summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂඥයන් පිරිසක් අප්‍රේල් 29 වැනි දින සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස් ගේ ශ්‍රී ලංකා සංචාරයේදී අදාළ අංශයන්හි මෑත යුගයේ වර්ධනයන් විමසා බැලීමට නියමිත බවයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. "මානව හිමිකම්වලට ගරුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මෑතදී ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් අපි දිරිමත් වූයෙමු," බවයි ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරන්නේ. වද හිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස් "අධිකරණයේ සහ නීති වෘත්තියේ ස්වාධීනත්වය සහතික කිරීමෙහිලා මෙන්ම වද හිංසා තුරන්කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් අපි බලාපොරොත්තු වන්නෙමු." ආණ්ඩුවේ ආරාධනය මත ශ්‍රී ලංකාවේ සංචාරය කරන දූත පිරිස සිය සංචාරයේදී කොළඹ මෙන්ම උතුරු, නැගෙනහිර සහ වෙනත් පළාත්වලද සංචාරය කිරීමට නියමිතයි. රැඳවියන් රඳවා සිටින ස්ථාන පරීක්ෂා කිරීම සිය සංචාරයේ ප්‍රධානම අංගයක් බවයි විශේෂ නියෝජිතයන් පවසන්නේ. ඔවුන්ගේ සංචාරයේ නිරීක්ෂණ ඇතුලත් පූර්ණ වාර්තා දෙකක් ලබන වසරේ මාර්තු සහ ජුනි මාසවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සෙසු මානව වර්ගයාට මෙන්ම එච්අයිවී ආසාදිත කාන්තාවන්ටත් ලිංගික අවශ්‍යතා තිබෙන බව ක්‍රියාධාරිනියක් පවසයි.
'ආදරය, රැකවරණය අහිමිව HIV ආසාදිත කාන්තාවෝ සෝ සුසුම් හෙලනවා' ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුණු පමණින් කිසිවෙකුගේ ලිංගික අවශ්‍යතා පහව නොයන නමුත් එවැනි රෝග වැළදීමත් සමග සමාජයෙන් එල්ල වන නින්දා අපහාස හමුවේ පෞද්ගලික අවශ්‍යතා සඟවා ගෙන සිටීමට බල කෙරෙන බව වසර ගණනාවක් මුළුල්ලේ එච්අයිවී ආසාදිතයන්ට ඇප උපස්ථාන කිරීම පිණිස කැප වී සිටින ප්‍රින්සි මංගලිකා වේදනාබරව සඳහන් කළාය. එච්අයිවී ආසාදිත ප්‍රින්සි මංගලිකා එච්අයිවී ආසාදිත සෙසු පුද්ගලයන් වෙනුවෙන් කරන ලද මෙහෙය අගය කොට මෑතකදී ඇය 'අනභිනන්දිත වීරවරියක' ලෙසින් ද පිදුම් ලැබුවාය. "ගෑනු අයට HIV කියල කියපු ගමන්ම හැම දෙයක්ම එපාවෙනවා. එයා ජීවත්වෙන්න ඕන නිසා ජීවත්වෙනවා. ළමයි නිසා ජීවත්වෙනවා," ඇය බීබීසී සංදේශයට කියා සිටියාය. "මම කියන්නේ නෑ HIV හැදුන කියල කාන්තාවට ලිංගික ජීවිතයක් අවශ්‍ය නෑ කියල. කාන්තාවටත් අවශ්‍යයි. ඒත් ඒ පිළිබඳ ලොකු උනන්දුවකින් ඉන්නව කියල මම හිතන්නේ නෑ." එච්අයිවී ආසාදනය වීමත් සමඟ කාන්තාවන් දැඩි පීඩාවකට ලක්වන නමුත් බොහෝ විට පුරුෂයන් එයට වඩා පහසුවෙන් සිය ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා බව දශකයකට අධික කාලයක් රෝගීන්ට උවටැන් කළ ක්‍රියාධාරිනිය පවසන්නේ සිය අත්දැකීමෙනි. "සමාජයේ කිසිම අයිතිවාසිකමක් නෑ. ආදරයක් නෑ. ආරක්ෂාවක් නෑ. කාන්තාව ගොඩක් සෝ සුසුම් හෙලනවා. මට වුනත් එහෙමයි." විදේශගතව සිටි සැමියා එච්අයිවී ආසාදිතයකු ලෙසින් යළි සියරට පැමිණීමෙන් පසු එච්අයිවී ආසාදනය වූ ඇය පවසන පරිදි, දිවි තොර කරගත් සැමියා පිළිබඳ කෝපයක් නැතත් එතරම් දයාබරිතව රැක බලාගත් සැමියා තමන්ද අනතුරේ හෙළීම පිළිබඳ ඇය සිත තුල පවතින්නේ දැඩි වේදනාවක්. සැමියාත්, තමාත් දෙදෙනාම ආසාදිතයන් බවට පත්වීමෙන් පසුවත් ඒ බව සමාජයට රහසක්ව තිබුණේ නම් තමන් මෙතරම් පීඩාවකට ලක් නොවන බව පවසන ප්‍රින්සි මංගලිකා තමන්ට ප්‍රතිකාර කළ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඒ පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගකීම උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය ජීවිතය 'කබලෙන් ලිපට වැටුන' බව සඳහන් කළාය. එච්අයිවී ආසාදනය පිළිබඳ රට පුරා පවත්වන වැඩමුළුවලදී ලිංගික පහස ලැබීමේදී උපත් පාලන කොපු යොදාගැනීමේ වැදගත්කම අවධාරණය කරන බව පවසන ඇය, තමන් එච්අයිවී ආසාදිතයන්ටත් ඒ ආකාරයෙන්ම උපදෙස් දෙන බවත් කියා සිටියාය. එච්අයිවී/ ඒඩ්ස් සෞඛ්‍ය තත්වයන් පිළිබඳ පෙරට වඩා අද වන විට ශ්‍රී ලංකාව පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත්, එය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. (බීබීසීය වාර්ෂිකව දියත් කරන 'සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි'-100 Women-වැඩසටහන වෙනුවෙන්)
ආණ්ඩු විසින් ණය ලබා ගැනීම ලෝක ප්‍රවණතාවක් වන නමුත් එසේ ලබා ගන්නා ණය හුදෙක් පරිභෝජනය සඳහා නොව සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
"ඔබ දන්නවා මත්තල සිදු කළ ආයෝජනයට අද වාර්ෂිකව බිලියන දෙක හමාරක් විතර මුදල් ගෙවන්නේ කටුනායක ගුවන් තොටුපොලෙන් ලැබෙන ආදායමෙන්," ඇමතිවරයා ඒ බව කියා සිටියේ අද (නොවැම්බර් 12) පැවති අයවැය විවාදයට සහභාගී වෙමිනි. පසුගිය පාලන සමයේ ලබාගත් ණය එම අරමුණ සඳහා භාවිතා නොවුන අතරම මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන් සඳහා සිදු කරන ලද ආයෝජන වෙනුවෙන් තවමත් ණය ගෙවීමට සිදු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. "අයවැය පිළිබඳ විවේචනය කරන බොහෝ දෙනෙක් කියන්නේ මේක ණය වැයක් කියලා. ණය ගැනීම අනිවාර්යයි." ඇමතිවරයා කියා සිටියේය. "අප විසින් කරන ලද ඇතැම් ආයෝජන ඒ ආකාරයෙන් සිදු නොවූ නිසා තමයි මේ තත්වයට අද ඇවිල්ලා තියෙන්නේ. ඔබ දන්නවා මත්තල සිදු කළ ආයෝජනයට අද වාර්ෂිකව බිලියන දෙක හමාරක් විතර මුදල් ගෙවන්නේ කටුනායක ගුවන් තොටුපොලෙන් ලැබෙන ආදායමෙන්," "හම්බන්තොට වරාය හදපු එක හොඳයි. නමුත් ඒකෙන් ආදායමක් ලැබෙන්නේ නැහැ." "අපි පරිභෝජනය සඳහා ණය ගන්නවා නම්, ණය උගුලකට අපි හසු වෙනවා," අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විවේචනයට ලක් විය. පැවති ආණ්ඩු විසින් ලබාගත් ණය රටේ සංවර්ධන කටයුතු සඳහා යෙදවූයේ නම් මේ වන විට රටේ තත්වය බෙහෙවින් වෙනස් මුහුණුවරක් ගනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය. අයවැය තුළින් අත්‍යවශ්‍ය ආහාර කීපයක මිල අඩු කොට ජල ගාස්තු සියයට තිහකින් ඉහළ නැංවීම මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක් විය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට නැගෙනහිර පළාත පිළිබඳව වෙනම අයිතියක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.
රටේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට අනවශ්‍ය, නාස්තිකාර වියදම් කරමින් සිටින බවටත් එජාප නායකයා ආණ්ඩුවට චෝදනා කරයි එජාප සහ විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒ බව ප්‍රකාශ කළේ ළඟ එන පළාත් සභා මැතිවරණය පිළිබඳව පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා අම්පාරේ පැවති රැස්වීමක් අමතමින්. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ උරුමය රැක දෙනු වෙනුවට මුස්ලිම් ජනතාවට එරෙහි ක්‍රියාදාමයක නිරතව සිටින බවට විපක්ෂ නායකයා ආණ්ඩුවට චෝදනා කළේය. "පල්ලි කඩනවා, ඒගොල්ලන්ට හරිම අමාරු තත්ත්වයක් තියෙන්නේ," බව රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පසුගියදා රට පුරා ප්‍රදේශ ගණනාවක මුස්ලිම් දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාර පිළිබඳව අවධානය පළ කරමින්. මෙවර තනි පක්ෂයක් ලෙසින් මැතිවරණයට තරඟ වදින ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට පිළිබඳව සඳහන් කළ විපක්ෂ නායකවරයා පැවසුවේ: "මොකක්ද අද වෙලා තියෙන්නේ? ඒගොල්ල දියුණු වුනා, මුස්ලිම් ජනතාව අනාථ වුනා," බවයි. එමෙන්ම රටේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට අනවශ්‍ය, නාස්තිකාර වියදම් කරමින් සිටින බවටත් එජාප නායකයා ආණ්ඩුවට චෝදනා කරයි. "ගොවි මහතුන්ට උදවු කරන්න මුදල් නෑ. ජනාධිපතිතුමා අලුතෙන් හෙලිකොප්ටර් විස්සක් ඉල්ලලා තියෙනව. මොනවා කරන්නද වී ටික කොළඹට දාන්නද හෙලිකොප්ටර් එකෙන්?," ඔහු ප්‍රශ්න කරයි. ගොවි ගැටලුවලට හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට පිළියම් යෙදීමට මුදල් නැති ආණ්ඩුව, දැයට කිරුල වැනි සංදර්ශන වෙනුවෙන් අනවශ්‍ය ජනතා මුදල් නාස්තියක නිරතව සිටින බව විපක්ෂනායක වරයාගේ අදහසයි. නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සඳහා පළාත් සභා මැතිවරණ ලබන සැප්තැම්බර් අට වැනිදා පැවැත්වීමට නියමිතයි.
පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම ලොව අමානුෂිකම සහ බරපතලම අපරාධය බව මානව හිමිකම් ක්‍රියාධාරිනියක් පවසන්නීය.
මනුෂ්‍ය ඝාතනය හෝ වෙනත් බරපතල අපරාධවලදී මෙන් නොව කිසිවකු අතුරුදහන් කරවීමේදී ඔහු/ හෝ ඇය වෙනුවෙන් අවසන් ගරු බුහුමන් දැක්වීමේ අයිතිය පවා ඥාතීන්ගෙන් උදුරා ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නීතිවේදිනී මනෝරි මුත්තෙටුවේගම බීබීසී සංදේශයට කියා සිටියේ. එබැවින් එය හුදෙක් එක් ජනවර්ගයක ගැටලුවක් ලෙසින් සලකා බැහැර නොකළ යුතු බවත් සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනිය සඳහන් කළාය. බලහත්කාර අතුරුදහන් කරවීම තරම් බරපතල අපරාධයක් මිහිපිට නැතැයි කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේදී තවදුරටත් සනාථ වූ බවත් නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවේගම සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්. "ඒක මුළු රටටම වෙච්ච විපතක්. හැරෙන්න තැනක් නැතිව අපේ සමාජයේ කීදෙනෙක් ඉන්නවද කියල මේකෙන් අපිට පෙනුණා," ඇය සඳහන් කළාය. ගතව ගිය සති කිහිපය ඇතුලත කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ කමිටුවලදී ඉතා අනුවේදනීය තොරතුරු හෙළි වූ බවයි ඇය පවසන්නේ. '65,000 ක් අතුරුදහන්' අසූව දශකයේ අග භාගයේදී සැමියා අතුරුදහන් වූ කාන්තාවකගේ දෙවැනි සැමියාත් ඉන් වසර කිහිපයකට පසුව අතුරුදහන්වීම, මහජන අදහස් විමසීම්වලදී හෙළිවුණ එවැනි එක් ශෝචනීය කතාවක්. සිය සැමියන්, පුතුන් ඇතුළු ඥාතීන් සොයා යාමේදී මුහුණදීමට සිදු වූ නින්දා, අපහාස ඇතුළු වේදනාව බොහෝ කාන්තාවෝ කාරයා සාධක බලකාය ඉදිරියේ හෙළි කළහ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගියදා සඳහන් කළ පරිදි ගතව ගිය දශක කිහිපය ඇතුලත ශ්‍රී ලංකාවේ 65,000 ක පිරිසක් අතුරුදහන්ව සිටිති. එල්ටීටීඊයට එරෙහි යුද ගැටුම් සමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් පත් කරන ලද කොමිෂන් වාර්තා මගින් ඒ සංඛ්‍යාව අනාවරණය වන බවයි ආණ්ඩුවේ සංහිඳියාව සම්බන්ධ කාර්යාලයේ සභාපතිනියද වන හිටපු ජනාධිපතිනිය සඳහන් කරන්නේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින්නේ 15,000 ක පිරිසක් අතුදහන්වීම සම්බන්ධ තොරතුරු පමණක් බව ක්‍රියාධරයෝ පවසති. එම සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ අතුරුදහන්වීම් වැඩිම රටවල් අතර දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව. එහි පළමු ස්ථානය හිමිවන්නේ ඉරාකයට. එහෙත් නිසි සංඛ්‍යාලේඛන හෙලිවුවහොත් ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිවනු ඇති බවත් ක්‍රියාධරයෝ පවසති. ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු සංහිඳියා ක්‍රියාමාර්ගය පිළිබඳව රට පුරාම ජනතාවගේ අදහස් විමසා සකස් කරන පූර්ණ වාර්තාව ලබන මාසයේ මැද භාගයේදී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කරන බවත් සංහිඳියාව සම්බන්ධ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
කොරියානු අර්ධද්වීපයේ උද්ගතව පවතින ගැටුම්කාරී යුද උණුසුම සමහන් කර ගැනීමේ සංවාදයකට එක්වන්නැයි, චීන නායකත්වය ඉල්ලා සිටියි.
බේජිං නායකයන් එවැනි ඉල්ලීමක් කළේ , චීනයේ සංචාරයක නිරත වෙමින් සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී (John Kerry) සමඟ පැවැත්වූ සාකච්ඡාවලදීයි. ගැටුම්කාරී තත්වයක් උත්සන්න වෙමින් පැවැතීම කිසිවකුගේ උවමනාව නොවන බව කියා සිටි චීන විදේශ ඇමති වැන්ග් යී (Wang Yi), සාමය සහ න්‍යෂ්ටික නිරවිකරණය සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලීමක් ද කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිදු කෙරෙන බලපෑම් සම්බන්ධයෙන්, යුදමය තර්ජනයක් මගින් ප්‍රතිචාරය පළකරන සිය උතුරු කොරියානු සගයා, එවැනි ක්‍රියා මාර්ගයකින් වළක්වා ගන්නැයි වොෂින්ටන් බලධාරීන් චීනයෙන් ඉල්ලා සිටියේය. චීනය පෙන්වා දෙන්නේ, සාමය සහ ස්ථාවරභාවය සහතික කර ගැනීම සියලු පාර්ශ්වයන්හි වගකීමක් වන බවයි. උතුරු කොරියාවට එරෙහිව කලාපීය හවුළක් ගොඩ නඟා ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ, "පියෝන්ග් යැන්ග්" පාලනය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩ සටහණ අත්හැර දැමුවත් පමණක් සාකච්ඡා සඳහා එකඟ වෙන බවයි.
මින්නේරියේදී වල් අලියකු විසින් පහරදී මාධ්‍යවේදියකු මරා දැමීමත් සමගම අලියා සහ මිනිසා අතර සම්බන්ධතාවය මෙන්ම අලි, මිනිස් ගැටුම කෙරෙහිත් යළිත් වරක් අවධානය පළ වී තිබේ.
ඇත්තෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව සහ අලි ඇතුන් අතර සබැඳියාවේ ඉතිහාසය භාරත දේශය දක්වා දිව යන්නක්. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජීවිතය හා සබැඳි අලි ඇතුන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. බුදුන් වහන්සේ දෙසූ බොහෝ ජාතක කතා වලද අලි ඇතුන් පිළිබඳව සඳහන් වේ. දුටුගැමුණු රජු සහ ඔහු උපන් දවසේම ඉපදුණු බවට පැවසෙන කඩොල් ඇතු අතර තිබී ඇත්තේද අපූරු සුසංයෝගයක්. එදා සංග්‍රාම භූමියේදී දුටුගැමුණුට කණ්ඩුල යම්සේද ඔහුගේ පස මිතුරු එළාර රජුට පර්වත නමැති ඇතෙකු සිටි බවත් සඳහන් වේ. පසුකාලීනව අරාබි, පෘතුග්‍රීසි සහ ඕලන්ද වෙළඳුන් ලංකා දූපතේ අලි ඇතුන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ගෙන තිබූ බව ලිඛිත වාර්තාවල සඳහන් වේ. රාජාණ්ඩු සමය මහනුවර යුගයේ මෙරට සිරකරුවකුව සිටි රොබර්ට් නොක්ස්ගේ මතක සටහන්වල පවා මහනුවර රජවාසල සතු ඇත් පන්තියත්, වන අලින් මායමෙන් වසඟයට ගෙන මැද මහනුවරට ගෙන ආ ඇතින්නන් පිළිබඳ අපූරු සටහන් හමුවේ. සිංහල රජ ආණ්ඩු සමයේ අලි ඇතුන්ගේ අයිතිය රජු සන්තක විය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමෙන් පසු අලි ඇතුන් යනු ඉහළ සමාජ ස්තරයට අයත් යැයි සැලකෙන රදල සහ ප්‍රභූ පන්තියේ වත්කම් ශේෂ පත්‍රයේ අනිවාර්ය අංගයක් විය. අලි ගාල් නමින් හැඳින්වූ වන අලි කොටු කර ගැනීමේ අමානුෂීය පිළිවෙත නිදහස ලැබීමෙන් පසුද තවත් කලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. පනාමුරේ සුප්‍රකට ඇත් රජු (සැබවින්ම ඔහු ඇතකු නොව අලියකු බව සඳහන්ය) ස්වකීය වර්ගයා වෙනුවෙන් දිවි පිදු අතර එම අසහාය නායකයාගේ දිවි පිදුම මෙරට අලි ගාල් බැඳීම අවසන් වීමටද කරුණු කරනා විය. එහෙත් මේ වන විට ශ්‍රී ලාංකීය අලි ඇතුන් යළිත් අතිශය ඛේදජනක ඉරණමකට මුහුණ දී සිටිති. මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ අලි ඇතුන් නීති විරෝධී ලෙසින් නිවාසවල සහ බෞද්ධ විහාරස්තානවල රඳවාගෙන සිටි බවට චෝදනා එල්ල විය. යටත් විජිත යුගය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මේ සද්දන්තයින්ට ඔවුන්ගේ වන රජ දහන අහිමි වෙමින් පවතී. අලි මිනිස් ගැටුමට ප්‍රධානම හේතුව එයයි. යටත් විජිත යුගයේ සහ නිදහසින් පසුද මුල් දශක කිහිපයේ මෙරට අලි ඇතුන්ගේ හිමිකම රදල ප්‍රභූ පවුල් සතු විය. එදා නිදහස හිමි වීමට පෙර අලි පැටියකුගේ මිල රුපියල් දහසකට අඩු වූ අතර හීලෑ අලියකුගේ දෛනික වැඩ කුලිය රුපියල් විස්ස ඉක්ම නොවීය. පසු කාලීනව ශ්‍රී ලංකාවේ දැව කර්මාන්තය හා බැඳී ව්‍යාපාරික පැලැන්තිය අතරට අලි ඇතුන්ගේ අයිතිය විතැන් වූ අතර එතෙක් අහවල් වලව් හා බැඳි නමින් යුතු හීලෑ අලි ඇතුන් වෙනුවට විවිධ ව්‍යාපාරික නම්ගොත් හා බැඳී හීලෑ අලි ඇත්තු කරලියට පැමිණියහ. දැන් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ දැව කර්මාන්තයක් නැති තරම්ය. දැන් ඉතිරිව ඇති සීමිත හීලෑ අලි ඇතුන් ප්‍රමාණය මෙරට සංචාරක ව්‍යාපාරය හා බැඳුනකි. හබරණ ඇතුළු සංචාරක කලාප වල විදෙස් සංචාරකයින් සඳහා වෙන් වූ අලි සෆාරි, එහි යෙදවෙන අලි ඇතුන්ට කෙසේ වෙතත් අලි හිමියන්ටත් එම සේවා පවත්වා ගෙන යන අතරමැදියන්ටත් කදිම ධන උල්පතකි. හක්ක පටස් පෙරහැර පවත්වා ගෙන යෑමටවත් හීලෑ අලි ඇතුන් ප්‍රමාණවත් නැතැයි පිරිසක් මැසිවිලි නගන අතර සෑම වසරකම හීලෑ අලි ඇතුන්ට වඩා හත් අට ගුණයක වන අලි රට පුරා විවිධ ප්‍රදේශවලදී මිනිසුන් අතින් මැරුම් කති. ඌරන්ට අටවන හක්ක පටස් නමැති මර උගුල් හමුවේ ඉතා ඛේදනීය ලෙස මරණය පෙනී විඳවන වන අලි පිළිබඳ පුවත් නිතර වාර්තා වේ. තවත් අතකින් දුම්රියට බිලිවන වන අලි ඇතුන්ද සංඛ්‍යාත්මකව සුළු පටු නොවේ. පෙරහැරවල ගරු ගාම්භීරව ගමන් ගන්නා අලි ඇතුන් පිළිබඳ සහ අලි හාම්පුතුන්ගේ වරුණාව එවන් පෙරහැරවල සජීවී ප්‍රකාශවල අපට නිතර අසන්ට ලැබේ. යදමින් බැඳ විලංගුවේ නිදි නොලබා වෙහෙසින් වෙහෙසට පත්ව විදුලි ආලෝක ධරා හමුවේ වැගිරෙන කඳුලෙන් යුතු එම අලි ඇතුන් නිහඬව සඳහන් කරනුයේ සජීවී විස්තර විචාරකයන්ගේ කතාවට ඉඳුරාම වෙනස් පුවතකි. අලියා ඉතා තියුණු ඉවක් ඇති සතෙක් ලෙස සැලකේ. උගේ මතකයද එලෙසම වේ. ඇතැම් අලියකු කෙතරම් බුද්ධිමත්දැයි සිතා ගැනීමටත් බැරි තරම්. ඇත්ගොව්වාගේ වාචික මෙන්ම නිර්වාචික විධානයන්ට හීලෑ අලි ඉඳුරා ප්‍රතිචාර දක්වති. ප්‍රචණ්ඩත්වය ඉහ වහා ගිය අලි ඇතුන් පිළිබඳවද අපට අසන්ට ලැබේ. තුන් තේරවිල්ලක් මෑත අතීතයේ ඇත්ගොව්වන්ගේම ඔළු ගෙඩි කෑ එක් ඇතින්නක් විය. ඇගේ මේ ඔලු කෑමේ පුරුද්ද නිසාම ඈ වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 'ඔලු කන ඇතින්න' නමිනි. එහෙත් තවුසන් තරමට සාදු ගුණයෙන් යුතු හීලෑ අලි ඇතුන්ද නැත්තේ නොවේ. මද කිපෙන කළ වුව කිසිදු වෙනසකින් තොරව ඇත්ගොව්වා ඇතුළු සිය හාම්පුතුට පෙර සේ සුවච කීකරු අලි ඇතුන්ද අපට හමු වෙති. සුරා මතින් පදම ඉක්ම වූ සිය ඇත්ගොව්වා හොඬවැලෙන් රැගෙන ආරක්ෂක ස්ථානයකට රැගෙන ගිය, යුතු අයුතුකම් දන්නා අලියකු පිළිබඳ ඡායාරූප වාර්තාවක් පසුගිය දිනක මෙරට පළ වී තිබුණා මතකය. අලියා නොයන මග ඉනිමග, අලියා නොකන දැල්ල ගිනි දැල්ල යනාදී වශයෙන් තේරවිලි සාහිත්‍යයේ පවා ඉඩ කොටසක් වෙන් කර ගෙන සිටින අලි සහ මිනිසා අතර බැඳීම ඇත්තෙන්ම තුන් තේරවිල්ලකි. දුකසේ වපුල අස්වැන්න විනාශ කරන අලි ඇතුන්ට ගිනි පිඹින සාප කරන අපේ මිනිසුන් එවන් සද්දන්තයකු අසරණව ඇද වැටුණු මොහොතක උවැටන් කිරීමට ඉදිරිපත් වන්නේ එබැවිනි. දුක සේ වල් අලි පලවා හරිමින් වැපිරූ කෙත් බිම කිරි බරෙන් පීදුණු පසු අලින්ටම දන් දුන් අපේ කාලයේ අපූරු වෙස්සන්තර ගොවි පියකු පසු ගිය දිනක සීගිරියෙන් වාර්තා විය. සංචාරක කර්මාන්තය එදා සදාතුක කරඬු ඇතුළු දේවාභරණ වැඩමවීම සඳහා ඇතකු අලියකු වැනි පිරිමි සතකු මිස ඇතින්නක භාවිතයට නොගත්හ. දෙවියන් බුදුන් වැඩමවන සතා යැයි ගෞරව බහුමානයට පත් අලි ඇතුන් පිට නැගීම ස්ත්‍රීන්ට ඉඳුරා තහනම් විය. එදා කිලිවලට හසු වූ ඇත්ගොව්වෙකු වී නම් තම අලියා හෝ ඇතා ළඟට ගියේ නා පෙවී පිරිසිදු වූ පසුවය. සේරප්පුවක් සපත්තුවක් පය ලා අලියකු පිට නැගීම සහගහන අපරාධයක් ලෙස පැරැන්ණෝ සැලකූහ. සංචාරක කර්මාන්තයේ අනුභාවය හේතු කොට ගෙන අද අලි ඇතුන් පිට විදෙස් සංචාරක කාන්තාවෝ පෙලින් පෙළ සැදී වීදි සරති. පාරවල වැඩ කිරීම අවමානයක්‌ යැයි සිතා ලය පැලී මිය ගිය අලි මුතුන් මිත්තන්ගේ පරපුරේ වත්මන් අලි මුනුබුරු මිනිබිරියන් මහමග සිඟනු දැන් සුලබ දසුනකි. උඩවලව අභය භූමිය ආසන්නයේ වැට මායිමේ, බුත්තල කතරගම මහා මාර්ගයේද මෙසේ මහමග සිඟන වන අලි සුලභ වෙති. දශක කිහිපයක් ඇතුළත සිදු වූ මෙකී පරිවර්තනය හුදෙක් අලි ඇතුන්ගේ අභිමානයේ පරිහානිය පමණක්ම නොව මනුෂ්‍ය ජාතියේම අභිමානයේ පරිහානිය නොවේදැයි අප අපෙන්ම විමසිය යුතු නොවේද?
චන්ද්‍රිකා ඡයාරූප ආධාරයෙන් ලෝකයේ දුප්පත්කම පැතිරී ඇති අකාරය පිලිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුනා ගත් බව ඇමරිකානු ගවේෂක කණ්ඩායමක් පවසයි.
ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පරිගණක පද්ධතියක් ආධාරයෙන් අප්‍රිකානු රටවල් පහක පදික වේදිකා සහිත පාරවල් සහ ගොඩනැගිලි හඳුනාගෙන ඒ අනුව අදාළ ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය පිලිබඳ තොරතුරු රැස්කර තිබේ. එසේ ලබා ගත් දත්ත සම්ප්‍රදායික සමීක්ෂණ ක්‍රමවේදයන් වලින් ලබාගත් දත්ත හා සසඳා බැලීමේ දී පෙනීගොස් ඇත්තේ 'දුප්පත් ප්‍රදේශ' හඳුනාගැනීමේ පැරණි ක්‍රමවේදයන් ගෙන් ලැබෙන ප්‍රතිපල වලට සමාන හෝ වැඩි ප්‍රතිපල මේ නව ක්‍රමයෙන් ලැබෙන බවයි. මෙම නව ක්‍රමය නිසා සම්ප්‍රදායික ක්‍රම මගින් සමීක්ෂණ පැවැත්වීම ට වැයවන විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ. ලෝකයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ආධාර ලබා දෙන ආයතන සහ සංවිධාන වලට තමන් ඉලක්ක කළ යුතු රටවල් සහ ප්‍රදේශ පිළිබඳව තීරණ ගැනීමේ දී මේ නව සොයා ගැනීම විශාල පිටුවහලක් වනු ඇති බවයි ගවේෂකයින්ගේ අදහස වී ඇත්තේ.
ලබන නොවැම්බර් මාසයේ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන කාලය තුළ දී මහජන විරෝධතා සහ උද්ඝෝෂණ තහනම් කිරීමට යන බවට පලව ඇති වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.
එම වාර්තා වල සත්‍යයක් නැති බව ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල අද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. සීමාවන් එහෙත් ආරක්ෂක හේතු මත එම කාලය තුළ එක්තරා සීමාවන් තිබිය හැකි බවයි ඔහු කියා සිටියේ. විදේශ නායකයන්ගේ ගමන් සලකා සමහර පාරවල් කෙටි වේලාවක් තුළ දී වසා දැමීමට සිදුවිය හැකි බවත් ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසුවේය. මාධ්‍ය වාර්තා ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක හරිගුප්තා රෝහණධීර එම කාලය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි සඳහා තහනමක් පනවන බව පැවසූ බවට ඇතැම් මාධ්‍ය විසින් ඊයේ වාර්තා කොට තිබිණ. ඔහු විසින් කරන ලද එම ප්‍රකාශය නිවැරදී කොට ඇති බව පැවසූ ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල කියා සිටියේ එවැනි තීන්දුවක් ගන්නේ නම් ඒ බව නිවේදනය කරන්නේ ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය මගින් බවයි. ඇම්නෙස්ටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් එවැනි තීරණයකට ශ්‍රී ලංකා රජය එළඹ ඇත්නම් එය බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කොට තිබිණ.
රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා හදිසියේම ප්‍රකාශයක් කළ ලෙබනනයේ අගමැති සාද් අල් හරිරි, සිය ජීවිතයට තර්ජන පවතින බැවින් පදවියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
සාද් අල් හරිරි (Saad al-Hariri) ගේ පියා වන හිටපු අගමැති රෆීක් අල් හරීරි (Rafik al-Hariri) 2005 දී ඝාතනය කෙරිණ. සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඉරානය දැඩි විවේචනයට ලක් කළ අගමැතිවරයා, රටවල් කිහිපයක "භීතිය සහ විනාශය" වපුරමින් සිටින බවට ඉරානයට චෝදනා කළේය. 2009 සිට 2011 දක්වා ලෙබනනයේ අගමැති පදවිය හෙබැවූ සාද් අල් හරිරි, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී යළිත් වරක් අගමැති පදවියට පත් කෙරිණ. ඒ අවස්ථාවේ ඔහු රටේ නායකත්වය භාරගත්තේ, දෙවසරක දේශපාලන කඹ ඇදීම්වලින් අනතුරුව ලෙබනනයට "නව යුගයක් උදාකරන" බවට ප්‍රතිඥා දෙමිනි. සවුදි අරාබියෙන් බලපෑම්? සවුදි අරාබියේ රියාද් අගනුවර සිට රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන් ඇමතූ අගමැතිවරයා කියා සිටියේ සිය පියා ඝාතනය කිරීමට පෙරාතුව පැවති තත්වයට සමාන වාතාවරණයක් වර්තමානයේ ලෙබනනයේ පවතින බවය. "මගේ ජීවිතය ඉලක්ක කරමින් රහසිගතව දියත්වෙමින් පවතින කුමන්ත්‍රණයක් ගැන මට හැඟුණා," ඔහු පැවසීය. ලෙබනනය තුළ ද ප්‍රබල බලයක් උසුලන, ඉරානයේ සහාය ලබන ෂියා භක්තික හෙස්බොල්ලා ව්‍යාපාරය ද ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. ගතව ගිය දින කිහිපය ඇතුළත ඔහු කිහිප වතාවක්ම සවුදි අරාබියේ සංචාරය කළේය. සවුදි අරාබිය ඉරානය දැඩි විවේචනයට ලක් කරන රටකි. සාද් අල් හරිරිගේ හදිසි ඉල්ලා අස්වීම පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන බීබීසී යේ අරාබි කටයුතු පිළිබඳ සංස්කාරක සෙබස්තියන් උෂර් (Sebastian Usher) පවසන්නේ, ඔහුගේ හදිසි තීරණය පිළිබඳව බොහෝ දෙනා විශ්මය පත් වූ බවය. ඒ සමගම නිරන්තරයෙන් අර්බුද පවතින ලෙබනන දේශපාලනයේ යළිත් වරක් අවිනිශ්චිත වාතාවරණයක් මතු වී තිබෙන බව පෙන්වා දෙන බීබීසී සංස්කාරකවරයා, අගමැතිවරයාගේ පවුලේ ප්‍රධානම ආධාරකරු වන සෞදි අරාබිය එම තීරණය ගන්නා මෙන් බලපෑම් කරන්නට ඇතැයි දූෂමාන ආරංචි පැතිර යමින් තිබෙන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකල් ජූලි මාසයේදී ඇයට ගබ්සාවක් සිදු වූ බව හෙළි කර ඇති අතර, එය "දරාගත නොහැකි තරම් ශෝකයක්" යැයි ලිපියක සටහන් කර තිබේ.
"මම දැනගෙන සිටියා, මම මගේ කුලුඳුල් දරුවා තදින් අල්ලාගෙන සිටින මොහොතකදීම, මගේ දෙවැන්නා මට අහිමි වන බව," මේගන් මාකල් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියක සඳහන් කර තිබිණි. "කැඩී ගිය මගේ සිත සනසන්න උත්සාහ කරන අවස්ථාවල මගේ සැමියාගේ හදවත ද බිඳ වැටුණා" යැයි ඇය සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය. "නැතිවීම සහ වේදනාවෙන් අප සෑම කෙනෙකුම 2020 දී පීඩා වින්දා" යනුවෙන් ඇය ලියා තිබිණි. ගෙවෙන වසර තුළ ලැබුණු අස්වැන්න හා අනෙකුත් ආශිර්වාද සැමරීම සහ තුති පුදකිරීම වෙනුවෙන් (Thanksgiving) එක්සත් ජනපදයේ ලබා දෙන නිවාඩු දිනයේ දී මෙසේ සිය අත්දැකීම් බෙදා ගත් 39 හැවිදිරි මේගන් මාකල් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ "ඔබ හොඳින් ද? කියා අන් අයගෙන් විමසීමට කැපවන ලෙසය." ආදිපාදවරිය මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඇයට සමීප ආරංචි මාර්ගයකින් බීබීසී වෙත තහවුරු වී ඇති අතර, ජූලි මාසයේ දී සිදු වූ අත්දැකීම් ගැන හෙළි කිරීමෙන් මෙම යුවළට අවශ්‍ය වී ඇත්තේ ගබ්සාව කෙතරම් පොදු කාරණාවක් ද යන්න වටහා දීමටය. බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් පැවසුවේ "එය ඉතා පෞද්ගලික කාරණයක් නිසා අප ඒ ගැන අදහස් පළ කරන්නේ නැහැ" යනුවෙනි. පසුගිය ජනවාරි මස ජ්‍යෙෂ්ඨ රාජකීය රාජකාරිවලින් ඉවත් වූ සසෙක්ස්හි ආදිපාදවරිය සහ හැරී කුමරු ජනමාධ්‍ය අවධානයෙන් මිදී දිවි ගෙවීම උදෙසා කැලිෆෝනියාව බලා පිටත් විය. පළමු දරුවා වන ආචී ඔවුන්ගේ පළමු දරුවා වන ආචී 2019 මැයි මස 6 වෙනි දින උපත ලැබීය. ආචීගේ වැඩකටයුතු කරමින් සිටින අතරතුර ඇයට දැනුණු "තියුණු කැක්කුමක්" ගැන විස්තර කරමින් ආදිපාදවරිය සිය ලිපිය ආරම්භ කර තිබේ. "ඔහු මගේ දෑතේ සිටියදීම මම බිම ඇද වැටුණා. අපි දෙදෙනාම සන්සුන්ව සිටීම සඳහා දරු නැළවිලි ගීයක් මුමුණමින් සිත සතුටු කරන්න උත්සහ කළත් යම් ගැටලුවක් ඇති බව මට හැඟුණා," ඇය ලියා තිබිණි. "පැය කීපයකට පසු, මම සිටියේ රෝහල් ඇඳක වැතිරී, මගේ සැමියාගේ අත අල්ලාගෙන. ඔහුගේ අත්ලෙහි දහදිය මට දැනුණු අතර, මම දෑත් සිප ගත්තා. "සීතල සුදු බිත්ති දෙස බලා සිටි මගේ දෑස් දිලිසුණා. අපි සුවපත් වන්නේ කෙසේදැයි සිතා ගැනීමට මම උත්සාහ කළා." "දරුවෙකු අහිමි වීම යනු දරාගත නොහැකි තරම් ශෝකයක් ගෙන දෙන්නක්. බොහෝ දෙනෙකුට මේ අත්දැකීම තිබුණත්, ඒ ගැන කතා කෙරෙන්නේ අඩුවෙන්," ඇය තවදුරටත් පැවසුවාය. "මේ නැතිවීමෙන් අපට ඇතිවූ වේදනාවත් සමග මගේ සැමියා සහ මම සොයාගත්තා යම් කාමරයක කාන්තාවන් සියයක් සිටිනවා නම් ඔවුන්ගෙන් 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් ගබ්සා වීමකින් පෙළෙන බව." "මේ වේදනාව පොදු දෙයක් වුණත්, එය සංවාදයට ගැනීමේ දී තහංචි වැටී තිබෙනවා. එය අනවශ්‍ය ලෙස ලැජ්ජාවෙන් පිරී ගිය දෙයක් වගේම, හුදෙකලාව වැලපීමේ චක්‍රයක් ලෙස පවතිනවා." "සමහරු නිර්භීත ලෙස ඔවුන්ගේ කතා බෙදාගෙන තිබෙනවා. එක් අයෙක් සත්‍යය කථා කරන විට, එය අප සැමටම එසේ කිරීමට බලපත්‍රයක් ලබා දෙන බව දැනගෙන ඔවුන් එම දොර විවෘත කර තිබෙනවා." පසුගිය වසරේදී ඇය දකුණු අප්‍රිකානු සංචාරයේ යෙදෙන අතර තුර සිදු කළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් ගැන ද ඇය මෙහි සඳහන් කර තිබූ අතර, එම මාධ්‍යවේදියා ඇය හොඳින් සිටින්නේ දැයි විමසා තිබිණි. "මහජනතාව ඉදිරියේ නිර්භීත මුහුණක් පෙන්වීමට උත්සාහ කරන" කාලයකදී තමාගෙන් මෙම ප්‍රශ්නය ඇසූ බව ඇය පැවසුවාය. "මම ඔහුට අවංකව පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ මා පැවසූ දේ බොහෝ දෙනෙකුට හඬක් වෙයි කියලා දැන සිටියේ නැහැ. අලුත් අම්මලා, වැඩිහිටි අය සහ තමන්ට වෙන්වූ ආකාරයෙන් ඕනෑම අයෙකු නිහඬව දුක් විඳිනවා," ඇය පැවසුවාය. ගබ්සාවක් සිදුවීම ගැන විවෘතව කතා කළ රාජකීය පවුලේ දෙවෙනි සාමාජිකයා සසෙක්හි ආදිපාදවරියයි. රැජිනගේ මිණිබිරිය වන සාරා ටින්ඩෝල් සිය දෙවෙනි දරුවා ලැබීමට පෙර ගබ්සා දෙකක් සිදුවීම ගැන 2018 දී හෙළි කළාය. මේගන් මාකල්ගේ ගබ්සාව සිදු වූයේ ඇය තම පියාට ලියූ ලිපියක් පළ කිරීම සම්බන්ධයෙන් 'මේල් ඔන් සන්ඩේ' (Mail on Sunday) පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක යෙදී සිටියදීය. පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පවතින මෙම නඩු විභාගය ලබන වසරේ සරත් සෘතුව දක්වා කල් දැමීමට පසුගිය මාසයේදී ඇයට අවසර ලැබිණි. 'අපකීර්තිය බිඳ දැමීම' 'ටොමීස්' පුණ්‍යායතනයට අනුව සෑම ගැබ් ගැනීම් හතරකින් එකක් ගබ්සා වීමකින් අවසන් වේ. ටොමීස්හි රැකියාවේ නිරත වින්නඹු මාතාව වන සොෆී කිං පැවසුවේ ගර්භණී සමයේදී දරුවන් අහිමි වීම ගැන කතා කිරීම "සමාජයේ සැබෑ ලෙසම තහංචික්" වන නිසා "මේගන් වැනි මව්වරුන් ඔවුන්ගේ කතාව බෙදාගැනීම එම අපකීර්තිය හා ලැජ්ජාව බිඳ දැමීමේ වැදගත් පියවරක්" බවය. ආදිපාදවරියගේ "අවංකභාවය සහ විවෘතභාවය දරුවෙකු අහිමි වන ඕනෑම කෙනෙකුට ප්‍රබල පණිවිඩයක් යවනවා. මෙය ඇදහිය නොහැකි තරම් තනිකමක් දැනෙන දෙයක් නමුත් ඔබ තනිවෙලා නැහැ" යැයි ඇය පැවසුවාය. මළ දරු උපත් සහ නවජ මරණ සම්බන්ධයෙන් පුණ්‍යායතනයක් වන 'සෑන්ඩ්ස්'හි ප්‍රධාන විධායක නිලධාරිනී ක්ලීයා හාමර් පැවසුවේ ගර්භණීභාවය නැති වීම හා ළදරු මරණ සම්බන්ධයෙන් පවතින අපකීර්තිය "කනගාටුදායක යථාර්ථයක්" වන අතර, එයින් "බොහෝ දෙමාපියන්ට හුදෙකලා බවක් දැනෙන" බවය. "මේ වසරේදී අප සැමට දැනී ඇති හුදකලා බවත් සමග කොවිඩ් -19 වසංගතය අතර දී මියගිය දරුවන්ගේ දෙමාපියන්ට එය වඩාත් දුෂ්කර දෙයක් වී තිබෙනවා," ඇය පැවසුවාය. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ වෛද්‍ය ක්‍රිස්ටීන් එකෙචි පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පවතින ඕනෑම අපකීර්තියක් හෝ ලැජ්ජාවක් ඉවත් කිරීම "වැදගත්" බවය. "කණගාටුවට කරුණක් නම්, මුල් අවධියේ ගබ්සා වීම් ඉතා සුලභ වීම සහ එයින් දෙමව්පියන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි ශෝකයට පත් වීමයි." 'මිස්කැරේජ් ඇසෝසියේෂන්' (Miscarriage Association) නම් පුණ්‍යායතනයේ ඇලිස් වීඩන් බීබීසී සේවයට පැවසුවේ, "යමෙකු, විශේෂයෙන්ම මහජනතාවගේ අවධානය ඇති කෙනෙකු මේ ගැන විවෘතව කතා කරන විට, අනෙක් පුද්ගලයින්ට ඔවුන් තනි වී නැති බව දැන ගැනීමට උදව් වෙනවා." යනුවෙනි. ගබ්සාවීම: දෙමාපියන්ට කල් පවතින දැඩි බලපෑමක් ඇතිවේ බීබීසී සෞඛ්‍ය වාර්තාකරු ස්මිතා මුන්දාසාඩ් ලියූ වාර්තාවකි එක්සත් රාජධානියේ පමණක් සෑම වසරකම ගබ්සාවන් 250,000 ක් පමණ සිදුවන අතර ඉන් බහුතරය සිදුවන්නේ ගර්භනී සමයේ පළමු සති 12 තුළ ය. මෙය පොදු අත්දැකීමක් වන අතර බොහෝ විට පෞද්ගලික කාරණාවක් ලෙස නිවසේදී හෝ රෝහලක් තුළ දී විසඳා ගනු ලබයි. බොහෝ දෙමාපියන් තම ශෝකය නිහඬව විඳ දරා ගන්නා අතර, සමාජය ද ඔවුන් ඉක්මණින් "සාමාන්‍ය ජීවිතයට" පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි. නමුත් පුණ්‍යායතන හා විද්‍යාඥයන් පවසන්නේ ගර්භණීභාවය අහිමි වීමේ දිගු කාලීන බලපෑම් පිළිගැනීමට තවත් බොහෝ දේ සිදු කළ යුතු බවය. පර්යේෂණයන්ට අනුව කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට පශ්චාත් කම්පන ආතතියේ රෝග ලක්ෂණ ඇති වේ. සමහරුන්ට නපුරු සිහින පෙනීම හා අතීතාවර්ජනය මාස ගණනාවක් තිස්සේ පවතින අතර සාංකාව සහ මානසික අවපීඩනයද දක්නට ලැබේ. ඔවුන්ගේ හවුල්කරුවන් ද විඳවන බව වාර්තා වන අතර, සෑම දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු සමාන ගැටලුවලට මුහුණ දෙති. එක්සත් රාජධානියේ ගර්භණී විශේෂඥයන් පවසන්නේ ශාරීරික උපකාරයත් සමඟ කාන්තාවන්ට සහ ඔවුන්ගේ හවුල්කරුවන්ට මානසික සහය ද ලබා දීම අත්‍යවශ්‍ය බවය. ගර්භනීභාවයේ මුල් හෝ පසු කාලයේ දී බොහෝ ගබ්සාවන් සිදුවීමට හේතුව නොදන්නා අතර, එය වළක්වා ගත නොහැක. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ගර්භාෂය තුළ කලලය වර්ධනය වීමේදී සිදු වන යම් වරදකි. ලේ ගැලීම සහ / හෝ පහළ උදරයේ කැක්කුමක් ඇති වීම අනතුරු ඇඟවීමේ සංඥා ලෙස හැඳින්විය හැකිය. ගර්භනී කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ කිසිවක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මේ තොරතුරු ද දැනගන්න:
2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමියෙන් මියගිය දහස් ගණනක් අතරේ කරාපිටිය රෝහලට ගෙන එන ලද මළ සිරුරු 1200කට අධික ප්‍රමාණයෙන් මළ සිරුරු තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැති බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
2004 දී සුනාමියට හසු වූ පැරෑලියේ දුම්රිය සුනාමියෙන් මියගිය අය හඳුනා ගැනීම සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් අනුගමනය කළ ක්‍රියා මාර්ග නිසා මිහිදන් කිරීමෙන් පසුව වුව ද පුද්ගලයන් සිය ගණනක් හඳුනා ගැනීමට අවස්ථාව සැලසිණ. කෙසේ නමුත්, වසර පහළොවක් ගත වී ඇතත් තවමත් හඳුනා නොගත් තුන්සියයකට ආසන්න පිරිසක් සමූහ මිනී වල තුළ තැන්පත් කර තිබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී රුවන්පුර පැවසීය. සුනාමි ව්‍යසනය සිදු වූ දින පමණක් කරාපිටිය රෝහලට ගෙන එන ලද මළ සිරුරු සංඛ්‍යාව එක් දහස් දෙසීයකට අධිකය. එදිනම රෝහලට පැමිණි ඥාතීන් විසින් හඳුනාගනු ලැබූ මළ සිරුරු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ගෙන ගොස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාට දන්වා මිහිදන් කරන ලද අතර, පසුව පැමිණි පිරිස තවත් මළ සිරුරු පන්සිය පනහක් පමණ හඳුනාගන්නා ලදි. එම මළ සිරුරු වෙනුවෙන් මරණ සහතික නිකුත් කරන ලද අතර තවත් මළ සිරුරු 450ක් හඳුනා ගැනීමට ඥාතීන් කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. සුනාමියෙන් වසර කීපයකට පසු ඒ සියලු මළ සිරුරු සමූහ මිනී වලක තැන්පත් කෙරිණ. ඒ සියල්ල තැන්පත් කරනු ලැබුවේ ඡායාරූප ගෙන ලේඛනගත කිරීමෙන් අනතුරුවය. එසේ ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් පසු පැමිණි සියයකට ආසන්න ඥාතීහු මියගිය තම පවුලේ සාමාජිකයන් හඳුනා ගත්හ. දහසකට අධික මළ සිරුරු සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු මෙහෙයවූ කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී රුවන්පුර එදින පැවරුණ අතිශය බරපතල වගකීම පිළිබඳ මෙසේ විස්තර කළේය. "සුනාමියෙන් සිදු වූ සියලු මරණ හදිසි මරණයි. ඒ නිසා ඒවාට මරණ පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒ සඳහා කරාපිටිය රෝහලට වැඩිපුර හදිසි මරණ පරික්ෂණවරුන් ගෙන්වා ගත්තා. විශාල මළ සිරුරු ප්‍රමාණයක් එකවර ගෙනා නිසා ඒවා හඳුනා ගත් අයට ඉක්මනින් නිදහස් කළා. ඒවා කපා පරීක්ෂා කිරීමට අවශ්‍ය වූයේ නැහැ. නමුත් දින ගණනකට පසුව ලැබුන ඒවා කපා පරීක්ෂා කළා." විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර "මළ සිරුරු පන්සිය පනහක් විතර නිදහස් කලාට පසු හාරසිය පනහක් ඉතිරි වුණා. එයින් හතළිහක් ළමා මළ සිරුරුයි. ඔවුන්ගේ දෙමව්පියන් දෙදෙනාමත් මිය ගිහිල්ලා. මෙතරම් මළ සිරුරු විශාල ප්‍රමාණයක් තබා ගැනීම අපට ප්‍රශ්නයක් වුණා. එතරම් මළ සිරුරු ප්‍රමාණයක් තැබීම සම්බන්ධව දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන්න සිදු වුණා," වෛද්‍යවරයා පැවසුවේය. මේ තොරතුරු ද කියවන්න: "අප ගත් ඡායාරූප හාරසිය පනහ බලල සිරුර සීයක් විතර අදාළ ඥාතීන් හඳුන ගත්තා. ඒ අයට මරණ සහතික නිකුත් කළා. කිසියම් අයෙකු මියගිය බවට ඥාතීන් විසින් මරණ සහතිකයක් ලබාගෙන සිටියදී එම තැනැත්තා අතුරුදහන් වී සිට නැවත පැමිණියහොත් එම මරණ සහතිකය අවලංගු කරනවා." "අද වන විට කරාපිටිය හැරුණ විට දකුණු පළාත් සියලුම ප්‍රධාන රෝහල්වල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් පත්කර සිටිනවා. ඉදිරියේදි ඇතිවන එවැනි අවස්ථාවන්ට මුහුණදීම සඳහා සේවා ස්ථාන වැඩි දියුණු කර තිබෙනවා. ඇඹිලිපිටිය ,මොණරාගල ආදි රෝහල්වලත් දැන් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිටිනවා." "ඒ වගේම තමයි සුනාමියෙන් පස්සෙ අපේ රටේ අලුතින් නීති ද සම්පාදනය වුණා. ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් ඇති උනා. ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් බිහි වුණා. සුනාමියට පෙර මේ ප්‍රතිපාදන තිබුනේ නැහැ. ආපදා කළමනාකරණ ඒකක මඟින් නිතර පෙරහුරු පවත්වනවා. එසේ කිරීමෙන් ඉදිරියේ දී ආපදාවකදී සිදුවිය හැකි ජීවිත හානි අවම කර ගැනීමට පුළුවනි." වෛද්‍යවරයා තවදුරටත් පැවසීය. "අවුරුදු 15ක් මම මේ තැනට එනවා" මේ අතර සුනාමි සැමරුම් වැඩසටහන බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 26) ගාල්ල හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අබියස දී පැවත්විණි. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ස්වාභාවික ව්‍යවසනය වන සුනාමියෙන් මියගිය සියලුදෙනා සිහිපත් කරමින් රාජ්‍ය නිලධාරීන් සහ ගම්වැසියන් ස්මාරකය අබියසට ගොස් පුෂ්පෝහාර දැක්වීම සිදු කෙරිණ. පෙරවරු 9.27ට ගොඩබිමට පැමිණි උදම් රළ පහරට හසු වී සිදු වුණ දුම්රිය අනතුර සිහිගන්වමින් කොළඹ සිට පැමිණි විශේෂ දුම්රිය පැරෑලියේ දී නවත්වා දුම්රියෙන් පැමිණි සියලුදෙනා බැස සුනාමි ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. පැරෑලියේ දුම්රිය අනතුරෙන් 1250කට අධික පිරිසක් මිය ගියහ. තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර මෙය ලෙස සැලකේ. "මගේ පොඩි දුව මෙතන දී මැරුණා. මේ අවුරුදු පහළොවම මම මෙතනට එනවා. ඒ සිද්ධිය සහ දුව මට මේ අවුරුදු පහළොවේ හැම දවසකම මතක් වෙනවා" යැයි පැරෑලියේ පදිංචි පියසීලී බීබීසී සිංහල සේවයට පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි, සුනාමි ඛේදවාචකයෙන් ශ්‍රී ලංකාවේ 30,959ක් මියගිය අතර, පුද්ගලයන් 5644 ක් අතුරුදහන් වූහ. අවතැන්වූ ජනගහනය 516,150 කි. දරුවන් 1071 කට සිය දෙමව්පියන් (මව හා පියා දෙදෙනාම) අහිමි විය. සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවය. එරට පුද්ගලයන් 167,540ක් මෙම ඛේදවාචකයෙන් මියගියහ. ඉන්දුනීසියානු මුහුදු පත්ලේ සිදු වූ දරුණු භූ කම්පනය සමඟ ආරම්භ වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් රටවල් දාහතරක සමස්ත ජන සංඛ්‍යාව 225,000කට අධික බව ඇස්තමේන්තු කර තිබේ. තවත් තොරතුරු:
ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර විවේචනය කරමින් ලිපි පළ කළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් ඇය විසින්ම නියෝග නිකුත්කරනු ලැබීම පිළිබඳව විමර්ශනයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා මෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය කොමිසමේ ලේකම් ජීඑම්ඩබ්පී ජයතිලක වෙත දීර්ඝ ලිපියක් යොමු කරන එම සංගමය, රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පිළිබඳව කරුණු සොයා බලන මෙන් රහස් පොලිසියට නියෝග කිරීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ සැකකරුගේ ඡායාරූපය පළකරනු ලැබුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පමණක් නොවන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම ඡායාරූපය පළකළ පුවත්පතකට එරෙහිව මහේස්ත්‍රාත්වරිය වෙනස් ක්‍රියාපිළිවෙතක් අනුගමනයකර ඇති ආකාරය පැහැදිලි කරයි. මාධ්‍ය මර්දනය මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අය වැය විවාදයේදී වෙබ් මාධ්‍ය පිළිබඳව කළ සඳහන මාධ්‍ය මර්දනය පිණිස පසුබිම සකස් කිරීමේ උත්සාහයක් බව පවසන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, එවන් පසුබිමක් තුළ ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම බරපතල තත්වයක් බව සඳහන් කරයි. වෙබ් මාධ්‍යවේදීන් කෙරෙහි වෙනස් ආකල්පයක් අස්නුගමනය කරන බවට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට චෝදනා කරයි විශේෂයෙන්ම ලංකා ඊ නිව්ස් යනු රාජපක්ෂ පාලනය පෙරලා දමා යහපාලන ආණ්ඩුව පත්කරගැනීම පිණිස ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ වෙබ් අඩවියක් බව සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ බීබීසී සංදේශයට පැවසීය. රාජපක්ෂ පාලනය යටතේ වාරණයට ලක් කර තිබුණු වෙබ් අඩවිවල වාරණය ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කිරීම යහපත් ප්‍රවණතාවක් වන නමුත්, ඉන් අනතුරුව වත්මන් ආණ්ඩුව වෙබ් මාධ්‍යවේදීන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇතැයිද ඔහු පැවසීය. සිය සංගමය දිගින් දිගටම ඉල්ලීම් කළත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් මෙතෙක් කැඳවන ලද මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම්වලට කිසිදු වෙබ් මාධ්‍යවේදියකු කැඳවා නොමැති බව ද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු වෙබ් අඩවි පිළිගත් ආචාරධර්මවලට අනුකූලව කටයුතු කළ යුතු බව සිය සංගමයේ ප්‍රතිපත්තිය බව ද ෆ්‍රෙඩී ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.
ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමාජය දක්වන ආකල්ප වෙනස් විය යුතු අතරම ආබාධිත පුද්ගලයන් තුළත් දැනට වඩා සාධනීය වෙනසක් සිදු විය යුතු බව පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක් පවසයි.
එන්න අපිත් එක්ක එකතුවෙන්න. අපිට එකතුවෙලා ලොකු ජයග්‍රහණ ලබාගන්න පුළුවන් - පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකා නාලිනී රණසිංහ බීබීසී සිංහල සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජය ගනුවස් තමන් සමග එක් වන ලෙස ආබාධිත ක්‍රීඩිකාවන්ට ආරාධනයක් ද කරමිනි. විශේෂයෙන් පිහිනුම්, බර ඉසිලීම සහ දුනු විදීම යන ඉසව් සඳහා ආබාධිත ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමේ අඩුවක් දක්නට ඇති බවත් ඇය සඳහන් කළාය. "තරග සඳහා සහභාගි වන ලෙස අප විසින් කරන ලද ඉල්ලීමට පුරුෂ පක්ෂයෙන් වැඩි ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. තරගවලට කාන්තාවන් වැඩි වශයෙන් සහභාගි කර ගැනීම සඳහා ඔවුන් දිරිගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා." ඇය පැවසුවාය. මේ අතර ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් සමාජය තුළ අවතක්සේරුවක් පවතින බවත් ඇය කියා සිටියාය. "පසුගිය පැරා ඔලිම්පික්‌ ශූරතා දෙකේදීම ආබාධිත ක්‍රීඩකයන් පදක්කම් දිනාගත්තා. නමුත් සමාජය තුළ ඔවුන්ට නිසි පිළිගැනීමක් තිබුණ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයන් පදක්කම් දිනුවාට පසුව ලැබෙන පිළිගැනීම ඔවුන්ට ලැබුණේ නැහැ. සමාජය තුළ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ අවතක්සේරුවක් තිබෙන්නේ. මේ ආකල්පය වෙනස් විය යුතුයි." ඇය පැවසුවාය. මේ අතර ආබාධිත පුද්ගලයන් ද සමාජ ගතවීමට දක්වන අකමැත්ත ඔවුන්ගේ අනාගත අභිවෘද්ධියට බාධාවක් වී ඇති බවත් ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකා නාලිනී රණසිංහ පෙන්වා දෙයි. 2018 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතාවලිය ඉලක්ක කර ගනිමින් ආබාධිත තරුණ තරුණියන්ට වඩාත් හොඳ පුහුණුවක් ලබා දීමට සිය ආයතනය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
අනවසර සංක්‍රමණිකයන් තම රටට පැමිණීම වැළැක්වීමට රජය ගෙන යන වැඩ පිළිවෙල සාර්ථක වී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පැවසීය.
කොපමණ බෝට්ටු සංඛ්‍යාවක් ආපසු හරවා යැව්වේද යන්න පිළිබඳව කිසිවක් කියා නැහැ සරණාගතයන් රැගත් අවසන් බෝට්ටුව ඕස්ට්‍රේලියා වෙරළට පැමිණ දින සියයක් ගතවී ඇති බව පවසන අගමැති ටෝනි ඇබට්, මේ මගින් පෙනී යන්නේ නීත්‍යනුකුල නොවන සංක්‍රමණිකයන් මැඩලීම පිණිස තම රජය ක්‍රියාවට නැංවූ දැඩි නීති රීති වල සාර්ථක භාවය යැයි ද අවධාරණය කළේය. හමුදාවෙන් අතවර කෙසේ වුවද මෙම දින සියයේ කාලය තුල කොපමණ බෝට්ටු සංඛ්‍යාවක් ආපසු හරවා යැව්වේද යන්න පිළිබඳව තොරතුරු හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කළ බවයි පැවසෙන්නේ. ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සරණාගතයන් රැගත් බෝට්ටු කිහිපයක් ඉන්දුනීසියානු මුහුදු සීමාව වෙත ආපසු ඇදගෙන ගොස් ඇති බවයි. දැනටමත් ඕස්ට්‍රේලියාවට ඇතුලුවී වී සිටින සරණාගතයන්ට එරට නාවික හමුදා සාමාජිකයන් අතින් අකටයුතුකම් සිදුවන බවට නැගී ඇති චෝදනා ඕස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර, රැඳවියකු ගේ මරණයක් සම්බන්ධයෙන් පැපුවා නිව්ගිනියාවේ පොලීසිය ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව කිසිවක් පැවසීම ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු පිලිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රතික්ෂේප කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනයෙන් විමධ්‍යගත කොට තිබෙන බලතල අඩු කිරීමට දැරෙන ප්‍රයත්නයට දෙමළ ජනතාවගේ දැඩි විරෝධය පළ වෙමින් තිබෙන බව එල්ටීටීඊ යේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පළාත් සභාවට තරඟ වදින මෙන් තමන්ට ආරාධනා කළේ ආණ්ඩුවේ බලධාරීන් බව දයා මාස්ටර් පවසයි පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උතුරු පළාත් සභාව සඳහා තරඟ වැදීම පිණිස සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේ තමන් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම් දුන් බවයි, වේලායුදම් දයානිධි හෙවත් දයා මාස්ටර් පවසන්නේ. ඔහු ඒ බව ප්‍රකාශ කළේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. 'සිංහල අන්තවාදී පක්ෂ' පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාරය පිලිබඳ ඔහුගේ මතය කවරක්ද යන්න දයා මාස්ටර්ට යොමු කෙරුණු තවත් ප්‍රශ්නයක්. දෙමළ ජනතාවට විරුද්ධව ගෙනයමින් තිබෙන "දැඩි ජාතිවාදී ව්‍යාපාරය" එම පක්ෂ වහාම නතර කළ යුතු බවයි, ඔහු කියා සිටියේ. ඒ වෙනුවට දෙමළ ජනතාව සමඟ එකමුතුව ක්‍රියා කිරීමට "සිංහල අන්තවාදී පක්ෂ" උත්සාහ කළ යුතු බවද කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය. උතුරු පළාත් සභාව සඳහා තරඟ වැදීම පිණිස අයදුම්පත් කැඳවමින් ආණ්ඩුව පුවත්පත්වල දැන්වීම් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබූ අතර, අපේක්ෂකත්වය බලාපොරොත්තු වන විසි දෙනකු සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වී සිටි බව දයා මාස්ටර් කියා සිටියේය. සම්මුඛ සාකච්ඡාව සඳහා තමන්ට ආරාධනා කළේ ආණ්ඩුවේ බලධාරීන් බවයි ඔහු පවසන්නේ. එහිදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට ලබා දිය යුතු විසඳුම් පිලිබඳ සිය ස්ථාවරය හෙළි කළ බවත්, විශේෂයෙන්ම යුද්ධයෙන් අවතැන් වූ සියලු දෙනා වහාම යලි පදිංචි කිරීමේ අවශ්‍යතාවයත්, ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් ලබාදීමේ අවශ්‍යතාවයත් තමා අවධාරණය කළ බව ද දයා මාස්ටර් සඳහන් කළේය.
එක්සත් රාජධානියේ දුගී ප්‍රදේශවල ජීවත් වන, මන්දපෝෂණය නිසා සම අඳුරු පැහැයට හැරුණ සිසුන් පාසල් ආපනශාලාවෙන් ලබා දෙන ආහාරවලින් "සිය සාක්කු පුරවා ගන්නා" බව ඔවුන් අධ්‍යාපනය හදාරන පාසල්වල විදුහල්පතිවරු පවසති.
දුගී පවුල්වලට අයත් සමහර සිසුන් ඉතා සිහින් සිරුරක් සහ දුර්වල දත් දෙපළකට හිමිකම් කියන අතර ඔවුන්ගේ සම සුදුමැලි වී ඇති බව ද එංගලන්තය සහ වේල්සයේ ඇතැම් ප්‍රදේශවල ප්‍රාථමික පාසල් ප්‍රධානීහු පවසති. "මගේ පාසලේ ළමුන්ට තිබෙන්නේ අඳුරු පැහැති සමක්, දුර්වල දත් දෙපළක්, ඒ හැමෝම ඉතා කෙට්ටුයි," යනුවෙන් සම්පූර්ණ නම හෙළි නොකළ ලින් නම් විදුහල්පතිනියක් කියා සිටියාය. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරන බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසන්නේ දුගී බව තුරන් කිරීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. ප්‍රාථමික පාසල්වල විදුහල්පතිවරුන් ඒ අදහස් පළ කළේ බ්‍රයිටන් නුවර පැවති ජාතික අධ්‍යාපන වෘත්තීය සමිති සමුළුවේදීය. එංගලන්තය සහ වේල්සයේ දුගී බවින් පීඩා විඳින ළමුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමත්, එය ඔවුන්ගේ අධ්‍යාපනයට ඍජුව බලපාන ආකාරයත් සමුළුවේ අවධානයට ලක්විය. 'කුණු තැවරුණු ඇඳුම්' සති අන්තයෙන් පසුව පාසලට පැමිණෙන දරුවන් කුසගින්නෙන් පෙළෙන බව බොහෝ විට දකින්නට ලැබෙන බව සිය නම හෙළිකිරීමට අකැමැත්ත පළ කළ විදුහල්පතිනියක කියා සිටියාය. "දරුවන් ඔවුන්ගේ සාක්කු කෑමවලින් පුරවා ගන්නවා. සමහර ආයතන මේක දකින්නේ සොරකමක් විදියට. නමුත් අපි මේකට කියන්නේ ජීවත්වෙන්න කරන දෙයක් කියලා," ඇය පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: "ක්‍රීඩා උත්සවයක් වගේ දෙයකට සහභාගි වෙන්න අපි දරුවන් එළියට අරගෙන ගියාම, පොහොසත් පළාත්වලින් ඇවිත් ඉන්න සම වයසේ දරුවෝ අපි දකිනවා" යැයි නොටින්ග්හැම්ෂයර්හි පාසලක විදුහල්පතිනියක වන ලුයිස් රේගන් පැවසුවාය. "ඒ වගේ වෙලාවට සුදුමැලි පැහැයටත් වඩා, සමේ අඳුරු ගතිය තමයි වැඩියෙන් කැපී පෙනෙන්නේ," යැයි ලුයිස් පැවසුවාය. "සඳුදා උදෑසන තමයි ඉතා නරකම. අපි හඳුනාගත් පවුල් කීපයක් තිබෙනවා බොහෝ වෙලාවට ඒ පවුල්වල ළමුන් පාසලට එන්නේ කුසගින්නේ. යන්තම් උදෑසන 9.30 වෙන කොට ඒ අය ඉතා වෙහෙසට පත් වෙලා." සමහර සිසුන්ට පාසලෙන් පිරිසිදු නිල ඇඳුම් ලබා දීමට කටයුතු කළ නමුත් ඔවුන් සති අන්තයෙන් පසු පාසලට යළිත් පැමිණෙන්නේ කුණු තැවරුණ නිල ඇඳුම්වලින් සැරසී බවත් ලුයිස් පැවසුවාය. නොමිලේ ආහාර පාර්සල්, ඇඳුම්, සපත්තු සහ ශීත කබාය ලබා දෙන 'ආහාර බැංකුවක්' ද එම පාසලේ තිබේ. දුප්පත්කම සහ නොසැලකිල්ල "අපිට රෙදි සෝදන යන්ත්‍ර තිබෙනවා. ළමුන් ශාරීරික අභ්‍යාසවල නිරත වෙලා ඉන්න අතරතුර අපි ඔවුන්ගේ රෙදි සෝදනවා," යැයි ලින් පැවසුවාය. "අපි එහෙම කරන්නේ කිලුටු ඇඳුම් නිසා මේ ළමයි අපහසුතාවට පත් වීම වලක්වන්න." සරත් සෘතුවේ ලැබෙන පාසල් නිවාඩු සමයේ දී මුදල් නොගෙන, ස්වේච්ඡා ගුරුවරු යටතේ සති තුනක් පාසල පවත්වනු ලබන බව ඇය තවදුරටත් පැවසුවාය. තවත් තොරතුරු: පෝට්ස්මත් ප්‍රදේශයේ පාසලක ප්‍රධානී හවර්ඩ් පේන් පැවසුවේ ළමුන් රැකබලා ගැනීම සම්බන්ධ ගැටළු සමග පාසලට පැමිණෙන දරුවන්ගේ සිව් ගුණයක වැඩි වීමක් දක්නට ඇති බවයි. "දුගී බව තමයි මෙවැනි ප්‍රශ්න ඇති වීමට හේතුව. මේක නොසලකා හැරීම. ඒකට හේතුව ඔවුන්ගේ පවුල්වලට කෑම, උණු වතුර සහ නිදා ගැනීමේ පහසුකම් ලබා දෙන්න මුදල් නැති වීම," ඔහු පැවසුවේය. උණුසුම් ආහාර "සති තුනකට පෙර, අධික හිම පතනය නිසා අපේ ප්‍රදේශයේ බොහෝ පාසල් වසා දැමීමට සිදු වුණා. නමුත් එදාට අපේ ළමුන්ට උණුසුම් ආහාර නැති වී බඩගින්නේ ඉන්න වෙන නිසා මම අපේ පාසල විවෘත කර තැබුවා," හවර්ඩ් පේන් පැවසුවේය. එදින ළමුන්ගෙන් 45% ක් පමණ පාසල් පැමිණ තිබේ. සමාජයීය සහ මානසික සහනය ලබා දෙන සේවාවන් අඩපණ වීම මෙම තත්වය දරුණු අතට හැරීමට තවත් හේතුවක් බව පාසල් ප්‍රධානීහු පවසති. මෙම පාසල් ප්‍රධානීන්ගෙන් බොහෝ පිරිසක් පවසන්නේ, කුසගින්නේ සිටින දරුවන්ගෙන් බොහොමයක් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පෙළෙන බවය. "සමහර ළමුන්ගේ දෙමව්පියන් රැකියා දෙකක හෝ තුනක නිරත වෙලා ඉන්නවා. හැබැයි ඒ අයට ආණ්ඩුවෙන් දෙන සහන ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ අයට පවුම් කීපයක් විතරයි වැඩිපුර තිබෙන්නේ. ආණ්ඩුවෙන් ලබා දෙන සහනවලින් ජීවත් වන පුද්ගලයන්ට වඩා අඩු මුදල් ප්‍රමාණයක් තමයි මේ අයට තිබෙන්නේ" යැයි ලින් පැවසුවේය. සමහර සිසුන් දහවල් ආහාරය සදහා පාසලට රැගෙන එන්නේ මාගරින් තැවරූ පාන් පෙත්තක් පමණය. එබැවින් බොහෝ විට ගුරුවරු ඔවුනට අමතර ආහාර ලබා දීමට කටයුතු කරන බව කාඩිෆ් නගරයේ පාසලක ප්‍රධානී ජේන් ජෙන්කින්ස් පැවසුවාය.
බංග්ලාදේශයේ මහ මැතිවරණය ලබන වසරේ ජනවාරි පස් වැනි දින පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කරයි.
ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මැතිවරණ කොමසාරිස් කාෂි රකිබුදින් අහ්මඩ් කියා සිටියේ, සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකි උපරිම උත්සාහය දරන බවයි. අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස් වී භාරකාර ආණ්ඩුවකට බලය පවරන්නේ නැත්නම්,මැතිවරණය වර්ජනය කරන බවයි,ප්‍රධාන විපක්ෂය මේ අතර කියා සිටින්නේ. එහෙත් එම ඉල්ලීම අගමැතිනි ෂේක් හසීනා විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. විපක්ෂයට ආරාධනා බංග්ලාදේශ් මැතිවරණ කොමිසමේ ලාංඡනය බහු පාක්‍ෂික සභාගයක් පිහිටුවීමට පසුගිය සතියේ පියවර ගත් අගමැතිනි හසීනා එම පාලනයේ ඕනෑම පදවියක් භාර ගන්නා මෙන් බංග්ලාදේශ් ජාතික පක්ෂයේ නායිකා ඛලීඩා ෂියාට ආරාධනා කළත් ඇය විසින් එම ඇරයුම ප්‍රතික්ෂේප කරනු ලැබුණි. බංග්ලාදේශයේ බලවත් කතුන් දෙදෙනා අතර අවුරුදු ගණනාවක් තිස්සේ පවතින්නේ දේශපාලන විරසක භාවයකි. බංග්ලාදේශ් ජාතික පක්ෂය පවසන්නේ, භාරකාර පාලනයකින් තොර ව පාලක අවාමි සංගමය යටතේ මහ මැතිවරණය පැවැත්වුව හොත් ඡන්ද දූෂණ ඇතිවිය හැකි බවයි.
ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් දුරකතනයෙන් අමතා සිය පක්ෂය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශුභාශිංසන පිරිනැමූ බව ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලබා සිටින රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"මට දැන් රාජ්‍ය ලේකම් ක්ලින්ටන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇය අපට සුබ පැතුවා. ඉතාමත් දුෂ්කර මැතිවරණ සටනක යෙදුණු ඇයට සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත මම සුබ පැතුවා. ඇය ඉතාමත් තදින් සටන් කළා." යැයි ඔහු සිය ආධාරකරුවන් අමතමින් පැවසීය. "හිලරි ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ කැප වී වැඩ කළ අයෙක්. අපේ රට වෙනුවෙන් ඇය කළ සේවය වෙනුවෙන් අප ඇයට කෘතඥ විය යුතුයි. මම ඉතාමත් විශ්වාසයෙන් ඒ බව කියා සිටිනවා. සියලු බෙදීම් පසෙකලා ඇමරිකානුවන් සියලු දෙනාම ඒකට එක්විය යුතු කාලය එළඹිලා තිබෙනවා." හිලරි ක්ලින්ටන් දීර්ඝ කාලයක් කැපවී වැඩ කළ අයෙකු බව කී ට්‍රම්ප් රට වෙනුවෙන් කළ සේවයට ඇයට කෘතඥ විය යුතු බව සඳහන් කළ අතර සියලු දෙනා එක්විය යුතු කාලය එළැඹ ඇති බව ද පෙන්වා දුන්නේ, "රට පුරා විසිරී සිටින රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් සහ ස්වාධීන පක්ෂවලට අයත් සියලු දෙනා එක් ජාතියක් වශයෙන් එකමුතු වීමට කාලය පැමිණ ඇති බව මම කියා සිටිනවා. ඇමරිකානුවන් සියලු දෙනාගේම ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන බවට මම ප්‍රතිඥා දෙනවා. එට මට ඉතාමත් වැදගත්." යැයි පවසමිනි. ගෙවීගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳ සිහිකැඳවූ ට්‍රම්ප් "අතීතයේ මට සහාය නොදුන් පිරිස් වෙත මම ළඟා වෙනවා. මට ඔබේ මග පෙන්වීම සහ සහාය අවශ්‍යයි. අපේ රට එක්සත් කරන්න අපට එකට වැඩ කළ හැකියි. මම මීට පෙර සඳහන් කළ ආකාරයට අපේ ඡන්ද සටන මැතිවරණ ව්‍යාපාරයක්ම පමණක් නොවෙයි, මේක රටට ආදරය කරන පැහැබර අනාගතයක් බලාපොරොත්තු වන දස ලක්ෂ ගණනක් මහන්සි වී වැඩ කරන ජනතාවගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයක්. " යනුවෙන් ද කියා සිටියේය. ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් පැවසුවේ, "මේ ව්‍යාපාරය තුළ සිටින සියලු ජාතීන්, ආගම් සහ විවිධ ඇදහිලි සහ විශ්වාසයන්ට අයත් ඇමරිකානුවන් ජනතාවට සේවය කිරීම අපේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. අපි එය ඉෂ්ට කරනවා. එකට එක් වී වැඩ කිරීමෙන් අපි ජාතිය ගොඩ නැගීමේ හදිසි කාර්යය ආරම්භ කරනවා. අපි ඇමරිකානු සිහිනය නැවත ගොඩනගනවා,"යනුවෙනි.
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙතින් නික්මුණු ගගනගාමීන් සිව්දෙනෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන මෙහෙයුමක යෙදෙති. ඔවුන්ගෙන් තිදෙනෙකු එක්සත් ජනපදයෙන් වන අනෙක් ගගනගාමියා ජපාන ජාතිකයෙකි.
කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ රොකට්ටුව ස්පේස්එක්ස් සමාගම සපයන ලද රොකට්ටුවක් සහ කැප්සියුලයකින් අදාළ කණ්ඩායම කක්ෂගත විණි. එම සමාගම විසින් සේවා සපයන ලද දෙවෙනි අවස්ථාව මෙය වේ. එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන 'නාසා' පවසා ඇත්තේ වාණිජ සැපයුම්කරුවන්ගේ සහයෙන් ගගනගාමීන් පහළ පෘථිවි කක්ෂය කරා නිතර ගමන් කරන නව යුගයකට දැන් පිවිසෙමින් සිටින බවය. නික්මයාමට පෙර සම්ප්‍රදායක් ලෙස ගගනගාමී ඇඳුමෙන් පිටතට පැමිණ සිය නෑදෑ හිතමිතුරන්ට අත වන්න ගගනගාමීන් හතර දෙනා.. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිවිසෙන පුද්ගලයින් සිව් දෙනා වන්නේ ඇමරිකානුවන් වන මයිකල් හොප්කින්ස්, වික්ටර් ග්ලෝවර් සහ ෂැනන් වෝකර් සහ Jaxa (ජැක්සා) නම් ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ අත්දැකීම් බහුල ගගනගාමී සොයිචි නොගුචි ය. මෙම මෙහෙයුමට සහභාගී වීමෙන්, සොයිචි නොගුචි විවිධ වර්ගයේ අභ්‍යවකාශ වාහන තුනකින් පෘථිවියෙන් පිටතට ගිය තුන්වන පුද්ගලයා බවට ඉතිහාසගත වේ. මින් පෙර ඔහු සෝයුස් නම් අභ්‍යවකාශ යානයේ මෙන්ම ෂටලයෙන් ද පියාසර කර තිබේ. කාර්ය මණ්ඩලය රැගත් ෆැල්කන් රොකට්ටුව සහ ඩ්‍රැගන් කැප්සියුලය එක්සත් ජනපද වේලාවෙන් රාත්‍රී 7:27 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද දින (නොවැම්බර් 16) පිටත් විය. Jaxa (ජැක්සා) නම් ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ අත්දැකීම් බහුල ගගනගාමී සොයිචි නොගුචි දිනකට මදක් වැඩි කාලයක් ගෙවා ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වෙනු ඇත. අඟහරුවාදා දින (නොවැම්බර් 17) ග්‍රීනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 0400 ට කක්ෂගත වේදිකාවට හා සම්බන්ධවීමට සියල්ල සූදානම් කර තිබේ. කණ්ඩායම එහි පැමිණි පසු නාසා හි කේට් රූබින්ස් සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ (රොස්කොස්මොස්) අභ්‍යවකාශගාමීන් වන සර්ගෙයි රිෂිකොෆ් සහ සර්ගෙයි කුඩ්-ස්වර්ච්කොෆ් සමඟ එක්වනු ඇත. ගගනගාමීන් හතර දෙනා රොකට් පර්යන්තයට රැගෙන යන ටෙස්ලා ඉලෙක්ට්‍රික් රථ පෙළ ගගනගාමී කුලී රථ සේවාවක් නිර්මාණය කිරීම, පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම සඳහා නාසා ආයතනය සමග ඩොලර් බිලියන තුනකට වැඩි ගිවිසුම් අත්සන් කිරීමට ස්පේස්එක්ස් ක්‍රියා කර තිබේ. මෙම සම්බන්ධතාවයේ කොටසක් ලෙස ස්පේස්එක්ස් සමාගම මැයි මාසයේදී ප්‍රදර්ශන මෙහෙයුමක් දියත් කළ අතර, එහිදී ගගනගාමීන් වන ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණියහ. ගිවිසුම්ගත විධිවිධාන අනුව "මෙහෙයුම්" හෝ නිරන්තර මෙහෙයුම් හයක් ක්‍රියාත්මක කළ යුතු අතර, මෙය ඉන් පළමු අභ්‍යවකාශ ගමන වේ. නාසා ආයතනය බෝයිං අභ්‍යවකාශ සමාගම සමඟ ද මීට සමාන ගනුදෙනුවකට එළැඹ ඇතත් එහි සේවය ලබා ගත හැකි වන්නේ ස්පේස්එක්ස් සමාගමට වඩා වසරකට වැඩි කාලයකින් පසුවය. පහළ පෘථිවි කක්ෂයට ප්‍රවාහනය කිරීමේ නව ක්‍රමවේදය නිසා ප්‍රතිසම්පාදන පිරිවැය ඩොලර් බිලියන ගණනක් ඉතිරි කර ගත හැකි බව නාසා ආයතනය පවසයි. එසේ ඉතිරි වන අරමුදල් සඳ සහ අඟහරු මත මෙහෙයුම් සඳහා යෙදවීමට ඔවුහු අදහස් කරති. ගගනගාමීන් නැවතත් චන්ද්‍ර පෘෂ්ඨයට ගෙනයාම සඳහා තනා ඇති යෝධ නව රොකට්ටුව අත්හදා බැලීමට ආසන්නව තිබෙන අතර, එම ඉලක්කය 2024 දී හෝ ඉන් වැඩි කල් යන්නට මත්තෙන් නාසා ආයතනය විසින් සපුරා ගනු ඇත. රොකට්ටුව පිටත් වන මොහොත හොප්කින්ස්, ග්ලෝවර්, වෝකර් සහ නොගුචි සය මසක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි රැඳී සිටිනු ඇත. ඔවුන් නැවත පෘථිවියට පැමිණීමට මොහොතකට පෙර, තවත් ස්පේස් එක්ස් යානයකින් පැමිණෙන කණ්ඩායමකට ඔවුන්ගේ කාර්යය භාරදීමේ කෙටි හමුවකට එක්වනු ඇත. නාසා ඔවුන්ගේ අභ්‍යවකාශ ෂටල 2011 දී විශ්‍රාම ගැන්වීය. ඉන් පසු වසරවල ඔවුහු සිය ගගනගාමීන් උඩුගුවනට ගෙන යාම සඳහා රුසියානු සෝයුස් යානාවල ආසන මිලදී ගත්තේය. එම විකල්පය දැන් අවසානය කරා පැමිණෙනු ඇත්තේ ඇමරිකාවෙන් සපයා ගන්නා කුලී අභ්‍යවකාශ යානාවලට වාසිදායක බවක් එක්කරමිනි. කෙසේනමුත් එක්සත් ජනපද ගගනගාමීන් වරින් වර රුසියානු සෝයුස් අභ්‍යවකාශ යානාවල ගමන් කරන අතර, එහිදී මුදල් ගනුදෙනුවක් සිදුවන්නේ නැත. ඒ වෙනුවට, රුසියානු අභ්‍යවකාශගාමීන්ට ඇමරිකානු කැප්සියුලවල අභ්‍යවකාශ ගමන් සඳහා ඉඩ ලැබෙනු ඇත. නව කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගත කරන කාලය තුළ අවම වශයෙන් හතර වතාවක් හෝ අභ්‍යවකාශයේ ගමන් කිරීමට නියමිතය. එවන් එක් පියවරක දී, ඔවුන් වේදිකාවෙහි, එක්සත් රාජධානියෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට එක් කරන පළමු උපකරණය සවි කිරීමට කටයුතු කරනු ඇත. එය 'කොල්කා' සන්නිවේදන පර්යන්තය ලෙස හැඳින්වෙන අතර, එක්සත් රාජධානියේ MDA ආයතනය විසින් මෙය නිර්මාණය කරනු ලැබ ඇත. මෙම ගුවන්විදුලි උපකරණ මගින් ගගනගාමීන්ට බ්‍රෝඩ්බෑන්ඩ් වේගයෙන් පෘථිවියේ සිටින විද්‍යාඥයන් සහ පවුලේ අය සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ. මෙම ගුවන්විදුලි උපකරණ මගින් ගගනගාමීන්ට බ්‍රෝඩ්බෑන්ඩ් වේගයෙන් පෘථිවියේ විද්‍යාඥයන් සහ පවුලේ අය සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ කොල්කා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති යුරෝපයේ පර්යේෂණ මොඩියුලය වන කොලොම්බස්හි බාහිරින් සවි කෙරෙනු ඇත. මේ තොරතුරුද කියවන්න:
හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ ගිවිසුම අවලංගු කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා ඉවත්කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළකරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ඉදිරිපත්කර තිබෙන පෙත්සම ඉකුත් 13 වෙනි දින කැඳවූ අවස්ථාවේදී වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන යෝජිත ගිවිසුමට එළඹීමේදී වරාය අධිකාරිය නොසළකා කටයුතු කර ඇතැයි චෝදනා කළේය. එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී මින් ඉදිරියට වරාය අධිකාරිය වෙනුවෙන් ද තමන් පෙනී සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. නීතිපතිවරයාගේ පෙනී සිටීමට විරෝධය පළකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා, ප්‍රශ්නගත ගිවිසුමෙන් වරාය අධිකාරියට සිදුවන අගතිය ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන මනාව පෙන්වා දීම හේතුවෙන් ඔහු මෙම නඩුවෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවට චෝදනා කළේය. එම චෝදනාව ප්‍රතික්ෂේප කළ රජයේ නීතිවේදියා, නීතිපතිවරයාගේ අවසරයකින් තොරව රාජ්‍ය ආයතන සඳහා පුද්ගලික නීතිවේදීන් යෙදවීමට ඉඩක් නොමැති බව පැවසීය. හම්බන්තොට ඉඩම් පවරාගැනීමට විරෝධය තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිවේදියා, පෙත්සම්කරු චෝදනා කරන ගිවිසුම පසුගිය 2016 වසරේ හදිසියේ ඇතිවූවක් නොවන බවත් හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ වැඩසටහන ආරම්භ වන්නේ 2012 වසරේ සිට බවත් සඳහන් කළේය. මුලින්ම එම අවබෝධතා ගිවිසුම පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය බව එහිදී අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ නුව එම ගිවිසුමේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව වැඩිදුර සළකා බැලීම ලබන 13 වෙනි දින දක්වා කල් තැබීය. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හම්බන්තොට වරාය සහ එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජකයිනට පැවරීමට රජය ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සන්ධාන ආණ්ඩුව වෙත දොළොස් වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, සිය යෝජනා ක්‍රියාත්මක කිරීම මත තමන් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම තීරණය කරන බව සඳහන් කරයි.
'ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරිත්වය වහාම නතර කළ යුතුයි' බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පාර්ශවයක් සමඟ සාකච්ඡා නොකළ යුතු බව සහ ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට දකුණු අප්‍රිකාව හෝ වෙනත් රටකට අවස්තාව සලසා නොදිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ එක් කොන්දේසියක්. විශේෂයෙන්ම දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සමඟ ආණ්ඩුව සාකච්ඡා නොකළ යුතු බවයි, කොළඹදී පැවැත්වුන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනයේදී සම්මත වූ යෝජනාවලියේ දැක්වෙන්නේ. 'මූලධර්මවාදී සංවිධාන' චීනය සමඟ කඩිනමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබිය යුතු බව තවත් යෝජනාවක්. චීනය සමඟ කඩිනමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමට 'අත්සන් තැබිය යුතුයි' "ආගමික සහජීවනය හා ජනකොටස් අතර සමගියට එරෙහිව කටයුතු කරන විදෙස් ආධාර ලබන ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරිත්වය" වහාම නතර කළ යුතු බවටද ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට යෝජනා කරයි. බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව පදනම් කර ගෙන ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු බවත්, බෙදුම්වාදී මතවාද පතුරවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු සියල්ලන්ට එරෙහිව පියවර ගත යුතු බවත් යෝජනා මාලාවට ඇතුළත්. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ්‍රිත අපරාධ මණ්ඩලීය යුතු බවද ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
තොරතුරු දැනගැනීමේ කොමිසම වෙනුවෙන් මේ වසරේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බව පිළිගන්නා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෙසේ නමුත් කොමිසමේ වැඩකටයුතුවලට එයින් කිසිදු බාධාවක් එල්ල වී නැති බව අවධාරණය කරයි.
ජනාධිඅප්තිවරයා විසින් පත්කරනු ලබන කොමිසම් සභා වෙනුවෙන් පහසුකම් සැපයීමේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් පවතින බැවින් තොරතුරු දැනගැනීමේ කොමිසමට මුදල් ලබාගැනීමේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන බීබීසී සංදේශයට පැවසීය. "කොමිසමේ වර්තමාන කටයුතුවලට කිසිම බාධාවක් නැහැ. තොරතුරු නිලධාරීන් දැනට ඉන්න අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල නිලධාරීන්මයි පත්කරන්නේ. ඒ අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල සමපත් පාවිච්චි කරලම මේ ආරම්භය ගන්න පුළුවන්," ඔහු පැවසීය. තොරතුරු දැනගැනීම යනු දිගුකාලීන 'ක්‍රියාදාමයක්' බව පෙන්වාදෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වසරේ අත්දැකීම්වලට අනුව අඩුපාඩු සපුරාගෙන් ඉදිරි වසර කටයුතු දියත්කිරීම ආණ්ඩුවේ අභිලාෂය වන අතර කොමිසම සඳහා වෙනම මූල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ සිට වෙන් කෙරෙන බවත් සඳහන් කළේය. "ලබන මාසේ 17 වෙනිදා ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සියල්ලටම වගේ තොරතුරු නිලධාරීන් පත්කෙරෙනවා" පනත ක්‍රියාවට නැගුණු නමුත් තවමත් ජනාධිපති කාර්යාලයේ පවා තොරතුරු නිලධාරියකු නැතැයි ක්‍රියාධරයන් පිරිසක් විසින් කරන ලද විමසීමකදී දැනගන්ට ලැබුණු බව බීබීසී සංදේශය පෙන්වාදුන් අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, තොරතුරු නිලධාරීන් පත්කිරීම තවමත් අවසන් වී නොමැති බවයි. "මේ පනතෙන් කාලවේලාව දුන්නේ මාස හයයි, මේකට සූදානම් වෙන්න. නීතියේ කොහොම තිබුණත් කොමිසම පත්කිරීමෙත් ප්‍රමාදයක් ඇතිවුණා. ඒ අනුව ලබන මාසේ 17 වෙනිදා ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සියල්ලටම වගේ තොරතුරු නිලධාරීන් පත්කෙරෙනවා." මෙවැනි ඓතිහාසික පනතක් සම්මත කළ සැණින් "ප්‍රාතිහාර්යයක් පානවා වගේ" සියල්ල එකවර සිදු නොවන බවත් ඔහු පැවසීය. තොරතුරු දැනගැනීම පිළිබඳ පනත මගින් මේ වසර තුළ සර්ව සම්පූර්ණ ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් පැවසීය.
18 වන සංශෝධනයට අනුව දෙවතාවක් ධුරය දරු අයෙකුට තුන්වන වතාවත් ජනාධිපති ධුරයක් දැරීමට හැකියාවක් තිබේදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස් හම්බන්තොට පැවති කාල්ටන් පෙර පාසලේ උත්සවයකට සහභාගී වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තිය ප්‍රකාර තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. ජනාධිපතිවරයා සිය ඉල්ලීම මගින් ඉදිරිපත් කර තිබෙන්නේ තමන් දෙවතාවක් ජනාධිපති ධුරය සඳහා තේරී පත්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය සම්මත කෙරුණු බවයි. 'නීතිමය ඉඩකඩක් තිබේදැයි කියන්න' එම සංශෝධනයට අනුව දෙවතාවක් එම ධුරය දරු අයෙකුට ඊට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීමට නීතිමය ඉඩකඩක් තිබේදැයි නිගමනය කර මතයක් ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා අග විනිසුරු අමතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති සිය ඉල්ලීම මගින් සඳහන් කර ඇත්තේ. සංදේශය කල විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී එම්.එම්.ජයසේකර කියාසිටියේ මෙම ඉල්ලීමට අදාලව කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒවා ලිඛිතව මෙමස 07 වනදා සවස 3.00 පෙර සිය කාර්යාලයට භාරදෙන මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි. විවෘත අධිකරණයට කැඳවනවාද ? මෙම ඉල්ලීම විවෘත අධිකරණයේ කැඳවන්නේ කවදාදැයි සංදේශය කල විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරිය කියා සිටියේ ඒ පිළිබඳව තමනට නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි. මේඅතර සංදේශය කල විමසීමකදී ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල්ජයසුරිය කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරියගෙන් තමන්ට එවැනි ලිපියක් ලැබී ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති ඉල්ලීම ප්‍රසිද්ධියේ විභාගයට ගන්නේද එසේ විභාගයට ගන්නා දිනය කවදාද යන්න දැනුම් දෙන මෙන් තමා ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියගෙන් ඉල්ලීමක් කර ඇති බවද නීතිවේදී උපුල් ජයසුරිය සංදේශයට පැවසීය.
වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් සිය අදහස් ප්‍රකාශ කළහ. අදාළ යෝජනාව ඉදිරිපත් කරන්නේ "විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින්" යැයි කී අමාත්‍යවරයා, මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ඨ ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවද පැවසීය. මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පැවසූයේ "දහ අටට වැඩි අයට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාව මිලිටරිකරණ මානසිකත්වය පෙන්වන්නක්" බවය. "හමුදා පුහුණුව දෙන්න කලින් මිනිස්සුන්ගේ හොද්දට දාන්න කහ කුඩු ටිකක් දෙන්න වැඩපිළිවෙලක් ගේන්න. කොහේ තියෙන සල්ලියක් ද හමුදා පුහුණුවක් ක්‍රියාත්මක කරන්න?," ජනවාරි 18 වෙනි දින කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා පැවසීය. සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ "18ට වැඩි තරුණ තරුණියන්" ලෙස සඳහන් වුවද වයස් සීමාවක් සඳහන් නොවිණි. එමෙන්ම විශාල පිරිසකට හමුදා පුහුණුව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන, ඉඩ පහසුකම් වැනි මූලික කරුණු ගැන පැහැදිලි කිරීමක් ද නොමැත. මෙම ප්‍රකාශය පිළිබඳ කරුණු දක්වමින් හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට පැවසුවේ, "හමුදාව මෙවන් යෝජනාවක් ගැන දැනුවත් වී නැති"බවය. "මේ වෙන තෙක් ශ්‍රී ලංකා යුද හමුදාවවත්, ත්‍රිවිධ හමුදාවවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා නැහැ... කෙසේනමුත් ඉදිරියේ දී එවන් කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒක රජයේ ප්‍රතිපත්තියක් නම් අපට දැනුම් දෙයි. නමුත් මම දැනුවත්ව මෙම තත්ත්වය අපට දැනුම් දීලා නැහැ," හමුදාපතිවරයා පැවසුවේය. අනිවාර්ය හමුදා පුහුණුව ලබා දෙන ලොව වෙනත් රටවල් මොනවාද? දකුණු කොරියාව තවමත් උතුරු කොරියාව සමඟ විටින් විට ගැටෙන දකුණු කොරියාව තුළ ජාතික හමුදා සේවය සම්බන්ධයෙන් දැඩි පද්ධතියක් ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය මට්ටම යහපත් සියලුම පුරුෂයන් හමුදාවේ මාස 21ක් ද, නාවික හමුදාවේ මාස 23ක් හෝ ගුවන් හමුදාවේ මාස 24ක් ද සේවය සම්පූර්ණ කළ යුතුය. පොලිස් බලකායේ, වෙරළාරක්ෂක බලකායේ, ගිනි නිවීමේ සේවාවේ සහ සමහර විශේෂ අවස්ථා වලදී රජයේ දෙපාර්තමේන්තු වල සේවය කිරීමට ද විකල්ප තිබේ. කෙසේනමුත්, ක්‍රීඩාවෙන් රටට කීර්තිය අත්කර ගන්නා පුරවැසියන් මේ පුහුණුවෙන් නිදහස් කර තිබේ. උතුරු කොරියාව උතුරු කොරියාව ලොව දීර්ඝතම අනිවාර්ය හමුදා සේවය ඇති රට වන අතර, පුරුෂයන් අවුරුදු 11 ක් සහ කාන්තාවන් අවුරුදු හතක් සේවයේ යෙදිය යුතුය. උතුරු කොරියානු හමුදා එරිත්‍රියාව එරිත්‍රියාවේ පුරුෂයන් සහ තරුණ, අවිවාහක කාන්තාවන් මාස 18ක කාලයක් ජාතික හමුදාවේ සේවය කළ යුතුය. කෙසේවෙතත්, මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව, මෙම හමුදා සේවය බොහෝ විට වසර ගණනාවක්, නැතහොත් දින නියමයක් නොමැතිව දීර්ඝ කෙරේ. "සිවිල් වැසියන්ගේ හමුදා පුහුණුව සහ මිලිටරි වගකීම් නියමිත කාලයට අවසන් නොවන බව දැකගන්න පුළුවන්. පුද්ගලයන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීමක් ලෙස මේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා" යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය 2015 දී පැවසීය. මානව හිමිකම් සංවිධානයට අනුව මෙම හමුදා පුහුණුව එරිත්‍රියානුවන් එරටින් පලා යාමට ප්‍රධානතම හේතුව බවට පත් වී තිබේ. එරිත්‍රියානුවන් බොහෝ දෙනෙක් එක්සත් රාජධානියේ සරණාගතභාවය පතා ඇත. ස්විට්සර්ලන්තය වයස අවුරුදු 18 ත් 34 ත් අතර පුරුෂයන් සඳහා ස්විට්සර්ලන්තයේ හමුදා සේවය අනිවාර්ය වේ. හමුදා සේවය ඉවත් කළ යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්විණි. එහිදී 73%ක පිරිසක් අනිවාර්ය හමුදා සේවයට කැමැත්ත පළ කළහ. මේ සම්බන්ධයන් ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයක් සිදුකළ තෙවෙනි අවස්ථාව මෙයයි. මෙහිදී මූලික සේවාව සති 21 ක් දිගු වන අතර වාර්ෂිකව අමතර පුහුණුවක්ද ලබා දේ. කාන්තාවන් අනිවාර්ය හමුදා සේවයට යටත් නොවන නමුත් ඔවුන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකිය. වසර දෙසීයකට අධික කාලයක් යුද්ධයකට සම්බන්ධ නොවුණු ස්විට්සර්ලන්තය තුළ එක් භාෂාවක් හෝ සංස්කෘතියක් නොපවතින අතර, ඔවුන් හමුදා පුහුණුව දකින්නේ සියලුදෙනා එක් කරන ක්‍රියාවලියක් ලෙසය. ඔස්ට්‍රියාවේ පවතින්නේද මේ හා සමාන තත්ත්වයකි. බ්‍රසීලය 18 හැවිරිදි පුරුෂයන් සඳහා හමුදා සේවය අනිවාර්ය වේ. එය මාස 10 ත් 12 ත් අතර කාලයක් පවතී. සෞඛ්‍ය හේතූන් මත මෙයට සහභාගී නොවී සිටිය හැකිය. එමෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන පුද්ගලයෙකු නම් හමුදා පුහුණුව ලැබීම ප්‍රමාද කළ හැකිය. බඳවා ගැනීම්වල දී බොහෝ දෙනෙකු හරවා යවන තත්ත්වයක් බ්‍රසීලයේ දක්නට ඇත. එයට හේතුව නම් එම වසර තුළ හමුදාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා 18 හැවිරිදි තරුණයන් සිටීමය. බඳවා ගැනීමට පෙර තරුණයින් ප්‍රධාන වශයෙන් ශාරීරික පරීක්ෂණ මාලාවකට සහභාගී විය යුතුය. ඊශ්‍රායලය පුරුෂයන්ට හා කාන්තාවන්ට ඊශ්‍රායලයේ හමුදා සේවය අනිවාර්ය වේ. පුරුෂයන් ඊශ්‍රායල ආරක්ෂක බළකායේ (IDF) වසර තුනක් සහ කාන්තාවන් වසර දෙකක් පමණ සේවයේ යෙදිය යුතුය. එය දේශීය මෙන්ම විදෙස්ගත ඊශ්‍රායල් පුරවැසියන්ට ද අදාළ වේ. නව සංක්‍රමණිකයන්, ඇතැම් ආගමික කණ්ඩායම් සහ සෞඛ්‍ය හේතු මත පුහුණුව නොලබා සිටිය හැකිය. විශේෂ අවස්ථා වලදී පමණක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙටි කාලීන සේවාවක් සම්පූර්ණ කිරීමට අවසර ඇත. සිරියාව සියලුම සිරියානු පුරුෂයින් සඳහා හමුදා සේවය අනිවාර්ය වේ. 2011 මාර්තු මාසයේදී ජනාධිපති බෂාර් අල් අසාද් හමුදා සේවය මාස 21 සිට 18 දක්වා අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කළේය. හමුදා සේවය මගහරින රාජ්‍ය සේවකයින්ට රැකියා අහිමි විය හැකිය. හමුදා සේවයෙන් පලා යන අය වසර 15ක් සිරගත කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පැවසීය. සිරියානු හමුදා ඇතැම් රටවල් මෑත වසරවලදී හමුදා සේවය නැවත හඳුන්වා දීමටද ක්‍රියා කර තිබේ. මෙය පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර මිලිටරි සේවය සහ පුහුණුව ලබා දෙන තවත් රටවල් ලොව පුරා තිබේ: 'හොඳ සහ නරක' අනිවාර්ය හමුදා සේවයට එරෙහිව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තර්ක කීපයක් ගොඩ නැගී ඇත. මෙය නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වා ඇත. එමෙන්ම, මෙමගින් උසස් අධ්‍යාපනය සඳහා පුද්ගලයන් ඇතුළු වීම ප්‍රමාද කරන අතර, සිවිල් ශ්‍රම වෙළෙඳපොළට ඇතුළු වීම ද දැඩි ලෙස ප්‍රමාද කරන බව සඳහන් වී තිබේ. හමුදා පුහුණුවක් ලැබීමට සෑම පුද්ගලයෙකුටම නොහැකි අතර ඒ සඳහා ශාරීරික, මානසික සහ චිත්තවේගීය ඉල්ලීම් සපුරාලිය යුතුය. මෙවැනි ක්‍රියාවලියක් මගින් පුද්ගලයන්ගේ ජීවිත පවා අවදානමට ලක් විය හැකි බව ඇතැමුන් පෙන්වා දෙයි. ඒ, හදිසි අනතුරු සිදුවන්නේ සැබෑ සටන්වලදී හෝ යුධ පිටියේදී පමණක් නොව, පුහුණුවීම් වලදීද අනතුරුවලට ලක් වීමේ ඉඩකඩ ඇති බැවිනි. හමුදා පුහුණුව ලැබූ පමණින් පුරවැසියන් විනයගරුක, නීතිගරුක වේ දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැම්හු ප්‍රශ්න කරති. ඊට උදාහරණ වශයෙන් හිටපු සහ සේවයේ නිරත හමුදා සාමාජිකයන් සම්බන්ධ අපරාධ හුවා දක්වා තිබිණි. කෙසේනමුත්, තවත් පිරිසක් කියා සිටින්නේ අනිවාර්ය හමුදා පුහුණුව තුළින් විනය ගොඩ නැගී රට සංවර්ධනය වන බවය. මේ තොරතුරුද කියවන්න:
ආචාර්ය ආශා ද වොස්, ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා වෙසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක්.
නිල් තල්මසා සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා පෙන්වා දෙයි (Photo Credit: MCAF NEAq) ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගන්නේ කෙලෙසද යන්න පිළිබඳව ඇය මේ දිනවල ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක නිරතව සිටින්නීය. "ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න එක මට ප්‍රශ්නයක් වුනා," ආශා මා සමඟ පිළිසඳර ආරම්භ කළේ එලෙසින්. ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණ සිය අනාගත වර්ගයා බෝකරන බව ඇය පෙන්වා දෙන්නීය. ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳ වී යාමේ තර්ජනයට තුඩු දෙන්නක් "හැබැයි ලංකාව වටේ ඉන්න නිල් තල්මහ ලංකාව වටේ අවුරුද්ද පුරාම ඉන්නවා. ඉතින් මම බැලුව ඇයි මෙහෙම වෙන්නේ කියල. එහෙම තත්වයක් වෙන කොහේවත් නෑ." ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසා, සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා ද වොස් සවිස්තරව පෙන්වා දෙන්නීය. " තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා." යකඩ වැනි එම පෝෂ්‍ය පදාර්ථ සාගරයේ තිබෙන ඇසට නොපෙනෙන මට්ටමේ පවා කුඩා පැළෑටිවලට අත්‍යවශ්‍ය පොහොරක් බවයි, ආශා ද වොස් පවසන්නේ. ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණෙන්නේ සිය අනාගත වර්ගයා බෝ කිරීම පිණිසයි "අපේ ලෝකේ සියයට පණහක් ඔක්සිජන් සපයන්නේ මේ පැළෑටිවලින්. ඒ තල්මසුන්ගේ අසූචි ගැන. ආශා පෙන්වාදෙන පරිදි තල්මසුන් මියගිය පසු ඒ මළකුණත් සාගර ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්. ( ආචාර්ය ආශා ද වොස් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න) "ඒ විතරක් නෙවෙයි, කාලෙකට පස්සේ මේ මළකුණ මුහුදේ පතුලටම යනවා. මීටර 4000ක් විතර ගැඹුරුම ජලයට බහින්න අවුරුදු ගාණක් ගතවෙන්න පුළුවන්. එහෙම බැස්සම ඒ තැන්වල ඉන්න විශේෂ සත්තු වර්ග මේ මළකුණ කනවා. ඉතින් මේ තැන්වල ඉන්න සත්තුන්ට මේ මළකුණ නැත්නම් කෑම නැති තරම්." 'ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න එක මට ප්‍රශ්නයක් වුනා' (Photo credit: Steve de Neef) ළමා වියේ පටන් - වයස අවුරුදු හයේ සිට - සාගර ජීව විද්‍යාව පිළිබඳව තමන්ට උනන්දුවක් තිබූ බව පවසන ආශා, සිය දෙමාපියන් එයට මුලසිටම අනුබල් දුන් බවත්, විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් පවා තමන් දිරිමත් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන්නීය. ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරිය පවසන පරිදි ලොව ඉතාම කාර්යබහුල නාවික මාර්ගයක් වන ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳවී යාමේ තර්ජනයට තුඩු දෙන්නක්. ඔවුන් එම නෞකාවලට යට වී මියයාම ඒ බරපතල තර්ජනයයි. "මම දැනගත්ත ෂුවර් එකටම මේ දෙක එකම තැනක තිබුනොත් ඩිසාස්ටර් එකක් වෙනවා කියල." සමුද්‍ර ආහාර චක්‍රයේ ප්‍රබල කාර්යභාරයක් ඉටුකරන ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගැනීම ආශාගේ අපේක්ෂාවයි මේ තත්වය වැළැක්වීම පිණිස එම නාවික මාර්ගය සැතපුම් 15 කින් පමණ තවත් දකුණට රැගෙන යා යුතු බව ඇයගේ යෝජනාවයි. ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මේ වනවිට පර්යේෂණයක නිරතව සිටින්නේත් එම ගැටලුවට විසඳුම් ලබාදෙන්නේ කෙලෙසද යන්න පිළිබඳව. "මම මෙතනට ආවෙත් දකුණු කැලිෆෝනියාවෙත් මේ වගේම ප්‍රශ්නයක් තිබුණ නිසා. ඒගොල්ල විද්‍යාත්මකව ඒ ප්‍රශ්නේ විසඳුවා." කැලිෆෝනියාවේ විද්‍යාඥයන්ගේ අත්දැකීම් අනුසාරයෙන් සිය මවුබිමේ වෙසෙන ලොව දැවැන්තම සත්වයා ආරක්ෂා කරගැනීම ඇගේ අධිෂ්ඨානයයි. "ලංකාවේ කෙනෙක් වීම ගැන මම ගොඩක් ආඩම්බර නිසා මම හැමතිස්සෙම බලන්නේ ලංකාවට කොහොමද මගේ සේවය ලබාදෙන්නේ කියල." 'තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා' (Photo Credit: Bret Hartman) (බීබීසී ලෝක සේවයේ 'සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' විශේෂ වාර්ෂික වැඩසටහන වෙනුවෙන් බීබීසී සංදේශය ඉදිරිපත් කරන අවසාන අංකයයි, මේ)
එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන ෆයිසර් වෙතින් කොවිඩ් -19 එන්නතෙහි තාක්ෂණය සොරකම් කිරීමට උතුරු කොරියාව උත්සාහ කළ බව දකුණු කොරියානු බුද්ධි අංශ නිලධාරීහු පවසති.
ෆයිසර් වෙතින් කොවිඩ් -19 එන්නතෙහි තාක්ෂණය සොරකම් කිරීමට උතුරු කොරියාව උත්සාහ කළ බව දකුණු කොරියානු බුද්ධි අංශ පවසති දත්ත සොරකම් කර ඇත්නම් එය සිදු කළේ කුමට ද යන්න දැනට පැහැදිලි නැත. දකුණු කොරියාවේ ජාතික බුද්ධි අංශ මෙම ප්‍රහාරය පිළිබඳ නීති සම්පාදකයින් පෞද්ගලිකව දැනුවත් කළ බව එරට යොන්හැප් (Yonhap) පුවත් ඒජන්සිය වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් ෆයිසර් ආයතනයේ අදහස් දැනගැනීමට බීබීසී උත්සහ කළ නමුත් එයට තවමත් ප්‍රතිචාර දක්වා නොමැත. උතුරු කොරියාව තවමත් කොරෝනාවෛරස් රෝගීන් ගැන වාර්තා කර නොමැත. කෙසේනමුත්, ඉදිරි සති කීපය තුළ ඇස්ට්‍රාසෙනෙකා-ඔක්ස්ෆර්ඩ් එන්නත මාත්‍රා මිලියන දෙකක් එරටට ලැබීමට නියමිතය. චීනයේ වෛරසය පැතිරෙන්නට පටන් ගත් වහාම උතුරු කොරියාව පසුගිය වසරේ ජනවාරි මාසයේදී සිය දේශසීමා වසා දැමීය. නොවැම්බර් මස දී මයික්‍රොසොෆ්ට් සමාගම කියා සිටියේ ෆයිසර් ඇතුළු අවම වශයෙන් සෞඛ්‍ය සමාගම් නවයක්වත් උතුරු කොරියාව සහ රුසියාවේ රාජ්‍ය අනුග්‍රහය ලද විවිධ සංවිධානවල ඉලක්ක වී ඇති බවය. උතුරු කොරියානු 'සින්ක් සහ සීරියම්' ලෙස නම් කර ඇති කණ්ඩායම් මෙන්ම 'ෆැන්සි බෙයාර්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රුසියානු කණ්ඩායමක් මෙයට වගකිව යුතු බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය. වෙනත් රටවල එන්නත් පර්යේෂණ සොරා ගැනීමේ චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ. බොහොමයක් උත්සාහයන් අසාර්ථක වී ඇති නමුත්, පර්යේෂණ සොරා ගැනීමේ සමහර උත්සාහයන් සාර්ථක වී ඇති බවට මයික්‍රොසොෆ්ට් අනතුරු ඇඟවීය. - බීබීසී ආරක්ෂක වාර්තාකරු ගෝඩන් කොරේරාගේ විශ්ලේෂණයකි - වසංගතය ආරම්භයේ සිටම, කොරෝනාවෛරස අර්බුදයේ කොටසක් ලෙස විවිධ රටවල් ඔවුන්ගේ හැකර්වරුන් රාජකාරියට බඳවා ගැනීම සිදු විය. මෙයින් සමහරු යොදා ගෙන ඇත්තේ බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහාය. නමුත් සමහර රටවල් බුද්ධිමය දේපළ සොරකම් කිරීමෙන් වාසි ලබා ගැනීම් සඳහා මොවුන් යොදා ගෙන ඇත. උතුරු කොරියාව සෑම විටම මෙම ක්ෂේත්‍රයේ වඩාත් ක්‍රියාකාරී රටක් ලෙස සැලකේ. එය සංවෘත සමාජයක් වන නමුත්, රහස් ලබා ගැනීම සඳහා පමණක් නොව මුදලට පවා වෙනත් රටවල් ඉලක්ක කළ හැකි දියුණු සයිබර් තාක්ෂණික ඒකක ඔවුන් සතුය. පසුගිය වසරේ දී එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය එන්නත් පර්යේෂණ වඩාත් ආරක්ෂා කිරීමට පියවර ගත්තේය. මෙම වසරේදී එන්නතෙහි සැපයුම් දාමය ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම අවදානම නිසා නුදුරු අනාගතයේ දී ඖෂධ හා සෞඛ්‍ය අංශ සයිබර් ආරක්ෂණයේ ඉදිරි පෙළට පිවිසෙනු ඇති බවට සැකයක් නොමැත. මේ තොරතුරු ද කියවන්න:
ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය නෞකාවක් අත්පත් කරගැනීම "නීතිවිරෝධී මංකොල්ලයක්" ලෙසින් විග්‍රහ කරන උතුරු කොරියාව, එය ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට චෝදනා කරමින් පවසන්නේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව ජාත්‍යන්තර සම්බාධක උල්ලංඝනය කළ බවය. "වයිස් ඔනස්ට් (Wise Honest)" ලෙස නම් කර ඇති මෙම නෞකාව 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාව භාරයට ගැනිණි. නෞකාව අල්ලා ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-අන් අතර 2018 වර්ෂයේ දී ඇති වූ ගිවිසුම කඩ වන බව උතුරු කොරියාව පවසයි. "තමන්ගේ 'උපරිම බලය' යොදා අපිව යටත් කර ගන්න ඇමරිකානු ගණිත ක්‍රමයට සිදු කළ ක්‍රියාවක් මේක. ඒ වගේම ජූනි මාසයේ දී එළඹුන ගිවිසුමේ මූලික කාරණා සම්පූර්ණයෙන්ම ඉවත දැමීමක්," යනුවෙන් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියානු නැවක් අත් කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. රටවල් දෙක අතර සම්බන්ධතාව තවදුරටත් පලුදු කිරීමට මෙම සිද්ධිය හේතු වී තිබේ. මේ තොරතුරුද කියවන්න: අදාළ නෞකාව ඉන්දුනීසියාව භාරයේ තිබෙන අවස්ථාවේ දී ඇමරිකාව එය සිය භාරයට ගැනීම සඳහා එරට අධිකරණයකින් වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කර තිබේ. නෞකාවේ තිබූ ගල් අඟුරු නීති විරෝධී වන අතර එය එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට පටහැණි බව ඇමරිකාව පවසයි. එමෙන්ම, නෞකාවේ නඩත්තු කටයුතු සඳහා රහස් ඇමරිකානු මූල්‍යය සමාගම්වලින් නීති විරෝධී ලෙස මුදල් ගෙවා ඇති බව ඔවුහු පවසති. ඇමරිකානු අධිකරණ තීන්දුවට එරෙහි වීමට දින හැටක කාලයක් ඇතත් එම ක්‍රියාවලියට පිවිසීමට උතුරු කොරියාව බලාපොරොත්තු නොවන බව පවසයි. නෞකාව එක්සත් ජනපදය සන්තකයේ තිබුණහොත් ඔවුන්ට එය විකිණීමේ හැකියාව ලැබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-අන් අතර 2019 පෙබරවාරි මස සිදු වූ දෙවන හමුව ගිවිසුමකින් තොරව අවසන් විය. මෙහිදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කරන ලෙස ඇමරිකාව ඉල්ලීම් කර තිබේ. එමෙන්ම, තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ද උතුරු කොරියාව එක්සත් ජනපදයෙන් ඉල්ලීම් කර තිබේ. පසුගිය සතිය තුළ අවස්ථා දෙකක දී උතුරු කොරියාව ආයුධ අත්හදාබැලීම්වල නිරත වී ඇත්තේ ඇමරිකාවට බලපෑම් කිරීමට යැයි මත පළ වී තිබේ. නමුත්, ආයුධ අත්හදාබැලීම් සහ නෞකාව අත් කරගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු නිලධාරීහු පවසති. තවත් තොරතුරු:
පොදු රාජ්‍ය මණ්ඩලය තුළ කැනඩාව තනි වී ඇති බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කරයි.
ඔහු මෙම ප්‍රකාශය කළේ පොදු රාජ්‍ය මණ්ඩලයට මූල්‍ය ආධාර සැපයීම පිළිබඳ ව නැවත සිතා බලන බවට කැනඩාව කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින්. ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බව පැවසෙන මානව හිමිකම් කඩ කිරීම් වලට විරෝධය පෑම සඳහා එකී පියවර ගන්නා බවයි කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් කියා සිටියේ. ‘අභ්‍යන්තර ප්‍රශ්න' නමුත් විදේශ ඇමති ජී එල් පීරිස් පවසන්නේ වෙනත් කිසිදු පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් කැනඩාවේ ස්ථාවරය සමඟ එකඟ නොවන බවයි. ‘අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වීම පොදු රාජ්‍ය මණ්ඩලයේ සංස්කෘතියට පටහැණි’ බව ජී එල් පීරිස් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයට මුදලින් ආධාර සපයන දෙවන ප්‍රධානතම රට වන කැනඩාව සිය අනුග්‍රහය නවතා දැමුව හොත් පොදු රාජ්‍ය මණ්ඩලයට මූල්‍යමය වශයෙන් දැඩි හානි පැමිණෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ පළ වන ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයට කැනඩාව විසින් වසරකට පවුම් කෝටියකට අධික මුදලක් වැය කරනු ලැබේ.
මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට, තමන්ට අවශ්‍ය පුද්ගලයන් හා දේශපාලන කණ්ඩායම් නිදහසේ මුණ ගැසීමේ අවසරය තිබෙන බව රජය ප්‍රකාශ කරයි.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද කොළඹදී ජනමාධ්‍ය වේදීන් අමතමින් කියා සිටියේ නවනීදම් පිල්ලේ මහ කොමසාරිස් වරියගේ ‘දෑසින්ම මේ කරුණු අධ්‍යයනය කරලා සැබැව දැනගන්න,’ ඉඩ සැලසීම සතුටට හේතුවක් බවයි. විදේශ ගතව සිටිමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන අතීතයේදී විවිධ චෝදනා එල්ල කළ විදේශ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ තත්වය සියැසින් දැක ගත් පසු ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ බවද අමාත්‍යවරයා පැවසීය. යුද අපරාධ චෝදනා එල්ටීටීඊ යට එරෙහි යුද්ධය පැවැති අවසන් මාස කිහිපය තුල නිරායුධ දෙමළ වැසියන් 40,000ක් ඝාතනය කළ වගට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ගැන මහ කොමසාරිස්වරියට පිළිතුරු දීමට ආණ්ඩුව සුදානම් දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය අලහප්පෙරුම ප්‍රකාශ කළේ අගෝස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පවත්වන සංචාරය නිමාවේ පවත්වන මාධ්‍ය හමුවේ දී ඒ පිලිබඳව විමසන ලෙසයි. ‘එතුමිය බොහොම අවංකව යම් ප්‍රකාශයක් කළ යුතුයි කියල අපි විශ්වාස කරනවා,’ යි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය. සංචාරයෙන් පසු, මහ කොමසාරිස් නවී පිල්ලේ සැප්තැම්බරයේ දීත්, ලබන මාර්තුවේ දීත් ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජීපීඑස් (GPS) කොලරයක් නිසා තවත් වන අලියකු ජීවිත අවදානමකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.
මනුෂ්‍ය ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත වනයේ අතරමන් වූ හෝ අනතුරට මුහුණ දුන් අලි පැටවුන් උඩවලවේ ඇත්අතුරු සෙවනේ රැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහක් පමණ පිරුණු විට කැළයට මුදා හරිනු ලබයි එසේ 'ජීවිත අවදානමකට' ලක්ව සිටින්නේ වැල්ලවාය වරුනගම ප්‍රදේශය අවට සැරිසරන වයස අවුරුදු දහයක පමණ වන අලියෙක්. අලින්ගේ ගෙල වටා ජීපීඑස් (GPS) කොලරයක් යොදන්නේ අවුරුදු තුනක් අවසානයේ ඉබේ ගැලවී යන ලෙසයි. නමුත් ඉහත කී වන අලියාට ජීපීඑස් කොලරය යොදා ඇත්තේ 2010 වසරේදීයි. ඒ තවත් අලි පැටවුන් තිදෙනෙකු සමග මෙම අලි පැටවා ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට මුදා හැරී අවස්ථාවේදීයි. එසේ මුදා හරින විට අලි පැටවාගේ වයස අවුරුදු පහක් පමණ වූ බවයි පසු වෛද්‍ය විජිත පෙරේරා කියා සිටියේ. ජීපීඑස් කොලරය හේතුවෙන් ගෙල සිර වී ඒ වටා ඇති වූ තුවාල හේතුවෙන් අලියකු ජීවිත අවදානමකට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි. මිට පෙර සූරියවැව කුඩා ඉඳිවැව ප්‍රදේශයේදී ජීපීඑස් කොලරයකින් ඇතිවූ තුවාල නිසා වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් මරුමුවට පත් විය. පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අවදානමට මුහුණ දී සිටින අලි පැටවා පිළිබඳ සෙවිල්ලෙන් සිටින බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්ජි රත්නායක ප්‍රකාශ කළේ. 'අපගේ පශු වෛද්‍යවරුන් හා නිලධාරීන් එම අලියා සම්බන්ධයෙන් සෙවිල්ලෙන් ඉන්නේ. එය ඉක්මනින්ම ඉවත් කරන්න කටයුතු කරනවා .ඒ වගේම ඉදිරියේදී ලංකාවේ ජීපීඑස් කොලරයන් පළඳවා තිබෙන සියලුම වන අලින් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කොට සමීක්ෂණයක් සිදු කරනවා’ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය. කසල කෑමට ගම්වැසියකු පවසා සිටියේ අවදානමට මුහුණ දී සිටින අලි පැටවා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් කැළිකසල බැහැර කරනු ලබන ස්ථානයේ එකතු වන කසල කෑමට පැමිණ සිටිනු දුටු බවයි මනුෂ්‍ය ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත වනයේ අතරමන් වූ හෝ අනතුරට මුහුණ දුන් අලි පැටවුන් උඩවලවේ ඇත්අතුරු සෙවනේ රැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහක් පමණ පිරුණු විට කැළයට මුදා හරිනු ලබයි. එසේ මුදා හරිනු ලබන අලි පැටවුන්ට ජීපීඑස් කොලරයක් පළඳවනු ලබන්නේ ඔවුන්ගේ චර්යා රටාවන් හා ගමන් මාර්ගයන් අධීක්ෂණය කිරීමේ අරමුණෙන්. වසර තුනකට පසු ඉබේ ගැලවී යන ආකාරයට එම ජීපීඑස් කොලර පළඳවනු ලබයි. වසර තුනක් යන තෙක් සතුන් පිළිබඳ අදාළ අංශයන් නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම අනිවාර්ය වේ. නමුත් කුමන හෝ කරුණක් මත මෙම වන අලියා අධීක්ෂණය කටයුතුවලින් මඟ හැරී තිබේ . අලි පැටවුන් හට ජීපීඑස් කොලර පැළඳවීමේදී නිසි අධීක්ෂණයක් තිබීම අනිවාර්ය වන්නේ එම සතුන් නිරන්තරයෙන් වැඩීමට ලක් වන නිසායි. ගම්වැසියකු පවසා සිටියේ ඉහත කී අලි පැටවා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් කැළිකසල බැහැර කරනු ලබන ස්ථානයේ එකතු වන කසල කෑමට පැමිණ සිටිනු දුටු බවයි. කසල ආහාරයට ගැනීම සඳහා වැල්ලවාය ආලපල්ලම රජයේ තෙක්ක වගාවට අයත් එම ස්ථානයට වන අලි නිරන්තරයෙන් පැමිණෙති. සෙවිල්ලෙන් ලංකාවේ වන අලින්ට පළඳවනු ලබන ජීපීඑස් කොලරයන් මුල් කාලීනව ගෙන් වන ලද්දේ ඉන්දියාව ,අප්‍රිකාව ,නවසීලන්තය , වැනි රටවලිනි. මිට පෙර සූරියවැව කුඩා ඉඳිවැව ප්‍රදේශයේදී ජීපීඑස් කොලරයකින් ඇතිවූ තුවාල නිසා වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් මරුමුවට පත් විය නමුත් වර්තමානයේ එම කොලරයන් ගෙන්වනු ලබන්නේ ස්වීඩනයෙන්. ස්වීඩනයේ නිෂ්පාදිත ජීපීඑස් කොලරයන් බරෙන් අඩු බවත් ගුණාත්මක භාවය ඉහළ බවත් වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි . අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට, වන අලි පිළිබඳ පර්යේෂණ ,ඔවුන්ගේ වාසස්ථාන වෙනස් කිරීමේදී ප්‍රතිචාර දක්වන ආකාරය සොයා බැලීම සඳහා ජීපීඑස් කොලරයන් හරහා ඉඩ සැලසේ. වන අලින්ගේ නිජ බිම් වූ අප්‍රිකානු රටවල මෙන්ම ආසියානු රටවලද ජීපීඑස් කොලරයන් භාවිතා කරනු ලැබේ. එම තාක්ෂණය භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ 1996 වර්ෂයේ දී උතුරු මැද පලාතෙනි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න ප්‍රකාශකළේ සිටියේ 'ඇත්තෙන්ම ජීපීඑස් කොලරයන් ලෝකයේ නිපදවන්නේ ඉතා අතලොස්සක් වූ සමාගම් කීපයක්. ඒවා නිපදවන්නෙත් ලබා දෙන ඇනවුම් මත මොකද කොලරයක් ගොඩක් මිල අධිකයි .ඒ වගේම මේවා නිපදවන්නේ බොහෝදුරට අප්‍රිකානු රටවල තිබෙන දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට ගැලපෙන්න. ඒ අනුව එම කොලරයන් ඉබේ ගැලවී යනවා. නමුත් ශ්‍රී ලංකාව වගේ රටක වන අලින්ට ජීපීඑස් කොලරයන් පැලදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පසු නිසි අධීක්ෂණයක් තිබිය යුතුයි' යනුවෙනි.
චීනයේ ගඩොල් කර්මාන්තශාලාවක සේවකයන්ට ලබා දිය යුතු යුවාන් 90,000 ආසන්න හිඟ වැටුප් ගඩොල්වලින් ගෙවීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.
බහුතරයකක් සංක්‍රමිකයන්ට "ඉටිපන්දම් එළියෙන් ආලෝකය ලබා ගැනීම සහ උණුසුම් වීමට ගිණි ගොඩක් ගැසීම" හැර වෙනත් විකල්පයක් නොමැති කර්මාන්තශාලා තිහක රැකියා කරන කම්කරුවන් මෙම තීරණයට එකඟ වී තමන්ට ලැබිය යුතු යුවාන් 80,000 වෙනුවට ගඩොල් 290,000 ක් භාරගෙන තිබෙන බව ෂින්හුවා Xinhua මාධ්‍ය ආයතනය වාර්තා කරයි. මෙම ගැටලුවට මැදි වී සිටින සියලුම කම්කරුවන් කඳුකර ප්‍රදේශයේ සිට ගිනිකොන චීනයට සංක්‍රමණය වූවන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයකට "ඉටිපන්දම් එළියෙන් ආලෝකය ලබා ගැනීම සහ උණුසුම් වීමට ගිණි ගොඩක් ගැසීම" හැර වෙනත් විකල්පයක් නොමැති බව මේ අතර Jiangxi Daily පුවත්පත වාර්තා කරයි. කම්කරුවන් තම වේතනයට සරිලන වටිනාකමක් ඇති ගඩොල් ලබා ගැනීමට එකඟ වීමත් සමග, අධිකරණයේ සහය ඇතිව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් මෙම ගැටලුව සමතයකට පත් කිරීමට හැකි වී තිබේ. නමුත් තවමත් සේවක හිඟ වැටුප් සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි වී ඇති අතර, කර්මාන්තශාලා හිමියන් ඉතිරි යුවාන් 10,000 ගෙවීමේ ක්‍රමයක් සොයමින් සිටින බව Xinhua පුවත් සේවය වාර්තා කරයි. මෙම පුවත පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයක් ගොඩ නැගී තිබේ. "ඇයි නිතරම පිටිසර සංක්‍රමික සේවකයන්ට පඩි අඩුවෙන් ගෙවන්නේ?" එක් පුද්ගලයෙකු විමසා තිබුණි. එය හාස්‍යයට ලක් ඇතැමුන් පවසා තිබුණේ ගඩොලකට මූල්‍යමය වටිනාකමක් ලැබීමට තරම් රටේ තත්ත්වය නරක අතට හැරී ඇති බවය. විශේෂයෙන්ම පෙබරවාරි මස පැවැත්වෙන චීන අලුත් අවුරුදු දිනය ආසන්න වන විට කර්මාන්තශාලා හිමිකරුවන් සහ සංක්‍රමික කම්කරුවන් අතර ශීත සෘතුවේ දී මෙවැනි ගැටුම හටගැනීම සාමාන්‍ය තත්වයකි. මේ තොරතුරුද දැනගන්න:
රට පුරා ප්‍රදේශ ගණනාවක සියයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් සහ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අනාථයන් බවට පත්කරමින් හටගත් ගංවතුරෙන් සහ නාය යාම්වලින් අනතුරුව පීඩාවට පත්වූවන්ට ආධාර කිරීම පිණිස සියලු රටවැසියෝ ජාති, ආගම් භේදවලින් තොරව එකමුතු වී සිටිති.
ආධාර ලබාදීමට සූදානම් බව පවසමින් ට්විටර් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ විශේෂයෙන්ම පීඩාවට පත්වූවන්ට ආධාර බෙදාදීමේදී මෙන්ම අනතුරට ගොදුරු වූවන් බේරාගැනීමේ කාර්යයේදී සමාජ මාධ්‍ය ජාල ඉටු කරමින් සිටින සුවිශේෂී කාර්යභාරය කැපී පෙනෙන්නක්. ආධාර රැස් කිරීම පිණිස, කිසිවකු බේරා ගැනීමට අවශ්‍ය බව පවසමින්, ලැබුණු ආධාර බෙදාදීමට උපකාර පතමින්, අතුරුදහන් වූවන් පිළිබඳව තොරතුරු සොයමින් සහ අවතැන් වූවන්ට ඖෂධ හෝ වෙනත් ආධාර අවශ්‍ය නම් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමින් විවිධ පණිවුඩ සමාජ ජාල ඔස්සේ තවමත් හුවමාරු වෙමින් පවතී. අවතැන් වූවන්ට ආධාර සැපයීම පිණිස සහාය පතමින් ෆේස්බුක් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ අවතැන් වූ සිය රටවැසියන්ට ආධාර කරන ආකාරයක් තිබේ නම් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමින් විදේශගත ශ්‍රී ලාංකිකයෝ බීබීසී සංදේශයේ අප වෙතත් ඉල්ලීම් යොමු කළහ. මීට දශකයකට පමණ ඉහත දී සුනාමි ව්‍යසනය අවස්ථාවේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම සියලු භේද ඉවත දමා එකමුතු වූ ආකාරයෙන්ම මෙවරත් ඔවුන් ව්‍යසනයේදී එකාවන්ව අත්වැල් බැඳ ගෙන සිටින ආකාරය බොහෝ දෙනාගේ ප්‍රසංශාවට ලක් වී තිබේ. සුනාමි ව්‍යසනයේදී මෙන්ම ගංවතුර ආපදාවෙදීත් ශ්‍රී ලංකාවාසීහු සියලු භේද අමතක කොට අවතැන්වූවන්ට පිහිටවීමට ඉදිරිපත් වූහ බේරා ගැනීමේ සහ මළ සිරුරු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ ත්‍රිවිධ හමුදාවට ප්‍රණාමය පුද කෙරෙන අතරවාරයේ, නිරන්තරයෙන් ජනතා විවේචනයට ලක්වන පොලිසියත් ජනතාවගේ දැඩි ප්‍රශංසාවට ලක්වීම මේ ව්‍යසනයේ දක්නට ලැබුන තවත් විශේෂ ලක්ෂණයක්. ශ්‍රී ලංකාවාසීන් විශාල පිරිසක් වේදනාබර අත්දැකීමට මුහුණ දී සිටින අතරවාරයේ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දක්ෂතා අතරට පැමිණීම අගය කිරීමටත් සමාජ මාධ්‍ය ජාලවල හැසිරෙන්නෝ අමතක නොකළහ; ගංවතුරේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් දෙදෙනකුගේ ඡායාරූපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙදා හැර තිබුණි. ගංවතුරේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් දෙදෙනකුගේ ඡායාරූපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙදා හැර තිබුණි මීට වසර හතකට ඉහතදී ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනතාව යුද්ධයට මැදි වී සිටියදී දකුණේ ජනතාවගෙන් මේ මිනිසත්කම මතු නොවුයේ මන්දැයි ඒ අතර විවේචනයක්ද එල්ල වී තිබුණි. සමාජ මාධ්‍ය ජාලාවල හැසිරෙන බොහෝ දෙනා සහ බොහෝ ජනමාධ්‍ය ඉතා වගකීමෙන් යුතුව තොරතුරු බෙදා ගනිද්දී, ඛේදවාචකයක් පවතින අවස්තාවක ඉතා සුළු පිරිසක් පමණක් අසත්‍ය කට කතා පතුරවමින් ජනතාව බියගන්වමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසන ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, එයින් වලකින මෙන් ඉල්ලීමක් කරයි. ආපදාවට මුහුණ දුන් සිය රටවැසියන්ට ආධාර, උපකාර කරන අතරම කිසියම් ලෙසකින් එය මීට වඩා ක්‍රමවත්ව සහ සංවිධානාත්මකව සිදුවිය යුතුව තිබුණු බව සමහරුන්ගේ අදහස වී තිබේ. අවතැන් වූවන් අමතමින් හුවමාරු වන පණිවුඩ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආධාර ලැබුන බව බලධාරීන් පවසද්දීත්, එකම ස්ථානයකට ආධාර ගොඩ ගැසීමට උත්සාහ කිරීමත්, ඉදිරිය ගැන සිතා වියලි ආහාර ලබා දෙනු වෙනුවට බොහෝ දෙනා පිසූ ආහාරම පිරිනැමීමත් විවේචනයට ලක් වී තිබුණි. එමෙන්ම බේරා ගැනීමේ සේවකයන්ගේ ප්‍රයත්නයන්ට බාධා කරමින්, ගංවතුර සහ නාය යාමේ හානිය 'නැරඹීමට' බොහෝ දෙනා එම ස්ථානවලට රැස් වන බව තවත් විවේචනයක්. ආපදාවකට මුහුණ දුන් සිය රටේම සොයුරු සොයුරියන්ට ඇප උපස්ථාන කිරීමට නොමසුරුව ඉදිරිපත් වීම ඉහලින් අගයන අතරම, සිය හැසිරීම මගින් ආපදාවට ලක්වූවන්ට හිරිහැරයක් සිදුවන්නේද යන්නත් විපතේදී එකමුතු වන ශ්‍රී ලංකාවාසීන් දෙවරක් සිතා බැලිය යුතු බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ඇතැමුන්ගේ මතයයි. බේරා ගැනීමේ සහ මළ සිරුරු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටද ජනතාවගේ ප්‍රණාමය පළ විය
පුපුරා නොගිය පොකුරු බෝම්බ ශ්‍රී ලංකා යුද බිමෙන් හමුවූ බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් පවසයි.
යුද්ධයේදී පොකුරු බෝම්බ යොදා නොගත් බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ පසුගිය මාසයේදී පිපිරීමකින් දරුවෙකු මියගිය ස්ථානය ආසන්නයේ තිබී පුපුරා නොගිය පොකුරු බෝම්බවල කොටස් හමුවූ බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ ඇලන් පොස්ටන් ඊමේල් පණිවුඩයක් මඟින් පවසයි. කෙසේ වුවද පොකුරු බෝම්බ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී යොදා නොගත් බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ. 2010 අගෝස්තු මාසයේ සිට බල පැවැත්වෙන ජාත්‍යන්තර සම්මුතියකට අනුව පොකුරු බෝම්බ යොදාගැනීම තහනම්කොට තිබෙන නමුත්, ශ්‍රී ලංකාව, චීනය, රුසියාව, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම සම්මුතියට අත්සන් තබා නැත. නිසි පරිදි යොදා ගන්නේනම් පොකුරු බෝම්බ නීත්‍යානුකුල යුද අවියක් බව එක්සත් ජනපදයේ තර්කයයි. 'ප්‍රථම සාක්ෂිය' ශ්‍රී ලංකා හමුදාව පොකුරු බෝම්බ භාවිත කළ බව‍ට යුද්ධය අවසානවීමෙන් අනතුරුව බොහෝ සාමාන්‍ය වැසියන්ගෙන් චෝදනා එල්ල වූ බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, කෙසේ වුවද එම චෝදනා සනාථ කෙරෙන ආකාරයේ සාක්ෂි හමුවූ ප්‍රථම වතාව මෙය බවත් පෙන්වා දෙයි. පොකුරු බෝම්බ හමුවූ බව පවසමින් ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික උපදේශක ඇලන් පොස්ටන් විසින් යවන ලද ඊමේල් පණිවුඩයේ පිටපතක් තමන්ට ලැබී ඇති බවයි, ඒපී පුවත් සේවය ඊයේ කියාසිටියේ. උතුරු ශ්‍රී ලංකාවේ පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී පුපුරා නොගිය කුඩා බෝම්බ හමු වූ බව එම පණිවුඩයේ සඳහන්වේ. පොකුරු බෝම්බ ප්‍රහාරයකදී විශාල ප්‍රදේශයක් පුරා කුඩා බෝම්බ විසිර යන අතර, පිපිරී නොගිය එවැනි බෝම්බ මඟින් වසර ගණනාවකට පසුවද සාමාන්‍ය වැසියන් මරුමුවට පත්වීමේ හෝ අතපය අහිමිවීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී, 2009 වර්ෂයේදී, දස දහස් ගණන් සාමාන්‍ය ජනතාව යුද්ධයට කොටුවී මියයන්නට ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. එහෙත් "පොකුරු බෝම්බ ගණයට වැටෙන කිසිම බෝම්බයක් යොදා නොගත්" බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දියාවේ නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.
නායකයෝ දෙදෙන අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. පුනරුත්ථාපන, නැවත පදීචි කිරීම්, සහ ප්‍රතිසංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සහ වත්මන් සමගි සන්ධාන ක්‍රියාදාමය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විස්තර කළ බවත් එහි සඳහන් වේ. නායකයන් දෙදෙනා දෙරටේ ධීවරයන්ගේ ප්‍රශ්නය සහ දෙරටේම ධීවරයන්ගේ අදහස් උදහස් සැළකිල්ලට ගනිමින් තිරසාර විසඳූමක් සෙවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි. ධීවරයන් අතර සාකච්ඡා සහ නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ රැස්වීම් අඛණ්ඩව සිදූ කළ යුතු බවටද නායකයන් දෙදෙන එකඟ වී ඇති බවත් නිවේදනයේ සඳහන් වේ. සාක් ව්‍යාපෘතීන්ගේ සාර්ථකත්වයට ඉන්දියාවේ නායකත්වය තීරණාත්මක බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සාක් ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙන යාමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කළේ.
ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අර්බුදය හේතුවෙන් කටාරයේ ජනතාව ආහාර සහ ජලය ගබඩා කරමින් සිටිති මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය "ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි. ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය. එහෙත් කටාරය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ගුවන් ගමන් අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ. අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ. විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති. රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය. විශේෂයෙන්ම කලාපයේ පැතිර යමින් පවතින රැඩිකල්වාදී ප්‍රවණතා මැඩපැවැත්වීම පිණිස ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා එහිදී මුස්ලිම් රටවලින් කළ ඉල්ලීම මගින් කටාරයට එරෙහිව පියවර ගැනීම පිණිස අසල්වැසි රටවල් දිරිමත් වූ හැඩක් දක්නට ලැබේ. මැදිහත්කරුවෙක් සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අරාබි රටවල් එහිදී කටාරය වෙත ඇඟිල්ල දිගු කළ බවත් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කරයි. කටාර් අර්බුදය: "ආහාර හිඟයක් නැහැ" මේ අතර නවසීලන්තයේදී ප්‍රකාශයක් කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මතු වී තිබෙන ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තුවන බව සඳහන් කළේය. "ඔවුන් අතර තිබෙන ගැටළු සාකච්ඡා මේසයට වාඩි වෙලා විසඳා ගන්න කියල අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා," ඔහු පැවසීය. අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව කටාරය පවසන අතර, ඒ සඳහා මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියා කිරීමට කුවේටය ඉදිරිපත් වී සිටියි. අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස කුවේටයේ එමීර්වරයා සවුදි අරාබිය වෙත සංචාරය කළේය. අසල්වැසි රටවල ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් නැතත්, ඔවුන් සිය රටේ කටයුතුවලට "ඇඟිලි ගැසීම" පිළිබඳව සතුටක් නොමැති බව කටාරයේ විදේශ අමාත්‍යවරයා අල් ජසීරා රූපවාහිනියට පැවසීය. එමෙන්ම කටාරය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ජනාධිපති ට්‍රම්ප් ගේ මැද පෙරදිග සංචාරයේදී ඔහුට පෙන්වාදුන් බව විදේශ ඇමතිවරයා බීබීසී යට පැවසීය. ඉරානය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ කටාරයේ ප්‍රතිපත්තිය වැරදි නොවන බවත් ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ සිකුරාදා සවස් යාමයේ මුළු අගනුවර පුරාම දක්නට ලැබුනේ පාළු ස්වභාවයක්.
ජනතා බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව සමත් වේවිද? සියලුම කඩ සාප්පු වසා දමා තිබුණු අතර, මගේ ජංගම දුරකතනයට ‘රීලෝඩ් එකක්’ දමා ගැනීම පිණිසත් මට බොහෝ දුර ගෙවා යාමට සිදුවිය. ජනතාව පමණක් නොව කිසිම වීථියක පොලිස් නිලධාරියෙක් පවා දක්නට ලැබුනේ නැහැ. මා සමඟ සිටි මාධ්‍යවේදී ජයසිරි ජයසේකර ඒ සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාව පුරා පැවති වාතාවරණය විග්‍රහ කළේ 'ඇඳිරි නීතිය පැනවූවා හා සමාන' වාතාවරණයක් ලෙසින්. පෙර දින මුළු රාත්‍රියම රූපවාහිනී තිරවලට දෑස් යොමාගෙන උනන්දුවෙන් මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටි ජනතාව සවස් යාමයේ නින්දට යාම මේ අසාමාන්‍ය නිශ්චලත්වයට ප්‍රධාන හේතුව ලෙසිනුයි මට දක්නට ලැබුණේ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ජනතාව තුල පැවති බිය එයට තවත් හේතුවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මා සමඟ පැවසීය. නව බලාපොරොත්තු ජනශූන්‍ය, වාහනවලින් තොර මාර්ග ඔස්සේ ගල්කිස්සේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය කරා ගමන් කිරීම අන් බොහෝ දිනවලට වඩා පහසු වූයේ වෙනත් දිනවල පවතින මාර්ග තදබදය නිසා දිගු වේලාවක් ගතවන ඒ ගමන විනාඩි තිහක් වැනි කාලයකින් නිමා වූ නිසා. මහ සෙනග පීරා ගෙන අපි නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට ඇතුළු වූයේ ඉතාමත් අපහසුවෙන් එහෙත් නිදහස් චතුරශ්‍රයට ළඟාවන විට එහි පැවතියේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයක්. බස් රථ, මෝටර් රථ, යතුරු පැදිවල නැගි සිය ගණනක් පිරිස් කොළ සහ නිල් පැහැති කොඩි වනමින් ඒ අසල වීදි සංචාරය කළේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සවුදිය පුරමින්. ඉන් අනතුරුව පොරකමින් සිටි මහ සෙනග පීරා ගෙන නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට මා ඇතුළු වූයේ ඉතාමත් අපහසුවෙන්. එහි ඇතුළු වූ පසුවත් අසාම් අමීන්, යෝගිතා ලිමායේ ඇතුළු සමස්ත බීබීසී කණ්ඩායමට නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවේ සමීප දසුන් දැකගැනීමට හැකි වූයේ නැහැ. ඒ එහි රැදී සිටි දහස් සංඛ්‍යාත සෙනඟ පීරා යාම ඉතා අසීරු වීම නිසා. ශ්‍රී ලංකා ජනපතිවරණ ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දෙද්දී නිදහස් චතුරශ්‍රයේ රැස්ව සිටි මහජනකාය ප්‍රීතිඝෝෂා නැගුවේ නව යුගයක උදාව පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව සනිටුහන් කරමින්. ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව සමත් වේවිද? ඔවුන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය එයයි.
පසුගිය විසි වෙනි දින අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව සිදු කෙරුණ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නවයක් අද බ්‍රහස්පතින්දා වන විට වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඌව පළාත් සභා මැතිවරණයට පසු සිදු කරනු ලැබ ඇති ප්‍රචණ්ඩ පහර දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කාර්යයේ නිරත වෙන ප්‍රධාන සංවිධාන තුන වන CMEV, CAFFE සහ PAFFREL ආයතන ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විපක්ෂයේ දේශපාලනඥයන්, ඔවුන්ගේ ආධාරකරුවන් සහ දේපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කොට ඇති බවයි. රාජ්‍ය බලය යොදා ගනිමින් ඇමති ඩිලාන් පෙරේරා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක බීබීසී සංදේශයට අදහස් දක්වමින්, සමස්ත පූර්ව මැතිවරණ සමය පුරාම ප්‍රචණ්ඩත්වය පමණක් නොව රාජ්‍ය බලයත් යොදා ගත් දේශපාලන කණ්ඩායම් පශ්චාත් මැතිවරණ සමයේත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉලක්ක කොට පහර දී ඇති බව සිය නිරීක්ෂකයන් විසින් වාර්තා කරනු ලැබ ඇති බවයි කියා සිටියේ. ඌව පළාතේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබන ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගෙන් එක් අයකු වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඇමතිවරයා හාලිඇල ආසනයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම් අතර සිටි බව එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා CMEV ආයතනයට දැනුම් දී ඇති බව මැතිවරණ නිරීක්ෂක ආයතන වල ඒකාබද්ධ ප්‍රකාශනයේ දැක්වෙයි. ‘ගුටි කන්නේ නැහැ’ එම චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සංදේශය ඩිලාන් පෙරේරා ඇමතිවරයාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, මැතිවරණ නිරීක්ෂක සංවිධාන එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් හැටියට ක්‍රියාත්මක වෙන බවයි. තමා කිසිදාක පූර්ව හෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හවුල් වී නැති බව කියා සිටි ඇමතිවරයා ‘අපි කාටවත් ගහන්නෙත් නැහැ - හැබැයි ගහන්න ආවොත් ගුටි කන්නෙත් නැහැ’ යි කියමින් සාකච්ඡාව නිම කළේය. මෙවර ඌව පළාත් සභා මැතිවරණය ‘සාපේක්ෂ මට්ටමින්’ සාර්ථක ආකාරයට පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා උත්සාහ ගත් නමුත් පොලිසියෙන් ඉල්ලා සිටි සහයෝගයවත් නොලැබුන බවයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක බීබීසී සංදේශයට කියා සිටියේ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලේඛනගත කිරීමේ සහ වාර්තා කිරීමේ සුපුරුදු ක්‍රියාදාමයෙන් ඔබ්බට යමින් ප්‍රචණ්ඩ කියාවලට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට සූදානම් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
එජාප ආධාරකරුවන්ට එරෙහිව වෙඩි තැබීම් හතරක්. 'ඇසින් දුටු සාක්ෂි පවා තිබුණත් ප්‍රශ්න කිරීමක් පවා සිදු වී නැහැ' - කැෆේ ඒ වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීමට බදාදා නිරීක්ෂකයන් සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය එකඟ වූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ සංවිධානය) රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය. "අපි ඒ ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යන්නට වෘත්තීය සමිති ගණනාවක්, ක්‍රියාධරයන්, සිවිල් සංවිධාන අද පොදු එකඟතාවයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ඇතිකර ගත්තා," යනුවෙන්ද ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. නීතිඥ සංගමය සතුව ඒ සඳහා ප්‍රතිපාදන තිබෙන අතර, මීට ඉහතදී වැලිවේරිය ප්‍රදේශවාසීන් වෙනුවෙන් නීතිඥ සංගමය මේ අයුරින් මැදිහත් වී තිබෙන බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සිහිපත් කළේය. 'සටන' වැඩසටහන ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමටත් පෙරාතුව ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොව මාධ්‍ය වාරණයක් ද දියත් කොට තිබෙන බවට බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම පියෝ ටීවී, සහ ඩයලොග් රූපවාහිනිය පසුගිය සෙනසුරාදා සිරස නාලිකාවේ 'සටන' වැඩසටහන විකාශනයට බාධා කිරීම පැහැදිලි ලෙසින්ම මාධ්‍ය වාරණයක් බවයි කැෆේ සංවිධානය පවසන්නේ. සටන වැඩසටහන 'වාරණය කිරීමට' එරෙහිව මැතිවරණ දෙපාර්තමේන්තුවට බොහෝ පැමිණිලි ලැබී තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් දක්වා තිබෙන ප්‍රතිචාරය 'හාස්‍යජනක' බවද කැෆේ සංවිධානයේ ප්‍රකාශකයා සංදේශයට පැවසීය. එහෙත් එම වැඩසටහනට බාධා කළ බවට කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ලැබී නැති බවයි, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙසින් නම්කරනු ලැබීමෙන් අනතුරුව බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා හයක් වාර්තා වී තිබෙන බවද කැෆේ සංවිධානය පවසයි. ප්‍රචණ්ඩ ක්‍රියා හයක් ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මග්ගොන ප්‍රාදේශීය සභා සභාපති චමිල රණසිංහට වෙඩි තබා බරපතල තුවාල කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හතරක්ම ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් බවද රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය. මාදම්පේ සහ මාදම්පේ මැදගම ප්‍රදේශයේදීත්, හාරිස්පත්තුවේදීත් එජාප ආධාරකරුවන්ට තවත් වෙඩි තැබීම් තුනක් සිදු වී තිබේ. මේ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන, ඡායාරූප සහ ඇසින් දුටු සාක්ෂි ඇතුළු බොහෝ සාක්ෂි තිබෙන නමුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් මතු නොව ප්‍රශ්න කිරීමක් පවා සිදු වී නොමැති බවද කැෆේ සංවිධානය පවසයි. එම චෝදනාව පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
“අනාගතයේ හොඳ කාලයක්” උදා කරන බව භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අන්තර් ජාලයට නිකුත් කළ පණිවිඩයකින් කියා සිටියි.
මෙතෙක් නිකුත් ව ඇති ප්‍රතිඵල වලට අනුව භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් මැතිවරණයට තරඟ කළ විපක්ෂ සන්ධානයට අති විශාල ජයග්‍රහණයක් හිමි ව ඇත. ආසන 272 කට වැඩි සංඛ්‍යාවක් තනි ව දිනා ගැනීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂයට ඇති බවයි නිල නොවන වාර්තා මගින් ප්‍රකාශ වන්නේ. මේ අනුව අනිකුත් පක්ෂ වල සහයක් නො ලබා තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ද භාරතීය ජනතා පක්ෂයට හිමි වෙනු ඇත. ජයග්‍රහණය සැමරීමට සුදානම් වන භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානය සැණකෙළියක සිරි ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මහා මැතිවරණයෙන් තම පක්ෂය පරාජයට පත් වූ බව දස වසරක් පුරා ඉන්දියාව පාලනය කල කොංග්‍රස් පක්ෂය පිළිගත්තේ ය. “නිහතමානී ව ජනතා තීන්දුව පිළිගන්නවා” යැයි කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රකාශක ශකීල් අහමඩ් කියා සිටියේ ය. ඉන්දීය ලොක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල අද සවස වන විට නිකුත් වීමට නියමිතයි. භාරතීය ජනතා පක්‍ෂයේ අති විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයත් සමඟ මෙයින් ස්වල්ප වෙලාවකට පෙර එහි නායක නරේන්ද්‍ර මෝඩිට දුරකතනයෙන් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉන්දියාවේ නව නායකයාට ශුභ පතමින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ආරාධනයක් ද කළේය.
හමුදා පුහුණුවකදී විදුහල්පතිවරයකු මියයාම සම්බන්ධයෙන් රජය වග කිව යුතු බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.
විදුහල්පතිවරුන්ටත්, විදුහල්පතිවරියන්ටත් හමුදා නිල ප්‍රදානයේ පුරෝගාමියා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවති හමුදා පුහුණුවකට සහභාගි වී සිටියදී මියගිය රද්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පතිවරයා නීත්‍යානුකූල වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇතිදැයි ගැටළුවක් මතුවන බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. කපිතාන් ධුර ප්‍රදානය සඳහා නියමිත නායකත්ව පුහුණුවකදී විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික‍්‍රමසිංහ හෘදයාබාධයකින් ඉරිදා උදෑසන මියගොස් ඇති බවයි හසලක පොලිසිය සඳහන් කළේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටි පරිදි මියගිය පනස් දෙහැවිරිදි ‘විදුහල්පතිවරයා විසින් ම ලබා දුන් වෛද්‍ය සහතිකයකින්’ පමණක් පුහුණු කරුවන් සෑහීමකට පත්ව තිබේ. “ඒ පරීක්ෂණය පවත්වන්න ඕනෑ හමුදා නිලධාරීන්. එහෙම නැතිව විදුහල්පති වරයා දුන් සහතිකයට පුහුණුව ලබා දුන්නා කියා මග හරින්න ලැහැස්ති වෙනවා නම් සම්පූර්ණයෙන් වැරදියි,” සඳහන් කළ ඔහු, පුහුණුව පැවැත්වෙද්දී වෛද්‍ය වරයකු කඳවුරේ නොසිටි බවටද චෝදනා කළේය. පනත් උල්ලංඝනයක් තිස් වියට අඩු පිරිස් හමුදා භට පුහුණුවේ යෙදවීම මිනිස් බල උපයෝගිතා පනත උල්ලංඝනය කිරීමක් බවද පවසන ලංකා ගුරු සංගම් ප්‍රධාන ලේකම් වරයා විදුහල්පති වරුනට හමුදා නිල ප්‍රදානයත් ඒ සඳහා හමුදා පුහුණුව ලබා දීමත් වහාම අත් හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී. හමුදා නිල අපේක්ෂාවෙන් පුහුණුව ලබන විදුහල්පතිවරුන්ගේ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශකගෙන් දුරකතනයෙන් විමසීමට අප ගත උත්සාහය සාර්ථක වූයේ නැහැ. විදුහල්පතිවරුන්ටත්, විදුහල්පතිවරියන්ටත් හමුදා නිල ප්‍රදානය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කැරුණේ ඉකුත් වසරේ ඔක්තෝබරයේදී.
තායිලන්තයේ පාලනය හමුදාවට පවරා ගත් බව තායිලන්ත හමුදාපතිවරයා නිවේදනය කරයි.
තායිලන්ත දේශපාලනඥයන් රැස්වී සාකච්ඡා පවත්වන ස්ථානය හමුදා භටයන් වටලා ඇති බව වාර්තා වෙයි. රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් තායිලන්ත හමුදාපතිවරයා කියා සිටියේ රටේ නීතිය ස්ථාපනය කර දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පියවර ගන්නා බවයි. රූපවාහිනිය ඔස්සේ නිවේදනය නිකුත් කරමින් තායිලන්ත දේශපාලනඥයන් රැස්වී සාකච්ඡා පවත්වන ස්ථානය හමුදා භටයන් වටලා ඇති බවයි අලුත්ම වාර්තා සඳහන් කරන්නේ. තායිලන්ත හමුදාපතිවරයා විසින් රට පුරා හමුදා නීතිය (martial law) පනවනු ලැබුවේ පසුගිය අඟහරුවාදා යි. බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ චෝදනා මත තායිලන්ත අධිකරණය විසින් මේ මස මුලදී තායිලන්ත අගමැතිවරිය තනතුරින් ඉවත් කරනු ලැබිණි.
ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් සඳහා කෝටා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවත් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කරණ වෛද්‍ය නලින්ද විශ්වවිද්‍යාල ආචාර්යවරු, විනිසුරන්, පරිපාලන සේවය සහ ආරක්ෂක සේවයේ නිරත වෘත්තිකයන් සඳහා ඔවුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කළ හැකි කෝටාවක් ලබා දී ඇති බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ. "වෛද්‍යවරුන්ට තමයි කුඩම්මාගේ සැලකිල්ලක් සිද්ධ වෙලා තිබෙන්නේ," ඔහු කියා සිටියේ වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස සිය සංගමය කරන ඉල්ලීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී. "අපි ඒ අයට මැතිවරණ වලදී සහාය නොදක්වපු බවත් සහාය දක්වපු අයට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඒ පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ කියවුනා. ඒක නොගැළපෙන ප්‍රකාශයක් හැටියට අපි දකිනවා." 'ඇමතිගෙන් පොරොන්දුවක්' 'වෛද්‍යවරුන්ට තමයි කුඩම්මාගේ සැලකිල්ලක් සිද්ධ වෙලා තිබෙන්නේ.' කෙසේ වෙතත් සිය ඉල්ලීමට සතියක් ඇතුළත සාධාරණ විසඳුමක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පොරොන්දුවක් ලබා දී ඇති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරනු ලබන ඉල්ලීම ලංකා ගුරු සංගමය තරයේ හෙලා දකියි. එවැනි කෝටාවක් ලබාදීමෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදු වන බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට කියා සිටියේ. එහෙත් එම විරෝධය පිළිබඳව ප්‍රතිචාර දක්වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට විරෝධය පළ නොකොට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමේ අයිතිය වෙනුවෙන් ගුරු සංගම් පෙළ ගැසිය යුතු බවයි. 'මුදලට පාසල්' ජනප්‍රිය පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ඒ වටා ව්‍යාපාරයක් බිහි වී ඇති බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. "මෙතෙක් කල් ලංකා ඉතිහාසයේ ඕනෑම ගුරුවරයකුට, ගුරුවරියකට හැකියාව තිබුණා තමන් සේවය කරන පාසලට තමන්ගේ දරුවා ඇතුළු කර ගන්න. නමුත් අද ඒ තත්වය අහිමි වෙලා තිබෙනවා. ඊට එරෙහිව සටන් කරලා ඔවුන් ඒ ඉල්ලීම දිනා ගත යුතුයි," වෛද්‍ය නලින්ද හේරත් පැවසීය. ගුරු වෘත්තියට අදාළ අයිතීන් දිනා ගැනීම සඳහා හඬ නගනවා වෙනුවට ආණ්ඩුවට පක්ෂ ඇතැම් ගුරු සංගම් සිය ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බවත් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේය. ජනප්‍රිය පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ඒ වටා ව්‍යාපාරයක් බිහි වී ඇති බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. කොළඹ ඉහළ පෙළ පිරිමි සහ කාන්තා පාසල් දෙකකට දරුවන් ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ජාලයක් ක්‍රියාත්මක වන බව තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි වෛද්‍ය නලින්ද හේරත් පවසන්නේ.
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයෙන් එක් සීකා රෝගියකු හෝ වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.
'සීකා' වෛරසයේ බලපෑමෙන් මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරු උපත් දහස් ගණනක් වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං ඒ බව කියා සිටියේ කොළඹ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරයේ ආරම්භක දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කෙසේ වෙතත් සීකා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇය සඳහන් කළාය. අප්‍රිකාවේ සහ ආසියාවේ කලාප රැසක පැතිරෙමින් පවතින සීකා වෛරසය පුද්ගලයන් කෝටි දෙසීයකට වැළඳීමේ තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍යයේ ලාන්සෙට් (The Lancet) විද්‍යා සඟරාවේ පසුගියදා පළ විය. 'මැලේරියාවෙන් නිදහස්' ඉන්දියාව, ඉන්දුනීසියාව සහ නයිජීරියාව යන රටවල සීකා වෛරසය පහසුවෙන් පැතිරීමට ඉඩකඩ පවතින බව නව සමීක්ෂණ වලින් හෙළි වී ඇති බවත් එහි සඳහන් විය. මේ අතර ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පුර්ණයෙන් තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් අද දින සහතික කරනු ලැබිණ. 'මේක ශ්‍රී ලංකාව ලද විශිෂ්ට ජයග්‍රහණයක්. විසි වන සියවසේ මැද භාගය වන විටත් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් දැඩිව පීඩා විඳි රටක්. නමුත් දැන් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස්' ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං කියා සිටියාය. සමුළුව දින පහක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා කලාපයේ සෞඛ්‍යය අමාත්‍යවරුන් ඇතුළු විදේශීය සෞඛ්‍යය බලධාරීන් 200 දෙනෙක් සහභාගී වී සිටිති.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ යුද අපරාධ පිළිබඳ ඇමෙරිකානු තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝණ ඇසින් දුටු සාක්ෂිකරුවන් හමු වී සාකච්ඡා පැවැත්වූ බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
"නීතියේ ආධිපත්‍යය රජයන, එක්සත් වූ රටක් ලෙස ඉදිරියට යාම වැදගත්" ස්ටීවන් ජේ රැප් ගේ පස් දින ශ්‍රී ලංකා සංචාරය අවසානයේ නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය, යුද ගැටුම්වල අවසාන සමයේ සිදු වූ උල්ලංඝණ පිළිබඳ ඇසින් දුටු සාක්ෂිවලටද සවන් දීමට ඔහුට අවස්ථාව ලැබුණු බවද පවසයි. අදාළ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණ පවත්වා සත්‍යය හෙළිදරව් කර ගන්නා ලෙසත්, අදාළ අවස්ථාවලදී වැරදි කරුවන්ට දඬුවම කරන ලෙසත් එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සඳහන්. 'ප්‍රගතියක් නෑ' ඉදිරි මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් කරන බව තානාපති රැප් දෙමළ ජාතික සන්ධානයට පවසා තිබේ. ජාතික සංහිඳියාව සහ වගකීම් සහගත බව පිළිබඳ ව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අපොහොසත් වීම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවලියක් ගෙන ඒමට අනුග්‍රහය දක්වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව පසුගිය සතියේ සංදේශයට කියා සිටියාය. මාර්තු මාසයට පෙර විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සලකා බැලීමට සිදු වනු ඇති බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද මීට ඉහතදී අනතුරු ඇඟවූහ. එහෙත් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, එවැනි පරීක්ෂා සඳහා තවත් කාලය අවශ්‍ය බව ප්‍රකාශ කරයි.
ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එක්වීම සඳහා 2015 දී ලන්ඩන් නුවර සිට සිරියාවට පලා ගිය 19 හැවිදිරි ශමීමා බෙගම්, බංග්ලාදේශයට පැමිණියහොත් "ත්‍රස්තවාදයට හවුල් වීම යටතේ මරණ දණ්ඩනයට යටත් කළ හැකි" බව එරට විදේශ ඇමතිවරයා පවසයි.
ඉස්ලාමීය සංවිධානයට බඳවා ගෙන ඇත්තේ "මනස සේදීමෙන් (brainwashed)" වන අතර තමන් "සිදු කළ සියල්ල ගැන පසුතැවෙන" බව ඇය පවසයි බංග්ලාදේශයට ඇය සමග "කිසිදු සම්බන්ධතාවක් නොමැති" බව ද අමාත්‍ය අබ්දුල් මෝමන් (Abdul Momen) පැවසීය. සිරියාවේ සරණාගත කඳවුරක දිවිගෙවන ඇය පසුගිය පෙබරවාරි මස නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමැත්ත පළ කළාය. පසුව ඒ සඳහා ඉල්ලීමක් ද කළ නමුත් බ්‍රිතාන්‍ය රජය ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට පියවර ගන්නා ලදි. බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් සජිඩ් ජාවිඩ් කියා සිටියේ "යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්" එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්විය හැකි බවය. නමුත් ඇයගේ නීතීඥ තස්නිමේ අකුන්ජී පැවසුවේ බ්‍රිතාන්‍ය ස්වදේශී කටයුතු අමාත්‍යංශ තීරණයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවය. කෙසේනමුත්, ශමීමාගේ මව බංගලාදේශ ජාතිකයෙක් වීම හේතුවෙන් ඇයට බංගලාදේශ පුරවැසිභාවය ලබා ගත හැකි බවට නීති විශේෂඥ මත ඉදිරිපත් විය. ජාත්‍යන්තර නීතිය අනුව, යම් පුද්ගලයෙකුගේ පුරවැසිභාවය අහිමි කර ඔහු හෝ ඇය කිසිදු රටක පුරවැසිභාවයක් හිමි නැති කෙනෙකු බවට පත් කිරීම නීතිවිරෝධීය. 15 හැවිරිදි වියේ දී ඇය වාසය කළේ ලන්ඩන් නුවර බෙත්නල් ග්‍රීන් ප්‍රදේශයේය "ශමීමා බේගම් කොහෙත්ම බංගලාදේශයේ ප්‍රශ්නයක් නෙමෙයි" යැයි නීතීඥ තස්නිම් අකුන්ජි පැවසීය. "ඇය කවදාවත් බංගලාදේශයේ පුරවැසිභාවය ඉල්ලා නැහැ. ඇයගේ දෙමාපියන් බ්‍රිතාන්‍ය පුරවැසියන්." "ඇය ගැන වගකීම ඇත්තේ බ්‍රිතාන්‍ය රජයට. ඔවුන් ඇය සමග කටයුතු කරන්න ඕනේ," ඔහු පැවසුවේය. ඇය බංගලාදේශයට ගියහොත් ත්‍රස්තවාදයට එරෙහිව එරට පවතින දැඩි නීතිවලට යටත් වීමට සිදු වනු ඇතැයි නීතීඥවරයා තවදුරටත් පැවසුවේය. "බංගලාදේශයේ නීතිය හරිම පැහැදිලියි. ත්‍රස්තවාදීන්ට මරණ දඬුවමට මුහුණ දෙන්න වෙනවා," ඔහු පැවසීය. ශමීමා සිරියාවට පළා ගියත්, ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ බව මේ වන තෙක් ඇය පිළිගෙන නොමැත. "බ්‍රිතාන්‍ය පුරවැසිභාවය නැති කිරීමෙන් සජිඩ් ජාවිඩ් සිදු කර ඇත්තේ ඇයව කුණු ගොඩට විසි කිරීමක්. අපේ ප්‍රශ්න වෙනත් රටවල්වලට විසි කිරීමක්," නීතීඥ තස්නිම් අකුන්ජී පැවසුවේය. කවුද මේ ශමීමා? මේ අතර, බංගලාදේශ විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබා නොදෙන අතර තමන් මුලින් සිදු කළ ප්‍රකාශයන්ට අමතර කරුණු එක් නොකරන බව ද බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශ බීබීසී වෙත පැවසීය. සිය මිතුරියන් දෙදෙනෙකු සමග සිරියාවට පලා යද්දී ශමීමා පාසල් ශිෂ්‍යාවක් වූවාය. එම මිතුරියන් දෙදෙනා බෝම්බ ප්‍රහාරයකට හසු වී සිරියාවේ දී මරණයට පත් වූ බවද ශමීමා බෙගම් පවසන්නීය. ඇය සිරියාවට ඇතුළුවීමෙන් පසු රකා නුවරට ගොස් තිබේ. ඉස්ලාමීය සටන්කරුවන් විවාහ කර ගැනීම සඳහා පැමිණි තවත් ගැහැණු ළමුන් තමා රැඳී සිටි නිවසේ සිටි බව ශමීමා ප්‍රකාශ කළාය. "ඉංග්‍රීසි කතා කරන වයස අවුරුදු 20ත් 25ත් අතර සටන්කරුවෙක් විවාහ කර ගැනීම සඳහා මම ඉල්ලීමක් කළා," ඇය පැවසුවාය. දින 10කට පසුව ඇය විවාහ වී ඇත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන සිටි ඕලන්ද ජාතිකයෙකු සමඟය. එවක් පටන් ඔහු සමඟ ඇය ජීවත් වී ඇත්තේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේය. එම ප්‍රදේශයේ පාලන බලය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් ගිලිහී යද්දී මෙම යුවළ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත. ඇයගේ සැමියා සිරියානු සටන් කණ්ඩායමකට යටත්වීමෙන් අනතුරුව ඇය සරණාගත කඳවුරකට පැමිණ තිබේ. කඳවුරේ සිටිද්දී පෙබරවාරි මස ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට ඇය හමු වී තිබේ. ඒ වන විට ඇය ගැබිණියකව සිටි අතර දරුවා ප්‍රසූත කිරීම සඳහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බව ටයිම්ස් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී පැවසීය. බ්‍රිතාන්‍ය රජය ඇයගේ ඉල්ලීමට එරෙහිව දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය. එමෙන්ම, ශමීමාගේ ඉල්ලීමට එරෙහිව බ්‍රිතාන්‍යවාසීන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි මත පළ කර තිබිණ. බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට තමන් "නොපැකිළෙන" බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා මීට ඉහතදී පැවසීය. "ඇය නැවත පැමිණියොත් ප්‍රතිවිපාක විඳින්න වෙයි," ලේකම්වරයා තවදුරටත් පැවසුවේය. ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් තමාගේ "මොළය සේදූ (brainwashed)" අතර තමන් "සිදු කළ සියල්ල ගැන පසුතැවෙන" බව ඇය කියා සිටියාය. කෙසේනමුත්, සිරියාවට පලා යෑම සහ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එක්වීම පිළිබඳ පසුතැවිලි නොවන බව ද ඇය ප්‍රකාශ කරන්නීය. කඳවුර තුළ සිටියදීම පුතෙකු බිහිකළ ඇය ඔහුට 'ජරාහ්' ලෙස නම් තැබීය. නමුත් ඉපදී සති තුනකට අඩු කාලයක දී නියුමෝනියාව වැළඳීමෙන් ඔහු මිය ගියේය. මින් පෙර ද ඇයගේ දරුවන් දෙදෙනෙකු විවිධ හේතු නිසා මියගොස් ඇත.
ඉන්දියාවේ දිල්ලි අගනුවර දුම්රිය මාර්ගයක් මත සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි නව යොවුන් තරුණියන් දෙදෙනෙකක් මරුමුවට පත් වූහ.
දුම්රියක් ඉදිරියට ඇදෙමින් තිබියදී රේල් පීලි මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට නව යොවුන් වියේ පසුවන තරුණියන් කණ්ඩායමක් උත්සාහ කොට තිබේ. දුම්රිය තමන් ආසන්නයට පැමිණෙන විට ඒ අතර සිටි තරුණියන් දෙදෙනෙකු රේල් පීලි මතින් ඉවත් වීමට අපොහොසත් වී ඇති අතර දුම්රිය ඔවුන් මතින් ධාවනය වී ඇති බව පොලිසිය පැවසීය. ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුවන මරණ ඉන්දියාවෙන් විශාල වශයෙන් වාර්තා වේ. කානේගි මෙලන් විශ්ව විද්‍යාලය සහ ඉන්ද්‍රප්‍රස්ත තොරතුරු ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2014 - 2015 කාල සීමාව තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ මරණ 127 ක් ලොව පුරා වාර්තා වී ඇති අතර ඉන් මරණ 76 ක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජල මට්ටම ඉහළ ගිය ගංගාවක සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය ශිෂ්‍යයන් දෙදෙනෙකු පසුගිය වසරේදී මරුමුවට පත් විය. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් දහඅට වියැති තරුණියක් මුහුදේ ගිලී මරුමුවට පත් වීමත් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමේදී අනතුරු සිදු විය හැකි ස්ථාන පහළොවක් ප්‍රකාශයට පත් කිරීමට මුම්බායි පොලිසිය කටයුතු කළේය.
බන්ධනාගාරගත කෙරෙන දේශපාලනඥයන්ට වෙනත් සිරකරුවන්ට නොමැති විශේෂ වරප්‍රසාද හිමි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රශ්න කරයි.
අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධ විවාදය අතරතුර පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හෝ වරදකරුවන් වී බන්ධනාගාරගත කෙරෙන සියලුම දේශපාලනඥයන් බන්ධනාගාර රෝහලේ ඇඳන් මත සුවසේ පසුවන බවය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවමට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති රෝග විනිශ්චයන් නිවැරදි නොවන බවටත් ඇය චෝදනා කළාය. "අර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගහලා තියෙනවා සියලුම සිරකරුවන් මනුෂ්‍යයෝය කියලා. ඒක මකලා සියලු සල්ලි තියෙන සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා ගහ ගන්න" පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය. මේ අතර හිසට වෙඩි වැදීම හේතුවෙන් සැත්කම් කීපයකට භාජනය කෙරුණු සිය සහෝදරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති වෛද්‍ය වාර්තා, අවශ්‍ය ඕනෑම පුද්ගලයකුට පරික්ෂා කොට බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරිය දිලිනි සිල්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.
ලසිත් මාලිංගට එරෙහි චෝදනා පිළිබඳව පැවති විභාගයේදී තරග සංචාර කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු යැයි තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
පරීක්ෂණ මණ්ඩලය හමුවේ අද (ජුනි 27) පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. විමර්ශනයේ ප්‍රතිඵල අද සවස විශේෂයෙන් රැස්වූ විධායක කමිටුවට දැනුම් දෙන ලද අතර එහිදී මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම මීළඟ එක්දින තරග මුදලින් සියයට 50 ක දඩයක් ද පැනවිණි. කෙසේවෙතත්, අද දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය. තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව "දිගින් දිගටම උල්ලංඝනය කිරීම" සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව යන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මේ අතර, ලබන 30 වෙනිදා සහ ජුලි මස 02 වෙනිදා සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මෙසේය. උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, එල්. සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මදුශංක.
නන්දි නමැති අලි පැටවෙකු නවසිලන්ත රජය වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය රජය වෙත නියෝගයක් නිකුත් කළේය.
සංරක්ෂිත ඡායාරූපයක් අධිකරණය විසින් ඉහත කී නියෝගය නිකුත් කරනු ලැබුවේ ධර්මවිජය පදනම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. නන්දි නමැති අලි පැටවා නවසිලන්ත රජයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීන්දු කොට ඇති බව පෙත්සම්කාර සංවිධානය කියා සිටියි. අලි පැටවකු මවගෙන් වෙන් කොට හදිසියේ විදෙස් රටකට රැගෙන යෑම සත්ව හිංසාවක් මෙන්ම වනජීවී නීතිරීති උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. ඒ අනුව අලි පැටවා විදෙස් රටකට ගෙන යෑම තහනම් කොට නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පෙත්සම අඟහරුවාදා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ අදාළ කරුණ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් උපදෙස් ලබාගැනීම සඳහා කල් අවශ්‍ය වන බවයි. ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 27 වනදා යළි කැඳවන මෙන් නියම කළ අධිකරණය එදිනට රජයේ ස්ථාවරය පැහැදිලි කරන මෙන් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මරණයට පත් සංඛ්‍යාව තිහ දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව තවත් තිස් දෙනෙක් අතුරුදහන්ව සිටිති. මරණයට පත් අය අතර දරුවන් හය දෙනෙකු සහ කාන්තාවන් පහළොස් දෙනෙකු සිටින බව හමුදාව පවසයි. නාය යාමට හසුව මරණයට පත් අට දෙනෙකුගේ අවසන් කටයුතු අද (අප්‍රේල් 17) කොළොන්නාව පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි. කළු කොඩි අවමංගල්‍ය පෙරහැරේ ගමන් ගත් ප්‍රදේශවාසීහු බලධාරීන්ට සිය විරෝධය පළ කරමින් කළු කොඩි රැගෙන යනු දක්නට ලැබුණි. මීතොටමුල්ල කුණු කන්දට කුණු නොදමා එය වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස තමන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් වගකිවයුත්තන් ඊට ඇහුම්කන් නොදුන් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජුලි 24 වෙනිදා කැඳවන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.
ප්‍රහාරයක් නිසා හානි වූ කටුවාපිටිය දේවස්ථානය ඔහු මේ බව බීබීසී සිංහල සේවයට පැවසුවේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉදිරි කටයුතු ගැන විමසූ අවස්ථාවේදීය. ජුලි 24 වෙනිදා උදෑසන 10.30ට කමිටුවේ සාක්ෂි විමසීම අරඹන බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය. සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් විශේෂ කාරක සභාව ඉදිරියට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට ඉහතදී අවධාරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ ද ජුලි 24 වෙනිදා කාරක සභාව ඉදිරියට කැඳවා තිබේ. ඔවුන් මීට ඉහතදී ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියට කැඳවා තිබුණ ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔවුන් කැඳවීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් පැවතින. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි තවදුරටත් පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අගෝස්තු මස මුල් සතිය වන විට සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය. අප්‍රේල් 21 වෙනිදා දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගිය අතර තුවාල ලැබූ ගණන 500කට අධිකය. ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් කියවන්න: පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජුනි 07 වෙනි දින පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි. ඉන් අනතුරුව සතියකට වරක් අඟහරුවාදා දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීම ජූනි 11 වන දා නොපැවැත්විණ. දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් නොවිය යුතු බවත්, ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. කෙසේ වෙතත්, කතානායක කරු ජයසූරිය ජූනි මස 8 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී ඇති කර ගත් එකඟත්වයකට අනුව තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන බවය. "වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩ කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිලි අවබෝධයක් ඇති බව නිසැකය," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය. විශේෂ කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එවන ලද ලිපියක් කතානායක කරු ජයසූරිය වෙත යොමු කළ නමුත් කතානායකවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. එහෙත් ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කතානායක කරු ජයසූරිය කියා සිටියේ, අදාළ ලිපිය කාරක සභාවට විනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොවූ බවය. තවත් ලිපි:
ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජිනීවා නගරයේ පැවැත්වෙන බහු පාර්ශවීය සාකච්ඡාවන්හි මතවාදී බෙදීමක් උද්ගතව ඇතැයි ප්‍රංශ විදේශ ඇමතිවරයා පවසයි.
ජිනීවා සාකච්ඡාවන්හිදී ප්‍රංශ දූත මණ්ඩලයට නායකත්වය දෙනු ලබන්නේ,විදේශ ඇමති ලෝරාන් ෆබියු(Laurent Fabius)විසින්. ප්ලුටෝනියම් නිපදවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියකාරික මධ්‍යස්ථාන වසා දමන මෙන් කෙරෙන ඉල්ලීම්වලට එරෙහි වෙන ඉරානය ඔවුන් සතු අධි බලැති යුරේනියම් තොග උපයෝගී කර ගනිමින් පරමාණු බෝම්බයක් නිපදවිය නොහැකි බව කියා සිටින බවයි ප්‍රංශ විදේශ ඇමතිවරයා පවසන්නේ. ඉරානයෙන් කාල නියමයක් ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමති, අබ්බාස් අරාක්චි Abbas Araqchi) අවධාරණයෙන් කියා සිටියේ,සාකච්ඡා අද සෙනසුරාදා ,නිම කෙරෙන බවයි. අද දවස නිමාවේ ගිවිසුමකට ඒමට නොහැකි වුනොත්, ඉතිරි කාරණා සම්බන්ධයෙන් අනාගතයේදී සාකච්ඡා කිරීමට සිදු වෙන බවයි , ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමති, අබ්බාස් අරාක්චි පවසන්නේ. මීළඟ සාකච්ඡා වටය ඉදිරි සතිය හෝ දවස් දහයක් ඇතුළත යළි කැඳවිය හැකි බවයි, මේ අතර ඉරාන් විදේශ ඇමති ,මොහොමඩ් ජවාඩ් ෂාරිෆ් ප්‍රකාශ කළේ.
කුමන ආකාරයේ අභියෝග එල්ල වුවත් මේ වසර ඇතුළත යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බව අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
''මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්'' ඒ සඳහා කටයුතු කරනු වස් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි ප්‍රතිපත්තියකට පැමිණ ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ දොස්තර රන්ජිත් අතපත්තු වෙනුවෙන් බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ පැවති උපහාර උළෙලක් අමතමින්. රටේ සියලු ජනතාව නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින බව පැවැසූ අමාත්‍යවරයා රටේ ප්‍රධාන පක්ෂ දෙකම ව්‍යවස්ථා වෙනසක් සිදු කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇති බවයි සඳහන් කළේ. ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරන්න. එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරනවයි කියල. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 නොවැම්බර් මාසයේ අපිත් එක්ක දළදා මාලිගාවට ගිහිල්ලා දළදා හාමුදුරුවෝ ඉස්සරහ ප්‍රතිඥාවක් දුන්න අපි මේක වෙනස් කරනවයි කියලා.'' ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කිසියම් හෝ අයකුට ඒ සඳහා විරුද්ධව කටයුතු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය. 'රට ගිනි තියන්න' ''මුළු රටේම ජනතාව අද ඉල්ලනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ඕන කියලා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. එහෙනම් කවුද මේකට විරුද්ධ වෙන්නේ. මේකට සදාචාර සම්පන්න විදියට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කෙනෙකුට, මේ රට නැවත ඒකාධිපතිවාදයකට ගෙනිහිල්ලා, මේ රට ගිනි තියන්න මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්'' දේශීය අවශ්‍යතාවයන්ට සහ ජනතා අභිමතාර්ථයන්ට සරිලන ලෙස නව ව්‍යවස්ථාව සැකසෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ''අපි හදන ව්‍යවස්ථාව පරගැති ව්‍යවස්ථාවක් නොවෙයි. පළමු මාස තුනේ අපි කමිටුවක් පත් කරලා තියෙනවා. තමුන්නාන්සේලා සියලු දෙනාගේ අදහස් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. මේ රටේ ප්‍රභූවරුන්ට අවශ්‍ය විදියට නොවෙයි එක හදන්නේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ආශීර්වාදය තිබෙනවා'' නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් ඇති වී තිබෙන බවට පල වී ඇති වාර්තා බැහැර කරන බවත් අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියානු මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දිය යුත්තේ කවුරුන්ද යන්න තීන්දු කිරීමේ පක්ෂ සමුළුව බටහිර ඉන්දියාවේ ගෝවා (Goa) නගරයේදී ආරම්භ කෙරිණ.
හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ඉන්දීය දේශපාලනයේ දෙවැනි බලවත්ම පක්ෂයයි. හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ඉන්දීය දේශපාලනයේ දෙවැනි බලවත්ම පක්ෂයයි. ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන බලයේ සිටින වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා පක්ෂයට ශක්තිමත් නායකත්වයක් දිය හැකි නායකයා තෝරා ගැනීමයි, භාරතීය ජනතා පක්ෂ සමුළුවේ උත්සාහය වන්නේ නරේන්ද්‍ර මෝඩි (Narendra Modi)පක්ෂයට නායකත්වය දීම සඳහා සුදුසුම තැනැත්තා වන්නේද යන්න සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයන් අතර බෙදීමක් පවතින බවත් ගෝවේ නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. ආකර්ෂණීය නායකත්වයක් සහිත නරේන්ද්‍ර මෝඩි, ඉතා දිගුකලක් ගුජරාට ප්‍රාන්තයේ මහා ඇමති පදවිය දරන නමුත් ඔහු මතභේදයට ලක්ව සිටින නායකයෙක්. මහ ඇමති වරයාගේ ක්‍රියා කළාපය දෝෂ දර්ශනයට ලක් කරන විවේචකයන් කියා සිටින්නේ, ගුජරාට් ප්‍රාන්තයෙහි විශාල සංඛ්‍යාවක් මහජන ජීවිත විනාශ කෙරුණ, 2002 හින්දු සහ මුස්ලිම් ආගම්වාදී ගැටුම් නතර කිරීමට ඔහු පියවර නොගත් බවයි. නරේන්ද්‍ර මෝඩි, භාරතීය ජනතා පක්ෂයේ නායකයා හැටියට ගෝවා සමුළුවේදී තෝරා පත්කර ගනු ලැබුනොත්, ඔහු ලබන මහ මැතිවරණයේදී පක්ෂයේ නිල නොවන අගමැති ධූර අපේක්ෂකයා බවට පත්වෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ.
ඉරාන ජනාධිපතිවරණයෙන් හසන් රොහානි (Hassan Rouhani) ජයග්‍රහණය කිරීම එරට පුවත් පත් ශුභවාදී ලෙස වාර්තා කර තිබුණි.
මධ්‍යස්ත මතධාරියෙකු වන පූජක හසන් රොහානි ජනාධිපතිවරයා වශයෙන් පත්වීම ඉරාන පුවත් පත් කිහිපයක්ම හඳුන්වා තිබුනේ බලාපොරොත්තුව යළි කැඳවීමක් ලෙසිනි. මේ අතර තුර ජයග්‍රහණය සැමරීම සඳහා දසදහස් ගණනින් වීදිබට ජනතාව ටෙහෙරාන් අගනුවරට රොක්වී ප්‍රීති ඝෝෂා කරමින් සිටිති. තරඟ බිමේ සිටි බලසම්පන්න දේශපාලන චරිත සියල්ල අභිබවමින් පූජක හසන් රොහානි සියයට පනහකට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ. කෙසේ නමුත් වාර්තාකරුවන් සඳහන් කරන්නේ, ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකයන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තහනම් කිරීම තුලින් පෙනීයන්නේ අවසාන තීරණ ගැනීමේ බලය තව දුරටත් ආධ්‍යාත්මික නායක අල් ඛමෙනී අත පවතින බවයි.
ඉහළ යමින් තිබෙන ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා සම්මුතියකට පැමිණීමේ අරමුණින්, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය.
දේශගුණික විපර්යාස ජය ගැනීම සඳහා එක් වී කටයුතු කරන බවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ප්‍රතිඥා දී තිබේ රටවල් 147ක නායකයන් සමුළුව ඇමතීමට නියමිත අතර ඊට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන ද ප්‍රංශය බලා ගොස් තිබේ. කාබන් දහනය හේතුවෙන් මිහිතලයට විෂ වායු එක් වීම අවම කිරීම සඳහා සම්මුතියකට ළඟා වීමේ අරමුණින් රටවල් 195 ක නියෝජිතයන් එක් වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පැරිස් නුවර බලා පැමිණි ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි දේශගුණික විපර්යාස ජය ගැනීම සඳහා එක් වී කටයුතු කරන බවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ප්‍රතිඥා දී තිබේ. මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, දුගී රටවලට වඩා සංවර්ධිත රටවල් මිහිතලයට එක් කරන විෂ වායු වැඩි වශයෙන් කප්පාදු කළ යුතු බවයි. පැරිස් නුවර බලා පැමිණි ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.
වැලිපැන්න නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ.
කලහකාරී පිරිස් එල්ල කළ ප්‍රහාරයකින් මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොවිපළක මුරකරු ලෙස සේවය කළ දෙමළ ජාතිකයෙකු මරණයට පත්වී ඇති බවයි වැලිපැන්න සිට සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේ. එකසිය පනහකට අධික පිරිසක් පැමිණ නගරයේ කඩ සාප්පු දොළහකට පමණ පහර දී තිබෙන බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයට පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ අවට ගම්වාසීන් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. වෙඩි ශබ්ද මධ්‍යම රාත්‍රිය ආසන්නයේ වැලිපැන්න නගරය දෙසින් වෙඩි ශබ්ද ඇසුණු බව සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේය. ‘දිගින් දිගටම වෙඩි ශබ්ද ආවා. එතකොට අපිට ආරංචි වුනා ටවුමට ගිනි තියනවා කියලා. අපි ආරක්ෂක අංශ වලට දැනුම් දුන්නා. කිසිම වැඩක් වුනේ නැහැ. ගිනි තියාගන ඉදිරියට එනවා කියලා ආරංචි වුන නිසා අපේ ගමේ අය එතනට ගිහිල්ල තමයි නගරයේ ඉතුරු කඩ ටික බේරා ගත්තේ’ යයි පැවති තත්වය විස්තර කරමින් විදුහල්පතිවරයා සංදේශයට කියා සිටියේය. ‘අපි පණ බයේ හිටියේ මොකුත් කර ගන්න බැරුව අසරණ වෙලා. ළමයි ඔක්කොම ගොඩක් බය වෙලා හිටියා" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය. කලහකාරී පිරිස් අත ආයුධ තිබූ බව පවසන විදුහල්පතිවරයා, ඒ අවස්ථාවේ නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනා දෙනා කිසිවක් නොකළ බවටයි චෝදනා නගන්නේ. සමගියෙන් වැලිපැන්න නගරයේ ජීවත් වන සිංහල හා මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වූ පිරිසක් බව පවසන විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් මෙම ප්‍රහාරය එල්ල කළේ පිටතින් පැමිණි පිරිස් බව ප්‍රකාශ කළේය. වැලිපැන්න නගරයේ ගෙවල් කිහිපයක් ඇතුළු වෙළඳසැල් කිහිපයක් ගිනිබත් කර තිබෙන බව කියා සිටි විදුහල්පතිවරයා වෙළඳසැල් විසිහයකට පමණ පහර එල්ල කර තිබෙන බවත් එම හානියට පත් වෙළඳසැල් සමහරක් සිංහල ජාතිකයන්ට අයිති ඒවා බවත් පැවසීය. මේ මොහොත වන විට වැලිපැන්න නගරයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ. බේරුවල සහ අලුත්ගම ‍පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු අටේ සිට පැය හතරක් දක්වා තාවකාලිකව ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටයි එම තීරණය ගෙන තිබෙන්නේ. ඊයේ දිනයේ අලුත්ගම ඇතුළු අවට ගම්මාන වල සංචාරය කළ බීබීසී මාධ්‍යවේදීන්ට දැක ගත හැකි වූයේ වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටි බවයි.
සාම්පූර් ප්‍රදේශයේ අවතැන් වී සිටි පවුල් තුන්සීයක් පමණ යළි පදිංචි කරවනු ලැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
සාම්පුර් කරා ගිය දේශපාලන නායකයන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහභාගී වූ එම අවස්ථාවේ ජනතාව අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ යුද සමයේ ආරක්ෂක අංශ විසින් පවරා ගනු ලැබුන ඉඩම්වල අයිතිය ඒවායේ උරුමකරුවන්ට පැවරීමට පියවර ගන්නා බවයි. අද (22) සාම්පූර් යුද අනාථ පවුල් තුන්සීයකට පමණ ජනාධිපතිවරයා අතින් ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණ අතර එවැනි තවත් පවුල් පන්සීයක් පමණ මුත්තූර් ප්‍රදේශයේ ජීවත් වෙති. ජනාධිපතිවරයා කියා සිටියේ මෙම වර්ෂය අවසන් වීමට පෙර එම සියලුම පවුල් ඔවුන්ගේ මුල් ඉඩම්වල පදිංචි කරන බවයි. ජාත්‍යන්තර ආධාර ජාති ආගම් හෝ වෙනත් භේදයෙන් තොරව සියලුම ජන කණ්ඩායම් වලට සියලු සමාජ ඓතිවාසිකම් උරුම විය යුතු යයි කියා සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම සියලුම ජනතාවන්ට මේ රටේ අයිතියක් ඇති බවයි පෙන්වා දුන්නේ. ජාතීන් අතර සමගිය සහතික කිරීම තම පරමාර්ථය වන බව කියා සිටි ජනාධිපතිවරයා ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක් ආරම්භ කරන බවත් කියා සිටියේය. යලි පදිංචි කරන පවුල් වලට ආධාර සඳහා ප්‍රමාණවත් ජාත්‍යන්තර ආධාර ලැබී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනපතිට සවන් දෙන සාම්පූර් වැසියන් ‘යුරෝපා සංගමය නිවාස දහසක් හැදීමට ආධාර සපයා තිබෙනවා. ඒ වගේම, යුනිසෙෆ් ආයාතනය නිවාස එකසිය හතළිහකට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටිනවා’ ජනාධිපතිවරයා සඳහන් කරයි. පෞද්ගලික අවධානය එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණ අංශය මගින් ඩොලර් තුන් දහස් තුන්සීයක ආධාර සැපයෙන බව පවසන ජනාධිපති සිරිසේන ඉන්දියාව නිවාස ආධාර සපයන අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් දශ ලක්ෂයක ආධාර සැපයෙන බවයි කියා සිටියේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ උතුරු නැගෙනහිර නැවත පදිංචි කරවීම ගැන තමා පෞද්ගලිකවම සොයා බලන බවයි.
යුද්ධයේ අවසාන අදියරේ අත්අඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම් කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටියේ යයි තමන්ට පැමිණිලි ලැබුන බව එවකට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
"ඒ අපරාධ කරපුව ගැන මගේ ළඟ තොරතුරු තියෙනව. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරනවා" අමාත්‍ය සරත් ෆොන්සේකා ඒ බව සඳහන් කළේ, තමන් යුද මෙහෙයුම්වලට සම්බන්ධ නොවූ අතර එවකට යුද මෙහෙයුම් භාර සිටියේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා බවට ජනරාල් ජගත් ජයසූරිය මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමිනි. පසුගිය සතිය වන තුරුම බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා නගමින් ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරනු ලැබ තිබේ. "යුද පෙරමුණේ එයා සටන් මෙහෙයුවේ නෑ. නමුත් ඔහු යටතට පත්වෙනවා අත්අඩංගුවට ගන්නා අය වැනි පිරිස්. එවැනි අයට අදාළව යම් අපරාධ කරනවා කියල මට තොරතුරු ලැබුණා," යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ කොළඹ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි. "සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන" ජනරාල් ජගත් ජයසූරිය හමුදාපති පදවියට පත්වීමෙන් අනතුරුවත් "ඒ ක්‍රියා පිළිවෙත දිගටම ගිය," බව ද අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේය. සබැඳි යොමු: "ඒ අපරාධ කරපුව ගැන මගේ ළඟ තොරතුරු තියෙනව. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරනවා." යුද්ධය අවසාන වූ පසුව ජනරාල් ජගත් ජයසූරිය විසින් කරන ලද "අපරාධ" සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, එහි ආරම්භක පියවර ලෙස ඔහුගේ අධි සහායකවරයා ලෙස ක්‍රියා කළ ලුතිනන්වරයෙකු පවා අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් එම පරීක්ෂණය ආරම්භ කරන අවස්ථාවේම තමන් හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලද බව ද ෆීල්ඩ් මාෂල්වරයා පැවසීය. "ඔහු කළ අපරාධවලට එවක සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා, ඔවුන්ගේ ආශීර්වාදය ලැබුන බවත් මට තොරතුරු තියෙනව." යුද්ධයේ අවසන් අදියරේ දී බරපතල යුද අපරාධ සිදු කළ බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල වේ රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව 'ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය' සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එහෙත් "යුද්ධයේ දී ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ" බව බීබීසී සිංහල සේවයට කියා සිටි ජනරාල් ජගත් ජයසූරිය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. තවත් සබැඳි යොමු: භූමියේ භටපිරිස්වලට තමා අණදීමේ නොයෙදුණු හෙයින් තමාට එරෙහිව නගන චෝදනාවල පදනමක් නොමැති බව ද ජනරාල්වරයා අවධාරණය කරයි. යුද හමුදාව වරදක් කර නොමැති නම් චෝදනාවන්ට ලක්වූවන්ගේ නම් පිරිසිදු කෙරෙන ජාත්‍යන්තර විභාගයක් ප්‍රතික්ෂේප කරන්නේ මන් දැයි බීබීසී ය විමසූ විට "එම තීරණය ඉහළ මට්ටමින් ගත යුත්තක්" වන බව ජනරාල් ජයසූරිය සඳහන් කළේය. "එවැනි විභාගයකට මුහුණ දීම ප්‍රශ්නයක් නොවෙයි. සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන," ජනරාල්වරයා පවසයි.
බීබීසී දෙමළ සේවයේ ගුවන් විදුලි වැඩසටහන් වලට නොකඩවා සිදුකෙරුණු බාධා කිරීම් හමුවේ, බීබීසී ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවීමට බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂක පීටර් හොරොක්ස් තීරණය කොට තිබේ.
බීබීසී වැඩසටහන්වල විශ්වසනීයත්වයට හානි වන අන්දමින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බව බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා පවසයි මේ ආකාරයෙන් වැඩසටහන් අත්හිටුවීමට තීරණය කිරීම මගින් අසන්නන් වෙත ඇතිවන අපහසුතාවය පිළිබඳව තම කණගාටුව පළ කරන අතරේ, බීබීසී වැඩසටහන් ඉලක්ක කරමින් එම වැඩසටහන්වල විශ්වසනීයත්වයට හානි වන අන්දමින් කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. පසුගිය 16 සහ 18 වැනිදා මේ අන්දමින් බාධා කිරීම් සිදුවූ අවස්ථාවේදී, ඒ මගින් තමන් එළඹ ඇති ගිවිසුම උල්ලංඝනය කොට තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙත දන්වා සිටියත්, මාර්තු 25 වැනිදා යලිත් වරක් සිදුවූ බාධා කිරීම් හමුවේ තමන් වෙත ඉතිරි වූ එකම විසඳුම වැඩසටහන් අත්හිටුවීම බවයි, පීටර් හොරොක්ස් තවදුරටත් ප්‍රකාශ කරන්නේ. බීබීසී වැඩසටහන් වල අන්තර්ගතය පිළිබඳව යම් ගැටළු පැන නැගුනේ නම් කලින් එකඟව ඇති ආකාරයෙන් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකරමින්, බීබීසී වැඩසටහන් වලට බාධා කිරීම සඳහා පියවර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බවද, ඒ තුලින් තම අසන්නන් නොමඟ යැවීමට ඉඩ දිය නොහැකි බවද බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා පවසයි. මෙයට පෙර 2009 දී සිදුවූ මෙවැනි ආකාරයේ බාධා කිරීම් හමුවේ මේ ආකාරයේ පියවරක් ගැනීමට බීබීසී ආයතනය ක්‍රියා කළේය. බීබීසී වැඩසටහන් වලට තව දුරටත් කෙටි තරංග ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සවන් දීමට අසන්නන්ට හැකියාව තිබේ. සංදේශයට යලි සවන් දෙන්න අද අඟහරුවාදා සංදේශයට සවන් දීමට නොහැකි වූයේ නම් එයට සවන් දීම පිණිස ( ඉදිරි දින හත ඇතුලත) මේ අඩවියට පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/multimedia/2012/04/000001_tuesday_prog.shtml ෆේස්බුක් අඩවියෙන් www.facebook.com/BBCSinhala සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේත් දැන් ඔබට සංදේශයට සවන්දිය හැකියි. කෙටි තරංග ඔස්සේ බීබීසී සිංහල සේවය: කෙටි තරංග මීටර 49 හෙවත් කිලෝහර්ට්ස් 6135 (6135 kHz) කෙටි තරංග මීටර 31 හෙවත් කිලෝහර්ට්ස් 9615 (9615 kHz) කෙටි තරංග මීටර 41 හෙවත් කිලෝහර්ට්ස් 7699 (7699 kHz) බීබීසී දෙමළ සේවය: කෙටි තරංග මීටර 19 හෙවත් කිලෝහර්ට්ස් 15690 (15690 kHz) කෙටි තරංග මීටර 31 හෙවත් කිලෝහර්ට්ස් 9500 (9500 kHz) කෙටි තරංග මීටර 41 හෙවත් කිලෝහර්ට්ස් 7600 (7600 kHz)
එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහායද අපේක්ෂා කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ඉඟි කරන ලදැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
'යම් යම් තැන්වලදී අපිට සමාන්තරව ගමන් කරන්න සිද්ද වෙනවා' තවමත් නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවති නමුත් එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විරුද්ධ පක්ෂ වරින් වර නිල නොවන ආකාරයෙන් සාකච්ඡා පවත්වන බව සඳහන කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, රට බේරා ගැනීම විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල අරමුණ බවත් සඳහන් කළේය. "ඒ අරමුණේදී යම් තැන්වලදී අපිට සමාන්තරව ගමන් කරන්න සිද්ද වෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු පියවර කවරක් දැයි පක්ෂය තවමත් අවසාන තීරණයකට එළැඹි නොමැති බවත් සරත් ෆොන්සේකා කියා සිටියේය. වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දීම මගින් සිය පක්ෂයේ පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබෙන බව කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, එසේ පසුබෑමක් ඇති නොවන්නේ නම් පක්ෂය පොදු අපේක්ෂකයකුට සහාය දීමට ඉඩ තිබෙන බව සඳහන් කළේය. සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කළ සරත් ෆොන්සේකා, සිය පක්ෂයේ නායකයාගේ 'කකුලෙන් අදින ආකාරයට' සිය පක්ෂයේ කටයුතුද අඩාල කිරීමට උත්සාහ නොකරන මෙන් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළේය. "මහත්මා දේශපාලනයක් කරන්න කියලා අපි එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ට යාපනයට පැමිණෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඊයේ සහ අද යාපනයේ සංචාරයක නිරත වූ යුරෝපීය සංගමයේ නියෝජිතයන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මහා ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේ. මාධ්‍යවේදීන්ගෙන් නැගුණ ප්‍රශ්නය වූයේ, ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට කැඳවීමට උත්සාහ දරන්නේ වක්‍රාකාරයෙන් ඔහු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නයක් සමුළුවට සහභාගි කරවා ගැනීමේ අරමුණෙන් නොවේ ද යන්නයි. කෘත ගුණ සැලකීම ඉන්දියාවේ දැඩි බලපෑම මත රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිසා දෙමළ ජාතික සන්ධානයට එහි බලය තහවුරු කර ගැනීමට හැකි වූ බැවින් ඊට කෘත ගුණ සැලකීමක් වශයෙන් තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යාපනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියේ. ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් තමන් හමු වූ අවස්ථාවාදී ඉන්දියාවට පැමිණෙන ලෙස තමන්ට ආරාධනා කළ බව පැවසූ මහ ඇමති විග්නේස්වරන්, තමන් ද දෙපාර්ශ්වය අතර සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට ඇති අවංක උත්සාහය නිසා එම අවස්ථාවාදී ඉන්දීය අගමැතිවරයාට යාපනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි සංචාරය කළ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහරදීම හේතුවෙන් ඔහු ඉල්ලා අස් වී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. නිව්යෝර්ක් නුවරදී සිදුවීමක් පිළිබඳව දැනගන්නට ලැබුන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බව බීබීසීයට අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේය. 'පැහැදිලි නෑ' මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගේ අස්වීමේ ලිපිය දින තුනකට පෙර අමාත්‍යංශයට ලැබුනත් එය පිළිගෙන තිබේද යන්න තවමත් නොපැහැදිලි බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් බීබීසීය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගෙන් විමසූ අවස්ථාවේ සිය ධුරයෙන් ඉවත් වුයේද යන්න හෝ ප්‍රහාරයට ලක් වුයේද යන්න කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී බවයි, ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ. කෙසේ නමුත් ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයෙන් ඉවත් නොවන බව ඉහල මට්ටමේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් බීබීසීයට පැවසීය. පහර දුන් බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසීමට බීබීසීය දරූ උත්සාහය සාර්ථක නොවීය.
ජිනීවා යෝජනාව සම්මත වූ ඡන්ද ප්‍රතිශතය අනුව ජය පරාජය විනිශ්චය කිරීම සඳහා ජී එල් පීරිස් ඇමතිවරයා ගෙන ආ තර්කය අනුව මෙවර මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂය පවසයි.
'ජිනීවා වලට එක න්‍යායකුත් මේකට වෙන න්‍යායකුත් තියෙන්න බෑනේ’ කබීර් හෂීම් 'මෙවර ජන්දය ප්‍රකශ නොකළ පිරිස ගත්තම සියයට තිස් පහයි, විපක්ෂයේ ප්‍රතිශතය සියයට හතළිහයි, ඒ දෙක එකතු කළාම විපක්ෂය දිනුම්. ජිනීවා වලට එක න්‍යායකුත් මේකට වෙන න්‍යායකුත් තියෙන්න බෑනේ’ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පවතී මාධ්‍ය හමුවකදී. ඡන්ද පදනම මෙවර පළාත් සභා මැතිවරණයේ දී සිය ඡන්ද පදනම රැක ගැනීමට තම පක්ෂයට හැකි වී ඇතයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි. 'ආණ්ඩුවට එය පාරා වළල්ලක්' -අනුර කුමාර දිසානායක මැතිවරණයේ දී ආණ්ඩුවේ ඡන්ද පදනම අඩු වී ඇති බව පෙන්වා දෙන එම පක්ෂය ඉදිරි ජාතික මැතිවරණයක දී ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාවක් තම පක්ෂයට ඇති බව ද ප්‍රකාශ කරයි. ‘සමහර අය ප්‍රකාශ කළා මේ පාර මැතිවරණයේ දී අපි තුන් වෙනි තැනට පත් වෙනවා කියල. එහෙත් විවිධ අභියෝග මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ඒ ඡන්ද පදනම රැක ගැනීමට සමත් වෙලා තිබෙනවා’ සභාපති කබීර් හෂීම් කියා සිටියේය. 'ජනපතිට පාඩමක්' මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයක යෙදුණු ජනාධිපතිවරයාට ජනතාව පාඩමක් උගන්වා ඇති බවයි. ‘දැන් ඇමරිකාවට අර්ථකථනය කරන්න පුළුවන් ආණ්ඩුවේ තර්කය අනුව කොළඹ ජනතාව 55%ක් ජිනීවා යෝජනාව අනුමත කොට තිබෙනවා කියලා, ආණ්ඩුව තම දේශපාලන බලය වෙනුවෙන් රටත් ජනතාවත් මුහුණ දිය හැකි අතිශය අන්තරායකාරී තත්වයන් පවා උපයෝගී කර ගත්තා, ආණ්ඩුවට එය පාරා වළල්ලක් වී එම තර්කයම ඉදිරිපත් කිරීමේ හැකියාව බටහිර රාජ්‍යවලට තියෙනවා’ අනුර කුමාර දිසානායක පැවසීය. පසුගිය වසර හතර පහ කාලය තුළ සිය පක්ෂය මැතිවරණ වලදී ලැබූ පසුබෑම යටපත් කොට මෙවර පළාත් සභා මැතිවරණයේදී ජනතාව තම පක්ෂයට, විපක්ෂයේ කාර්යභාරය සදහා ශක්තියක් ලබා දී ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ. බස්නාහිර පළාත තුළ ආණ්ඩුව ලබා ඇති පසුබෑමෙන් පෙන්නුම් කරන්නේ ජනපතිවරයාගේ ඉදිරි සය අවුරදු බල සැලැස්ම අසාර්ථක වී තිබෙන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් පසු ආරක්ෂක අංශ දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත් කරන ලද අතර, මේ වනවිට වැටලීම් ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම, සිද්ධියට සම්බන්ධ සහ තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය ක්‍රියා කරමින් සිටී. අද දින (මාර්තු 10) නාවික හමුදාව තංගල්ල සහ වැලිමඩ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලින් ද කඩු, විවිධ වර්ගයේ පිහි, දුරේක්ෂ, සීඩී තැටි ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ. මන්නාරම, තැන්නේකුඹුර, ගාල්ල, කුලියාපිටිය යන ප්‍රදේශවල ඊයේ (09) ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලින් ද කඩු, පිහි, පුපුරණ ද්‍රව්‍ය මෙන්ම හමුදා ඇඳුමට සමාන ඇදුම් තොගයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි. මැයි 8 දින මාලිගාවත්ත ඛෙත්තාරාම කී‍්‍රඩාංගනය අසළ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් අසල වූ ළිඳක් තුළ තිබී කඩු 58ක්, පිහි 52ක්, ගිනි අවියක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ කීපයක් පොලිසිය භාරයට ගෙන ඇත. එම ළිඳ සම්පූර්ණයෙන්ම ඉස පරීක්ෂා කිරීමේදී තවත් පිහි හයක් සහ වායු රයිෆල් උණ්ඩ තොගයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි තවත් ළිඳකින් පිහි 16ක් සහ කඩු දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි. මේ අතර, කොස්ගම ඇළ මාර්ගයක තිබී ටී 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ සහිත මැගසිනයක් ද ඊයේ දින (මැයි 09) සොයාගෙන තිබේ. මෙම සෝදිසි මෙහෙයුම්වලින් සොයා ගන්නා කඩු, පිහි ඇතුළු අවි ආයුධ ඇතුළත් රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මාධ්‍යවලටදන්වා තිබේ. යම් සිද්ධියක් හෝ සැකකටයුතු භාණ්ඩ ගැන තොරතුරු දැනගතහොත් 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව ඉල්ලා සිටියි මෙම වැටලීම් සඳහා මහජන සහය තවදුරටත් බලාපොරොත්තු වන අතර, හදිසි අවස්ථාවක දී හෝ සැක කටයුතු දෙයක් පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් දැනුම් දීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ජාතික ආරක්ෂාවට සහ මහජනතාවට තර්ජනයක් වන යම් සිද්ධියක් හෝ සැකකටයුතු භාණ්ඩ ගැන තොරතුරු දැනගතහොත් 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව ඉල්ලා සිටියි. ළමුන් පාසල් යැවිය හැකිද? පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්වය තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා(මාර්තු 06) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදී. නමුත් දින කීපයක් ගත වුව ද දිවයින පුරා පාසල්වලට සිසුන්ගේ පැමිණීම සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්වයට පත්ව නොමැත. පවතින වාතාවරණය තුළ පාසල් ආරම්භ කළ ද දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වේ. පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාසල් පැමිණෙන සිසුන් මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ට දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කිරීමට නොහැකි වී තිබීම බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. කෙසේනමුත්, අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් දී තිබෙන බව රජයේ නිල වෙබ්අඩවිය සඳහන් කරයි. මේ අතර, පාසල් කටයුතු අඩාල වන අන්දමින් යම් කණ්ඩායම් වැරදි තොරතුරු පතුරවන බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර, ඇතැම් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් එල්ල කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ප්‍රහාරයෙන් පසු පළමු වරට මාර්තු 7 වෙනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙයන් පැවැත්වීය මේ තොරතුරුද කියවන්න: විවිධ දේශපාලන අරමුණු, අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. පාසල්වල සෝදිසි කිරීම් ළමුන් පාසලට නොපැමිණියත් ගුරුවරුන්ගේ සහ පාසලේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන් පාසල් ඉදිරිපිට දිවා රාත්‍රී මුර කරන ආකාරය විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබිණි. මේ අතර, එක් පාසලට පැමිණි ළමුන්ගේ ගණන දිනපතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකරන ලෙස දෙමාපියන් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉල්ලීම් කර තිබේ. "මගේ මාධ්‍ය මිතුරණි, සෑම දිනකම එක් පාසලට පැමිණෙන ළමුන්ගේ සංඛ්‍යාව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න එපා. එයින් අපි නොදැනුවත්වම ලොකු විනාශයක් වෙන්න පුළුවන්," රෝසි ස්ට්‍රෝනැච් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි. මෙමගින් දෙමාපියන් තම දරුවන් පාසල් යැවීම සම්බන්ධයෙන් තවත් අධෛර්යයට පත් වන බව අනුපමා ලියනපතිරණ ද සිය අදහස් දක්වමින් කියා තිබේ. "මාධ්‍ය පොඩි දේවල් ලොකු කරළා පෙන්නනවා. මේ නිසා සමාජය තවත් අධෛර්යයට පත් වෙනවා. අපි අඳුරු යුගයක් පහු කරළා ආවේ. නමුත් ඒ කාලය ඇතුළතත් අපි පාසල් ගමන නැවැත්තුවේ නැහැ." කිතුනු පාසල් සහ දේවමෙහෙයන් බෝම්බ පිපිරීම්වලින් පසු නවතා දමා තිබූ කිතුනු දේව මෙහෙය කොළඹ දිස්ත්‍රික්කයේ දේවස්ථානවල ලබන ඉරිදා සිට නැවත ආරම්භ කරන බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ. දිවයිනේ සෙසු පළාත්වල පවතින ආරක්ෂක තත්වය සළකා බලා දේවමෙහෙයන් යළි ඇරඹීම ගැන තීරණයක් ගන්නා ලෙස රදගුරුතුමන්ලා වෙත දැනුම් දී ඇතැයි ද මැල්කම් කාදිනල් හිමියෝ සඳහන් කළහ. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවේදී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි පැවසු උන්වහන්සේ වැඩි දිරටත් කියා සිටියේ, රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් වෙසක් පොහොය පසු වන තුරු නැවත පාසල් වසා තබන බවය. තවත් තොරතුරු:
යුදසමයේදී අතුරුදහන් වු පුද්ගලයින් පිළිබදව කරුණු සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් පත්කරණ ලද විශේෂ කොමිසම පස්වෙනි සෙනසුරාදා මුලතිවු පුදුකුඩීරිප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යලයේදී සාක්කි සටහන් කරගැනීම ආරම්භ කෙරිණ.
දිනසේන රතුගමගේ මුලතිවු සිට මුලතිවු දිස්ත්‍රික්කයේ තම ඥාතීන් අතුරුදහන් වී ඇති බවට කොමිසම වෙත තොරතුරු ලබා දුන් පවුල් 230 කට කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණෙන ලෙස ලිපි යවා ඇතත්, පලමු දිනයේම ලිපි නොලැබුණු සියයකට වැඩි පිරිසක් කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණ සිටීම නිසා නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ. කොමිසම මුලතිව් දිස්ත්‍රික්කයේදී දින හතරක කාලයක් රැස්වන බැවින් සාක්කි ලබාදීමට පැමිණෙන සියලුම දෙනාට ඒ සදහා අවස්ථාව සලසා දිය හැකි බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස බී.බී.සී. සංදේශයට ප්‍රකාශ කළ අතර 5,6,යන දිනවලදී මුලතිවු, පුදුකුඩීරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත්,7 සහ 8 යන දිනවලදී මුලතිවු, මැරිටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් රැස්වී සාක්කි සටහන් කර ගන්නා බවද ඔහු පැවසීය. කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරාක්‍රම පරණගම ඇතුලු කොමිසමේ නිලධාරීන්ට සහාය පිණිස මුලතිවු දිසාපති නාගලින්ගම් වේදනායගම් ඇතුලු මුලතිවු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. මවුවරු හඩා වැලපෙති කොමිසම හමුවේ පළමු දිනයේදී සාක්කි දීමට පැමිණි මුලතිවු දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් විශාල පිරිසක් පැවසුවේ අවසන් යුදගැටුම් පැවති දින කීපයේදී ජීවිතය ගලවා ගැනීමට මුලතිවු කලපුව ඔස්සේ ගොඩබිම දෙසට යමින් සිටි විශාල පිරිසක් මේ වනතුරු තමන්ට යළි දැක ගැනීමට නොහැකි වූ බවයි. යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සාමජිකයින් පැමිණ එක් පවුලකකින් එක් සාමාජිකයෙකු තම සංවිධානයට ලබාදෙන මෙන් කළ ඉලීමට අනුව ඔවුන් වෙත බාරදෙන ලද විශාල පිරිසක් යළි ආපසු දැකගන්නට නොලැබුනේ යැයිද, ඒ අන්දමටම යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ කටඋත්තරයක් ලබාගැනීම පිණිසයැයි කියමින් රැගෙන ගිය තම ඥාතීන් විශාල පිරිසක් මෙතෙක් ආපසු පැමිණියේ නැතැයිද කොමිසම හමුවේ ඔවුහු කියා සිටියහ. ඥාතීන් අතුරුදහන් වී වසර ගණනාවක් ගොස් තිබුනද අතුරුදහන් වූ ඥාතීන් ගැන කොමිසම හමුවේ සාක්කි දෙන ලද අවස්ථාවේදී සිය දුක වාවා ගැනීමට නොහැකිව බොහෝ මවුවරු හඩා වැලපෙන්නට වූහ.
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ කැනීම්වලදී ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම හා ජනේලයක් විවෘත කොට තැබීම සම්බන්ධයෙන් අඟහරුවාදා (පෙබරවාරි 11) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණ.
අදාළ අස්ථි කොටස් හමුවීම පිළිබඳ නඩු විභාගය මන්නාරම මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු මේ තත්ත්වය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කළහ. සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව එහිදී පෙන්වා දුන් අතර ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන්ගෙන් කරුණු විමසිය යුතු බවද පැවසිණි. නඩු විභාගය අතරතුරදී සමූහ මිනිවළ කැණීම් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අතර විවාදාත්මක තත්වයක් ද මතුවූ අතර, එහිදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පිරිසක් අධිකරණ කටයුතුවලින් ඉවත් වූහ. මහේස්ත්‍රාත්වරයාගේ කැඳවීම මත නීතිඥයින් යළි අධිකරණ කටයුතු සඳහා එක්වූ අතර, සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබූ කාමරයේ දොරගුළු කැඩීයාම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්වීමට එළැඹෙන 25 වැනිදා නඩු විභාගය කැඳවන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2018 මාර්තු 26 වැනිදා පළමු වරට තොරතුරු වාර්තා වු අතර, දින 156 ක් කැනීම් කර මිනිස් සිරුරු 342 ක අස්ථි මතුකර ගැනිණි. ඉන් ගොඩ ගැනුණේ මිනිස් සිරුරු 330ක් පමණි. ඒ අතර කුඩා ළමුන් 30 දෙනෙකුගේ අස්ථි ද තිබිණ. සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඇමරිකාවේ ෆ්ලෝරිඩාහි කාබන් රසායනාගාර වාර්තා ලැබීමෙන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු 2019 මාර්තු 07 වැනිදා තාවකාලිකව නවතා දමන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. දත්ත විශ්ලේෂකයින් පවසා තිබුණේ සමූහ මිනිවළ තුළ වූ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර කාලයකට අයත්වන බව කාබන් පරීක්ෂණ වාර්තා තුළින් අනාවරණය වී ඇති බවකි. මන්නාරම අධිකරණයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ හා කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ. කෙසේවෙතත්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ අදාළ අස්ථි කොටස් යුද සමයේ අතුරුදහන්වූවන්ගේ බවය. අදාළ අස්ථි කොටස් තැන්පත් කොට තිබූ කාමරයේ දොරගුළු කැඩී තිබීම හේතුවෙන් මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් හා පුරාවිද්‍යා අගයක් සහිත කොටස්වල වෙනසක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති. මේ තොරතුරු ද දැනගන්න:
තෙල් මිල ඉහල පහල යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය එළඹි ගිවිසුම් රටට අවාසිදායක වීමේ හේතුවෙන් සිදුවී ඇති පාඩුව ඩොලර් කෝටි නව දහස ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි.
කොටස් මිල කෘතිම ලෙස ඉහල නංවා සිදුකරන අයථා මුදල් ඉපයීමක් නිසා ද ලංකාවේ ආර්ථිකයට හානි පැමිණ තිබෙන බව ආණ්ඩුවට එල්ල වන තවත් චෝදනාවක් මෙය ශ්‍රී ලංකාව වසරකට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදලටත් වඩා අධික මුදලක් බවයි, ජවිපෙ නායකත්වයෙන් යුත් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පවසන්නේ. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහල යාමෙන් සිදුවන අලාභය පියවා ගැනීමේ අරමුණින් හෙජින් නමින් හැඳින්වෙන එම ගිවිසුමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළැබී ඇත්තේ දේශීය හා විදේශීය බැංකු පහක් සමග. ගිවිසුම කඩ කළ බවට චෝදනා කරමින් විදේශීය බැංකු නඩු මගට බැස තිබෙන අතර, එහිදී තෙල් මිල එක් සීමාවකට ඉහල ගියහොත් බැංකු විසින් තෙල් සංස්ථාවට මුදල් ගෙවීමටත්, තෙල් මිල පහල වැටුනොත් තෙල් සංස්ථාවට මුදල් ගෙවීමටත් ඇති කරගත් එකඟතාව දිගුකාලීනව ලංකාවට පාඩු ගෙන දුන් බව ද අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ. අධ්‍යාපන වැය ශීර්ෂය හෙජින් ගණුදෙනුවේ පාඩුව "අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011 අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි. අතර ගාන (හෙජින් පාඩුව) රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි" අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත "මේ ප්‍රශ්නේ එන්න කලින් ගෙවල තියෙනවා ඩොලර් මිලියන 38.5 ක්. හතලිහට වඩා ඉහල යාම නිසා හම්බවෙලා තියෙනවා ඩොලර් මිලියන 24.5 ක්. අපට වෙච්ච පාඩුව ඩොලර් මිලියන 14 යි," ඔහු පැවසීය. නඩු ගාස්තු වෙනුවෙන් දැරිය යුතු වියදම ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය වරයා විසින් පසුගිය ජුලි මාසයේදී පාර්ලිමේන්තුව හමුවේ හෙළි කරන ලද බවයි ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. "නීති ගාස්තු ගිහිල්ල තියෙනවා ඩොලර් මිලියන 467 ක්. දෙකේ එකතුව ඩොලර් මිලියන 481 යි." බැංකුවලට ගෙවීමට සිදුවූ වන්දි මුදල් ද මෙම මුදලට එකතු කළ විට ආණ්ඩුවට සිදු වී ඇති පාඩුව ඩොලර් මිලියන 945 ක් බව ද අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි. හෙජින් ගනුදෙනුවෙන් සිදුවූ අලාභය සංසන්දනය කරමින් ඔහු කියා සිටියේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ඉහල දමන ලෙස සරසවි ඇදුරන් වර්ජනයක යෙදී කරන ඉල්ලීම එමගින් සපුරා ලීමේ හැකියාවක් තිබුණු බවයි. "අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011 අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි. අතර ගාන (හෙජින් පාඩුව) රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි," බවයි, ලාල් කාන්ත ප්‍රකාශ කරන්නේ. කොටස් වෙළෙඳ පළේ 'අයථා මුදල් ඉපයීම' කොටස් වෙළෙඳ පළේ ඇතැම් ව්‍යාපාර වල කොටස් මිල කෘතිම ලෙස ඉහල නංවා සුළු ආයෝජකයන් වෙත විකුනා සිදුකරන අයථා මුදල් ඉපයීමක් නිසා ද ලංකාවේ ආර්ථිකයට හානි පැමිණ තිබෙන බව එම ව්‍යාපාරය එල්ල කරන තවත් චෝදනාවක්. ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඉදිරිපත් වූ විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න ඉකුත් දා ඉල්ලා අස්වුනේ තමනට ඒ කටයුතු පවත්වාගෙන යා නොහැකි ලෙස බලපෑම් ඇතිවන බව ප්‍රකාශ කරමින්. ඔහුට පෙර එම ධුරය හෙබවූ ඉන්ද්‍රානි සුගතදාස පත්වීම ලබා කෙටි කලකින් ඉවත් වූයේ ගිය දෙසැම්බරයේ. මේ දෙදෙනාටම රාජකාරිය කරගෙන යාමට නොහැකි වනසේ කොටස් වෙළෙඳ පොළ අයථා ලෙස හසුරුවන බවට චෝදනා කරමින් දිවයිනේ මුල් පෙලේ ව්‍යාපාරිකයන් පිරිසකගේ නම් සභාව හමුවේ හෙළි කළ අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත, විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති වරයා ඉල්ලා අස් වීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවේ ආයෝජනය පිලිබඳ සැක පහල කොට ඇති බවත් ප්‍රකාශ කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලීම සහ ශ්‍රී ලංකාවට සිදු කරන ඉන්දීය බලපෑමට එරෙහිව, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දියත් විය.
ජයලලිතාගේ රූපයක් ගිනි තබමින් ‘ජාතික සංවිධාන එකමුතුව’ සංවිධානය කළ මෙය ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි බලයට පත් වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති පළමු විරෝධතාව වශයෙන් වාර්තා වෙයි. අමාත්‍ය විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් ද සහභාගි වුණු මෙම විරෝධතාවට පන්සීයකට ආසන්න පිරිසක් එක්ව සිටියෝය. රූපයට ගිනි තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ආකල්පයට දැඩි විරෝධය පළ කළ විරෝධතාකරුවෝ ඇයගේ රූපයක් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී ගිනි තැබූහ. තමිල්නාඩු මහ ඇමතිනියට ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇඟිලි ගැසීම සඳහා ඉන්දීය නව අගමැතිවරයා ඉඩ නොතැබිය යුතු බව මෙහිදී විරෝධතාකරුවන් ඇමතූ බෙන්ගමුවේ නාලක හිමියෝ පැවසූහ. ශ්‍රී ලංකාවේ දෙමළ ඊලමකට ඉඩ දීමෙන් ඉන්දියාව ද අස්ථාවර වන බවයි මෙහිදී බෙන්ගමුවේ නාලක හිමියන් කියා සිටියේ. ‘මෝඩි මෝඩ වෙන්න එපා’ ‘මෝඩි අශෝකාද? චෝලද ?’ ‘මෝඩි ඒකාධිපතියෙක්ද ? ප්‍රජතන්ත්‍රවාදියෙක්ද ?’ යනුවෙන් සටහන් වූ පුවරු ද විරෝධතාකරුවන් රැගෙන විත් තිබුණු අතර පැයක පමණ කාලයක් මෙම විරෝධතාව දියත් විය. ගිනි බත් කළ ජයලලිතා රූපය
වතුකරයේ වගා නොකැරෙන ඉඩම් පවරාගැනීමෙන් අනතුරුව ඒවා බෙදා හැරෙන ආකාරය පිලිබඳව රජය කරුණු පැහැදිලි කොට නැතැයි වතුකරයේ වෘත්තීය සමිතියක් පවසයි.
'ඉතින් මේ ඉඩම් ඔක්කොම පවරාගෙන බෙදල දුන්නොත් මේ ජනතාවට මොකද වෙන්නේ කියල පැහැදිලි නෑ' ඉකුත් අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉඩම් අක්කර දහස් ගණනක් පවරා ගැනීමට පියවර ගන්නා බවයි. ඉඩම් වෙන්කිරීම සඳහා රජය නුවරඑලියට මේ වනවිටත් නිලධාරීන් එවා ඇතැයි බීබීසී සංදේශයට ප්‍රකාශ කළ හිටපු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය වී පුත්‍රසිගාමනි, වතුකරයේ ජනතාවට ඒ ඉඩම් වලින් ඉදිරියේදී ප්‍රතිපලයක් අත්වේදැයි සොයා තොරතුරු හෙළි කිරීමේ වගකීම වතුකරයෙන් තේරී පත්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වගකීමක් බව කියා සිටියේය. බඹරගල වත්ත උදාහරණයක් ලෙසින් නුවරඑළියේ බඹරගල වත්තේ අක්කර එකසිය හැට තුනක් පමණ ලබන සතියේ ආණ්ඩුව විසින් බෙදා වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි සැලවී ඇති බවයි, ඔහු පවසන්නේ. "එතන පවුල් දෙසිය විසි එකක් පමණ සිටිනවා, ලයින් කාමර තියනවා අනූ හතරක් විතර අනිත් ඒවා ඔක්කොම කූඩාරම් ගහගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මිනිස්සු එතන රැකියාවත් කරනවා," බව හිටපු නියෝජ්‍ය ඇමතිවරයා පවසයි. "ඉතින් මේ ඉඩම් ඔක්කොම පවරාගෙන බෙදල දුන්නොත් මේ ජනතාවට මොකද වෙන්නේ කියල පැහැදිලි නෑ," බවයි, ඔහු පවසන්නේ. තමාගේ ප්‍රයත්නය ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතු හෝ ඉඩම් බෙදා දීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට දැරෙන උත්සාහයක් නොවන බව පවසන වී පුත්‍රසිගාමනි, එය හුදෙක් එම වැඩපිළිවෙල නිසා දුෂ්කරතාවලට මුහුණදෙන ජනතාව මතුකරන ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමේ උත්සාහයක් පමණක් බව අවධාරණය කරයි.
විස්සයි විස්ස ලෝක කුසලානයේදී බදාදා රාත්‍රියේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් එල්ල කළ සිය කණ්ඩායම එයින් පන්නරය ලබා සිකුරාදා රාත්‍රියේ ලෝක ශූර එංගලන්තයට ද එරෙහිව තියුණු තරඟයක් දීමට සූදානම් බව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු පවසයි.
Saroj Pathirana Colombo විස්සයි විස්ස තරඟවලින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව මීට කලින් සිය කණ්ඩායම තරඟ වැදී තිබෙන්නේ කිහිප වතාවක් පමණක් බව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි පුහුණුකරු කබීර් ඛාන්, සිය කණ්ඩාමට ඊට වඩා විස්සයි විස්ස තරඟ ලැබුනේ නම් බදාදා තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමටද හැකියාව තිබුණු බව පැවසීය. මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු පහක් දැවී රැස්කළ ලකුණු 156 ට පිළිතුරු වශයෙන් ඇෆ්ගස්නිස්තානය සියලු දෙනා දැවී ලකුණු 136 ක් රැස් කළේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමට පවා ඔවුන් සමත් වේවිදැයි ඇතැම් අවස්ථාවල මාධ්‍ය කුටියේ මාධ්‍යවේදීන් පවා වරෙක මවිත කරමින්. කලාපයේ දේශගුණය "ඇත්තටම එහෙම වුනානම් එක මුළු තරඟාවලියේම උණුසුම් මාතෘකාව වෙන්න තිබුනා," බව කබීර් ඛාන් පැවසුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවීම සඳහා මා ඔවුන් නැවතී සිටින හෝටලයට ගිය අවස්ථාවේදී.මධ්‍යම රාත්‍රියට ආසන්නය දක්වාම ක්‍රීඩාකළ ක්‍රීඩකයන් බ්‍රහස්පතින්දාවේ විවේක ගන්නා බව පැවසූ කණ්ඩායම් භාර නිලධාරීන් මට හමුවීමට අවසථාව ලබාදුන්නේ පුහුණුකරු සමග පමණයි. ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක්ම අහිමි වී ඇති බව පෙන්වාදෙන කබීර් ඛාන්, විශේෂයෙන්ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයෙන් ලැබූ පන්නරයත්, එංගලන්තයට වඩා කලාපයේ දේශගුණය සහ තණතීරු තම කණ්ඩායමට හුරු පුරුදු වීමත් නිසා සිකුරාදා තරඟයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වඩාත් දක්ෂ ලෙසින් ක්‍රීඩා කරනු ඇතැයි යන්න තමාගේ මෙන්ම ක්‍රීඩකයන්ගේද බලාපොරොත්තුව බවද බීබීසී සංදේශයට පැවසීය.
දින දොළහක් තිස්සේ මුලතිව් කේපාපිලව් ගම්මානය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින ගම්වැසියන් ඉල්ලා සිටින්නේ ගුවන් හමුදාව සතු ඉඩම් නොවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
බලපත්‍ර සහිතව වසර ගණනාවක් පදිංචිව සිටි සිය ඉඩම් යළි ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් පැවසීය. කේපාපිලව් ගම්මානයේ වැසියන්ගේ විරෝධතාවයට සහාය පළකරමින් යාපනය නගරයේ සංවිධානය කර තිබුණු විරෝධතාවකට එක් වූ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවා එම ඉඩම් ලබාදීමට එකඟත්වය පළකළත් ගුවන් හමුදාව එම ඉඩම් නිදහස් නොකරණ බව සඳහන් කළේය. පවුල් 317 කට සිය ඉඩම් අහිමි වී ඇති බව පවසන මන්ත්‍රීවරයා, ඔවුන්ගෙන් පවුල් 243 කටම බලපත්‍ර ඇති බවත් පැවසීය. කෙසේ නමුත් ගම්වාසීන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන ගුවන් හමුදාව පවසන්නේ, සිය කඳවුර ඉදිකොට තිබෙන්නේ රජයේ ඉඩමක බවයි. එම ඉඩම් සඳහා බලපත්‍ර තිබේ නම් ගැටලුව නීති මාර්ගයෙන් විසඳා ගන්නා මෙන් උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලීමක් කළ කඳවුර භාර නිලධාරියා, උද්ඝෝෂණය නවත්වන මෙන් ද ගම්වාසීන් ගෙන් ඉල්ලා සිටියේය. ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අවස්ථාවක් සලසා දෙන මෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ. කේපාපිලව් වැසියන්ගේ උද්ඝෝෂණයට සහාය පළකරමින් පසුගියදා මීගමුවේ ද උද්ඝෝෂණයක් පැවැත්විණ. වැඩිදුර කරුණු විමසීම පිණිස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම කෙරේ කඩිනම් අවධානය යොමු කරන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටී.
පෙට්‍රෝලියම් ආදී පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට හැකිවෙන පරිදි වඩාත් සංවර්ධිත රටවල් වල වැසියන් තමන්ගේ ජීවන රටාව සහ පරිභෝජන රටාවන් වෙනස් කරගත යුතු බව ප්‍රැන්සිස් පාප්තුමන් කියා සිටින්නේ රදගුරුවරුන් වෙත යවන ලිපියකින්. කතෝලික සම්ප්‍රදාය අනුව පාප් වහන්සේ මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්නේ ඉතා වැදගත් උපදේශන ඉදිරිපත් කිරීමටයි. පිටු 192 කකින් සමන්විත මේ ලිපිය තුළින් පාප් වහන්සේ පෙන්වා දෙන්නේ මිහිතලය උණුසුම් වීමට මිනිස් ක්‍රියාකරකම් දැඩිව බලපා ඇති බවයි. මිනිසා හිතුමතයට මිහිතලය පාලනය කිරීමටත් එය විනාශ කිරීමටත් නැඹුරු වී සිටින බව පාප් වහන්සේ පෙන්වා දෙති. ඇමේසන් වනාන්තරයේ ජෛව විවිධත්වයටත් උත්තර සහ දක්ෂිණ ධ්‍රව කලාප වල අයිස් ග්ලැසියර වල දියවී යාම පිළිබඳවත් පාප් වහන්සේ තම අවධානය යොමු කොට සිටී. පාප් වහන්සේ ගේමේ අදහස් දැක්වීම දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ කාලගුණික සමුළුවේ කතා බහ කෙරේ සුභවාදී බලපෑමක් කරනු ඇතැයි ඇතැම් පරිසරවේදීහු වීශ්වාශ කරති. ඇමරිකාවේ කොන්ස්ර්වෙටිව් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයින් වන ජෙබ් බුෂ් සහ රික් සන්ටෝර්ම් යන දෙදෙනාම පාප් වහන්සේට කාලගුණ විද්‍යාවට සම්බන්ධව අදහස් දැක්වීමට ඇති සුදුසු කම් පිළිබඳව ප්‍රශ්න කොට සිටියත් ඔක්සෆෙර්ඩ් විශ්ව විද්‍යාලයේ භු පද්ධතීන් පිළිබඳ මහාචාර්ය මයිල්ස් ඇලන් කියා සිටියේ පාප් වහන්සේට මතු පරපුර වෙනුවෙන් අදහස් දැක්වීමට අයිතියක් ඇති බවයි.
ස්පාඤ්ඤයේ මයෝකා නගරයේ නිවසක් නොමැති මහමග නිදන පුද්ගලයෙකුගේ දෙනෙත් කඳුලින් බර වූයේ ප්‍රදේශයේ රූපලාවණ්‍යගාර හිමිකරුවෙකුගේ කාරුණික ක්‍රියාකලාපය හේතුවෙනි.
'La Salvajeria' නමැති රූපලාවණ්‍යගාරයේ හිමිකරු මහමග නිදන ජොසේ අන්තෝනියෝ හට සිය ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙන්නැයි ආරාධනා කරන්නේ බලපත්‍ර නොමැති රථවාහන ගාල් කරන්නෙකු ලෙස ඔහු දැන හැඳිනගැනීමෙන් අනතුරුවය. එසේ පැමිණි ජෝසේට රූපලාවණ්‍යගාරය විසින් නොමිලේ සේවය සපයනු ලබන අතර තම බාහිර ස්වරූපයේ වූ පරිවර්තනය දුටු ඔහු හැඟීම්බර විය. රූපලාවණ්‍යගාරය විසින් එම අවස්ථාව පටිගත කරනු ලැබ ඇති අතර ෆේස්බුක් සමාජ ජාලයේ පළ කළ අදාළ වීඩියෝ පටය දින දෙකක් තුළ නරඹා ඇති වාර ගණන 400,000 කි. සැබෑ වෙනසක් 'ද ඩේලි මේල්' පුවත්පත වාර්තා කරන පරිදි ජොසේ විදුලි කාර්මිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි "මේක නම් අදහන්නත් බැරි තරම්. මේ ඉන්නේ මම ද?" "මේක නම් අදහන්නත් බැරි තරම්. මේ ඉන්නේ මම ද?" රූපලාවණ්‍යගාර කාර්ය මණ්ඩලය විසින් තම බාහිර ස්වරූපයේ සිදු කරන ලද වෙනස්කම දුටු ජොසේ පැවසීය. "මගේ පෙනුම වෙනස් වෙලා. මම කවුද කියලා කිව්වේ නැත්නම් කවුරුත් මාව හඳුන ගන්න එකක් නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ජොසේගේ වෙනස දුටු ප්‍රදේශවාසීහු පුදුමයට පත්වූහ 'ද ඩේලි මේල්' පුවත්පත වාර්තා කරන පරිදි ජොසේ විදුලි කාර්මිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. වසර විසිපහක සිට ඔහු මහමග නිදන බවත් එම වාර්තාවේ සඳහන්වේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දහ නවයක් නාය යාමේ අනතුරක් පවතින බව ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීහු පවසති.
සබරගමු පළාතේ පාසල් හැර දිවයිනේ අන් සියලු පාසල් සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි එබැවින් එම පාසල් ඇතුලුව සබරගමු පළාතේ පාසල් පනස් දෙකක් දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. මෙසේ වසා දමා තිබෙන්නේ නාය යාම් සහ ස්වභාවික විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාවට නේවාසික පහසුකම් ලබාදෙමින් දැනටමත් අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ පාසල් තිස් එකක් සහ කෑගල්ල නාය යාමේ අවදානම පවතින පාසල් දහ නවය බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසීය. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් විසි දෙකක්, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් දාහතක්, කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හතක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් හයක් මෙසේ දින නියමයකින් තොරව වසා දමා තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා සියලු පාසල් බ්‍රහස්පතින්දා සිට වසා දැමිණ එම පාසල් හැරුණු විට අයහපත් කාලගුණය හේතුවෙන් මෙතෙක් වසා දමා තිබුණු දිවයිනේ අනෙක් සියලුම පාසල් සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක හටගත් ගංවතුර සහ අරණායක ඇතුළු ප්‍රදේශවල හටගත් නාය යාම් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සියලු පාසල් වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. මේ අතර රත්නපුර දිස්ක්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වළදුර, දෙල්වලමුකලාන කන්ද නායයාමේ අවදානමක් ඇති බැවින් කන්ද පහළ පිහිටි මිල්ලගස්තැන්න, විතානකන්ද සහ වළදුර යන ගම්වල පදිංචි පවුල් හැටක් ඉවත් කළ බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බීබීසී සංදේශයට පැවසීය. නාය යාමේ අවදානමට ලක්ව තිබෙන්නේ ආසියාවේ ආදිම මානවයා විසු බව සැලකෙන බටදොඹ ලෙනට පහළ ප්‍රදේශය බව අජිත්ලාල් ශාන්ත උදය වාර්තා කරයි. ඉවත් කළ පිරිස කුරුවිට එක්නැලිගොඩ විද්‍යාලයේ රඳවා සිටිති.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැට‍ළු මතු වී ඇති බව ඒ අවට වෙසෙන ජනතාව පවසති.
ගල් අඟුරු දුහුවිලි සුළඟට මුසු වීම හේතුවෙන් තමාට ශ්වසන රෝගවලට මුහුණ දීමට සිදු වී ඇති බව නොරොච්චෝලේ වැසියෝ කියා සිටිති. දුහුවිල්ලට අමතරව ගල් අඟුරු දහනය නිසා හට ගන්නා දුමාරයත් සමග මුසු වන අළු හේතුවෙන් පාරිසරික ගැට‍ළු මතු වී ඇති බවටත් ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති. ගල් අඟුරු දුහුවිල්ල හේතුවෙන් අවට ප්‍රදේශයේ වගා බිම්වල එළවලු කළු පැහැ ගැන්වී ඇති ආකාරය තමාට දැක ගත හැකි වූ බවයි සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න වාර්තා කළේ. 'කොල පාට බණ්ඩක්කා කළු පාට වෙලා. කොල පාට එළවලු කළු පාට වී තිබෙන ආකාරය මට දැක ගත හැකි වුනා' ඒ පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් පැමිණ වීඩියෝ දර්ශන පටි ගත කර ගත් නමුත් ඉන් අනතුරුව කිසිවක් අසන්නට නොලැබුණු බවත් ප්‍රදේශවාසීහු පවසති. අධික දුහුවිල්ල නිසා සිය දරුවන්ගේ පාසල් නිල ඇඳුම් පවා දුර්වර්ණ වී ඇති බවට දෙමව්පියෝ මැසිවිලි නගති. නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී එක් වරක් වන්දි ලබා දුන් නමුත් මේ වන විට සිදු වෙමින් පවතින පාරිසරික හානිය වන්දියකට සීමා කිරීමට නොහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තාවකාලිකව වන්දි ලබා නොදී සිය ගැටලුව සඳහා විකල්ප විසඳුමක් ලබා දෙන ලෙස නොරොච්චෝලේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
අදින් දශක කිහිපයකට ඉහතදී පොලිසියේ හය වැනි තට්ටුවේ සිරකුටියක ගාල් කොට සිටි සමයේ තමා සාහිත්‍යකරණයට යොමු වූ බව පසුගියදා ලන්ඩනයේදී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ ලේඛක චූලානන්ද සමරනායක පවසයි.
සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවති උත්සවයේදී චූලානන්ද සමරනායකට සම්මානය පිරිනමනු ලැබුවේ ලන්ඩනයේ සිටින මොන්ගෝලියානු තානාපතිවරයා විසින් ශිෂ්‍ය දේශපාලනයේ යෙදීමේ වරදට රැඳවුම් භාරයේ සිටියදී හුදෙකලාව මකා ගනු වස් ඔහු ඉදිරියේ තිබූ එක් විකල්පයක් වූයේ සාහිත්‍යයට යොමුවීම බවයි, 'චූලා' පවසන්නේ. කිර්ගීස් ජාතික සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතොෆ් ගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන සමුගනිමි ගුල්සාරි කෘතියයි සිරකුටියේදී ඔහුගේ සමීපම මිතුරා වූයේ. "වාසනාවකට මට රුපියල් විස්සකට නැත්නම් විසිපහකට මේ පොත මට හමුවෙනව පේවුමන්ට් එකේ තියල," ඔහු සඳහන් කළේ ලන්ඩනයේ බීබීසී සංදේශය මැදිරියේදී මා සමඟ දොඩමලු වෙමින්. ග්‍රීක පරිවර්තන එකතුවකට, ජනප්‍රිය තුර්කි නළුවකුට, කසකස්තානයේ මහාචාර්යවරයකුට සහ රුසියාවේ මහාචාර්යවරියකටද සම්මාන හිමිවිය (ඡායාරූපයේ මැද සිටින්නේ ඇකඩමියේ ප්‍රධානී මහාචාර්ය රහීමා අබ්දුවයියේවා) චිංගීස් අයිත්මාතොෆ් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමේ භාග්‍යය ලැබූ 'චූලා' එම සම්මානය භාරගැනීම පිණිසයි, ලන්ඩනයට පැමිණ සිටියේ. චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය විසින් ඔහුට එම සම්මානය පිරිනමනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවැත්වුණු උත්කර්ශවත් උත්සවයකදී. සිරකුටියකදී සාහිත්‍යකරණයට යොමු වූ අන්දම රටවල් ගණනාවක නියෝජිතයන් හමුවේ චූලානන්ද සමරනායක සම්මානය භාරගනිමින් විස්තර කළ අවස්ථාවේ සභාවෙන් මතුවුනේ උණුසුම් අත්පොලසන් නාදයක්. "It was a great speech," කෙනෙක් 'චූලාට' සුභපතනු මා දුටුවේ එම උත්සව සභාවට එක්වීමට මටත් ආරාධනාවක් ලැබී තිබුණු නිසා. (චූලානන්ද සමරනායක සමඟ සංවාදයට සවන්දෙන්න) චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුනේ රිග්ල්ස්වර්ත් සාමිවරයා විසින් "ශිෂ්‍ය දේශපාලනයේ යෙදීමත් එක්කම ඒ පැවතිච්ච මර්දනයට දඩයම් වෙලා මගේ ජීවිතේ තුන්පාරක් මම අත්අඩංගුවට ගන්නවා," ඔහු මා සමඟ ඒ අතීතය මෙනෙහි කළේ ඊට දිනකට පෙරාතුව සංදේශය මැදිරියේදී. "මගේ ජීවිතේ තුන්පාරක් මම අත්අඩංගුවට පත්වෙනවා. තුන්පාරක් මම මරණයට මුහුණදෙනවා. තුන්වෙනි වතාවේ මම දීර්ඝකාලීන රැඳවුම් භාරෙකට පත්වෙනවා පොලිසිය සහ හමුදාව විසින් නඩත්තු කරන ලද කඳවුරුවල." පදික වේදිකාවේදී හමුවුන සමුගනිමි ගුරුසාරි කෘතිය පරිවර්තනය කිරීමට ඔහු යොමුවන්නේ එසේ අත්අඩංගුවේ සිටියදී. "ඒ නිසා මේ කෘතිය බිහිවෙන්නේ සිරකුටියක් ඇතුලේ. මම පරිවර්තකයෙක් වෙන්නේ එතනින්." ඉන් අනතුරුව තවදුරටත් අයිත්මාතොෆ් 'සොයා යාමට' පෙළඹුණු සම්මානලාභී පරිවර්තකයා මේ වනවිට කෘති පනහකට වඩා පරිවර්තනය කළ කෘතහස්ත ලේඛකයෙක්. සිය ජනප්‍රියම ලේඛකයකු වන අයිත්මාතොෆ් ලේඛකයාගේ ජනප්‍රියම නිර්මාණ හයක් සිංහල පාඨකයාට හඳුන්වා දීමට ලැබීම තමා ලැබූ භාග්‍යයක් මෙන්ම ඒ සඳහා තමා දැරූ වෙහෙස ඇගැයීමකට ලක්වීම පිළිබඳව ප්‍රබල සතුටක් දැනෙන බවත් ඔහු පැවසීය. නම් දැරූ රුසියානු ලේඛකයන් ගණනාවකගේ කෘති සිංහල පාඨකයාට හඳුන්වා දුන් 'චූලා' පවසන පරිදි පසුකාලීනව තමන් බරපතලම කම්පනයකට පත් කළ ලේඛකයා අනතෝලි රිබාකොෆ්. "රිබාකොෆ් හඳුන්වා දීමේ ගෞරවය මම පුදකරන්න ඕන පසන් කොඩිකාරට. පසන් කොඩිකාර අරබත් දරුවෝ පරිවර්තනය හරහා තමයි රිබාකොෆ් අපිට හඳුන්වල දෙන්නේ." (ශ්‍රී ලංකාවේ පරිවර්තන සාහිත්‍යය සහ ගුරු ගීතය චිත්‍රපටය - චූලානන්ද සමරනායක සමඟ සංවාදයේ දෙවැනි කොටස ඉක්මනින්ම)
ඓතිහාසික නොට්‍ර ඩාම් දේවස්ථානයේ ඇතිවූ ගින්නෙන් එහි වහලය සහ කොත සම්පූර්ණයෙන්ම විනාශ විය. ශෛලමය සැකිල්ල ද තර්ජනයට ලක් විය.
පැරිස් නුවර උප නගරාධිපතිවර එම්මානුවෙල් ග්රෙග්වාර් කියා සිටියේ දේවස්ථානයට "අතිවිශාල විනාශයක්" සිදු වූ බවය. එහි තැන්පත් කර තිබූ මිල කළ නොහැකි කලා කෘති සහ අනෙකුත් භාණ්ඩ බේරා ගැනීම සඳහා හදිසි සේවා ක්‍රියාත්මක වෙයි. දේවස්ථානයේ දැවමය අභ්‍යන්තරය මුළුමනින්ම ගිනිබත් වී හමාරය. වසර 850ක් පැරණි මෙම ගොඩනැගිල්ල ගොතික් සම්ප්‍රදායට අයත් ය. 'රෝස කවුළු' මෙම දේවස්ථානය සතුව 'රෝස කවුළු' තුනක් පවතී. ඒවා 13වන සියවසට අයත් ය. සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණය ඇත්තේ මෙම කවුළු නිර්මාණය දෙසට ය. ඉන් කුඩා ම කවුළුව දේවස්ථානයේ බටහිර මුහුණතෙහි පිහිටා ඇත. එය නිම කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1225 දීය. වීදුරු රටා මතුවන ආකාරයට ඒ වටා ඉදිකර ඇති ශෛලමය නිර්මාණය දැකුම්කළු ය. දකුණු පස පිහිටි රෝස කවුළුවේ විෂ්කම්භය අඩි 43ක් පමණ වෙයි. කැටයම් සහිත වීදුරු 84 කින් සමන්විතය. මීට පෙර ඇතිවූ ගිනි ගැනීම් නිසා එහි මුල් වීදුරු කැටයමට හානි සිදු වී තිබුණි. මෙවර ඇතිවූ ගින්නෙන් මෙම රෝස කවුළු තුනට හානි සිදුවී නොමැති නමුත් ගොඩනැගිල්ලේ පවතින දුර්වල තත්වය නිසා ඊට හානියක් සිදු වේදැයි බලධාරීහු බිය පළ කරති. ගොතික් කුළුණු නොට්‍ර ඩාම් දේවස්ථානයේ බටහිර මුහුණතෙහි පවතින ගොතික් සම්ප්‍රදායට අයත් කුළුණු දෙක අසල සංචාරකයෝ නිරායාසයෙන්ම මදවේලාවක් හෝ නැවතී බලා සිටීමට පෙළඹෙති. මෙම කුළුණු ඉදි කිරීම ආරම්භ කෙරුණේ ක්‍රිස්තු වර්ෂ 1200 දීය. නමුත් පළමු කුළුණ නිම කෙරුණේ වසර 40කට පසුවය. ඉන් දස වසරකට පසුව, එනම් 1250 දී දෙවන කුළුණ නිම කෙරුණි. මීටර 68ක් උසැති මෙම කුළුණු තුළ පවතින පියගැටපෙළ, පඩි 387කින් සමන්විත ය. ඉන් ඉහළට නැගී විට මුළු පැරිසිය ම දර්ශණය වේ. මෙම ඓතිහාසික කුළුණු දෙකට ගින්නෙන් හානියක් වී නොමැති බව බලධාරීහු නිවේදනය කළහ. මිත්‍යා සත්ව රූප එම පියගැටපෙළ ඔස්සේ දේවස්ථානය මුදුනට පියමැන යන්නෙකුට අනිවාර්යයෙන් ම නෙත ගැටෙන සත්ව රූප කිහිපයකි. සතුන් කිහිප දෙනෙකුගේ දේහ ලක්‍ෂණ එක්තැන් කර නිර්මාණය කර ඇති මෙම එක් මිත්‍යා සත්ව රූපයක් (gargoyles) පැරිස් නගරය දෙස නෙත් යොමා සිටී. ඝාණ්ටාර ඓතිහාසික නොට්‍ර ඩාම් දේවස්ථානය තුළ ඝාණ්ටාර දහයක් ඇත. ඉන් විශාලතම ඝාණ්ටාරයේ බර ටොන් 23කි. එය නම් කොට ඇත්තේ 'එම්මානුවෙල්' යනුවෙනි. මෙම ඝාණ්ටාරය දකුණු කුළුණේ සවි කරනු ලැබුවේ 1685 වසරේදී ය. එහි පවතින ඝාණ්ටාර දහයට ම නියමිත නමක් පවතී. ප්‍රංශ විප්ලවය සමයේ දී කාලතුවක්කු උණ්ඩ නිපදවීම සඳහා එවක වූ ඝාණ්ටාර උණු කොට ලෝහ ලබා ගෙන තිබේ. 2013 වසරේදී මෙම දේවස්ථානයේ 850 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම ඝාණ්ටාර නැවත පිළිසකර කෙරුණි. ගොතික් කොත සඳුදා හටගත් ගින්නට ගොදුරු වී නොට්‍ර ඩාම් දේවස්ථානයේ කොත විනාශ විය. මෙහි ඓතිහාසික වටිනාකම 12වන සියවස දක්වා දිව යන්නකි. මෙම කොත ඉතිහාසය පුරා වෙනස්වීම් කිහිපයකට ලක් විය. ප්‍රංශ විප්ලව සමයේ දී මෙය ගලවා දැමුණි. නැවත ඉදි කෙරුණේ 1860 දීය. කෞතුක භාණ්ඩ ජේසුස් වහන්සේ කුරිසයට ඇණ ගැසීමට ගෙන යන මොහොතේ හිස පැළඳ සිටි කටු ඔටුන්න බේරාගත් බව නිවේදනය කෙරුණි කෞතුක වටිනාකමින් යුත් භාණ්ඩ රාශියක් ඓතිහාසික නොට්‍ර ඩාම් දේවස්ථානය තුළ තැන්පත් කර තිබුණි. ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට ගෙන යන මොහොතේ හිස පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන කටු ඔටුන්න ද ඉන් එකකි. ජේසුස් වහන්සේ කුරුසයට තබා ගසන ලදැයි සැලකෙන ඇණයක් ද එහි විය. නවවැනි ලුවිස් රජු ගේ ඔටුන්න සහ ඔහු හැඳ සිටි බවට සැලකෙන කබාය ද එහි තැන්පත් කර තිබුණි. ඒවා ගින්නෙන් බේරා ගත් බව නිවේදනය විය. නමුත් ඇතැම් විශාල පින්තාරු ගින්නට හසුවී ඇති බව සැලවිණි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාට තුන් වෙනි වරටත් පදවියට තරඟ කළ හැකිද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම මගින් බලය අයුතු ලෙස පාවිච්චි කර ඇතැයි හිටපු අග විනිසුරු සරත්.එන්.ද සිල්වා ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ එය මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයාගේ පෞද්ගලික කාරණයක් මිස ජාතික වැදගත් කමක් සහිත කාරණයක් නොවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට හැකියාවක් ඇත්තේ පොදු වැදගත්කමක් ඇති නීතිමය ප්‍රශ්න පිළිබඳව බව හිටපු අග විනිසුරුවරයා පෙන්වා දෙන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.2 සහ 31 යන වගන්ති යටතේ, තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය දැරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නුසුදුස්සෙකු වී ඇති බවයි ඔහු පවසන්නේ. පුද්ගල කේන්ද්‍ර ගත ප්‍රශ්නයක් “මෙය පුද්ගල කේන්ද්‍ර ගත ප්‍රශ්නයක්. නුසුදුස්සෙකු වන්නේ ජනාධිපතිවරයා නොවෙයි පුද්ගලයායි,” යනුවෙන් සඳහන් කළ ඔහු, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයිතිවාසිකම් සහ නුසුදුසුකම් පටලවා ගෙන ඇති බව පැවසුවේය. ජනාධිපතිවරයා ගත් එම ක්‍රියාමාර්ගය හේතුවෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට ඇති ඉඩ කඩ පවා අහුරා දමා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙය නීතිඥ සංගමයට යොමු කරමින් ඒ පිළිබඳව හත් වැනිදාට ප්‍රථම ඔවුන්ගේ අදහස් ඇතුළත් ලිඛිත සන්දේශයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති බව පැවසූ හිටපු අග විනිසුරු සරත්.එන්.ද සිල්වා හෙට බ්‍රහස්පතින්දා නිවාඩු දිනයක් නිසා ඔවුන්ට ලැබී ඇත්තේ ඉතා කෙටි කාලයක් බව පැවසුවේය. මෙයින් අදහස් කරන්නේ නීතිඥ සංගමයට කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුන් බව කියා පෑම පමණක් බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ. වැදගත් යයි තමන් හිතන කරුණක් සම්බන්ධයෙන්; රට ගැන හෝ කාලීන වැදගත් කමක් ඇති නීතිමය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ කඩ පැවරී ඇති බවයි ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා ප්‍රකාශ කළේ. ප්‍රතිපාදන ඉතාමත්ම පැහැදිලි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ප්‍රතිපාදන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. “ එසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීමට අවස්ථාවෝචිත වන ස්වභාවයක් තිබිය යුතුයි. එසේම පොදු වැදගත් කමක් තිබෙන ප්‍රශ්නයක් ද විය යුතුයි යන කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තියේ ඇතුළත් වෙනවා,” ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා ප්‍රකාශ කළේය.
බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ තරඟ පාවාදීමේ උත්සාහයක් දියත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්වාර කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි සනාථ කළේය.
තරඟ පාවාදීමේ උත්සාහය ක්‍රීඩකයන් දෙදෙනා වහාම බලධාරීන්ට දැනුම් දුන් බව ක්‍රිකට් ආයතනය පවසයි තරඟ පාවා දෙන මෙන් කිසියම් පුද්ගලයකු කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට යෝජනා කර ඇති අතර, ඔවුන් එම උත්සාහය පිළිබඳව වහාම අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවත් සිදත් වෙත්තමුණි බීබීසී සංදේශයට පැවසීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් ඒ පිළිබඳව ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් දී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වුණු ටෙස්ට් තරඟය හිතාමතාම පරාජය කරන මෙන් එම පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යෝජනා කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබුණේ. කෙසේ නමුත් එම පුද්ගලයා විශේෂයෙන් තරඟයක් සඳහන් කර නැති බව සංදේශයට කියා සිටි සිදත් වෙත්තමුණි: "නෑ නෑ එහෙම තරඟයක් ගැන මොනවත් කතාකරලා නෑ. නිකම් තරඟ පාවාදීම ගැන සාමාන්‍යයෙන් අහල තියෙන්නේ." මේ අතර තහනම් උත්තේජක භාවිත කිරීම පිළිබඳව කුසල් ජනිත් පෙරේරාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව, විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එරෙහි කුමන්ත්‍රණයක් දැයි සැක සිතෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය බදාදා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.
ජපානයේ කොවිඩ් රෝගීන් වැඩිවීමක් වාර්තා වුවත්, තවත් දෙමසකට අවම කාලයක් තුළ ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිතය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) අවධාරණය කරන්නේ ටෝකියෝවේ දැනට හදිසි තත්ත්වයක් පැවතුනද ක්‍රීඩා උළෙල ඉදිරියට යා යුතු බවය. ඔලිම්පික් කවදාද, කොහේද? 2020 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපාන අගනුවර වන ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතය. වෙනත් බොහෝ උත්සව මෙන්ම, කොවිඩ් නිසා මෙම උළෙලද කල් දැමීමට සිදු විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග 33ක් සහ ඉසව් 339ක් ස්ථාන 42ක පැවැත්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද ක්‍රීඩා 22ක ඉසව් 539ක් ස්ථාන 21කදී පැවැත්වේ. බොහෝ තරග ඉසව් ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතය. සමහර පාපන්දු ක්‍රීඩා තරග සහ මැරතන් තරග හොක්කයිඩෝ හි සප්පෝරෝ නගරයේ පැවැත්වීමට නියමිත අතර එම ප්‍රදේශවල දැනටමත් හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබේ. අගනුවර ඇති විය හැකි උෂ්ණත්වය සම්බන්ධ කරුණක් නිසා මැරතන් තරගය ටෝකියෝ නගරයෙන් පිටත පැවැත්වීමට තීරණය කෙරිණි. ජපානයේ කොවිඩ් තත්ත්වය කෙසේ ද? ජපානයේ සාපේක්ෂව අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන නමුත් අප්‍රේල් මාසයේ දී නව ආසාදන රැල්ලක් ආරම්භ විය. පසුගිය වසරේ සිට රෝගීන් 720,000 ක් සහ මරණ 12,200 ක් පමණ එරටින් වාර්තා වී තිබේ. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග, මැයි මස අවසානය දක්වා රටේ විශාල ප්‍රදේශයක හදිසි තත්ත්වයක් නිවේදනය කළ අතර සමහර ප්‍රදේශවල ජුනි 20 දක්වා සීමාවන් ක්‍රියාත්මකය. ජපානය සිය වැසියන්ට එන්නත ලබා දීම ආරම්භ කළේ පෙබරවාරි මස සිට වන අතර, වෙනත් දියුණු රටවලට වඩා එහි ප්‍රමාදයක් දක්නට ලැබිණි. මේ දක්වා, සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 2.9ක් පමණයි. එය ජපන් ජනගහනයෙන් 2.3%ක් වේ. කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ටෝකියෝ සහ ඔසාකාහි විශාල ලෙස එන්නත් කිරීමේ වැඩසටහනක් මැයි මස අග දී ආරම්භ විය. ජූලි මස අවසන් වන විට 65ට වැඩි අයට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දීමට බලධාරීහු බලාපොරොත්තු වෙති. මේ දක්වා, සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 2.9ක් පමණයි ක්‍රීඩා සඳහා ක්‍රියාත්මක වන කොවිඩ් සීමා මොනවාද? වෛරසය හේතුවෙන් ජපානයේ දේශසීමා විදේශිකයන්ට වසා ඇත. එබැවින් කිසිදු විදේශික ක්‍රීඩා ලෝලියෙකුට උළෙල සඳහා ජපානයට පැමිණිය නොහැකිය. ස්වදේශීය ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමට ඉඩ ලැබෙනු ඇති අතර, කොවිඩ් තත්ත්වය දරුණු වුවහොත් ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්වීමට ඉඩ ඇත. ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සහායක කාර්ය මණ්ඩල අදාළ රටින් පිටත්ව යාමට පෙර සහ ජපානයට පැමිණි පසු කොරෝනාවෛරස පරීක්ෂණය සිදු කළ යුතුය. ඔවුන්ට නිරෝධායනය වීම අවශ්‍ය නොවනු ඇති නමුත් එකම කණ්ඩායමක් සමග රැඳී සිටිමින් ප්‍රදේශවාසීන් සමඟ මිශ්‍ර වීමෙන් වැළකී සිටිය යුතුය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් එන්නත ලබා ගෙන තිබීම අනිවාර්ය නැත. නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිලධාරීන් බලාපොරොත්තු වන්නේ 80%ක් පමණ එන්නත ලබා ගෙන ඇති බවය. උළෙලට සහභාගිවන්නන්ට දිනපතා කොරෝනාවෛරස පරීක්ෂාවක් සිදු කරනු ලැබේ. මේ තොරතුරු ද කියවන්න: ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපාන වැසියන් කැමති ද? ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා උළෙලට විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් හෙළි වී තිබේ. මෙම වැඩසටහනෙන් පසු කොවිඩ් ව්‍යාප්ත වී සෞඛ්‍ය සේවා පද්ධතියට පීඩනයක් එල්ල වේ යැයි බියෙන් ටෝකියෝ පළාත පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සත්කාරකත්වය සැපයීමට සැලසුම් කර ඇති නගර කීපයක්ම දැනටමත් එයින් ඉවත් වී ඇති බව වාර්තා වේ. වසංගතය හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීම "කළ නොහැකි" බව මැයි මස මුල දී ජපාන වෛද්‍ය සංගමයක් රජයට පැවසීය. ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික අධිපතියෙකු ද ඔලිම්පික් උළෙල පැවැත්වීමට ගත් තීරණය විවේචනය කර තිබේ. "ඔලිම්පික් උළෙල කල් දැමීමට හෝ අවලංගු කිරීමට බොහෝ දෙනෙකුට අවශ්‍ය වී තිබෙනවා. එය බලෙන් පවත්වන්න යන්නේ මොන බලයක් මත ද?," යැයි සොෆ්ට්බෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරී මසයෝෂි සොන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. මැයි අග දී, ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන Asahi Shimbun ද ක්‍රීඩා උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නියෝජිතයන් පවසන්නේ කුමක්ද? විවිධ කමිටු කීපයක් සහ විශේෂඥයන් ගණනාවක් ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන සිය අවධානය යොමු කර තිබේ. රටවල් 60 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85,000 ක් නියෝජනය කරන ලෝක ක්‍රීඩකයන්ගේ සංගමය පවසා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩි අවධානයක් යොමු කර යුතු බවය. ජපාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දුරට නිශ්ශබ්දව සිටින නමුත් රටේ ජනප්‍රියම ක්‍රීඩා තරුව වන ටෙනිස් ශූර නයෝමි ඔසාකා පැවසුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවය. ටෙනිස් ශූර නයෝමි ඔසාකා ඔලිම්පික් උළෙලට සහභාගී වීම ගැන වෙනත් රටවල් පවසා ඇත්තේ කුමක්ද? කිසිදු ප්‍රධාන රටක් ක්‍රීඩා උළෙලට එරෙහිව අදහස් ප්‍රකාශ කර නොමැත. කොවිඩ් රෝගීන් වැඩිවීමත් සමඟ එක්සත් ජනපදය ජපානයට කෙරෙන සංචාර සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් නිලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට සහභාගී වනු ඇතැයි විශ්වාස කරන බවය. "අපගේ සම්පූර්ණ කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සඳහා යැවීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා," එක්සත් රාජධානි කණ්ඩායම පවසයි. චීන ජනාධිපති ෂී ජින් පිං ද සිය සහයෝගය පළ කර තිබේ. මීළඟ ශීත සෘතු ක්‍රීඩා උළෙල 2022 පෙබරවාරි මාසයේදී චීනයේ පැවැත්වීමට නියමිතය. ඔලිම්පික් අවලංගු කළ හැකිද? ඔව්, නමුත් සාමාන්‍යයෙන් යුද්ධමය තත්ත්වයක් හෝ සිවිල් කැළඹීමක් වැනි සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ සත්කාරක නගරය වන ටෝකියෝ අතර ඇති කර ගත් ගිවිසුමෙන් පැහැදිලි වන්නේ මෙම අවස්ථාව අවලංගු කළ හැක්කේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පමණක් බවය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය මුදල්වලින් 70% ක් විකාශන අයිතියෙන් ද 18% ක් අනුග්‍රාහකත්වයෙන් ද උපයා ගනු ලබන බව විශ්වාස කෙරේ. ඔලිම්පික් උළෙල ඉදිරියට නොගියහොත්, එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට මූල්‍යමය වශයෙන් හා ඔලිම්පික් අනාගතයට ද දැඩි ලෙස බලපෑ හැකිය. හදිසි තත්ත්වයක් යටතේ වුවද, ආරක්ෂිතව උළෙල ඉදිරියට යා හැකි බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නැවත නැවතත් අවධාරණය කර ඇති හෙයින්, එම තීරණය නැවත හැරවීමට ඇති ඉඩකඩ අවම බව පෙනෙන්නට තිබේ. ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා උළෙලට විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් හෙළි වී තිබේ ටෝකියෝව ගිවිසුම බිඳ දමා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තීරණයට එරෙහිව උළෙල අවලංගු කළහොත් එහි අවදානම සහ අලාභය ජපාන පාර්ශවය මත පැටවෙනු ඇත. ටෝකියෝ ඔලිම්පික් 2020 සඳහා අයවැය ඩොලර් බිලියන 12.6ක් ලෙස සඳහන් කර ඇතත් නියම පිරිවැය දෙගුණයක් විය හැකි බවට වාර්තා වී ඇත. ඔලිම්පික් උළෙලට සම්බන්ධ සියලු පාර්ශවයන් දැඩි ලෙස රක්ෂණය කර ඇති නමුත් උළෙල ඉදිරියට නොයන්නේ නම් සිදුවන පාඩු ඊට ඉහළ අගයක් ගනු ඇත. කල් දැමීම සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් නොමැතිකම හේතුවෙන් මේ වන විටත් සාමාන්‍ය ඔලිම්පික් උළෙලකින් අපේක්ෂිත ලාභය සත්කාරක රට වන ජපානයට සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට නොලැබෙනු ඇත.
එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ජගත් කුසලානයට සුදුසුකම් ලැබීම පිණිස කණ්ඩායම් දහයක් හෙට (පෙබ.07) සිට ශ්‍රී ලංකාවේදී තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය 'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව 'බී' කාණ්ඩයට අයත් වේ. ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර කියා සිටියේ සිය කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවය. හෙට දින ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී තරග වදින අතර, තවත් තරග තුනක් එදිනම පැවැත්වේ. පෙබරවාරි 13 වැනිදා මූලික වටයේ තරග අවසන් වන අතර පෙබරවාරි 15 වැනිදා 'සුපර් සික්ස්' වටය ආරම්භ වේ. සුපර් සික්ස් වටයේ මුල් ස්ථාන හතර දිනාගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට තරග වැදීමට සුදුසුකම් ලබති. අයිසීසී කාන්තා ශූරතාවලියේ පළමු ස්ථාන හතර හොබවන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙවු සහ නවසීලන්තය ලබන ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන ඉනෝක රණවිර තරගාවලිය පිළිබඳ දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටන් නරඹන්න.
ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිය විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව කටයුතු කරන බවට චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය නොවන සංවිධාන සිය වගකීම වටහාගෙන කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.
ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ, තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් තමාගේ හා අගමැතිවරයාගේ වත්කම් හෙළිකරන ලෙස රාජ්‍ය නොවන සංවිධානයක් කළ ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි. අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ නිල උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "රාජ්‍ය නොවන සංවිධානත් දැනගන්න ඕනේ, තමාගේ වගකීම මොකක්ද කියලා. කළ යුතු දේ කිරීමත් නොකළ යුතුදේ නොකරන්නටත් දැනගන්න ඕනේ," යනුවෙන් ද සඳහන් කළේය. තොරතුරු දැනගැනීමේ පනත ගැසට් කළ දිනයේදීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වත්කම් හෙළිකරන ලෙස රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලීමක් කර තිබුණි. "ගැසට් එක පලකළ පෙබරවාරි 2 දිනය දාලම මටයි අගමැතිතුමාටයි, රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලනව වත්කම් ඉල්ලලා. මම හරි සතුටු වෙනවා ඒ ගැන," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ," බව සඳහන් කළ ඔහු, ජනාධිපති ධුරයට පත්වී ගතවගිය දෙවසර තුළ වත්කම් ප්‍රකාශ ලබාදුන් එකම ජනාධිපතිවරයා තමන් බවත් පැවසීය. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරන දිවයින පුරා පිහිටි සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරන තොරතුරු නිලධාරීන් දෙදහසක් පමණ උත්සවයට සහභාගි වී සිටියහ. දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඉතා විවෘතව කටයුතු කළ යුතුය යන්න තොරතුරු දැනගැනීමේ පනතෙන් පෙන්වාදෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. උත්සවයේදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත ලෝකයේ හොඳම තොරතුරු පනත් අතර තුන්වෙනි ස්ථානයට ශ්‍රේනිගතවී ඇති බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දක්ෂතා අතරට ගෙන ඒමේ අභියෝගය තමන් භාර ගන්නා බව ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය පවසයි.
ක්‍රිකට් මුල සිට ආරම්භ කිරීමට සිදු වෙලා - සනත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඉරිදා (01) සිට යළි පත් කරනු ලැබූ අතර බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් 'පහළ සිට ඉහළට' ගෙන යෑමේ අභියෝගයට මුහුණ දීමට තමන් සුදානම් බවයි. 2013 සිට 2015 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් තමන් විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග ඉන් පසු පත් කෙරුණු තේරීම් කමිටු ඉදිරියට ගෙන නොයාම කණ්ඩායමේ වත්මන් පසුබෑමට එක් හේතුවක් විය හැකි බවයි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසන්නේ. 'අපි ලංකාවේ ක්‍රිකට් ගැනයි බලන්න ඕනේ, පුද්ගලයා ගැන නොවෙයි. අළුත් තේරීම් කමිටුවක් පත් වූ විට කලින් අය කළ හොඳ දේවල් ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි' 'දැන් අපිට වෙලා තියෙන්නේ පහළ සිට පටන් ගන්නයි, ගිය පාරට වඩා ලොකු වගකීමක් අපට දැන් තිබෙනවා' නවක ක්‍රීඩකයන් යොදාගැනීම, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවට නවක ක්‍රීඩකයන් ආදේශ කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි සැලසුම් ඇතුළු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සනත් ජයසූරිය දැක්වූ අදහස් දැන ගැනීමට වීඩියෝ පටය නරඹන්න.
ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි මාසයේ යෙදී ඇති බැවින් කතෝලික සභාව මෙම ඉල්ලීම කර තිබේ. කාදිනල් හිමිපාණන් විසින් යොමු කළ ලිපියට ජනපතිවරයාගේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටින බව කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සංදේශයට පැවසූහ. ආණ්ඩුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇති ජනවාරි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳුදා ප්‍රකාශ කළේය. 'උචිත නෑ' කුමන හෝ රටක ජාතික මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක පාප් වහන්සේ එහි සංචාරය කිරීම ‘උචිත නැති බව’ මීට පෙර ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනය කළේය. නමුත් මේ දක්වා පාප් වහන්සේගේ සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සංදේශයට කියා සිටියහ. ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට රදගුරුවරුන්ගේ හමුවක් පැවැත් වීමට නියමිත බව ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.
සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ දැක්වෙන කරුණු පහක්.
දරිද්‍රතා ඉමට පහලින් ජීවත් වන ජනතාව: පළමු සහශ්‍ර සංවර්ධන ඉලක්කය වූයේ 1990 සිට 2015 කාලය තුළදී දිනකට ඩොලරයකට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අර්ධයකින් අඩු කිරීමයි. 2015 එළැඹීමට වසර හතකට කලින් ශ්‍රී ලංකාව එම ඉලක්කය සපුරා ඇත. ආදායම් අසමානතාව සැලකිය යුතු කරුණකි. ජාතික ආදායමෙන් 38%ක් රටේ ධනවත්ම ජනතාවගෙන් 10%ක් අතර බෙදී යයි. දිළිඳු ජනතාවගෙන් 10%ක් අතර බෙදී යන්නේ ජාතික ආදායමෙන් 1.5%ක් පමණි. දරිද්‍රතා මට්ටම අවම දිස්ත්‍රික්කය කොළඹ (1.4%) වන අතර මුලතිව් (28.8%) සහ මොනරාගල (20.8%) දරිද්‍රතාව වැඩිම දිස්ත්‍රික්ක ලෙස දැක්වේ. සැමට ප්‍රථමික අධ්‍යාපනය ලබා දීම: දෙවන සහශ්‍ර සංවර්ධන ඉලක්කය මෙය වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථමික ශ්‍රේණිවල දරුවෝ සෑම කෙනෙකුම පාහේ පාසැල් යති. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව: පාසැල් යන ගැහැණු සහ පිරිමි ළමයි සංඛ්‍යාව සමාන වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමට සමානව අධ්‍යාපනය ලබා දීම තවත් සහශ්‍ර සංවර්ධන ඉලක්කයකි. රැකියා ලබා දීමේදී සැමට සමාන අවස්ථා ලබා දීම සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. බිළිඳු මරණ අවම කිරීම: මාතෘ මරණ ඉහළ නැංවීම:
සිකීම් ප්‍රාන්තය සහ තිබ්බතය අතර සිය භූමිය ආක්‍රමණය කළ බවට චීනය ඉන්දියාවට චෝදනා කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම යළිත් වරක් උත්සන්න වෙමින් පවතී.
ඉන්දීය දේශසීමා ආරක්ෂක භටයන් සිය ආරක්ෂක හමුදාවල "සුපුරුදු ක්‍රියාවලියට" බාධා කළ බව පවසන චීනය, ඔවුන් වහාම සිය භූමියෙන් ඉවත්කර ගන්නා මෙන් ඉන්දියාවට පවසයි. සිය භූමියට ඇතුළු වූ බවට ඉන්දියාව ද මෑතදී චීනයට චෝදනා කළේය. මතභේදයට තුඩු දී තිබෙන හිමාලය බද නතු ලා (Nathu La) මුරකපොල්ල තිබ්බතයේ පිහිටි හින්දු සහ බෞද්ධ ආගමික සිද්ධස්ථාන වඳ පුදා ගැනීම සඳහා පැමිණෙන ඉන්දීය බැතිමතුන් බහුලව භාවිත කරන ස්ථානයකි. 'සාමයට තර්ජනයක්' 1967 දී චීනය සහ ඉන්දියාව අතර එම ප්‍රදේශයේ ගැටුම් හටගත් අතර, තවමත් වරින්වර ගැටුම් හටගනියි. දෙපාර්ශවය අතර වර්තමානයේ හටගෙන තිබෙන මතභේදය මෑත වසර කිහිපය ඇතුළත උණුසුම බරපතල ලෙසින් ඉහළ ගිය එක් අවස්ථාවක් බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ බීබීසී සංස්කාරක එතිරාජන් අන්බරසන් පවසයි. මෙම මත ගැටුම කලාපයේ සාමයට තර්ජනයක් විය හැකි බවට චීන බලධාරීන් අනතුරු අඟවන්නේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දේශසීමාවේ සිය පාර්ශවයේ මහා මාර්ගයක් ඉදිකිරීමකට බාධා කරන බවට ද චීනය ඉන්දියාවට චෝදනා කරයි. එම චෝදනා පිළිබඳව ඉන්දියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත. මෑත සති කිහිපය තුළ ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ උණුසුම ඉහළ යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය විසින් දේශසීමාව හරහා කෙරෙන වන්දනා චාරිකා තහනම් කරනු ලැබ තිබේ.
ඉරානයට බාධා කිරීමට ලෝක ප්‍රජාව පියවර නොගන්නේනම් තෙල් මිළ සීග්‍රයෙන් ඉහළ යාමට ඉඩ ඇතැයි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අනතුරු අඟවා තිබේ.
ඒවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලය වන්නේ ඉරානය දිරිමත් වී යුද්ධයකට මග පැදීම බවත් ඉන් ගෝලීය ආර්ථිකයට බලවත් හානි සිදුවනු ඇති බවත් මොහොමඩ් බින් සල්මන් කුමරු සඳහන් කළේය. සිය ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව ටෙහෙරාන් පාලනය කුමරුගේ දෝෂ දර්ශනයට ලක්විය. කුමරුගේ මේ ප්‍රකාශයෙන් සිදුවන්නේ "අන් කවරක් නොව, (සෞදියට) ලජ්ජාව අත්කරදීම" බව ඉරානය පැවසීය. මේ අතර මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් ද කුමරු අදහස් පළකර තිබේ. එම ඝාතනය සම්බන්ධ ඇතැම් වගකීම් තමා භාරගන්නා බව කුමරු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් CBS පුවත් සේවයට අදහස් දක්වූ කුමරු, තමා අදාළ ඝාතනයට පෞද්ගලිකව අණ කල බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළේය. සවුදියේ අරාබියේ, තිරයෙන් පිටුපස සිටින පාලකයා ලෙස සැළකෙන සල්මාන් කුමරු, රියාද් පාලනය විවේචනය කළ මාධ්‍යවේදී ජමාල් කෂෝගිව පෞද්ගලිකව ඉලක්ක කළ බවට සැක කෙරේ. 2018 වසරේ ඔක්තෝබර් දෙවැනිදා තුර්කියේ පිහිටි සවුදි අරාබි කොන්සල් කාර්යාලයේදී කෂෝගි ඝාතනය කෙරිණ. ජමාල් කෂෝගී ඉකුත් ඉරිදා "CBS' 60 Minutes" ප්‍රවෘත්ති වැඩසටහන හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමරු මේ සම්බන්ධව අදහස් පළකළේය. එහිදී ඔහු පවසා තිබුණේ මෙම ඝාතනය සෞදි ආණ්ඩුව වෙනුවෙන් සේවයේ නිරත පුද්ගලයින් අතින් සිදුවූවක් බැවින්, රටේ නායකයකු ලෙස එහි වගකීම තමා සම්පුර්ණයෙන්ම භාරගන්නා බවය. කෙසේ වෙතත් කෂෝගී ඝාතනයට සෘජුවම අණ දුන් බවට හෝ ඝාතනය සිදුවන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවට නැගෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය. යේමනයේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ද අදහස් පළකළ කුමරු ඒ වෙනුවෙන් වන දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡා පැවැත්වීමටද යෝජනා කරන බවක් පෙනිණි. හූති කැරළිකරුවන් සෞදි අරාබියේ නායකත්වයෙන් යුත් සන්ධානයක සහය ඇතිව එරට රජයේ හමුදා , ඉරානයේ සහය ලබන හූති කැරළිකරුවන්ට එරෙහිව සටන් වැද සිටිති. ඉරානය සෞදි අරාබියේ කලාපීය ප්‍රතිවාදියා මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ විරුද්ධවාදියෙකි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීම අරමුණු කරගත් ගිවිසුමෙන් ඉවත් විය. මේ වසරේ ඇමරිකාව සහ ඉරානය අතර උණුසුම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ, මැයි සහ ජූලි අතර ගල්ෆ් කලාපයේදී තෙල් ටැංකි හයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ද ඇමරිකාව ඉරානයට චෝදනා කිරීමත් සමගිනි. නමුත් එම චෝදනා ටෙහෙරානය ප්‍රතික්ෂේප කරයි. තෙල් පිළිබඳ අනතුරු ඇඟවීම? සැප්තැම්බර් මාසයේ මුලදී සෞදි අරාබියේ තෙල් සැපයුම් මධ්‍යස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරානය පවසයි. එම ප්‍රහාර නිසා ගෝලීය තෙල් සැපයුමෙන් 5% ක් පමණ බිඳ වැටුණු අතර තෙල් මිල ඉහළ යාමටද එය හේතුවක් විය. එහෙත් සෞදි සිහසුනේ උරුමක්කාරයා වන මොහොමඩ් බින් සල්මාන් පැවසුවේ "ඉරානයට බාධා පැමිණවීම සඳහා ලෝකය දැඩි හා ස්ථිර ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, ලෝක අරමුණුවලට එල්ලවන තර්ජනය තවත් තීව්‍ර වනු අපට දැකගත හැකි වේවි" යනුවෙනි. "තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි අතර තෙල් මිල අපේ ජීවිත කාලය තුළ අප දැක නැති තරම් ඉහළ මට්ටමකට පැමිණෙනු ඇත." මැදපෙරදිග කලාපය "ලෝකයේ බලශක්ති සැපයුමෙන් 30% ක්, ගෝලීය වෙළෙඳ මාර්ග වලින් 20% ක්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් පමණ නියෝජනය කරනවා" යැයි ඔහු පැවසීය. "මේ කාරණා තුනම නතර වේ යැයි සිතන්න. මෙයින් අදහස් කරන්නේ සෞදි අරාබිය හෝ මැද පෙරදිග රටවල් පමණක් නොව ගෝලීය ආර්ථිකයේ සමස්ත බිඳවැටීමක්" යැයි කුමාරයා සඳහන් කළේය. ඉරානයේ " මෝඩකම" මත එල්ල කරන ලද ප්‍රහාරවල, උපාය මාර්ගික ඉලක්කයක් නොවූ බවද පැවසීය. සැප්තැම්බර් 14 වන දින අබ්කායික් සහ කුරයිස් හි පිහිටි තෙල් සැපයුම් මධ්‍යස්ථාන දෙකට ඩ්‍රෝන යානා 18 ක් සහ කෘස් මිසයිල 7 ක් එල්ල කළ බව සෞදි අරාබිය පවසයි. සෞදි අරාබියේ ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් ගිනි ගනිමින් තිබුණ ආකාරය ඉරාන හිතවාදී හූති කැරලි කරුවන් පැවසුවේ තමන් මෙම ප්‍රහාර පිටුපස සිටින බවකි. මෙම තෙල් සැපයුම් මධ්‍යස්ථානවලට පහර දී සතියකට පසු, තවදුරටත් එල්ලවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා සවුදි අරාබියට හමුදා යැවීමට ඇමරිකාව ඉදිරිපත් විය. යේමනය ගැන ඔහු පැවසුවේ කුමක්ද? යේමනයේ සිවිල් යුද්ධය හූති කැරලිකරුවන්ට දක්වන සහයෝගය නවත්වන ලෙස කුමරු ඉරානයෙන් ඉල්ලා සිටියේ යුද්ධය අවසානයකට ගෙන ඒම "වඩාත් පහසු" වනු ඇති බව පවසමිනි. " යේමනයේ ගැටලුවට දේශපාලන විසඳුමක් සඳහා වූ සෑම පියවරකටම අද අප විවෘතයි." යැයි ඔහු කීය. දින කිහිපයකට පෙර හූති සටන් කරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය සම්බන්ධයෙන් අදහස් පළ කළ කුමරු එය දේශපාලන සංවාදයක් සඳහා වූ "ධනාත්මක පියවරක්" ලෙස අර්ථදැක්වීය. මෙම සිවිල් යුද්ධය ලෝකයේ දරුණුතම මානුෂීය ව්‍යසනයට මග පාදා ඇති අතර එරට ජනගහනයෙන් 80% කට මානුෂීය ආධාර හෝ ආරක්ෂාව අවශ්‍ය බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ සිට මේ දක්වා 70,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කෙරේ. සිරගත කර ඇති කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ගැන ? ලුජේන් අල්-හැත්ලූල් කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන ලුජේන් අල්-හැත්ලූල් හට බන්ධනාගාරයේදී වධහිංසා පමුණුවා ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව සොයා බලන බව ද මෙම සම්මුඛ සාකච්ඡාවේදී කුමරු පැවසීය. පිරිමියෙකුගේ අවසරයකින් තොරව රිය පැදවීම සහ සංචාරය කිරීම වැනි අයිතිවාසිකම් උදෙසා සාර්ථක උද්ඝෝෂණයක් සංවිධාන කළද හැත්ලූල් සහ තවත් ක්‍රියාකාරීහු පිරිසක් වසරකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවෙති. කියවන්න
රටේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ පැහැදිලි තේරීම මැතිවරණ දිනය දා අත්විඳීමට ඇමෙරිකානු ඡන්දදායකයෝ සැරසෙමින් සිටිති. එම තේරීම සිදුවන්නේ දැනට ජනාධිපති ධුරය හොබවන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අතරිනි.
මේ එම තරගකරුවන් දෙදෙනා දරන ස්ථාවරය හා ප්‍රධාන කරුණු අටක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ කෙරෙන සංසන්දනයකි. කොරෝනාවෛරසය ජනාධිපති ට්‍රම්ප් ජනවාරි මස අගදී කොරෝනාවෛරස කාර්ය සාධන බලකායක් ස්ථාපනය කළ අතර ඔහු පවසන්නේ "සුරක්ෂිතතාව හා රට යළි විවෘත කිරීම" කෙරෙහි එහි අවධානය දැන් මාරු වී ඇති බවකි. කොරෝනාවෛරසයට අදාළ ප්‍රතිකාර හා එන්නත් වේගයෙන් නිර්මාණය කිරීම ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමට ඔහු පියවර ගෙන තිබේ. එවැනි ව්‍යාපෘති සඳහා ඔහු යොමු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වේ. ජෝ බයිඩන් හට අවශ්‍යවී තිබෙන්නේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීමට ය. සෑම ප්‍රාන්තයක ම අවම වශයෙන් පරීක්ෂණ මධ්‍යස්ථාන 10 ක් පිහිටුවීමට හා කොරෝනාවෛරස පරීක්ෂණ සැමට නොමිලේ සැපයීමට ඔහුට අවශ්‍ය කරයි. ෆෙඩරල් රජයේ පරිශ්‍රවලදී මුව ආවරණ පැළඳීම අවශ්‍ය කෙරෙන රට පුරා මුව ආවරණ පැළඳීමකට ඔහු සහය පළ කරයි. දේශගුණය ජනාධිපති ට්‍රම්ප් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සැක සංකා ඇත්තෙකි. එපමණක් නොව, පුනර්ජනනීය නොවන බලශක්තිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඔහුට අවශ්‍යය. තෙල් හා ගෑස් සෙවීම සඳහා කැණීම් වැඩි කිරීමටත් වැඩිමනත් පාරිසරික ආරක්ෂණ පියවර හැකිලීමටත් ඔහු ක්‍රියා කරයි. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් බැඳී ඇති පැරිස් දේශගුණික සම්මුතියෙන් ඉවත්වීමට ද ඔහු කැපවී සිටී. මෙම වසර අගදී එක්සත් ජනපදය එම සම්මුතියෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතය. ජෝ බයිඩන් කියා සිටින්නේ ඔහු තේරී පත්වුවහොත් වහාම පැරිස් දේශගුණික සම්මුතිය හා යළි එක්වන බවකි. වසර 2050 වනවිට එක්සත් ජනපදය විමෝචනයෙන් ශුන්‍ය වනු දැකීමට ඔහුට අවශ්‍ය ය. පොදු ඉඩම්වල තෙල් හා ගෑස් සඳහා කෙරෙන කැණීම්වලට නව කල්බදු දීම තහනම් කිරීමට ද ඔහු යෝජනා කරයි. ආර්ථිකය ජනාධිපති ට්‍රම්ප් මාස 10 ක් තුළදී රැකියා මිලියන 10 ක් මෙන්ම අලුත් කුඩා ව්‍යාපාර මිලියනයක් ඇති කිරීම සඳහා සපථ කර ඇත. බදු කපාහැරීම් ගෙනෙන බව පවසන ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදය තුළ රැකියා අවස්ථා පවත්වාගෙන යාම සඳහා දිරිදීමක් වශයෙන් සමාගම් වෙත බදු ණය සපයන බවද කියා සිටී. ජෝ බයිඩන් කියා සිටින්නේ පොදු සේවාවල ආයෝජනය වෙනුවෙන් ගෙවීම සඳහා ඉහළ ආදායම් ලබන්නන් කෙරෙහි බදු ඉහළ නංවන බවය. නමුත් එම බදු නැංවීම බලපානුයේ ඩොලර් ලක්ෂ හතරක වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයන් හට පමණක් බවද ඔහු පවසයි. දැනට ගෙවනු ලබන පැයකට ඩොලර් 7.25 ක් වන අවම වැටුප ඩොලර් 15 දක්වා ඉහළ නැංවීමට ද ඔහු ගේ සහය හිමිවේ. සෞඛ්‍ය පහසුකම් ජනාධිපති ට්‍රම්ප් හට, හිටපු ජනාධිපති ඔබාමා ගේ පාලන සමයේ සම්මත කරන ලද පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණ ක්‍රමය සඳහා මධ්‍යම ආණ්ඩුවේ නියාමනය ඉහළ නැංවූ 'දැරිය හැකි උවටැන් පනත' (Affordable Care Act - ACA)) අවලංගු කිරීමේ ඕනෑකම ද තිබේ. එම නියාමන පියවරට අනුව පූර්ව රෝගී තත්ත්ව ඇත්තන් හට රක්ෂණාවරණ දීම ප්‍රතික්ෂේප කිරීමද නීතිවිරෝධී බව දක්වා තිබිණි. එම වැඩපිළිවෙලට ආදේශකයක් එක්කොට වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පැවසුව ද ඒ පිළිබඳ විස්තර කිසිවක් ප්‍රකාශයට පත්කොට නැත. මිල අඩු ඖෂධ ආනයනයට ඉඩ සලසමින් ඖෂධ මිල අඩු කිරීම ද ජනාධිපතිවරයාගේ අපේක්ෂාව ය. ජෝ බයිඩන් හට අවශ්‍යව තිබෙන්නේ ඔබාමා පාලන සමයේ හඳුන්වා දුන් වැඩපිළිවෙල (ACA) ආරක්ෂා කොට පුළුල් කිරීමට ය. වැඩිහිටි පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිලාභ සලසන 'මෙඩිකෙයාර්' වැඩපිළිවෙලට සුදුසුකම් ලබන වයස 65 සිට 60 දක්වා පහළට ගෙන ඒමට තමන්ට අවශ්‍ය බව බයිඩන් කියයි. 'මෙඩිකෙයාර්' වැනි පොදු සෞඛ්‍ය රක්ෂණාවරණ සැලසුමකට එක්වීම සඳහා සෑම අමෙරිකානුවකුට ම ඉඩ සැලසීම ඔහු ගේ අවශ්‍යතාව වී තිබේ. විදේශ ප්‍රතිපත්තිය ජනාධිපති ට්‍රම්ප්, විදේශවල සිටින ඇමෙරිකානු හමුදා යළි ගෙන්වා ගන්නා බවට වූ සිය පොරොන්දුව යළි යළිත් අවධාරණය කරමින් ම තවදුරටත් හමුදාව සඳහා ආයෝජනය කරයි. ජාත්‍යන්තර සන්ධානවලට තවදුරටත් අභියෝග කරන බව පවසන ජනාධිපතිවරයා චීනය කෙරෙහි පනවා ඇති වෙළෙඳ බදු එළෙසම පවත්වාගනී. ජෝ බයිඩන් ගේ පොරොන්දුව ඇමෙරිකානු මිත්‍ර පාර්ශව සමග ඇති සබඳතා යළි පනගන්වා ගැනීමට ය. චීනය මත ඒක පාර්ශ්විකව පනවා ඇති බදුවලින් ඉවත්වන බව පවසන බයිඩන් කියා සිටින්නේ ඒ වෙනුවට, චීනයට "නොසලකා හැරිය නොහැකි" ජාත්‍යන්තර සන්ධානයකට වගවීමට සලස්වන බවය. වාර්ගිකත්වය හා පොලිස් පාලනය ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ වර්ගවාදය එක්සත් ජනපද පොලිස් බල ඇණිවලට සම්බන්ධ ආයතනික ගැටලුවක් යැයි තමන් විශ්වාස නොකරන බවය. නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටින්නෙකු ලෙස ට්‍රම්ප් තමන් හඳුන්වා ගනු ලැබුවද කිසිවකු මෙල්ල කිරීම සඳහා ගෙල සිර කිරීම්වලට විරුද්ධ වෙමින් ඊට වඩා උසස් භාවිත වෙනුවෙන් ප්‍රතිපාදන සැපයීමට ද ඉදිරිපත් වී ඇත. ජෝ බයිඩන් වර්ගවාදය දකින්නේ ආයතනික ගැටලුවක් ලෙසිනි. රඳවාගැනීම් ප්‍රමාණය අඩුකරන ප්‍රාන්තවලට දිරිදීමක් ලෙස ප්‍රතිපාදන සැපයීම වැනි යුක්තිය රකින පද්ධතියේ ඇති වාර්ගික අසමානතා විසඳීම වෙනුවෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කර ඇත. පොලිසියට මුදල් යෙදවීමෙන් වළකින ලෙසට නැගෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ඔහු කියා සිටින්නේ ඒ වෙනුවට, නියමිත ප්‍රමිතිගත තත්ත්ව පවත්වාගෙන යාම සඳහා අමතර සම්පත් එක් කළ යුතු බවය. ගිනි අවි ජනාධිපති ට්‍රම්ප් සතුව, අවි දැරීමේ අයිතිය සඳහා ඇමෙරිකානුවන්ට ආරක්ෂාව සපයන එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇත්තේ පැතිරුණු අර්ථනිරූපනයකි. 2019 වසරේ වර්තා වූ සමූහ වෙඩි තැබීම්වලින් අනතුරුව, ගිනි අවි මිලට ගන්නන් පිළිබඳ කෙරෙන සෝදිසිය දැඩි කළ යුතු බවට ඔහු යෝජනා කළේය. නමුත් ඉන් අනතුරුව කිසිවක් සිදු නොවූ අතර කිසිදු නෛතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගිණි. ජෝ බයිඩන් කළ යෝජනා අතරට ආක්‍රමණශීලී ගිනි අවි තහනම් කිරීම, පුළුල් පසුබිම් සෝදිසියක්, මසකට එක් ගිනි අවියක් පමණක් වන සේ පුද්ගලයෙකුට මිලදී ගත හැකි ගිනි අවි ප්‍රමාණය සීමා කිරීම හා අපරික්ෂාකාරී ගිනි අවි නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ට එරෙහිව නඩු පැවරීම පහසු කිරීම ද අයත් වේ. ගිනි අවි භාවිත ප්‍රචණ්ඩත්වය වැළක්වීම සඳහා වූ තවත් පර්යේෂණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරන බවද ජෝ බයිඩන් පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සිය පළමු නිල වාරයේ ඉතිරිව ඇති කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති පුරප්පාඩුව සම්පූර්ණ කිරීම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි අයිතියක් බවය. ඒ සඳහා ගතානුගතික විනිසුරුවරියක වන ඒමි කොනී බැරට්, ඔහු විසින් යෝජනා කරනු ලැබීය. එක්සත් ජනපදය තුළ ගබ්සාවට ඇති නෛතික හිමිකම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කඩිනමින් තීන්දුවක් ගැනීමට ඉඩ ඇති කරුණකි. ජනාධිපති ට්‍රම්ප් මෙන්ම බැරට් විනිසුරුවරිය ද මීට පෙර ඊට විරුද්ධව අදහස් පළකර ඇත. ජෝ බයිඩන් ට අවශ්‍යව තිබුණේ මීළඟ ජනාධිපතිවරයා පත් වූ පසු අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව පුරවනු දැකීමට ය. ශ්‍රේෂ්ඨාධිකරණය එයට එරෙහිව තීන්දුවක් ලබා දුන හොත්. ගබ්සාවක් සඳහා කාන්තාවකට ඇති අයිතිය සහතික කිරීම සඳහා ඉඩ සැලසෙන නීති ප්‍රතිපාදන සම්මත කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ක්‍රියා කරන බව ජෝ බයිඩන් පවසයි. මේ ගැනත් දැනගන්න:
ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාලියකින් දිල්ලි අගනුවරට ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය..
ඉන්දීය පොලිසිය ගොවීන්ගේ පෙළපාලියට කඳුළුගෑස් එල්ල කළ අවස්ථාව ගොවීන්ගේ ප්‍රයත්නය වූයේමාර්ග බාධක බිඳහෙලමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබිණි. ජනරජ දිනය උදාවෙත්ම ගොවීන් විශාල පිරිසක් ට්‍රැක්ටර්වලින් ගමන්ගනිමින් සිටියදී තවත් ගොවීහු පාගමනින් පෙළපාලියෙන් දිල්ලිය බලා ගමන් ගනිමින් සිටියහ. මාර්ග බාධක නිසා බොහෝ ගොවීන් කලින් සැලසුම් කරන ලද මාවත්වලින් ඉවත්ව වෙනත් මාර්ග ඔස්සේ ගමන් ගනිමින් සිටියදී පොලිසිය සමඟ ගැටුම් ආරම්භ වී ඇත. නව ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමේ අරමුණ කෘෂිකර්මාන්තය 'ලිබරල්කරණය' යයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එමගින් සිය අදායම් අහිමිවනු ඇතැයි ගොවීහු කියා සිටිති. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරෝධය පළකරන ගොවි නියෝජිතයන දස දහස් ගණනක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් දිල්ලි අගනුවර සීමාවේ වර්ජන ව්‍යාපාරයක නිරතවෙමින් සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනා හකුලාගන්නා ලෙසය. එම යෝජනා තාවකාලිකව නතරකිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ද ගොවීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවක් වාර්තා විය. තමන් පාර්ලිමේන්තුව දෙසට ගමන් ගනිමින් සිටි බව ගොවීහු පවසති අඟහරුවාදාට (ජනවාරි 26) යෙදුණු ඉන්දීය ජනරජ දිනයෙහි, ගොවීන් විසින් යෝජනා කරන ලද විරෝධතා රැළියට අවසරදීමට සාකච්ඡා වට කීපයකින් අනතුරුව පොලිසිය එකඟව තිබුණි. එම අවසරය දී තිබුණේ දිල්ලි අගනුවර මධ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ජනරජ සමරු උත්සවයට බාධා නොකිරීමේ පොරොන්දුව අනුවය. පොලිසිය ගොවීන් සඳහා මාර්ග කීපයක් වෙන්කර තිබූ අතර ඒවා වැඩි ප්‍රමාණය අගනුවර සීමාවේ මහාමාර්ග විය. ගොවීන් පිවිසුම් මාර්ග කීපයක දී පොලිසිය විසින් පනවන ලද රෙගුලාසි අනුව කටයුතු කරන ලද බවක් පෙනීගියත්, අගනුවර පිවිසුම් කලාප හයෙන් තුනක් වන ඝාෂිපූර්,සින්ඝු,සහ ටික්රි යන ස්ථානයන්හි දී ගොවි උද්ඝෝෂකයෝ පොලිස් බාධක බිඳ හෙලූහ. ඝාෂිපූර් පිවිසුම් දොරටුවෙන් ඇතුල්වූ ගොවි පෙළපාලිය පාර්ලිමේන්තුව පිහිටි අගනුවර මධ්‍ය කලාපය දෙසට ගමන් ගනිමින් සිටියහ, ''මෝඩි මහත්මයාට මේ කළු යෝජනා හකුලාගන්න වෙන එක සහතිකයි!'' බීබීසී සමග අදහස් දැක්වූ එක ගොවි විරෝධතාවාදියෙක් කියා සිටියේය. ගොවීන් මධ්‍යම දිල්ලිය කරා යන අතරවාරයේ ITO මෙට්‍රෝ දුම්රිය මංසන්ධියේ දී පොලිසිය සමඟ ගැටෙන ආකාරය සහ ඔවුන්ට කඳුළුගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කෙරෙන ආකාරය පින්තූර මගින් පෙන්නුම් කෙරෙයි. ට්‍රැක්ටර් රථවල නැගුණු ගොවීන් පොලිස් භටයන් සිතාමතාම යටකරමින් පෙරට යාමට උත්සාහ කරන අතරවාරයේ දෙපාර්ශ්වයටම තුවාල සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබුණි. සිය ගණනක් කාන්තාවන් ද ගොවි පෙළපාලිවලට එක්වී සිටියහ මෝඩි ගේ යෝජනා මොනවාද? ඉන්දීය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ යෝජනා මගින් සිදු කෙරෙන්නේ කෘෂිකර්මාන්තය තුළට ''නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය'' හඳුන්වා දීමකි. එමගින් සිය නිෂ්පාදන වෙළෙඳාම,මිල නියමකිරීම සහ ගබඩාකිරීම සඳහා මෙතෙක් ගොවීන් සඳහා පැවැති නීතියේ ලිහිල්වීමක් සිදුවෙයි. ඒ සමඟ නිදහස් වෙළෙඳ ආර්ථිකයට හසු නොවීම සඳහා ගොවීන් සතු රැකවරණය අහිමිවනු ඇත. නව යෝජනා මගින් සිදුකෙරෙන තවත් විශාල වෙනසක් වන්නේ,ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළේ මිල ගණන් අනුව පෞද්ගලික වෙළෙඳුන්ට, කෘෂිකාර්මික ව්‍යාපාරිකයන්ට සහ සුපිරි වෙළෙඳපොළ ජාලයන්ට විකිණීමට සිදුවීමය. දැනට ඉන්දියාවේ 90%කට අධික ගොවි ජනයා සිය නිෂ්පාදන පොදු වෙළෙඳපොළවල විකුණා ගනිති. ආණ්ඩුවේ සහතික මිලට සිය නිෂ්පාදන අලෙවිකර ගත හැකිවන්නේ ඔවුන්ගෙන් 6%කට පමණි. එවැනි වාණිජ ක්‍රියාවලියක් මගින් අවසානයේදී තමන්ට ආණ්ඩුව විසින් නිර්දේශ කරනු ලබන තොග මිල ගණන්වලට සිය නිෂ්පාදන විකිණීමට සිදුවිය හැකි අතර තමන්ට වෙනත් විකල්ප තෝරාගැනීමක් ඉතිරි නොවිය හැකි බවට ගොවීහු මැසිවිලි පළකරති.. නව යෝජනා නීතිගත කරනු ලැබුවහොත්, පෞද්ගලික ගැනුම්කරුවකු විසින් ඉදිරිපත් කරනු ලබන මිලගණන්වලට එකඟ නොවන ගොවියකුට නැවත පොදු වෙළෙඳපොළ කරා යාමට හැකියාවක් නැත. එසේම සාකච්ඡා අතරමැද හෙට්ටු කිරීමටත් අවස්ථාවක් නැත. මාස කීපයක කාලයක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවෙමින් සිටින ගොවීන්ගෙන් වැඩිදෙනා පංජාබ් සහ හර්යානා ප්‍රාන්තවලට අයත් ගොවීහු වෙති. ඒවා ප්‍රධාන වශයෙන් වී සහ වීට් ගොවිතැන සිදුකෙරෙන ප්‍රධාන ඉන්දීය ප්‍රාන්ත දෙකයි. එම ගොවීන් සිය නිෂ්පාදන පොදු වෙළෙඳපොළේ සහතික මිලකට සිය නිෂ්පාදන අලෙවිකර ගනිති. දැන් පවතින තත්ත්වය වන්නේ ගොවීන් පොදු වෙළෙඳපොළේ දී සහතික මිලකට සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමය යෝජිත නීති අවශ්‍ය ද? ඉන්දියාවේ කෘෂිකර්මාන්තය ප්‍රතිසංස්කරණය විය යුතුය යන්න සම්බන්ධයෙන් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ එකඟතාවක් ඇත. එහෙත් ආණ්ඩුව විවේචනය කරන්නන් පෙන්වා දෙන්නේ උපදේශාත්මක ක්‍රියාදාමය අනුගමනය කිරීමට බලධාරීන් අපොහොසත්ව ඇත. නීතිය අනුමත කරගැනීමට පෙර වෘත්තීය සමිතිවල විශ්වාසය දිනාගැනීමට අසමත් වූ එක් කරුණක් නම්, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කඩිනමින් ඉදිරිපත් කරමින් ඡන්දයකට ඉදිරිපත් කිරීමත් පාර්ලිමේන්තු විවාදය සඳහා ප්‍රමාණවත් කාලයක් නොදීමෙන් විපක්ෂය කෝපයට පත් කිරීමය. ප්‍රාන්ත ආණ්ඩුවලටත් අවස්ථාවක් නොලැබුණි. කෘෂිකර්මාන්තය ඉන්දීය ආර්ථිකයේ ප්‍රධාන දහරාවක් වන බව සැලකිල්ලට ගැනීමට ප්‍රතිසංස්කරණ යෝජනාකරුවන් අසමත්ව ඇත යන්න විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලබන තවත් කරුණකි. ඉන්දියානු ප්‍රජාවෙන් හරි අඩකට වඩා කෘෂි ගොවිපලවල වැඩ කරන නමුත් එමගින් ලබන ඵලය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි. එම කෘෂි නිෂ්පාදන ඵලදායීතාව පහත වැටෙමින් පවතින අතර නවීකරණයේ ඌනතාව හේතුවෙන් කෘෂිකාර්මික ආදායම දශක ගණනාවක් තිස්සේ හැකිලෙමින් ඇත. මෙම තත්ත්වය යටතේ ඉන්දීය ගොවීන්ගේ බෝග නිෂ්පාදන විසිතුනකට අවම මිලක් නියමකරනු ලැබ ඇති අතර, සහන දීමනා, අයබදුවලින් නිදහස් කරනු ලැබීම සහ බෝගවලට රක්‍ෂණයක් ලබාදීම ආදිය දැනට සිදුකෙරෙයි. ''එම මාවතින් අප ඉවත්කෙරෙන අතර මහා ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කරන ලෙස ආණ්ඩුව අපට කියනවා. නමුත් පළමු පියවරේදීම, කොහෙත්ම අපි එවැන්නක් ඉල්ලා සිටියේ නැහැ. ඇයි ,ආණ්ඩුව අපට මේ විධියට සලකන්නේ?'' ඉන්දීය ගොවියකු වන රකේෂ් ව්‍යාස් පසුගිය දිනක බීබීසී සමග අදහස් දක්වමින් ප්‍රශ්න කළේය. දශක ගණනාවක් දෙමින් තිබුණ සහන ඉවත්කරනු ලැබීම ගොවීන් සමඟ සිදුකරනු ලබන සංවාදයක් තුළින් සිදුවියයුතු බවත්,එසේ නැත්නම්, බිය සහ සැකය හේතුවෙන් අදාළ ක්‍රියාවලිය නියමිත මාවතින් පිටපැනීමට ඉඩකඩ ඇතිබවත් විශේෂඥයෝ පෙන්වා දෙති. පසුගිය විරෝධතා ව්‍යාපාරයට හවුල්ව සිටි ගොවියකුට පොලිස් භටයකු පහරදෙන මෙම පින්තූරය අන්තර්ජාලයෙහි විශාල වශයෙන් හුවමාරුවෙමින් තිබුණි කියවන්න; .
ආරක්ෂක ලේකම් වරයා මාතලේ සමුහ මිනීවල සම්බන්ධයෙන් වරදකරු කිරීමේ උත්සාහයක් ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.
සමුහ මිනීවල පිළිබඳ පරික්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳුදා ජනමාධ්‍ය වේදීන් අමතා කොළඹදී කියා සිටියේය. ජනාධිපති කොමිසමක් පත් කරනුයේ පරීක්ෂණ යට ගැසීමට යයි ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු "මේ රජය කිසිම දෙකට බය විය යුතු නැහැ, මේ ආණ්ඩුව නෙමෙයි බලයේ සිටියේ, බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂය," යැයි ප්‍රකාශ කළේය. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනමාධ්‍ය අමතා කියා තිබුනේ අධිකරණය මළ සිරුරු පිලිබඳ කාල වකවානු තහවුරු කොට ඇති හෙයින්, තවත් කොමිසම් පත් කිරීම 'කල් මැරීමේ' උපායක් බවයි. මාතලේ සමුහ මිනීවලෙන් හමුවූයේ කවර කලෙක මරණයට පත් පුද්ගලයන්ගේ සිරුරුදැයි තවමත් තහවුරු වී නැති බවද පැවසු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මෙම මිනීවලෙන් දේශපාලන වාසි ගැනීමෙන් වළකින්නැයි එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේය. ගොඩ ගන්නා ලද 150 කට වැඩි පිරිසකගේ හිස් කබල් හා ඇට සැකිලි විද්‍යාත්මක පරීක්ෂණයකට භාජන කළ විශේෂඥයන් පසුගිය මස අගදී අධිකරණයට දැනුම් දී තිබුනේ 1986 ත් 1989 ත් අතර කාල වකවානුවේදී මරා දැමුණු අය මාතලේ සමුහ වශයෙන් වල දමා තිබෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සන්නද්ධ කැරැල්ලට එරෙහිව රජය යුද වැද සිටි ඒ සමයේ 1989 පටන් මාතලේ හමුදා ප්‍රධානියා ලෙස වුයේ ගෝඨාභය රාජපක්ෂ. "ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කාලේ සේවය කරන කොට, ජෙනරාල් කමල් ගුණරත්න, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති තුමා ඒ වගේ අයත් ඒ ප්‍රදේශයේ කටයුතු කරලා තියනවා," ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් පැවසීය. කිසිදු ස්වභාවික හේතුවක් හෝ රෝගාබාධයක් මාතලේ සමූහ මරණ වලට තුඩුදී නැති බවයි විශේෂඥ නිගමනය. පරීක්ෂණය සිදු කරනු ලැබුවේ වෝහාරික වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින්. කෙසේ වෙතත් පළාතේ රෝගාබාධ හා ස්වභාවික වලින් මියගිය පිරිස් පිළිබඳ වාර්තා ඇතැයි කී ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ ප්‍රකාශකයා ඝාතන සම්බන්ධයෙන් දොස් පැවරුවේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණටයි. .
සිය ඉල්ලීම් ලබා දෙන බවට ජනාධිපතිවරයා ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන තුරු වැඩවර්ජනය අත් නොහරින බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
සංරක්ෂිත ඡායාරූපයක් ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට චෝදනා කරන ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුව සිටී. ඉන්දියන් තෙල් සමාගමට අදාළ තෙල් ටැංකි ලබා නොදෙන බව විෂය භාර ඇමතිවරයා පවසා ඇතත් ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන තෙක් එය පිළිගත නොහැකි බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති අතර අද (අප්‍රේල් 24) එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡා තාවකාලිකව නවතා ඇති අතර විෂය භාර ඇමතිවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට නියමිතය. දිගු පෝලිම් ඇමතිවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ තවමත් අමාත්‍යංශයේ රැඳී සිටිති. ඉන්ධන වර්ජනය ගැන ජනතා අදහස් මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති දියත් කළ වැඩවර්ජනය හමුවේ තෙල් පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ඇත. ඉන්ධන අවසන් වීම හේතුවෙන් රට පුරා පිහිටි ඇතැම් පිරවුම්හල් තාවකාලිකව වසා දමා ඇති බවත් වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ රට පුරා ඉන්ධන බෙදා හැරීම අඩපණ වී ඇති බවය.
ඉන්දියාවේ පීඩිත කුලයක් ලෙස සැලකෙන දලිත් කුලයට අයත් පිරිස් රට පුරා දියත් කළ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වීම මුල් කොට ගෙන මෙම විරෝධතා ආරම්භ වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වීම මුල් කොට ගෙන මෙම විරෝධතා ආරම්භ වී ඇත. මෙම විරෝධතා හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන අතර ප්‍රාන්ත කීපයක මහාමාර්ග රැසක් අවහිර වී ඇත. තීන්දුව නැවත සලකා බලන ලෙස මධ්‍යම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. 'උපලේඛනගත කුලය සහ උපලේඛනගත ගෝත්‍රය (කෘරත්වය වැළැක්වීමේ) පනතෙහි' සඳහන් නීතිමය කරුණු අතීතයේ දී "අවභාවිත" කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඇතුළත්ව ඇත. මෙය SC/ST පනත ලෙස කෙටියෙන් හඳුන්වයි. කුලය නිසා ඇතිවන ප්‍රචණ්ඩත්වය තවදුරටත් රට පුරා පැතිරී යමින් තිබෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නිල දත්තවලට අනුව 2016 වසර තුළ පමණක් පීඩිත කුලවලට අයත් පුද්ගලයන්ට එරෙහි අපරාධ හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා තමන් "අනතුරට භාජනය විය හැකි" ජන සමූහයක් ලෙස හැඟෙන බව දලිත් ප්‍රජාවේ නායකයෝ ප්‍රකාශ කර සිටිති. "SC/ST පනතෙන් ඉන්දියාවේ වෙසෙන දලිත් ප්‍රජාවට එරෙහිව සිදු කරන ඕනෑම වෙනස් කොට සැලකීමක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු එම නීතිමය බැඳීම නැති වෙලා තිබෙනවා. අපිට හරිම දුකයි වගේම කම්පනයට පත් වෙලා ඉන්නේ" යැයි ඉන්දියාවේ පීඩිත කුල එකතුවෙන් පිහිටුවා ඇති සංවිධානයේ ලේකම් කේ.පී. චෞදරි පැවසුවේය. රට පුරා විරෝධතා විරෝධතාකරුවන් දුම්රිය මාර්ග අවහිර කර ඇත. මෙම විරෝධතා හේතුවෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බීබීසී වෙත පැවසුවේය. විරෝධතාකරුවන් දුම්රිය මාර්ග අවහිර කර රථවාහනවලට ගිණි තැබීම හේතුවෙන් විශාල පිරිස් රැස්වීම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය තුළ තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වේ. එම ප්‍රාන්තය තුළ සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය ද පනවා ඇත. රාජස්ථාන් ප්‍රාන්තයෙන් ද එක් මරණයක් වාර්තා වී ඇති බවට පොලීසිය පවසයි. පන්ජාබ් ප්‍රාන්තයේ සියලු පාසල්, අධ්‍යාපන ආයතන, බැංකු සහ රැකියා ස්ථාන වසා දැමුණු අතර විභාග කල් දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රාන්තය තුළ රාත්‍රී 11 වනතුරු අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇත. කඩු, පොලු, බැට් සහ කොඩි අත දරා ගෙන නගර කීපයක සැරිසරන විරෝධතාකරුවෝ කඩ සාප්පු වසා දැමීමට බල කරමින් සිටිති. ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවීය. මේ තොරතුරුද දැනගන්න: අසු පිට යාමේ 'වරදට' ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක් 'ආදරය' කිරීමේ 'වරදට' වන්දි ගෙවූ යුවලක් උත්තර් ප්‍රදේශ්, ජාකන්ද් සහ බිහාර් ප්‍රාන්තවලින් ද විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගෙන ඇතැයි වාර්තා වේ. දලිත් ප්‍රජාවෙන් සැදුම් ලත් සංවිධානයට අයත් පිරිස් දිල්ලි අගනුවරද විරෝධතා ආරම්භ කර ඇති නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත්, අගනුවර මහා මාර්ග අවහිර වීමෙන් දැඩි රථවාහන තදබදයකට මුහුණ පා තිබිණි. දලිත් ප්‍රජාවට ආරක්ෂාව ලබා දිය යුත්තේ ඇයි? ඉන්දියාවේ හින්දු කුල ක්‍රමය තුළ වඩාත් පීඩාවට ලක් වන ජන කොට්ඨාසයක් ලෙස දලිත් වැසියන් හඳුන්වයි. කෝටි විස්සක් පමණ ඉන්දියාවේ ජීවත් වන දලිත් වැසියන් ආරක්ෂා කිරීමට කොපමණ නීති රෙගුලාසි තිබුණත්, එම ප්‍රජාවට අයත් පුද්ගලයන්ට දිනපතා නොයෙකුත් අඩන්තේට්ටම්, වෙනස් කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව ඇත. සාම්ප්‍රදායිකව උසස් යැයි සම්මත කුලයට අයත් පිරිස් පැමිණෙන පුජ්‍ය ස්ථාන, පාසල්වලට දලිත් කුලයට අයත් පුද්ගලයන්ට යෑම තහනම් වන අතර, උසස් කුලයට අයත් පුද්ගලයන් පරිහරණය කළ කෝප්පයක් හෝ පරිහරණය කිරීම ද තහනම්ය. දලිත් කුලයට අයත් පිරිසට අධ්‍යාපන සහ රැකියා අවස්ථා නොමැත. ශ්‍රම සූරාකෑමට, පරිභව කිරීම්වලට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට නිතර මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත. දලිත් තරුණ ප්‍රජාව අතර ඉහළ යන අපේක්ෂා ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට හේතුවුව ද එය දරා ගත නොහැකි උසස් කුලවලට අයත් පුද්ගලයන් ඔවුන් තවත් පීඩාවට පත් කරමින් සිටින බව ක්‍රියාකාරීහු පවසති. "දලිත් ප්‍රජාවට අයත් පුද්ගලයන්ගේ සමාජ තත්වය යන්තම් හොඳ අතට හැරෙන්න පටන් ගත්තා විතරයි ගැටුම් වැඩි වුණා," අශෝකා විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රතාප් භානු මෙත් බීබීසී වෙත පැවසුවේය. පසුගිය සතියේ ගුජරාට් ප්‍රාන්තයේ දලිත් කුලයට අයත් පිරිමි ළමයෙක් තලා පෙලා මරා දැම්මේ අශ්වයෙකු හිමි කරගෙන, ඒ අසු පැද යාමේ වරදට. අශ්වයෙකු හිමි වීම "උසස් කුලයට අයත් දෙයක්" ලෙස සැලකේ. පසුගිය ඔක්තෝබර් මාසයේ දලිත් කුලයට අයත් පුද්ගලයෙකු ගුජරාට්හි සාම්ප්‍රදායික හින්දු නර්තනයකට සහභාගි වීම හේතුවෙන් පුරුෂයන් කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදි. තවත් තොරතුරු: කුල පීඩනයට එරෙහිව 'දලිත්' පාගමනක් කුල ගෞරවයට දිවි දුන් සමාජ මාධ්‍ය තාරකාව මොකක්ද මේ SC/ST පනත? 1989 යේ උපලේඛනගත කුලය සහ උපලේඛනගත ගෝත්‍රය (කෘරත්වය වැළැක්වීමේ) පනතෙහි ඇතුළත් වී ඇත්තේ ඉන්දියාවේ ජීවත් වන පීඩිත කුල සහ ගෝත්‍රවලට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඇති නීති සහ දඬුවම්ය. ඉන්දියාවේ එවක පැවති නීති පද්ධතියෙන් පීඩිත කුලවලට අයත් ජන කොට්ඨාස ආරක්ෂා වන්නේ නැති නිසා මෙම පනත සම්මත කර ගන්නා ලදී. පීඩිත කුලයකට හෝ ගෝත්‍රයකට අයත් පුද්ගලයෙකුට එරෙහිව යම් කිසි අපරාධයක් සිදු කළ විට ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාවත්, ඇප ලබා දීම සීමා කිරීමත්, එම අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි කිරීමත් මෙම පනතෙන් ක්‍රියාත්මක කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට තම තීන්දුව නැවත සලකා බලන ලෙස මධ්‍යම ආණ්ඩුව ඉල්ලීමක් කර ඇත. එමෙන්ම කිසියම් අපරාධකරුවෙකුගේ දේපළ තහනම් කිරීමට ද මෙම පනත යටතේ හැකියාවක් ඇත. පීඩිත කුලවලට අයත් පුද්ගලයන් රජයේ ආයතනවලට ඉදිරිපත් කරන පැමිණිලි සැලකිල්ලට ගන්නේ නැති අතර, මෙය බොහෝ විට සිදු වන්නේ එම කුලවලට අයත් නිලධාරීන්ගෙන් බව ඔවුහු පවසති. මේ ආකාරයෙන් රාජකාරිය පැහැර හරින රජයේ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මෙම පනතෙන් ලබා දී ඇත. මෙම කුලවලට එරෙහිව සිදු වන තවත් වධහිංසා ඇතුළත් කර SC/ST පනත 2015 දී සංශෝධනය කරන ලදී. මතභේදයට තුඩු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කුමක්ද? SC/ST පනත "දැඩි ලෙස අවභාවිතා" කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය. 2015 වර්ෂයේ දී කුල ගැටුම් මුල් කොට ගෙන ලැබුණ පැමිණිලිවලින් 15-16% ත් ප්‍රමාණයක් ව්‍යාජ පැමිණිලි සහ පෞද්ගලික අමනාපකම් මත සිදුකල පැමිණිලි බවට වාර්තා වී ඇත. මේ හේතුවෙන් SC/ST පනත "දැඩි ලෙස අවභාවිත" කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය. "රැවුල වවන්න අවසරයි" මායාවතී බුදු දහම වැළඳ ගනීද? මෙම තීරණයෙන් SC/ST පනත යටතේ ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාව සහ අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි වීම නවතා දැමුණු අතර, යම් කිසි සිද්ධියක් වාර්තා වීමෙන් පසු පොලීසිය විසින් ප්‍රාථමික පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කරනු ලැබ ඇත. මෙම පරීක්ෂණය සිද්ධිය වී දින හතක් ඇතුළත සිදු කළ යුතු විය. අදාළ අත්අඩංගුවට ගැනීම එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් අනුමත කරනු ලැබිය යුතු බවට ද මෙම අධිකරණ තීරණයේ අඩංගු විය. එමෙන්ම රජයේ සේවකයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අදාළ නිලධාරියා පත් කළ බලධාරියාගේ ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය කර ඇත. මෙම තීරණය හේතුවෙන් පීඩිත කුලවලට එරෙහිව සිදුවන අපරාධ ඉහළ යා හැකි බවට විවේචන එල්ල වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නායකයන් දෙදෙනා අතර හටගෙන තිබෙන ගැටුමක් හේතුවෙන් ආයතනයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.
මාස ගණනාවක් මුළුල්ලේ පැවති අර්බුදය 'දැන් උත්සන්න වෙලා' අර්බුදය කෙතරම් උත්සන්න වී තිබෙන්නේද යත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම හැර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට විකල්පයක් නැති බවයි, ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ. මාස හයකට ආසන්න කාලයක් මුළුල්ලේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග අතර පවතින ගැටුම මේ වන විට උච්ඡතම තත්වයකට පත් වී ඇති බව පවසන ඔහු, සභාපතිවරයාට සහ ලේකම්වරයාට සහාය දක්වන පාර්ශවයන් එකිනෙකාට චෝදනා කරමින් ඊමේල් පණිවුඩ හුවමාරු කරගන්නා තත්වයක් මතු වී තිබෙන බවද කියා සිටියේය. 'මට නම් පේන විදියට ඇමතිවරයාට වෙන පියවරක් ඉතිරිවෙලා නෑ' විශේෂයෙන්ම බංග්ලාදේශයේ පැවැත්වුන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කොට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මහේල ජයවර්ධන නිශාන්ත රණතුංගගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව මෙම ගැටුම ප්‍රසිද්ධියේම දක්නට ලැබුන බවත් චන්නක ද සිල්වා සඳහන් කළේය. ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට තවත් බලතල පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගැනීමෙන් අනතුරුව ප්‍රධාන විධායක නිලධාරියා ගත් තීන්දු හේතුවෙන් ආයතනයේ සුළු සේවකයන්ද දෙපිලකට බෙදී සිටින බවත් ඔහු පවසයි. අර්බුදය විසදීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා මැදිහත් වූ බවත්, ක්‍රීඩා අමාත්‍යවරයාද කිහිප වරක්ම දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කොට දෙපාර්ශවය සමගි කිරීමට උත්සාහ දැරූ බවත් සංදේශයට කියා සිටි ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘවරයා, දැන් ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී තිබෙන බැවින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම හැර ඔහුට විකලපයක් තිබෙන හැඩක් දකින්නට නැති බවත් සඳහන් කළේය. මේ තත්වය පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
බංග්ලාදේශයේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සඳහා වෙන්වූ පළමු ආගමික පාසල ඩකා අගනුවර දී විවෘත විය.
සංක්‍රාන්ති සමාජභාවී සිසු සිසුවියන් 150 දෙනෙකු පමණ මෙම පාසලේ ඉගෙනුම ලබන අතර ඔවුහු ඉස්ලාමීය සහ වෘත්තීය විෂයයන් හදාරති. මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නේ ඩකා අගනුවර ඉස්ලාමීය පාසල් සඳහා ලැබෙන පෞද්ගලික මූල්‍ය ආධාර මගිනි. තුන්වැනි ලිංගිකත්වයක් ලෙස බොහෝ දෙනා සලකන සංක්‍රාන්ති සමාජභාවය බංග්ලාදේශයේ නීතිය මගින් නිල වශයෙන් පිළිගෙන ඇත. ඔවුනට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිය. මැතිවරණ සඳහා තරග කිරීමේ අයිතිය ද ඔවුන් සතුය. නමුත් සමාජය තුළ තවමත් පවතින ගතානුගතික ආකල්ප හේතුවෙන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ට නිසි අධ්‍යාපනයක් හෝ රැකියාවක් ලබා ගැනීම එතරම් පහසු නොවේ. එබැවින් බංග්ලාදේශයේ ඇතැම් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ සිය ජීවිකාව සොයා ගැනීම සඳහා නගරයට ඇදී එති. බොහෝ විට ඔවුහු නගරයට පැමිණ, විවාහ හෝ උපන්දින උත්සව සඳහා ගී ගැයීමෙන් සහ නර්තනයේ යෙදීමෙන් සිය දිවි ගැට ගසා ගනිති. ලිංගික ශ්‍රමය සැපයීම ඇතැමුන්ගේ ජීවිකාව බවට පත් වෙයි. ආණ්ඩුවේ ඇස්තමේන්තුවට අනුව බංග්ලාදේශයේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් දස දහසක් වෙසෙති. නමුත් වෙනත් ඇස්තමේන්තුවල සඳහන් වන්නේ බංග්ලාදේශයේ වෙසෙන මෙම ප්‍රජාව 50,000 ඉක්මවා ඇති බවය. මින් අති බහුතරය පුරුෂ භාවයෙන් ස්ත්‍රී භාවයට සංක්‍රාන්ති වූවන්ය. මේ ගැනත් කියවන්න: "වයස් සීමාවක් නැත" සංක්‍රාන්ති ප්‍රජාව වෙනුවෙන් බංග්ලාදේශයේ පිහිටවූ පළමු ඉස්ලාමීය මද්‍රාසා පාසල (Dawatul Koran Third Sex Madrassa) විවෘත කිරීම සඳහා පාසල් බලධාරීන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජා නායකයෝ සහභාගී වුහ. එය තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විතය. අහ්මඩ් ෆර්දොස් බාරි චෞද්රි නමැති ව්‍යාපාරිකයා මියයන විට ඉතිරිකර තිබු මුදල් යොදා ගනිමින් පවත්වාගෙන යන පදනම විසින් මෙම පාසලට මුල්‍ය ශක්තිය ලබා දෙනු ලැබේ. සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා එම ව්‍යාපාරිකයාට අවශ්‍යව තිබුණි. නමුත් මේ දක්වා සංක්‍රාන්ති ප්‍රජාවට පමණක් වෙන්වූ පාසලක් බංග්ලාදේශයේ නොතිබිණි. ඒ වෙනුවෙන් අභිනවයෙන් ඉදිවුණු මෙම පාසලේ ඉගෙනුම ලැබීමට කැමති සංක්‍රාන්ති පුද්ගලයන්ට වයස් සීමාවක් පනවා නොමැත. නිසි අධ්‍යාපනයක් ලබන සංක්‍රාන්ති ප්‍රජාවට විවිධ වෘත්තීන් සඳහා ඇතුල්වීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මෙම පාසලේ බලධාරීන් ගේ අපේක්ෂාවයි. "තමන් තුන්වැනි ලිංගිකත්වයට අයිති ද නැද්ද කියල තේරුම් ගන්නේ තරමක් දැනුම් තේරුම් ඇති වයසට පැමිණි පසුවයි. ඒ නිසා තමයි අපි මේ පාසලට වයස් සීමාවක් දාල නැත්තේ. තමන් සංක්‍රාන්ති ප්‍රජාවට අයත් බව හඳුනාගත් වහාම ඕනෑම කෙනෙකුට මේ පාසලට ඇතුළු වන්නට පුළුවන්. ඒ වනවිට ඔවුන් කුමන වයසක සිටියත් ප්‍රශ්නයක් නැහැ." මද්‍රාසා අධ්‍යයන සහ පුහුණු ලේකම් මොහමඩ් අබ්දුල් අසිස් හුසේයිනි, බීබීසී බෙංගාලි සේවයට පැවසීය. මෙම පාසලට ඇතුලත් වී සිටින සිසුවියක වන ශිල්පී කියා සිටියේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගෙන් බහුතරයට ලිවීමේ හෝ කියැවීමේ හැකියාව නොමැති බවය. "අපට රැකියාවක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපට නිසි අධ්‍යාපනයක් තිබුණ නම් වඩා හොඳ තැන්වල වැඩ කරන්න තිබුණ. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමයක් නැහැ." "ඒ නිසා තමයි අපේ මුතුන්මිත්තෝ වගේම අපිටත් සින්දු කියල නටල සල්ලි හම්බකරන්න වෙලා තියෙන්නේ." ශිල්පී බීබීසීයට පැවසුවාය. "ආත්ම ගෞරවයක් සහිත ගමනක්" ශිල්පී ගේ පාසල් ජීවිතය වයස අවුරුදු නවයේදී නිමා විය. පාසලේදී ලැබූ අමිහිරි අත්දැකීම් ඊට හේතුවිය. "මම සංක්‍රාන්ති ප්‍රජාවට අයත් බව මට වැටහෙන විට පාසලේ හැම දෙනාම මට වෛර කළා. මට බය වුණා. මාව විවේචනය කළා." "ඒ නිසයි මම ඉගෙනීම අතහැරියේ. අපට වෙනම අධ්‍යාපන ක්‍රමයක් තිබුණා නම් හිරිහැරයට ලක් වෙන්නේ නැහැ." ශිල්පී පැවසුවාය. බංග්ලාදේශයේ සමාජය තුළ මෙන්ම පවුල තුළ ද සංක්‍රාන්ති ප්‍රජාව නොසැලකිල්ලට භාජනය වන බව මද්‍රාසා අධ්‍යයන සහ පුහුණු ලේකම් මොහමඩ් අබ්දුල් අසිස් හුසේයිනි පැවසීය. "තමන්ගේ දරුවෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් කියල දැනගත්තොත් දෙමාපියන් එයාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් පිටස්තරයෝ වෙනත් විදියකට සලකාවිද? මේක ඔවුන්ගේ වරදක් නොවෙයි." "ඔවුන් සමාජයට බරක් නොවී ජීවත් වෙනවා දකින්නයි අපට උවමනා. ඒ නිසයි අපි මේ මද්‍රාසා පාසල පටන් ගත්තේ. ඔවුන්ට පුළුවන් කුරානය ඉගෙනගෙන ආත්ම ගෞරවයක් ඇතිව වැඩ කරන්න." ඔහු පැවසීය. තුන්වැනි ලිංගික ප්‍රජාවට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා රජයේ හෝ පෞද්ගලික අංශයේ ආධාර ඇතිව මෙවැනි ආයතන පිහිටුවීම පිළිබඳව ශිල්පී ද අගය කරමින් කතා කළාය. "අපිටත් අවශ්‍යයි අනෙක් අය වගේම ආත්ම ගෞරවයක් සහිත ගමනක් යන්න. අපිටත් ඕනේ අපේ දෙපයින් ම හිටගන්න. මට අවස්ථාවක් ලැබෙනවානම් මම ඒ මාර්ගයේ යනවා."
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගෙන ඇති තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නාවිකයින් 22 දෙනෙකු මුදාගෙන තිබේ.
එක නැවියෙකු අතුරුදහන්ව ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවැනි විශාල නෞකාවක ගින්නක් නිවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ ඉන්දියානු වෙරාලාරක්ෂක සේවයට පහසුකම් නොමැත. එබැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අම්පාර සිට දකුණු වෙරළ තීරයේ හම්බන්තොට දක්වා බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට අනුමාන කෙරේ. "මෙය විශාල නෞකාවක් එය ගිනිගෙන එහි ඇති තෙල් මුහුදට මුදා හරිනු ලැබුවහොත් දැවැන්ත තෙල් කාන්දුවත් සමඟ කටයුතු කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාවට නැහැ.. එහෙත් අප එයින් ඇතිවියහැකි ආපදාවට සුදානම් වීමට අවශ්‍ය සියලුම පියවර ගන්නවා. ඒ සදහා අදාළ සියලුම පාර්ශව සමග හමුවක් හෙට උදැසන 8.30ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා," යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. ගිනිගත් නැව කුමක් ද? එම් ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond - Crude Oil Tanker) මූලාශ්‍ර: නාවික හමුදාව, marinetraffic.com නෞකාවේ ඇති බොරතෙල් හා ඩීසල් කාන්දු වුවහොත් ඇතිවිය හැකි විශාල ව්‍යසනයකට තනිව මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනි ලහන්දපුර බීබීසී සිංහල සේවයට පැවසුවාය. "කාන්දුවක් ඇති උවහොත් මෙය මේ කලාපයේ ඇතිවූ විශාලම තෙල් කාන්දුව විය හැකියි, පරිසරයට ඉන් එල්ල වන බලපෑම අපට මනින්න බැහැ. ඒසදහා අපට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා." ඇය පැවසීය. තෙල් කාන්දුවක් ඇති වුවහොත් එය වෙරළ කරා ළඟාවීමට පැය තිහක පමණ කාලයක් ගතවන බව ගණන්බල ඇතැයි පැවසූ ඇය එහිදී ඉතා සංවේදී පරිසර කලාප ආරක්ෂාකරගැනීමට වැඩි අවධානයක් යොමු කරන බව කීය. හැකිනම් නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය. "දැනටමත් ගැඹුරු මුහුදට නැව ඇදගෙන යන්න ටග් බෝට්ටු දෙකක් පිටත්කර යැවුවා." යැයි ඇය කියා සිටියාය. එහෙත් නාවික විශේෂඥයින්ට අනුව මෙවැනි විශාල නැවක් පවතින තත්ත්වය හමුවේ ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තරම් ශ්‍රී ලංකාවට පහසුකම් නොමැත. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දකුණු ආසියානු කලාපීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණය කෙරෙන බව සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය සඳහන් කළාය. "බොරතෙල් කාන්දු වීම වැළැක්වීම සඳහා අපි දැනටමත් උපකරණ සහ අනෙකුත් සම්පත් සූදානම් කර ඇති අතර ඒවා වහාම හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරාය වෙත යැවීමට කටයුතු කළා."
ඉන්දියාවෙන් නිදහස ලබා ශ්‍රී ලංකාවට ගොඩ බට ධීවරයන් ට සිකුරාදා තම නිවෙස් බලා යාමට හැකි වනු ඇති බවට ධීවර බලධාරීහු විශ්වාසය පළ කරති.
ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සංදේශය කළ විමසීමක දී ප්‍රකාශ කළේ ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් බ්‍රහස්පතින්දා භාර දෙනු ලැබු ලාංකිකයන් පනස් දෙදෙනා යාපනය නාවුක හමුදා කඳවුරේ සිටින බවයි. සිකුරාදා ආපසු පැමිණෙන්නේ බදාදා දිල්ලියේ පැවති ඉන්දු ලංකා ධීවර ගැටළු පිලිබඳ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා වලට පෙර හොඳ හිත පළ කරනු පිණිස ඉන්දියාව විසින් නිදහස් කැරුණු ධීවරයන් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. ජයලලිතාගේ පිළිවෙත ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ගේ ‘ආක්‍රමණ ශීලී පිළිවෙත නම්‍යශීලී කරමින්’ ඉන්දීය රජය ශ්‍රී ලංකාව හා සාකච්ඡාවට එළැඹි බවයි. සිව් මසක් ඉන්දීය අත් අඩංගුවේ පසු වී නිදහස් ව පැමිණ යාපනය නාවික හමුදා කඳවුරේ සිටින එක් ධීවරයෙක් ඉතා කෙටි වෙලාවකට දුරකතනයෙන් සම්බන්ධ වී සංදේශයට කියා සිටියේ මාතර, තංගල්ල, ත්‍රිකුණාමලය හා මීගමුව යන ප්‍රදේශවල අය තමන් සමග පැමිණි බවයි. නාවික හමුදා ප්‍රකාශක කෝසල වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේ, ශ්‍රී ලංකාවෙන් නිදහස් කැරුණු ඉන්දීය ධීවරයන් පනස් එක් දෙනකු ද ඉන්දීය වෙරළාරක්ෂකයන්ට භාර දුන් බවයි. තවත් අය හිරේ සාගර සීමා උල්ලංඝනය කළ බවට චෝදනා නගා පෝක් සමුද්‍ර සන්ධිය දෙපස බන්ධනාගාරවල සිර ගත කොට සිටින ධීවරයන් සංඛ්‍යාව හාරසියයකට ආසන්නයි. ඉන් 236 ක් ඉන්දීයයන්. 152 ක් ශ්‍රී ලාංකිකයන්. මේ ඉන්දු ලංකා ධීවර දෙපිරිස ඉදිරි කාලයේ දී අදියරින් අදියරට මුදා හැරෙනු ඇති බවයි දෙ රටේ බලධාරීන් පවසන්නේ.
පාර්ලිමේන්තුව විසුරුවා වහා මහ මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් කළ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කොට තිබේ.
වහාම ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාරදී එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ අසුන් ගත යුතු බව තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බව තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සඳහන් කරයි. වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තු මාසයේ අවසන් වන අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ බලයක් හිමිවන්නේ ලබන පෙබරවාරි මාසය අවසානයේදීය. එනම් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 4 1/2 සම්පුර්ණ වූ විටය. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජයට පත්කළ එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන පිරිසක් රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව අනුව නිල කාලය අවසන්වීමට පෙර මහමැතිවරණයක් පැවැත්විය යුතුයැයි සඳහන් කරන බවද නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවස්ථාව ලබාදිය යුතු බවය. මේ අතර, ජනාධිපතිවරණයෙන් දුන් ජනමතයට ගරුකරමින් ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා වහාම මහමැතිවරණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සහය දියයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා සිටී. බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ රට ඉදිරියට ගෙනයාමට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍ය බවය. එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහද අද නිවේදනයක් නිකුත් කරමින් "ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතානායකතුමා සහ පක්ෂ නායකයන් සමගද, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වෙමු" යනුවෙන් සඳහන් කර තිබේ. කථානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් නව ජනාධිපතිතුමන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අගමැතිවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළේය. නව ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩබාරගැනීමේ උත්සවයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනද එක්විය.. එම සාකච්ඡාවන්හි ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග 3ක් පිළිබඳව අවධානය යොමුව ඇති බව කතානායකවරයා සඳහන් කරයි. ඉහත කරුණු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ස්වකීය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තමන් දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන බව කතානායකවරයා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ මන්ත්‍රීවරු විසින් ස්වේච්චාවෙන් 2/3 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමුවීම සිදු නොවනු ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් දක්වා නොමැති බවට ද වාර්තාවේ. පෙබරවාරි මාසය අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට නිත්‍යානුකුල බලය හිමිවන තෙක් භාරකාර කැබිනට් මණ්ඩලයක් හරහා රට පාලනය කිරීමට මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් බීබීසි සිංහල සේවයට සඳහන් කළේය. ඒ අනුව බොහෝදුරට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස අග හෝ මැයි මස මුල පැවැත්වෙනු ඇති බවය ඔහු කියා සිටියේය. මේ අතර අද උදෑසන නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් වැඩ භාරාගත් අතර එම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සහභාගි විණි.
දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
බරපතළ දූෂණ සහ අක්‍රමිකතාවලට වැරදිකරුවන්ට දඬුවම් දීම ප්‍රමාදවන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ එවැනි විනිශ්චය මඩුල්ලක් පිහිටුවන මෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමග එක්ව අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය රණවක සිය ෆේස්බුක් පිටුවේ නිවේදනය කර තිබේ. අදාළ විනිශ්චය මණ්ඩලය පිහිටුවීම සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව නීතිපතිවරයා වෙත යොමුකරන ලද බවත් නිවේදනයේ සඳහන් වේ. බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු යයි තමන් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පසුගියදා බීබීසී සංදේශයට පැවසීය. නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීම දූෂණයට එරෙහිව ලැබූ 'සුවිශේෂී ජයග්‍රහණයක්' බව අමාත්‍ය චම්පික රණවක පවසයි වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බැවින් එවැනි චෝදනා කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවත් අමාත්‍ය අමුණුගම සඳහන් කළේය. දූෂණ විමර්ශන සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දෙසැම්බර් 11 වැනි දින මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ යෝජනාව නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීමේදී රුකුලක් වූ බවත් අමාත්‍ය චම්පික රණවක සඳහන් කරයි.