැලකෙන මෙම පුද්ගලයා හට පහළොස් වසර පුරා වැටුප් ලෙස ගෙවා ඇති මුළු මුදල යූරෝ 538,000ක් (පවුම් 464,000) බව වාර්තා වේ. මෙම පුද්ගලයා රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ Calabria නගරයේ රෝහලකය දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලය ඔහු සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම රෝහලේ කළමනාකරුවන් හය දෙනෙකු පිළිබඳව ද විමර්ශන පැවැත්වෙමින් තිබේ. ඉතාලියේ රාජ්‍ය සේවය තුළ සිදුවී ඇතැයි සැලකෙන මෙම වංචාව පිළිබඳව පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස කීපදෙනෙක් අත්අඩංගුවට පත්වී සිටිති. මෙම පුද්ගලයා රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී 2005 වසරේදී ඉහත කී රෝහලේ රාජකාරියක් සඳහා පත් කර තිබේ. එතැන් පටන් ඔහු රාජකාරියට වාර්තා කිරීම පැහැරහැර ඇති බව පොලිසිය පවසයි. තමන්ට එරෙහිව විනයානුකුල ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ඔහුගේ කළමනාකාරියකට තර්ජනය කර ඇති බවට ද පොලිසිය චෝදනා ඉදිරිපත් කර ඇත. එම කළමනාකාරිය පසුව විශ්‍රාම ගොස් ඇති බව ද පොලිසිය පැවසීය. නමුත් මෙම පුද්ගලයා සේවයට වාර්තා නොකිරීම පිළිබඳව එවක් පටන් කිසිවෙකුගේ අවධානයට ලක්වී නොමැත.
ක්‍රිකට් ලෝලීන් අතර යළිත් වරක් ක්‍රීඩා උණුසුම උත්සන්න කරමින් ආසියානු ක්‍රිකට් ශූරතා එක් දින තරගාවලිය තවත් පැය කිහිපයක් ඇතුළත ආරම්භ කරනු ලැබීමට නියමිතයි.
2012 ආසියානු ශූරතාව දිනාගත් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම සතුට භුක්ති විඳිමින් අඟහරුවාදා ආරම්භ කෙරෙන තරගාවලියේ අවසාන මහා තරඟය පැවැත්වෙන්නේ මීර්පුර් බංග්ලාදේශ් ජාතික ක්‍රීඩාංගනයේ. ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පහක් මෙම තරඟාවලිය නියෝජනය කරති. ඉන්දියාව පකිස්තානය ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය එම රටවල් පහයි. ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය හෙට, අඟහරුවාදා පකිස්තාන් කණ්ඩායමට එරෙහිව පතුල්ලාහ් නගරයේ පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, මයිකල් ද සොයිසා බංගලාදේශයේ සිට බීබීසී සංදේශයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ. “පසුගිය දා බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වුන ටෙස්ට් සහ එක් දින තරගාවලිය මහත් අභියෝගයක් මැද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතා තරගාවලියටත් සාර්ථකව මුහුණ දීමේ සූදානමක සිටින බවයි” ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා ප්‍රකාශ කලේ. ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු මහේල ජයවර්ධන කෙරෙහි ශ්‍රී ලංකා පිල මෙවර දැඩි බලාපොරොත්තු පළකර ඇත එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉහලම ස්ථානයේ සිටින බව කියා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මාර්තු මාසයේ ආරම්භ කෙරෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලිය තම ඊළඟ ඉලක්කය වන බවත් කියා සිටියි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක තරඟාවලිය පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම් බවයි ආසියානු කුසලාන සංවිධාන කමිටුවේ ප්‍රධානී, අමිනුල් ඉස්ලාම් බුල්බුල් මාධ්‍යයට ප්‍රකාශ කළේ. එසේම සියලුම ආරක්ෂක විධි විධාන තර කරනු ලැබ ඇති බවත් අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසයි. ආරක්ෂක තත්වය මෙන් ම ක්‍රීඩාංගණත් ප්‍රශස්ත මට්ටමක පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, මයිකල් ද සොයිසා විසින් ද තහවුරු කරනු ලැබිණ.
පසුගිය දින කිහිපය තුළ මහනුවර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
බෞද්ධ විහාරයක රාමදාන් සංග්‍රහයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර අද බ්‍රහස්පතින්දා (මාර්තු 08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉහත කී සැකකරුවන් අතර 'මහසෝන් බලකාය' ලෙස හඳුන්වනු ලබන සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අමිත් ජීවන් වීරසිංහ නම් තැනැත්තකුද සිටින බවය. දින කිහිපයක් පුරා මහනුවර ආශ්‍රිතව සිදුවන වර්ගවාදී ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා වී ඇත . නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන හා ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කෙරුණ අතර එමගින් සිදු වූ අලාභය තවමත් ගණන් බලා නොමැති අතර ඒ සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි. සිදු කළ අලාබ හානි පියවා ගැනීමට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ඇතුළු සෙසු ජනයාගේ බදු මුදල් යොදවමින් පෙරටත් වඩා හොඳින් එම ගොඩනැගිලි ඉදි කර දීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඔහුගේ සමාජ ජාල අඩවියේ පළකර ඇත. ගැටුම් හේතුවෙන් විනාශ වූ දේපල විනාශ කිරීම තමන් විසින් තමන්ම විනාශ කර, රට තවදුරටත් ණය උගුල්වල සිර කරන ක්‍රියාවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙන්වා දෙයි. මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමු වෙමින් පවතිද්දී පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි. "හිතවත! හිතවතිය! ඔබේ 'ගෙලිඔය' නගරය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය කැටි කර ගෙන අපි ඉදිරියට යා යුතුයි. අපේ නගරය වගේම එහි ජීවත් වන සියලු දෙනා ආරක්ෂා කිරීම අපගේ වගකීමයි", සිංහල මුස්ලිම් ජනතාව එක්ව ජිවත්වන ගෙළිඔය නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ ප්‍රචාරක රථය මෙවැනි නිවේදන නිකුත් කරමින් වීදී සංචාරයේ යෙදුණි. "අපේ වටිනා නිවාස, ජිවිත ආරක්ෂා කර ගැනීම සහ ගැටුම් වලට නොයෑම අපේ යුතුකමයි. අපේ මනසට විෂබීජ දාලා. අපේ නගරය, රට විනාශ කරන වැඩපිළිවෙල අපි නැවැත්විය යුතුයි" යනුවෙන් නිවේදනය කළ එම ප්‍රචාරක රථය පැය කීපයක් ගෙලිඔය ප්‍රදේශයේ සංචාරය කරමින් සාමය ආරක්ෂා කිරීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි. සබැඳී තොරතුරු: "මහනුවර සන්සුන්" මොකක්ද මේ හදිසි නීතිය? සමාජ මාධ්‍යජාල අවහිර කෙරේ සමාජ මාධ්‍යජාල මිනිසුන් එක් කිරීමටද?භේද කිරීමටද? මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාවට යොදා ඇති පොලිස් කොමාන්ඩෝ බටයින් තවදුරටත් ගැටුම් ඇති නොකර නිවාසවල රැඳෙමින් සිංහල හා මුස්ලිම් සමගිය ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අකුරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ශබ්දවාහිනිය මගින් දිගින් දිගටම නිකුත් කළ නිවේදන එහි සිටි මාධ්‍යවේදීන්ට අසන්නට ලැබුණි. මුරුතලාව ප්‍රදේශයේ තම පල්ලිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු සිංහල තරුණයන් පිරිසක් එහි රාත්‍රිය ගත කළ බව මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙක් පවසයි. නිවාස විනාශ වීම නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ඇතැම් අසල්වැසි සිංහල නිවැසියන් ඉදිරිපත් වී ඇති බව දිගන ප්‍රදේශයෙන් වාර්තා විය. මුල් සිද්ධියේදී ජීවිතය අහිමි වූ සිංහල සහ මුස්ලිම් තරුණයන්ගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම මරණ හේතුකොටගෙන තවත් ගැටුම් නිර්මාණය කර නොගන්නා ලෙසයි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලයක් තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැත මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැති නිසා, අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෙම සාමකාමී තත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි සංචාරයේ යෙදිය හැකි අතර, දැනට එහි සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී එහි සිටින සංචාරකයන්ට අවශ්‍ය නම් ප්‍රදේශයෙන් පිටවී යෑම සදහා විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණි.
මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව නොසලකා හරිමින්, දෙමළ ජනතාවගේ ඉඩම් මුස්ලිම් ජනතාවට පවරා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇති බවට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට චෝදනා කරයි.
අමාත්‍ය බදිඋද්දීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථිරව පදිංචි මුස්ලිම් වැසියන්ට මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලියාවේලි ඇතුළු පළාත් කිහිපයකින් ඉඩම් අක්කර 1200 ක් ලබා දීම පිණිස මූලික ලියාපදිංචි කිරීමේ කටයුතු අද ආරම්භ කෙරිණ. එයට විරෝධය පාමින් උතුරු පළාත් සභා මන්ත්‍රී ඇන්ටනි ජෙගනාදන් ගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම් හමු වී උතුරේ බලහත්කාරයෙන් මුස්ලිම් ගම්මාන පිහිටුවීම නතර කරන ලෙස ඉල්ලා සිටියහ. 'දන්නේ නෑ' පළාතේ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් රිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා මුස්ලිම් ගම්මාන ඇති කිරීමට උත්සාහ කිරීම දැඩි අසාධාරණයක් බවයි, ඒ පිළිබඳව අදහස් දක්වමින් පළාත් සභා මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. සිය විරෝධය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුවත් කළ බවද ඇන්ටනි ජෙගනාදන් පළාත් සභා මන්ත්‍රීවරයා පැවසීය. මේ චෝදනාව පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය බදිඋද්දීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. කෙසේ නමුත් මුස්ලිම් ජනතාවට පමණක් ඉඩම් ලබා දීමේ තත්වයක් ගැන නොදන්නා බව පැවසූ මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම්, පළාත් සභා මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂා කරන බවද සඳහන් කළේය.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහර දී එහි මහේස්ත්‍රාත්වරයාට තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමා සමාව අයදින බව ඇමති රිෂාඩ් බද්දියුදින් අද (සිකුරාදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඇමති රිෂාඩ් බද්දියුදින් එම සිද්ධියෙන් ඇමතිවරයා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ජ්‍යෙෂ්ට නීතිවේදීන් පිරිසක් ගොනු කල පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීයි , ඇමතිවරයාගේ සමාව අයැදීම සිදු කෙරුණේ.. ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා සමාව අයදින ලියැවිල්ලක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අදාළ සිද්ධියෙන් මන්නාරම හිටපු මහේස්ත්‍රාත්වරයාට යම් සිත් තැවුලක් සිදු වී නම් ඒ පිළිබඳ ව ඇමතිවරයා කනගාටුව පළ කරන බවයි. මෙම සිද්ධියේ දී අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් ඇමතිවරයා තුළ නො තිබූ බව සඳහන් කළ නීතිවේදියා නීතියේ සහ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරන බවට ඇමතිවරයා පොරොන්දු වන බවත් කියා සිටියේය. ඇමතිවරයාගේ ස්ථාවරය පිළිගත් පැමිණිලිකාර පාර්ශවයේ නීතිවේදීහු නඩුව සමථයකට පත් කර ගැනීමට එකඟ වූහ. එහෙත් අදාළ නඩුව මුලදී විභාගයට ගත් අවස්ථාවේ දී රිෂාඩ් බද්දියුදින් ඇමතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමන් අධිකරණයට අපහාස කළ බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එහෙත් ඇමතිවරයා එම ස්ථාවරය වෙනස් කොට අධිකරණය හමුවේ සමාව අයැදීම අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා සටන් කල කණ්ඩායම් ලැබූ ජයග්‍රහණයකැයි පැමිණිලි පාර්ශවයේ නීතිවේදියකු වන ජේ.සි.වැලිඅමුණ කියා සිටියේය. ‘’පසුගිය කාලයේ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධීන් ගණනාවක්ම වාර්තා වුනා. එහෙත් මෙම සිද්ධියයි අධිකරණය හමුවට පැමිණ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වය සහිතව විභාග කෙරුණේ. මේ ගැන අපට සතුටු වන්න පුළුවන්. ‘’යැයි නීතිවේදී වැලිඅමුණ ප්‍රකාශ කළේය. අනතුරුව, මෙම නඩු විභාගයෙන් ඇමතිවරයා මුදා හැරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී.
දරු උපත් පහළ යාම නිසා මේ සියවස අග වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය අඩකින් අඩු වෙතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
"රටට ගැලපෙන ජන සංඛ්‍යා වර්ධනයක් පවත්වාගෙන ගියොත් අපිට ලංකාවේ වතුර ටිකක් බොන්න පුළුවන් තැනක් සෑම තැනකම තිබෙන විදිහට හදා ගන්න පුළුවන් වේවි." ලොව රටවල් 195 ක සාඵල්‍යතා වේග (Fertility rates), මරණ, සංක්‍රමණ සහ ජනගහනයේ ඇති විය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් 'The Lancet' සඟරාව ජුලි මස නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය වසර 2100 වන විට මිලියන 10.45 දක්වා පහළ යනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි. ඉහත කී වාර්තාවට අනුව 2017 වසරේදී මිලියන 21.60 ක් වූ ශ්‍රී ලංකාවේ ජනගහනය 2031 වසරේදී එහි උපරිමයට, එනම් මිලියන 22.34 කට ළඟා වනු ඇත. 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය (එක් කාන්තාවක් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය) 1.80 ක් වන අතර මේ සියවස අග වන විට එය 1.46 දක්වා පහළ යනු ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. යම් රටක සාඵල්‍යතා වේගය දල වශයෙන් 2.1 ට අඩු නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වී ඇතැයි සැලකෙයි. නිල වාර්තා අනුව 1963 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය 5.0 කි. 2016 වසර වන විට එම අගය 2.2 දක්වා පහළ ගොස් තිබේ. දකුණු ආසියාව තුළ අපි කොතැනද? සාඵල්‍යතා වේගය පහළ යාම ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ. වර්ෂ 2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. 1950 දශකයේදී ලොව කාන්තාවන් බිහි කළ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 4.7 ක් විය. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ අගැයීම් පිළිබඳ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 2017 වසරේදී ගෝලීය සාඵල්‍යතා වේගය 2.4 දක්වා, එනම් අඩකින් අඩු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයනය මගින් ප්‍රක්ෂේපනය කර ඇත්තේ වසර 2100 වන විට ගෝලීය සාඵල්‍යතා වේගය 1.7 ට පහළ අගයක් ගනු ඇති බවය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සියවස අවසාන වන විට ලොව ජනගහනය බිලියන 8.8 (කෝටි 880) දක්වා පහළ යනු ඇති බවත් ඊට පෙර, වසර 2064 පමණ වන විට එම අගය එහි උපරිමයට, එනම් බිලියන 9.7 ට (කෝටි 970) ළඟා වනු ඇති බවත් පර්යේෂකයෝ පවසති. අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී දකුණු ආසියාවේ සාඵල්‍යතා වේගය 2.27 කි. "වසර 2100 වන විට එම අගය 1.33 දක්වා පහළ යනු ඇත." සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි? කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාව නිසා දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවෝ නැඹුරුවක් දක්වති. එම තත්ත්වය ලොව සාඵල්‍යතා වේග පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පර්යේෂකයෝ පවසති. නමුත් කාන්තා අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ පහසුකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීම ඒ සඳහා විසඳුමක් නොවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 51% කට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ය. මහ බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ ආර්ථික වශයෙන් සක්‍රිය කාන්තාවන් සංඛ්‍යාව මිලියන 3.04 කි. ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය 34.5% කි. ආර්ථික වශයෙන් සක්‍රිය නොවන කාන්තාවන් සංඛ්‍යාව මිලියන 5.78 කි. 2016 වසරේ නිල සමීක්ෂණ වාර්තාවලට අනුව වයස අවුරුදු 15-49 ත් අතර කවදා හෝ විවාහයට ඇතුළත්ව සිටි කාන්තාවන්ගෙන් රැකියාවල නිරතව ඇත්තේ 33% ක් පමණි. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් අධ්‍යාපනයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද ඔවුන් රැකියාවලට යොමු වීම සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව ඉහත කී දත්ත මගින් පෙන්නුම් කරයි. 2016 වසරේ ජනවිකාශ සහ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව පසුගිය විසි වසර තුළ, වෙනත් වයස් ඛාණ්ඩවල සාඵල්‍යතාව පහළ යමින් තිබෙන අතරේ අවුරුදු 25-34 වයස් සීමාවට අයත් කාන්තාවන්ගේ සාඵල්‍යතාව ඉහළ ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් රැකියාවලට යොමු වීම, සාඵල්‍යතා වේගය පහළ යාම කෙරෙහි සෘජුවම බලපා ඇතැයි නිශ්චිතව කිව නොහැක. ශ්‍රී ලංකාවේ ජනවර්ග සහ සමාජීය මට්ටම් අනුව සාඵල්‍යතා වේගය 2012 ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව: 2012 ජන හා නිවාස සංගණනයට අනුව: විශේෂඥ මතය කුමක්ද? සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා, ව්‍යාප්තිය, වයස් සංයුතීන් තුළ සිදුවෙන වෙනස්කම් සහ ප්‍රතිවිපාක ඇතුළු ජන විකාශය පිළිබඳ පර්යේෂණ වාර්තා සහ ඒ ආශ්‍රිත ප්‍රක්ෂේපණ සිදු කළ ප්‍රවීණයෙකි. ශ්‍රී ලංකාවේ ජනගහනය පහළ යන බවට ජාත්‍යන්තර ආයතන ලබා දී ඇති පුරෝකථන සහ ප්‍රක්ෂේපණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා සඳහන් කරන පරිදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය තවමත් 2.1 ට මදක් ඉහළින් පවතියි. 2010-2012 කාල සීමාවේ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අගය 2.4 ත් 2.5 ත් අතර අගයක් ගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එම වැඩිවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන හරිහැටි අවබෝධ කරගෙන නොමැති බව කියා සිටියේය. "සාඵල්‍යතාව අඩු වෙමින් ඇවිත් යම් කිසි හේතු ගණනාවකට එය එකවරම වැඩි වුණා. ඒ වැඩිවීම සිදු වුණු රටවල් කිහිපයයි තිබෙන්නේ. එයින් එකක් ශ්‍රී ලංකාව," "මා කලින් කළ ප්‍රක්ෂේපණ අනුව පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතාව සීග්‍රයෙන් අඩු වෙනවා, අපේ ජනගහනය මිලියන 22 ක් වගේ වෙනකොට උපරිමයකට එන බව. ඒ ස්ථාවර අගය දශක කිහිපයක් එලෙස පැවතිලා අඩු වෙන්න පුළුවන් බව ප්‍රක්ෂේපණය කර තිබුණා," "නමුත් 2010 -2012 කාලවල සාඵල්‍යතාවේ වැඩි වීමක් දැක්කට පසු මම අලුතෙන් කරපු ප්‍රක්ෂේපණ මගින් පෙන්නලා තිබෙනවා 2050, 2060 ගණන් වෙනකොට අපේ ජනගහනය මිලියන 25 ක් 26ක් දක්වා වැඩි වෙන බව. ඒ වැඩිවීම මිලියන 27 ක් වෙන්නත් පුළුවන්. 2100 ගණන් වෙනකොට පොඩි බැස්මක් සිදු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර කලින් වැඩි වුණු සඵලතාවය යළි අඩු වෙමින් පැවතීම." යනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පැවසීය. නමුත් ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය අඩුවීමේ හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ ජනගහනය 'අඩු නොවීමට' හේතු? ශ්‍රී ලංකාව තුළ ජනගහනයේ පහළ යාමක් සිදු නොවීම කෙරෙහි 'අපටම අනන්‍ය වූ' කරුණු තුනක් බලපාන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. ඒවා නම්: දැනට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න අගයක් ගනු ලබන නමුත් ඉදිරියේදී ඊට තවත් මිලියන 4-5 ත් අතර සංඛ්‍යාවක් එක් වූ පසු භූමියට දරා ගත නොහැකි මට්ටමක් ඇති විය හැකි බවට මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා අනතුරු අඟවයි. "දැනටමත් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ගැටලු පවතිනවා. පානීය ජල ප්‍රශ්න තිබෙනවා. කැලෑ එළිපෙහෙළි කිරීම නිසා අලි ගම් වැදීම ඇතුළු බරපතල පාරිසරික ගැටලු රාශියක් මතු වෙමින් පවතිනවා. මේ දැන් වෙනකොට තත්ත්වය, 2050, 2060 වෙනකොට ජනගහනය තවත් වැඩි වුණොත් මේ තත්ත්වය උග්‍ර වෙනවා," රටක් වශයෙන් එවැනි අර්බුදකාරී තත්ත්වයක් අප ඉදිරියේ පැවතියත් පෙර සඳහන් "තරඟය" නතර කිරීමට මිනිසුන්ගේ සූදානමක් නොමැති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. "අන්න එතන තමයි අපිට තිබෙන උභතෝකෝටික ප්‍රශ්නය. මේක ගැටලුවකට යන බව මා පෙන්වා දී තිබෙනවා. මේ කෝවිඩ්-19 නිසා ඒ ගැටලුව තවත් බරපතල වෙනවා. නමුත් මේ තත්ත්වය නතර කිරීමත් පහසු දෙයක් නොවෙයි. මොකද වැඩි දෙනෙක් බලන්නේ අර ගැටලුව දෙස නොවෙයි, තමන්ගේ ප්‍රමාණය අඩු වැඩි කර ගැනීම කියන එකට තමයි මුල් තැන දී තිබෙන්නේ," මහාචාර්යවරයා පවසන පරිදී ඉහත කී තත්ත්වය මග හරවා ගැනීමට ඇති එකම මග එකී ගැටලුව පිළිබඳ සෑම ජන වර්ගයකටම අවබෝධයක් ලබා දීම පමණි. "රටට ගැලපෙන ජන සංඛ්‍යා වර්ධනයක් පවත්වාගෙන ගියොත් අපිට ලංකාවේ වතුර ටිකක් බොන්න පුළුවන් තැනක් සෑම තැනකම තිබෙන විදිහට හදා ගන්න පුළුවන් වේවි. එහෙම නැතිව දැන් යන රේස් එකේ නම් අර්බුද ගොඩක් එනවා ඉස්සරහට," සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය. මේ ගැනත් කියවන්න:
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නැවතත් සමාජයේ කතාබහට ලක්වීමට පටන් ගත්තේ කොරෝනා වෛරසය ආසාදිතව කොළඹ බෝවන රෝග නිවාරණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමත් සමඟය.
මුලින් ඇයව රඳවා තබන ලද හික්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට, හුස්ම ගැනීමේ අපහසුතා (wheezing) හේතුවෙන් හදිසියේම ගුවන් මගින් කොළඹ කොතලාවල ආරක්ෂක පිඨයේ රෝහල වෙත රැගෙන විත් තිබිණි. ඉන් අනතුරුව කොළඹ බෝවන රෝග නිවාරණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇමතිවරිය ඇතුළත් කරනු ලැබුවේ, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඇය සුව අතට හැරෙමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ පැය කිහිපයක් ඉක්ම යද්දී ය. මෑතකදී වඩාත්ම කතාබහට ලක්වූ අමාත්‍යවරිය බවට පවිත්‍රා වන්නිආරච්චි පත්වූයේ කොරෝනා රෝගය වැළඳීම නිසාම පමණක් නොවේ. පසුගිය දිනවල ඇය විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ හා ක්‍රියා නිසාවෙනි. ඉන් සමහර දේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රතිචාර පළවූ අතර කාටූන් ද නිර්මාණය විණි. කොරෝනා වයිරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් තැනැත්තා නිෂ්පාදනය කළ බව කියන 'පැණිය' සියලුම මාධ්‍ය ඉදිරියේදී දෙසැම්බර් දෙවෙනිදා සෞඛ්‍ය ඇමැතිවරිය විසින් පානය කරනු ලැබීම ද මහත් කතා බහකට ලක්විය. ආසාදිතයන්ට 'පැණිය' ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමෙන් අනතුරුව, එම පානය විමර්ශනය කර යෝජනා මාලාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් ද ඇය විසින් පත් කරනු ලැබුවාය. මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න සහ මහාචාර්ය කමනි වනිගසූරිය ද ඇතුළත් වූහ. විද්‍යාත්මක සාධක පදනම් කරගත් එන්නත්කරණය සහ "දේව බැල්මකට අනුව සකස් කළා" යැයි පැවසෙන 'පැණිය' සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ගන්නා ලද දෙයාකාරයේ ප්‍රවේශය පසුගිය දිනවල විවේචනයට ද ලක්විය. සෞඛ්‍ය අමාත්‍යවරිය මීට පෙර ද අවධානයට යොමුවූයේ, කොරෝනා වෛරසය දෙවන වර ව්‍යාප්තිය බ්‍රැන්ඩික්ස් පොකුරින් ඇරඹීමත් සමඟම ය. වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකිවේවායි පතමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවයිනේ ගංගා කිහිපයකට ජලය පිරවූ කල අතහැරීම සමාජ මධ්‍ය ඔස්සේ පුළුල් අවධානයකට ලක්විණි. "මෑතකදී මා සහභාගී වූ ආගමික චාරිත්‍රය පිළිබඳව විපක්ෂය ෆේස්බුක් හි විවිධ අදහස් ප්‍රකාශ කර තිබුණා. මේ රට අධ්‍යාත්මික බලයෙන් ආශීර්වාද ලත් බව පෙන්වා දීමට මම කැමැතියි. සෞඛ්‍ය අමාත්‍යවරයකු වශයෙන් මම මහන්සි වී වැඩ කරන අතර තාක්ෂණික සාධක මත පදනම්ව COVID-19 වසංගතය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිනවා" යැයි ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. ඇය එම ප්‍රකාශය කරනු ලැබුවේ, තමන් විසින්ම වෛද්‍යවරයෙකු ලෙස හදුන්වාදෙන ඊලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් මත මැතුරූ ජලය ඇතුළත් මුට්ටි ගංගාවලට විසිකිරීම සම්බන්ධයෙන් ආන්දෝලනක් මතුවූ අවස්ථාවේ දීය. එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ, "සමහර ආගමික උත්සවවලට සහභාගි වන ලෙස ආගමික කණ්ඩායම් කිහිපයක් මගෙන් ඉල්ලා සිටියා. හැකි සෑම අවස්ථාවකදීම මම එවැනි චාරිත්‍ර හා උත්සවවලට සහභාගි වෙනවා. COVID-19 පාලනය කර ගැනීම සඳහා පවිත්‍රා වන්නියාරච්චි මුහුදට පැන සිය ජීවිතය පුජා කළ යුතු යැයි සමහරු පවසා තිබුණා. වසංගතය ඒ ආකාරයෙන් පාලනය කළ හැකි නම් මම එය කිරීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කිරීමට කැමැතියි," යනුවෙනි. කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතු බවට, සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ කමිටුව නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජනවාරි 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය. "එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජීය, ආගමික,දේශපාලනමය හෝ වෙනත් කිසිම පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාරුණිකව සඳහන් කරමි," යනුවෙන් අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ ජී පොන්නම්බලම් මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. නමුත් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද නවතම කමිටුවකින් ආදාහනය මෙන්ම භූමදානය යන දෙයාකාරය ම නිර්දේශ කර ඇති අතර භූමදානය කිරීම තුළින් කොරෝනා රෝගය බෝ නොවන බවට ද කමිටුව සඳහන් කර ඇති බවය. කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බවට සැප්තැම්බර් මාසයේදී ඇය ප්‍රකාශ ප්‍රකාශය ද මහත් ආන්දෝලනයකට තුඩු දුණි. මේ අනුව, ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා රෝගියා වූ චීන කාන්තාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සුවය ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටව යන අවස්ථාවේදී ඇයව සිප වැළඳ ගැනීමේ සිට සෞඛ්‍ය ඇමතිනිය විවිධ අවස්ථාවල පුවත් මවන්නට වූවාය. මේ තොරතුරුද කියවන්න:
පළාත් සභාවලට විමධ්‍යගත බලතල ඉවත් කෙරෙන ආකාරයේ කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට තම පක්ෂය සහාය නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.
උතුරු පළාත් සභා මැතිවරණයේදී ස්වාධීනව තරඟ වදින බව මහ ලේකම්වරයා පවසයි පළාත් සභාවල ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කරමින් 19 වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට පළ වන වාර්තා පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි, 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී තිබෙන බලතලද ප්‍රමාණවත් නොවන බව තම පක්ෂයේ මතය බව අවධාරණය කළේය. දෙවරක් ධූරය හෙබැවූ ජනාධිපතිවරයෙකුට යලි ජනපති පදවියට තරඟ වැදීමට බලය හිමිවන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයටද මුස්ලිම් කොන්ග්‍රසය විරෝධය පළ කළ අවස්ථාවේ ජනාධිපතිවරයා තමන්ට දුන් ප්‍රතිඥා තවමත් ඉටු කොට නොමැති බැවින් නවතම සංශෝධනයට පක්ෂය කිසිසේත්ම සහාය නොදෙන බවයි, හසන් අලි බීබීසී දෙමළ සේවයට කියා සිටියේ. 'ස්වාධීනව තරඟ වදිනවා' අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක රවුෆ් හකීම්ට සිදුවුවත් පක්ෂය එයට දැඩි විරෝධය පළ කරන බව ඔහු පැවසීය. කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලින් ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් අවසාන තීන්දුවකට එළැඹී නොමැති බව ආර්ථික සංවර්ධන කටයුතු පිලිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනමාධ්‍යවලට පවසා තිබුණි. එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් කොන්ග්‍රසය ස්වාධීනව තරඟ වදින බවද මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා බීබීසීයට පැවසීය.
මුහුණු ආලේපන තොග වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ නීති විරෝධී ලෙස විකිණීමේ ජාවාරමක් හෙළි වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මුහුණු ආලේපනවලට එසේ ව්‍යාජ ඇසුරුම් සකස් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් නිකුත්කළ නිවේදනයක සඳහන්වේ. ඉන් අනතුරුව එම ගබඩාවට මුද්‍රා තබන ලද බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න සඳහන් කළේය. ලන්ඩන් නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන බැරල් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මුහුණු ආලේපන වැල්ලම්පිටියේ පිහිටි එම ව්‍යාපාරික ස්ථානයේදී ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට පුරවා කලක් මුළුල්ලේ වෙළෙඳ පොළට බෙදාහැර තිබෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබූ අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 157කට අධික බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. මෙය පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
කාලාන්තරයක් වැලිකන්දකින් වැසීගොස් තිබූ වසර තුන්දහසක් තරම් පැරණි යැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇති ඊජිප්තු නගරයක නටබුන් යළිත් මතුකර ගැනීමට හැකිවීම අති වැදගත් පුරාවිද්‍යාත්මක ජයග්‍රහණයක් ලෙස අගයකරනු ලැබෙමින් ඇත.
මෙම රන් පුරවරය සොයාගනු ලැබ තිබෙන්නේ ඊජිප්තුවේ සුප්‍රකට ස්මාරක පිහිටි ප්‍රදේශයකිනි එම නටබුන් නගරය මතුකර ගැනීම 'ටුටන්කාමුන්ගේ' සොහොන්ගැබ සොයාගනු ලැබීම තරම් වැදගත් පියවරක් ලෙස හඳුන්වනු ලැබෙයි. ලුක්සෝර් (Luxor) අසල ස්ථානයකින් සොයාගන්නා ලද ''අහිමි රන් පුරවරය''("lost golden city") පිළිබඳ පුවත අනාවරණය කරන ලද්දේ ඊජිප්තුව පිළිබඳ කීර්තිධර පුරාවිද්‍යාඥයකු වන ෂහි හවාස් (Zahi Hawass) විසිනි. 'ඇතෙන්' (Aten) යනුවෙන් දැක්වෙන එම පෞරාණික නගරය මෙතෙක් සොයාගන්නා ලද විශාලතම නගරය වන බව ෂහි හවාස් (Zahi Hawass) පවසයි. එම ස්ථානයේ කැණීම් ආරම්භකරනු ලැබ තිබෙන්නේ 2020 සැප්තැම්බර් මාසයේය. එම කැණීම් ආරම්භකිරීමෙන් සුමාන කීපයකට පසු නගරයේ නටබුන් දැකගැනීමට ලැබී ඇත. මෙම නගරය පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 1391-1353 අතර කාලය තුළ බලයේ සිටි ඊජිප්තු දේශයේ බලවත්ම පාරාවෝ වරයකු වූ තුන්වෙනි ආමෙන්හෝටෙප් (Amenhotep III) රාජ්‍ය සමය තෙක් දිවයයි. 'අයි'(Ay) සහ 'ටූටන්කාමුන්'(Tutankhamun) පාරාවෝවරුන් විසින් දිගටම ඔවුන්ගේ පාලන සමයන්හි උපයෝගී කරගනු ලැබ ඇති මෙම නගරය පිහිටා තිබෙන්නේ 'රජුන්ගේ නිම්නය'(alley of the Kings) ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හාවර්ඩ් කාටර් (Howard Carter) විසින් 1922 දී සොයාගන්නා ලද එකී පාරාවෝවරුන්ගේ එකට පිහිටි සොහොන් ගැබට ආසන්න කලාපයකිනි. ''ඉහත කී 'අහිමි රන් පුරවරය'සොයාගනු ලැබීම 'ටූටන්කාමුන්'(Tutankhamun) සොහොන්ගැබ සොයාගනු ලැබීමෙන් අනතුරුව ලද දෙවෙනි වැදගත් පුරාවිද්‍යාත්මක ජයග්‍රහණය'' බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය බෙස්ටි බ්‍රයන් (Betsy Brian)පවසයි. ''ඊජිප්තු අධිරාජ්‍යයේ ධනවත්ම අවධියේ එහි නිවැසි පෞරාණික ප්‍රජාව විසින් භුක්ති විඳින ලද දුර්ලභ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳ දර්ශනයක්, මතුකරගන්නා ලද නගරයේ දර්ශන තුළින් පෙන්නුම් කෙරෙන බව ද මහාචාර්යවරිය සඳහන් කළාය. නගරයේ නිවැසියන් විසින් භුක්ති විඳින ලද දුර්ලභ සුඛෝපභෝගී ජීවිතය පෙන්නුම් කෙරෙන කලාකෘතීන් හමුවී ඇත පුරාණ ඊජිප්තුවේ බලවත්ම පාලකයකුව සිටි 'තුන්වෙනි ආමෙන්හෝටෙප්' මෙම නගරය නිර්මාණය කරන්නට ඇතැයි අදහස් කෙරෙයි වසර තුන්දාහක් පැරණි ''රන් පුරවරය'' සොයා කැණීම් කටයුතුවල නිරතවෙමින් සිටි ගවේෂකයන්ට රන් පළඳනා, වර්ණ ගන්වන ලද මැටියෙන් කළ නිර්මාණ, ආරක්‍ෂාව පතා නිමවන ලද කුරුමිණියන් වැනි නිමැවුම් සහ තුන්වෙනි ආමෙන්හොටේප් පාරාවෝගේ නිල ලාංඡනය තැබූ මැටි ගඩොල් ආදිය හමුවී ඇත පුරාවිද්‍යා ගවේෂකයන් අදාළ කැණීම් ආරම්භකර තිබෙන්නේ ඊජිප්තුවේ 'කයිරෝ' අගනුවරින් කිලෝමීටර් පන්සීයක් (සැතපුම් 300) පමණ ඈතින් පහිටි 'රජුන්ගේ නිම්නය' ආසන්නයේ පිහිටි 'ලුක්ෂෝර්'නගරයේ (Luxor) බටහිර ඉවුරේය. ''කැණීම් ආරම්භකර සති කීපයක් ඇතුළත අපේ කණ්ඩායම විශ්මයට පත්කරමින් හැම දිශාවකින්ම මැටියෙන් තැනූ ගඩොල් හමුවෙන්න පටන්ගත්තා'' ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්ය ෂහි හවාස් (Zahi Hawass) ප්‍රකාශ කළේය. ''ඉතා හොඳ සුරක්‍ෂිත තත්ත්වයක තිබුණ විශාල නගරයක කොටසක් ගවේෂකයන් විසින් මතුකර ගනු ලැබුණා. ඒ නගරයේ ගොඩනැගිලිවල බිත්ති ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට කිට්ටු මට්මක තියෙනවා. ගොඩනැගිලිවල කාමර මිනිසුන්ගේ දෛනික උවමනා සඳහා යොදාගනු ලබන බඩු භාණ්ඩවලින් පිරිලා තිබුණා'' ටුටන්කාමුන්ගේ සිරුර තැන්පත් කරන ලද පාෂාණමය මංජුසාව ආචාර්ය හවාස් විසින් නිරීක්‍ෂණය කරන ලද අවස්ථාවක්.ඔහු ඊජිප්තුවේ පෞරාණික වස්තූන් භාරව කටයුතු කළ ඇමතිවරයෙකි කැණීම් ආරම්භ කරනු ලැබ දැනට මාස හතක කාලයක් ඉකුත්ව ඇත. එම කාලය තුළ පාදා ගැනීමට සමත්වූ දේවල් අතර බේකරියක්, පරිපාලන කලාපයක් සහ මහජන නිවාස පිහිටා තිබුණ භූමියක් ද ඇතුළත්වෙයි. ''විදේශීය ගවේෂණ කීපයක් මගින් මෙම පුරය සොයා කැණීම් සිදු කළත් එම අවස්ථාවල යමක් පාදා ගැනීමට නොහැකි වුණා.'' ආචාර්ය හවාස් පවසයි. ඊජිප්තුවේ පෞරාණික උරුමයන් භාරව සිටි හිටපු ඇමති ආචාර්ය හවාස් පවසන්නේ තම කණ්ඩායමේ තවත් පුරාවිද්‍යාත්මක ගවේෂණ පෙරට යමින් පවතින බවය. ''සම්පත්වලින් පිරුණ මෙතෙක් අත නොගැසූ සොහොන්ගැබ කීපයක් මතුකර ගැනීමේ අපේක්‍ෂාවක් පවතිනවා'' පුරාවිද්‍යාඥයන් විසින් පැරණි ඊජිප්තුවාසීන් විසින් ආරක්‍ෂාව පතා භාවිත කරන ලද යන්ත්‍ර සහ කුරුමිණි නිමැවුම් සොයාගනු ලැබ ඇත අක්‍ෂර සටහන් ඇතුළත් මෙවැනි මැටි භාණ්ඩ එම නගරය අයත් කාලය තීරණය කිරීමට උපකාර විය. මෑත ඉතිහාසයේ දිගින්දිගට පැවති දේශපාලන වියවුල් සහ පසුගියදා මුහුණදීමට සිදුවූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පසුබෑමට ලක්වූ රටේ සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමට මෙම පුරාතන ඓතිහාසික උරුමය උපයෝගී කරගැනීම ඊජිප්තුවේ අපේක්ෂාව වී ඇත. පසුගිය සතියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර දී සුවිශේෂී දර්ශනයක් දැක ගැනීමට ලැබුණි. එනම් ඔවුන්ගේ පුරාතන පාලකයන්ගේ සිරුරු රැගත් ඓතිහාසික පෙරහැරක් කයිරෝ නගරයේ වීදි ඔස්සේ ගමන් ගැනීමය. නව සම්භාව්‍ය ඊජිප්තු කෞතුකාගාරයෙන් ආරම්භ වූ එම පෙරහැර අලුතින් ඉදිකරන ලද ජාතික කෞතුකාගාරය කරා ගමන් ගත්තේය. කිලෝමීටර් පහක දුරක් ගමන්ගත් පෙරහැරේ පෞරාණික රජවරුන් දහඅට දෙනකුගේ සහ රැජිනියන් හතරදෙනකුගේ මමී (mummies) ගෙනයනු ලැබුණි. තවත් පැරණි පාලකයන්ගේ සිරුරු සමඟ තුන්වෙනි ආමෙන්හෝටෙප් රජතුමාගේ සහ එම රජුගේ බිසව වූ 'ටියේ'( Tiye )රැජිනගේ දේහයත් ඔවුන්ගේ අවසන් සැතපෙන ස්ථානය කරා එම පෙරහැර මගින් ගෙනයනු ලැබුණි. කියවන්න;
උතුරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සැපයුම් කරන සමාගම් ඔවුන්ගේ ලාභය ගැන පමණක් සිතීම නිසා පළාතේ පාරිසරික ගැට‍ළු රැසක් උද්ගත වී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.
එම සමාගම් තමන්ට අයත් ඉඩම්වලින් පස් සහ බොරලු කැපීම හේතුවෙන් ඉඩම්වල විශාල වලවල් සෑදී ඇති බවයි ඔවුන් පවසන්නේ. දිනකට පස් සහ බොරලු රැගත් ටිපර් රථ 600 - 700 අතර ප්‍රමාණයක් මහා මාර්ගවල ගමන් කිරීම නිසා එම මාර්ග පරිහරණය කරන සාමාන්‍ය වැසියන්ට සහ මග දෙපස ජීවත් වන වැසියන්ට පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. බොරළු සහ පස්වලින් පැන නගින දූවිල්ල හේතුවෙන් සිය දරුවන්ට සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදු වී ඇති බවත් උතුරේ වැසියෝ පවසති. දරුවන් පාසල වෙත යන විට ඔවුන්ගේ නිල ඇඳුම් දුර්වර්ණ වන බවත් දෙමව්පියෝ කියා සිටිති. ටිපර් රථ අධික වේගයෙන් මහමග ගමන් කිරීම හේතුවෙන් මාර්ග අනතුරු වැඩි වීමේ අවදානමක් පවතින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. බොරළු සහ පස්වලට අමතරව මහා මාර්ග දෙපස මෙන්ම තම ඉඩම්වලද පිහිටි වටිනා ගස් නීති විරෝධී අන්දමට කපා ගෙන යන බවටත් උතුරේ වැසියෝ චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් පළාතේ බලධාරීන්ට කොතෙක් පැමිණිලි කළද නීතිය ක්‍රියාත්මක නොවන්නේ අදාළ සමාගම් දේශපාලන බලවතුන්ගේ අනුමැතිය හා විශේෂ අනුග්‍රහය මත එම ක්‍රියාකාරකම්වල නිරත වන බැවින් යැයි උතුරේ වැසියන් කියා සිටිති. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් පළාත් බලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ තමන්ට එම විෂය අයත් නොවන බව පවසමින් ඔවුන් ප්‍රශ්නය මගහැර ගිය බවයි දිනසේන රතුගමගේ සංදේශයට වාර්තා කළේ.
දේශපාලන රැකවරණ පතන්නන් පිළිබඳ ඕස්ට්‍රේලියාවේ නව ප්‍රතිපත්තිය මගින් ඔවුන්ට ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් නොසලකා හරිනු ලැබ තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
'දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නොමැති' බව එ. ජාතීන් පවසයි පසුගියදා නිවේදනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ නව ප්‍රතිපත්තියට අනුව, බෝට්ටුවලින් පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන්ගේ ඉල්ලුම්පත්‍ර සලකා බලනු ලබන්නේ පැපුවා නිව් ගිනියාවේදී. කෙසේ නමුත්, එම ඉල්ලුම්පත් සලකා බැලීමෙහිලා පැපුවා නිව් ගිනියාවේ අධිකරණ පද්ධතියේ "බරපතල අඩු ලුහුඬුකම්" පවතින බවයි, අනාථයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ. 'ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නෑ' මේ සම්බන්ධයෙන් පැපුවා නිව් ගිනියාවේ ආණ්ඩුව සමඟ ඕස්ට්‍රේලියාව අත්සන් තැබූ ගිවිසුම දේශපාලන රැකවරණ පතන්නගේ ආරක්ෂාව සම්බන්ධයෙන් "බරපතල ගැටළු" මතු කරන අතර, ඒ සම්බන්ධයෙන් බලධාරීන් ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නොමැති බව ද මහ කොමසාරිස් කාර්යාලය පවසයි. "පැපුවා නිව් ගිනියාවේදී දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නොමැතිවීම," පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය බරපතල කනස්සල්ල පළ කොට තිබේ. විශේෂයෙන්ම දේශපාලන රැකවරණ පතන්නන්ගේ ඉල්ලුම්පත්‍ර සලකා බැලීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම පැපුවා නිව් ගිනියාව සතුව නොමැති බව පවසන එක්සත් ජාතීන්, එහි රැඳවුම් කඳවුරුවල පවතින පහසුකම් ද විවේචනයට ලක් කොට තිබේ. දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධ නව ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරිපත් විය හැකි අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම එය පවත්වාගෙන යාමේ අභියෝගවලට ද මුහුණදීමට ඕස්ට්‍රේලියාවට සිදු වනු ඇති බවත් නිවේදනයේ සඳහන්.
2016 වසර සඳහා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ වැඩි සම්මාන ප්‍රමාණය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ තුන් ඉරියව්වේ ක්‍රීඩක අසේල ගුණරත්න සමත් විය.
රංගන හේරත් නැවත වතාවක් වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් නමුත් සම්මාන උළෙලේ වැඩි අවධානය යොමුවූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තම පළමු වසරේම සම්මාන 4ක් දිනාගත් අසේල ගුණරත්න වෙතය. "සම්මාන බලාගෙන නෙවෙයි ආවේ, නමුත් මගේ දක්ෂතා අගයලා ලැබුණු සම්මාන ගැන සතුටුයි" අසේල ගුණරතන ඊයේ (ඔක්තෝබර් 31) කොළඹදී පැවති සම්මාන රාත්‍රියේදී බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. අසේල ගුණරතනට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකිවුයේ ඔහුට වසර 30ක් වන විටය. ඔහුට මීට පෙර අවස්ථාව ලැබිය යුතුව තිබූ බව ඇතැම් ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි. "පරක්කුවෙලා තමයි ආවේ, නමුත් මම හිතනවා එක හරි වෙලාව කියලා, මහේල අය්යාලා කුමාර් අය්යලා දිගටම සෙල්ලම් කළ නිසා කණ්ඩායමට එන්න ගොඩක් අමාරුයි, මම හිතනවා මගේ හොඳම කාලයේ මට අවස්ථාව ලැබුනා කියලා" "ඒ කාලේ අවස්ථාව ලැබුණානම් මෙච්චර දුර එන්නත් මට නොහැකි වෙන්න තිබුණා" අසේල ගුණරත්න සම්මාන ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ පසුගිය කාලයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටි අසේල ගුණරත්න පසුගිය ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ අබාධයකට ලක්වූයේ පන්දුවක් ඇගිල්ලේ වැදී අස්ථි බිදීමක් හේතුවෙනි. ඒ නිසා ඔහුට ඉන්දීය සහ පාකිස්තාන සංචාර අහිමිවිය. "මම පන්දුවට පහරදෙන්න පටන් ගෙන දැන් සතියක් විතර, පොඩ්ඩක් තාමත් අතේ රිදීමක් තියෙනවා, ඒක තියාගෙන තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ, ලොකු අවුලක් තියෙන්නේ පන්දු රැකීමේදී" එළඹෙන ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේදී ටෙස්ට් තරගාවලියට සහභාගිවීම තවමත් අවිනිශ්චිත බව අසේල ගුණරතන පැවසීය. "මගේ ඇගිල්ල තාමත් 100%ක්ම හොඳ නැහැ, ඒ නිසා ඒ ගැන හරියට කියන්න බැහැ" ඉන්දීය - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා අසේල ගුණරතන බොහෝවිට සහභාගිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මඬුල්ල පත් කළ බව දැනුම් දෙමින් මහ ලේකම්වරියගේ කාර්යාලයෙන් ලිපියක් ලැබී තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පරීක්ෂණ මඬුල්ලට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිණිස අවසර ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබෙන බවත් මහජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියි. එම ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මඩුල්ලට රට තුළ සංචාරය කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙනවා ද නැද්ද යන්න පිලිබඳ වූ තීරණය පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි. සුව නැති තුවාල ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වී වසර පහක් ගත වී තිබුණ ද ත්‍රස්තවාදය සහ යුද්ධය විසින් ඇති කරන ලද තුවාල තවමත් සුව වී නැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරිය පැවසුවාය. ජිනීවා නුවර දී ආරම්භ වූ මානව හිමිකම් මණ්ඩලයේ විසි හය වැනි සැසි වාරය අමතමින් ඒ බව කියා සිටි නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය, පසුගිය සැසි වාරයේ සම්මත වූ ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීම පිණිස සිය කාර්යාලය දැන් කාර්ය මණ්ඩලයක් පත් කොට තිබෙන බව ද කියා සිටියාය. විශේෂඥයන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් පිරිසක් විසින් එම පරීක්ෂණය සිදු කරනු ඇති බවත් ඇය සඳහන් කළාය. එම කණ්ඩායමට සහාය පළ කරන මෙන් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් පරීක්ෂණ මඬුල්ලේ සාමාජිකයන්ගේ නම් හෙළි කර නොමැත. මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දැක වූ ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආර්යසිංහ, ශ්‍රී ලංකාව සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් නිර්දේශ කරමින් පසුගිය සැසි වාරයේ දී සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බැවින් එම යෝජනාවේ ප්‍රතිඵලයක් වශයෙන් පිහිටනු ලැබූ පරීක්ෂණ මණ්ඩලයට ද ශ්‍රී ලංකාව සහාය නොදෙන බව අවධාරණය කරයි.
වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහ ලෝකය බවට පත්ව සිටි බ්‍රහස්පති ග්‍රහයා අභිබවා යාමට සෙනසුරු ග්‍රහයා සමත් වී ඇතැයි ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් පවසති.
'වළලු සහිත ග්‍රහයා' ලෙස විරුදාවලි ලද සෙනසුරු වටා කක්ෂගත වූ තවත් චන්ද්‍රයන් විස්සක් සොයා ගැනීමට ඇමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී ඇති අතර ඒ අනුව සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් බවට පත්ව තිබේ. මීට පෙර වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහයා ලෙස සැලකුණු බ්‍රහස්පති ග්‍රහයා සතු චන්ද්‍රයන් සංඛ්‍යාව 79කි. මෙම චන්ද්‍රයින් සොයාගෙන ඇත්තේ, හවායි හි පිහිටි මෞන කියාහි සුබාරු දුරේක්ෂය භාවිතයෙනි. එම අලුතින් සොයා ගැනුණු චන්ද්‍රයින්ගේ විශ්කම්භය කිලෝමීටර් 5ක් පමණ (සැතපුම් 3) වේ. ඉන් 17ක් සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවෙන් පසුපසට ගමන් කරයි. එය පසුගාමී දිශාව (retrograde direction) ලෙස හදුන්වයි. සෙසු චන්ද්‍රයින් තුන සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවට ගමන් කරයි. ඉදිරිගාමී චන්ද්‍රයින් තුනෙන් දෙකක් සෙනසුරු ග්‍රහයා වටා භ්‍රමණය වීමට ගත වන කාලය වසර දෙකකි. වඩා දුරින් පිහිටි පසුගාමී බොහෝ චන්ද්‍රයින්ට සේම ඉදිරිගාමී එක චන්ද්රයෙකුට සෙනසුරු වටා එක් වටයක් භ්‍රමණය වීමට වසර තුනකට අධික කාලයක් ගත වේ. "මෙම චන්ද්‍රයින්ගේ කක්ෂ අධ්‍යයනය කිරීමෙන් ඒවායේ මූලාරම්භය වගේ ම සෙනසුරු බිහි වන අවස්ථාවේ අවට පැවති තත්ත්වයන් පිළිබඳ තොරතුරුත් හෙළි කර ගන්න පුළුවන්," මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ ඇමෙරිකාවේ වොෂිංටන්හි අගනුවර පිහිටි කානගී විද්‍යායතනයේ ආචාර්ය ස්කොට් ෂෙපර්ඩ් පැවසීය. ආචාර්ය ෂෙපර්ඩ් බීබීසී පුවත් සේවයට පැවසුවේ, 1990 දශකය අගභාගයේ සිට වැඩි ම චන්ද්‍රයින් අයත් ග්‍රහයා ලෙස බ්‍රහස්පති ග්‍රහයා සැලකුණු බවය. සෙනසුරුට ඈතින් පිහිටි චන්ද්‍රයන් එම ග්‍රහ ලෝකය වටා කක්ෂගත වී ඇලය හා කෝණය මත පදනම්ව එකිනෙකට වෙනස් පොකුරු තුනකට බෙදී ඇති බව දක්නට ලැබේ. විද්‍යාඥයින් අනුමාන කරනුයේ, මෙම පසුගාමී සහ ඉදිරිගාමී චන්ද්‍රයන් අවම වශයෙන් විශාල වස්තූන් තුනක කැඩී බිඳී ගිය අවශේෂය බවය. මෙම විශාල වස්තූ එකිනෙකට වෙනස් චන්ද්‍රයන් අතර හෝ ඇදී යන ග්‍රහක සමග ගැටී කැබලිවලට බෙදී යන්නට ඇතැයි විශ්වාස කෙරේ. අලුතින් සොයා ගැනුණු පසුගාමී චන්ද්‍රයන් අතරින් එකක් සෙනසුරු ග්‍රහයාට වඩාත් ම ඈතින් පිහිටි චන්ද්‍රයා වේ. මෙම චන්ද්‍රයින් සොයාගෙන ඇත්තේ, හවායි මෞන කියා හි සුබාරු දුරේක්ෂය භාවිතයෙනි. "මෙම චන්ද්‍රයන් තරමක ඇලයකින් යුතු කක්ෂයක පිහිටා ඇති අතර ඒවා තිබෙන්නේ සෙනසුරුට ගොඩක් ඈතින්, ඒ නිසා ඒවා සෙනසුරු ග්‍රහයා සමග බිහිවූවා යැයි අප හිතන්නේ නැහැ. අපි හිතන්නේ ඒවා අතීතයේදී සෙනසුරු ග්‍රහයා සිය ගුරුත්ව බලයෙන් ග්‍රහණයට ගත් ඒවා කියලයි," ආචාර්ය ෂෙපර්ඩ් බීබීසී පුවත් සේවයට පැවසීය. සෞරග්‍රහ මණ්ඩලයේ යෞවන සමයේ සෙනසුරු ග්‍රහයා නිර්මාණය වෙමින් පැවති කාලයේ වළාවක් හෝ දූවිලි සහ වායු 'තැටියක' ආකාරයෙන් සෙනසුරු ග්‍රහයා වටා පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ මගින් සෙනසුරු ග්‍රහයා පසු කර යන වස්තූන්ගේ ශක්තිය විසිරුවා හරින්නට ඇත. එවැනි බොහෝ වස්තූ පසු කලෙක සෙනසුරු ග්‍රහයා වටා සර්පිලාකාරව කක්ෂගත වී පසුව එම ග්‍රහයාගේ කොටසක් බවට පත් වී තිබේ. තවදුරටත් කියවන්න.
ලොව පුරා වෙසෙන කාන්තාවන් අතරින් කෝටි 25 කට අධික පිරිසක් පහළොස් වෙනි විය සපිරීමට ප්‍රථම විවාපත් වූවන් බව ඇස්තමේන්තු කෙරේ.
ඒ අතරින් බහුතරය යුග දිවියට එළඹී තිබෙන්නේ බලහත්කාරයෙනි. දැරියක ළමා වියේදී විවාහ කරදීම මගින් ඇයගේ ළමා විය, අධ්‍යාපනය සහ නිදහස අහිමිවනු මතු නොව, සෞඛ්‍ය ගැටළු ද මතුවන අතර ඔවුන් බොහෝ විට හිරිහැරවලට සහ දූෂණයට පවා ලක්වන බව ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ළමා විවාහ වැළැක්වීමේ අරමුණින් ක්‍රියා කරන සංවිධාන පෙන්වා දෙති. එම සංවිධාන විසින් රැස් කරන ලද තොරතුරුවලට අනුව ලොව පුරා ළමා විවාහවලට වැඩිපුරම ගොදුරු වන්නේ උප-සහරා අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ඉතා දිළිඳු සහ දුෂ්කර පලාත්වල වාසය කරන දැරියන්ය. සබැඳි යොමු: මේ අතර ළමා විවාහ පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කරන ඇක්ෂන් ඒඩ් (Action Aid) ආයතනය, ළමා විවාහවලට එරෙහිව දිගු කලක් මුළුල්ලේ විවිධ දැනුවත් කිරීම් සිදු කළත්, ලෝකයේ ළමා මනාලියන්ගෙන් තුනෙන් එකකම තවමත් වෙසෙන්නේ ඉන්දියාවේ බව සඳහන් කරයි. එබැවින් බාල වියේ දැරියන් විවාහ කරදීමට එරෙහිව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන මෙන් ඇක්ෂන් ඒඩ් ආයතනය ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම ළමා වියේ සිටම ළමා විවාහවල ආදීනව වටහා දෙන අන්දමින් පෙළපොත් යළි සකස් කිරීම සහ ළමා විවාහ වැළැක්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයට පිණිස පුරුෂයන් සම්බන්ධ කරගැනීම පුණ්‍යායතනය ඉදිරිපත් කරන අනෙක් නිර්දේශ අතර වේ. 2011 දී ඉන්දියාවේ පැවති ජනසංගණනය ඇසුරෙන් එම වාර්තාව සකස් කරන පුණ්‍යායතනය පවසන පරිදි කෝටි දහයකට අධික ඉන්දියානුවෝ විවාපත් වී තිබෙන්නේ විවාහ වීමේ නීත්‍යානුකූල වයස වන දහ අට හැවිරිදි විය සම්පූර්ණ වීමට පෙරාතුවය. 'ට්‍රිලියන ගණනක පාඩුවක්' නීතියේ කවරක් සඳහන් වුවත් ළමා විවාහ ඉන්දීය සංස්කෘතියේ අංගයක් බව සඳහන් කරන වාර්තාව, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඉන්දීය සමාජය එය පිළිගන්නා බවත් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ළමා විවාහ එතරම් ප්‍රචලිතව නැතත්, මුස්ලිම් ජනතාවට පමණක් බලපැවැත්වෙන මුස්ලිම් විවාහ සහ දිකක්සාද පනත (MMDA) හේතුවෙන් ඇතැම් මුස්ලිම් දැරියන් මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳව බීබීසී සිංහල සේවය පැවැත්වූ විශේෂ ගවේෂණයක වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණ. මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක් ' මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සඳහාත් විවාහවීමේ වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවිය යුතු බව මුස්ලිම් ක්‍රියාකාරිනියන් පවසන නමුත් තව්හීඩ් ජමාත් වැනි ඇතැම් සංවිධාන එයට දැඩි විරෝධය පළකරති. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පමණක් මුස්ලිම් ජනතාව අතර ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහල ගොස් ඇති බව ද එමගින් හෙළිදරවු කෙරිණ. සබැඳි යොමු: මේ අතර ලොව පුරා බොහෝ රටවල තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ හේතුවෙන් ඉදිරි දශකයක පමණ කාලය ඇතුළත ලෝකයට ඩොලර් කෝටි ලක්ෂ ගණනක (ඩොලර් ට්‍රිලියන ගණනක) මූල්‍ය හානියක් සිදු වනු ඇති බව පසුගියදා ලෝක බැංකුව (World Bank) සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Research on Women- ICRW) පැවැත්වූ ඒකාබද්ධ පර්යේෂණ වාර්තාවකින් හෙළිදරවු කෙරිණ. දරුවන් විවාහ කරදීමේ සම්ප්‍රදායයට නැවතීමේ තිත තැබීම මගින් දැරියන් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, කාන්තාවන්ගේ ආදායම සහ පවුලේ සුභසාධනය කෙරෙහි ද ප්‍රබල සාධනීය බලපෑමක් ඇති කෙරෙන බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
කොළොන්නාව මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාමෙන් ජීවිත 32 ක් අහිමිවීමත් සමග කසළ බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වී තිබේ.
මේ අතර මීතොටමුල්ල වෙනුවට තාවකාලික විකල්පයක් වශයෙන් කොළඹට නුදුරින් පිහිටි වෙනත් කසළ බැහැර කිරීමේ අංගන වෙත කුණු රැගෙන ඒමට එරෙහිව එම ප්‍රදේශවල ජනතාව දිගින් දිගටම විරෝධය පළ කරති. එසේම ඇතැම් භූමි ප්‍රදේශ කසළ ගොඩ ගැසීම සඳහා යොදා ගැනීමට එරෙහිව පරිසරවේදීන් උද්ඝෝෂණයේ යෙදුණු අවස්ථා බොහෝය. ශ්‍රී ලංකාවේ කසළ අර්බුදයට බලධාරීන් විසින් තිරසාර විසඳුමක් ලබා දිය යුතු බවට ප්‍රබල මතවාදයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් පුරවැසියන්ට ද වගකීමක් ඇති බව තවත් සමහරෙකුගේ අදහසය. පුරවැසියාගේ 'වගකීම' කසල කළමනාකරණය කළ යුත්තේ කෙසේද? කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ ආචාර්ය සුජාතා ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කසළ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ට ද වගකීමක් පැවරෙන බවය. 'ලර්න් ඒෂියා' ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දෙන පරිදි කසළ කළමනාකරණයේ "වැදගත්ම" මුල් අදියර ආරම්භ විය යුත්තේ නිවසෙනි. ඉවතලන ආහාර නැතිනම් ජීව ද්‍රව්‍ය, කාඩ්බෝඩ්, පොලිතින්, වීදුරු වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සෙසු ද්‍රව්‍යවලින් වෙන් කොට තැබිය යුතු බව ඇය අවධාරණය කරයි. "කුස්සියේ ඉතුරු වෙන මස්මාළු, උයපු සහ උයපු නැති මේ ඔක්කොම වෙන් කර ගත යුතුයි. එසේ වෙන් කර ගත් දිරා පත්වන ද්‍රව්‍ය නිවසේදීම නඩත්තු කර ගත හැකි තාක්ෂණය අදවන විට තිබෙනවා. මීට අවුරුදු දහයකට කලින් තිබුණේ නැහැ," යනුවෙන් ඇය සඳහන් කළාය. කසල 'අහිංසකයි' "කසළවල තිබෙන ලොකුම ප්‍රශ්නය මේ ජීව ද්‍රව්‍ය. ජීව ද්‍රව්‍ය අයින් කරපු ගමන් කසළ බොහොම අහිංසක දෙයක් බවට පත් වෙනවා. ජීව ද්‍රව්‍ය තිබෙන කොට තමයි කසළවලින් අහිතකර දියර ගලන්නේ. අනෙක් පැත්තෙන් වායු හැදෙනවා." නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කර ගන්නා ගෘහනියක් ජීව ද්‍රව්‍ය කසළ ධාරාවෙන් ඉවත් කර තැබිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සෙසු අපද්‍රව්‍ය අවසන් බැහැරුමකට මුදා හැරීමේදී ප්‍රදේශවාසීන්ට ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවත් ඇය පෙන්වා දෙන්නීය. "මොකද එවැනි ද්‍රව්‍යවලින් ජරාව ගලා යන්නේ නැහැ. ගිහිල්ලා භූගත ජලයට එකතු වෙන්නේ නැහැ. වායුගෝලයට විෂ වායු එකතු වෙන්නේ නැහැ. ගඳ ගහන්නේ නැහැ." (සාකච්ඡාව ඇතුළත් බීබීසී සංදේශයට සවන්දෙන්න) කෙසේ නමුත් කසළ ගොඩ නොකොට සියයට සියයක් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවට පවතින තර්කය කසළ කළමනාකරණයේ පිළිගත් ක්‍රමවේදවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ඇය පෙන්වා දෙයි. ස්වීඩනයෙන් උදාහරණ කරදියාන කසළ අංගනය අන්තර්ජාතික පිළිගැනීමට අනුව ද කසළ කළමනාකරණය සඳහා අවසන් බැහැරුමක් අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ආචාර්යවරිය, කසළ සියයට සියයක් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවට පරිසරවේදීන් සහ "විපක්ෂයේ ඉන්න විට ඕනෑම දෙයකට විරුද්ධ වන අය" නගන තර්කය ප්‍රයෝගික නොවන බවත් සඳහන් කරයි. "උදාහරණයක් වශයෙන් ස්වීඩනයේ අවසන් බැහැරුමට යන්නේ සියයට එකයි. නමුත් මීට අවරුදු දහයකට කලින් සියයට තිහක් අවසන් බැහැරුමට යැව්වා. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය සහ කසළ ගොඩ කිරීම එකට යා යුතුයි." "මුලින් සියයට සියයක් කසළ ගොඩ කරා නම්, අවුරුදු දහයකින් ඒක සියයට පනහට අඩු කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. තව අවුරුදු පහළොවකින් සියයට තිහට අඩි කෙරෙන ප්‍රතිපත්තියක්. එවැනි සැලැස්මක් තමයි අනෙක් රටවලත් තියෙන්නේ" යනුවෙන් කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ ආචාර්ය සුජාතා ගමගේ වැඩිදුරටත් කියා සිටියාය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දූෂණ අපචාරවලින් තොර ආයතනයක් හැටියට පවත්වා ගැනීමේ අවශ්‍යතාවය එම කොමිසම භාර නව අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කොමසාරිස්වරිය එම අවශ්‍යතාව උපමාවකින් පැහැදිලි කළේ ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යනු තමාගේ දෙවැනි නිවස වන අතර සෙසු අයගේ නිවාස වල තත්වය පිරික්සීමට පෙර සිය නිවස පිරිසිදුව තබා ගත යුතු’ යයි බව පවසමිනි. තමා පදවියට පත් වීමට පෙර කොමිසමේ කටයුතු කළ නිලධාරීන්ගේ විෂමාචාර පිළිබඳව දැන ගන්නට ලැබුණ බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කියා සිටියාය. ‘කවර තරාතිරමක හෝ තනතුරක් දරන නිලධාරියෙක් හෝ නිලධාරිනියක් ඔවුන්ගේ රාජකාරි පරාශය තුළ කිසියම් විෂමාචාර ක්‍රියාවක නිරත වී ඇති බවක් තහවුරු වුනොත්, ඒ තොරතුරු සත්‍යය සහ නිවැරදි බව ඔප්පු කළ හැකි වුනොත් දෙවරක් නොසිතා ඒ ගැන මට නොපමාව දැනුම් දෙන්න’ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඉල්ලා සිටියාය. එවැනි තොරතුරු තමා වෙත කෙලින්ම දැනුම් දීම සඳහා දුරකථන අංකයක් සහ ඊ මේල් විද්‍යුත් ලිපිනයක් ද ඇය ප්‍රකාශයට පත් කළාය. විසඳුම් කඩිනමින් තමා පදවියට පත් කෙරෙන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600 ක් පමණ කාර්යාලයේ ගොඩ ගසා තිබුණු බවයි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පවසන්නේ. ඒවා අතරින් සූක්ෂම ලෙස විමර්ශනය කළ පැමිණිලි 423 ක් දින හයක් ඇතුළත අදාළ අංශ වෙත යොමු කිරීමට සමත් වූ බවත් ඇය පවසන්නීය. කවර මට්ටමක හෝ බලවත් පුද්ගලයකුට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි යට නොගසන බවයි අල්ලස් කොමිසමේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කියා සිටින්නේ. ‘කොමිසමට ඉදිරිපත්ව ඇතිපැමිණිලි වලින් බහුතරයක් ඉඩම් ප්‍රශ්න පවුල් ප්‍රශ්න පෞද්ගලික පලි ගැනීම් සහ ස්ත්‍රී දූෂණ ආදියයි. එහෙත් මේ කොමිසම පෞද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආයතනයක් නොවෙයි. ඒ ගැන මහජනතාව දැනුවත් කළ යුතුයි. මේ කොමිසමට විමර්ශනය කිරීමට බලය පවතින්නේ අල්ලස් දූෂණ හෝ අනිසි ලෙස රැස් කර ගත් වත්කම් සම්බන්ධයෙන් පමණයි’ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ වාසය කළ උසින් මීටර එකක් පමණ යුත් යෝධ ගිරවෙකු පිළිබඳව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
එම ගිරවාගේ අස්ථි කැබලි සොයාගෙන ඇත්තේ, නවසීලන්තයේ ඔටාගෝ කලාපයේ සෙන්ට් බේදන්ස් ප්‍රදේශය ආසන්න ස්ථානයකිනි. විශාලත්වය නිසා එම ගිරවුන් පියාසර කිරීමට නොහැකි මාංශ භක්ෂක විශේෂයක් වන්නට ඇති බවට විශ්වාස කෙරේ. එම පක්ෂියා පිළිබඳ වාර්තාවක් Biology Letters නමැති සඟරාවේ පළ කර තිබේ. කිලෝග්‍රෑම් 7ක් පමණ බරින් යුත් මෙම ගිරවා, මීට පෙර විශාලතම ගිරා විශේෂය ලෙස සැලකුණු කාකාපෝ ගිරවාට වඩා දෙගුණයක් පමණ බරින් යුක්තය. "වෙනත් යෝධ ගිරවුන් ලෝකයේ නැහැ. මේ ගිරවා පිළිබඳව සොයා ගැනීම අතිශය වැදගත්," ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ පොසිල පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය ට්‍රෙවර් වර්දි පැවසීය. මෙම පර්යේෂණයේ ප්‍රධානියා වූයේ ඔහුය. පොසිල විද්‍යාඥයින් විසින් මෙම නව පක්ෂි විශේෂය හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටැටස් යනුවෙන් නම් කර ඇත්තේ, අසාමාන්‍ය විශාලත්වය හා ශක්තිය සැලකිල්ලට ගනිමිනි. රාජාලියෙකුගේ හෝ තාරාවෙකුගේ බවට මුලදී විශ්වාස කළ අදාළ අස්ථි කැබලි, පොසිල විද්‍යාඥයින් කණ්ඩායමක් යළිත් පර්යේෂණ ආරම්භ කරන තෙක් මේ වසරේ මුල් භාගය දක්වා වසර 11ක් තිස්සේ ගබඩා කර තිබිණි. එම ගිරවා මිනිසෙකුගේ සාමාන්‍ය උසින් අඩකට වඩා විශාලත්වයකින් යුතු වූ පක්ෂියෙකි. මහාචාර්ය ට්‍රෙවර් වර්දි ප්‍රකාශ කළේ, විද්‍යාගාරය තුළ පර්යේෂණ ව්‍යාපෘතියක නිරත වෙමින් සිටි සිය ශිෂ්‍යයෙකුට අහම්බෙන් එම අස්ථි කැබලි හමුවී තිබූ බවය. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පොසිල විද්‍යා අංශයේ මයික් ආචර් ප්‍රකාශ කළේ, එම ගිරවාගේ හොට ඉතා විශාල එකක් වන්නට ඇති බවය. එම ගිරවා "සාමාන්‍යයෙන් ගිරවුන් ගන්නා ආහාරවලට වෙනස් දේ ආහාරයට ගන්නට ඇතැයි," මහාචාර්ය ට්‍රෙවර් වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබිණි. කෙසේ වෙතත්, ගිරවුන්ට ගොදුරු විය හැකි විලෝපිකයින් නොවුණු හෙයින් ඔවුන් ආක්‍රමණශීලී පක්ෂීන් විය නොහැකි බව මහචාර්යවරයා බීබීසී පුවත් සේවයට පැවසීය. "ඔවුන් පොළොවේ වාසය කරන්න ඇති. ඇවිද යමින් බොහෝ විට බීජ වර්ග ආහාරයට ගන්න ඇති," ඔහු සඳහන් කළේය. විශාල පක්ෂීන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම නවසීලන්තයට නුහුරු අත්දැකීමක් නොවේ. නවසීලන්තයේ වාසය කළ බවට විශ්වාස කරන, මේ වන විට වඳ වී ඇති මොආ නමැති පක්ෂි විශේෂය මීටර් 3.6ක් පමණ උසින් යුක්ත වූ බව සැලකේ. අදාළ යෝධ ගිරවාගේ පාද අස්ථි කොටස් හමුවූ සෙන්ට් බේදන්ස් ප්‍රදේශයේ වසර මිලියන 23 ක් දක්වා පැරණි පොසිල ඇති බව සොයාගෙන තිබේ. "මෙතෙක් කෙහෙන්වත් වඳ වුණු යෝධ ගිරවෙකු සොයාගෙන නැහැ," මහාචාර්ය වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය. "අපි මේ පොසිල තට්ටුව අවුරුදු 20ක් තිස්සේ ගවේෂණය කරනවා. හැම අවුරුද්දක ම අලුත් පක්ෂියෙකු හෝ වෙනත් සතෙකු පිළිබඳ සාක්ෂි ලැබෙනවා. මේ පොසිල තට්ටුවේ තවත් අනපේක්ෂිත සත්ත්ව විශේෂ ගණනාවක් ඉන්න බවට සැකයක් නෑ." තවදුරටත් කියවන්න.
රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද වනවිට ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව පැවසූහ.
"ලංකාව ලෝකයට විහිළු සපයන රටක්" උන්වහන්සේ ඒ බව කියා සිටියේ 'මාර්තු 12 ව්‍යාපාරය' විසින් අද (මාර්තු 13) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කරන ලද සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. පාර්ලිමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය ද උන්වහන්සේ ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. "හැමදාම මේකේ ගහගන්නවා, බැණ ගන්නවා, කුණුහරප කියා ගන්නවා, අද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය එහෙම්පිටින්ම නැති වෙලා ගියා. ඇයි මෙහෙම අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්නේ, අපිට මොකද වුනේ" යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ. පාර්ලිමේන්තුව මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව පැවසූ බෙල්ලන්විල විමලරතන හිමියන් තවත් දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දුන්නේය. "ලංකාව ලෝකෙට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවා කියන්නේ මොන විහිළුවක්ද?" උන්වහන්සේ ප්‍රශ්න කළහ. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් ආයතනවල ක්‍රියාකාරිත්වය ඇණහිට ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ මේ වසරේදීත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව කියා සිටියහ. "මට සාත්තර කියන්න බැහැ. මම සාත්තර විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ" යනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
පමණට වඩා කර කරන ලද පාන් ටෝස්ට් මෙන්ම පමණට වඩා බැදුනු අර්තාපල් සහ අල පෙති ආහාරයට ගැනීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවති.
කළු පහ නොගැන්වුණු රන් වන පැහැති පාන් ටෝස්ට් ආහාරයට ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආහාර තත්ත්ව පාලන ආයතනය කියා සිටියේ පිෂ්ට සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක් යටතේ කර කිරීමෙන්, බැදීමෙන් සහ පිළිස්සීමෙන් ශරීරයට හානි කර ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායන සංයෝගය නිෂ්පාදනය වීමේ ඉඩක් පවතින බවය පාන් ටෝස්ට්, අර්තාපල් සහ අල පෙති වැනි පිෂ්ට සහිත ආහාර දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි. අනුභව කරනු ලබන ආහාර ප්‍රමාණය අනුව රසායන ද්‍රව්‍යයෙන් සිදු විය හැකි හානිය තීරණය වන බව බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනයේ ප්‍රධාන විද්‍යා උපදේශක මහාචාර්ය ගයි පොපි පෙන්වා දෙයි. අර්තාපල් සහ අල පෙති වැනි පිෂ්ට සහිත ආහාර දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි පමණට වඩා කර කරන ලද එවැනි ආහාර දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව පූර්ණ වශයෙන් සතුන් යොදා ගනිමින් සිදු කළ අධ්‍යන මගින් දැක ගැනීමට හැකි වූ බව කී මහාචාර්ය ගයි පොපි, "ඒ නිසා මිනිස්සුන්ටත් එවැනිම බලපෑමක් සිදු නොවේවි කියල හිතන්න හේතුවක් නැහැ," යනුවෙන් සඳහන් කළේය. අර්තාපල් ශීතකරණයේ ගබඩා කිරීමෙන් වළකින ලෙසත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි. එවැනි ආහාර ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක් තුළ ගබඩාකිරීමෙන් සීනි මට්ටම ඉහළ යන අතර එවැනි ආහාර පිසීමේදී ඇක්‍රිලමයිඩ් රසායන ප්‍රමාණය ඉහළ යෑමේ ඉඩක් පවතින බවත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය පෙන්වා දෙයි.
සම්බාධක ඉවත් කිරීම සඳහා අරාබි රටවල් හතරක් විසින් කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද ඇතැම් ඉල්ලීම් "ඉටු කිරීමට අපහසු" වනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.
දින ගණනාවක සිට වසා දමා ඇති කටාර් සහ සෞදි අරාබිය අතර දේශ සීමා පිවිසුම් එහෙත් එම යෝජනා මගින් විසඳුමක් සඳහා මග පෑදිය හැකි සංවාදයකට මුලපිරිය හැකි බව ඔහු කියා සිටී. සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් ඉදිරිපත් කළ කොන්දේසි 13 ක් කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා විසින් සෙනසුරාදා ප්‍රතික්ෂේප කරනු ලැබීය. ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් එල්ල කරන චෝදනා කටාර් රාජ්‍ය ප්‍රතික්ෂේප කරයි. කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය අතර මතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සති දෙකකට වැඩි කාලයක් පුරා පවතින අතර ඉරානය සහ තුර්කිය කටාර් වෙත ආහාර සහ වෙනත් භාණ්ඩ සපයමින් සිටිති. ඇමරිකාවේ ප්‍රතිචාරය ඉරානය සමග පවත්වන සබඳතා අඩු කරන ලෙස සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටිති. එමෙන්ම කටාර්හි පිහිටි තුර්කි හමුදා කඳවුර වසා දමන ලෙස ඉල්ලා සිටින ඉහත කී අරාබි රටවල් සිය කොන්දේසි ඉටු කිරීම සඳහා දින දහයක කාලයක් පසුගිය සිකුරාදා ලබාදුණි. කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද කොන්දේසි අතරට එරට ආණ්ඩුවේ අරමුදල් මත පවත්වා ගෙන යනු ලබන අල් ජසීරා රූපවාහිනී සේවය වසා දැමීමත් ඇතුළත් වේ. කටාර් සහ අරාබි රටවල් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එම රටවලින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසය. ඉහත කී අරාබි රටවල් විසින් පසුගිය සිකුරාදා කටාර් වෙත කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධවල මන්දිරයේ ප්‍රකාශක සීන් ස්පයිසර් විසින් අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හඳුන්වනු ලැබුවේ "පවුලේ ප්‍රශ්නයක්" ලෙසය. ඒ හේතුවෙන් එම රටවල් එක්ව ඊට විසඳුම් සෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය. කටාර් රාජ්‍ය සම්බන්ධයෙන් දැඩි මතයක් පළ කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෝහා පාලනය ත්‍රස්තවාදයට ඉහළ මට්ටමින් අනුග්‍රහය ලබා දෙන බවට චෝදනා කළේය. කෙසේ නමුත් කටාර් සහ සෙසු අරාබි රටවල් ඇමරිකාවේ සමීප මිතුරු රාජ්‍යන් වන අතර එක්සත් ජනපදයට අයත් මැදපෙරදිග පිහිටි විශාලතම හමුදා කඳවුර පිහිටා ඇත්තේ ද කටාර් රාජ්‍ය තුළය. කටාර් වෙත ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ සෞදි අරාබිය ඔස්සේ ගොඩබිම් මාර්ගයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මුහුදු මාර්ගයෙනි. අර්බුදය හමුවේ එම මාර්ග වසා දමා ඇති අතර කටාර් වෙත සිය ගුවන් කලාපය වසා දැමීමටත් එම රටවල් කටයුතු කළහ. ආර්ථික වශයෙන් කඩා වැටීමකට නොගොස් විකල්ප මාර්ග ඔස්සේ සිය අවශ්‍යතා සපුරා ගැනීමට යොමුව සිටින කටාර් රාජ්‍ය කුඩා වුවත් ධනවත් රටකි. ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. ශ්‍රී ලාංකිකයන් සහ සැපයුම් BBC සිංහල ෆෙස්බුක් අඩවිය ඔස්සේ අදහස් දක්වමින් එරට සේවයේ නිරත ඇතැම් ශ්‍රී ලාංකිකයන් කියා සිටියේ අර්බුදකාරී වාතාවරණය හමුවේ එරට වෙළඳසල් තුළ කිරි නිෂ්පාදනවල අඩුවක් පවතින බවය. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පලතුරු සහ එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පවසති. කෙසේ නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බවය. අර්බුදය විසඳා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමේ උත්සාහයක නිරතව සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා කියා සිටියේ කටාර් රාජ්‍ය අදාළ කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වුවහොත් සෙසු අරාබි රටවල් ඉන් වෙන් විය හැකි බවය. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : sinhala@bbc.co.uk
පසුගිය සතියේ ටෙස්ලා සමාගම තම ප්‍රථම විද්‍යුත් ට්‍රක් රථය එළි දැක්වීය
'ටෙස්ලා සෙමි' නම් වූ මෙම ට්‍රක් රථයේ විශේෂත්වය වනුයේ එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500 ක දුරක් ධාවනය කළ හැකි වීමය. ඇමෙරිකාවේ 'සෙමි ට්‍රේලර් ට්‍රක්' ලෙස හඳුන්වන මෙම වාහනය 2019 දී නිෂ්පාදනය සදහා යොමු කිරීමට නියමිත බව ටෙස්ලා සමාගම පවසයි. නව ට්‍රක් රිය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ පිරිස මවිතයට පත් කරමින් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මේ "එදා මෙදා තුර වේගයෙන්ම නිෂ්පාදනය කෙරුණු රථය" බවය. පසුගියදා එළි දැක්වූ ටෙස්ලා විද්‍යුත් රථ ඒ සමග මස්ක් තවත් හෙළිදරව්වක් කරද්දී විද්‍යුත් ට්‍රක් රියේ ට්‍රේලරයෙන් පිටතට පැමිණියේ, මෝටර් රථ තරඟ වලට යොදා ගන්නා අධි බලැති රතු පැහැති මෝටර් රථයකි. එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 1000 (සැතපුම් 620) ක දුරක් ධාවනය කල හැකි එම මෝටර් රථය තත්පර 4.2 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පැයට කිලෝමීටර 0 සිට 100 ට වේගය වැඩි කළ හැක. එලොන් මස්ක් මෙම රථය හඳුන්වා දෙන්නේ "ඉන්ධන භාවිත කරන වාහන වලට දිගු කාලීන පරාජයක්" අත්කර දීමක් ලෙසය. ඇමරිකාවේ ට්‍රක් රථයක ගෙන යා හැකි වැඩිම බර වන කිලෝග්රෑම් 36,287 (රාත්තල් 80,000) ක බර පටවා ගත් ටෙස්ලා සෙමි ට්‍රක් රිය තත්පර 20 දී පැයට කිලෝමීටර් 60 ක වේගයක් කරා ළඟා විය හැක. කෙසේ වෙතත්, ටෙස්ලා නිෂ්පාදනයක් වන Model 3 මෝටර් රථයට ලැබුණ ඉල්ලුම සපුරාලීමට සමාගම අපොහොසත් වීම නිසා එලොන් මස්ක් දිගින් දිගටම ආයෝජකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ විවේචනයට ලක්විණි. ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ක් Model 3 මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමාදය කර්මාන්තශාලාවේ ප්‍රමාද හේතුවෙන් Model 3 මෝටර් රථය නියමිත කාලය ඇතුළත නිෂ්පාදනය කරගත නොහැකි හේතුව, ප්‍රධාන විධායක නිලධාරී මස්ක් ගේ වචනයෙන් ම කිවහොත් "නිෂ්පාදන අපායකි". 2017 වසරේ අග භාගය වන විට Model 3 මෝටර් රථ 1,500 ක් නිෂ්පාදනය කිරීමට ආයතනය බලාපොරොත්තු වූවද, මේ වන විට නිම කර ගත හැකි වී තිබෙන්නේ මෝටර් රථ 260 ක් පමණි. තත්ත්වය මෙසේ තිබියදී මස්ක් ඇතුලු ටෙස්ලා සමාගම නව සුපිරි ට්‍රක් රථයක් හඳුන්වාදීම තම ආයතනය සතු තාක්ෂණය අධි තක්සේරු කිරීමක් ද, ව්‍යාපාර ප්‍රවර්ධන කටයුත්තක්ද නැතහොත් සාමාන්‍ය පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට වෙළෙඳපොළට නිකුත් කරන Model 3 මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමාදය වසා ගැනීමට කළ දෙයක් දැයි පැහැදිලි නැත. Model 3 මෝටර් රථයේ දක්නට ලැබෙන උපාංග කිහිපයක් ටෙස්ලා සෙමි ට්‍රක් රථයේ ද දැක ගත හැකිය. ටෙස්ලා සෙමි ට්‍රක් රථයේ සෑම රෝදයකටම බලය සැපයෙන මෝටරය සහ ඇතුළත ඇති ස්පර්ශ සංවේදී තිර (Touch Screen) දෙක මෙම රථ දෙකෙහිම එක හා සාමානය. ටෙස්ලා මොඩ්ල්3 රථය තරඟකාරී වෙළෙඳපොළ ට්‍රක් රථ වලට ඇති විශාල ඉල්ලුමත් සමඟ ඉතා තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. ඇමරිකාවෙන් පමණක් වාර්තාවන ට්‍රක් රථ රියදුරන් ගණන ආසන්න වශයෙන් මිලියන 3.5 කි. එයින් වැඩි පිරිසක් භාවිත කරන්නේ ඩීසල් ට්‍රක් රථය. ටෙස්ලා සෙමි රථයට ඩීසල් වාහන වෙළෙඳපොළ සමඟ තරඟ කිරීමට අපහසු අතර, එයට සරිලන බලයක් සහිත විද්‍යුත් කෝෂ සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට හැකි වේද යැයි විශේෂඥයින් සැක පහළ කර සිටී. කාර්නෙගී මෙලොන් විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයකට අනුව "සැතපුම් 300 ක් ධාවනය කිරීමට අවශ්‍ය විද්‍යුත් කෝෂ වල මිල ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ" "මෙය ඩීසල් වලින් බල ගැන්වෙන සෙමි ට්‍රක් රථයකට වඩා සෑහෙන්න ලොකු මුදලක්. ඒ වගේම සම්පූර්ණ ඩීසල් වාහනයක සාමාන්‍ය මිල වන්නේ ඩොලර් 120,000 ක් විතරයි" මස්ක් පවසන පරිදි, ටෙස්ලා සමාගම විසින් සකසන ලද විද්‍යුත් කෝෂ ආරෝපණය කරන අති විශාල උපකරණය මඟින් ටෙස්ලා සෙමි රථය විනාඩි 30 ක් ආරෝපණය කළ පසු කිලෝමීටර 643 (සැතපුම් 400) ක දුරක් ධාවනය කළ හැකිය. වියදම සැරද? සාපේක්ෂව ගත් කළ, ටෙස්ලා සෙමි රථයක් සැතපුමක් ධාවනය කිරීමට හා නඩත්තු කිරීමට වැයවන මුදලට වැඩි මුදලක් ඩීසල් රථයක් සදහා වැයවන බව එම සමාගම පවසා සිටී. නමුත් ටෙස්ලා සමාගම මේ දක්වා කිසිම අවස්ථාවක මෙම ට්‍රක් රථයේ මිල සඳහන් කර නොමැත. ඩීසල් භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා, ව්‍යාපාරිකයන් කණ්ඩායමකින් සැදුම් ලත් The Diesel Technology Forum (ඩීසල් තාක්ෂණය පිලිබඳ කතිකාවත) ප්‍රකාශ කර සිටින්නේ, ටෙස්ලා සමාගම තම නිමැවුම ප්‍රසිද්ධ කිරීමේදී "යථාර්ථයට ගැළපෙන සේ තක්සේරු කළ යුතුයි" යන්නය. "ඩීසල් තමයි වැඩියෙන්ම බලශක්ති කාර්යක්ෂමව ඇතුළතින් දහනය වන එන්ජිම", කතිකාවේ විධායක අධ්‍යක්ෂ ඇලන් ෆේශර් පවසා සිටී. "එය දශක ගණනාවක සිට අනෙකුත් ඉන්ධන වර්ග වලින් එන අභියෝග හමුවේ ට්‍රක් රථ කර්මාන්ත තාක්ෂණයේ ආධිපත්‍යය රැකගෙන ඉන්නවා". ඔහු තව දුරටත් පවසා සිටියේ "අදටත් තවම ඩීසල් වාහනවල විශේෂාංග බොහෝමයක් තියෙනවා: දැනටමත් ඔප්පු වී ඇති කාර්යක්ෂම ඉන්ධන දහනය, ආර්ථික වාසි, බලය, විශ්වාසනීය බව, දිගු කාලීන පැවත්ම, පහසුවෙන් ලබා ගත හැකි වීම, ඉන්ධන පිරවුම් හල් සෑම තැනකම ඇති අතර අනිත් සේවාවන්ද පහසුවෙන් ලබා ගන්න පුලුවන්. ඒ වගේම දැන් මෙම එන්ජින් වල විමෝචනය ශුන්‍යයයි." ඩීසල් වාහන ප්‍රවර්ධනය කරන පිරිසට අමතරව අනෙකුත් විද්‍යුත් වාහන නිපදවන ප්‍රතිවාදීන්ට මුහුණ දීමටද ටෙස්ලා සමාගමට සිදුවේ. ඩෙයිම්ලර්, වොක්ස්වැගන්, කමින්ස් යන මෝටර් රථ කර්මාන්තයේ දැවැන්තයන් මේ වන විට විවිධ මාදිලියේ විද්‍යුත් වාහන එළි දක්වා තිබෙනවා. මෙම සුවිශේෂී වාහන නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක පවතින අතර, දැනට කිසිවක් මාර්ග වල දක්නට ලැබෙන්නේ නැත. ටෙස්ලා සමාගම විශ්වාස කර සිටින්නේ, වාහන වල ඇතුළත ආරක්ෂාව සහ සුව පහසුව ඉහළ නැංවීමෙන් වෙළෙඳපොළේ ඇති අනෙකුත් විද්යුත් වාහන වලට වඩා වැඩි යමක් ඔවුන්ගේ වාහන තුළ දැකිය හැකි බවය. එම සමාගම උදම් අනමින් කියා සිටින්නේ, "ටෙස්ලා සෙමි රථය ඇතුළත සවි කර තිබෙන සංවේදක වලින් වාහනය අස්ථාවර වීම් හඳුනාගන්නවා. ඒවා එක් රෝදයේ අවශ්‍යය සහ අනවශ්‍යය හැරවීම් වලට ප්‍රතික්‍රියා දක්වමින් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර, හැරවීමේදී ට්‍රක් රියේ බඳ කොටස සහ මුහුණත දිශාවන් දෙකකට නැමීම වළක්වා තිබෙනවා" "වටේම සවි කර ඇති කැමරා වලින් වස්තූන් හඳුනාගැනීම සහ වාහනය ඇතුළේ සිට බලන විට නොපෙනෙන පැති අවම කිරීමෙන් රියදුරන්ට ආරක්ෂාව ගැන වගේම අනෙක් වස්තූන් ගැන ද අනතුරු හැඟවෙනවා". "වැඩි දියුණු කළ ස්වයංක්‍රීය ධාවන ක්‍රියාවලියත් සමඟ ටෙස්ලා සෙමි රථය ස්වයංක්‍රීය හදිසි තිරිංග පද්ධතියක්, වාහනය ස්වයංක්‍රීයව මංතීරුවේ රඳවා ගැනීම සහ මංතීරුවෙන් පිටතට යන විට අනතුරු අඟවන උපාංග වලින් සාදා තිබෙනවා". ටෙස්ලා රථයේ ස්වයංක්‍රීය ධාවන පද්ධතිය යනු, රියදුරෙකු නොමැතිව රථය මාර්ගයේ ගමන් කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම මෙමඟින් රථය මංතීරුවේ රඳවා ගැනීම සිදු කරන අතර, වාහන තදබදයක් පෙර තියා හඳුනාගෙන කෙමෙන් වේගය පාලනය කිරීමටද සමත් වේ. මේ තොරතුරුත් දැනගන්න :
අන්දමන් මුහුදේ ගිනිගනිමින් තිබු යාත්‍රාවක සිටි බළලුන් සිව් දෙනෙකුට තායි නාවික භටයින් නිසා සිය ජීවිත බේරාගැනීමට හැකිවෙලා.
යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ඒ වනවිටත් බේරාගෙන තිබුණත්, තායි නාවික සෙබළුන් යාත්‍රාව අනතුරට පත් ස්ථානය වෙත යොමු කෙරුණේ තෙල් විසිරී යාමක් සිදුවී තිබේද යන්න සෝදිසි කිරීම සඳහායි. එහිදී යාත්‍රාවේ සිටි තවත් සාමාජිකයින් කිසිවකු අමතක වී ගොස් ඇති සෙයක් ඔවුන්ට දැකගන්නට ලැබුණා. ගිලෙමින් තිබූ යාත්‍රාව වෙත වහා පිහිනූ නාවික සෙබළෙක්, එහි සිටි බළලුන් සිය පිටෙහි රඳවාගෙන ආරක්ෂා සහිතව ගෙන ආවා. එම සතුන්ට කිසිදු තුවාලයක් සිදුවී නැති අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වුණා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ සිය ගැලවුම්කරුවන්ගේ අණ දෙන ස්ථානයේ රැදී සිටින බළලුන් ඔවුන්ගේ සත්කාර ලබන බවයි. 'ෆමොන්සින් නාවා 10' නම් වූ ධීවර යාත්‍රාව, කොහ් අඩං හි පැරඩයිස් නමැති දූපතට කිලෝමීටර 13 ක් ඔබ්බෙන් වූ මුහුදේ ගිනිගෙන ගිලෙමින් තිබූ බව අඟහරුවාදා (මාර්තු 2) වාර්තා වුණා. 'ද නේෂන්' නම් වූ තායි පුවත්පත සඳහන් කළේ, යාත්‍රාවෙන් මුහුදට පැන පාවෙමින් සිටි අට දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය අසලින් යාත්‍රා කරමින් තිබූ ධීවර නෞකාවකින් බේරාගෙන තිබූ බවයි. ස්ථානය නිරීක්ෂණයට යැවුණු නාවික සෙබළුන්ට එහිදී දැකගත හැකි වුණේ, දැවමය කොටසක එකට තෙරපී සිටි බළලුන් කිහිප දෙනෙක්. "මම කැමරාවෙන් බෝට්ටුවේ දර්ශනය ළං ව නිරීක්ෂණය කරවිට දැක්කා, බළලෙක් හෝ දෙන්නෙක් ඔලුව උස්සා බලන හැටි," යැයි තායි නාවික හමුදාවේ ගුවන් හා වෙරළාරක්ෂක අංශයේ ආධුනික නිලධාරී විචිට් පුක්දීලොන් පැවසුවා. මේ ගලවා ගැනීම සම්බන්ධයෙන් පළ කෙරුණු ෆේස්බුක් පොස්ටුවකට, බදාදා (මාර්තු 3) නාවික සෙබළුන් අගයමින් සටහන් 2,500ක් එක් කොට තිබුණා. මේ ගැනත් දැනගන්න: බළල් පණ
මත්පැන් පානය කරන, ඉතා රළු වචන කතා කරන කාන්තාවන් සිව් දෙනෙකු අතර පවතින බැඳීම විදහාපාන බොලිවුඩ් සිනමාපටයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
මෙම සිනමාපටය පිළිබඳ පෞද්ගලික මත අනුව සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් කණ්ඩායම් දෙකකට බෙදී තිබෙන ආකාරයක් දැකිය හැකිය. 'Veere Di Wedding' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පදනම් වෙන්නේ දිල්ලි නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ධනවත් පළාතක් පිළිබඳවය. පාසල් සමයේ සිට මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් සිව් දෙනෙකු වටා මෙම කතා පුවත ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙකුගේ විවාහ උත්සවයක් හා බැඳුණු සිද්ධි දාමයක් මෙම චිත්‍රපටයේ තේමාව වී තිබේ. මිතුරියන් සිව් දෙනාම ඉතා නිදහසේ අසභ්‍ය වචන භාවිත කරන ආකාරය, මත්ද්‍රව්‍ය හා මත්පැන් පරිහරණය කරන ආකාරය සහ දඩබ්බර හැසිරීම් රටාවක් මෙම සිනමාපටය පුරාවටම දැකිය හැකිය. ඉන්දියාවේ පවතින නොයෙකුත් සාමාජයීය ප්‍රශ්න අතර යෝජිත විවාහයන්ට ඇති අකමැත්ත, සිරුරේ බර පිළිබඳ ප්‍රශ්න, මිතුරන් සහ ඥාතීන් විසින් පුද්ගලයන් විනිශ්චය කිරීම, අධික මුදලක් වැය කරමින් සංවිධානය කරන මංගල උත්සව සහ සිය දෙමව්පියන්ගේ මෙන්ම ස්වාමිපුරුෂයන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ලබා ගැනීම වැනි කරුණු සිනමාපටයේ දැක්වේ. මෙම කාන්තාවන් සිව් දෙනා නිදහසේ අසභ්‍ය වචන භාවිත කරමින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා ගැන විවෘතව කතා කිරීම ඉන්දියානු සිනමාවට නව අත්දැකීමකි. ලිංගික ආශාවන් සපුරා ගැනීම පිළිබඳ බිය සැක නොමැතිව කතා කරන ඔවුන් සිය ධනය ගැන තැකීමක් නොකරන බව ද එහි පිළිබිඹු කෙරේ. පාසල් කළ සිට මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් හතර දෙනෙකු වටා මෙම කතාව ගෙතී තිබේ. 'තනියෙන් පියෑඹීම ' Veere Di Wedding සිනමාපටය පසුගියදා සාර්ථක ලෙස එළිදැක්වීමත් සමග එහි කතා තේමාව සහ අන්තර්ගතය පිළිබඳ ට්විටර් සමාජ ජාලය ඔස්සේ නොයෙකුත් මතවාද පළ වන්නට විය. එහි එක් චරිතයක් රඟපාන ස්වාරා බාස්කර් (Swara Bhaskar) ස්වයං වින්දනයේ යෙදෙන දර්ශනයක් ඇතැමුන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ. එක් පුද්ගලයෙකු පැවසුවේ මෙම චිත්‍රපටය නැරඹීමට ඔහුගේ මිත්තණිය සමග ගොස් "ඉතා අපහසුතාවට" පත් වූ බවය. ඉන්දියානු දේශපාලනඥයෙකු සහ හිටපු මහ ඇමතිවරයෙකු වන ඕමාර් අබ්දුල්ලාට සිය උපහාසාත්මක අදහස් සඟවා ගැනීමට අපහසු වී ඇති සෙයක් මෙම ට්විටර් පණිවිඩයෙන් හැඟී යයි. සමාජ චාරිත්‍ර පිළිබඳ සාකච්ඡා කරන මෙවැනි සිනමාපට නැරඹීමට යමෙකු සිය සීයා හෝ මිත්තණිය කැඳවා ගෙන යෑම ගැන හාස්‍ය දනවන වැකි රැසක් පළ වී තිබුණි. ස්වාරා බාස්කර් පණ පොවන චරිතය එක්තරා අවස්ථාවක දී සයනයේ හිඳ "තනියම පියාඹනවා" දුටු ස්වාමිපුරුෂයා ඇයගෙන් වෙන් වීමට තීරණය කරයි. ස්වාමිපුරුෂයාට "බාගෙට වංචා" කළ බව ඇය තම මිතුරියන්ට පවසනීය. ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙවලමක් ඇය සතුව තිබෙනු දුටු ස්වාමිපුරුෂයා තමන්ට 'අවමාන තර්ජන' කිරීමට පටන් ගෙන ඇති බව ඇය පවසන්නීය. සිදු වූ ලැජ්ජාව අමතක කිරීමට සිය දෙමව්පියන් සහ ඥාතීන් ඉදිරියේ ඇය මත්පැන් පානය කිරීමට යොමු වන ආකාරය චිත්‍රපටයේ දැක්වේ. මේ තොරතුරුද කියවන්න: මෙම සිනමාපටය පිළිබඳ පෞද්ගලික මත අනුව සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් කණ්ඩායම් දෙකකට බෙදී තිබෙන ආකාරයක් දැකිය හැකිය. සමහර ප්‍රේක්ෂකයන්ගේ සහ විවේචකයන්ට අනුව මෙම සිනමාපටයෙන් කාන්තා බැඳීම් සංවේදී ආකාරයෙන් පෙන්වා සිටීමට අපොහොසත් වී ඇති අතර, එය ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ ප්‍රතිගාමී සංකල්පයන් අනුමත කරන්නකි. ස්වයං වින්දනයේ යෙදෙන දර්ශනයක් සමහර පුද්ගලයන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ. "ගැහැණු ළමයින්ට ඉතා හොඳ රසායනයක් තිබෙනවා. නමුත් මේ චිත්‍රපටියෙන් සිදුවන්නේ නොමඟ යැවීමක්," යැයි චිත්‍රපට විවේචකයෙකු වන රජීව් මසාන්ද් පැවසීය. කෙසේවෙතත්, ස්වාරා බාස්කර් වෙනුවෙන් පෙනී සිටින ට්විටර් පරිශීලකයෝ ද මෙම සිනමාපටයෙන් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ ප්‍රතිගාමී සංකල්ප අනුමත කරන බව පවසති. සාධනීය කෝණයකින් සිනමා පටය විග්‍රහ කරන පිරිස පවසන්නේ එය හුදෙක් කාන්තාවන් විනෝද වන ආකාරය පිළිබිඹු කරන්නක් බවය. මෙය ස්ත්‍රීවාදය හා සම්බන්ධ කර අදහස් පළකිරීම පුදුම සහගත බව ඔවුන්ගේ අදහසය. තවත් අය පවසන්නේ මෙම චිත්‍රපටය "ඉතා අසතුටුදායක" ලෙස නිමවා ඇති බවය. 'ධනවත් කාන්තාවන්ට අවශ්‍ය විනෝද වෙන්න' සමාජ මාධ්‍ය ජාල මත ගැටුම් එසේ පවතින අතරවාරයේ Veere Di Wedding සිනමාපටය බොලිවුඩ් සිනමාවේ මහත් කැළඹීමක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. මෙම සිනමාපටයෙන් ඉන්දියානු කාන්තාවන් පිළිබඳ ඇතැම් මිථ්‍යා මතවාද බිඳ දැමීමට සමත් වී ඇති අතර, එයට ලැබෙන අති මහත් ප්‍රතිචාරයත් සමග එය සාර්ථක නිර්මාණයක් බවට පත් වී තිබේ. එය මේ වන විටත් වසරේ සාර්ථකම බොලිවුඩ් සිනමාපට අතරට එක් වීම පිළිබඳ එහි නිෂ්පාදකවරුන් සහ සිනමාවේදී ශෂංක ගෝෂ් සතුටු විය යුතුය. මෙහි සියලු ප්‍රධාන චරිත රඟපාන්නේ කාන්තාවන්ය. පුරුෂයන් අතර තිබෙන සහෝදරත්වය පිළිබිඹු කළ බොලිවුඩ් සිනමාපට අතර, අවසානයේ දී කාන්තාවන් අතර බැඳීම පෙන්වන සිනමාපටයක් නිම වී තිබේ. (දිල්ලි නුවර ස්වාධීන මාධ්‍යවේදිනියක වන සුධා ජී ටිලක්ගේ වාර්තාවකි.) තවත් තොරතුරු:
පසුගිය සතියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරමින් ඉස්ලාම් දහමට අනුව සිදුකළ යාඥා නවසීලන්ත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, සිකුරාදා (මාර්තු 22) පැවැත්වුණු සියලු උත්සවවල මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබිණ.
වෙනත් ආගම් අදහන කාන්තාවන් හිජාබයක් ඇඟලා හෝ සිය හිස වසාගෙන අවමංගල උත්සවය සඳහා පැමිණ සිටියහ පසුගිය සිකුරාදා වෙඩි තැබීම් සිදු වූ මුස්ලිම් දේවස්ථාන දෙකින් එකක් වන අල්-නූර් ඉදිරිපිට පැවැත්වූ මෙම යාඥා සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි අතර, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ද එයට සහභාගි වී සිටියාය. දහස් ගණනක පිරිසක් අල්-නූර් මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි හැග්ලි උද්‍යානයට පැමිණියහ යාඥා මෙහෙය වූ ගමාල් ෆූඩා ඉමාම්වරයා පැවසුවේ, "අපේ හදවත් කැඩී ගියාට, අපි කඩා වැටිලා නැහැ," යනුවෙනි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් පනස්දෙනෙකු මියගිය අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. ජාතිවාදී දක්ෂිණාංශික මතවාද දරමින් වෙඩි ප්‍රහාරය සිදු කළ බ්‍රෙන්ටන් ටරන්ට් නමැති විසි අට හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව එක් මිනී මැරුමක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබෙන අතර, ඔහුට එරෙහිව තවත් චෝදනා ගණනාවක් ගොනු කර ඇත. නවසීලන්තය තුළ අර්ධ ස්වයංක්‍රීය ගිනි අපි භාවිතය සහ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කරමින් බ්‍රහස්පතින්දා දින (මාර්තු 21) නිවේදනයක් නිකුත් කිරීමට අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ක්‍රියා කළාය. මේ තොරතුරුද කියවන්න: සිකුරාදා සිදු වූයේ කුමක්ද? වෙඩි ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සිහි කිරීම සඳහා වූ ජාතික දිනයක් ලෙස සිකුරාදා (මාර්තු 22) නම් කරන ලද අතර, දහස් ගණනක පිරිසක් අල්-නූර් මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි හැග්ලි උද්‍යානයට පැමිණියහ. එහි පැවැත්වූ මුස්ලිම් යාඥා නවසීලන්ත ජාතික රූපවාහිනී නාලිකාව සහ ගුවන්විදුලිය ඔස්සේ විකාශනය විය. එමෙන්ම, මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා තිබිණි. ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇතැයි එහි සිටින බීබීසී වාර්තාකරු පැවසීය "මුළු නවසීලන්තයම ඔබේ දුක බෙදා ගන්නවා. අපි සියලුදෙනාම එක්කෙනක්" යැයි අගමැතිනිය සිය කතාව අතරතුර පැවසීය. රට පුරා පිහිටි මුස්ලිම් දේවස්ථාන ඕනෑම පුද්ගලයෙකුට ඇතුළු විය හැකි ලෙස එදින විවෘත කර තිබූ අතර එම ස්ථාන ආරක්ෂා කිරීම සංකේතවත් කිරීම සඳහා විශාල පිරිසක් අත්වැල් අල්ලාගෙන ගොඩනැගිලි ඉදිරිපිට සිටිනු දක්නට ලැබිණි. වෙඩි ප්‍රහාරයෙන් මියගිය අවුරුදු තුනක් වයසැති මුකාඩ් ඊබ්‍රහිම් ඇතුළු තවත් 30 දෙනෙකු වෙනුවෙන් විශාල අවමංගල උත්සවයක් ද පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා නවසීලන්ත ජාතිකයන් ජාති ආගම් බේදයකින් තොරව සහභාගි වී සිටිනු දක්නට ලැබිණි. "අපේ එකමුතුකම පෙන්වීම සඳහා මම අද මෙයින් සැරසී ඉන්නවා" වෙනත් ආගම් අදහන කාන්තාවන් හිජාබයක් ඇඟලා හෝ සිය හිස වසාගෙන අවමංගල උත්සවය සඳහා පැමිණ සිටියහ. "අපේ එකමුතුකම පෙන්වීම සඳහා මම අද මෙයින් සැරසී ඉන්නවා" යැයි කොණ්ඩා මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක වන මෙලඩි සිය නිල් පැහැති හිස් ආවරණය පෙන්වමින් පැවසුවාය. පසුගිය සිකුරාදා සිදු වූ ප්‍රහාර පිළිබඳ ක්‍රයිස්ට්චර්ච්හි දිවි ගෙවන අනෙක් පුද්ගලයන් සේම මෙලඩි ද බොහෝ පසු තැවෙන බව පැවසුවාය. තවත් තොරතුරු: "මේ අපි නොවෙයි", "මෙයින් ක්‍රයිස්ට්චර්ච් පිළිබිඹු වන්නේ නැහැ", "මෙහි වර්ගවාදයට ඉඩක් නැහැ" ලෙස සඳහන් කළ පුවරු නගරය පුරා දක්නට ලැබිණි. ක්‍රයිස්ට්චර්ච් නගරයේ සෑම දිශාවකින්ම පැමිණි පිරිස මියගිය අය සිහිකරමින් රැගෙන ආ මල් සහ විවිධ සටහන්වලින් හැග්ලි උද්‍යානය වැසී තිබිණි. නවසීලන්තයේ පවතින බහුසංස්කෘතික සමාජය සහ සාධනීය බව පිළිබිඹු කරන සංකේත සහිත කබා ඇඟලා ගත් එරට ආදිවාසීන් වන මඕරි ජාතිකයන්ගේ මෝටර් බයිසිකල් කණ්ඩායමක් මුස්ලිම් යාඥා පැවැත්වෙන කාලය අතරතුර ආරක්ෂාව සපයනු දක්නට ලැබිණි. "මේ සිද්ධිය ගැන ඉතා කනගාටුවට පත් වෙනවා. හැබැයි, මෙයින් පසු අපි හැමෝම තවත් එකමුතු වුණා" යැයි 1951 සිය උපතේ සිට මේ වනතෙක් ක්‍රයිස්ට්චර්ච් නගරයේ දිවි ගෙවන ක්‍රිස්ටීන් මැක්කාට්නි බීබීසී වාර්තාකරු හෝවාර්ඩ් ජොන්සන් සමග පැවසීය. රට පුරා සිටින අන් ආගමික කාන්තාවන්ට සිකුරාදා දින හිස ආවරණ පලඳින ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි මෙම ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකරමින් සිකුරාදා (මාර්තු 22) දින නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පසුගිය දිනක දී සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. "නවසීලන්ත ජාතිකයන් බොහෝ දෙනෙකුට පසුගිය සතියේ වූ සිද්ධිය සිහි කර ශෝකය බෙදා ගන්න වගේම මුස්ලිම් ජාතිකයන්ට නැවත දේවස්ථානවලට යෑමට උදව් කරන්න අවශ්‍ය බව මම දන්නවා" යැයි අගමැතිවරිය පැවසුවාය. ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාවට ලක් වී තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇතැයි එහි සිටින බීබීසී වාර්තාකරු පැවසීය. එමෙන්ම, රට පුරා සිටින අන් ආගමික කාන්තාවන්ට සිකුරාදා දින හිස ආවරණ පලඳින ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි.
2017 හම්බන්තොට පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතුවල ප්‍රගතියක් නැතැයි අනතුරු අඟවමින් ආසියානු ඔලිම්පික් කවුන්සිලය යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සඳුදා විශේෂ සාකච්ඡාවක් පැවති බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.
'හැම රටකම ඔලිම්පික් ව්‍යාපාරයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා' තරඟාවලිය සංවිධානය කිරීමේ කටයුතු ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට එහිදී එකඟත්වයකට එළැඹී ඇති බවයි, ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. ලිපියේ සඳහන් චෝදනාව අසත්‍යයක් නොවන නමුත්, තරඟාවලිය වෙනත් රටකට ලබා දීමේ තර්ජනයක් තවමත් මතු වී නැති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකා බලධාරීන්ට තමන් එවැනි ලිපියක් යොමු කළ බව සංදේශය කළ විමසීමකදී සනාථ කළ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂ ජනරාල් හයිදර් ෆාර්මන්, වැඩිදුරටත් කියා සිටියේ එය කවුන්සිලයේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත බවයි. 'දේශපාලන බලපෑම්' "ඒක අපි හැමදාම කරන දෙයක්. ප්‍රගතියක් නැත්නම්, තරඟාවලිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්න ආසියානු ඔලිම්පික් කවුන්සිලයට බලය තිබෙන බවට අනතුරු ඇඟවීමත් සාමාන්‍ය ප්‍රතිපත්තිය," යනුවෙන් ඔහු පැවසීය. සංශෝධන ක්‍රියාත්මක කිරීමට 'අමාත්‍යවරයා කැප වී සිටින්නේද යන්න ප්‍රශ්නයක්' ශ්‍රී ලංකා බලධාරීන් වෙත පසුගියදා යොමු කරන ලද එම ලිපියට මෙතෙක් පිළිතුරු ලැබී නැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. හම්බන්තොට උළෙලේ සංවිධාන කටයුතුවල පමාව මෙන්ම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳවත් සිය ලිපියේ සඳහන් වන බව හයිදර් ෆාර්මන් සනාථ කළේය. පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ ලුසාන් නුවරදී පැවති සාකච්ඡාවේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ක්‍රීඩා නීතිය සංශෝධනය කරන බවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ ප්‍රතිඥා දුන් බව සිහිපත් කරන ආසියානු ඔලිම්පික් කමිටු නිලධාරියා, ඉතා ඉක්මනින්ම එම ප්‍රතිඥාව ක්‍රියාවට නැගීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයිද බලාපොරොත්තු පළ කළේය. ඉදිරි ක්‍රියාමාර්ගය "අනිවාර්යයෙන්ම අපි හැමදාමත් ඔලිම්පික් කමිටුව සහ ආණ්ඩුව අතර සහයෝගය අගය කරනවා. ඒත් ඒ අතරේම හැම රටකම ඔලිම්පික් ව්‍යාපාරයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා," යනුවෙන්ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා සංදේශයට පැවසීය. ලුසාන් නුවරදී එවැනි ප්‍රතිඥාවක් දුන් අමාත්‍ය අලුත්ගමගේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් තමා සහ ජාතික ඔලිම්පික් කමිටුව දැඩි විවේචනයට ලක් කළ ආකාරය සිහිපත් කරන හේමසිරි ප්‍රනාන්දු, අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා සැබවින්ම කැප වී සිටින්නේද යන්න ප්‍රශ්නයක් බවත් පවසයි. එම චෝදනාව පිළිබඳව විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. කෙසේ නමුත් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙහිලා ප්‍රගතියක් දක්නට නැත්නම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට සිදු වනු ඇති බවයි, ආසියානු ඔලිම්පික් කවුන්සිලය පවසන්නේ. "නීතිය සංශෝධනය කරන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට මාස නමයක කාලයක් ලබා දුන්නා," බවද හයිදර් ෆාර්මන් සඳහන් කළේය. ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යාපාරය සමඟ පවතින සම්බන්ධතාවය හෝ රටේ කීර්ති නාමය පලුදු කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක් නැතැයි තමන්ට සහතික බවද ඔහු කියා සිටියේය.
මාසික විදුලි ගාස්තුව තවදුරටත් අඩු කර ගන්නා පාරිභෝගිකයන් වෙත විශේෂ සහන ලබා දීමේ නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
"විශේෂ තෑගි සහ සහන" ලබන සතියේ සිට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා කියා සිටියේ අද (ජන.29) මහනුවර අස්ගිරි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "කාගේත් සිත් ඇදගන්නා සුළු තරගකාරී ක්‍රමයක්. තමන්ගේ මාසික බිල මෙතෙක් පැවති සාමාන්‍ය බිලට වඩා අඩු කර ගැනීම තුළ විශේෂ වරප්‍රසාද, විශේෂ තෑගි සහ සහන හඳුන්වා දෙන්නේ, අපි ඉදිරි සතියේ සූදානම්," ඇමතිවරයා සඳහන් කළේය. මේ අතර රට පුරා ප්‍රදේශ ගණනාවකට වැසි ඇදහැලුනත් විදුලි බලය උත්පාදනය සඳහා භාවිත කරන ජලාශවලට ඉන් බලපෑමක් සිදුවී නොමැති බවත් ඇමතිවරයා පෙන්වා දුණි. 'වැස්සෙන් සහනයක් නැහැ' කැබිනට් මණ්ඩලයේ අනුමතිය ඇතිව මෙගාවොට් 60ක හදිසි විදුලි උත්පාදක යන්ත්‍ර ඇණවුම් කර ඇති බව කී ඇමතිවරයා මෙගාවොට් 500 කට ආසන්න ධාරිතාවකින් යුත් පෞද්ගලික අංශයේ විදුලි උත්පාදක යන්ත්‍රවලින්ද අවශ්‍ය විදුලිය සපයා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය. පසුගිය දින කීපය තුළ රට පුරා ප්‍රදේශ ගණනාවකින් වැසි වාර්තා වූ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නියං තත්වය හමුවේ විදුලි බල උත්පාදනය සඳහා භාවිත කරන ජලාශවල ජල මට්ටම පහත යෑම හේතුවෙන් විදුලි අර්බුදයක් ඇති විය හැකි බවට බලධාරීහු මීට ඉහතදී අනතුරු ඇඟ වූහ.
ස්වභාවික සම්පත් වලින් ගහන දකුණු චීන මුහුදේ දූපත් චීනයට අයිති බව පැවසීමට සාක්‍ෂි නැති බවට ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දී තිබේ.
දකුණු චීන මුහුදේ ඇතැම් ප්‍රදේශ වල චීනය විසින් කෘත්‍රිම භූමි නිර්මාණය කර ඇත තීන්දුව දීමටත් කලින් සිට දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දීමට යාම චීන රජයේ මාධ්‍ය විසින් හෙළාදැක තිබුණි. ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ එම තීන්දුව 'නීති විරෝධී, හිස්, බලරහිත' එකක් බවයි. 'එය ඉවත ලන කඩදාසියක්' ලෙසටයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය මෙම තීන්දුව හැඳින්වුයේ. තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිය දී චීනය විසින් දකුණු චීන මුහුදේ නාවුක යුද අභ්‍යාස පවත්වන බවයි වාර්තාවන්නේ හේග් නුවර පැවැත්වෙන අධිකරණය විසින් ඒ පිලිබඳ තීරණය ප්‍රකාශයට පත් කොට ඇත. මෙම දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳ ප්‍රශ්නය හේග් අධිකරණය වෙත රැගෙන ආවේ පිලිපීනයයි. එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහභාගී වීම චීනය විසින් ප්‍රතික්‍ෂේප කර තිබුණු අතර බලහත්කාරයෙන් දකුණු චීන මුහුදේ කෘත්‍රිම භූමි ගොඩනැංවීමේ නිරතවෙමිනුයි සිටියේ.
දෙදහස් පහළොව වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි දසදහසක මුදලක් වෙන් කොට තිබූ බවට පළ වන මාධ්‍ය වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.
ජනතාව නොමග යැවීම සඳහා වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් සාවද්‍ය ප්‍රකාශ සිදු කරනු ලබන බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කර තිබූ ඉහත කී එම මුදල නව රජය විසින් කෝටි දෙසිය හැත්තෑ දෙක දක්වා අඩු කොට ඉතිරි මුදල් සියල්ල ජනතාවට සහන ලබා දීම සඳහා නිදහස් කළ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනපති ලේකම් කාර්යාලය සඳහා කෝටි දසදහසක මුදලක් කිසි දිනෙක වෙන් නොකළ බව කියා සිටියේය. ‘2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුළු මුදල කෝටි 959කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව ඇතුළු රජයේ ආයතන 25 ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතන වලට සේවා සපයන අතර ආදාළ මුදල් වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සඳහාය’ හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. විශේෂ ගුවන් යානය ජනතා මුදල් වැය කොට ඇමරිකානු ඩොලර් මිලියන දාසයක වටිනාකමකින් යුත් විශේෂ ගුවන් යානයක් ඇණවුම් කර තිබුණු බවට ආණ්ඩුවෙන් එල්ල වන චෝදනා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කළේය. ‘ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම විසින් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානාවල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සඳහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ගැනුම්කරුට දෙන තිළිණයක් වශයෙන් ඇතුළත් කොට තිබුණි. ඩොලර් මිලියන 15ක් ලෙස එහි දී සඳහන් වූයේ එම කට්ටලය සඳහා නිෂ්පාදකවරයා සඳහන් කරන සංකේතාත්මක වටිනාකම පමණි. එය නොමිලේ ලබා දෙන තිළිණයකි’ හිටපු ජනපතිවරයා නිවේදනයෙන් කියා සිටියේය. නිල නිවාස සිය පාලන කාලය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා රටේ විවිධ ස්ථානවල එකඳු නිල නිවසක්වත් ඉදි කර නොමැති බවත් නිවේදනයේ සඳහන්. ‘ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පළ විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයා ගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පළ විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේය.
තමාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අනුගමණය කළ 'කාර්යක්ෂම පිළිවෙත' අහිංසක දෙමළ සිරකරුවන්ට සහ අසාධාරණ අයුරින් සිරගත කොට සිටින සෙසු සැකකරුවන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන මෙන් උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි.
නීතිපතිවරයාගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අසාධාරණ ලෙස සිර ගත වී සිටින දෙමළ සිරකරුවන් සහ සෙසු සැකකරුවන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීමට පියවර ගත යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායකයා බීබීසී සංදේශයට පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විරෝධයක් නොමැති බවට කළ ප්‍රකාශය ඇතැමුන් විකෘති කර ඇති බවයි, ඔහු පවසන්නේ. 'දේශපාලන සිරකරුවන් නෑ' "දේශපාලන හේතුවක් මත කුමන අයෙක් හෝ සිරකරුවෙක් නොවිය යුතුයි. අද ඔය අත්අඩංගුවේ ඉන්න පුද්ගලයන් අත්අඩංගුවේ ඉන්නේ ත්‍රස්තවාදී ක්‍රියා මතයි," ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ, බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වූ කේපී හෙවත් කුමාරන් පත්මනාදන් පවා නිදහස් කිරීමට තමන් නියෝජනය කළ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ බව පෙන්වාදුන් ගම්මන්පිල මන්ත්‍රීවරයා, තම ආණ්ඩුව කටයුතු කළේ "ප්‍රශ්නය අමතක කර සමාව දීමේ" ප්‍රතිපත්තියේ පිහිටා බවයි සඳහන් කළේ. "නමුත් මේ ආණ්ඩුව බලයට පත් වුනාට පස්සේ රණවිරුවන්ට දඬුවම් කරමින් කොටි ත්‍රස්තවාදීන්ට සමාව දෙනවා. ඒක අනුමත කරන්න බැහැ," ඔහු පැවසීය. උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ජාතිවාදියකු නොවන නමුත් උතුරේ ප්‍රශ්න විසඳීමට අසමත් වීම තුළ ඔහු ජාතිවාදය පැතිරවීමට කටයුතු කරමින් සිටින බවත් හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට අවසර ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ඒ බව සඳහන් කරමින් අදාළ ලිපිය බාරදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එළඹෙන පකිස්තාන හා දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් පසු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ. ගෞරවයක් පුරා වසර දහඅටක් තම මවු රට නියෝජනය කිරීමට ලැබීම මහඟු භාග්‍යයක් හා ගෞරවයක් ලෙස තමා සලකන අතර ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය ඉතා අපහසුවෙන් ගත් එකක් බව මහේල ජයවර්ධන ලිපියේ සඳහන් කරයි. ටෙස්ට් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට නිශ්චිත මොහොත පැමිණ ඇති බව විශ්වාස කරන බැවින් ඒ බව තීරණය කළේ යැයි මහේල ජයවර්ධන වැඩි දුරටත් පවසා සිටියි. නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් දින ජාත්‍යන්තර තරඟ සඳහා තවදුරටත් සම්පුර්ණයෙන් කැප වී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා පවසන්නේ.
සඳුදා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිරෙමින් තිබෙන ලැව් ගින්නෙන් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ගින්න ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා නිවාස 916ක් විනාශ වී තිබේ. මෙම සතිය ආරම්භයේ සිට වෙරළාසන්න ගම්මානවල පැතිරී ගිය ගින්නෙන් නිවාස 200ට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. ගින්න මඳක් පාලනය වීමත් සමඟ මෙතෙක් වසා දමා තිබූ වික්ටෝරියා ප්‍රාන්තය දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය බදාදා දෙපැයකට විවෘත කර ප්‍රදේශවාසීන්ට පිට වීමට ඉඩ ලබා දී තිබුණි. නමුත් ගින්න පැතිරී යන පළාත්වල තවමත් විශාල පිරිසක් රැදී සිටින අතර, ඉන් එක් නගරයකට බෝට්ටු මඟින් ගිය පොලිසිය, පානීය ජලය ටොන් 1.6ක් බෙදා දුන්නේය. සැප්තැම්බර් මස සිට නැගෙනහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හරහා හමා යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ. නිව් සවුත් වේල්ස්හි මියගිය පුද්ගලයන් කවුරුන් ද? බදාදා (ජනවාරි 1) උදෑසන මෝටර් රථ දෙකක් තුළ දෙදෙනෙක් මිය ගොස් සිටියහ. සිය නිවස සහ ගොවිපළෙහි යන්ත්‍ර සූත්‍ර රැකගැනීම සඳහා ඔවුන් දෙදෙනා උත්සහ කර තිබේ. ගිනි නිවන භටයෙකු වන 28 හැවිදිරි සැමුවෙල් මැක්පෝල් මෑතක දී විවාහ වී සිය ප්‍රථම දරුවා අපේක්ෂාවෙන් සිට ඇත. ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ, ගින්න හේතුවෙන් හටගත් දැඩි සුළඟට හසු වී ඔහු ගමන් කරමින් සිටි ටොන් 10ක් බරැති ට්‍රක් රථය පෙරළී යාමෙනි. වික්ටෝරියා ප්‍රාන්තයේ ද තවත් මරණ සිදු වූ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව, ලැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 18 දක්වා වැඩි වී ඇති අතර, මෙම සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ. නිව් සවුත් වේල්ස්හි නිවාස 176ක් සහ ජිප්ස්ලෑන්ඩ් ප්‍රදේශයේ නිවාස 43ක් විනාශ වී තිබේ. ගින්න ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා නිවාස 916ක් විනාශ වී, 363කට හානි සිදුව ඇති අතර, තවත් 8,159ක් ආරක්ෂා කර ගත හැකි වූ බව නිව් සවුත් වේල්ස් ගිනි නිවන සේවා පැවසීය. අඟහරුවාදා (දෙසැම්බර් 31) මැලකූටා ප්‍රදේශයේ වේගයෙන් පැතිරී ගිය ගින්න නිසා දහස් ගණනක පිරිස් මුහුදු වෙරළ වෙත පළා ගියහ. එසේ අවශ්‍ය පානීය ජලය, ආහාර, හෙද සේවා සහ බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. තවත් තොරතුරු: මේ අතර, මෙල්බර්න් නුවරට වයඹ දිගින් කිලෝමීටර 40ක් එපිටින් පිහිටි 'සන්බරි' නගරයේ ප්‍රදේශවාසීන්ට එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස පොලිසිය අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත. බදාදා කාලගුණය මඳක් යහපත් වීමත් සමඟ පාරවල් පවිත්‍ර කර, විදුලි බලය යථා තත්වයට පත් කිරීමට ක්‍රියා කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රධාන අමාත්‍ය ග්ලේඩිස් බෙරේජික්ලියන් පැවසීය. නමුත් සෙනසුරාදා නැවතත් උෂ්ණත්වය ඉහළ යෑමට නියමිත බව ඇය තවදුරටත් පැවසුවාය. ඉතා දුර පළාත්වල වෙසෙන පුද්ගලයන්ට සේවා සැපයීමට නොහැකි වී ඇති බව ගිනි නිවන සේවා අනතුරු අඟවා තිබේ. "තුවාල වුණ පිරිස් සහ පිළිස්සුම් තුවාල සහිත අය ගැන වාර්තා ලැබී තිබෙනවා. නමුත් අපිට ඒ තැන්වලට මාර්ගයෙන් හෝ ගුවන් යානාවලින් වත් ළඟා වෙන්න බැහැ. ගුවන් යානා ධාවනපථ වසා දමා ඇති අතර එහි යෑම ඉතා භයානකයි," යැයි නිව් සවුත් වේල්ස් ගිනි නිවන සේවා කොමසාරිස් ශේන් ෆිට්ස්සිමොන්ස් පැවසීය. මැලකූටාහි ප්‍රදේශවාසීන් බොහෝදෙනෙකු රිය ගත කළේ සිය මෝටර් රථ හෝ ඇල ආසනවලය. සුපිරි වෙළෙඳසැල් ඉදිරියේ මිනිසුන් පෝලිම් ගැසී සිටිනු දක්නට හැකිය. ආහාර, ජලය සහ ඉන්ධන ලීටර 30,000ක් රැගත් නෞකාවක් මෙල්බර්න් නුවර සිට යාත්‍රා කරන බව වික්ටෝරියා හදිසි සේවා කොමසාරිස් ඇන්ඩෘ ක්‍රිස්ප් පැවසීය. මැලකූටා ආසන්න ප්‍රදේශවල ආහාර හිඟයක් ඇති විය හැකි බවට ද අනතුරු අඟවා ඇත. මේ අතර, උතුරු දෙසින් පිහිටා ඇති 'උලඩුල්ල' ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් ඉදිරියේ විශාල පිරිස් පෝලිම් ගැසී සිටියහ. ජංගම දුරකතන ඇතුළු සියලු වර්ගයේ දුරකතන විසන්ධි වීම හේතුවෙන් මුදල් ගෙවා ඇමතුම් ලබා ගත හැකි පොදු දුරකතන ආසන්නයේ ද බොහෝ දෙනෙක් රැඳී සිටිති. ගින්නට අසු වූ සත්තු වත්ත සේවකයන්ගේ සුවිශේෂී නිර්භීතකම හේතුවෙන් කුඩා සත්ව උද්‍යානයක සිටි සියලු සතුන් ගින්නෙන් බේරා ගැනීමට හැකි වී තිබේ. 'ප්‍රිමාටේස්' වඳුරු වර්ගය, සීබ්‍රා, රයිනෝ සහ ජිරාෆ් සතුන් ඔස්ට්‍රේලියාවේ විශාලතම එකතුව මෙම 'මොගෝ' සත්ව උද්‍යානය සතුය. 'මොගෝ' සත්ව උද්‍යානය එම ප්‍රදේශය තුළ ගින්න පැතිරී යාමත් සමඟ සතුන් 200 දෙනා ආරක්ෂිතව බේරා ගැනීමට සත්ව උද්‍යාන සේවකයෝ සමත් වූහ. බොහෝ දෙනෙකු උද්‍යානය තුළ ම ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර, වඳුරන්, පැන්ඩා සහ කොටියෙකු ද සත්ව උද්‍යාන පාලකයාගේ නිවසේ රඳවා ගැනීමට ක්‍රියා කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි පැතිරී ඇති ප්‍රදේශ