text
stringlengths
1
163k
මටනම් මෙය ලොකු ප්‍රහේළිකාවක්. ඉතාම බාල දුරකථන වල සහ, විවිධ දෝෂ සහිත දුරකථන වල නම්, යම් යම් බාධා මතුවෙනවා ඇති. එහෙත්, ඉතා නවීන ජංගම දුරකථන පාවිච්චි කරන අයත්, අර මා කියා ඇති ආකාරයට කතාකරනවා. එහෙම කරන්නේ ඇයි? දුරකථනය සාමාන්‍ය විදිහට කණට තියාගෙන කතා කරද්දී, දුරකථනයේ මයික්‍රෆෝනය තිබෙන්නේ ඔබේ මුවට ඈතින් වුනත්, ඒ අධි සංවේදී මයික්‍රෆෝනය, ඔබේ හඬ හොඳින් ග්‍රහණය කරගන්නවා නේද? නොඑසේනම්, දුරකථන නිෂ්පාදකයා උපදෙස් පත්‍රිකාවේ කියනවානේ, කතාකරන විට මයික්‍රෆෝනය පිහිටි ස්ථානය මුව අසළට ගන්න කියා. මේ පුරුද්ද තරමක් අවලස්සන සහ විකට ස්වරූපයක් ගන්නවා නේද?
2. මගුල් ගෙදරකටත් පෝළිම් ඕනෙද?
මේ අත්දැකීම මට බොහෝ වාර ගණනක් ලැබී තිබෙනවා. විවාහ මංගල්‍ය උත්සවයකට සහාභාගිවීමේදී, ආහාර ලබාගැනීමේ වෙලාව පැමිණිවිට, ආහාර පිළිගන්වන ස්ථානයේ ඉතා දිගු පෝළිමක් දකින්නට ලැබෙනවා. සමහර 'නෝනලා සහ මහත්තුරු' තමන්ගේ පවුලේ අය සහ දරුවන් ඇදගෙන දුවනවා මේ පෝලිමට. මෙතනට පෝළිමක් අවශ්‍යද? පෝළිමේ නොගියොත් කෑම නැද්ද? කෑම හදන්නේ ආරාධිතයන් සියල්ලටම සරිලන ප්‍රමාණයට නේද? මටනම් කවදාවත් විවාහ මංගල්‍යයකදී ආහාර නොලැබී ගිහින් නැහැ. ඒ වගේම හොඳ කෑලි ඉවරවෙලා කුණු හරිය හම්බවෙලත් නැහැ.
ඇයි මේ හදිස්සිය? මේ පෙන්වන්නේ අපේ චර්යාවේ දුර්වලකම් නේද? මේ සමග ඇති පින්තූරයේ තියෙන්නේ, ඊයේ මම සහභාගිවුණු විවාහ මංගල්‍යයක, අර වගේ තිබුණු පෝලිම. කෑම බෙදාගන්නා ස්ථානයේ සිට, ප්‍රධාන ශාලාව හරහා මේ පෝළිම දික්ව තිබුණා. මේ පෝළිමට යන්න ඉඩදෙමින්, මා හෙමින් හෙමින් මධුවිතක් තොල ගෑ අතර, ඉන්පසු කිසි කරදරයකින් තොරව ගොස්, මට කෑමට හැකි ප්‍රමාණයට, ගැලපෙන ආහාර ලබාගත්තා.
3. ප්‍රචාරණය හොඳයි, ගැලපෙනවානම්
මේ පින්තූරය මම මගේ ජංගම දුරකතනයෙන් ගත්තෙ, ලඟදි දවසක, සතොස වෙළඳසලකින් බඩු ගන්නට ගිය අවස්ථාවේදීයි. පොහ්....අපේ උන්දැගේ නිරීක්ෂණාක්‍ෂියට අහුවුණානේ, මම පොටෝ එකක් කෙළියා කියලා. සතොසෙන් එළියට ආව තැන ඉඳලා, මට ඔරවන්න ගොරවන්න පටන්ගත්තා. ගෙදර ඇවිත් පින්තූරේ පරිගණකයට දාලා, ලොකුකරලා පෙන්නලා මගේ අරමුණ පැහැදිලි කරලා දුන්නම තමයි, ගිනිකන්ද නිවුණේ. මට කියන්න තියෙන්නේ මේකයි, සෑම ව්‍යාපාරයකටම ප්‍රචාරණයක් අවශ්‍යයි. ප්‍රචාරණයක් නැති ව්‍යාපාර අසාර්ථකයි. නමුත් අපේ කමට ගැලපෙන විදිහට ඒ ප්‍රචාරණය කළයුතුයි. මේ බලන්න සතොසේ උදාන වාක්‍යය වන 'ඔබේම තැන' කියන එක කොහෙද සටහන් කරලා තියෙන්නේ කියලා.
4. මේවට හිනාවෙනවද අඬනවද?
අපි කවුරුවත් සර්ව සාධාරණ නැහැ. සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. මේ ලියන මා තුළත් කොපමණ ගතිගුණ ඇද්ද නිවැරදි කරගතයුතු. හදිස්සියට කලිසමේ සිප් එක දාගන්න අමතක වෙලා බස් එකට නගින අයත් ඉන්නවනේ. මේකත් අන්න එහෙම දෙයක්.
ඊයේ පෙරේදා දවසක, මමත් අපේ උන්දැත් ගියා, කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් බැහැලා, මතුගම බස් එකකට ගොඩවුණා. අප්පොච්චියේ ඒ බස් එක ගිය ගොලුබෙලි වේගය නිසා මට හිතුනා, බැහැලා පයින් යන්න. හැබෑටම මුළු ලංකාවේම තියෙන්නේ මේ වගේ කාලකන්ණි (මිනිස්සුන්ගේ, රටේ, සමාජයේ, කාලය කා දමන) ප්‍රවාහන ක්‍රමයක් නේද? ඒ බස් එකට අතර මගින් කාන්තාවක් ගොඩවුණා. ඇය බස් රථයට නැග්ගේ කුඩා දියණියක්ද සමගයි. මහා පුදුම දෙයක් තිබුණා. ඇගේ හිසේ තිබුණා හිස පීරන පනාවක් සවි කරලා. හරියට අර තමන්ගේ ගායන නොහැකියාව පනාවෙන් වහගන්න හදන, ඊනියා 'ගායක පොජ්ජා' වගේ.
මට එකවරම වැටහුණා, ඇය වැරදීමකින් තමා මෙහෙම පනාව හිසේ තිබියදීම බසයට නැග්ගේ කියා. මා සිටියේ පසුපස ආසනයක. මා හිතුවා නැගිට ගොස් ඇයට කියන්න, පනාව තවම හිසේ තියෙන්නේ කියා. නමුත් ඇය මගේ ප්‍රකාශය කොහොම බාරගනීද? දුවන ගමන් පිස්තෝලය ඇදලා වෙඩි තියන්න දන්න මට, තත්පරයෙන් සීයෙන් එකකදී විතර, දුරකථනය ඇදලා අරං පොටෝ එකක් කෙළින්නත් පුළුවන්. මෙන්න පින්තූරේ. මෙය පළකරන්නේ මගේ කතාව සනාථ කිරීමට මිසක්, අර කාන්තාවට අපහාස කරන්න නෙවෙයි. මොකද මගේ බිරිඳට වුණත් මෙහෙම වෙන්න පුළුවන්.
පින්තූරය ගත් වහාම මම නැගිට්ටා ඇයට කියන්න මේ සිද්ධිය. නමුත් එවිටම වෙනත් කාන්තාවක් ඇයට ඒ බව කිව්වා. ඇත්තටම මෙය හිනාවෙන්න දෙයක් නෙවෙයි. අද අපි ඉන්න ලෝකයේ විවිධ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන තමයි අපි ගෙදරින් එළියට බහින්නේ. ඉතින් මේ ගෘහිණියටත් වෙන්න ඇත්තේ ඒකම තමා. නමුත් ගමනකට සූදානම් වෙලා, අවසාන මොහොතේ හදිසියෙන් ගෙදරින් එළියට බහිනවාට වඩා පෙරසූදානමකින් කටයුතුකිරීම හොඳයි නේද?
5. පනින්ට පෙර සිතා බලනු
ඊයේ පෙරේදා තවත් ආදී - පාද හමුවකට යන්නට මට අවස්ථාව උදාවුනා. ඒ ගැන පසුව ලියන්නම්. මතකයි නේද මම කලින් ලියපු ආදී - පාද හමුව? මේ ආදී - පාද හමුව පැවැත්වුනේ කොළඹින් බොහෝ ඈත. ඌව පළාතේ තැනක. එහෙ ගිහින් එනගමන් අපි කට්ටිය එක තැනක වහනය නැවැත්තුවා 'බර අඩුකරගන්න' මම කිව්වා ටිකක් වටපිට බලනවා හොඳයි අහළ පහළ ගෙවල් දොරවල් තියනවා, අනික මේ මහ දවාලේ කියලා. කිව්වා වගේම අහළ පහළට මේ වැඩේ නිරීක්ෂණය වුණා. ඒ මිනිස්සු මොකුත් කිව්වේ නැත්තේ, 'පොඩි කොල්ලෝ ටිකක් නිසා' වෙන්න ඇති. හැබැයි මගේ කැමරාවෙන් බේරෙනවා බොරුයි.
අදට ඇති නේද? තවත් තියනවා. බලමුකෝ පස්සේ වෙලාවක.
2014 නොවැම්බර් මස 29 වැනි දින 2221 පැය
Posted by විචාරක Wicharaka at 23:40 39 comments : Links to this post
Labels: එදිනෙදා දැනුම , ජීවිත සටහන් , පුංචි කතන්දර , විශේෂ
ඔයාට ජර්මනියෙන් තෑගි ඕනෙද.......................? - Do you want gifts from Germany?
දන්නවද වැඩක්. මට මගේ ජංගම දුරකතනයට ලැබුනානේ කෙටි පණිවිඩයක්, මට තෑග්ගක් ලැබෙන්ඩ තියනවා, වහාම ඇමතුමක් දෙන්ඩ කියලා. පණිවිඩේ ආව නොම්මරේ මුලට තියෙන්නේ 0037, හොයලා බැලින්නං, ඒ නොම්මරේ අයිති ජර්මනියට. හප්පොච්චියේ.......................අපේ හත්මුතු පරම්පරාවේ එකෙකුටවත් ආයෙ පිටරටින් තෑග්ගක් තියා, කඩල ගොට්ටක් වත් හම්බවෙලා තියන එකක්යැ. පණිවිඩේ ආවේ රෑ වෙලා. අම්මපා දවාලක නම් එවෙලේම මම යනවා ජර්මනියට. (රෑට පාර හොයාගන්ඩ අමාරුයිනේ පිට රටකට යන්ඩ) දැන් ඉතිං මොකෑ කරන්නේ. ආයෙපාරක් කියවලා බැලුවා පණිවිඩේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ.
Sri Lanka Mobitel Urgent please call us immediately to get your gift 0037122857005 free calls.
පොහ්..........අම්මපා මට මගේ ජංගම දුරකතන රාජයා අල්ලලා ගිලින්ඩ හිතුනා, තන්තෝසේ බැරිකමට. අම්මෝ...............පවුලේ අයටවත් කියන්ඩ හොඳ නෑ මේ වැදිච්ච චෑන්ස් එක. කිව්වොත් උනුත් ඉල්ලයි, 'අනේ මටත් කෑල්ලක් මටත් කෑල්ලක්' කියා කියා. මළ වදයක් තමයි වෙන්නේ. හරි හරි, ඔක්කොමලා නිදාගත්තට පස්සේ අර නොම්මරේට ඇමතුමක් දෙනවා. ම්.........එක්කෝ බාත්රූම් කාමරේට ගෙහුං, දොර වහගෙන, හොඳට ඈඳිගෙන, කෝල් එකක් දුන්නනම් නාකද? හයියෝ.......මගේ යකා හිතේ කම්මල වගේ. හුටා.......නෑ...නෑ... මගේ හිත යකාගේ කම්මල වගේ.
ඔන්න ඔහොම ඉතිං, 'බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ..........' කියලා, හිතෙන් කියමින් ඉන්න වෙලාවේ.........., පැන්නනේ එළියට....... මොකාද?...... මොකාද ඉතිං මගේ හිත ඇතුළේ ඉන්න ආමි කාරයා තමා, ආයෙ වෙන මොකෙක්ද. ඒකා කිව්වේ නැතෑ මෙන්න මෙහෙම.
"එම්බල මුග්ධය, තට නොවැටහේද තා මේ අහුවෙන්නට යන්නේ, ලෝක බොරුවකට බව? කොහෙද අම්බරුවෝ ජර්මනියේ මොබිටෙල් එකක් තියෙන්නේ? මොබිටෙල් එකෙන් පණිවිඩයක් එනවානම් නොම්මරේ 071 එකක් වෙන්න ඕනේ නේද? මොකක්හරි උප්පරවැට්ටියකින්, තට කෙළවන්නට කවුරුහරි අරඅඳින බව, තාගේ ඔය ........ක් තරම් මොළයට නොවැටහේද? වහාම මේ විප්‍රකාරය, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය වෙත වාර්තා කර කරුණු විමසනු"
ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. දැන් ඉතිං හොඳම දේ, මගේ හිතේ ඉන්න ආමිකාරයා කියන දේ කොරන එක තමා. හරි, එවෙලේම යැව්වා ඊයක් මොබිටෙල් එකට. මගේ උපහාර පැකේජයේ විස්තර සහිතව, 'මෙන්න මෙහෙම මෙව්වා එකක් මට ඇවිත් තියනවාය. අම්මපා මේක ඔහෙලමද එව්වේ, මේකේ ඇත්ත නැත්ත කුමක්දැයි මට කියලා දෙනවා හොඳයි' කියලා.
අනේ පහුවදාම දවල් මට කතාකොළේ නැතැයි, කර්ණ රසායන, මධුර මනෝහර, සුකොමළ, සුලලිත, ස්වරයකින් යුක්තවූ ඉස්තිරියාවක්. 'ස.........................ර්, අපි මොබිටෙල් ආයතනයෙන්, අපිට සර්ගේ ඊ මේල් එක ලැබුණා, සර් බොහොම බුද්ධිමත්ව ක්‍රියා කරලා තියනවා, මේ වංචාව දැන් සෑහෙන කාලයක ඉඳලා සිදුවෙනවා, සර් ඔය කෝල් එකට උත්තර දුන්නා නම්, සර්ට මහා විශාල දුරකථන බිලක් වැටෙනවා. ඒ සල්ලි ඒ මිනිස්සු ගන්නවා, නමුත් අපිට සිදුවෙනවා, ඒ සල්ලි සර්ගෙන් අයකරගන්න. මාසෙකට මෙවැනි සිදුවීම් දහයක් විතර වාර්තා වෙනවා. නමුත් සර් වගේ පැමිණිලි කරන්නේ බොහොම ටික දෙනයි. මේ වගේ අංක වලින්, අපේ ජාලයට ඇමතුම් දීම අපි බ්ලොක් කරනවා, නමුත් අලුත් අංක හදාගෙන දිගටම වැඩේ කරනවා. බොහොම කණගාටුයි සර් අපහසුතාවයකට පත්වුණා නම්.
අප්පොච්චිගෙ පප්පේ.................ගිරහයෙක් මාරුවුණා වගේ වැඩක් නේද මට වෙලා තියෙන්නේ? ඔයින් ගියා මදෑ. අම්මප මේ මගේ හිත ඇතුළේ ඉන්න ආමි කාරයාට පින් දෙන්න වටිනවා.
අපි 21 වැනි සියවසේ ජීවත් වුණත්, තවමත් මේ වගේ ජරා සත්තු මේ සමාජයේ ඉන්නවා. දුරදිග නොබලා, තන්හාව පාලනය කරගන්නට නොහැකිව, මෙවැනි වංචා වලට අහුවෙන කොපමණ මිනිසුන් ගණනක්, අපේ සමාජය තුළ ඇතිද? මෙවැනි දෑ, ජනමාධ්‍ය තුළින්, කොපමණ පෙන්වා දුන්නත්, තවමත් ඒවාට අහුවන සංඛ්‍යාවෙහි, අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැති තරම්.
ඔබට මොකද මේ ගැන හිතෙන්නේ?
2014 නොවැම්බර් මස 14 වැනි දින 0939 පැය
Posted by විචාරක Wicharaka at 00:52 66 comments : Links to this post
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පස්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Five)
මේ කතාව බොහොම දීර්ඝව ඇදීගිය නිසා, සමහරුන්ට නම් එපාවෙලා තිබුණා. එහෙත් තවත් අය, මේ ලිපි මාලාවෙන් යම් අවබෝධයක් ලබාගෙන තිබුණා, යුද්ධයක් සැළසුම් කරන්නේ කොහොමද කියන එක ගැන. හොඳයි, තවත් දුරට අදින්නේ නැතුව, අද මෙම ලිපි මාලාවේ අවසාන කොටස මෙලෙස ඔබවෙත ගෙන එනවා. හෑ...................එහෙනම් අද කෙල්ලව උස්සනවද? අනේ මන්දා, ඔන්න ඔහේ වැඩේ අතෑරලා දාමුද? (පින්තූරය ගත්තෙ මෙතනින්) මේ කෙල්ලෙක් වෙනුවෙන් මොකටද මෙච්චර ලොකු යුද්දයක් කරන්නේ? මේක රාමා - සීතා කතාව නෙවෙයිනේ. මෙහෙම කියපු ගමන් ඔක්කොමලා මගේ බෙල්ල කන්න හදයිද මන්දා, 'හුහ්.......තමුසේ මෙච්චර දවස් අපිවත් ඇදගෙන යුද්දෙට ගියේ, අන්තිමට මෙහෙම කියන්නද?' කියලා. හරි හරි, එහෙනම් යුද්දෙට යමු. හැබැයි ඊට කලින් කරන්න දේවල් තවත් තියනවා. ඉස්සරවෙලා ඒ ටික අවසන් කරගෙන ඉම්මු. නැත්නම් යුද්දේ පරාදයි.
හැබැයි ඉතිං මේ කතාවේ පරණ කොටස් මතක නැත්නම් මෙලෝ රහක් නැතිවෙනවා. අතරමං වෙනවා. ඒ නිසා උඩින් පල්ලෙන් හෝ පරණ කොටස් කියවලා මතකය අලුත් කරගන්න.
පළමුවැනි කොටස මෙතනින්
දෙවැනි කොටස මෙතනින්
තුන්වැනි කොටස මෙතනින්
හතරවැනි කොටස මෙතනින් බලන්න පුළුවන්.
ඔක්කොම කියවන්න අවශ්‍ය නැහැ. මතකය අලුත් කරගන්නට අවශ්‍ය ප්‍රමාණයට කියවන්න. අද අපිට අවසාන වශයෙන් කරන්න තියෙන්නේ, අපේ ක්‍රියාන්විතය දියත් කරන ආකාරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සහ අවසාන සැළැස්ම සැකසීමයි. දැන් ඉතින් ඉවසිල්ලක් නැහැ නේද කෙල්ල උස්සන තුරු. පොඩ්ඩක් හෝව්................ මේ ටිකත් බලන්න. අපි පහුගිය කොටස අවසන් කලේ 26 වැනි කාරණයෙන්. ඒ කියන්නේ සතුරා අපට එරෙහිව කෙබඳු ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද යන තක්සේරු කිරීමයි. එහනදී සතුරාව පොඩ්ඩක්වත් අවතක්සේරු කරන්න හොඳ නැහැ. විශේෂයෙන් මතක තබාගන්න ත්‍රස්තවාදී සංවිධාන විසින් ඉතා සොක්ක්ෂ්ම සහගත ලෙස අපි කොහොමවත් නොසිතන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. මතකනේ පහුගිය යුද්ද කාලේ එල්ටීටීඊ සංවිධානය රටපුරාම විවිධ ආකාරයේ විශ්මය ජනක ප්‍රහාර එල්ලකරපු හැටි.
මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා යුද්ද කාලේ අපි බංකර් ඉදිකරලා ආරක්ෂක තීර හදාගෙන තිබුනා. මේවා හඳුන්වන්නේ ඉදිරි ආරක්ෂක පෙදෙස (තීරය) - Forward Defended Locality = FDL යනුවෙන්. අපි මේවා හදාගෙන බොහොම ආරක්ෂිතයි කියලා හිතාගෙන හිටියට මොකද ත්‍රස්තවාදීන් මේවා අස්සට රිංගලා අපිට ගහපු අවස්ථා තිබුණා. මෙහෙම ඉන්න කාලේදී එක්තරා බලසේනාධිපති වරයෙක් - Brigade Commander අමුතු වැඩක් කෙරුවා. ඔහු දිනක් රාත්‍රී කාලයේ ආරක්ෂක ප්‍රදේශයක් වෙත පැමිණ, එහි සිටි අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් හා ඒ ආරක්ෂක සීමාවේ සේවයේ යෙදී සිටින සෑහෙන භටපිරිසක් සමග බංකර් පේලියේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට ගියා. මෙය බොහොම භයානක දෙයක්. සතුරා දන්නවානම් අපිට හොඳටම ගහනවා.
එහෙම ඉදිරියට ගිහින්, බලසේනාධිපති වරයා සියලුදෙනාටම කිව්වා, ආපසු හැරී අපේම බංකර් පේළිය දෙස බලන ලෙස. (ඇත්තටම ආරක්ෂාව සඳහා තවත් 100ක් පමණ පිරිසක් තවත් මීටර් 100ක් පමණ සතුරාගේ පැත්තට ගිහින් සූදානමින් හිටියා) ඒ වෙලාවේ තමයි ඔක්කොටම තේරුණේ, සතුරා අපේ ආරක්ෂක වළල්ල දකින්නේ මොනවගේ විදිහකටද කියන එක. ඊට පස්සේ බලසේනාධිපතිවරයා කිව්වා, දැන් තමුන් සියලු දෙනාම හිතන්න, අර පෙනෙන්නේ තමන්ගේ හතුරාගේ බංකර් පේළිය කියලා. ඊට පස්සේ හිතෙන් හදන්න සැලැස්මක්, ඒකට ගහන ක්‍රමය ගැන. ඊළඟට ආපහු හිතන්න, එහෙනම් සතුරා මෙන්න මෙහෙම අපිට ගහයි, ඒක වළක්වාගන්න අපි මොකක්ද කලයුත්තේ කියලා. ඇත්තටම මේ පාඩම ඉතා අගනා ඉතා සතුටුදායක ප්‍රතිඵල සහිත පාඩමක් වුණා.
27. සතුරා විසින් බොහෝදුරට ගැනීමට ඉඩ ඇති ක්‍රියාමාර්ගය
Enemy's Most Probable Course
මෙතනදී අපි නැවත සලකා බලනවා, සතුරා බොහෝදුරට අපට කුමන ආකාරයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරයිද කියන එක. දැන් අපේ ක්‍රියාන්විතයේදී අපි හිතන්නේ, කාමිනීගේ පැත්තේ අය, බොහෝ දුරට මෙන්න මෙහෙම කරයි කියන එක.
28. අපට විවෘතව තිබෙන ක්‍රියාමාර්ග - Own Courses
මතකතියාගන්න, සතුරාට වගේම අපටත්, හොඳින් සිතාබලා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න, අවසාන තීරණයකට පැමිණිය යුතුයි. මේ අපි යන්නේ යුද භූමියට. අපේ ජීවිත පරදුවට තබමින් යන්නේ. මම අණදෙන නිලධාරියකු නම්, මම මගේ සොල්දාදුවන්ගේ ජීවිත සමග තමයි මේ සෙල්ලම් කරන්නේ. මගේ එක වැරදි තීරණයකින්, සොල්දාදුවන් ගණනාවකගේ ජීවිත අහිමි වෙන්න පුළුවන්. එහෙම වුන අවස්ථා පහුගිය යුද්දෙදි තිබුණා. ඒ නිසා, අවසාන වශයෙන්, හොඳින් කිරා මැන බලා තීරණය කරනවා, අපට විවෘතව තිබෙන විකල්ප ක්‍රියාමාර්ග වලින්, හොඳම එක මෙන්න මේකයි කියලා. එහෙම තීරණය කරලා නිකම් ඉන්න බැහැ. ඒ ක්‍රියාමාර්ගයේ ඇති වාසි - අවාසි ගැන සටහනක් යොදාගෙන, වැඩි වාසි ඇති බව තහවුරු කරගත යුතුයි. එතැනදී මෙන්න මේ කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.
A. වාසිදායක කරුණු
1. ඉලක්කය වෙත යාමට ඇති කෙටිම සහ දිගම දුර සහිත මාර්ග.
2. ඉලක්කය වෙත පැමිණි පසු එයට ඇතුළුවීම වඩාත් සුදුසු කුමන දිශාවෙන්ද?
3. අපි බොහෝවිට පහර නොදෙතැයි කියා සතුරා සිතන්නේ කුමන දිශාවද, අන්න ඒ දිශාව තෝරා ගැනීමට හැකිතරම් උත්සාහ කලයුතුයි.
4. පහසුවෙන් ගමන් කල හැක්කේ කුමන මාර්ගයේද?
5. පැති ප්‍රහාර එල්ල කිරීම කළයුත්තේකෙසේද?
6. අපිට ආවරණය වීමට තැන තිබේද. (මතකද මම කතාවේ පළමුවැනි කොටස්දී කිව්වා කෙල්ලගේ ගේ ළඟ පොඩි පාලු ඉඩමක් තියනවා, එක අපිට ලොකුවාසියක් කියලා. ප්‍රහාරයට වෙලාව එනතුරු මෙවැනි ආවරණයක ඉන්න පුලුවන්නම් බොහොම වාසියි)
7. ප්‍රහාරයෙන් පසු අපි නැවත හමුවන්නේ කොතනදීද? පහුවෙනිදා මොකද කරන්නේ?
B. අවාසිදායක කරුණු
1. අපේ පිරිස බලාපොරොත්තු රහිත ලෙස සතුරාගේ මහා පරිමාණ ප්‍රහාරයකට ලක්වීමට ඇති ඉඩකඩ කෙසේද?
2. ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා භටපිරිස් ඒකරාශී වීමට සුදුසු ප්‍රදේශයක් නැතිවීම
3. මාර්ගය දුෂ්කර එකක් වීම (කෙල්ල ඉන්නේ මීමුරේ නම් කොහොමද සනීපෙ?)
4. සතුරා දැඩි සූදානමකින් යුක්තව, කෙළින්ම අපේ මුහුණට මුහුණලා හමුවීම.
29. දෙවැනි විකල්ප ක්‍රියා මාර්ගය
30. තුන්වැනි විකල්ප ක්‍රියාමාර්ගය
අංක 29 සහ 30 ට අදාළව, නැවතත් කියන්න වෙන්නේ, කලින් කියපු ටිකම නිසා, විස්තර ලියන්නේ නැහැ. ප්‍රධාන සැලැස්ම වැරදුනොත් ගන්නා විකල්ප ක්‍රියාමාර්ග තමයි මේ. කෙල්ලගේ ගෙදර අය අපිට අම්බානක නෙලනවානම්, අපිත් හැකි තරමින් නෙලද්දී කෙල්ල පන්නා ගැනීම කොහොම හරි කරගන්නවා. ඔන්න එක ක්‍රමයක්. කෙල්ලගේ ගමම එකතුවෙලා අපිට වට වන්දනාවක් දෙනවා නම්, උන්ගේ කකුල් අස්සෙන් රිංගලා දුවලා මාරුවෙනවා. ඔන්න අනික් ක්‍රමේ.
හොඳයි. දැන් ඔන්න ඔක්කොම කරුණු සලකා බලා අවසන්. දැන් මොකද කරන්නේ? නෑ.......නෑ........එහෙම එක පාරටම ගිහිල්ලා කෙල්ල පන්නගෙන එන්න බැහැ උන්නැහේ. කෝ තමුන්නැහේ හදපු අවසන් සැළැස්ම? ඒක නැතුව මොන යුද්දද? මතකද මම මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙදි ලස්සන කතාවක් කිව්වා ප්‍රේමෝන්මාද අප්පුහාමිලාගේ ප්‍රේමපාල වන මම, උන්මාද චිත්‍රාගේ බාප්පාගේ කාමිනී නමැති තරුණිය සමග පෙමින් වෙලී සිටිමි කියලා. ඔන්න ඒක දැන් මෙතනට ඕනේ. දැන් අපි අවසාන සැළැස්ම හදනවා. මතකතියාගන්න මේක අතිශයින් රහසිගත හමුදා ලේඛනයක්.
හමුදාවේ සෑම ලේඛනයකටම වර්ගීකරණයක් - category තියනවා. ඒකට කියන්නේ, 'ආරක්‍ෂක විග්‍රහය - Security Classification' කියලා. ලේඛනයේ සෑම පිටුවකම, හරි මැද ඉහළින්ම සහ හරි මැද පහළින්ම, ඒ වර්ගීකරණය, වචනයෙන්ම සඳහන් වෙනවා. ඒ වගේම ලේඛනයේ පිටු අංක දක්වන්නේ, හමුදාවට ආවේනික ක්‍රමයකට. අපි හිතමු ලිපියේ පිටු පහක් තියනවා කියලා. එහෙනම්, පළමුවැනි පිටුවේ හරි මැද පහළින්, ආරක්ෂක විග්‍රහයට ඉහලින් මෙහෙම තියනවා. 'පිටු පහෙන් එක' ඒ විදිහටම ඉතිරි පිටුවලත්, පිටු අංකය සඳහන් කරනවා. දැන් මෙය බලන කෙනෙක් දන්නවා, මේ ලේඛනයට තිබෙන්නේ පිටු පහක් බව. ඊට වඩා අඩු වැඩි වුනොත්, එතන මොකක් හරි රහසක් තියන නිසා, වහාම ඒ ගැන ක්‍රියා කලයුතුයි.
හොඳයි අර ආරක්ෂා විග්‍රහය කොහොමද තියෙන්නේ? ඒ වර්ගීකරණයේ පහළම එක තමයි 'නිවර්ග - Non Classified' කියන්නේ. ඊළඟ ඉහළ එක, 'සීමාන්විතයි - Restricted' එවැනි ලිපි බැලීම, පිළිතුරු ලිවීම, අත්සන් කිරීම කළහැක්කේ ඒ සඳහා බලයලත් අයට පමණයි. ඊළඟ වර්ගීකරණ දෙකක් තියනවා. 'රහස්‍ය - Secret'. මෙවැනි ලිපි සම්බන්ධව කටයුතු කිරීමේ බලය තිබෙන්නේ, මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියකුට පමණයි. ඊළඟට තියෙන්නේ ඉහළම වර්ගීකරණය. 'අතිශයින් රහසිගතයි - Top Secret'. මෙවැනි ලිපියක්, ප්‍රධාන මාණ්ඩලික නිළධාරියකුට සහ ඊට ඉහළ (බලසේනාධිපති, සේනාංකාධිපති, වැනි) නිළධාරියකුට පමණයි පරිහරණය කලහැක්කේ. ඉතින් දැන් අපි මේ හදන්න යන්නේ, අතිශයින් රහසිගත ලේඛනයක්. ඒ වගකීම හිතේ දරාගෙන, මෙතනින් ඉදිරියට කටයුතු කළයුතු බව අමතක කරන්න එපා.
මෙහෙම හිතන්න. හමුදාවේ මේවගේ සැලැස්මක් හදන වෙලාවට, තමන්ගේ පෙම්වතිය ඔබට දෙනවා දුරකථන ඇමතුමක්. ඔයා හරි නරකයි. මාව බලන්න දැන් මාස දෙකකින් ආවේ නැහැ. මොනාද අනේ අනික් අයට නිවාඩු තියනවා, ඔයාට විතරයි නැත්තේ. කියලා අර තොඳොල් ස්වරයෙන් (premature ejaculation හැදෙන විදිහට) කියනවා. ඉතින් ඔයාත් 'ආචාර්ය රන්ගොජා' වගේ, මෙන්න මෙහෙම උත්තර දෙනවා. අනේ තරහ වෙන්න එපා පැටියෝ. බලන්නකෝ මට මේ මුලතිව් වලට ගහන්න ඔපරේෂන් ප්ලෑන් එකක් හදන්න වෙලානේ. තව සතියකින් විතර අරුන්ට කුඩු යන්න ගහනවා අපි, උන්ගේ මුලතිව් කෑම්ප් එකට. අපි ට්‍රින්කෝ පැත්තෙන් නේවි එකයි, උතුරු පැත්තෙන් ගජබා එකයි. දකුණෙන් එස්.එෆ්. එකයි දාල දෙනවා උන්ට ඇට්ටි හැලෙන්න. ඉස්සර වෙලාම එයාෆෝස් එකෙන් දෙනවා හොඳ බෝම්බ පාරක්.
'නාගසලං සාලවනේ' කිව්වලු. මුළු ඔපරේෂන් ප්ලෑන් එකේම සාරාංශය කිව්වා නේද? හිතනවද ඔය දුරකථන ජාල වලට කොටියා හොරෙන් ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා? ඒ කාලේ අපි සම්පූර්ණයෙන් තහවුරු කරගත් අවස්ථා තිබුණා, අපේ ඔය ගොන් කතා, කොටියා අහන බව. ඒ වගේම තමයි ඉතින් අර, 'රෝස පැටික්කි' ඔය කතාව, එයාගේ හත්මුතු පරම්පරාවටම මගතොටේදී හමුවුනාම මහා හඬින් කියනවා, මගේ 'මයින පැටියා' තමයි මුලතිව් වලට ගහන ප්ලෑන් එක හදන්නේ. මෙන්න මෙහෙමයි ගහන්නේ කියලා. සනීපයි නේද?
සැළැස්ම - PLAN
1. භූමිය - Ground
මෙතැනදී, කෙටියෙන් එහෙත් අවශ්‍ය තොරතුරු ආවරණය වන ආකාරයට විස්තර කරනවා, මේ සටන සිදුවන්නට යන්නේ කෙබඳු ආකාරයේ භූමි ප්‍රදේශයකද යනවග. භූමියේ ස්වභාවය, නාගරිකද, ගම්බදද, වනාන්තරයකද, සමතලාද, කඳුකරද, ඈත පෙනෙනවාද නැද්ද, බාධා තිබෙනවාද, වැනි.
2. තත්වය - Situation
අප විසින්, සිතියම්, චන්ද්‍රිකා පින්තූර, ගුවන් ඡායාරූප, නිරීක්ෂණ ගුවන් ගමන්, ඔත්තු සේවා, මුර සංචාර, මෙකී නොකී ඔක්කොම ක්‍රම වලින් සොයාගෙන තිබෙන පරිදි, දැනට තිබෙන සංග්‍රාමික තත්වය මේකයි. සතුරා මෙහෙම කරන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර අපි පියවරක් ගතයුතුයි. කියා විස්තර කරනවා.
3. කළයුත්ත - Mission
අහවල් දින, අහවල් වෙලාවට පෙර, මෙන්න මේ දේ කලයුතුයි කියා, ඉතා කෙටියෙන්, ඉතා පැහැදිලිව, සඳහන් කරනවා. වටලා පහරදී විනාශ කිරීම/රැකසිට පහරදී විනාශ කිරීම/සතුරු රථ පෙළක් පහරදී විනාශ කිරීම/සතුරු ආයුධ ගබඩාවකට පහරදී විනාශ කිරීම/සතුරා ඉදිකරමින් තිබෙන කඳවුරක්, වරායක්, ගුවන් පථයක්, විනාශ කිරීම.
4. ක්‍රියාපිළිවෙත Execution
පියවර වශයෙන් අංක පිළිවෙලින් සවිස්තරව දක්වනවා, මේ ක්‍රියාන්විතය පියවර කීයකින් සමන්විතද, ඒ එක් එක් පියවරේදී කුමන හමුදා පිරිස කුමක් කළයුතුද, ඒ දේ කලයුත්තේ කුමන සීමාවන් යටතේද, යනවග. ඒ යටතේ තව උප කොටස් විස්තර කෙරෙනවා.
A. සම්බන්ධිකරණ උපදෙස් - Coordinating Instructions
මෙය ඉතා දීර්ඝ විස්තරයක්. මෙහිදී එක් එක් පියවරේදී ආරම්භයේ සිට අවසානය දක්වා කාර්ය භාරය, භට පිරිස් ප්‍රමාණයන්, ඇඳුම, අවි සහ පතරොම්, ආධාරක අවි, කාලතුවක්කු, මෝටාර්, යුද ටැංකි, ගුවන්/ නාවික ප්‍රහාර, ආදී සියල්ල පිලිබඳ වගකීම් පැහැදිලිව විස්තර කර පවරනවා.
B. අනෙකුත් පාලන කටයුතු
මෙහිදී අනෙකුත් අවශ්‍යතා සහ සැපයුම්, මෙන්න මේ අයවලුන් විසින්, මෙන්න මේ දේවල්, මෙන්න මේ වෙලාවට, මෙන්න මේ ආකාරයට, මෙන්න මේ ස්ථානයට සැපයීම / සේවය ලබාදීම කලයුතුයි කියා, විස්තර කෙරෙනවා. වාහන අවශ්‍යතා, පණිවිඩ හුවමාරු යන්ත්‍ර අවශ්‍යතා, වෛද්‍ය සේවා, ආහාර සැපයීමේ සේවා, ආදිය.
පසුගිය ඔක්තෝබර් මස 8 වැනිදායින් පටන්ගෙන
ඔබ යම්කිසි පාඨමාලාවක් හැදෑරුවා
සංග්‍රාමික තත්ත්ව ඇගයීමක් යනු කුමක්ද?
එවැනි තත්ත්ව ඇගයීමකින් අනතුරුව
සැළැස්මක් සකසා
ක්‍රියාන්විතයක් කරන්නේ කෙසේද යන්න
ඔබ සෑහෙන තරම් සාර්ථකව
අවබෝධ කරගත්තා.
ප්‍රේමපාල සහ කාමිනී
ඔහේ හිටියාවේ.
මා ඒ දෙදෙනා මේ ලිපි මාලාවට සම්බන්ධ කරගත්තේ
මේ ලිපිමාලාව නීරසවීම වළක්වාගෙන
ඔබේ අවධානය තබාගැනීමටයි.
මිනීමරාගෙන ආදරය ජයගන්නට සිතීම
මුලාවක්, මුග්ධකමක්.
ආදරය කියන්නේ පරිත්‍යාගයක්.
ආදරය ජයගත යුත්තේ ආදරයෙන්මයි.
ඉතින් දැන් ඔබට වැටහෙනවා නේද
සංග්‍රාමයකදී හමුදාව ක්‍රියාකරන්නේ
මොනතරම් අභියෝගාත්මක තත්වයන් යටතේද කියා?
රටේ පුරවැසියන් ලෙස