summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ජෝ බයිඩන් දිවුරුම් දීමේ උළෙලේදී තමන්ගේ කාව්‍යයක් කියවීම පිණිස තෝරාගෙන ඇති බව දැනගත් අමන්ඩා ගෝමන් "ප්‍රීතියෙන් ඉපිලෙමින්, නටමින් කෑගැසුවාය."
ජෝ බයිඩන් දිවුරුම් දීමේ උළෙලේදී කාව්‍යයක් කියවන අමන්ඩා ගෝමන් ලොස් ඇන්ජලීස් හි උපත ලැබූ, 22 හැවිරිදි රංගන ශිල්පිනී ලේඛිකාව ජනාධිපති සමාරම්භක උත්සවයකදී සිය කාව්‍යයක් ඉදිරිපත් කළ ලාබාලම කවියාය. ඇය බීබීසී ලෝක සේවයට පැවසුවේ උත්සවයට සහභාගි වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ "උද්වේගයක්, ප්‍රීතියක්, ගෞරවයක් සහ නිහතමානීකමක්" මෙන්ම "ඒ සමඟම භීතියක් ද" දැනුණු බවය. නව නිර්මාණයක් වන ඇගේ කාව්‍යය, The Hill We Climb (අපි නගින කඳු ගැටය) "මේ මොහොත ගැන කතා කෙරුනු" සහ "මේ වතාවේ සාධාරණය ඉටු කරනු ඇතැයි" බලාපොරොත්තු තැබූවක් බව ඇය පවසන්නීය. "මට සැබවින්ම අවශ්‍ය වුණේ මගේ වචන එක්සත්බවේ, සහයෝගිතාවයේ සහ එකමුතුකමේ ලකුණක් ලෙස භාවිත කිරීමටයි," ඇය උත්සවයට පෙර ලෝක සේවයේ Newshour වැඩසටහන වෙත පැවසුවාය. "මම හිතන්නේ එය, වචනවල අලංකාරය සහ අපූර්වත්වය තුළින් එක්සත් ජනපදයේ නව පරිච්ඡේදයක් ගැන හා අනාගතය ගැන කියවෙන කවියක්." අමන්ඩා සිය කාව්‍ය නිර්මාණය සම්පූර්ණ කළේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් වොෂිංටන් ඩීසී හි කැපිටල් මන්දිරයට ප්‍රහාරයක් එල්ල කළ ජනවාරි 6 වෙනි දිනය. "අපගේ ජාතිය බෙදා ගැනීමට වඩා සුනුවිසුනු කරන බලවේගයක්" සහ "ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමාද කිරීමට අදහස් කරන්නේ නම් අපේ රට විනාශ කිරීම" ගැන ඇගේ කවියෙන් කියැවෙයි. එය තවදුරටත් මෙසේ කියයි: "එම උත්සාහය සාර්ථක වන හැඩක් පෙනිණ/ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වරින් වර ප්‍රමාද කළ හැකි වුවද එය කිසි විටෙකත් ස්ථිරවම පරාජය කළ නොහැක." ඇය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසුවාය: "වෙන කවරදාකටත් වඩා එක්සත් ජනපදයට සමාරම්භක කවියක් අවශ්‍යයි. අපි ඉදිරියට යාමට නම් මෙම යථාර්ථයන්ට මුහුණ දිය යුතුයි." මුහුණු ආවරණයක් පැළඳ දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන අමන්ඩා ගෝමන් කථන බාධාව 1998 දී ලොස් ඇන්ජලීස් හි උපත ලැබූ අමන්ඩා ගෝමන්, ඇමරිකාවේ නව ජනාධිපතිවරයා අත්විඳි ලෙසම කුඩා කල කථන බාධාවකින් පෙළුනාය. "මා මෙවැනි රංගන ශිල්පිනියක බවට පත් කළේ සහ තවමත් උත්සහ දරමින් සිටින කතන්දර කියන්නා බවට පත් කළේ එයයි," ඇය ලොස් ඇන්ජලීස් ටයිම්ස් සමඟ මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය. "ශබ්ද කළ යුත්තේ කෙසේදැයි ඔබ ඔබටම උගන්වන විට සහ උච්චාරණය ගැන ඔබ වැඩි සැලකිල්ලක් දැක්වන විට, එය ඔබට ශ්‍රවණ අත්දැකීම් පිළිබඳ ශබ්දයට සම්බන්ධදේ (සොනික්ස්) පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙයි." ඇය එක්සත් ජනපදයේ ප්‍රථම ජාතික තරුණ කිවිඳිය බවට පත්වූයේ 19 හැවිරිදි වියේදීය 16 හැවිරිදි වියේ දී ලොස් ඇන්ජලීස් හි වසරේ තරුණ කිවිඳිය (youth poet laureate) ලෙසින් සම්මාන ලැබූ ඇය, ඉන් වසර තුනකට පසු හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරමින් සිටියදී එක්සත් ජනපදයේ ප්‍රථම ජාතික තරුණ කිවිඳිය (national youth poet laureate) ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. සිය පළමු ග්‍රන්ථය වන The One for Whom Food is Enough 2015 දී ප්‍රකාශයට පත් කළ ඇය, මේ වසරේ අග භාගයේදී Change Sings නම් පින්තූර පොතක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඇය මෙවර ජනපති සමාරම්භක උළෙල වර්ණවත් කළේ, ඇයට පෙර ජනපති දිවුරුම් දීමේ උළෙලේ කවි ගැයූ මායා ඇන්ජලෝ (Maya Angelou), රිචඩ් බ්ලැන්කෝ (Richard Blanco) සහ රොබට් ෆ්‍රොස්ට් (Robert Frost) යන කවි, කිවිඳියන් අනුගමනය කරමිනි. තවත් කියවන්න: සංහිඳියාව සඳහා කවියෝ
රටට එරෙහි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමන්ට බලය අහිමිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද බ්‍රහස්පතින්දා නුගේගොඩදී පැවති ජන රැළියට සුභපැතුම් පණිවිඩයක් එවමින්. රට ගැන සිතන රට වෙනුවෙන් කැප වෙන අයගේ අපේක්ෂාවන් නොසලකා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා එවූ පණිවිඩයේ සඳහන් වූයේ. සුභපැතුම් පණිවිඩයක් ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම රැළිය සංවිධානය කර තිබූණි. ‘මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58ක ජනතා අභිලාෂ ඉටු කරමු’ යන තේමාව යටතේ මෙම රැළියට දිවයිනේ ප්‍රදේශ රැසකින් අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ. මේ හේතුවෙන් නුගේගොඩ මං සන්ධිය එකම හිස් ගොඩක් බවට පත්වූ අතර ඒ අවට මාර්ග රැසක තිබුනේ දැඩි වාහන තදබදයක්. ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම රැළිය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසකුත් මෙයට එක්ව සිටියහ. 'ලංකාවේ ජනප්‍රියතම ජනපති මහින්ද රාජපක්ෂ' නව ආණ්ඩුව රට බෙදුම්වාදී වැඩපිළිවෙළක් යටතේ ගෙන යන බව පෙනෙන්නට ඇති නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂක ලෙස පත් කර ඔහුගේ ආණ්ඩුවක් යටතේ රට බේරා ගත යුතු බවයි රැළිය ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල පැවසුවේ. මේ රටේ සැම ප්‍රදේශයකම මහින්ද රාජපක්ෂ රටට අවශ්‍ය බව කියන හඬ ඇසෙන අතර මේ වන විට ලංකාවේ ජනප්‍රියතම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ බවයි මෙහිදී රැළිය ඇමතූ මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. සන්ධානය දෙකඩ කිරීම මෙම රැළියේ බලාපොරොත්තුව නොවන බව පැවසූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සන්ධානයට බලය ලබා දිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ බවයි පැවසුවේ. මෙම රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුභපැතුම් පණිවිඩයක් ඒවා තිබු අතර එය දේශපාලන විචාරක දයාන් ජයතිලක විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. තමන් පරාජය වුයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස වන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒවා තිබූ පණිවුඩයේ සඳහන් වුයේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රැළිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කළ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ රජයක් පිහිටු වන බවද ප්‍රකාශ කළේය.
අන්තර්ජාල 'හැකරුන්' සිය වෙබ් අඩවියට ඇතුළු වී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ ලිපිගොනු විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට මුදා හැර ඇති බව ප්‍රංශ ජනපතිවරණයේ අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය පවසයි.
එම්මානුවෙල් මැක්‍රෝන් ල-පෙන්ට වඩා 20% ක පමණ ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණ අනුව ඉඟි කෙරේ ඡන්දදායකයන් ව්‍යාකූල කිරීම පිණිස හැකරුන් විසින් සැබෑ ලිපිලේඛණ අතරට ව්‍යාජ ලිපිගොනුද ඇතුළත් කර තිබෙන බවත් ඔවුහු පවසති. ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය වැළැක්වීමට හැකරුන්ට අවශ්‍යව තිබෙන බව පැහැදිලි යයිද එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය නිකුත්කළ නිවේදනයක දැක්වේ. හැකරුන්ගේ ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවියේ ඇතුළත් වූයේ සිය ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ නීත්‍යානුකූල ලිපිලේඛණ පමණක් බවත් එහි දැක්වේ. රුසියානු හැකරුන්? මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ල-පෙන් ඉරිදා (මැයි 07) පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී එකිනෙකාට එරෙහිව තරග වදිති. මේ වනවිට මැක්‍රෝන් ල-පෙන්ට වඩා 20% ක පමණ ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණ අනුව ඉඟි කෙරේ. එම්මානුවෙල් මැක්‍රෝන් මීට ඉහතදීද හැකරුන්ගේ ප්‍රහාරවලට ලක් වූ අතර, රුසියාවේ සහ යුක්රේනයේ සිට එම ප්‍රහාර එල්ල කළ බව ඔහුගේ ප්‍රචාරක කණ්ඩායම ඒ අවස්ථාවේ චෝදනා කළහ. මොස්කව් පාලනයට හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමණය කරන මරීන් ල-පෙන් ප්‍රංශයේ බලයට පත්කරගැනීමට රුසියාවට අවශ්‍යව තිබෙන බව ඔවුහු සැක පළකරති. එහෙත් රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ හිලරි ක්ලින්ටන් පරාජය කිරීමේ අරමුණින් රුසියානු 'හැකරුන්' නීතිවිරෝධී ලෙසින් ඩිමොක්‍රටික් පක්ෂයේ ඊමේල් පණිවුඩ අන්තර්ජාලයට මුදා හළ බවට චෝදනා එල්ල විය. ප්‍රධාන පක්ෂ නෑ දශක ගණනාවක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම -සමාජවාදී පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය - ප්‍රංශයේ ඡන්දදායකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මෙවර ජනාධිපතිවරණයේ විශේෂම ප්‍රවණතාවකි. ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී මෙන්ම යුරෝපා සංගමයේ දිගටම රැඳී සිටීම සහ යුරෝපයේ අනාගතය ප්‍රංශ ජනපතිවරණයේද අවධානයට ලක්ව තිබෙන ප්‍රධානම මාතෘකාවකි. ප්‍රංශ ඡන්දදායකයන් එම්මානුවෙල් මැක්‍රෝන් සිය නාගත ජනපතිවරයා වශයෙන් තෝරා ගනු ලබන්නේ නම්, යුරෝපය සමග තවදුරටත් බද්ධවීම පිණිස ඔවුන්ගේ අනුමැතිය හිමිවේ. කිසියම් ලෙසකින් ඔවුන්ගේ තේරීම මරීන් ල-පෙන් වුවහොත්, යුරෝපා සංගමය වෙනුවට ස්වාධීන රාජ්‍යයන්ගෙන් සමන්විත යුරෝපයක් බිහි විය යුතු බවට ඇය ඉදිරිපත් කරන තර්කයට ප්‍රංශ ඡන්දදායකයෝ අනුමැතිය පළකරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරුවා කවුරුන් වුවත් ඔවුන්ට "එකපාරටම මැජික් පෙන්විය නොහැකි" බව පවසන කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර , මීළඟ ලෝක කුසලානය අරමුණු කරගෙන හෝ නිසි සැලසුමකින් යුතුව ක්‍රීඩාව දියුණු කළ යුතු බව පෙන්වා දෙයි.
"එන මාසේ දිනන්න කියල අපි ක්‍රීඩකයන්ට ඇඟිල්ල දික්කරල බැන්නට වැඩක් නෑ. මේක සියලු දෙනාම ඉවසීමෙන් යන්න ඕන ගමනක්," යනුවෙන් ද කුමාර් සංගක්කාර සඳහන් කළේ ෆේස්බුක් අඩවිය ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීවී සංවාදයකට එක්වෙමිනි. කණ්ඩායමේ මීළඟ පුහුණුකරු කවුරුන් දැයි තීරණය කිරීම ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ඇතුළු ක්‍රිකට් බලධාරීන් සතු වගකීමක් බවත් ඔහු සඳහන් කළේය. බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉතා දක්ෂ පුහුණුකරුවකු බව කුමාර් සංගක්කාර ගේ අදහසය. එමෙන්ම මහේල ජයවර්ධන ද දක්ෂ පුහුකරුවෙකු බව ෆේස්බුක් අඩවිය ඔස්සේ යොමු කෙරුණු ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළ සංගක්කාර, ආරාධනාවක් ලැබුනහොත් එවැනි පදවියක් භාරගන්නේද යන තීරණය ඔවුන් සතු බවත් සඳහන් කළේය. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් 2011 ලෝක කුසලානය 2011 ලෝක කුසලානයේදී ඔහුගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මහා තරගය පරාජය වූයේ මන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ සංගක්කාර කියා සිටියේ, තමන් ද එය අනුමත කරන බවය. "ඕනෑම තරගයකදී කණ්ඩායම්, ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාසය පිළිබඳව යම් කිසි සැකයක් තියෙනවද කියල බලන්න අයිසීසී එකේ තියෙනව දූෂණ විරෝධී ඒකකයක්. සෑම තරගයකම, සෑම ක්‍රීඩාංගනයකම ඔවුන් ඉන්නවා. අපි ඉන්න හොටල්වලත් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ටත් නැති දත්ත අර්ජුන රණතුංග මහත්තය ළඟ තියෙනව නම් මම හිතනවා ඔවුන්ගේ වගකීමක් තියෙනව මේ අයිසීසී එකේ කට්ටියට භාරදීලා ඒවා හොයල බලන්න කියල ඉල්ලන්න," ඔහු පැවසීය. එපමණක් නොව සැකයක් පවතින්නේ නම් අනෙක් ලෝක කුසලාන තරග පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බවත් ඔහු පැවසීය. ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්, ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය සහ 2011 ලෝක කුසලානය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර හිටපු නායකයන් දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් ඇවිලී තිබිණ. කෙසේ නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ පකිස්තාන සංචාරය පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ තමන් අර්ජුන රණතුංග හෝ වෙනත් කිසිවෙකු නමින් සඳහන් නොකළ බව කුමාර් සංගක්කාර අවධාරණය කරයි. ක්‍රීඩකයන් දස දෙනෙකුගේ පමණ කළමනාකරු ලෙසින් ක්‍රියාකරන චාලි ඔස්ටින් සමග එක් වී කණ්ඩායම තේරීමට "ඇඟිලි ගසන" බවට එල්ලවන චෝදනා ද සංගක්කාර තරයේ ප්‍රතික්ෂේප කළේය. ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමුගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා, ඉන් අනතුරුව පුහුණුකරුවෙකු හෝ පරිපාලකයෙකු ලෙසින් ක්‍රීඩාවේ වෙනත් අංශයකට සම්බන්ධ වන්නේ ද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක් ඇති බව එම ආයතනයේ ප්‍රධානියා වන ටිම් කුක් ඇඟවීමක් සිදු කර තිබේ.
ඇපල් ජංගම දුරකථනවල 'හෑන්ඩ් සෙට්' උපාංගවල අලෙවිය 15%කින් පහත වැටී තිබීම මෙයට හේතුව ලෙස සඳහන් වේ. නමුත්, වසර එකොළහක් වැනි කාලයක් ඇතුළත iPhone ජංගම දුරකතනවල මිල ඩොලර් දහස් ගණනක් වූයේ කෙසේදැයි ඔබට මතකද? මෙම දුරකතනවල සිදු වූ ප්‍රධාන වෙනස්කම්, එහි ප්‍රමාණය, උපාංග සහ වෙනස්වන මිල පිළිබඳ මෙම ලිපියේ සඳහන් වේ. ආරම්භය - iPhone 2G iPhone 2G දුරකතනය ඇපල් සමාගම සිය ප්‍රථම iPhone ජංගම දුරකතනය එළිදැක්වූයේ 2007 වසරේ ජුනි මස ඇමරිකා එක්සත් ජනපදයේදීය. වේගවත් 3G තාක්‍ෂණය වෙනුවට 2G සම්බන්ධතාව යොදා ගැනීමට ඇපල් සමාගම ගත් තීරණයත් සමග, මෙම ප්‍රථම දුරකතනය ප්‍රසිද්ධියට පත් වූයේ iPhone 2G ලෙසය. නමුත් මෙය දැන් සමහර පැරණි භාණ්ඩ එකතු කරන්නන් සතු භාණ්ඩයක් බවට පත් වී තිබෙන අතර, eBay වෙබ්අඩවිය හරහා එහි සැබෑ මිලට වඩා වැඩි ගණනකට අලෙවිවන ආකාරය දක්නට ලැබේ. කෙසේවෙතත්, 4GB දත්ත ගබඩා කළ හැකි ප්‍රමාණයේ iPhone 2G ජංගම දුරකතනයක මිල ඇමරිකානු ඩොලර් 499ක් වූ අතර, 8GB iPhone 2G දුරකතනයක් ඇමරිකානු ඩොලර් 599ක් විය. 3G තාක්ෂණය සමග නිකුත් වූ iPhone 3G දුරකතනය 2008 වසරේ දී රටවල් 22කට නිකුත් කළ iPhone 3G දුරකතනය පළමු සති අන්තය වන විට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබිණි. iPhone දෙවෙනි පරම්පරාවට අයත් කළු සහ සුදු පැහැයන්ගෙන් යුත් මෙම දුරකතනය සමග වසර දෙකක සම්බන්ධතාවක් ද සමග ඩොලර් 99ට මිල කර තිබිණි. iOS 2.0 මෘදුකාංග තාක්ෂණය සමග එළිදැක්වූ මෙම දුරකතනය කිහිප විටක් ම යාවත්කාලීන කිරීම සිදු විය. එමගින් බහු මාධ්‍ය කෙටි පණිවිඩ (MMS) මෙන්ම පිටපත් කිරීම සහ නැවත ඇලවීමේ (copy and paste) උපාංග මෙම දුරකතනයට ඇතුළු විය. ඉන් වසරකට පසු iPhone 3GS දුරකතනය එළිදැක්වීය. එහි S අකුරෙන් හැඟවෙන්නේ දුරකතන මෘදුකාංගය ක්‍රියාත්මක වන වේගය වන අතර, මෙය "වේගවත්ම සහ වඩාත්ම හොඳ ස්මාර්ට් දුරකතනය" ලෙස එකල හඳුන්වනු ලැබිණි. කෙසේනමුත්, 2010 වසරේ ජුනි මස දී ඇපල් සමාගම විසින් iPhone 3G දුරකතනය වෙළෙඳපොළෙන් ඉවත් කරන ලදී. මේ තොරතුරු ද කියවන්න: iPhone 4 ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් 2011 වර්ෂයේ දී වයස 56ක් වන විට පිළිකා රෝගයෙන් මිය ගියේය. 2010 වර්ෂයේ ජුනි මස ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත් වූ ලොව පුරා සිටින ඇපල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සම්මේලනයේ දී හතරවන පරම්පරාවට අයත් iPhone දුරකතනය එළිදැක්වීය. iPhone 4 වෙළෙඳපොළෙහි තිබෙන සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනය බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් එම සම්මේලනයේ දී ප්‍රකාශ කළේය. "මෙය නැවත වරක් සියලු දේ වෙනස් කරනවා," එවර ඔවුන්ගේ තේමා පාඨය විය. iPhone 4 දුරකතනයේ නවතම උපාංගය වූයේ ඉදිරිපස සවි කර තිබූ කැමරාවයි. මෙය අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයන්ට මහත් අභියෝගයක් බවට පත් විය. මේ වන විට ඇපල් ස්මාර්ට් ජංගම දුරකතනවල ඉදිරිපස කැමරාව භාවිත කරමින් වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ද ඇත. එය FaceTime video chat ලෙස හඳුන්වයි. 16GB දත්ත ගබඩාවක් සහිත iPhone 4 ජංගම දුරකථනය ඇමරිකානු ඩොලර් 652කට සහ 32GB දත්ත ගබඩාවක් සමග ඇමරිකානු ඩොලර් 784කට මිල දී ගත හැකි විය. වසරකට පසුව, ඇපල් ජංගම දුරකතන පස්වන පරම්පරාවට අයත් iPhone 4S එළිදැක්වූ අතර, ප්‍රථම වතාවට 'Siri' නැමති ශබ්දයෙන් පාලනය වන කෘතීම බුද්ධියක් සහිත මෘදුකාංගයක් 2011 ඔක්තෝබර් මස දී හඳුන්වා දුන්නේය. iPhone 5 iPhone 5 2012 සැප්තැම්බර් මස එළිදැක්වූ iPhone 5 ස්ටීව් ජොබ්ස් යටතේ නිර්මාණය වූ අවසාන ජංගම දුරකතනය විය. ඔහු 2011 වර්ෂයේ දී මිය ගියේය. මෙම දුරකතනය නිෂ්පාදනයට පෙර ඇණවුම් භාර ගැනීමට ඇපල් සමාගම ක්‍රියා කළේය. පැය 24ක් ඇතුළත ඔවුන්ට මිලියන දෙකකට වැඩි ඇණවුම් ප්‍රමාණයක් ලැබිණි. 4G තාක්ෂණය සමග හඳුන්වා දුන් මෙම දුරකතනය, ඉතා සිහින්, බරින් අඩු මෙන්ම පැරණි iPhoneවලට වඩා උසින් වැඩි තිරයක් සහිත විය. 16GB දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණයක් සහිත iPhone 5 ජංගම දුරකතනයේ මිල ඇමරිකානු ඩොලර් 692ක් වූ අතර, 32GB දත්ත ගබඩාවක් සහිතව ඩොලර් 784ක් ද 64GB සමග ඩොලර් 915කට ද අලෙවි විය. නමුත් 2013 වසරේ දී iPhone 5C සහ 5S හඳුන්වාදීමත් සමග iPhone 5 නිෂ්පාදනය නතර කිරීමට එම සමාගම පියවර ගත්තේය. iPhone 6 ප්‍රමාණයෙන් විශාල ජංගම දුරකතන වන iPhone 6 සහ 6 Plus 2014 සැප්තැම්බර් මස iPhone 6 සහ 6 Plus ලෙස ප්‍රමාණයෙන් විශාල ජංගම දුරකතන වර්ගයක් ද එළිදැක්වීය. iPhone 6 හි තිරය අගල් 4.7ක් වූ අතර, 6 Plus ජංගම දුරකතනයේ තිරය අගල් 5.5ක් විය. නව උපාංග බොහෝ ප්‍රමාණයකින් සමන්විත මෙම නව දුරකතනයේ වැඩිදියුණු කළ කැමරා, කල් පවතින බැටරි මෙන්ම භාණ්ඩ මිල දී ගත් පසු ජංගම දුරකතනයෙන් බිල්පත ගෙවීමේ හැකියාව ඇති Apple Pay මෘදුකාංගය ද හඳුන්වා දී තිබිණි. iPhone 6 දුරකතනය සිම් කාඩ්පතක් නොමැතිව ඇමරිකානු ඩොලර් 705කට මිල දී ගත හැකි විය. ඇපල් සමාගමේ පෙරළිකාර ජංගම දුරකතන වූ iPhone 6 සහ 6 Plus, වසරකට අඩු කාලයක දී වෙනස් වූ අතර, iPhone 6S සහ 6S Plus වෙළෙඳපොළට නිකුත් කෙරිණි. iPhone7 iPhone 7 2016 සැප්තැම්බර් මස iPhone 7 හඳුන්වා දුන් ඇපල් සමාගම එය ඇමරිකානු ඩොලර් 718කට මිල කර තිබිණි. iPhone 7 Plus ජංගම දුරකතනයේ මිල ඇමරිකානු ඩොලර් 875ක් විය. රතු, කළු සහ අළු යන විවිධ වර්ණවලින් නිම වූ මෙම ජංගම දුරකතන 32GB හෝ 128GB දත්ත ගබඩා කළ හැකි ප්‍රමාණවලින් නිකුත් කර තිබිණි. iPhone නවතම පරම්පරාවට අයත් මෙම දුරකතනයේ 'හෙඩ්ෆෝන් (headphone)' සම්බන්ධ කළ හැකි අහුව ඉවත් කර තිබුණු අතර, ජලයට ඔරොත්තු දීමේ තාක්ෂණය සහ මෙගා පික්සල් 12ක කැමරාවක් සවිකර තිබිණි. iPhone 8, 8 Plus සහ X iPhone 8, 8 Plus සහ X ස්මාර්ට් ජංගම දුරකතන 2017 සැප්තැම්බර් මස ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි ඇපල් සමාගමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ දී iPhone 8, 8 Plus සහ X යන ස්මාර්ට් ජංගම දුරකතන එළිදැක්වීය. iPhone 8, 8 Plus ජංගම දුරකතන රිදී, අළු සහ රත්‍රන් පැහැයන්ගෙන් මිල දී ගැනීමේ හැකියාව තිබේ. පෙර නිකුත් කළ iPhone 7වල දක්නට ලැබුණු ඇලුමිනියම් ආවරණය වෙනුවට iPhone 8 සහ 8 Plus වීදුරු ආවරණයක් සහිතව නිම කර තිබෙනු දක්නට හැකිය. 64GB iPhone 8 ජංගම දුරකතනයක් මිල ඇමරිකානු ඩොලර් 915ක් වන අතර, 64GB iPhone 8 දුරකතනය ඩොලර් 1045කට මිල කර ඇත. iPhone ජංගම දුරකතනවල දස වෙනි සංවත්සරය සනිටුහන් කරමින් iPhone X දුරකතනය 2017 නොවැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කළේය. එම ජංගම දුරකතනයේ 'home' බොත්තම ඉවත් කර තිබූ අතර, අගල් 5.8කින් යුත් තිරය OLED තාක්ෂණයෙන් නිපදවා තිබේ. එමෙන්ම, මෙය වයර නොමැතිව ආරෝපණය කළ හැකිය. නවතම උපාංග බොහොමයකින් සමන්විත iPhone X දුරකතනය ඇමරිකානු ඩොලර් 1300කට මිල කර තිබේ. ඉන් පසු.... පසුගිය වසරේ දී ඇපල් සමාගම iPhone XR, iPhone XS සහ XS Max නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. මේ අතරින් මිලෙන් අඩුම දුරකතනය ඇමරිකානු ඩොලර් 980ක් වන අතර, මිලෙන් අධිකම දුරකතනය ඩොලර් 1897ක් ලෙස මිල කර තිබේ. නමුත් මේ අධික මිල ගණන් නුදුරේදීම වෙනස් වන බව ඇපල් සමාගමේ ප්‍රධානියා වන ටිම් කුක් සඳහන් කළ ද, එය කෙදිනක කෙසේ සිදුවේ දැයි තවමත් හෙළි කර නොමැත. තවත් තොරතුරු:
ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වන මත්ස්‍ය නිෂ්පාදන සඳහා බදු අඩු කිරීමෙන් ධීවර කර්මාන්තයට කිසිදු පාඩුවක් සිදු නොවෙතැයි ධීවර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
චීන ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපයට ඇතුළු නොවන බවට ඇමතිවරයා කරන ප්‍රකාශය ධීවර නායකයෝ ප්‍රතික්ෂේප කරති ආනයනිත මාලු සහ කරවල සඳහා රුපියල් විසි පහකින්ද, හාල්මැස්සන් සඳහා රුපියල් විස්සකින්ද ටින් මාලු සඳහා රුපියල් තිස් පහකින්ද බදු කපා හරින ලද බව රජය නිවේදනය කළේය. ජනාධිපතිවරයාද සහභාගි වන ජීවන වියදම් පිලිබඳ මාසික කමිටුවේදී තමන් ගේද එකඟතාවයෙන් මෙම තීරණයට එළැඹි බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. මෝසම් සමයේදී ධීවර යාත්‍රා දියඹට යන්නේ සීමිතව බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මාළු මිල ඉහල යාම වලක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා පවසයි. "අනිත් එක ඒකෙ තව වාසියක් තියෙනවා අපි සැමන් කර්මාන්තයට ගේන මාලුවලටත් එතකොට බද්ද අඩුවෙනවා," ඔහු පැවසීය. චීන ට්‍රෝලර් යාත්‍රා මේ ආණ්ඩුව තෙල් මිල ඉහල දැමීම නිසා අද සියයට පණහක් ධීවරයෝ මුහුදු යන්නේ නෑ - ධීවර නායක අරුණ රොෂාන්ත ඉන්දියාව, තායිලන්තය, චීනය, සයිප්‍රසය සහ මැද පෙරදිග යන රටවලින් ටින් මාළු, කරවල සහ හාල්මැස්සන් මෙසේ ශ්‍රී ලංකාවට ආනයනය කරන බවයි, අමාත්‍ය සේනාරත්න සඳහන් කරන්නේ. එහෙත් සමස්ත ධීවර කර්මාන්තය පිළිබඳවම අමාත්‍යවරයාට තිබෙන මඳ අවබෝධය මේ ප්‍රකාශ වලින්ද ගම්‍ය වන බවයි, ධීවර සංගම් නායකයන් පවසන්නේ. විශේෂයෙන්ම දේශීය මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇත්තේ ඇමතිවරයා පවසන පරිදි මෝසම් වැසි නිසා නොව තෙල් මිල ඉහල යාම නිසා බව පෙන්වා දෙන සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත චීන ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපයට ඇතුළු නොවන බවට ඇමතිවරයා කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහල ගොස් තිබියදීත් එහි වාසිය ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ලැබී නැති බව පවසන ඔහු, ආණ්ඩුව තෙල් මිල ඉහල නොදැමුවේ නම් වැඩිම මාළු තොග ගොඩ ගෙන එනු ලබන්නේ මේ සමයේ බවද සඳහන් කරයි. "මේ ආණ්ඩුව තෙල් මිල ඉහල දැමීම නිසා අද සියයට පණහක් ධීවරයෝ මුහුදු යන්නේ නෑ," බව අරුණ රොෂාන්ත බීබීසී සංදේශයට පැවසීය.
ක්‍රිමියාවේ යුක්රේන කලාපයේ නව අගමැති සර්ජි අක්සියොනොව් කලාපය සන්සුන් කරගැනීමට උදව් කරන ලෙස රුසියානු ජනාධිපති පුටින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලීසිය, යුද හමුදාව ඇතුළු කලාපයේ සියලු ආරක්ෂක අංශ වල පාලනය තමා අත පවතින බව අක්සියොනොව් කියයි රුසියාවට හිතවත් තුවක්කු කරුවන් විසින් ක්‍රිමියානු පාර්ලිමේන්තුව අල්ලා ගැනීමෙන් පසු අගමැති ලෙසට නම් කෙරුණු අක්සියොනොව් පවසන්නේ පොලීසිය, යුද හමුදාව ඇතුළු කලාපයේ සියලු ආරක්ෂක අංශ වල පාලනය තමා අත පවතින බවයි. මෙම ඉල්ලීම නොසලකා හරින්නේ නැති බව ක්රෙම්ලිනය පවසා ඇත. සිය ගණනක් වූ හමුදා සෙබළුන් සහ හමුදා ගුවන් යානා ක්‍රිමියාවට සැපයීම පිළිබඳව යුක්රේන ජනාධිපතිවරයා රුසියාවට චෝදනා කර තිබේ. මේ අතර ආයුධ සන්නද්ධ පිරිස් විසින් තවත් ගුවන් තොටුපලක් රාත්‍රිය පුරා අල්ලාගෙන සිටි බවද වාර්තාවී ඇත. එහෙත් එයට තමන් ගේ සම්බන්ධයක් නැතැයි පවසන මොස්කව් බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ හමුදා ජාත්‍යන්තර එකඟතාවන් බිඳ කටයුතු කර නැති බවයි.
එක දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.
එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑඅටක් වළක්වාගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළිවී ඇත. පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැලකීමට හේතුවෙන විශේෂ එළවලු සහ පලතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනා ගනු ලැබ ඇත. එළවලු සහ පලතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගතයුතු එළවලු හෝ පලතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි. එක වේලකට ග්‍රෑම් අසූවක් පුද්ගලයන් විසිලක්ෂයක ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කරගනිමින් වෙන වෙනම සිදු කරන ලද පර්යේෂණ අනූපහක දත්ත සැලකිල්ලට ගනිමින් පර්යේෂකන් අදාළ නිගමනයට පැමිණ තිබේ. පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග: හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග: සබැඳි යොමු :
නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘දින සියයේ වැඩ පිළිවෙල’ ට සහයෝගය ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය කියයි.
‘දින සියයේ වැඩ පිළිවෙල’ ට සහයෝගය ලබා දෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ නව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති ව්‍යවස්තානුකුල වෙනස්කම් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ විට එයට සහය පළ කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂ හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ඔහු ‘පාර්ලිමේන්තුවේ බහුතරය හැටියට අපි මේ දින සියයේ වැඩසටහනට සහය දෙනවා’ යනුවෙන් ඔහු පැවසීය. ඔහු පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බාර දෙන රට පැවතුන රජය බාර ගත් රටට වඩා වෙනස් රටක් බවයි. එම අවස්ථාවේදී රටේ සමහර ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදය පවා නොතිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. පලි ගැනීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා බලයට පත් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ පරාජයෙන් පසු නිදහස් සන්ධාන පාක්ෂිකයන්ගෙන් පලි ගැනීම් නො කරන ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂයාට ජනතාව ඡන්ද ප්‍රකාශ කළේ දින සියයේ වැඩපිළිවෙල පාදක කර ගෙන බව ඔහු සඳහන් කළේය. ජනතාව එය පූර්ණ වශයෙන් අනුමත කොට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. එයට අවහිර කිරීමට සූදානම් නැති බවත් එකඟ විය හැකි කරුණු වලට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේය. හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියා සිටියේ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ විය හැකි කරුණුවලට සහයෝගය ලබා දීමට පැකිලෙන්නේ නැති බවයි. රටේ ඒකීය භාවය රටේ ඒකීය භාවය වෙනුවෙන්, ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් සහ රටේ සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කළ ජනතා හිතවාදී වැඩසටහන් ඉදිරියටත් කර ගෙන යනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. 2005 වන විට රටේ හමුදාව අසරණ තත්වයක සිටි බවත් ඔවුන් දැන් ධෛර්යය සම්පන්න ආත්ම ශක්තියෙන් යුත් අභිමානවත් හමුදාවක් බව විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පරද්දන්න නොහැකි බව පැවසූ සතුරකු පරාජයට පත් කල එම හමුදාවට අවමානයක් ඇති වන කිසිවක් උතුරේ හෝ නැගෙනහිර හෝ වෙනත් කිසිදු ප්‍රදේශයක සිදුවන්නට ඉඩ නොතබන ලෙස ඔහු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
පෙම්සුව විඳීමට ගොස් පොලිසියේ අත්අඩංගුවට පත්වන තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් පිළිබඳවත් නිරන්තරයෙන් වාර්තා පළවේ.
එලෙස අත්අඩංගුවට පත්වන ඇතැමුන් සමාජයට හෝ පවුලේ සාමාජිකයන්ට මුහුණ දීමට නොහැකිව සිය දිවි තොර කරගත් අවස්ථා ද මාධ්‍ය වාර්තා ඔස්සේ දැකගත හැක. වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාලවල වාර්තා පළ විය. එම වාර්තා පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා පොලිසිය කියා සිටියේ එවැනි සූදානමක් නොමැති බවය. පෙම්සුව විඳීම නීතියෙන් තහනම්ද? කෙසේ නමුත් අවිවාහක තරුණ යුවලකට හෝ අඹු සැමියන් නොවන වැඩිහිටි යුවලකට ලැඟුම්හලක හෝ වෙනත් පොදු ස්ථානයක පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් තිබේද? අවුරුදු දහ අට ඉක්මවූ බාලවයස්කරුවන් නොවන ඕනෑම අයෙකුට තමන් කැමති ස්ථානයක නිදහසේ කාලය ගත කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බව ඒ පිළිබඳ කළ විමසීමකදී මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කළේය. තරුණ තරුණියන්ට සිප වැළඳ ගැනීමට හෝ ලිංගිකව එක් වීමට නීත්‍යනුකූල තහනමක් නොමැති නමුත් එවැනි චෝදනා සම්බන්ධයෙන් තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතැම් විනිසුරන් ද පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කරන ස්වභාවයක් දක්නට ඇති බව ඔහු කියා සිටියේය. අවිනීතව හැසිරීම "නීතියෙන් එහෙම තහනමක් නැහැ. නමුත් නීතිය නෙමෙයි මේ අය හදා ගත්ත දේවල් තියනවනේ. මහේස්ත්‍රාත් කෙනෙක් ගාවට ගියත් ඔහු ගන්නේ පොලිසියේ පැත්ත." "අවිනීතව හැසිරීම" යනුවෙන් වරදක් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් නොවන බවත් නීතිඥ කුමාරගේ පෙන්වා දෙයි. (සංදේශයට සවන්දෙන්න) රට තුළ එවැනි නීතියක් නැතත් මහේස්ත්‍රාත්වරුන් ද පොලිසියේ ආකල්පය අනුමත කරමින් 'පාදඩ පනත වැනි අසාධාරණ නීති' භාවිත කරන බව ඔහු සඳහන් කළේය. පාදඩ ආඥා පනත යනු කුමක්ද? "බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට ගෙනාපු වතු කම්කරුවන් වතුවලින් පැනලා ගිහින් තැන් තැන්වල සැරිසරන්න පටන් ගත්තා. ඒ මිනිස්සු කොටු කරලා නැවත වතුවලට යවන්න තමයි පාදඩ පනත ගෙනාවේ" පාදඩ ආඥා පනත යොදා ගනිමින් පොලිසිය අවිවාහක ජෝඩු අත්අඩංගුවට ගන්නා බව කී නීතිඥවරයා බ්‍රිතාන්‍ය පාලන සමයේ නීතිගත කෙරුණු එම පනත අවලංගු කරන ලෙස යුරෝපා රටවල් ඉල්ලා සිටින නමුත් එම පනත අවලංගු නොකරන බව ආණ්ඩුව ප්‍රකාශ කොට ඇති බවත් පෙන්වා දුණි. "ගොඩක් තරුණ ජෝඩු පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ ඔය පනත යටතේයි. තමන් එම ස්ථානයේ සිටි කාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කළේ නැහැ කියලා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරනවා." "පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදඩ ආඥා පනත යොදා ගැනීම වැරදියි. මොකද, මිනිස්සුන්ට තමන් කැමති ආකාරයට කටයුතු කිරීමේ අයිතිය තහනම් කරලා නැහැනේ." (බීබීසී සංදේශයට සවන්දෙන්න)
මියන්මාරයේ සුළුතර රෝහින්ජා මුස්ලිම් වැසියන් වෙසෙන ගම්මානවලදී ප්‍රහාරකයන් හැට නව දෙනකු මරා දැමුණු බව එරට හමුදාව පවසයි.
රෝහින්ජා මුස්ලිම් වැසියන් වෙසෙන ගම්මාන තුළ මෙහෙයුම්වල නිරත මියන්මාර හමුදා භටයන් මියන්මාර හමුදාව වැඩිදුරටත් කියා සිටියේ රඛීන් ප්‍රාන්තයේ පවතින කැරලිකාරී වාතාවරණය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවය. සාමාන්‍ය වැසියන් දූෂණයට සහ ඝාතනයට ලක්වන බවත් නිවාස ගිනිබත් කරන බවත් රෝහින්ජා වැසියන් වෙතින් ලැබෙන වාර්තාවලින් පැවසේ. මරුමුවට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගැනීමට ඉඩ ඇති බව මියන්මාරයේ සිටින බීබීසී වාර්තාකරු පැවසීය. මියන්මාර හමුදා විසින් රෝහින්ජා මුස්ලිම් ප්‍රජාව හිරිහැරයට ලක් කරනු ලබන බව පැවසෙන වාර්තා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට එරට නිල නොවන නායිකා අවුන් සාන් සුචී වෙත එල්ලවන පීඩනය උත්සන්න වෙමින් පවතියි. 1962 වසරේ සිට 2011 වසර දක්වා මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයකි. පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් අත කරගත් නමුත් ඇයට ජනාධිපති ධුරයට පත්වීමට එරට ව්‍යවස්ථාවෙන් අවසර නොමැත. තවමත් මියන්මාරයේ හමුදාවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් හිමි වී තිබේ.
ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පෙරළිකාරී දේශපාලන තීරණයක් දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොයි මොහොතක හෝ පැවැත්වෙතැයි අපේක්ෂාවෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීහු අද උදෑසන සිට කොළඹ නව නගර ශාලාව අසල ‍රැදී සිටිති.
මේ අතර අද පෙරවරුවේ බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේදී, සෞඛ්‍ය සේවයේ පිරිසකට පත්වීම් ලබාදීම සදහා පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා, තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරයකු බවත්, එහෙත් හෙට වන විට බොහෝ කරැණු වෙනස් වීමට ඉඩ තිබෙන බවත් ප්‍රකාශ කළේය. අදාළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පත්වීම්ලාභීන් ඇමතූ ඒ මහතා, දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය සේවකයින්ද බලය පාවිච්චි කළ යුත්තේ ජනතාවට සැබෑ ලෙස ආදරය කරමින් අපක්ෂපාතීව හා මධ්‍යස්ථව ඔවුන්ට සේවය කිරීමට මිස බලය පාවිච්චි කොට මිනිසුන් තළා පෙළීමට හෝ ධනය රැස් කිරීමට නොවන බව අවධාරණය කළේය. ''මේ බලය ඔබ පාවිච්චි කළ යුත්තේ සැබෑ ලෙසම මිනිසුන්ට ආදරය කරන්නටයි. බලය-බලය රැකගැනීමට වත්, බලය පාවිච්ච කර ධනය රැස් කිරීමට වත් නොවෙයි. එය සැබෑ ලෙසම ජනතාව සදහායි. ඔවුන්ගේ අවශ්‍යතාවන් සදහායි. තනතුරුත් එක්ක ජනතාව තළන්න පෙළන්න නෙවෙයි. බලයෙන් ධනය හොයන්න නෙවෙයි. බලය පාවිච්චි කරල දූෂණ, වංචා අක්‍රමිකතා කරන්න නෙවෙයි. ඒ ආදර්ශය අනුව ඔබ පැහැදිලිව කටයුතු කළ යුතුයි." කතාව අවසන් කරමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය. ''මම සෞඛ්‍ය ඇමතිවරයා හැටියට අවුරුදු 5කට ආසන්න කාලයක් කටයුතු කළා. මේ අවස්ථාවේ ඔබ සමග එක් වන්නට ලැබීම ගැන සතුටු වෙනවා. ඔබේත් මගේත් රට වෙනුවෙන් ඉදිරියේදී මීටත් වඩා සේවය කිරීමට මම කැප වන බව ප්‍රකාශ කරනවා" මේ අතර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග තරගයට එක්වන විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිළිබද මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට හේතු වූයේ, ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පමාවීම බවත්, අද දිනය තුළ එම ආන්දෝලනය අවසන් වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සන්දේශයට ප්‍රකාශ කළේය.
වේග පන්දු යවන්නෙකුට දක්ෂ නායකයකු විය නොහැකි බවට පවතින මතය තමන් වෙනස් කළ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කරයි.
'මම හිතනවා වේග පන්දු යවන්නන්ට මම සාධාරණයක් කළා කියලා' 1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රථම වතාවට සිය නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ලෝක ශුරතාවයක් දිනා ගත හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බවද ලසිත් මාලිංග විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව බංග්ලාදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේය. "මතයක් තිබ්බ වේග පන්දු යවන්නන්ට නායකත්වය දරන්න බැහැ කියලා," යනුවෙන් ඔහු කියා සිටියේය. "මම හිතනවා වේග පන්දු යවන්නන්ට මම සාධාරණයක් කළා කියලා. වේග පන්දු යවන්නන්ට කඩුළු දවා ගන්න පුලුවන් නම් ඕනෑම දෙයක් කරන්න බුද්ධිය ඔවුන්ට තියෙනවා කියල පෙන්නල දීල." ඉම්රාන් ඛාන්, වසීක් අක්‍රම් සහ කපිල් දෙව් වැනි පන්දු යවන්නන්ට නායකත්වය හිමි වූවත්, සමස්තයක් ලෙස පන්දු යවන්නන්ට ජාතික කණ්ඩායමක නායකත්වය හිමි වීම දුර්ලභ බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි. චමින්ද වාස් විශේෂයෙන්ම තමන් දක්ෂතා දැක්වූ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි නොවීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වේග පන්දු යවන්නකු ලෙස සැලකෙන චමින්ද වාස් මීට කලෙකට පෙර බීබීසී සංදේශයට කියා සිටියේය. 'නායකත්වය හිමි නොවීම කනගාටුවට කරුණක්' මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර වැනි විශිෂ්ට නායකයන් බිහි වූයේ ඔවුන්ට පෙර ක්‍රීඩා කළ අර්ජුන රණතුංග, හෂාන් තිලකරත්න සහ සනත් ජයසූරිය වැනි නායකයන් නිසා බව පැවසූ ලසිත් මාලිංග මෙවැනි විශිෂ්ට නායකයන් යටතේ ක්‍රීඩා කර ලැබූ අත්දැකීම් තමන්ටද පිටුවහලක් වූ බව කියා සිටියේය. "අත්දැකීම් බහුල, ලෝක කුසලාන තරඟවලට සහභාගිවුණු හිටපු නායකයන් හතරක්, පහක් කණ්ඩායමේ සිටීම අපිට ලොකු ශක්තියක් වුනා," බවයි, ලසිත් මාලිංග පවසන්නේ. "මම නායකත්වයට පත්වුනාට පසු මම හිතුවා ඒ හැමකෙනාගේම උදවු මම ලබාගන්න ඕනේ කියලා, මම හිතනවා මම ඒ දේ සාර්ථකව කළා කියලා." ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් තමන් සමග වසර දහයක් පමණ ක්‍රීඩා කොට ඇති නිසා ඔවුන්ගේ දක්ෂතා හා ඔවුන්ට කළ හැකි දේ පිළිබඳව තමන් හොඳින් දන්නා බව පවසන ලසිත් මාලිංග එම නිසා නායකත්වයේ කාර්යභාරය පහසු වූ බවද පැවසීය. තම කණ්ඩායම ජය ගත්තේ වාසනාව නිසා නොව තමන් පෙන්වූ දක්ෂතා නිසා බව ලසිත් මාලිංග අවධාරණය කළේය.
සූරියවැව කුඩා ඉදිවැවදී ඔක්තෝබර් 14 වෙනි දින මරණයට පත් ඇතින්නගේ ජීවිත ඉරණම තීන්දු කෙරුණේ අලින්ට පළඳවන ජී.පී.එස් (GPS) කරපටිය නිසා බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.
වන ඇතින්න මියගොස් ඇත්තේ ජී.පී.එස් (GPS) කරපටිය නිසා ගෙල ප්‍රදේශයේ හට ගත් තුවාලයෙන් ඇති වූ ආසාදන තත්වයක් නිසා බවයි, පශු වෛද්‍ය විජිත පෙරේරා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබෙන්නේ. ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් අනුව හම්බන්තොට වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට සූරියවැව කුඩා ඉදිවැව ප්‍රදේශයේ දී මරණයට පත් ඇතින්න සොයා ගැනීමට හැකි වුණි. අලි ඇතුන් කරලන GPS කරපටය GPS කරපටියක් දමා තිබුණ වන අලියකු මිය ගොස් සිටිය දී හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් බව පවසන වනජීවී නිලධාරීන් කියා සිටින්නේ එවැනි වන අලියකු සාමාන්‍යයෙන් වසර 65 ක පමණ කාලයක් ජීවත් වෙන බවයි. ඉහත කී සූරියවැව ඇතින්නගේ ගෙල ප්‍රදේශයේ වූ තුවාලයට අමතරව සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොවූ බවත් වන නිලධාරීහු පවසති. මරණ පරීක්ෂණයට අනුව ගෙල ප්‍රදේශයේ තුවාලය නිසා බැක්ටීරියා හෝ විෂ බීජ ලේවලට මිශ්‍ර වීම මගිනුයි ඇතින්නගේ මරණය සිදු වී තිබෙන්නේ. කරපටි පැලඳවීම වන ජීවී නිලධරයෙක් මිය ගිය ඇතින්න අසල වන අලින්ගේ ගෙලේ GPS කරපටියක් පළඳවනු ලබන්නේ ඔවුන්ගේ හැසිරීම් රටාව හා සංචරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විපරමින් සිටීම සඳහායි. එමෙන්ම රක්ෂිත ප්‍රදේශ වලට මුදා හරින වන අලින්ටද එම කරපටිය දමනු ලැබේ. සූරියවැව ඇතින්න මිය යාමේ සිද්ධිය මගින් පෙන්නුම් කෙරෙන්නේ එම කරපටි දැමුණ වන අලින් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් නිසි සොයා බැලීමක් සිදු නොකරන බවයි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇතින්න, ඇය මිය ගිය ස්ථානයේ දවස් කීපයක් ම දඟලමින් සිට මිය යන්නට ඇති බවයි. පශු වෛද්‍ය විජිත පෙරේරා දැවැන්ත ජීවියා දින කීපයක් දඟලමින් වේදනාවෙන් පසු වූ බවක් පෙනී යන සාක්ෂි දක්නට ඇත. වසර තුනක කාලයක් වන අලින්ට ජී.පී.එස්. කරපටි දැමීම ආරම්භ කෙරුණේ 1996 වර්ෂයේ දී උතුරු මැද පලාතෙනි. මේ වන විට වන අලි ඇතුන් විස්සකට අධික ප්‍රමාණයකට ජී.පී.එස්. කරපටි දමා ඇති බව වාර්තා වෙයි. එමෙන්ම උඩවලව ඇත් අතුරු සෙවනින් නිදහස් කර ඇති අලි පැටවුන් පනහක් පමණ ජී.පී.එස්. කරපටි දමා මුදා හරිනු ලැබ ඇත . සීමා නොතකා ගමනේ එලෙස මුදා හරින අලි පැටවුන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවයි, වන ජීවී වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ. අලියකුට මෙවැනි ජී.පී.එස්. කරපටි දමනු ලබන්නේ වසර තුනකට පමණ කාලයක් සඳහා පමණි. ඉදිරි පියවර ඉන් පසු ඉබේම ගැලවී යා හැකි අයුරින් කරපටි සකසා තිබෙන බවයි වන ජීවී දෙපාර්තමේන්තුවේ වන අලි සංරක්ෂණ අංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ටී.රත්නායක මහතා ප්‍රකාශ කළේ, සූරියවැව අලියාගේ මරණය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කරපටිය නිසා බෙල්ලේ ඇතිවූ තුවාලය හේතුවෙන් ඇති වූ ආසාදනයක් නිසා ඇතින්න මියගොස් ඇති බවයි. ‘දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශයට විශේෂයෙන්ම දැනුම් දී තිබෙනවා, අලින්ට කරපටි පැළදවීමේ දී ගත යුතු ක්‍රියාමාර්ග මීට වඩා සැලකිලිමත් ව සිදු කරන ලෙස. ඒ සම්බන්ධයෙන් මීට පෙරත් උපදෙස් දීලා තිබෙනවා. අදාළ කාල සීමාවන්හිදී කර පටි ගලවා ඉවත් කිරීම අදාළ පර්යේෂණ සිදු කරන කණ්ඩායම්වල වගකීමක්. නමුත් සූරියවැව අලියා සම්බන්ධයෙන් එම වගකීම ඉටු වෙලා නැහැ. එම නිසා කලට වේලාවට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ඉදිරියේ කාලයේදී පියවර ගන්නවා’ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් .ටී . රත්නායක පවසයි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව "ඒකාධිපතිවාදය කරා යන ගමනේදී" රටේ ජනමාධ්‍ය නිහඬව සිටිමින් එයට රුකුල් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
"ඒකාධිපති රාජපක්ෂ රෙජීමයක් ඇති කර ගන්න එක මහින්ද රාජපක්ෂ ට තනියම කරන්න බැහැ. මේකට උදවු කරපු එක කණ්ඩායමක් තමයි මාධ්‍ය" එජාප සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒ බව පැවසුවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉරිදා පදවියෙන් පහ කිරීම දක්වා සති ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින්. "ඒකාධිපති රාජපක්ෂ රෙජීමයක් ඇති කර ගන්න එක මහින්ද රාජපක්ෂ ට තනියම කරන්න බැහැ. නිශ්ශබ්ද වෙලා උදවු කරපු අය හිටිය. මේකට උදවු කරපු එක කණ්ඩායමක් තමයි මාධ්‍ය," ඔහු පැවසීය. විශේෂයෙන්ම "එල්ටීටීඊ සංවිධානය විනාශ කරන මුවාවෙන්" ආණ්ඩුව ජනතාවගේ නිදහස නැති කරද්දී ජනමාධ්‍ය එම ක්‍රියාවලියට ප්‍රබල සහයෝගය පළ කළ බවට, කොළඹදී ජාතික නීතිඥ සංගමය අමතමින් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. පාර්ලිමේන්තු රීති උල්ලංඝනය "අවසාන මොහොතේ දී පාර්ලිමේන්තු රීති උල්ලංඝනය කරමින් තමයි චමල් රාජපක්ෂ කතානායකවරයා තමන්ගේ පවුලේ වුවමනාව ඉටුකරන්න පාර්ලිමේන්තුව යොදා ගත්තේ" එජාප මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ තත්ත්වය පිළිබඳව විරෝධය පළ කළ සුළුතරය "සුදු වෑන් වලින් පැහැර ගත්" බව පවසන ඔහු, 18 වැනි සංශෝධනය වැනි "ව්‍යවස්ථා විරෝධී" ක්‍රියාදාමයන් සිදු වෙද්දී බොහෝ දෙනා නිහඬව සිටි බවද පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයක් මේ වනතුරුත් ශ්‍රී ලංකාවේ නොපැවතුනු බව පවසන විපක්ෂ නායකවරයා, ඉතිරිව පවතින ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම සඳහා ජනතාව සමඟ වීදි බැසීම හැරෙන්නට අන් මඟක් නොමැති බවයි අවධාරණය කළේ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම චෝදනා 14 කින් තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව තීන්දු කළේය. දෙසැම්බර් 08 වෙනිදා ඔවුන්ගේ වාර්තාව කතානායකවරයාට භාරදුන් අතර, පසුගිය සතියේ පැවැත්වුණු ඒ පිලිබඳ විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝගයට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ විය. කෙසේ නමුත්, දෙසැම්බර් 10 වැනිදා අදාළ විවාදය පිලිබඳ න්‍යාය පුස්තකයට ඇතුලත්ව තිබුනේ තේරීම් කාරක සභාවක් පත්කරන මෙන් කතානායකවරයා ගෙන් ඉල්ලන යෝජනාව මිස තේරීම් කාරක සභා වාර්තාව නොවන බව පවසන එජාප මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර, එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කළ බවට කතානායකවරයාට චෝදනා කරයි. සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමයම රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මත සිදුවූවක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. "මේ නීති විරෝධී දේ කරන්න සම්පූර්ණයෙන්ම අනෙක් සහෝදරයා කතානායක වරයා සහයෝගය දුන්නා. අවසාන මොහොතේ දී පාර්ලිමේන්තු රීති උල්ලංඝනය කරමින් තමයි චමල් රාජපක්ෂ කතානායකවරයා තමන්ගේ පවුලේ වුවමනාව ඉටුකරන්න පාර්ලිමේන්තුව යොදා ගත්තේ," යනුවෙන් ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රකාශණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී තිබෙන පෙත්සම්වලට එරෙහි මූලික විරෝධතා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
දෙජාස මැතිවරණ ප්‍රකාශණය 'ව්‍යවස්ථා විරෝධී' බව පෙත්සම්කරුවෝ පවසති දෙජාස මැතිවරණ ප්‍රකාශණය තහනම් කරන්නැයි ඉල්ලමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණ ඇතුළු බෞද්ධ සංවිධාන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබ තිබේ. ඒ පිලිබඳ විභාගය ආරම්භ වූ අවස්ථාවේ කරුණු දැක්වූ දෙජාස වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙවැනි නඩුවක් පැවරිය හැක්කේ පිළිගත් දේශපාලන පක්ෂයකට එරෙහිව පමණක් බවයි. 'ව්‍යවස්ථාවට පටහැනියි' දෙජාස යනු පිළිගත් දේශපාලන පක්ෂයක් නොව, පක්ෂ තුනක සන්ධානයක් බවට කරුණු දැක්වූ නීතිවේදීහු, අදාළ පෙත්සම් ප්‍රතික්ෂේප කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම මූලික විරෝධතා සටහන් කරගත් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ල ලබන 23 වැනිදා එම විරෝධතා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළ බව දෙජාස වෙනුවෙන් පෙනී සිටි එම්ඒ සුමතිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය. එහෙත් එම මූලික විරෝධතායන් සිය පෙත්සම දියාරු කිරීමේ අරමුණින් කරන ලද්දක් බවයි, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියන් සංදේශයට කියා සිටියේ. "ඒ මැතිවරණ ප්‍රකාශණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියල අපිට විශ්වාසයි. ඒ නිසා තමයි අපි මේ නඩුව ඉදිරිඅප්ත් කළේ," යනුවෙන්ද උන් වහන්සේ සඳහන් කළහ.
අලුත් අවුරුදු දිනයේ නැකත් සම්පාදනය පිළිබඳව පසුගියදා ප්‍රබල විවාදයක් මතු වී තිබුණු අතර, සමාජයක පැවැත්මට නැකත් අත්‍යවශ්‍ය ද සහ ලාංකීය සමාජය නැකත් වැළඳගත යුතු ද යන්න සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ මත දෙකක් පවතී.
නැකත් වැරදීම හෝ පිළිනොගැනීම හේතුවෙන් කිසියම් පුද්ගලයකුට, කණ්ඩායමකට හෝ රටකට අභාග්‍ය සම්පන්න කාලයක් උදාවන්නේ ද යන්න ද සංවාදයට බඳුන් වී පවතින කරුණකි. බීබීසී සිංහල සේවය එම ප්‍රශ්න ජ්‍යොතීර්වේදී දේශබන්ධු ටෙනිසන් ශ්‍රීපාල් වෙත යොමු කළේය. නැකත්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විද්‍යාත්මක සාක්‍ෂි නැතත් මානසිකව පුද්ගලයාගේ චරිතයේ සහ ක්‍රියාකාරිත්වයේ දැඩි වෙනස්කම් ඇතිකිරීමට නැකත්වලට ශක්තියක් තිබෙන බව ඔහු පවසයි. මානසික ශක්තියක් අවුරුදු නැකත් චාරිත්‍ර පිළිපැදීම තුළින් නෑදෑ හිතමිතුරන් අතර සබඳතාවන්වල අළුත්වීමක් සිදුවන අතර නව උද්යෝගයකින් ජීවිතය ආරම්භ කිරීමට මිනිසා පොළඹවන බව ද ජ්‍යොතීර්වේදියා පෙන්වා දුන්නේය. නැකත්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විද්‍යාත්මක සාක්‍ෂි නැති බව ජ්‍යොතීර්වේදී දේශබන්ධු ටෙනිසන් ශ්‍රීපාල් පිළිගනියි සූර්යයා සහ චන්ද්‍රයා මුල්කරගෙන ගණනය කරන නැකත් භාවිතය වසර දහස් ගණනක් තිස්සේ මිනිසා විසින් සිදුකළ බවට සාධක තිබෙන බව පෙන්වා දෙන ජ්‍යොතීර්වේදී දේශබන්ධු ටෙනිසන් ශ්‍රීපාල්, ජීවිතයේ බොහෝ අවස්ථාවල මිනිසා එකමුතු කිරීමට සහ මානසික ශක්තියක් ලබා දීමට එය යොදා ගත් බව පෙන්වා දෙයි. එකිනෙකා අතර පවතින වෛරය සහ උද්දච්ඡ කම වැනි අයහපත් ගුණාංග යටපත් කොට පුද්ගලයින් නම්‍යශීලී බවට පත් කොට අලුතින් සිතා අලුත් අවුරුද්ද ඇරඹීමට මෙවැනි නැකත් චාරිත්‍ර හේතුවන බවත් ඔහු සඳහන් කළේය. අයහපත් ගුණාංග "නොගිය ගෙවල් වලට අපි යනව. කතාබස් නොකරපු අයත් එක්ක අපි කතාබස් කරනව. බැඳීම් නැතිවෙලා තිබුණු අයත් එක්ක බැඳීම් පටන් ගන්නව, මේක මුදලින් තක්සේරු කරන්න බැහැ නේද? ඒ නිසා එය මානව වර්ගයාගේ පැවැත්ම සඳහා ලොකු ශක්තියක් වෙලා තියනව නේද? කියල තමයි මට ප්‍රශ්න කරන්න වෙන්නෙ," යනුවෙන් ඔහු පැවසීය. එහෙත් නැකත් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයට උපකාරීවන සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් විනා කිසිවකුගේ ජීවිතය සරුකරන්නක් බවට විද්‍යාත්මකව සනාථ කළ නොහැකි බව ඔහු පිළිගනියි. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව සියයට සියයක්ම මෙම චාරිත්‍ර විශ්වාස කරන නමුත්, යම් පුද්ගලයෙකු නිර්මාණය කරන නැකතකට අනුව කටයුතු නොකිරීමෙන් මගින් තවත් පුද්ගලයෙකුට, පිරිසකට හෝ රටකට අභාග්‍යයක් හෝ අනතුරක් සිදු නොවන බව ජ්‍යොතීර්වේදී ටෙනිසන් ශ්‍රීපාල් අවධාරණය කළේය. සිද්ධාන්තයකින් තොරව අනාවැකි කීමට උත්සාහ කිරීම හේතුවෙන් පසුගිය කාලයේ රටේ නමක් දිනා සිටි ඇතැම් ජ්‍යෝතිෂවේදීන්ට සැඟවීමට පවා සිදු වූ බව ඔහු ප්‍රවීණ ජ්‍යොතීර්වේදියා වැඩිදුරටත් පැවසීය.
මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශයට කියා සිටියේය.
'දිනය දන්නවා, දැන් කියන්න බෑ' ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දන්නා නමුත් එය මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව අමාත්‍යවරයා මහනුවරදී රැස්වීමක් අමතමින් ප්‍රකාශ කොට තිබුණි. මැතිවරණයක් පැවැත්වෙන කාලයක ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බව ශ්‍රී ලංකා කතෝලික සභාව මීට පෙර සඳහන් කළ නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව දැනටමත් තහවුරු කොට තිබෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසිදු වෙනසක් සිදු කොට නැති බව වතිකානයේ ප්‍රකාශකයෙක්ද සංදේශයට පැවසීය. මේ අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ උද්ඝෝෂණයකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් රොෂේන් චානක තරුණයා මියයාමේ වගකීම භාරගෙන පදවියෙන් ඉල්ලා අස් වූ මහින්ද බාලසූරිය හිටපු පොලිස්පතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කිරීම නීතිවේදී එකමුතුවේ සහ සිවිල් ක්‍රියාධරයන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ. එහෙත් තමන් එහි කිසිදු වරදක් නොදකින බවත් අමාත්‍ය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. "ඒ සම්බන්ධව මේ වෙනකොට නඩුවක් ගොනු වෙලා තියෙනව. ඒකෙ එතුමා වැරදිකාරයෙක් කරලවත්, අපරාධකාරයෙක් කරලවත් නෑනේ?" යනුවෙන්ද ඔහු පැවසීය.
විවිධ ආගමිකයන් සහ විවිධ ආගමික කණ්ඩායම් අතර ඇති වෙන සහ මතුවට ඇති විය හැකි මතභේද ආරවුල් සහ ගැටුම්කාරී තත්වයන් විමර්ශනය කොට සමථයකට පත් කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා එම තීරණය ප්‍රකාශයට පත් කළේ, බ්‍රහස්පතින්දා කොළඹදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසුණ අවස්ථාවේ. අලුතින් පිහිටුවනු ලබන පොලිස් ඒකකය ක්‍රියාත්මක වන්නේ ආගමික කටයුතු භාර අමාත්‍යංශය යටතේ බවත් ප්‍රකාශයට පත් කෙරුණි. ආගමික ගැටුම්කාරී තත්වයන් විසඳීමට නව පොලිස් ඒකකයක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය ගැන බීබීසි සංදේශය විමසීමක් කළ විට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමර නායක කියා සිටියේ, මෙය වෙනම පොලිසියක් නොව පොලිස් ඒකකයක් පිහිටුවීමක් පමණක් වන බවයි. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක “දැනටමත් එවැනි පොලිස් ඒකක ක්‍රියාත්මක වෙනවා. ‘වරාය පොලිසිය’ එවැන්නක්. එය පොලිස් දෙපාර්තමේන්තුවට අයිති එහෙත් අදාළ ආයතනයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ඒකකයක්” ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ප්‍රකාශ කරයි. ඇතැම් ආගමික කණ්ඩායම් පසුගිය දිනවල ප්‍රචණ්ඩ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, කිසිවකුට නීතිය අතට ගැනීමට ඉඩ නොතබන බව කියා සිටි බවයි ,මොහාන් සමරනායක වැඩිදුරටත් සඳහන් කළේ. බොදු බල සේනා ආගමික ගැටුම් නිරාකරණය සඳහා නව පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන්, බොදු බල සේනා සංවිධානයේ ප්‍රතිචාරය දන ගැනීමට එහි මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් සංදේශය විමසීමක් කළ විට උන්වහන්සේ සඳහන් , එය තම සංවිධානය විසින් කලක් තිස්සේ ඉදිරිපත් කරමින් තිබුණ ඉල්ලීමක් ඉටු වීමක් බවයි. රාජ්‍ය නොවන සංවිධාන හරහා රට තුළ සිදු කෙරෙමින් පවතින ආගමික සංහාරයට විසඳුමක් වශයෙන් මෙවැනි පියවරක් ගනු ලැබීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරයාට තුති පළ කරන බවත් මහලේකම් ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ. “බොදු බල සේනා සංවිධානය ආක්‍රමණකාරී නැහැ. එය හමුදාවක් නොවෙයි. ඒත් අපි යම් තැන්වලට ගිහින් සාකච්ඡා වල නිරත වුනා. ඒ මාර්ගයෙන් රටේ වගකිව යුත්තන්ගේ ඇස් ඇරවීමට” ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ. මුස්ලිම් ප්‍රතිචාරය ආගමික ගැටුම්කාරී තත්වයන් වැළක්වීමේ අරමුණින් නව පොලිස් ඒකකයක් පිහිටුවීමේ තීන්දුව ගැන ජනාධිපති නීතිඥ එම්.සුහායර් කියා සිටියේ, අද ශ්‍රී ලංකාවේ ආගමික ගැට‍ළුවක් නැතත්, ඇතැම් කණ්ඩායම් විසින් ගැට‍ළු සහගත තත්වයන් නිර්මාණය කරන බවයි. “ අදාළ ප්‍රශ්න පාලනයට සෑහෙන තරම් නීති රීති දැනටත් රටේ තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක කළ හොත් ගැට‍ළු වළක්වන්න පුළුවන්. ඒ සඳහා නව පොලිසි පිහිටුවීමක් අනවශ්‍ය බව මගේ අදහසයි” ජනාධිපති නීතිඥ එම්.සුහායර් කියා සිටියි. පවතින නීතිය ක්‍රියාවට නැංවීම සඳහා පොලිසියට සහ නීතිපතිවරයාට අවශ්‍ය තරම් බලතල ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙයි.
අත්‍යවශ්‍ය කරුණකට හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට උපදෙස් දී ඇත.
එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඒ බව නිවේදනය කළේ තුන්සිය පනස් දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවමින් පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුවය. විදේශිකයන් නිතර ගැවසෙන ස්ථාන ඇතුළුව ඉවක් බවක් නොමැතිව ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් බොහෝ විට උත්සාහ ගැනීමට ඉඩ ඇති බවට එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අනතුරු අඟවයි. සියලුම දේව මෙහෙයන් නවතා දමන බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව නිවේදනය කර තිබෙන අතර, තවත් ප්‍රහාර එල්ලවනු ඇතැයි තමන්ට බියෙන් දිවි ගෙවීමට සිදු වී තිබෙන බව බොහෝ ශ්‍රී ලංකාවාසීහු පවසති. මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් පමණ වන අතර "මාධ්‍යයේ පළ වූ ආකාරයට මළ සිරුරු සංඛ්‍යාව 359 නොවෙයි," යනුවෙන් ද සඳහන් කරයි.
නැගෙනහිර පළාතට අයත් කාත්තන්කුඩිය පිළිබඳ දකුණේ අවධානය යොමු වූයේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරයත් සමගය.
නගර මධ්‍යයේ ප්‍රධාන වීදිය මැදි වන සේ සිටුවා ඇති රට ඉඳි ගස් "මුදා නොගත් ප්‍රදේශයක්", "පුංචි අරාබියක්" වශයෙන් ඇතැමුන් අර්ථකථනය කළ ද කාත්තන්කුඩිය ගැන නිල දත්ත වාර්තා ඇතුලත්ව පළ වූ මාධ්‍ය වාර්තා විරලය. පහත දැක්වෙන්නේ ජන ජීවිතය හා පරිපාලනයට අදාළ කරුණු ඇසුරෙන් කාත්තන්කුඩිය පිළිබඳ කළ කෙටි විමසුමකි. ශ්‍රී ලංකාවේ ජනඝනත්වය වැඩි ම ප්‍රදේශය යේමනය ප්‍රමුඛ අරාබියේ දකුණු කලාපයේ ජීවත් වූ 'කටානි' හෙවත් 'කටාන්' නමැති ජන කොට්ඨාසයට අයත් පිරිසක් පැමිණ එහි සිටි කාන්තාවන් විවාහ කර ගැනීම මුල් කර ගනිමින් කාත්තන්කුඩි යන නම නිර්මාණය වී ඇතැයි කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙබ් අඩවියේ දැක්වේ. කාත්තන්කුඩිය වැඩි වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාර කටයුතුවලටය. ධීවර කර්මාන්තය හැරුණු විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු විශාල ශ්‍රම බලකායක් ද එහි වෙසෙති. පාසල් මතභේදයට තුඩු දී ඇති 'බැටිකලෝ කැම්පස් ඔෆ් ශ්‍රී ලංකා' ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තා අනුව කාත්තන්කුඩියේ මීට අමතරව කාත්තන්කුඩිය තුළ මද්‍රසා පාසල් සහ අරාබි පාසල් ගණනාවක් ද ක්‍රියාත්මකය. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් එම පාසල පිළිබඳ විමර්ශනය කර තිබේ. ඉහත කී කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසන පරිදි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලාගේ ඥාතීන්ගේ නම්වලින් පාසල් රැසක් නම් කර ඇත: "අරාබිකරණය" කාත්තන්කුඩි නගර අලංකරණ ක්‍රමවේදය පාර්ලිමේන්තුව සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූ තවත් මාතෘකාවකි. පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු අතර ඊට පිළිතුරු දුන් හිටපු ආණ්ඩුකාරවරයා පැවසුවේ, මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඇතැම් ඉදිකිරීම් සිදු කර ඇති බවය. නගර මධ්‍යයේ ප්‍රධාන වීදිය මැදි වන සේ රට ඉඳි ගස් සිටුවා තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු අවධාරණය කළේ, ප්‍රදේශයේ ශුෂ්ක පරිසර තත්ත්වය අනුව සරුසාර ලෙස වර්ධනය වන ශාකයක් වූ බැවින් ඒ සඳහා රට ඉඳි ගස් යොදා ගන්නා ලෙස උපදෙස් ලැබුණු බවය. මේ අතර, කාත්තන්කුඩි ප්‍රදේශයේ පොදු නාම පුවරු ප්‍රදර්ශනය කිරීමේදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වන සේ අරාබි භාෂා නාම යොදා තිබූ අතර පසුව අදාළ නාම පුවරු ඉවත් කර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තදින් ම ක්‍රියාත්මක කළ යුතු බවට කැබිනට් තීරණයක් ගනු ලැබිණි. සහරාන් සහ ජාතික තවුහීද් ජමාත් පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් උපත ලැබුවේ ද කාත්තන්කුඩි ප්‍රදේශයේය. කාත්තන්කුඩිය, ඔහු නායකත්වය දුන් බව පැවසෙන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ තිඹිරි ගෙය ලෙස සැලකේ. කාත්තන්කුඩි අල් අමීන් විදුහලේ පහ ශ්‍රේණිය දක්වා ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ඉස්ලාම් ආගම හැදැරීම සඳහා ගොස් ඇත්තේ කාත්තන්කුඩිය ටාමි උල් ෆලාර් මද්‍රසා පාසලටය. පසුව කාත්තන්කුඩි ඉස්ලාමීය මධ්‍යස්ථානයේ මවුලවිවරයකු ලෙස ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ සහාරන් හෂීම් දැඩි මතධාරී දේශන පැවැත්වීම නිසා මධ්‍යස්ථානයේ සෙසු මවුලවිවරුන් ඔහුට විරෝධය පළ කර ඉන් එළවා දැමූ බව ප්‍රදේශවාසීහු පවසති. ජාතික තවුහීද් ජමාත් සංවිධානය ආරම්භ කර ඇත්තේ, 2012 වසරේදීය. පසුව සහරාන් කණ්ඩායම සහ සෙසු ගතානුගතිකවාදී මුස්ලිම්වරුන් අතර මතවාදී ගැටුම් සන්නද්ධ ප්‍රහාර දක්වා වර්ධනය විය. 2017 වසරේ මාර්තු මස 10 වෙනිදා කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේදී සහරාන් කණ්ඩායම සුන්නතු වල් ජමාත් සංවිධානයේ පිරිසකට එල්ල කළ ප්‍රහාරය එහි වර්ධනීය තත්ත්වයකි. ඉන් දින කීපයක ඇවෑමෙන් කාත්තන්කුඩි වැසියන් සහරාන් කණ්ඩායමට එරෙහිව විශාල වීදි උද්ඝෝෂණයක් හා සමාජ මාධ්‍ය මගින් විරෝධයක් පළ කළ ද එය දකුණේ සමාජයට සන්නිවේදනය නොවුනි. නීතිය කාත්තන්කුඩි නගරය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඒ ගැන කරුණු විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යනු කාත්තන්කුඩි ප්‍රදේශය ගැන විශේෂයෙන් කතා බහ කළ සභාවකි. ඒ කාත්තන්කුඩිය සහ ඒ අවට තිබී අවි ආයුධ රැසක් සොයා ගැනුණු පසුබිමකදීය. ඇතැම් කාරණා සම්බන්ධයෙන් එම ප්‍රදේශය තුළ රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ල වූයේ පාස්කු ප්‍රහාරයට පෙර සිටය. විශේෂයෙන් එම ප්‍රදේශයේ යුතුරු පැදිකරුවන් ආරක්ෂක හිස්වැසුම් නොපළඳින බවට සමාජ ජාල ඔස්සේ ද චෝදනා එල්ල විය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන් කාත්තන්කුඩිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති එම්.පී කස්තුරිආරච්චි "මා 2017 එද්දී තරුණ පිරිස හෙල්මට් දැම්මේ නෑ. මා ඒ නීතිය ක්‍රියාත්මක කළා. හෙල්මට් නීතිය කාත්තන්කුඩි වැසියන්ට ඉගැන්නුවේ මම." යනුවෙන් සඳහන් කළේය. කාත්තන්කුඩිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර ද කාරක සභාව හමුවේ සිය සාක්ෂි දුන් අතර 2014.08.01 සිට 2017.07.28 දක්වා තමන් කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ සේවය කළ බවත් එම කාලය තුළ අන්තවාදී ක්‍රියා පිළිබඳ පැමිණිලි නොලැබුණු නමුත් ඉස්ලාම් ආගමේ නිකායන් අතර මතවාදී ගැටුම් පැවති බවත් පැවසීය. බාල වයස්කාර ගැබිනි මව්වරුන් කාත්තන්කුඩි ප්‍රදේශය ගැන සමාජ ජාල ඔස්සේ කියැවුණු තවත් කතාවක් වූයේ, එම ප්‍රදේශයේ "බාල වයස්කාර දැරිවියන් දරුවන් වැදීම සුලභය" යන්නය. කාත්තන්කුඩි මූලික රෝහලේ වාර්තාවලට අනුව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ: එල්ටීටීඊ සමය එල්ටීටීඊ ප්‍රහාරයෙන් ඉස්ලාම් භක්තිකයන් 103 දෙනෙකු මරණයට පත් විය එල්ටීටීඊ සංවිධානය උතුරු සහ නැගෙනහිර වැඩි බිම් පෙදෙසක් සිය පාලනයට යටත් කර ගෙන තිබිණි. එහෙත් කාත්තන්කුඩි වැසියන් සැලකෙන්නේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සිය ප්‍රදේශය අත්හැර නොගොස් සටන් කළ පිරිසක් හැටියටය. එල්ටීටීඊය කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් කෙරෙහි සතුරු ආකල්පයකින් කටයුතු කරන බව සහ ආරක්ෂක හමුදාවලට තොරතුරු සපයන්නේය යන්න එල්ටීටීඊය ඔවුන්ට එල්ල කළ ප්‍රධාන චෝදනාවක් විය. 1990 වසරේ අගෝස්තු 03 වෙනිදා මස්ජිදුල් ජුම්මා පල්ලිය වෙත පළමුව ප්‍රහාරයක් එල්ල කළ එල්ටීටීඊ සටන්කරුවෝ පසුව හුසයිනියා පල්ලිය වෙත ද ප්‍රහාර එල්ල කළහ. එම ප්‍රහාරයෙන් 103 දෙනෙකු මරණයට පත් විය. ව්‍යසන 2017 වසරේදී ඩෙංගු උණ වසංගතයක් තත්ත්වයට පත්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ පැතිරී ගිය අතර එහිදී වැඩි ම රෝගීන් පිරිසක් වාර්තා වූයේ කාත්තන්කුඩි හා එරාවූර් පරිපාලන කොට්ඨාසවලිනි. කාත්තන්කුඩිය 2004 සුනාමි රළ පහරේ විවෘත ඉලක්කයක් විය. කාත්තන්කුඩි වැසියන් 108 දෙනෙකුට ජීවිත අහිමි කළ එම ඛේදවාචකයේදී තවත් 93 දෙනෙක් අතුරුදහන් වූහ. නිවාස 2,500 කට වඩා නිවාස හා දේපළවලට හානි ද සිදුවිය. තවදුරටත් කියවන්න.
තමන් ඩාලි පාරේ පිහිටි බෝඩ් ලෑල්ලකට හෝ කාර්යාලයකට යට වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සමග හිට ගත්තු මිනිස්සු අපි. අද ඒ සියලු ප්‍රතිපත්ති පැත්තකට දාලා.' හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් රත්නපුර නගරයේ සංවිධානය කරන ලද රැළිය අමතමින්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ වීමට නොහැකි වූ බැවින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු පිරිසක් ශ්‍රීලනිපය ආරම්භ කළ බවත් අද එය එක්සත් ජාතික පක්ෂය පාමුල තබා ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කළේය. 'මේ පක්ෂය හැදුවේ එක්සත් ජාතික පක්ෂයට, ඒ පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව,' ඔහු කියා සිටියේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට බෙදීමේ උත්සාහයක නිරත වී සිටින බැවින් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පෙළ ගැසී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. සියලු පක්ෂ සහ පෙරමුණු ඒකාබද්ධ කර ගනිමින් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව පෙළ ගැසෙන බවත් 'ඒකාබද්ධ විපක්ෂය නුදුරේ දීම ඒකාබද්ධ ආණ්ඩුවක්' බවට පත් වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. "අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" මැයෙන් රත්නපුර නගරයේ පැවති ජන රැළිය 'රහසේ කුමන්ත්‍රණය නොකොට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩු බලය ලබා ගන්නා' බවයි ඔහු කියා සිටියේ. 'ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා, මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා,' ඔහු සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් එවැන්නක් සිදු නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. 'ගිලෙන නැවට පනින්නේ නැහැ. ගිලෙන නැවෙන් තමයි පනින්නේ' ඔහු පැවසීය. "අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" මැයෙන් පැවති ජන රැළියට බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
"අයියලට මොනවද ඕනේ, උදේ කෑමට නුඩ්ල්ස්, පාන්, ඉඳි ආප්ප තියෙනවා," ඒ නිපුනගේ හඬයි.
ඔහු උදෑසන ආහාර ගැනීම සඳහා මොරටුව ස්වශක්ති බේකරියට පිවිසෙන ඕනෑම අයෙකුට හුරු පුරුදු චරිතයකි. කඩිසරව, සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට මේ තරුණයා කටයුතු කරන්නේ බොහෝ දෙනා පුදුමයට පත්කරමිනි. "මට මගේ රස්සාව තමයි හැමදේම, මෙතන පිරිසිදුවට තියාගන්න ඕනේ," නිපුන, පාරිභෝගිකයන් ආහාරයට ගත් පිඟන් සහ මේස පිරිසුදු කරමින් පවසයි. බේකරියේ සාමාන්‍ය සේවකයෙකු වුවත් අනෙක් සේවකයන් පවා පාලනය කරමින් ඔහු යුහුසුළුව සිය රාජකාරියේ නිරත වෙයි. "මම තමයි මෙතන සෙන්ටර් මැනේජර්. ලොකු සර් කියල තියෙන්නේ මට මේක බලාගන්න කියලා. මේක අපි ජීවත් කරන ක්ෂේම භුමියනේ," කතා බහ අතර ද මොහොතකට හෝ බේකරිය පිරිසිදු කිරීම නැවැත්වීමට ඔහු සූදානම් නැත. "හැමෝටම අනාගතයන් තියෙන්න ඕනේ" සාමාන්‍ය සේවකයන් මෙන් නොව 23 හැවිරිදි නිපුන ගගනජිත් ප්‍රනාන්දු ගැන බේකරියට යන එන සියළු දෙනාගේම අවධානය යොමු වී තිබෙන්නේ ඔහු උපතේ සිට "ඩවුන් සින්ඩ්‍රෝමය" (Down Syndrome) නම් තත්ත්වයෙන් පෙලෙන අයෙකු බැවිනි. (මෙම රෝගී තත්වය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය විශේෂඥයෙකු වූ John Langdon Down විසින් බැවින් එය එනමින් හැඳින්වෙයි.) එහෙත් එම තත්ත්වය පසෙක ලා ජීවිතය ජය ගැනීම ඔහුගේ බලාපොරොත්තුවයි. "ඇත්තටම පුතාට මාස 9දි තමයි අපි දැනගත්තේ එයාට Down syndrome තියෙනවා කියලා. අපේ ලෝකෙම කඩාවැටුන වගේ දැනුනා," යනුවෙන් නිපුනගේ මව කමලා ජයසුන්දර සිය එකම පුතු ගැන මතකය අවදි කළේ එලෙසිනි. "අද ගොඩක් සතුටුයි නිපුන ඉන්න තැන ගැන. එයා වැටුපක් ගන්නවා. අපිවත් බලාගන්නවා. ජිවිතේ සුභවාදී ලෙස දකිනවා," ඇය පවසයි. නිපුන දිනපතා උදෑසන 8.30 වන විට සිය සේවාස්ථානය වෙත පැමිණෙන්නේ බයිසිකලයෙනි. "ඊයේ මට පොලිසියෙන් කිව්වා බස් මංතීරුවෙන් යන්න එපා කියලා. මම 'සොරි සර්' කියලා පදික වේදිකාවෙන් ආව," නිපුන සිය බයිසිකලය පෙන්වමින් පවසයි. ස්වශක්ති බේකරිය, නිපුන වැනි වර්ධන ගැටලුවලින් පිඩා විඳින දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදී ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් මොරටුව එම්.ජේ.එෆ් ප්‍රනාන්දු පදනම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක කොටසකි. නිපුන වැනි වර්ධන ගැටලුවලට මුහුණ දී ඇති තරුණයෝ එහි සේවය කර වැටුපක් ලබාගෙන සිය ජීවිතය ජයගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටිති. "මට රුපියල් 10,000ක වැටුපක් ලැබෙනවා. මම මගේ ගෙදර හදාගත්තා, මට දැන් මගේ කාමරේ A/C දාන්න ඕනේ, වාහනයක් ගන්නත් ඕනේ ෆිනෑන්ස් කරලා හරි," ඔහු සිය වැටුපෙන් ඉටුකිරීමට බලාපොරොත්තු වන දේ ඉතා උනන්දුවෙන් පවසයි. "මම කැමති හොඳ සැමියෙක් වෙන්න. හොඳ මහත්තයෙක් වෙන්න. මට නෝනා කෙනෙක් ඕනේ. ළමයි හදන්නත් ඕනේ," ඒ ඔහුගේ ඉදිරි බලාපොරොත්තු. තමන් වැනි අනෙක් බොහෝ දරුවන්ට රැකියා අවස්ථා නොමැතිවීම ඔහුට කනගාටුවකි. "මම ජොබ් එකක් කරනවනේ. අනිත් ළමයි හරිම දුකෙන් ඉන්නවා ජොබ් එක්ක නැති කමට," ඔහු පවසයි. "හොඳ විනයක්, අවබෝධයක් ඇති කරන්න ඕනේ, මම කියනවා හැමදේටම බය වෙන්න එපා. හැමෝටම අනාගතයන් තියෙන්න ඕනේ. හොඳ පුරවැසියෙක් වෙන්න ඕනේ." "මම ජිම් එකට යනවා, ඇඟ හදාගන්න බලාපොරොත්තුවෙනවා. මම කඩිසරයි. හැමදේටම ඉදිරිපත්වෙනවා. කිසිම බයක් නැහැ. අපි ව්‍යායාම කරන්නේ නිරෝගී වෙන්න. නැතුව මේ බඩ ඇවිල්ල, මේ ඉන්න මිස්ගේ වගේ හරි කැතයිනේ," නිපුන සියලු දෙනා සිනහගන්වමින් එතැන සිටි සිය ආයතනයේ කාන්තාවක පෙන්වමින් පවසයි. ශ්‍රී ලංකා පොලිසියට ඔහු විශාල ඇල්මක් දක්වයි. පොලිස් විශේෂ කාර්ය බලකාය, දුෂණ මර්දන ඒකකයේ තමන්ගේ ප්‍රියතම නිලධාරීන්ගේ නම් ද ඔහුට මතකය. නිපුන වැනි අනිකුත් දරුවන් බොහෝවිට සිය නිවාසවලට සීමා කිරීමට එම දෙමාපියන් කටයුතු කිරීම ඔවුන්ගේ දියුණුවට බාධාවක් වී තිබෙන බව ඔහුගේ මව කමලා ජයසුන්දරගේ අදහසය. "මම දැන් දන්නවා Down syndrome තියෙන ළමයිනුත් අනිකුත් ළමයි වගේම එකට යන්න පුළුවන් අය කියලා. මුල ඉඳලම ළමයව හදන්න ඕනේ නැත්නම් බුද්ධිය වර්ධනය වෙනවා අඩුයි. බැහැ කියල පැත්තකට දැම්මොත් මුකුත් බැහැ." "දැන් එයාට කාර් එකක් ගන්න ඕනෙලු. බැංකුවත් එක්ක ගිහිල්ල ඒක කතාකරන්න, ඒ වගේ සුභවාදීව එයා ජීවතේ දිහා බලනවා," නිපුන වැනි වර්ධන ගැටලු ඇති දරුවන්ගේ දෙමාපියන්ට කමලා ජයසුන්දරගෙන් ඔවදනක්. සමාන පුවත්:
වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් කීප දෙනකු තමාට පහරදී නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ වැසියෙක් චෝදනා කරයි.
පහර කෑ බව කියන නාත්තන්ඩිගේ මහේෂ් කුමාර ප්‍රනාන්දු නමැති තරුණයා මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. පෞද්ගලික කරුණක් මුල් කර ගනිමින් තමා සහ මිතුරකු අතර දබරයක් සිදු වූ අතර යම් කිසිවකු විසින් ඒ බව පොලිසියට දන්වා ඇති බවයි මහේෂ් කුමාර පවසයි. ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ තමා සහ තම මිතුරා පොලිසියට රැගෙන ගොස් පහර දුන් බවයි ඔහු කියා සිටින්නේ. බරපතළ ලෙස පහර දීමෙන් අනතුරුව නීති විරෝධී ලෙස මත්පැන් පේරූ බව කියමින් බැරල් කීපයක් හා ඒ සඳහා යොදා ගන්නා උපකරණ සමග තමා අධිකරණයට යොමු කල බවත් මහේෂ් කුමාර පවසයි. මහේෂ් කුමාර නගන චෝදනාව පිළිබඳ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාරගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි . අඟහරුවාදා රාත්‍රියේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා මාරවිල මූලික රෝහලට ගොස් මහේෂ් කුමාරගෙන් තොරතුරු විමසා ඇති අතර සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අද (17) සිදු කිරීමට නියමිතව තිබුණි.
ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේ පිට පිටම දින දෙකක් තරඟවලින් පරාජය වීම ගැන කනගාටුවන නමුත්, කණ්ඩායමේ නායක නිලූක කරුණාරත්නගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිලිනි ජයසිංහ පවසන්නීය.
'නිලූකගේ ජයග්‍රහණය පොදුවේ බැඩ්මින්ටන් වලට ලොකු ජයග්‍රහණයක් විදියට තමයි මම නම් දකින්නේ. මොකද ලංකාවේ හැමෝම කථාකරන්නේ ක්‍රිකට් ගැන' ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අංක අට ස්ථානය දරන ජපන් ජාතික කෙනිචි තාගෝ පරාජය කරමින් නිලූක කරුණාරත්න ජයග්‍රහණය හිමිකරගත් අතර ඉරිදා සහ සඳුදා දිනවල පැවති තරඟවලින් පරාජය වීමෙන් අනතුරුව තිලිනි ජයසිංහට ශූරතාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඔලිම්පික් ශූරතාවලියකදී ජයග්‍රහණයක් අත්කරගත් ප්‍රථම වතාව කණ්ඩායම් නායකගේ ජයග්‍රහණයයි. දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව හතලිස් හත් වැනි ස්ථානය දරන නිලූක මේ ජයග්‍රහණයත් සමඟම ඔලිම්පික් උළෙලේ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයන් දහසය දෙනා අතරට තේරී පත්වී සිටී. ක්‍රිකට් විතරයි "ඇත්තටම නිලූකගේ ජයග්‍රහණය පොදුවේ බැඩ්මින්ටන් වලට ලොකු ජයග්‍රහණයක් විදියට තමයි මම නම් දකින්නේ. මොකද ලංකාවේ හැමෝම කථාකරන්නේ ක්‍රිකට් ගැන අනික නිලූක අද එච්චරම ලේසි මැච් එකක් නෙවෙයි එයා දිනුවේ," බව පවසන තිලිනි ඉදිරි තරඟයෙනුත් ජයග්‍රහණය ලබා ඔලිම්පික් පදක්කමක් දිනීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බව ද බීබීසී සංදේශයට පැවසුවාය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඔලිම්පික් ශූරතාවලියකදී ජයග්‍රහණයක් අත්කරගත් ප්‍රථම වතාව මෙයයි එය අනුමත කරන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ බැඩ්මින්ටන් පිල භාර කළමනාකරු රොහාන් ද අල්විස් විශේෂයෙන්ම සඳහන් කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ලෝක මට්ටමට ළඟාවීම සඳහා දැනට වඩා අනුග්‍රහය ලබා දීමේ අවශ්‍යතාවයයි. "අපිට පුළුවන් තරම් අනිත් සමාගම් සහ ආයතන උදවු කරනවා නම් අපේ ළමයින්ට මේක අපිට ලෝක මට්ටමට ගෙන්න පුළුවන් ක්‍රීඩාවක් කියල මට කියන්න පුළුවන්," බව ඔහු පවසයි. ඉන්දීය බැඩ්මින්ටන් ශූරයා සහ වියට්නාම් බැඩ්මින්ටන් ශූරයා අතර පැවැත්වෙන තරඟයෙන් ජයග්‍රහණය ලබන ක්‍රීඩකයා සමඟයි, නිලූක ලබන අගෝස්තු පළවෙනිදා තරඟ වැදීමට නියමිතව තිබෙන්නේ. "නිලූකට ලොකු අවස්ථාවක් තියෙනවා එයාගේ සෙල්ලම් කරන විදිය නිසා. එයා හරිම උනන්දුවෙන් හොඳට පුහුණුවෙලා තියෙනවා. මම විශ්වාස කරනවා එයාට දිනන්න පුළුවන් කියල ඒ දෙන්නගෙන් කවුරු ආවත්," බවයි, කණ්ඩායමේ කළමනාකරු රොහාන් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ. සඳුදා පැවති පළමු තරඟයෙන් පරාජය වුවත් කණ්ඩායම තවමත් මංගල සමරකෝන්ගේ දෙවැනි තරඟය කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන බව කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක නිශාන්ත පියසේන මේ අතර සංදේශයට කියා සිටියේය. උළෙලේ දෙවැනි දිනය වූ ඉරිදා සිය පළමු තරඟයට සහභාගි වූ ක්‍රිෂාන් උනම්බුව විනාඩි 57.84 කින් තරඟය නිමාකරමින් දෙවැනි ස්ථානයට තේරී පත් වූ නමුත් දෙවැනි වටයට සුදුසුකම් නොලැබීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්ව ගියේය. තමා සහ උනම්බුවට ආරම්භයේදීම තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුවත් රේශික උඩුගම්පොල, මංගල සමරකෝන් ඇතුළු තරුණ ක්‍රීඩක පරපුරට මේ තරඟාවලිය අනාගතය වෙනුවෙන් අත්දැකීම් සම්භාරයක් රැස්කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් බවයි, තිලිනි ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගත් X-PRESS PEARL නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය, සුන්බුන් සහ අබිලි ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ට ආසන්න මුහුදු තීරය විශාල වශයෙන් දූෂණය වී ඇති බව සමුද්‍රීය පරිසරය පිළිබද විශේෂඥයෝ පවසති.
මාස තුනක් පමණ පැරණි සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. මෙම නෞකාවේ නැව් තෙල් ටොන් 320ක් පමණ ඇති බව බලධාරීහු පැවසූහ. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බව බලධාරීන්ට දැනුම් දී ඇතැයි අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය. යම් පුද්ගලයෙකුගේ යම්කිසි අතපසුවීමක් හෝ වැරද්දක් වී ඇද්ද යන්න සොයා බැලීමට දැනටමත් මේ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව නීතිමය කටයුතු කරන බව ද ඔහු කීය. "සමුද්‍ර ජීවීන්ට විශාල බලපෑමක් වලා තියෙනවා. වලක්වාගත නොහැකි හානියක් වෙලා තියෙනවා." යැයි කී ඔහු, මේ වන විට ඇතිවිය හැකි පරිසර හානිය පිළිබදව පරිසර අධ්‍යයනයක් කරමින් සිටින බව මාධ්‍ය හමුවේ පැවසීය. X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම සමුද්‍රීය දුෂණයකට මුහුණ දී සිටින අතර බටහිර වෙරළ තීරය දැන් රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් පෙති සහ තෙල් කාන්දුවක් මගින් දූෂණය වී ඇති බව දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එසේම අම්ල වැසි ඇතිවීමේ ඉඩකඩක් ඇති බවද ඒවායෙහි කියවිණි. සාගර විද්‍යාඥ ආශා ඩි වොස් මෙම නෞකාවේ ගින්න නිසා පරිසරයට ඇතිවිය හැකි හානිය පිළිබඳව අදාළ ක්ෂේත්‍රයන් හි විශේෂඥයන්ගෙන් විමසීම් කර ඇති අතර ඇය පවසන්නේ රසායනික සාගරවිද්‍යාඥ මහාචාර්ය ලිහිනි අලුවිහාරේගෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාව පිළිබදව විමසූ බවය. "නයිට්‍රික් අම්ලය දහනය කිරීමෙන් නයිට්‍රික් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO සහ NO2) නිපදවන අතර එය වායුගෝලයේ එක් වරක් ජලය සමඟ ප්‍රතික්‍රියා කර අම්ල වැසි ලෙස ප්‍රතික්‍රියා කරයි. කෙසේ වෙතත්, පහළට පැමිණීමට පෙර එය වායුගෝලයේ කෙතරම් තනුක කරනු ඇත්දැයි අප දන්නේ නැහැ." යැයි රසායනික සාගරවිද්‍යාඥ මහාචාර්ය ලිහිනි අලුවිහාරේ කියා සිටි බවත්, "වායුගෝලයේ තෙතමනය වැඩි නම් අම්ලයට නැවත ප්‍රතික්‍රියා කිරීම ඉතා වේගයෙන් සිදුවේ. ප්‍රශ්නය වන්නේ අම්ලයේ "සාන්ද්‍රණය"පහළට පැමිණීමට පෙර කුමක් වනු ඇත්ද යන්නයි," යනුවෙන් ඇය පැවසූ බවත් ආශා ඩි වොස් බීබීසී සිංහල සේවයට පැවසීය."කෙටියෙන් කිවහොත්, සාන්ද්‍රණය අඩු නම්, එයින් ඇතිවිය හැකි බලපෑම අඩුයි. එහෙත් එහි සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවතී නම් ඒ පිළිබඳව අනාවැකි කීමට තරම් අපි දන්නේ නෑ." යනුවෙන් ඇය තවදුරටත් පැවසූ බව ආශා ඩි වොස් කියා සිටියාය. විශේෂඥයන් පවසන ආකාරයට වඩා වැදගත් වන්නේ තෙල් කාන්දුවීමක් වලක්වාගැනීමය. "නෞකාව දෙකට කැඩිලා තෙල් කාන්දුවීමක් වෙයි කියල අනතුරක් තිබුණ නිසා තමයි ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගෙන්නගත්තේ. ඔවුනට එහෙම තෙල් කාන්දුවක් උනොත් එය පාලනයට උපකරණ තියෙන නිසා," යනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැව දියඹට ඇදගෙන යෑමේ යෝජනාවක් ගින්න හේතුවෙන් විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය ඇති වන ස්වභාවයක් හට ගන්නා අතර අවට ප්‍රදේශවල අම්ල වැසි (ඇසිඩ් වැසි) ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විද්‍යාත්මක මතය වී තිබේ. මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට අනතුරු ඇඟවීමක් ද කළේය. "සාගර දූෂණය හා හානියේ ප්‍රමාණය අපි තවමත් බලපෑම හා හානිය තක්සේරු කරමිනුයි ඉන්නේ. බලපෑම තක්සේරු කිරීම සඳහා අපි අදාළ සාම්පල එකතු කරමින් ඉන්නේ. ප්ලාස්ටික් කැට ගොඩක් විහිදිලා තියෙනවා," යනුවෙන් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මහාචාර්ය දීප්ත අමරතුංග බීබීසී සිංහල සේවය සමග පැවසීය. "මාළු සාමාන්‍යයෙන් PH අගයට ඉතා සංවේදී යි. ඒ නිසා මේ නයිට්රික් අම්ලය කාන්දු වීමත් සමඟ මාළු එම ප්‍රදේශයේ ඉන්නේ නැහැ. එත් අනෙක් සාගර ජීවීන්ට බලපෑම් ඇති විය හැකියි. තවමත් එහි බලපෑම අපි තක්සේරු කරලා නෑ." ඔහු පැවසුවේ මෙම ප්‍රදේශයේ මසුන් ඇල්ලීම තහනම් කර තිබෙන බැවින් ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය. "සාගර දූෂණය හා එම හානියේ ප්‍රමාණය ඇගයීමට අපි තවමත් ප්‍රවේශවෙලා නෑ මෙය කොපමණ කාලයක් බලපානු ඇත්දැයි අපට හරියටමකියන්න බෑ." මහාචාර්ය දීප්ත අමරතුංග පැවසීය. මෙම සිදුවීමෙන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා නාරා ආයතනය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග ගනු ලබන බවද ඔහු කියා සිටියේය. පරිසරවේදී ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධණ බීබීසී වෙත කියා සිටියේ රට තුළ දැනට පවතින අගුලු දැමීම හේතුවෙන් එම ස්ථාන නැරඹීමට හා සැබෑ තත්ත්වය තක්සේරු කිරීමට තමාට නොහැකි වූ නමුත් ලොව පුරා මෙවැනිම සිදුවීම් පදනම් කර පවතින තත්ත්වය පිළිබඳව ඇගයීමේදී මෙමගින් ඉතාමත් භයානක පරිසර හානියක් සිඳුවිය හැකි බවය. "ප්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් තිබෙනවා, මේවා මුහුදේ පාවෙද්දී කැඩී බිඳී ගිහින් ඉදිරි කාලයේ දී ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් මුහුදට මුසුවෙලා ජලජ ජීවීන්ට විශේෂයෙන් මූදු පතුලේ සත්ත්වයන්ට හා මූදු පතුලේ ශාක වලට අහිතකර බලපෑමක් ඇතිවෙන්න පුළුවන්," යනුවෙන් ඔහු කීය. "අනෙක් කාරණය වන්නේ නයිට්‍රික් අම්ලය ජලයේ සංයුතිය යම් ප්‍රමාණයකට වෙනස් කරන කාන්දුවීමක් සිදුවුවහොත් එය ධීවර කර්මාන්තයට බලපානු ඇති අතර අනෙකුත් අනවශ්‍ය ජීවීන්ගේ වර්ධනය වෙන්න පුළුවන්. මේ සියල්ලම හැකියාවන්, වර්තමාන අගුලු දැමීම නිසා මට ඒ දෙස මගේ දෑසින් දකින්න එම ස්ථාන වලට යාමට බැරි වූ නිසා මම මේ කියන්නේ පුළුවන් දේවල්." මතුවූ තත්ත්වය හේතුවෙන් පානදුර සිට මීගමුව කළපුව දක්වා ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට බලධාරීහු පවසති. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ එක් දින ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයන් හා ඒ ආශ්‍රිත රැකියාවන් හි නියුතු පුද්ගලයන්ට අහිමිවන දෛනික ආදායම ලබාදීමට රජය දැනටමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය. බහුදින යාත්‍රා ධීවරයන්ට මෙමගින් කිසිදු බලපෑමක් ඇතිනොවන බව ද ඔහු සඳහන් කළේය.
සෙනසුරාදා (පෙබරවාරි 10) උදෑසන හතට ආරම්භ වූ පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම සවස හතරට අවසන් විය.
දහවල් දෙක වනවිට රට පුරාම 60% කට වැඩි ජන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වී තිබුණු බව තේරීම් භාර නිලධාරීහු පවසති. සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට, මැතිවරණය පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථාන 13,374 කටයුතු සාමකාමීව සිදු වූ බව ද වාර්තා වේ. ඡන්දය භාවිත කිරීම සඳහා මෙවර පුද්ගලයන් 15,760,867 සුදුසුකම් ලබා සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත තාවකාලිකව අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියලු දෙනාටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ. මැතිවරණය මේ වනතුරු සාමකාමීව පැවැත්වෙන බව පොලිසිය හා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප්‍රකාශ කරති. ආබාධිත පුද්ගලයන්ට සිය ජන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව දක්නට ලැබිණ පැෆරල් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ උදෑසන 7ත් 10ත් අතර බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 2ක් පමණක් රට පුරා වාර්තා වී ඇති බවය. ඒ චංචල දේපළ හානි කිරීමේ සිදුවීමක් හා බිය වැද්දීමේ සිද්ධියකි. මේ අතර තවත් සුළු සිදුවීම් 23ක් වාර්තාවී ඇති බව ද පැෆරල් සංවිධානය පැවසීය. මේ අතර සිකුරාදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඇතුළු තිදෙනෙකු සෙනසුරාදා පෙරවරුවේ අත්අඩංගුවට ගත් මාදම්පේ පොලිසිය ඔවුන් හලාවත මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කළේය. ඔවුන් මේ මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී හලාවත මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය. මේ අතර හලාවත එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර අබේසේකර තමාට බැන තර්ජනය කර හලාවත ආනන්ද ජාතික පාසැල ඉදිරිපිට ජන්ද මධ්‍යස්ථානය අසලින් ඉවත් කළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාවක් වන රෝහිනී සමරසේකර පොලිසියට පැමිණිලි කර තිබේ. සුළු සිදුවීම් හැරුණු විට මැතිවරණය 'සාමකාමීයි' මේ අතර මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින්, ජන්ද නියෝජිතයන් පත්කිරීමේ බලය ඇති පක්ෂ ලේකම්වරුන්ගේ නම් නිසි ලෙස සංදේශනය නොවීම ගැන පැමිණිලි කිහිපයක් ලැබුණු බව සඳහන් කර තිබිණ. එම පැමිණිලි සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කළ බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි. නිල නොවන ජන්ද ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස ද මැතිවරණ කොමිසම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. තවත් කියවන්න: පුත්තලම ඇතැම් සුළු සිදුවීම් හටගත්ත ද පස්වරු දෙක පමණ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සියයට හැටකට ආසන්න පිරිසක් සිය ජන්දය ප්‍රකාශ කර තිබිණ. කෙසේ වුවත් ආබාධිත පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දක්නට ලැබිණ. ආබාධිත පුද්ගලයන්ට සිය ජන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව දක්නට ලැබිණ මැතිවරණයකදී ආබාධිතයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව ආබාධිතයන් සහ ඔවුන් කැටුව පැමිණි අය බීබීසී යට පැවසූහ. වසර තිහකට අසන්න කාලයක් පුත්තලමේ පැවති අවතැන් ජන්ද මධ්‍යස්ථාන මෙවර නොමැති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්එච්එම් චිත්‍රානන්ද පැවසීය. දූපත්වාසීන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මොහොත්තුවරම ග්‍රාමයේ ජන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබීම ද විශේෂත්වයකි. ගාල්ල සෙනසුරාදා දහවල් 12.30 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර පැවසීය. දිස්ත්‍රික්කය පුරාම ඉතා සාමකාමීව ඡන්ද විමසීම පැවති අතර, විශේෂයෙන්ම නෙළුව, තවලම, නියාගම සහ නාගොඩ වැනි ග්‍රාමීය ප්‍රදේශවල ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා පැවසීය. එම ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 55%ක් පමණ වුවත් නාගරික ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය තරමක් මන්දගාමී බව ද දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කයේ 80% ක පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව පවසන ඔහු, සවස 6.30 පමණ වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පැවසීය. සබැඳි යොමු:
2016 ජුලි මාසයේ දිනෙක හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව බවට තේරී පත්වූයේ ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයක ජනපති අපේක්ෂකයා ලෙසින් තෝරා ගැනුණු පළමු කාන්තාව බවට පත්වෙමිනි.
"මෙතරම් රාත්‍රිය වෙනතුරු නොනිදා සිටි තරුණියන් ඉන්නවා නම් මම ඔවුන්ට කියන්නේ," ප්‍රීති ප්‍රමෝදයට පත් හිලරි ක්ලින්ටන් සෘජුවම ආමන්ත්‍රණය කළේ කාන්තාවන්ටය. "මීළඟ ජනාධිපතිනිය මම වෙන්න පුළුවන්, නමුත් ඊළඟ කාන්තාව ඔබෙන් කෙනෙක්." අවසානයේ සිය සිහිනය සැබෑ කරගැනීමට ඇය අපොහොසත් වූවාය. එනමුත් ගතව ගිය දශකය ඇතුළත ලොව පුරා ජනතා ඡන්දයෙන් බලයට පත් වූ කාන්තාවන් පිරිස දෙගුණ වී තිබේ. සියයක් කාන්තාවෝ: හිමි තැන නොලැබීම පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Centre) පෙන්වා දෙන ආකාරයට මේ වනවිට ලොව පුරා කාන්තාවන් 15 ක් සිය රටවල රාජ්‍ය බලය හොබවන අතර, ඒ අතරින් අට දෙනෙකුම සිය රටේ බලයට පත් වූ පළමු කාන්තාවය. අනෙක් අතට එහි අදහස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් රාජ්‍ය බලය හිමිව තිබෙන්නේ කාන්තාවන් 10% කටත් අඩු ප්‍රතිශතයකට බවය. ඒ නායිකාවන් පිරිස පැහැදිළිවම බාධක බිඳ ඉදිරියට පැමිණීමට සමත් වුවත්, සිය රටේ අනෙක් කාන්තාවන්ට ද ලැබෙන අවස්ථා පුළුල් කිරීමට ඔවුන් සමත් වී තිබෙන්නේ ද? ඒ පැනයට එක් පිළිතුරක් ලෙසින්, ඉන්දියාවේ පළාත් පාලන මැතිවරණ සඳහා කාන්තාවන් වෙනුවෙන් විශේෂ කෝටාවක් නියම කර තිබීම විමසා බැලිය හැකිය. 1993 දී ඉන්දියාවේ දියත් කරන ලද අත්හදා බැලීමක් ප්‍රකාර, අහඹු ලෙස තෝරා ගනු ලබන සෑම ඉන්දීය ගම් සභා තුනකින් එකක්ම එහි සභාපති පදවිය කාන්තාවක් සඳහා වෙන් කළ යුතුය. සිය ගම් සභාවේ නායකත්වය කාන්තාවකට හිමිවීම එම ගම්මානයේ තරුණ කාන්තාවන්ට සිය අනාගතය පිළිබඳ බලාපොරොත්තු දනවන්නක් බව දහස් ගණන් තරුණියන් සහ ඔවුන්ගේ දෙමාපියන් යොදාගෙන 2012 දී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිදරවු විය. එම අත්හදා බැලීමට ප්‍රථම සිය දරුවන්ගේ අධ්‍යාපනය, රැකියා සහ අනාගතය පිළිබඳව විමසු විට සාමාන්‍යයෙන් ඉන්දීය දෙමාපියන් බොහෝ බලාපොරොත්තු තැබුවේ සිය පුතුන් කෙරෙහිය. එහෙත් කාන්තාවක පිට පිටම දෙවතාවක් නායකත්වය දැරූ කිසියම් ගම්මානයක සහ කිසි දිනෙක කාන්තාවකට නායකත්වය හිමි නොවූ ගම්මානයක දෙමාපියන් සිය දරුවන් කෙරෙහි තැබූ බලාපොරොත්තු විෂයයෙහිලා පුතුන් සහ දියණියන් අතර පරතරය 25% කින් අඩු වූ බව ද දක්නට ලැබුණි. දරුවන් අතර ද එම පරතරය 32% කින් අඩු විය. කාන්තාවක ගම් සභාවේ නායකත්වය දැරීම පුතුන් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු අඩුවීමට හේතු නොවූ බැවින්, පුතුන් සහ දියණියන් පිළිබඳ බලාපොරොත්තු අතර පරතරය අඩුවීම පැහැදිලිවම දියණියන් පිළිබඳ අපේක්ෂා ඉහළ යාම සනිටුහන් කරන්නක් විය. කාන්තාවන් සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ගම් සභා නායිකාවක සතු හැකියාව ඉතා සීමිත වුවද, ඔවුන් වටා සිටි තරුණියන්ගේ අපේක්ෂා ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට නායකත්වය හිමිවීම පමණක්ම ප්‍රමාණවත් බව සමීක්ෂණ වාර්තාවේ කතුවරුන්ගේ නිගමනය විය. තමන් සමීපයේ නොසිටියද, අනාගත පරපුරට බලාපොරොත්තු තැබිය හැකි ආදර්ශමත් චරිත පවා නායකත්වය සම්බන්ධයෙන් කාන්තාවන් දිරිමත් කිරීමට තුඩු දිය හැකි බව 2012 දී ස්විට්සර්ලන්තයේ පවත්වන ලද පර්යේෂණයකින් ද හෙළි වී තිබේ. ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් සහ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන්ගේ ඡායාරූප ඉදිරියේ දේශන පවත්වන මෙන් පර්යේෂකයෝ ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට ආරාධනා කළහ. තවත් කණ්ඩායමක් බිල් ක්ලින්ටන්ගේ ඡායාරූපය ඉදිරියේ දේශන පැවැත්වූ අතර, කිසිදු ඡායාරූපයක් නොමැතිව දේශනයක් පවත්වන මෙන් සිවු වෙනි කණ්ඩායමට ආරාධනා කෙරිණ. බිල් ක්ලින්ටන්ගේ ඡායාරූපය ඉදිරිපස සහ කිසිදු ඡායාරූපයක් නොමැති අවස්ථාවට වඩා අන්ගෙලා මර්කල් සහ හිලරි ක්ලින්ටන්ගේ ඡායාරූප ඉදිරියේ ශිෂ්‍යාවෝ ඉතා දීර්ඝ වේලාවක් දේශන පැවැත්වූහ. එමතු නොව, සාර්ථක දේශපාලන නායිකාවන් ඉදිරියේ ශිෂ්‍යාවන්ගේ අදහස් දැක්වීම් ද අනෙක් අවස්ථාවලට සාපේක්ෂව ඉතා සාධනීය විය. "දේශපාලන නායිකාවක් යනු සමානාත්මතාව පිළිබඳ තරුණ පරපුරේ ඉලක්කය පමණක් නොව, ඒ සඳහා තරුණියන් දිරිමත් කරන එන්ජිමද විය හැකි," බව සමීක්ෂණයේ කතුවරුන් සිය වාර්තාවේ සඳහන් කර තිබුණි.
කොරෝනාවෛරසය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 2003 වසරේ සාර්ස් වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉක්මවා තිබේ.
නව කොරෝනාවෛරසය ආසාදිත 40,000කට අධික පිරිසක් හඳුනා ගෙන ඇත නව කොරෝනාවෛරසයේ කේන්ද්‍රය වන චීනයේ පමණක් මේ වන විට මරණ 908 ක් වාර්තා වෙතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වසංගතය හේතුවෙන් රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 774 ක් මරණයට පත් වූහ. නව කොරෝනාවෛරසය අසාදිත සංඛ්‍යාව මේ වන විට 40,100 ඉක්මවන අතර ඉන් අතිබහුතරය වාර්තා වන්නේ, චීනයෙනි. නව කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මස කටයුතු කළේය. කොරෝනාවෛරසය සම්බන්ධයෙන් අලුත් ම තත්ත්වය වූහාන් සිට TikTok ඔස්සේ අත්දැකීම් බෙදා ගත් ඔස්ට්‍රේලියානුවා 2019-nCov ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය පළමුව වාර්තා වූයේ හූබෙයි පළාතේ අගනුවර වන වූහාන් නගරයෙනි. වසංගතය හමුවේ වූහාන් නගරය සති ගණනාවක් පුරා අකර්මණ්‍ය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අධානම් ගේබ්‍රියෙසස් සෙනසුරාදා කියා සිටියේ වෛරසය තවමත් හූබෙයි පළාත තුළ පවතින අතර පසුගිය දින කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාවේ සුළු ස්ථාවර මට්ටමක් පෙන්නුම් කරන බවය. බොහෝ විට වසංගතවල පැතිර යාමේ වේගය යළි වැඩි වීමට පෙර, වේගයේ යම් කිසි අඩුවක් දක්නට හැකි බැවින් නව කොරෝනාවෛරසය ස්ථාවර මට්ටමක නැවතී තිබේ ද, නැද්ද යන්න කීමට තවමත් කල් වැඩි බව ඔහු කියා සිටියේය. නමුත් වෛරසය පැතිර යාමේ වේගය මදක් අඩුවීම එය මර්දනය කිරීම සඳහා "අවස්ථාවක් වනු ඇති" බව ඔහු පැවසීය. මාර්තු 01 වන දා වන තුරුවත් හූබෙයි පළාතේ පාසල් වසා තැබෙනු ඇති බව චීනයේ රජයේ මාධ්‍ය ඉරිදා වාර්තා කළේය. දින ගණනාවක නිරෝධායනයකින් පසු සංචාරකයෝ 'ද වර්ල්ඩ් ඩ්‍රීම්' නෞකාවෙන් පිටව ගියහ මේ අතර හොංකොංහි නැංගුරම් ලූ නිරෝධායනයට ලක් කළ සුඛෝපභෝගී සංචාරක නෞකාවක මගීන්ට ඉන් ගොඩබැසීමට අවසර ලැබිණි. ඒ, මගීන් හෝ නෞකාවේ කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවය. 'ද වර්ල්ඩ් ඩ්‍රීම්' සංචාරක නෞකාව වෙන ම රඳවා ගැනුණේ එහි මීට පෙර යාත්‍රා කළ මගීන් අට දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමගය. චීනයේ ප්‍රධාන භූමියේ සිට පැමිණෙන ඕනෑ ම පුද්ගලයෙකු අනිවාර්යයෙන් සති දෙකක නිරෝධායනයකට ලක් කිරීමේ වැඩසටහනක් වෙන ම පරිපාලන කලාපයක් වශයෙන් පවතින හොංකොං සෙනසුරාදා හඳුන්වා දිණි. ඒ අනුව සංචාරකයන් ඔවුන්ගේ හෝටල් කාමර තුළ හෝ ආණ්ඩුවෙන් පාලනය කෙරෙන මධ්‍යස්ථාන තුළ හුදෙකලාව රැඳී සිටිය යුතු අතර හොංකොං වාසීන් සිය නිවාස තුළ ම රැඳී සිටිය යුතුය. එම නීතිය කඩ කරන්නන් දඩයකට හෝ සිර දඬුවමකට යටත් කරනු ඇත. හොංකොං දූපතෙන් මේ දක්වා කොරෝනාවෛරස් රෝගීන් 26 ක් හඳුනා ගෙන ඇත. කොරෝනාවෛරසය ආසාදිත හැට හැවිරිදි ඇමරිකානු ජාතිකයෙකු බ්‍රහස්පතින්දා වූහාන්හි රෝහලකදී මරණයට පත් විය. වෛරසය හේතුවෙන් මරණයට පත්, චීන ජාතිකයෙකු නොවන පළමු රෝගියා එම පුද්ගලයාය. සෙනසුරාදා වන විට සිය ඕට්-සව්වා කලාපයෙන් නව හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු තවත් රෝගීන් පස් දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ප්‍රංශය තහවුරු කළේය. ඒ අනුව මේ දක්වා ප්‍රංශයෙන් කොරෝනාවෛරස් ආසාදිත 11 දෙනෙකු හඳුනා ගෙන ඇත. ප්‍රංශයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යවරිය කියා සිටියේ අලුතින් හඳුනා ගත් පස් දෙනා ම එක ම ස්ථානයක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් බවය. සිංගප්පූරුවට ගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද එහි නවාතැන් ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළේය. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව පැවසේ. එම ස්ථානයේ නවාතැන් ගත් තවත් හය දෙනෙක් නිරීක්ෂණය යටතේ පසු වෙති. වෛද්‍ය ලී වෙන් ලියැන්ග්ගේ මරණය සම්බන්ධයෙන් විශාල වශයෙන් කණගාටුව සහ කෝපය පළ වේ මේ අතර, ම කොරෝනාවෛරසය පැතිර යාම පිළිබඳ කල් තියා අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් චීනය තුළ විශාල වශයෙන් කනගාටුව සහ කෝපය පළ වේ. වූහාන් මධ්‍යම රෝහලේ අක්ෂි විශේෂඥයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලී වෙන් ලියැන්ග් කොරෝනාවෛරසය සම්බන්ධයෙන් දෙසැම්බර් 30 වන දා සෙසු වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබිණි. ඒ සමග පොලිසිය ඔහුට නිශ්ශබ්දව සිටින ලෙස දැන්වා ඇත්තේ බලධාරීන් වෛරසය පිළිබඳ පුවත මහජනයාගෙන් සඟවා තැබීමට උත්සහ කරමින් සිටින පසුබිමකදීය. වූහාන්හි රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී තිබේ.
උතුරු නැගෙනහිර පලාත්වල ඉඩම් අයිතිය දෙමළ ජනතාවට පමණක් වෙන්විය යුතු බවට කෙරෙන ඕනෑම යෝජනාවකට දැඩි විරෝධය පළ කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
"පළාත් සභාවල තිබෙන විෂකුරු ගතිය අඩු වන ඕනෑම පියවරකට සහාය දෙනවා" පක්ෂයේ ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී තිබෙන පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු ඇතැම් බලතල ඉවත් කල යුතු බව යෝජනා කරමින් පක්ෂය ඉදිරිපත් කොට තිබෙන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධවේදීන් හමුවේ කරුණු දක්වමින්. තම යෝජනාව පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම, සියලු ජාතික සංවිධාන සහ රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ පවා සාකච්ඡා පැවැත්වීමට තම පක්ෂය සූදානම් බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 'නම්‍යශීලීයි' "අපි මේ ප්‍රශ්නයේදී අතිශයින් විවෘතයි, අතිශයින් නම්‍යශීලීයි මේ සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න," යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය. පළාත් සභාවල තිබෙන "විෂකුරු ගතිය" අඩු වන ඕනෑම පියවරකට තම පක්ෂයේ සහාය හිමිවන බවද ජාතික හෙළ උරුමය පවසයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ඉදිරිපත් කොට තිබෙන යෝජනා පිළිබඳව අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියෝ, තමන් විසින්ම නිර්මාණය කරන ලද 1978 ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව එම පක්ෂය විසින්ම තීරණය කිරීම පිළිබඳව සතුටු වන බව සඳහන් කළහ.
දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමෙන් බේරීම පිණිස යුරෝපා වාසීන්ට වඩා දකුණු ආසියානුවන් හැකි තරම් ව්‍යායාම කළ යුතු බව විද්‍යාඥයන් පිරිසක් පවසති.
දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති විශේෂයෙන්ම දකුණු ආසියානු පුරුෂයන් අනිවාර්යයෙන්ම සම වයසේ සහ සම බර කාණ්ඩයේ යුරෝපීයයන්ට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතු බව ඒ පිළිබඳව කෙරුණු විශේෂ අධ්‍යයනයක නිගමණය වී තිබේ. විශේෂයෙන්ම දකුණු ආසියානු වාසී වැඩිහිටි පුරුෂයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල මට්ටමක පැවතීම දියවැඩියාව වැළඳීමට ප්‍රධාන හේතුවක් බව එම අධ්‍යයනය සිදු කළ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙති. පරම්පරාවෙන් උරුම වීම මහාචාර්ය නවීඩ් සතාර් එම පර්යේෂණ වාර්තාවේ කර්තෘවරයෙක්. "අපි හිතන්නේ මේක දකුණු ආසියානුවන්ට පරම්පරාවෙන්ම උරුම වෙන දෙයක්. යුරෝපීය සහ දකුණු ආසියානුවෝ සංසන්දනය කළාම එකම බර කාණ්ඩයේ දකුණු ආසියානුවන්ගේ මේද ප්‍රමාණය වැඩියි. ඒ වගේම මේකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ ශරීරයේ හයි හත්තිය තියෙන්නේ පහල මට්ටමක," බව මහාචාර්යවරයා පැවසීය. "මම හිතන්නේ තමන්ගේ පුරුදුත් මේකට එක හේතුවක් නමුත් මේ අධ්‍යයනයෙන් හෙළි වුනු ප්‍රධානම දේ තමයි අපි කැමති වුනත් නැතත් දකුණු ආසියානුවෝ අනෙක් අයට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතුයි කියන එක," යනුවෙන් ද මහාචාර්ය නවීඩ් සතාර් බීබීසී යට පැවසීය. එබැවින් දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල අනු දැනුමක් නොමැතිව යාපනයේදී සිය පුතා පැහැර ගැනීම සිදු විය නොහැකි බව අතුරුදහන්වූ ලලිත් වීරරාජ්ගේ පියා, ආරුමුගම් වීරරාජ් පවසයි.
ලලිත් සහ කුගන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී පසුව හමු විය සිය පුතා අතුරුදහන්වීමට පෙරාතුවද හමුදාවෙන් ඔහුට හිරිහැර සිදු වූ බවත් ඔහුගේ පියා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ, ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් මානව හිමිකම් ක්‍රියාධරයන් අතුරුදහන් වී දෙවසරක් පිරීම නිමිත්තෙන් සහ ලෝක මානව හිමිකම් දිනය සැමරීම් වස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කරනු ලැබ තිබූ විරෝධතාවයකදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. අතුරුදහන් කළ ලලිත් සහ කුගන් වහා නිදහස් කරන ලෙසත් රට පුරා සිදුවන පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වහා නතර කරන ලෙසත් උද්ඝෝෂකයෝ රජයට බල කොට සිටියහ. යතුරු පැදිය ලලිත් සහ කුගන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක්. උද්ඝෝෂණයේදී සංදේශය සමඟ අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ ඔවුන්ගේ අතුරුදහන් වීමට සම්බන්ධ බවට ආණ්ඩුවට චෝදනා කළේය. ලලිත් කුගන් පැහැරගැනීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බවයි, ඒ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ. ලලිත් හා කුගන් ආරක්ෂක අංශ මගින් රඳවා ගෙන සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරන චෝදනාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා සීමිත ඕවර තරග සඳහා 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය අප්‍රසාදය පළකරයි.
කුමාර් සංගක්කාර එම අදහස් පළකළේ, බ්‍රහස්පතින්දා කොළඹදී පැවති ඩයලොග් 'චේන්ජ් ෆෝරම්' නම් වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අදහස් දක්වමිනි. "යම් දුරකට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුයි. වසරක වගේ කාලයක් ඇතුළත එක්දින තරග සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු වගේ ප්‍රමාණයක් යොදාගැනීම කරන්න බැහැ," ඔහු පැවසීය. "කණ්ඩායමක සෙල්ලම් කරන්නේ 11 දෙනයි. මේක කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ප්‍රමාණයක්." මෙය අවාසනාවන්ත තත්වයක් බව පැවසූ කුමාර් සංගක්කාර, එවැනි අවිනිශ්චිත වටපිටාවක ක්‍රීඩා කිරීම අපහසු දෙයක් බව පෙන්වාදුන්නේය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ව්‍යුහයේ ගැටළු පවතින බව පෙන්වාදුන් කුමාර් සංගක්කාර එමගින් දක්ෂයන්ගෙන් දක්ෂයන් ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිනොවන බවයි කියා සිටියේ. මෙය තමන්ගේ පෞද්ගලික අදහස බව පවසන කුමාර් සංගක්කාර, තමන් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බවත් සඳහන් කළේය. මෙලෙස දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව එක් දින තරග ක්ෂේත්‍රයේ දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇති බව ප්‍රවීණ ක්‍රීඩා විචාරක ඩීන් ජෝන්ස් ද පසුගියදා පෙන්වාදුන්නේය. 'ක්‍රීඩා සමාජ දේශපාලනය' 2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 38කින් ජයගෙන තිබෙන්නේ තරග 12ක් පමණක් වන අතර, එම ජයග්‍රහණවලින් බහුතරය වාර්තා වී තිබෙන්නේ අයර්ලන්තය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිවය. මේ ආකාරයෙන් දිගින් දිගටම එක්දින තරග පරාජය වුවහොත්, ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවා අහිමිව යාමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස පළමු පෙළ ක්‍රිකට් තරගවල පූර්ණ ප්‍රතිශෝධනයක් කිරීමේ අවශ්‍යතාවය ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි මේ අතර පෙන්වාදෙයි. ඒ සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ සහ අගමැතිවරයාගේ පවා පූර්ණ සහාය පළ වූ නමුත් 'ක්‍රීඩා සමාජ දේශපාලනය' හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව ද සිදත් වෙත්තමුණි පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. ඒ සඳහා මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වැනි මෑතදී ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැකිලෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි. එහෙත් සිදත් වෙත්තමුණිට අවශ්‍ය වූයේ දිගටම ක්‍රිකට් පරිපාලනයේ රැඳී සිටීමට බව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.
ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරය "ඉස්ලාම් රාජ්‍යයේ සෙබළෙකු" විසින් එල්ල කරන ලදැයි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ.
වෙඩි තබා බිම හෙලූ ප්‍රහාරකයට ප්‍රතිකාර කරමින් මේ අතර ලන්ඩන් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ උපත ලද අයෙකුවන අතර පොලිසිය සහ ඔත්තු සේවා දැන සිටි අයෙකු බව අගමැතිනි තෙරේසා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය. වසර කිහිපයකට පෙර ප්‍රචණ්ඩ අන්තගාමීබව සම්බන්ධයෙන් ඔහු විමර්ශනයකට ලක්ව සිටියද මෑත කාලීන ඔත්තු ක්‍රියාකාරීත්වය තුළට ඇතුළත් නොවූවෙකි සිව් දෙනෙකුට මරු කැඳවමින් බදාදා (මාර්තු 22) ලන්ඩනයේදී එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. කීත් පාමර් නම් පොලිස් නිලධාරියා, ලන්ඩන්හි පාසලක සේවය කළ අයිෂා ෆ්රේඩ්, 50 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම ප්‍රහාරකයා ද මියගිය ඇය අතර වෙති. මියගිය පොලිස් නිලධාරී කීත් පාමර් සහ අයිෂා ෆ්රේඩ් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගෙන් හත්දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තාවේ. වෙස්ට්මින්ස්ටර් පාලම මත පදිකයින් හා ගැටෙමින් මෝටර් රියක් ධාවනය කළ පුද්ගලයා පසුව පාර්ලිමේන්තුව වෙතට දිව යමින් එහි සිටි නිරායුධ පොලිස් නිලධාරියෙකුට පිහි පහර එල්ල කළේය. එහිදී පොලිසිය විසින් ඔහුව වෙඩි තබා බිම හෙලනු ලැබීය. මියගිය පොලිස් නිලධාරි කීත් පාමර් වෙත ප්‍රණාමය පිදූ අගමැතිනිය "ඔහු සෑම අතින්ම වීරයෙක්, ඔහු ගත් පියවර කිසිදා අමතකව යන්නේ නැහැ" යැයි පැවසුවාය. සේවා ඇගයීම් උත්සවයකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් එක අයෙකුද සිදුවීමේදී තුවාල ලැබූ අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව කී අගමැතිනිය, මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළේ "අප ත්‍රස්තවාදය හමුවේ කිසිදා සැලෙන්නේ නැහැ" යැයි අවධාරණය කළාය. දිනයේ කටයුතු ඇරඹීමට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විනාඩියක නිහඬතාවක් පළකරමින් ඇය වැඩිදුරටත් සඳහන් කළ පරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයින් අතර ප්‍රංශ දරුවන් දෙදෙනෙක්, රුමේනියානු ජාතිකයින් දෙදෙනෙක්, දකුණු කොරියානු ජාතිකයින් සිව් දෙනෙක්, ජර්මානු ජාතිකයෙක්, අයිරිෂ් ජාතිකයෙක්, චීන ජාතිකයෙක්, ඉතාලි ජාතිකයෙක්, ඇමෙරිකානු ජාතිකයෙක් හා ග්‍රීක් ජාතිකයින් දෙදෙනෙක් ද වෙති. විපතට පත්වූවන් සිහිකරමින් මල් කළඹ තැන්පත් කෙරේ වෝහාරික නිලධාරීන් පරීක්ෂණවල යෙදෙමින්
බ්‍රිතාන්‍යයේ පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව බලධාරීහු පවසති.
2102-13 වසරවලදී 650 ක්ව තිබුණු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර 2016-17 වන විට 1448 ක් දක්වා වැඩි වී තිබුණු බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ (British Transport Police) සංඛ්‍යාලේඛනවල දැක්වේ. සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනා කරයි. සබැඳි යොමු: එහෙත් ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් විලියම්සන් (Chris Williamson) ගේ එම යෝජනාව පිළිබඳව මන්ත්‍රීවරියන්, කාන්තා හිමිකම් සංවිධාන සහ ඔහුගේ පක්ෂයේම දේශපාලනඥයන්ගෙන් පළ වී තිබෙන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් සහ අවඥාවෙන් බැහැර කිරීමකි. පොදු ප්‍රවාහන සේවාවල සිදුවන ලිංගික අතවර අවම කිරීම සහ කාන්තාවන් වෙනුවෙන් "සුරක්ෂිත ස්ථාන" නිර්මාණය කිරීම පිණිස එවැනි ක්‍රමයක් අත්හදා බැලිය හැකි බව, ගිණි නිවීම පිළිබඳ ඡායා අමාත්‍යවරයා වන ක්‍රිස් විලියම්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාවය. ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" තමන් යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම එවැන්නක් ක්‍රියාත්මක කළ යුතුය යන්න නොව එවැනි වැඩපිළිවෙලක් පිළිබඳව ද ජනතා මතය විමසිය යුතුය යන්න බව ඔහු බීබීසී යට පැවසීය. ලිංගික අතවරවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම පිණිස ආරක්ෂක විධිවිධාන තර කළ යුතු අතරම ජනතාවගේ "හැසිරීමේ වෙනසක්" විය යුතු බව මන්ත්‍රීවරයාගේ මතයය. එහෙත් එය "මහා විකාර අදහසක්" බව පවසමින් ලේබර් පක්ෂයේ හිටපු ප්‍රවාහන ඇමති ඇඩෝනිස් සාමිවරයා එය බැහැර කර තිබේ. විශේෂයෙන්ම එවැනි වැඩපිළිවෙලක් තමන්ට "අපහාසයක්" ලෙසින් කාන්තාවන් සැලකීමට ඉඩ තිබෙන බව ඇඩෝනිස් සාමිවරයා බීබීසී යට පැවසීය. "මේ යෝජනාවෙන් කියන්නේ නොමනා විදියට හැසිරෙන පුරුෂයන් ඉතාම සුළු පිරිසක් නිසා කාන්තාවන් වෙන් කරපු මැදිරිවලට ගාල් කළ යුතුයි කියන එක," ඔහු පැවසීය. 'ඇය සුරැකි ගමනකද' ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් ද 2015 දී එවැනි අදහසක් ඉදිරිපත් කළ නමුත් පසුව එය බැහැර කළේය. මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව ශ්‍රී ලංකාවේ ද කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිවේදනය කළේය. එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කළේය. මේ තත්වය යටතේ 'ඇය සුරැකි ගමනකද' මැයෙන් පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අවම කිරීමේ වැඩපිළිවෙලක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නගා තිබේ. පොදු ප්‍රවාහන සේවාවලදීත්, මහා මගදීත්, වැඩපොළේදීත් තමන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද අනාවරණය කළහ. 'සවුදි අරාබියෙන් උදාහරණ එපා' කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ දුම්රිය මැදිරි කලක් බ්‍රිතාන්‍යයේ ද ක්‍රියාත්මක විය. "119 අංකයට හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට පොලිසිය අමතන්න" එය ක්‍රමයෙන් ඉවත් කළ යුතු බව 1977 දී තීරණය කෙරුණු අවස්තාව වන විට එවැනි මැදිරි 100 ක් පමණ ඉතිරිව තිබිණ. ජපානය, බ්‍රසීලය සහ මෙක්සිකෝව වැනි රටවල් මීට ඉහතදී එම අදහස අත්හදා බලා තිබේ. ක්‍රිස් විලියම්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාව පිළිබඳව ට්විටර් පණිවුඩයකින් ප්‍රතිචාරය පළ කරන ස්ටෙලා ක්‍රීසි (Stella Creasy) මන්ත්‍රීවරිය, සියලුම මගීන් වෙනුවෙන් දුම්රියවල සියලුම මැදිරි ආරක්ෂා සහිත වීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. "ප්‍රශ්නය තියෙන්නේ කාන්තාව අසුන් ගන්න විදියේ නොවෙයි, ලිංගික අතවර කරන පුද්ගලයන් ගැන බව අපි පැහැදිලි පණිවුඩයක් දිය යුතුයි," යනුවෙන් ද මන්ත්‍රීවරිය පවසන්නීය. කාන්තා අයිතිවාසිකම් පිළිබඳව "සවුදි අරාබියෙන් උදාහරණ ගන්නේ නම්" එය "බරපතල වරදක්" බව තවත් මන්ත්‍රීවරියක වන ජේස ෆිලිප්ස් (Jess Phillips) පවසා තිබුණි.
ගායනය මගින් අපගේ ආත්මය ඔසවා තැබිය හැකිය. එසේම, එමගින් අපගේ ශාරීරික සෞඛ්‍යයට ද ප්‍රතිලාභ හිමි වන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ගායනා කිරීම මගින් පෙනහලු ආබාධ සහිත පුද්ගලයින්ට ශ්වසන හැකියාව වැඩි වීමත් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට සහනයක් ලැබීමත් සිදුවෙයි.
සංගීත සංදර්ශන නැරඹීමෙන් ද සෞඛ්‍යයට හිතකර බව පර්යේෂකයෝ පවසති. ගායනා කිරීම සහ සෞඛ්‍යය අතර පවතින සම්බන්ධතාවට අදාළ මානසික, ජීවවිද්‍යාත්මක සහ චර්යාත්මක යාන්ත්‍රණය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා පර්යේෂකයින් රැසක් පසුගිය දශක දෙක පුරා උත්සහ දැරූහ. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය ඩේසි ෆැන්කෝර්ට් පවසන්නේ, ගායනා කරන අවස්ථාවලදී මිනිස් ශරීරය තුළ විපර්යාසයන් රැසක් සිදුවන බවය. "ගායනයේ යෙදෙන විට මානසික පීඩනය ඇති කරන කෝටිසෝල් වැනි හෝමෝන අඩු වීමක් සිදුවෙන්න පුළුවන්. ඒ වගේ ම ගායනා කරන විට අපේ මනෝ භාවයන්ට (mood) බලපාන හෝමෝන මට්ටම්වල වෙනසක් සිදු වෙනවා." විවිධ බලපෑම් ගායනය නිසා අත්වන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ සිදුකළ මහාචාර්ය ෆෑන්කෝට් පවසන්නේ, එහි විවිධ බලපෑම් ඇති බවය. "ගායනය කියන්නේ බහුවිධ සෞඛ්‍ය ක්‍රියාකාරකමක්. ඒක අංග රැසකින් සමන්විතයි. ගායනය තුළ සංවේදී ප්‍රකාශයක් අන්තර්ගත වෙනවා. එය මානසික සෞඛ්‍යයට යහපත්. ගායනය නිසා සමාජමය අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙනවා. එය හුදෙකලා වෙලා කියන සිතුවිල්ල බැහැර කරනවා." ඇය පවසන්නේ, සංගීතයට සවන් දීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකි බවය. "සම්භාව්‍ය සංගීතය වේවා රොක් සංගීතය වේවා, ඕනෑ ම සංගීත සංදර්ශනයකට සවන් දෙන්නෙකුගේ මානසික පීඩනය අඩුවීම සිදුවන්නේ සමාන මට්ටමකින්. මෙය සන්දර්භමය සාධක වල ක්‍රියාකාරීත්වයක්." එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන," බවය. එම පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, "බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලට පවා සමූහ ගායනය තුළින් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කර ගත හැකි" බවය. ගායනා කිරීමේදී මනසට සහ ශරීරයට ඇති වන ඍජු බලපෑම පිළිබඳව කරුණු හෙළි කිරීමට ජර්මනියේ වෙසෙන කණ්ඩායම් ගායිකාවක ලෙස කටයුතු කරන ඇනාබෙල් ඉදිරිපත් වූවාය. "මම ගායනා කරද්දී මට දැනෙන්නේ ඒක භාවනාවක් වගේ. මම ඒ වේලාවට සංගීතය තුළ ගිලිලා ඉන්නේ. මට ලොකු සහනයක් දැනෙනවා ඒ වෙලාවට." සෑම බ්‍රහස්පතින්දාවක ම ඇය පැය තුනක කාලයක ගායනය පුහුණු වෙයි. "ගායනා කරන්න මුළු ශරීරය ම අවශ්‍යයි. මම ජිම් එකකට නොයාමට හේතුව ඒක," ඇය පැවසීය. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට කරන ප්‍රතිකාරයක් ලෙස සංගීතය, විශේෂයෙන් ම ගායනය භාවිත කරයි. "අපි ගායනා කරන විට මොළයේ සමහර තැන්වලට වැඩිපුර රුධිරය ගලා යනවා. ඒ තැන් තමයි ඩිමෙන්ෂියා රෝගයට බලපාන තැන්. සංවේදීත්වයට බලපාන්නේ අන්න ඒ තැන්," වෛද්‍ය සයිමන් ඕෆර් පවසයි. එංගලන්තයේ චෙල්ටන්හැම් ප්‍රදේශයේ සේවය කරන වෛද්‍යවරයෙකු පැවසුවේ, ගීතවලට සවන් දීමෙන් "ඩිමෙන්ෂියා රෝගීන් තුළ පිබිදීමක් ඇති වන අතර ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කර ගත හැකි," බවය. ප්‍රතිලාභ එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන මයින්ඩ් සෝන්ග් ආයතනය වැඩිහිටි නිවාසවලට නිරන්තරයෙන් සිය ගායන ශිල්පීන් යවන්නේ, ඒවායෙහි වෙසෙන වැඩිහිටියන් ගායනය සඳහා පෙළඹවීමේ අරමුණිනි. "ඔබ සමූහයක් ලෙස ගායනා කරන විට හිමි වන ප්‍රතිලාභ ඉතා යහපත්. ගායනාවලට සහභාගි වීමෙන් පසු වැඩිහිටි පුද්ගලයින් ඊළඟ දවස වෙනකම් හොඳ මානසික තත්ත්වයක පසුවෙනවා කියලා ඒ වැඩිහිටි නිවාස පාලකයින් කියනවා," මයින්ඩ් සෝන්ග් ආයතනයේ සංගීත චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ මැගී ග්‍රේඩි පවසයි. එම ආයතනය පෙනහලු ආබාධ නිසා හට ගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිළිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු පවත්වයි. "ගායන වැඩමුළු පහකට හෝ හයකට සහභාගි වුණාට පස්සේ සමහර රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ පැහැදිලි ලෙස යහපත් වුණා." එසේ නම්, බරපතළ පෙනහලු ආබාධ සහිත රෝගීන් ගායනා කිරීම තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට උත්සහ දැරීම පුදුමයට කරුණක් නොවේ. කොලින් යනු දරුණු පෙනහලු රෝගයකින් පෙළෙන්නෙකි. එම රෝගී තත්ත්වය වැළඳුණු රෝගීන්ගෙන් අඩක් පමණ වසර තුනක කාලයක් තුළ ජීවිතක්ෂයට පත් වෙති. රෝගයේ බරපතළකම කුමක් වුවද, ගායනා කිරීම ඔහුගේ තත්ත්වය යහපත් වීමට උපකාර වන බව ඔහු පවසයි. "මම 16 දෙනෙකුගේ කණ්ඩායමක් සමගයි ගායනා කරන්නේ. ඒ මගින් මගේ හුස්ම ගැනීම පහසු වෙනවා. මම නිතර පෙනහලු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවලදී සමහර තත්ත්වයන් යහපත් අතට හැරිලා තියෙන බව තහවුරු වුණා." හෝමෝන ගායනය කිරීමේදී ඇති වන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ශරීරය තුළ එන්ඩෝෆින් (endorphins) නමැති හෝමෝනය මුදා හැරේ. මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනය එයයි. ගායනා කරන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරීමට සිදුවන අතර, ඒ මගින් ශරීරය පුරා රුධිර සංසරණ වේගය වැඩි වෙයි. එන්ඩෝෆින් හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අප සිනාසෙන විට සහ චොක්ලට් අනුභව කරන විට ඇති වන එන්ඩෝෆින් ධාරිතාවට එය සමානය. අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නමැති මානසික ආතතිය (stress) ඇති කරන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩු වන බවය. සාමාන්‍යයෙන් අපගේ කෝටිසෝල් ප්‍රමාණය දිනයක අවසානයේදී අඩු වන අතර, ගායනයේ නිරත වීමෙන් එය අඩු වීමේ ශීඝ්‍රතාව වැඩි වෙයි. තාක්ෂණ සහය නිවසෙන් පිටතට යාමට අකමැති පුද්ගලයින්ට තාක්ෂණය ඔස්සේ ගායන කණ්ඩායම් සමග සම්බන්ධ වී ඒ හා සමාන වටපිටාවක් ඇතිකර ගත හැකිය. මෙම සංකල්පය මගින් ලොව පුරා විසිරී සිටින ගායන ශිල්පීන් තාක්ෂණය හරහා ඒකරාශී කිරීමක් සිදුවෙයි. ග්‍රැමී සම්මානලාභී සංගීත අධ්‍යක්ෂවරයෙකු වන එරික් වයිටාකර් එවැනි ගායන කණ්ඩායමක් පවත්වාගෙන යයි. පර්යේෂකයින් පවසන්නේ, සමූහයක් ලෙස ගායනාවලට එක් වීමෙන් හුදෙකලාව අඩු වන අතර සමාජය සමග ගැටීමේ හැකියාව ද වර්ධනය වන බවය. තවදුරටත් කියවන්න:
"මගේ වයස දහතුනයි. මම ඉන්න ඕන අට වසරේ නමුත් මම ඉන්නේ හතර වසරේ." බත්තලන්ගුන්ඩුව දූපතේ වෙසෙන සාගර සුමනසිරි දරුවාගේ කතාවයි, ඒ.
සාගර සුමනසිරි මෙන්ම එම දූපතේ ජීවත්වන ළමුන්ට නිසි වයසට හිමි අධ්‍යාපනය නොලැබෙන බව දූපත්වාසීහු පවසති. බත්තලංගුණ්ඩුව දූපතට පාසල් ගොඩනැගිල්ලක් තිබුනත් රජයෙන් ගුරුවරයෙකු ලබා දී නොමැති අතර ගුරුවරයෙකු නොමැති වීම නිසා වසරකට වැඩි කාලයක් පාසල වසා දමා තිබූ බවයි දූපත් වාසීන් පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකුගේ ඉදිරිපත් වී පාසල යළි විවෘත කොට ඇති බව එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට දැකගන්නට ලැබිණ. එහෙත් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සෙසු පහසුකම් දරුවන් වෙත ලැබී නොමැති බව දරුවන් සහ දෙමව්පියෝ පවසති. කල්පිටියේ සිට මුහුදු සැතපුම් 18 ක් ඈතින් පිහිටි බත්තලංගුණ්ඩුව දූපත තුළ පවුල් අටසීයකට පමණ අයත් පන්දහසකට ආසන්න පිරිසක් දිවි ගෙවති. නීති විරෝධී පන්න ක්‍රම යොදා ගනිමින් ඉන්දීය ධීවරයන් විසින් සිදු කරන මසුන් මැරීම හේතුවෙන් තම රැකියාවට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් දූපත්වාසීහු පවසති. පන්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන සිය දූපත රැකගැනීම සඳහා පලුගහතුරේ සිට ඇති කෙටි මාර්ගය විවෘත කර දෙන ලෙසද ඔවුහු බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.
තායිලන්ත මහ මැතිවරණය ආරම්භ වීමට දිනක් තිබිය දී ආණ්ඩුවේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් පටන් ගත් බව බැංකොක් අගනුවරින් වාර්තා වෙයි.
තායි විපක්‍ෂයේ ක්‍රියාකාරිකයන් 'මැතිවරණය වර්ජනය කරනු' බැංකොක් නගරයේ සිටින බීබීසී වාර්තා කරුවෙක් පවසන්නේ, කාර්ය බහුල නගර මංසන්ධියක් සහ සාප්පු සංකීර්ණයක් යුද පිටියක සිරිය ගත් බවයි. ගැටුම සිදු වෙද්දී මහජනයා සහ වාර්තාකරුවන් ඉවත දිව ගිය බවයි ඔහු පවසන්නේ. වෙඩි තැබීම් සහ පිපිරීම් නිසා කීප දෙනකු තුවාල ලද බවත් , වාර්තා මගින් පැවසෙයි. මෙම මහ මැතිවරණය වර්ජනය කරන තායිලන්ත විපක්‍ෂ ක්‍රියාකාරිකයන් යත්න දරමින් සිටින්නේ, ඡන්ද පත්‍රිකා බෙදා හරිනු ලැබීම අඩාළ කර දැමීමටයි. බලයේ සිටින තායිලන්ත ආණ්ඩුව දූෂිත වූවකැයි පවසන විපක්‍ෂය එය පලවා හැරිය යුතු බවයි, කියා සිටින්නේ. බැංකොක් අගනුවර බොහෝ කලාපයන්හි මෙන් ම ආණ්ඩු පක්ෂයට මහජන ප්‍රසාදය අඩු දකුණු තායිලන්තයේත්, උතුරු හා නැගෙනහිර පළාත්හි වඩාත් ග්‍රාමීය වූ බල ප්‍රදේශයන්හිත් ඉහත කී මැතිවරණ ගැටුම් පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවේදීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන්නැයි නීතිවේදීන්ගේ එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
ගුණරත්න වන්නිනායක, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක්කළ නීතිඥවරයෙක් සන්නද්ධ පුද්ගලයන් සිවුදෙනකු විසින් ඊයේ නීතිවේදී ගුණරත්න වන්නිනායකට පහර දීමට දැරූ අසාර්ථක ප්‍රයත්නය දැඩිව හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරන නීතිවේදීන්ගේ එකමුතුව, නීතිවේදීන්ට සහ විනිශ්චයකරුවන්ට එරෙහිව ජන මතය උසි ගැන්වීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවට ආණ්ඩුවට සහ ආණ්ඩුවේ ජනමාධ්‍යවලට චෝදනාවක්ද එල්ල කරයි. අගවිනිසුරුවරිය සම්බන්ධ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, විශේෂයෙන්ම ආණ්ඩුව නීතිවේදීන්ගේ එකමුතුවේ නීතිඥයන් ඉලක්ක කරමින් සිටින බවයි, නිවේදනයේ සඳහන් වෙන්නේ. නීතිවේදී වන්නිනායකට පහරදීමේ ප්‍රයත්නයට සම්බන්ධ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ඒකමතිකව සම්මත කොට තිබේ. එක්සත් ජාතීන්ට ඉල්ලීමක් සංගමයේ හදිසි මහා සභා රැස්වීමකදී මෙම තීරණයට එළැඹුණ බවයි, සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් ගමගේ කියා සිටියේ. "ඔහුට කිසිදු ශාරීරික හානියක් වුනේ නෑ කියල ඒක සුළු කාර්යයක් සේ සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දරුණු සහ භයානක තත්ත්වයක්, මරණීය බිය ඇතිවන අවස්තාවක්" කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ ප්‍රධාන ලේකම් "ඔහුට කිසිදු ශාරීරික හානියක් වුනේ නෑ කියල ඒක සුළු කාර්යයක් සේ සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දරුණු සහ භයානක තත්ත්වයක්, මරණීය බිය ඇතිවන අවස්තාවක්," ඔහු පැවසීය. විශේෂයෙන්ම මෙම ප්‍රහාර ප්‍රයත්නය එල්ලවූයේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට සාධාරණ විභාගයක් ලබා නොදී ඇය පදවියෙන් ඉවත් කළහොත්, නව අගවිනිසුරුවරයාට සහාය පළ නොකරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කිරීමෙන් අනතුරුව බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහායට ඉදිරිපත් වන මෙන් ලොව පුරා සියලු රටවල නීතිඥ සංගම්වලින් ඉල්ලීමක් කරයි. ගුණරත්න වන්නිනායක, දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට නීතිඥවරයෙක්. මේ තත්ත්වය යටතේ නීතිඥවරයාට පහර දීමේ ප්‍රයත්නය පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන්නැයිද ආසියානු මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්, ජාත්‍යන්තර නීතිඥ සංගමය ඇතුළු සියලු ජාත්‍යන්තර ආයතනවලින්ද ඉල්ලා සිටියි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
මිහිතලය රත්වීම වැළැක්වීම පිණිස සියලු පියවර ගන්නා මෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
'මිහිතලය රත්වීමට මනුෂ්‍ය ක්‍රියාකාරකම් වග කිව යුතු බව විද්‍යාඥයන් 97 ක් ම සනාථ කරනවා' ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති සමුළුවක් අමතමින් කථා කරමිනුයි, ඔහු එම ඉල්ලීම කළේ. ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වේගයෙන් කාලගුණය වෙනස් වෙමින් තිබෙන බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාක්ෂි තිබෙන බවද රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේය. "සියලුම විද්‍යාඥයන්ගෙන් සියයට 97 ක්ම කිසියම් දෙයක් සම්බන්ධයෙන් එකඟ වෙනවා නම්, අපි ඔවුන්ට කන් දිය යුතුයි. අපි ඒකට ප්‍රතිචාර දැක්විය යුතුයි," යනුවෙන්ද ජෝන් කෙරී පැවසීය. "මිහිතලය රත්වීම සිදු වන බව සහ එයට මනුෂ්‍ය ක්‍රියාකාරකම් වග කිව යුතු බව පරිසර විද්‍යාඥයන් 97 ක් ම සනාථ කරලා තිබෙනවා." 2015 වන විට මිහිතලය රත්වීම සම්බන්ධ ඓතිහාසික සම්මුතියක් ඇති කර ගැනීම ජෝන් කෙරීගේ උත්සාහයයි.
"කසිප්පු පෙරුවත් ලක්ෂ ගණන් දඩ" මුදල් අයකිරීමට අධිකරණයට බලය තිබෙන නමුත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීම නොකරන දේශපාලනඥයන්ට රුපියල් දහසක උපරිම දඩයක් නියම කිරීමේ විධිවිධානය නීතිවේදීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.
ඒ පිළිබඳව දැනට පවත්නා නීති ප්‍රතිපාදන වහාම සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ගෝමින් දයා ශ්‍රී සහ මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කරති. නීතිවේදීන් දෙදෙනා එසේ පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය විසින් රුපියල් දහසක දඩයක් නියම කරනු ලැබීම පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි. සිය "පන්තිය ආරක්ෂා කරගැනීමේ අරමුණින්" මෙවැනි නීති සංශෝධනය කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් පියවර නොගන්නා බව ඔවුන් දෙදෙනාගේම අදහසය. "හොරකම්, වංචා නැතිකරන්න පොරොන්දු වෙලා එන කිසිම ආණ්ඩුවක් මේ වගේ නීති වෙනස් කරන්න සූදානම් නෑ," නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේය. "මම හිතන්නේ දැන් කාලය ඇවිල්ල තියෙනව මේ නීතිය වෙනස් කරලා දඩ මුදල උපරිමයත් නැති කරලා, සඟවන ලද මුදල් ප්‍රමාණයට සරිලන විදියේ දඩයක් නියම කරන්න වෙනව. මම හිතන්නේ ඒක ලක්ෂ ගානක් විය යුතුයි." එම අදහස අනුමත කරන නීතිවේදී ගෝමින් දයා ශ්‍රී පවසන්නේ, වර්තමානයේ දේශපාලකයන් පිළිබඳව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවය. "වරප්‍රසාද ලත් දූෂිත පිරිසක් වශයෙනුයි ජනතාව දැන් දේශපාලකයන් සලකන්නේ. ඒ නිසා අල්ලස් ගැනීම සහ වෙනත් මාර්ගවලින් මුදල් උපයා ගැනීම වැළැක්වීම සඳහා වත්කම් හෙළිකිරීම අත්‍යවශ්‍ය දෙයක්," ඔහු පැවසීය. ආදායම් බදු නොගෙවා හැරීම හෝ ආදායම හෙළි නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව බන්ධනාගාරගත කිරීමේ හැකියාව තිබෙන නමුත් දේශපාලකයින්ගේ මෙවැනි වැරදිවලට රුපියල් දහසක දඩයක් පමණක් හිමිවීමට හේතුව "ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි කොලේ වහගෙන වැඩ කිරීම," බව ද නීතිවේදී ගෝමින් දයා ශ්‍රී සඳහන් කළේය. නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය විටෙක අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට නියම වන දඬුවම රුපියල් 1,000 නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයක සිර දඬුවමකි. අපි යහපාලනය ඉදිරියට ගෙනයනවා - බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම වෙනුවෙන් මෙතෙක් පැවති රුපියල් 1,000ට නොවැඩි දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එහෙත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව චන්ද්‍රපාල කුමාරගේ නීතිඥවරයාගේ අදහස ය. "වත්කම් ප්‍රමාණය වැඩි වෙන විදියේ, ලක්ෂයෙන් පටන් අරන් ලක්ෂ පනහක් හෝ ඊටත් වැඩි ගාණක් දක්වා වැඩිවීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. දැන් කසිප්පු තියාගත්තත් දඩ ගහනවා ලක්ෂ ගණන්. දඩයක් විතරක් නොවෙයි, දීර්ඝ කාලීන සිර දඬුවමකුත් අනිවාර්යයෙන්ම නියම කරන්න ඕනේ." අඛණ්ඩව වසර දෙකක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි කර නැති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවරා තිබුණු නඩුවකදී චුදිත හිටපු අමාත්‍යවරයා වරද පිළිගත් අවස්ථාවේ ඔහුට රුපියල් 2,000 දඩයක් නියම කෙරිණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩු තුනකට වරද පිළිගෙන තිබූ අතර ඔහුට නියම වූයේ එක් නඩුවකට රුපියල් 1,000 බැගින් රුපියල් 3000 දඩ මුදලකි. "උදාහරණයක් විදියට බැඳුම්කර ගනුදෙණුව ගැන වුණත් වත්කම් හෙළිකරන්න බැරි වුනොත් දඩය ඕක තමයි," නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පැවසීය. වැඩිදුර:
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වරජන්ය කරන මෙන් බ්‍රිතාන්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටිමින් සිය ගණනක පිරිසක් අගමැති කාර්යාලය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටියහ.
'ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කරන්න' අගමැති ඩේවිඩ් කැමරන්, ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු සහ විදේශ ලේකම් විලියම් හේග් ඇතුළු බ්‍රිතාන්‍ය දූත මණ්ඩලය සමුළුවට සහභාගි වීම, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ යුද අපරාධ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඍජු සහාය දැක්වීමක් බව උද්ඝෝෂකයන්ගේ චෝදනාව වී තිබුණි. සෙනසුරාදා සවස උද්ඝෝෂණය හමාරයේ අගමැති ඩේවිඩ් කැමරන්ට පෙත්සමක් භාර දුන් බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කරන මෙන්ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. ඇම්නස්ටි ජාත්‍යන්තරය ඊට පෙරාතුව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මෙහෙයවීමෙන් ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපස උද්ඝෝෂණයක නිරත වූ සිය ගණනක පිරිසක්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව අවධානය යොමු කිරීම පිණිස රාජ්‍ය නායක සමුළුව යොදා ගන්නා මෙන් බ්‍රිතාන්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියහ. බ්‍රිතාන්‍යය ඇතුළු ලෝක නායකයන් සමඟ ව්‍යාපාරික ගිවිසුම් අත්සන් කිරීමට පිණිස පමණක් සමුළුව යොදා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්තාව ලබා නොදිය යුතු බවයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ. සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා දැනටමත් නිවේදනය කොට තිබෙන අතර, එයට සහභාගි වන්නේද යන්න පිළිබඳව අගමැති මන් මෝහන් සිං තවමත් තීරණය කොට නැති බව ඉන්දීය බලධාරීහු පවසති.
ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී.
වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරං ඔටං පර්ත් නුවර සත්වෝද්‍යානයේ "ගරුගාම්භීර වයසක කාන්තාව" ලෙස හඳුන්වන ලද පුවාන්, වයස්ගත වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් සඳුදා (ජූනි 18) අනායාස මරණයට ලක් කර ඇත. ඇය 1968 සිට මෙම සත්වෝද්‍යානයේ සාමාජිකයෙකුව සිටි අතර, 2016 දී ඇයගේ වර්ගයේ ජීවත්ව සිටින ලොව වයස්ගතම ඔරං ඔටං ලෙසට ගිනස් වාර්තාවලට නිල වශයෙන් ඇතුළත් කරන ලදි. වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරං ඔටං වනයේදී වසර පනහක් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බව සත්වෝද්‍යාන නිලධාරීහු පවසති. 1956 දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා ප්‍රදේශයේ වනාන්තරයක උපත ලබා ඇති බවට විශ්වාස කරන පුවාන්, දරුවන් 11 දෙනෙකු ඇතුළු ඔවුන්ගෙන් පැවත එන 54 දෙනෙකුගෙන් සෑදුණු "අපූරු පරම්පරාවක්" දායාද කර නික්ම ගොස් ඇත. මෙම දරු මුනුබුරන් එක්සත් ජනපදය සහ යුරෝපය ඇතුළු විවිධ ස්ථානවල ජීවත් වන බව සත්වෝද්‍යානය භාර නිලධාරීහු පැවසූහ. පුවාන්ගේ පරම්පරාවෙන් පැවත එන සමහර ඔරං ඔටං නැවතත් සුමාත්‍රා වෙත මුදා හැර ඇති බව ඔවුහු සඳහන් කළහ. ලෝක වනජීවී අරමුදලට අනුව, දැනට ජීවත්ව සිටින්නේ සුමාත්‍රා ඔරං ඔටං 14,600 ක් පමණි. ලෝක වනජීවී අරමුදලට අනුව, දැනට ජීවත්ව සිටින්නේ සුමාත්‍රා ඔරං ඔටං 14,600 දෙනෙකු පමණි. පුවාන් ගේ ප්‍රධාන සත්වෝද්‍යාන පාලිකාව විසින් අඟහරුවාදා බටහිර ඕස්ට්‍රේලියානු පුවත්පතක ඇය පිළිබඳ මතක සටහනක් තබා තිබිණ. "වසර ගණනාවක් ගත වෙන විට පුවාන් ගේ ඇහිබැමි සුදු වෙන්න පටන් ගත්තා. ඇයගේ ක්‍රියාකාරකම් මන්දගාමී වූ අතර ඇය සිහිමඳ ගතියෙන් පෙලෙන්න පටන් ගත්තා," යනුවෙන් මාටිනා හාර්ට් එහි සටහන් කර තිබුණි. "නමුත් ඇය සැමදාම සිටියේ නිශ්ශබ්ද, නිහතමානී සහ ගෞරවනීය කාන්තාවක් විදියට." මේ තොරතුරුද කියවන්න:
මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳව එකිනෙකාට චෝදනා කරගැනීමෙන් වැලකී, රජයක් ලෙසින් එහි වගකීම භාරගෙන ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ පවසති.
"රජයක් ලෙසින් වගකීම භාරගෙන ඉදිරි පියවර ගන්නවා" කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් නිවාස විනාශ වූ පවුල් 98 ක් වෙනුවෙන් නව නිවාස ලබාදෙන මෙන්ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම නියෝගය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එයට අමතරව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාගැනීම පිණිස එක් නිවසකට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන මෙන්ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ. අදාළ නිවාස 98 රජය විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලදී ගෙන නිවාස අහිමි වූ ජනතාවට පවරා දෙන බව ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. කුණු කන්ද නාය යාමෙන් නිවාස 79 ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර, තවත් නිවාස 17 ක් අර්ධ වශයෙන් විනාශ වී තිබේ. පවුල් 26 කට අයත් 1059 දෙනෙකු අවතැන්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 'ඉවත්කරන්න එපා' අනතුරෙන් මියගිය පිරිස 32 දක්වා ඉහල ගොස් ඇති අතර, 11 දෙනෙකුට තුවාල සිදු වී තිබේ. තවත් 8 දෙනෙක් අතුරුදහන්ව සිටිති. "මමත් විද්‍යාඥයෙක්. කුණු කන්ද මෙතනින් ඉවත්කිරීම යෝග්‍ය නෑ කියන එක තමයි විද්‍යාඥ මතය" විධිමත් තාක්ෂණික අධ්‍යයනයක් තුළින් කඩිනම් වැඩපිළිවෙලක් යටතේ කසල කන්ද ඉවත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන මෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උඅප්දෙස් දී තිබේ. මේ අතර කොළඹදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් ඇමතූ මහාචාර්ය තිස්ස විතාරණ මීතොටමුල්ලෙන් කුණු කන්ද ඉවත් නොකළ යුතු බව අවධාරණය කළේය. "මමත් විද්‍යාඥයෙක්. කුණු කන්ද මෙතනින් ඉවත්කිරීම යෝග්‍ය නෑ කියන එක තමයි විද්‍යාඥ මතය," ඔහු පැවසීය. ඒ වෙනුවට කුණු කන්ද එතනම තබා, ජීව තාක්ෂණ ක්‍රමවේදය මගින් පොහොර සහ ජීව වායු නිෂ්පාදනය කිරීම පිණිස එය යොදාගත යුතු බව මහාචාර්යවරයා පැවසීය.
සාමය සහ ස්ථායිතාව තහවුරු කිරීම නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.
උළෙලේ සමාරම්භක කථාව කරමින් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ ත්‍රස්තවාදය නිමා කොට උසස් ම මානව හිමිකම වන ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි. බ්‍රිතාන්‍ය මහ රැජණ ගේ ශුභාශිංසන සමුළුවට පිරිනමමින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඇමතූ චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් මුහුණ පාන ගැටලු පිළිබඳ සලකා ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙල නෙළුම් පොකුණ රඟහලේ දී අවසන් වීමෙන් පසුව රාජ්‍ය නායකයින් අලංකාර රථ පෙරහැරකින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත කැඳවා ගෙන යන ලද අතර එහි දී රාජ්‍ය නායකයන් වෙනුවෙන් අලි පෙරහැරක් ද පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් පවතින තර්ජන, බියවැද්දීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව මහත් කම්පනයට පත් වී සිටින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන් කුමරු පවසයි.
'වගවීම ක්‍රියාත්මක කිරීම පිණිස සහ සංහිඳියාව උදෙසා මූලික සහ පුළුල් ක්‍රියාදාමයක් අත්‍යවශ්‍යයි' ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට සහාය දැක්වීමට ඉඩ තිබෙන ක්‍රියාධරයන්ට පවා තර්ජන එල්ල වෙමින් පවතින බව මහකොමසාරිස්වරයා විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත්කරන ලද වාචික වාර්තාවේ දැක්වේ. විශේෂයෙන්ම පසුගිය මාර්තු මාසයේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාධරයන් අත්අඩංගුවට ගතයුතු බවට ඇතැම් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි අතර, ඉන් අනතුරුව ඇතැම් ජනමාධ්‍ය පවා ඔවුන්ට විරුද්ධව වෛරී ප්‍රචාරයක් ගෙන ගිය බවත් වාර්තාවේ සඳහන්. මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙසේ බියවැද්දීමේ වාතාවරණයක් නිර්මාණය කෙරුනේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර පැවැත්වෙමින් තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණයේ කටයුතු වඩාත් දුෂ්කර කිරීමේ අරමුණින් බව පෙනීයන බවත් මහකොමසාරිස්වරයා පවසයි. වැලිවේරිය වාර්තාව වැලිවේරිය ප්‍රහාරය පිළිබඳ යුද හමුදා පරීක්ෂණයේ වාර්තාව 'තවමත් නෑ' අතුරුදහන්වීම් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම් විභාගය පිළිබඳව සඳහන් කරන මහකොමසාරිස්වරයාගේ වාර්තාව, කොමසාරිස්වරුන් සහ කොමිසමේ නීතිවේදීන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය, උපදේශන සේවාවක් නොමැතිවීම සහ භාෂා පරිවර්තනයේ ප්‍රමිතිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ස්වාධීන නිරීක්ෂකයන්ගේ අවධානය පළ වී තිබෙන බව ප්‍රකාශ කරයි. පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු වැලිවේරියේ ජනතාවට හමුදාව එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ හමුදා පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත් කරන මෙන් මානව හිමිකම් මණ්ඩලය ඉල්ලීමක් කළත් එම වාර්තාව හෝ වවුනියාව සහ වැලිකඩ බන්ධනාගාරවලදී සිරකරුවන් මියයාම සම්බන්ධ පරීක්ෂණ වාර්තා තවමත් ප්‍රසිද්ධියට පත් කොට නැති බවත් වාර්තාවේ සඳහන්. මේ තත්වය යටතේ අතීතයේදී සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම පිණිස සහ ජාතීන් අතර සංහිඳියාව උදෙසා 'මූලික සහ පුළුල්' වගවීම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය බව තමන් තරයේ විශ්වාස කරන බවයි, මහකොමසාරිස් සයීඩ් අල්-හුසේන් පවසන්නේ. මානව හිමිකම් මණ්ඩලය පවත්වන පරීක්ෂණය මාර්ගයෙන් එම අරමුණ සාක්ෂාත් කරගැනීම් වස් ප්‍රබල දායකත්වයක් සැපයීම සිය අරමුණ බවත් ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ දිගුකාලීන උන්නතිය උදෙසා එම පරීක්ෂණයට සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට සහාය පළ කරන මෙන් මහකොමසාරිස්වරයා යලිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
පොල් මිල පාලනය කිරීම පිණිස පොල් ගෙඩි ලක්ෂ දහයක් වහාම වෙළෙඳපොලට මුදා හරින බව පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කරයි.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල සඳහන් කරන ආකාරයට මේ තත්වයට ප්‍රධාන හේතුව අනවශ්‍ය ප්‍රචාරයය. රටේ පොල් හිඟයක් පවතින බවට පළවන ප්‍රචාරය හේතුවෙන් පොල් වෙළෙඳාමේ නිරත අතරමැදියන් සැලසුම් සහගතව මිල වැඩිකර කලු කඩ මිලක් නිර්මාණය කර තිබෙන බව ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. "පොල් හිඟයට නියඟය බලපෑ බවට විශාල ප්‍රචාරයක් ගෙනියනවා. නමුත් නියඟයේ බලපෑම තියෙන්නේ සියයට දාහතක් පමණයි. එසේම පොල් ආශ්‍රිත කර්මාන්ත සදහා සියයට පහක වැඩිපුර ඉල්ලුමක් තියනවා. මෙයත් පොල් අඩුවීමට හේතුවුනා," යනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල නියඟයේ බලපෑම පොල් මිල ඉහළ යාමට හේතු වූ අයුරු පැහැදිලි කළේය. පොල් ආනයනය කෙසේ නමුත් පොල් මිල පාලනය කිරීම පිණිස කිසිදු ලෙසකින් විදේශවලින් පොල් ආනයනය නොකරන බව සභාපතිවරයා අවධාරණය කළේය. එසේ පොල් ආනයනය කිරීම මගින් එම රටවල ඇති පොල් ආශ්‍රිත රෝග "නොමිලේම" ශ්‍රී ලංකාවේ පොල් වගාවටද ව්‍යාප්ත වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ ස්ථාවරයය. "පොල් හිඟයට ප්‍රධාන හේතුව නියඟය" "පහුගිය රජය පොල් පිටරටින් ගෙන්නුවා. මොකද වුනේ පොල් රෝග කීපයක්ම ලංකාවට ආවා. අපි ඒ මෝඩකම කරන්නේ නැහැ. මේ තත්වය නොවැම්බර් පොල් මුරයත් සමග අවසන්. ඒ නිසා ජනතාව ඒ තත්වය අවබෝධ කර ගත යුතුයි. මොකද ලෝකයේ හොඳම පොල් තියෙන්නේ ලංකාවේ. අපි ඒ තත්වය දිගටම ආරක්ෂා කර ගත යුතුයි," සභාපතිවරයා පැවසීය. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල පවසන අන්දමට පොල් හිඟය ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ දිස්ත්‍රික්ක තුනකටය. ඒ කොළඹ, මාතර සහ හම්බන්තොටය. එම දිස්ත්‍රික්ක තුනේ ජනතාවගේ පොල් අවශ්‍යතාවය සැපිරීම සඳහා ඉදිරි දින කීපය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජය ඉදිරි දින කිහිපය තුළ පොල් ගෙඩියට මිලක් නියම කිරීමට නියමිත බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කරයි. පසුගිය පොල් වෙන්දේසියට අනුව පොල් ගෙඩියක තොග මිල රුපියල් හතලිස් නවයක් වූ අතර බෙදාහැරීම සඳහා රුපියල් දහයක් හා සිල්ලර වෙළදාම සඳහා රුපියල් දහයක් ලබා දුන් විට පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් හැත්තෑවක් විය යුතු වේ. නමුත් මේ වන විට සිල්ලර වෙළෙඳපොලේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් සියය දක්වා ඉහල නැග තිබේ. පොල් ත්‍රිකෝණයේ පිහිටි ප්‍රධාන නගරයක් වන හලාවත ප්‍රධාන වෙළෙඳ පොලේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල බදාදා (සැප්තැම්බර් 27) රුපියල් හැත්තෑවත් අසූවත් අතර මුදලක් වූ අතර දහවල් එක වන විට එක මාලු පොල් ගෙඩියක් හෝ දක්නට නොමැති වූ බව බීබීසී වාර්තාකරුට හමු වූ පාරිභෝගිකයන් මෙන්ම වෙළෙඳුන් ද පැවසූහ. පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව නියඟය බව පවසන වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ, පොල් මිල පාලනය කිරීම පිණිස රජය මැදිහත් විය යුතු බව ද සඳහන් කරති. පොල් මිල පාලනය සදහා රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව පවසන හලාවත ප්‍රධාන පොල් ව්‍යාපාරිකයෙකු වන එල් ඒ ගුණරත්න, තාවකාලික විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවට පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන මෙන් රජයට යෝජනා කරන බව බීබීසී සිංහල සේවයට පැවසීය. හලාවත ප්‍රධාන වෙළෙඳ පොලේ වෙළෙන්දියක් වන සමන්ති ප්‍රියදර්ශනී, පාරිභෝගික කාන්තාවක් වන කාන්ති වනසිංහ, තවත් වෙළෙන්දියක් වන යසවතී ප්‍රනාන්දු, තොග වෙළෙන්දෙකු වන ලහිරු ලක්මාල් සහ එල් ඒ ගුණරත්න බීබීසී සිංහල සේවය සමග පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයේ දැක්වේ.
මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇඳුම සහමුලින්ම තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැණි වන හෙයින් එහි එක්තරා පාලනයක් සිදු කරන ලෙස ජර්මනියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.
බුර්කාව සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව ජර්මනියේ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය තෝමස් ඩි මයිසියරේ මීට ඉහතදී පවසා තිබිණි. අදාළ යෝජනාව නීතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවහොත් පාසල්, ළදරු පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම රජයේ කාර්යාලවලත් මුහුණ සම්පුර්ණයෙන් ආවරණය වන බුර්කාව ඇඳීම තහනම් වේ. එසේම බුර්කාව පැළඳ රිය පැදවීමත් තහනම් වනු ඇත. කාන්තාවන්ගේ මුහුණ සම්පුර්ණ ලෙස වැසෙන බුර්කාව විවෘත සමාජයකට නොගැළපෙන බවයි ජර්මනියේ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා පවසන්නේ. ''සම්පුර්ණයෙන් මුහුණ වැසෙන වේල් එක අපි තහනම් කරනවා. බුර්කාව විතරක් නොවෙයි ඇස් විතරක් පෙනෙන්න තියන ඕනෑම ආකාරයක මුහුණු ආවරණයක් තහනම්. ඒක අපේ ස්ථාවරය. ඒක අපේ වගේ විවෘත සමාජයකට ගැලපෙන්නේ නැහැ.'' '' අපේ සමාජය තුළ, අපි ජීවත්වන ක්‍රමයට සංවාදයක් ඇතිවීම සඳහා මුහුණ පෙනීම අත්‍යවශ්‍ය දෙයක්. අපේ සමාජයේ බැඳීමක් ඇතිවෙන්න ඒක අවශ්‍යයි. එකයි අපි හැමෝටම කියන්නෙ මුහුණ පෙන්නන කියල.'' අමාත්‍ය තෝමස් ඩි මයිසියරේ වැඩිදුරටත් කියා සිටියි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක වන ඉවන්කා ට්‍රම්ප්ට අයත් විලාසිතා වෙළඳ ව්‍යාපාරය මුහුණ දී ඇති වත්මන් තත්වය පිළිබඳ එරට දේශපාලන වේදිකාව තුළ උණුසුම් කතාබහක් මතුවෙමින් පවතියි.
ජනාධිපති ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් වඩාත් අවධානය දිනාගත් දරුවා ලෙස ඉවන්කා හැඳින්විය හැක එවැනි තත්වයක් උද්ගත වුනේ ඇමරිකාවේ සුඛෝපභෝගී විලාසිතා වෙළඳසැල් ජාලයක්වන 'නෝර්ඩ්ස්ටෝම්' වෙළඳ සමාගම ඉවන්කාගේ විලාසිතා අලෙවිය නතර කිරීමත් සමගය. ජනාධිපති ට්‍රම්ප් පවුලේ සාමාජිකයන් සමඟ ව්‍යාපාර සිදු කරන වෙළඳසැල් වර්ජනය කරන ලෙස ඔහුගේ පාලනයට එරෙහි ක්‍රියාධරයෝ ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. කෙසේ නමුත් නෝර්ඩ්ස්ටෝම් වෙළඳ ජාලය පවසන්නේ අලෙවිය පහළ යෑම හේතුවෙන් ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමූ බවය. සිය පියාගේ උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන ඉවන්කා සපත්තු, අත් බෑග් ඇතුළු නිමි ඇඳුම් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නීය. සපත්තු, අත් බෑග් සහ නිමි ඇඳුම් ඉවන්කාගේ වෙළඳ නිෂ්පාදන එසේම ඇය ආභරණ මෝස්‌තර නිර්මාණය කිරීම සහ අලෙවිය ද සිදු කරන්නීය. ඇමරිකානු ජනාධිපතිවරණය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ජනතාව ඇමරිකානු වෙළඳපොළ තුළ ඩොලර් ට්‍රිලියන හතක් පමණ වැය කරනු ලබන්නේ යයි ඇස්තමේන්තු කෙරෙයි. මේ අතර ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකාරියක් සහ ධවල මන්දිරයේ උපදේශිකාවක වන කෙලියෙන් කොන්වේ ෆොක්ස් රූපවාහිනිය මගින් කළ ඉල්ලීමක් දැඩි විවේචනයට ලක්වෙමින් පවතී. ඇයගේ එම ප්‍රකාශය විවේචනයට ලක් කරමින් රිපබ්ල්කන් කොංග්‍රස් සභික ජේසන් චැෆට්ස් කියා සිටියේ, ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදනවලට රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරයක් ලබා දීම වැරදි සහගත බවය. 'නෝර්ඩ්ස්ටෝම්'වෙළඳ ජාලය සිය දියණියට "ඉතා අසාධාරණ" අයුරින් සලකා ඇතිබව ජනාධිපති ට්‍රම්ප් 'ට්විටර්' නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා කියාසිටියේය. කෙලියෙන් කොන්වේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයන් දැඩි විවේචන එල්ලකළත් ඇයට තවදුරටත් ජනාධිපති ට්‍රම්ප්ගේ සහාය හිමිවන බව ධවල මන්දිරය ඊයේ (පෙබ.09) ප්‍රකාශ කළේය. 'දියණියට අසාධාරණයක්' ධවල මන්දිර උපදේශිකාවක්වන කෙලියෙන් කොන්වේ ආචාරධර්ම සම්බන්ධයෙන් පවතින ෆෙඩරල් නීතිරීති අනුව 'ධවල මන්දිර සේවකයන් "කිසියම් නිෂ්පාදනයක්, සේවාවක් හෝ ව්‍යාපාරයක්" සම්බන්ධයෙන් සහතික ලබා දීමෙන් වැළකිය යුතුය. ජනාධිපති ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් සමාජයේ වැඩි අවධානය දිනාගත් චරිතය ලෙස ඉවන්කා හැඳින්විය හැක. ඇය ට්‍රම්ප්ගේ පළමු විවාහක බිරිඳ වූ නිරූපන ශිල්පිනී ඉවානාගේ එකම දියණියයි. ඉවන්කා සිය ස්වාමිපුරුෂයාවන ජැරඩ් කුෂ්නර් සමග ඉවන්කා, ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ධූරය ද හොබවන්නීය. ඇයගේ ස්වාමි පුරුෂයාවන ජැරඩ් කුෂ්නර් නිව්යෝක් නුවර ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයකුගේ පුතෙකි. නිව්යෝක් නුවර පළ කෙරෙන සතිපතා ඔබ්සර්වර් පුවත්පතේ හිමිකාරිත්වය දරන ජැරඩ් කුෂ්නර් ජනාධිපති ට්‍රම්ප්ගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
2015 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරි කටයුත්තක් සිදු නොවන බව ජනාධිපතිවරයා කියා සිටියේ අද (අප්‍රේල් 29) මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතා අදහස් දක්වමිනි. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 'රටේ කොටස් අයිති කර ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට බව සඳහන් කර ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර' ගෙන යමින් සිටින බවය. ඒවා ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර සහාය මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ පැවති සියවස් සැමරුම් උත්සවය එමෙන්ම ශ්‍රී ලංකාව වෙත සෑම රටකම සහයෝගය හිමිව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් ලෙස ගොඩනැගිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් කියා සිටියේය. ඒ පිළිබඳ ජනතාව සැබෑ අවබෝධයකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. නැගෙනහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, රජය සහ පළාත් සභාව එක්ව සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.
රටක අග්‍රවිනිශ්චයකාරවරයකු දේශපාලකයන් නායකත්වය දරන දූත මණ්ඩලයක සාමාජිකත්වය දැරීම පිළිබඳ පූර්වාදර්ශයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ දැකගන්නට නොමැති බව නීතිවේදී එකමුතුව පවසයි.
'දේශපාලන නියෝජිතයන් සමඟ පෙනී සිටීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්' නීතිවේදී එකමුතුවේ නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ ඒ බව කියා සිටියේ, අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ වතිකාන සංචාරයට එක්වීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. ඉතාලියේ සහ වතිකානයේ තෙදින නිල චාරිකාවකින් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා යළි දිවයිනට පැමිණි අතර, අගවිනිසුරු මොහාන් පීරිස් ද ජනාධිපතිවරයාගේ දූත පිරිසේ සාමාජිකයකු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කොට තිබුණි. එය ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය පිළිබඳව පවතින ජනතා විශ්වාසය සම්බන්ධ බරපතල ගැටලුවක් බවයි, නීතිවේදී එකමුතුව පෙන්වා දෙන්නේ. ඉහල අධිකරණයේ විනිශ්චයකරුවන් ආණ්ඩුවේ උත්සවවලදී රජයේ මැති ඇමතිවරුන් සමඟ එකම වේදිකාවේ සහභාගි වීම හිටපු අග්‍රවිනිශ්චයකාරවරයාගේ සමයේ බහුලව දක්නට ලැබුණ බව පෙන්වා දෙන නීතිඥ වැලිඅමුණ, අශෝක ද සිල්වා සහ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරුන් ගේ සමයේ ඒ තත්වය වෙනස් වූ බව කියා සිටියේය. "ඒත් අවාසනාවකට වගේ නැවත වරක් අපිට දකින්න ලැබෙනවා අලුත් අග්‍රවිනිශ්චයකාරතුමා ආයෙත් බොහෝ රජයේ වැඩසටහන්වලට සහභාගි වෙන ආකාරයක්. දේශපාලන නියෝජිතයන් සමඟ පෙනී සිටීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කියලයි මට හිතෙන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව විමසීම පිණිස අගවිනිසුරු මොහාන් පීරිස් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමෙන් වළකින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කිරීමේ නිහඬ විරෝධතාවක් අද සර්ව ආගමික නායකයින් විසින් පවත්වනු ලැබුණි .
නිහඬ විරෝධතාවයට එක්වූ සර්ව ආගමික නායකයින් අද (සෙනසුරාදා) දහවල් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රැස් වූ සර්ව ආගමික නායකයෝ එම නිහඬ වීරෝධතාව පැවැත්වුහ. පූජ්‍ය මාලබේ මදුරසිරි හිමියන් බී සි යේ කේ.එස් උදය කුමාර් සමඟ කියා සිටියේ, රටේ සියලු ජාතීන් අතර පවතින සමගිය කඩාකප්පල් කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ යෝජනා ඉදිරිපත් කරන බවයි. තිලකසිරි ජයවර්ධන පියතුමා අදහස් දක්වමින් කියා සිටියේ, ජිනීවා යෝජනා වලින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමක් සිදු වුනොත් ඉන් පීඩාවට පත් වන්නේ රජය නොව සාමාන්‍ය ජනතාව බවයි. “අපේ රටට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමක් සිදු කෙරුනොත් ඊට මුහුණ දීමට ලක් වැසියන් සංවිධානය විය යුතු බවයි” ඉස්ලාමිය පූජක මහාචාර්ය මොහමඩ් ෂරිෆ් ප්‍රකාශ කළේ.විරෝධතාවෙන් අනතුරුව විරෝධතාකරුවෝ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සන්දේශයක් ද භාර දුන්හ. මානව හිමිකම් කඩවීම් මේ අතර ශ්‍රී ලංකාවේ සිදු වෙන මානව හිමිකම් කඩවීම් ගැන කරුණු දැක්වීම සඳහා තමන් ජිනීවා බලා යන බව කටුනායක ගුවන් තොටුපළින් නික්ම යාමට පෙර පූජ්‍ය බැදීවැව දියසේන හිමියෝ බීබීසියේ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සමඟ ප්‍රකාශ කළහ. පුජ්‍ය බැදීවැව දියසේන හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ තමන් මේ ගමන පිටත්ව යන්නේ ශ්‍රී ලංකාවාසීන් පාවා දීමට නොව දැනට රටේ සිදු වන මානව හිමිකම් කඩවීම් පිළිබදව සාකච්ඡාවක නිරත වීමට බවයි . " අපේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් ,මාධ්‍ය නිදහස නීතිය හා සාමය පිළිබඳව තවදුරටත් නිහඩව සිටීමට සුදුසු නැතැයි" උන්වහන්සේ පැවසූහ.
ගතව ගිය දස වසරකට ආසන්න කාලය තුල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් විසින් කිරි මෝරුන් හෙවත් කස මෝරුන් විශාල වශයෙන් මරා දැමීම හේතුවෙන් මෝර ගහනය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බව යුරෝපා සංගමය පවසයි.
විශේෂයෙන්ම දෙදහස් දෙකේ සිට දෙදහස් එකොළහ දක්වා කාලය තුල මරා දැමූ කිරි මෝරුන්ගෙන් පහෙන් එකක්ම අල්ලා ගනු ලැබ තිබෙන්නේ ඉන්දියාව සහ ඉන්දුනීසියාව විසින් බවයි, යුරෝපා සංගමයේ සමීක්ෂණයකින් අනාවරණය වෙන්නේ. ඒ හැරුණු විට ශ්‍රී ලංකාව, චීනය, බ්‍රසීලය, ෆීජි ඇතුළු රටවල් ගණනාවක් ද වැඩියෙන්ම කිරි මෝරුන් අල්ලන රටවල් අතර තිබෙන බව සමීක්ෂණයේ නිගමණයයි. අලුත් නීති මෝර වරල් වෙනුවෙන් චීනයේ පවතින ඉල්ලුම මෙම තත්වයට හේතුව බව ද සමීක්ෂණ වාර්තාව පවසයි. මෝර වරල් වෙනුවෙන් චීනයේ පවතින ඉල්ලුම මෙම තත්වයට ප්‍රධානම හේතුවක් කස මෝරුන් මරා දැමීමේ සිදුවීම් කිහිපයක් තමන්ට ද වාර්තා වී තිබෙන බව පිළිගන්නා ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, කෙසේ වුවත් ඒ සියල්ල ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් බාහිරව සිදුව ඇති දේ බව බීබීසී සංදේශයට කියා සිටියේය. මේ තත්වයට පිළියම් යෙදීම පිණිස සංශෝධිත ධීවර පණත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන බවයි, ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. සමීක්ෂණයට අදාළ කාල සීමාව තුල නැගෙනහිර ඉන්දීය මුහුදෙන් අල්ලා ගත් බව වාර්තා වන කිරි මෝරු ටොන් 4274 ම පාහේ අල්ලා ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකික ධීවරයන් විසින්. මෝර වර්ග සඳහා පමණක් නොව එක් සාගර කලාප එක් මත්ස්‍ය වර්ග සඳහා ක්ෂේමභූමි ලෙසින් නම් කොට තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙයි. නව නීති හඳුන්වා දීමත් සමගම ආරක්ෂා කළ යුතු මත්ස්‍ය වර්ග අල්ලන සියලු දෙනාට එරෙහිව පියවර ගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා බලාපොරොත්තු පළ කළේය.
ශ්‍රී ලංකාවේ විද්වත් සමාජයට ආභරණයක් වැනි වූ මහාචාර්ය ඈෂ්ලි හල්පේ දිවියෙන් සමු ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජය බලවත් සංවේගයට පත්ව සිටියි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අංශයේ මහාචාරයවරයා හැටියට දීර්ඝ කාලයක් කටයුතු කළ මහාචාර්ය ඈෂ්ලි හල්පේ ඉංග්‍රීසි පමණක් නොව සිංහල සාහිත්‍යය සහ නාට්‍ය හා රංග කලාව පිළිබඳවත් සිය විද්වත් ජීවිතය කැප කළ ප්‍රාඥයකු වෙයි. කලක් පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨාධිපති පදවියේ කටයුතු කළ මහාචාර්ය හල්පේ එම සරසවියේ ශාස්ත්‍ර ගවේෂකයන් අතර මහත් ආදර ගෞරවයට පාත්‍ර වූ සිසුන් දහස් ගණනක ගේ ඇස පෑදු ආචාර්යවරයකු ද වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් කාව්‍ය රචනයේ නිරත වූ හාචාර්ය ඈෂ්ලි හල්පේ, මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකාවේ මහා ලේඛකයන්ගේ නිර්මාණ ඉංග්‍රීසි කියවන්නන්ට හඳුන්වා දුන් කෘතහස්ත පරිවර්තකයකු ද වෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ විශ්ව විද්‍යාල රාශියක් ද මෙම විද්වතාගේ ශාස්ත්‍රීය සේවය ලබා ගත් අතර ඔහුගේ විශේෂත්වය වන්නේ භාෂා සාහිත්‍යය නාට්‍ය රංග කලාව පමණක් නොව සමාජ විද්‍යා අංශයේ විදහා දක්වන ලද මහා දැනුම් සම්භාරයයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ සීගිරි ගී එකතුව ඉංග්‍රීසි කියවන්නන් අතරට ගෙන යාම මහාචාර්ය ඈෂ්ලි හල්පේ විසින් ලෝක සාහිත්‍යට සපයන ලද මහා දායාදයක් වෙයි. චන්දන කීර්තිබණ්ඩාර විසින් බීබීසී සංදේශය සඳහා සම්පාදනය කරන ලද 'පොතකින් පිටුවක්' විශේෂාංගයට එක්‌ වෙමින් මහාචාර්ය ඈෂ්ලි හල්පේ සාහිත්‍යය රසාස්වාදනයේ නිරත වූ ආකාරය මෙම පිටුවෙන් සවන් දෙන්න.
මෙයින් සිය වසකට පෙරාතුව ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගත්තේ නූතන මානව ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.
එදා බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය. සිය වසකට පසුව, කොමියුනිස්ට්වාදයේ සෝවියට් අත්හදා බැලීම බිඳ වැටී ගොසිනි. එහෙත් ඒ අත්හදා බැලීම මගින් ලෝකය වෙනස් කළ ආකාරය ලොව පුරා වෙසෙන දහස් සංඛ්‍යාත පිරිසකට තවමත් මතකය. ඒ අතරින් පිරිසක් බීබීසී ය සමග ද සිය අත්දැකීම බෙදා ගත්හ. ඔක්තෝබර් විප්ලවයට සිය වසරක් සෝවියට් දේශය බිඳ වැටීමට ප්‍රථම ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් සෑම වසරක් පාසාම සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට වරම් ලැබූහ. ඒ අතරින් අති බහුතරය අධ්‍යාපනය හමාරයේ යළි සිය රට පැමිණි අතර, ඇතැමෙක් තවමත් පැරණි සෝවියට් දේශයට අයත් රටවල වාසය කරති. සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ව්‍යාපාරික කටයුතු සඳහා පැරණි සෝවියට් දේශයට අයත් රටවලට ලඟා වූහ. සෝවියට් දේශය ගැන ඔබේ අත්දැකීම බීබීසී සිංහල සේවය සමග බෙදා ගැනීමට කැමතිද? අප අමතන්න : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
බෝට්ටු මගින් ලඟා වී සිටින ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් එක සිය පනස් තුන් දෙනෙක් ආපසු හරවා යවනු ලැබීම වළක්වමින් ඕස්ට්‍රේලියානු මහාධිකරණය තාවකාලික තහනම් ආඥාවක් නිකුත් කර ඇත.
එම උසාවි නියෝගය නිකුත් කෙරුණේ, තවත් බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වූ හතළිස් එක් දෙනකුගෙන් සැදුම් ලත් සරණාගතයන් කණ්ඩායමක් එරට නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට භාර දෙන ලද බව ඔස්ට්‍රේලියාව විසින් තහවුරු කරනු ලැබීමෙන් ස්වල්ප වේලාවකට පසුවයි. අඟහරුවාදා පස්වරු හතර දක්වා මෙම තාවකාලික අධිකරණ නියෝගය බල පැවැත්වෙන බවයි ඕස්ට්‍රේලියාව බලා පැමිණෙන සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් සංවිධානයේ ප්‍රකාශක ඉයන් රින්ටෝල් පවසන්නේ. බලාපොරොත්තුවක් “අපිට මේ වෙන කොට තාවකාලික තහනම් නියෝගයක් තියනවා. හෙට (අඟහරුවාදා) හවස ලබා දීමට බලාපොරොත්තු වෙන උසාවි ප්‍රතිඵල වලින් තීරණය කරයි මේ තාවකාලික නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද කියන දේ. අපේ නීතිඥයෝ බලාපොරොත්තු වෙනවා ඔවුන්ට නැවතත් ඕස්ට්‍රේලියාවට එන්න ඉඩ දෙයි කියල” යනුවෙන් ඉයන් රින්ටෝල් බීබීසීය වෙත අදහස් දක්වමින් පැවසීය. රැකවරණය පතා පැමිණි පිරිසගේ මූලික අයිතිවාසිකම් ඕස්ට්‍රේලියාව විසින් කඩ කරනු ලැබ තිබේද යන්න පිළිබඳ අධිකරණය මගින් විභාග කිරීමට නියමිත බවත් ඉයන් රින්ටෝල් පැවසුවේය. රඳවා ගෙන සිටින බව පැවසෙන පිරිස සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව තවමත් කිසිවක් ප්‍රකාශ කොට නැති නමුත් හෙට පැවැත්වෙන අධිකරණ විභාගයේදී රැකවරණය පතා පැමිණි පිරිස තමා විසින් රඳවාගෙන සිටිනවාද නැද්ද යන්න අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇති බවත් ඉයන් රින්ටෝල් බීබීසීයට කියා සිටියේය. සුනඛයෙක් මුහුද මැදදී නවතාලීමේ සිට ආපසු ලංකාවට යැවීම දක්වා ඔස්ට්‍රේලියානු බලධාරීන් මුනිවත රැකි නමුත් පළමු වරට ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් ජුනි මාසයේ අග භාගයේදී මොවුන් මුහුද මැදදී නවතා ලූ බව ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ පිළිගත්තේය. ආපසු හරවා යැවූ සරණාගතයන් 41 දෙනා සමඟ බෝට්ටුවේ සිටි සුනඛයෙකුද ශ්‍රී ලංකාවට පිටත් කර හළ බව අමාත්‍ය ස්කොට් මොරිසන් පැවසීය. ශ්‍රී ලංකාවට භාර දී ඇති සරණාගතයන් හතළිස් එක් දෙනාගෙන් තිස්හත් දෙනෙක් සිංහල ජාතිකයන් වන අතර සෙසු හතර දෙනා දෙමළ ජාතිකයන්. මේ වන විට පොලිස් භාරයේ සිටින මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට වී ඇති පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද පොලිස් ප්‍රකාශක බීබීසීයට පැවසීය.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවට අදාලව විත්තිකරුවන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී තිබේ.
ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම ඉදිරියේ පැවති මෙම නඩු විභාගයේ දී විත්තිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු විය. ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ‘මේ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මගේ දේශපාලන ගමන අඩාල කිරීම සඳහා මාව උවමනාවෙන් මේ නඩුවට පටලවා තිබෙන බව කිව යුතුයි. මට එරෙහිව ඉදිරිපත් වූ සාක්කි පවා අසත්‍ය ලෙස ගොතා තිබෙනවා.’ යනුවෙන් ප්‍රකාශ කළ විත්තිකාර සම්පත් විදානපතිරණ අදාළ චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 'ගොතපු නඩුවක්' සෙසු විත්තිකරුවන් පස් දෙනාත් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කල අධිකරණය, පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥයාගේ දේශනය හෙට, අගහරුවාදා ඉදිරිපත් කරන මෙන් නියම කළේය. වික්ටෝරියා අලෙක්සන්ද්‍රවුනා කාචේවා විත්තියේ දේශන සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය විනිසුරුවරිය විසින් දැනුම් දෙනු ලැබීමට නියමිතයි. සාදයේ අපරාධය දෙදහස් එකොළහ වසරේ දෙසැම්බර් විසිහතර වන දින තංගල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති නත්තල් සාදයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් මරා දමා, ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රවුනා කාචේවා දුෂණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් හය දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබීය. ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර සෙසු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
හොංකොංහි ජීවත් වන 21 හැවිදිරි කාන්තාවකට "ව්‍යාජ" විවාහ උත්සවයකට සහභාගී වීමට සැලැස්වීමෙන් ඇය රවටා නාඳුනන තැනැත්තෙකුට විවාහ කර දී තිබේ.
විවාහ උත්සව සැලසුම් කිරීම සඳහා පැවැත්වෙන පුහුණුවීම්වල එක් කොටසක් ලෙස මනමාලියක් ලෙස සැරසී ප්‍රධාන භූමියේ (චීනයේ) පැවැත්වෙන ව්‍යාජ විවාහ උත්සවයකට සහභාගී විය යුතු යැයි මෙම කාන්තාවට පවසා ඇත. මෙම උත්සවය අතරතුර ඇය සහ පුරුෂයා අත්සන් කර ඇත්තේ සැබෑ විවාහ සහතිකයකි. තමන් සැබෑ ලෙස විවාහ වී ඇති බව ඇයට වැටහී ඇත්තේ නැවත හොංකොං වෙත පැමිණි පසුය. මේ සම්බන්ධයෙන් ඇය නීතියේ පිහිට පැතුවාය. අපරාධයක් සිදුව ඇති බවට සාක්ෂි නොමැති හෙයින් සිද්ධිය වූ ප්‍රදේශයේ පොලිසියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි විය. මේ නිසා ඇය හොංකොං වෘත්තීය සමිති එකමුතුවට මේ ගැන දැනුම් දීමට කටයුතු කළාය. "මෙය තමයි අලුත්ම ආකාරයේ විවාහ වංචාව" යැයි වෘත්තීය සමිති එකමුතුවේ අයිතීන් සහ ප්‍රතිලාභ කමිටුවේ අධ්‍යක්ෂ Tong Kamgyiu පැවසීය. "මම ඇත්තටම කණගාටු වෙනවා වගේම නූතන හොංකොං නගරයේත් මේ වගේ දේවල් වෙනවා කියන එක ගැන විශ්වාස කරන්නත් බැහැ." 'අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා' නම හෙළි කිරීමට අකමැති වූ 21 හැවිදිරි කාන්තාවක් පසුගිය මැයි මස රූපලාවණ්‍ය ශිල්පීන්ට පුහුණු අවස්ථා ලබා දෙන බවට ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ දැන්වීමක් දැක තිබේ. නමුත්, මේ සඳහා අයැදුම් කිරීමෙන් පසු රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස නොව මංගල උත්සව සැලසුම් කරන්නෙකු ලෙස ක්‍රියා කිරීමට එම ආයතනය ඇයව පොලඹවා ඇත. මේ තොරතුරුද කියවන්න: සතියක් පුරා හොංකොං නගරයේ පැවැත්වූ පුහුණුවීම්වලට සහභාගී වීමෙන් පසුව, එම පාඨමාලාව සමත් වීමට නම් ව්‍යාජ විවාහ උත්සවයකට සහභාගී විය යුතු බව ඇයට පවසා තිබේ. ජූලි මස, රජයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක දී ඇය විවාහ සහතිකයකට අත්සන් තැබීය. මෙම විවාහය පසුව "අවලංගු" වන බව අදාළ ආයතනය ඇයට පවසා ඇතැයි 'සවුත් චයිනා මෝනිං පෝස්ට් (South China Morning Post)' පුවත්පත වාර්තා කර තිබිණි. නමුත් හොංකොං වෙත පෙරළා පැමිණි පසු එම විවාහය වංචාවක් බව මිතුරියක් ඇයට පැහැදිලි කර ඇත. ඇය තවමත් විවාහ වී සිටින අතර, දික්කසාද වීමට අවශ්‍ය පියවර අනුගමනය කළ යුතුය. ඇය විවාහ වූ පුද්ගලයාගේ තොරතුරු හෝ ඔහු විවාහයෙන් පසු හොංකොං නගරයට ඇතුළු වූයේ දැයි පැහැදිලි නැත. "තමන් මුහුණ දුන් අවස්ථාව ගැන කිසිවක් නොදන්නා 21 හැවිදිරි කාන්තාවගෙන් ඔවුන් අයුතු ප්‍රයෝජන ලබා ගෙන තිබෙනවා" යැයි Tong Kamgyiu පැවසීය. "ඇයට වන විශාලතම හානිය තමයි විවාහ වී ඇති බව වාර්තා අතරට එක් වීම සහ එයින් ඇතිවන මානසික බලපෑම." හොංකොං තුළට ඇතුළු වීමට අවසර ලබා ගැනීම සඳහා වසරකට විවාහ වංචා 1000ක් පමණ සිදුවන බව පොලිස් වාර්තා අනුව පෙනී යයි. චීන වැසියෙකු හොංකොංහි සිටින පුද්ගලයෙකු සමග විවාහ වූ පසු ඔහුට හෝ ඇයට එම නගරයේ ජීවත් වීමට අවසර ලැබේ. තවත් තොරතුරු:
යුක්රේනයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කළ බවට රුසියාවට චෝදනා කරන වැඩ බලන අගමැති අර්සේනි යත්සේනියුක්, රුසියානු හමුදාව ආපසු කැඳවා ගන්නා මෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් ගෙන් ඉල්ලා සිටියේය.
ක්‍රිමියාව 'මුහුදින් සහ ගොඩ බිමින් වට කරනු ලැබ තිබෙන සෙයක්' තමන් මුල්ම ප්‍රහාරය එල්ල නොකරන බව යුක්රේනය අවධාරණය කරන නමුත්, ඕනෑම ගැටුම්කාරී තත්වයකට මුහුණ දීම පිණිස හමුදාව සීරුවෙන් තබා ඇති අතර, ස්වේච්ඡා බල ඇණිද සේවයට කැඳවන මෙන් හමුදාවට නියෝග කොට තිබේ. කෙසේ නමුත් යුද ගැටුමකින් තොරව අර්බුදය විසඳා ගැනීම පිණිස හැකි සෑම උත්සාහයක්ම දරන බවයි, බීබීසීය සමඟ අදහස් දැක්වූ යුක්රේනයේ වැඩ බලන විදේශ අමාත්‍ය අන්ද්‍රේයි දෙශිත්සා කියා සිටියේ. 'යුද්ධයක ආරම්භය' "සාමකාමීව කටයුතු කරලා මේක නැවැත්වීම පිණිස රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ක්‍රියා කිරීමයි අපේ ප්‍රතිපත්තිය. දැන් අපි කතා කරන්නේ යුක්රේනය ගැන පමණක් නොවෙයි; මම හිතතෙන් සමස්ත කලාපයටම එල්ල වෙන ව්‍යසනයක් ගැන. යුරෝපයටත්, සමස්ත ජාත්ය්නතරයටමත් ඒකෙ බලපෑම දැනෙන්න පුළුවන්," යනුවෙන්ද ඔහු පැවසීය. ස්වේච්ඡා බල ඇණිද සේවයට කැඳවා තිබේ රුසියාවේ ඕනෑම හමුදා ප්‍රහාරයක් යුද්ධයක ආරම්භය සහ දෙරට අතර සම්බන්ධතාවයන්හි අවසානය විය හැකි බවටද යුක්රේන බලධාරීහු අනතුරු අඟවති. ක්‍රිමියානු අර්ධද්වීපය අවට මුහුදේ තවත් රුසියානු ප්‍රහාරක යානා දැක ගන්නට ලැබුණු නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මේ වන තුරු වාර්තා වී නොමැත. ක්‍රිමියාව අසල දේශසීමාවේ රුසියානු ආරක්ෂක හමුදා අගල් කණිමින් සිටින ආකාරයක් බීබීසීයට දැක ගන්නට ලැබිණ. ක්‍රිමියාව මුහුදින් සහ ගොඩ බිමින් වට කරනු ලැබ තිබෙන සෙයක් දක්නට ලැබෙන බවයි, බීබීසී වාර්තාකරුවන් පවසන්නේ.
හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව දැනට පදිංචිව සිටින ඉඩම් පවරා නොගන්නා බව ධීවර සහ ජලජ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරයි.
හම්බන්තොට වරාය ආශ්‍රිතව නව ආයෝජන කලාපයක් බිහිකිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටියි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඒ බව කියා සිටියේ ඉඩම් පවරාගැනීමේ සැලසුම්වලට එරෙහිව හම්බන්තොට ජනතාව දිගින් දිගටම දියත් කරමින් සිටින උද්ඝෝෂණ පිළිබඳව බීබීසී සංදේශය ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය. "අපි තීන්දු කරලා තියෙන්නේ හිස්ව තියෙන මුඩු ඉඩම්වල මේ කර්මාන්ත පුරය හදන්න කියල. ඒ වගේම අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් දෙන්නේ නැහැ," අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ අමාත්‍ය මලික් සමරවික්‍රම, චීනය සමග ඇතිකරගත් එකඟතාවන් අනුව දකුණු පළාතේ ඉදිරි වසර පහ-හය තුළ කර්මාන්තශාලා 2400ක් බිහිවීමට නියමිත බව සඳහන් කළේය. කෙසේ නමුත් අදාළ සංවර්ධන ව්‍යාපෘති හම්බන්තොටට පමණක් සීමාවූවක් නොවන බව පවසන ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර, එම ව්‍යාපෘති මොනරාගල ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කරන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධාරණය කළ බව බීබීසී සංදේශයට පැවසීය. 'අපි තීන්දු කරලා තියෙන්නේ හිස්ව තියෙන මුඩු ඉඩම්වල මේ කර්මාන්ත පුරය හදන්න කියල. ඒ වගේම අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් දෙන්නේ නැහැ' මේ අතර හම්බන්තොට පැවති විරෝධතාවයකය එක් වූ ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත, කර්මාන්ත මුවාවෙන් ලෝක බලවතුන් 'ශ්‍රී ලංකාව ගිලගැනීමට' සැරසෙන බවට චෝදනා කළේය. "නැත්නම් අක්කර 15000 ක් ඕන වෙන්නේ නෑ," ලාල් කාන්ත පැවසීය. එහෙත් ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබාගැනීම පිණිස 'ජනතාව කුපිතකරමින් සිටින' බවයි, මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසන්නේ. හම්බන්තොට ආයෝජන කලාපයේ සේවය කිරීම පිණිස චීන ජාතිකයන් දසලක්ෂයකට වීසා බලපත්‍ර ලබාදීමට සැරසෙන බවට ආණ්ඩුවේම හවුල්කරුවන් ඇතුළු ඇතැමුන් එල්ලකරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා, හම්බන්තොට 'චීනයේ කොටසක් බවට පත්කිරීමට' කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොමැති බව සඳහන් කළේය. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ ජනතාව සතු පාරම්පරික ඉඩම් පවරා නොගන්නා බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද පසුගියදා අවධාරණය කර තිබුණි.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී එංගලන්තයට එරෙහිව සඳුදා පැවැත්වුණු විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර නම් කළේ සද් චේතනාවෙන් බව නායක මහේල ජයවර්ධන පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරමින් මාධ්‍යවේදීන්ට ලබාදෙන නිල සටහනේ කුමාර් සංගක්කාර තරඟයේ නායකයා ලෙස සටහන් කොට තිබූ අතර, එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඩ් සමඟ කාසියේ වාසිය උරගා බැලීම සඳහා පිටියට පැමිණියේත් ඔහුයි. මහේල ජයවර්ධන පිට පිටම තරඟ කිහිපයදීම කාසියේ වාසිය දිනා ගැනීමට අපොහොසත්වීම නිසා තමන්ට නායකත්වය පැවරුණු බවයි, සංගක්කාර ඒ අවස්ථාවේ කියා සිටියේ. කෙසේ නමුත්, තරඟයේ සැබෑ නායකයා කවුරුන්ද යන්න පිටිය මැද දී මහේල ජයවර්ධන හැසිරුණු ආකාරයෙන් ක්‍රීඩාලෝලීන්ට මෙන්ම විනිසුරුවන්ට ද රහසක් නොවීය. තරඟය අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ යථාර්ථය හෙලිකළ නායක ජයවර්ධන, කණ්ඩායමට ලබාදී තිබූ කාල වෙලාව තුල පන්දු වාර විස්ස යැවීමට අපොහොසත්වීම නිසා තමන්ට දැනටමත් දඩයක් නියම වී තිබීම එම තීරණයට හේතුව බව පැහැදිලි කළේය. සඳුදා තරඟයේදීත් යලිත් එවැනි තත්වයකට මුහුණ දුන්නේ නම්, තමන්ට තරඟ තහනමක් පැනවීමට ඉඩ තිබුණු බවත්, අවසාන පූර්ව වටය වැනි තීරණාත්මක තරඟයකදී තරඟ තහනමක් පැනවීමේ අවදානම සලකා බලා නිල නායකයා ලෙසින් සංගක්කාර පත්කිරීමට කණ්ඩායම තීරණය කළ බවත් ඔහු පැවසීය.උප නායක ඇන්ජලෝ මැතිවුස්ට ද එවැනිම දඩයක් නියමවී තිබීම ඔහු නායකයා ලෙස නම් නොකිරීමට හේතුව බවයි, ඔහු කියා සිටියේ. මහේල ජයවර්ධන "හුඟක් වෙලාවට මේ නීතියත් දැන් වෙනස් වේවි සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. කොහොම වුනත් ලෝක ශූරතාවලිය ඉවර වෙන්න කලින් එහෙම වෙනස් වෙන එකක් නැහැ කියල මම හිතනවා. සමහර වෙලාවට මට දැන් අයිසීසී එකෙන් කෝල් එකක් ඒවි කරුණු විමසලා" කෙසේ නමුත් තමන් ක්‍රීඩාවේ කිසිදු නීතියක් හෝ රීතියක් උල්ලංඝණය නොකළ බව අවධාරණය කළ නායක මහේල ජයවර්ධන, කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ නීති පොත් පෙරලා බැලූ බවද සඳහන් කළේය. නීතිය වෙනස් වේවි "හුඟක් වෙලාවට මේ නීතියත් දැන් වෙනස් වේවි සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. කොහොම වුනත් ලෝක ශූරතාවලිය ඉවර වෙන්න කලින් එහෙම වෙනස් වෙන එකක් නැහැ කියල මම හිතනවා. සමහර වෙලාවට මට දැන් අයිසීසී එකෙන් කෝල් එකක් ඒවි කරුණු විමසලා," යන්නයි, ඊළඟ තරඟයේදීත් එවැනිම උපක්‍රමයක් යොදාගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ. මේ අතර තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ ලේඛක ඇන්ඩෘ ප්‍රනාන්දු, ඕවර විස්ස යැවීම සඳහා කිසියම් ප්‍රමාදයක් වීම මඟින් තරඟයේ ප්‍රතිඵලයට කිසිදු හානියක් නොවූ අතර එය ක්‍රීඩාලෝලීන්ටද බාධාවක් නොවූයේ නම්, එවැනි සුළු වරදකට තරඟ තහනමක් වැනි දැඩි දඬුවමක් දීම සාධාරණදැයි ප්‍රශ්න කරයි. නායක ජයවර්ධන එම කරුණු හෙළි කළේ ලෝක ශූර එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමෙන් අනතුරුවයි. නියමිත පන්දු ඕවර පහ අවසානයේ ලකුණු 31 කට කඩුලු පහක් දවාගත් ලසිත් මාලිංග තරඟයේ වීරයා ලෙසින් නම් කෙරුණු අතර, ලකුණු 26 කට කඩුලු දෙකක් දවාගනිමින් දහනම හැවිරිදි අකිල ධනංජය දැක්වූ දස්කම්ද කැපී පෙනුණි. ලෝක ශූරතාවලිය අතරවාරයේ ලොව දක්ෂතම විස්සයි විස්ස කණ්ඩායම ලෙසින් ද නම් කෙරුණු ශ්‍රී ලංකාව, සුපිරි අටදෙනාගේ වටයේදී අපරාජිතව ඉදිරියට ගිය එකම කණ්ඩායම බවට ද පත්වෙමින් ප්‍රබල දස්කම් දක්වමින් සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අවසාන පූර්ව තරඟයට සහභාගී වීමට නියමිතය. සරෝජ් පතිරණ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සබැඳි තේමා
යුක්‍රේනයේ අනාගතය මුල් කර ගනිමින් රුසියාව සහ බටහිර බලවතුන් අතර ගැටුමක් හට ගෙන ඇත.
මියුනිච් සමුළුව අමතන ජර්මන් චාන්සලර්වරිය ආරක්‍ෂාව පිළිබඳ මියුනිච් ජාත්‍යන්තර සම්මේලනයේදීයි, දෙපාර්ශවය අතර වාග් සංග්‍රාමය ආරම්භ වී තිබෙන්නේ. සති කීපයක් පෙරට යමින් පවතින විරෝධතා ව්‍යාපාර වලින් පසුව, යුක්‍රේනයේ ඉරණම දෝලනය වෙන තත්වයක පවතින නමුත් එරට අනාගතය යුරෝපා හවුලත් සමඟ යයි යුරෝපා මණ්ඩලයේ සභාපති හර්මන් වොන් රොම්පුයි එම ජාත්‍යන්තර සමුළුවේදී කියා සිටියේය. යුක්‍රේනයේ අනාගතය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අදහස් දක්වමින්, එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදී සටනකට සහයෝගය දුන් බවයි ප්‍රකාශ කළේ. ඊට ප්‍රතිචාරය දක්වමින් කතා කළ රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රෝෆ්, යුක්‍රේන් උද්ඝෝෂකයන් විසින් ගෙන යනු ලබන ප්‍රචණ්ඩ වීදි විරෝධතා ව්‍යාපාර සහ පොලිසියට එරෙහිව සිදු කරන පහර දීම් යුක්ති සහගත කරන බවට යුරෝපා හවුලට චෝදනා කර ඇත. යුක්‍රේන්හි පෙරට යන ගැටුමේ දසුන් දැනට තෝරාගෙන ඇති ක්‍රියා මාර්ගය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම සඳහා කිසිදු මෙහෙයක් ඉටු නොකෙරෙන බවයි, රුසියාවේ විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේ. රුසියාවේ ප්‍රතිචාරය ‘කීව්’ අගනුවර සිටින ඇමෙරිකානු තානාපතිවරයා ,දැනට රෝහල්ගත කරනු ලැබ සිටින යුක්‍රේන් විපක්ෂ ක්‍රියාකාරිකයකු බැලීම සඳහා යාමට උත්සාහයක් ගෙන ඇතත් ඔවුන්ට රෝහලට පිවිසීමට වෛද්‍යවරු ඉඩ දී නැති බවක් ද වාර්තා වෙයි. යුක්‍රේන් සමාජයට සහයෝගය පළ කරනු ලැබීම සංකේතවත් කිරීමක් වශයෙන්, රෝහලේ සිටින දිම්ත්රෝ බුලටෝෆ් බැලීමට කැනඩාවේ , යුරෝපා හවුලේ තානාපතිවරුන් සහ තමාට අවශ්‍ය කල බවයි,ඇමෙරිකානු තානාපති ජෙෆ්රි පියට් ප්‍රකාශ කළේ. යුරෝපා හවුලත් සමඟ හවුල් ගිවිසුමක් අත්සන් කරනු ලැබීම රුසියාවට හිතවත් යුක්‍රේන් ජනාධිපති වික්තර් යනුකොවිච් විසින් පසුගිය නොවැම්බර් මාසයේ බැහැර කරනු ලැබීමෙන් පසුවයි, එරට දැන් පවතින ගැටුම් රැල්ල පැතිර යන්නට පටන් ගත්තේ.
ශ්‍රී ලංකාවේ අලි පැටවුන් සොරකම් කර ගැනීමේදී සිදු කරන ජාවාරමේ ඇතුල් පැත්ත පරිසර සංවිධාන විසින් හෙළි කොට තිබේ.
පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේ අලි පැටවුන් හතර දෙනකු පිළිබඳව තොරතුරු සෙවීමේදී එම ජාවාරමේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි. අක්‍රමිකතා අලි පැටවුන් හතර දෙනකු නියැඳි වශයෙන් තෝරා ගෙන එම අලි පැටවුන්ට අදාළ ලිපි ගොනු වල තිබෙන අක්‍රමිකතා සම්බන්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ වසරේ ජුලි මාසයේ 22 දින සිය වාර්තාවක සඳහන් කර තිබූ බව ඔහු පෙන්වා දුන්නේය. එම අක්‍රමිකතා පිලිබඳව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දින 14 අතුලත පිළිතුරු විමසා සිටි නමුත් ඒ සඳහා පිළිතුරු ලැබුනේ මාස දෙකකටත් වැඩි කාලයකට පසුව බවයි ඔහු පැවසුවේ. වනාන්තරවලින් නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා ගෙන ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචිය ලබා ගත් පුද්ගලයන් ආරක්ෂා කිරීමටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව වැරදි යයි කියා පෑමටත් එම ලිපියෙන් උත්සාහ කොට තිබු බව පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේය. මව් සතුන් මරා හෝ වෙඩි තියා පලවා හැර හෝ අලි පැටවුන් අල්ලා ගැනීම සිදු කෙරුණ බව පැවසූ ඔහු දැන් අලුත් තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් පශු වෛද්‍යවරුන්ගේ සහය ඇතිව අලි පැටවුන් නිර්වින්දනය කොට සුඛෝපභෝගී වාහන සහ ලොරි රථ තුළ කොළඹට ප්‍රවාහනය කරන බව කියා සිටියේය. ව්‍යාජ ලේඛන ඉන් අනතුරුව එම සතුන් හීලෑ කෙරෙන අතරතුර වන ජීවී දෙපාර්තමේන්තුවේ ව්‍යාජ ලේඛන සකස් කෙරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සමහර බලපත්‍රලාභීන් ග්‍රාම සේවා නිලධාරීන්ගේ, පශු වෛද්‍යවරුන්ගේ, වනජීවී නිලධාරීන්ගේ අත්සන් හා ලේඛන කූට ලෙස සකස්‌ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම අක්‍රමිකතා පිළිබඳව පරිසර සංවිධාන විසින් මානව හිමිකම් කොමිසමට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට, අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට, පොලිසියට සහ නීතිපති දෙපාර්ත මේන්තුවට පැමිණිලි කළ ද අල්ලස්‌ ‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හෝ පොලිස් මූලස්ථානය හෝ රහස් පොලීසිය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවයි ඔහු පැවසුවේ. මේ සඳහා ක්‍රියාත්මක වූයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීති පති දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය. නව නීති පරිසරවාදීන් නගන චෝදනා පිළිබඳව විමසීමක් කළ විට වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්. ඩී .රත්නායක එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු පැවසුවේ සිය නිලධාරීන් දැනුවත් කොට අපරාධ කරුවන් අල්ලා ගැනීමේ වැඩ සටහනක් මෙන්ම අධිකරණ ක්‍රියා මාර්ගයන් ද ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් පවතින නීතියේ අඩු පාඩු තිබෙන බවත් නව නීති සම්පාදනය කිරීමේ උවමනාවක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සහ හෙද හෙදියන් කණ්ඩායමක් ගාල්ල කරාපිටිය රෝහලේදී ශ්‍රී ලාංකික හදවත් රෝගී දරුවන්ට නොමිලේ හදවත් සැත්කම් කිරීමේ යෙදී සිටිති.
ගාල්ලේ දරුවන්ට නොමිලේ හද සැත්කම් ගතව ගිය 14 වසර තුළ සිය කණ්ඩායම ළමා හෘද රෝගීන් 225 ට වැඩි පිරිසකට හදවත් සැත්කම් සිදු කළ බව කී කණ්ඩායමේ ශල්‍ය වෛද්‍ය කොනල් ඔස්ටින් පසුගිය සතියක පමණ කාලය ඇතුළත දිනකට සැත්කම් තුනක් පමණ සිදු කළ බව පැවසීය. සාමාන්‍ය ඇස්තමේන්තු අනුව රුපියල් ලක්ෂ තුනක සිට ලක්ෂ තිහ දක්වා මුදලක් මෙවැනි සැත්කමක් සඳහා වැය වේ. බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 15 ට අධික වටිනාකමකින් යුත් අධි තාක්ෂණික ශල්‍යාගාර උපකරණ සහ ඖෂධ ද එම වෛද්‍ය කණ්ඩායම විසින් කරාපිටිය රෝහලට ප්‍රදානය කරනු ලැබීය. වාර්ෂික නිවාඩු කාලයේ ජිලිංහැම් පාපන්දු සමාජයේ සහ Elliot Scally Trust සහාය සහිතව Take Heart Mercy Mission පුණ්‍යාධාර ආයතනයේ සාමාජිකයන් මේ කාර්යයේ නිරතව සිටින්නේ බ්‍රිතාන්‍ය ජනතාවගේ ආධාර මුදලිනි. 2003 දී සිය පුත්‍රයා හද සැත්කමකින් අනතුරුව මියයාම හේතුවෙන් තමන් පුණ්‍යාධාර ආයතනයට සම්බන්ධ වූ බවයි, ආයතනයේ සභාපති පෝල් ස්කැලි සඳහන් කළේ. මුලින් කොළඹදී නොමිලේ සැත්කම් කිරීමෙන් අනතුරුව, කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ට උපකාරවීමට තීරණය කළ බවත් ඔවුහු පවසති. පසුගිය 14 වසර පුරා තමන් යෙදී සිටින මෙම සද්කාර්යය ඉදිරියේදී යාපනයටත් රැගෙන යාම ඔවුන්ගේ අපේක්ෂාවය. එංගලන්තයේ එවලීනා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 8කු, හෙදියන් 10 දෙනෙකු මෙන්ම සහායකයන් මෙම සද්කාර්යයේ නිරත වන්නේ ඔවුන්ගේ වාර්ෂික නිවාඩු කාලය උපයෝගීකරගනිමිනි.
හෙරොයින් තොගයක් සහිත කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ ශීර්ෂය සහිතව යොමු කොට ඇතැයි පැවසෙන ලිපිය පිළිබඳව අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනාසිංහ අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක් ඇති විය.
අගමැතිවරයා කියා සිටිනේ අදාළ ලිපිය ගැන විභාගයක් පැවැත්වෙන බවයි. අගමැති වරයා එම අවස්ථාවේ පිළිතුරු දෙමින් කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන හෙයින් තමා ඒ ගැන පාර්ලිමේන්තුව තුළ හෝ මාධ්‍යය ඉදිරියේ අදහස් නො දැක්වූ බවයි. චැනල් 4 මේ අතර ඊයේ සවස ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත් අවස්ථාවේ දී එම සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යයන්හි පළ වෙන වාර්තාවලින් 99% ක් ම අසත්‍ය ඒවා බවයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රකාශනවලින් වැඩි හරියක් බොරු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විවේචනය කිරීම මාධ්‍යයට තහනම් කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, චැනල් - 4 මාධ්‍යවේදීන්ගේ වාර්තා තමන් පිළි නො ගත්තත්,ඔවුන් නිර්භීතව මාධ්‍යකරණයක නියැලෙන පිරිසක් බවයි කියා සිටියේ. එබඳු නිර්භීතභාවයක් වෙනුවට ලංකාවේ ජාතික පුවත්පත් වල කතුවරුන් ජනාධිපතිවරයා සමඟ තේ පානය කරමින් කේක් බුදිමින් සිටින බවයි, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය වුනේ. ක්‍රිකට් විකාශන අයිතිය ක්‍රිකට් විකාශන අයිතිය පෞද්ගලික නාලිකාවකට ලබා දීමත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. මාධ්‍යවේදීන් ජනාධිපතිවරයා සමඟ තේ පානය කිරීමේ වරද කුමක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි. ජන මාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදහස් දක්වමින්, පසුගිය අවුරුදු පහ හය ඇතුළත රාජපක්ෂ පවුල, රාජපක්ෂ නාමය තරම් වෙනත් කිසිවක් විවේචනයට ලක් නොවූ බවයි, කියා සිටියේ. කැලෑ නීතිය රජ කළ වසර තිහක යුගයක් තිබුණ බව පැවසූ අමාත්‍යවරයා, මාධ්‍යයට මෙන් ම රටේ සියලු අංශ වලට එමගින් බලපෑමක් එල්ල වූ බවයි කියා සිටියේ. 2010 වසරෙන් පසු අතුරුදහන්වීම් කිසිවක් වාර්තා වී නොමැති බව අවධාරණය කල කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, චැනල් - 4 නාලිකාව ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙමින් ඇති බවයි සඳහන් කළේ.
බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ චෝදනා මත පදනම් වී මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් නොගන්නේ නම් එය යහපාලනය විය නොහැකි බව ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අදාළ චෝදනාව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරන ලෙස පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සිවිල් ක්‍රියාධරයන් සෙනසුරාදා රාත්‍රියේ අගමැතිවරයා හමු වී ඉල්ලා සිටි බවයි මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේ. ඒ අනුව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධ පරීක්ෂණ නිමා වන තුරු තවදුරටත් ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට අගමැතිවරයා එකඟ වූ බව පුරවැසි බලය සංවිධානයේ ප්‍රකාශකයකු වන මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ සඳහන් කළේය. 'යම් හෙයකින් මහේන්ද්‍රන් මහත්මයා චෝදනාවලින් නිදහස් වුවහොත් නැවත ඔහු එම ධුරයට පත් කළ හැකියි. ඔහු වරදකරු වුවොත් අලුත් අයෙක් ඒ සඳහා පත් කළ යුතුයි' 'බරපතළකම' කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ ගැටලුවේ ඇති බරපතළ භාවය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තේරුම් ගෙන ඇති බවත් ඔහු පැවසීය. 'ඒ හරහා යහපාලන ආණ්ඩුවට ඇති විය හැකි හානිය ඉතා විශාලයි කියන දේ ඔවුන් දෙපලම තේරුම් ගෙන තිබෙනවා.' මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මීට පෙර සිදු කරන ලද පරීක්ෂණ ඉහත කී බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නොවන ඒවා බවත් මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේය. 'ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුව මේ කාරණය සැලකිල්ලට ගෙන ලබා දුන් තීන්දුවක් නොවෙයි' 'ඉතිහාසයෙන් උදාහරණ' චෝදනා එල්ල වූ මහ බැංකු අධිපතිවරුන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ සහ අස් කරනු ලැබූ අවස්ථා පිළිබඳ කලාපීය රටවල පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසයෙන් ද පූර්වාදර්ශ ලබා දිය හැකි බවත් මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පැවසීය. 1954 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආණ්ඩු සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටි එන්යු ජයවර්ධන පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂවරයකුට දුරකථන ඇමතුමක් ලබා දී සිය බිරිඳට ණයක් ලබා දෙන ලෙස දන්වා සිටීම හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කළ බවයි මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ. 'ඒ දුරකථන ඇමතුම ලබා දීමෙන් පවා මහ බැංකු අධිපතිවරයා කරලා තිබෙන්නේ වැරැද්දක් කියන එක එදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවෙන් තීන්දු කළා.' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් අනතුරුව ඉල්ලා අස්වූ කැබිනට් ඇමතිවරුන් යටතේ පැවති විෂයයන් භාරව කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් වැඩ බලන ඇමතිවරුන් හතර දෙනකු පත් කරනු ලැබ ඇත.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමතිවරු හයදෙනෙක් ඊට පක්ෂව ඡන්දය දුන්හ. එස්. බී. දිසානායක,දයාසිරි ජයසේකර,චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න සහ සුසිල් ප්‍රේමජයන්ත් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ. අනතුරුව ඔවුන් පදවිවලින් ඉවත්වීම නිසා ඇති වූ පුරප්පාඩු පිරවීමේ දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සරත් අමුණුගම ඇමතිවරයා වෙත පවරනු ලැබුණි. තවත් කැබිනට් සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා පවසයි ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බලන ඇමතිවරයා ලෙස රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බැලීම ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට පවරා ඇත. ඒ අතරවාරයේ සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යංශයේ වැඩ බැලීම මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ කාර්යයක් වෙයි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමතිවරු හයදෙනෙක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් නව දෙනෙක් සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඊට පක්ෂව ඡන්දය දුන්හ. එසේ ඡන්දය දුන් කැබිනට් ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් කටයුතු කරමින් සිටියහ. සබැඳි පුවත්;
2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වේල්ස්හි කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52ක් රැස් කළේය තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් (Kane Williamson) පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29.2කදී දැවී ගිය අතර ඔවුන්ට ලබාගත හැකිවුණේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම සිය ඉනිමේදී පන්දුවාර 16.1 දී කිසිවෙකු නොදැවී ලකුණු 137ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය. ජේෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදිප් සහ අවිශ්ක ප්‍රනාන්දු අද (ජූනි 01) පැවති තරගයට ක්‍රීඩා නොකළ අතර, ලසිත් මාලිංග සහ ඉසුරු උදාන තරගය සඳහා කැඳවා තිබිණි. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමුව පිටියට පිවිසියහ. වේග පන්දු යවන මැට් හෙන්රි පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලහිරු තිරිමාන්න ලකුණු හතරකට දවා ගැනීමට සමත් වුණි. නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52යි. ලහිරු තිරිමාන්න ලකුණු 4යි. කුසල් මෙන්ඩිස් 0යි කුසල් පෙරේරා ලකුණු 29යි. ධනංජය ද සිල්වා ලකුණු 4යි. ඇන්ජලෝ මැතිව්ස් 0යි. ජීවන් මෙන්ඩිස් 1 ලකුණයි. තිසර පෙරේරා ලකුණු 27යි. ඉසුරු උදාන 0යි. සුරංග ලක්මාල් ලකුණු 7යි. ලසිත් මාලිංග 1 ලකුණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ මාටින් ගප්ටිල් නොදැවී ලකුණු 73ක් ලබා ගත් අතර, කොලින් මුන්රෝ ලකුණු 58ක් ලබා ගත්හ. 2019 ලෝක කුසලානයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන මැතිව්ස් ජේම්ස් හෙන්රි පන්දුවාර හතක දී කඩුලු තුනක් දවාගත් අතර, වේග පන්දු ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් පන්දුවාර 6.2ක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ජුනි 4 වෙනිදා ඇෆ්ගනිස්තානය සමග සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මේ තොරතුරු ද කියවන්න:
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා වන නිරෝධායන මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කර බ්‍රහස්පතින්දා (මාර්තු 18) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබීය. ඒ අනුව ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ කඩ සැලසේ.
කොරෝනා වසංගතය අතරේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල තවදුරටත් කොටුවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නොමැතිකම නිසා ශ්‍රී ලාංකිකයින් එම රටවල උද්‍යාන වැනි පොදු ස්ථානවල අතරමං වී සිටින ආකාරය බීබීසී සිංහල සේවය බදාදා (මාර්තු 17) වාර්තා කළේය. ඒ පිළිබඳ කෙරුණු විමසීම්වලදී කියැවුණේ නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවකි. කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී මෙන්ම හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා මාධ්‍ය හමුවේ පැවසුවේ විදේශගතව සිට ආපසු පැමිණෙන පුද්ගලයින් සම්බන්ධ නිරෝධායන රෙගුලාසි ඉතා ඉක්මණින් ලිහිල් කරන බවය. එහෙත් විදේශගත ශ්‍රී ලංකිකයින් ට අදාළ රෙගුලාසි වෙනුවට ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන් සංචාරයන් වල නියැලී නැවත සියරට පැමිණීමේදී අනුගනය කරන රෙගුලාසි ලිහිල් කෙරුනේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ පසුගියදා නිමකළ සංචාරයෙන් පසු ඔහුට නිවස වෙත යාමට ඉඩ සැලසීමට බව ඇතැමෙකුගේ චෝදනාව විණි. නමුත් අමාත්‍යවරයා පවසා තිබුණේ ඔහුගේ සය මස් බිළිඳා හේතුවෙන් නිවස වෙත නොගොස් නිරෝධායනය වන බව ය. එසේම අදාළ රෙගුලාසි වෙනස් කරන බව ද ඔහු පවසා තිබිණි. මේ අනුව COVID-19 වසංගතය අතරතුර විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට අදාළ මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැන් නිකුත් කරනු ලැබ තිබේ. එම මාර්ගෝපදේශයන් ට අනුව; පැමිණෙන සියලුම මගීන් හෝ සංචාරකයින් විදේශ අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අදාළ බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හරහා රට තුළට ඇතුළු වීමට අනුමැතිය ලබා ගත යුතුය. සියලුම සංචාරකයින් විසින් පුරවන ලද සෞඛ්‍ය ප්‍රකාශන ආකෘති පත්‍රය ගුවන් තොටුපලේ පැමිණෙන පර්යන්තයේ සෞඛ්‍ය කවුන්ටරවල සිටින ගුවන් තොටුපල සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. ශ්‍රී ලාංකික පුරවැසියන් / ද්විත්ව පුරවැසියන් සහ විදේශීය ජාතිකයන් සඳහා නිරෝධායන පියවර. COVID-19 එන්නත නිර්දේශිත පරිදි සම්පූර්ණ කරන ලද මගීන් සහ එන්නත අවසන් කිරීමෙන් සති දෙකකට පසුව පැමිණෙන මගීන් ; COVID-19 එන්නත ලබා නොදුන් / නිර්දේශිත එන්නත් මාත්‍රාව සම්පූර්ණ නොකළ / එන්නත් කර සති දෙකකට අඩු කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්. හවුලෙ පොදු පහසුකම් සහිත මධ්‍යස්ථාන නිරෝධායනයකට භාජනය වන මගීන් කියවන්න:
යුද අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළු කරුණු ඇතුළත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව ලබන බදාදා (නොවැම්බර් 15) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමාලෝචනයට ලක් කරනු ලැබීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්ව කාලාවර්ත සමාලෝචන (Universal Periodic Review - UPR) ක්‍රියාකාරී කණ්ඩායම විසින් ජිනීවා නුවරදී අදාළ විමර්ශනය පවත්වන බව මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. වින්දිතයන් සහ නෑදෑයන්ට වන්දි ගෙවීම සහ ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, සත්‍ය කොමිසමක් පිහිටුවීම පිණිස ගෙන තිබෙන පියවර, සියලු ප්‍රජාවන් සඳහා යුක්තිය පසිඳලීමේ ක්‍රමවලට සමාන ප්‍රවේශයක් ලබාදීම, වධ හිංසා සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා, වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා අපරාධ ලෙස නොසැලකීම පිණිස ගෙන තිබෙන පියවර, ආගමික සුළුතර ප්‍රජාවේ ආරක්ෂාව පිණිස ගත් පියවර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස ගත් පියවර මෙන්ම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳව ද අදාළ විමර්ශනයේ දී සලකා බැලෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. සත්‍යය කොමිසම සැප්තැම්බරයේ යුද අපරාධ චෝදනා පිළිබඳව විමසා බැලීම පිණිස ඉතා ඉක්මනින්ම කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව කිහිප වතාවක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද එම ප්‍රතිඥාව දී තිබෙන නමුත් මෙතෙක් එවැනි කමිටුවක් පත් කර නැත. එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන සමයේ සිදු වූ දේ පිළිබඳව සොයා බැලීම පිණිස සත්‍ය කොමිසමක් පත්කරන බව එවකට විදේශ අමාත්‍ය පදවිය හෙබවූ මංගල සමරවීර අමාත්‍යවරයා ද කිහිප වතාවක්ම සඳහන් කර තිබේ. මේ අතර අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) පිහිටුවීමේ පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා අත්සන් තැබූ අතර, එහි මෙහෙයුම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේය. සම කෙසේ වුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි "බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය" පිළිබඳ පනත මෑතක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවත්, විරුද්ධ පක්ෂයෙන් සහ ඇතැම් ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුව විසින් ඒ පිළිබඳ විවාදය දින නියමයකින් තොරව කල් දමනු ලැබ තිබේ. වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින නීතිය සංශෝධනය කිරීමේ උත්සාහයක් තමන් ව්‍යවර්ථ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේය. කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහභාගිත්වයෙන් ආණ්ඩුව විසින් වැඩසටහන් ගණනාවක්ම දියත් කරනු ලැබ තිබේ. ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් මේ අතර මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මුස්ලිම් ක්‍රියාකාරිනියන් දිගින් දිගටම ඉල්ලා සිටින නමුත් පසුගියදා පැවති පාර්ලිමේන්තු අනු කමිටුවකදී පවා ඒ පිළිබඳව එකඟතාවක් ඇති නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෑත දී බීබීසී සිංහල සේවයට පැවසීය.
ඊජිප්තුවේ අස්වාන් නගරය ආසන්නයෙන් මෑතක සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් වසර 3000 වැඩි කාලයකට ඉහත දී මිහිදන් කළ ළමුන් සිව් දෙනෙකුට අයත් ඇටසැකිලි සොයා ගත් බව බලධාරීහු පවසති.
එක් ඇටසැකිල්ලක තිබී ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමට යොදා ගත් හණ රෙදි හමු විය ස්වීඩන සහ ඊජිප්තු ඒකාබද්ධ කණ්ඩායමකට එලෙස හමු වූ එක් ඇටසැකිල්ලක ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමට යොදා ගත් හණ රෙදි (ලිනන්) තිබු බව පුරාවස්තු අමාත්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය අයිමන් ඇශ්මවි ප්‍රකාශ කළේය. මිහිදන් කළ මිනිස් ඇටසැකිලි ඊජිප්තුවේ 18 වෙනි රාජවංශය දක්වා දිව යයි. (ක්‍රි.පූ 1549/1550 - 1292) ස්වීඩනය, ඔස්ට්‍රියාව සහ ඊජිප්තු පුරාවිද්‍යා කණ්ඩායම් ගවේෂණයේ යෙදෙන්නේ අස්වාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේය මේ අතර ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සොහොන් බිමක කොටසක් සොයා ගනු ලැබ ඇති අතර ස්විට්සර්ලන්ත කණ්ඩායමක් විසින් කාන්තා ප්‍රතිමාවක් සොයා ගනු ලැබ ඇත. පුරාවිද්‍යාඥයන් විසින් භූමදානය කළ මිනිස් මළ සිරුරුවලට අයත් ඇටසැකිලි සොයාගනු ලැබුවේ ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙනි. අවුරුදු දෙකත් තුනත් අතර වයසේ පසු වූ කුඩා දරුවෙකු වෙනුවෙන් නිර්මාණය කර ඇති එක් සොහොන් ගැබක් ගලක් තුළ නෙළා ඇත. මළ සිරුර ඔතන ලද රෙදිවලට අමතරව, මෘත දේහය බහාලූ ලී පෙට්ටියේ අවශේෂ අතර තිබී කාබනික කොටස් හමුවී තිබේ. වසර 3000 කට වඩා පැරණි හානි නොවූ ළමා ඇටසැකිළි අවුරුදු හයත් නවයත් අතර වයසේ පසු වූ දරුවෙකු සහ අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකු දෙවන හා තෙවන වලවල් තුළ මිහිදන් කර ඇත. ඔවුන් මිහිදන් කිරීම සඳහා ද ලී පෙට්ටි යොදා ගනු ලැබ තිබේ. ආරක්ෂාවට බඳින සුරයක් සහ මැටියෙන් කරන ලද වළන් කට්ටලය බැගින් එම වලවල් තුළ තිබී සොයා ගනු ලැබ ඇත. සිව් වෙනි වල අයත් වන්නේ ද අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකුටය. නව සොයා ගැනීම් මගින් තට්මොසිඩ් යුගය හෙවත් 18 වෙනි රාජවංශ යුගයට අයත් මිහිදන් කිරීමේ චාරිත්‍ර මෙන්ම සමාජීය, ආර්ථික සහ ආගමික වත්පිළිවෙත් පිළිබඳ නව මානයක් පෙන්නුම් කරනු ඇති බව ස්වීඩනපුරාවිද්‍යා මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය මරියා නිල්සන් පවසන්නීය. ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙන් මේ දක්වා සොයා ගනු ලැබ ඇති සොහොන් ගැබ් සංඛ්‍යාව 69 කි. මේ අතර වසර 4000 වඩා පැරණි ඊජිප්තුවේ පළමු මධ්‍යතන යුගය දක්වා දිවෙන සොහොන් භූමියක කොටසක් සොයා ගැනීමට කොම් ඔම්බො (Kom Ombo) නගරයේ කඳු ගැටයක ගවේශණයේ යෙදුනු ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් සමත් වී තිබේ. ගඩොලින් සකස් කරන ලද සොහොන් වලවල් තුළ තිබී හමු වූ භාණ්ඩ මැටි ගඩොලින් සකස් කරන ලද සොහොන් ගණනාවක තිබී මැටියෙන් කරන ලද වළන් සහ අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගැනුණු වෙනත් භාණ්ඩ හමුවූ බව එම පුරාවිද්‍යා මෙහෙයුමේ ප්‍රධානී ආචාර්ය අරින් ෆොස්ටර් පැවසුවාය. සොහොන් භූමියට පහතින් තිබී පැරණි රාජධානි යුගය දක්වා දිවෙන (ක්‍රි.පූ 2613 -2181) නගරයක කොටස් හමු වූ බව ඇය සඳහන් කළාය. එම කලාපයෙන් හමු වූ තෙවන සොයා ගැනීම වන්නේ ග්‍රීක - රෝම යුගය දක්වා දිවෙන අසම්පූර්ණ ප්‍රතිමාවකි. අස්වාන් ප්‍රදේශයේ කැණීම් කළ ඊජිප්තු සහ ස්විට්සර්ලන්ත ඒකාබද්ධ කණ්ඩායමක් විසින් එම ප්‍රතිමාව සොයා ගනු ලැබ ඇත. හුණු ගලෙන් නිර්මාණය කළ හිස රහිත කාන්තා ප්‍රතිමාව හුණු ගලෙන් නිර්මාණය කර ඇති සෙන්ටි මීටර 38 පමණ උසැති හිස රහිත ප්‍රතිමාවේ පාද සහ දකුණත දක්නට නොමැත. ප්‍රතිමාවේ දක්නට ඇති වස්ත්‍රය සහ ග්‍රීක දෙවගනක් වන ආතමිස්ගේ වස්ත්‍ර අතර සමානකම් දක්නට ඇති බව ප්‍රදේශයේ පුරාවස්තු පිළිබඳ ප්‍රධානි අබ්දෙල් මෝනිම් සයීඩ් පැවසීය. මේගැනත් දැනගන්න:
ගෝපි ඇතුලු එල්ටීටීඊ නායකයින් තිදෙනකු යුද හමුදාව විසින් ඝාතනය කරන ලද බවට රජයත් යුද හමුදාවත් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
තේවියන්, අප්පන් සහ ගෝපි හමුදාව සමඟ ගැටුමකදී මියගිය බව ආණ්ඩුව පවසයි ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යුද අපරාධ චෝදනා වලින් බේරීම පිණිස සහ තවදුරටත් දෙමළ වැසියන්ට කරදර කිරීමේ අරමුණින් මෙවැනි 'බොරු නිර්මාණය කරන' බවයි, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් බීබීසී සංදේශයට කියා සිටියේ. 2009 මැයි මාසයේදී ත්‍රස්තවාදය අවසාන බව ප්‍රකාශ කළ රජය යලිත් එල්ටීටීඊ සංවිධානය හිස ඔසවමින් තිබෙන බව කීම විහිලුවක් බවද ඔහු පවසයි. 'සාක්ෂි තිබෙනවා' ගෝපි ඇතුළු පිරිසගේ ක්‍රියාකාරකම් ගැන 'සාක්ෂි තියෙනවා' යුද්ධයට පසුව කිසිදු පහසුකමක් හෝ කුසට ආහාරයක් නොමැතිව සිටින දෙමළ වැසියන්ට 'බොරු චෝදනා එල්ල කරමින්' ඔවුන් අත් අඩංගුවට ගැනීමටත් දෙමළ වැසියන් මර්දනය කිරීමටත් හදිසියේම ගෝපි වැන්නවුන් බිහි වන බව පවසන එම්කේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා, ඉදිරියේදීත් රජය 'මෙවැනි නාටක' රඟ දක්වනු ඇතැයිද කියා සිටියේය. රටේ හදිසි නීතිය පවා නොමැති අවස්ථාවක ගෝපි ඇතුලු සැකකරුවන් තිදෙනකු සොයා දෙදහසකට වැඩි හමුදා භට පිරිසක් විශේෂ මෙහෙයුමක් දියත් කළේ රටේ නීතියට පවා පටහැනිව බව කී සිවාජිලිංගම් මන්ත්‍රිවරයා, මෙතරම් විශාල හමුදා සාමාජිකයන් පිරිසකට නිරායුධව සිටි තිදෙනකු අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පැවසීම 'තවත් විහිළුවක්' බවද සංදේශයට කියා සිටියේය. වසර ගණනාවක්ම පීඩාවට පත්ව සිටින දෙමළ වැසියන් මෙවැනි 'බොරුවලින්' තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානය එල්ල කරන එම චෝදනාව ප්‍රතික්ෂේප කරන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ගෝපි ඇතුළු පිරිස එල්ටීටීඊය යලි පණ ගැන්වීම පිණිස ක්‍රියාකරමින් සිටි බවට පැහැදිලි සාක්ෂි තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ඔවුන්ගේ එම වැඩපිළිවෙල පරීක්ෂණ අවසානයේ හෙළි කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි ගණයේ නිළියක වූ ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වුවාය.
ශ්‍රීදේවි අතිසාර්ථක බොලිවුඩ් සිනමා තාරකාවක් වුවාය හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසුවූ බව ඇගේ පවුලේ සාමාජිකයෝ පැවසුහ. ශ්‍රිදේවි යන නමින් කා අතරත් ප්‍රකටව සිටි ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය. වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය. ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි වූ අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි සිටි බව සැළකේ. ඇය මියයනවිට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිටි බව වාර්තාවල දැක්වේ. වෙනත් සමාන තොරතුරු : ශ්‍රීදේවි අතිසාර්ථක සිනමා තාරකාවක් වුයේ කෙසේද ? 1978 දී සිනමා පටයක ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ්හි චිත්‍රපට ගමන ආරම්භ කළ ඇය ඉතා ඉක්මණින් ම ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තාරකාවන් අතරට පිවිසියාය. දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 150 වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විණි. කුසලතා පිරිපුන් ඇය 1997 එළිදුටු ජුදායි චිත්‍රපටයෙන් අනතුරුව සිය සිනමා ගමනට විරාමයක් තැබුවාය. ඇය යළි චිත්‍රපට කර්මාන්තයට එක්වූයේ 2012 වසරේ 'ඉංග්ලිෂ් විංග්ලිෂ්' සිනමා පටයට දායක වෙමිනි. ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් 2013 වසරේදී ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.
මුහුණ ආවරණය කරගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ "රෙදි ගැලවීමට" හෝ "මහ පාරේ නඩු විසඳීමට," සිංහල මිනිසුන්ට අයිතියක් නොමැති බව ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ පවසති.
"මුස්ලිම් කාන්තාවක් හිස ආවරණය කරගෙන යාමට අපිට එරෙහි වෙන්න අයිතියක් නැහැ. නමුත් හදිසි නීතිය යටතේ සම්පූර්ණයෙන් ම මුහුණ වහගෙන යන්න බැහැ. එහෙම වුණත් ඒ රෙදි ගලවන්න අපිට අයිතියක් නැහැ. අපි ඒක භාර දෙන්න ඕන පොලිසියට, ත්‍රිවිධ හමුදාවට," උන් වහන්සේ පැවසූහ. "මේ ප්‍රශ්නයට (ප්‍රහාරයන්ට) කිසි ම දායකත්වයක් නොදීපු මුස්ලිම්වරුන්ට එවැනි පීඩාවන් සිදු කිරීම බෞද්ධ භික්ෂුවක් හැටියට මම හෙළා දකිනවා," භද්දිය හිමියෝ ප්‍රකාශ කළහ. මුස්ලිම් ජනතාවගේ වගකීම විශ්වාසය තහවුරු කිරීම උදෙසා මුස්ලිම් ජාතිකයන් ද සුවිශේෂී කාර්යයක් සිදු කළ යුතුව ඇතැයි උන් වහන්සේ අවධාරණය කළහ. මුස්ලිම් සමාජය බහුතර සිංහල සමාජයෙන් "ඉතා තීරණාත්මක අන්දමින්" ඈත් වෙමින් සිටින බව ද උන් වහන්සේ පැවසූහ. "අපි පුංචි කාලේ මාතර ඉසදීන් නගරයට එනකොට අපිට මතකයි ඒ මුස්ලිම් නැන්දල, ආත්තම්මල යන්තම් සාරි පොටෙන් ඔළුව වහගෙන හිටියේ." උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ "මුළු මුහුණ ම වහගෙන යන තත්ත්වයට වර්ධනය වීමත් සමග, මුහුණ දකින කොට ඇති වුණු සමීපකම, ලෙන්ගතුකම අද ලංකා සමාජයෙන් ගිලිහී ගොස්" ඇති බවය. එමෙන්ම සිංහල, මුස්ලිම් ජන කොට්ඨාස දෙක අතර සැකය වැඩි වීමට ඇතැම් රාජ්‍ය මැදිහත්වීම් මත සිදු වූ ක්‍රියාවන් ද හේතු වී ඇති බව භද්දිය හිමියන්ගේ අදහසය. උන්වහන්සේ පෙන්වාදෙන පරිදි සිංහල හා මුස්ලිම් ජනයා අතර සැකය වැඩිවීමට හලාල් සහතික සහිත ආහාර හඳුන්වාදීම ද ප්‍රබල හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 9ක් පමණ වන මුස්ලිම් ජනතාව හලාල් නොවන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හලාල් නිෂ්පාදන අවශ්‍ය නොවන ජනගහනයෙන් සියයට 91 ක් පමණ වන ජනතාවට ද හලාල් නිෂ්පාදන මිලදී ගැනීමට සිදු වීම හමුවේ පාරිභෝගිකයන්ට භාණ්ඩයේ සැබෑ වටිනාකමට වඩා අතිරේක මුදලක් ගෙවීමට සිදුවන අතර, එම මුදල් කාගේ අතට පත්වන්නේදැයි සාධාරණ සැකයක් සිංහල ජනතාව තුළ පවතින බව භද්දිය හිමියෝ සඳහන් කළහ. ''සාමාන්‍ය බහුතරය අතර සැකයක් තියෙනවා මේ හලාල් සහතික හරහා එකතු කරන සල්ලි ත්‍රස්තවාදීන් අතට පත් වෙනවා කියලා. ඒ සැකය නැති කරන්න මුස්ලිම් ජනයාට විතරක් බෑ. රාජ්‍ය මැදිහත් වීමකින් ඒ ගැන සොයා බලන්න ඕන." මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින සැකය දුරු කිරීමට මුස්ලිම් ජාතිකයන්ට ද පැහැර හැරිය නොහැකි වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ. පාස්කු ඉරිදා ප්‍රහාර පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන වාතාවරණය ගැන අදහස් දැක්වූ ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ, "අපි හැම තැන ම බෝම්බ පත්තු කරන්න ආපු ෆාතිමාල හෝ සහරාන්ල දකින්න ගත්තොත් මේ රට ලේ විලක් වෙයි. මිනිස්සු මහ පාරේ නඩු විසඳන්න යනව නම්, මොකට ද රටකට පොලිසියක් හෝ අධිකරණයක්?," යනුවෙන් ද ප්‍රශ්න කළහ. "මුස්ලිම් ජනයා පන්සල් ගිය පමණින් හෝ බෞද්ධ ජනයා පල්ලි ගිය පමණින්" සංහිඳියාව ගොඩනැගිය නොහැකි බව උන් වහන්සේගේ අදහසය. පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමසූ විට උන්වහන්සේ කියා සිටියේ එහි වගකීම භාර ගැනීම සඳහා කිසිවෙකු නොසිටීම," මුළු රට ම මේ මොහොතේ අත්විඳින ඛේදවාචකය" බව ය. දිගු කාලීනව අඛණ්ඩව වර්ධනය වෙමින් පැවති කාරණා කිහිපයක් මෙම තත්ත්වය ඇති වීමට පාදක වී ඇති නමුත් ආසන්නතම හේතු හැටියට උන් වහන්සේ දකින්නේ ජනාධිපති සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන් මෙන් ම ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා ඇතුළු සියලු නිලධාරීන් කළ යුතු රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු නොකිරීමය. ජනපති, අගමැති ගැටුම "ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින ඝට්ටනය, මුළු රට ම අනාරක්ෂිත තත්ත්වයකට සහ කිසි ම පාලනයක් නැතිව පාවෙමින් ගමන් කරන තත්ත්වයකට අපේ රට අද වැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා" "ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින ඝට්ටනය, මුළු රට ම අනාරක්ෂිත තත්ත්වයකට සහ කිසි ම පාලනයක් නැතිව පාවෙමින් ගමන් කරන තත්ත්වයකට අපේ රට අද වැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. මහා සම්මතයෙන් ජනතාව රජයක් හෝ රජෙක් තෝරා ගන්නේ ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන්," භද්දිය හිමියෝ පැවසූහ. "අවාසනාවකට අපේ රජය අපි ජීවිතේ මුහුණ දුන්න රජයන් අතරින් ඛේදනීය ම රජය. අවාසනාවන්ත ම රජය. අපේ ආරක්ෂාව සම්බන්ධව, පුරවැසියාගේ රැකවරණය සම්බන්ධව අභිලාෂයට පයින් ගහල, ඔවුන් පුද්ගලික අභිලාෂවල පසුගිය තුන් අවුරුද්ද පුරා ගමන් කරල තියෙනවා." එමෙන් ම මුස්ලිම් තරුණයන් වඩාත් වේගයෙන් අන්තවාදය දෙසට නැඹුරු වීම සඳහා, මුස්ලිම් සමාජයට එරෙහිව සිංහල සමාජයෙන් එල්ල වූ "ඇතැම් වාග් ප්‍රහාර සහ කලහකාරී ප්‍රහාර එකක් හෝ දෙකක්" ද හේතු වූ බව උන් වහන්සේගේ විශ්වාසයයි. පසුගිය දා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ සමාජයෙන් එල්ල වූ හිරිහැරයකට, අයුක්තියකට හෝ අසාධාරණයකට පිළිතුරු ලෙස නොවන බව උන් වහන්සේගේ අදහසය. කෙසේ නමුත් මේ වන විට "සියලු ම මුස්ලිම්වරුන් දෙස සැකයෙන් බලන" මට්ටමකට සමාජය පත් වී ඇති බවත් එය "අතිශයෙන් භයානක" තත්ත්වයක් බවත් ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ ප්‍රකාශ කළහ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රට තුළ ඇතිවූ තත්ත්වය නිසා මුස්ලිම් ජාතිකයන් පවත්වාගෙන යන ව්‍යාපාර වර්ජනය කිරීමේ රැල්ල පිළිබඳව කළ විමසීමකදී භද්දිය හිමියන් පැවසුවේ එම ව්‍යාපාර හරහා සිංහල බෞද්ධ ජනයාට රැකියා අවස්ථා රැසක් උදා වී ඇති අතර ඒවා වර්ජනය කිරීමට යෝජනා කරන පුද්ගලයන් ඔවුන්ගේ රැකියා ගැටලුව ද විසඳිය යුතු බවය. 'දේශපාලනයට ආරාධනාවක්' ''මිනිස්සු කියනවා ඡන්දය ඉල්ලන්න කියලා. රට භාර ගන්න ලු. ඒත් මම ඉදිමෙන්නේ ඇඟිල්ලේ තරමට. මම කිසි කලෙක කිසි ම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.'' යනුවෙන් පැවසූ උන් වහන්සේ පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේට පක්ෂ දේශපාලනය නොගැලපෙන බවය. ජාතික හෙළ උරුමය හරහා කළ අත්හදා බැලීම ඊට සාක්ෂියක් බව ද උන්වහන්සේ පැවසූහ. කිසි ම පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිය ද මුළු රටට ම බලපාන එක් නීතියක් වෙනුවෙන් පෙනී සිටින බව උන් වහන්සේ අවධාරණය කළහ. ''බෞද්ධයෝ කියන විදියට මුස්ලිම් අය ඉන්න ඕන කියන එක මොන හිරිකිත කතාවක් ද ? ඒක නෙමෙයි වෙන්න ඕන. ලංකාවේ තියෙනවා ව්‍යවස්ථාවක්. ලංකාවේ තියෙනවා නීතියක්. ඒක බෞද්ධ නීතියක්වත්, බෞද්ධ ව්‍යවස්ථාවක්වත් නෙමෙයිනේ. ඒකට අනුව කවුරුත් පාලනය වෙන්න ඕන. එක ජාතීන්ට, ආගම් අනුව නීතිය වෙනස් නොවීමයි වැදගත් වෙන්නේ. ඒ වගේ ම ආගමික ආශා අනුව මේ රටේ ආහාර සංස්කෘතිය වෙනස් වෙන්න බෑ. අධ්‍යාපනය වෙනස් වෙන්න බෑ.'' ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ. ආචාර්ය මාවරලේ භද්දිය හිමියන් තවත් කියවන්න:
චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව (China Pakisthan Economic Corridor - CPEC) හරහා මධ්‍යම ආසියාව සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අඟහරුවාදා (පෙබරවාරි 23) කොළඹදී කියා සිටියේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉම්රාන් ඛාන් මෙම අදහස් පළ කළේය. ''මෙම සංචාරය අපගේ ද්විපාර්ශවිය සම්බන්ධතා වර්ධනය කරනවා. එය අපගේ වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරනවා. පාකිස්තානය චීනයේ එක තීරයක් එක මාවතක් වැඩසටහනේ කොටස්කරුවෙක්. සී-පෙක් එහි එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක්. සී-පෙක් හරහා ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියාවට සම්බන්ධවීමේ හැකියාව ලැබෙනවා. මධ්‍යම ආසියාවට පාකිස්තානයේ සම්බන්ධය තුළින් ශ්‍රී ලංකාවට වෙළෙඳාම ශක්තිමත් කළ හැකි අපි අපගේ අනෙකුත් අවස්ථාවන් ගැනත් කතා කළා.'' යනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය. කලාපීය ස්ථාවරභාවය හා සාමය දකුණු ආසියාවේ සංවර්ධනය සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය බවට ශ්‍රී ලංකාව විශ්වාස කරනු ඇතැයි එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේය. ''අපගේ සාකච්ඡාවලට කලාපීය හා ජාත්‍යන්තර වැදගත් කමකින් යුත් සිද්ධීන් මෙන්ම කොරෝනා වෛරසයේ බලපෑමත් ඇතුළත් වුණා. ශ්‍රී ලංකාව පාකිස්තානයට කෘතඥ වෙනවා පාකිස්තානයේ ඇති ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථාන ලංකාවේ බැතිමතුන් වෙනුවෙන් විවර කිරීම පිළිබඳව. අපි එළඹුණු වැදගත් තීරණය නම් ද්විපාර්ශවිය පාර්ලිමේන්තු සහයෝගොතාව පාර්ලිමේන්තු සහයෝගිතා සංගම් හරහා නැවතත් ආරම්භ කිරීමට ගත් තීරණයයි.'' යනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බදාදා (පෙබරවාරි 24])පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසුණි. පාකිස්තාන සංචාරකයන්ට ශ්‍රී ලංකා ජනපතිගෙන් ආරාධනයක් කොවිඩ් වසංගතය මර්දනය සමග මෙරට සංචාරය සඳහා පැමිණෙන්නැයි පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපහිවරයා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළේය. ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කළහ. පාකිස්ථානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් එහිදී සඳහන් කළේය. පාකිස්ථානය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. එම හමුවීමෙන් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා කොළඹ පැවති වෙළෙඳ හා ආයෝජන සමුළුවකට ද එක්විය. 2021 පළමු නිල සංචාරය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 23 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියහ. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ව සිටි අවධියේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන් එරට 22 වැනි අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වේ. එමෙන් ම 2021 වසරේ ඔහුගේ පළමු නිල විදෙස් සංචාරය, මෙම ශ්‍රී ලංකා සංචාරය වීම ද විශේෂත්වයකි. පාකිස්තානය සමග ගිවිසුම් පහක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දෙදින නිල සංචාරයට සමඟාමීව දෙරට අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට පෙබරවාරි 23 වැනිදා අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට එම ගිවිසුම් මගින් අපේක්ෂිතය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් සංචාරයේ ඇතැම් අවස්ථා ඉවතට මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා මුල්සිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම අවසන් මොහොතේ අවලංගු කෙරිණි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවේ කියා සිටියේ ආරක්ෂක හේතුන් මත එම රැස්වීම අවලංගු කර ඇති බවය. අගමැතිවරයාගේ සංචාරයට අදාළ වැඩසටහන සකසනුයේ දෙරට ම ඒකාබද්ධව වන අතර පාකිස්තාන අගමැතිවරයාගේ ආරක්ෂාව වඩා ප්‍රමුඛ වන බව ද ඔහු කීය. සියලු කෝවිඩ් මරණ ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ සිය අවධානය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවට ගෙන යාම එසේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අපේක්ෂා කළ රැස්වීමේ අරමුණක් විණි. ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ විශේෂඥ කමිටුවක ඇගයීම මත, කොරෝනාවෛරසය ආසාදිතව මරණයට පත්වූවන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තීරණවලට එළඹෙන බවය. කළින් සැලසුම් කර තිබූ, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමද අවලංගු කෙරිණි. චීනයට හිතවත් නායකයා එම දේශනයෙදී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළහොත් එය අසල්වැසි ඉන්දියාවේ සිත් රිදීමකට හේතුවීමෙන් මතුවිය හැකි රාජ්‍යතාන්ත්‍රික අවුලක් වැළක්වීම හෝ කෝවිඩ්-19 ආසාදිතයින්ගේ දේහ භූමදානය සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම වැළක්වීමේ අරමුණින් එම දේශනය අවලංගු කරන්නට ඇති බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයින්ගේ මෙන්ම ඇතැම් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ද අදහස විණි. මේ අතර පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදුණේ වත්මන් ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග එළැඹ තිබූ ආයෝජන ගිවිසුම අවලංගු කරනු ලැබීම හරහා දෙපාර්ශවය අතර සබඳතාවට ගැටලු මතුවෙමින් පවතින අතරවාරයේදීය.
ඩෙංගු මදුරු කීටයන් හමුවන පාසල් සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
දිස්ත්‍රික්ක 12 ක් තුළ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බැවින් එම මදුරුවන් මර්දනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව 2017 වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 33,151 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 61 කි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලිනි. එම දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය දෙමින් ඉහත කී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වැඩබිම් පරික්ෂාවට එමෙන්ම රට පුරා පිහිටි සියලුම ඉදිකිරීම් කලාප පරීක්ෂාවට ලක් කරන අතර, එහි දී ඩෙංගු මදුරු කීටයින් හමුවුවහොත් අදාළ බලපත්‍රය මසකට අවලංගු කරන බව ද අද (අප්‍රේල් 21) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. එමෙන්ම ධීවර වරාය හා නැංගුරම් තොටුපලවල එකතු වන කැළිකසල පළාත් පාලන ආයතන මාර්ගයෙන් ඉවත් කිරීමට ද අදාළ සාකච්ඡාවේ දී තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.
හිටපු ඇමති විමල් වීරවංශ ඇතුළු දෙදෙනෙකු ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ අද (ජන.24) දින අධිකරණ ශාලාවේදී ඝෝෂා කළ පුද්ගලයකු අත්අඩංගුවට පත්විය.
ඇප ඉල්ලීම් ඉවත ලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙන්වා දුන්නේ සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණයවී නැති බවය. රජයේ වාහන අවභාවිත කිරීමකට අදාළ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති විමල් වීරවංශ රිමාන්ඩ් භාරයට පත්කර ඇත. එම චෝදනාවම එල්ලවී තිබෙන ලසන්ත අලගියවන්න සහ ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය පොලිසියට නියම කළේය. 'ප්‍රබල සාක්ෂි' ඇප අයදුම් කරමින් නීතිඥයින් පෙන්වාදුන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාසය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඇති බවය. එම කරුණ මෙන්ම විරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය මෙම වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම යනාදිය සුවිශේෂ කරුණු ලෙස සළකා ඇප නියම කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, රජයේ වාහන සමීප ඥාතීන්ට හා පක්ෂ ක්‍රියාකාරීන්ට ලබාදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පොලිසිය ප්‍රබල සාක්ෂි අනාවරණය කරගෙන ඇති බව පෙන්වා දුන්නාය. විෂය භාර ඇමතිවරයාගේ අනු දැනුමකින් තොරව මෙවැනි ක්‍රියා සිදුවිය නොහැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 07 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය. මේ අතර නඩු විභාගය පැවති අවස්ථාවේදී, අධිකරණ ශාලාවේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ඝෝෂා කළේ ලසන්ත අලගියවන්න හා ආශු මාරසිංහ යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.
අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු වන ප්‍රවීන් මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දු ට ජන මාධ්‍යයට කථා නොකරන ලෙසට බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.
ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් භාවිත කරන පරිගණක ද අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බවයි බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ප්‍රකාශ කළේ. ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉරිදා අත් අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොන්දේසි රහිතව නිදහස් කරනු ලැබූහ. අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු වන ප්‍රවීන් මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දුට ජනමාධ්‍යයට කථා නොකරන ලෙසට හා විදේශ ගත වීමට පෙර අවසර ලබා ගත යුතු බවට ඊයේ ලබා දුන් අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ නීතිවේදීන් කළ ඉල්ලීම අද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ. මේ පිළිබඳව අදහස් දක්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙය ත්‍රස්ත විමර්ශන ඒකකය හා ආණ්ඩුව අධිකරණය නොමග යවා ලබාගත් නියෝගයක් බවයි. භාෂණයේ නිදහස අධිකරණය ලබා දුන් නියෝගය මගින් රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ගේ භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවට පෙන්වා දෙමින් අදාළ නියෝගය ඉවත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබිණ. රුකී ප්‍රනාන්දුට සහ මහේසන් පියතුමා වෙනුවෙන් මෙම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැවසුවේ, " අපි අධිකරණයට පවසා සිටියා රුකිට සහ ප්‍රවීන් පියතුමාට විරුද්ධව අසත්‍ය චෝදනා රාජ්‍ය මාධ්‍ය මගින් සිදු කරන නිසා ඔවුන්ට ඒවාට පිළිතුරු දීමට අයතිය තිබිය යුතු යැයි කියා. අපි ඉල්ලා සිටියේ ඒ නියෝග අවලංගු කරන ලෙස හෝ තාවකාලිකව හෝ ඒවා අත්හිටුවන ලෙස. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ" අද උදෑසන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන් අධිකරණය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසීමට උත්සාහ කළ අවස්ථාවේ දී ඔවුහු මාධ්‍යවේදීන්ට කිසිවක් ප්‍රකාශ නොකිරීමට වග බලාගත්හ. ප්‍රකාශ පිලිබඳව විමර්ශන මේ අතර සංදේශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණගෙන් විමසුවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනාට එරෙහිව නැවත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හේතුවූ කාරණය කුමක්ද යන්නයි. " ඔවුන් නිදහස් කරන කොටත් ඔවුන්ට දැනුම් දුන්නා, ඒ වගේම මමත් මාධ්‍යයට කිව්වා ඔවුන්ගේ ප්‍රකාශ පිලි බඳව විමර්ශන සිදු වෙනවා කියලා, ඒ ප්‍රකාශවල කරුණු සම්බන්ධ කරුණු ගැන විමර්ශනය කරද්දී එළිවෙච්ච දේ මත තමයි මේ වැඩිදුර 'බී' වාර්තාව ඉදිරිපත් කලේ," යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. මේ අතර අද මානව හිමිකම් ක්‍රියාකාරීහු මාධ්‍ය හමුවක් පවත්වා මෙයට ඔවුන්ගේ විරෝධය පල කළහ. මෙලෙස රුකී ප්‍රනාන්දුට සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට මාධ්‍ය වාරණයක් පනවා ඇත්තේ ඔවුන් නිදහස් කල පසු ඔවුන්ට සිදුවුණු අසාධාරණය පිළිබඳව ඔවුන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ නිසා විය හැකි බවයි මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ජේ.සී. වැලිඅමුණ ප්‍රකාශ කළේ. භාෂණයේ නිදහසට සීමා පැනවිය හැක්කේ නීතිමය ප්‍රතිපාදන මත පමණක් බව පවසන නීතිඥ ජේ.සී වැලිඅමුණ එවන් නීතිමය ප්‍රතිපාදනයක් නොමැතිව අධිකරණ නියෝග මත පමණක් භාෂණයට ඇති නිදහස සීමා කළ නොහැකි බව තම මතය බව ද ප්‍රකාශ කළේය.
ලබන සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය අවස්ථාවේ ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරන බව ඉන්දීය කලා ශිල්පියෙක් පවසයි.
ලබන බදාදා (මැයි 10) සිට ඉරිදා (මැයි 14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10 සිට සවස 07 දක්වා සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරයි. ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වැලි මූර්ති ශිල්පියා ඒ බව සඳහන් කරන්නේ ට්විටර් ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිනි. ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සහභාගි වීම පිණිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ලබන සතියේ ශ්‍රී ලංකාව සංචාරයක යෙදීමට නියමිතය. ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය. ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට සැරසෙන බවට චෝදනා කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පසුගියදා වැඩවර්ජනයක නිරත වූ අතර, වෘත්තීය සමිති නගන චෝදනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයත් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවලියේ ජය අත්කර ගත්තේය.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස තරගාවලි තුනක් පිට පිටම ජයග්‍රහණය කර තිබේ. ඉරිදා පැවති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 173 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, නුවන් කුලසේකර විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයි රිචඩ්සන් (Jhye Richardson) දවාගනු ලැබුවේ තරගයේ අවසාන පන්දුවේදීය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර නියමිත පන්දු වාර හතර අවසානයේදී ලකුණු 31 කට කඩුලු හතරක් දවාගත්තේය. එයට ප්‍රතිචාර වශයෙන් තියුණු තරගයක යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානය දක්වාම පිතිහරඹයේ යෙදුනු අතර, කඩුලු අටක් දැවී ලකුණු 176 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. නවක ක්‍රීඩක අසේල ගුණරත්න හයේ පහර පහක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 84 ක් රැස්කිරීම කැපී පෙනුණි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් විමසිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අගමැතිනි තෙරේසා මේ සහ කැබිනට් මණ්ඩලය ඒ සඳහා පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව පවසමින් පසුගියදා මහාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අටදෙනකු ප්‍රතික්ෂේප කළ අතර, විනිසුරුවන් තිදෙන් එය අනුමත කළහ. යුරෝපා සංගමයෙන් ඉවත්වීම මගින් බ්‍රිතාන්‍ය නීතියේ ඇතැම් මූලාශ්‍ර ඉවත් කෙරෙන අතරම එමගින් බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ඇතැම් අයිතිවාසිකම්ද කප්පාදු කෙරෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එබැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව අධිකරණයේ නිගමණයයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කෙසේ නමුත් ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව හෝ වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ මන්ත්‍රණ සභාවල මතය විමසීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුව විය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගිය ජුනි මාසයේ බ්‍රිතාන්‍ය ඡන්දදායකයන් තීරණය කළ අතර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය ප්‍රතික්ෂේප කෙරෙනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. කෙසේ නමුත් මේ තීන්දුවත් සමග ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහ සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබෙන තුරු යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට අගමැතිනි තෙරේසා මේ ට අවස්ථාව නොලැබේ.
එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න තිබෙන බව සත්‍යයක් බවත් එය සැඟවීමට දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
මෙහි අන්තර්ගතය නැත End of Facebook post, 1 බීබීසී සිංහල සේවය සමග පැවති සජීවී ෆේස්බුක් සාකච්ඡාවකදී ඇය පැවසුවේ, "අගමැතිතුමත් සජිත් ප්‍රේමදාසත් වෙන කවුරුත් නියෝජිතයෝ යවන්නේ නැතිව ඒ දෙන්නා තනියෙන් මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා කතා කරගෙන දෙදෙනා එකතු වෙන්නේ නැතිව මේ ගමන යන්න බෑ," යනුවෙනි. ඉදිරි ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ ජනාධිපතිවරණයට කලින් පැවැත්වෙන බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මගින් ජනාධිපතිවරණයේ දී විය හැක්කේ කුමක් ද යන්න අනුමාන කළ හැකි වනු ඇති බවය. ජනපති අපේක්ෂකයා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම සුදුසු අවස්ථාවේ හෙළිදරව් කෙරෙනු ඇති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවසීය. "අපි 2015 ජනවාරි 8 වෙනිදා ජයගත් අපේක්ෂකයා හඳුන්වා දුන්නෙත් නාම යෝජනා කැඳවීමට සතියකට කලින්. මේ සැරෙත් අපිට හදිස්සියක් නැහැ. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත් කළා වේලාසන වැඩියි. කල් යන්න අපේක්ෂකයන්ගේ අඩුපාඩු වැරදි පේනවා වැඩියි ජනතාවට. එතුමා කරන කියන දේවල් පරස්පරයි. ජනතාවට ඒවා වැටහෙනවා." එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණය ජය ගත හැකි අපේක්ෂකයා "පක්ෂය ඇතුළේ තීරණයක් අරගෙන හොඳ අපේක්ෂකයෙක් ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරාවි," යනුවෙන් පැවසූ ඇය අලුතෙන් ජන්දය හිමි ලක්ෂ 17 දිනා ගැනීම වැදගත් බවද පෙන්වා දෙයි. ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරු වන්නේ දැයි විමසු විට ඇය පැවසුවේ, "මේ වෙනකොට සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා කියනවා. සමහරු කියනවා කථානායක කරු ජයසූරිය, සරත් ෆොන්සේකා, ඒ වගේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටත් වුවමනාවක් තිබෙන බව පේනවා. සියලු දෙනාම එකතුවෙලා කතා කරලා මේ ගමන යා යුතුයි. කවුරු දැම්මත් සන්ධාන ගත නොවී අපට ජයග්‍රහණය කරන්න බෑ. අපි ඒ දාන පුද්ගලයා කවුරු වුණත් ඔහු මුළු රටේ සියලු ජන කොට්ඨාශ වල විශ්වාසය දිනාගත් කෙනෙක්," විය යුතු බවය. එසේම එම අපේක්ෂකයා "එක්සත් ජාතික පක්ෂය ඇතුළේ පාක්ෂිකයන්ට සාධාරණයක් වෙන සහ පාක්ෂිකයන් වෙනුවෙන් සිටින කෙනෙක්" විය යුතු බව ද ඇය පැවසුවාය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පක්ෂය කඩන්න හදනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරමින් සිටින බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කළාය. "දින 52 ගැන මතක ඇති. එතුමාගේ ඕනෑ එපාකම් අනුව මේ පක්ෂය දුවන්න බැහැ. එතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක විශාල වෛරයකින් ඉන්නේ කියලා එතුමාගේ ප්‍රකාශ වලින් පේනවා. එතුමාගේ අවසාන අභිප්‍රාය මේ පක්ෂය දෙකට කැඩීම. මේ පිටිපස්සේ එතුමා ඉන්නවා. මේ පක්ෂේ රණ්ඩු පිටුපස්සේ එතුමා ඉන්නවා." පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ නිර්පාර්ශික නායකයෙක් ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව තිබූ නමුත් ඔහු එය ඉටු නොකළ බවය. එබැවින්, ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව කටයුතු කළ හැකි අපේක්ෂකයෙක් අවශ්‍ය බව ඇය පැවසීය. "මම හිතනවා සජිත් ඇමතිතුමාත් ඒ ගැට වලට හසු වන්නේ නැහැ. අගමැති තුමත් ඒ ගැට වලට හසු වෙන්නේ නෑ. මම හිතනවා පාක්ෂිකයන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් දායි කියල. අපේ පක්ෂයේ තීරණය පිට අයගේ වුවමනාවන් අනුව හැරවිය යුතු නැහැ කියලා මම හිතනවා." "එක්සත් ජාතික පාක්ෂිකයෝ කලකිරීමට පත්වෙලා ඉන්නවා ඇති. නමුත් පාක්ෂිකයින් ඉල්ලන්නේ එහෙ මෙහෙ ගෝනි බිල්ලෝ ගෙනල්ලා පක්ෂය නැති කර ගන්න එපා කියන එක." ඇය අදහස් කරන්නේ පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නේ ද මැතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බවය. කාන්තාවන් දේශපාලනයට ඒමට උත්සුක නොවන්නේ ඇයි? "කාන්තාවන් අපහසුවට පත් කිරීමට, නරක වචන පාවිච්චි කරන්න බොහෝ දෙනෙක් බලා ගෙන ඉන්නේ. සමහර කාන්තාවන් පවා අනෙක් කාන්තාවන් පහත් බවට පත් කරන්න බලාගෙන ඉන්නේ." එමනිසා කාන්තාවන් දේශපාලනයට ඒමට මැලිකමක් දක්වන බව ඇය පැවසුවාය. එසේම එළඹෙන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ කළ සංවර්ධන කටයුතු ගැන හැරුණුවිට හොරුන් ඇල්ලීම ගැන කතා නොකළ යුතුය යන්න ඇයගේ අදහසය. "ලසන්තලාගේ මිනී ගැනත් තවදුරටත් කතා කරන්න බැහැ." මේ තොරතුරුත් කියවන්න:
වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සහ ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමි ගුප්ත විද්‍යා, දේව බලය, භූතයින් හෝ වෙනත් ඇදහිලි මගින් කොරෝනා වෛරසය මෙල්ල කළ හැකි බවට පවතින විශ්වාස කිසි ලෙසකවත් බෞද්ධ දර්ශනයේ ඇගයීමට ලක් නොවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පෙන්වා දෙති. "ඒ නිසා බුදු දහම එවැනි දෑ වෙත මහජනතාව පොළඹවන්නෙත් නැහැ. ඒකට කියන්නේ අන්ධ විශ්වාසය." යනුවෙන් උන්වහන්සේ කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපාය මාර්ග සහ උපදෙස්වලින් ඔබ්බට ගොස් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සමාජය තුළ දැඩි සංවාදයක් මතුව ඇති පසුබිමකදීය. ගංගා වෙත පැන් කළ මුදා හැරීම උපහාසයට ලක් කර ෆේස්බුක් හි පළ වූ ඡායාරූපයක් "රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිළ සහ ප්‍රසන්න රණතුංග යන ඇමතිවරු රටට සෙත් පතා ගංගාවන්ට පැන් එක් කරන අවස්ථා" දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. එමෙන්ම "කොරෝනා බිය දුරලන්න රතන සූත්‍රය දේශනා කර රටට සෙත් පතන" ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ අතර කොරෝනා වෛරස් බිය හමුවේ රටට ආශීර්වාද පතා සමන්තභද්‍ර "අරහත් මහ හිමි" ගුවනින් පැන් ඉසින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ ජාල තුළ දක්නට ලැබිණි. ෆේස්බුක් හි පළ වී තිබූ සටහනක් පිරිත් සජ්ඡායානා සහ බෞද්ධ දර්ශනය කොරෝනා වෛරසය සහ මිත්‍යාව පිළිබඳ මතුව ඇති සංවාදය පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ රෝගයක් වැළදෙන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවය. එසේම බුද්ධ දේශනාවක අඩංගු අර්ථය මෙනෙහි කරමින් යම් සජ්ඡායනාවක් කරන අවස්ථාවක ඇති වන "චිත්ත ප්‍රසාදය සහ චිත්ත පාරිශුද්ධිය" පුද්ගලික මානසික සෞඛ්‍යට හේතු විය හැකි බව උන්වහන්සේ සඳහන් කළහ. "ලෙඩක් හැදුනොත් ඒ ලෙඩේට අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතුමයි. ප්‍රතිකාර ගන්නා අතරේ තමන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගත යුතුයි. මොකද එය තමන්ගේ ශරීර සෞඛ්‍යට බලපාන නිසා. එතන තිබෙන්නේ තර්කානුකූල සහ අත්දැකීමෙන් ලද පාඩමක්." " උදාහරණයක් වශයෙන් බුදු හාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් ඉතිපිසෝ ගාථාව සජ්ඡායනා කරන විට ඉන් ඇති වෙන්නේ චිත්ත ප්‍රසාදයක්. එතන කරුණාව, මෛත්‍රිය වර්ධනය වෙනවා. ක්‍රෝධය, තරහ, බය ඉවත් වෙනවා. ඒ බය ඉවත් වීමත් සමගම මානසික ඒකාග්‍රතාව ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. එමගින් භෞතිකව, ඒ කියන්නේ ශරීරයේ ඔරොත්තු දීමේ හැකියාවට බලපෑමක් සිදු වෙනවා." "එසේ ඇරෙන්න මන්ත්‍ර ශාස්ත්‍ර වලින් හෝ දේව බලයෙන් ලෙඩ සුව වෙනවා කියන දේ මිත්‍යා විශ්වාසයක්. එය මුළු ලෝකයටම පොදු තත්ත්වයක්. තම තමන් අදහන ආගම ධර්මය මොකක් වුණත් මේ වසංගතය මුළු ලෝකය පුරාම පැතිරිලා තිබෙනවා. එහිදී දෙවි කෙනෙක් හෝ වෙනත් ආගමික භක්තියක් ගැන විශේෂ සැලකිල්ලක් සිදු වී නැහැ, කෝවිඩ්-19 හැමතැනකම පැතිරී යනවා. ඒ නිසා දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි මේ අවස්ථාවේ කළ යුත්තේ." ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ. අවුරුදු 2500 කට පසු මේ අතර ඉහත කී සංවාදය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමි කියා සිටියේ "ඇදහිලි පසුපස යෑම පසෙකින් තබා මේ මොහොතේ සිහියෙන් කටයුතු කිරීමයි වැදගත්" බවය. "ඇදහිලි, පූජා, පෙරහැර බුදු දහමේ ඇති දේවල් නොවෙයි. ඒවා කාලයත් සමග වැඩුණු සංස්කෘතික කාරණා. බුදු දහමට අනුව මේ මොහොතේ අවශ්‍ය වන්නේ අවදි සිහියෙන් කටයුතු කිරීම. අපි මේ මොහොතේ මිනිස්සුන්ව උනන්දු කළ යුත්තේ බුදු දහමේ එන වටිනා ඉගැන්වීම් ප්‍රයෝගිකව ක්‍රියාවට නංවන්න." යනුවෙන් උන්වහන්සේ සඳහන් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. "බුදු දහමේ කියා සිටින ප්‍රධාන දෙයක් තමයි එළඹ සිටි සිහියෙන් යුක්තව මේ මොහොතේ කටයුතු කිරීම. එය පුහුණු කරන භාවනා තිබෙනවා. කායානුපස්සනාව ප්‍රධාන වශයෙන්. ඒ දේවල් අපේ පුහුණුවෙන් අතහැරිලා ගිහින් නොයෙකුත් පුද පූජා පැවැත්වීම වගේ දේවල් ඉදිරියට ඇවිත් තිබෙනවා," "ඒ දේවල් වලින් අපේ අභ්‍යන්තරයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපිව අභියෝගයට ලක් වෙන්නේ නැහැ. අවුරුදු 2500 යද්දී අපි අපිවම අභියෝගයට ලක් කරන, අපිව ඇතුළතින් වෙනස් කරන වැඩේ අතහැරි ගොස් තිබෙනවා. පුද පූජා වගේ පිටතින් කරන දෙයකින් ප්‍රතිඵල ලැබෙයි කියලා හිතනවා. බුද්ධ දර්ශනයේ මූලික හරයට ආපසු යන්න මේක අවස්ථාවක් කර ගනිමු. සතිමත් බවින් කටයුතු කරන්න පුලුවන්නම් මේකට අපිට මුහුණ දෙන්න පුළුවන්." "ඒ හැර ගංගාවලට කළ අතහැරීම වගේ දේ වලින් කිසිම ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. මේ අපි මුහුණ දී ඇති ප්‍රශ්නයෙන් ගැලවෙන්න එමගින් කිසිවක් සිදු නොවන බව නිසැක වශයෙන්ම කිව හැකියි." යනුවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළහ. ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී සිටීමට හේතුවක් නොවන බව උන්වහන්සේ පෙන්වා දෙයි. "වෛරසය පැතිරෙන ආකාරය බොහොම පැහැදිලියි. ඇදහිලි, විශ්වාස පසුපස ගියා කියල ඉන් ගැලවී සිටින්න බැරි බවට සාධක තිබෙනවා. හාමුදුරුවරුන්ට පවා වෛරසය වැළඳුනු අවස්ථා තිබෙනවා. හාමුදුරුවරු බෝධි පූජා තියනවා, නොයෙකුත් වත්පිළිවෙත්වල නිරත වෙනවා. එහෙනම් බස් එකක ගිය අනෙක් මිනිස්සුන්ට වෛරසය වැළඳිලා හාමුදුරුවන්ට නොවැළඳී තියෙන්න ඕනි නේද? එහෙම එකක් නැහැනේ. ඒ නිසා මිනිස්සුන්ට සත්‍ය කියා දීමයි මේ මොහොතේ කළ යුත්තේ. බොරු මායාවල් වලින් මිනිස්සු රවටන්නේ නැතුව." මේ ගැනත් කියවන්න:
පශ්චාත් මැතිවරණ ගැටුම් ඇතිකර ගැනීමෙන් වැලකී සාමකාමීව කටයුතු කරන මෙන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කොට සාමය උදා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ ගෞරවය ලබා දිය යුතු බවද විපක්ෂනායකවරයා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. අද සිකුරාදා උදෑසන තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී මුණගැසුණු බව සඳහන් කළ විපක්ෂනායකවරයා, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා සවස නිදහස් චතුරශ්‍රයේදී නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන බව තහවුරු කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට දුරකථනයෙන් ඇමතූ බව ද ඔහු සඳහන් කළේය. 'පළිගන්නේ නෑ' රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා හෙට අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට පෙරාතුව ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් සඳහන් කළේය. මේ අතර අද උදෑසන පොළොන්නරුවෙන් කොළඹ බලා ඒමට ප්‍රථම ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනපති පදවියට පත්වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකවරයා වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙළෙමින් පළිගැනීමේ චෝදනාවෙන් කටයුතු නොකරන බවට ප්‍රතිඥාවක් දුන්නේය. බුදුදහමට නිසි ගෞරවය ලබා දී, මාතෘභූමිය රැකගැනීමට කැප වන බව සඳහන් කළ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා යහපාලනයෙන් යුත් 'ආධ්‍යාත්මික සමාජයක්' ඇතිකිරීමට කැපවන බවට ද ප්‍රතිඥා දුන්නේය.
ධනවත් පුද්ගලයන් විසින් තම වත්කම් සැඟවීම පිණිස බදු රැකවරණ ‘අභය භුමියක්’ යොදා ගත් ආකාරය හෙළි කෙරෙන රහස් ලිපිගොනු රැසක් හමුවී තිබේ.
මොසැක් ෆොන්සේකා ආයතනය පවසන්නේ ගෝලීය වෙළඳ ප්‍රජාව තුළ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔවුන් කිසිදු ආකාරයක වැරැද්දක් සිදුකර නැති බවයි ජාත්‍යන්තර වත්කම් සීමාවන් වලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට පැනමාවේ නීති ආයතනයක් යොදා ගත් බවට වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් 72 දෙදෙනෙකු කටයුතු කර ඇති බවටයි මේ මගින් හෙළිවී ඇත්තේ. මේ ධනපතීන් අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුතින් ගේ සමීපතමයෙකු ද සිටින බවයි වාර්තාවන්නේ. ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු මෙම ලියකියවිලි මගින් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) ආයතනය ලොවපුරා ධනවත් පුද්ගලයන්ට සමාගම් ආරම්භ කර තම රටවල ආදායම් බදු ගෙවීම් වලින් මිදී සිටීමේ හැකියාව ලබා දී ඇති බව හෙළිවී තිබේ. එහෙත් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) ආයතනය පවසන්නේ ගෝලීය වෙළඳ ප්‍රජාව තුළ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔවුන් කිසිදු ආකාරයක වැරැද්දක් සිදුකර නැති බවයි.
ජාතික තව්හිත් ජමා'අත් (NTJ) සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, එම සංවිධානවලට අයත් සියලු දේපළ සහ එහි ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත. 2019 අංක 1 දරණ හදිසි අවස්ථා (විධි විධාන) සහ බලතල නියෝග යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධාන ද තහනම් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නමුත් ජනාධිපතිවරයා ඊයේ (අප්‍රේල් 26) මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ, මෙම සංවිධානය තහනම් කිරීමට අවශ්‍ය නීතිරීති ශ්‍රී ලංකාවේ නොමැති බවය. ඒ සඳහා නීතියක් සැකසීම ආරම්භ වී ඇති බවත් ඔහු පැවසීය. මේ අතර, අම්පාර නින්දවූර් ප්‍රදේශයේ ද ආරක්ෂක අංශ අද දින (අප්‍රේල් 27) ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමක දී ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසූ පරිදි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ මරාගෙන මැරෙන කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිටින බව බවට ලද තොරතුරකට අනුවය. ඒ අනුව හමු වූ ද්‍රව්‍ය අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් වේ. අම්පාර නින්දවූර් ප්‍රදේශයේ වැටලීම් සොයාගත් ද්‍රව්‍ය අතර ලියාපදිංචි නොකළ වෑන් රථයක් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක් අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරදුහි සැකකරුවන් පිරිසක් රැඳී සිටි නිවසක ඊයේ (අප්‍රේල් 26) සිදු වූ පිපිරීම්වලින් දරුවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයන් පහළොස් දෙනෙකුගේ මියගොස් තිබෙන බව පොලීසිය පැවසීය. මියගිය පිරිස අතර සැකකරුවන්ගේ ඥාතීන් යැයි සැලකිය හැකි කාන්තාවන් තිදෙනෙකු ද සිටි බව පොලීසිය කියා සිටියේය. ඒ අතරම බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාවක් හා දරුවෙකු ද රෝහල් ගත කර ලැබිණ. ආරක්ෂක අංශ සහ සැකකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව වාර්තා වේ. පැය කීපයක් පැවති වෙඩි හුවමාරුවකින් පසු පිපිරුම් ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ. "මේ අතරින් හය දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරකයන් බව සැක කරනවා. දෙමටගොඩ සිද්ධියේ දී වුණා වගේ මේ අවස්ථාවෙත් ආරක්ෂක අංශ අදාළ නිවසට ඇතුළු වෙන්න උත්සහ කරන කොට පිපිරීම් සිදු වුණා," පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර බීබීසී වෙත පැවසීය. වෙඩි තබාගැනීම්වලින් පසු එම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවූ අතර, ආරක්ෂක අංශ තවදුරත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී. ආරක්ෂක අංශ සහ සැකකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව වාර්තා වේ "රාත්‍රී අට වෙද්දී මෙහි තත්වය සාමන්‍ය අතට පත්කරළා, යුද හමුදාව අතට ගත්තා. මෙහෙයුමේ දී අපේ කිසිම කෙනෙක්ට තුවාලයක් හෝ මරණයට පත් වීමක් වුණේ නැහැ," ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර මාධ්‍ය වෙත පැවසීය. නින්දවුර් ප්‍රදේශයේ සිවිල් වැසින් සැපයූ තොරතුරු අනුව ඊයේ (26) අම්පාරේ දිස්ත්‍රික්කයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, එම තොරතුරු නිසි වෙලාවට නොලැබුණේ නම් තවත් විනාශයක් වන්නට ඉඩ තිබූ බවත් මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර පැවසුවේය. මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකම සිවිල් වැසියන් ලබා දෙන තොරතුරු ආරක්ෂක අංශ නිලධාරින්ට ඉතා වැදගත් බවකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර (වම් පස) ඊයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ බවට සැක කෙරෙන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීය. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එහිදී හමු වූ ද්‍රව්‍යවලට අයත් බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය. ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය. රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඉහත කී ද්‍රව්‍ය හමු වී තිබේ. ඊයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ බවට සැක කෙරෙන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීය මේ අතර, ත්‍රීරෝද රථයක C4 වර්ගයේ පුපුරණ ද්‍රවය රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඊයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ගෙවී ගිය දිනය තුළ දී සැකකටයුතු පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ඇතැමෙකු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයට (NTJ) අයත් යැයි සැකකරන බව පොලීසිය පවසයි. කල්මුනේ, චළවකඩේ, සමන්තුරය පොලිස් වසම්වල බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ආරක්ෂක අංශ තවදුරත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඊයේ (26) කොළඹ නගරයේ ක්‍රියාත්මක කරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුරදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ තොරතුරුද දැනගන්න:
ජෙසිකා හේයස් සිය මංගල ඇඳුම, වේලය සහ මුදුව මිලදී ගත්තාය. නමුත් ඇය සිය විවාහයේ ආගමික උත්සවයට සහභාගි වෙමින් පූජකතුමා ඉදිරියේ අල්තාරය මත සිට ගත් විට අනෙක් පස මනාලයෙකු සිටියේ නැත.
ඇය විවාහ වූයේ යේසුස් ක්‍රිස්තුන්වහන්සේ සමගය. 41 හැවිදිරි ජෙසිකා හේයස් කැප වූ කන්‍යාවකි. දෙවියන්ගේ මනමාලියක් වීමේ බලාපොරොත්තුවෙන් කතෝලික දේවස්ථානය සමග බැඳීමක් ඇති කරගත් කාන්තාවෝ කැප වූ කන්‍යාවන් බවට පත්වෙති. කැප වූ කන්‍යාවන් ගැන කතෝලික ආගමික ග්‍රන්ථවල පවා වැඩි විස්තර සඳහන් නොවේ. කැප වූ කන්‍යාවන් බවට පත් වීමේ බැඳීමට කතෝලික සභාව ප්‍රසිද්ධියේ අවසර දීම සිදු වූයේ මීට වසර 50කට අඩු කාලයකට ඉහත දී වීම මෙයට එක් හේතුවකි. දිවිය පුරාවට කිසිදු ලිංගික හෝ ප්‍රේම සම්බන්ධතාවක් නොපවත්වන බවට මනාලියක් ලෙස සැරසුණ කාන්තාව දේවස්ථානයේ පවත්වන ආගමික උත්සවයේ දී ප්‍රතිඥා දෙන්නීය. ක්‍රිස්තුන්වහන්සේ සමග විවාහ ගිවිසගැනීම සංකේතවත් කිරීමට එම කාන්තාව මංගල මුදුවක් ද පැළඳිය යුතුය. "ඔයා විවාහ වෙලා ද? කියලා මගෙන් වෙනත් අය නිතරම අහනවා" යනුවෙන් මේ වසරේ දී බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහනට ඇතුළත් වී සිටින ජෙසිකා හේයස් සිය තෝරාගැනීම ගැනීම ගැන අදහස් පළ කළාය. "මම හැම වේලාවේම කෙටි විස්තරයක් කියලා තමයි පිළිතුරු දෙන්නේ. මම කන්‍යා සොහොයුරියකට සමානයි, ක්‍රිස්තුන්වහන්සේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙලා ඉන්නේ. හැබැයි මම පිටත ලෝකයේ ජීවත් වෙනවා කියා පිළිතුරු දෙනවා." ක්‍රිස්තුස්වහන්සේ සමග විවාහ ගිවිසගැනීම සංකේතවත් කිරීමට අදාළ කාන්තාවට මංගල මුදුවක් ද පළඳවයි ඇය එක්සත් ජනපදයේ දැනට සිටින "ක්‍රිස්තුන්වහන්සේගේ මනාලියන්" 254 දෙනා අතරින් කෙනෙකු බව ඇමරිකා එක්සත් ජනපදයේ කැප වූ කන්‍යාවියන්ගේ සංගමය පවසයි. හෙදියන්, මනෝවිද්‍යාඥවරියන්, ගණකාධිකාරීවරියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම කාන්තා ගිනි නිවන භටයන් ද මෙම කණ්ඩායමට ඇතුළත් වේ. ලෝකය පුරා කැප වූ කන්‍යාවන් හාරදහසක් පමණ සිටින බව 2015 දී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. කැප වූ කන්‍යාවක වීම සඳහා කතෝලික සභාව සමග බැඳීම ඇතිකරගැනීම පිණිස "ලෝකය පුරා විවිධ සංස්කෘතිවලට අයත් පුද්ගලයන්ගේ හදිසි උනන්දුවක්" දකින්නට ලැබෙන බව වතිකානය පවසයි. කන්‍යා සොහොයුරියන් මෙන් කැප වූ කන්‍යාවන් සමාජයෙන් වෙන් වී ජීවත් වන්නේ හෝ වෙනස් ඇඳුමක් ඇඟලා ගන්නේ නැත. ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස රැකියා කරමින් ලෞකික ජීවිතයක් ගත කරති. නමුත් පුරුෂයන් සම්බන්ධයෙන් කතෝක සභාව තුළ මෙවැනි ක්‍රියාවලියක් නොපවතී. "මම අවුරුදු 18ක් ගුරුවරියක් විදියට සේවය කරනවා. මම දිගටම ඒ පාසලේම උගන්වනවා. ඒකෙ වෙනසක් වෙන්නේ නැහැ," එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රදේශයේ වාසය කරන ජෙසිකා හේයස් පැවසීය. "මම කැප වූ කන්‍යාවක් වෙන්න කලින් තේරුම් ගත්තා කන්‍යා සොහොයුරියක් සමාජයේ ජීවත් වන විදියට ඉන්න අවශ්‍ය නැහැ කියලා." අල්තාරය මත යාඥා කරන මනාලිය ඉගැන්වීම් කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවල ඇය වැඩිපුර කාලය යොදවන්නේ පෞද්ගලික යාඥා සහ ඇදහිලි සඳහාය. ඇය සභාවේ රදගුරුවරයෙකු සමග නිරන්තරයෙන් සම්බන්ධ විය යුතු අතර, සිය ආගමික අනුශාසක සමග රැස්වීම් පැවැත්විය යුතුය. "මගේ නිවසේ ඉඳන් සැතපුම් දෙකක් දුරින් තිබෙන දේවස්ථානයකටයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ යහළුවන්ට සහ ඥාතීන්ට ඕනෑම අවස්ථාවක උදව් කරන්න මම ලැහැස්ති වෙලා ඉන්නේ. ඒ වගේම මම ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරනවා. දවසම මම මිනිස්සු සමග ගතකරන්නේ. නමුත්, ඒ මොන දේ තිබුණත් මම ස්වාමීන්වහන්සේ වෙනුවෙන් ඒ අදාළ විශේෂ කටයුතු සිදුකරනවා." ඇය මින් පෙර ප්‍රේම සම්බන්ධතා පවත්වා ඇති නමුත්, ඒ කිසිවකින් ඇය සම්පූර්ණ යැයි නොහැඟුණ බව පැවසීය. "මට හිතුණේ මම විවාහ ජීවිතයකට ඇතුළත් වුණා කියලා. ඒක සාමාන්‍ය මනුස්සයෙකුට එන හැඟීමක්. ඒක නිසා මමත් සම්බන්ධතා පැවැත්වූවා .... හැබැයි කවදාවත් බරපතළ සම්බන්ධතා තිබිලා නැහැ," ජෙසිකා හේයස් පැවසුවාය. මේ තොරතුරුද දැනගන්න: 'ස්ථීර කැපකිරීමක්' ඈත අතීතයේ ක්‍රිස්තියානි සමයේ සිට කන්‍යාවෝ සභාවේ කොටසක් වී සිටිති. එමෙන්ම, පළමු සියවස් තුනේදී බොහෝ දෙනෙකු ආගමට ඇති කැපවීම නිසා මිය ගියහ. රෝමයේ ජීවත් වූ ඇග්නස් ඒ අතරින් කෙනෙකි. ආගමට ඇති ලැදියාව නිසාම ඇය ඝාතනය වූ බව වාර්තා වේ. සිය කන්‍යාභාවය රැකගැනීමට කළ සටනේ දී ඇග්නස් ඝාතනය වූ බව වාර්තා වේ ආශ්‍රම ඇසුරේ ගෙවන ආගමික ජීවිතය ගැන උනන්දුව වැඩි වීමත් සමග මධ්‍යම යුගයේ දී පෙර පැවති ක්‍රියාකාරකම් වෙනස් විය. දේවස්ථානයේ වාසය කරන කාන්තාවකගේ කන්‍යාභාවය ගැන තීරණය ඇය සතුවන බව 1971 දී වතිකානය නිකුත් කළ 'Ordo consecrationis virginum' නම් ලේඛනයේ සඳහන් වේ. සිය ආගමික අනුශාසක හමු වී "නිවැරදි ප්‍රශ්නය අසන තුරු" ජෙසිකා හේයස් කැප වූ කන්‍යාවක් වීමට සිතා නොසිටි බව පැවසුවාය. 2013 දී තීරණයකට එළඹි ඇය, වසර දෙකකට පසු 36 වැනි වියට එළඹෙද්දී කැප වූ කන්‍යාවක් බවට පත් වූවාය. "මට ඉස්සර තිබුණා වගේම වගකීම් බොහොමයක් ඉටු කරන්න තිබුණත්, මෙය යම්කිසි වෙනසක්. මොකද ස්වාමීන්වහන්සේ මගේ සහකරු වශයෙන් සිටීම යහළුවෙකු විදියට ඉන්නවාට වඩා සම්පූර්ණයෙන් වෙනස්." "මගේ යහළුවන්, පවුලේ අය සහ මගේ සිසුන්ද මේ උත්සවයට පැමිණ සිටියා" ලිංගිකත්වය මත පදනම් වී ඇති සමාජයක, කන්‍යාවක් වශයෙන් දිවි ගෙවීම අභියෝගයක් විය හැකිය. ඔවුන් දිවි තිබෙන තුරු සම්පූර්ණයෙන් කායික සම්බන්ධතාවලින් වැළකී සිටිය යුතුය. "මම හිතන්නේ අමාරුම දේ තමයි අන් අය අපි ගැන වැරදියට හිතන එක සහ අපේ තීරණය සංස්කෘතියට පටහැණියි කියා දකින එක," ජෙසිකා හේයස් පැවසීය. "මට ගොඩක් තේරෙනවා. ඒ කියන්නේ ඔයා තනි වුණ කාන්තාවක්." වැනි දේ සමහරු මගෙන් අහනවා. ඒ වෙලාවට මම පැහැදිලි කරනවා මගේ ප්‍රධාන සම්බන්ධය ස්වාමීන්වහන්සේ සමග සහ මගේ ශරීරය මම ඔහුට දීලා තිබෙන්නේ කියලා." ශාරීරික කන්‍යාවන්? පසුගිය ජූලි මස කැප වූ කන්‍යාවන් සම්බන්ධයෙන් නව නිර්දේශ මාලාවක් හඳුන්වා දීමට වතිකානය පියවර ගත්තේය. කෙසේ වුවත්, කැප වූ කන්‍යාවන් බවට පත්වන උත්සවය දක්වා කාන්තාවක සිය කන්‍යාභාවය රැක ගත යුතුද යන්න සම්බන්ධයෙන් නිශ්චිත උපදෙසක් නැත. "Ecclesia Sponsae Imago" නම් වතිකානුවෙන් නිකුත් කළ ලේඛනය කන්‍යා සොහොයුරියන් ආගමික දිවියකට ඇතුළු වන දින සිට සංයමයකින් යුතුව කටයුතු කරන බවට පොරොන්දු වේ. නමුත් ක්‍රිස්තුන්වහන්සේගේ මනාලියන් දිවි තිබෙන තුරු කන්‍යාවන් ලෙස සිටීම බලාපොරොත්තු වේ. වතිකානයෙන් නිකුත් කළ නිර්දේශ මාලාවේ 88 වෙනි වගන්තියට අනුව "ඇයගේ සිරුර සංයමයකින් යුතුව තබා ගැනීම හෝ නිර්මල ආදර්ශමත් චරිතයක් වීම වැදගත්" යැයි සඳහන් වී ඇතත්, එය "අත්‍යවශ්‍ය" කාරණයක් ලෙස දක්වා නොමැත. වෙනත් ආකාරයකට පවසන්නේ නම්, කන්‍යාවක් වීම තවදුරටත් අත්‍යවශ්‍ය කරුණක් නොවන්නේය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙම නිර්දේශ ගැන තමන් "කනගාටුවට පත් වෙන," බව ඇමරිකා එක්සත් ජනපදයේ කැප වූ කන්‍යාවියන්ගේ සංගමය පවසයි. "කැප වූ කන්‍යා ජීවිතයකට ඇතුළු වීමට ශාරීරික ලෙස කන්‍යාවක් වීම තවදුරටත් වැදගත් නැහැ කියා මව් පල්ලියෙන් පැවසීම ගැන ඇත්තෙන්ම අපි කම්පනයට පත් වුණා," යනුවෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී තිබිණි. නිර්දේශ සහිත ලේඛනයේ "වැඩිදුර පැහැදිලි කිරීම්" අවශ්‍ය බව පවසන ජෙසිකා හේයස්, කෙසේ හෝ කැප වූ කන්‍යාවන් ගැන කතෝලික සභාවේ අවධානය යොමු වීම ගැන සතුටු වන බව ද පැවසීය. "කොහොම වුණත්, ලේඛනයේ සඳහන් වෙනවා ඉල්ලුම්කරුවන් විවාහ වී සිටි අය වෙන්න බැහැ වගේම සමාජයෙන් හෝ වෙනත් බරපතළ ලෙස සිය නිර්මලත්වයට කැළලක් ඇති වී තිබෙන්න බැහැ කියලා," ඇය පැවසුවාය. මෙයින් බලාපොරොත්තු වන්නේ කතෝලික කාන්තාවන් සභාව සමග ඇති බැඳීම වැඩි කර ගැනීම බව ඇය අවසාන වශයෙන් සඳහන් කළාය. "සභාව සමග බැඳීම් වැඩිවෙමින් තිබෙනවා, එයට හේතුව දෙවියන් වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවුණ පිරිසක් අවශ්‍ය වීමයි. සභාවට දැන් ඕනෙ වෙලා තිබෙන්නේ ඒකයි."
මෙතෙක් හඳුනා නොගත් මහාද්වීපයක් සොයාගත් බවට පර්යේෂකයන් කණ්ඩායමක් විශ්වාසය පළකරති.
තමන් සොයාගන්නා ලදැයි පවසන අලුත් මහාද්වීපය එම පර්යේෂකයන් විසින් නම්කරනු ලැබ තිබෙන්නේ 'සීලන්ඩියා'(Zealandia) යනුවෙනි. නවසීලන්තය සහ කැලිඩෝනියා දූපත් සමූහය හැරුණ විට මෙම අලුත් මහාද්වීපයට ඇතුළත් කෙරෙන භූමියෙන් වැඩිකොටස මුහුදු ජලයෙන් යට වී ඇත. පර්යේෂකයින් විසින් 'ජියෝලොගිකල් සොසයිටි ඔෆ් ඇමෙරිකා' ප්‍රකාශනයේ පළකර ඇති ලිපියකට අනුව, වර්ග කිලෝමීටර මිලියන පහක (වර්ග සැතපුම් මිලියන 1.9 ක්) වපසරියකින් යුතු 'සීලන්ඩියා' ඕස්ට්‍රේලියානු භූමියෙන් 2/3ක් පමණ වේ. කෙසේවුවද, මහාද්වීපයක් වීමට අවශ්‍ය සියලු භෞතික ලක්ෂණ එම භූමිය සතු බව අදාළ පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන්ගේ අදහසයි. එම භූමිය ඒ අවට ප්‍රදේශයට වඩා ඉහළ මට්ටමක පවතින අතර සුවිශේෂී භූ විද්‍යාත්මක ලක්ෂණ ඊට අයත්වන බව ද එම විද්‍යාඥයෝ පවසති. මහාද්වීප නිලමට්ටමින් පිළිගන්නා විද්‍යාත්මක ආයතනයක් නොමැත. එම තත්වය යටතේ ඉදිරි පර්යේෂණ සමගින්, 'සීලන්ඩියා'මහාද්වීපයක් ලෙස පිළිගැනීමට යම් කාලයක් ගතවනු ඇතැයි සැළකේ.
සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැක සංකා මතු වූ අවස්ථාවල ඒ පිළිබඳව සොයා බැලීම සිය ඒකකයේ කාර්ය භාරය බව සඳහන් කරන දූෂණ විරෝධී ඒකකය භාර අයිසීසී කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall), ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයේ කොටසක් වශයෙන් සිය කණ්ඩායම විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ද පවසයි. අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් එයට වඩා විස්තර හෙළි කළ නොහැකි බව පවසන ජගත් පාලක මණ්ඩලය, සිය පරීක්ෂණයට අදාළ විය හැකි කිසියම් හෝ තොරතුරක් වේ නම් contactacu@icc-cricket.com ඊමේල් ලිපිනය මාර්ගයෙන් තමන් වෙත යොමු කරන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති කොමිසමක් මේ අතර ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජික සහ කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝදය වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මෑතදී මුහුණ දී සිටින වාතාවරණය පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ප්‍රමෝදය වික්‍රමසිංහ එම ඉල්ලීම කරන්නේ සිය ප්‍රකාශයක් පදනම් කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙත පසුගියදා යවනු ලැබූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම "අස්වාභාවික ලෙස තරග පරාජය" වන බව සහ තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවට පසුගිය සැප්තැම්බර් 08 වෙනි දින රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රමෝදය වික්‍රමසිංහ පවසා තිබුණි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ, එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන එවැනි පරීක්ෂණයකදී ලැදියාවන් අතර ගැටීමක් මතු වන බැවින්, ක්‍රිකට් ක්ෂේත්‍රයට අදාළ සියලු චෝදනා පරීක්ෂා කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කළ යුතුය යන්න ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ යෝජනාවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම සහ දූෂණ, වංචා චෝදනා පිළිබඳව අමාත්‍ය අර්ජුන රණතුංග සහ හිටපු නායක කුමාර් සංගක්කාර අතර පසුගියදා ප්‍රසිද්ධ වාග් සංග්‍රාමයක් ද හටගත්තේය. මේ අතර දේශීය තරගාවලියක් අතරදී තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ පරීක්ෂණයේ නිගමන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය 16 වෙනි දින ප්‍රකාශයට පත් කළේය.
ගොවියන්ගේ ගැටළු විසඳන බවටත් ඔවුන්ගේ ණය වාරික ගෙවීම ලබන වසර දක්වා කල් දමන බවටත් ජනාධිපතිවරයා දුන් පොරොන්දු තවමත් ඉටුවී නැතැයි උතුරු මැද පළාතේ ගොවි, ගෙවිලියෝ චෝදනා කරති.
'වන්දි මුදලක් වත් කිසිම ආධාරයක් රජයෙන් ලැබිල නෑ. කලා වැවේ වතුර සීයට අසූවක් දෙනවා කිවුව ඒත් මුර දෙකක් වෙනකොට අපේ වතුර ඉවරයි' ගොවියන් මේ චෝදනාව එල්ල කළේ හිඟුරක්ගොඩ නගරයේ පැවති ගොවි උද්ඝෝෂණයකදී. උතුරු මැද පළාතේ ගොවි සංවිධාන 13 අයත් ගොවි ගෙවිලියෝ දහසකට අධික පිරිසක් "ධරණීය කෘෂිකාර්ම සංවර්ධනයක් උදෙසා උතුරු මැද පළාත් ජනතා එකමුතුවේ" උද්ඝෝෂණයට එක්ව සිටි බවයි, තක්ෂිලා දිල්රුක්ෂි බීබීසී සංදේශයට වාර්තා කරන්නේ. "අපේ වී වලට නිශ්චිත මිලක් ලබා දිය යුතුයි. රුපියල් 40 ක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි එහෙම නැත්නම් ගොවියා ජීවත් වෙන්නේ නෑ," බවයි, එක ගොවියෙක් කියා සිටියේ. පසුගිය මාස කිහිපයේ නියඟයට ගොදුරුව වගාව විනාශ වූ ගොවියන්ට සිය බිරින්දා වරුන්ගේ කනකර ආභරණ පවා උගස් තැබීමට සිදු වී ඇති බවත්, දැන් එම ආභරණ බැංකුවට සින්න වීමට යන බවත් ඔහු පැවසීය. 'ආභරණ වෙන්දේසි කරනවා' "මේවා හැමදාම වෙන්දේසි කරනවා. මේ වෙන්දේසි කිරීම වහාම නවත්වල ලබන කන්නය දක්වා බැංකුවලින් කල් දිය යුතුයි," යන්න ගොවි ගෙවිලියන්ගේ තවත් ඉල්ලීමක්. 'නියං සහනාධාර දෙනවා කියල, දවසකට රුපියල් 500 ක් අපිට වැඩ කරන්න කිවුවා. එත් අද වෙනකම් කිසිම දෙයක් නෑ' නියඟයට ගොදුරුව කුඹුරු පාලු වීම නිසා තමන් දැන් ජීවත්වීමේ අරගලයක නිරතව සිටින බවයි, උද්ඝෝෂණයට එක්ව සිටි ගෙවිලියක සඳහන් කළාය. "අපිට වන්දි මුදලක්වත් කිසිම ආධාරයක් රජයෙන් ලැබිල නෑ. අපිට රජයෙන් දෙනවා කිවුවට දෙන්නේ නෑ කලා වැවේ වතුර සීයට අසූවක් දෙනවා කිවුව එත් සීයට අසූව ලැබුනේ නෑ මුර දෙකක් වෙනකොට අපේ වතුර ඉවරයි," ඇය තවදුරටත් සඳහන් කළාය. ගොවියන්ට වන්දි ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා තම ප්‍රදේශට පැමිණ ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු වී නැති බව පෙන්වා දෙන ගොවි නායකයෝ, ජනාධිපතිතුමාගේ ප්‍රතිඥාවෙන් අනතුරුව තමන් බැංකුවලට ගොස් විමසූ විට එවැනි ලිඛිත නියෝගයක් ලැබී නැති බව බැංකු බලධාරීන් පවසන බව ද පවසති. "නියං සහනාධාර දෙනවා කියල, දවසකට රුපියල් 500 ක් අපිට වැඩ කරන්න කිවුවා. එත් අද වෙනකම් කිසිම දෙයක් නෑ," තවත් ගෙවිලියකගේ චෝදනාවයි, ඒ. ජීවිතය ගැට ගසා ගත නොහැකිව වස බී මිය යන ගොවියන් පිළිබඳව මරණ පරීක්ෂණ වලදී වෙනත් ආකාරයකට වාර්තා කරන බව ගොවි නායකයන් එල්ල කරන තවත් චෝදනාවක්. වගා හානි වලින් පීඩාවට පත් වන ගොවීන් වසබී මියයාමට හේතුව රජය විසින් පරීක්ෂණයක් පවත්වා රටට හෙළි කළ යුතු යයි ද උතුරු මැද පළාතේ ගොවි නායකයෝ ඉල්ලා සිටිති. සබැඳි තේමා
2015 ජනවාරි 08 වෙනිදා යහපාලන ආණ්ඩුව පත්කර ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලන රික්තයක් ගොඩනැගුන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයා "මම දකින විදියට අපිත් හවුල්කාරයෝ වෙච්ච 2015 ජනවාරි අට වෙනිදා ජනමතය විසින් ගොඩනගපු ආණ්ඩුව විසින් අවුරුදු පහකට මේ අරාජිකත්වය ගෙනල්ලා තියෙනවා. ඒක එක මාසයකට හෝ යුගයකට ලඝු කරන්න බැහැ. ඒ ක්‍රියාවලිය මගින් අපි ආරම්භයේදී නොදැක්ක විශාල දේශපාලන රික්තයක් ගොඩනැගිල තියෙනවා," යයි කියා සිටියේය. එක් පැත්තකින් පාර්ලිමේන්තු බලයක් රහිත ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමත්, දෙවනුව ඒ පාර්ලිමේන්තු බලය ලබාගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටලුත් හේතුවෙන් එම රික්තය ඇතිවූ බව ශිරාල් ලක්තිලකගේ අදහස වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා එම අදහස් පළ කළේ, රහස් ඔත්තු අංශ විසින් බොහෝ අනතුරු අඟවා තිබියදීත්, පාස්කු ඉරිදා ප්‍රහාර වලක්වා ගැනීමට අපොහොසත් වූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත එල්ලවන චෝදනා පිළිබඳ බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිනි. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම තමාට දැනුම් දී නොතිබුණ බව ජනාධිපතිවරයා කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත. තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය මගින් තව ව්‍යවස්ථාමය අරාජිකත්වයක් නිර්මාණය කරලා තියෙනවා. සමස්ථයක් ලෙස 2015 ජනවාරි අට වෙනිදා වෙනසට උර දුන්න සියලුදෙනාට පිළිගන්න වෙනවා - මේ අප විසින් කරගන්නා ලද දේවල් ම බව," යනුවෙන් ද කියා සිටියේය. ඔක්තෝබර් බල අරගලය: පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධූරයට පත් කළ නමුත් දින පනහකට (50) පසු යළිත් වරක් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. කෙසේ නමුත් එවක් පටන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අගමැතිවරයා කැඳවා නොමැත. ඒ බව අගමැතිවරයා හෙළි කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවය. ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක කියා සිටියේ "අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට නොකැඳවීම ජනාධිපතිවරයාගේ අභිමතයක්" බවය. පාස්කු ඉරුදින ප්‍රහාර ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුනි 06) කරුණු දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එම ප්‍රහාරය සිදුවූ දින රාත්‍රියේ අගමැතිවරයා විසින් කැඳවන ලද ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි නොවන ලෙස ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව හෙළිකළේය. පූජිත් ජයසුන්දරගේ හෙළිදරව්ව: එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ඉන්පෙර කරුණු දැක්වූ දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර "පසුගිය වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්ථාන මාරු කර යවන මෙන් ජනාධිපතිවරයා දැනුම් දුන් නමුත් එය ඉටු නොකළ බැවින් තමාට ආරක්ෂක කවුන්සිල රැස්වීම් සඳහා කැඳවීමක් නොකළ" බව කියා සිටියේය. 2008 වසරේදී තරුණයින් එකොළොස් (11) දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ පරීක්ෂණ පවත්වනු ලබන්නේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසිනි. ඔහු මාරු කර යැවීමට සම්බන්ධ වූ බවට එල්ල වූ චෝදනාව ජනාධිපතිවරයා වරක් ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දුන් නීතිඥ ලක්තිලක, 19 වෙනි සංශෝධනය හඳුන්වාදීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට පවා "පොලිසියට ඇඟිලි ගැසිය නොහැකි බව" කියා සිටියේය. "අපි හිතමු - ඔබ කියපු පොලිස් නිලධාරියා ස්ථාන මාරු කරන්න උත්සහ කළා කියලා ඒක සිදුවුණේ නැහැ. ඒ තරමට පොලිස් කොමිසම මගින් පොලිසිය ආවරණය කරලා තියෙනවා. ඒ නිසා පොලිසියේ කටයුතු වලට ජනාධිපති අත දානවා කියන එක තාර්කිකව පිළිගන්න බැහැ." ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි. බ්‍රහස්පතින්දා (ජුනි 06) සහ අඟහරුවාදා (ජුනි 04) දිනවල පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ හෙළි වූ කරුණු ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත. 'ජනපති ඝාතන කුමන්ත්‍රණය' ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පාර්ලිමේන්තු කමිටුව හමුවේ අදහස් දක්වමින්,ජුනි 4 වෙනිදා තමා අත්අඩංගුවට ගන්නා විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ කණ්ඩායම මෙහෙය වූ පුද්ගලයා ලෙස සැකකෙරෙන හෂීම් සහරාන් ගැන වසර කිහිපයක සිට සෙවිල්ලෙන් සිටි බව සඳහන් කළේය. ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන පෙළේ පුද්ගලයින් කීප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් 2018 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පසුගිය මැයි මාසයේ ඇප මත නිදහස් කෙරිණ. "තවමත් එම කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ පරීක්ෂණ සිදු කළ යුත්තේ රේඛීයව. එහෙම නැත්නම් ඊට සම්බන්ධ වෙච්ච සමාජ ආර්ථික තොරතුරු එකතු කරගෙන. අපරාධමය ස්වරූපයකින් මේ පරීක්ෂණ කළොත් ඒක සොයා ගන්න බැරි වෙනවා. මං හිතන්නේ නෑ පොලිස් දෙපාර්තමේන්තුවේ අවසාන වරට නාලක සිල්වා සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු වාර්තාවට පෙර වාර්තාව බැලුවොත් එම පරීක්ෂණයේ යම් කිසි දෙවරක් සිතා බැලිය යුතු කරුණු තියෙනවා. ඒක සහරන්ගේ ත්‍රස්තවාදී හෝ වෙනත් කටයුත්තකට බාධා වුනාද නැද්ද කියන එක අන්න ඒ අනුව හොයල බලන්න ඕන" ශිරාල් ලක්තිලක පැවසීය. නාලක සිල්වා නොමැති වුවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහරාන් ගැන පරීක්ෂණ ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පෙන්වා දෙයි. "ඔහුම එම ප්‍රශ්නයට උත්තර දුන්නා - මම නොහිටියට එම ආයතනය එය කළ යුතුව තිබුණාය කියන එක. ඉතින් ඒක මග ඇරුණේ කොහොමද කියන එක වෙනම ම සොයා බලන්න ඕන කාරණයක්" ආරක්ෂක මණ්ඩල රැස්වීම: ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම් කැඳවීම් නිසියාකාරව සිදුවී නොමැති බව පාර්ලිමේන්තු කමිටුව හමුවේ හෙළිවූ තවත් කරුණකි. පාස්කු ඉරුදින ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මිය ගියහ. "මේ ජනාධිපතිවරයා යටතේ පමණක් නොවෙයි - ඊට කලින් ජනාධිපතිවරයා යටතේත්, ඊටත් කලින් ජනාධිපතිවරයා යටතේත් මේවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ පදනම් ලියවිල්ලක් නොමැතිව. එතකොට අභිමතය පරිදි තමයි බොහෝ දේ සිදු වෙලා තියෙන්නේ. එතකොට ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් කරන්නේ කවදාද කියලා කොහෙවත් නීතියක් නැහැ. ඒ වගේම ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් අර සිසිර මෙන්ඩිස් ප්‍රධානත්වය දරන ආයතනයට නියෝග නිකුත් කරන්නේ කොහොමද? ඒ ආයතනය ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නියෝග නිකුත් කරන්නේ කොහොමද?කියන එක පිළිබඳව දැනට තිබෙන්නේ යම්කිසි අඳුරු ස්වරූපයක්. මේ පිළිබඳව එම කමිටුව විසින් පරීක්ෂා කරලා පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයන් විසින් මේ දැනුම ලබා දෙන එක හොඳයි " නීතිඥ ශිරාල් ලක්තිලක ඊට ප්‍රතිචාරය දක්වමින් සඳහන් කළේය. වගකීම: නීතිය හා සාමය මෙන්ම ආරක්ෂාව භාර අමාත්‍යවරයා ලෙස සහ රටේ සේනාධිනායකයා ලෙසත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාර වළකාගත නොහැකි වීමේ අවසාන වගකීම ජනාධිපතිවරයා සතු නොවේ දැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක පැවසුවේ, "වගකීම පිළිබඳ මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා - මේ වගකීම් බෙදා හැරෙන්නේ කොහොමද කියලා?" යනුවෙනි. "කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂක ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. ඊට පස්සේ ඒ ආයතන ඒ පුද්ගලයන් අත මේ වගකීම බෙදා හැරීම් සිදුවෙනවා ඒ තොරතුරේ තියෙන ස්වභාවය අනුව. අන්න ඒක තාම සොයාගෙන නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය මෑතක දී පළ කළ ඡායාරූපයක සිටින එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනාගෙන් එක් අයෙකු තම දියණිය බව මුලතිව්හි පියෙක් පවසයි.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසන පරිදි මෙහි සිටින්නේ එල්ටීටීඊ නිවේදිකාවක වන ඉසයිප්‍රියා (වමේ) සහ උෂාලිනි (දකුණේ) - ඡායාරූපයේ සත්‍යතාව බීබීසීයට තහවුරු වී නැත. එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වී පස් වසර සැමරෙද්දී බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ඡායාරූප කිහිපයක් පළ කරමින් කියා සිටින්නේ එම ඡායාරූපවල දැක්වෙන එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනා ශ්‍රී ලංකා හමුදාව විසින් පණ පිටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දමා ඇති බවයි. මෙම ඡායාරූප අතර කාන්තාවන් දෙදෙනෙකු එකට සිටින ඡායාරූපයක් ඇති අතර ඉන් එක් අයෙකු එල්ටීටීඊ රුපවාහිනී නිවේදිකාවක් වන ඉසයිප්‍රියා බව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසයි. 'මගේ දුව' බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසන පරිදි මෙහි සිටින්නේ එල්ටීටීඊ නිවේදිකාවක වන ඉසයිප්‍රියා - ඡායාරූපයේ සත්‍යතාව බීබීසීයට තහවුරු වී නැත. මෙම ඡායාරූපවල සත්‍යතාව තවමත් තහවුරු වී නැති නමුත් උෂාලිනි බව පැවසෙන එහි සිටින අනෙක් එල්ටීටීඊ සාමාජිකාව තම දියණිය බවට හඳුනා ගත් බවයි මුලතිව් හි කේ ගුනලිංගම් පවසන්නේ. සෑම පවුලකින්ම එක් අයෙකු එල්ටීටීඊ සංවිධානයට භාර දිය යුතු බවට එල්ටීටීඊ සංවිධානය නියෝග කිරීමෙන් අනතුරුව සිය දියණියට එම සංවිධානයට බැඳීමට සිදු වූ බව කේ ගුනලිංගම් ප්‍රකාශ කළේය. මේ පිළිබඳව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරියගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ ‘අද පවතින තාක්‍ෂණය සමඟ මෙම ඡායාරූප කුමන ආකාරයේ ඒවාද යන්න එකවර නිගමනයකට පැමිණිය නොහැකි’ බවයි. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම මෙම ඡායාරූප පිළිබඳව පරීක්ෂා කරනු ඇති බව ද හමුදා ප්‍රකාශක තවදුරටත් කියා සිටියේය. ‘එවකට ත්‍රස්තවාදීන්ව සිටි දොළොස් දහසකට අධික තරුණ පිරිසක් හමුදා භාරයට පත් වුනා. ඒ අයට කිසිම හානියක් නොකොට පුනරුත්ථාපනය කර මේ වන විට සමාජ ගත කර හමාරයි. ඒ අයට උදව් කළ හමුදාව යුද අපරාධ නොකළ බව දෙමළ ජනතාව තරම් හොඳින් දන්නා වෙනත් කවුරුත් නැහැ.’ බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියා සිටියේය. කෙසේ වෙතත් මෙම ඡායාරූපවල අව්‍යාජත්වය බීබීසීයට තවම තහවුරු වී නැත.
අනාචාරයේ හැසිරීම,දික්කසාද වූ කාන්තාවකට සිය සැමියාගෙන් නඩත්තු මුදල් ඉල්ලා සිටීමේ අයිතිය අහිමි කරන සාධකයක් බව දකුණු ඉන්දියාවේ අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.
ඉන්දියාවේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසන්නේ මෙම තීන්දුව අදාළ නඩුවේ කරුණු හා සසඳන විට නෛතික වශයෙන් සාධාරණීකරණය කළ හැකි නමුත් විනිශ්චය ප්‍රකාශ කිරීමට යොදා ගෙන තිබෙන භාෂාව අනුමත කළ නොහැකි බවයි. විනිසුරු නාගමුත්තු සිය තීන්දුවේ ප්‍රකාශ කර තිබෙන්නේ කාන්තාවක් සිය හිටපු සැමියාගෙන් නඩත්තු මුදල් ලබා ගැනීමට නම් දික්කසාදයෙන් පසුව බ්‍රහ්මචාරී ලෙස හැසිරිය යුතු බවයි. ඉන්දියානු පවුල් නීතියට අනුව කාන්තාවක් අනාචාරයේ හැසිරීමෙන් දිකසාදය තීන්දු වෙයි නම් ඇයට සිය හිටපු සැමියාගෙන් නඩත්තු ලබා ගැනීමට හැකියාවක් නැත. බ්‍රහ්මචාරී දිවියක් මෙම තීන්දුවට අදාළ නඩුවේ පවුල් අධිකරණය විසින් දික්කසාදය තීන්දු කර තිබුනේ කාන්තාව අනාචාරයේ හැසිරීම යන හේතුව මත බැවින් එම කාන්තාවට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීම ඉන්දියාවේ නීතියට අනුව නිවැරදි තීන්දුවකි. කෙසේ වෙතත් විනිසුරු වරයා විසින් ඇයට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව පමණක් නොව කාන්තාවක් සිය දික්කසාදයෙන් පසු බ්‍රහ්මචාරී දිවියක් ගත නොකරන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කිරීම විවේචනයට ලක්ව තිබේ. මෙම තීන්දුව ඉදිරි දික්කසාද නඩු වලටද බලපාන අතර විනිසුරුවරයා විසින් කරන ලද ප්‍රකාශය ඉදිරි නඩු වලදී විනිසුරුවරයන් පදනමක් ලෙස යොදා ගැනීම තුලින් සැමියාගේ වැරදි මත දික්කසාද වන කාන්තාවකට පවා සිය සැමියාගෙන් නඩත්තු ලබා ගැනීමට නම් සිය ජීවිතයට තනිව මුහුණ දෙමින් බ්‍රහ්මචාරී දිවියක් ගත කිරීමට නෛතිකව කෙරෙන බලපෑම සාධාරණ නොවන බවයි ක්‍රියාධරයෝ පෙන්වා දෙන්නේ. විනිසුරු නාගමුත්තු සිය තීන්දුවේ වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ දික්කසාදයකින් පසු විවාහය තුල සිය සැමියා වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ ආකාරයෙන්ම හිටපු සැමියාගෙන් පසු වෙනත් කිසිදු පුද්ගලයෙකු හා ලිංගිකව හැසිරෙන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බවයි. නඩත්තු ලබා ගන්නා අතරතුර දී ඇය විසින් තවත් පිරිමියෙකු හා ලිංගික සම්බන්ධතාවක් පැවැත්වුවොත් එය ඇයගේ නඩත්තු මුදල් ගෙවීම අත්හිටවීමට හේතුවක් වනු ඇති බවයි විනිසුරුවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසන්නේ මෙම නඩු තීන්දුව ඉතා බියජනක තත්වයක් ඇති කරන අසාධාරණ අනතුරු ඇගවීමක් බවයි.
එල්ටීටීඊය විසින් පැහැර ගත් බව පැවසෙන දකුණු පළාතේ ධීවරයන් සම්බන්ධයෙන් සත්‍යය දැන ගැනීම ඔවුන්ගේ ඥාතීන්ගේ අපේක්ෂාව බව සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.
සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ දකුණු පළාත් කලාපීය කාර්ය සාධක බලකාය ඉරිදා දෙවිනුවරදී රැස් විය. යුද සමය තුළ ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේදී අතුරුදහන් වූ දකුණේ ධීවරයන්ගේ ඥාතීන් ඒ ඉදිරියේ සිය අදහස් දැක්වූ බවයි දකුණු කලාපීය කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් බීබීසී සංදේශයට කියා සිටියේ. "මොවුන් එල්ටීටීඊය විසින් පැහැර ගත් බව රජය කියනවා. නමුත් ඇත්තටම මොකක්ද සිදු වුනේ කියන කාරණය දැන ගැනීමට ඔවුන් කැමතියි," ඔහු පැවසීය. "සත්‍යය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔවුන් ප්‍රකාශ කළා." යුක්තිය සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගනු වස් අතුරුදහන් වූ ධීවරයන්ගේ භාර්යාවන් සහ ඥාතීන් දකුණු පළාත් කලාපීය කාර්ය සාධක බලකාය හමුවට පැමිණි බවයි එහි සභාපතිවරයා කියා සිටියේ. "ඒ අතරින් සමහරෙකුට මරණ සහතික ලබා දී නැහැ. ඇතැම් අයට වන්දි ලබා දී තිබෙනවා. නමුත් ඇතැම් අයට වන්දි ලබා දී නැහැ." (සංදේශයට සවන්දෙන්න) ඥාතීන් සතු සාක්ෂිවලට අනුව ගතව ගිය දශක කිහිපය ඇතුලත දකුණු පළාතේ එකසිය හතළිහකට අධික ධීවරයන් පිරිසක් අතුරුදහන් වී ඇති බවයි ඔහු පවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ පිබිදීම සහ යුද සමයේ අතුරුදහන් වූ පිරිස්වල ඥාතීන් විවිධ අවස්ථාවල මහජන කමිටු ඉදිරියේ සිය අදහස් පළ කළත් අතුරුදහන් වූ ධීවරයන්ගේ පවුල් මහජන කමිටුවක් ඉදිරියේ සිය අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය බවත් ඔහු සඳහන් කළේය. භීෂණ සමයේ 1983 සහ 1989 භීෂණ සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් සෙනසුරාදා අදහස් විමසූ බවත් දකුණු කලාපීය කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් පැවසීය. යුද්ධය හේතුවෙන් මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අතුරුදහන් වූ සහ ආබාධිත තත්වයට පත් වූ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් අදහස් විමසීම සඳහා පිළිවෙලින් ජුලි 28 වැනි දින සහ 31 වැනි දින මහජන හමු පැවැත්වීමට නියමිත බවත් ඔහු කියා සිටියේය. පොදුවේ මහජන අදහස් විමසීම සඳහා දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන තුළ අගෝස්තු මාසයේ මහජන රැස්වීම් තුනක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් කලාපීය කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.
රජයට මැතිවරණයක් කරා යාමට අවශ්‍ය නම් පළමුව ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමෙන් පසු එම පියවර ගැනීමට බාධාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
මාදුළුවාවේ සෝභිත හිමි උන්වහන්සේ එම අදහස් පළ කළේ තවත් ආගමික නායකයන් ද සහභාගී වූ සාකච්ඡාවකදී. ‘නව රජය විසින් දෙන ලද ප්‍රධාන පොරොන්දු ඉටු කරනු ලැබීමෙන් තොරව පවත්වනු ලබන මහ මැතිවරණය විහිළුවක් බවයි’ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අදහස වන්නේ. තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ මහජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වන බවයි. ‘විධායක ජනාධිපති ක්‍රමයේ බරපතළ පීඩාවෙන් නිදහස් වීමට මහජනයා තුළ විශාල උවමනාවක් තිබුණා. එවැනි ඉල්ලීමක් තිබියදී දින සීයක් ඇතුළත එය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමෙන් ප්‍රතිඥාවක් ලැබුණා. දැන් දින හැටක් ම ගෙවිලා’ මාදුළුවාවේ සෝභිත හිමියෝ පෙන්වා දෙති. මැතිවරණ ක්‍රමය අනාගතයේ දී සිදු කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සමස්ත සමාජය දේශපාලනීයකරණය කිරීමට මුල් වූ මනාප ඡන්ද ක්‍රමයත් වෙනස් කරන ලෙසයි සෝභිත හිමියන් ඉල්ලා සිටින්නේ. ඉහත කී සාකච්ඡාවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ සාකච්ඡා කල් තබා ආරම්භ නොකෙරුණ බවයි. ඕමල්පේ සෝභිත හිමි ‘මේ පිළිබඳව සාකච්ඡා පටන් ගත්තෙත් ඊයේ. සාකච්ඡා පටන් ගත යුතුව තිබුනේ ජනවාරි මාසයේ මුල් සතියේ. දැන් කියනවා එම කාර්යය සඳහා කාලයක් ගත වෙන නිසා එය මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව. මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිව කියල තියෙනව -මෙය දින තිහක් වගේ කාලයක් ඇතුළත කරන්න පුළුවන් බව’ රතන හිමියෝ පවසති. දූෂකයන්ට දඬුවම් නැහැ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් මැතිවරණයකට යාම පිළිබඳව තමන්ගේ විරෝධයක් නැතැයි සඳහන් කළ අතුරලියේ රතන හිමියෝ, එහෙත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සහ ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරනු ලැබීමත් මහ මැතිවරණයට පෙර අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු බවයි අවධාරණයෙන් කියා සිටියේ. ‘එක් එක් අයගේ හඳහන් පත්‍ර අනුව නොව රටේ ජනතාවගේ හඳහන් අනුව කටයුතු කරන මෙන්’ ඉල්ලා සිටි අතුරලියේ රතන හිමියෝ මී ළඟ මහ මැතිවරණය මනාප ක්‍රමයෙන් තොර මැතිවරණයක් විය යුතු බවත් සඳහන් කළහ. අතුරලියේ රතන හිමි දිනසීයට සීමා වීම එම සාකච්ඡාවේ දී ජාතික හෙළ උරුමය නායක ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, මහජනයාගේ මූලික බලාපොරොත්තුව වූ දූෂණ වංචා හොරමැරකම් නතර කිරීම පමණක් නොව ඒවා සිදු කර ඇති අයට දඬුවම් දීමේ අපේක්ෂාවත් දැන් ගිලිහී යන ස්වරූපයක් දක්නට ලැබෙන බවයි. රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින්, අධිකරණය පවා නොමග යවමින් අක්‍රිය කෙරුණ ස්වාධීන කොමිසන් සභා බල ගන්වන ලෙස ඉල්ලීමක් කළේය. යහ පාලනය දිනසීයකට සීමා කිරීම තුළ එම වචන දෙක අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වී ඇති බවයි රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ.
යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇති නමුත් යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත් කාන්තාවන් හතළිස් දෙදහසකගේ ජීවන තත්වය ඉහළ ගොස් නොමැති බව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් පවසයි.
හතළිස් පස් වියැති එවින් සෙල්වි යාපනයේ වෙසෙන යුද වැන්දඹුවක් උතුරු පළාතේ පවතින නිලධාරි හිඟය, මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා අසරණභාවයට පත් ඉහත කී කාන්තාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට නොහැකි වී ඇති බවයි පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. වැන්දඹු කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට පළාත් සභාව තුළ මුදල් නොමැති බවත් මේ වසරේ එම කටයුතු සඳහා අවශ්‍යව තිබූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ලබා ගත්තේ උතුරු පළාත් සභාවට වාහන මිලට ගැනීමට තිබූ මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් ප්‍රතිපාදන නොලැබීමට අමතරව වැන්දඹු කාන්තාවන්ගේ ගැටළු පිළිබඳ සොයා බලා විසඳුම් ලබා දීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක්ද උතුරු පළාත් සභාව තුළ නොමැති බව කී සත්‍යලිංගම් පළාත් අමාත්‍යවරයා එවැනි නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමට මේ දක්වා පිළිතුරු නොමැති බවද කියා සිටියේය. යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට බවට පත්ව සිටින පිරිසෙන් බහුතරයක් ආබාධිත හෝ විකලාංග තත්ත්වයට පත්ව සිටින බැවින් ඔවුන්ට කවරෙකුගේ හෝ රැකවරණයක් ආධාරයක් අවශ්‍යව ඇති බව පෙන්වාදෙන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා නමුත් මෙම කාන්තාවන්ගෙන් බහුතරයක් හුදකලාව ජීවත් වන බවත් පැවසීය. කිසිදු ආදායමක් නොමැති යුද වැන්දඹුවන්ට ඇතැම් විට ජීවත් වීම පිණිස කුමන හෝ රැකියාවක් කිරීමට සිදුව ඇති වගද,බොහෝ විට පවුලේ සියලුම කටයුතු එම කාන්තාවන් අතින්ම සිදු වන බවද කී පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් මෙම තත්ත්වය ලබන වසරේදී හෝ වෙනස් කිරීමට උත්සහ ගත යුතු බවට රජයෙන් ඉල්ලීමක් කොට ඇතැයිද කියා සිටියේය.
උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතකු ලෙසින් පිළිනොගන්නා බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සිය කොමියුනිස්ට්වාදී සගයා සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි චීනයෙන් ඉල්ලා සිටියේය.
අසල්වැසි උතුරු කොරියාව පාලනය කර ගැනීම අතින් චීනයට විශාල ශක්තියක් ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි දකුණු කොරියාවේ සෝල් අගනුවර සංචාරයක නිරත වෙමින් කරුණු දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියාව විසින් එල්ල කරනු ලබන තර්ජන අනුමත කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, උතුරු කොරියාව විසින් එල්ල කරනු ඇතැයි පැවසෙන මිසයිල ප්‍රහාරයක තර්ජනය මගින් දැනටමත් අනතුරුදායක වාතාවරණයක් නිර්මාණය කොට ඇති බවත් කියා සිටියේය. හදිසි තත්වයකට පෙර සූදානමක් තම අසල්වැසි උතුරු කොරියාව පාලනය කර ගැනීම අතින් චීනයට විශාල ශක්තියක් ඇතැයි කියා සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කිරීමට චීනයට අවශ්‍ය වේනම් චීන පිළිවෙතේ දැඩි බවක් ඇති විය යුතුව ඇතැයි ද සඳහන් කළේය. මේ අතර චීනය, උතුරු කොරියානු දේශසීමාවේ පිහිටි නගරයකදී හදිසි තත්වයකට මුහුණ දීමේ පෙර සූදානමක් අත්හදා බැලුවේය. "හුන්චුන්" (Hunchun) නගරයේ ජනතාව උමං බංකරවල රැඳී සිටියදී,පොලිසිය සහ වෛද්‍ය කණ්ඩායම් වීදිවල සැරිසරමින් සිටි බවයි, චීන මාධ්‍ය වාර්තා කරන්නේ. චීන ප්‍රකාශකයෙක් ඉහත කී වැඩ සටහණ විස්තර කළේ, හදිසි විනාශකාරී තත්වයක් යටතේ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරුණ අත්හදා බැලීමක් හැටියටයි. එය ක්‍රියාවට නැංවුන "හුන්චුන්" (Hunchun) නගරය පිහිටා තිබෙන්නේ, චීන - උතුරු කොරියානු දේශසීමාවේ "තුමෙන්" (Tumen) ගඟට කිලෝමීටර් කීපයක් ඔබ්බෙන්. උතුරු කොරියානු අනාථයන් චීනයට ඇතුල් වීමට උපයෝගී කරගන්නේ, "තුමෙන්" ගංගාවයි. කොරියානු අර්ධද්වීපයේ ගැටුම්කාරී තත්වය උත්සන්න වෙමින් පවතින අතරවාරයේ, චීනය සිය දේශසීමාවෙහි යුද හමුදා තර කරමින් සිටින බවට දේශීය සහ විදේශීය මාධ්‍ය මගින් පළකෙරුණ වාර්තා බේජිං බලධාරීන් විසින් බැහැරකරනු ලැබයි තිබුනේ.
ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය සමග මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
අනතුරුව ඊට පාර්ලිමේන්තු අනුමැතිය ද ලබා ගැනීමට අදහස් කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ. මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් සංවර්ධන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදාන ලැබීමට නියමිතය. ඊට අදාළ යෝජනාවට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු බව මීට පෙර මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය. "මෙම සංවර්ධන ආධාර ප්‍රදානය අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය එක්සත් ජනපදය අගය කරයි," යනුවෙන් ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. නමුත් මෙම ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විවිධ පාර්ශව වෙතින් විරෝධය පළවෙමින් පවතී. ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී යෙදුණු උපවාසය බදාදා (නොවැම්බර් 06) අත්හැර දමන ලදි. උපවාසය අත්හරින ලෙස ඉල්ලා ජනාධිපතිධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීම් කර තිබු බවට වාර්තා පළ වේ. උඩුදුම්බර කාශ්‍යප හිමි මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධීනත්වය ට සහ ආර්ථික කටයුතුවලට බලපෑම් ඇතිවන බව පවසමින් 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානය ද බදාදා (නොවැම්බර් 06) කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලිපියක් බාර දුන්නේය. ලිපිය බාර දීමට පෙර එම සංවිධානයේ සාමාජිකයෝ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදුණහ. "MCC පිළිකාවක්" යනුවෙන් ද සමහර විරෝධතා පුවරුවල සඳහන් කර තිබුණි. එහෙත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යෝජිත ගිවිසුම මගින් ලැබෙන අරමුදල් නිසා අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 11ට පමණ ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව මෙම සහයෝගය ඉල්ලා සිටි බවය. යෝජිත ගිවිසුම මගින් ඉඩම් සහ ප්‍රවාහන යනුවෙන් ව්‍යාපෘති දෙකක් යෝජනා කර ඇත. ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් වෙන් කර ඇති අතර ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. "මෙම ප්‍රදානයෙන් සහය වන වැඩසටහන් මගින් රථවාහන තදබදය අවම කිරීම, කොළඹ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම, පළාත් මාර්ග වැඩිදියුණු කිරීම සහ ඉඩම් පරිපාලනය ක්‍රමවත් කිරීම සහ ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනට ආරම්භ කොට ඇති කටයුතු පුළුල් කරනු ඇත," යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ. මේ වන විට මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම, මුදල් අමාත්‍යාංශය විසින් සිය වෙබ් අඩවියෙහි පළ කරනු ලැබ ඇත. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ට බලපෑම් කෙරෙනු ඇතැයි එල්ලවන චෝදනාවට පිළිතුරු දෙමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ අදාළ ගිවිසුම මගින් එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය පැවරීමක් හෝ බදු දීමක් සිදු නොවනු ඇති බවය. මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුමේ සඳහන් වන්නේ, "ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති පවතින ඉඩම් පිළිබඳ අවකාශිය දත්ත හා ඉඩම් හිමිකම් පිළිබඳ වැඩසටහන පුළුල්කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන MCC ඉඩම් ව්‍යාපෘතිය මඟින් ඩොලර් මිලියන 67ක් ඇස්තගම්න්තු කර ඇත," යනුවෙනි. නමුත් මෙම ගිවිසුමට විරෝධය දක්වන පාර්ශ්ව පවසන්නේ ගිවිසුම මගින් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කෙරෙන බවත් එම ආර්ථික කොරිඩෝව තුළට වැටෙන රජයේ සහ රජයේ ආයතන සතු ඉඩම් හඳුනාගෙන MCC ගිවිසුම මගින් පිහිටුවනු ලබන MCA - Sri Lanka නමැති පුද්ගලික සමාගමකට එම ඉඩම් නතුකර එම සමාගම මගින් සිය කූට අරමුණු ඵලගැන්වෙන පරිදි රජයේ ඉඩම් දීර්ඝකාලීන බද්ද ට ලබා දීම කෙරෙනු ඇති බවය. "ප්‍රවාහන ව්‍යාප්තියෙන් ඉදිරි වසර 20 හි දී ප්‍රමාණිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19% වන අතර ඒ ඔස්සේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල නගරබඳ සහ පළාත්බඳ ප්‍රවාහන යටිතල පහසුකම්වල කාර්යක්ෂමතාව සහ ශාක්‍යතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වේ" යනුවෙන් MCC ගිවිසුමෙහි සඳහන් ය. මිලේනියම් චැලේන්ජ් ප්‍රදාන වැඩසටහන වෙනත් හවුල්කාර රටවල් 29ක් සමග ද ක්‍රියාත්මක බව පවසන ඇමෙරිකානු තානාපති කාර්යාලය, මෙම ගිවිසුම මගින්, "එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග ඇති හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වා යෑමට සහ ආර්ථික වර්ධනය තුළින් දරිද්‍රතාව අවම කිරීම සඳහා දරන ප්‍රයත්නයට සහය වීමට අපේක්ෂා කරයි," යනුවෙන් සඳහන් කරයි. මේ තොරතුරුත් කියවන්න:
මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පැවැත්වෙන වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පැරා හෙල්ල විසිකිරීමේ ශූරයා වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ටී46 කාණ්ඩයේ රිදී පදක්කම ජය ගත්තේය.
දිනේෂ් ප්‍රියන්ත හේරත්, ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං සහ ජපානයේ යමසාකි අකිහිරෝ සමග ලන්ඩන් පැරාඔලිම්පික් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරගයේදී දිනේෂ් ප්‍රියන්ත මීටර් 57.93ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං රන් පදක්කම (මීටර්60.36) දිනාගත් අතර, ලෝකඩ පදක්කම ජපානයේ යමසාකි අකිහිරෝට (මීටර්53.55) හිමි විය. පසුගිය සිකුරාදා (ජුලි 14) ආරම්භ වී ජුලි 23 වෙනි ඉරිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතාවලියේදී රන් පදක්කම් 6 ක් ඇතුළු පදක්කම් 12 ක් දිනාගෙන සත්කාරන බ්‍රිතාන්‍යය මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන්ම සිටියි. මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයේ පසුවන අතර, තුන් වෙනි ස්ථානය හිමි වී තිබෙන්නේ ටියුනීසියාවටය. රටවල් 91 ක් නියෝජනය කරමින් ඉසවු 213 ක් සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1074 ක් එයට එක් වී සිටිති. පසුගිය ජුලි 06 වෙනි දින වනවිට තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර 230,000 ක් විකිණී තිබූ අතර, ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ එතරම් ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් අලෙවි වූ පළමු වතාව මෙයය. 2016 දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවැති පැරාලිම්පික් තරඟාවලියේදී ටී46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම අත්කර දුන්නේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සෙබළෙකු වූ දිනේෂ් ප්‍රියන්තගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් ඔහු ටී46 කාණ්ඩයේ (දණ හිසෙන් පහල පාදය අප්‍රාණික හෝ අහිමි) වර්ගීකරණය යටතේ මලල ක්‍රීඩා තරඟවලට එක්විය. ජාතික හෙල්ල විසිකිරීමේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත ඔහුගේ පුහුණුකරුවාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය දා අනුමත කළ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව රටට එරෙහිව ගෙන එන ලද්දක් ලෙස සමහරුන් හඳුන්වා දෙද්දී ඇතැමෙකු පවසන්නේ එය රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් ගෙන ආ යෝජනාවක් බවය.
මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වීම තුළින් රටට ආර්ථික සම්බාධක පැමිණවීමේ අවදානමක් ඇති බව තවත් සමහරෙක් පෙන්වා දෙති. ඒ අනුව සැබවින් ම එම යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වීමෙන් ඇතිවිය හැකි බලපෑම කුමක්දැයි සොයා බැලීම ඉතාවැදගත් වේ. මෙම යෝජනාවෙහි වැදගත්ම අංග ලෙස සැළකෙනුයේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන පහත සඳහන් වගකීම් බව ඒ පිළිබඳ අදහස් පළකරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සඳහන් කර තිබිණි. "ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම." මේ අනුව මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි විශේෂ ඒකකයක් පිහිටුවනු ලබන අතර ඊට නීතිවේදීන්ද ඇතුළත් වෙයි. මේ සඳහා ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2 ක්වැය ශිර්ෂයෙන් ලැබෙනු ඇත. කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබාදෙනවා ඇත." යනුවෙන් ඔහු පෙන්වා දී තිබිණි. සාමාජික රටවල් ඡන්දය භාවිත කළ ආකාරය ජිනීවා යෝජනාවලියෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය හැකිද? කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශ ප්‍රධානී මහාචාර්ය මනිෂා වනසිංහ පැස්කුවෙල් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවක් සම්මත වූ පමණින් ආර්ථික සම්බාධක පැමිණවිය නොහැකි බවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත වුවහොත් පමණක් රටකට ආර්ථික සම්බාධක පැමිණවිය හැකි අතර එසේ වීමේ සම්භාවිතාව ඉතා අවම වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් හට නිශේධ බලය හිමි බැවිනි. එක් නිත්‍ය සාමාජිකයකු හෝ එම යෝජනාවට විරුද්ධව නිශේධ බලය භාවිත කිරීම තුළින් එවැනි සම්බාධක පැමිණවීමක් වැළැක්විය හැකි බව මහාචාර්යවරිය පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයින් පස් දෙනෙකු සිටින අතර එම රවල් නම් රුසියාව, චීනය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යි. මෙයින් රුසියාව හා චීනය මානව හිමිකම් කවුන්සිලය තුළ පසුගියදා ගෙන එනු ලැබූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට විරුද්ධව ජන්දය භාවිත කළහ. යෝජනාව නිසා ඇතිවන බලපෑම් මොනවාද? ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මනිෂා වනසිංහ පැස්කුවෙල් පෙන්වා දෙන පරිදි සෑම රටක්ම තමන්ට එල්ල කරන සෑම ඉල්ලීමක්ම වැඳ වැටී පිළිනොගනී. එම නිසා එම ඉල්ලීම් වලින් ඇතැම් ඒවා ඉටු නොකරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව සාධාරණීකරණය කළ හැකි නම් ඇතිවිය හැකි දුෂ්කරතා මගහරවා ගත හැකි අතර ක්‍රමවත්ව අදාළ තොරතුරු සපයන්නේ නම් රටට එල්ල විය හැකි බලපෑම ලිහිල් වනු ඇතැයි ඇය පැවසීය. "අපිට මෙතැන් සිට ලබන වසර දක්වා කාලය තියෙනවා සූදානම් වීමට එහෙත් නොකරන දෙයත් එයයි. එසේ නොකළහොත් එය ඔවුන්ට අපට තර්ජනය කිරීමට කාරණයක් වෙයි." යනුවෙන් මහාචාර්ය මනිෂා වනසිංහ පැස්කුවෙල් පැවසීය."ජීඑස්පී ප්ලස් වලට සිදුවූ දේ ඔබට මතක ඇති. අප මෙම රටවලට අත්‍යවශ්‍ය නොවන නමුත් මෙම රටවල් අපට අත්‍යවශ්‍යයි. ඔව් අපි උපායමාර්ගිකව වැදගත්, නමුත් ඒ සමඟම අපට ඔවුන්ගේ වෙළෙඳපොළවල් තේ සඳහා, අපගේ ඇඟලුම් සඳහා අවශ්‍යයි. එම රටවල තමයි අපගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ තියෙන්නේ."කෙසේවෙතත් මෙවැනි යෝජනාවක් සම්මත වීම තුළින් රට ජාත්‍යන්තර වශයෙන් ඉස්මතු වීමක් සිදුවන බව ද ඇය පැවසීය. මෙම යෝජනාවලිය බලාපොරොත්තු වූ තරම් රළු නොවන නමුත් එයින් අදහස් කරන්නේ තවත් බොහෝ දේ ඉටු කළ යුතුව ඇති බව පවසන ඇය, මෙම යෝජනාව තුළින් අදහස් කෙරෙන්නේ "සංහිඳියාව පිළිබඳව අප කුමක් කරන්නේද යන්න සහ එම ක්‍රියාවලිය පිළිබඳව වැඩි විස්තර පෙන්විය යුතු බව" යැයි ද සඳහන් කළාය."නිදසුනක් වශයෙන්, අතුරුදහන් වූවන් ගේ කාර්යාලයක් අපට දැනටමත් තියනවා ඒ මගින් සිදු කර ඇති දේ, එහි ප්‍රගතිය කුමක්ද වගේ අපි කරපු දේ ගැන දැනුම් දිය යුතුවෙනවා. මේ සම්බන්ධයෙන් ගත්තහම, වෙනත් රටවල් අපට ආධාර ලබා දෙන නිසා එය ඉතා ගැටලු සහගතයි. අපි මේ දේවල් කිරීමට බැදී සිටිනවා." මෙයින් කියවෙන්නේ කිසිදු ධනාත්මක දෙයක් සිදුවී නැති බව නොව, සාධනීය කරුණු ඇතත් යම් තොරතුරු වාර්තා නොවීම මෙවැනි වාර්තාවක් ගෙන ඒමට හේතු වීම යැයි ඇය පැවසීය. රාජතාන්ත්‍රික සේවයේ අඩුපාඩු? මහාචාර්ය මනිෂා වනසිංහ පැස්කුවෙල් පැවසුවේ ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික සේවයේ ඇති අඩුපාඩු මෙයින් හොඳින් පිළිබිඹු වන බවය. ශ්‍රී ලංකාවට වඩා වැඩියෙන් මානව හිමිකම් කඩ වූ රාජ්‍යයන් ලොවේ කෙතෙක් තිබුණද ඔවුන් මෙසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තම නම සදහන් නොවීමට වගබලාගන්නා බව ද ඇය කියා සිටී. "අප සෑම විටම බහු බලයන් අතර ඉතා සුවිශේෂී තත්ත්වයක සිටින නිසා අපට සමබර විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඉන්දියාව නිසා අපට චීනයට වඩා සමීප වෙන්න බෑ. අපි සැමවිටම ඉන්දියාව, පාකිස්තානය සමඟ සමතුලිත කරනවා එය හොදින්ම පෙනුනේ ඉම්රාන් ඛාන් ගේ ශ්‍රී ලංකා සංචාරයේදී. අප එය සමතුලිත කිරීමට උත්සාහ කළ ආකාරයෙන් අන්තර් ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලි ව ඔබට පෙනෙන්නට ඇති.කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව බොහෝ දේ කර තිබුණද අභියෝග රැසකට මුහුණ දීමට ඇති හෙයින් රටට හොඳ විදේශ ප්‍රතිපත්තියක් මෙන්ම එය ක්‍රියාවට නැංවිය හැකි ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බව ද ඇය තවදුරටත් පැවසීය. "ලක්ෂ්මන් කදිරගාමර්ට අවශ්‍ය වුණේ හොඳ රාජ්‍යතාන්ත්‍රිකයින් දියුණු කිරීමට යි. ඔහුට අවශ්‍ය වූයේ බ්‍රිතාන්‍ය ශෛලිය හෝ ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ක්‍රමයට විදේශ අමාත්‍යංශයක් තිබීම හා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවක් තිබීමයි. නමුත් එය සාර්ථක වුණේ නෑ.""අපට හොඳින් පුහුණුව ලත් රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් සිටිය යුතුයි. ශ්‍රී ලංකාවට කිසිදු රටක් වැදගත් නොවේ යැයි නොසිතිය යුතුයි.""ඔව්, උපාය මාර්ගික ස්ථානවලදී අපට නිත්‍ය රාජ්‍යතාන්ත්‍රිකයින් අවශ්‍ය බව මම කියනවා. රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු කලාවක් මෙන්ම කුසලතාවක්. නිත්‍ය රාජ්‍යතාන්ත්‍රිකයින් කුසලතා පූර්ණ රාජකාරියක යෙදෙන අතර ඒ සඳහාම උගත් අයයි. ඔවුන් අපගේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අයයි. ඒ නිසා ඔවුන්ට හඬක් තිබිය යුතුයි." නම හෙළි කිරීමට අකමැති වූ තවත් විශ්ලේෂකයකු පැවසුවේ 1988/89 වකවානුවේදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ තත්ත්වය වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ එවක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස, ජිනීවා නගරයට ගෙනගියත් එවක පැවතුණු ශක්තිමත් රාජතාන්ත්‍රික සේවය නිසා මෙවැනි වාර්තාවක් ගෙන ඒම වැළැක්වීමට එවක සිටි වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයින්ට හැකිවූ බවය. තවත් තොරතුරු;