summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
මෙයින් වසර හතකට ඉහතදී වයස 19න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් ඉන් වසර කිහිපයකට පසුව වෙනත් රටක් නියෝජනය කරමින් ලෝක කුසලානයට තරග වැදුණු බව ඔබ දැන සිටියාද?
ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ එමීර් රාජ්‍ය කණ්ඩායමේ නිල ඇඳුම්වලින් සැරසී සිටින ඇන්ද්රි රෆායෙලෝ බෙරෙන්ජර් 2010 නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇන්ද්රි රෆායෙලෝ බෙරෙන්ජර් (Andri Raffaelo Berenger) ඉන් අනතුරුව 2015 පැවති ජගත් කුසලානයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කළේය. බෙරෙන්ජර් ඇතුළු යොවුන් ලෝක කුසලානයේදී සිය මව් රට නියෝජනය කළ ක්‍රීඩකයන් 13 දෙනෙකුවත් ඉන් අනතුරුව වෙනත් රටවල් වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දෙයි. එහෙත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මෙන් නොව ඒ අතරින් බොහෝ දෙනා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙන්නේ ජගත් පාලක මණ්ඩලයේ පූර්ණ සාමාජික රටක් වෙනුවෙනි. බෙරෙන්ජර් 2015 ලෝක කුසලානයේදී එමීර් රාජ්‍යය නියෝජනය කරමින් බෙරෙන්ජර් (දකුණේ) 2010 යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවීමට ප්‍රථම ඇන්ද්රි රෆායෙලෝ සිංහල ක්‍රීඩා සමාජය, කොළඹ ක්‍රීඩා සමාජය සහ සීදුව රද්දොළුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. 2014 නොවැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග වදිමින් ඔහු එක් දින ජාත්‍යන්තර තරග පිටියට එක් විය. වර්තමානයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ජොනතන් ට්‍රොට් (Jonathan Trott) 2000 පැවති යොවුන් ජගත් කුසලානයේදී දකුණු අප්‍රිකාව නියෝජනය කළ අතර, එංගලන්ත කණ්ඩායමේ ඉයන් මෝගන් (Eoin Morgan) 2004 පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී අයර්ලන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙකි. 1998 දී පාකිස්තානය වෙනුවෙන් වයස 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට තරග කළ ඉම්රාන් තහීර් (Imran Tahir) පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට සම්බන්ධ විය. ජගත් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වන පරිදි ගැරී බැලන්ස්, ග්‍රාන්ට් එලියට්, ඇන්ඩි කැඩික්, පීටර් බොරන්, මයිකල් ලම්බ්, ටීම් මර්ටා, ක්‍රේග් කීස්වෙටර්, ලෝගන් වෑන් බීක් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් මේ ආකාරයට යොවුන් කුසලානයේදී සිය රට නියෝජනය කොට පසුව වෙනත් රටවලට සම්බන්ධ වූ අනෙක් ක්‍රීඩකයන්ය. 12 වෙනි ක්‍රිකට් යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය ලබන ජනවාරි 13 වෙනි දින නවසීලන්තයේදී ආරම්භ වන අතර, එහිදී පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය ඇතුළත් ඩී කාණ්ඩයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතය.
පසුගිය අගෝස්තු මාසයේ මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් කැරලිකරුවන් විසින් හින්දු භක්තික සාමාන්‍ය වැසියන් රැසක් මරා දමනු ලැබ ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය සිදු කළ ගවේෂණයකදී හෙළි වී තිබේ.
ඝාතනයට ලක් වූ ළමුන් විසිතුන් දෙනා අතුරෙන් 14 දෙනෙකු වයස අවුරුදු අටට අඩු දරුවන් බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි 'අරකන් බේරාගැනීමේ හමුදාව' හෙවත් 'අර්සා' (Arsa) ලෙස හැඳින්වෙන කණ්ඩායම අවස්ථා දෙකක දී හින්දු භක්තික සාමාන්‍ය වැසියන් 99 දෙනෙකු ඝාතනය කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. නමුත් අර්සා කණ්ඩායම මීට ඉහතදී එම චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පවසන පරිදි මෙම ඝාතන සිදු කර තිබෙන්නේ මියන්මාර හමුදාවට එරෙහිව කැරලි ආරම්භ වූ මුල් කාල වකවානුව ඇතුළතය. රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් මියන්මාර හමුදාවට ද ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ලක්ෂ හතකට ආසන්න රෝහින්ග්‍යාවරුන් ඇතුළු තවත් පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන ප්‍රදේශවලින් පලා ගොස් ඇත. ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් අතර මියන්මාර ජනගහනයෙන් බහුතරය වන බෞද්ධයන් මෙන්ම සුළුතර ජන කොටස්ක් වන හින්දු භක්තිකයන් ද සිටියහ. ගැටුම්වලින් අවතැන්ව බංග්ලාදේශයේ සහ රඛයින් ප්‍රාන්තයේ වෙසෙන පුද්ගලයන් සමග ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිදු කළ සාකච්ඡාවලින් හෙළි වූ පරිදි අර්සා කණ්ඩායම මෙම සමූලඝාතන සිදු කර තිබෙන්නේ මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි 'මොන්ග්ඩොව්' (Maungdaw) ප්‍රදේශයේය. අගෝස්තු මස අවසානයේ දී ඔවුන් පොලිස් මුරපොළවලට ද ප්‍රහාර එල්ල කළහ. සිවිල් වැසියන් ඉලක්ක කරගෙන අර්සා කණ්ඩායම වෙනත් ප්‍රදේශවල ද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිදු කළ සොයාබැලීම්වල දී දැනගන්නට ලැබිණි. අර්සා කණ්ඩායම නිකුත් කළ මෙම ඡායාරූපයේ මැද සිටින්නේ ඔවුන්ගේ නායකයා වන 'අතා උල්ලා' අගෝස්තු 26 වෙනි දින අර්සා කණ්ඩායම හින්දු ගම්මානයක් වන Ah Nauk Kha Maung Seik වෙත එල්ල කළ ප්‍රහාරයේ තොරතුරු ඇතුළත් කර ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ තොරතුරුද කියවන්න: "මෙය ඉතා කෲර, අමන ක්‍රියාවක්. අර්සා කණ්ඩායමේ සාමාජිකයන් හින්දු කාන්තාවන්, පුරුෂයින් සහ ළමුන් බොහෝ ප්‍රමාණයක් සිය ග්‍රහණයට ගෙන ඔවුන් බියවද්දා ඔවුන්ගේ ගම්මාන තුළ දීම ඝාතනය කර තිබෙනවා," යනුවෙන් වාර්තාවේ සඳහන් වෙයි. එම ගැටුම්වලින් දිවි බේරාගත් හින්දු පුද්ගලයන්ගෙන් සමහරෙක් සිය ඥාතීන් මරා දමනු දැක ඇති අතර අනෙක් අයට ඔවුන්ගේ කෑ ගැසීම් ඇසුණු බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සමග පවසා ඇත. "ඔවුන් පුරුෂයන් ඝාතනය කළා. අපිට ඔවුන් දිහා බලන්න එපා කිව්වා. ඔවුන් ළඟ පිහි තිබුණා. ඒ වගේම ඉස්කෝප්ප සහ යකඩ පොලු තිබුණා. අපි කැලය ඇතුළේ සැඟවුණා. හැබැයි අපිට එතන සිදු වන දේ යන්තම් දකින්න පුළුවන් වුණා. මගේ මාමා, තාත්තා සහ අයියාවත් ඔවුන් ඝාතනය කළා," Ah Nauk Kha Maung Seik ගම්මානයේ කාන්තාවක් පැවසීය. පුරුෂයන් විසි දෙනෙකු, කාන්තාවන් දස දෙනෙකු සහ ළමුන් විසිතුන් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අර්සා කැරලිකරුවෝ චෝදනා ලබා සිටිති. ළමුන් විසිතුන් දෙනා අතුරෙන් 14 දෙනෙකු වයස අවුරුදු අටට අඩු දරුවන්ය. පුද්ගලයන් 45 දෙනෙකුගේ මළසිරුරු එම ගම්මානයේ පිහිටි සමූහ මිනී වලකින් පසුගිය සැප්තැම්බර් මස ගොඩගත් බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. අසල්වැසි ගම්මානයක 46 දෙනෙකු ඇතුළු ඝාතනය වූ අනිත් පුද්ගලයන්ගේ සිරුරු තවමත් සොයා ගෙන නොමැත. Ye Bauk Kyar නම් අසල්වැසි ගම්මානයේ හින්දු භක්තික පුරුෂයන්, කාන්තාවන් සහ ළමුන් එකම දිනකදී ඝාතනය කර ඇති අතර, ඝාතනයට ලක් වූ මුළු ගණන 99 කි. මියන්මාරයේ සමූහ මිනී වලවල් පිළිබඳ ඇති 'සැකය' කුමක්ද? බීබීසී බැංකොක් වාර්තාකරු ජොනතන් හෙඩ් පවසන පරිදි රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් විශාල පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා යෑම, ආරක්ෂක හමුදා වෙත එල්ල වන දරුණු අපරාධ චෝදනා සහ මියන්මාර ආණ්ඩුව විසින් සොයා ගත්තා යැයි නිවේදනය කළ සමූහ මිනී වල පිළිබද පසුගිය සැප්තැම්බර් මාසයේ දී ලෝකයේ දැඩි අවධානය යොමු විය. නමුත් මරා දැමුණු පුද්ගලයන් මුස්ලිම්වරුන් නොව අර්සා කැරලිකරුවන් විසින් මරා දැමූ හින්දු භක්තිකයන් බව මියන්මාර රජය ප්‍රකාශ කළ බවත් බීබීසී වාර්තාකරු පවසයි. එම සමූහ මිනීවල පිහිටා තිබූ ප්‍රදේශය සහ එහි ඇති මළසිරුරු දැකගැනීමට මාධ්‍යවේදීන් රැගෙන යන ලදි. කෙසේ වෙතත්, මානව හිමිකම් පිළිබඳ ස්වාධීන පරීක්ෂකයන්ට රඛයින් ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර නොදීම හේතුවෙන් Ah Nauk Kha Maung Seik සහ අසල්වැසි ගම්මානය වන Ye Bauk Kyar හි කුමක් සිදුවූයේ දැයි සැකයක් මතුව තිබුණි. රඛයින් ප්‍රාන්තයේ ගැටුම් හේතුවෙන් ලක්ෂ හතකට ආසන්න රෝහින්ග්‍යාවරුන් බංගලාදේශයට පලා ගොස් ඇත තමන්ට එරෙහිව එල්ලවන සමූහ ඝාතන චෝදනා අර්සා කණ්ඩායම ප්‍රතික්ෂේප කර සිටින නමුත්, ඔවුන් මාස හතරක කාලයක් කිසිදු නිවේදනයක් නිකුත් කර නැත. ජාත්‍යන්තර මාධ්‍ය රඛයින් ගැටුම් පිළිබඳ වාර්තා කිරීමේදී ස්වාධීන පිළිවෙතක් අනුගමනය නොකරන බවට මියන්මාර රජය චෝදනා කරයි. නමුත් පසුගිය සැප්තැම්බර් මස ඝාතනය වූ හින්දු භක්තිකයන් පිළිබඳ බීබීසී ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. සිය ගවේෂණයේදී, "රඛයින් ප්‍රදේශය සහ බංගලාදේශ දේශ සීමාවේ සිටින පුද්ගලයන් රැසක් සමග සාකච්ඡා කර ඇති අතර, ඡායාරූප සාක්ෂි විශේෂඥයන්ට ලබා දී පරීක්ෂණ පැවැත්වූ," බව ඇම්නෙස්ටි මානව හිමිකම් සංවිධානය පවසයි. "මෙතෙක් ඉතා අඩුවෙන් වාර්තා වී තිබූ අර්සා කැරලිකරුවන් රඛයින් ප්‍රාන්තයේ සිදු කළ මානව හිමිකම් කඩ කිරීම් සහ ඉතිහාසයේ දැඩි අඳුරු කාලපරිච්ඡේදයක් ගැන මෙම ගවේෂණයෙන් හෙළි වී තිබෙනවා" යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ටිරානා හසන් සඳහන් කළාය. තවත් තොරතුරු: "අර්සා සිදු කර ඇති අතිශය කෲර ක්‍රියාවන් වගේම, අප සමග කතා කළ, මෙම සිද්ධියෙන් දිවි ගලවාගත් පුද්ගලයන්ට ඇති වී තිබෙන හැඟීම් නොසලකා හැරිය නොහැකියි. මියන්මාර ආරක්ෂක අංශ රඛයින් ප්‍රාන්තයේ සිදු කර ඇති අපරාධ වගේම, අර්සා සිදු කර ඇති මෙම දරුණු අපරාධ සියල්ලටම වගවීම ක්‍රියාවට නැගීම තීරණාත්මක කරුණක්." බංගලාදේශයේ පිහිටි රෝහින්ග්‍යා කඳවුරු ඔවුන්ට එරෙහිව නැඟෙන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අර්සා, ඔවුන්ගේ සාමාජිකයන් පහර දුන්නා යැයි ගම්වාසීන් "බොරු" ප්‍රකාශ කරන බව පවසති. රෝහින්ග්‍යා ප්‍රජාව බංග්ලාදේශයේ සිට සිය රට වෙත සංක්‍රමණය වී ඇති බව පවසන මියන්මාර ආණ්ඩුව ඔවුන්ට පුරවැසිභාවය ලබා ගැනීම වළකා ඇත. නමුත් පරම්පරා ගණනාවක සිට තමන් මියන්මාරයේ වෙසෙන බව රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව පවසයි. 2012 වසරේ රඛයින් ප්‍රාන්තයේ හට ගත් ගැටුම් හමුවේ සිය ගම්බිම් හැර යාමට සිදු වූ රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් තාවකාලික කඳවරු තුළ දිවි ගෙවති. කෙසේ වෙතත්, බංගලාදේශය පවා ඔවුන්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අලුතින් මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබීය.
සෙනසුරාදා (මැයි 01) අලුතින් රෝගීන් 1,716 ක් වාර්තා වූ අතර නොනවත්වා රෝගීන් 1,000 ඉක්මවා වාර්තා වූ පස් වෙනි දිනය මෙයයි. ඒ අනුව නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාව මැයි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත සෝදිසි අවධි - 3 (Alert Level 3) මාර්ගෝපදේශ අනුව පහත සඳහන් නියමයන් බලපැවැත්වෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. කොරෝනා වෛරසය ; ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ළඟා වෙයි මැයි මස 20 දිනට පසු පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව මාර්ගෝපදේශ නැවත සමාලෝචනය කෙරෙනු ඇති බව බලධාරීහු පවසති. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යටතේ තුන්වන මට්ටමේ කොවිඩ් අවදානමට සරිලන පරිදි මහජන ක්‍රියාකාරකම් සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කෙරුණු නව රෙගුලාසි අනුව පහත සඳහන් සීමාවන්ද පනවා ඇත. මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිරෙන B117 කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවත් එම ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිරෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජීවන්දර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එම ප්‍රභේදය ආසාදනය වූවන් වෙතින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද එය ඉතාමත් භයානක තත්වයක් බවද ඔහු සඳහන් කළේය. ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ පැතිර යමින් පවතින වෛරස් ප්‍රභේදය මේ වන තෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොමැති බවය. මේ තොරතුරු ද දැනගන්න:
මානව හිමිකම් මණ්ඩලයට යෝජනා පිට යෝජනා ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව 'හිර කරන්නේ' ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡයන් වෙසෙන නිසාදැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කරයි.
ජිනීවා කෙටුම්පත 'ද්වේශසහගත සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තීන් උල්ලංඝනය කරන්නක්' කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රඹුක්වැල්ල එසේ ප්‍රශ්න කළේ, සඳුදා සවස් යාමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් අතර බෙදා හරින ලද යෝජනා කෙටුම්පත පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන යෝජනා කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා කියා සිටියේය. එල්එල්ආර්සී උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ වාර්තාව නිකුත් වී තවමත් ගත වී තිබෙන්නේ වසර කිහිපයක් පමණක් බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීම 'සම්පූර්ණයෙන්ම අසාධාරණ' බව බීබීසී සංදේශයට පැවසීය. තවත් වසරක් මේ වසරේ සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ විසි හත් වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ වාතාවරණය සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ලබා දෙන මෙන් මහ කොමසාරිස්වරියට යෝජනා කරන කෙටුම්පත, ලබන වසරේ මාර්තු මාසයේ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවක් එහි සඳහන් නොවේ. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහ කොමසාරිස්වරියට තවත් වසරක් කෙසේ නමුත් අදාල කෙටුම්පත පවා "ඉතා ද්වේශසහගත සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තීන් උල්ලංඝනය" කරන්නක් බවයි, අමාත්‍ය රඹුක්වැල්ල සංදේශයට කියා සිටියේ. දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර උතුරු පළාත් සභාවට හිමි බලතල සහ පහසුකම් ලබා දෙන මෙන්ද යෝජනා කෙටුම්පත ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. අදාළ පරීක්ෂණ සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර දීම මෙන්ම මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස මහ කොමසාරිස්වරියට හැකි සෑම සහයෝගයක්ම දිය යුතු බවත් එහි සඳහන්. මේ වසරේත් ඉදිරිපත්ව තිබෙන්නේ ගිය වසරේ යෝජනාව හා සමාන යෝජනාවක් බව පෙන්වා දෙන ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, සැබවින්ම සිදු වී තිබෙන්නේ මානව හිමිකම් චෝදනා විභාග කිරීම පිණිස ශ්‍රී ලංකා ආණ්ඩුවට තවත් වසරක කාලයක් ලබා දීම බවද බීබීසී සංදේශයට කියා සිටියේය. ශ්‍රී ලංකාව සම්බන්ධ අවසාන යෝජනාව ඉදිරි සති දෙක ඇතුලත ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් ඔහු පැවසීය.
සිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ සේවකයන් සමග ලිංගික පහස ලැබීම තහනම් කරන බව ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.
අගමැතිවරයා ඒ බව නිවේදනය කළේ, ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරයා සිය කාර්ය මණ්ඩලයේ හිටපු සාමාජිකාවක සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බව අනාවරණය වීමෙන් අනතුරුවය. මාධ්‍ය හමුවක් අමතා අදහස් දැක්වූ අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Turnbull), නියෝජ්‍ය අගමැති බානබි ජොයිස්ගේ (Barnaby Joyce) හැසිරීම හෙලා දුටුවේය. උප අගමැතිවරයා අමාත්‍යවරුන් සම්බන්ධ ආචාර ධර්ම උල්ලංඝනය කළේ දැයි විමර්ශනය කෙරෙන තුරු ඔහු තාවකාලිකව නිවාඩු ලබාගෙන තිබේ. නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් ඕස්ට්‍රේලියාවේ පවතින නීතිය උල්ලංඝනය කර නැති බව නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම අගමැතිවරයා ද අවධාරණය කරති. එහෙත් අගමැතිවරයා පවසන්නේ මින් අනතුරුව අමාත්‍යවරුන්ට දැනට වඩා දැඩි ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවය. "ඇමතිවරු ඒ ආචාර ධර්ම පද්ධතියට අනුකූලව හැසිරිය යුතුයි. ඔවුන් තමන්ගේ කාර්ය මණ්ඩලය සමග ලිංගිකව නොහැසිරිය යුතුයි," අගමැති මැල්කම් ටර්න්බුල් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. ඊට පෙරාතුව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අගමැතිවරයා, තමන් ලබන සතියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතවන විට නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් වැඩ බලන අගමැති පදවියට පත් නොකරන බව සඳහන් කළේය. නියෝජ්‍ය අගමැතිවරයා සහ ඔහුගේ හිටපු මාධ්‍ය උපදේශිකාව විකී චැම්පියන් අතර සම්බන්ධතාව හෙලිදරවුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල සංවාදයක් මතු කර තිබේ.
වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් එය පැතිරීමේ අවදානමක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG - Mycoplasma genitalium) ලෙස හඳුන්වන මෙම රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතී. MG රෝගයට නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් එය ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ලෙස ශරීරය තුළ වර්ධනය විය හැකිය. මේ අනුව, බ්‍රිතාන්‍යයේ ලිංගික සෞඛ්‍යය සහ HIV පිළිබඳ සංගමය (BASHH), MG රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන නව උපදෙස් මාලාවක් හඳුන්වා දී තිබේ. කුමක්ද මේ MG? මයිකොප්ලාස්මා ජෙනිටලියම් යන බැක්ටීරියාව ඇතුළුවීම හේතුවෙන් පිරිමි මුත්‍ර මාර්ගයේ ප්‍රදාහයක් හටගැනීම හා එයින් ස්‍රාවය පිටවන අතර මුත්‍රා කිරීමේදී අධික වේදනාවක් ඇති විය හැකිය. කාන්තාවකගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වූ විට එහි බලපෑමෙන් ගර්භාෂය සහ පැලෝපීය නාලය වැනි ප්‍රජනන ඉන්ද්‍රීන් ප්‍රදාහයකට ලක්වේ. මේ හේතුවෙන් අධික වේදනාවක් ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී උණ තත්වයක් හෝ රුධිර වහනය වීම ද සිදු විය හැකිය. අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින් මෙම රෝගය බෝවෙන අතර, ලිංගික සංසර්ගයේදී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිත කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකිය. මේ තොරතුරුද දැනගන්න: මයිකොප්ලාස්මා ජෙනිටලියම් ශරීරගත වූ පුද්ගලයෙක් නිතරම රෝගී ලක්ෂණ නොපෙන්වන අතර සමහර අවස්ථාවලදී ප්‍රතිකාර අවශ්‍ය නොවනු ඇත. නමුත් මෙහි රෝගී ලක්ෂණ හඳුනාගත් විට ක්ලැමීඩියා (Chlamydia) වැනි වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්වයක් ලෙස වැරදි නිගමනයකට එළැඹීමට ඉඩ තිබේ. මෙය ගැටලුකාරී තත්වයක් බව BASHH පවසයි. ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ප්‍රතිකාර කළ හැකි නමුත් මෙම බැක්ටීරියාව ඇතැම් ඖෂධ වලට ප්‍රතිරෝධයක් දක්වයි. උපත් පාලන කොපු භාවිත කරන්න ලෝකය පුරා මැක්රොලයිඩ්ස් (macrolides ) කුලයට අයත් ප්‍රතිජීවක ඖෂධවලින් සිදු කරන ප්‍රතිකාර ක්‍රමවලින් MG රෝගය සුව වීම අඩු වෙමින් පවතින බව BASHH උපදෙස් මාලාවේ ඇතුළත් වේ. කෙසේවෙතත්, මැක්රොලයිඩ්ස් කුලයට අයත් එක් විශේෂ ප්‍රතිජීවක ඖෂධයක් වන azithromycin බොහෝ විට මෙම බැක්ටීරියාවට එරෙහිව ක්‍රියා කරනු නිරීක්ෂණය වී තිබේ. රෝගය වැළදීම වළක්වා ගැනීම සඳහා පූර්වෝපාය අනුගමනය කරන ලෙස ලිංගික උපදේශකයෙකු සහ BASHH සාමාජිකයෙකු වන වෛද්‍ය පීටර් ග්‍රීන්හවුස් පවසයි. " මයිකොප්ලාස්මා ජෙනිටලියම් ගැන ජනතාව දැනුවත් වීමට කාලයයි මේ," යැයි ඔහු තවදුරටත් පැවසීය. 'පාලනයෙන් තොර වීම' BASHH උපදෙස් මාලාව ලිවීමට සහය දුන් පැඩි හෝර්නර් පැවසුවේ, "පසුගිය වසර 15 තුළ අපි මේ රෝගය ගැන ක්‍රියා කළ ආකාරයට ම ඉදිරියට ක්‍රියා කරන්න බැහැ. MG වේගයෙන් පැතිරී යෑමත් සමඟ එය නිසැකවම හදිසි තත්වයකට මුල පුරනවා" යනුවෙනි. "MG රෝගය ආසාදනය වී ඇත්දැයි නිවැරදි පරීක්ෂණවලින් හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර කර, රෝගීයා සම්පූර්ණයෙන් සුව වී ඇති බව තහවුරු කරගැනීම අපගේ උපදෙස් මාලාවෙන් නිර්දේශ කරනවා" තවත් තොරතුරු:
උපතින් පිහිටි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හොඬය ආධාරයෙන් ඇවිද යන වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේ දී ඊයේ (ජූලි 22) සවස වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබේ.
අබාධිත තත්වයක් නිසා සිය හොඬය ආධාරයෙන් ඇවිදින අලි පැටවා මේ දිනවල හම්බන්තොට සූරියවැව ප්‍රදේශය ආශ්‍රිතව දියත් කරමින් තිබෙන වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුර වන ජීවී නිලධාරීන් කණ්ඩායමකට මෙම අලි පැටවා හමු වී ඇත. ඉදිරි පාදවල ඇති ආබාධ සහිත තත්ත්වය හේතුවෙන් ඇවිදයාම සඳහා අලි පැටවා සිය හොඬය ආධාර කරගනී. ප්‍රතිකාර කිරීම සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ආ බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන පැවසීය. කෙසේනමුත්, මෙවැනි ආබාධිත තත්වයකින් පෙළෙන අලි පැටවෙකු ශ්‍රී ලංකාව තුළ දී හමුවීම ඉතා දුර්ලභ සිද්ධියක් බව ද ඔහු සඳහන් කළේය. මින් පෙර අනුරාධපුරයෙන් සහ අම්පාර දිස්ත්‍රික්කවලින් වයස මසක් පමණ වන ආබාධිත අලි පැටවුන් දෙදෙනෙකු හමුවී තිබුණ අතර, ඔවුන් උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් ප්‍රතිකාර කරන අතරතුර මියගිය බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන තවදුරටත් පැවසුවේය. කිරි බිවූ හැටි ප්‍රශ්නයක් "මේ වගේ සමහර සතුන් කාලයක් යන කොට සුව අතට හැරෙන අවස්ථාද තිබෙනවා. නැත්නම් මිය යනවා. නමුත් අවුරුද්දක පමණ කාලයක් පමණ මේ සතා පුදුමයකට වගේ ජීවත්වෙලා තිබෙනවා. එතෙක් කල් මේ සතා කිරි බිව්වේ කොහොමද කියලත් ප්‍රශ්නයක්. අලිපැටවා කිරි බිව්වේ නැත්නම් මෙච්චර කාලයක් ජිවත් වෙන්නේ නැහැ." වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන ''අලි පැටවා අපිට හමුවෙන කොට මවගෙන් මග හැරී ඉතා දුර්වල තත්වයක් තමයි හිටියේ. ශරීරයේ ආසාදිත තුවාල තිබුණා. මුලින්ම ඒවාට ප්‍රතිකාර කරලා, පසුව මේ ආබාධිත තත්වය සුව කරන්න පුළුවන්ද කියලා උත්සහ කරනවා. ශල්‍යකර්මයකින් හෝ වෙනත් ක්‍රමයකින් අලි පැටවා සුව කරන්න උත්සහ කරනවා" යැයි මාලක අබේවර්ධන පැවසුවේය. මේ තොරතුරුද කියවන්න:
කොවිඩ් 19 සුව කළ හැකි බව පවසමින් දේශීය ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ ගේ ෆේස්බුක් පිටුවට තහංචියක් පනවා තිබේ.
දේශීය ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ මේ අනුව දින 30ක් ගතවන තුරු ජනාධිපති මදුරෝ ට තම ෆේස්බුක් පිටුවේ කිසිවක් පළ කළ නොහැකිය. thyme නමැති පලෑටියක සාරය යොදා ගනිමින් තනා ඇති එම ඖෂධය මගින් කොවිඩ් 19 සුව කළ හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජනවාරියේදී ය. නමුත් එම ඖෂධයෙන් කොවිඩ් 19 සුව වන බවට මේ දක්වා සනාථ වී නොමැත. ෆේස්බුක් සමාගම පවසන්නේ කොරෝනාවෛරසය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාරයන් පළකිරීම වැලැක්වීම සඳහා පනවා ඇති ප්‍රතිපත්ති මාලාව ජනාධිපති මදුරෝ විසින් පුනපුනා උල්ලංඝනය කර ඇති බවය. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමාගම් විසින් අවහිර කරනු ලැබ ඇති එකම රාජ්‍ය නායකයා ඔහු නොවේ. කොවිඩ් පිළිබඳව පළ කෙරුණු පෝස්ටු හේතුවෙන් එවක එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ ද මෙවැනි අවහිර කිරීමකට මුහුණ දුන්හ. "කොවිඩ් 19 සම්බන්ධයෙන්, මිනිසුන් අවදානමකට ලක්විය හැකි සහ හානිකර විය හැකි සාවද්‍ය තොරතුරු පළකිරීමට එරෙහිව ඇති අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් පළකර තිබූ වීඩියෝවක් ජනාධිපති මදුරෝ ගේ පිටුවෙන් අප ඉවත් කළා." ෆේස්බුක් සමාගමේ ප්‍රකාශක බීබීසීයට පැවසීය. "කොරෝනාවෛරසයට එරෙහිව මේ දක්වා කිසිදු ඖෂධයක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මග පෙන්වීම් තමයි අප අනුගමනය කරන්නේ. අපගේ නීතිරීති පුනපුනා උල්ලංඝනය කර ඇති හෙයින් එම පිටුවේ කිසිවක් පළකිරීම දින 30කට අත්හිටුවීමට ද පියවර ගත්තා. එතෙක් එම පිටුව භාවිත කළ හැක්කේ කියවීම සඳහා පමණයි (read-only)." බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ ගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු වීඩියෝවක් ද පසුගිය වසරේදී ඉවත් කෙරුණි. එම වීඩියෝවෙන් කියැවුණේ හයිඩ්රෝක්සික්ලෝරෝකුයින් නමැති ඖෂධය මගින් කොවිඩ් 19 සම්පුර්ණයෙන්ම සුව කළහැකි බවකි. එමෙන්ම, වෙනිසුවෙලාවේ ජනාධිපති මදුරෝ විසින් ඊට පෙර පළකරන ලද ට්විටර් පණිවිඩයක් ද ඉවත් කෙරුණි. එහි සඳහන් කර තිබුණේ ද ව්‍යාජ ප්‍රතිකර්මයක් පිළිබඳව ය. කොවිඩ් 19 යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවටත් වඩා "අඩු මාරාන්තික" මට්ටමක පවතින රෝගයක් බව සඳහන් කර තිබූ පෝස්ටුවක් පසුගිය ඔක්තෝම්බරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරනු ලැබීය. එමෙන්ම, ට්‍රම්ප්ගේ පිටුවෙන් තවත් වීඩියෝවක් පසුගිය අගෝස්තුවේ දී ගලවා දැමුණි. එමගින් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ කොවිඩ් 19 සඳහා "ළමුන් තුළ ප්‍රතිශක්තිය පවතින" බවකි. කොවිඩ් 19 පිළිබඳව ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ලොව පුරා පැතිර ගිය ප්‍රශ්නයකි. එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන, Center for Countering Digital Hate නමැති මධ්‍යස්ථානය සිදුකර ඇති විශ්ලේෂණ වලින් පෙනී යන්නේ ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ එන්නත් විරෝධී ප්‍රචාරයන් සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කීපදෙනෙකු වගකිව යුතු බවය. ඔවුන් අතර, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ගේ බෑනා කෙනෙකු වන රොබර්ට් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද සිටී. ඔහු, එන්නත් විරෝධී කණ්ඩායමකට නායකත්වය දෙයි. පසුගිය වසරේ, මැඩගස්කරයේ ජනාධිපතිවරයා ද කොවිඩ් 19 වෙනුවෙන් දේශීය ඖෂධයක් ප්‍රවර්ධනය කළේය. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතය දිරි ගැන්වීමට නම් එම ඖෂධ සඳහා විද්‍යාත්මක සාක්ෂි පැවතිය යුතු බවය.
2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ඇත්තේ තව දින හතරකි. ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම තරගය නවසීලන්තය සමග සෙනසුරාදා පවත්වයි.
ඒ අතරවාරයේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන සහ වර්තමාන කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් අතර මතභේදයක් හට ගෙන ඇති බවක් දක්නට ලැබේ. ඒ මැතිව්ස් නායකත්වය දැරූ සමයේ සිදුවූ කරුණු විවේචනය කරමින් මහේල ජයවර්ධන "සන්ඩේ ටයිම්ස්" පුවත්පතට කර තිබූ ප්‍රකාශයක් හේතුවෙනි. මහේල ජයවර්ධන එහිදී ප්‍රකාශ කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඔවුන්ට මතු වූ ගැටලු නිසි පරිදි කළමනාකරණය කර නොගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන තත්ත්වයට හේතු වූ බවය. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැමුන් අදහස් දක්වා තිබිණි. මේ අවස්ථාවේ මෙම අදහස් ප්‍රකාශ කිරීම ගැන ඇතැමුන් මහේල ජයවර්ධනට විරෝධය දක්වා තිබිණි. මහේල ජයවර්ධන 2015 වසරේ නායකත්වයෙන් සමුගත් අවස්ථාවේ නායකත්වයේ වගකීම පවරන ලද්දේ ඇන්ජලෝ මැතිව්ස් වෙතය. නමුත් පසුකාලීනව දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ චාමර කපුගෙදර නායකත්වයේ වගකීම් දැරූ අතර වර්තමානයේ දිමුත් කරුණාරත්න නායකයා ලෙස කටයුතු කරයි. "අපි ඇන්ජලෝට දීපු එකම උපදේශය තමයි ක්‍රිකට් දේශපාලනයට යට වෙන්න එපා කියන එක. ඔහු ක්‍රීඩකයින් සමග ඉඳිමින් ශක්තිමත් නායකයෙකු ලෙස කටයුතු කරන්න ඕනේ. නමුත් ඔහු ක්‍රිකට් දේශපාලනයට යට වුණා. ඔහු අනෙක් අයට තීරණ ගන්න අවස්ථාව දුන්නා. කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටියේ නැහැ," යනුවෙන් මහේල ජයවර්ධන පවසා තිබිණි. "මම අවංකවම මේ ගැන ඔහුට කිව්වා. ඔහු එය පිළිගත්තා. ඔහු එසේ වුණේ නැත්නම් අපේ කණ්ඩායමට අද මෙහෙම දෙයක් නොවීමට ඉඩ තිබුණා," මහේල වැඩිදුරටත් පැවසීය. "මට ඔහුත් සමග කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔහු අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ වගේම හොඳ මනුස්සයෙක්. නමුත් ඔහු ඒ අවස්ථාව නියමාකාරයෙන් කළමනාකරණය කළේ නැහැ. මේ ලෝක කුසලානේ දී කණ්ඩායම හසුරුවන්න තිබුණේ ඔහුට. නමුත් ඔහුට සියල්ල අත හරින්න සිදු වුණා. ඒක ඔහුගේ වැරැද්ද." ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට වරක් මහේල, සංගක්කාර සහ අරවින්ද යෝජනාවලියක් ඉදිරිපත් කළහ. "ක්‍රිකට් දේශපාලනය හසුවූ තවත් ක්‍රීඩකයෙක් දිනේෂ් චන්දිමාල්. ඔහුත් තිරය පිටුපස දේ වලට යටත් වුණා. ශක්තිමත් නායකයෙකු ලෙස කණ්ඩායමේ පාලනය තම අතට නොගෙන ඔහුත් වෙන දේ සමගම ඉදිරියට ගියා," යනුවෙන් ද මහේල ජයවර්ධන සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි. එයට ප්‍රතිචාර දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් තම ෆේස් බූක් පිටුවේ සටහනක් යොදා තිබුණි. "ඕනෑම කෙනෙකුට යම් ස්වාධීන අදහස් තියෙනවා. මහේල ජයවර්ධනටත් එසේමයි. ඔහුගේ සමහර අදහස් දැකලා මම පුදුම වුණා. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මගේ ප්‍රමුඛතාවය දීල තියෙන්නේ ලෝක කුසලානයට. මම මහේලගෙන් ඉල්ලා සිටිනවා ඔහුගේ දැනුම සහ ධෛර්ය මේ තීරණාත්මක අවස්ථාවේ අපට දෙන්න කියලා." ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහයවන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේල ජයවර්ධනට ආරාධනා කර තිබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත. කියවන්න:
පැහැර ගත් ඉන්දියානුවන් හතලිස් දෙනා රඳවා තබා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ඉරාක රජය විසින් ඉන්දියානු රජයට ලබා දී ඇති බව වාර්තා වේ.
ඉරාකයේ ISIS සංවිධානය ඉරාකයේ ගැටුම් පවතින පෙදෙස් වල 1020ක් ඉන්දියානුවන් සිටින බවත් මෙයින් 40 දෙනෙකු පන්ජාබ් ජාතිකයින් වන අතර ඉතිරිය කේරළ වැසියන් බවත් ඉන්දියාවේ විදෙස් ඇමතිනිය සුෂ්මා ස්වරාජ් පවසයි. ඉන්දියාවේ විදෙස් ඇමතිනිය සුෂ්මා ස්වරාජ් තව දුරටත් කියා සිටියේ ඉරාකයේ ගැටුම් වලට මැදිව සිටින ඉන්දීය වැසියන් නැවත තම රටට ගෙන්වා ගැනීමට රජය හැකි සියලු පියවර ගන්නා බවයි. විපතට පත් ව ඇති ඉරාකයේ සිරවී සිටින ඉන්දියානුවන්ගේ පවුල් වල සාමාජිකයන් හමු වූ ඇය කියා සිටියේ රජය කෙරේ විශ්වාසය තබා ගන්නා ලෙසයි. ඔවුන්ට අලුත් ගමන් බලපත්‍ර ලබා දීමටත් ඉරාකයේ සිට ඉන්දියාවට නැවත පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා දීමටත් ඉන්දීය රජය කටයුතු කිරීමට සුදානම් බව විදෙස් ඇමතිනිය පවසයි. නමුත් නිසි තොරතුරු ලබා ගෙන ඔවුන් ගැටුම් පවතින පෙදෙස් වලින් ගලවා ගන්නා තෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ඇයගේ අදහසයි.
සංක්‍රාන්ති ලිංගිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවට බැඳීම තහනම් කිරීමේ නියෝගයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවේය.
ජනාධිපති ට්‍රම්ප් එවැනි නියෝගයකට අත්සන් තැබුවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට හමුදා සේවය සඳහා එක්වීමට අවසර දෙමින් හිටපු ජනාධිපති බරක් ඔබාමා ගෙන තිබූ තීරණයක් අවලංගු කරමිනි. දැනට හමුදාවේ සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට අවශ්‍ය නම් ලිංගිකත්වය වෙනස් කරගැනීමේ සැත්කම වෙනුවෙන් රජයේ අරමුදල් යොදාගැනීමට තිබූ අවස්ථාව ද ජනාධිපති ට්‍රම්ප් විසින් ඒ සමගම නවතනු ලැබ තිබේ. කෙසේ නමුත් මේ වන විට සක්‍රිය සේවයේ නිරතව සිටින සංක්‍රාන්ති ලිංගිකයන් තවදුරටත් සේවයේ යොදා ගන්නේ ද යන්න තීරණය කිරීම ආරක්ෂක ලේකම් ජිම් මැටිස්ට භාර කටයුත්තක් බව ද ජනාධිපතිවරයා පවසයි. සංක්‍රාන්ති ලිංගිකයන් සේවයේ යොදාගැනීම පිණිස වැය වන මුදල සහ එමගින් හමුදා ඛණ්ඩවලට එල්ලවන "අහිතකර බලපෑම්" හේතුවෙන් මෙවැනි තහනමක් පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන නමුත්, සංක්‍රාන්ති ලිංගිකයන් ගේ හිමිකම් පිළිබඳ ක්‍රියාධරයෝ එයට එරෙහිව නීතියේ පිහිට පැතීමට සැරසෙති. සබැඳි යොමු: ජනාධිපති නියෝගය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන සමකාමීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින Glad (GLBTQ Legal Advocates & Defenders) සංවිධානය, "මේ ප්‍රතිපත්තිය අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා යුද පෙරමුණට යන ජනතාවට එල්ල කළ කම්මුල් පහරකි," යනුවෙන් සඳහන් කරයි. සංක්‍රාන්ති ලිංගිකයන්ට හමුදා සේවයේ නිරතවීමට අවසර දෙන බවට ඔබාමා පරිපාලනය පසුගිය වසරේ නිවේනදය කිරීමෙන් අනතුරුව එවකටත් හමුදා සේවයේ නිරතව සිටි බොහෝ සංක්‍රාන්තිකයෝ සිය ලිංගිකත්වය හෙළි කළහ. සිය රට ආරක්ෂා කිරීම සඳහා හමුදාවට බැඳුනු බව පවසන රයිලි ඩොශ් එහෙත් සංක්‍රාන්ති ලිංගිකයන්ට හමුදා සේවයේ යෙදීමට අවසර දිය යුතු ද යන්න හමුදාවට ඉතා "සංකීර්ණ සහ අවුල් සහගත" ගැටලුවක් වූ බව ජනාධිපති ට්‍රම්ප් ගේ අදහසය. මේ අතර සංක්‍රාන්ති ලිංගිකයකුට හෝ සමකාමියකුට ලාංකීය සමාජය තුළ පිරිමියකුට හිමි සමාන අවස්ථා නොලැබෙන්නේදැයි මීට ඉහතදී ශ්‍රී ලංකාව තුළ ද ප්‍රබල සංවාදයක් මතු වී තිබිණ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සම්මත කරන ලද නීතියකට අනුව සමලිංගික සේවනය ශ්‍රී ලංකාව තුළ තහනම් වන අතර, දණ්ඩ නීති සංග්‍රහයේ එම වගන්තිය සංශෝධනය කිරීම පිණිස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් "විසි කළ" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා සඳහන් කළේය. තවත් සබැඳි යොමු:
ඔරිගන් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් නව දෙනකු මරා දමනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා තුවක්කු පාලනය සඳහා පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් දුන්නේය.
එක්තරා ආකාරයක කෝපය මුසු ස්වරයකින් අදහස් දැක්වූ ඇමෙරිකානු නායකයා මෙවැනි සමූහ ඝාතන සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්වයකට පත් වී ඇති බවට අනතුරු ඇඟවීමක් ද කරමින් තුවක්කුවක් පහසුවෙන් ලබා ගැනීමට ඇති ඉඩකඩ වෙනස් කළ යුතුව ඇති බවයි පෙන්වා දුන්නේ. එම ප්‍රාන්තයේ රෝස්බර්ග් නගරයේ විදුහලක දී වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරුවාට පොලිසිය විසින් වෙඩි තබනු ලැබ මරා දමනු ලැබ ඇත. එම පුද්ගලයා විසි හතර හැවිරිදි ක්‍රිස් හාපර් මර්සර් හැටියට හඳුනා ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි. ආගම විමසමින් එක් ශිෂ්‍යයෙක් ප්‍රදේශයේ පුවත්පතකට සිද්ධිය විස්තර කරමින් ‘තුවක්කුකරුවා වෙඩි තැබීම ආරම්භ කරනු ලැබීමට පෙර එහි සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ආගම් විමසන ලද බවයි’පවසන්නේ. රෝස්බර්ග් නගරයේ පූජක වරයෙක් අදහස් දක්වමින් තුවක්කුකරු ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදු කර ඇති බවක් පෙනී යන බව සඳහන් කළේය. ප්‍රහාරයේ දී මරණයට පත් වූවන් වෙනුවෙන් සමරු වැඩ සටහන් ආරම්භ කෙරෙමින් ඇති බවත් වාර්තා වෙයි. ප්‍රහාරයේදී තවත් කීප දෙනකුට තුවාල සිදු විය.
ඇමරිකාවේ රෝහලක් තුළ පළමු වරට සාර්ථකව සිදු කරන ලද පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව වෛද්‍යවරු පවසති.
'මට කිසිම දෙයක් හංගන්න ඕන වුනේ නැහැ' පිළිකාවක් හේතුවෙන් හැට හතර හැවිරිදි තෝමස් මැනින්ගේ ශිශ්නය කපා ඉවත් කරන ලදී. ඉන් තෙවසරකට පසු අවයව පරිත්‍යාගයක් හරහා ඔහුට ශිශ්නයක් බද්ධ කර ගැනීම සඳහා අවස්ථාව උදා විය. ඒ ආකාරයේ පරීක්ෂණාත්මක ශල්‍යකර්මයකට භාජනය කරන ලද ලොව තෙවැනි පුද්ගලයා ලෙස ඔහුයි. ඉදිරි මාස කීපය ඇතුළත ඔහුට සාමාන්‍ය පරිදි මුත්‍රා කිරීමට හැකියාව ලැබෙනු ඇති බව පවසන වෛද්‍යවරුඔහුගේ ලිංගික ක්‍රියාකාරිත්වය ප්‍රකෘති තත්වයට පත් වනු ඇති බවත් කියා සිටිති. මැසචුසෙට්ස් මහ රෝහලේ සිදු කරන ලද ශල්‍යකර්මය සඳහා ගත වී ඇති කාලය පැය පහළොවක්. 'හමුදා සෙබළුන්ට' ඒ සඳහා විවිධ ක්ෂේත්‍රවලට අයත් පනහකට අධික විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක සහාය ලැබී ඇත. හමුදා ක්‍රියාන්විතයේ යෙදී සිටියදී ලිංගෙන්ද්‍රයට හානි සිදු වූ සොල්දාදුවන්ට තම සැත්කමේ සාර්ථකත්වය නව බලාපොරොත්තුවක් රැගෙන එනු ඇති බව සැත්කමට භාජනය වූ තෝමස් මැනින් පැවසීය. 'මම අවුරුදු ගණනාවක් පුරා දැන හඳුන ගෙන සිටි ඇතැම් අයට මගේ පුරුෂ ලිංගය කපා ඉවත් කලා කියල කියපුවම ඔවුන්ගේ මුහුණුවල ඉරියව් පුදුම විදියට වෙනස් වුණා. ඔවුන් තැති ගැනුණා. සොල්දාදුවන්ගේ කකුල් අහිමි කරන බෝම්බ දණහිස ළඟින් නතර වෙන්නේ නැහැ. දණහිසෙන් උඩ සිදු වන තුවාල මිනිසුන්ට දකින්න ලැබෙන්නේ නැහැ.' ඔහු වැඩිදුරටත් කියා සිටියේය. පළමු සැත්කම දකුණු අප්‍රිකාවේ පුරුෂ ලිංග බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පළමු වරට සාර්ථකව සිදු කරනු ලැබුවේ දකුණු අප්‍රිකාවයි. ඒ දෙදහස් පහළොව වසරේදී. සුන්නත් කිරීමෙන් අනතුරුව ඇති වූ ආබාධිත තත්වයක් හේතුවෙන් පුරුෂ ලිංග බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කරන ලද එම පුද්ගලයා දාව පසුව දරුවකු බිහි විය. දෙදහස් හය වසරේදී චීන ජාතික පුද්ගලයකුට පුරුෂ ලිංග බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කරනු ලැබිණ. ශල්‍යකර්මය සිදු කොට සති දෙකකට පසු නැවත එය ඉවත් කිරීමට ඔහු තීරණය කොට තිබුණේ තමා සහ තම බිරිඳ 'බරපතළ මානසික ගැටලුවකට' මුහුණ දී සිටින බව පවසමිනි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ තිස් පස් වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි ඝාතනය කිරීමේ පනස් වැනි සංවත්සරය මෙම නොවැම්බර් විසි දෙවෙනිදාට යෙදෙයි.
ඒ නිමිත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික කොඩි අඩ කුඹු කොට ඇති අතර, රට පුරා මහජනතාව නිශ්ශබ්දතාවයෙන් සිටිමින් ඝාතනය කෙරුණ ජනාධිපතිවරයාට ගෞරවය දැක්වීමට ද නියමිතයි. වොෂින්ටනයේ පැවැත්වෙන සමරු උත්සවයට ජනාධිපති බරක් ඔබාමා සහභාගි වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම භූමිය වන 'මැසචුසෙට්' ප්‍රාන්තයේ ද විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇත. 1963 නොවැම්බර් 22 දින,ජනාධිපති ජෝන් එෆ් කෙනඩිට වෙඩි තබා මරා දැමුණේ ටෙක්සාස්හි ‘ඩලස්’ නගරයේ දී. ජනාධිපති කෙනඩිට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන්නේ ලී හාර්වී ඔස්වල්ඩ් නමැත්තාටයි. අද දිනය පුරාම සීනු නාද කරමින් හිටපු ජනාධිපති වරයාට බුහුමන් දැක්වීමට ‘ඩලස්’ නගරය පියවර ගෙන ඇත. නිකිතා කෘෂෙෆ් ලී හාර්වී ඔස්වල්ඩ් ජෝන් එෆ් කෙනඩි ඝාතනය කෙරුණ වකවානුවේ සෝවියට් සංගමයේ නායකයා වූ නිකිතා කෘෂෙෆ් ගේ පුත්,සෙර්ගෙයි කෘෂේෆ් බීබීසියට අදහස් දක්වමින් කෙනඩි ඝාතනය කෙරුණු පුවත සිය පියාට අදහා ගත නොහැකි වූ බවයි සඳහන් කළේ. “තාත්තා කලබලයට පත් වුනා. ඒ වගේම බොහොම දුක් වුනා. ඒක කලේ කවුද?මොන හේතුවක් නිසාද ? කියන එක තේරුම් ගන්න බැරි වුන නිසයි, එයා කලබලයට පත් වුනේ. මොකද ඒ ක්‍රියාව යුද වාදියකුගේ වැඩක් වෙන්න පුළුවන්. ඔවුන්ට යුද්ධයක් ආරම්භ කරන්න ඕන වුනා වෙන්න පුළුවන්” සෙර්ගෙයි කෘෂේෆ් පවසයි. ජෝන් එෆ් කෙනඩි ඇමෙරිකාවේ ජනප්‍රියතම,එසේම ගරු බුහුමන් ලබන ජනාධිපතිවරුන් කීපදෙනා අතරින් එක අයකු ලෙසයි සැලකෙන්නේ.එහෙත් ඔහු බලයේ සිටියේ අවුරුදු තුනකටත් වඩා අඩු කාලයකි.
උතුරත් දකුණත් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා විවිධ සංවිධාන සහ කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල වේදිකා නාට්‍යය ඇතුළු කලා උළෙලවල් පැවැත්වෙයි.
එවැනි වේදිකා නාට්‍යයක් පසුගියදා යාපනයේ වීරසංහම් ශාලාවේ වේදිකා ගත විය. සිංහල දෙබස් සහිත නාට්‍ය නැරඹීම සඳහා පැමිණි බහුතරයක් දෙනා දෙමළ කතා කරන රසිකයන් වූ අතර නාට්‍යයේ දෙබස් තේරුම් ගැනීමට අපහසු වූ බව ඔවුහු කියා සිටියහ. මේ අතර පසුගියදා වව්නියාවේ නවගම ගම්මානයේදීත් දෙමළ දෙබස් සහිත වේදිකා නාට්‍යයක් වේදිකා ගත වූ අතර එය නැරඹීමට පැමිණ සිටි සියලු දෙනා සිංහල භාෂාව කතා කරන රසිකයන්. 'නාට්‍යය නම් හොඳයි පේන විදිහට. ඒ වුනාට ඔක්කොම තිබ්බේ දෙමළ භාෂාවෙන්. ඒ නිසා අපිට කිසි දෙයක් තේරුණේ නැහැ' ගම්වාසී එක් තරුණියක් කියා සිටියාය. සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණින් උතුරේ වේදිකා ගත වන නාට්‍යය සඳහා භාෂා ගැටලුව බාධාවක් නොවේද? සිංහල භාෂාව නොදන්නා අයකුට සිංහල දෙබස් සහිත නාට්‍යයක් පෙන්වීමෙන් කෙතරම් බලපෑමක් සිදු වේ දැයි යන්න විශ්‍රාමලත් කථිකාචාර්ය පී.බී සෙල්වරාජ් ප්‍රශ්න කරයි. රාජ්‍ය සම්මානලාභි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන පරාක්‍රම නිරිඇල්ල කියා සිටියේ දෙබස් හරහා ගොඩ නැගෙන නාට්‍යය සඳහා භාෂාව සෑම විටම බාධාවක් වන බවයි. කෙසේ නමුත් එවැනි නාට්‍යයකින් සංහිඳියා ගමනට ඇති කරන බලපෑම අධ්‍යක්ෂක පරාක්‍රම නිරිඇල්ල ප්‍රශ්න කරයි. (''සංහිඳියාව ගොඩ නැගීම සඳහා නාට්‍යය කලාව යොදා ගත හැකිද?' යන්න පිළිබඳ බීබීසී සංදේශය වෙනුවෙන් දිනසේන රතුගමගේ කළ විමසුමකට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.)
සිය මව HIV ආසාදිතයකු වීම හේතුවෙන් පාසල් ගමන ගැට‍ලුවක් වී ඇති ගම්පහ ගණේමුල්ල කනිෂ්ඨ පාසලක ශිෂ්‍යාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලද බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
පාසල තුළ "යම් සංවේදී සිදුවීමක්" සිදුව තිබෙන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි පාසල තුළ "යම් සංවේදී සිදුවීමක්" සිදුව ඇති බව එම විමර්ශනයේදී හෙළි වූයේ යයි සඳහන් කරන මානව හිමිකම් කොමිසම, "එය පාදක කරගනිමින් පාසල තුළින් හෝ අධ්‍යාපන බලධාරීන් වෙතින් හෝ සෙසු පාසල් දරුවන්ගේ දෙමාපියන් වෙතින් ද මෙම දරුවා ප්‍රතික්ෂේප වීමක් සිදු නොවන බව," එහිදී හෙළි වී යැයි ද වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය මාර්තු 09 වෙනි දින පැවති විමර්ශනයෙන් අනතුරුව දරුවා නැවත පාසල වෙත යොමුකරන මෙන් දැරියගේ භාරකරුවන් වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම බ්‍රහස්පතින්දා (මාර්තු 29) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එමෙන්ම දරුවාගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඒ අවස්ථාවේ විශේෂ වැඩසටහනක් දියත් කළ බව ද නිවේදනයේ දැක්වේ. වීඩියෝ පටයක් සිය මව එච්අයිවී ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීම පදනම් කරගෙන, ගණේමුල්ල පාසල් දැරියගේ අධ්‍යාපනයට බාධා පැමිණවීමේ ගැටලුව පළමු වරට උද්ගත වුණේ 2017 වසරේ පෙබරවාරි මාසයේය. ඒ අවස්ථාවේ මැදිහත් වූ මානව හිමිකම් කොමිසම ඇයගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව විදුහල්පතිවරයා එම දැරියට අදාළ පසුගිය සිදුවීම් ඇතුළත් වීඩියෝ පටයක් පාසල තුළ මෑතදී ප්‍රදර්ශනය කිරීමත් සමඟ පාසලේ සෙසු ළමුන් උසුළු විසුළු කිරීම නිසා ඇයගේ අධ්‍යාපනය නැවත ඇනහිටි බව දැරියගේ මව පවසන්නීය. පාසලේ ඇතැම් ගුරුවරියන් ද එය අනුමත කරන නමුත්, එම සියලු ප්‍රකාශන බැහැර කරන විදුහල්පතිවරයා දැරිය යළි පාසලට එවන මෙන් මවගෙන් ඉල්ලීමක් කරයි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් අදාළ පාසලට ගොස් විමර්ශනයක් කළ බවත් දැරියට එම පාසලේ අධ්‍යාපනය ලැබීමේ කිසිදු බාධාවක් නොමැති බව එහිදී පෙනී ගිය බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්ජී විජයබන්දු ද බීබීසී සිංහල සේවයට පැවසීය. විදුහල්පතිවරයාගෙන් තමන්ට බැනුම් එල්ලවන අතර, වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව පාසල් සිසුන් තමන්ට උසුළුවිසුළු කරන බැවින් ඉදිරියට සිය අධ්‍යාපනය කරගෙන යාමට උපකාර කරන්නැයි ඉල්ලා සිටිමින් දැරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් ද යොමු කර තිබුණි. කෙසේ වුවත් ඇයගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් සිය මැදිහත්වීම පිළිබඳ මාධ්‍ය "විවිධ වූ වැරදි අර්ථකථන ලබාදෙන" තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි. තවත් වාර්තා:
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දිරි දීම සහ දිළිඳුකම පිටුදැකීම පිණිස ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනකට විශේෂ ප්‍රතිපාදන ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
"දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ සිට කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම දක්වා වූ යහපාලන ප්‍රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ හවුල්කරුවන් ලෙසින් ක්‍රියාකරමින් දිළිඳුකම පිටුදැකීමේ සහ ජන ජීවිත නගා සිටුවීමේ හැකියාව උපරිමය දක්වා වැඩිකරන්නෙමු" එක්සත් ජනපදයේ Millennium Challenge Corporation (MCC) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ සතිය මුලදී ඉහත තීන්දුවට එළැඹුණු බව කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. "ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ දශක හයක සංවර්ධන සහයෝගිතාවයට එම්සීසී යේ මෙම ප්‍රතිපාදනය විශාල රුකුලක්," බව ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් පවසයි. යහපාලනය බුර්කිනා ෆාසෝ සහ ටියුනීසියාව ඉදිරි වසර පහ ඇතුලත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි විශේෂ ප්‍රතිපාදන ලැබෙන අනෙක් රටවල් දෙකයි. සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව සම්පත් වෙනුවෙන් කෙරෙන ආයෝජන සහ ආර්ථික නිදහස මෙම ප්‍රතිපාදන ලබාදීම පිණිස මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සලකා බලන නිර්ණායක වේ. "දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ සිට කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම දක්වා වූ යහපාලන ප්‍රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ හවුල්කරුවන් ලෙසින් ක්‍රියාකිරීම මගින් දිළිඳුකම පිටුදැකීමේ සහ ජන ජීවිත නගා සිටුවීමේ අපේ හැකියාව උපරිමය දක්වා වැඩිකරන්නෙමු," යනුවෙන් එම්සීසී යේ ප්‍රධාන විධායක නිලධාරිනී ඩනා ජේ හයිඩ් පවසයි. දෙවැනි වටය එම්සීසී මූලික වැඩසටහනට 2015 දෙසැම්බරයේදී තෝරාගන්නා ලද ශ්‍රී ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් අනතුරුව 'Compact' දෙවැනි වටයට තෝරා ගන්නා ලද බවත් නිවේදනයේ සඳහන් වේ. ටියුනීසියාවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි 'Compact' හවුල්කරුවකුවන අතර, 2014 ජුලි මාසයේදී 'Compact' වැඩසටහන සම්පූර්ණ කළ බුර්කිනා ෆාසෝ, 2015 දී නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රටේ ප්‍රතිපත්තිවල ප්‍රබල ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් MCC ආයතනය පවසයි. මේ අතර ශ්‍රී ලංකාවේ සහ බුර්කිනා ෆාසෝ හි ආර්ථික වර්ධනයට බාධා වන අංශ සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලන මෙන් MCC අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ කර තිබේ.
සිය වැටුප් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක පාපන්දු සම්මේලනය සමග හටගෙන තිබෙන මතභේදයක් හේතුවෙන් ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ වැඩ වර්ජනයක නිරතව සිටිති.
අර්බුදය කෙතරම් උග්‍රව තිබෙන්නේ ද යත් ඔවුහු පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවති සුහද තරගයට ද සහභාගි නොවූහ. මතභේදය පිළිබඳව ස්ථිර එකඟත්වයකට පැමිණෙන තුරු තාවකාලික විසඳුමක් පාපන්දු සම්මේලනය (Danish Football Association -DBU) විසින් ඩෙන්මාර්ක වෘත්තීය පාපන්දු ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ සංගමය (Danish Professional Footballers Association -PFA) වෙත සෙනසුරාදා (සැප්තැම්බර් 16) ඉදිරිපත් කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් ද තවමත් එකඟත්වයකට එළඹී නැත. එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩකයන්ගේ සංගමය යෝජනා දෙකක් ඉරිදා (සැප්තැම්බර් 17) ඉදිරිපත් කළ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කෙරිණ. මේ අතරවාරයේ ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවන්ට අපූරු යෝජනාවක් කළහ. සිය වැටුප්වලින් බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක මුදලක් ක්‍රීඩිකාවන්ට ගෙවීමය, ඒ. වැටුප් සම්බන්ධයෙන් "සාකච්ඡා කිරීමට සූදානම් නැති" පාපන්දු සම්මේලනයක් සමග ගනුදෙනු කිරීම "වෙහෙසකර" බව ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ජෙප් කර්ත් (Jeppe Curth) පැවසීය. ලබන අඟහරුවාදා හංගේරියාවට එරෙහිව පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු පිණිස වැටුප් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට ක්‍රීඩිකාවන් උත්සාහ දරන නමුත් ක්‍රීඩා බලධාරීන්ගේ එවැනි උනන්දුවක් දකින්නට නොමැති බව ද ඔහු පැවසීය. ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය හංගේරියාවට එරෙහිව පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගය සඳහා "වෙනත් ක්‍රීඩිකාවන් සොයා ගැනීමට හෝ තරගයෙන් ඉවත්වීමට" තමන්ට සිදු වනු ඇති බව පාපන්දු සම්මේලනයේ සන්නිවේදන කළමනාකරු ජේකොබ් හොයර් (Jakob Hoyer) බීබීසී ස්පෝර්ට්ස් වෙබ් අඩවියට පැවසීය. "ක්‍රීඩකයන්ගේ යෝජනාව ඉතාම සාධනීය දෙයක් නමුත් ඒක අපේ සාකච්ඡාවල කොටසක නොවෙයි," ඔහු සඳහන් කළේය. ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩිකාවන්ගේ වැටුප් සම්බන්ධ සාකච්ඡා පසුගිය මාස නවය මුළුල්ලේ පැවැත්වෙන බව විශ්වාස කෙරේ. ක්‍රිකට් ක්‍රීඩාවේ 'නොසලකා හැරීම්' ක්‍රීඩකයන් මෙන් ක්‍රීඩිකාවන් ද ජාතික පාපන්දු සම්මේලනයේ වැටුප් ලබන පිරිසක් බවට පත්කිරීම ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම වී තිබේ. එහෙත් පාපන්දු බලධාරීන් විසින් අලුතෙන්ම ඉදිරිපත් කර තිබෙන යෝජනාව අනුව ක්‍රීඩිකාවන් පාපන්දු සම්මේලනයේ වැටුප් ලබන සේවකයන් පිරිසක් ලෙසින් නොසැලකේ. ක්‍රීඩිකාවෝ එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට ක්‍රීඩකයන්ගේ වැටුපෙන් කොටසක් (බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක්) ක්‍රීඩිකාවන්ට ගෙවන මෙන් ක්‍රීඩකයන්ගේ වෘත්තීය සමිතිය යෝජනා කළේය. එහිදී ක්‍රීඩකයන්ට හා සමාන සියලු මූලික අයිතිවාසිකම් ක්‍රීඩිකාවන්ටත් හිමිවිය යුතු බව ද වෘත්තීය සමිතියේ යෝජනාව විය. එහෙත් එම යෝජනාව පාපන්දු බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. කාන්තාවන්ට සහ පුරුෂයන්ට වෙනස් ලෙසින් සැලකීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ද වරින් වර සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. 2012 ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අවස්ථාවේ අදහස් දැක්වූ එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් සහ දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස් (Mignon Du Preez) කාන්තාවන්ටත් සමානව සැලකීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. ඔවුන් පළ කළ එම අදහස් බීබීසී සිංහල සේවය අයිසීසී ජගත් පාලක මණ්ඩලය වෙත යොමු කළ අවස්ථාවේ අයිසීසීයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක දී පුරුෂ කණ්ඩායම්වලට සහ කාන්තා කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.
ශ්‍රී ලංකාවේ කලාත්මක සිනමාව ආරම්භ වීමට දශක කිහිපයකට පෙර වාර්තා චිත්‍රපට නිර්මාණය වුවද එවැනි චිත්‍රපට නිර්මාපකයින් ඇගයීමේ කිසිදු විධිමත් ක්‍රියාවලියක් නොමැති බව කලාකරුවෝ පිරිසක් පවසති.
සර්වා කලා සහ මාධ්‍ය ඇකඩමිය ඒ බව පවසන්නේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපට සම්මාන උළෙලක් පැවැත්වීමට අදාළ කරුණු පැහැදිළි කරමිනි. ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ ආරම්භය වාර්තා චිත්‍රපට වුවද, ප්‍රබල ලෙස වර්ධනය වූයේ විනෝදාස්වාදය මුඛ්‍ය අරමුණ වූ සිනමාව බව සුමුදු ගුරුගේ ප්‍රධානත්වය දරන සාර්වා කලා හා මාධ්‍ය ඇකඩමිය පවසයි. "බුද්ධිමය ප්‍රජාවක් නිර්මාණය කළ හැකි වාර්තා චිත්‍රපට මාධ්‍යය කෙමෙන් දෙවන ධාරාවක් ලෙස පසු පසට තල්ලු වී, අද වන විට අතිශය දුෂ්කර අඩියකට පත් වී ඇත්තේය," යනුවෙන් ගාලු වාර්තා චිත්‍රපට උළෙලේ සංවිධායකයන් නිකුත් කළ නිවේදනයක දැක්වේ. "කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයක මැදිහත් වීමක් නොවුනද,මෙම අසීරු තත්වයන් යටතේ පවා ලාංකීය වාර්තා චිත්‍රපට නිර්මාණකරුවන් පසුගිය වසර 70 ක පමණ කාලයක සිට ඉතා විශිෂ්ට නිර්මාණ ලෝකය වෙත ප්‍රදානය කොට,ඉතා ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සම්මාන පවා ලබාගෙන ඇත්තේය," යනුවෙන් ද එයින් පෙන්වා දෙයි. ගාලු වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන සංවිධායක මණ්ඩලයේ සේනාධි ගුරුගේ, සිනමා ලෝලීන් වාර්තා චිත්‍රපට කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන කරුණු කිහිපයක් පවතින බව බීබීසී සංදේශයට පැවසීය. "එක ප්‍රධාන හේතුවක් තමයි, ලංකාවේ මිනිස්සුන්ට - සිංහල වේවා, දෙමළ වේවා - භාෂාව හම්බවෙලා ඇත්තටම අවුරුදු සීයක්වත් නැහැ," ඔහු පැවසීය. "ඒකට හොඳම උදාහරණය තමයි අපේ ඉතිහාසයේ මිනිස්සු අධ්‍යාපනය හදාරපු ප්‍රධානම මාධ්‍යය බවට පත්වුණේ පන්සල් සහ කෝවිල්වල තිබිච්ච චිත්‍ර සහ මූර්ති සහ පන්සල්වල බණ මඩුවේ කියවපු පොත්පත්." ලිඛිත භාෂාව සහ සාහිත්‍යය පරිශීලනය කිරීම ශ්‍රී ලංකාවාසීන්ට පරිනාමීයව උරුමවූවක් නොවන බැවින් වාර්තා චිත්‍රපටවල වැදගත්කම මේ මොහොතේ ඉස්මතුව පෙනෙන බව පෙන්වා දෙන සේනාධි ගුරුගේ,"තවමත් අපේ සමාජයට රූපය සහ ශබ්දය ඉතාම වැදගත්. මොකද ලිඛිත සාහිත්‍යය පරිශීලනය කරලා පුළුල් භාෂා ලෝකයක් තුළ තමන්ගේ ලෝක දෘෂ්ඨිය විශාල කරගන්න අදාළ දැනුමක් තවමත් අපේ සමාජයේ බහුතරයක් දෙනාට නැති නිසා,"යැයි කියා සිටී. 2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙල සඳහා දෙසැම්බර් 15 වෙනිදා තෙක් සිය නිර්මාණ ඉදිරිපත් කරන මෙන් සංවිධායකයෝ සිනමා ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරති. සම්පූර්ණයෙන් ම ප්‍රජාවෙන් ලැබෙන මුල්‍ය සහයෝගය මත යැපෙන මෙම උළෙලේ ප්‍රධානම හවුල්කරු ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය බව සංවිධායකයෝ පැවසූහ. ගාලු වාර්තා චිත්‍රපට උළෙලේ අධ්‍යක්ෂ සුමුදු ගුරුගේ
හිනිදුම, තවලම ප්‍රදේශයේ පිහිටා ඇති ගිං ගඟේ ජල මාපකයේ උපරිම මට්ටම අඩි 15 වන නමුත් දැන් එම මට්ටම අඩි 24 ට වඩා වැඩි වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමාවිතාරණ පවසයි.
උඩුගම ගංවතුර ඒ අනුව එම නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ අඩි 24 වඩා යට වී ඇති බවත් සිකුරාදා පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් හදිසි ආපදා කමිටු රැස්වීමක් අමතමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීහු ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට සහභාගි වී සිටියහ. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ එහිදී අදහස් දක්වමින්, ජලයෙන් යට වී තිබෙන නෙළුව හබරකඩ විහාරස්ථානයේ ගංවතුරට කොටු වී සිටි ගැබිණි මවක් තමන්ට දුරකතනයෙන් අමතා ඇය බේරාගන්නා ලෙස ඉල්ලා සිටි බවත් පැවසීය. ගැබිණි මවක් ඇය බේරාගන්නා මෙන් මන්ත්‍රීවරයා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කළේය. අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණ ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබී එය ප්‍රචණ්ඩ ලෙස ඉහළ ගිය බවත්, කරකියාගත දෙයක් නොමැතිව පවුලේ සමාජිකයින් සමග දිවි බේරාගෙන පසුව ආරක්ෂිතව උස් ස්ථානයකට ගිය බවත් නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටි පුද්ගලයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. පසුව සිය නිවස සම්පූර්ණයෙන්ම ගංවතුරට යට වූ බව ඔහු පැවසීය. මේ වනවිට විදුලිය සහ දුරකථන පහසුකම් ඇණ හිටිම හේතුවෙන් මේවන විට එම ප්‍රදේශවල පවතින තත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර බව වාර්තාකරුවෝ පවසති. වේගයෙන් ගලන ජල පහර හේතුවෙන් උඩුගම, නෙළුව ප්‍රදේශවලට ප්‍රවේශවිම අපහසු වීම හේතුවෙන් ගංවතුරට කොටුවූවන් බේරාගැනිමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව යුද සහ නාවික හමුදා නිලධාරීහු පවසති. මේ තත්වය යටතේ සිය හෙලිකොප්ටර් යානා දෙකක් ගාල්ල දිස්ත්‍රික්කයේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. මාතර ගංවතුර මේ අතර ෆේස්බුක් ජාලය ඔස්සේ මාතර ප්‍රදේශවාසීන් වෙත පණිවුඩයක් යොමු කරන ගංවතුරට කොටු වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කිසිවකු ගංවතුරට කොටු වී සිටින්නේ නම් තමන් අමතන මෙන් ඉල්ලීමක් කරයි. ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාද ගංවතුරට කොටු වී සිටියි සහන සේවා හා මුදා ගැනීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, ආධාර අවශ්‍ය නම් ඒ සඳහා 0773011093 දුරකථන අංකය ඇමතීමෙන් තමන් හෝ 0714482590 දුරකථන අංකයට පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන ඇමතිය හැකි බව දැනුම් දී තිබේ. "මොනව හරි ආපදාවක් තිබෙනවා නම්, ජීවිත අවදානමක් හෝ විශාල ආපදාවක් තිබෙනවා නම් කරුණාකර කථාකරන්න." තමන්ගේ මාතර නිවසේ උඩුමහල දක්වාම ජල මට්ටම ඉහල නැග තිබෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. දුරකථන රැහැනක එල්ලෙයි තවමත් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් ජලයෙන් යට වී ප්‍රවාහන කටයුතුවලට බරපතල බාධා ඇතිවී තිබේ. තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විය බ්‍රහස්පතින්දා රාත්‍රී තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් වාහන ගමනාගමනයට බාධා ඇති විය. මේ අතර බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේදී ජල ගැල්මෙන් බේරීම සඳහා දුරකථන රැහැනක් දිගේ එමින් සිටි පුද්ගලයෙක් ජලයට වැටී අතුරුදහන්ව සිතන බව හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක යූඑල්ආර්එස් ගුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් කැකිරිඔබඩ ජලාශයේ වාන් දැමීම සිදුවන බැවින්, අවදානම් කලාප බවට හඳුනාගෙන ඇති බෙලිඅත්ත, කහවත්ත, නතුවල, අරන්වල, කැකිරිඔබට යන ග්‍රාම නිලධාරි වසම් හතරක සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස නියෝග කර තිබෙන බවත් ඔහු පැවසීය. උඩුගම වලස්මුල්ල සපුතන්ත්‍රී කන්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානමට මුහුණ දී සිටි පවුල් අටක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. අගලවත්තේ, වෙයන්ගල ගංවතුර මේ අතර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල, දකුණේ ගංවතුර 2003 වසරේ ගංවතුර මට්ටම ඉක්මවමින් පවතින බව සඳහන් කරයි. විශේෂයෙන්ම උඩුගම, කැටගොඩ ප්‍රදේශයේ ජල මට්ටම මේ වන විට අඩි විසි පහ ඉක්මවා (විදුලි කණු මට්ටමට) ඉහල ගොස් ඇති බව පවසන ඔහු, ඊට ඉහළින් පිහිටි තවලම, නෙළුව, හිනිඳුම ආදී ප්‍රදේශ තව තවත් ජලයෙන් යටවෙමින් පවතින බවත් සඳහන් කරයි. "ගාල්ල, උඩුගම ප්‍රදේශයට මේ වන විට ලඟා වීමට ප්‍රධාන මාර්ග භාවිත කළ නොහැක. ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ උඩුගම රෝහළ අසලින් කැලෑව හරහා උඩුගම ප්‍රදේශය වෙත යා යුතුය. ඉවුම් පිහුම් සඳහා ප්‍රධාන වශයෙන්ම දර භාවිතා කරන එම ප්‍රදේශ මේ වන විට හාමතින් සිටීම ආරම්භ කර ඇත," යනුවෙන්ද එම ෆේස්බුක් සටහනේ සඳහන් වේ. මේ තත්වය යටතේ එම ප්‍රදේශයේ ජනතාව පානීය ජල හිඟයකට ද මුහුණදෙමින් සිටිති.
චීනය හිතාමතා ම එරට ඈත බටහිර ෂින්ජැන් කලාපයේ ජීවත් වන මුස්ලිම් දරුවන් ඔවුන්ගේ පවුල්වලින්, ආගමික විශ්වාසයෙන් සහ භාෂාවෙන් වෙන් කරමින් සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
(චීනයේ ෂින්ජැන් හි සිට බීබීසී පුවත් හි ජෝන් සඩ්වර්ත් සැකසූ වාර්තාවක් ඇසුරිණි) එසේ ම වැඩිහිටියන් සිය දහස් ගණනක් විශාල කඳවුරුවල රඳවාගෙන ඇති බවත් දරුවන්ට නේවාසිකව අධ්‍යාපනය ලබා දිය හැකි පාසල් ගොඩනැගීම ද වේගවත්ව ක්‍රියාත්මකවන බවත් පැවසේ. ප්‍රසිද්ධියේ පළවී ඇති ලිය කියවිලි සහ විදෙස් රටවල වෙසෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ලබා ගත් තොරතුරු ද අනුව එම කලාපයේ ළමුන්ට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව පැහැදිලි සාක්ෂි එක්රැස් කර ගැනීමට බීබීසී පුවත් සේවයට හැකි විය. එම වාර්තාවලින් පෙනී යන්නේ, දළ වශයෙන් එක් නගරයක ළමුන් 400 දෙනෙකුට පමණ තම මව සහ පියා යන දෙදෙනා ම අහිමිව ගොස් ඇති බවය. ඒ, එම දෙමව්පියන් සිරගෙවල්වල හෝ වෙනත් ස්ථානවල රඳවාගෙන සිටින හෙයිනි. එම "මධ්‍යගත රැකවරණයකට" යොමුකිරීමේ අවශ්‍යතාවක් ඇත්දැයි යන්න සොයා බැලීමට ද මෙහිදී නිල අගැයීමක් කර තිබේ. ෂින්ජැන් කලාපයේ වෙසෙන වැඩිහිටියන්ගේ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සහ ගන්නා අතර ම දරුවන් ඔවුන්ගේ උරුමයන්ගෙන් ඈත් කිරීමට ද ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සිදුවෙමින් පවතින බව සාක්ෂිවලින් දක්නට ලැබේ. ආරක්ෂාව තර කර තිබෙන අයුරු නමුත් බ්‍රිතාන්‍යයේ චීන තානාපති ලු ෂියාඕපින්ග් පවසන්නේ බටහිර ෂින්ජැන් කලාපයේ එවැනි දෙයක් නොවන බවය. බීබීසීයට අදහස් දැක්වූ ඔහු, එම කලාපයේ දරුවන් දෙමව්පියන්ගෙන් ක්‍රමානුකූලව වෙන් කෙරෙන බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය. ෂින්ජැන් යනු චීනයේ දැඩි විමසිල්ලට සහ පාලනයකට නතු වූ කලාපයකි. විදෙස් මාධ්‍යවේදීන් ගැන පැය 24 පුරා විමසිල්ලෙන් සිටින බැවින් සාක්ෂි එකතු කර ගත නොහැකි විය. නමුත් එවැනි සාක්ෂි තුර්කියෙන් හමුවේ. ඉස්තාන්බුල් නගරයේ විශාල ශාලාවක් තුළ ඔවුන්ගේ කතාව කීමට පිරිසක් රැස් වී සිටිති. බොහෝ දෙනෙක් තම දරුවන්ගේ ඡායාරූප අත දරා සිටිති. ඔවුන් සියලු දෙනා ෂින්ජැන් කලාපයේ සිටි අය වෙති. "මම දන්නේ නැහැ මගේ දරුවන් කවුරු බලා ගන්නව ද කියලා," තම දියණියන් තිදෙනාගේ ඡායාරූපය දෙස අවධානය යොමු කරමින් එක් මවක් පැවසුවාය. "ඒගොල්ලන් එක්ක සම්බන්ධ වෙන්න කිසි ම විදිහක් නෑ." තම පුතුන් තිදෙනාගේ සහ දියණියගේ ඡායාරූපයක් අතින් දරා ගෙන සිටි තවත් මවක් කඳුළු පිස දමමින් පැවසුවේ, "ඔවුන්ව අනාථ නිවාසෙකට ගෙනිහින් කියලා මට ආසන්න ලැබුණා," යනුවෙනි. වෙන් වෙන්ව දුන් සාකච්ඡා සහ සාක්ෂි 60ක් මගින් ෂින්ජැන් කලාපයේ අතුරුදන්ව ඇති ළමුන් 100කට වැඩි පිරිසකගේ තොරතුරු හෙළිවිණි. ඔවුන් සියලු දෙනා ෂින්ජැන් කලාපයේ විශාල ම ජන කොට්ඨාසය වන උයිගර් (Uighurs) නම් බහුතර මුස්ලිම් ජන කොට්ඨාසයට අයත්ය. ඈත අතීතයේ සිට ආගම සහ භාෂාව නිසා තුර්කිය සමග සමීප සම්බන්ධතා ඔවුන්ට තිබේ. එම කලාපයේ ජීවත් වූ මුස්ලිම් වැසියන් දහස් ගණනක් අධ්‍යාපනය ලැබීමට, ව්‍යාපාර කිරීමට, පවුලේ අය හමුවීමට හෝ චීනයේ පවතින උපත් පාලන සීමාවන්ගෙන් මිදීමට හෝ ඉහළ යමින් පවතින ආගම කේන්ද්‍ර කර ගත් මර්දනයෙන් මිදීමට තුර්කියට පැමිණ සිටිති. නමුත් චීනය විසින් උයිගර්වරුන් ඇතුළු සුළු ජාතීන් දහස් ගණනින් විශාල කඳවුරු තුළ රඳවාගනු ලැබීමත් සමග ම පසුගිය වසර තුන පුරාවට බොහෝ දෙනෙකුට ආපසු යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අන්තගාමී ආගමික ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා උයිගර් ජාතිකයින්ට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබා දෙන බව චීන බලධාරීහු පවසති. නමුත් බොහෝ දෙනෙක් තම ආගමික විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම - යාච්ඤා කිරීම හෝ හිස ආවරණය කරගෙන සිටීම සහ තුර්කිය වැනි විදෙස් රටවල් සමග ඇති සම්බන්ධතා වැනි සරල හේතු මත රඳවාගෙන සිටින බව සාක්ෂි වලින් පෙනී යයි. තම බිරිඳ රඳවාගෙන සිටින බව පවසන එක් පියෙක් තම දරුවන් අට දෙනා ද චීන රජයේ භාරයට ගෙන ඇති බවට බිය පළ කරයි. "මම හිතන්නේ ළමයි අධ්‍යාපන කඳවුරුවලට ගෙනිහිල්ලා," ඔහු පැවසීය. බීබීසී මගින් සිදුකරන ලද නව සමීක්ෂණයකින් ඇත්ත වශයෙන් ම මෙම දරුවන්ට සහ අනෙකුත් අයට සිදුවන්නේ කුමක් ද යන්න හෙළිවිණි. චීනයේ ෂින්ජැන් ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුවන වැඩිහිටි මුස්ලිම්වරුන් රඳවාගැනීම් ගැන සම්පූර්ණ වශයෙන් හෙළි කරනු ලැබුවේ, ජර්මානු සමීක්ෂකයෙකු වන ආචාර්ය ඒඩ්රියන් සෙන්ස් විසිනි. විශ්වවිද්‍යාල විශාල කෙරෙමින් පවතී. නව සිසු නේවාසිකාගාර සහ ඒවායේ ධාරිතාව වැඩි කෙරෙමින් තිබේ. රඳවා ගැනීමේ කඳවුරු තනමින් පවතින ආකාරයට ම එකවර ළමුන් විශාල පිරිසක් රැකබලා ගැනීමේ හැකියාව රජය විසින් වර්ධනය කරනු ලබමින් පවතී. නමුත් මේ සියල්ල සිදුවන්නේ එකම ජන කොට්ඨාසයක් ඉලක්ක කරගනිමින් බව පෙනෙන්නට තිබේ. 2017 වසරේදී ෂින්ජැන් ප්‍රදේශයේ පෙර පාසල්වලට ඇතුළත් වූ දරුවන් ගණන 500,000කින් පමණ ඉහළ ගියේය. ඒ අතරින් 90% ක් පමණ උයිගර් සහ අනෙකුත් මුස්ලිම් සුළු ජන කොටස්වලට අයත් දරුවෝ වූහ. එම හේතුව නිසා සාමාන්‍යයෙන් චීනයේ සමස්ත පෙර පාසල් ඇතුළත්වීම් අගයට වඩා පහළින් පැවති ෂින්ජැන්හි පෙර පාසල් සඳහා ඇතුළුවීම් මේ වන විට චීනයේ ඉහළ ම අගය බවට පත්ව ඇත. උයිගර් ජන කොටස බහුලව ජීවත් වන දකුණු ෂින්ජැන්හි පෙර පාසල් සංවර්ධනය කිරීමට සහ අලුතෙන් ගොඩ නැගීමට චීන රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් යොදවා තිබේ. දරුවන් පාසල්වල රඳවා ගෙන ඉගැන්වීම නිසා "දෙමව්පියන්ගේ ස්ථානය පාසල වෙත පවරා ගැනීමක්" සිදු වන අතර එමගින් "සමාජ ස්ථාවරත්වය සහ සාමය සුරැකෙන" බව රාජ්‍ය ප්‍රචාරණය මගින් ඉස්මතු කෙරේ නමුත් ආචාර්ය සෙන්ස් පෙන්වා දෙන්නේ, එහි සැබෑ අරමුණ ඊට වඩා ගැඹුරු බවය. "මෙවැනි පාසල් මගින් සුළු ජාතික සමාජවල සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන" බව ඔහුගේ අදහසයි. රැඳවුම් කඳවුරු තුළ මෙන් ම මෙම පාසල් තුළ ද චීන භාෂාව හැර වෙනත් භාෂා කතා කිරීම තහනම්ය. එම නීති කඩ කරන සිසුන්ට සහ ගුරුවරුන්ට ලකුණු මත පදනම් වූ දඬුවම් දීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. මෙම පාසල් නිසා සුළු ජන කොටස්වලට අයත් ළමුන්ට "හොඳ ජීවන පුරුදු" සහ නිවසට වඩා පිරිසුදුව සිටීමටත් අවස්ථාව ලැබෙන බව බලධාරීහු පවසති. සමහර ළමුන් තම ගුරුවරිය "අම්මා" ලෙස හඳුන්වන අයුරුත් දැකිය හැකිය. මෙම කාරණය ගැන රජයේ නිල ප්‍රතිපත්තිය කුමක් දැයි ඇසීමට ෂින්ජැන් කලාපයේ අධ්‍යාපනික බලධාරීන් සමග බීබීසී පුවත් සේවය කතා කළේය. බොහෝ දෙනෙක් කතා කිරීම ප්‍රතික්ෂේප කළහ. සමහරු කෙටි විස්තරයක් ලබා දුන්හ. රැඳවුම් කඳවුරුවල සිටින දෙමව්පියන්ගේ දරුවන්ට කුමක් වන්නේ දැයි ඇසූ විට එක් නිලධාරිනියක පැවසුවේ, "ඔවුන් බෝඩින් පාසල්වල ඉන්නේ. අපි ඔවුන්ට නැවතීමේ පහසුකම්, ආහාර සහ ඇඳුම් දෙනවා. අපිට ඉහළ නිලධාරීන් දන්වලා තියෙන්නේ එම දරුවන් හොඳින් බලාගන්න කියලා," යනුවෙනි. නමුත් ආචාර්ය සෙන්ස් පවසන්නේ මෙවැනි අදහසකි. "ක්‍රමානුකූලව දෙමව්පියන් සහ දරුවන් වෙන් වෙන්ව තබා ගැනීමෙන් පැහැදිලිව පෙනී යන්නේ ෂින්ජැන් බලධාරීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අලුත් පරම්පරාව ඔවුන්ගේ ජන්මගත බැඳීම්වලින්, ආගමික විශ්වාසවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ඈත් කර තැබීම. එකට මෙය හොඳ සාක්ෂියක්." "මෙම සාක්ෂි අනුව මේ වැඩපිළිවෙළ හරහා සංස්කෘතික සංහාරයක් සිදුවෙනවා කියලයි මම හිතන්නේ."
පසුගිය වසර ඇතුළත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත් ජාතීන් අතර සම්බන්ධතා සහ සමලිංගික අයිතිවාසිකම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් ලැබිය යුතු බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.
විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධ බ්‍රිතාන්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව මානව හිමිකම් සම්බන්ධ සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ඒ බව සඳහන් කරන විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධ බ්‍රිතාන්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව මෙතෙක් ලබා තිබෙන ප්‍රගතිය අගය කරන බව සඳහන් කරයි. විශේෂයෙන්ම අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත සම්මත කිරීම ජාතීන් අතර සංහිඳියාව විෂයයෙහිලා තැබූ ඉදිරි පියවරක් බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, කෙසේ නමුත් එම කාර්යාලය තවමත් පිහිටුවා නොමැති බව ද පෙන්වා දෙයි. සබැඳි යොමු: පසුගිය වසරේ අගෝස්තු මාසයේ මුලින්ම සම්මත කොට ඉන් අනතුරුව මේ වසරේ ජුනි මාසයේ සංශෝධනය කරන ලද එම පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (ජූලි 20) අත්සන් තැබුවේය. ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ සම අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/1 දරන යෝජනාවේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන නමුත් තවදුරටත් එහි ප්‍රගතියක් ලැබිය යුතු බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව පවසයි. විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයේදී බලය විමධ්‍යගත කිරීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දී තිබෙන බවත් සිහිපත් කරයි. මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්, ශ්‍රී ලංකා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අති බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ දෙමළ ජනතාවට එරෙහිව වන බැවින්, රාජ්‍යයේ සංවිධානාත්මක වධ බන්ධන යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වන්නේත් ඔවුන්ම බව සඳහන් කළේය. ජාතීන් අතර ගැටුම් විශේෂයෙන්ම එම පනත යටතේ 2016 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 80% ක්ම තමන් වධ බන්ධනවලට ලක් කළ බවට පැමිණිලි කිරීම පිළිබඳව සිය බරපතළ අවධානය පළ වී තිබෙන බව ද සිය සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය අමතමින් විශේෂ නියෝජිතයා සඳහන් කළේය. අතුරුදහන් වූ සිය සැමියා සොයන අනුරාධපුරයේ දෙදරු මවක වන මයුරි ඉනෝකා ජයසේන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම සහ බලය විමධ්‍යගත කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ ඓතිහාසික ගැටලුවලට විසඳුම් ලබාදීමෙහිලා ඉතා වැදගත් පියවර බව බ්‍රිතාන්‍ය වාර්තාව අවධාරණය කරයි. ආරක්ෂක හමුදාව තවමත් විශාල වශයෙන් උතුරේ රඳවා තිබෙන නමුත්, හමුදාව සිය කටයුතු බොහෝ දුරට සීමා කිරීම අගය කරන වාර්තාව කෙසේ නමුත් ආරක්ෂක හමුදාවල බියවැද්දීම් සහ හිරිහැර කිරීම් තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තාවන බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව සඳහන් කරයි. සබැඳි යොමු: ශ්‍රී ලංකාවේ ජාතීන් අතර ගැටුම් පිළිබඳව ප්‍රබල අවධානය පළ වී තිබෙන බව වාර්තාව පෙන්වාදෙන අතර, විශේෂයෙන්ම මේ වසර තුළ එම ගැටුම් උත්සන්න වූ බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් ඉල්ලමින් උතුරේ වැසියෝ උද්ඝෝෂණයක ශ්‍රී ලංකාව තුළ සමලිංගික ප්‍රජාවට එරෙහිව තවදුරටත් නොසලකා හැරීම් සිදුවන බව සඳහන් කරන වාර්තාව, විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මෑතදී හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ වාර්තාව පිළිබඳව අවධානය පළ කරයි. වධ දීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ අවදානම අවප්‍රමාණ කරනු පිණිස පොලිස් සේවයේ වෘත්තීයභාවය තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍ය ආණ්ඩුව පෙන්වාදෙන තවත් කරුණකි. ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය සහ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට වැට බැඳීම සඳහා ආධාර කිරීමට එක්සත් රාජධානිය සූදානම් බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා සාධනීය දායකත්වයක් ලබාදීමෙහිලා එක්සත් රාජධානිය ප්‍රමුඛතාව ලබා දෙන ('Human Rights Priority Countries' -HRPCs) රටවල් 30 ක කණ්ඩායමට ශ්‍රී ලංකාව ද අයත්වේ.
විල්පත්තු රක්ෂිත වනයේ අනවසරයෙන් දැව කපා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදාවේ පහළොස් දෙනෙකු මන්නාරම සිලාවතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් ඒ.සී.ඇලෙක්ස් රාජා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් පණස් දහස බැගින් ශරීර ඇප මත නිදහස් කෙරුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ යුද හමුදාවේ පිරිස මෙම දැව කැපීම සිදු කළේ කුමන අරමුණක් මතද යන්න පිළිබදව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි. සිලාවතුර පොලීසිය මගින් යුද හමුදා ට්‍රක් රථයක් ද අත් අඩංගුවට ගෙන තිබේ. ධීවර ගැටුම මේ අතර ඉන්දීය ධීවරයින් අට දෙනෙකු බලහත්කාරයෙන් රඳවා ගැනීම සහ ඔවුන්ට වධ හිංසා කොට පහර දීම යන චෝදනා යටතේ මුලතිවු ධීවරයින් පිරිසක් මුලතිවු පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය. මෙම ඉන්දීය ධීවරයින් අල්ලා ගෙන තිබුණේ මුලතිවු ධීවරයෙකුට අයත් බෝට්ටුවකට මුහුද මැදදී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් මතයි. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට අනුබල දුන් තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.
පොලීසිය විසින් කළු ජාතිකයෙකු වෙඩි තබා මරා දැමීමට එරෙහිව පැවති විරෝධතාවයක දී සැඟවී සිට කළ වෙඩි තැබීමකින් ඩලාස් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මරුමුවට පත්වූ අතර තවත් 6 දෙනෙකුට තුවාල සිදුවිය.
ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන නවතා තබන තට්ටු ගොඩනැගිල්ලක සිටින තවත් තුවක්කු කරුවෙකු මෙල්ල කිරීමට පොලීසිය උත්සාහ ගනිමින් සිටියි. ප්‍රවාහන පොලිස් නිලධාරියෙකු බේයර් ආරෝග්‍ය ශාලාවේ දී වැලපෙන ඥාතියෙකු සැනසූ අයුරු ඇමරිකාවේ වේලාවෙන් රාත්‍රී 8.45 ට (ග්‍රිනිච් වේලාවෙන් සිකුරාදා 01. 45) පමණ වෙඩි තැබීම සිදුවූයේ විරෝධතාකරුවන් පිරිසක් නගරයේ පාගමනක් යමින් සිටියදී. මිනෙසෝටා හි දී පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයෙකු සහ ලුසියානා හි දී ඇල්ටන් ස්ටර්ලින් නම් කළු ජාතිකයෙකු පොලීස් වෙඩි පහරවල් වලින් මිය යාමෙන් පසුවයි විරෝධතා ආරම්භ වූයේ. ඩලාස් පොලීසියේ ප්‍රධානී ඩේවිඩ් බ්‍රවුන් පැවසුවේ වාහන නවතා තබන තට්ටු ගොඩනැගිල්ලකට වී රයිෆලයකින් වෙඩි තබමින් සිටින තවත් තුවක්කු කරුවෙකු මෙල්ල කර ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බවයි. මෙය හද කම්පාකරවන සිදුවීමක් බවයි ඩලාස් නගරාධිපතිවරයා පැවසුවේ "අපි දැනට අදහස් හුවමාරු කරගනිමින් ඉන්න සැකකරුවා අපිට කිව්වෙ අවසානය ලඟයි අපේ තවත් අය මරා දමන්න තවත් අයට තුවාල සිදු කරන්නයි ඔහු උත්සාහ කරන්නේ කියල. නගරයේ සහ මෙම ස්ථානයේ හැමතැනම බෝම්බ සවි කරල තියන බවත් ඔහු කියනවා" යනුවෙනුයි ඔහු පැවසුවේ. ප්‍රාදේශීය වාර්තා වලට අනුව විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බව කියවෙන නමුත් ඒ පිළිබඳව තවමත් සනාථ වී නැත. තුවක්කු කරුවන් මෙල්ල කිරීමට උත්සාහකරන පොලිස් නිලධාරීන් පොලිස් ප්‍රධානියා පැවසුවේ විරෝධතා රැලිය පැවැත්වෙන අතරතුර දී රයිෆල් තුවක්කු මගින් ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් කණ්ඩායමක් ලෙස කටයුතු කර ඇති බවයි. මියගිය එක් පොලිස් නිලධාරියෙකු ප්‍රවාහන පොලීසියේ නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ. මෙය නගරය තුළ සිදුවූ හද කම්පාකරවන සිදුවීමක් බවයි ඩලාස් නගරාධිපතිවරයා පැවසුවේ ඇමරිකාවේ පොලිසිය විසින් මරා දමනු ලැබූ කළු ජාතිකයන් පිලිබඳ ප්‍රකාශයට පත් වී ඇති තොරතුරු ඇමරිකාවේදී එලි දැක්වී තිබුණු නවතම වීඩියෝවකට අනුව පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයා මිනිඇපොලිස් නගරයේ දී මියගියේ පොලීස් වෙඩි පහරකින්. පොලිස් නිලධාරියා ගිනි අවියක් මානා ගෙන සිටින අතර පිලන්දෝ ලේ වගුරුවමින් වැටී සිටින අයුරු මගී ආසනයේ සිටි ඔහුගේ පෙම්වතිය විසින් වීඩියෝ ගත කර තිබුණි. රියැදුරෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වී ඇත එය පැය 48 ක් ඇතුළත පොලිස් වෙඩි තැබීමකින් මියගිය දෙවන කළු ජාතිකයායි. මෙම සිදුවීම පිළිබඳව ජාතික කතිකාවතක් ආරම්භ වී ඇති අතර වීදි විරෝධතා ආරම්භ වී තිබුණේ මෙම ඝාතනයන් සිදුවීමෙන් පසුවයි. කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියාමෙන් පසුවයි විරෝධතා ආරම්භ වූයේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පසුගිය සතිඅන්ත සිංහල පුවත්පත් ගණනාවකම ප්‍රධාන සිරස්තලය බවට පත් වී තිබිණි.
"ශ්‍රීලනිප - පොහොට්ටු භාරකාර ආණ්ඩුවක්?" යනුවෙන් ඉරිදා ලංකාදීප පුවත්පත සිරස්තල පළකරද්දී, ඉරිදා ලක්බිම පුවත්පතේ මුල් පුවත බවට පත් වූයේ "ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්" යනුවෙනි. ඉරිදා රිවිර පුවත්පතේ මුල් පුවත වූයේ ද "අයවැයට පෙර භාරකාර රජයක්, මෛත්‍රී-මහින්ද රහස් හමුවක්" යනුවෙනි. වත්මන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වී රටේ මහජනතාව බරපතළ පීඩනයකට ලක් වී ඇති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කර ජාතික මැතිවරණයක් පැමිණෙන තෙක් රට පාලනය කළ යුතු බව මෙම භාරකාර ආණ්ඩු සාකච්ඡාවේ අරමුණ වී ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. මෛත්‍රී-මහින්ද හමුවක් ? භාරකාර ආණ්ඩු සංකල්පය ගැන සාකච්ඡා කිරිම සඳහා පසුගිය සතියේ හිටපු අමාත්‍ය එස්බී දිසානායකගේ නිවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර රහසිගත හමුවක් පැවති බවට විවිධ වාර්තා පළ විය. එවැනි සාකච්ඡාවක් පැවතුණු බව හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිස් තහවුරු කර ඇති නමුත් ඒ ගැන කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළිකිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත මෙම සාකච්ඡාව ගැන දීර්ඝ විස්තරයක් පළ කර තිබූ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව එහි සඳහන් කර තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කර මෛත්‍රී-මහින්ද පාර්ශව එකතු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් විය. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුව පවත්වාගෙන යෑම අපහසු යැයි ජනපති මෛත්‍රීපාල එහි දී පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. මෙලෙස මෛත්‍රී-මහින්ද සාකච්ඡාවක් පැවැත්වුණු බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය යළි උණුසුම් වෙනු දක්නට ලැබිණි. එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දැක්විය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි පැවසීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පරාජයට පත් වූවානම් එතුමන් පොලොවෙන් අඩි හයක් යට වළලන්නට සැලසුම් කළ පිරිසට පවා අද ජනාධිපති හමුවීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ඇති බවද ඔහු සඳහන් කළේය. මෙලෙස භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැනත් මෛත්‍රී-මහින්ද හමුව ගැනත් විවිධ ප්‍රකාශ සිදුවෙද්දී හිටපු අමාත්‍ය එස්බී දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමන්ගේ නිවසේ එවන් හමුවක් නොපැවැත්වුණු බවය. කෙසේ නමුත් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් පැවති බවට වූ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ද විශේෂත්වයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ "ඉරිදා දින එවන් හමුවක් සිදු නොවූ" බවය. වෙනත් දිනයක එවැනි හමුවක් පැවැත්වුනේද නැද්ද යන්න ඔහු සඳහන් නොකළේය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ද භාරකාර ආණ්ඩුවක් ගැන පළවූ වාර්තා ගැන විවිධ අදහස් පළකර තිබු අතර ඇතැමුන් ඊට අකමැත්ත පළකර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් පැවසුවේ භාරකාර ආණ්ඩුව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ විවිධ මත ප්‍රකාශ වන බැවින් ඒ පිළිබඳ අවසාන තීරණයකට එළැඹ නොමැති බවය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ඉතා ඉක්මනින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසය. "රනිල් ඇතුලු හයිබ්‍රිඞ් හවුල මේ රට 'වළ පතුලට' ඇද දැමීමට පෙර මහින්ද අගමැති කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, රට ආරක්ෂා කරන්න. එහෙම කළොත් 'උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ' යන කියමන සනාථ වේවි," ඔහු කියා සිටියේය. මේ සියල්ලටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය වූයේ පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී බලය ඇත්තේ තම පක්ෂයට නිසා එවැනි භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ද තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බවය. ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතුකරන්නේ නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සැදීමට සූදානම් බව සඳුදා දින එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කියැවිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 10ක් 12ක් පමණ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සඳහා දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාග අවසන් අදියරට පැමිණ ඇති බැවින් ඔවුන් කෙසේ හෝ ආණ්ඩුවක් ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක නියැලෙන බවය. මේ අතර බදාදා (ඔක්ත්ජෝබර් 10) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක: "දැනට අපිට තිබෙන විශ්වාසදායි තොරතුරු අනුව මෛත්‍රී-මහින්ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහෙම සාකච්ඡාවක් කරපු නිසා තමයි ඔවුන් දෙදෙනාම නැහැ කියලා කියන්නේ. මෛත්‍රී ජනාධිපතිවරයා අද ඉව වැරදුණු කෙනෙක් වගේ හැම එකකටම ඉව අල්ල යනවා,"යනුවෙන් පැවසීය. "ඔහු ජනවරම පාවා දීලා ඊළඟ වතාවේ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් තමන් වළ පල්ලට යවනවා කියපු කෙනාට අගමැති තනතුර දීලා හරි තමන්ට ජනාධිපතිකම ගන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට මීට පෙර ජන්දය දුන්නු ජනතාව හෝ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ජන්ද දායකයන් හෝ සහයක් ලබා නොදෙන බව අපට විශ්වාසයි." මේ අතර දේශපාලන විචාරකයකු සහ කැෆේ මැතිවරණ නිරීක්ෂක සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ භාරකාර ආණ්ඩු සංකල්පය මේ මොහාතේ ශ්‍රී ලංකාවට අදාළ නොවන බවය. "ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ හෝ නැති හින්දා පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වෙන පරිසරයක් වත් නැති හින්ද මේ භාරකාර ආණ්ඩුව කියන සංකල්පයම ලංකාවට අදාළ වෙන්නේ නැහැ. අනිත් අතට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාරකාර ආණ්ඩු ගැන සඳහනක් නැහැ අනිත් රටවල වගේ," ඔහු පැවසීය. පාර්ලිමේන්තු බලය තවමත් එජාපයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 107 දෙනෙකුම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පෙරමුණය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනෙකු සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරු ප්‍රමාණය 16කි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග දැනට ආණ්ඩුවේ අමාත්‍ය පදවි උසුලන සහ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් ගණන 26කි. ඒ සියළු පාර්ශව එකතුකළත් මෛත්‍රී-මහින්ද සන්ධානයක් සඳහා මන්ත්‍රීවරුන් සිටින්නේ 96ක් පමණි. ඒ අනුව ආණ්ඩු වෙනසක් සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 ලබාගැනීම පිණිස ඔවුන්ට තවත් මන්ත්‍රීවරුන් 17ක පමණ සහාය අවශ්‍යවේ. ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු තේරී පත්ව සිටින අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරුන් 16ක් සිටිති. අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ පැවති විශ්වාස භංග යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාට සහාය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයාට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම පිණිස එම පක්ෂ දෙකම සහාය පළකිරීම අවිනිශ්චිත බැවින්, මේ ආණ්ඩු වෙනස්කිරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නම් මෛත්‍රී-මහින්ද සන්ධානයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. තවත් කියවන්න:
භාරකරුවන් නොමැතිව මහ මඟ දමා යන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැඩිහිටි නිවාස භාරයට පත් කළ යුතු බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාස භාරයට පත්වීමෙන් අනතුරුව මියයන වැඩිහිටියන්ගේ දේපොළවලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටලු රාශියක් ඇතිවී තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති පළාත් සමාජසේවා ඇමතිවරුන්ගේ සමුළුවකදී. එසේ මිය යන වැඩිහිටියන්ට අයත්ව කිසියම් දේපොළක් පවතී නම් එම දේපොළ රාජසන්තක කළ හැකි වනසේ නීති, රීති සකස් කළ යුතු බවත් අමාත්‍ය එස්බී දිසානායක යෝජනා කරයි. භාරකරුවන් නොමැතිව මහ මඟ දමා ගොස් සිටියදී හමුවන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව හරහා වැඩිහිටි නිවාස යටතට පත් කළ පසුවත් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවන ඥාතීන්, එවැනි වැඩිහිටියන් මියගිය පසු ඔවුන්ට හිමි දේපොළවලට අයිතිවාසිකම් කීමේ ප්‍රවණතාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බව සමුළුවට සහභාගී වූ බස්නාහිර පළාත් සමාජසේවා නිලධාරීහු පවසති. මහ මඟ තනිකර යන එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප හා විස්තර ප්‍රසිද්ධ කොට සමීප ඥාතීන් පිළිබඳව මූලික සොයා බැලීමක් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍ය එස්බී දිසානායක එසේ ඉදිරිපත් නොවන ඥාතීන් හට පසුව දේපොළවලට හිමිකම් කිව නොහැකි වනසේ නීති රීති සකස් කළ යුතු බව කියා සිටියේය.
උතුරු ඉන්දියාවේ ගංවතුර උවදුරෙන් මියගිය පිරිස දෙසීයකට වැඩි බව ස්වදේශ කටයුතු භාර ඉන්දීය අමාත්‍ය සුශිල් කුමාර් ශින්ඩේ පවසයි.
ගොඩනැගිල්ලක් කඩාවැටීම නිසා මුම්බායි නගරයේ ළමුන් ඇතුළු දස දෙනකු පමණ මියගොස් තිබේ ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උත්තරකාන්ද් ප්‍රාන්තයේ නිවෙස් සහ මහාමාර්ග විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස්, පනස් දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවත්, මියගොස් ඇති සංඛ්‍යාව මිට වඩා ඉහල යනු ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ අතර ගොඩනැගිල්ලක් කඩාවැටීම හේතුවෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු දස දෙනකු පමණ මියගොස් ඇති බව මුම්බායි නගරයේ පොලිසිය පවසයි. ඒ තුල තව කිහිපදෙනෙකු සිරවී සිටිනු ඇතැයි ද අනුමාන කෙරේ. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව තවම සොයාගන්නට ලැබී නැතත්, පසුගිය දිනවල මුම්බායි නගරයටද මෝසම් වැසි වැටුන බව වාර්තා වේ.
මහත්මා ගාන්ධි විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව සඳහන් කරනමින් ලියන ලද ලිපියක් ඇමරිකාවේදී අළෙවිය සඳහා ඉදිරිපත් කර ඇත.
ආගමික සහජීවනය ඇතිවිය යුත්තේ අන් ඇදහීම් වලට ගරු කිරීමෙන් බව ඔබ හිතන්නෙ නැද්ද? - මහත්මා ගාන්ධි ඇමෙරිකාවේ එවකට සිටි ආගමික ප්‍රධානී මිල්ටන් නිව්බෙරි ෆ්‍රාන්ට්ස් (Milton Newberry Frantz) වෙත ලියන ලද, 1926 අප්‍රේල් 6 දිනැති ලිපිය ගාන්ධි විසින් අත්සන් කර ඇත. ජේසුස් වහන්සේ "මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගෙන් කෙනෙක්" බව මහත්මා ගාන්ධි එහි සඳහන් කර ඇත. පෞද්ගලික ලිපි එකතුවේ දීර්ඝ කාලයක් තිබුණු මෙම ලිපිය, පෙන්සල්වේනියාවේ පිහිටි 'රාබ් කලෙක්ෂන්' (Raab Collection) ආයතනය විසින් ඩොලර් 50,000 කට (රුපියල් ලක්ෂ 77.6 ට පමණ) විකිනීමට නියමිතය. නිදහස් සටනේ නියමුවෙක්වූ මහත්මා ගාන්ධි, ඉන්දියානුවන් තම ජාතියේ පියාණන් ලෙස ගෞරවාදරයෙන් හඳුන්වයි. හින්දුවරයෙක් වූ මහත්මා, ආගම් සහ දර්ශනවාදයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි සම්පාදනය කර ඇත. ක්‍රිස්ස්තියානි දහම පිළිබඳව ලියැවුන ග්‍රන්ථයක් කියවන ලෙස ඉල්ලා සිටිමින් ෆ්‍රාන්ට්ස් ලියන ලද ලිපියකට පිළිතුරු සපයමින්, මහත්මා ගාන්ධි ගුජරාට් ප්‍රාන්තයේ ඔහුගේ නිවස වූ 'සේබාමාටි' ආශ්‍රමයේ සිට ඉහත කී ලිපිය ලියා ඇත. 1926 අප්‍රේල් 6 දිනැති ලිපිය ගාන්ධි විසින් අත්සන් කර ඇත "හිතවත් මිත්‍රයා !, මට ඔබේ ලිපිය ලැබුනා. ඔබ විසින් එවන ලද ජීවන දර්ශනයට දායක වීමට නොහැකි වීම පිළිබඳව කනගාටු වෙමි. ශ්‍රේෂ්ඨතම පහළවීම ජේසුස් වහන්සේ බව විශ්වාස කිරීමට එමගින් බලකර සිටිනවා. මා තුල ඇති නොරිස්සුම් ස්වභාවය නිසා, මට එහි ඇති සත්‍යය වටහා ගන්නට නොහැකියි" "ජේසුස් වහන්සේ මිනිසාගේ එක් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ය යන මගේ විශ්වාසයෙන් ඔබ්බට යන්නට මට නොහැකි වුනා. ආගමික සහජීවනය ඇතිවිය යුත්තේ යාන්ත්‍රික ඇදහීමකින් නොව අන් ඇදහීම් වලට ගරු කිරීමෙන් බව ඔබ හිතන්නෙ නැද්ද?" යනුවෙන් ද ඔහු එහි සඳහන් කර ඇත. "ජේසුස් වහන්සේ පිළිබඳව ගාන්ධි විසින් ලියන ලද වෙනත් කිසිදු ලිපියක් මෙතක් වෙළඳ පොලට නිකුත්වී නොමැති බව සමීක්ෂණ වලින් තහවුරු වන බව" රාබ් කලෙක්ෂන් ආයතනාය් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වෙනත් පුවත්:
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දෙනු ලැබූ බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් අනතුරුව මාලක සිල්වා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ පසුගිය සෙනසුරාදා පහර දීම සිදු වී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකදී. මෙහිදී අගතියට පත් පාර්ශවය ලෙස හතළිස් තුන් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා සහ ඔහුගේ පෙම්වතිය හඳුනා ගෙන ඇති බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටින්නේ. මාලක සිල්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මාලක සිල්වා සමඟ මෙම රාත්‍රි සමාජ ශාලාවට පැමිණි තවත් පිරිසක් ඉහත කී පහර දීමට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පිරිස හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව පොලිස් ප්‍රකාශකවරයා පැවසීය. සිද්ධියෙන් අනතුරුව මාලක සිල්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ. ඉහත කී රාත්‍රි සමාජ ශාලාවේ සවි කර තිබූ CCTV කැමරා පද්ධතියෙන් ලබා ගත් වීඩියෝ දර්ශන ද පොලිස් විමර්ශන සඳහා යොදා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද ආකාරය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණයට එරෙහිව යාමක් සිදුව නැතැයි එංගලන්තයේ ‘මාර්ලිබන්’ ක්‍රිකට් සමාජය පවසයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බර්මිංහැම් නගරයේ පැවැත්වුන පස් වන සහ අවසන් එක් දින තරඟයේදී පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද්දේ ඔහු විකට්ටුවෙන් පිටත රැඳී සිටියදී කඩුල්ල බිඳ හෙළමින්. එවැනි අවස්ථාවක ක්‍රීඩකයකු දවාලීම ක්‍රිකට් ලෝකයේ හඳුන්වනු ලබන්නේ ‘මන්කාඩ්’(Mankad) යනුවෙනි. ‘මන්කාඩ්’(Mankad) දවාලීම ක්‍රිකට් ක්‍රීඩා නීතියට අනුකූල නමුත් එම සිද්ධිය ක්‍රිකට් ලෝකයේ බලවත් සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත. සචිත්‍ර සේනානායක බට්ලර් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව් විසින් තහවුරු කරනු ලැබීම විවේචනයට ලක් වෙමින් ඇතත් එමගින් වරදක් සිදුව නැති බවයි එම්.සී.සී ප්‍රකාශකයෙක් සඳහන් කළේ. සචිත්‍ර සේනානායක ‘මාර්ලිබන්’ ක්‍රිකට් සමාජය පෙන්වා දෙන්නේ, ජොස් බට්ලර් දවා ලූ ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා නීතිය උල්ලංඝනය වීමක් සිදුව නැති බවයි. බට්ලර් දවා ලනු ලැබීමට පෙර සචිත්‍ර සේනානායක එංගලන්ත පිළේ පිතිකරුට පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබුණ බවත් එම්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය සිහිපත් කරයි. ‘බර්මිංහැම්’ තරඟයට පෙර ලන්ඩන් නගරයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනයේ පැවති එක් දින තරඟයේ දීත් ජොස් බට්ලර් කඩුල්ලෙන් පිටත රැඳී සිටීමේ කාරණය මතු වූ බව දැන ගැනීමට ඇති බවත් එම්.සී.සී ප්‍රකාශකයෙක් කියා සිටියි. ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනය අයත් වන්නේ එම්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජයටයි.
තමන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කරන ලද කරුණු තිස් පහකින් සමන්විත හත් වැදෑරුම් යෝජනා වලට එම පක්ෂයෙන් දීර්ඝ පිළිතුරක් ලැබී ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.
ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර අවසාන සහ තීරණාත්මක සාකච්ඡාවක් අද සිකුරාදා (14) සවස පැවැත්වෙන බවට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් දී තිබුනත්, එවැනි සාකච්ඡාවක් සිදු නොවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් තමන්ට දීර්ඝ පිළිතුරු ලිපියක් ඒවා ඇති බවයි, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්ම්න්පිල බීබීසියට ප්‍රකාශ කළේ. එම ලිපියේ අඩංගු කරුණු පිළිබඳව ජාතික හෙළ උරුමයේ නායකයන් අතර සාකච්ඡාවක් හෙට ,සෙනසුරාදා පවත්වා අනතුරුව සඳුදා එය සිය මධ්‍යම කාරක සභාවට යොමු කරන බවත් මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දුව අඟහරුවාදා මහ ජනතාවට දැනුම් දෙන බවත් උදය ගම්ම්න්පිල ඇමතිවරයා පවසයි. තීන්දුව අඟහරුවාදා ‘කුමන තීන්දුව ගනු ලැබුනත් ජාතික හෙළ උරුමයේ තීන්දුව ජාතියට හෙළිදරව් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා’ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා ඇමති උදය ගම්ම්න්පිල බීබීසියට කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් වෙත භාර දුන් ලිපිය පෞද්ගලික මට්ටමින් සිය පක්ෂයට ලැබුණ ලිපියක් යයි කියා සිටි ජාතික හෙළ උරුමය නියෝජිතයා එහි අඩංගු කරුණු අඟහරුවාදාට පෙර හෙළිදරව් නොකළ යුතුය යන මතයේ තම පක්ෂ නායකත්වය සිටින බවයි,බීබීසිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලද ප්‍රතිචාරය සාධනීය එකක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ ‘එය සාධනීය හෝ සාධනීය නොවන එකක්ද යන්න තීන්දු කිරීමේ බලය පවතින්නේ තමන්ට නොව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට’ වන බවයි.
අවුරුදු හැට දෙකක ඉතිහාසයක් සහිත සිංහල සංස්කෘතික ආයතනයට අයත් සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිවෙළ පිටුපස 'අතයට මුදල් ගනුදෙනුවක්' ඇත්දැයි සැකයක් පවතින බව එම ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග පවසයි.
සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් යම් කිසි පුද්ගලයකු ප්‍රබලව පෙනී සිටින බවත් 'සසකාවා' සංවිධානය සමග ඇතිකරගත් මුදල් ගනුදෙනුවක් ඊට හේතු වී ඇතැයි සැක කරන බවත් ඔහු කියා සිටියේ සුදර්ශී ශාලාව සහ භූමිය විකුණා දැමීමට එරෙහිව කලාකරුවන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයට සහභාගි වෙමින් සිටියදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි. අදාළ ගොඩනැගිල්ල සහ ඉඩම විකුණා දැමීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත වී තිබුණත් එය එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට නීත්‍යානුකූල බලපත්‍රයක් නොවන බව සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග අවධාරණය කරයි. එවකට තමා කැබිනට් අමාත්‍යවරයකුව සිටියදී අදාළ යෝජනාවට විරෝධය පළ කළ නමුත් කැබිනට් සාකච්ඡාවට නොපැමිණි දිනක අදාළ යෝජනාව සම්මත කර ගෙන ඇති බවත් ඔහු පැවසීය. 'සිංහල, දෙමළ, මුස්ලිම්' "අද මේ ක්‍රියාමාර්ගය පිටුපස වෙනත් පුද්ගලයෙක් ඉන්නවා. මට හිතෙනවා ඔහු සූක්ෂ්ම ලෙස වර්තමාන ජනාධිපතිතුමාගේ හිතට ඇතුල් කොට තිබෙනවා මෙය ජපාන ආණ්ඩුවේ ඉල්ලීමකට අනුව සිදු වන්නක් බවට," ඔහු පැවසීය. කෙසේ නමුත් සසකාවා යනු ජපානයේ ආණ්ඩුවට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් බව හිටපු ඇමතිවරයා පේනවා දෙයි. "සහන මිල ගණන් යටතේ පුහුණු වීමට සහ ඒකරාශී වීමට කලාකරුවන්ට තිබෙන එකම භූමිය මේ සිංහල සංස්කෘතික ආයතනයයි. එය ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයකට විකුණා දමන්න එපා කියන ඉල්ලීම අපි කරනවා." ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එම භූමිය දේශීය කලාකරුවන්ගේ මතු ප්‍රයෝජනයට ඉතිරි කොට සසකාවා සංවිධානයට වෙනත් භූමියක් ලබා දීමේ හැකියාව ජනාධිපතිවරයා සතු බවයි. සිංහල සංස්කෘතික ආයතනය අහිමි වීම එහි සාමාජිකත්වය දරන සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු සංස්කෘති නියෝජනය කරන කලාකරුවන්ට එකසේ බලපාන බැවින් එය රැක ගැනීමට සියලු දෙනා එක් වී කටයුතු කරනු ඇති බවත් එම ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග වැඩිදුරටත් කියා සිටියේය.
"යන්න එන්න තැනක් නැහැ . රස්සාව කර ගන්න විදිහක් නැහැ. දැන් ගේ කඩාගෙන යන්න එන්නේ. එහෙම වුණොත් මහ පාරට වැටෙන්න තමයි වෙන්නේ"
වෙරළ ඛාදනය මහවැව තෝඩුවාව පදිංචිකාරියක වන නිමල්කා ප්‍රියදර්ශනී වෙරළ ඛාදනය හේතුවෙන් තමන් පත්ව ඇති අසරණභාවය බීබීසී සිංහල සේවය වෙත විස්තර කළේ එලෙසය. කරවල වෙළෙඳාම ජිවනෝපාය කර ගත් ඇය වැඩිදුරටත් කියා සිටියේ, "වෙරළ ඛාදනය මේ ප්‍රදේශයට හානි කරන්න පටන් අරන් දැන් අවුරුදු දෙකක් පමණ වෙනවා. මේ අවුරුද්දේ ඒක උග්‍ර වුණා. මේ නිසා අපි වගේ අයට යන එන මං නැති වෙලා තියෙනවා. ඒක ඕනෑ කෙනෙකුට පේනවා. නමුත් බලධාරීන් නිහඬයි." වෙරළ ඛාදනයට ලක්වූ ස්ථාන මත ගල් වැටි ඇතිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබේ. ජීවනෝපායට බාධා: ප්‍රදේශයේ ධීවරයින් එකතු වී පිහිටුවාගෙන ඇති ජාතික ධීවර සහයෝගිතාවය ප්‍රකාශ කරන්නේ, ගල් වැටි දැමීම ප්‍රමිතියකින් තොරව සිදුවීම වෙරළ ඛාදනය වැඩි වීමට එක් ප්‍රධාන හේතුවක් බවය. ජාතික ධීවර සහයෝගිතාවය පවසන්නේ, මහවැව කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ සිට තොඩුවාව දක්වා ධීවර පවුල් තුන් සියයක් පමණ වෙරළ ඛාදනය නිසා ගැටලුවලට මුහුණ දෙන බවය. කරවල නිෂ්පාදනය ඉන් පවුල් සියයකට ආසන්න පිරිසකගේ ජීවනෝපාය වේ. ජාතික ධීවර සහයෝගිතාවය පවසන්නේ, "මේ වෙනකොට මේ ප්‍රදේශයේ ගොඩබිම් තීරයෙන් මීටර් දෙසිය පනහක් විතර මුහුදට හෝදගෙන ගිහිල්ලා තියනවා. මේ නිසා කරවල වාඩි, මාළු වාඩි හා ධීවර තොටුපොළවල් කිහිපයක් මේ ප්‍රදේශයේ ජනතාවට අහිමිව ගොස් තිබෙනවා. තව මීටර් හතළිහක් පනහක් හෝදගෙන ගියොත් සියලු නිවාස මුහුදට බිලිවෙයි. අපි කියන්නේ, ඉතා සෙමෙන් සිදුවන මේ ගල් වැටී දැමීම ඉක්මන් කරන්න කියලයි," යනුවෙනි. ධීවර තොටුපොළවල් විනාශ වීම හේතුවෙන් මේ වන විට අනතුරු කීපයක් ද සිදුවී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. වෙරළ ඛාදනය ධීවර බෝට්ටු ගල් බැම්මේ වැදීමෙන් බෝට්ටු කිහිපයකට ද හානි වී තිබේ. "ඉතින් අපි කොහොම ද මුහුදු යන්නේ? මේ ගල් වැටී දාන්න පටන් ගත්තු ගමන් අපි කිව්වා, ටී හැඩේට ගල් වැටී කිහිපයක් දාලා අපිට බෝට්ටු නවත්වන්න, ගොඩ අදින්න තැනක් හදලා දෙන්න කියලා . නමුත් එක වුණේ නැහැ . මේ සියල්ල වෙන්නේ හිමින්. ඒකයි මේ සියලු විනාශයට හේතුව," ධීවරයෝ පවසති. වගකිවයුත්තෙක් නෑ මැතිවරණ සමයේදී පමණක් තමන් බැලීමට පැමිණෙන දේශපාලකයන් තමන්ට විපතක් වූ විට දැක ගන්නට නොමැති බව ධීවර කර්මාන්තයේ යෙදෙන කාන්තාවක වන එම් අයිරාංගනී ප්‍රනාන්දු පැවසුවාය. "මුහුද කඩාගෙන එනවා අපි කොහේ කියලා යන්න ද? දැනටමත් ගෙවල් දොරවල්වල ඉන්න බැහැ. අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. අපේ රස්සාව නැති නිසා අපිට දැන් කන්න විදියකුත් නැහැ. නමුත් අපි ගැන බලන්න කවුරුත් නැහැ. ගොවියා ගැන බලනවා, නමුත් ධීවරයා ගැන බලන්නේ නැහැ. වගා හානි වුණොත් ගෙවනවා. නියඟයක්, ගංවතුරක් ඇවිල්ලා වගා විනාශ වුණා ම ගෙවනවා. නමුත් අපිට කිසි ම දෙයක් නැහැ. මේ වෙරළ ඛාදනය වෙන්නේ අපේ වරදින් නෙමෙයි."" මේ අතර, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ හලාවත ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්ෂිකා ඩබ්ලිව් එම් සී ප්‍රනාන්දු පැවසුවේ, තම දෙපාර්තුමේන්තුව තෝඩුවාව ප්‍රදේශයේ මුහුදු ඛාදනය සඳහා කාල සීමාවකට අනුව පිළියම් යොදන බවය. "ගල් වැටී දැමීමේ ප්‍රමාදයක් ඇත්තේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා," තම දෙපාර්තුමේන්තුව ප්‍රමාදයකින් තොරව එම කටයුතු මේ වන තෙක් සිදුකර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය. ආපදා තත්ත්වය පුත්තලම දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් ප්‍රකාශ කළේ, නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඇති විය හැකි ඕනෑ ම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව මගින් සියලු අදාළ ආයතන දැනුවත් කර ඇති බවය. "පසුගිය දින කිහිපයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අපදා තත්ත්වයන් තුනක් සිදුවුණා. මුතුපන්තිය මුහුදු ඛාදනය හා තෝඩුවාව මුහුදු ඛාදනය ඉන් ප්‍රධානයි . මේ ස්ථාන දෙක සඳහා මේ වන විට වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ගල් වැටි දැමීම සිදුකරනවා. ඊට අමතරව සුළං හේතුවෙන් හලාවත ඉරණවිල ප්‍රදේශයේ නිවාස කීපයකට හානි සිදුවෙලා," ඔහු පැවසීය. කියවන්න:
යුද සමයේ උතුරේ වල දැමූ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් ලක්ෂ දොළහක මූල්‍යාධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඒන්ලි බැරන්වරිය තහවුරු කරයි.
එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනි ඒන්ලි බැරන්වරිය අද (නොවැම්බර් 07) යාපනයේ සංචාරයක නිරත විය. ඉදිරි වසර තුන දක්වා කාලය තුළ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අදාළ අරමුදල් ලබා දෙන බව ඇය එහිදී කියා සිටියාය. එම ආධාර මුදල පසුගිය වසරේ මොල්ටාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරන ලද පවුම් ලක්ෂ හැටහයක අරමුදලෙන් එක් කොටසකි. යාපනයේ සංචාරයක නිරත වූ ඒන්ලි බැරන්වරිය යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළට සහන සලසනු වස් බිම් බෝම්බ ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන 'HALO Trust'සංවිධානය වෙත එම අරමුදල් ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අදාළ ව්‍යාපෘතිය තුළින් උතුරේ වැසියන් හතළිස් දහසකගේ පමණ ජීවන තත්වය නගා සිටුවීම සිය බලාපොරොත්තුව බව'HALO Trust'සංවිධානය පවසයි. යාපනයේ සංචාරය අතරතුර'HALO Trust' සංවිධානයේ වැඩකටයුතු නිරීක්ෂණය කළ ඒන්ලි බැරන්වරිය උන්හිටිතැන් අහිමි වී නැවත සිය මුල් ඉඩම් වෙත පැමිණි පවුල් හමු වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ආරක්ෂක හමුදාව විසින් උතුරේ කිසිදු ප්‍රදේශයක අලුතෙන් ඉඩම් අත්පත් කර නොගන්නා බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කරයි.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ආරක්ෂක හමුදා විසින් යුද සමයේ අත්පත් කරගන්නා ලද උතුර නැගෙනහිර සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ක්‍රමයෙන් යළි භාර දෙමින් සිටින අතරවාරයේ, යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ ඉඩම් යළි අත්පත් කරගැනීමට සැරසෙන බවට ආරක්ෂක හමුදාවලට පසුගියදා චෝදනා එල්ල විය. එහෙත් එවැන්නක් සිදු නොවන බවයි, ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. "කලින් පටන් ගත්ත අත්පත් කරගැනීමේ කටයුතු දිගටම කරගෙන යනවා. අලුතෙන් අත්පත් කරගැනීමක් කරන්නේ නෑ," ඔහු සඳහන් කළේය. කලින් ආරම්භ කළ අත්පත් කරගැනීම් කවරක් දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ: "ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාවට අපි කියමු පලාලි ගුවන් තොටුපොල නැත්නම් කන්කසන්තුරේ වරායට අවශ්‍ය කරන ඉඩම් පවරා ගැනීම් කටයුතු දැනට අවුරුදු හත අටකට කලින් පටන් ගෙන තියෙනවා. ඒ කටයුතු ඇරෙන්න අලුතෙන් ඉඩම් පවරා ගැනීමක් කෙරෙන්නේ නෑ," බවයි. පානම ඉඩම් "කලින් පටන් ගත්ත අත්පත් කරගැනීමේ කටයුතු දිගටම කරගෙන යනවා. අලුතෙන් අත්පත් කරගැනීමක් කරන්නේ නෑ," මේ අතර සිය පාරම්පරික ඉඩම්වල පදිංචිවීමට දරන උත්සාහයට බාධා නොකරන මෙන් අධිකරණ නියෝගයක් පවා තිබියදී යළිත් වරක් තමන්ට බාධා කරන බවට පානම ප්‍රදේශවාසීහු ගුවන් හමුදාවට චෝදනා කරති. එහෙත් එවැනි බාධා කිරීමක් පිළිබඳව මෙතෙක් තමන්ට සැල වී නැති බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. "ඔය ඉඩමේ අයිතිය ගුවන් හමුදාවට නෑනේ? ඔය ඉඩමේ අයිතිය තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට. අපි කළේ ඉදිකිරීම් වැඩ විතරයි," ඔහු පැවසීය. අධිකරණ නියෝග නොතකා ගුවන් හමුදාව පානම ගම්වාසීන්ට බාධා කිරීම පිළිබඳව නිසි තොරතුරු ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය. ඉඩම් යළි භාරදෙන බවට කැබිනට් තීන්දුවක් පවා තිබියදී එය මෙතරම් පමා වන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ එය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසිය යුතු බවයි.
දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලෝකයේ ප්‍රථම පුරුෂ ලිංග බද්ධ කිරීම සාර්ථකව කළ බව වාර්තා වේ.
එම තරුණයාට නැවත ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් සිදුකළ බවයි වෛද්‍යවරු පවසන්නේ විසි එක් වියැති තරුණයෙකුට ඔහුගේ පුරුෂ ලිංගය අහිමි වූයේ සම්ප්‍රදායික ලිංග ඡේදනයක දී සිදු වූ අත් වැරදීමකින්. කේප් ටවුන් හි වෛද්‍යවරුන් පවසන්නේ ශල්‍යකර්මය සාර්ථක වූ අතර රෝගියා සතුටින් සහ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි. හදවත් බද්ධ කිරීම වැනි ජීවිත බේරා දෙන සැත්කමක් නොවන බැවින් මෙම ලිංග බද්ධ සැත්කමේ වෛද්‍ය විද්‍යාත්මක සදාචාරය පිළිබඳව විශාල කතිකාවතක් පැවති බවයි වාර්තාවන්නේ. මෙයට පෙර මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ උත්සාහයන් සිදුවී තිබුණු සාර්ථක වී නැති අතර චීනයේ සිදුකළ එවන් එක් සැත්කමක් හොඳින් නිමා කිරීමට හැකි වුවද පසුව ලිංගය අකර්මණ්‍ය වී තිබේ. සුන්නත් කිරීමේ චාරිත්‍රයකට එක වූ දකුණු අප්‍රිකානු තරුණයන් පිරිසක් ගැටවර වියේ සිට වැඩිහිටි බවට දකුණු අප්‍රිකාවේ ඇතැම් පළාත් වල දී සිදුවන මෙම සුන්නත් කිරීම පිරිමියකු ගැටවර වියේ සිට වැඩිහිටි බවට මාරුවන අවස්ථාව පිළිබිඹු කෙරෙන සම්ප්‍රදායක් ලෙස සැලකෙන අතර එසේ සාම්ප්‍රදායික සුන්නත් කිරීමට ලක්වන විට මෙම තරුණයා 18 වෙනි වියේ පසුවී තිබේ. සුන්නත් කිරීමේ අත් වැරදීමක් හේතුවෙන් එම තරුණයාගේ ස්වභාවික ලිඟුවෙන් සෙන්ට්මීටරයක පමණ කොටසක් පමණයි ඉතිරිව තිබී ඇත්තේ. ලෝකයේ අනෙක් හැම රටකටම වඩා පුරුෂ ලිංග බද්ධ කිරීම් අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකාවට බවයි වෛද්‍යවරු පවසන්නේ. එරට සිදුවන එවැනි සම්ප්‍රදායික ලිංග ඡේදන හේතුවෙන් ඇතැම්විට සිය ගණනක් පිරිමි ළමුන් අංගවිකල භාවයට හෝ මරණයට පත්වේ. ස්ටේලන්බොෂ් විශ්වවිද්‍යාලයේ සහ ටිගර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් පැය නමයක කාලයක් තුළ කළ ශල්‍යකර්මයකින්ය ඉන්ද්‍රිය පරිත්‍යාගයකින් ලැබුණු වෙනත් අයෙකුගේ ලිංගයක් ඉහත කී තරුණයාට බද්ධ කර ඇත්තේ. ඉතා අමාරු වැඩක් ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරුන්ගෙන් අයෙකු වන, සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීම් සිදුකරන අන්ද්‍රේ වැන්-ඩර්-මර්වේ වෛද්‍යවරයා බීබීසී ප්‍රවෘත්ති අන්තර්ජාල අඩවියට පැවසුවේ “නිසැකයෙන්ම මේක ඉතා අමාරු වැඩක්. රුධිර නාලිකා මිලිමීටර 1.5 යි පළල. වකුගඩුවක නම් රුධිර නාලිකාවක් සෙන්ටිමීටරයක් විතර පළලයි” යනුවෙනි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සිදුකරන ලද ශල්‍යකර්මයෙන් පසු රෝගියා ඉතා ඉක්මනින් සුව අතට හැරෙමින් සිටින බවයි වෛද්‍යවරුන් ගේ අදහස. රෝගියාගේ ලිඟුවේ සම්පුර්ණ සංවේදනය යථාතත්වයට පත්වී නැති අතර ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවියහැකි බවයි පැවසෙන්නේ. එසේවුවද, මුත්‍රා කිරීම කළ හැකි අතර , ලිඟුව උත්තේජනය වීම හා ශුක්‍ර මෝචනය වැනි දේ ඉතා හොඳින් සිදුවන බවයි වාර්තා වන්නේ. මෙම ශල්‍යකර්මයේ සදාචාරාත්මක බව ගැන අදහස් දක්වන වෛද්‍ය වැන්-ඩර්- මර්වේ පවසන්නේ පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි. මාස තුනකින් පසු තවත් මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොවිඩ්-19 රෝග කාරක කොරෝනා වෛරස ප්‍රභේද සඳහා නව නාමකරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
මෙම නම්කිරීම මඟින් පවතින විද්‍යාත්මක නම් ප්‍රතිස්ථාපනය නොකරනු ඇත, නමුත් ඒවා සැලසුම් කර ඇත්තේ සාකච්ඡා කිරීමට පහසු කිරීම සහ අපකීර්තිය ඉවත් කිරීම සඳහා ය ඒ අනුව එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව වැනි රටවලින් ප්‍රථම වරට අනාවරණය වූ මෙම ප්‍රභේදයන් මෙතැන් සිට ග්‍රීක අකුරු මගින් හඳුන්වනු ඇත. උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ ප්‍රභේදය ඇල්ෆා ලෙසද, දකුණු අප්‍රිකානු ප්‍රභේදය බීටා ලෙස සහ ඉන්දියානු ප්‍රභේදය ඩෙල්ටා ලෙස නම් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙය සාකච්ඡා කිරීම සරල කිරීමට පමණක් නොව මෙම නම් කිරීම් තුළින් අදාළ රටවලට යම් අපකීර්තියක් වන්නේ නම් එය ද මගහරවා ගැනීමට උපකාරී වන බවය. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාව තුළින් ප්‍රථම වරට අනාවරණය කරන ලද බී.1.617.2 ප්‍රභේදය "ඉන්දියානු ප්‍රභේදය" ලෙස නම් කිරීම පසුගිය මාසය මුලදී ඉන්දීය රජය විසින් විවේචනය කරන ලදී. කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිවිටක් එම ප්‍රභේදය එනමින් හදුන්වනු නොලැබිණි. "ප්‍රභේද හඳුනා ගැනීම සහ ඒ බව වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 තාක්ෂණික ප්‍රධානී මාරියා වැන් කෙර්කොව් ට්වීටර් සටහනක් පළකරමින් පැවසීය. ප්‍රභේදයන් පිළිබඳව "දැඩි සෝදිසියක්" කිරීමටත්, පැතිරීම නැවැත්වීමට විද්‍යාත්මක දත්ත හුවමාරු කර ගන්නා ලෙසත් ඇය තවදුරත් එමගින් ඉල්ලා සිටියාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ මෙම නම් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. එම අක්ෂර මගින් වඩාත් සැලකිලිමත් වන ප්‍රභේද සහ උනන්දුවක් දක්වන ප්‍රභේද යන දෙකම දක්වා ඇත. මෙම ග්‍රීක අක්ෂර දැනට පවතින විද්‍යාත්මක නම්වලට ආදේශකයක් නොවනු ඇත. ප්‍රභේද 24 කට වඩා නිල වශයෙන් හඳුනා ගතහොත් ග්‍රීක අක්ෂර භාවිත කළ නොහැකි බැවින් එම ක්‍රියාවලියෙන් ඉවතට යන අතර අලුත් නාමකරණ වැඩසටහනක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි වැන් කර්කොව් STAT ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "අපි කියන්නේ B.1.1.7 වෙනුවට ආදේශ කරන්න කියා නොවේ, නමුත් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය පුද්ගලයන් යම් සංවාදයකට යොමුවන අවස්ථාවන්වලදී මෙම අක්ෂර භාවිත කිරීම ඔවුනට පහසුවක් වේවි" යනුවෙන් ඇය එක්සත් ජනපදය පදනම් කරගත් වෙබ් අඩවියට පැවසුවාය. "එබැවින් පොදු කතිකාවේදී, අපට මෙම ප්‍රභේද සමහරක් වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි භාෂාවෙන් සාකච්ඡා කළ හැකියි." සඳුදා, එක්සත් රාජධානියේ රජයට උපදෙස් දුන් විද්‍යාඥයෙක් කියා සිටියේ අර්ධ වශයෙන් ඩෙල්ටා හෙවත් ඉන්දියානු ප්‍රභේදය හේතුවෙන් රට කොරෝනා වයිරස් ආසාදනවල තුන්වෙනි රැල්ලක මුල් අවධියේ සිටින බවයි. ශීත සෘතුව පුරා එක්සත් රාජධානියේ රෝගීන්ගේ වැඩිවීමට හේතු වූ ඇල්ෆා (එක්සත් රාජධානි හෙවත් කෙන්ට්) ප්‍රභේදයට වඩා වේගයෙන් එය ව්‍යාප්ත වනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර වියට්නාමය තුළින් හමුවූ නව ප්‍රභේදය එම ප්‍රභේද දෙකේ ම එකතුවක් ලෙස පෙනෙන්නට තිබේ. සෙනසුරාදා රටේ සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියේ එය ඉක්මණින් වාතය හරහා පැතිර යා හැකි බවය. එය "ඉතා භයානක" එකක් යැයි ඔහු විස්තර කළේය. Why do new variants of Covid-19 keep appearing? The BBC's Laura Foster explains
උතුරු කොරියාවේ පවත්වා ගෙන යන මහා පරිමාණයේ දේශපාලන සිර කඳවුරු ගැන හෙළිදරව් කෙරෙන චන්ද්‍රිකා රූපවාහිනී දර්ශන, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ඇම්නෙස්ටි සංවිධානයේ නැගෙනහිර ආසියානු කලාපයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා රොසෑන් රෛෆ්(Roseann Rife) ප්‍රකාශයක් කරමින්,උතුරු කොරියානු දේශපාලන සිර කඳවුරුවල යටිතල පහසුකම් තවත් වැඩි දියුණු කෙරෙමින් පවතින බවක් ලැබී ඇති චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙන බවයි කියා සිටියේ. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය තක්සේරු කරන ආකාරයට,උතුරු කොරියානු එක් දේශපාලන සිර කඳවුරක් හතරැස් කිලෝ මීටර් පන්සීයකටත් වඩා විශාලයි. භූමි ප්‍රමාණය අනුව එය ඇමෙරිකාවේ විශාල නගරයකට සම මට්ටමකයි පවතින්නේ. දේශපාලන සිර කරුවන් මරා දමනු ලැබීමට පෙර, ඔවුන් ලවාම ඔවුන්ගේ මිනී වල කණින බව හිටපු කඳවුරු නිලධාරියෙක් උපුටා දක්වමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩි දුරටත් කියා සිටියි. එය දෙලක්ෂයක පමණ දේශපාලන සිරකරුවන් සිර කර තබන කඳවුරු ජාලයක් බවයි,ඇම්නෙස්ටි සංවිධානය පවසන්නේ. එහෙත් ඉහත කී අදහස් බැහැර ලමින් උතුරු කොරියාව කියා සිටින්නේ,සිය භූමියේ එවැනි දේශපාලන සිර කඳවුරු නොමැති බවයි.
ජනාධිපතිවරණයෙන් ලත් පරාජය පිළි නොගෙන කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.
‘ට්වීටර්’ පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේ ජනතා මතය පිළිගෙන ජනාධිපතිවරණ නිල අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට මත්තෙන් තමා නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සුභ පැතූ බවයි. දශක ගණනාවකට දිව යන තම දේශපාලන ජීවිතය තුළ තමා සෑම අවස්ථාවකදීම ජනතා මතයට හිස නමා ඇති බවත් ජය පැරදුම දේශපාලන ජීවිතයේ කොටසක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අඟහරුවාදා නිකුත් කළ ‘ට්වීටර්’ පණිවුඩයේ වැඩි දුරටත් සඳහන්. 'පැහැදිලි සාක්ෂි' ‘මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම’ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලනය ප්‍රතිඥා දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය පිළි නොගෙන කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට පැහැදිලි සාක්ෂි ඇති බව අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමීපතමයෝ පවසති. ජනමතය වෙනස් කර බලයේ රැඳීමට ගත් උත්සාහයට සහාය දීම හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘කුමන්ත්‍රණශීලී උත්සාහය’ ව්‍යර්ථ වූ බවයි නව විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් ඉන් ඉවත්ව යයි.
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගොස් තිබේ. තේරීම් කාරක සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල සංදේශයට පැවසුවේ නොවැම්බර් 14 වැනිදා දෝශාභියෝග විභාගය ආරම්භවීමෙන් පසු අද වනතුරු අගවිනිසුරුවරියගේ පාර්ශවයට අදාළ ලියකියවිලි කිසිවක් භාර දී නොතිබිනු බවයි. " සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම්" අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් ලියකියවිලි පනහක් අද භාරදීමෙන් පසු ඒවා අධ්‍යනය කිරීම පිණිස සති පහක කාලයක් අවශ්‍ය බව ඇය කියා සිටි නමුත් ඒවා හෙට සිකුරාදා පස්වරු 1.30 ට විභාගයට ගන්නා බව සඳහන් කළ විට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බවත් එහි සාධාරණභාවයක් හෝ යුක්ති සහගතභාවයක් නොපෙනන බවත් පවසමින් අගවිනිසුරුවරියගේ පාර්ශවය ඉවත් ගියේ යැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය. තේරීම් කාරක සභාවේ සිටින ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් , අගවිනිසුරුවරියට සහ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට අපහාස වන ආකාරයෙන් කථා කළ බවට ඔවුන් චෝදනාවක්ද ඉදිරිපත් කළ බව කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය. එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් තවදුරටත් තේරීම් කාරක සභාවේ රැදී සිටින්නේද නැද්ද යන්න හෙට දින තීරණය කරන බවයි පාර්ලිමේන්තු ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් පැවසුවේ සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම් බවයි. වත්මන් තේරීම් කාරක සභාව පූර්ව විනිශ්චයකට පැමිණීමෙන් පසු යුක්තිය පසිඳලීමේ අරමුණකින් තොරව අසාධාරණ අන්දමින් ක්‍රියා කරන බවයි නීතිඥ කණ්ඩායමේ තවත් සාමාජිකයක් බී සී දෙමල සේවයට ප්‍රකාශ කර සිටියේ. පක්‍ෂපාතී ආයතනයක් ඉදිරියේ කරුණු දැක්වීම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස අගවිනිසුරුවරිය විශ්වාස කරන බවද නීතිඥ සාලිය පීරිස් කියා සිටියේය. සාධාරණ විනිශ්චයකට තුඩු දෙන කරුණු ගණනාවක් ඉටු නොවීම හේතුවෙන් තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට ඇය තීරණය කළ බවත් අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් තවදුරටත් ප්‍රකාශ කළේය.
යුද්ධය හමාරවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල කිසියම් ආර්ථික සංවර්ධනයක් දක්නට ලැබුනත්, ප්‍රදේශවාසී දෙමල සහ මුස්ලිම් ජනතාව තවමත් බොහෝ ගැටලුවලට මුහුණ දී සිටින බව මෑත දී එම ප්‍රදේශවල සංචාරයේ යෙදුනු ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවසයි.
පිටතින් තැන්පත් හා සාමකාමී බවක් පෙන්වා සිටියත් උතුරු නැගෙනහිර ජනතාව කෝපය හා ශෝකය සඟවාගෙන සිටින බව ඉන්දීය මහජන මන්ත්‍රීවරයා පවසයි බලය විමධ්‍යගත කිරීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අරභයා කිසිදු ප්‍රගතියක් දක්නට නොවීම පිළිබඳව ප්‍රදේශවාසී ජනතා සිත් සතන් තුල බරපතල වේදනාවක් පවතින බවයි, මහාචාර්ය සෞගත රෝයි මන්ත්‍රීවරයා පවසන්නේ. බලය බෙදා හැර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සැබෑ අභිලාශයක් තිබෙන්නේද යන්න සැක සහිත බව ද ඔහු පවසයි. සමස්ත ඉන්දීය ත්‍රිනමුල් කොන්ග්‍රසය නියෝජනය කරමින් සංචාරයට සහභාගි වූ මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේ බීබීසී දෙමළ සේවයේ සිවරාමක්‍රිශ්නන් පරමේශ්වරන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. 'සැබෑ අභිලාශයක් නෑ' සමස්ත ඉන්දීය ත්‍රිනමුල් කොන්ග්‍රසය බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමතිනී මම්තා බැනර්ජීගේ නායකත්වයෙන් යුත් ප්‍රාදේශීය පක්ෂයක්. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව ප්‍රතිඥා දුන්නත් එවැන්නක් සිදුවන හැඩක් දක්නට නොලැබෙන බව ද තවත් ඉන්දීය මන්ත්‍රීවරුන් පස්දෙනකු සමඟ සංචාරයට එක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. විශේෂයෙන් යාපනය වැනි ප්‍රදේශවල ජන ජීවිතය ඉතා සාමකාමී බව බාහිරින් දකින්නට ලැබුනත්, ජනතා සිත් සතන් තුල කෝපයක් මෝදුවෙමින් පවතින බව ද මහාචාර්ය සෞගත රෝයි මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට පැවසීය. දැන් එම පලාත්වල ආයුධ සන්නද්ධ කණ්ඩායම් නොමැති බව සැබෑවක් මුත්, සිය ජීවිතය පිළිබඳව සතුටින් කථාකල කිසිවෙකුත් තමන්ට හමු නොවූ තරම් බවයි, ඔහු පවසන්නේ. සිය දූත පිරිස වුවමනාවෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ නොගසුන බව පවසන සෞගත රෝයි මන්ත්‍රීවරයා, ඒ වෙනුවට තමන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වූ බව ද ඔහු කියා සිටියේය. ජනාධිපතිවරයා හමුවී ඡායාරූපයකට පෙනී සිටීමට සිය කණ්ඩායමට හැකියාව තිබුනද, ඇතැම්විට ඒ මගින් ඉන්දියාවේ වෙසෙන දෙමළ ජන හදවත් පෑරෙන්නට පවා ඉඩ තිබුන බව ඉන්දීය මන්ත්‍රීවරයාගේ අදහසයි. කෙසේ නමුත් ජනාධිපතිවරයා හැරුණු විට, ශ්‍රී ලංකා දේශපාලන තලයේ ප්‍රධාන චරිත සියලු දෙනාම පාහේ මෙන්ම ප්‍රදේශවාසී සිවිල් සමාජ නියෝජිතයන් මුණගැසී සාකච්ඡා කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මහාචාර්ය රෝයි බීබීසීයට කියා සිටියේය.
මවට HIV ආසාදනය වීම මත දැරියකට ඇයගේ පාසල් ගමනට තර්ජන මතු වී ඇති බව එම දැරියගේ භාරකරුවෝ පවසති.
දැරිය පාසලෙන් අස්කර වෙනත් පාසලකට රැගෙන යන මෙන් ගනේමුල්ල ප්‍රදේශයේ ඇය ඉගනුම ලබන කනිෂ්ඨ පාසලේ බලධාරීන් තමන් පාසලට කැඳවා පැවැසූ බව ඔවුහු බීබීසී සිංහල සේවයට පැවසුහ. "අපි අහන්නේ මේ දරුවට එවැනි ආසාදනයක් තියෙනවා කියලා දෙමව්පියන් කියන්නේ කොහොමද? නමුත් මම අහන්නේ දරුවාගේ අම්මට තිබ්බා කියලා දරුවට ඉගනීමට අයිතියක් නැද්ද?" යනුවෙන් දැරියගේ භාරකරු විමසීය. අද (මාර්තු 20) පෙරවරුවේ පාසල ඉදිරිපිටට රැස්වූ දෙමව්පියන් පිරිසක් දැරිය පාසලට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ කළහ. විරෝධයක් කෙසේ වෙතත් දැරිය පාසල වෙත රැගෙන යාමට ඇයගේ භාරකරුවන් සමත් වූ අතර මාධ්‍යවේදීන් ගේ කැමරා ඉදිරියේ පසුබැස ගිය දෙමව්පියෝ පසුව පාසල ඉදිරිපිට පැය කීපයක් රැඳී සිටියහ. දැරියට HIV ආසාදනය වී ඇත්දැයි යන්න තමන්ට දැනගැනීමට අවශ්‍ය බව ඔවුහු පැවසුහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්ෂ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල, "එච්අයිවී ආසාදිත බව දැනගෙන හෝ නොදැනගෙන ඕනෑම තැනක අධ්‍යාපනය ලැබීමේ අයිතිය ළමයෙකුට තිබෙනවා. ඒ අයිතිවාසිකම අපි සුරක්ෂිත කළ යුතුයි. එහෙම නැතිනම් සිදු වෙන්නේ ඒ දරුවාගේ අනාගතයම විනාශ කර දැමීමක්" යැයි පැවසීය. වෛද්‍ය මතය අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. පසුගිය වසරේ කුලියාපිටිය ප්‍රදේශයෙන් මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර පසුව එම දරුවාට අධ්‍යාපනය ලබා දීම සඳහා මහනුවර ප්‍රමුඛ පෙළ පාසලක් ඉදිරිපත් විය. මේ අතර දැරියට නිදහසේ සිය අධ්‍යාපනය කරගෙන යාමට නොහැකි පරිසරයක් උදාකිරීම තරයේ හෙලාදකින බව බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි. පවුලේ HIV රෝගියකු සිටියත් පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවෙකු ඊට වගකිවයුතු නැති බව මහ ඇමතිවරයා පෙන්වාදෙයි. එම දැරියගේ සමාජයීය වරප්‍රසාද වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ඔහු සඳහන් කළේය. දැනගැනීමට ඇති පරිදි අදාළ දැරිය පාසලට ඇතුළත් කරගැනීමට විදුහල්පතිවරයා එකඟ වී ඇතැයි සඳහන් කළ මහ ඇමතිවරයා, එසේ නොවුනහොත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඊළඟ ක්‍රියාමාර්ග තීරණය කළ යුතුව ඇති බව ද කියා සිටියේය.
ක්‍රීඩා සඳහා යොමු වීම ශ්‍රී ලංකාවේ දැරියන්ට විටෙක පහසු කාර්යයක් නොවේ.
ශෂිකලා සහ චමරි අතපත්තු සමහර වැඩිහිටියන් ගැහැණු ළමුන් ක්‍රීඩාවට යොමු වීම අධෛර්යමත් කරන අතර එසේ යොමු වූ විට සමාජයෙන් ද එතරම් දිරි ගැන්වීමක් නොලැබේ. තත්ත්වය එසේ වුවද, සමහර දෙමව්පියෝ පවතින සමාජ බාධක බිඳ දීර්ඝකාලීනව ක්‍රීඩාවන්ට යොමුවීමට තම දියණියන්ට අවස්ථාව ලබා දෙති. විටෙක එය උඩුගං බලා පිහිනීමක් වැනිය. මේ එසේ උඩුගං බලා පිහිනූ ක්‍රීඩිකාවක් පිළිබඳව කතාවකි. ඇය ශෂිකලා සිරිවර්ධන. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව ඇය යි. ශෂිකලා පිට දඟ පන්දු යවන ක්‍රීඩිකාවකි "මම ක්‍රීඩා කරන්නේ තනිකරම මගේ දෙමව්පියන්ගේ විශ්වාසය නිසා. මගේ තාත්තා තමයි මාව යොමු කළේ. කාන්තා ක්‍රිකට් ගැන ඒ කාලේ අපිට කිසිම දෙයක් අහන්න දකින්න තිබුණේ නෑ. ඉස්සර ක්‍රීඩා කරපු හැම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ම ක්‍රීඩා කළේ දෙමව්පියන්ගේ උදව්වෙන්." බෝල ගහන කෙල්ලෝ ශෂිකලා සිරිවර්ධන රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඉතා කුඩා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට හිත යොමු වූ බව පවසන ශෂිකලා, කුමන බාධක පැමිණිය ද තම සිහිනය සැබෑ කර ගැනීමට අදිටනින් කටයුතු කළ බව පවසයි. "ඉස්සර ගොඩක් අමාරු තත්ත්වයක් තිබ්බේ. ඇත්තටම බස් එකක අපේ බැට් එක, බෑග් එක අරන් එන්න අපහසුයි. අපි එන කොට අපිට බෝල ගහන කෙල්ලෝ කියල විහිළු කරනවා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු අපිට දැන් ආදරය කරනවා." ශෂිකලා සිරිවර්ධන සිය ක්‍රීඩා දිවිය ගැන එසේ බීබීසී සිංහල සේවයට හෙළි කළේ පසු ගිය දිනක කොළඹදී ඇය හමු වූ අවස්ථාවකදීය. ශෂිකලා සිය මව සහ පියා සමග ආසාව සහ කැපවීම ශෂිකලා, 2003 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව තම ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට සහභාගි වූවාය. කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 1000 ක් රැස් කළ සහ කඩුලු 100කට වඩා දවාගත් එකම ක්‍රීඩිකාව ඇය වේ. එම දස්කම කළ ආසියාවේ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩිකාව වන්නේද ඇය යි. "මම වසර 16ක් පමණ ඉන්න නිසා මම හැම කෙනාත් සමගම ක්‍රීඩා කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට කණ්ඩායම ගෙනාවේ. ඒ ගොල්ලොන්ට කිසිම මුදලක්වත් කිසිම සැප පහසුකමක් තිබ්බේ නෑ ඔවුන්ගේ ආසාව නිසා තමයි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළේ. මම හිතන්නේ කොච්චර ක්‍රීඩාව වෙනස් වුනත් ඒ ආසාව ඒ කැපවීම හැම ක්‍රීඩිකාවක් සතුවම තියෙන්න ඕනේ. පහසුකම් ලැබුණත් කොච්චර මුදල් ලැබුණත්. මම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් ඉගෙන ගත් දේ ඒක. මම හිතන්නේ ඒ පැෂන් එකත් එක්ක මම හිතන්නේ ඉදිරියට ගියොත් නවක ක්‍රීඩිකාවන්ට ඉදිරියට යන්න පුළුවන්." මේ වන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව අටවන ස්ථානයේ පසුවේ. සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ඒ සඳහා සුදානම් වෙමින් සිටියි. "විශේෂයෙන් පන්දු වාර 50 තරඟවලින් පොඩ්ඩක් අපි පසු බෑමකට ලක් වුණා. මොකද දැන් අපේ කණ්ඩායමේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ කිහිප දෙනයි. නවක ක්‍රීඩිකාවන් තමයි වැඩියෙන් ඉන්නේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් එකවර ක්‍රීඩාවෙන් සමුගත්තා. මම හිතනවා නවක අය අත්දැකීම් ගන්නවා. ඒ අය හොඳට ක්‍රීඩා කළා එංගලන්ත සංචාරයේ. ඒක අපිට ඉස්සරහට හොඳ සලකුණක්. ඉදිරි වසර දෙක ඇතුළත ඒ අය ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් එක්ක එකතු වෙලා හොඳ දෙයක් කරයි කියල හිතනවා." කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින්නේ අඩු අවධානයක් දැයි විමසූ විට ශෂිකලා පැවසුවේ, කාන්තා ක්‍රිකට් තරඟ රූපවාහිනියෙන් පෙන්වීම අඩු වීම ඊට එක් හේතුවක් බවය. "ඒක නිසා ජනතාව අතරට යෑම අඩුයි. ඒක තමයි මුළු ලෝකෙම තියෙන මතය. දැන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය හැම තරඟයක් වගේම පෙන්වනවා. අපේ ICC තරඟ විතරයි රූපවාහිනියෙන් පෙන්වන්නේ. ඒක නිසා මිනිස්සු අතරට යනවා අඩුයි. ඒක වෙනස් වෙමින් පවතිනවා. අපිත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ශ්‍රී ලංකා කාන්තා තරඟත් රූපවාහිනියෙන් වැඩියෙන් පෙන්වයි කියල." කාන්තා ක්‍රිකට් සහ ග්වෙන් හේරත් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ප්‍රචලිත කිරීම සඳහා ග්වෙන් හේරත් සුවිශේෂ කාර්යයක් ඉටු කළ බව ශෂිකලා සිරිවර්ධන පැවසුවාය. "ඒ කාලේ ICC එක තිබ්බේ නැහැ. අපිට තිබ්බේ IWCC එක. එකේ යටතේ රෙජිස්ටර් වෙලා සමහර ආයතන සමග එකතු වෙලා කාන්තා ක්‍රිකට් පවත්වා ගෙන අවේ. 1997 ඉඳන් 2006 වෙනකම් එතුමියගේ උත්සහයෙන් තමයි කාන්තා ක්‍රිකට් කරගෙන අවේ. 2006 වසරේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කාන්තා ක්‍රිකට් අනුබද්ධ කර ගත්තේ. ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනේ එතුමියගේ උත්සහය." යහපත් ආකල්පය එසේම වර්තමාන සමාජය තුළ කාන්තා ක්‍රිකට් ගැන ඇති ආකල්පය ද යහපත් බව ඇයගේ අදහසයි. මේ වන විට පාසල් 50ක පමණ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඇති අතර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ජාතික, සංවර්ධන සහ නැගී එන වශයෙන් සංචිත තුනකට තෝරා ගැනෙති. මෙම සංචිත සඳහා පිරිමි සංචිත වලට ලැබෙන පහසුකම් සහ පුහුණුකරුවන් ලැබේ. එබැවින් නවක ක්‍රීඩිකාවන්ට ඉදිරියට ඒමට සුදුසු වටපිටාව නිර්මාණය වී තිබෙන බව ශෂිකලා කීවාය. එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට සුදානම් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම "මේකට ලොකු අනාගතයක් තියෙනවා වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කරන්න. අපේ විශේෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා විශේෂයෙන්ම ලෝකේ පළවෙනි 10 දෙනා අතර. උදේශිකා වගේ ක්‍රීඩිකාවන් T20 වල ලෝකේ අංක එක වුණා. ඒ වගේම චමරි අතපත්තු නිතරම පළවෙනි 10 දෙනා අතර ඉන්නවා. එයා බිග් බෑෂ්, කියා වගේ ලීග් වලට යනවා. මම, චමරි සෙනෙවිරත්න, ඉනෝකා රණවීර. මේ වගේ අපේ ක්‍රීඩිකාවන් නිතරම පළවෙනි 10 දෙනා 20 දෙනා අතර ඉන්නවා. ඒ වගේ දේවල් නිසා අපි ගැන තියෙන මතය ගොඩක් හොඳ අතට හැරිලා තියෙනවා කියලයි හිතෙන්නේ." නමුත් පිරිමි කණ්ඩායම මෙන් ආර්ථික වශයෙන් ක්‍රීඩාව වර්ධනය වීමට නම් තව තවත් හොඳ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත යුතු බව ඇය පවසන්නීය. ලෝකයේ ඉදිරියෙන් සිටින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව නිතර පරාජය කිරීමට හැකි වන්නේ නම් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ද ඉහළ මුදලක් උපයා ගත හැකි වනු ඇතැයි ශෂිකලා කීය. "ආර්ථික වශයෙන් ගත් විට යම් අඩු භාවයක් තියෙනවා. මොකද අපිව කොන්ත්‍රාත් ගත කරලා තියෙන්නේ අපේ දක්ෂතා අනුව. සමහර රටවලට හොඳ රටවල කොන්ත්‍රාත් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ ඒ සෙකුරිටි එක අපිට දීල තියෙනවා. නමුත් ඒ ලැබෙන ප්‍රමාණය ලැබෙන දේ වැඩි කර ගන්න අපි නිතරම හොඳට ක්‍රීඩා කරන්න ඕනේ. ඒක ක්‍රීඩිකාවන්ගේ වගකීමක්." කියවන්න:
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඔහු ඒ බව කියා සිටියේ ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා අගමැතිවරයා සමග ඊයේ (අප්‍රේල් 26) යෙදුනු සාකච්ඡාවකින් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි. ඒ පිළිබඳ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි යන්න මෙතෙක් වාර්තාවී නොමැත. අගමැතිවරයා සහ අමාත්‍ය නිතින් ගද්කාරි අතර පැවති සාකච්ඡාව පිළිබඳ ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නොතිබිණි. යාපනය - මන්නාරම - ත්‍රිකුණාමලය මහාමාර්ගය සහ දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ප්‍රවාහන,මහාමාර්ග සහ නාවික කටයුතු අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි පැවසුවේ යැයි අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. අමාත්‍ය නිතින් ගද්කාරි විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය පසුගිය වසරේදී පසුගිය වසරේදී ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිතින් අමාත්‍යවරයා අදහස් පළ කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවක කියා සිටියේ එවැනි පාලමක් ඉදිකිරීමේ කිසිදු සුදානමක් නොමැති බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එවක ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීමේ සුදානමක් නොමැති බවය. ඉන්දීය දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ යොදා ගනිමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
වසර හැට දෙකක් තිස්සේ එක්ව ගතකළ මහළු විවාහක යුවලක් බලහත්කාරයෙන් වැඩිහිටි නිවාස දෙකක වෙන්ව ගතකරීම සඳහා යැවූ පුවතක් කැනඩාවෙන් වාර්තාවේ.
83 හැවිරිදි වොල්ෆ්රම් ගොට්ෂෝක් සහ ඔහුගේ බිරිඳ 81 වියැති ඇනීටා කඳුළු සළමින් සමුගන්නා ඡායාරුපය සහිත පුවත අන්තර්ජාලය ඔස්සේ අති විශාල ප්‍රසිද්ධියක් ලැබුවෙ ඔවුන්ගේ මිනිපිරිය විසින් එය සමාජ මාධ්‍ය ජාලාවකට එක්කරනු ලැබීමෙන් පසුවයි. ඈෂ්ලි බැරික් නම් 29 හැවිරිදි මිනිපිරිය පැවසුවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සරේ ප්‍රදේශයේ එකම වැඩිහිටි නිවාසයක් තුළ දෙදෙනා සඳහාම ඉඩ කඩ නොමැති නිසා ඔවුන් වෙන් කිරීමට සිදුවී ඇති බවයි. තම බිරිඳ සිටින වැඩිහිටි නිවාසයට යාම සඳහා ඉඩකඩක් ලැබෙන තුරු වසා ගැටිතිවල අබාධයකින් පෙළෙන වොල්ෆ්රම් ගොට්ෂෝක් දැන් බලාසිටින බවයි වාර්තාවන්නේ. අඟහරුවාදා කඳුළු පිස දමමින් සමුගන්නා 'ඕමි සහ ඔපි' ගේ ඡායාරුපය තම ෆේස්බුක් ගිණුමේ බෙදා හරිමින් ඈෂ්ලි සටහන් කොට තිබුණේ තමා විසින් ගත් වඩාත් දුක්මුසු ඡායාරුපය එය බවයි. මේ වන විට මාස අටක් තිස්සේ වෙන්ව ජීවත්වන මෙම වයෝවෘද්ධ යුවල ඔවුන් හමුවන හැම අවස්ථාවක දීම කඳුලුසලන බවයි මිනිපිරිය පවසන්නේ. මොවුන් දෙදෙනා නැවත එක් කිරීම සඳහායි ඈෂ්ලි මුහුණු පොත ඔස්සේ ආධාර ඉල්ලා ඇත්තේ.
කොළඹ කොස්ගස් හන්දියේ පැරණි මුස්ලිම් දේවස්ථානය එලෙසම පවත්වාගෙන යාමටත්, එහි තිබෙන බෞද්ධයන් වන්දනාමාන නොකරන බෝධිය ඉවත් කිරීමටත් එකඟතාවකට පැමිණි බව බලධාරීහු පවසති.
ගැටලුව සාමකාමීව, එකමුතුව, සමගියෙන් අවසන් වුනා - ඇමති චම්පික රණවක බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රජා නායකයන්, ආගමික නායකයන්, දේශපාලන නායකයන් සහ පොලිස් නිලධාරීන් ඉරිදා සවස යාමයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුවට එළැඹුණු බව අමාත්‍ය චම්පික රණවක මාධ්‍යවේදීන්ට කියා සිටියේය. පැරණි දේවස්ථානය ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන තිබූ තීරණය වෙනස් කිරීමත් සමඟම, ඒ වෙනුවට අලුත් දේවස්ථානයක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් ද පැන නොනගින බව අමාත්‍යවරයා පවසයි. "ගැටලුව සාමකාමීව, එකමුතුව, සමගියෙන් අවසන් වුන," බවයි ඇමතිවරයා පවසන්නේ. ඇඳිරි නීතිය යලිත් භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමක් සෙනසුරාදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දීමත් සමඟ ප්‍රදේශයේ ගැටුම්කාරී තත්වයක් හට ගත් අතර, එහිදී ප්‍රදේශයේ නිවාස සහ දේපොළවලට ද අලාභ හානි සිදු විය. ඉරිදා සවස් යාමයේ යලිත් වරක් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් හට ගැනීම හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුල ඉරිදා රාත්‍රී හයේ සිට සඳුදා උදෑසන හත දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කොට තිබේ. ගැටුමට සම්බන්ධ පිරිස් කැඳවා රජය සාකච්ඡාවක් පවත්වන විටත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ උණුසුම පහව ගොස් නොතිබුන අතර පොලිසිය හා විශේෂ කාර්ය සාධක බලකාය රැකවල් තර කොට තිබිණ. ග්‍රෑන්ඩ්පාස් හි අලුත් දේවස්ථානය එලෙසම පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් මුස්ලිම් නායකයන් කළ ඉල්ලීමට භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ නායකත්වයෙන් සාධනීය ප්‍රතිචාරයක්‌ පළ නොවූ නමුත්, පැරණි දේවස්ථානය පුළුල් කිරීම සඳහා ආධාර කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්එම් අමීන් රැස්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ. කෙසේ නමුත්, සෙනසුරාදා ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මුස්ලිම් නායකත්වය දැක්වූ අදහස්වලට බලධාරීන් ගෙන් ප්‍රතිචාරයක් පළ නොවූ බව ද ඔහු සඳහන් කළේය.
ඊයේ අලුත්ගම සහ බේරුවල පැවති කලහකාරී තත්ත්වය ගැන සඳහන් කරමින්,නීතිය සහ සාමය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව පවසන්නේ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්.
සිවිල් ජනතාවට ආරක්ෂාව සලසා දීමට නොහැකිවීම ගැන පොලිසිය මෙන්ම අනෙකුත් අදාල අංශ වගකීම් භාර ගත යුතු බව කියා සිටියි. ‘’අද මෙහෙ මරණ තුනක් සිදුවෙලා තියෙනවා.තුවාල කරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. මේ සිදුවීම වෙන්නට පෙර පොලිසියේ උසස් නිලධාරින් මේ පලාතට පැමිණ පළාතේ තත්ත්වය හොඳටම අවබෝධ කරගෙන තමයි ගිහින් තයෙන්නේ’’. අපක්‍ෂපාති පරීක්ෂණයක් ඉන් පසු වූ මේ සිද්ධිය බරපතල කරුණක් බව බිබිසි සංදේශයට ප්‍රකාශ කල රවුෆ් හකීම් අමාත්‍යවරයා මේ පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි කියා සිටින්නේ. තම පක්ෂය මේ පිළිබඳව දැඩි ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු බවට ජනතාව ඉලා සිටින්නේ යැයිද ඔහු පැවසීය. ජනතාවට උපරිම ආරක්ෂාව සලසාදීමේ වගකීම රජය ඉටුකළේද යන ප්‍රශ්නය පැනනගින බවත් පවසන හකීම් අමාත්‍යවරයාගෙන් සංදේශය විමසුවේ තමා මේ රජයේ අමාත්‍යවරයකු නොවේද යනුවෙන්. ‘’මේ රජයේ අමාත්‍යවරයක් හැටියට ඉන්න එක පිළබඳව මම ලැජ්ජාවට පත්වෙනවා.’’යනුවෙන් කියා සිටියේය. දැනට මරණ තුනක් සිදුවී ඇති නමුත් ඒ පිළබඳව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි අධිකරණ අමාත්‍යවරයා චෝදනා කරන්නේ.
කාසියේ වාසිය දිනා තිබියදී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට අවස්ථාව සලසා දීම සහ දුර්වල පන්දු රැකීම ඊයේ (මාර්තු 25) ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වීමට ප්‍රධාන හේතු වූ බව ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ පවසයි.
ඊයේ පැවති තරඟයේ දී ශ්‍රී ලංකාවේ පරාජයට හේතුවූ කරුණු පිළිබඳව බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සංවාදයක යෙදෙමින් ඔහු ප්‍රකාශ කළේ තරඟයේ පළමු ඉනිමේ අවසන් ඕවර දහයේදී බංග්ලාදේශ කණ්ඩායමට පීඩනයක් එල්ලකළ හැකි මට්ටමේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වී නොසිටි බවය. අත්දැකීම් අඩු ලහිරු කුමාරගේ යැවූ පන්දුවාර වලදී බංග්ලාදේශ කණ්ඩායම වේගයෙන් ලකුණු රැස්කිරීමට සමත් වූ ආකාරය ඔහු උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. කණ්ඩායමේ සංයුතිය ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයට ලක්වී තිබීම පිළිබඳව මතු කළ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් රොෂාන් අබේසිංහ පවසා සිටියේ ප්‍රථම පෙළේ දඟ පන්දු යවන්නෙක් නොසිටීම කණ්ඩායමේ සංයුතියේ විශාල අඩුපාඩුවක් බවය. "සචිත් පතිරණ ගත්තත් ඔහු ප්‍රථම පෙළේ දඟ පන්දු යවන්නෙක් නොවෙඅබේසිංහයි. මිලින්ද සිරිවර්ධන ප්‍රථම පෙළේ දඟ පන්දු යවන්නෙක් නොවෙයි. ධනංජය සිල්වාත් ඒ ආකාරයේමයි. ඉතිං ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වුණා වමතින් පහරදෙන බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කරන්නට," යනුවෙන් පැවසූ රොෂාන් අබේසිංහ පිට දඟ පන්දු යවන්නෙක් නොසිටීමේ අඩුව පෙන්වා දුන්නේය. අවශ්‍ය තරම් දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ සිටින බව පෙන්වා දුන් ප්‍රවීණ ක්‍රීඩා විචාරක රොෂාන් අබේසිංහ ක්‍රීඩා කණ්ඩායම තේරීමේදී අනුගමනය කළ උපාය මාර්ග ඊයේ දඹුල්ල සාර්ථක වී නැති බව පැවසීය. මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි, ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරාජයවීම අහඹු සිදුවීමක් නොවන බව පෙන්වා දුන්නේය. "බංග්ලාදේශයේ පළමු පෙළ ක්‍රිකට් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන්" මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදයක් බව පවසන ඔහු, ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පළමු පෙළ ක්‍රිකට් සංයුතිය පූර්ණ ප්‍රතිශෝධනයකට ලක්කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදෙයි. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ රොෂාන් අබේසිංහ සඳහන් කළේ, ක්‍රීඩාව දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ පරිපාලකයන් විවිධ අදහස් දරන බවයි. පළමු පෙළ ක්‍රිකට් සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව විමසීම පිණිස කීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇමතූ අවස්ථාවේ ඔහු විදේශගතව සිටින බව දැනගැනීමට ලැබුණි.
අප්‍රිකාවේ අලි ඇතුන් දඩයම අඛණ්ඩව පස්වෙනි වසරටත් පහළ ගොස් ඇති අතර ලොව පුරා ඇත් දළ තොග අල්ලා ගැනීම් පසුගිය වසර තුළ වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි.
වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව විශේෂ වෙළෙඳාම සම්බන්ධයෙන් කටයුතු කරන Cites ආයතනයේ වාර්තාවකට අනුව ජාවාරම් කරන ලද ඇත් දළ ටොන් 40 සොයා ගෙන ඇත. පසුගිය දශකය තුළ අප්‍රිකානු අලි ඇතුන් 111,000 දඩයමට ලක්ව ඇති අතර එසේ දඩයමට ලක් වීමේ වේගය කලාප ගණනාවක් තුළ ඒකාකාර මට්ටමකට ළඟා වී තිබේ. එම තත්ත්වය සතුටුදායක නමුත් අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් Cites ආයතනය තවදුරටත් අනතුරු අඟවයි. "ගෝලීය වශයෙන් දියත් කර තිබෙන සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. නමුත් නිසැකවම අප තවමත් අවශ්‍ය තැනට ළඟා වී නැහැ" යනුවෙන් එම ආයතනයේ මහ ලේකම් ජෝන් ස්කැන්ලන් පැවසීය. අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ආසියාව වෙත දළ තොග වශයෙන් අපනයනය නොකර ඒවා යොදා ගනිමින් ආභරණ නිර්මාණය කිරීම අප්‍රිකාව තුළ ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළදීය. තොග වශයෙන් ජාවාරම් කෙරෙන ඇත් දළ අල්ලා ගැනීම පහසුය. පසුගිය දශකය තුළ බරපතළ ලෙස අලි ඇතුන් දඩයමට ලක් වූ නැගෙනහිර අප්‍රිකාව විශේෂ ප්‍රගතියක් ලබා ඇති බව ජෝන් ස්කැන්ලන් සඳහන් කළේය. "දඩයම ඉහළම මට්ටමට ළඟා වූ 2011සිට ස්ථීර පහළ යාමක් දක්නට තිබෙනවා. දඩයමට ලක් වීමේ නැඹුරුව සමස්තයක් වශයෙන් 2008 වසරේ තිබූ මට්ටම දක්වා පහළ ගොස් ඇති බව 2016 වසරේ විශ්ලේෂණ මගින් නිගමනය කළ හැකියි" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. පසුගිය දශකයක කාලය ඇතුළත බොට්ස්වානා, දකුණු අප්‍රිකාව සහ නැමීබියාවේ අලි ඇතුන් සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි වුවත් මධ්‍යම අප්‍රිකාවේ අලි ගහනයේ විශාල පහළ යාමක් දැකිය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. එම කලාපය තුළ නීති විරෝධී අලි දඩයම ඉහළ මට්ටමක පවතින බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ තත්ත්වය ශ්‍රී ලංකාවේදී විනාශ කෙරුණු ඇත් දළ තොගය ශ්‍රී ලංකා රේගුව භාරයේ වසර තුනකට අධික කාලයක් පැවති ඇත් දළ තොගයක් 2016 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ විනාශ කෙරිණි. දළ ලබා ගැනීමට මරා දැමුණු සතුන් වෙනුවෙන් සර්වාගමික නායකයන් පැවැත්වූ ආගමික වතාවත්වලින් අනතුරුව එසේ එම දළ විනාශ කෙරිණි. රුපියල් මිලියන 400 ක් පමණ වටිනා එම ඇත් දළ තොගය කොළඹ වාරයේදී අත්අඩංගුවට ගැනුණේ 2012 මැයි මස 12 වෙනිදා ය. මේ අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලි ඇතුන් 200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී හිදැල්ලආරච්චි කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන් මූලික වශයෙන් මරණයට පත් වන්නේ අලි මිනිස් ගැටුමට මැදිවීමෙන් බවය. සංස්කෘතිමය කරුණු මත ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට සුවිශේෂී ස්ථානයක් පවතින බැවින් ඔවුන් දඩයම් කිරීම ඉතාමත් පහළ මට්ටමක පවතින බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂවරයා අප්‍රිකානු අලින්ගෙන් 99% දළ පිහිටියත් ශ්‍රී ලංකාවේ අලි අතරින් දළ පිහිටා ඇත්තේ 5% අඩු ප්‍රමාණයකට බව පෙන්වා දුණි. යටත් විජිත පාලන සමයේ දළ ලබා ගැනීම පිණිස ඇතුන් විශාල වශයෙන් දඩයම් කිරීම ද ශ්‍රී ලංකාවේ ඇත් ගහනය පහළ යාමට හේතු වූ බව ඔහු සඳහන් කළේය. "ඇත් දළ වෙළෙඳාම සඳහා අපේ ඇතුන් අල්ලලා මරලා, විශේෂයෙන්ම යුරෝපයට අරන් ගියා. ඇතුන්ගේ වඳ වීමේ ස්වභාවයට එය අද බලපා තිබෙනවා" තවත් ඇතෙකු සමග සටනකින් පසුගිය ජුනි මාසයේ දී මරණයට පත් යාල වනෝද්‍යානයේ විසූ තිලක් නමැති සද්දන්තයා ඇත් ගහනය අල්ප බැවින් ශ්‍රී ලංකාවේ කැලෑ තුළ වෙසෙන ඇතුන් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබී ඇති බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂවරයා "ඇතෙකු අඩු වුනොත් මොකද වුනේ කියලා මිනිස්සු හොයනවා. ඒ නිසා මරණ ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ අලි අතුන් 7000 ආසන්න සංඛ්‍යාවක් වෙසෙන බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ. පසුගිය දශක තුන ඇතුළත කාලය හා බැලීමේ දී අලි ගහනයේ යම් අඩුවක් දක්නට ඇති බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී හිදැල්ලආරච්චි වනජීවී අමාත්‍යංශය ලබන වසරේ ජනවාරි මාසයේ දී අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළේය. සබැඳි යොමු:
විදේශ සමාගම්වලට ඉඩම් ලබා දී, ශ්‍රී ලංකාවේ ගොවීන් ඇතුළු සුළු පරිමාණ වගාකරුවන් අතර පවතින කෘෂිකර්මාන්තය සීමිත පිරිසක් අතට පත් කිරීමේ 'බියකරු සැලසුමක්' පවතින බවට ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය අනතුරු අඟවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ඉඩම් අක්කර 15,000 ක් චීන සමාගම්වලට ලබා දීම ඇතුළු විදෙස් සමාගම්වලට මහා පරිමාණයෙන් ඉඩම් ලබා දීමේ සැලැස්මක් පවතින බව මෙවර අය වැය යෝජනා තුළින් පැහැදිලිවන බවටත් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය චෝදනා කරයි. එම සැලැස්මේ කොටසක් වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අහෝසි කොට ඉඩම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඉඩම් බැංකුව වැනි නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටින බවට තොරතුරු ලැබී ඇති බව එම සන්ධානය නියෝජනය කරන ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. "විශේෂයෙන්ම ඉඩම්, ස්වාභාවික සම්පත් සාමාන්‍ය ජනතාවගෙන් උදුරා ගෙන සීමිත පිරිසක් අතට පත් කරන සැලැස්මකට තමයි වත්මන් ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික සැලැස්ම ගමන් කරමින් ඉන්නේ," ඔහු පැවසීය. 'ජීවය නැති සංවර්ධන- අවසන ව්‍යසනයකි' "දැනට සුළු නිෂ්පාදකයන් අත බෙදී පවතින ඉඩම් මහා පරිමාණ ක්‍රියාවලියකට නතු කිරීමේ ආණ්ඩුවේ සැලසුමක් පවතින බවට උදාහරණයක් තමයි, මෙවර අය වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා කියා සිටියා මාදුරුඔය දකුණු ඉවුර මුල් කර ගනිමින් ඉඩම් අක්කර විසි දහසක් අපනයන වෙළඳපොළ අරමුණු කරගත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා යොමු කරන බව." සුළු පරිමාණ ඉඩම්වලින් ඔබ්බට ගොස් අක්කර සිය ගණනක ඉඩම් පද්ධතියක් සේ සලකා ඒ මත ගොඩනගන කෘෂිකර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලියක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ඉන් පැහැදිලිවන බව චින්තක රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය. වත්මන් ආණ්ඩුවේ එම ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා බියකරු චිත්‍රයක් මතු කරන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය, එය විග්‍රහ කරන්නේ 'ජීවය නැති සංවර්ධනය - අවසන ව්‍යසනයකි' යනුවෙනි.
වෙනත් ප්‍රදේශවල වෙසෙන ප්‍රචණ්ඩ වන අලි අල්ලා ගෙනවිත් උඩවලව ජාතික වනෝද්‍යානයට මුදා හැරීම හේතුවෙන් වන අලි උවදුර තවත් උග්‍ර වී ඇති බව වනෝද්‍යානය අවට ගම්මානවල වෙසෙන ජනතාව පවසති.
උඩවලව ජාතික වනෝද්‍යානය අසල උක්ගස් වෙළඳාමේ නිරත දරුවෙක් උඩවලව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ පිහිටි මොනරාගල දිස්ත්‍රික්කයට අයත් හම්බෙගමුව සහ ඒ අවට ප්‍රදේශවල රාත්‍රි කාලයට පමණක් සීමා වී තිබූ වන අලි තර්ජනයට දහවල් කාලයේත් මුහුණ දීමට සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ. 'වෙනදා දවල් අලි ආවේ නැහැ. දැන් මේ හරක් ගානට අලි ඉන්නේ. හරක් කන්නා වගේ ගොයම් කන්නේ' ප්‍රදේශවාසියෙක් සඳහන් කළේය. වෙනත් ප්‍රදේශවලින් ගෙනවිත් උඩවලව වනෝද්‍යානය වෙත මුදා හළ ප්‍රචණ්ඩ වන අලි වෙලාවක් අවේලාවක් නොමැතිව ගම් වදින බව බලහරුව ප්‍රදේශයේ උදෑසන සිදු වූ වන අලි ප්‍රහාරයකින් දිවි බේරා ගත් පනස් අට හැවිරිදි ඒ.ජී.එම්. ජයරත්න පවසයි. වන අලි ප්‍රහාරයෙන් සිය ජීවිතය බේරුනත් තම දහතුන් හැවිරිදි එකම මිනිබිරිය වන අලියාගේ ගොදුරක් බවට පත් වූ ආකාරය ඔහු කනගාටුවෙන් යුතුව සිහි කරයි. අහිමි ජීවිත වන අලි ප්‍රහාරයට ලක් වූ නිවසක් ''දරුවත් අරං බයිසිකලේ යද්දී එකපාරම අලියා මාව හොඬවැලෙන් අල්ල ගත්තා. ඊට පස්සේ කරකවලා වීසි කළා. අඩි එකොළහක් විතර උස අලියෙක්. මීට කලින් දැකලා නෑ. කොහෙන් හරි ගෙනත් දාප එකෙක්. වීසි කලාට පස්සේ මට සිහිය නැති වුණා. බයිසිකලේ වාඩි වෙලා හිටපු දරුවා එක්ක බයිසිකලය වැටුණා. අලියා දරුවා පෑගුවා" මේ අතර අලි දිවා රාත්‍රියේ ගම් වැදීම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තදින් බලපා ඇති බව හම්බෙගමුව ද්විතීක විද්‍යාලයේ විදුහල්පතිනී ක්‍රිශාන්ති වීරසිංහ පෙන්වා දෙයි. පෞද්ගලික සමාගම් සහ විවිධ පුද්ගලයන් විසින් ප්‍රදේශයේ ඉඩම් මහා පරිමාණයෙන් අත්පත් කර ගනු ලැබීම හේතුවෙන් වන අලි ගැවසෙන ප්‍රදේශවල බිම් ප්‍රමාණය අඩු වී ඇති බව ගොවි සංවිධාන ක්‍රියාකාරියකු වන එස්.පී සිරිසේන කියා සිටියි. වන අලි ගම් වැදීමට එයත් එක් හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හම්බෙගමුව, හම්බෙගමුව ජනපදය, බලහරුව, ගල්පොතුකන්ද, කලවැල්ගල, කිවුල, සූරියආර, කහකුරුල්ලන්පැලැස්ස, අලුත්වැව, පොකුණුතැන්න ආදී ගම්වල වැසියන් මේ වන විට නිරන්තරයෙන් වන අලි තර්ජනයට මුහුණ දෙන බවයි අජිත්ලාල් ශාන්තඋදය බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. 'අලි වෙඩි වෙනුවට පෙට්‍රල් ' වන අලියකුගේ ප්‍රහාරයට ලක් වී සිය මිනිබිරිය මරුමුවට පත් වූ බව පවසන ඒ.ජී.එම්. ජයරත්න කලකට පෙර ඉහත කී ගම්මානවලට වන අලි තර්ජනයක් නොතිබූ බව පවසන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියකු වන ටී.ඒ. නන්දසේන කියා සිටියේ මේ වන විට අලි වෙඩිවලට වන අලි හුරු වී ඇති බවයි. ඒ හේතුවෙන් අලි පළවා හැරීම සඳහා හිංසාකාරී ක්‍රමවේද යොදා ගැනීමට ඇතැම් පුද්ගලයන් පෙලඹී ඇති බවත් ඔහු කියා සිටියේය. ''ග්‍රොසරි බෑග් වලට පෙට්‍රල් දාලා අලින්ගේ ඇඟට ඒ බෑග් වීසි කරලා තමයි අලි එළවන්නේ. පස්ස පැත්තට පෙට්‍රල් පාරක් ගැහුවම සතියකට විතර එන්නේ නෑ." පිටස්තර ප්‍රදේශවලට අයත් ප්‍රචණ්ඩ වන අලි උඩවලව වනෝද්‍යානයට මුදා හරින බවට එල්ල වන චෝදනා වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යක්ෂක ප්‍රශාන්ත විමලදාගේ ප්‍රතික්ෂේප කරයි. ''ඒක සාවද්‍ය කතාවක්. මිනී මරන, දේපල හානි කරන කිසිම අලියෙක් ගම්මානවලට මායිම් වූ වනෝද්‍යානවල ගෙනත් දමන්නේ නෑ. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. හොරොව්පතානේ ඒ සඳහා විශේෂ තැනක් තියනවා.' ඔහු පැවසීය
ආණ්ඩු පාලනයේ දී සුළු ජන කොටස්වල සම්මුතියක් රට තුළ තවම සිදු ව නැතැයි ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
වාසුදේව ඇමතිවරයාගේ නළලට තිලකයක් මේ සම්මුතිය ඇති කර ගැනීමේ කාර්යය අප හමුවේ ඇති ඊළඟ අභියෝගය බවත් වාසුදේව නානායක්කාර ඇමතිවරයා පෙන්වා දෙයි. ඒ සඳහා ලබා දිය හැකි අනුබලය නම් සිංහල සහ දෙමළ භාෂා දෙකම හැම දෙනාටම ඉගැන්වීම බව නානායක්කාර ඇමතිවරයාගේ කියා සිටියි. ‘සිංහල මිත්‍රයෙක් දෙමළ මිත්‍රයකුගෙන් සිංහලෙන් අහන ප්‍රශ්නය තේරුම් ගෙන දෙමළෙන් ඊට පිළිතුරු දෙද්දී දෙදෙනාට ඒවා වෙන් වෙන්ව අවබෝධ වන්නේ නම් භාෂා දෙක එක භාෂාවක් බවට පත් වන බව’ ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ අදහසයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යනු බහුතරයේ තීරණය පමණක් නොව සුළුතරය හා බහුතරය අතර ඇතිවෙන සම්මුතිය ඊට අයත් අනෙක් අංගය වන බවයි නානායක්කාර ඇමතිවරයා පවසන්නේ. ‘පාලනය ගෙන යන ආකාරය ගැන බහුතරය හා සුළුතරය අතර සම්මුතියක් තිබිය යුතු බවත්’ ඔහු පෙන්වා දෙයි. ජනවාර්ගික ගැටලුව ගැන සම්මුතියක් ඇති කර ගන්න තුරු සමාජ ආර්ථික සංවර්ධනයකට ප්‍රවේශ විය නොහැකි බව ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම අමාත්‍යංශයේ දෙවන පළාත් කාර්යාලය රත්නපුර කුරුවිට දී ආරම්භ කරමිනි. භාෂා විවිධත්වය තුලින් ද්වි භාෂා රාජ්‍ය සේවයක් ඇති කිරීමෙන් එක්සත් භාවය ගොඩ නැගෙන බවයි ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපතිනි ෂෙලී විටින්ග් සඳහන් කළේ. කැනඩාවේ භාෂා ප්‍රතිපත්තිය ලොවම අගය කරන්නේ ඒ නිසා බවත් තානාපතිනිය පැවසුවාය.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කළ හැකි වැදගත් අංශ හඳුනා ගැනීමේ අරමුණින් මේජර් ජෙනරාල් ස්ටීවන් ආර් රඩර් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වූ බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
මේජර් ජෙනරාල් රඩර් ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ අණදෙන නිලධාරීන් හමු විය සාගර ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක ගැට‍ළු, මානුෂීය ආධාර සහ ආපදා සහන සැපයීම් ඇතුළු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වැනි අංශ හඳුනා ගැනීමේ අරමුණින් එක්සත් ජනපද ශාන්තිකර කලාපීය විධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය බවයි, තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එක්සත් ජනපද හත් වන බල ඇණියේ අණ දෙන USS 'බ්ලූ රිජ්' නෞකාව මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි අතර, එක්සත් ජනපද ශාන්තිකර කලාපීය විධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයාගේ තෙදින නිල සංචාරය සිදු වූයේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකාවට කලාපීය සාගර ආරක්ෂාව, ස්වාභාවික විපත්වලදී ප්‍රතිචාර දැක්වීම සහ නාවික ගමනාගමනයේ නිදහස සුරැකීම යන අංශ තුළ වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි බවයි, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් සිය නිවේදනයේ සඳහන් කරන්නේ. "ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා මෑතකදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා අතිරේක සහාය පළ කොට ඇති අතර වර්තමානයේ ලෙබනනයේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සෙබළුන් ස්ථාන ගත කිරීම වැඩිදියුණු කරමින් සිටියි," යනුවෙන්ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අතීතයේදී කැස්බෑවන්ගේ පිටේ කටුවක් නොතිබූ බවට විද්‍යාඥයන්ට සාක්ෂි හමුවී තිබේ.
මෙය මෙතෙක් හමුවූ වඩාත් අංග සම්පූර්ණ කැස්බෑ පොසිලය වන අතර, එය මෙම සත්වයාගේ සංකීර්ණ මුල් යුගය හෙළි කරයි මෙය මෙතෙක් හමුවූ වඩාත් අංග සම්පූර්ණ කැස්බෑ පොසිලය වන අතර, එය වසර මිලියන 228ක් පැරණිය. එය යුගල ඇඳක ප්‍රමාණයට වඩා විශාලය. චීනයේ Guizhou පළාතේ තිබී මෙය සොයාගෙන ඇත. ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා අංශයේ භාරකරු ආචාර්ය නිකොලස් ෆ්‍රේසර් පැවසුවේ, "එම පොසිලය කැස්බෑවෙක් වගේ පෙනෙනවා. නමුත් කැස්බෑවෙකුගේ කටුවක උඩ සහ යට තිබිය යුතු කිසිම අංගයක් එහි දකින්න තිබුණේ නැහැ" යනුවෙනි. "කටුව පිහිටන්න අවශ්‍ය කොටස් පෙනෙන්න තිබුණත්, කටුවක් තිබිලා නැහැ" "ඔවුන්ගේ ශරීරයේ ඉදිරිපස සුවිශේෂී හොටක් පිහිටා තිබෙනවා" මෙම ඉපැරණි උරගයා 'Eorhynchochelys sinensis' ලෙස නම් කර ඇති අතර, එහි තේරුම වන්නේ "චීනයෙන් එළිදරව් වූ හොටක් සහිත කැස්බෑවා" යන්නය. ඉපැරණි කැස්බෑවන්ගේ ඉදිරිපස ස්වරූපය මෙලෙස සිත්තමට නගා ඇත කැස්බෑවන්ට කටුව වැදගත් වන්නේ ඇයි? කටුවෙන් කැස්බෑවාට ආරක්ෂාව සපයන අතර, ඔවුන්ට දිය යට වැඩි කාලයක් ජීවත් වීමට උපකාරී වේ. මෙයට හේතුව වන්නේ, කටුව තුළ පොටෑසියම් සහ මැග්නීසියම් ගබඩා වී තිබීම නිසා ලැක්ටික් අම්ලය සෑදීම වැළකීමයි. අස්ථි 50 කට ආසන්න ප්‍රමාණයකින්, කටු, උරහිස් අස්ථි සහ කොඳු ඇට පෙළක් එකට එකතු වීමෙන් තැනෙන ශක්තිමත් ස්ථරයකින් මෙම කටුව නිර්මාණය වී තිබේ. "කැස්බෑවන් හරි පුදුම සත්තු ජාතියක්. ඔවුන්ට අත පය සියල්ල ඇතුළට දමා ගත හැකි ජැකට්ටුවක් වැනි කටුවක් තිබෙනවා" යැයි ආචාර්ය නිකොලස් ෆ්‍රේසර් පැවසීය. "ඔබේ උරහිස් ඇටසැකිල්ල ඇතුලට ඔබා ගන්න පුළුවන් කියා සිතා බැලුවොත්, ඔබ යමෙක සිර වී ඇති ලෙස හැඟෙයි" "කැස්බෑවන් අසාමාන්‍ය සත්තු ජාතියක්. හැබැයි ඔවුන් වසර මිලියන 200කට එහා කාලයක සිට පැවත එනවා" මුල් යුගයේ ජීවත් වූ කැස්බෑවන්ගේ ශරීර ස්වභාවය දැක්වෙන සිතුවමක් කැස්බෑවන්ට ඔවුන්ගේ කටුව ලැබුණේ කෙසේද? කටුව පරිණාමය වූ ආකාරය ගැන වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට බොහෝ ප්‍රශ්න පැන නැගී තිබිණි. මින් පෙර හමුවූ පොසිලවල වාර්තාවලට අනුව මුල් යුගයේ ජීවත් වූ කැස්බෑවන්ගේ කටුව සම්පූර්ණයෙන්ම පිහිටා තිබුණි. නවතම සොයාගැනීමට පෙර සොයා ගත් කැස්බෑ ශරීරයේ යටි කොටසේ සම්පූර්ණයෙන් වැඩුන කටුවක් (මෙම කොටස 'ප්ලස්ට්‍රොන් (plastron)' නමින් හඳුන්වයි) දකින්නට ලැබුණ අතර, ඔහු නම් කර තිබුණේ Odontochelys ලෙසය. නමුත් එම කැස්බෑවගේ ශරීරයේ උඩ කොටසේ කටුවකින් සෑදුන ආවරණයක් (මෙම කොටස හඳුන්වන්නේ 'කැරපේස් (carapace)' යන නමිනි) දක්නට නොලැබිණි. කැස්බෑ කටුව පරිණාමය වූ ආකාරය පිළිබඳ සොයා ගැනීමට ඉතා ආසන්න බව පරීක්ෂකයෝ පවසති. "ළඟදීම හමුවූ කටුවක් නොමැති සතාගේ මේ දේ අපිට පෙනෙනවා. කටුවක් නිර්මාණය වීමට අවශ්‍ය ලෙස ඔහුගේ ශරීරයේ කටු විහිදෙන්න පටන් ගෙන තිබුණා" යැයි ආචාර්ය නිකොලස් ෆ්‍රේසර් පැහැදිලි කළේය. "මීළඟට සොයාගන්නා පොසිලයෙන් අනාවරණය වන්නේ කුමක්ද කියා අපි බලා සිටිනවා" මෙම සොයාගැනීම් පිළිබඳ විස්තර 'නේචර් (Nature)' සඟරාවේ පළ කර ඇත. (බීබීසී විද්‍යා වාර්තාකාරිනී ලෝරා ෆොස්ටර්ගේ ලිපියක් ඇසුරිණි) මේ තොරතුරුද කියවන්න:
රුපියල් කෝටි ගණනක් වැය කොට මෝටර් රථ මිලදී ගනු ලබන්නේ ඇමතිවරුන්ගේ වැඩ කිරීමට නොව ජනතාවට සේවය කිරීමට බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
අද බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීමේ තීරණය පිළිබඳ බීබීසී සංදේශය ප්‍රශ්න කළ අවස්ථාවේදී. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති මන්දිරයට පමණක් මෝටර් රථ 1500ක් පමණ ලබාගෙන තිබූ බව සඳහන් කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක අවශ්‍යතාවයට සරිලන ලෙස නියමිත ක්‍රමවේදයට අනුව තම රජය මෝටර් රථ මිලදි ගන්නා බවයි කියා සිටියේ. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ වසර විස්සකින් පමණ නිසි ලෙස අමාත්‍යංශවලට වාහන මිලදී ගෙන නොමැති බවයි. මෝටර් රථ මිලදී ගැනීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයිදැයි යන්න සංදේශය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් රථ අවශ්‍ය බවයි. ඉන්දියාවේ ඇමතිවරුන් දේශීය නිෂ්පාදිත සාමාන්‍ය මෝටර් රථ පාවිච්චි කරද්දී ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ට එසේ බැරිදැයි මාධ්‍යවේදියකු විමසූ විට රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ ඉන්දියාවේ ඇමතිවරුන්ද දැන් වෙනස් වී ඇති බවයි. අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන එකයි දශම එකකට අධික මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට අද (පෙබ 21) තීරණය විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධ සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව, ශිෂ්‍යයින් දහසකගේ පමණ සුදුසුකම් විමසා බැලීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මෙම තීරණයට එළඹුණු සාකච්ඡාව සඳහා නීතිපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙන්ම එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ද සහභාගි වූහ. මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොළ අසලදී විරෝධතා රැළියක් ද පැවැත්විණි. සයිටම් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පත්කරන ලද නව පුද්ගල කමිටුවේ නිර්දේශය වූයේ සයිටම් අර්බුදය විසඳීම සඳහා නව ආයතන දෙකක් පිහිටුවීම බව පසුගිය මාසයේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් විය. එම නව ආයතන දෙක සහ ඒවාට පැවරෙන කාර්යයන් ද එහි විස්තර කර තිබිණි. එයින් කියවුනේ එකිනෙකින් වෙන් වූ අභිනව ආයතන දෙක වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවය. යෝජිත නිර්දේශ අනුව මෙයින් එකක් වන්නේ සයිටම් ආයතනයේ සිටි සියලුම වෛද්‍ය සිසුන් බඳවා ගනිමින් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන ලාභ නොලබන තාවකාලික ආයතනයකි. සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධි ලබාගත් පසුව ඊට අලුතින් සිසුන් බඳවා නොගන්නා බව ද එහි දැක්විණි. දෙවැන්න, 2019 වසරේ පටන් සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන ලාභ නොලබන නව ආයතනයකි. 2019 වසරේ පටන් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන එම දෙවෙනි ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලද යුතු අතර ඒ සඳහා එම ආයතනය අවශ්‍ය අවම ප්‍රමිතීන් සපුරා ලිය යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් විය.
කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව සොයා ගත් එන්නත මගින් මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කරවන බව රුසියානු විද්‍යාඥයෝ පවසති.
අවශ්‍ය සියලුම අත්හදා බැලීම් මෙම එන්නත සමත් වී ඇති බවත් එය තමන්ගේ දියණියකට ලබා දුන් බවත් රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පසුගිය මාසයේ දී පැවසීය ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ එම එන්නත පිළිබඳව නිකුත් කර ඇති ප්‍රථම වාර්තාවේ ය. මෙම වාර්තාව The Lancet නමැති වෛද්‍ය සඟරාවේ පළ කර තිබේ. මෙම එන්නත භාවිත කළ සියලු දෙනාගේම ශරීරය තුළ කොරෝනාවෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව එම සඟරාවේ සඳහන් කර ඇත. මෙම එන්නත මගින් බරපතළ අතුරු ආබාධ කිසිවක් ඇති නොවූ බවද රුසියානු වාර්තාවේ සඳහන්ය. මෙම එන්නත රුසියානුවන් සඳහා භාවිත කිරීමට අවසර දුන්නේ අගෝස්තු මාසයේදී ය. කොරෝනාවෛරසයට එරෙහිව එන්නතකට එවැනි අවසරයක් ලැබුණේ පළමු වතාවට ය. නමුත් විශේෂඥයන් පවසන්නේ මෙම රුසියානු එන්නත ඵලදායී බවට සහ ආරක්‍ෂිත බවට තහවුරු කිරීම සඳහා සිදු කෙරුණු අත්හදා බැලීම් ප්‍රමාණවත් නොවන බවය. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව තම ප්‍රතිඵල පිළිබඳව ඉතා ඉහළින් කතා කළේය. කෙසේ නමුත් ඉතා කෙටි කාලයක් ඇතුළත මෙවැනි එන්නතක් සංවර්ධනය කිරීම පිළිබඳව ඇතැම් විශේෂඥයෝ සැක පළ කරති. අවශ්‍ය සියලුම අත්හදා බැලීම්වලින් මෙම එන්නත සමත් වී ඇති බවත් එය තමන්ගේ දියණියකට ලබා දුන් බවත් රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පසුගිය මාසයේ දී පැවසීය. මෙම වාර්තාව පවසන්නේ කුමක් ද? The Lancet සඟරාව පවසන්නේ මෙම රුසියානු එන්නත පිළිබඳව අත්හදා බැලීම් දෙකක් පසුගිය ජුනි සහ ජුලි යන මාසවල සිදු කෙරුණු බවය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 38 දෙනෙකුට මෙම එන්නත ලබා දී ඇති අතර ඉන් සති තුනකට පසුව එහි දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇත. වයස අවුරුදු 18ත් 60ත් අතර වන මෙම පුද්ගලයන් දින 42ක් පුරා නිරීක්ෂණයට ලක් කර තිබේ. සති තුනක කාලයක් ඇතුළත ඒ සියලු දෙනාගේ සිරුර තුළ ප්‍රතිදේහ වර්නධය වී ඇත. බොහෝ දෙනා පෙන්නුම් කළ පොදු අතුරු ආබාධයන් ලෙස දක්වා ඇත්තේ හිසරදය සහ හන්දිපත් කැක්කුම පමණි. කොවිඩ් 19 රෝගයට එරෙහිව මෙම එන්නතේ ඇති සඵලතාව සහ ඉන් ඇතිවිය හැකි දීර්ඝකාලීන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවදුරටත් නිරීක්ෂණ කටයුතු පවත්වාගෙන යායුතුව ඇතැයි මෙම වාර්තාවේ සඳහන් වේ. මෙම එන්නත තුන් වැනි අදියරේ අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන, "විවිධ වයස් කාණ්ඩවලට අයත්" 40,000ක පිරිසක් යොදා ගැනීමට නියමිත ය. රුසියානු එන්නත සඳහා යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන adenovirus හි අනුවර්තිත මාදිලියකි. තව බොහෝ දුරක් යා යුතුව පවතී බීබීසී සෞඛ්‍ය වාර්තාකාරිනී, ෆිලිපා රොක්ස්බි ගේ විශ්ලේෂණයක්. එක්සත් රාජධානියේ විද්‍යාඥයන්ගෙන් පළ වී ඇති ප්‍රතිචාර අතර, "ධෛර්යමත් කරවන සුළුයි" සහ "මේ දක්වා ඉතා හොඳයි" වැනි ප්‍රතිචාර ද පවතී. නමුත් තව බොහෝ දුර යා යුතුව පවතින බව නම් පැහැදිලිය. අත්හදා බැලීමේ දෙවන අදියර සඳහා යොදා ගත් සියලු දෙනා තුළ ප්‍රතිශක්තිය ප්‍රතිචාර දක්වා ඇති පමණින් එම සියලු දෙනා කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වනු ඇති බවට සහතිකයක් නොමැත. එවැන්නක් තවම තහවුරු වී නොමැත. මෙතෙක් පවතින ප්‍රතිඵල අනුව අපට කිව හැක්කේ වයස අවුරුදු 18ත් 60ත් අතර නිරෝගී පුද්ගලයන්ට මෙම එන්නත දින 42ක් පුරා ආරක්ෂා සහිත යැයි පෙනීයන බව පමණකි. ඊට හේතුව, මෙම අත්හදා බැලීම දියත් වී ඇත්තේ එතුවක් කල් පමණි. නමුත්, කොවිඩ් 19 වඩාත් අවදානම් විය හැකි වයසින් වැඩි පුද්ගලයන් සහ වෙනත් රෝගාබාධ සහිත පුද්ගලයන් සඳහා මෙම එන්නත කෙතරම් දුරට සාර්ථක විය හැකිද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයිය හැක්කේ වඩා පුළුල් වූ සහ දීර්ඝකාලීන අත්හදා බැලීම් සිදු කිරීමෙන් අනතුරුව ය. මෙම එන්නත කෙතරම් ඵලදායී වේද යන්න විද්‍යාඥයන්ට තහවුරු කර ගත හැකි වන්නේ ද වැඩි ජනගහනයක් මත සිදුවන අත්හදා බැලීමකින් පමණි. විවෘතභාවයක් සහ විනිවිදභාවයක් සහිතව ඉහත කී අත්හදා බැලීම් සිදු කරන ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. මේ වන විට ලොව පුරා අත්හදා බැලෙමින් පවතින එන්නත්වලින් යම් එන්නතක් තවත් එන්නතකට වඩා ඵලදායී විය හැක. යම් එන්නතක් ඇතැම් මනුෂ්‍ය කාණ්ඩයකට පමණක් වැඩි ප්‍රතිඵල පෙන්විය හැක. එමෙන්ම තවත් එන්නතක් විශේෂිත වූ යම් තත්ත්වයන් හෝ වාතාවරණයන් යටතේ වඩා ඵලදායී විය හැකිය. එහෙයින්, ඒවා කෙතරම් දුරට ක්‍රියාකාරී වේද සහ කවුරුන් සඳහා ඵලදායී වේද යන්න පිළිබඳව නිසැකවම දැන ගන්නා තුරු, සියලු දෙනා සඳහා සුදුසු විය හැකි එක් එන්නතක් ගැන බලාපොරොත්තු තැබීම දුෂ්කරය. ලැබී ඇති ප්‍රතිචාර කෙබඳු ද? රුසියානු එන්නත සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ශක්තිය ලබා දුන් රුසියානු ආයෝජන අරමුදලේ ප්‍රධානියා වන කිරිල් දිමිත්‍රියෙෆ්, මාධ්‍ය හමුවකදී කියා සිටියේ "කිසිදු හේතුවක් නොමැතිව රුසියානු එන්නත විවේචනයට ලක් කරන පිරිසට මෙම වාර්තාව බලසම්පන්න ප්‍රතිචාරයක්" බවය. මෙහි මීළඟ අදියරේ අත්හදා බැලීම් සඳහා මේ වන විටත් 3,000ක පිරිසක් බඳවා ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. රුසියාවේ සෞඛ්‍ය ඇමති මිඛායිල් මුරශ්කෝ කියා සිටියේ ලබන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පටන් ජනතාව එන්නත් කිරීම ආරම්භ කරනු ඇති බවය. කොවිඩ් 19යෙන් වැඩි අවදානමක් අත්විය හැකි පිරිසට මෙහිදී ප්‍රමුඛතාව ලැබෙන බව ඔහු පැවසීය. මෙම එන්නත කෙතරම් ඵලදායී වේද යන්න විද්‍යාඥයන්ට තහවුරු කර ගත හැකි වන්නේ ද වැඩි ජනගහනයක් මත සිදුවන අත්හදා බැලීමකින් පමණි කෙසේ නමුත් මෙම එන්නත වෙළෙඳපොලට පැමිණීමට තව බොහෝ දේ සිදු විය යුතු බවට විශේෂඥයෝ අනතුරු අඟවති. ලන්ඩන් නුවර සිටින මහාචාර්ය බ්‍රෙන්ඩන් වෙන් ගේ අදහස අනුව මෙම වාර්තාවේ දැක්වෙන්නේ "මේතාක් ඉතා හොඳ" බවක් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, කොරෝනාවෛරසයට එරෙහිව ලොව පුරා මේ වන විට සංවර්ධනය වෙමින් පවතින එන්නත් ප්‍රමාණය 176කි. ඉන් එන්නත් 34ක් මේ වනවිට මිනිස් සිරුර මත අත්හදා බැලීම ආරම්භ කර තිබේ. එහි තුන්වන අදියරට පැමිණ ඉදිරියෙන් ම තිබෙන්නේ එන්නත් අටක් පමණි.
දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කිරීමට තීරණය කරයි.
අද, අඟහරුවාදා මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මේ බව අනාවරණය කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කිසිදු කණ්ඩායමක් සමඟ ගිවිසුම් වලට එළඹ නැති බවයි. ගිවිසුම් ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දරන ස්ථාවරය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය ඉතා උනන්දුවෙන් බලා සිටි බව මාධ්‍ය සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය. එපමණක් නොව පසුගිය සති කිහිපය තුල උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දෙමළ ජනතාවගේ මතය විමසා බැලූ බවත් ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු පක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහය පල කිරීමට තීරණය කළ බවත් ඔහු පැවසුවේය. දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් පොදුවේ සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කල බව සඳහන් කල දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ එකඟතාවක් ඇති කර ගෙන නැති බවයි. “දේශපාලන විසඳුමක් සම්බන්ධයෙනුත් එකඟතාවක් නැහැ. කඳවුරු ඉවත් කරන කරුණු සම්බන්ධයෙනුත් එකඟතාවයක් මොනවත් නැහැ, ” යනුවෙන් ඔහු මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය. ප්‍රජාතන්ත්‍රවාදය මුළු රටේ තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගත් බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැවත නිර්මාණය කළ යුතුය යන පදනම තම පළමු අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කළාට පසු දේශපාලන පක්ෂ සමඟ ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් එවැනි තත්වයක් යටතේ සාකච්ඡා කිරීමට පහසුකම් සැලසෙන බව සඳහන් කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඇති විය යුතු බවත් එය දෙමළ ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොටස් වලට අදාළ වැදගත් ප්‍රශ්නයක් බවයි ඔහු කියා සිටියේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම උදෙසා මහජන අදහස් ලබාගැනීම සඳහා පත් කර ඇති කමිටුවට මේ වන විට පන්දහසකට අධික අදහස් සංඛ්‍යාවක් ලැබී තිබෙන බව කමිටුව පවසයි.
කමිටුවේ සභාපති නීතිවේදී ලාල් විජේනායක කමිටුවේ සභාපති නීතිවේදී ලාල් විජේනායක පවසන්නේ නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම් කටයුතු ලබන 31 වෙනිදා අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. මේ දිනවල කමිටුව විසින් තෝරා ගත් පුද්ගලයින්ගෙන් අදහස් සටහන් කර ගැනීම සිදු කරන බව කී ඔහු මේ යටතේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාගේ අදහස් සටහන් කර ගෙන ඇති බවයි කියා සිටියේ. “මේ යටතේ අපි දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින් ,සහ වෘත්තීය සමිති නායකයින්ගෙන් අදහස් සටහන් කර ගැනීම සිදු කරනු ලබනවා. ඊට අමතරව ප්‍රධාන ඇමතිවරුන්ගෙන්ද අදහස් ලබාගැනීමට අපි ක්‍රියා කළා.” සිය කමිටුවේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් ලාල් විජේනායක කියා සිටියේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කථා කිරීමේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාවට හිමි වන්නේ සුවිශේෂ තැනකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් රට පුරා ජනතාව දක්වා ඇති අදහස් පිළිබඳ විමසූ විට නීතිවේදී ලාල් විජේනායක කියා සිටියේ ජනතාව විසින් ඉදිරිපත් කර ඇත්තේ මිශ්‍ර අදහස් බවයි. “ඇතැම් පිරිස් කියා සිටියා විධායක ජනාධිපති තනතුර මුළුමනින් ම අහෝසි කළ යුතුයි කියලා. තවත් පිරිසක් කියා සිටියා එහි බලතල කප්පාදු කර ඒවා පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවට. මේ වගේ මිශ්‍ර අදහස් තමා ජනතාවගෙන් ඉදිරිපත් වුනේ.” නීතිවේදී විජේනායක පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් අඩංගු අවසන් වාර්තාව අප්‍රේල් මස අවසාන භාගයේ දී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ලෝකයේ සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද පැරණි වාහනවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. ධාවනයෙන් ඉවත්කර තිබෙන පැරණි වාහන නැවත අලුත්වැඩියා කර භාවිතයට ගැනීම ඉතා ජනප්‍රිය වෙමින් පවතී.
අලුත්වැඩියා කර නැවත භාවිතා කරන වාහන අතර 1949 බ්‍රිතාන්‍යයේ දී නිෂ්පාදනය කළ 'මොරිස් මයිනර්' රථයට ප්‍රමුඛ ස්ථානයක් ලැබේ. නවීන පන්නයේ ජපන් වාහන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමත් සමග, මොරිස් මයිනර් රථවලට තිබූ ඉල්ලුම අඩු විය. 1971 දී මොරිස් මයිනර් බ්‍රිතාන්‍ය සමාගම වසා දමන ලද අතර, දැනටත් එම වාහන හැට දහසක් පමණ ධාවනයේ යෙදෙමින් ඇති බවත් පැවසෙයි සමාගම වසා දැමීමත් සමග ධාවනය වෙමින් තිබූ මොරිස් මයිනර් වාහනවලට අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත් විය. මොරිස් මයිනර්:"අපි අධිවේගී මාර්ගයේ 100ක වේගයෙන් කොළඹ ගියා" මොරිස් මයිනර් වාහන උපාංග යුරෝපා රටක නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදු වන නිසා එම නිෂ්පාදනාගාරය 1995 දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද්දේය. මේ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ ද 'මොරිස් මයිනර්' රථය ඉතා ජනප්‍රිය තත්වයේ පැවතීම මෙම නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව විය. මෙම නිෂ්පාදනාගාරය පිහිටුවා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ වන අතර, අදටත් ලොව රටවල් ගණනාවක ධාවනය වෙමින් පවතින මොරිස් මයිනර් සදහා අවශ්‍ය අමතර කොටස් වර්ග 650 කට වැඩි සංඛ්‍යාවක් එහි නිෂ්පාදනය කරනු ලැබේ. "මේ ආයතනය 1995 දී පටන් ගන්නකොට තමයි මම මෙතනට සම්බන්ධ වුණේ. එතකොට අපිට කිව්වේ මේ වාහන වැඩිම වුනොත් තව අවුරුදු දහයක් ලෝකේ පවතීවී කියලා. නමුත් අවුරුදු 23 ක් තිස්සේ තවමත් මේ වාහන පවතිනවා. නමුත් අපි අමතර කොටස් නිෂ්පාදනය කරන නිසා තවත් අවුරුදු පනහක් වත් මේ වාහන තියේවි කියල මම හිතනවා" යැයි ගාල්ල මොරිස් මයිනර් අමතර කොටස් නිපදවන 'ක්ලැසික් කාර්' පෞද්ගලික සමාගමේ කළමනාකරු ඩී.ඒ. රවීන්ද්‍ර බීබීසි සිංහල සේවයට පැවසුවේය. ගාල්ල, පින්නදූව ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම නිෂ්පාදනාගාරයේ සේවකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විතය. අමතර කොටස් නිෂ්පාදනයට අමතරව මොරිස් මයිනර් වාහන නැවත ධාවනයේ යෙදවීමට සුදුසු පරිදි නවීකරණය කිරීමද එහි සිදු කෙරෙයි. "අපි වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නේ වාහනයේ බඳ කොටස්. ඒ වගේම, මොරිස් මයිනර් වාහන වල 'චැසි ලෙග්' වල ඉඳලා 'රබර් බුෂ්' ඇතුළු එන්ජිමේ සමහර කොටස් අපි නිෂ්පාදනය කරනවා" රවීන්ද්‍ර පැවසීය. අනෙකුත් වාහන උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවල භාවිතා කරන නවීන තාක්ෂණය ගාල්ලේ පිහිටි මෙම මොරිස් මයිනර් නිෂ්පාදනාගාරයේ දක්නට නැත. මේ තොරතුරුද කියවන්න: අමතර කොටස් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ කීපයක් මෙම ආයතනය සතුව ඇතත් ඒවා ඉතා පැරණිය. කළමනාකරු රවින්ද්‍රට අනුව ආයතනයේ 'ශක්තිය' වී ඇත්තේ අත්දැකීම් බහුල පළපුරුදු සේවක පිරිසය. "අපට ලොකු පිරිසක් නැහැ. නමුත් දැනට වැඩ කරන ගොඩක් අය මොරිස් මයිනර් වාහනය ගැන හුඟක් දන්න දක්ෂයන් පිරිසක්. අපිට නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය නැහැ මේවා හදන්න" ඔහු පැවසුවේය. ඩෙන්මාර්ක් ජාතිකයෙකු විසින් 1995 දී ආරම්භ කළ මෙම සමාගම සිය නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයක් ඩෙන්මාර්කයට අපනයනය කරන අතර, ඔවුන් එම උපාංග එංගලන්තය ඇතුළු අනිකුත් රටවලට බෙදා හරිනු ලබයි. "මේ සමාගම ආරම්භ කළ නීල්සන් මහත්තයා ශ්‍රී ලංකාවට ආපු අවස්ථාවක, අපේ රටේ මොරිස් මයිනර් වාහන වලට තිබෙන උනන්දුව දැකල තමයි නිෂ්පාදනාගාරය මෙහි ආරම්භ කළේ. අනික මෙවැනි උපාංග යුරෝපා රටවල නිෂ්පාදනය කරන්න ලොකු වියදමක් යනවා. අපේ රටේ නිෂ්පාදන වියදම ඉතා අඩුයි" 'ක්ලැසික් කාර්'සමාගමේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරන ලයනල් ද සිල්වා පැවසීය. ලයනල් ද සිල්වා මොරිස් මයිනර් රථවලට දැඩි ලෙස ඇලුම් කරන අතර, ඔහු එම රථයක හිමිකරුවෙක් වී සිටි බවත් පැවසුවේය. "අපේ ආයතනය සතු මොරිස් මයිනර් රථයෙන් තමයි අපි බැංකුවට යන්නේ. ගාල්ල ටවුමට ගියාම විදේශිකයන් වාහනය වට කරගෙන ගොඩක් පින්තූර ගන්නවා. ඔවුන් මේ වාහනවලට හරිම කැමතියි," ඉතා හොඳ ධාවන තත්වයේ තිබෙන කාර්යාල කටයුතු සඳහා භාවිතා කරන මොරිස් මයිනර් රථය පෙන්වමින් ලයනල් අප සමග පැවසුවේය. "අපි මේ වාහනේ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයක වේගයෙන් කොළඹ ගිහින් ඇවිත් තිබෙනවා" අප කතාබහට එක් වූ රවීන්ද්‍ර පවසා සිටියේය. තවත් තොරතුරු: අතීතයේ දී මොරිස් මයිනර් මාදිලියේ රථයකින් ගාල්ල සිට යාපනය දක්වා ගමන් කිරීමට හැකියාව තිබිණි. නමුත් වර්තමානයේදී මෙම රථය දීර්ඝ ගමන් සඳහා භාවිතා කරන්නේ නම් ඉතා හොඳින් නඩත්තු කර තිබිය යුතු බව ඔහු තවදුරටත් පැවසුවේය. "ඇත්තටම මේ ගොඩක් වාහන දැන් භාවිතා කරන්නේ 'ඇන්ටික්' විදියට. ගෙදර අමතර වාහනය විදියට තිබෙනවා, නැත්නම් හෝටල්වල ප්‍රදර්ශනයට තබනවා. ගොඩක් වාහන කෙටි ගමන්වල විතරයි යෙදෙන්නේ ඒ නිසා වාහන කැඩෙනවා අඩුයි" ශ්‍රී ලංකාව තුළ මොරිස් මයිනර් වාහන දෙදාස් පන්සියයක් ධාවනයේ යෙදෙන බවට ඇස්තමේන්තු කර තිබෙන අතර ඒවාට අවශ්‍ය උපාංග ලබා දීම තම ආයතනය මඟින් සිදුකරන බව රවීන්ද්‍ර පවසන්නේය. "දැන් ලෝකය වටා හෝටල්වලින් මොරිස් මයිනර් වාහනවලට ඉල්ලුමක් තිබෙනවා - ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට තියා ගන්න. මොකද යුරෝපා සංචාරකයන් මේවට හරිම ආසයි. අපි පරණ කාර් අලුත් වැඩියා කරලා ඔවුන්ට ලබා දෙනවා" මෙලෙස අලුත්වැඩියා කර ලබා දෙන වාහනවල විශේෂත්වය වන්නේ ඒවා පෙර තිබුණු ආකාරයට සැකසීමයි. පැරණි වාහනවලට නව උපාංග සවිකර නවීකරණ කිරීමට ඇතැමෙක් කටයුතු කරති. නමුත් මෙම සමාගමෙන් සිදු කරනු ලබන්නේ වාහනය පෙර තිබුණු ආකාරයට අළුත් වැඩිය කිරීමය. "දැන් මේ වාහනේ 1960 වර්ෂයේ නිෂ්පාදනය කරපු එකක්. අපි මේක හදන කොට ආසනේ පටන් සෑම කොටසක්ම මුල් තත්වයේ, ඒ වර්ෂයට අදාළ වාහන තිබුණු විදිහටමයි හැදුවේ. ගොඩක් අය වාහන නවීකරණය කරන්න ගිහින් ඒවායේ වටිනාකම නැති කරගන්නවා" මොරිස් මයිනර් රථයක් පෙන්වමින් රවීන්ද්‍ර පැවසීය. "අපි පොඩි වෙනස් කිරීම් කරනවා. උදාහරණයකට මේ පැති වීදුරු දෙක දික් කරලා පැති වීදුරු තුනක් දැම්මා" ඔහු තවත් මොරිස් මයිනර් වාහනයක් පෙන්වමින් පැවසුවේය. ගාල්ල පින්නදූවේ ඇති මෙම මොරිස් මයිනර් නිෂ්පාදනාගාරයට අමතරව ගාල්ල බටදූව ප්‍රදේශයේද තවත් මොරිස් මයිනර් අමතර කොටස් නිෂ්පාදනාගාරයක් ඇත.
ලෝක ආර්ථික සංසදයේ පර්යේෂණ අනුව, කාන්තාවන්ට සහ පුරුෂයින්ට සමාන අවස්ථා හිමිවීම අතින් ලොව ඉදිරියෙන්ම සිටින්නේ අයිස්ලන්තයය.
එහෙත් එහි අදහස මේ වන තුරුම අයිස්ලන්තයේ කාන්තාවන්ට එක හා සමාන කාලසීමාවක් තුළ සමාන සේවයක් සැපයීම වෙනුවෙන් සමාන වැටුපක් හිමි වූ බව නොවේ. ස්ත්‍රී, පුරුෂ අයිතිවාසිකම් විෂයයෙහිලා එතරම් ඉදිරියෙන් සිටින රටක පවා එක හා සමාන සේවයක් වෙනුවෙන් ලැබෙන වැටුප සලකා බැලීමේදී කාන්තාවන් සහ පුරුෂයන් අතර 6% ක පරතරයක් පැවතින. සමාන සේවයක් වෙනුවෙන් ලොව පුරා බොහෝ රටවල සාමාන්‍යයෙන් කාන්තාවන්ට හිමිවන්නේ පුරුෂයන්ගේ වැටුප මෙන් අඩකට මඳක් වැඩි මුදලකි. මේ තත්වය සලකා බැලූ අයිස්ලන්ත ආණ්ඩුව 'සමාන වැටුප් ප්‍රමිතීන්' නමින් පසුගියදා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කළේය. ස්ත්‍රී, පුරුෂ වැටුප් පරතරයට විසඳුමක් ඒ යටතේ ආයතනයක සෑම රැකියාවක්ම විශ්ලේෂණය කෙරිණ. සෑම රැකියාවක්ම කෙතරම් දුෂ්කර ද සහ ආයතනයට කෙතරම් වැදගත් ද යන්න සලකා බලා අදාළ ලකුණු ගණනක් ලබා දෙනු ලැබිණ. එම ලකුණු අනුව සමාන ලකුණු සහිත රැකියාවක නිරත දෙදෙනෙකුගේ වේතන වෙනස් නම් එය නිවැරදි කිරීම අදාළ ආයතනයට පැවරිණ; අඩු වැටුප් ලබන පුද්ගලයාගේ වැටුප ඉහළ දැමීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය. එය නිවැරදි නොකළේ නම් අදාළ ආයතනයට දඩයක් නියම කළ හැකිය. මේ ක්‍රමය යටතේ අයිස්ලන්තය, කාන්තාවන්ටත් සමාන වැටුප් ගෙවන මෙන් සමාගම්වලට බල කෙරුණු පළමු රට බවට පත්විය. උදාහරණයක් ලෙස අයිස්ලන්ත රේගු දෙපාර්තමේන්තුවේ නීති උපදේශකයෙකු වන ගුද්මුන්දර් සහ දත්ත විශ්ලේශිකාවක වන අවුදුර් යන දෙදෙනාගෙන්ම ආයතනයට එක හා සමාන සේවයක් සිදුවන බව සමාලෝචනයකින් හෙළිවිණ. එබැවින් ගුද්මුන්දර්ගේ වැටුපට සමාන වැටුපක් ලබාදීම පිණිස අවුදුර්ගේ වේතනය ඉහළ දැමීමට ආයතනයට සිදුවිය. සිය ආයතනයේ වැටුප් ක්‍රමය පිළිබඳව විශ්වාසය තැබිය හැකි බැවින් සියලු සේවක සේවිකාවන් සතුටෙන් සේවයේ නිරතවෙන බව රේගු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා පවසයි. ලෝක ආර්ථික සංසදය මීට වසර කිහිපයකට ඉහතදී නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව ලොව පුරා බොහෝ රටවල කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය වැඩි වෙමින් පවතී. එසේ සමාන අවස්ථා පරතරය වැඩිවෙමින් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වී ඇති බව ද පර්යේෂණයෙන් හෙළිදරවු වී තිබුණි. පවතින ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ පවා වසර 2069 වන තුරු ස්ත්‍රී, පුරුෂ වැටුප් පරතරය නිමා කළ නොහැකි වනු ඇතැයි මෑතදී නිකුත් වූ වාර්තාවකින් අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට දිගින් දිගටම තර්ජන එල්ලවෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
ඒ සියලු චෝදනා පිළිබඳව පරීක්ෂා කරන බවට ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ප්‍රතිඥා දුන් බවයි, එක්සත් ජාතීන් පවසන්නේ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ක්‍රියාධරයන්ට ශ්‍රී ලංකාවේ දී එල්ලවන තර්ජන සම්බන්ධ වාර්තාවේ යි, මහ ලේකම්වරයා ඒ බව සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව මේ තත්ත්වය උග්‍ර වී ඇති බවයි, වාර්තාවේ සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වූ මානව හිමිකම් මණ්ඩලයේ 19 වැනි සැසිවාරයට සහභාගි වීම පිණිස ජිනීවා නුවරට ගොස් සිටි සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු ක්‍රියාකාරිනියන් ට එහිදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ බිය ගැන්වීම්වලට සහ ගැරහීම්වලට ලක් වීමට සිදුවූ බව වාර්තාව සඳහන් කරයි. 'අත පය කඩනවා' එමෙන්ම මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව මාර්තු 19 වැනි දින ජිනීවා නුවර පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් සිටි අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩට, ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත පිරිස විසින් හිරිහැර කරන ලද බව ද වාර්තාවේ සඳහන්. විදේශගත වී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ඕනෑම මාධ්‍යවේදියකු යලි සියරට පැමිණියහොත් අත පය කඩා දමන බවට අමාත්‍ය මර්වින් සිල්වා තර්ජනය කළ බවත් වාර්තාවේ සඳහන් ඉන් අනතුරුව සිය සැමියා අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇය පවරා තිබෙන නඩුව විභාග වන අතරවාරයේ, ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා, ජිනීවා සමුළුවට සහභාගි වීම පිළිබඳව සන්ධ්‍යා එක්නැලිගොඩ ගෙන් ප්‍රශ්න කරන ලද වගත් මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි. සැසිවාරය පැවති සමයේ දී මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව එල්ලවන තර්ජන වලට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පවා හවුල් වූ බව පෙන්වා දෙන එක්සත් ජාතීන්, ඩේලි මිරර්, දිනමිණ, ලක්බිම, සිළුමිණ සහ නේෂන් පුවත්පත් සහ ලංකා සී නිවුස් වෙබ් අඩවිය මෙන්ම රාජ්‍ය රූපවාහිනියේ ක්‍රියාකාරිත්වය විශේෂයෙන් සඳහන් කරයි. මේ අතර එක්සත් ජාතීන්ගේ යෝජනාවට එරෙහිව කිරිබත්ගොඩ පැවති මහජන රැළියක් ඇමතූ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු සහ සුනන්ද දේශප්‍රිය "ද්‍රෝහීන්" ලෙසින් හඳුන්වා දෙමින්, විදේශගත වී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ඕනෑම මාධ්‍යවේදියකු යලි සියරට පැමිණියහොත් ඔවුන්ගේ අත පය කඩා දමන බවට තර්ජනය කළ බවත් වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් දැනුම් දුන් විට ඒ සියලු චෝදනා පිළිබඳව පරීක්ෂා කරන බවට ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා මානව හිමිකම් මණ්ඩලයේ සභාපති වරයාට ප්‍රතිඥා දුන් බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා සබැඳි අඩවි බීබීසීයෙන් පරිබාහිර වෙබ් අඩවිවල අඩංගුදේ පිලිබඳව බීබීසීය වගකීම් නොදරයි
යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළුව යාපනයේ උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කෙරේ.
එම නිලධාරීන් අද සිකුරාදා සිට වෙනත් පළාත්වලට මාරු කිරීමට පොලිස් පතිවරයා නියෝග කොට තිබේ. මෙම සතිය ඇතුළත වාර දෙකක්ම යාපනයට ගිය පොලිස්පතිවරයා කළ මෙම මාරුවීම සේවා අවශ්‍යතා හා පුරප්පාඩු ගැන සලකා බැලීමෙන් පසු සිදු කළ මාරු කිරීම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය. විශේෂයෙන්ම යාපනයේ කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා පවා මාරු කිරීමට මේ අවස්ථාවේදී තීරණය කළේ යාපනයේදී පාසල් දැරියක් දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය හේතුවෙන් නොවේ දැයි බී.බී.සී.සන්දේශය පොලිස් ප්‍රකාශකයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගත වූ කාලයේ දී යාපනයේ සිදුවූ බොහෝ සිදුවීම් සහ දැනට ඇති පුරප්පාඩු ගැන සැලකිල්ල යොමු කොට එම ස්ථාන මාරු වීම් සිදු කළ බවයි. යාපනයේ සිටින ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියාගේ වරදින් පාසල් දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය මෙතරම් දුර දිග ගිය බවට යාපනයේ ජනතාව නගන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ කවර උසස් නිලධාරියෙකු වුවද සිය රාජකාරිය අත පසු කළ බවට පොලිස්පතිවරයාට තොරතුරු ලැබෙන්නේ නම් එම නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තීරණයක් ගනු ඇති බවයි. යාපනයේ වේලනෙයි සහ සන්දිලිපායි යන පළාත් වලින් තවත් කාන්තාවන් දෙදෙනෙකු 21 වෙනිදා සිට අතුරුදහන් වී ඇති බවට අදාළ පොලීසි වෙත පැමිණිලි ලැබී තිබේ. වේලනෙයි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව සිය රාජකාරිය සඳහා 21 වෙනි දින ගිය පසු මෙතෙක් නොපැමිණි බවට පැමිණිලි කොට ඇත්තේ ඇගේ පුංචි අම්මා විසින් බව කී පොලිස් ප්‍රකාශකයා ඇය පළාතේ කකුළුවන් ඇසුරුම් කරණ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි බවද කියා සිටියේය. සන්දිලිපායි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව ගැන මෙතෙක් තොරතුරු තමන් වෙත ලැබී නොමැති බවයි ඔහු පැවසුවේ. මේ අතර නීතිපතිවරයාද අද පොලිස්පතිවරයා සමඟ යාපනයට ගොස් දූෂණය කොට මරා දමන ලද පාසල් දැරියගේ පරීක්ෂණ කටයුතු පිළිබදව සොයා බලා තිබේ. නීතිපතිවරයා යාපනයට ළගා වන විට යාපනයේ නීතිඥවරුන් අධිකරණ සේවා කටයුතු වලින් බැහැරව විරෝධතාවක නිරතව සිටියේ පසුගිය 20 වෙනිදා යාපනය අධිකරණ සංකීර්ණයට සාමාන්‍ය ජනතාව එල්ල කළ ප්‍රහාරයට විරෝධය දැක්වීම පිණිසයි. යාපනයේ නීතිඥ සංගමයේ ලේකම් ආර්.සුභාෂ් කියා සිටියේ අධිකරණයේ දේපළ වලට හානි කිරීමත් සාමාන්‍ය ජනතාව විසින් අධිකරණයට අනිසි බලපෑමක් සිදු කිරීමට විරෝධය පල කිරීමත් සඳහා අද, සිකුරාදා යාපනයේ අධිකරණ වල නීතිඥවරුන් මෙම විරෝධතාව දියත් කළ බවයි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු හතක් දැවී ලකුණු 181 ක් රැස් කරගෙන සිටියේය.
තරුණ ක්‍රීඩක ධනංජය ද සිල්වා, කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවාය නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 කට දැවී ගිය අතර, දිනය අවසානයේ නොදැවී ලකුණු 43 ක් රැස්කරගෙන සිටි තරුණ ක්‍රීඩක ධනංජය ද සිල්වා, කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවාය. ඊට පෙරාතුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 286 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහක් දවාගැනීමට සමත්වීම කැපී පෙනිණ. වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහ දවාගැනීමට සමත්විය තේරීම් කමිටුව 'කණස්සල්ලෙන්' 2011 දෙසැම්බරයේදී ටෙස්ට් තරගයක් ජයගැනීමෙන් අනතුරුව පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවයි. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව බලපෑම් කළ බවට ක්‍රිකට් තේරීම් කමිටුව චෝදනා කරන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ. ඒ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඇමතීමට බීබීසී සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. මේ අතර කණ්ඩායම පිටත්වයාමට දින දෙකක් පමණක් තිබියදී කණ්ඩායමේ කළමනාකරු පදවිය දැරූ චරිත් සේනානායක ඉවත්කොට රංජිත් ප්‍රනාන්දු පත්කිරීමද ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයන්ගේ විවේචනයට ලක්විය.
ලබන වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සාක් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් නිසි පරිදි පුහුණුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
මීළඟ සාක් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේයි ක්‍රීඩා උළෙල පැවැත්වෙන උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පවතින ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට එල්ල වන ප්‍රධාන අභියෝගයක්. සාක් ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුණේ 2010 වසරේදී වන අතර, මීළඟ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේයි. එම ප්‍රදේශයේ පවතින දැඩි ශීත කාලගුණය හමුවේ ක්‍රීඩා කිරීම තම ක්‍රීඩකයන්ට අපහසු බැවින් 2016 වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කල් දමන ලෙස අනෙකුත් සාමාජික රටවල් ඉන්දියාවෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම හමුවේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල පෙබරවාරි මාසය දක්වා කල් දැමීමට ඉන්දීය බලධාරීහු කටයුතු කළහ. ශ්‍රී ලංකාවේ සූදානම "අප තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඉතාමත් සුළු කාල වේලාවකින් තමයි මේ තරඟාවලිය පටන් ගැනීම සිද්ධ වන්නේ. එහි මීළඟ පියවරේදී ශීතල කියන කාරණයෙන් සම්පූර්ණයෙන්ම අත් මිදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙයිද කියන සැකය මේ තරඟාවලියට ප්‍රවේශ වන මොහොතේ සිටම දැනෙන කාරණයක්," ක්‍රීඩා මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ බීබීසී සංදේශයට පැවසීය. මෙම තත්වයට මුහුණ දීම සඳහා ගත හැකි පියවර කුමක්ද? මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේද? පෙබරවාරි මාසය වන විට ඇසෑමයේ පවතින ශීත කාලගුණය පහව යනු ඇති බව ඉන්දීය බලධාරීන්ගේ අදහස වී ඇති බැවින් ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අභියෝගයක් නොවනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට කියා සිටියේ. ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඔබ්බට ගොස් බටහිර රටවල පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල ක්‍රීඩකයන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ එම රටවල පවතින ශීත කාලගුණයයි. දකුණු කොරියාවේ පසුගියදා පැවති ජාත්‍යන්තර ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද පවසා සිටියේ එහි පැවති ශීත කාලගුණය ඔවුන්ට විශාල බාධාවක් වූ බවයි. පහසුකම් ශීත කාලගුණ තත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නේ නම් කලාපය තුළ අනෙකුත් රටවල් පරයා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඉදිරියට යා හැකි වනු ඇති බව ක්‍රීඩා මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ ගේ අදහසයි. කෙසේ වෙතත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩා සංගම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටියේ ශීත කාලගුණයක් යටතේ විදේශයන්හි පුහුණු වීම් කළ යුතු ක්‍රීඩකයන් වෙත ආණ්ඩුවේ සහාය ලබා දීමට කටයුතු කරන බවයි.
ලෝකයෙන් හුදෙකලා කරන ලද රටක්ව තිබූ උතුරු කොරියාව එක්සත් ජනපදය සමග "නව සම්බන්ධතා" ගොඩනැගීමට ඉඩ ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඓතිහාසික සමුළුව පැවැත්වීම සඳහා සිංගප්පූරුවට පැමිණි ඇමරිකානු ජනාධිපති සහ උතුරු කොරියානු නායකයා මෙම මාධ්‍ය වාර්තාව පළ වී ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡාවට දිනකට පෙරය. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙම හමුවීම ගැන තමාට "යහපත් හැඟීමක්" තිබෙන බවය. දෙරට අතර පැවැත්වෙන පළමු සමුළුවට සහභාගි වීම සඳහා කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (ජූනි 10) සිංගප්පූරුවට ලඟා වූහ. සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි හෝටලයකදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි හෝටලයකදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. හෙක්ටෙයාර 500 ක් පමණ විශාල සෙන්ටෝසා, සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63 කින් එකකි. සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත සෙන්ටෝසා ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ. එසේම, මුහුදු මංකොල්ලකරුවන් මෙන්ම ලේ වැගිරීම් හා යුද පිළිබඳ අඳුරු අතීතයක් ද එම දූපත හා බැඳී පවතී. මෙම ඓතිහාසික හමුව අඟහරුවාදා (ජුනි 12) වෙනිදා පැවැත්වීමට නියමිත නමුත් මේ දක්වා වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත. ආසියානු රටක් සමග පැවැත්වෙන මෙම සමුළුව ගැන සඳුදා (ජූනි 11) ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ තමන් "ඉතා උද්දාමයට" පත් වී සිටින බවය. මේ තොරතුරුද කියවන්න: උතුරු කොරියාව පවසන්නේ කුමක්ද? "නව යුගයේ වෙනස් වන ඉල්ලීම් සපුරාලීම සඳහා අප නව සම්බන්ධතාවක් ගොඩනඟනවා" උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සාමාන්‍යයෙන් සිය නායකයාගේ ක්‍රියාකාරකම් සැබෑ වේලාවට වාර්තා කරන්නේ නැත. මේ හේතුවෙන් ඔවුන් ඇමරිකාව සමග පැවැත්වෙන සමුළුව ගැන වැඩි තොරතුරු මෙතෙක් හෙළි කර නොමැත. 'රොඩොන්ග් සින්මුන්' (Rodong Sinmun) පුවත් පතෙහි කතුවැකියෙන් තහවුරු කර තිබූ පරිදි කිම් ජොන් අන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ඇති අතර, "නව යුගයේ වෙනස් වන ඉල්ලීම් සපුරාලීම සඳහා අප නව සම්බන්ධතාවක් ගොඩනඟන බව" එහි තවදුරටත් සඳහන් විය. දැන් කුමක් සිදුවන්නේ ද? මෙම සමුළුව සඳහා ඇති සූදානම පෙර නොවූ විරූ ලෙස ඉතා කලබලකාරී සහ අසාමාන්‍ය ස්වරූපයක් ගත්තේය. සාමාන්‍යයෙන් මෙවැනි සමුළුවකට පෙර මාස ගණනාවක් පුරා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට කටයුතු කෙරේ. සමුළුවට අදාළ න්‍යාය පත්‍රයේ තොරතුරු සුළු වශයෙන් නිකුත් කර ඇති අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර අනෙක් කරුණු හෙළි කෙරෙනු ඇත. දෙරටේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් සඳුදා සිංගප්පූරුවේ දී රැස්වී සිය නායකයින් වෙත ඉදිරිපත් කිරීම සඳහා ගිවිසුමක් කෙටුම්පත් කිරීමට උත්සාහ කරන බව දකුණු කොරියානු යෝනාප් (Yonhap) ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී. එක්සත් ජනපද ජනාධිපති හා උතුරු කොරියානු නායකයා එකිනෙකට ආසන්නයේ පිහිටි හෝටල් දෙකක නවාතැන් ගෙන සිටින අතර, සිංගප්පූරු ප්‍රධාන භූමියේ සිට මීටර් සිය ගණනක දුරින් පිහිටි ජනප්‍රිය සංචාරක දිවයිනක් වන සෙන්ටෝසාහි හෝටලයක දී හෙට දින හමුවීමට නියමිතය. තවත් තොරතුරු: පසුගිය මාස දහඅටක් පුරා දෙරටේ නායකයින් අතර අසාමාන්‍ය සබඳතාවක් පැවතුනි. විටෙක මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කළ ඔවුන් තවත් විටෙක එකිනෙකා ඉතා දැඩිව විවේචනය කිරීමට පෙළඹිණි. 2017 සැප්තැම්බර් මාසයේ දී උතුරු කොරියාව සිය හයවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කරන ලදී ජාත්‍යන්තරයෙන් නැඟුණ විරෝධය නොතකා බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් උතුරේ කොරියානු නායකයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඔහු ජනාධිපති පදවියට පත් වී පළමු වසර තුළ දැඩි වාග් ප්‍රහාර හුවමාරු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්බාධක දැඩි කිරීමට ද කටයුතු කළේය. උතුරු කොරියාවෙන් ඇමරිකාවට දිගින් දිගටම තර්ජන එල්ල වුවහොත් "ගින්නක් සමග ඇතිවෙන වියරුවක්" දැකිය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු විය. එයට පිළිතුරු ලබා දෙමින් කිම් ජොන් අන් පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් "මානසික අවපීඩනයෙන් පසුවන" අතර "සිහිය මඳ මහල්ලෙකු" යනුවෙනි. 2017 සැප්තැම්බර් මාසයේ දී උතුරු කොරියාව සිය හයවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කරන ලදී. ඉක්බිති එක්සත් ජනපදය කරා ළඟා විය හැකි මිසයිල තමන් සතු බැවින් සිය රට න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයක් බවට පත්ව ඇතැයි කිම් ජොන් අන් ප්‍රකාශ කළේය. දකුණු කොරියාවේ පැවැත්වුන ශීත ඍතුවේ ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාව මෙන්ම ඇමරිකානු ජනාධිපති දියණිය ඉවන්කා ට්‍රම්ප් ද සහභාගී විය 2018 ආරම්භයේදී දෙරට අතර සම්බන්ධතාවයේ කැපී පෙනෙන වෙනසක් සිදු විය. විශේෂයෙන්ම දකුණු කොරියාවේ පැවැත්වුන ශීත ඍතුවේ ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වය කැපී පෙනිණ. පසුගිය මාර්තු මාසයේ ලෝක ප්‍රජාව පුදුමයට පත් කරමින් උතුරු කොරියානු නායකයා දෙරට අතර හමුවීමට කළ ආරාධනය පිළිගැනීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය. පසුගිය මාර්තු මාසයේදී ලෝක ප්‍රජාව පුදුමයට පත් කරමින් උතුරු කොරියානු නායකයා දෙරට අතර හමුවීමට කළ ආරාධනය පිළිගැනීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය දෙපාර්ශවයටම අවශ්‍ය වන්නේ කුමක්ද? උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධානතම මාතෘකාව වනු ඇත. උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුධ අත්හැරීම ඇමරිකාවේ ඉල්ලීම වුවද, මෙම යෝජනාවට බොහෝ විට උතුරු කොරියාව විරුද්ධ වනු ඇතැයි බලාපොරොත්තු වේ. මේ අතර, උතුරු කොරියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි තවමත් පැහැදිලි නැත. හෙට දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවල දී උතුරු කොරියානු ආර්ථිකය ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති අතර, දැනට පනවා ඇති සම්බාධක ලිහිල් කරමින් ජාත්‍යන්තර ආයෝජන ලබා ගැනීමට අවශ්‍ය බව කිම් ජොන් අන් පවසා තිබේ. නමුත් ඔහු මේ වෙනුවෙන් ලබා දීමට සැරසෙන සහන පිළිබඳ සහ ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි මෙතෙක් ප්‍රකාශ කර නැත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හමුව විස්තර කර ඇත්තේ "තත්වය දැනගැනීමට" පැවැත්වෙන්නක් ලෙසය කෙසේවෙතත්, සිංගප්පූරුවේ දී සිදුවන සාකච්ඡාවල දී අවසන් ගිවිසුමකට එළැඹීමට එක්සත් ජනපදය බලාපොරොත්තු නොවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හමුව විස්තර කර ඇත්තේ "තත්වය දැනගැනීමට" පැවැත්වෙන්නක් ලෙසය. මෙය "ක්‍රියාවලියක් වනු ඇති" බව ඔහු වැඩිදුරටත් පැවසීය.
චන්ද්‍රයා මත ගම්මානයක් ගොඩ නැගීම සිය ඉදිරි සැලැස්ම වන බව යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් පවසයි.
බීබීසි වාර්තාකරු රිචඩ් හොලින්ග්හම් යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂකවරයාගේ මෙම විස්මය දනවන නව සැලැස්මට හේතු විමසනු ලැබීය. සිය අදහස විස්තර කරමින් මහාචාර්ය වෝර්නර් කියා සිටියේ මෙය හුදෙක් චන්ද්‍රයා මත ඉදි කරන ගොඩනැගිලි සමූහයක් නොවනු ඇති බවයි. ඉදි කිරීමට බලාපොරොත්තු වන ගම්මානයට ලෝකයේ විවිධ රට වලින් සිය සහභාගීත්වය ලබා දෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ. නව ගම්මානයට එකතු වන රටවල් සිය රට සතු නවීන රොබෝ උපකරණ, අභ්‍යවකාශ පර්යේෂණ සැලසුම්, මෙන්ම සන්නිවේදන චන්ද්‍රිකා වැනි සම්පත් ගෙන එනු ඇති බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ. චන්ද්‍රයා මත ගම්මානයක් බිහි කිරීමට තමන් යෝජනා කරන්නේ හුදෙක් එය පළමු වතාවට චන්ද්‍රයා මත මනුෂ්‍ය ගම්මානයක් ස්ථාපිත කිරීමේ ආශ්චර්ය හිමි කර ගැනීමට පමණක් නොවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පවසන්නේ ඊට වඩා වැදගත් හේතු කිහිපයක් සිය අදහසට පාදක වූ බවයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා මත අභ්‍යවකාශ ගවේෂකයන්ට වැඩි කාලයක් ලබා දීම තුලින් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පවතින දැනුම පුළුල් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවයි ඔහු පවසන්නේ. ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් සඳ මත සිට නවීන දුරේක්ෂ භාවිතා කරමින් විශ්වයේ තවත් ඈතට මිනිස් ඇස යොමු කළ හැකි බව පෙන්වා දෙන මහාචාර්ය වෝර්නර් චන්ද්‍ර විද්‍යාවේ ඉදිරි පියවර මෙමගින් වඩා ඉක්මන් වනු ඇති බවත් පෙන්වා දුන්නේය. දැනට අඟහරු ග්‍රහයා මත විශාල ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කර ගෙන නිර්මාණය කිරීමට සැරසෙන අභ්‍යවකාශ කඳවුරේ ආකෘතියක් පළමුව සඳ මත නිර්මාණය කර පරීක්ෂා කිරීම, චන්ද්‍ර ගම්මානය තුලින් අත් කර ගත හැකි තවත් වටිනා අවස්ථාවක් ලෙසයි මහාචාර්ය වෝර්නර් දක්වන්නේ. ඔහු වැඩි දුරටත් පවසන්නේ ගගන ගාමීන්ට පොළවට ලඟා වීමට මාස හයක් ගත වන තරම් ඈතින් පිහිටා ඇති අඟහරු ග්‍රහයා මත එවැනි නව අදහසක් ක්‍රියාත්මක කරනවා වෙනුවට දින හතරකින් පොළවට ලඟා විය හැකි දුරකින් පිහිටි චන්ද්‍රයා මත නව නිර්මාණය පරීක්ෂා කිරීම ආරක්ෂා සහිත වනු ඇති බවයි. අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් සීමා මායිම් වලින් තොර ඕනෑම රටකට සම්බන්ධ විය හැකි ජාත්‍යන්තර ආයතනයක අවශ්‍යතාවක් පවතින බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ. විවිධ ජාතීන්ට භූමිය මුල් කර ගත් ගැටළු රාශියක් පවතින මෙවන් යුගයක සියලු එදිරිවාදිකම් අත් හැරීමට අභ්‍යවකාශයේ නිර්මාණය වූ ගම්මානයක සාමූහිකව කටයුතු කිරීමට අවස්තාවක් සැලසීම වටිනා අදහසක් වනු ඇති. චන්ද්‍රයා මත ගම්මානයක් ඉදි කිරීම තවමත් මහාචාර්ය වෝර්නර් සතුව පවතින අදහසක් පමණි. ජාත්‍යන්තරයේ කිසිදු රටක් මේ වෙනුවෙන් තවමත් අරමුදල් වෙන් කිරීමක් හෝ සහය පළ කිරීමක් සිදු කර නැතත් අභ්‍යාවකාශ ගවේෂණ ලෝකයේ කීර්තියක් උසුලන යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් විසින් පළ කරන මෙම නව අදහස බොහෝ ඉක්මනින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
පලාලි ඇතුළු හමුදා කඳවුරු වල සිටින භට සේනා වෙනත් තැන් වලට ගෙන ගොස් මුල් අයිති කරුවන් සිය ජන්ම භුමියේ පදිංචි කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සඳහා ඉඩම් ලකුණු කොට ඇතැයිද ආණ්ඩුව පවසයි ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්‍රකාශයක් කළ ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සඳහා ඉඩම් ලකුණු කොට ඇතැයි දැනුම් දුන්නේය. ඉඩම් අහිමි වන්නන් වෙනුවෙන් වන්දි සහ යාබද ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දෙන බවද සඳුදා ආරම්භ වූ මානව හිමිකම් මණ්ඩලයේ විසි තුන් වැනි සැසි වාරය අමතමින් ඔහු කියා සිටියේය. යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූ සියලුම දෙනා මුළුමනින්ම පදිංචි කරවා හමාර බවත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේය. ඉකුත් වසරේ සැප්තැම්බරය වනවිට යුද අනාථයන් අතුරින් අවසාන කණ්ඩායම මුලතිව් හි යළි පදිංචි කරවූ අතර විසි හතර දහසකට අධික පිරිසක් අනුග්‍රාහක නිවාස වලට ගොස් ඇති බවයි රවිනාථ ආර්යසිහ ප්‍රකාශ කළේ. ඒ අනුව සමාජගත කොට ඇති මුළු පිරිස 295,873 ක් බවද, ශ්‍රී ලංකා දුත මණ්ඩලයේ ප්‍රධානී ආරියසිංහ මානව හිමිකම් මණ්ඩලය ට දැනුම් දුන්නේය. යුද්ධය හමාර වූ බව රජය විසින් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ වර්ග කිලෝමීටර දෙදහසකට වැඩි භුමි ප්‍රමාණයක වලලා තිබු බිම් බෝම්බ දැන් ඇත්තේ වර්ග කිලෝ මීටර සියයකටත් අඩු ඉඩක යැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
වසර 28ක් පුරා අයිස් මූර්ති ශිල්පයේ නිරත වන අසංග අමරසිංහ මේ වන විට දිවි ගෙවන්නේ දකුණු ලන්ඩනයේ යි.
අයිස් මූර්ති ශිල්පී අසංග අමරසිංහ "ජාත්‍යන්තර තරගවලට ගියාම මගෙන් බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලාංකිකයෙක් නැත්නම් දකුණු ආසියාතිකයෙක් වෙලා අයිස් නිර්මාණ ශිල්පයට යොමු වුණේ කොහොමද කියලා," අසංග සිය කතාව අරඹමින් පැවසීය. එංගලන්තයේ ඉතා සුන්දර පරිසරයක පිහිටි 'techne Ice' ලෙස නම් කර ඇති ඔහුගේ අයිස් නිර්මාණ කුටිය ඉදිරිපිට සිට සිය මූර්ති නිර්මාණ දිවියේ කඩඉම්, ජයග්‍රහණ මෙන්ම බාධක ගැන ද දීර්ඝ විස්තරයක් මා සමග පැවසීය. කුරුණෑගල ඉපිද හැදී වැඩුණු අසංගගේ සිත කුඩා කළ සිටම යොමු වී ඇත්තේ මූර්ති නිර්මාණකරණයටය. පාසල් කාලයෙන් පසු ආහාර ආශ්‍රිත මූර්ති කලාවේ නියැළුන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල්වල රැකියාවේ නිරත වී තිබේ. රුසියාවේ පැවති ජාත්‍යන්තර අයිස් නිර්මාණ තරගයකට අසංග ඉදිරිපත් කළ නිර්මාණය "මම මුලදී විවිධ ආහාරවලින් මූර්ති නිර්මාණ කරන්න ගත්තා. ලංකාවේ රැකියාව කළාට පස්සේ විශාල මගී නෞකාවල, ඊට පස්සේ මැද පෙරදිග ඇතුළු රටවල් කීපයක ඒ අංශයෙන් රැකියාවේ නිරත වුණා. පසුව සම්ප්‍රදායෙන් ඔබ්බට හිතන්න පටන් ගත්තා. අයිස්වලින් නිර්මාණ කිරීම ආරම්භ කළා." "මට මූර්ති ශිල්පයට ගුරුවරයෙක් හිටියේ නැහැ." ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික අයිස් මූර්ති ශිල්පියා ජාත්‍යන්තර අයිස් මූර්ති නිර්මාණ තරගවලින් ජයග්‍රහණ රාශියක් ලබා ඇති අසංගට 2019 වසරේ ඇලස්කාවේ පැවැති තරගය විනිශ්චය කිරීමට අරාධනා ලැබිණි. ජාත්‍යන්තර අයිස් නිර්මාණ තරගයක් ජයග්‍රහණයෙන් පසු විදෙස් මාධ්‍යය අමතමින් "ඇලස්කාවේ ජාත්‍යන්තර අයිස් නිර්මාණ තරගයක විනිශ්චයකරුවෙකු විදිහට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණු පළමු දකුණු ආසියාතිකයා මමයි. ඒ අවස්ථාව මට විශාල ජයග්‍රහණයක්. ඒ හැම තැනකටම මම සහභාගී වුණේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට. මගේ නිර්මාණ තරගවලට ඉදිරිපත් කරද්දීත් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනවා." 'ලොව සිටින හොඳම අයිස් මූර්ති ශිල්පීන්ගෙන් කෙනෙකු' ලෙස විදෙස් මාධ්‍ය අසංගව හඳුන්වා දී තිබේ. එක්සත් රාජධානියේ රාජකීය උත්සව බොහොමයකට ඔහු සිය අයිස් නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, 2012 දී රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරුම් උත්සවය සහ විලියම් කුමරු සහ කේට් ආදිපාදවරියගේ විවාහ උත්සවය වෙනුවෙන් තැනූ මූර්ති ඒ අතරින් විශේෂයි. අයිස්වලින් තැනූ 'බුෆේ' කට්ටලයක් කැනඩාව, ඉන්දියාව, මැද පෙරදිග, රුසියාව, ඇමරිකාව ඇතුළු රටවල් රාශියක රජයන් මෙන්ම පෞද්ගලික ආයතන, විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් මේ වන විට අසංකගේ නිර්මාණ සිය උත්සව සහ සැමරුම් සඳහා ලබා ගෙන තිබේ. "එල්ටන් ජෝන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ට මම නිර්මාණ සිදු කළා. මෑතක දී ග්‍රේටා තන්බර්ග්ව අයිස්වලින් නිර්මාණය කළා. ඒ වගේම සම්පූර්ණයෙන් අයිස්වලින් අවන්හලක් සහ තැබෑරුමක් ද හැදුවා." "මෙහි තියෙන විශේෂත්වය තමයි මම වැඩකරන්නේ සොබාදහමේ තිබෙන වඩාත්ම විචල්‍ය ද්‍රව්‍යයක් සමඟ. මගේ නිර්මාණ කරද්දී දෝෂ ඇතිවෙන්න ඉඩක් නැහැ. ඒ වගේම කාලය තමයි වැදගත්ම දේ. මගේ අයිස් නිර්මාණ කුටියේ උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස් අංශක 15ට හැමවෙලාවෙම තියෙනවා. විශේෂ ඇඳුම් කට්ටලයක් ඇඳගෙන තමයි නිර්මාණකරණයේ යෙදෙන්නේ." චොක්ලට්වලින් තැනූ මූර්තියක් "අයිස් නිර්මාණ කිරීම ඇත්තෙන්ම ලොකු අභියෝගයක්. ඒකට උදාහරණ තමයි රුසියාවේ කාලගුණය සෙල්සියස් අංශක සෘණ 40 දී පැවති ලෝක අයිස් මූර්ති තරඟයෙන් මම තෙවෙනි ස්ථානය ලබා ගැනීම වගේම, ඉන්දියාවේ නවදිල්ලියේ උෂ්ණත්වය 40 දී මහ විශාල අයිස් මාලිගාවක් නිර්මාණය කිරීම." ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියගේ විවාහ උත්සවයට මීටර 8ක් උස මීටර 18ක් දිග අයිස් මාලිගාවක් තැනීම සිය නිර්මාණ දිවිය තුළ සිදුකළ බරපතලම රාජකාරියක් බව අසංග පැවසීය. මීටර 8ක් උස මීටර 18ක් දිග අයිස් මාලිගාවක් අයිස් නිර්මාණ ගබඩා කිරීමට ශීත කුටියක් මෙන්ම, ප්‍රවාහනය සඳහා 'අයිස් වෑන්' භාවිත කළ යුතුය. ඒ සියල්ල විවිධ රටවල සෞඛ්‍ය ආරක්‍ෂක නීති රීතිවලට අනුකූලව සිදුකළ යුතු බව ඔහු පැවසීය. කතා බහ අතරතුර ඔහුගේ අයිස් කුටිය තුළ මිනිත්තු විස්සක් ඇතුළත සිංහ මුහුණක් නිර්මාණය කිරීමට ද අසංග කටයුතු කළේය. නමුත් විශේෂ ඇඳුමක් ඇඟලාගෙන සිටියත් මා හට සෘණ 15ක උෂ්ණත්වයකින් යුතු අයිස් කුටියේ ඒ මිනිත්තු විස්ස පවා රැඳී සිටීම ඉතා අපහසු විය. එම කුටිය පුරා විශාල අයිස් කුට්ටි සහ මූර්ති ශිල්පය සඳහා අවශ්‍යය විවිධ උපකරණ දක්නට ලැබිණි. ප්‍රසිද්ධ ගායක ෆ්‍රෙඩී මර්කරිගේ රුව තනමින් ඇතැම් නිර්මාණ දෑතින් තනන අතර, තවත් ඒවා විශේෂ යන්ත්‍රයක් ආධාරයෙන් නිමවයි. නමුත් කෙතරම් දියුණු යන්ත්‍ර තිබුණ ද නිර්මාණය අවසන් කිරීම දෑතින් සිදුකළ යුතු බව අසංග පැවසීය. "මගේ නිර්මාණ සදාකල් පවතින්නේ නැහැ. එයයි මේ නිර්මාණකරණයේ විශේෂත්වය. ඒ නිසාම මට නිතර වෙනස් ආකාරයේ නිර්මාණ සිදු කිරීමේ අවස්ථා ලැබෙනවා. මට උපතින් ලැබුණු හැකියාවේ වානිජමය වටිනාකම මම හඳුනාගෙන ජීවිතය ඉදිරියට අරගෙන යනවා." ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් කළ නිර්මාණයක් "මේ ගමනේ දී බාධක තිබුණා, ඒ වගේම අභියෝග පිරිලා. නමුත් ලෝකය ජයගන්න නම් අපිට වෙනස් විදිහට හිතන්නම වෙනවා. කොරෝනාවෛරස කාලයේ අපහසුතා තියෙනවා තමයි, නමුත් මේ තමයි හොඳම අවස්ථාව තමන්ගේ හැකියාවන් හඳුනාගන්න, ඒ වගේම සාම්ප්‍රදායී රාමුවෙන් එහාට හිතන්න, " අසංග සිය කතාව නිම කරමින් පැවසීය. අසංග සිය නිවුන් පුතුන්, දියණිය සහ බිරිඳ මේරියන් සමන්ති සමග අයිස් නිර්මාණ කලාව හැදෑරීමට විශේෂ පාසල් තවමත් නොමැති අතර, මෙය වඩාත් ප්‍රචලිත වන්නේ රුසියාව, ඇමරිකාව සහ චීනය යන රටවලය. වසරක් පුරා පැවැත්වෙන චීනයේ 'හාබින්' අයිස් උත්සවයේ දී අයිස්වලින් විශාල නගර පවා නිර්මාණය කර තිබිණි. මේ තොරතුරුද කියවන්න:
ආබාධයකට ලක් වුනු වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් වෙනුවට එංගලන්තයට කැඳවීමට නියමිත කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මීළඟ ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකරන බව කණ්ඩායමේ කළමනාකරු පවසයි.
'මම දන්න විදියට කුසල් කොහොමටවත් දෙවෙනි තරඟෙට සහභාගි වෙන්නේ නෑ' කුසල් ජනිත් පෙරේරාට තවමත් වීසා බලපත්‍රය ලැබී නැති බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක, ඉක්මනින්ම වීසා බලපත් ලැබුනත් මීළඟ තරඟය සඳහා සූදානම් වීමට ඔහුට ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් පැවසීය. "ලංකාවේ ප්‍රැක්ටිස් කරලා ඇවිල්ල එක පාර මෙහේ ගහන්න අමාරුයි. දැන් අපිත් ඇවිල්ල සුමාන දෙකක් ඒත් තාම ක්‍රීඩකයෝ පුරුදු වෙන්න හදනවා මේ කාලගුණයටයි, තණනිල්ල හැසිරෙන විදියටයි," ඔහු පැවසීය. තහනම් උත්තේජක තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනාවක් මත තාවකාලික තහනමකට ලක්වීමට ප්‍රථම කණ්ඩායමේ ස්ථිර කඩුලු රකින්නා වූයේ ඔහුයි. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කටාර්හි පිහිටි විද්‍යාගාරය ලබා දුන් ප්‍රතිඵල දෝෂ සහගත බව පිළිගනිමින් අයිසීසී ජගත් පාලක මණ්ඩලය මෑතදී ඔහුගේ තහනම ඉවත් කළේය. "කුසල් අද ලංකාවෙන් ඇවිල්ල හෙට එංගලන්තෙට ආවොත් බ්‍රහස්පතින්දට කොහොමටත් ගහන්න බෑ," චරිත් සේනානායක සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "මම දන්න විදියට කුසල් කොහොමටවත් දෙවෙනි තරඟයට සහභාගි වෙන්නේ නෑ." එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරඟයේදී ආබාධයකට ලක් වූ ධම්මික ප්‍රසාද් ලීඩ්ස්හි පැවති පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකළ අතර, ශ්‍රී ලංකාව එම තරඟයේදී ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 88 කින් පරාජයට පත් විය.
තායිලන්තයේ හිටපු අගමැති අභිසිත් වෙජාජීව(Abhisit Vejjajiva) උසාවියට ඉදිරිපත් කෙරුණි.
හිටපු අගමැතිවරයා ඔහුට එරෙහි චෝදනා බැහැර ලයි. හිටපු අගමැතිවරයා උසාවියට ඉදිරිපත් කෙරුණේ, ඔහු බලයේ සිටිය දී යුද හමුදාව යොදවමින් සිදු කළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කොට නඩු පැවරීම සඳහායි. තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වන තක්ෂින් සිනවත්ගේ ආධාර කරුවන් මෙයින් වසර තුනකට පෙර බැංකොක් අගනුවර විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටි අතර ඔවුන්ගෙන් බහුතරය නිරායුධවයි සිටියේ. නිරායුධ විරෝධතාවාදීන් එම විරෝධතාවාදීන් විසුරුවා හරිනු ලැබීම සඳහා තායිලන්ත යුද හමුදාව සිදු කළ වෙඩි තැබීමේදී අනූවකට අධික මහජන ජීවිත විනාශයක් වාර්තා වුණි. එම ප්‍රහාරයේදී මාරක අවි ආයුධ පාවිච්චි කිරීම සඳහා එවකට අගමැති අභිසිත් වෙජාජීව යුද හමුදාවට බලය දී තිබුණි. එහෙත් හිටපු අගමැතිවරයා කියා සිටින්නේ, තමා කිසිදු වරදක් සිදු කර නැති බවයි. තක්ෂින් සිනවත් ගේ සොහොයුරිය වන යින්ග්ලුක් සිනවත්ගේ පාලනය පෙරලා දැමීමට යත්න දරන තායිලන්ත විපක්ෂයේ නායකයන් අතරට අභිසිත් වෙජාජීව ද එක් වෙයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් ඇති වීමත් සමග එහි කටයුතු විනාඩි පහකට කල් තබා තිබේ.
ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන් අතර ඇතිවූ වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවයි එහි සිටි මාධ්‍යවේදීන් පවසන්නේ පාර්ලිමේන්තුව අද අඟහරුවාදා රැස් වූ අවස්ථාවේ හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා භටයන් ඉවත් කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගෙන් කරුණු විමසා සිටි බවයි පැවසෙන්නේ. හමුදා භටයන් වෙනුවට හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක භටයන් ලබා දී ඇති බවයි එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වා සිටීමට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට අවස්ථාව ලබා දීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඊට බාධා කරමින් ඔහුට බැණ වැදී ඇති බවයි එහි සිටි මාධ්‍යවේදීන් කියා සිටියේ. ඉන් අනතුරුව ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන් අතර ඇතිවූ වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවයි එහි සිටි මාධ්‍යවේදීන් පවසන්නේ. ගුටිබැට හුවමාරුව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීත් සමරසිංහ රෝහල් ගත කොට ඇති බවයි වාර්තා වන්නේ. කථානායක කරු ජයසූරිය විසින් පාර්ලිමේන්තුව මද වෙලාවකට කල් තබා තිබේ.
සිරියාවේ අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සහ සිරියානු ආණ්ඩුවේ හමුදා අතර තවදුරටත් දරුණු සටන් පවතියි.
ආහාර සහ ඖෂධ සැපයුම් අවසන් වී ඇති අතර සාමාන්‍ය ජනතාව ගැටුම්වලට මැදි වීම සම්බන්ධයෙන් බිය පළ වේ. අලෙප්පෝ නගරය තුළ වහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි. ජල සහ විදුලි සැපයුම නොමැතිව සාමාන්‍ය වැසියන් ලක්ෂ විස්සකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වී සිටින බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවා තිබේ. නගරයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරයකු බීබීසීයට කියා සිටියේ ඔහු විසින් දිනකට ප්‍රතිකාර ලබා දෙනු ලබන රෝගීන් සංඛ්‍යාව එකසිය පනහ දක්වා ඉහළ ගොස් ඇති බවයි. සටන් ඇවිලීමට පෙර, දිනකට ප්‍රතිකාර ලබා දුන් රෝගීන් සංඛ්‍යාව හා සැසඳීමේදී මේ වන විට එම සංඛ්‍යාව දෙගුණයකටත් වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඉහත කී වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ජිනීවා ප්‍රඥප්තිය උල්ලංඝනය කොට ඇතැයි ජාත්‍යන්තර ආධාර සංවිධානයක් ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා වලට චෝදනා නගයි.
වෛද්‍ය මධ්‍යස්ථානයක් තුන් දිනක් තිස්සේ අල්ලා ගෙන සිටිමින් ජිනීවා ප්‍රඥප්තිය උල්ලංඝනය කොට ඇති බවයි, ඇෆ්ගනිස්තානය සඳහා වන ස්වීඩන කමිටුව නම් සංවිධානය, ඇෆ්ගනිස්තානයේ නේටෝ අණින් ක්‍රියාත්මක වන හමුදා වලට නගන්නේ. ඇෆ්ගනිස්තානය සඳහා වන ස්වීඩන කමිටුව පවසන්නේ ඔක්තෝබර් මාසයේ රාත්‍රියක සන්නද්ධ සේනා, මධ්‍යස්ථානයට ගොඩ බෑම සමගින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට පලා යන්නට සිදු වූ බවයි. දින තුන පුරාම අවි ගැටුම් පැවැතියදී, සිරකරුවන් රඳවා ගෙන සිටි අතර ප්‍රදේශ වාසීන්ට වෛද්‍ය පහසු කම් ලබා ගත නොහැකිව ගිය බවත් එම ආධාර සංවිධානය චෝදනා කරයි. නේටෝ අණසක යටතේ මෙහෙයැවෙන නේටෝ හමුදා ප්‍රකාශිකාවක් කියා සිටියේ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. මේ අතර, මානව අයිතිවාසිකම් පිලිබඳ ඉන්දීය පාලිත කාශ්මීරයේ මුල් පෙලේ සංවිධානයක් එළි දක්වා ඇති අලුත්ම වාර්තාවකින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ඉන්දීය යුද හමුදාවේ පන්සියයකට වැඩි සංඛ්‍යාවක් නම් කොට තිබේ. වෙඩි තැබීම් , ලිංගික දුෂණ, වද හිංසා පැමිණවීම හා පැහැරගෙන යාම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අතුරුදහන් වුවන්ගේ මාපිය සංවිධානයේ චෝදනා එල්ලවන්නන් අතර ඉහලම පෙලේ නිලධාරීන්ද වෙයි. වාර්තාවේ සංස්කාරකවරුන් පවසන්නේ තොරතුරු දැන ගැනීමේ අණ පනත් යටතේ ලබා ගත් නිල දත්ත මෙම චෝදනා වලට පදනම් වූ බවයි. වාර්තාව පිළිබඳව දැනුවත් භාවයක් නැතැයි කී ඉන්දීය හමුදා ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ එය කියවීමෙන් අනතුරුව ප්‍රතිචාර දක්වන බවයි.
තරඟ පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවිය යුතු බව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් පවසයි.
තරඟයක කොටසක් පාවාදීමේ වරද වෙනුවෙන් පැනවුණු වසර පහක තහනමකින් අනතුරුව පාකිස්තාන කණ්ඩායමේ මොහමඩ් අමීර් යළි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටියි එහෙත් තරඟයක කොටසක් පාවාදීමේ වරද වෙනුවෙන් පැනවුණු වසර පහක තහනමකින් අනතුරුව යළි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටින පාකිස්තාන කණ්ඩායමේ මොහමඩ් අමීර් සමඟ ක්‍රීඩා කිරීම පිළිබඳව තමන්ට 'කිසිදු ගැටලුවක් නැති' බවත් ඔහු පැවසීය. 2010 වසරේ ලෝඩ්ස් පිටියේ පැවැත්වුණු තරඟයක කොටසක් පාවාදීමේ චෝදනාවට වැරදිකරු වූ මොහමඩ් අමීර්ට මාස තුනක සිරදඬුවමක්ද පැනවිණ. "අමීර් ඒකට දඬුවම් විඳලා තියෙන්නේ," ඇලිස්ටර් කුක් පැවසීය. "තරඟයක් පාවාදීමට වැරදිකරු වුනොත් ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් පනවන්න ඕන." ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතව තිබේ. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකාවට එරෙහි තුන් වෙනි ටෙස්ට් තරඟය බ්‍රහස්පතින්දා ලෝඩ්ස් පිටියේදී ආරම්භවීමට නියමිතයි. පළමු ටෙස්ට් තරඟ දෙක පහසුවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, එම තරඟ දෙකට සහභාගි වූ කණ්ඩායමේ කිසිදු වෙනසක් නොකරන බව ඇලිස්ටර් කුක් සනාථ කළේය.
ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය එක්සත් ජනපද කොංග්‍රසය විසින් සහතික කරනු ලැබීය.
කලහකාරීන් කොංග්‍රස් ගොඩනැගිල්ලට ඇතුළු වෙමින් එම පියවර ගනු ලැබුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂිංටන් DC හි පිහිටි කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පැය කීපයකට පසුවය. එම කළහකාරී තත්ත්වය මැද පුද්ගලයන් සිව් දෙනෙකු ද මරණයට පත්ව තිබේ. කොංග්‍රස් ගොඩනැගිල්ල වෙත කඩා වැදුණු කලහකාරීන් පොලිසිය විසින් ඉන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව සෙනෙට් හා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභිකයෝ සිය සභා වාර යළි ආරම්භ කළහ. ඒ, ජනාධිපතිවරණයෙන් ලද පරාජය කණපිට පෙරලීමේ උත්සාහයක යෙදී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කලහකාරීන් දිරිමත් කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටි පසුබිමකදීය. කොංග්‍රසය විසින් දෙන ලද සහතිකය හමුවේ ජනවාරි 20 වෙනිදා ඇමරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට ජෝ බයිඩන්ට මග හෙළි වේ. "ක්‍රමවත් බල හුවමාරුවක්" සිදුවනු ඇති බවට ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. කොංග්‍රස් ගොඩනැගිල්ලේ පිහිටි, කථානායක නැන්සි පෙලෝසිගේ කාර්යාල පුටුවේ අසුන්ගෙන සිටි ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවෙක් තබා ගිය පණිවුඩයක දැක්වුණේ "අපි පසුබසින්නේ නැහැ," යනුවෙනි උප ජනාධිපති මයික් පෙන්ස් විසින් මූලාසනය හොබවන ලද බ්‍රහස්පතින්දා (ජනවාරි 07) උදෑසන පැවති ඒකාබද්ධ සැසියක දී ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු ලැබිණි. එහිදී උප ජනාධිපතිවරයා විසින් ප්‍රචණ්ඩකාරී ක්‍රියා හඳුන්වනු ලැබුවේ "එක්සත් ජනපද කොංග්‍රස් ගොඩනැගිල්ල හා බැඳුනු ඉතිහාසයේ අඳුරු දිනයක්" ලෙසය. උප ජනාධිපති මයික් පෙන්ස්, ඒකාබද්ධ සැසියේ මුලසුන හෙබවීය. කතානායිකා නැන්සි පෙලෝසි පසෙකින්. පසුගිය නොවැම්බර් 03 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු, එහි ප්‍රතිඵල මුල් කර ගනිමින් විරෝධතා දියත් වූ අතර එය උච්ඡස්ථානයකට පැමිණියේ බදාදා (ජනවාරි 06) හටගත් ව්‍යාකූල වාතාවරණය හමුවේ කොංග්‍රස් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීමේ උත්සාහයත් සමගය. කලහකාරීන්ට "නිවෙස් බලා යන" ලෙස ජනාධිපති ට්‍රම්ප් පවසද්දී ජෝ බයිඩන් විසින් ඉහත කී ක්‍රියාව හඳුන්වනු ලැබුවේ රාජ්‍යයට එරෙහි "කැරැල්ලක්" ලෙසය. ජනාධිපතිවරයා සිය ආධාරකරුවන්ගෙන් එසේ ඉල්ලා සිටින අතරතුර මැතිවරණ දූෂණ සිදුව ඇති බවට යළි යළිත් බොරු චෝදනා ඉදිරිපත් කළේය. ඔහුගේ ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් ඉන් අනතුරුව තාවකාලිකව අත්හිටුවීමට එම සමාජ ජාල ක්‍රියා කර තිබිණි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පවුරු පදනම් බිඳවැටුණු දවස විදේශ නායකයෝ හෙලා දකිති මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය. ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව "දැඩි කම්පනයට පත් වූ" බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය "ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්" බවය. මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලංකාවේ විසූ ආදිම මිනිසා ලෙස සැලකෙන බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් හමු වූ බව බලධාරීහු ප්‍රකාශ කරති.
අලුතින්ම හමු වූ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි යයි විශ්වාස කෙරෙන බවයි, බලධාරීන් පවසන්නේ. පාහියන්ගල සිදුකරන ලද කැනීම්වලදී බලන්ගොඩ මානවයාගේ ඇටසැකිලි මීට කලින්ද හමුවී තිබෙන නමුත්, සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවූයේ මේ වතාවේ බවයි, ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් පිලිබඳ අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ. "ඉහත දී කරන ලද පර්යේෂණවලට අනුව, අවුරුදු තිස් හත් දාහේ සිට අවුරුදු පන්දාහ කාලයට අයත් ජනාවාශ පස් තට්ටු පාහියන්ගලින් ලැබිල තිබෙන," බවද ඔහු සඳහන් කළේය. ඒ අතරින් අලුතින්ම හමු වූ බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි යයි විශ්වාස කෙරෙන බවයි, ඔහු පවසන්නේ. ඇටසැකිල්ල හැරුණු විට බලන්ගොඩ මානවයා විසින් භාවිතා කරන ලද ගල් ආයුධ, ඔහු කෑමට ගත් සතුන්ගේ ශේෂ සහ ගස් බෙල්ලන් සහ දිය වැනි ඔහු හුවමාරු කරගත් භාණ්ඩද මෙම කැනීමේදී හමු වූ බවත් ආචාර්ය නිමල් පෙරේරා බීබීසී සංදේශයට පැවසීය. "ඇත්ත වශයෙන්ම මේ බලන්ගොඩ මානවයා ලුණු ගැන දැනීමක් ඇතිව, මුහුදේ ජලය සමග සෘජු සම්බන්ධතාවයක් තිබුණු බවත් අපට කියන්න පුළුවන්. මුහුදු බෙලි කටුත් හම්බ වෙලා තියෙනවා. ඒ මුහුදු බෙලිකටු අතරේ තියෙනනවා ලුණු බෙල්ලන් කියන කුඩා බෙල්ලන්ගේ කටුත්," ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම ඇටසැකිල්ල තවමත් ගොඩගෙන නොමැති බව පැවසූ ආචාර්ය පෙරේරා, ආරක්ෂා සහිතව එය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේ තමන් දැන් නිරතව සිටින බවද සඳහන් කළේය.
උතුරේ ඇත්තේ බෙදා වෙන් කරන ලද රාජ්‍යයක් යැයි හැඟී යන පරිදි එහි පවතින්නේ දකුණේ මෙන් බහුතර සිවිල් පරිපාලනයක් නොවේ යැයි දමිළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
යාපනයේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කොට ඇති නමුත් එම ඉඩම් තවමත් අයිතිකරුවන්ට ලබා දී නැති බව දමිළ ජාතික සන්ධානය පවසයි උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව සඳහන් ලියවිල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙමින් රජය පවසා තිබුනේ උතුරේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව. ශ්‍රී ලංකාවේ රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට දී තිබූ පිටු 26කින් සමන්විත රටේ මානව හිමිකම් රැකීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් පරිදි මේ වනවිට උතුරේ හමුදා භට පිරිස පහළොස් දහස දක්වා අඩුකොට ඇති අතර ඔවුන්ද නියැලෙන්නේ හුදෙක් ආරක්ෂක රාජකාරියේ පමණයි. අධි ආරක්‍ෂිත කලාප එහෙත් දමිළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී MK සිවාජිලිංගම් දිනසේන රතුගමගේට කියා සිටි පරිදි උතුරේ තවමත් තිබෙන්නේ හමුදා පාලනයක්. "තවමත් පාස් ක්‍රමය තියනවා. හමුදාව ගිහිල්ල නෑ. මේක හරියට රට දෙකට බෙදල තියෙනව වගේ තමයි පෙන්නේ. දකුණු පලාතට එක නීතියක්, උතුරු පලාතට එක නීතියක් වගේ තමයි පෙන්නේ," ඔහු පැවසීය. යාපනයේ තවමත් ක්‍රියාත්මක වන අධි ආරක්‍ෂිත කලාප පිළිබඳව අදහස් පළ කළ හිටපු මන්ත්‍රීවරයා, උතුරු නැගෙනහිර පලාත්වල දිගටම හමුදා පාලනය තබා ගැනීමට දැරෙන ප්‍රයත්නය වැරදි ක්‍රියාවක් ලෙසිනුයි විග්‍රහ කළේ. "පලාලි කඳවුර අවට විශාල ප්‍රදේශයක්, අක්කර දාස් ගානක් අධි ආරක්ෂක කලාප කියල තවමත් තියාගෙන ඉන්නවා. මේ හමුදාවට තියන බලය පෙන්නන්නයි, මිනිස්සුන්ට කරදර කරන්නයි නේ මේවා තියාගෙන ඉන්නේ," බව හිටපු මන්ත්‍රීවරයාගේ අදහසයි. මේ අතර අදහස් දැක්වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා පවසන්නේ යාපනයේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කොට ඇති නමුත් එම ඉඩම් තවමත් අයිතිකරුවන්ට ලබා දී නැති බවයි. එමෙන්ම ධීවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තයට අදාළ නීති රීති දිනෙන් දින දැඩිවන නිසා යාපනය වැසියන් පීඩාවට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය. සබැඳි තේමා
පාකිස්තානයට එරෙහිව ප්‍රථම වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (ඔක්තෝබර් 07) හැකියාව ලැබිණි.
ඒ, දෙරට අතර පාකිස්තානයේ ලහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 35 කින් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමගය. මෙම තරගාවලියේ පළමු තරගය ද ලකුණු 64කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කිරීමට තිබියදී තරගාවලිය ජයගැනීමට සමත්විය. පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් එක් නොවූ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ නවක ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙනි. මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ සිටින පාකිස්තානය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක 8 සිටින නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් මෙලෙස පරාජයට පත්වීම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ගේ දැඩි කතාබහට ලක්විය. ඊයේ තම දෙවැනි ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ 28 හැවිරිදි භානුක රාජපක්ෂගේ දස්කම් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා ඇගයීමට ලක්විය. පන්දු 48 දි හයේ පහර 6ක් සමග භානුක රාජපක්ෂ ලකුණු 77ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව මෙම තරගාවලියේදී ධනුෂ්ක ගුණතිලක, වනිදු හසරංග සහ නායක දසුන් ශානක දැක්වූ දස්කම් කැපී පෙනිණි. මේ මස අග යෙදී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු විස්ස සංචාරයට මෙම තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පිරිසම සහභාගිකරගත යුතු බවට ක්‍රීඩා ලෝලීන් රැසක් සමාජ මාධ්‍ය ජාලවල මත පළ කර තිබිණි. පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබාගත්තේ විස්සයි විස්ස තරගාවලි හතරක් එකදිගට පරාජය වීමෙන් අනතුරුවය. එසේම මෙය පාකිස්තානය සමග තරග කර ශ්‍රී ලංකාව ලබාගත් පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය ද වේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේ 2015 වසරේ සිට නොකඩවා සීමිත ඕවර තරග 14ක් පකිස්තානයට පරාජය වීමෙන් අනතුරුවය. මෙම තරග දෙකේදීම පාකිස්තාන කණ්ඩායමේ උමර් අක්මාල් ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර එමගින්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ නම ඉදිරියෙන් සටහන්වූ අමිහිරි වාර්තාවක් සම කිරීමට උමර් අක්මාල්ට සිදුවිය. විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල අවස්ථා 10 කදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගොස් එලෙස වැඩිම වාරයක් දැවීගිය ක්‍රීඩකයා බවට පත්ව තිබු අතර තිබෙන උමර් අක්මාල් ඊයේ දින එම වාර්තාව සමකිරීමට සමත්විය. ඩිල්ෂාන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දැවීගිය අවස්ථා 5ක් තිබු අතර මෙම තරගාවලියේ ලබාගත් පළමු පන්දු දැවීයාම් දෙකත් සමග උමර් අක්මාල් අවස්ථා 6කදි එසේ දැවී ගොස් තිබේ. ලෝකයේ වැඩිම අවස්ථාවක් ජාත්‍යන්තර තරගවලදී ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයන්ගේ වාර්තාවල පළමු ස්ථාන 5න් 3ක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියේ සටහන්වී තිබේ. ඉන් දෙදෙනෙකුම ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂතම පිතිකරුවන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි. දැනට ජාත්‍යන්තර පිටියේ රැඳී සිටින ක්‍රීඩකයන් අතරින් මෙම අමිහිරි වාර්තාව ආසන්නයේ සිටින ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ "0" 43ක් ලබාගත් එංගලන්තයේ ස්ටුවර්ට් බෝඩ් සහ "0" 41ක් ලබාගත් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් පසුගියදා ඉවත් කෙරුණ එන්.ශ්‍රී නිවාසන් එම පදවියෙහි ඔහු යළි පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කර තිබුණ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු ලැබුණි.
පදවියෙන් ඉවත් කරනු ලැබ සිටින හිටපු සභාපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරු මුඩ්ගල් කමිටුව විසින් ඉදිරිපත් කර තිබුණ සීල් තැබූ ලියුම් කවරයක අන්තර්ගත තොරතුරු හෙළිදරව් කරමින්, ක්‍රිකට් ක්‍රීඩා තරඟ මුදලට පාවා දුන් පුද්ගල ලැයිස්තුවේ ශ්‍රී නිවාසන්ගේ නමත් ඇතුළත් වෙන බව අනාවරණය කොට ඇත. එන්. ශ්‍රී නිවාසන් චුදිත ලැයිස්තුවේ දහතුන් වැනි ස්ථානයේ සිටින බවයි අනාවරණය කෙරුණේ. එම රහස්‍ය තොරතුරු පළමු වරට ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ.පට්නෙක් කියා සිටියේ, ශ්‍රී නිවාසන්ට එරෙහිව චෝදනා දොළහක් ඇති බවයි. රහස්‍ය ලියුමේ තොරතුරු අයි.පී.එල්.තරඟ පාවාදීමට එරෙහි ක්‍රිකට්ලෝලීන්. ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී රහස්‍ය ලියුම් කවරය තුළ වූ තොරතුරු අනාවරණය කළේ, නීතිවේදී සී.ඒ.සුන්දරම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රතිචාරය පළ කරමින් තර්ක කරමින් සිටියදී. නීතිවේදියා කියා සිටියේ, අධිකරණය මතුපිටින් පෙනෙන දේ මිස වැඩිදුරටත් අවධානය යොමු කළ යුතුව තිබුණ ද්විතීයික සාක්‍ෂි සම්බන්ධයෙන් සැලකිල්ලක් නො දක්වා ඇති බවයි. අයි.පී.එල් ක්‍රිකට් තරඟ මුදලට පාවා දෙනු ලැබීමට අදාළව දැනට ප්‍රකාශිත තොරතුරු අනුව එන්.ශ්‍රී නිවාසන් ඇතුළු දහතුන් දෙනකුගේ නම් ඊට ඇතුළත් වෙන අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනකුත් ඔවුන් අතර වෙති. ඉන්දීය ප්‍රීමියර් ලීග්(IPL) තරඟාවලියේ දී මුදලට තරඟ පාවා දීම් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදු කෙරෙමින් පවතින අතරවාරයේ,ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් තමා ඉවත් කරනු ලැබීමේ අතුරු තහනම් නියෝගය යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී නිවාසන් දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණ අතර, අධිකරණය අවධාරණයෙන් කියා සිටියේ ශ්‍රී නිවාසන් ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ කිසිදු වගකීමක් දරද්දී සාධාරණ විභාගයක් පැවැත්විය නොහැකි බවයි. අදාළ නඩු විභාගය අප්‍රියෙල් විසි දෙවැනි දිනට කල් තබනු ලැබිණ.
සෞදි අරාබියේ දී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් දඬුවම් ලබා සිය රට ගිය ශ්‍රී ලාංකිකයෙකු මාස කිහිපයකට පසුව යළි පැමිණි අවස්ථාවේ ඒ වරදටම යළිත් වරක් සිරගත කර තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.
හොංකොං හි මූලස්ථානය පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම (The Asian Human Rights Commission) පවසන අන්දමට 2013 නොවැම්බර් 14 වෙනි දින හටගත් රිය අනතුරක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ මිනිපේ වැසියෙකු වන ඩීඑම් ජයවර්ධනට දෙසතියක සිර දඬුවමක් නියම කර තිබේ. දෙදරු පියෙකු වන ඔහු මාස කිහිපයකට ප්‍රථම සෞදි අරාබිය බලා ගොස් තිබෙන්නේ කතා කිරීමේ අපහසුවෙන් පෙළෙන සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආදයමක් නොවූ හෙයිනි. රිය අනතුර හටගත් අවස්ථාවේ වරද අනෙක් රථයේ රියදුරා ගේ වුවත් එම රථයේ ගමන් කළ මගීන් පහරදීම හේතුවෙන් ඩීඑම් ජයවර්ධනගේ පාදයකට දරුණු තුවාල සිදු වූ බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි සඳහන් වන පරිදි සිර දඬුවම ගෙවීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ හාම්පුතා මාස ගණනක හිඟ වේතන පවා ගෙවා නැත. සෞදි අරාබියේ ශ්‍රී ලාංකික සහ විදේශීය සේවකයෝ සංක්‍රමණික රියදුරෝ දළ වශයෙන් ලක්ෂ 8 ශ්‍රී ලාංකික සේවකයෝ 190,000 (මූලාශ්‍රය:ශ්‍රී ලංකා තානාපති කාර්යාලය) ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවෝ 90,000 නිවාසවල සේවය කරන ශ්‍රී ලාංකික රියදුරෝ දළ වශයෙන් 10,000 ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 80,000 ඉන් මාස කිහිපයකට පසුව ඔහුට දුරකථන ඇමතුමක් දුන් පැරණි හාම්පුතා යළිත් සේවයට පැමිණෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහුගේ සියලු හිඟ වැටුප් ගෙවන බවට ද ඔහු පොරොන්දු දුන් බව පැවසේ. එම ආරාධනාව පරිදි 2014 ජුලි මාසයේ යළි සෞදි අරාබියට ලඟා වූ අවස්ථාවේ රියදුරු ඩීඑම් ජයවර්ධන යළිත් වරක් පැරණි චෝදනාව යටතේම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී රුපියල් ලක්ෂ විසි පහක දඩ මුදලක් ගෙවන මෙන් අධිකරණය ඔහුට නියෝග කර තිබේ. එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිය යුතු බව අධිරණයේ නිගමනය විය. එතරම් විශාල වන්දි මුදලක් ගෙවිය නොහැකි බැවින් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටින ඩීඑම් ජයවර්ධන උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ නඩු විභාග දෙකේදීම ඔහු වෙනුවෙන් නීතිවේදියෙකු හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙනී සිට නොමැති බවය. අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බැවින්, අධිකරණයේදී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නැත. එකම වරදකට සිරගත කොට නිදහස ලැබූ ඔහු දැන් යළිත් වරක් වසරකට ආසන්න කාලයක් සිරදඬුවම් විඳින අතර, ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ. සවුදි අරාබියේ සේවයේ නිරත විදේශිකයෝ අදාළ පැමිණිල්ල පිළිබඳව මේ මොහොතේ තොරතුරු නොදන්නා නමුත් ඒ පිළිබඳව කාර්යක්ෂමව සොයා බැලීමට කටයුතු කරන බව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේය. මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ඇමතූ අවස්ථාවේ තානාපතිවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ. ශ්‍රී ලාංකිකයන් 190,000 කට ආසන්න පිරිසක් සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ තානාපති අස්මි තාසිම්, ඒ අතරින් 10,000 ක් පමණ දෙනා ගෘහස්ථ රියදුරන් බව ද කියා සිටියේය. ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් පමණ සෞදි අරාබියේ විවිධ ආයතනවල සේවය කරන අතර, ඒ අතරින් විශාල පිරිසක් රියදුරු සේවයේ නිරතව සිටිති. මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනෙක්, සිය රැකියාවේ නිරත වීමේදී තමන් මුහුණ දෙන වේදනාව විස්තර කළහ. ඇතැම් හාම්පුතුන් තුළ "මනුස්ස කමක් නැති" බව කියා සිටි එක් රියදුරෙක් වැඩිදුරටත් සඳහන් කළේ "බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ," යනුවෙනි. "කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා," ඔහු පැවසීය.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං සමග හටගත් නාය යාම් හා ගංවතුර හේතුවෙන් ජිවිත හානි රැසක් වාර්තා වෙමින් පවතී.
වෙයන්ගල්ල, අගලවත්තේ ගංවතුර තත්වය බුලත්සිංහල බෝගහවත්ත ප්‍රදේශයේ නායයාමකින් 6 දෙනෙකු මිය ගොස් 4 දෙනෙකු අතුරුදහන්වී ඇති බව පොලිසිය තහවුරු කළේය. සපුගස්කන්ද හෙයියන්තඩුවේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර කහවත්ත ප්‍රදේශයේ ගසක් කඩාවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි. බුලත්සිංහල කොබෝවිල කන්ද නාය යාමෙන් නිවාස තුනක සිටි සිව් දෙනෙකු අතුරුදහන්වී ඇති අතර, අගලවත්තේ වෙයන්ගල්ල ප්‍රදේශයේ ද නාය යාමකින් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදහන්වී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. අගලවත්ත ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන් වූ 9 දෙනාගේ සිව් දෙනකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසියෙකුවන එම් සහරාන් බීබීසී යට ප්‍රකාශ කළේය. ඉතිරි පිරිස සොයා ගැනීමට ප්‍රදේශයේ තරුණයන් විශාල වෙහෙසක් දරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. 'වහාම ඉවත්වෙන්න' ගංවතුර හා නාය යාමෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබේ. වෙයන්ගල්ල, අගලවත්තේ ගංවතුර තත්වය පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීම් හේතුවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමූ බව පළාත් අධ්‍යාපන කාර්යාලය සිකුරාදා (මැයි 26) උදෑසන නිවේදනය කළේය. පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිටත් ආරක්ෂක හමුදාව යොදවා තිබේ. ආපදා තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ද සිකුරාදා උදෑසන අරලිය ගහ මැදුරේ පැවැත්වුණි. ඉදිරි පැය 24 ඇතුලත රට පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් පතිත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර තිබෙන අනතුරැ ඇඟවීම එහිදී අවධානයට ලක් වී තිබේ. ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් මේ අතර ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි. ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්ව කරුවන් දෙපිරිසක් අතර මාතර දී හට ගත් ගැටුම් වලින් අට දෙනකු තුවාල ලබා රෝහල ගත කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තනතුරට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරින ලද , දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක නායකත්වය දුන් පිරිස එක් කණ්ඩායමක්. එම පිරිස දෙවිනුවර සිට කොළඹ දක්වා පෙළපාලියක යමින් සිටියහ. එම කණ්ඩායම් සහ එක්සත් ජාතික පක්ෂ නායකයාට සහය පළ කරමින් පෙළපාලියක ගිය එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ගේ නායකත්වයෙන් යුතු පිරිස අතරයි මේ ගැටුම් හට ගත්තේ. මාතර මහා නගර සභාව ඉදිරියේ දී දෙපාර්ශවය අතර හට ගත් ගුටිබැට හුවමාරුවේ දී වෙඩි තැබීමක් ද සිදු වී තිබේ. එම වෙඩි තැබීමෙන් පස් දෙනෙක් තුවාල ලැබූහ. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා, හර්මන් ගුණරත්න සහ ඔහුගේ සොහොයුරෙකු ද අත් අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ තමන් 'මානුෂික මෙහෙයුමක්' දියත් කළ බවයි. මාර්තුවේ රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී යෝජනාව ගෙන ඒම සඳහා තවත් රටවල් 47ක් සමග සාකච්ඡා කරන වග යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් අඟහරුවාදා තමන් සහ මාවයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බවයි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමග කියා සිටියේ. දමිළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළ පරිදි ඉකුත් මාර්තුවේ දී මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවෙන් ඉල්ලා තිබුණු පරිදි ශ්‍රී ලංකාවේ රජය යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර නො ගත් බව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමයි. ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් සඳහා යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජනපදය පෙළඹී ඇත්තේ ඒ නිසා බවයි සුමන්දිරන් මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ. එල්ටීටීඊ යට එරෙහි චෝදනා ශ්‍රී ලංකාවේ රජයට මෙන් ම එල්ටීටීඊ සංවිධානයට ද එල්ල වන යුද අපරාධ පිළිබඳ චෝදනා එවැනි පරීක්ෂණයකින් විමර්ශනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි. 2009 මැයි මාසයෙන් පසු උතුරේ දෙමළ ජනතාවට එරෙහිව සිදු වන පීඩා පිළිබඳ ව විභාග කිරීමට යොමු වන ලෙස ද දමිළ ජාතික සන්ධානය යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති වරයා ගෙන් ඉල්ලා සිටි බවත් සුමන්දිරන් මන්ත්‍රී වරයා කියා සිටියේය. එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග පැවැත්වූ සාකච්ඡාවට සවන් දෙන්න බදාදා සංදේශයෙන්.
කොටි සංවිධානය නැවතත් බිහි වීමේ අවදානමක් පවතින බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට ආණ්ඩුව මතු කරන තර්කය සැඟවුණු න්‍යායපත්‍රයක් මත සිදුවන්නක් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
'අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හමුවීම සඳහා ඔවුන්ගේ මව්පියන්ට, නීතිවේදියන්ට අවසර දිය යුතුයි' ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකයින් ඇතුළු ක්‍රියාධරයන් එම චෝදනාව එල්ල කළේ අඟහරුවාදා පෙරවරුවේ කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයකට එක් වෙමින්. වත්මන් රජය විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නා බවයි, එහිදී අදහස් දැක්වූ අතුරුදන් වුවන්ගේ අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට නො හැකි නම් ඊට මානුෂික මුහුණුවරක් ලබා දිය යුතුයි. එම පනත යටතේ අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් හමුවීම සඳහා ඔවුන්ගේ මව්පියන්ට, නීතිවේදීන්ට අවසර දිය යුතුයි," යනුවෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේය. 'වින්දිතයන් පෙළීමට' 'ත්‍රස්ත මර්ධන පනත තිබෙන්නේ රජයේ වුවමනාවටයි' එල්ටීටීඊය යලි හිස ඔසවන බවට පළ වන වාර්තා ආණ්ඩුවේ අවශ්‍යතාවය මත සිදු වන්නක් බවයි, ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ශක්තිවේල් පියතුමා මේ අතර කියා සිටියේ. "උතුරේ විශාල වශයෙන් රඳවා සිටින හමුදා තවදුරටත් රඳවා ගැනීම සඳහා තමයි රජය මේ වගේ කතා කියන්නේ," යනුවෙන්ද ශක්තිවේල් පියතුමාසඳහන් කළේය. විරෝධතාවයට එක් වී සිටි අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ අදහස් දක්වමින්, වින්දිතයන් පෙලීම සඳහා ත්‍රස්ත මර්ධන පනත යොදා ගැනීම හෙලා දකින බව කියා සිටියාය. කිලිනොච්චියේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි අත්අඩංගුවට ගැනීම තුලින් එය මනාව පැහැදිලි වන බවයි, ඇය කියා සිටියේ. උද්ඝෝෂකයින් ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේ ජාතික ආරක්ෂාව තකා මෙම පනත පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය බවයි. "මේ නීතිය ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඇමරිකාව වැනි රටවල තිබෙනවා නම් ඇයි අපට විතරක් මේ නීතිය පවත්වා ගෙන යන්න බැරි," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. විරෝධතාවය පැවති අවස්ථාවේ කොළඹ අධිකරණ සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව තර කොට තිබුණි.
මන්නාරමේ තිරුකේතීස්වරම් හිදී හමු වූ සමුහ මිනී වලේ මළ සිරුරු විස්සකට අධික සංඛ්‍යාවක් තිබෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න බී සී සංදේශයට පැවසීය.
මහා මාර්ගයක් තැනීමේ දී අහම්බෙන් මතු වූ මේ සමුහ මිනී වල දුටු සැනින් මෙය නීති විරෝධී අයුරින් මළ සිරුරු වල දමා ඇති තැනක් බව තීරණය කළ බවත් තවමත් මළ සිරුරු විද්‍යාගාරයකට ගොස් නැති බවත් වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න ප්‍රකාශ කළේය. මළ සිරුරකට සම්බන්ධයක් නැතිව වෙන් ව ගිය ඇට කැබලි පමණක් මන්නාරම අධිකරණය භාරයට පත් කොට ඇති අතර සෙසු මළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ සමුහ මිනීවල තුලම තිබෙන බව යි ඔහු ප්‍රකාශ කළේ. එකිනෙක හරහා වැටී ඇති මළ සිරුරු පොළවේ පස් ස්තර කීපයක් හරහා වැටී තිබෙන අතර දැනට මීටරයක් පමණ ගැඹුරට කැනීම් කොට ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා කියා සිටියේය. තිරුකේතීස්වරම් සමුහ මිනී වලේ කැනීම් පුරා විද්‍යාත්මක ගවේෂණ කැනීම් වලදී භාවිතා කරන ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉතා හෙමින් මෙම කැනීම කරන බවයි අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කළේ. මෙම සමුහ මිනී වලේ තිබෙන ඇට සැකිලි කෙළින් හිටුවා ඒවායේ උස ඇතුළු දේහ ලක්ෂණ විමර්ශනය කිරීම විමර්ශනයේ මුල් පියවර වන බව අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න කියා සිටියේය. ගෙවී ගිය වසරේ දෙසැම්බර් මස අගදී ආරම්භ වූ නැවත ජනවාරි 16 වැනිදා ආරම්භ කෙරෙන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
දශක තුනක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති උතුරු පළාතේ මැතිවරණ පවත්වා ජනතාවට අවශ්‍ය පරිපාලනය තෝරා පත් කර ගැනීමේ අයිතිය ලබා දීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පාලක සන්ධානය මධ්‍යම සහ වයඹ පලාත්වල ප්‍රබල ජයග්‍රහණයක් අත් කර ගත්තේය සෙනසුරාදා පැවති උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා, එම මැතිවරණ විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ තීරණාත්මක අවස්ථාවක් ලෙසින්. මධ්‍යම සහ වයඹ පළාත්වලදී ආණ්ඩුවට පහසු ජයක් අත් වූ අතර, පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රබල පරාජයන්ට මුහුණ දී සිටින නමුත්, හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මධ්‍යම සහ වයඹ පළාත්වලින් ආසන පහක් දිනා ගැනීමට සමත් වී තිබේ. නිදහස වෙනුවෙන් දිවි පිදූ සෙබළුන්ගේ කැප කිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් මුලුල්ලේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති දේශපාලන පක්ෂ දැන් නිදහස භුක්ති විඳිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. මධ්‍යම සහ වයම පළාත්වල ජනතාව මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුමත කොට තිබෙන බව පවසන ජනාධිපති රාජපක්ෂ, පටු අන්තවාදී අදහස් අත් හැර දමා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය උදා කිරීම උදෙසා අත්වැල් බැඳ ගන්නා මෙන් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 18) අලුයම 2.16ට කක්ෂගත කිරීමට නියමිතය.
එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය. එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී හෙට අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට සියලු කටයුතු යොදා තිබේ. නාසා ආයතනය නිවේදනය කළේ, රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවය. නාසා ආයතනයේ Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන බවය. මේ සම්බන්ධයෙන් බර්ඩ්ස් 3 චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ෆේස්බුක් පිටුවේ සටහන් වී තිබුණේ මෙසේය. රාවණා 1 රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී. රාවණා 1 ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ මීට පෙර බීබීසී සිංහල සේවයට සඳහන් කළාය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ. අරමුණු රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත. රාවණා තාක්ෂණය මෙම සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, 'රාවණා 1' යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය. "රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ," අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ පැවසීය. දුලානි සහ තරිඳු දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය. දුලානි සහ තරිඳු ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.
උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන මුල් කර ගනිමින් එරට සහ ඇමරිකාව අතර දේශපාලන උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී.
උතුරු කොරියාව විසින් නිකුත් කරන ලද "මහාපරිමාණ ප්‍රහාරක අභ්‍යාසවල යෙදෙන ආකාරය" දැක්වෙන ඡායාරූප "දින කීපයක් ඇතුළත" දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීමට සැලසුම් කරන බව ඇමරිකාව පවසයි. එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් තර කරන බවටත් ඇමරිකාව අනතුරු අඟවයි. තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 2017 වසරේ අග භාගයවන තෙක් භාවිතයට නොගන්නා බව මුලින් ප්‍රකාශයට පත් විය. තමන් උතුරු කොරියාවේ ඉලක්කයට ලක් විය හැකි බවට බිය පළ කරන බොහෝ දකුණු කොරියානු වැසියෝ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් විරෝධය පළ කරති. තවදුරටත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන බවට උතුරු කොරියාව ප්‍රතිඥා දී තිබේ. ඇමරිකාවේ ශාන්තිකර කලාපීය විධානයේ අණදෙන නිලධාරි ඇඩම් හැරී හැරිස් ඊයේ (අප්‍රේල් 26) එරට කොංග්‍රස් සාමාජිකයන් අමතමින් කියා සිටියේ "දකුණු කොරියාවට එරෙහිව ඉහළ යමින් පවතින උතුරු කොරියානු තර්ජනයෙන් වඩාත් හොඳින් ආරක්ෂා වීම සඳහා" තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියේ මෙහෙයුම් කටයුතු ඉදිරි දින කීපය තුළ ආරම්භ වනු ඇති බවය. සොන්ජු පළාත තුළ ඇති තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ 'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ? 'තාඩ්' මිසයිල පද්ධතිය 'තාඩ්' මිසයිල විදිනයක් තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ බදාදා සොන්ජු ප්‍රදේශය වෙත රැගෙන ආ අතර ප්‍රදේශවාසීහු ඊට විරෝධය පළ කළහ. ඒ සම්බන්ධයෙන් චීනය ද කෝපය පළ කර සිටී. තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සතු රේඩාර් හැකියාව සිය හමුදා ආරක්ෂාවට සහ කලාපයේ බල තුලනයට බලපෑම් එල්ල කරනු ඇති බවට චීනය බිය පළ කරයි. තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ බදාදා සොන්ජු ප්‍රදේශය වෙත රැගෙන ආ අතර ප්‍රදේශවාසීහු ඊට විරෝධය පළ කළහ කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග
ඕස්ට්‍රේලියාවේ රැකියා පතන විදේශිකයන්ට වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය දැඩි කරන බව ආණ්ඩුව නිවේදනය කළේය.
'457 වීසා වැඩසටහන' ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලැබුවේ ආපන ශාලා, තොරතුරු තාක්ෂණය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු සඳහා විදේශිකයන් බඳවාගැනීම පිණිසය. එම වැඩසටහන භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණි බහුතරය ඉන්දීය, බ්‍රිතාන්‍ය සහ චීන ජාතිකයන්වන අතර, ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන්ද සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අවසරය හිමිවිය. එහෙත් අදාළ ක්ෂේත්‍රවල රැකියා ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම පිණිස '457 වීසා වැඩසටහන' අවලංගු කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් නිවේදනය කළේය. 'ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රමුඛත්වය' 457 වැඩසටහන යොදාගෙන විදේශිකයන් රැකියා පැතීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට රැකියා අහිමිවන බවට විවේචකයෝ තර්ක කළහ. ඒ වෙනුවට ක්‍රියාවට නැගෙන නව වැඩසටහන මගින් නිකුත් කරනු ලබන්නේ තාවකාලික වීසා බලපත් පමණක්වන අතර, ඒ සඳහා කලින්ට වඩා සුදුසුකම් සපුරාලීමද අවශ්‍ය වේ. 457 වැඩසටහන යටතේ පසුගිය වසරේ 95,758 ක පිරිසකට නිකුත් කරන කර තිබේ එය ජාතික අවශ්‍යතා මත පමණක් පදනම් වන්නක් බවද අගමැතිවරයා අවධාරණය කරයි. '457 වීසා වැඩසටහන' යටතේ 2016 දී වීසා බලපත්‍ර බහුතරය නිකුත්කර තිබෙන්නේ කෝකියන්, පරිගණක ශිල්පීන් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහාය. ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 457 වැඩසටහන යටතේ පසුගිය වසරේ නිකුත් කරන ලද 95,758 ක පිරිස අතරින් වැඩිම ප්‍රතිශතය (24.6%) පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්වන අතර, බ්‍රිතාන්‍ය (19.5%) සහ චීන ජාතිකයන් (5.8%) විශාල පිරිසක්ද ඒ අතර සිටිති. එම ක්‍රමය යටතේ කෙටි කාලීන වීසා සඳහා රැකියා 650 ක් පමණ ඇතුළත්ව තිබුණු නමුත් එයින් රැකියා 200 ක් පමණ හඳුන්වා දෙන නව වීසා ක්‍රමයෙන් ඉවත් කෙරෙන බව අගමැති ටර්න්බුල් නිවේදනය කළේය. දිගු කාලීන වීසා සඳහා විධිවිධාන තවත් දැඩි කෙරෙනු ඇති බවත් සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් පැවසීය. ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය සහ අපරාධවලට සම්බන්ධ වී නොතිබීම අත්‍යවශ්‍ය සාධකයන්වන අතර, ඔවුන්ට වීසා නිකුත් කරනු ලබන්නේ කම්කරු වෙළඳපොලේ අවශ්‍යතා අනුවය. ක්ෂණික ආහාර නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් විදේශිකයන්ට වීසා බලපත් නිකුත්කිරීම අත්හිටුවන බව ඕස්ට්‍රේලියාව පසුගිය මාසයේ නිඔවේදනය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කොට තිබේ.
ලකුණු 40.98 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් තිලකරත්න ඩිල්ශාන් ටෙස්ට් තරඟ 87 ක් ක්‍රීඩා කොට තිබේ ඩිල්ශාන්ගේ සමු ගැනීම සනාථ ක‍රන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ වැඩි විස්තර හෙළි කිරීමට නියමිත බවද පවසයි. ලකුණු 40.98 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ටෙස්ට් තරඟ 87 ක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ශාන්, ප්‍රහාරාත්මක පිති හරඹයක යෙදෙමින් එක් දින තරඟ පිටියේද විශේෂ දස්කම් දැක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයෙන් අනතුරුව ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට මුලින් තීරණය කොට සිටි නමුත්, සිම්බාබ්වේ සංචාරය කල් දැමීම හේතුවෙන් මේ මොහොතේ සමු ගැනීමට තීරණය කළ බවයි, ඔහු ඊඑස්පීඑන් මාධ්‍ය ජාලයට පවසා තිබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවද්දී, 2011 දී එංගලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 193 ඔහුගේ ටෙස්ට් ජීවිතයේ දක්ෂතම ඉනිමයි. 2011 ලෝක කුසලානය සමයේදී ඩිල්ශාන් බීබීසී සංදේශය සහ ක්‍රීඩා වෙබ් අඩවිය සමඟ විශේෂ තීරු ලිපි මාලාවකටද සහභාගි විය.
නගර අලංකරණයට පෙර වඩා වැදගත් වන්නේ මිනිසුන්ට පහසුවෙන් ජීවත් විය හැකි හිතකර පරිසරයක් ගොඩ නැගීම බව ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානයේ උපාධි අධ්‍යන පාඨමාලාවක් සඳහා තෝරා ගැනුණු නදීෂා චන්ද්‍රසේන පවසයි.
‘නගර අලංකරණය කියන්නේ වෙනම දෙයක්. උදාහරණයක් විදිහට ගන්න පිළිකා රෝගියෙක්. පිළිකා රෝගියාට මේ මොහොතේ කරන්න තියෙන්නේ අදාළ ප්‍රතිකාර දීලා පිළිකාව මර්දනය කිරීම. එයාට රූපලාවණ්‍ය ප්‍රතිකාර දෙනවා කියන්නේ වෙනම දෙයක්. නගරයේ තත්වයත් එහෙම තමයි. කොළඹ තත්වයත් එහෙම තමයි’ යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්. ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ගියුලරිටි විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පාඨමාලාවට සහභාගී වීමට වරම් ලද පළමු ශ්‍රී ලාංකිකයා නදීෂා චන්ද්‍රසේනයි. ‘මේකෙන් කෙරෙන්නේ ලෝකය පුරා විසිරිලා ඉන්න නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයන්, විවසායකයන් අසූ දෙනෙක්ව නාසා ආයතනයට ගෙන්නලා ඒ අසූ දෙනාට ඉදිරි වසර දහය ඇතුළත ලෝකයේ මිනිස්සු බිලියනයකගේ ජීවිත යහපත් ලෙස වෙනස් කරන්න පුළුවන් නව නිපැයුමක්, අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්න අවශ්‍ය පහසුකම් සලසන ඒක’ ඇය පැවසුවාය. මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධිය හදාරන නදීෂා චන්ද්‍රසේන මෙම පාඨමාලාවට තෝරා ගනු ලැබ තිබෙන්නේ ලොව පුරා අයදුම්කරුවන් පන්දහසක් අතුරින්. සිය ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘතියේ වූ යෝජනාව හේතුවෙන් එම අවස්ථාව තමාට හිමි වූ බව ඇය සඳහන් කළාය. ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලා යෑම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය නිසා අවහිර වීම වළක්වාලන ක්‍රමවේදයක් නදීෂා චන්ද්‍රසේන සිය ව්‍යාපෘතිය තුළින් හඳුන්වා දී තිබේ. 'ලංකාවට සේවයක්' ‘මගේ ව්‍යාපෘතිය තුළින්, ස්තර දෙකක කාණුවක් නිර්මාණය කරලා, පළමු ස්තරය ඝන අපද්‍රව්‍ය රැඳෙන්නත්, දෙවැනි ස්තරය වැහි වතුර ගලාගෙන යන්නත්. එතකොට වැස්සක් වැටුනත් කාණු හිර වෙන්නේ නැහැ. එතකොට ගංවතුර තත්වය අවම වෙනවා’ ඇය කියා සිටියාය. වර්ෂාවෙන් පසු ඇති වන හදිසි ගංවතුර තත්වයන්ට අමතරව විශේෂයෙන් කොළඹ නගරයේ දිළිඳු ජනාවාස සහිත ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය සම්බන්ධයෙන්ද ගැට‍ළු පවතින බවයි නදීෂා චන්ද්‍රසේන සඳහන් කළේ. ‘මගේ ව්‍යාපෘති යෝජනාවෙන් සිද්ධ වෙන්නේ නගරය, මිනිසුන්ට හිතකර ලෙස ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරීම. කොළඹ විතරක් නෙවෙයි කල්කටාව, බංගලාදේශය, ඉන්දියාව අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සියලු රටවල් ගත්තහම දිළිඳු ජනාවාස කියන්නේ සියයට පනහ ඉක්මවා යන දෙයක් සාමාන්‍ය ජනාවාස හා සැසදීමේදී’ ඇය කියා සිටියාය. ‘නගර අලංකරණය හෝ නගර සංවර්ධනය කියන වැඩපිළිවෙළ මගින් භෞතික ඉදිකිරීම් කෙරෙනවා. නමුත් වැස්සක් වැටුනහම අමතර වැහි වතුර කොහෙටද ගලා යන්නේ, ඒ වතුර ගලා යන්න තියන කාණු ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන දේ හිතන්නේ අඩුවෙන්. ඒක ගැන ඒගොල්ලෝ තක්සේරුවක් කරනවා ඇති. නමුත් තක්සේරුව අඩුයි. ඒ වෙනුවෙන් වැඩ කරලා නැහැ’ ඇය පැවසුවාය. ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානය විසින් තමාට ලබා දී ඇති උපාධි අධ්‍යන පාඨමාලාව තුළින් ශ්‍රී ලංකාවට සේවයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය සඳහන් කළාය. ‘ලංකාවේ මිලියන විස්සට කතා කරන්නේ නැතුව, ලංකාවේ මිලියන විස්සගේ ජීවිත පහසු තත්වයට පත් කරන්නේ නැතුව මට ලෝකේ ඉතුරු බිලියනයට කතා කරලා වැඩක් නැහැනේ. ඉතින් ප්‍රායෝගිකව ලංකාවේ ඉන්න මිලියන විස්සට තමයි මම මුලින්ම කතා කරන්නේ’ නදීෂා චන්ද්‍රසේන වැඩිදුරටත් පැවසුවාය. මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ මූලික උපාධිය ලබා ඇති නදීෂා චන්ද්‍රසේන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා තිබෙන අතර වර්තමානයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ අධිකාරීලත් නිලධාරිණියක් ලෙස සේවය කරයි.
ශ්‍රී ලංකාවේ තිස් වසරකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය නිම වී වසර අටක් ගතව ඇත.
ආණ්ඩුවේ හමුදා විසින් ආණ්ඩු විරෝධී දෙමළ සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජයට පත් කරනු ලැබුවේ 2009 වසරේ මැයි 18 වෙනිදාය. යුද්ධයේ අවසාන අදියරට පෙර වසර විසි පහකට අධික කාලයක් පැවති ගැටුම්වලින් හැත්තෑ දහසකට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ඇස්තමේන්තු කෙරේ. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි සංවිධානය අතර පැවති අවසන් ගැටුමේ දී ජීවිත අහිමි වූ හෝ අතුරුදහන් වූ පුද්ගල සංඛ්‍යාව තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් වී නැත. ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය යන දෙපාර්ශවය විසින්ම යුද අපරාධ සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ට එරෙහි එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මේ අතර සංහිඳියා යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා ආණ්ඩුව විසින් දරනු ලබන උත්සාහය ප්‍රමාණවත් නොවන බව ඇතැම් විවේචකයෝ පෙන්වා දෙති. සංහිඳියා යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ නායකයන් බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) පසුගියදා නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙයි. "ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය සහ වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී," යනුවෙන් එම වාර්තාවේ සඳහන් වෙයි. ලාංකික ළමා පරපුර සහ තරුණ ප්‍රජාව අතර සංහිඳියාව ගොඩ නැගීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන තිබේද? මෙය බොහෝදෙනා මතු කරන ප්‍රශ්නයකි. ලොව ගැටුම් පැවති බොහෝ රටවල සංහිඳියාව සහ අන්තර් සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම සඳහා යොදා ගත් එක් මාධ්‍යයක් වන්නේ කලාවයි. ශ්‍රී ලංකාව ගත්විට ඒ සඳහා ප්‍රමාණවත් කලා නිර්මාණ බිහි වී තිබේද ? ප්‍රශ්නයකි. සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කලාව තුළින් ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ මැයි 19 වෙනිදා විද්වතුන් සහ කලාකරුවන් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි. කලා නිර්මාණ ජාතික සමගිය සහ ජාතීන් අතර අවබෝධය ගොඩ නැගිය හැකි නිර්මාණ බිහි වීමේ වැදගත්කම ජනාධිපතිවරයා එම හමුවේ දී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මහාචාර්ය සරත් විජේසූරිය, අශෝක හඳගම, ගාමිණී වියන්ගොඩ ඇතුළු විද්වතුන් සහ කලාකරුවන් පිරිසක් ජනාධිපතිවරයා සමහ පැවති සාකච්ඡාවට එක් වී සිටියහ. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා කලාවෙන් ප්‍රමාණවත් දායකත්වයක් ලැබී ඇත්දැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේ දී ඔහු කියා සිටියේ කලාවෙන් ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් තවමත් ලැබී නොමැති බවය. "සාමාන්‍යයෙන් විවිධ රටවල විශාල විනාශයන් සිදු වුනාට පසු ඒ විනාශය කලාව තුළින් අපට දැක ගත හැකි ආකාරයේ ලෝකප්‍රකට කලා කෘති බිහි වී තිබෙනවා." කෙසේ නමුත් එවැනි කලා කෘති බිහි වීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් ඔහු පෙන්වා දෙයි. යුද්ධය සහ සාමය "උදාහරණයක් විදිහට රුසියානු සාහිත්‍යයේ ලියෝ තොල්ස්තෝයිගේ යුද්ධය සහ සාමය. ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ කෘති බිහි වෙලා තියෙන්නේ රජයේ මැදිහත්වීමකින් නොවෙයි. එවැනි නිර්මාණ බිහි කරන්න කලාකරුවන්ටම ආවේශයක් එනවා" රජයේ මැදිහත් වීමට වඩා ශ්‍රී ලංකාවේ කලාකරුවන් තුළින්ම එම ආවේශය ඇති විය යුතු බව කී මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ "විනාශය පිළිබඳ කොහොමද කලාකරුවෙක් සංවේදී වන්නේ? තමන්ගේ නිර්මාණකරණය තුළ ඒ විනාශය නිරූපනය කරන්නේ කොහොමද? කියන ගැඹුරු අනුභූතීන් කලාකරුවන් තුළම ඇති විය යුතු"යයි පවසයි. එවැනි තත්වයක් ඇති නොවන තාක් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ මැදිහත් වීමකින් කළ හැකි කිසිවක් නොමැති බව ඔහු සඳහන් කළේය. පොදුවේ රට තුළ සංහිඳියාව ඉහළ නැංවීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ අංශ තුළ ක්‍රියාමාර්ග ගෙන ඇතත් එය ප්‍රමාණවත් යැයි තමන් විශ්වාස නොකරන බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගොඩනැගීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින බව වාර්තාවේ.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවයට තොරතුරු කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් සඳහන් කළේ, එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කෙරෙනු ඇති බවය. ඔහු මේ කරුණු සඳහන් කළේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය. නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ කිහිප දෙනෙකු සමග ද මේ වනවිට සාකච්ඡා කෙරෙන බව අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ තීරණ දැනුම් දී ඇති බවය. දැනට පවතින හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා වැනි අයෙකු පත්කරගැනීම පිළිබඳව විරෝධයක් නැතත් සිය පාර්ශ්වය ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවන බව ඔහු කියා සිටියේය. විපක්ෂයේ සිට ඊට සහය දෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එවැනි ආණ්ඩුවක් පෙරලීමට ඉඩ නොදෙන බව ද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය. 'කාලය ඉවරයි' මේ අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම සිය පක්ෂයට එකඟවිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ජනපතිට යැවූ ලිපිය පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන නව රජයක් පිහිටුවිය යුතුයැයි අපේක්ෂාකරන බව පවසන ඔහු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඔහු සිය ලිපියෙන් පෙන්වාදෙන්නේ වර්ෂ දෙකක කාලයක් සඳහා සම්මුතිවාදී රජයකට එකඟතාව පළවුවත් දැන් එම කාලය ඉකුත්වී ඇති බවකි. එම කාලය තුළදී අගමැතිවරයාගේ නායකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම අසීරු වුවද සිය මැති ඇමතිවරුන් සාමුහික බව ගරු කළේ යැයි ඔහු කියා සිටී. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දූෂණ මැඩලීම වෙනුවට මහා බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාණ වංචා අගමැතිවරයාගේ දැනුම මත සිදුවූ බව රටට රහසක් නොවේ යැයි සිය ලිපියෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි. ආර්ථික කළමනාකරණය මෙන්ම යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු තමන්ට ද එකඟවිය නොහැකි, දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙලකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලැබූ තීරණ නිසා වර්තමානයේ ජනමතය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියේ දැක්වේ.
ගතව ගිය වසරේදීත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණයේ ප්‍රබල ප්‍රගතියක් නොමැතිවීම සම්බන්ධයෙන් සිය බරපතල අවධානය පළ වී තිබෙන බව බ්‍රිතාන්‍යය ආණ්ඩුව පවසයි.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ලන්ඩන් නුවරදී වාර්තාව ප්‍රකාශයට පත් කළේය 2012 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්ෂික වාර්තාව නිකුත් කරන විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධ බ්‍රිතාන්‍ය කාර්යාලය හෙවත් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය නිදහස සහ අධිකරණයේ නිදහසට එල්ල වූ තර්ජන පිළිබඳව විශේෂ අවධානය පළ කොට තිබේ. යුද්ධයෙන් අනාථවූවන් යලි පදිංචි කිරීමේ ප්‍රගතියක් දක්නට ලැබුණු නමුත් මානව හිමිකම් ක්‍රියාධරයන්ට එල්ල වන තර්ජන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ සිදුවීම් ගතව ගිය වසරේදීත් වාර්තා වූ බව ද බ්‍රිතාන්‍ය වාර්තාවේ දැක්වේ. ලන්ඩන් අගනුවරදී වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විදේශ ලේකම් විලියම් හේග් විසින්. දෝෂාභියෝගය සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් කුමාර් සහ කූගන් මුරුගන් ඇතුළු බොහෝ දෙනකු අතුරුදහන්වීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව අවධානය පළ කරන වාර්තාව කෙසේ වෙතත්, 2012 දී මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා නොවූ බවද සඳහන් කරයි. පසුගිය මැයි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු අගමැති ඩේවිඩ් කැමරන්, යුද්ධයෙන් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීමේ සහ යුධ අපරාධ චෝදනා ලැබූවන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බව ද වාර්තාවේ සඳහන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටීම සහ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශ් ඝාතනය සම්බන්ධ පරෙක්ෂණවල ප්‍රගතියක් දක්නට නොමැතිවීම පිළිබඳව ද බ්‍රිතාන්‍ය වාර්තාව අවධානය පළ කරයි. අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට ප්‍රහාරයක් එල්ලවීම සහ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙක් වෙඩි තබා මරා දැමීම මෙන්ම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය ද විශේෂ අවධානය පළ වී තිබෙන සිදුවීම් අතර වේ. සමලිංගික සම්බන්ධතා තවමත් ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කොට තිබෙන බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය, සමලිංගික අයිතීන් වෙනුවෙන් හඬ නඟන ක්‍රියාධරයන්ට තර්ජන එල්ල වන්නේ නම් එවැනි අවස්ථා පෙන්වා දෙන මෙන් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔවුන් දිරිමත් කරන බව ද පවසයි. එමෙන්ම යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ කිසියම් ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත්, උතුරේ තවමත් හමුදා භටයන් විශාල පිරිසක් සිටින බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සමස්තයක් වශයෙන් උතුරේ පවතින්නේ යහපත් වාතාවරණයක් නොවන බව ද ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරමින්, මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විශේෂ කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළ බව යළි පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් මණ්ඩලය තුල මතභේද පවතී බවට වාර්තා ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා අදාළ සංශෝධනයට ඇතුලත්ව නැතැයි පසුගිය බ්‍රහස්පතින්දා පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් පිරිසක් පළ කළ විරෝධයෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පිණිස යළිත් ඉරිදා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණි. 'හදිසි පනතක්' රාජිත සේනාරත්න සහ චම්පික රණවක ඇමතිවරුන් බ්‍රහස්පතින්දා එම විරෝධය පළ කළ බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ. 'ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් විදියට ගේනවට මමත් විරුද්ධයි' - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව සංශෝධනයට අනුකූලව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වන අතර, අගමැතිවරයා පත්කිරීම සහ ව්‍යවස්ථාවෙන් බලය ලබා දෙන අනෙක් කරුණුවලදී හැර ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් ප්‍රකාර බවද අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් සඳහන් කළේය. ඉරිදා රැස්වීමේදී ගත් තීන්දු පිළිබඳව විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙසින් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීන්දුවට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා දැඩි විරෝධය පළ කළ අතර, එම විරෝධය තමන්ද අනුමත කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩනයේ දී බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. එමෙන්ම ව්‍යවස්ථාවට සහ මැතිවරණ ක්‍රමයට එකවර සංශෝධන ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මීළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ එම සංශෝධන සම්මත කරගැනීමෙන් අනතුරුව බව අවධාරණය කරයි. එවැනි වාද විවාද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ බව සඳහන් කළ ජනාධිපතිවරයා, සාකච්ඡා මාර්ගයෙන් එවැනි මතභේද විසඳා ගත හැකි බවද සංදේශයට පැවසීය.
උතුරු සිරියාවේ අලෙප්පෝ නගරයේ සතියක් පුරා පැවති හමුදා අත්පත්කරගැනීම බිඳ දමා ඇතුළු වූ කැරලිකාර කණ්ඩායම් ප්‍රමෝදයට පත්වී සිටින බව වාර්තා වේ.
රජයට සමීප ආරංචි මාර්ග හමුදාව නගරයෙන් පිටතට තල්ලු වී ඇතැයි යන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර කාලතුවක්කු හමුදා මුලස්තනයකින් කැරලිකරුවන් පලවා හළ බවයි ඔවුන් පවසන්නේ. කැරලිකාර කණ්ඩායම් රජයේ හමුදාවේ පාලනය බිඳ දමා ඇතුළුවූ බව ප්‍රකාශකිරීමෙන් පසු උද්දාමයට පත් සිරියානු ජනතාව නගරයට රැස්වූහ එක්සත් රාජධානිය පදනම් කොටගෙන සිටින ක්‍රියාධරයෙකු පැවසුවේ කැරලිකරුවන් නැගෙනහිර අලෙප්පෝ වල සිටින තම සගයන් සමග සබඳතා ඇතිකර ගැනීමට සමත් වී ඇති බවයි. එහෙත් ආරකෂකාරී මාර්ගයක් ස්ථාපිත කර ගැනීමට කැරලිකරුවන් තවමත් අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ. විරුද්ධ පක්ෂ නිලධාරීන් පවසන්නේ ඔවුන් අලෙප්පෝ නගරයට වෙනත් මාර්ගයක් විවෘත කළ බවයි මෙම කැරලිකාර සන්ධානයට අල් ඛයිදා වේ සහය ලබන කණ්ඩායම් ද ඇතුළත් වී සිටිති. පසුගිය මාසයේ දී රජයේ හමුදාවන් අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සතුව තිබූ ප්‍රදේශ අත් පත් කරගත් අතර දෙලක්ෂ පනස්දහසක් පමණ වූ ජනතාවක් එම ප්‍රදේශවල ජීවත්විය. සති ගණනක් තිස්සේ නගරයේ පාලනය පැවතියේ රජයේ හමුදා යටතේය රමි අබ්දෙල් රහමන් නම් එක්සත් රාජධානියේ සිටින සිරියාවේ මානවහිමිකම් සොයාබැලීමේ කමිටුවේ ප්‍රධානී පැවසුවේ කැරලිකරුවන් හමුදා වළල්ල බිඳ දමා ඇති නමුත් මාර්ගය තවමත් මුළුමනින්ම ආරක්ෂා සහිත නැති බවයි. හමුදා වළල්ල බිඳ කැරලිකරුවන් නගරයට අතුලුවීම පිලිබඳ සතුටට පත් කාන්තාවක් ජයග්‍රහණයේ සංකේතය පෙන්වමින් සිකුරාදා කැරලිකරුවන් පැවසුවේ ඔවුන් කාලතුවක්කු මූලස්ථානයකට කඩා වැඩුණු බවයි. සුදු හෙල්මට් පැළඳි සහන සේවකයෝද ජයඝෝෂා කරන්නවුන් අතර සිටියහ එහෙත් තමන් එම ප්‍රහාරය මෙල්ල කළ අතර කැරලිකරුවන්ට දැඩි හානි සිදුවූ බවයිරජයේ හමුදා පැවසුවේ.
සිව් වතාවක්ම ජගත් පාපන්දු කුසලානය දිනා ගත් ලොව ඉහළම පෙළේ පාපන්දු කණ්ඩායමක් වන ඉතාලිය 1958න් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.
ඉතාලියට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වූයේ ස්වීඩනය සමග පැවති තරගයෙන් පරාජයවීම හේතුවෙනි. තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමගම 2006න් පසුව ප්‍රථම වතාවට ස්වීඩනය ලෝක පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලැබුවේය. ඉතාලිය පාපන්දු ලෝක කුසලානයට සහභාගි නොවෙන්නේ එරට පාපන්දු ඉතිහාසයේ දෙවැනි වතාවටය; 1930 දී පැවති පළමු ලෝක කුසලානයට සහභාගි නොවීමට ඉතාලිය තීන්දු කළේය. ස්වීඩනය සමග තරගය අවසාන වීමේ විසිල් නාදයත් සමගම ඉතාලි කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියලු දෙනාම පාහේ බිම අද වැටුණු අතර, Andrea Belotti සහ Immobile ක්‍රීඩකයන් කඳුළු සලන ආකාරය ද දකින්නට ලැබුණි. ඒ සමගම ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ස්වීඩන කණ්ඩායම ජයග්‍රහණයේ ප්‍රීතිය සැමරූහ. ඉතාලියේ ප්‍රකාශයට පත්වන Gazzetta dello Sport පුවත්පත කණ්ඩායමේ පරාජය වාර්තා කර තිබුණේ "හෙළිදරවුව" යන අරුත දෙන ශීර්ෂ පාඨයක් යොදමිනි. සිය 175 වෙනි ජාත්‍යන්තර තරගයට සහභාගි වූ කණ්ඩායමේ නායක 39 හැවිරිදි Gianluigi Buffon, එය සිය අවසාන ජාත්‍යන්තර තරගය බව තහවුරු කළේය. තරගය නිමාවීමත් සමග කඳුළු අතරින් අදහස් දැක්වූ කණ්ඩායමේ ගෝල් රකින්නා ද වන නායක Gianluigi Buffon, "මට කනගාටුවක් මා ගැන නොවෙයි, ඉතාලියේ පාපන්දු ක්‍රීඩාව ගැන" යනුවෙන් සඳහන් කළේය. "ක්‍රීඩාවේ විතරක් නෙවෙයි, අපි මුළු සමාජයේම අපේක්ෂා බිඳ දැමුවා." සබැඳි යොමු:
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය පිළිබඳව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය බරපතල අවධානය පළ කරයි.
සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය 'අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ' ජගත් සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. "අපි දන්නා විදියට ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරිය අතර සම්බන්ධතා බිඳ වැටිලා තියෙන්නේ. අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ," ආදිපාදවරිය සඳහන් කළාය. "අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න යන්නේ මොන චෝදනා මතද කියල අපිට තවම පැහැදිලි නෑ. නමුත් විශේෂයෙන්ම මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණය කරන දේට ආණ්ඩුව කැමති නෑ ඒ නිසා අගවිනිසුරුවරිය ඉවත් කරන්න හදනවා කියන අදහස," යනුවෙන්ද බ්‍රිතාන්‍ය අධිකරණයේ රාජ නීතිඥවරියකද වන හෙළනා කෙනඩි ආදිපාදවරිය සඳහන් කළාය. දිවි නැගුම සම්බන්ධ විමර්ශනය 'මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්' අගවිනිසුරුවරයා කිසියම් වරදක් කොට තිබෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම වරදක් නොවන බව පවසන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ සම සභාපතිවරිය, කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය යටතේ එවැන්නක් සාධාරණීකරණය කළ නොහැකි බවද පවසන්නීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට පසුගියදා ගල්කිස්සේදී එල්ලවූ ප්‍රහාරය සහ දිවි නැගුම පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ විමර්ශනය අතර ප්‍රබල සම්බන්ධයක් ඇති හැඩක් පෙනීයන බවයි, ජගත් නීතිවේදීන්ගේ සංගමය පවසන්නේ. "ප්‍රහාරය සිද්දවුන ඔක්තෝබර් 07 වෙනිදාට කලින් ඉඳලම මංජුල තිලකරත්නට තර්ජන එල්ලවෙමින් තිබුනේ. ඔහු තමන්ගේ ජීවිතය ගැන බියෙන් හිටියේ. ඒ වගේම ඊට පස්සේ අධිකරණයට විරුද්ධව විවිධ උද්ඝෝෂණ පැවැත්වුනා," බව පවසන හෙළනා කෙනඩි ආදිපාදවරිය, එහි අවසාන ප්‍රතිඵලය වූයේ තත්ත්වය විසඳීම සඳහා පියවර ගනු වෙනුවට එය තව තවත් උත්සන්න කිරීම සඳහා "ගින්නට පිදුරු දැමීමක්" බවද සංදේශයට කියා සිටියාය. "ඒ නිසා මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද කියල අපි අවධානයෙන් බලා ඉන්නවා." 'ව්‍යවස්ථානුකූල පියවර ගන්නවා' අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා රටේ ව්‍යවස්ථාවට එරෙහිව පත් කොට තිබෙන බවට විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ රාජ නීතිඥවරිය කියාසිටියේ ඔහුගේ පත්වීම කවර ආකාරයෙන් සිදු වූවත් ඔහු දැනට එම පදවිය දරන බැවින් ඔහුට ආරක්ෂාව සැපයීම රටේ බලධාරීන්ගේ වගකීමක් බවයි. මේ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සංදේශයට කියා සිටියේ, කතානායකතුමාද පෙන්වා දුන් පරිදි ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෑතදී හටගත් විසංවාදය විසඳීම සඳහා ව්‍යවස්ථානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ආණ්ඩුව පියවර ගන්නා බවයි. දෝෂාභියෝගයද ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක් නොවේදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් එවැන්නක් ප්‍රකාශ නොකළ බවයි. කෙසේ වුවත් ආණ්ඩුව අකමැති තීන්දු දෙන විට අධිකරණයට එරෙහිව පියවර ගන්නා බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා සබැඳි බීබීසී අඩවි මෙය සිංහල භාෂාවෙන් පලවන වෙබ් අඩවියක් නොවිය හැකිය සබැඳි අඩවි බීබීසීයෙන් පරිබාහිර වෙබ් අඩවිවල අඩංගුදේ පිලිබඳව බීබීසීය වගකීම් නොදරයි
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අපචාර සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම පිණිස පොලිස් මූල්‍ය පරාධ විමර්ශන කොට්ඨාශයට ගිය අවස්ථාවේ ආර්ථික කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද බව ඔහුගේ නීතිවේදියා පවසයි.
දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ දියත්කළ ඉසුරුමත් නිවාස වැඩසටහනේ දුප්පතුනට බෙදා දුන් මුදල් සම්බන්ධයෙන් අක්‍රමිකතාවයක් තිබෙන බවට හිටපු මතිවරයාට චෝදනා බදාදා උදේ 11 සිට සවස පහ දක්වා කටඋත්තරයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සිය සේවාදායකයා මෙසේ අත්අඩංගුවට ගන්නා ලද බවයි, හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී යූ ආර් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ. "ඒකට හේතුකාරක හැටියට ඔවුන් ප්‍රකාශ කරන්නේ දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ කරගෙන යනු ලැබූ ඉසුරුමත් නිවාස වැඩසටහනේ දුප්පත් පුද්ගලයන්ට බෙදා දුන් මුදල් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් තිබෙනවා කියන පදනම මත," ඔහු සඳහන් කළේය. නිලධාරීන් දෙදෙනාත් අදාළ චෝදනා පිළිබඳව මීට ඉහතදී සාක්ෂි දුන් අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ කේ රණවක යන නිලධාරීන් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිවේදියා සඳහන් කළේය. සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ අඟහරුවාදා. තමන් හෝ සිය පවුලේ කිසිවකු දූෂණ, වංචාවලට සම්බන්ධ නැති බව හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන් තොටුපොලේදී අවධාරණය කළේය. බදාදා අත්අඩංගුවට ගැනුණු ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු විට ඇප ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් නීතිවේදී යූ ආර් ද සිල්වා පැවසීය. 'ඇප නෑ' "නමුත් මෙය ඉදිරිපත් කරනු ලබන්නේ පොදු දේපල පනත යටතේ වන හෙයින් මා හිතන් නෑ ඔහුට ඇප ලබාගැනීමට අවස්ථාව දෙයි කියල." අදාළ චෝදනාව යටතේ සිය සේවාදායකයාට ඇප ලබාගත හැක්කේ සුවිශේෂ හේතු ඉදිරිපත් කිරීම මගින් පමණක් බව සඳහන් කළ නීතිවේදියා, ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ යුතු බවට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය. දූෂණ, වංචා සම්බන්ධයෙන් වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි නව පාලනය යටතේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉහලම බලවතා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයායි. චෝදනා ලැබූ පැරණි ආණ්ඩුවේ "තෝරු සහ මෝරුන්ට" එරෙහිව දැඩි පියවර ගන්නා බවට බීබීසී සංදේශය සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නීත්‍යානුකූලව කටයුතු කරද්දී තමන්ට 'හදිසියක් නැති' බවත් කියා සිටියේය.