summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය සිය ශ්‍රී ලංකා සංචාරයේදී අවධාරණය කරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
යුද ගැටුම්වලින් පීඩා විඳි දෙමළ ජනතාව මුණ ගැසීම පිණිස 'උතුරේ සංචාරයක කරනවා' බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවති සාකච්ඡාවේදී එම ප්‍රතිඥාව දුන් අගමැතිවරයා, කෙසේ වුවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් බවද සඳහන් කළේය. දශක ගණනාවක යුද ගැටුම්වලින් පීඩා විඳි දෙමළ ජනතාව මුණ ගැසීම පිණිස උතුරේ සංචාරයක යෙදෙන බවද අගමැතිවරයා දූත පිරිසට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි. රොබට් බ්ලේක් 'සමුළුව වර්ජනය කළා නම් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපතක් විය හැකිව තිබුණා' ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව බරපතල චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම නුසුදුසු බවට දෙමළ නියෝජිතයන් පිරිස ඉදිරිපත් කළ තර්කයට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ, එවැනි වර්ජනයක් මගින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවනු ඇති බවයි. ඉන්දියාවේ දිල්ලි අගනුවරදී වාර්තාකරුවන් ඇමතු නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුවරයා මේ අතර කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කළේ නම් එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපතක් විය හැකිව තිබුණු බවයි. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, රාජ්‍ය නායක සමුළු වර්ජනය ආණ්ඩුවට බලපෑම් කළ හැකි එක් ක්‍රියාමාර්ගයක් විය හැකිව තිබුණු බවද ඔහු කියා සිටියේය. අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ, නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටුවන ලද 'දි එල්ඩර්ස්' (The Elders) කණ්ඩායමේ සභාපතිවරයායි. විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව පොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව සලකා බැලීමට සිදු වනු ඇතැයි හිටපු ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඔ බ්ලේක් මීට ඉහතදී සංදේශය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරමිභ වී ඇතත් රජය වී මිල දී ගැනීම ආරම්භ කර නොමැති නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීහු පවසති.
දැනට රජය වී මිලදී ගැනීම ආරම්භ කර නොමැති නිසා පෞද්ගලික අංශය මගින් රුපියල් විස්සට වී මිලදී ගන්නා බවයි තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි ටි.තුවාදරන් පවසන්නේ . පසුගිය කන්නයේ වී රුපියල් හතළිස් පහක් පමණ වූ මිලකට ගත් නිසා පෞද්ගලික අංශය ද වැඩි මිලකට ගත් බව ඔහු පැවසීය. ‘හිඟන්නන් මෙන්’ රජය වී මිලදි ගැනිම ආරම්භ නොකළ නිසා ‘හිඟන්නන් මෙන්’ තමන්ට වී අලෙවි කිරීමට සිදුව ඇති බව තිරුක්කෝවිල් ‍ ගොවි සංවිධානයේ සභාපති ටි ඥාණසුරියම් කියා සිටියේය. කෘමිනාශක, පොහොර සහ ශ්‍රමය යොදා කුඹුරු කර රුපියල් විස්සට වී විකිණීම තුළ ගොවියාට කිසිම සහනයක් නොමැති බවයි ඔහු පවසන්නේ. මෙම මස 15 වෙනි දින අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනීම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති පි.බි දිසානායක පවසයි. රජය තමන් රජයේ සේවකයින් නොවන අතර මුලු ජීවිතයම ගැට ගසා ගන්නේ වී වගාවෙන් බව තිරුක්කෝවිල් ගොවි සංවිධානයේ ලේකමි කේ ආනන්ද රාජා කියා සිටියේය. රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සදහා රජය කිසිම සුදානමක් නැති බවත් මේ වන විට අම්පාර දිස්ත්‍රික්කය තුල ගබඩා තිහක පසුගිය කන්නයේ වී ගොඩ ගසා ඇති බවත් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක චෝදනා කරයි. මේ පිළිබඳව විමසීමට වි අලෙවි මණ්ඩලය භාර අමාත්‍ය පි. හැරිසන් ඇමතීමට ගත් උත්සහ අසාර්ථක විය.
ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් දේශයේ එක බිම් අඟලක් උදුරා ගැනීමට හෝ බෙදීමට හෝ ඉඩ නොතබන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතිඥා දෙයි
අද (සෙනසුරාදා) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පැවති විජයග්‍රාහී සමරු උත්සවයට අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ රටේ ඒකීයභාවය රක ගැනීමට ඇප කැප වන බවයි. කෙසේවෙතත් අනාගතයේදී අභියෝගවලට මුහුණ දීමට තම රජයට සිදුවන බවත් ජනාධිපතිවරයා ප්‍රකශ ප්‍රකාශ කළේය. "කොටින්ට රට පාවාදෙන්න සටන් විරාම ගිව්සුම් ගහපු අය මේ ජාතියේ වීරත්වය අමතක කරවන්න නිතර උත්සාහ ගන්න බව අපි දන්නවා; උත්සාහ ගන්නවා, " ජනාධිපතිවරයා පැවසුවේය. අතීත සිදුවීම් අතීත සිදුවීම් ගැන ආවර්ජනය කරමින් එවක සිටි රාජ්‍ය නායකයන් රටේ ආරක්ෂාව ගැන මෙන්ම ඒකීය භාවය ගැන තැකීමකින් ක්‍රියා නොකළ බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා චෝදනා කළේය. 1977 දී හයෙන් පහක බලයක් ලබා ගනිමින් බලයට පත්වූ පළමු විධායක ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදී ජනතාවට පහර දෙන විට , තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයා ගත යුතු බව ප්‍රකාශ කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ සිහිපත් කළේය. ඊලඟට බලයට පත්වූ ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන් හත් සියයකට යටත්වන ලෙස උපදෙස් දී ඔවුන් කොටින්ට පාවා දුන් බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සියලු දෙනාම කොටින් විසින් ඝාතනය කල බව පැවසුවේය. කොටින්ට අවිආයුධ ලබා දුන් එතුමා කොටින් විසින්ම මහ මගදී ඝාතතනය කළ බව කියා සිටි ජනාධිපතිවරයා, "එල්ටීටීඊ නායකයාට වෙඩි නොවදින ඇඳුමක් දීල සාමයට අතින් අල්ල ගෙන කැඳවා ගෙන ආව ඉන්දියාවේ අගමැතිවරයාත් එදා තමිල් නාඩුවේදී මරල දැම්ම," ප්‍රකශ කළේය. විදේශ රටවල් සමඟ එක්ව සටන් විරාම ගිව්සුම් අත්සන් තැබුවත් කොළඹ බෝම්බ පුපුරුවා හැරීම් නවතා දැමීමට ඔවුන් අසමත් වූ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. විවිධ උපාය විවිධ උපාය හා උපක්‍රම අත්හදා බලමින් මාතෘභූමිය පාලනය කිරීමට උත්සාහ ගත් අවස්ථාද තිබූ බව පැවසූ ජනාධිපතිවරයා, "ලෝකෙ තිබිච්ච අරාබි වසන්තය, තව කාලෙකට ග්‍රීක යක්කු , තව කාලෙකට අධිකරණයේ ස්වාධීනත්වය, තව කාලෙකට ජන මාධ්‍ය නිදහස, මානව හිම්කම් කාලෙකට, හැම මාස හයෙන් හයට උත්තර බඳින්න" ආදී වශයෙන් විස්තර කළේය. කෙසේ වෙතත් එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම ඉතිහාසයෙන් කිසිදාකත් මකා දැමිය නොහැකි බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවධාරණය කළේය.
'ඇපල්' සමාගම විසින් නිෂ්පාදනය කරන අත් ඔරලෝසුවක සටහන් වී තිබූ දත්ත, මිනීමැරුම් නඩුවක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇත.
"එයට හදවත ගැහෙන වේගයද මනින්න පුළුවන්" මිර්නා නිල්සන් 2016 දී ඝාතනය වන විට ඇය 'ඇපල්' අත් ඔරලෝසුවක් පැළඳගෙන සිටියාය. මිර්නාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ලේලිය වන කැරොලයින් නිල්සන්ට චෝදනා එල්ල විය. නමුත් ඇය පවසා සිටියේ නිවසට ඇතුළු වූ පුරුෂයන් කණ්ඩායමක් සිද්ධිය වන අවස්ථාවේ ඇයව බැඳ දමා තිබූ බවයි. නමුත්, කැරොලයින් පවසා සිටියාට වඩා පැය කීපයකට පෙර මිර්නා නිවසට ඇතුළු වී ඇති අතර, සැඟවී සිට පහර දී ඇයව ඝාතනය කර ඇති බවට 'ස්මාර්ට්' අත් ඔරලෝසුවේ සටහන් වූ දත්තවලින් හෙළි විය. 'සැඟවී සිට පහර දීම' පිරිසක් මෝටර් රථයකින් නැන්දම්මා ලුහුබඳිමින් නිවස දක්වා පැමිණි බව කැරොලයින් පොලිසියට ප්‍රකාශ කර සිටියාය. නැන්දම්මා සහ මෙම පිරිස අතර මිනිත්තු විස්සක පමණ කාලයක් බහින්බස් වීමක් සිදු වූ අතර, එම අවස්ථාවේ දී කැරොලයින් නිවසේ මුළුතැන් ගෙට වී දොර වසා ගෙන සිටි නිසා පහර එල්ල කරන ශබ්දය ඇසී නැති බව කැරොලයින් පැවසූවා යැයි ABC පුවත් වාර්තා කර තිබිණි. රාත්‍රී දහයට පමණ කැරොලයින් ඉතා කලබලයට සහ දුකට පත්ව නිවසින් පිටතට එනු දුටු අසල්වැසියෙකු ඒ පිළිබද පොලීසියට දන්වා ඇත. ප්‍රහාරකයන් තමන්ව බැඳ දමා තිබුණත්, ඔවුන් නිවසින් පිටත් වූ පසු බැමි ලිහා ගෙන පිටතට පැමිණි බව කැරොලයින් පවසා ඇත. නමුත් මිර්නාගේ 'ස්මාර්ට්' අත් ඔරලෝසුවේ සටහන් වී තිබුණ දත්ත අනුව කැරොලයින් අසත්‍ය ප්‍රකාශ ලබා දෙන බව ඔප්පු කළ හැකි යැයි පැමිණිල්ලේ නීතීඥ කාමෙන් මැටේඕ පැවසුවාය. 2016 සැප්තැම්බර් මස, ඕස්ට්‍රේලියාවේ වැලී වීව් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ රෙදි සෝදන කාමරයක තිබී පනස්හත් හැවිදිරි මිර්නාගේ සිරුර සොයා ගන්නා ලදී. මේ තොරතුරුද දැනගන්න: 'සාක්ෂි' "ඇපල් ස්මාර්ට් අත් ඔරලෝසුවෙන් ලබා ගත් සාක්ෂි මත පදනම්ව කැරොලයින් පොලීසියට දීලා තිබෙන ප්‍රකාශ අසත්‍යයි කියා ඔප්පු කරන්න පුළුවන්" යැයි කාමෙන් පැවසුවාය. "මේ වගේ ඔරලෝසුවකට පුළුවන්... එහි තිබෙන සංවේදක මඟින් පුද්ගලයෙකුගේ චලනය සහ එය පැළඳගෙන සිටින පුද්ගලයා චලනය වන වේගය ගැන දත්ත ගබඩා කර ගන්න... එයට හදවත ගැහෙන වේගයද මනින්න පුළුවන්," ඇය පැවසීය. "මියගිය කාන්තාවට පහර දී ඇත්තේ සවස 6.38 ට පමණ. සවස 6.45 වෙද්දී ඇය අනිවාර්යයෙන්ම මිය ගිහින් තිබෙනවා" යැයි කාමෙන් පැවසුවාය. "අධිකරණය මේ සාක්ෂිය පිළිගතහොත්, මියගිය කාන්තාව සහ පුරුෂයන් අතර නිවසේ රෙදි සෝදන කාමරයෙන් පිටත විනාඩි විස්සක කාලයක් බහින්බස් වීමක් සිදු වූ බවට චූදිතයා ඉදිරිපත් කරන තර්ක බිඳ වැටෙනවා." "කැරොලයින් නිවසින් එළියට පැමිණ ඇත්තේ රාත්‍රී 10 ට පමණ. නමුත් ඇපල් අත් ඔරලෝසුවේ සටහන් වී ඇති දත්ත සාක්ෂි ලෙස පිළිගතහොත්, ඇය එළියට පැමිණ ඇත්තේ ප්‍රහාරය එල්ල කර පැය තුනකට පසුව බව ඔප්පු වෙනවා," කාමෙන් තවදුරටත් පැවසුවාය. "පැමිණිල්ලේ නඩුව ශක්තිමත් බව පෙනෙනවා" යැයි සඳහන් කළ මහේස්ත්‍රාත් ඔලිවර් කොඑන් කැරොලයින්ට ඇප දීම ප්‍රතිෂේප කර ඇත. ලබන ජූනි මස නැවත මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය. තවත් තොරතුරු: ලෝකයේ උසම ඔරලෝසු කණුව ඉන්දියාවේ
එච් අයි වී ආසාදිත ගැබිනි මව්වරුන් විසි දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ සිටින බව හෙළිදරව් වී තිබේ.
ගැබිනි මාතාවන් එච් අයි වී රුධිර පරීක්ෂාවට ලක් කෙරෙන ව්‍යාපෘතිය නිසා මේ බව අනාවරණය වූ බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පවසන්නේ. නමුත් 2015 වසර තුළ රුධිර පරීක්ෂාවට ලක් කිරීමට හැකි වී ඇත්තේ ලංකාවේ ගැබිනි මව්වරුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් පමණි. දරුවා 2016 වසරේ සිට සියලුම ගැබිනි මාතාවන් ගේ රුධිරය එච් අයි වී සඳහා පරීක්ෂා කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කර ගෙන යන බව විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ බීබීසීයට පැවසීය. (හඬ පටය අමුණා ඇත.) එච් අයි වී ආසාදිත මව්වරුන් ගෙන් දරුවාට වෛරසය යාම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ නොමිලේ සැපයීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ. මීට අමතරව ‘සිසේරියන්’ සැත්කමක් සිදු කර දරුවා බිහි කිරීමට කටයුතු කරන අතර විශේෂිත වූ කිරි වර්ග දරුවාට ලබා දෙනු ඇත. මෙතෙක් සොයා ගන්නා ලද එච් අයි වී ආසාදිත මව්වරුන් බිහි කළ සෑම දරුවෙකුම වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගෙන ඇති බවයි වෛද්‍ය ජී වීරසිංහ පවසන්නේ.
බුදුන් වහන්සේට සහ බුදු දහමට අවමන් කෙරෙන වීඩියෝ පටයක් ඉස්ලාමීය සංවිධානයක් විසින් අන්තර්ජාලයේ 'යූ ටියුබ් ' වෙබ් අඩවියේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය සිය කණගාටුව පළ කරයි.
‘ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත්’ ඉස්ලාමීය සංවිධානය විසින් 2013 වසරේ අන්තර්ජාලයට එක් කරන තිබුණ වීඩියෝ පටයකුයි මෙම අර්බුදයට මුල් වී තිබෙන්නේ. මුස්ලිම් සංවිධානයක් හෝ පුද්ගලයකු විසින් බුදුන්ට හෝ බුදු දහමට අවමන් කරනු ලැබීම කිසිසේත්ම අනුමත කල නොහැකි බවයි, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන්.එම්.අමීන් බීබීසී සංදේශයට කියා සිටියේ. කුරානය අන් ආගම්වලට අවමන් කිරීම ප්‍රතික්ෂේප කරයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉස්ලාම් දහම කිසිදු ආගමක් නින්දාවට පත් කිරීමට උත්සාහ නොකරන අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් 99% ක්ම ඉහත කී වීඩියෝ පටය අනුමත නොකරන බවයි. ආගමික සහජීවනය සිවිල් සංවිධාන එකමුතුවක් ලෙස ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාවේ සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ඇතුළු සියලු ජන කණ්ඩායම්වලට සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නැගීම බව පවසන ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපතිවරයා, කිසිදු ආගමක් වෙනත් ආගමකට අපහාස කිරීම වැරදි බැවින් එය හෙළා දැකීම සිය සංවිධානයේ අරමුණ බවත් කියා සිටියේය. ශ්‍රී ලංකාවේ යහපත් ආගමික සහජීවනයක් පවතින බවට මෙවර වෙසක් උත්සවය සැමරීමට විවිධ ජන වර්ග ආගම් භේද නොසලකා සහයෝගය දැක්වීම හොඳ උදාහරණයක් බවයි, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන්.එම්.අමීන් පවසන්නේ. සීමිත පිරිසක් එම මතයට විරුද්ධව කටයුතු කළත්, බහුතරය සාමය සහජීවනය අගයන බව පැවසූ එන්.එම්.අමීන්, එවැනි පුද්ගලයන් සහ සංවිධාන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මගින් රජය විවිධ ආගම් අතර සාමය රැකීමට පියවර ගත යුතු බව පෙන්වා දෙයි.
ලිංගික හිංසනය යනු ශ්‍රී ලංකාවේ දඬුවම් ලැබෙන අපරාධයක් බව සමීක්ෂණයකට සහභාගිවූවන්ගෙන් අඩකට වැඩි පිරිසක් නොදැන සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ඒ බව සඳහන් කරන්නේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනය පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමිනි. එම සමීක්ෂණ වාර්තාව ප්‍රකාර, ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව සමීක්ෂණයට සහභාගි වූ 2500 දෙනාගෙන් 60% ක්ම නොදැන සිටියහ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ "කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතුම මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේය," යන වගන්තිය මගින් සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහතික කර තිබෙන බව පෙන්වාදෙන UNFPA ආයතනය, දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුවත් ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පෙන්වාදෙයි. දුම්රියේදී, බස් රථයේදී, මහමගදී සහ වැඩපොලේදී ලිංගික හිංසනයට ගොදුරුවීමේ වේදනාබර අත්දැකීම තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද හෙළිකළහ. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරවලින් 74% ක් සිතාමතා ශරීර කොටසක් ස්පර්ශ කිරීමේ අවස්ථාවන අතර, 52% ක් වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ තමන්ගේ ලිංගික අවයව ඇතිල්ලීමේ අවස්ථා බවත් සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. පොදු ප්‍රවාහන සේවාවලදී කිසිවකු ලිංගික හිංසනයට ලක්වන ආකාරය දැක තිබෙන බව සමීක්ෂණයට සහභාගි වූ පිරිසෙන් 82% ක් පැවසූහ. "පිරිමි මගීන් කුඩා ගැහැණු ළමයින් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරන හෝ ඇඟට හේත්තු වී සිටින ආකාරය මම බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි. කුඩා ළමයින් බස්රියවලට ගොඩවන විට බස් කොන්දොස්තරලාද ඔවුන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරති," යනුවෙන් එක් පුද්ගලයෙක් පවසා තිබේ. එහෙත් එවැනි අවස්ථාවක වෙනත් මගීන් එයට මැදිහත් වන්නේ ඉතා කලාතුරකින් බව ද සමීක්ෂණයෙන් හෙළි වූ තවත් කරුණකි. සිය ආර්ථික විභවයන් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව ශ්‍රම බලකායේ ජන සහභාගිත්වය උපරිම කර ගත යුතු නමුත්, පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන ශ්‍රම බලකායෙහි කාන්තා සහභාගිත්වය පහල වැටීමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණයයි. එම සමීක්ෂණය සහ ජන හා නිවාස සංගණනයට අනුව, 2006 දී 39.5% ක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් සක්‍රිය විය හැකි වියේ පසුවන කාන්තාවන්ගේ රැකියා නියුක්තිය 2014 දී 34.7% ක් දක්වා පහල වැටී තිබේ. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනයට වැට බැඳීමේ විශේෂ වැඩපිළිවෙලක් UNFPA ආයතනය පසුගියදා නිවේදනය කළේය. 119 අංකයට හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට පොලිසිය අමතන්න - සහකාර පොලිස් අධිකාරිනී එල්ජී අමරසේන
පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් දෙදහසකට අධික ගොවියෝ අම්බලන්තොට නගරයේ විරෝධතාවක නිරතව සිටියහ.
වර්තමාන රජය විසින් කප්පාදු කර තිබෙන රුපියල් තුන්සිය පනහේ පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසයි, විරෝධතාවයට එක්ව සිටි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සියල්ල නියෝජනය කරන උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ. සහනාධාර වශයෙන් මුදල් වෙනුවට එම වටිනාකමට සමාන පොහොර ලබා දිය යුතු බව ගොවීන්ගේ ඉල්ලීමයි. "වර්තමාන ආණ්ඩුව 2016 අයවැය යෝජනාවලින් ගොවි ජනතාවට හානි කරන තීන්දු රාශියක් ගත්තා. අපි අරගල කරලා උපවාස කරලා දිනා ගත්තු මේ පොහොර සහනාධාරයේ කොටසක් රාජපක්ෂ පාලනයෙන් කප්පාදු කළා," සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සිසිර කුමාර වාහලතන්ත්‍රි කියා සිටියේය. "දැන් යහපාලන ආණ්ඩුව එය කපා හරිමින් ඉන්නවා. විවෘත වෙළඳපොළේ පොහොර මිල වැඩිවෙද්දී ගොවීන්ට ස්ථාවර වවුචරයක් දෙනවා. මේ නිසා ගොවියාට අමතර වියදම් කරන්න වෙනවා." නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 45 ක සහතික මිලක් නියම කරන ලෙසද ගොවීහු ඉල්ලා සිටිති. අලුත් ගිණුමක්? මේ අතර පොහොර සහනාධාර මුදල් ලබා ගැනීමේදී ගොවීන්ට රජයේ වාණිජ බැංකුවක සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ 'ගොවිජන බැංකුවේ' නව ගිණුම් ආරම්භ කිරීම සහ සහනාධාර ඉල්ලුම් පත්‍රය සඳහා ඉල්ලුම්කරුගේ ඡායාරූපයක් අනිවාර්ය කිරීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වී සිටින බවට රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවීහු චෝදනා කරති. වී ගොවිතැන සඳහා හෙක්ටයාර් එකකට ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාර මුදල රජයේ ඕනෑම වානිජ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ හැකි යැයි රජය නිවේදනය කළත් 'ගොවි දිරිය' නමින් වෙනත් ඉතිරි කිරීමේ ගිණුමක් අලුතින් ආරම්භ කළ යුතු බවයි ගොවීන් පවසන්නේ. රජයේ වාණිජ බැංකුවක අලුතින් ආරම්භ කළ යුතු ඉහත කී 'ගොවි දිරිය' ගිණුමක් සඳහා රැපියල් 100 ත් 500ත් අතර මූලික තැන්පතුවක් අවශ්‍ය අතර ගොවිජන බැංකුවේ ඇරඹිය යුතු ගිණුම සඳහාද රුපියල් සියයක මුදලක් අනිවාර්ය බව ගොවීහු පවසති. මෙය පොහොර සහනාධාරය පිළිබඳව ගම්බද ගොවීන් තුල කලකිරීමක් මතුකරන වාතාවරණයක් බවයි ගොවීන් කියා සිටින්නේ. කෙසේ වුවත් පොහොර සහනාධාරය නැති වෙතැයි බියෙන් රජයේ වාණිජ බැංකුවල නව ගිණුම් ආරම්භ කිරීම සඳහා ගොවීන් පෝලිම් ගැසී සිටිනු දක්නට තිබෙන බවත් ගොවීහු වැඩිදුරටත් පවසති.
දෙමාපියන් එච්අයිවී ආසාදිතයන් බවට චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රදේශයේ දරුවකු පාසලකට ඇතුලත් කර නොගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
දරුවාගේ මියගිය පියා සහ මව එච්යිවී ආසාදිතයන් බවට ව්‍යාජ ප්‍රචාරයක් පැතිර යාම ගම්වාසීන්ගේ විරෝධයට හේතුවයි එම දරුවා ඇතුලත් කරගන්නා මෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාට නියෝග කළ බව වයඹ පළාතේ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මේ අතර බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් එම දරුවා ඇතුලත් කරගැනීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කරන බවත්, දරුවා ඇතුලත් කරගතහොත් ප්‍රදේශවාසීන්ගෙන් පහරකෑමට ලක්විය හැකි බවට විදුහල්පතිවරයා පවා බියපත්ව සිටින බවත් පළාත් සභා අමාත්‍යවරයා පැවසීය. 'දරදඬු මිනිස්සු' "බොහොම දරදඬු මිනිස්සු ඉන්නවයි කියන ගමක තමයි මේ ගම. ඉතින් මම කිවුව ළමයි සේරම අයින් වුනත් කරන්න දෙයක් නැහැ මේ දරුවා ඇතුලත් කරගන්න කියල මම කිවුව," ඔහු සඳහන් කළේය. අදාල දරුවා එච්අයිවී ආසාදිතයකු නොවුවත් ඔහුගේ මියගිය පියා සහ මව එච්යිවී ආසාදිතයන් බවට ව්‍යාජ ප්‍රචාරයක් පැතිර යාම ගම්වාසීන්ගේ මේ විරෝධයට හේතුවයි. එච්අයිවී යනු වයිරසයක් බැවින් එය වාතයෙන් පැතිරිය නොහැකිවාක් මෙන් ම සාමාන්‍ය හමු වීම් මගින්, ස්පර්ශ වීම් මඟින්, වැඩපොළේ, පාසලේ, හෝ ගමේ එක්ව වැඩ කිරීමෙන් ද ශරීර ගත නොවන බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව සංදේශයට කියා සිටියේ. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවානුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මවු කිරි බීම යන ක්‍රම මෙම වෛරසය තවෙකකු වෙත පැතිර යාමට බලපාන බවද වෛද්‍ය අමරජීව පෙන්වා දෙයි. පවතින තත්වය සලකා බලා දරුවා පරිවාස භාරයට පත්කොට පාසලට ඇතුලත් කරන මෙන් තමන් කළ ඉල්ලීම දරුවාගේ මව ප්‍රතික්ෂේප කළ බවත් වයඹ පළාතේ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ සඳහන් කළේය. මව ජීවතුන් අතර සිටියදී දරුවා පරිවාස භාරයට පත් කිරීමේ අවශ්‍යතාවය කවරක් දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේම් එච්අයිවී ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දක්වන අදහස් පිළිගැනීමට ගම්වාසීන් සූදානම් නැති හැඩක් පෙනී යන බැවින් තමන් එවැනි යොජනාවක් කළ බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පෑමේ අරමුණින් මධ්‍යම දුර විහිදුම් අලුත් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉරානය පවසයි.
කිලෝමීටර 2000 ක (සැතපුම් 1,242 ක) විහිදුම් පරාසයක් සහිත කොරම්ශහර් (Khoramshahr) මිසයිලය අත්හදා බැලූ අවස්ථාව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණ. එම අත්හදා බැලීම කරනු ලැබුවේ කෙදිනද යන්න පැහැදිලි නැත. අඟහරුවාදා (සැප්තැම්බර් 19) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයක් දැඩි විවේචනයට ලක් කළේය. ලෝකයේ "චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම" අතරට ඉරානය ද ඇතුළත් බව සඳහන් කළ ඔහු, 2015 දී බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද විවේචනයට ලක් කළේය. ඉන් අනතුරුව ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කළ, ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) සඳහන් කළේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බවය. මේ අතර සිකුරාදා (සැප්තැම්බර් 22) ප්‍රකාශයක් කළ ඉරාන ජනාධිපති හසන් රෝහානි (Hassan Rouhani) කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපතිවරයාගෙන් එල්ල වන තර්ජනයට "නිවාරකයක්" වශයෙන් සිය හමුදා බලය තර කරන බවය. කොරම්ශහර් මිසයිලය මුල් වරට ප්‍රදර්ශනයේ කෙරුණේ සිකුරාදා ටෙහ්රාන් අගනුවර පැවති හමුදා පෙළපාලියකදීය. එයට යුද ශීර්ෂ කිහිපයක් එකවර රැගෙන යාමේ හැකියාව පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා පවසයි. එම මිසයිලයේ "සුවිශේෂී නිමැවුම" පිළිබඳව කරුණු දැක්වූ ඉරානයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් අමීර් හතමී (Amir Hatami) කියා සිටියේ, "සතුරාගේ ගුවන් ආරක්ෂක රේඩාර් මගහැරීමේ හැකියාව සහ ගුවන්ගත වූ මොහොතේ පටන් ඉලක්කයට පහර දෙන තුරුම මග පෙන්වීමේ හැකියාව" හේතුවෙන් එය "උපාය මාර්ගික මිසයිලයක්" බවය. "විවිධ ආකාරයේ මිසයිල නිෂ්පාදනය කිරීම පිණිස කිසිදු රටකින් අවසර ලබාගැනීමට ඉරානය බලාපොරොත්තු නොවන," බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඉරානයේ අලුත්ම මිසයිල අත්හදා බැලීම පිළිබඳව කරුණු පහදන බීබීසී පර්සියානු භාෂා අංශයේ විශේෂ වාර්තාකරු කස්රා නජී (Kasra Naji) පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් වෙත සිය විරෝධය දැක්වීම පිණිස ඉරානය "උතුරු කොරියාවේ පොතෙන් උගත් පාඩමක්" යොදා ගෙන තිබෙන බවය. කෙසේ නමුත් වත්මන් වාතාවරණය තුළ ලෝක ප්‍රජාව ඉරානය සහ උතුරු කොරියාව සංසන්දනය කිරීමේ හැකියාව තිබෙන බැවින් මේ මිසයිල අත්හදා බැලීම ඉරානයට පාරා වලල්ලක් බවට පත්වීමේ අවදානමක් පවතින බවත් කස්රා නජී සඳහන් කරයි. ඉරානයේ බැලිස්ටික් මිසයිල වැඩසටහනට සහ "ත්‍රස්තවාදී සංවිධානවලට අනුබල දෙන" බව පවසමින්, ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජුලි මාසයේ ඉරානයට එරෙහිව අලුතෙන් සම්බාධක ප්‍රකාශයට පත් කළේය. ඊට පෙරාතුව පසුගිය ජනවාරි මාසයේ ඉරානය බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුව ද ඇමෙරිකාව ඉරානයට එරෙහිව සම්බාධක පැනවීය. එවැනි අත්හදා බැලීම් ලෝක බලවතුන් හය දෙනෙක් ඉරානය සමග 2015 දී අත්සන් තැබූ ගිවිසුමේ මුඛ්‍යාර්ථයට එරෙහිව යන්නක් බව එක්සත් ජනපදයේ තර්කය විය. එහෙත් සිය මිසයිල අත්හදා බැලීම් එම ගිවිසුම උල්ලංඝනය කිරීමක් නොවන බව ඉරානය අවධාරණය කරයි. අදාළ මිසයිල න්‍යෂ්ඨික යුද ශීර්ෂ රැගෙන යාමේ අරමුණින් නිෂ්පාදනය නොකරන ලද බව ඉරානයේ තර්කය වී තිබේ.
බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව විවාද කිරීම පිණිස පක්ෂ නායකයන්ගේ ඉල්ලීම ප්‍රකාර එය තමන් වෙත ලබා දෙන මෙන් කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කර තිබුණි.
එහෙත් එම වාර්තාව බදාදා (ජනවාරි 10) තමන් වෙත ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් හටගත්තේය. වාර්තාව ලබන ජනවාරි 17 වෙනි දින ලබා දෙන බව ජනාධිපතිවරයාගේ ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කතානායකවරයා වෙත දැනුම් දී තිබුණි. කතානායකවරයාගේ ඉල්ලීම ප්‍රකාර ජනාධිපති ලේකම්වරයා, එම වාර්තාව බදාදා පාර්ලිමේන්තුව වෙත ලබා නොදුන්නේ ඇයි? "ඒකට කාරණා කිහිපයක් තියෙනවා," ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. "ඊයේ (ජනවාරි 09) හවස 4:25ට අපිට ෆැක්ස් මැසේජ් එකකින් ආව පණිවිඩයක්, බොන්ඩ් කමිෂන් එකේ පිටපත් 26ක් දෙන්න කියල. ඉතින් පිටපත් 26ක් දෙන්න කොහොමත්ම බෑ ඒ වෙලාවේ," ඔහු විස්තර කළේය. පසුගිය දෙසැම්බර් 30 වෙනි දින ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ බැඳුම්කර කොමිසම් පිටපතක් දින කිහිපයකට පසුව නීතිපතිවරයා වෙත යොමු කරන ලදි. ජනාධිපති ලේකම්වරයා පවසන පරිදි වාර්තාව සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳව නීතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාර එහි පිටපත් තවත් ආයතන කිහිපයකට ලබා දිය යුතු වීම තවත් හේතුවකි. "නීතිපතුමාගේ උපදෙස් අනුව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකුවේ අධිපතිතුමත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අධිනීතිඥ සරත් ජයමාන්නත් කැඳවල අද උදේ අපි පිටපත් භාර දුන්න," ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් වාර්තාව කියවා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට කාලය ලබා දිය යුතු බැවින් කොමිසමේ වාර්තාව ලබන 17 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තමන් කතානායකවරයාගේ කාර්යාලයට දැනුම් දුන් බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. ඒ අතරම බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තා 34ක් ලබා දෙන මෙන් ද කතානායකවරයා ඉල්ලීම කර තිබුණු නමුත් එම කොමිසම් වාර්තාවේ අතිරේක පිටපත් තමන් සතුව නොමැති බැවින් පාර්ලිමේන්තුවට එහි පිටපත් ලබාදීම සඳහා තවත් කාලයක් ගතවනු ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා කතානායකවරයා වෙත දැනුම් දී තිබේ. එසේ ලබා දෙන විට එම වාර්තාවල කිසිදු කොටසක් "වසන් කිරීමේ" කිසිදු අභිලාශයක් නොමැති බව ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය. සබැඳි යොමු:
ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාල තුළ ඔබේ හැසිරීම නිරීක්ෂණය කරමින් "ලකුණු" ලබා දීමේ වැඩ පිළිවෙලක් ගැන සිතිය හැකිද?
අන්තර්ජාලය තුළ ඔබ හැසිරෙන ආකාරය විශ්ලේෂණය කර ඔබේ චරිතාංග, විශ්වාසනීයත්වය සහ සමාජීය පිළිගැනීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කර ලකුණු ලබා දෙනු ඇත. අදාළ විශ්ලේෂණයෙන් පසු ලැබෙන ලකුණු ප්‍රමාණය ඔබ රැකියාවකට තෝරා ගැනීමේදී, බැංකුවකින් ණය පහසුකමක් ලබා ගැනීමේදී පමණක් නොව සහකරුවෙකු තෝරා ගැනීමේදී පවා අනිවාර්යෙන් සැලකිල්ලට ගනු ලැබෙයි. එවැනි ක්‍රමවේදයක් ගොඩනැගීම සඳහා චීනය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටී. 'සමාජ මාධ්‍ය ජාල හැසිරීමට ලකුණු ලබා දීමේ පද්ධතියක්' සකසමින් සිටින චීනය වසර 2020 වන විට එය ක්‍රියාත්මක වනු ඇති බව පවසයි. බටහිර ලෝකයේ පුවත් වෙබ් අඩවි, ගූගල්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ට්විටර් ඇතුළු සමාජ ජාල රැසක් දැනටත් චීනය තුළ අවහිර කර ඇත. "Great Firewall" (ග්‍රේට් ෆයර් වෝල්) නම් මෘදුකාංගය හරහා මෙම වෙබ් අඩවි අවහිර කිරීම සිදු වේ. නමුත් බිලියන 1.4 කට ආසන්න ජනගහනයක් ඇති චීනයේ WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල විශාල වශයෙන් භාවිතය කරන අතර, එම පරිශීලකයන් වෙන වෙනම නිරීක්ෂණය කර ඔවුන්ගේ හැසිරීමට ලකුණු ලබා දෙනු ඇත. "රජයට පුළුවන් මිනිස්සු මොනවද සිතන්නෙ, මොනවද කරන්නෙ කියල බලාගන්න" - ජේම්ස් ගෝට්‍රෙයි කෙටි පණිවිඩ ඔස්සේ සංවාදයේ යෙදිය හැකි (චැට් රූම්) වෙබ් අඩවි සියල්ල ප්‍රථමයෙන් එහි පරිශීලකයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතුය. ඉන්පසු එක් පුද්ගලයාගේ සංවාද ඉතිහාසය සය මසක් සුරක්ෂිතව තබා ගත යුතු අතර ඔවුන්ගේ හැසිරීම අනුව ශ්‍රේණිගත කළ යුතුය. මෙසේ ලබා ගන්නා දත්ත සියල්ල රාජ්‍ය ආයතනක් විසින් සකසන ලද ලකුණු ලබා දීමේ පද්ධතියට ඇතුළත් කරනු ලැබේ. "WeChat පරිශීලකයන් ගණන බිලියනයක්. මේ ආකාරයට එහි තිබෙන දත්ත ලබා ගත් පසු රජයට පුළුවන් මිනිස්සු මොනවද සිතන්නෙ, මොනවද කරන්නෙ කියල බලාගන්න. එය ඔවුන්ට තිබෙන සිහිනයක්" යනුවෙන් තාක්ෂණ විශේෂඥ ජේම්ස් ගෝට්‍රෙයි පැවසුවේය. චීනයේ බොහෝ මිනිසුන් සහ ආයතන අන්තර්ජාලය පාලනය කරන සංවේදී මෘදුකාංග මඟ හැරීමට පෙලැඹී ඇත. VPN සහ Proxy සේවාවන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් පෞද්ගලික දත්ත සහ ඔවුන්ගේ හැසිරීම රාජ්‍ය ආයතන අතට පත් වීම වැළකෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. නීත්‍යානුකූල නොවන සියලු VPN සේවාවන් අවහිර කරන ලෙස අන්තර්ජාල පහසුකම් ලබා දෙන ප්‍රධාන ආයතන තුනට චීන රජය පසුගිය වසරේ දී අණ කර ඇත. 'අලිබබා' වාණිජ වෙබ් අඩවිය ඇතුළු සියලු වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් ද රජය මෙම ඉල්ලීම කර ඇත. චීනයේ ෂි ජින්පින් ජනාධිපතිවරයා විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අන්තර්ජාලයට පිවිසීමට VPN භාවිතා කරන ව්‍යාපාරවලට ද අනතුරු ඇඟවීම් සිදු කිරීමට එරට රජය ක්‍රියා කර ඇත. මේ තොරතුරුද දැනගන්න: ලෝකයේ සෙසු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතය අතින් ඉදිරියෙන්ම සිටින රට චීනයයි. චීනයේ දැනට සවි කර ඇති CCTV කැමරා ගණන කෝටි දාහතක් පමණ වන අතර තවත් එබඳු කැමරා කෝටි හතළිහක් සවි කිරීමේ සැලැස්මක් පවතී. එම කැමරාවලින් බහුතරයක් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත ඒවා වන අතර, එය අද ලෝකයේ පුළුල්ම CCTV කැමරා පද්ධතියයි. චීන පොලිසිය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා 'මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය' අන්තර්ගත අව් කණ්ණාඩි විශේෂයක් භාවිතා කිරීම පසුගියදා ආරම්භ කළේය. 'දත්ත ගබඩාවකට' සම්බන්ධ කර ඇති අව් කණ්ණාඩි නමුත් චීන පාරිභෝගිකයන් මේ කිසිවක් ගැන දැඩි අවධානයක් යොමු කර නොමැති බව ඩේන්ට්සු ඒගිස් (Dentsu Aegis) ආයතනය සිදු කළ සමාජ ගවේෂණයක දී හෙළි වී ඇත. 'ඩිජිටල් ආර්ථිකය' පිළිබද අන් කවර ජාතියකටත් වඩා චීන ජාතිකයන් විශ්වාස කරන බව විසි දහසක් පුද්ගලයන්ගේ මත විමසමින් සිදු කළ මෙම ගවේෂණයේ දී හෙළි විය. මෙමගින් සමාජයට ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බව එම පිරිසෙන් 70% ක් පවසා සිටියහ. 'ඩිජිටල් ආර්ථිකය' පිළිබද අන් කවර ජාතියකටත් වඩා චීන ජාතිකයන් විශ්වාස කරන බව ඩේන්ට්සු ඒගිස් (Dentsu Aegis) ආයතනය සිදු කළ සමාජ ගවේෂණයක දී හෙළි වී ඇත. "ඩිජිටල් සේවාවන් අපට වැඩි නිදහසක් ලබා දෙන අතර එය බොහෝ වැඩ සිදු කර ගැනීම පහසු කරනවා. ඒ වගේම අපට වැඩිපුර ජීවිතය විඳීමට ඉඩ සලසා දෙනවා" යැයි තාක්ෂණය සහ නව නිපැයුම් අලෙවිකරණ ආයතනයක ප්‍රධානී ෆ්‍රැන්සිස් ලෑම් පැවසුවේය. WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල පාලනය කරන චීනයේ විශාලතම තාක්ෂණික ආයතනය වන ටෙන්සන්ට් (Tencent), තුන් මසකට පෙර ෆේස්බුක් ආයතනය පසු කර ලෝකයේ පස්වන විශාලතම ආයතනය බවට පත් විය.
මෑතකදී සොයා ගන්නා ලද ඩයිනෝසරයන් මගින් චීන 'භූ විද්‍යා ඉතිහාසය' නැවත ලියවීමට හැකියාව ලැබී ඇත.
විශාල දිගු ගෙලක් සහිත ඩයිනසෝරයන් අයත් සොරෝපොඩ් පවුලට එක්වුනු, ලින්වුලොන්ග් ශේන්කි (Lingwulong shenqi) නම් මෙම ඩයිනසෝරයා වසර මිලියන 174 ක් ඉහත උතුරු චීනයේ ජීවත්ව තිබේ. මේ කාලය වනවිට නැගෙනහිර ආසියාව පැන්ජීයා (Pangaea) සුපිරි මහද්වීපයෙන් වෙන්ව තිබූ බව සැලකේ. නමුත් 'Lingwulong' ඩයිනසෝරයා එය එසේ නොවුණු බවට සාක්ෂ්‍යයක් ද විය හැකිය. බ්‍රොන්ටසෝරස් (brontosaurus), ඩිප්ලොඩොකස් (diplodocus) සහ බ්‍රාකියසෝරස් (brachiosaurus) වැන්නන් අයත්වන නියොසොරපොඩ් (neosauropods) උප විශේෂයේ කොටසක් වන ලින්වුලොන්ග් (Lingwulong) කිසිසේත්ම හමුවිය නොහැකි ප්‍රදේශයකින් හමුවී තිබේ. එනම් උතුරු චීනයෙනි. ඒ, එම විශේෂයේ අනෙකුත් සියලුම ඩයිනසෝරයන්ට වඩා වසර මිලියන පහළොවකට පෙරය. මේ පිළිබඳ අධ්‍යයනයේ කතුවරයෙක්වූ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යායතනයේ ආචාර්ය පිලිප් මැනියන් (Philip Mannion) මෙය "අතිශයින්ම අපේක්ෂා නොකළ" දෙයක් ලෙස විස්තර කර තිබේ. "මේ සතා එම උප විශේෂයේ පැරණිතම සත්ත්වයා වීම පමණක් නොවේ ආසියාවෙන් ම පළවෙනියා. ජුරාසික් යුගයේ නියොසොරපොඩ් ආසියාවට නොපැමිණි බව දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කළා" ඔහු බීබීසී සමග පැවසීය. ඒ කාලය වනවිට පැන්ජියා කොටස් ලෙස වෙන්වීම ඇරඹුණා පමණි. රතු මුහුද වැනි, එහෙත් ඊට වඩා විශාල මුහුදක්, චීනය දැන් පවතින ආකාරයට සුපිරි මහද්වීපයෙන් වෙන් කරන්නට ඇති බව විශ්වාස කෙරේ. ඒ අනුව සතුන්ට අනෙක් ගොඩබිම් වෙත යාම වළකන්නට ඇතැයි සැළකේ. "නියොසොරපොඩ් එවැනි බාධක ඇතිවීමට ප්‍රථම මෙහි පැමිණි බව මින් යෝජනා කරනවා. නමුත්, මෙම බාධක සමහරවිට දිගුකල් නොපැවති බව භූ විද්‍යාත්මක සාධක පෙන්වාදෙනවා," යනුවෙන් ආචාර්ය මෙනන් පවසයි. පැන්ජියාවේ අනෙක් කොටස්වල නියොසොරපොඩ් බහුල ලෙස සිටි බව නොසළකා හැරියත්, උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ පෙරදිග අප්‍රිකාව යන කලාපවලින් වර්ෂ මිලියන 160 ට වඩා පැරණි සාධක හමුවී නැත. 'ලින්වුලොන්ග්' එම පවුලේ පැරණිම සාමාජිකයා ලින්වුලොන්ග් දැන් එම පවුලේ පැරණිම සාමාජිකයා බවට පත්වී තිබේ. එසේම, විවිධාංගීකරණය නැවත මුල් ජුරාසික් වෙතින් රැගෙන ගියහොත් මෙම ඩයිනසෝරයන් පෙර කළ නිගමනයන්ට වඩා පරිනාමයේදී දියුණු තත්ත්වයක පසුවන්නට ඇති බව පෙන්වයි.
ශ්‍රී ලාංකික ලේඛක සහ පරිවර්තක චූලානන්ද සමරනායක, චිංගීස් අයිත්මාතොෆ් ජාත්‍යන්තර සම්මානය සඳහා තෝරාගෙන තිබේ.
ලන්ඩනය මූලස්ථාන කරගත් චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය විසින් වාර්ෂිකව පිරිනමන එම සම්මානයෙන් පිදුම් ලබන පළමු ශ්‍රී ලාංකිකයා ඔහුයි. දෙසැම්බර් 10 වැනි දින වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවැත්වෙන උත්සවයේදී චූලානන්ද සමරනායක ඇතුළු ජාත්‍යන්තර ලේඛක ලේඛිකාවන් සිවු දෙනකු සහ ග්‍රීක පරිවර්තන එකතුවකට සම්මාන පිරිනැමීමට නියමිතයි. ශාන්ත පීටර්ස්බර්ග් සරසවියේ මහාචාරිනී ලුද්මීලා අලෙක්සේයෙව්නා වර්බිත්ස්කයා, කසක්ස්තානයේ යුරේශියා ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යෙර්ලාන් බත්තශේවිච් සිදිකොෆ්, අයිත්මාතොෆ් ගේ චරිතයට පන පෙවූ තුර්කියේ ප්‍රවීණ නළු කදීර් ඉනනීර් මේ වසරේ සම්මාන ලබන අනෙක් තිදෙනායි. ග්‍රීක භාෂාවට නැගුනු චිංගීස් අයිත්මාතොෆ් ගේ පරිවර්තන එකතුවකටද සම්මාන පිරිනැමේ. මධ්‍යම ආසියාවේ සංස්කෘතිය අධ්‍යයනය පිණිස 2010 දී එම ඇකඩමිය ආරම්භ කරනු ලැබුවේ කිර්ගීස් ජාතික අයිත්මාතොෆ් ලේඛකයාගේ මිතුරියක වන ආචාර්ය රහීමා අබ්දුවයියේවා විසින්. 2104 වසරේදී ඇකඩමියේ සියලු කටයුතු යොමුවුණේ කසක්ස්තානයේ සංස්කෘතික අධ්‍යනය පිණිසයි. චිංගීස් අයිත්මාතොෆ් භාෂා දෙකකින් සිය නිර්මාණ එලිදැක්වූ ලේඛකයකු බව පෙන්වාදෙන ආචාර්ය රහීමා අබ්දුවයියේවා, කසක්ස්තානයේ ක්‍රියාත්මක වන නිල ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ඇකඩමියේ අවධානය යොමුවී තිබෙන බව සඳහන් කරන්නීය.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, "Sri Lanka Flag Non-Slip Doormat" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නයකට අදාළ වෙළෙඳ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වෙමින් තිබේ. මේ ආශ්‍රිතව සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් ගොඩ නැගී ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්නයක් පිළිබඳ දැන්වීම් මෙසේ පළවී තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරන ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන 'ඇමසොන්' හි ය. "ශ්‍රී ලංකා ධජය ලිස්සා නොයන දොරකඩ / පිළිගැනීමේ පාපිස්ස / පලස" ලෙස නම් කර ඇති මෙම පාපිස්නය ඇමරිකානු ඩොලර් 12 කට නැතහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙදහස් පන්සියයක් පමණ මිලකට අලෙවිය සඳහා පළ කර තිබිණි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්නයකට යොදා අන්තර්ජාලයේ විකිනීමට තබා ඇති අයුරු චීන නිෂ්පාදකයෙකු වන ෂෙන්හොං ලින් මෙය නිෂප්දනය කර ඇමේසොන් හි විකිණීමට ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනා අදහස් පළකරන්නට පටන් ගත් අතර ඉන් ඇතැමෙකු ගේ විග්‍රහය ඔස්සේ පෙන්නුම් කෙරුණේ, චීනය හා ශ්‍රී ලංකාව අතර මෑත කාලයේ ගොඩ නැගෙමින් පවතින නව මානයක සම්බන්ධතාව කෙරෙහි සමාජයේ ඇතැම් කොටස් අතර පවතින නොකැමැත්ත ය. ෆේස්බුක් හි පළවූ එවැනි එක් පෝස්ටුවක සඳහන් වූයේ "මේ තමයි චීනය ශ්‍රී ලංකාව පිළිබඳ සිතන ආකාරය. අපි ඔවුන්ට යටත් විජිතයක් පමණයි" යනුවෙනි. සමාජ මධ්‍යයයේ එය පිළිබඳව පළවූ අදහසක් ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්න පමණක් නොව සෙරෙප්පු හා යට ඇඟලුම් ද අන්තර්ජාලයේ අලෙවියට ඇති බව ඇතැම්හු පෙන්වා දෙති. මෙම සංවාදයට එක්වූ ඇතැමුන්, ජාතික ධජය පාපිස්නයකට යෙදීම එතරම් කලබල විය යුතු දෙයක් නොවන බවක් ද පෙන්වා දීමට උත්සාහ දරන අයුරු පෙනෙන්නට විය. කෙසේවෙතත්, රටේ දැනට උද්ගතව ඇති වෙනත් අර්බුද කෙරෙහි ඇති අවධානය යටපත් කිරීම සඳහා මෙම මාතෘකාව යොදාගැනීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් ද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකන් සිය අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ. පහත දැක්වෙන ෆේස්බුක් පළකිරීම් ඊට උදාහරණ කිහිපයකි. මේ අතර ශ්‍රී ලකාවේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නයක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙස, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බවය. ඒ අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර ඇතැයි කී විදේශ කටයුතු අමාත්‍යාංශය, "ඇමසෝන් වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබේ." යනුවෙන් පැවසීය. මේ අතර මාධ්‍ය අමතමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළේ "මෙය හිතා මතා අපේ රටේ ජාතික කොඩියට අවමන් කිරීමට හිතාමතා කරන ලද වැඩ පිළිවෙලක්ද කියලා හොයා බලන්නට ඕන. එසේ හොයා බලා ඒ නිෂ්පාදකයින්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. හිතාමතා හෝ වේවා හිතාමතා නොවේ හෝ වේවා ජාතික කොඩියක් පාපිස්සට දැම්මා." යනුවෙනි. ප්‍රතිචාරය මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටියේ ජාතික ධජය හැමවිටම පූර්ණ ගෞරවයට ලක්විය යුතු, රටක සංකේතය යන්න සිය අඛණ්ඩ ස්ථාවරය වන බවය. ඇමසොන් වෙබ් අඩවියේ පළවී ඇති ශ්‍රී ලංකාවේ ජාතික ධජය සම්බන්ධ නුසුදුසු වෙළෙඳ දැන්වීමට අදාළව මතුවී ඇති සැලකිල්ල පිළිබඳ තමන් දැනුවත් බව පවසන තානාපති කාර්යාලය, විමර්ශනය හා අවශ්‍ය පියවර සඳහා අදාළ චීන බලධාරීන් වෙත එය යොමු කර ඇති බව ද කියා සිටී. මේ ගැනත් දැනගන්න:
බංග්ලාදේශ් - ඇමෙරිකානු ලේඛක අවිජිත්රෝයි ඝාතනයට එරෙහිව ඩකා අගනුවර මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.
ලේඛකයන් සහ ගුරුවරුන් ඇතුළු සිය ගණනක් ජනතාව එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියහ. ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට ‘ඩකා’අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි. බීබීසී මාධ්‍යවේදී නරේෂ් කෞශික් පවසන්නේ ,ලේඛකයාගේ බිරිඳද ප්‍රහාරයට ගොදුරුව තුවාල ලබා සිටින බවයි. ඔවුන් දෙදෙනා බයිසිකල් රික්ශෝවකින් නිවස කරා පැමිණෙමින් සිටියදී එක්තරා කණ්ඩායමක් විසින් ඔවුන්ට විශාල පිහිවලින් පහර දී කපා කොටා අති බවයි වාර්තා වන්නේ. පොත් ප්‍රදර්ශනයක් ආගමික නිදහස වෙනුවෙන් අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යන අවිජිත් රෝයි මරණ තර්ජනවලට ලක් වුනේ එහි පළ කළ අදේවවාදී ලිපි නිසා යයි බීබීසී මාධ්‍යවේදී නරේෂ් කෞශික් පවසයි. අවිජිත් රෝයි මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසන නමුත් තවම කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් වාර්තා වෙයි. එම ඝාතනය අගය කළ ඉස්ලාමීය කණ්ඩායමක් පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර ඇත. එහෙත් බංග්ලාදේශ් ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධයෙන් තවම කිසිදු ප්‍රකාශයක් කර නොමැත. ආගමික අන්තවාදයට එරෙහිව ලියූ තවත් ලේඛකයෙකු ද මීට දෙවසරකට පෙර බංග්ලාදේශයේදී මරා දැමුණි.
මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයන් තුළ මෙතෙක් සිදු කළ විශාලතම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අරාබි රටවල් තුළ ආගමානුකූල දිවි පෙවතක් ගත කරන පුද්ගලයන්ගේ විශාල අඩු වීමක් දක්නට ලැබෙන බවය.
කාන්තා අයිතීන්, සංක්‍රමණය, ආරක්ෂාව සහ ලිංගිකත්වය වැනි කාරණා ගැන ආරාබියේ දිවි ගෙවන පුද්ගලයන්ගේ අදහස් මත පදනම්ව මෙම සමීක්ෂණය සිදු කර තිබේ. බීබීසී අරාබි පුවත් සේවය වෙනුවෙන් අරාබි බැරෝමීටර (Arab Barometer) සමීක්ෂණ ජාලය මෙම සමීක්ෂණය පවත්වනු ලැබ ඇත. 2018 වසරේ අවසානයේ සිට 2019 වසරේ මැද දක්වා පලස්තීන භූමි ප්‍රදේශ සහ අරාබි කලාපයේ රටවල් දහයක සිදු කළ සමීක්ෂණයට පුද්ගලයන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කරගෙන තිබේ. එම සමීක්ෂණයේ සමහර ප්‍රතිඵල පහතින් දැක්වේ. 2013 වර්ෂයේ සිට මේ දක්වා කලාපය පුරා පැතිරී සිටින "ආගමානුකූලව නොහැසිරෙන" පුද්ගලයන්ගේ ගණන 8% සිට 13% දක්වා වැඩි වී තිබේ. සමීක්ෂණයට අනුව වයස අවුරුදු තිහට අඩු පුද්ගලයන් ආගමික දිවි පෙවතින් ඉවත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඔවුන් අතරින් 18%ක් ආගමානුකූලව නොහැසිරෙන බවට හඳුනාගෙන ඇත. යේමනයේ පමණක් එහි පහත වැටීමක් දක්නට ලැබේ. රටේ අගමැතිනිය හෝ අමාත්‍යවරියක වීමේ කාන්තා අයිතියට කලාපය පුරා සිටින බොහෝ දෙනෙකු සිය කැමැත්ත පළ කර තිබිණි. නමුත් ඇල්ජීරියාවෙන් සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් කාන්තාවක රටේ නායිකාව වීම ගැන කැමැත්ත පළ කළේ 50%ට අඩු පිරිසක් වීම විශේෂත්වයකි. නමුත්, කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් ඇතුළු බොහෝ දෙනෙකු පැවසුවේ, ගෘහ ජීවිතයේදී පවුල වෙනුවෙන් අවසාන තීන්දුව ගැනීමේ අයිතිය ඇත්තේ සැමියාට හිමි විය යුතු බවය. මොරොක්කෝවේ පමණක් ජනගහනයෙන් අඩකට මදක් අඩු ප්‍රමාණයක් පවුල තුළ අවසන් තීන්දුව ගැනීම සැමියා සතු කාර්යයයක් ලෙස සිතන බව සමීක්ෂණයෙන් පෙනී යයි. සමලිංගික සම්බන්ධතා ගැන කලාපය පුරා විසිරී ඇති මතය එකිනෙකට වෙනස් වුවත් එය පිළිගැනීම ඉතා අවම මට්ටමක පවතී. ලිබරල් සමාජයක් ඇති බවට ප්‍රසිද්ධියක් උසුලන ලෙබනනයේ පවා මෙය පිළිගනු ලබන්නේ 6%ක් පමණි. අගෞරව වන ආකාරයෙන් හැසිරෙන පවුලේ සාමාජිකයෙකු, විශේෂයෙන් ම කාන්තාවක, ඥාතීන් විසින් ඝාතනය කරනු ලැබීම 'පවුලේ ගෞරවය වෙනුවෙන් සිදු කරන ඝාතන' ලෙස හැඳින්වේ. ලෝකයේ අනෙක් නායකයන් සමග සංසන්දනය කර බලන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග ප්‍රතිපත්ති සමීක්ෂණය පැවැත්වූ සෑම ප්‍රදේශයක ම හිමිව තිබුණේ අවසාන ස්ථානයයි. නමුත් පුදුමයට කරුණ නම්, සමීක්ෂණය සිදු කළ ප්‍රදේශ 11න් 7ක පිරිස අතරින් අඩක් හෝ ඊට වැඩි ගණනක් තුර්කි ජනාධිපති රිසෙප් තයියෙප් එර්දොවාන්ගේ ප්‍රතිපත්ති පිළිගැනීමය. ලෙබනනය, ලිබියාව සහ ඊජිප්තුව යන රටවල එර්දොවාන්ට වඩා ව්ලැදිමීර් පූතීන්ගේ ප්‍රතිපත්තිවලට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් බොහොමයක් නිරන්තරයෙන් සිය ආරක්ෂාව ගැන අවධානයෙන් පසු වේ. කලාපයට දැඩි තර්ජනයක් එල්ල කරන රටවල් ගැන පුද්ගලයන්ගෙන් ඇසූ විට පළමුව ඊශ්‍රායල ද දෙවනුව ඇමෙරිකා එක්සත් ජනපදය සහ තෙවනුව ඉරානයත් ලෙස හඳුන්වන ලදී. සමීක්ෂණය සිදු කළ සෑම රටක ම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත පළ කළේය. සුඩානයේ ජනගහනයෙන් හරි අඩක් සිය රටින් පිටත් වීමට කැමැත්ත පළ කළහ. ආර්ථික ගැටලු මෙයට ප්‍රධානතම හේතුවක් ලෙස ඔවුහු පැවසූහ. නමුත් ඔවුන් සියලුදෙනාගේ ඉලක්කය වන්නේ යුරෝපය නොවේ. උතුරු ඇමෙරිකාවට යෑමට බලාපොරොත්තු වන පිරිසේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, යුරෝපයට සංක්‍රමණය වීමේ කැමැත්ත පෙරට වඩා අඩු වී තිබේ. නමුත් මැද පෙරදිග හැර දා යාමට සිතන පුද්ගලයන් තවමත් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ යුරෝපයටය. මෙම සතිය පුරාවට බීබීසී අරාබි සේවයේ ප්‍රධාන මාතෘකාව මෙය වන අතර, ට්විටර්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ #BBCARABICSURVEY යන හෑෂ්ටැගය භාවිත කර වැඩි විස්තර දැන ගත හැකිය. සමීක්ෂණ ක්‍රමවේදය අරාබි බැරෝමීටර නම් සමීක්ෂණ ජාලයක් විසින් මෙම සමීක්ෂණය පවත්වනු ලැබීය. පලස්තීන භූමි ප්‍රදේශ සහ මැද පෙරදිග රටවල් දහයක දිවි ගෙවන පුද්ගලයන් 25,407ක් සමග මුහුණට මුහුණ ලා සාකච්ඡා පවත්වා තිබිණි. අරාබි බැරෝමීටර සමීක්ෂණ ජාලය අනුයුක්ත වී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයටය. 2006 වසරේ සිට ඔවුන් මේ ආකාරයේ සමීක්ෂණ පවත්වයි. මිනිත්තු 45ක් දක්වා දිගු වූ සාකච්ඡා බොහෝ විට සිදු කර ඇත්තේ ටැබ්ලට් උපකරණයක් හරහා වන අතර, එයට සහභාගී වූ පුද්ගලයන් පෞද්ගලික ස්ථානයක සිට කරුණු දක්වා තිබේ. ඊශ්‍රායලය සහ ඉරානය ඇතුළත් නොවුණ ද, අනෙක් පසින් පලස්තීන භූමි ප්‍රදේශ ඇතුළත් වුව ද, මෙම සමීක්ෂණයෙන් පිළිබිඹු වන්නේ අරාබි ලෝකය තුළ පවතින මතයයි. ගල්ෆ් ඇතුළු කලාපයේ රටවල් බොහොමයක් සම්පූර්ණ සහ සාධාරණ ලෙස සමීක්ෂණය පැවැත්වීමට ඉඩ ලබා නොදිණි. කුවේට්හි ප්‍රතිඵල ලැබීම දැඩි ලෙස ප්‍රමාද වීම හේතුවෙන් එය බීබීසී අරාබි සේවයේ ආවරණය සඳහා යොදා ගැනීමට නොහැකි විය. සිරියාවට ඇතුළු වීමේ ඇති අපහසුතා නිසා සමීක්ෂණයට සහභාගී කර ගත නොහැකි විය. නීතිමය සහ සංස්කෘතික ගැටලු හේතුවෙන් සමීක්ෂණයට ඇතුළත් සමහර ප්‍රශ්න ඉවත් කරන මෙන් රටවල් කිහිපයක් ඉල්ලීම් කර තිබිණි. අවසන් ප්‍රතිඵල එළිදැක්වීමේදී මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන ඇති අතර, සීමාවන් පැහැදිලිව දක්වා තිබේ. මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර අරාබි බැරෝමීටර වෙබ් අඩවියෙන් දැනගත හැකිය. මේ තොරතුරුද කියවන්න:
තමා වෙත තර්ජන එල්ල කළ පුද්ගලයන්ගේ සියලු විස්තර පොලිසිය වෙත ලබා දී ඇති නමුත් ඔවුන් තවමත් නිදැල්ලේ පසු වන බව මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ පවසයි.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේට මීගමුව නගර සභාව ඉදිරියේ දී පහර දෙනු ලැබීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් මීගමුව නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබිණි. තමාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී ඇතත් ප්‍රහාරය මෙහෙය වූ සැබෑ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි ඉහත කී උද්ඝෝෂණයට එක් වෙමින් මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ කියා සිටියේ. නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු එහිදී ප්‍රකාශ කළේ යහපාලන රජය යටතේ සිදු වූ පළමු මාධ්‍ය ප්‍රහාරය මෙය බවයි. විදියේ විරෝධය, මාධ්‍ය, ගුරු, ධීවර, කම්කරු සහ ආගමික සංවිධානවල සාමාජිකයන් මෙන්ම ආගමික නායකයන් ද උද්ඝෝෂණයට සහභාගී වී සිටි බවයි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.
පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සිකුරාදා (අගෝස්තු 25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එසේ සම්මත කර ගත් පනත් කෙටුම්පත සහතික කර තමන් වෙත ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් දින හැත්තෑ පහක්වත් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය. නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පමණක් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. "පනත සහතික කර එන්නත් සැප්තැම්බර් පහ, හය වගේ දිනයක් යයි. එවිට ඡන්දය පැවැත්වෙන දිනය කොමිෂන් සභාව එක් වී තීරණය කරන තුරු නිශ්චිතවම කියන්න බැහැ. නමුත් මේ අවුරුද්දෙම තියන්න උපරිම උත්සාහය දරනවා" ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය. යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් එය ලබන වසරේ ජනවාරි මුල් සති දෙක ඇතුළත සෙනසුරාදා දිනයක පැවැත්වීමට පියවර ගනු ලබන බව ඔහු පැවසීය. තරුණ ප්‍රජාව වෙත ඉල්ලීමක් මේ අතර 2017 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්ට සිය නම ඊට ඇතුළත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය. විශේෂයෙන් තරුණ ප්‍රජාව ඉලක්ක කර එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන බව කී ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.elections.gov.lk) පැමිණ 2017 ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර ගන්නා ලෙස ඉල්ලා සිටී. ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති නම් සැප්තැම්බර් 06 වෙනිදාට පෙර ඒ බව දැන්විය යුතුය. ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති බව දැන්විය හැකි ක්‍රමවේද:
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටින හමුදා භටයන් ඉවත් කිරීමේ කිසිදු වෙනසක් නැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.
'පරණ තීන්දුවම තමයි තියෙන්නේ, යුද හමුදාවෙන් ආරක්ෂාව ඒ අයට සපයන්න බෑ' ප්‍රභූ ආරක්ෂාව පිණිස හමුදා නිලධාරීන් යෙදවීම නීති විරෝධී බව පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා, එබැවින් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව පිණිස යොදවා සිටි හමුදා භටයන් 103 දෙනා ඉවත් කරන බව සඳහන් කළේය. එහෙත් එම ප්‍රකාශයෙන් අනතුරුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් නොකරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බවක් ජනමාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් ආණ්ඩුවේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි, ඕස්ට්‍රේලියාවේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ. "පරණ තීන්දුවම තමයි තියෙන්නේ, යුද හමුදාවෙන් ආරක්ෂාව ඒ අයට සපයන්න බෑ. ඒ අයට සපයන්නේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් සහ පොලිසියේ පොදු ආරක්ෂාවට සපයන ආරක්ෂකයන් පමණයි," ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය.
ඌව පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට මහඇමතිකම ලබා දීමට සහය පල කරමින් දිවුරුම් ප්‍රකාශ ලබා දෙති.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සහය පළ කරමින් එජාපයෙන් ඉවත්ව සන්ධානයට ගිය එක්සත් ජාතික පක්ෂයේ ජානක තිස්සකුට්ටිආරච්චි ද විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට සහයෝගය දක්වන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබිණ. ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ඌව පළාත් සභාවේ සංයුතිය වී තිබුණේ සන්ධානයට 19 ක්, එජාපයට 13 ක් හා ජවිපෙට 2 ක් වශයෙන් වුවත් එක්සත් ජාතික පක්ෂයේ ජානක තිස්සකුට්ටිආරච්චි එක්වීමත් සමඟ මන්ත්‍රී සංයුතිය 20 දක්වා ඉහල ගොස් තිබුණි. එහෙත් අද පළාත් සභාව රැස්වූ විට පැමිණ සිටියේ 11 දෙනකු පමණි. විපක්ෂයෙන් පැමිණ සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු පැමිණ නොසිටි අතර ඔවුන් ද විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු සමඟ ආණ්ඩුකාර නන්ද මැතිව් මුණ ගැසීමට ගොස් සිටියහ. එම පිරිස සමඟ නොගියත් ජානක තිස්සකුට්ටිආරච්චි සහ ඉකුත්දා එක්සත් ජාතික පක්ෂයට එක්වූ වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරුද මහා ඇමතිවරයා හමුවී විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට සහය දෙන බවට දිවුරුම් ප්‍රකාශ ලබාදී තම ස්ථාවරය ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ. විපක්ෂයට එක්ව සිටින කණ්ඩායම අතර පළාත් සභාවේ කෘෂිකර්ම හා සංචාරක ඇමති අනුර විදානගමගේ ද වෙයි. මේ වන විට තමන්ට පළාත් සභාවේ බහුතර බලයක් ලබා ගැනීමට මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහය දක්වන නිසා මහා ඇමතිධුරය තමන්ට ප්‍රදානය කරන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය ඇතුළු ආරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද දැඩි අවධානයකින් පසු වේ.
ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටීම ඊට බලපා ඇති විශේෂ හේතුවකි. කටාර් රාජ්‍ය, කලක් ගල්ෆ් කලාපයේ දුගී රටවල් අතරින් එකකි. නමුත් මේ වනවිට කටාර් රාජ්‍ය එම කලාපයේ තිබෙන ධනවත්ම රටවල් අතරින් එකක් බවට පත්ව ඇත. කටාර් රාජ්‍ය සිය කලාපීය සහ ගෝලීය අභිලාෂ මුදුන් පත් කර ගැනීම සඳහා ඛනිජ සම්පත් ඔස්සේ ලැබෙන ආදායම උපයෝගී කර ගනු ලබයි. පලස්තීන හමාස් සංවිධානය, ඊජිප්තුව සහ සිරියාවේ ඉස්ලාමීය කණ්ඩායම් වැනි කලාපයේ ඇතැම් සංවිධාන සම්බන්ධයෙන් ඩෝහා පාලනය සිදු කරනු ලබන මැදිහත්වීම් සෙසු අරාබි රටවල නායකයන්ගේ සතුටට හේතු නොවේ. ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කරන්නේ එවැනි පසුබිමකය. කෙසේ නමුත් කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. කටාර් රාජ්‍යය මේ අතර කටාර් පාලනය තම රට තුළ ද ඇතැම් ගැටලුවලට මුහුණ දෙමින් සිටී. ඛනිජ තෙල් ඔස්සේ ලැබෙන මුදල් සිට රට වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවන කටාර් රාජ්‍ය එරට සේවයේ නිරත විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල විවේචනයට ලක්වේ. අල්-තානි පවුල ෂේක් තමිම් බින් හමාද් අල් තානි 2013 වසරේ දී ෂේක් තමිම් බින් හමාද් අල්-තානි කටාර්හි නායකත්වයට පත් වන්නේ ඔහුගේ පියාගෙන් පසුවයි. ඔහු එරට සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය සේනාධිනායකයා වන අතර ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ද ඔහුයි. මෑත කාලය තුළ ඔහු විසින් හමුදා සහ ආරක්ෂක අංශවල වගකීම් විශාල වශයෙන් සියතට පවරා ගනු ලැබ ඇත. සිය පියා මෙන් ඔහු ද බ්‍රිතාන්‍යයේ ඉගනුම ලැබීය. කටාර් ආණ්ඩුව විසින් අල් ජසීරා ප්‍රවෘත්ති ආයතනයේ හිමිකාරිත්වය දරනු ලබයි. කලාපය තුළ සංවේදී යැයි සැලකෙන විෂයන් පිළිබඳ අල් ජසීරා අරාබි සේවය විවෘතව කතාබහට ලක් කළ ද කටාර් රාජ්‍ය සහ මිත්‍ර ගල්ෆ් රටවල් සම්බන්ධයෙන් විවේචන කිරීමෙන් එම ආයතනය වැළකි සිටී. මාධ්‍ය සහ අන්තර්ජාලය කටාර්හි දිනපතා පළ වන ප්‍රධාන පුවත්පත් හා පාලක තානි පවුල අතර සබඳතා පවතී. කටාර්හි දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එරට පුවත්පත් සුළු වශයෙන් හෝ වාර්තාකරණයේ නොයෙදෙයි. එරට අන්තර්ජාලය භාවිත කරන පිරිස ලක්ෂ විසි දෙකකි. ඉස්ලාම් ආගමට නිගරු වන බවට සැලකෙන සහ ලිංගික දර්ශන සහිත වෙබ් අඩවි කටාර් ආණ්ඩුව විසින් නියාමනයට ලක් කරනු ලැබ ඇත. ඉතිහාසයේ සුවිශේෂී අවස්ථා 1700: කටාර්හි වෙරළබඩ ප්‍රදේශවල මුතු කර්මාන්තය සහ වෙළඳාම ආශ්‍රිත සංක්‍රමණික ජනාවාස බිහි විය. 1916: ආරක්ෂාව ලබා දෙන බවට වූ සහතිකය මත බ්‍රිතාන්‍ය කටාර්හි විදේශ සබඳතා පාලනය කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීය. 1936: ඛනිජ නිධි සොයා ගනු ලැබූ නමුත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් කැණීම් කටයුතු ප්‍රමාද විය. නමුත් මුතු සහ ධීවර කර්මාන්තය වෙනුවට ඛනිජ තෙල් කටාර්හි ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් විය. 2005 ජුනි: ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් කටාර්හි පළමු ලිඛිත ව්‍යවස්ථාව බලාත්මක විය. 2017 ජුනි: සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කළහ. ඒ අන්තවාදයට සහ ඉරානයට සහාය ලබා දෙන බවට චෝදනා කරමිනි. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : sinhala@bbc.co.uk
දැඩි ගන්ධයක් විහිදෙන පලතුරක් සමග අභ්‍යවකාශ යානයක සිර වී සිටින්නට සිදු වුවහොත් ඔබට දැනෙන හැඟීම කෙබඳු වේද?
දූරියන් ප්‍රසිද්ධ එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි අනාගත අභ්‍යවකාශ ගමන් සඳහා තායිලන්ත ආහාර යෝග්‍ය බව පෙන්වීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එළඹෙන ජූලි මස දූරියන් ගෙඩි අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කර තිබේ. පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන ඒමට නියමිතය. එසේ රැගෙන ආ දූරියන් යම් වෙනසසකට ලක්වී ඇත්දැයි විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක්වනු ඇත. අග්නිදිග ආසියාවේ පලතුරක් වන දූරියන් වඩා ප්‍රකට එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි. එක්සත් ජනපදයේ නිෂ්පාදිත රොකට්ටුවකින් මෙම පලතුර අභ්‍යවකාශගත කරනු ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර සිටී. පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන එනු ලැබේ. තායිලන්තය තවමත් අභ්‍යවකාශයට යන රටවල් අතර නැතත් අනාගතයේ දී අභ්‍යවකාශ ගමන් සදහා අහාර සැපයීමේ යෙදීමට බලාපොරොත්තු වේ. "අපේ ප්‍රධාන ඉලක්කය වනුයේ ගගනගාමීන්ගේ පරිභෝජනය සදහා තායි ආහාර අභ්‍යවකාශයට යැවීමයි" යනුවෙන් 'Geo-Informatics and Space Technology Development Agency'හි ප්‍රකාශකයෙක් බීබීසී වෙත පැවසීය. "මෙම ව්‍යාපෘතියේ ආරම්භයක් ලෙස අපි තායිලන්තයේ පලතුරුවල රජු ලෙස හැඳින්වෙන දූරියන් තෝරා ගත් අතර එය අභ්‍යවකාශයේ ගගනගාමීන් ජීවත්වන මට්ටමට යවා නැවත පොළොවට රැගෙන විත් කිසියම් වෙනස්කමක් සිදුව ඇත්දැයි නිරීක්ෂණය කරනවා" මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් "පෑඩ් තායි හෝ අඹ මිශ්‍ර බත් වැනි තවත් බොහෝ තායිලන්ත ආහාර අභ්‍යාවකාශයට යැවීමට හැකියි," ප්‍රකාශකයා තවදුරටත් පැවසීය. මේ තොරතුරුද කියවන්න: දූරියන් පලතුර තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ අතර, මැලේසියාව, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවලද දක්නට ඇත. මෙම පලතුරෙන් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙන් සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතිවල දූරියන් රැගෙන යෑම තහනම් කර ඇත. අලියෙකු සිටින ලාංඡනයක් සමග මෙම දූරියන් අභ්‍යවකාශගත කරනු ඇත කෙසේ වෙතත්, අභ්‍යවකාශයට යවන ප්‍රථම කලාපීය පලතුර දූරියන් නොවේ. 2008 දී දකුණු කොරියානු ගගනගාමියෙකු සමග 'කිම්චි' නැමැති ගෝවාවලින් සාදන කොරියානු ජාතික ආහාරයක් අභ්‍යවකාශය වෙත යවන ලදී. තවත් තොරතුරු:
මඩකලපුවේ කුරුක්කල්මඩම්හි දී එල්ටීටීඊ ය විසින් පැහැර ගන්නා ලද පුද්ගලයන්ට සිදු වූ දෙයක් තවමත් දැන ගැනීමට නොමැති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.
ඔවුන් ඒ බව කියා සිටියේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම අද කාත්තන්කුඩිහි දී සාක්ෂි විභාගය ආරම්භ කළ අවස්ථාවේ. කොමිසම මුස්ලිම් ප්‍රදේශයක සාක්ෂි විමසන පළමු වතාව මෙයයි. පැහැර ගැනීමට ලක් වූවන්ගේ පවුල්වල බොහෝ ඥාතීන් කොමිසමට කරුණු කියා පෑමට කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි බවයි, බීබීසී සංදේශය වෙනුවෙන් වාර්තා කරන ශාන්ති සෙල්වදුරෙයි පවසන්නේ. කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බොහෝ දෙනා මුස්ලිම් ජනතාව බවත් ඔවුන් 1990 ජූලි හත් වෙනි දින මඩකලපුවේ කුරුක්කල්මඩම්හි දී පැහැර ගැනීමට ලක් වූවන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවත් ශාන්ති සෙල්වදුරෙයි පවසයි. වසර විසිහතරක් සැමියා සොයා එම සිද්ධියේදී එකසිය හැත්තෑ පස් දෙනකු පමණ මරා දැමුණ බවයි සාක්ෂිකරුවන් කියා ඇත්තේ. මොහමඩ් කාසිම් මොහමඩ් හනීෆා පවසන්නේ,1990 සිද්ධියේදී ඔහුගේ සහෝදරයන් දෙදෙනකු අහිමි වූ බවයි. හතළිස් අට හැවිරිදි ෂාබියා උම්මා පවසන්නේ තමාට තම පියා අහිමි වූ බවයි. තවත් කාන්තාවක් කියා සිටියේ තමා 1990 දී අතුරුදහන් වූ තම සැමියා තවමත් සොයන බවයි. තවත් සාක්ෂිකරුවන් කියා සිටියේ මව්පියන් සහෝදර සහෝදරියන් හෝ වෙනත් කවුරුන් හෝ ඥාතියකු තමන්ට අහිමි වූ බවයි. සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ පැවැත්වෙන සාක්ෂි විභාගයට එකසිය දෙදෙනකු කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවත් ශාන්ති සෙල්වදුරෙයි පවසයි. ඉරිදා සහ සඳුඳා මන්මුනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද කොමිසම සාක්ෂි ලබා ගැනීමට නියමිතයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් බීබීසී සිංහල සේවයට පැවසීය. "නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙනත් නෑ. ඒවගේම විශ්වාස භංගයට මුල් වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනා කිරීමක්, සාකච්ඡා කිරීමක් හෝ වෙනත් කිසිම දෙයක් කරලා නැහැ," කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියි. පෞද්ගලිකව තමන් එම යෝජනාවට විරුද්ධ වන්නේ කුමක් නිසාද යන කරුණත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා විස්තර කළේය. "මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ" ඔහු පෙන්වා දෙයි. "තනි පුද්ගලයෙකුට ඒ වගකීම භාරගන්න පුළුවන් කමක් නෑ." අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ අතර පවසයි. පසුගිය සතියේ ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අදාළ යෝජනාව මේ සතියේ ඉදිරිපත් කරන බව සඳහන් කළේය. "අගමැතිට ළඟදීම යන්න වෙනවා" - මහින්ද "අගමැතිට ළඟදීම යන්න වෙනවා" යයි එහිදී සඳහන් කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, "අගමැති යවන්න, එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු කටයුතු කරයි වගෙයි පෙනෙන්නේ.මට කරන්න දෙයක් නැති වෙයි," හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. එජාප මතය එහෙත් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, පක්ෂයේ කිසිදු බෙදීමක් නොමැති අතර, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්සත්ව අගමැතිවරයාට සහාය පළ කරන බවය. ඒකාබද්ධ විපක්ෂය එය ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ලෙස බැවින් කිසියම් ඇමතිවරයෙක් එයට සහාය පළ කරන්නේ නම් ඔහුට පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බව ද විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් පැවසීය. පසුගියදා කරන ලද කැබිනට් සංශෝධනය "කොමඩියක්" ලෙසින් විග්‍රහ කළ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද සඳහන් කළේ විශ්වාස භංග යෝජනාවට සහාය දෙන්නේද, නොදෙන්නේද යන්න තීරණය කිරීමට සිදුවන්නේ චෝදනා සලකා බැලීමෙන් අනතුරුව බවය. මෑතදී අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි විවේචනයට ලක් කළ පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ. ශ්‍රීලනිප ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ටී.බී ඒකනායක අමාත්‍යවරයා විශ්වාස භංග යෝජනාවට පක්ෂය අත්සන් තබා ඇති බව මේ අතර ජනමාධ්‍ය වාර්තා කරයි. "මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ" ඒ පිළිබඳ තමන් ද දුටුවේ මාධ්‍ය මගින් පමණක් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි දුමින්ද දිසානායක අමාත්‍යවරයා, විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය දැඩි විවේචනයට ලක් කළේය. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේ අගමැතිවරයා කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති නිසා නොවේ දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කියා සිටියේ එවැනි ඉල්ලීමක් කළේද යන්න ගැන නිල වශයෙන් කිසිවක් කිව නොහැකි බවය. "ඒ කෙසේ වෙතත්, මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට, ඒ වගේම ආණ්ඩුවට දේශපාලන වශයෙන් තේරුම් ගත යුතු කාරණා සහ වෙනස් කළ යුතු කාරණා වෙනම තියෙනව," ඔහු පැවසීය. 'ආණ්ඩුව විනාශ කිරීමේ අරමුණක්' එබැවින් අදාළ විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" අරමුණින් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන දේශපාලන උපාය මාර්ගයක් බව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ විග්‍රහය වී තිබේ. "ඔවුන් බලාපොරොත්තු වනවා - එෆ්සීඅයිඩී එක අයින් කරගන්න, ඒවගේම ඒගොල්ලන්ට තියන නඩු හබ ටික අයින් කරගන්න, ඒවගේම සුවිශේෂී අධිකරණයක් පත්කරන වැඩේට විරුද්ධ වෙන්න. ඉතින් බොහොම පැහැදිලිව මේ සියල්ල යට තියෙන්නේ තමන්ට විරුද්ධව තියන චෝදනාවලින් කොහොමද ගැලවෙන්නේ කියන කාරණාව." එබැවින් 2015 ජනවාරි 08 ජනවරමට පිටු නොපෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු සියලු දෙනාට "වගකීමක් තිබෙන" බව ද අමාත්‍ය දුමින්ද දිසානායක අවධාරණය කළේය. "මේ රටේ අති බහුතරයක් ජනතාව මේ මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ, හොරු ගැන කතා කළාට හොරු ඇල්ලුවේ නැති නිසා. හොරුන්ට ජයගන්න දෙන්නේ නැති ඕනෑම දෙයක් කිරීමට මේ ආණ්ඩුවට විශාල වගකීමක් තියෙනව." පක්ෂයක් ලෙසින් තීන්දුවක් ගෙන නැතත්, සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර සහ එස්.බී දිසානායක අමාත්‍යවරුන් මෙන් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා වැනි පිරිසක් විශ්වාස භංග යෝජනාවට සහාය දිය යුතුය යන ස්ථාවරයක සිටින බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා කියා සිටියේ ඔවුන් සියලු දෙනාම ජනවාරි 08 ජනපතිවරණයේදී "හොරකම, දූෂණය, වංචාවට විරුද්ධ නොවූවන්" බැවින් තමන් ඒ පිළිබඳව "පුදුම නොවන" බවය. "එතකොට හැබෑවටම ජනතාව නියෝජනය කරපු අයගේ මතය ඕක නෙවෙයි. ඉතින් මත දෙකක් මෙතන තියෙනව."ඇමතිවරයා කියා සිටියි. බොහෝ දූෂිතයන්ට එරෙහිව අධිකරණ විමර්ශන ආරම්භ වී තිබෙන මොහොතක් ඔවුන්ගේ "ගැලවීම වෙනුවෙන්" කෙරෙන මෙවැනි උත්සාහයකට කිසිසේත් සහාය දිය නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක අවධාරණය කළේය. තවත් වාර්තා:
ජාවාරම්කරුවන් විසින් සපයනු ලබන බෝට්ටු හා නැව් මගින් ඕස්ට්‍රේලියාව බලා යෑමට උත්සාහ නොකරන ලෙසට ඕස්ට්‍රේලියානු රජය කරන නිවේදන නොතකා එහි යාමට උත්සාහ ගත් තවත් පිරිසක් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
පසුගිය පැය 24 තුලදී මෙසේ නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට තැත් කළ105 දෙනකු පොලීසිය සහ නාවික හමුදා විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. ඕස්ට්‍රේලියාවේ දී මෙසේ පැමිණෙන පුද්ගලයන්ට විශේෂ සැලකිලි නැති බවත්, රැකියා අවස්ථා නොමැති බවත් පවසමින් ඕස්ට්‍රේලියානු රජය විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට එහි නොපැමිණෙන ලෙසට දන්වා සිටී. යාපනය, කිලිනොච්චි,වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් 44 දෙනකු කළුතර, කළුවාමෝදර දී අද (සිකුරාදා) අලුයම අත් අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. දෙමළ ජාතිකයන් වන මේ පිරිස අතරේ කාන්තාවන් පස් දෙනක් සහ ළමුන් හතර දෙනකුද සිටින බවයි පොලීසිය පවසන්නේ. තවත් 61 දෙනකු බෝට්ටුවක ගමන් කරමින් සිටියදී වාකරේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබේ. මේ අය අතරින් එක් සිංහල ජාතිකයකු හැර සියලු දෙනාම දෙමළ ජාතිකයන් වන අතර, කාන්තාවන් අට දෙනකු සහ දරුවන් දහ දෙනකුද සිටින බව පොලීසිය පැවසුවේය. මේ අතර, පසුගිය දින කිහිපය තුල ඕස්ට්‍රේලියාවට දේශපාලන රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකන් අතරින් 38 දෙනෙක් ඊයේ බ්‍රහස්පතින්දා පෙරලා පැමිණියහ. මෙයින් කිහිප දෙනෙකු ස්වකැමැත්තෙන් පැමිණියත් බොහෝ දෙනා ඔවුනගේ කැමැත්ත නොසලකමින් බලහත්කාරයෙන් පිටමන් කොට ඇති බවට යි වාර්තා වී තිබෙන්නේ. මේ අනුව පසුගිය මාස කිහිපය තුල යලි පැමිණි පිරිස දහසක් ඉක්මවන බව ගණන් බලා තිබේ. මෙලෙස බලහත්කාරයෙන් සරණාගතයන් යළි පිටත් කිරීමේදී ඔවුන් පිලිබඳ විධිමත් වග විභාගයක් සිදු නොකිරීමෙන් මෙම පිරිස් අනතුරට පත් කෙරෙන බවට මානව හිමිකම් කොමිසම චෝදනා එල්ල කර සිටී. එරට බලධාරීන් ශ්‍රී ලාංකික සරණාගත පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක කරවන නව, කඩිනම් ක්‍රියා පිළිවෙත තුල සැබෑ ලෙස රැකවරණ ලැබිය යුතු පුද්ගලයනට නීතිමය උපදෙස් ලබා ගැනීමේ අවස්ථා මෙන්ම අභියාචනා ඉදිරිපත් කිරීමේ ඉඩකඩද අහිමිවී ඇති බවටයි ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම චෝදනා එල්ල කරන්නේ.
කොස්ලන්ද, මීරියබැද්දේ නායයෑමට ලක්වු භූමියේ සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් නවතා දමන හැඩක් දක්නට ලැබෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
බේරාගැනීමේ සහ සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම ඉතා අවදානම් බව ආණ්ඩුව පවසයි නායයාමට යට වූ අවසන් මළසිරුර සොයාගන්නා තෙක් මෙහෙයුම් සිදු කරන මෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල රජයෙන් ඉල්ලා සිටියේය. "අපිට පේනවා ජාත්‍යන්තර ආණ්ඩු මේ වගේ ආපදා වුනාම, අවසාන මෘත දේහ ගොඩගන්නකන් අත්හරින්නේ නැහැ. මම රජයට කියන්නේ මේක අත් හරින්න එපා. අත් හරින ස්වභාවයක් පේනවා," යනුවෙන් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්. නායයාමෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු ඥාතීන්ට ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව පැවසූ මන්ත්‍රීවරයා මළසිරුරු ගොඩගැනීමේ විශාල ප්‍රමාදයක් පවතින හැඩක් පෙනීයන බවද පැවසීය. 'ප්‍රමාදයක්' "අවශ්‍ය සහනාධාර දෙන්න රජය මහන්සිවෙනවා. නමුත් දේහයන් ගොඩගැනීමේ විශාල ප්‍රමාදයක් තිබෙනවා. ඒකට අවශ්‍ය ශක්තිය රජයට තියෙනවද කියන එක ප්‍රශ්නයක්." රජය වෙනුවෙන් මෙයට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මෙහෙයුම් සිදුකිරීමට අදාළ තාක්ෂණික ගැටළු පැන නැගී ඇති බවයි. "මෙතැන අවදානම් තත්වයක් තියෙනවා. මෙතන හාරන්න ගන්න කොට අර උඩ තියෙන පස් තට්ටුව එයි කියලා. ඒ නිසා බොහොම පරිස්සමෙන් කර ගෙන යන්නේ," යනුවෙන් ඇමතිවරයා පැවසීය. එහිදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ තාක්ෂණික පහසුකම් ජාත්‍යන්තර රටවල සහයෙන් ලබාගත යුතු බවයි. මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස මේ වනවිට ඩොලර් 50,000 ක ආධාරයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි. එමෙන්ම අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ල්ඩ්විෂන් ආයතනය මාර්ගයෙන් ලබාදෙමින් පවතින බවත් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉන්දුනීසියාවේ ඉස්ලාම් පූජකවරියන් විසින් ළමා විවාහවලට එරෙහිව පෙර නොවූවිරූ ෆට්වා නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ජාවා දූපතේ පැවති සම්මන්ත්‍රණය මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගීත්වයෙන් පැවති පළමු ප්‍රධාන හමුව ලෙස විශ්වාස කෙරේ එරට ඉස්ලාම් පූජකවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති තෙදින සම්මන්ත්‍රණයකින් අනතුරුව නිකුත් කරන ලද අදාළ ෆට්වා නියෝගයට නෛතික බැඳීමක් නොමැති නමුත් එය ළමා විවාහ සම්බන්ධයෙන් බලපෑමක් සිදු කළ හැකි ප්‍රබල සාධකයක් වනු ඇත. ෆට්වා නියෝගයක් යනු ඉස්ලාමීය රටවල ආගමික කරුණක් සම්බන්ධ අධිකාරවත් නියෝගයකි. එම නියෝගය ප්‍රකාරව දැනට පවතින අවුරුදු දාසයේ විවාහ විය හැකි අවම නෛතික වයස් සීමාව අවුරුදු දහඅට දක්වා වැඩි කරන ලෙස පූජකවරියෝ එරට ආණ්ඩුවට බල කර සිටිති. මුස්ලිම් භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව ලොව වැඩි වශයෙන්ම ළමා විවාහ සිදුවන රටවල් අතරින් එකකි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) වාර්තාවලට අනුව ඉන්දුනීසියාවේ කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු විවාහ වන්නේ වයස අවුරුදු දහඅටට අඩුවෙනි. ජාවා දූපතේ පැවති සම්මන්ත්‍රණය මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගීත්වයෙන් පැවති පළමු ප්‍රධාන හමුව ලෙස විශ්වාස කෙරේ. උලමා සභාව මුස්ලිම් භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව ලොව වැඩි වශයෙන්ම ළමා විවාහ සිදුවන රටවල් අතරින් එකකි ෆට්වා නියෝග ඉන්දුනීසියාව තුළ නිතර ප්‍රකාශයට පත්වන නමුත් සාමාන්‍යයෙන් එවැනි නියෝග නිකුත් කරනු ලබන්නේ සම්පූර්ණයෙන් පාහේ පුරුෂයන්ගෙන් සැදුම්ලත් උලමා සභාව විසිනි. "කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන බාධා සහ ගැටලු සම්බන්ධයෙන් මේ පූජකවරියන් හොඳින්ම දන්නවා. මේ දරුවන් ආරක්ෂා කර ගන්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්න තුරු සිටිය යුතු නැහැ, අපිට ක්‍රියාමාර්ග ගත හැකියි" යනුවෙන් සම්මන්ත්‍රණයේ සංවිධායකවරිය නිනික් රහායු රොයිටර් පුවත් සේවයට කියා සිටියාය. මේ අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මානව හිමිකම් ක්‍රියාධාරිනියක් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසුවාය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව තමන් කළ සමීක්ෂණයකදී දක්නට ලැබුණු බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩ කිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් 'ථෙරවාදී භික්ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීම' නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව යයි රජය පවසයි.
බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම අදහස පළ කළේ අද(14) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. භික්ෂූන් වහන්සේලා පාලනයට නීති පැනවීමට රජය උත්සාහ කරන බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ. 'ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම' නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම ශ්‍රී ලංකා රජය සිදු කළේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි භික්ෂූ කතිකාවත්වලට අවශ්‍ය නීතිමය බලය ලබා දීම පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණයෙන් සඳහන් කළේ. නෛතික බලය ‘ඒ ඒ නිකායන් මගින් සම්මත කර ගෙන තිබෙන කතිකාවත් වල කොන්දේසි උල්ලංඝණය කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය තීන්දු ගැනීමේ බලයක් මහා නායක ස්වාමින් වහන්සේලාට සහ කාරක සංඝ සභාවලට තියෙනවා. එවැනි තීන්දු තීරණ ගත්තත් ප්‍රශ්නය ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් දැනට මහා සංඝරත්නයට නොමැති කම’ අධිකරණ ඇමතිවරයා පෙන්වා දෙයි. අවශ්‍ය නීති සම්පාදනයට දායක වන නමුත් භික්ෂූ කතිකාවත් සකස් කිරීමට හෝ විනය නීති උල්ලංඝනය කරන භික්ෂූන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි. ‘අදාළ නිකායේ හෝ පාර්ශවයේ නායක භික්ෂූන් වහන්සේලා පමණයි තීරණ ගන්නේ. මේ පනත මගින් අපි කරන්නේ ඒ කතිකාවත් ලියාපදිංචිය සහ කතිකාවත් යටතේ නායක භික්ෂූන් වහන්සේලා ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය බලය ලබා දීම පමණයි’ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩි දුරටත් තහවුරු කරයි. සංශෝධන වලට ඉඩ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ත්‍රෛනිකායක මහා නාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව යයි සඳහන් කළ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ‘සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව ලද අනුමැතිය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් සංශෝධන තිබෙනවා නම් කාරක සභා අවස්ථාවේ දී ඒවා ඉදිරිපත් කළ හැකි’ බවත් සඳහන් කළේය. භූත විද්‍යාවන් සහ ගුරුකම් කිරීම, අනවින සිදු කිරීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීම ආදී විනය විරෝධී ක්‍රියා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග අදාළ නිකායට හෝ පාර්ශවයට අවශ්‍ය පරිදි සිය කතිකාවත්වලට ඇතුළත් කළ හැකි බව සඳහන් කළ ඇමතිවරයා ඒවා ඇතුළත් කරනවාද නැද්ද යන්න ඒ පාර්ශ්වයේ අභිමතය පරිදි තීන්දු කළ හැකි බවත් පෙන්වා දෙයි. භූත විද්‍යා අනවින කොඩිවින යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා දැනටමත් දක්වන විරෝධය ගැන යොමු වූ අමාත්‍යවරයා ‘මෙම පනත් කෙටුම්පත සකස් කර තිබුණේ පසුගිය රජය සමයේ’ බවයි කියා සිටියේ. එහි ඇති අඩුපාඩු සකස් කරමින් නව රජය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි ඇමතිවරයා පවසන්නේ. ‘මේ ආණ්ඩුවට විතරක් නොවෙයි, පසු ගිය ආණ්ඩුවටත් භික්ෂූ සමාජයෙන්ම දෝෂාරෝපණ එල්ල වුණා - අවශ්‍ය අණපනත් ගෙන ඒමට පියවර නොගන්නා බවට. දැන් අපි ඒ දෝෂයෙන් නිදහස් වෙමින් මහා නායක හිමිවරුන්ගේත් උපදෙස් අනුවයි මේ පනත ගෙනාවේ’ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ප්‍රමාණවත් වේගයකින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම හේතුවෙන් තම ඉවසීම අඩු වෙමින් ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය කියා සිටී.
නිෂා බිස්වාල් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් තම ශ්‍රී ලංකා සංචාරය හමාර කරමින් කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ,යුක්තිය,සාධාරණත්වය, සහ වග වීම් පිළිබඳ ව ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැති වීම පිළිබඳ ව තමන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ වග කිව යුතු නිලධාරීන්ට දන්වා සිටි බවයි. “මානව හිමිකම් තත්ත්වය නරක අතට හැරීම ගැන අපේ අවධානය යොමු වී තියෙනවා.ඒ වගේම ආගමික සුළුතර කොටස් වලට එල්ල වන ප්‍රහාර,නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ,දූෂණය වැඩි වීම සහ දඬුවම් ලැබීමකින් තොර ව වැරදි සිදු කිරීමට ඉඩ දී තිබීම යන කරුණු ගැනත් අවධානය යොමු වී තිබෙනවා. මේ සියලු කරුණු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීමට මග පාදනවා.” නිෂා බිස්වාල් ප්‍රකාශ කළාය. ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම නිෂා බිස්වාල් විදේශ ඇමති ජී.එල්.පීරිස් හමු වී ශ්‍රී ලංකාවට ලඟා වූ විදේශීය නිලධාරීන් හමු වී කරුණු කියා සිටි ජනතාව බිය ගැන්වීමට ලක් කළ අවස්ථා තමන්ට වාර්තා වී ඇති අතර,එය ඉතා බැරෑරුම් එසේම අනුමත කළ නො හැකි තත්වයක් බවයි, නිෂා බිස්වාල් වැඩිදුරටත් කියා සිටියේ. ආසියාව ගෝලීය ආර්ථිකය තුළ ප්‍රධාන පෙළේ භූමිකාවක් අත්පත් කර ගනිමින් සිටින මොහොතක ශ්‍රී ලංකාවත් එහි කොටස් කරුවෙකු වනු දැකීම තම අභිමතාර්ථය බව සඳහන් කළ නිෂා බිස්වාල්, කෙසේ වෙතත් සාධාරණත්වය, සංහිඳියාව සහ වග වීමෙන් තොරව ශ්‍රී ලංකාවේ ජනතාවට කල් පවත්නා සාමයක් සහ සම අවස්ථා තහවුරු කෙරෙන සෞභාග්‍යයක් අත් පත් කර ගත නො හැකි බවයි අවධාරණය කළේ. ඇමරිකා එක්සත් ජනපදය , මාර්තු මාසයේ ,ජිනීවාහි රැස්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිම්කම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට පියවර ගනිමින් සිටී.
වැඩිහිටියන්ට සීමා වූ 'Playboy' සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කිරීමට සැරසෙයි.
ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි 'Playboy' සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ 'ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමනයන් අභියෝගයට ලක් කිරීම සඳහා' බව ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි පවසන්නීය. බටහිර විලාසිතාවට අනුව ටී ෂර්ටයක්, ඩෙනිම් කලිසමක් සහ ජැකට්ටුවකින් සැරසුණු නූර් තාගොරි නිරුවත, විනීතභාවය පිළිබඳ හඬ අවදි කරන්නීය. මුස්ලිම් කාන්තාවන් හිජාබයකින් සැරසී සිටීම තුළින් ඔවුන් ''දැඩි පාලනයකට'' නතු වීම හෝ ''අවනත භාවයකට'' යටත් වන බවට පවතින අදහස ඇය ප්‍රතික්ෂේප කරයි. ඇමරිකාවේ වාණිජ රූපවාහිනී ක්ෂේත්‍රයේ හිජාබයකින් සැරසුණු පළමු පුවත් නිවේදිකාව බවට පත් වීම සිය ඉලක්කය බවයි අරාබි සම්භවයකින් පැවත එන විසි දෙහැවිරිදි නූර් පවසන්නේ. පාඨකයන් වෙත පණිවුඩයක් දැනට ඇය 'Newsy' නමැති ඇමරිකානු වීඩියෝ පුවත් මාධ්‍ය ජාලයක සේවය කරන්නීය. 'Washington post' පුවත්පතට පසුගිය වසරේදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිය ඉලක්කයට ආගම බලපෑමක් වනු ඇති බවට ඇතැමුන් පළ කරන අදහසට තමා විරුද්ධ බවයි. ''මා හිජාබයකින් සැරසී පුවතක් වාර්තා කළා කියලා අන්තර්ගතයේ කිසිඳු වෙනසක් සිදු වන්නේ නැහැ,'' ''ඒ තුළින් මට යමි කිසි ධෛර්යක් ලැබෙනවා. මට අවශ්‍ය ඉලක්කය කරා යාමට එය උදව් වෙනවා,' කෙසේ වෙතත් 'Playboy' සඟරාවේ පළ වන විශේෂාංගයකට පෙනී සිටීමට නූර් ගත් තීන්දුව සහ ඇයගේ ජීවන රටාව පිළිබඳ ඇතැමුන් එකඟ නොවේ. 'Playboy' සඟරාවේ පාඨකයන් වෙත ලබා දීමට කැමති පණිවුඩය සම්බන්ධයෙන් නූර්ගෙන් අසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ 'ඔබ, ඔබ විදිහට ජීවත් වන්න, අනෙක් අයටත් එසේ කිරීමට දිරිමත් කරන්න' යනුවෙනි.
පොලිසිය නිසියාකාරයෙන් මැදිහත්වී කටයුතු කර තිබුනා නම් මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පසුගිය සදුදා රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට හැකිව තිබූ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
'පොලිසිය ඒ අවස්ථාවේ කිසිදු පියවරක් නොගත් නිසා' අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (බදාදා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනුයි. ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් තම පක්ෂයේ කාර්යාලයකට පහර දීමෙන් පසුගිය සදුදා බඩල්කුඹුර ප්‍රදේශයේ සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ බව පවසන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පළමු සිදුවීම සිදුවූ අවස්ථාවේදීම පොලිසිය ක්‍රියාත්මකවී තිබුනා නම් අනිකුත් සිදුවීම් වළක්වා ගැනීමට හැකියාවක් තිබු බවයි පවසන්නේ. පොලිසිය ඩිෆෙන්ඩර් රථ හතරකින් පැමිණි කණ්ඩායමක් වෙඩි තැබූ බව කැෆේ සංවිධානය පවසයි "ඔවුන් එහිදී අපේ කාර්යාලයට පහර දීලා වාහන 2කට අලාභ හානි කර තිබෙනවා, තුවාලකරුවන් රෝහලට රැගෙන යාමටද පැයක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ කලහකාරී පිරිස තවදුරටත් මාර්ගයේ රැඳී සිටීම නිසා හා පොලිසිය ඒ අවස්ථාවේ කිසිදු පියවරක් නොගත් නිසා. අපිට තිබෙන වාර්තා අනුව පොලිසිය ක්ෂණිකව ඒ අවස්ථාවේදීම පියවරක් ගත්තා නම් ඒ කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් ඉන් එහාට සිදුවන සිද්ධීන් සිදු වෙන්නේ නැහැ." අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. සන්ධානයේ කාර්යාලයට පහර දීමෙන් පසු ගම්වාසීන් විසින් ඒ අසළ පැවැත්වීමට තිබු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක සිටි පිරිසක් සමග තවදුරටත් ආරවුලක් ඇති කර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 'අපේ අය නෙමෙයි' මොනරාගල දිස්ත්‍රික්කය තුළ වාර්තා වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ගේ කිසිඳු මැදිහත්වීමක් නොමැති බවට වාර්තා වී ඇතැයි පවසන අමාත්‍යවරයා කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට සන්ධාන ආධාරකරුවන්ට මැදිහත් නොවන ලෙස එම ප්‍රදේශ භාර මැති ඇමතිවරුන් දැනුවත් කර ඇති බවද පවසයි. අමාත්‍යවරයා එසේ පැවසුවත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ සිය රුස්වීම සඳහා සැරසිලි සිදු කරන විට වේදිකාව තැනීම නවතා දමන ලෙස තර්ජනය කිරීමත් සමග මෙම ගැටුම ආරම්භවුනු බවයි. මුල් සිද්ධියෙන් පසු ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථ හතරකින් පැමිණි කණ්ඩායමක් එහි සැරසිලි සිදු කරමින් සිටි කණ්ඩායමට වෙඩි තැබූ බවද කැෆේ සංවිධානය පවසයි.
අඩු තරමින් තව වසර දෙසීයක් වත් ගත වන තුරු ශ්‍රී ලංකාවට සුනාමියක් ඇති වීමට ඉඩ කඩක් නොපෙනෙන බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.
මුහුදු පතුලේ තැන්පත් වී තිබෙන අවසාදිත ලබා ගනිමින් එමෙන්ම 2004 දී හට ගත් සුනාමි උදම් රළ මෙන් විශාල සුනාමියක් ඇති වීමට තවත් වසර 1000 ක් පමණ ගත වන බවයි ඉන්දියානු සාගර කලාපීය සුනාමි හට ගැනීම පිළිබඳව අධ්‍යයනයක් කළ කණ්ඩායමේ මහාචාර්ය ග්‍රෙගර් එබර්ලි පවසන්නේ. ‘එවැනි සුනාමියක් හට ගන්න වසර 1000ක් ගත වෙනවා. මේ නිසා ඉදිරි අවුරුදු දහස තුළ ඇතිවෙන සුනාමි 2004 සුනාමියට තරම් විශාල ඒවා නොවෙයි. ඒක හෙට වෙන දෙයක් නොවෙයි, අවුරුදු 100 කින් වෙන දේකුත් නොවෙයි අවුරුදු 200 කින් වෙන දෙයකුත් නෙමෙයි. ඒකට තව විශාල කාලයක් ගත වෙනවා.’ විද්‍යාඥ ග්‍රෙගර් එබර්ලි කියයි. හම්බන්තොට වසර දහස් ගණනක් පුරා ලංකාවට ඇති වූ සුනාමි වලින් හම්බන්තොට 'කරගන්' ලේවායේ මුහුදු පතුලේ තැන්පත් වී තිබෙන අවසාදිත විශ්ලේෂණය කිරීමෙන් එම නිගමනයට පැමිණ ඇති බවයි මියාමි සරසවියේ පර්යේෂිකා භූ විද්‍යාඥ කෙලි ජැක්සන් බීබීසී සංදේශයට කියා සිටියේ. ඊලඟ පරම්පරාවලට මෙය බලපාන්න පුළුවන් -කෙලි ජැක්සන් ‘අපි 2004 න් පස්සේ ශ්‍රී ලංකාවට ගියා. මොකද මහාචාර්ය ෆෝල්ක් අමෙලොන්ග් දැන ගෙන ඉඳල තිබුණා ක්‍රිස්තු වර්ෂයට පෙර 200 වසරේදී සුනාමියක් ලංකාවට ආව කියල වාර්තා තියෙනවා කියල. මේ නිසා හම්බන්තොට ‘කරගන්’ කලපුවේ මෙන්ම එම ප්‍රදේශයේ කලපුවල ඉපැරණි රොන්මඩ පිළිබඳව පර්යේෂණ කරන්න අපි තීරණය කළා.’ කෙලි ජැක්සන් කියා සිටියාය. මහා වංශය එම කලපුවල මඩ සහ වැලි අතරින් ඇලුමිනියම් පයිප්පයක් හෝ එවැනි බටයක් යවා එම මඩ සහ වැලි තැන්පත්ව ඇති ආකාරයටම ගෙන පර්යේෂණවලට ලක් කරන බවයි ඇය පැවසුවේ. ‘මුලින්ම යටම තට්ටුවේ තොරතුරු සොයා බැලෙනවා, ඊළඟට ඊලඟ තට්ටුව මේ වගේ අන්තිමට, උඩම තට්ටුවේ ඒ කියන්නේ 2004 සුනාමියෙන් තැන්පත් වුණු පස් සහ මඩ පිළිබඳව පර්යේෂණ කෙරෙනවා. මේ වැඩවලට අපට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චන්ද්‍ර ජයසේන අපට උදව් උනා. උපකරණ ආදිය ලබා දුන්න.’ කෙලි ජැක්සන් පැවසුවාය. මේ අනුව මීට වසර 2400 කට පමණ කලින් සිදුවූ සුනාමිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි බවත් එම සුනාමිය ගැන මහා වංශයේ තොරතුරු ඇති බවත් ඇය කියා සිටියාය. ‘වාර්තාවලට අනුව සුනාමියක් හට ගෙන ඇති අඩුම කාල පරාසය වසර 200 ක්. මේ නිසා අද සිට තවත් වසර 200 ක් යන තුරු අලුතින් සුනාමියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මහා විශාල සුනාමියක් ශ්‍රී ලංකාවට ඒවී කියල හදිසි අනතුරුදායක තත්ත්වක් නැහැ. නමුත් ඊලඟ පරම්පරාවලට මෙය බලපාන්න පුළුවන්’ කෙලි ජැක්සන් පැවසුවාය. මේ නිසා වෙරළාශ්‍රිත ගොඩනැගිලි කොන්ක්‍රීට්වලින් ඉදි කළ යුතු බවයි විද්‍යාඥයන් කියා සිටියේ.
සිය අවසාන ටෙස්ට් තරඟයේදී ශතකයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ජැක් කලීස්, ඒ සමඟම වැඩියෙන්ම ටෙස්ට් ලකුණු රැස් කළ තුන් වෙනි ක්‍රීඩකයා බවට පත්වීමටද සමත් විය.
ලකුණු 115 ක් රැස් කොට කලීස් දැවී ගියේ සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ නිමාව සනිටුහන් කරමින් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟයේදී ලකුණු 155 ක් ලබා ගැනීමත් සමඟම ජැක් කලීස් එදා මෙදා තුර රැස් කළ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 13,289 ක්. ලකුණු 13,288 ක් රැස් කොට ටෙස්ට් ලෝකයේ වැඩිම ලකුණු රැස් කළ තුන්වෙනියා ලෙසින් ඉන්දියාවේ රහුල් ද්‍රාවිඩ් පිහිටුවා තිබූ වාර්තාව ඒ සමඟම ජැක් කලීස් එක් ලකුණකින් බිඳ දැමුවේය. හිටපු ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් (ලකුණු 15,921) සහ ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං (13,378) පමණයි, ඊට වඩා ටෙස්ට් ලකුණු රැස් කොට තිබෙන්නේ. ඉන් පන්දු තුනකට පසුව රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවකට නායක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් ලබා දීමත් සමඟම කලීස් දැවී ගියේ සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ නිමාව සනිටුහන් කරමින්. ටෙස්ට් කඩුලු 292 ක් දවා ගෙන තිබෙන ජැක් කලීස්, ටෙස්ට් උඩ පන්දු 200 ක් අල්ලා ගනිමින් ටෙස්ට් ලෝකයේ වැඩියෙන්ම උඩ පන්දු ගත් දෙවැනි ක්‍රීඩකයා බවටද පත් වී සිටියි. අවශ්‍ය නම් එක් දින ක්‍රීඩාවේ තවදුරටත් නිරතවීමට තමන් සූදානම් බවයි, ඔහු පවසන්නේ.
වෙනත් රටවල ජංගම දුරකථන ගාස්තුවලට සාපේක්ෂව වැට් බදු සංශෝධනයත් සමග ඉහළ ගිය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ගාස්තු ජනතාවට විශාල බරක් නොවන බව විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
වැට් බදු ඉහළ නැංවීම සාධාරණීකරණය නොකරන නමුත් වත්මන් ආර්ථික තත්වය හමුවේ ආණ්ඩුවට තාවකාලිකව එම පියවර ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි. "ලංකාව තමයි ලෝකයේ අඩුම දුරකථන ගාස්තු අය කරන රට. සියයට විස්සකින් බදු වැඩි වුනත් කෝල් එකක් සඳහා වැය වන එකයි ශත පනහ ඒ සියයට විස්සෙන් වැඩි කරලා බැලුවොත් ඒත් ශත ගාණක් තමයි වැඩි වෙන්නේ. ඒක මහා විශාල බරක් නොවෙයි," ඔහු පැවසීය. ආණ්ඩුවේ ජනප්‍රියතාව ක්‍රමයෙන් පිරිහෙමින් පවතිනවා නොවේදැයි යන්න විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ පළමු මාස හයක කාලය කටුක වුවත් ඉදිරියේදී ජනතාව වෙත යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බවයි. "පළමු මාස හයේ රටක් ගොඩ නැංවීම සඳහායි ප්‍රතිපත්ති හදන්නේ. ඒ ප්‍රතිපත්ති ජනතාව අතර ප්‍රසිද්ධ නොවෙන්න පුළුවන්. රටකට අවුරුදු පහක වැඩපිළිවෙලක් අවශ්‍යයි." පැවති පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ වංචා පමණක් ජනතාව හමුවේ ප්‍රකාශ කිරීම දිගින් දිගටම කළ හැක්කක් නොවන බවත් ඔහු සඳහන් කළේය. "ඕක කරන්න පුළුවන් මාස හයයි. එතනින් එහාට රාජපක්ෂ බද්ද කියල කියන්න බැහැ. දැන් රාජපක්ෂ වෙනුවෙන් ගහපු බදු තමයි මේ ගහ ගෙන යන්නේ. එතනින් එහාට අපි අපේ වැඩ පෙන්වන්න අවශ්‍යයි," විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය. ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ සිට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමග පැවැත්වූ සාකච්ඡාවේ දෙවන කොටස හෙට බලාපොරොත්තු වන්න.
මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ අදාළ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම යෝග්‍ය නොවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා ජනතා ගැටළුවලට පිළිතුරු සැපයීම ගැන පැමිණිලි විශේෂයෙන්ම පසුගිය සිකුරාදා රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය යොදා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ බස්නාහිර සහ දකුණු පලාත්වල ජනතා ගැටළුවලට පිළිතුරු සැපයීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ. කෙසේ නමුත් මැතිවරණයක් පැවැත්වුණු පමණින්ම රටේ රාජ්‍ය නායකයාට ජනතා ගැටළු සම්බන්ධයෙන් අවධානය පළ කිරීමෙන් වැලකී සිටිය නොහැකි බව කැෆේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය. පැමිණිලි 600 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 613 ක් මේ වන විට තමන්ට ලැබී තිබෙන බව පවසන ඔහු, එයින් බහුතරය රාජ්‍ය දේපොළ අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධ චෝදනා බවද කියා සිටියේය. ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වීමද විවේචනයට ලක් විය කැෆේ සංවිධානය සිය නිරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේ පටන් මේ දක්වා අදාළ කාලසීමාව තුල වැඩියෙන්ම පැමිණිලි ලැබී තිබෙන්නේ මෙවර මැතිවරණයේදී බවද ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක මානව සම්පත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනෙමින් තිබෙන බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට පැවසීය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පැමිණිලි කිරීමෙන් අනතුරුව පාලක සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උදය ගම්මන්පිල පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් සමාව ඉල්ලා සිටියේය. පැමිණිලි විශාල ප්‍රමාණයක ලැබී තිබෙන නමුත් ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ඉතා අඩු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භයේදී එතරම් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම සාමාන්‍ය තත්වයක් බවයි.
දින කීපයක් තුළ දෙවෙනි දලිත් කාන්තාවක ද සමූහ වශයෙන් ලිංගික අපරාධයක් (rape) කර ඝාතනය කළ බවට චෝදනා එල්ල වීමත් සමග මුළු මහත් ඉන්දියාවම කම්පනයට හා කෝපයට පත් වී තිබේ.
22 හැවිරිදි ඇය ප්‍රාදේශීය පාසලකට ඇතුළත් වීමට අයදුම් කිරීමට යන අතර මග වාහනයකට ඇදගෙන ගොස් ලිංගික අපරාධයක් කර තිබෙන බව ඇයගේ මව බීබීසී සේවයට පැවසීය. ඉහළ කුලයේ යැයි හඳුන්වන පුරුෂයන් සමූහ වශයෙන් ලිංගික අපරාධයකට ලක් (රේප්) කළ බවට චෝදනා නැගුණු සිද්ධියක තවත් දලිත් කාන්තාවක් (19) අඟහරුවාදා (සැප්තැම්බර් 29) දින මිය යාම ද මෙම පුවත සමග වාර්තා විය. ඉන්දියාවේ කුල ක්‍රමයේ පහළ සිටින්නේ දලිත් ජනයා ය. එම ජනතාව ආරක්ෂා කිරීම සඳහා නීති තිබුණද, ඔවුහු පුළුල් ලෙස වෙනස් කොට සැලකීම්වලට මුහුණ දෙති. මෙම ප්‍රහාර දෙකම වාර්තා වූයේ උතුරු දිග ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. පළමු සිද්ධියෙන් පසු ප්‍රාන්තයේ වීදිවල උද්ඝෝෂණ ආරම්භ විය. බල්රම්පූර් දිස්ත්‍රික්කයේ සිදු වූ නවතම ලිංගික අපරාධ හා මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලියාපදිංචි කළ පොලිසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. සිය සොයුරිය ප්‍රියංකා ගාන්ධි ඇතුළු පිරිසක් සමගින් හත්‍රාස් නගරය කරා ගිය පා ගමන අතරතුර රාහුල් ගාන්ධි ඇදවැටිණි පළමු අපරාධය සිදු වූ හත්‍රාස් දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 500ක් ඈතින් දෙවෙනි සිද්ධිය වාර්තා වී තිබේ. පළමු වින්දිත කාන්තාව බරපතල ලෙස තුවාල ලබා සති දෙකක කාලයකට පසු දිල්ලි රෝහලකදී අඟහරුවාදා (සැප්තැම්බර් 29) දින මිය ගියාය. දෙවෙනි වින්දිත කාන්තාවද එම දිනයේදීම මියගිය නමුත් ඉන්දියාවේ ලිංගික අතවර සහ කුල හිංසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් එල්ල වූ දැඩි බලපෑම මධ්‍යයේ ජාතික මාධ්‍ය මෙම පුවත වාර්තා කළේ බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 1) දිනය. 'ළඟා වීමට නොසුදුසු පුද්ගලයන්' ලෙස පෙර හැඳින්වූ දලිත් ජනයා, ඉහළ කුලයේ යැයි සැලකෙන හින්දුන් අතින් පරම්පරා ගණනාවක් පුරාවට ප්‍රසිද්ධියේ ලැජ්ජාවට හා ප්‍රහාරයන්ට ලක්ව ඇත. නවතම සිද්ධිය ගැන දන්නේ කුමක්ද? අඟහරුවාදා සවස සුපුරුදු වේලාවට සිය දියණිය නිවසට නොපැමිණීම නිසා පවුලේ අය කලබල වීමට පටන් ගත් බව වින්දිත කාන්තාවගේ මව බීබීසී සේවයට පැවසීය. ඇතුළත් කර ගැනීමට අයැදුම් කිරීම සඳහා අසල පිහිටි පාසලකට දියණිය අඟහරුවාදා උදෑසන ගොස් ඇති බව ඇගේ මව පැවසුවාය. ආපසු ගෙදර පැමිණෙමින් සිටින අතර තුර මිනිසුන් තිදෙනෙකු හෝ හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇයව නවතා ඔවුන්ගේ වාහනයට නංවා තිබේ. ලිංගික අපරාධයට ලක් කිරීමට පෙර ඔවුන් ඇය මත්කොට ඇති බවට මව චෝදනා කරයි. "ඔවුන් මගේ දුවගේ කකුල කැඩුවා, ඉණ කැඩුවා." ඉන්පසු එම පිරිමින් ඇයව රික්ෂෝවක නංවා නිවසට එවා ඇති බව ඇය පැවසුවාය. "ඇය පැමිණෙන විට ඇය ඉතා දුර්වල පෙනුමක් තිබුණා. අපේ දුවට කතා කිරීමට හෝ නැගිටීමට පුළුවන් වුණේ නැහැ. සිදුවුණේ මොකක්දැයි විමසුවත් ඇයට උත්තර දෙන්න පුළුවන් වුණේ නැහැ." මව කීවාය. දිල්ලි අගනුවර පැවති විරෝධතා මිනිත්තු දහයකට පසු, බඩේ "දැවිල්ලක් වැනි ස්වභාවයක්" ඇති බව කී බැවින් ඇයව ප්‍රාදේශීය රෝහලකට ගෙන යාමට පවුලේ සාමාජිකයෝ පියවර ගත්හ. "නමුත් ඇගේ තත්ත්වය ඉතා බරපතල නිසා වෛද්‍යවරයා අපෙන් ඉල්ලා සිටියේ ඇයව නගරයේ විශාල රෝහලකට අරගෙන යන්න කියලා. නමුත් එයා යන අතරමගදී මැරුණා," යැයි ඇගේ මව කියා සිටියාය. "ඇය රේප් කරල ද කියලා නිලධාරීන් තාම සනාථ කරලා නැහැ. නමුත් ඔවුන් පවුලේ අය නඟන චෝදනාද ප්‍රතික්ෂේප කරන්නේ නැහැ," යැයි ප්‍රාදේශීය මාධ්‍යවේදී සෞරබ් මිශ්‍රා පැවසීය. ප්‍රතිචාර මොනවාද? මෙම පුවත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කෝපාවිෂ්ඨ ප්‍රතිචාර දක්නට ලැබේ. මේ වන විට විපක්ෂයේ අසුන්ගෙන සිටින ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයා පාලක භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල කරමින් සිටියි. "හත්‍රාස් සිද්ධියෙන් පසු තවත් දියණියක් සමූහ වශයෙන් රේප් කරලා කුරිරු ලෙස වධහිංසා දීලා බල්රම්පූර්හිදී," යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කළ අඛිලේෂ් යාදාව්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බව පවසයි. දේශපාලන නායකයන් සහ ඉන්දියානුවන් ට්විටර් පණිවිඩ දහස් ගණනක් පළ කරමින් මෙම ප්‍රහාර හෙළා දැක ඇති අතර, එම සාකච්ඡාවට ට්විටර් වෙබ්අඩවිය තුළ ඉතා ඉහළ අවධානයක් ලැබී තිබේ. කොල්කටා හි ද උද්ඝෝෂණ පැවැත්විණි මීට පෙර සිදුවීම ද සමාජ මාධ්‍ය සහ පුවත් ජාලවල ප්‍රධාන පුවත වී තිබේ. ඒ අතර, සිව් දෙනෙකුට වඩා වැඩි පිරිසකට එක්රැස් වීමට නොහැකි ලෙස දැක්වෙන නෛතික ප්‍රතිපාදනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නැංවීමට නිලධාරීහු පියවර ගත්හ. විරෝධතා මැඩීම සඳහා නිතර භාවිත කෙරෙන්නේ එම නීතිය ය. බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 1) කොංග්‍රස් පක්ෂයේ නායකයන් වන ප්‍රියංකා සහ රාහුල් ගාන්ධි වින්දිත කාන්තාවගේ පවුල හමුවීමට හත්‍රාස් වෙත යන මඟ නිලධාරීන් ඔවුන් සිටි වාහනය නවතා ඇති අතර, පසුව ඔවුන්ට එම ප්‍රදේශයට ඇවිද යාමට සිදුවිය. ප්‍රාන්තය තුළ විපක්ෂයේ සිටින ප්‍රාදේශීය පක්ෂයක් වන සමාජවාදි පක්ෂ ආධාරකරුවන් සිය ගණනක් පොලීසිය විසින් වටකර රඳවා තබාගනු ලැබීම දැක්වෙන පින්තූර සහ වීඩියෝ දර්ශන ද පළවෙමින් තිබිණි. අවසරයකින් තොරව වින්දිත කාන්තාවගේ දේහය ආදාහනය කළ බවට පවුලේ අයගෙන් චෝදනා එල්ලවීමෙන් අනතුරුව ක්‍රියාකාරීහු පොලිසිය විවේචනය කරමින් සිටිති. හත්‍රාස් මෙන්ම දිල්ලිය අගනුවර ඇතුළු වෙනත් නගරවල ද විරෝධතා පැවැත්වෙමින් තිබිණි. කෙසේවෙතත්, දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පවුලේ කැමැත්ත ඇතුව ආදාහනය කළ බවය. 2012 දී දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණය කර කාන්තාවක් ඝාතනය කිරීමත් සමග ඉන්දියාවේ rape හා ලිංගික හිංසනය සම්බන්ධයෙන් අවධානය යොමු වුණු අතර, ඒ සමග ඇති වූ විශාල විරෝධතා හේතුවෙන් රටේ ස්ත්‍රී දූෂණ නීති වෙනස් විය. එහෙත් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ අවම වන බවට කිසිදු ලකුණක් නොමැත. මේ තොරතුරු ද දැනගන්න:
දිගු කල් ජීවත්වීමට අවශ්‍යද? පිළිකා වැළඳීමේ අවදානම හෝ හෘද රෝග අවම කර ගැනීමට අවශ්‍යද?
ඉහත සඳහන් රෝග වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා පාපැදි භාවිත කරන මෙන් විද්‍යාඥයෝ නිර්දේශ කරති. පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අවදානම අඩකින් අවම කිරීම හා පාපැදි භාවිත කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයෝ පුළුල් අධ්‍යනයක යෙදුනාහ. එක්සත් රාජධානිය තුළ වසර පහක් ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයට රැකියා සඳහා දෛනිකව බැහැර යන පුද්ගලයන් දෙලක්ෂ පනස් දහසක් යොදා ගනු ලැබ තිබේ. පොදු මගී සේවයක අසුන් ගෙන ගමන් කිරීම හෝ රැකියාව බලා මෝටර් රථයෙන් ගමන් කිරීම හා සැසඳීමේ දී ඇවිදීම තුළින් ඇතැම් වාසි ලැබෙන බවත් අධ්‍යයනයෙන් පෙනී යයි. ව්‍යායාම මධ්‍යස්ථානයක් (Gym) වෙත යෑම මෙන් නොව පාපැදියක් භාවිත කිරීම දින චර්යාවේ කොටසක් බවට පත් වූ පසු එය නොනවත්වා පවත්වාගෙන යෑම සඳහා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය නොවන බව අධ්‍යයනය සිදු කළ විද්‍යාඥ කණ්ඩායම පවසයි. වසර පහක අධ්‍යයනය සිදු කරනු ලැබුවේ රැකියා ස්ථානය කරා "ක්‍රියාශීලී" ලෙස ගමන් කරන සහ නිශ්චලව ගමන් කරන පුද්ගලයන් සංසන්දනය කරමිනි. සතියට සැතපුම් තිහක් සමස්තයක් වශයෙන් අධ්‍යයනය සඳහා යොදා ගත් පුද්ගලයන්ගෙන් 2,430 දෙනෙකු මරණයට පත් වී තිබේ. තවත් 3,748 දෙනෙකුට පිළිකා වැළඳී ඇති බව හඳුනා ගෙන ඇති අතර 1,110 දෙනෙකු හදවත් රෝග හා සම්බන්ධ ගැටලු ඇති බව හෙළි විය. නමුත් අධ්‍යයනය සිදු කළ කාලය තුළ දෛනිකව පාපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයන් කුමන හෝ සෞඛ්‍ය හේතුවකින් මිය යෑමේ අවදානම 41% කින් අඩු වී තිබේ. එමෙන්ම පිළිකා වැළඳීමේ හැකියාව 45% කින්ද හෘද රෝග 46% කින් ද අඩු වී ඇති බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. පාපැදි භාවිත කරන්නන් සතියකට සාමාන්‍ය වශයෙන් සැතපුම් 30 ක් පාපැදියෙන් ගමන් කරන අතර ගමන් කරන දුර වැඩිවන තරමට ඉන් ලැබෙන සෞඛ්‍ය වාසි ද ඉහළ යයි. සෞඛ්‍ය වාසි ඇවිදීම තුළින් හදවත් රෝග වර්ධනය වීමේ හැකියාව අවමවන නමුත් එහි නිසි වාසි ලැබෙන්නේ සතියකට සැතපුම් හයකට වඩා අවිදයන පුද්ගලයන්ටය. "රැකියාව සඳහා ක්‍රියාශීලීව ගමන් කරන, විශේෂයෙන් බයිසිකල් පදින අය අඩු අවදානමක සිටින බවට මෙය පැහැදිලි සාක්ෂියක්" යනුවෙන් ග්ලාස්ගෝවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේසන් ගිල් පැවසීය. "බයිසිකල් පැදයාම පහසු කරවීම සඳහා යටිතල පහසුකම්වල වෙනසක් සිදු කිරීම ඇත්තෙන්ම අවශ්‍යයයි. බයිසිකල් සඳහා වෙනම මං තීරු අවශ්‍යයි. දුම්රිය තුළ බයිසිකල් ගෙන යෑම පහසු කළ යුතුයි. පිරිසිදු වීම සඳහා රැකියා ස්ථාන තුළ නාන කාමර පහසුකම් අවශ්‍යයි" පාපැදිය සහ පොදු මගී සේවා යන දෙවර්ගයම භාවිත කරන පුද්ගලයන්ට ද සෞඛ්‍ය වාසි ලැබෙන බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.
17 හැවිරිදි නේපාල ජාතික ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලමිචානේ අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තෝරා ගනු ලැබීම නේපාල ක්‍රිකට් ක්ෂේත්‍රයේ සාර්ථකත්වය පිළිබඳ "සුරංගනා කතාවක්" බඳුය.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් (Delhi Daredevils) කණ්ඩායම විසින් මෙවර IPL ශූරතාවලිය සඳහා ඔහු මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් ලක්ෂ විස්සක මුදලකටය. මීට දෙවසරකට ඉහතදී සන්දීප් ලමිචානේ යනු කවරෙක්දැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. එහෙත් ඉතා කුඩා කාලයක් ඇතුළත ක්‍රීඩා ලෝකයේ "තරුවක්" බවට පත්වීමට ඔහු සමත්විය. ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනු ලැබීම, වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත්වීම සහ හොංකොං ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වැනි වෘත්තීය තරගවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම ඒ අතරින් කිහිපයකි. ඔහුට ඕස්ට්‍රේලියාවේ හිටපු නායක මයිකල් ක්ලාක් මුණ ගැසුනේ හොංකොං තරගාවලිය අතරවාරයේදීය. සන්දීප් ලමිචානේගේ පන්දු යැවීමේ දක්ෂතාව දුටු මයිකල් ක්ලාක්, ඔහුට ගුරුහරුකම් දෙමින් ඔහුගේ දක්ෂතා ප්‍රවර්ධනය කරගැනීමට අත දුන්නේය. ඒ අතරවාරයේ සිය දඟ පන්දු යැවීමේ හැකියාව ඔප නංවා ගැනීමට ඔහු සමත්විය. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී අයර්ලන්තයට එරෙහිව පිට පිටම කඩුලු තුනක් (hat-trick) දවා ගැනීමට සමත් වූ ඔහු ඇතැම් ක්‍රීඩාලෝලීන් හඳුන්වන්නේ "නේපාලයේ ෂේන් වෝන්" වශයෙනි. ඔහු IPL ශූරතාවලිය සඳහා තෝරා ගැනෙන්නේ එම දක්ෂතාවල ප්‍රතිඵලයක් වශයෙනි. තවත් කියවන්න: මයිකල් ක්ලාක් පමණක් නොව ඕස්ට්‍රේලියාවේ තවත් හිටපු නායකයෙකුවන රිකී පොන්ටින් ද ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ගැන පැහැදී සිටී. නේපාලයෙන් පමණක් නොව, අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ නොවන සාමාජික රටකින් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරග කරන පළමු ක්‍රීඩකයා ද ඔහුය. කවුද මේ සන්දීප්? ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයට තෝරා ගනු ලැබීම ගැන නේපාල ක්‍රීඩා ලෝලීහු ප්‍රමෝදයට පත් වී සිටිති. සිය යොවුන් ක්‍රීඩකයාට සුභ පතමින් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට කෘතඥතාව පුද කරමින් ඔවුහු සමාජ ජාලා ඔස්සේ අදහස් පළකරමින් සිටිති. බටහිර නේපාලයේ ස්යන්ජා (Syangja) දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඔහු සිය ළමා විය ගත කළේ ඉන්දියාවේය. ඒ ඔහුගේ පියා ඉන්දියාවේ දුම්රිය සේවකයෙකු වූ බැවිනි. ඉන්දියාවේදී මුලින්ම ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ සන්දීප්, ඉන් අනතුරුව යළි නේපාලයට පැමිණ සිය සොහොයුරියගේ නිවස අසල පිහිටි ක්‍රිකට් ඇකඩමීයක පුහුණුව ලැබුවේය. ඇකඩමීයට සම්බන්ධ වූ අවදියේ සිටම සන්දීප් අපූරු දක්ෂතා දැක්වූ බව එහි පුහුණුකරු රාජු කඩ්කා සිහිපත් කරයි. එහෙත් ඔහු වයස 19න් පහළ ජාතික කණ්ඩායමට සම්බන්ධ කිරීමට රාජු කඩ්කා දැරූ ප්‍රයත්නය සාර්ථක නොවීය. ඒ අතරවාරයේ එවකට නේපාල ජාතික කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක දක්ෂතා සහිත තරුණ ක්‍රීඩකයන් සොයමින් සිටියේය. සන්දීප්ගේ දක්ෂතා පිළිබඳව පැහැදුණු පුබුදු දසනායක ඔහු ජාතික කණ්ඩායමේ පුහුණු සංචිතයට බඳවා ගත්තේය. ඔහුගේ සාර්ථක "සුරංගනා කතාව" ඇරඹුණේ එලෙසිනි. (බීබීසී නේපාල භාෂා සේවයේ නිරන්ජන් රාජ්බන්ෂි -Niranjan Rajbanshi - සකස් කළ ලිපියක් ඇසුරෙනි) සබැඳි යොමු:
ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා ෆ්‍රෙඩ්රික් නිවුමන් පදනමේ රැස්වීම්වලට සහභාගි වීමට නියමිතව තිබියදී විපක්ෂ මන්ත්‍රීවරුන් පසුපස ලුහුබඳිමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) ආණ්ඩුවට චෝදනා කරයි.
ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පෙරලීම විපක්ෂයේ කාර්යභාය බව එජාපය අවධාරණය කරයි තමන් සහභාගි වූ වැඩමුළුවක් සම්බන්ධයෙන් එම පදනමේ සාගරිකා දෙල්ගොඩ පසුගියදා රහස් පොලීසියට කැඳවා පැය දහයක පමණ කාලයක් ප්‍රශ්න කොට තිබෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක බීබීසී සංදේශයට පැවසීය. පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමෙන් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කොට තිබෙන බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. "මීට පෙර ජී එල් පීරිස්, මහින්ද සමරසිංහ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා කොන්ෆරන්ස් එකකට. ඒ වගේ නිරන්තරයෙන් ගොඩක් කට්ටිය ගෙන්නුවා," බවද මන්ත්‍රීවරයා පවසයි. 'විමර්ශනයක් පැවැත්වෙනවා' ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එම වැඩමුළුවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට සැරසෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ආණ්ඩුවට චෝදනා කොට තිබුණු නමුත් එවැනි සූදානමක් නැති බවයි, ආණ්ඩුව පවසන්නේ. ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනාව "ආණ්ඩුවේ දවල් හීනයක්," ලෙසින් විග්‍රකරන රවි කරුණානායක මන්ත්‍රීවරයා, මෙය ෆ්‍රෙඩ්රික් නිවුමන් පදනම වැනි සංවිධාන විපක්ෂයට ආධාර කිරීමේ උත්සාහයක් බව ද පවසයි. මේ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල බීබීසී සංදේශයට කියා සිටියේ, දැනට පැවැත්වෙමින් තිබෙන විමර්ශනයක් පිළිබඳව අදහස් දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. අදාළ වැඩමුළුව සම්බන්ධයෙන් සාගරිකා දෙල්ගොඩගෙන් ප්‍රශ්න කළේද යන්න සම්බන්ධයෙන් කිසිවක් පැවසීමද ඔහු ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක 213 දෙනෙකුට මරු කැඳවමින් හටගත් ගංවතුර සහ නාය යාම් සිදුව අදට (ජුනි 26) මසක් ගතව ඇත.
ගංවතුර සහ නාය යාම් සිදුව අදට මසක් ගතව ඇත ගංවතුර සහ නාය යාම්වලට හසුව අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 76 කි. ස්වභාවික ව්‍යසන හේතුවෙන් නිවාස 3,126 ක් සම්පුර්ණයෙන්ම විනාශවූ අතර තවත් නිවාස 21,573ට අර්ධ හානි සිදු විය. දරුණු ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත්වූ බුලත්සිංහල, පාහියංගල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව සොයාබැලීම පිණිස බීබීසී සිංහල සේවය කළ සංචාරයක් ඇසුරින් සකස් කළ වාර්තාවකි මේ. "ඉස්සර මෙතනින් උදේ ඉඳල කට්ටිය යනවා. වැඩට යන අය, පන්ති යන අය, ඔක්කොම කථා කරලනේ යන්නේ. අද කවුරුත් නැහැ, ඉතින් හුඟක් කල්පනා කරනවා මොකක්ද මේ වුණේ කියලා, පළාතම නැති වුනා" 63 හැවිරිදි ජයලත් ආරච්චිලාගේ නිලමේ පැවසුවේ වේදනාවෙනි. විනාශ වූ සිය නිවසට තරමක් දුරින් පිහිටුවා ඇති කුඩාරමක් ඉදිරිපස සිට තමන් ජීවත් වූ යටගම්පිටිය, ජයලත්ගොඩ ප්‍රදේශයට අත් වූ ඉරණම ගැන ඔහු ළතැවෙමින් සිටී. "රෑට කුඩාරම්වල ඉන්න බැහැ" "රෑට කුඩාරම්වල ඉන්න බැහැ" ජයලත්ගොඩ පුද්ගලයන් 21 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ දරුණු නාය යාමෙන් අනතුරුව මිය ගිය අයගේ සිරුරු හෝ නිවාස වල සුන්බුන් පවා තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබේ. දැන් මුළු ජයලත්ගොඩටම සිටින්නේ පවුල් කිහිපයක් පමණි. මිය ගිය අයගෙන් බහුතරයක් ජයලත් ආරච්චිලාගේ නිලමෙගේ සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ ඥාතීහුය. නාය යාමෙන් දිවි බේරාගත්තේ ඔහුගේ පවුල සහ තවත් කිහිපදෙනෙකු පමණි. "අපේ එක දුවෙකුගේ සිරුරක උඩ කෑල්ල හම්බවුනා. අපි ඒක ගොඩගත්තෙන් නැහැ, එතනම වහලා දැම්ම," ඔහු දොඩමලු වෙයි. 'මුළු පළාතම හිස්' "අපිට හැමදේම තිබුණා. අද මොකුත් නැහැ. මේ කුඩාරමට වෙලා ජීවත්වෙනවා, බලන්න මේ පොඩි එවුන් දිහා, උන්ට නින්ද යන්නේ නැහැ මෙතන," යනුවෙන් ඔහු තමන්ට අත් වූ ඉරණම ගැන පැහැදිලි කරයි. "ඕගොල්ලෝ ආවනේ මට හරි සතුටුයි. නැත්නම් මම අර පැත්තකට වෙලා අනේ අපිට වෙච්ච් දෙයක්, අනේ වෙච්ච දෙයක් කියල හිත ඉන්නවා, මුළු පළාතම දැන් හිස්නේ." කන්ද නායගොස් හටගත් ජල පහරින් කන්ද පහළ නිවාස 12ක් පමණ සම්පුර්ණයෙන්ම විනාශ විය. "රෑ 4ට විතර සුනාමියක් වගේ වතුර රැල්ල ඇවිත් අපේ ගෙවල් සම්පුර්ණයෙන්ම විනාශ වුනා," නිවස තිබුණු ඉඩමේම කුඩාරමක ජීවත්වෙන ලසන්තිකා පැවසුවාය. "මේ කුඩාරමේ ඉන්න බැහැ. අපි දවල්ට මේකේ ඉඳලා, රෑට කාගෙ හරි ගෙදරක ඉන්නවා." ගිහාන් ලසන්තගේ නිවස ද සම්පුර්ණයෙන් විනාශයට පත්ව තිබේ. අප යනවිට ඔහු නිවස පිටුපස තේ වත්තේ දළු නෙළීම අවසන් කර තිබුණි. "මාසෙකට විතර පස්සේ අදයි තේ දළු ටික නෙලන්න ගත්තේ. අපි දැන් ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න එපාය," ඔහු පැවසුවේ තම කුඩාරම තුළ ඇති තේ දළු පෙන්වමිනි. "අපිටත් අර අරනායක, සාලාව මිනිස්සුන්ට වගේ නොකර ඉක්මනට ඉන්න තැනක් හදල දෙන්න කියන්න රජයට. ග්‍රාමසේවක කියනවා හදල දෙනවා කියල ඒත් හරියට කියන්නේ නැහැ" "අපි අසරණ වෙලා" පාහියංගල ප්‍රදේශය නාය යාමත් සමග තවදුරටත් නාය යාමේ අවදානම පවතින ප්‍රදේශවල සිටි පවුල් දැන් එම ස්ථානවලින් ඉවත්කර තිබේ. එළෙස ඉවත් කෙරුණු ඇතැමුන් අය කුලී නිවාස වල වෙසෙන අතර තවත් සමහරුන්ගේ නිවහන නිග්ගහ ප්‍රාථමික පාසලය. "අපි අසරණ වෙලා. ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ" "අපිට වීඩියෝවක් ගෙනල්ලා පෙන්නුවා. අපේ කන්ද පුපුරලා තියෙන විදිහ, ඒක දැක්කට පස්සේ අපි ගෙදර දාලා පාසලට ආව," එක් කාන්තාවක් පැවසුවාය. "දැන් මෙතනින් යන්න කියනවා. පාසලටත් බාධාවක් නේ? ඒත් යන්න තැනක් නැහැ." මෙම ජනතාවටද ඉඩම් හා නිවාස ලබාදෙන බව රජය පොරොන්දු වී තිබේ. තාවකාලිකව කුලී නිවාසවලට යන ලෙසත් කුලී මුදල් ගෙවන බවත් බලධාරීන් පවසා තිබේ. "මෙහෙ කුලියට ගන්න ගෙවල් නැහැ. එහෙනම් බුලත්සිංහලෙන් එහාට යන්න ඕන. එතකොට ළමයි ඉස්කෝලේ යන්නේ මෙහෙ. මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ." "එක වෙලාවකට හිතෙනවා, කන්ද නාය ගියත් කමක් නැහැ ගෙදරට ගිහිල්ල ඉන්නවා කියලා. මොකද මැරෙන්නේ එක පාරනේ. දැන් අපි මැරී ජීවත්වෙනවා මේ තැන්වල," යනුවෙන් ඇය සිය දුක්ගැනවිල්ල අවසන් කළාය.
යාල වනෝද්‍යානයට දිනකට ඇතුළු වන ජීප් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට මීට පෙරාතුව ගන්නා ලද තීරණය වෙනස් කරන ලද බව වන ජීවී කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව යාල අංක1 කළාපයේ ආරක්ෂාව පිණිස දිනකට ඇතුළු වන උපරිම 'සෆාරි' ජීප් රථ සංඛ්‍යාව 300 ක් විය යුතු යයි තීරණය කරන ලද බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය. "මූලික තීරණයක් අපි ගත්තේ 300 ට තමයි, ඊට පස්සේ බලපෑම්, නොයෙකුත් දේවල් ආවට. ඒ තුන්සීය හාරසීයට වැඩි කෙරුවත් 300 ටම තිබිය යුතුයි කියන ස්ථාවරය තීරණය කරලා තියෙනවා," ඔහු පැවසීය. ජීප් රථ හිමියන්ගේ සහ ප්‍රදේශය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීම මත යාල අංක1 කලාපයට දිනකට ඇතුළු වන ජීප් රථ සංඛ්‍යාව 500 දක්වා වැඩි කිරීමට අමාත්‍යවරයා තීරණය කරන ලද බව ජනමාධ්‍ය වාර්තාකර තිබුණි. එහෙත් වාහන 500 දක්වා වැඩි කිරීමේ තීන්දුවක් නොගත් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සිය තීන්දුව වූයේ ජීප් රථ සංඛ්‍යාව 400 දක්වා ඉහළ දැමීමට යයි සඳහන් කළේය. අමාත්‍යවරයාගේ එම තීන්දුව පිළිබඳව පරිසරවේදීන් සහ පශු වෛද්‍යවරුන් දැඩි විරෝධය පළ කළ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දෝෂදර්ශනයට ලක් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි. "දවසකට ජීප් 300 තමා සුදුසුම මේ යාල block1 එක දීර්ඝ කාලීන ලෙස ආරක්ෂා කරන්න ඕනේ නම්. අගමැතිතුමාත් ඉන්නේ දැඩි ලෙස ඒ ස්ථාවරයේ," අමාත්‍යවරයා පැවසීය. "මොකද ඒ ගහ කොළ, සතා, පරිසරය ඔක්කොම විනාශ මුඛයට පත්වේගෙන එනවා." සබැඳි යොමු: දිවියන් දකින්න යාල යන්න ගතව ගිය තුන් වසර ඇතුළත අංක1 කළාපයට වසරකට ඇතුළු වී තිබෙන වැඩිම වාහන ප්‍රමාණය 402ක් බව පවසන වන ජීවී කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාල වනෝද්‍යානයට ඇතුළුවන වාහන සංඛ්‍යාව වැඩි වීම යනු එකම සතෙක් නැරඹීම පිණිස "පොර කමින් යන වගේ තත්වයක්" ඇති වී තිබෙන බැවින් ඒ තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාව මතු වී ඇති බවය. "ඒ එක්කම ඒ වාහන අපි one-way කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ පාරේ යන කොට සතෙක් ඉන්නවා කියල ටෙලිෆෝන් කෙරුවත් ඒ පාරේ ආපහු යන්න බෑ." ඒ අතරවාරයේම යාල අංක1 කළාපයේ පමණක් නොව අනෙක් කළාපවල සහ සිතුල්පව්ව විහාරස්ථානය අසල 'ඔන්ඩච්චි' වනෝද්‍යානයේ ද සතුන් නැරඹීම සඳහා සංචාරකයන් දිරිමත් කිරීම සිය අභිලාශය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. යාල වනෝද්‍යානයේ කළාප අංක5, වේරගල සහ ලුණුගම්වෙහෙර වැනි ප්‍රදේශවල ද සතුන් බහුලව ගැවසෙන බැවින් කලාප අංක1 පමණක් සංචාරය නොකර සතුන් බැලීම පිණිස එම ප්‍රදේශවල ද සංචාරය කරන මෙන් අමාත්‍යවරයා සත්වලෝලීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ගුප්ත බලවේග ඇදහීමට විරුද්ධව කටයුතු කළ ඉන්දීය ක්‍රියාධරයකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.
හදි හූනියම් සහ ගුප්ත ඇදහීම් විශ්වාස කරන්නවුන් ඉන්දියාවේ බහුලව දක්නට ඇත හැත්තෑ එක් හැවිරිදි නෙරෙන්ද්‍රා දභෝල්කා පුනේ නුවර දී මෙසේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනයට ලක්වී ඇත්තේ, ව්‍යායාම සඳහා උදෑසන ඇවිදිමින් සිටිය දිය. ගුප්ත ඇදහීම් වල නිරත වන ඉන්දීය ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට ක්‍රියාකාරී වී සිටි ඔහු එවැනි ඇදහීම් වලට එරෙහිව නීතියක් සම්මත කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටියේය. ප්‍රාතිහාර්ය පාමින් භුතවේදයේ යෙදී සිටින ප්‍රවීන ඉන්දීය මන්ත්‍රාචාර්යවරුන්ට සහ අධ්‍යාත්මික නායකයන්ට ද අභියෝග කළ නෙරෙන්ද්‍රා දභෝල්කා බිලිපුජා සඳහා සතුන් යොදා ගන්නා ආගමික වතාවත් වලට ද සංවිධානාත්මකව විරෝධය පා ඇත. වෙඩි තැබීමෙන් අනතුරුව යතුරු පැදියකින් පලා ගිය තරුණයන් දෙදෙනකු අල්ලා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කළේය. ඝාතනය සැල වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් වීදි බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගෙන තිබේ.
කිසිදු පහසුකමක් හෝ ජීවිකාවක් නොමැතිව අලි ඇතුන් ගහන කැලයක් මැද ජීවත් වීමට බලකෙරී ඇතැයි පවසන මන්නාරම් දිස්ත්‍රික්කයේ යුද අනාථයන් පිරිසක් තමන් මුල් ගම් බිම් වල පදිංචි කිරීමට පියවර ගන්නා මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
නැවත පදිංචිය සඳහා ගෙනෙනු ලැබූ එම පිරිස් පවසන්නේ තමන් යුද්ධයෙන් පලා ආ මුල්ලිකුලම් ගම්මානයේ ශ්‍රී ලංකා රජයේ නාවික හමුදාව පවුල් පිටින් පදිංචිවී සිටින බවයි අනාථ කඳවුරුවලින් ඉවත් කොට නැවත පදිංචිය සඳහා ගෙනෙනු ලැබූ පවුල් සිය ගණනකට අයත් එම පිරිස් පවසන්නේ තමන් යුද්ධයෙන් පලා ආ මුල්ලිකුලම් ගම්මානයේ ශ්‍රී ලංකා රජයේ නාවික හමුදාව පවුල් පිටින් පදිංචිවී සිටින බවයි. මේ තත්ත්වය නිසා පවුල 350 කට ප්‍රදේශ දෙකක ගස් යට ජීවත්වීමට සිදු වී ඇති බව ඔවුහු පවසති. යුද්ධයට පෙර ගම්මානයේ පවුල් 432 ක් පදිංචිව සිටි බව පවසන අනාථයන් පිරිස, යුද ගැටුම් හමාරයේ තමන් යලි පදිංචි වීම සඳහා ගමට පැමිණියත් ආරක්ෂක හේතූන් මත එම ඉඩම් නිදහස් කළ නොහැකි යයි නාවික හමුදාව පැවසූ බවයි. ඒ වෙනුවට මුල්ලිකුලම් ගමේ අනාථයන්ගෙන් පවුල් 240 කට ඉඩම් ලබා දී තිබෙන්නේ මරිච්චකට්ටු ගම්මානයේ. නමුත් එහි බීමට වතුර සොයා ගැනීම පවා උගහට බවයි, ගස් යට පදිංචි වී සිටින එහි වැසියන් පවසන්නේ. එමෙන්ම තමන්ගේ පාරම්පරික කෘෂි කර්මාන්තයේ හෝ ධීවර කර්මාන්තයේ යෙදීමේ අවස්ථාව පවා තමන්ට අහිමි කරනු ලැබ ඇති බව ද ගම් වැසියෝ පවසති. මුල්ලිකුලම් වැසියන්ගෙන් තවත් පවුල් 110 කට ඉඩම් ලබා දී තිබෙන්නේ මන්නාරමේ කායප්පුලි ගම්මානයේ. තමන්ට යලි පදිංචි වීම සඳහා එහි තාවකාලික කූඩාරමක් හෝ තමන්ට ඉදි කොට නොදුන් බවට ද බලධාරීන්ට චෝදනා කරති. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව බරපතල අවධානය පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් යලිත් ඉලීමක් කරයි.
දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂකයන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීමට සිදුවීම පිළිබඳවද එක්සත් ජනපදය සිය අවධානය පළ කරයි වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද නොතකා හරිමින් දෝෂාභියෝගය විවාද කිරීමට පාර්ලිමේන්තුව පියවර ගැනීම පිළිබඳව බලවත් කනස්සල්ල පළ කොට තිබේ. එමෙන්ම දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂකයන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීමට සිදුවීම පිළිබඳවද එක්සත් ජනපදය සිය අවධානය පළ කරයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේන්තුව ගත පියවර දැඩිව හෙළා දැක තිබේ. 'ඉතිහාසයේ අඳුරුතම දිනය' "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මේ දෝෂාභියෝගයට දායක වූ සියලු දෙනාම ඊට වගවීමේ තත්ත්වයට පත් කරන මෙන් ලෙස අපි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු" නීතිඥ එකමුතුව අද දිනය "ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම දිනය" ලෙසින් විග්‍රහ කරන නීතිඥ එකමුතුව මෙය "ජාතියේ හෘදය සාක්ෂිය පරීක්ෂා කළ" අවස්ථාවක් ලෙසින් ද එය හඳුන්වා දෙයි. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මේ දෝෂාභියෝගයට දායක වූ සියලු දෙනාම ඊට වගවීමේ තත්ත්වයට පත් කරන මෙන් ලෙස අපි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු," යනුවෙන්ද නීතිඥ එකමුතුව සිය නිවේදනයේ සඳහන් කරයි. යෝජනාවට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 49 ක් ලැබී තිබුණි. මන්ත්‍රීවරු 20 දෙනකු සභා ගර්භයේ සිටියේ නැත. ඩිවු ගුණසේකර, තිස්ස විතාරණ, චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂයේ රජීව විජේසිංහ මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි අතර, දැනට ආණ්ඩුවට සහාය පළ කරන එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිටියේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වීම මගින් මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට එවැනි "නීතිවිරෝධී" සංවිධානවලට රුකුල් දීමක් සිදු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසයි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගාල්ලේ පැවති බොදු බල සේනා රැස්වීමකට සහභාගි වී භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය අගය කොට තිබුණි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට ඒ බව කියාසිටියේ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් පිරිසක් පැපිලියානේ ෆැෂන් බග් ආයතනයට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්. බොදු බල සේනා සංවිධානය විසින් ගෙනයමින් තිබෙන ජනතාව අතර "වෛරය, ක්‍රෝධය පැතිරවීමේ" ව්‍යාපාරය පිළිබඳව ආණ්ඩුව ඉක්මන් පියවර නොගතහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය පළ වීමට ඉඩ තිබෙන බවට ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා අනතුරු අඟවයි. 'වෛරය, ක්‍රෝධය පැතිරවීමේ ව්‍යාපාරය' "නීතිය අතට ගන්නා" බොදු බල සේනා වැනි සංවිධාන මගින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් හදිසි කැබිනට් මණ්ඩල කැඳවන මෙන් තමන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද අමාත්‍ය හකීම් සංදේශයට කියා සිටියේය. මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගන්නා මෙන් ද අමාත්‍යවරයා ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත්, එය ප්‍රමාණවත් නොවන බව සිය මතය බවයි, අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. ෆැෂන් බග් ආයතනයට එල්ල කළ ප්‍රහාරයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සංදේශයට කියා සිටියේ. එහෙත් පසුගියදා මහනුවර පැවති බොදු බල සේනා රැස්වීමක් ඇමතූ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, ෆැෂන් බග් ආයතනයට "ඉතාමත්ම පහත්, නින්දිත ආකාරයට" චෝදනා එල්ල කොට, එයට පහර දෙන මෙන් "ව්‍යංගයෙන්" උපදෙස් දුන් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය අමාත්‍ය හකීම් ජ්‍යෙෂ්ට අමාත්‍ය ෆවුසි මෙන්ම රිෂාඩ් බදිඋද්දීන් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් අමතා සඳහන් කළ බවයි, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙන්නේ. මේ අතර මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර නැවැත්වීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අනාගතයේදී බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බව රිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා අනතුරු අඟවයි. හකීම් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් ද එකඟවන්නේ නම්, "අද සවස වුවත්" ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවද අමාත්‍ය බදිඋද්දීන් පැවසීය.
උතුරේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ආරක්ෂක අංශ හෝ රජය විසින් බලහත්කාරයෙන් අත් පත් කරගෙන තිබේනම් ඒවා එහි අයිතිකරුවන්ටම යලි ලබා දෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
මුලතිවු දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1200 ක් ඇතුළු ඉඩම් අක්කර 3000 ට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මුල් අයිතිකරුවන්ට අහිමි වී තිබේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අශෝක පීරිස් ඒ බව සඳහන් කළේ වවුනියාව දිසාපති කාර්යාලයේදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. "මුල් අයිතිකාරයෝ ආවොතින් ඒ මුල් අයිතිකාරයන්ට රජයේ ඉඩම් නම් ඒවාට පදිංචි වෙන්න අවස්ථාව ලබා දෙනවා," බවයි, අමාත්‍යංශ ලේකම්වරයා දිනසේන රතුගමගේට කියා සිටියේ. උතුරු පළාතේ ඉඩම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටයි ඔහු වවුනියාවට පැමිණ සිටියේ. මැණික් ෆාම් කඳවුර කෙසේ වෙතත් සිය ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට වවුනියා වාසීන්ට අවස්ථාව නොලැබිණ. එහෙත් ඉඩම් ප්‍රශ්න තිබෙන ප්‍රදේශවලට ගොස් එම ගැටළු විසඳීමට උත්සාහ කරන බවයි, අමාත්‍යංශයේ ලේකම් අශෝක පීරිස් පවසන්නේ. "මැණික් ෆාර්ම්වල පවුල් 35 ක්, එතන හමුදාවෙන් ගොවිපොළක් පවත්වාගෙන යනවා. එක තාවකාලිකවයි අරන් තිබුනේ කෑම්ප් එක ඉවරවුනහම දෙන්නම් කියල. දැන් ඒ ප්‍රශ්නේ අපි සාකච්ඡා කළා. අපි එතෙන්ට යනවා ඒක ගිහින් විසඳන්න," ඔහු පැවසීය. කෙසේ නමුත් කිසියම් ස්ථානයක දැනටමත් ස්ථිර නිවාස ඉදිකොට තිබෙන්නේ නම්, එවැනි අවස්ථාවල ඉඩම් හිමිකරුවන්ට වෙනත් ස්ථානවලින් ඉඩම් ලබාදීමට සිදුවනු ඇති බවද ලේකම්වරයා පිළිගත්තේය. මුලතිවු දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1200 කට ආසන්න ප්‍රමාණයක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 700 ක් පමණ, මන්නාරමේ අක්කර 900 ක් පමණ සහ වවුනියාවේ අක්කර 200 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මුල් අයිතිකරුවන්ට අහිමි වී තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
තරුණියන් දෙදෙනකු දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
කල්ලියක් විසින් දූෂණය කොට මරා දැමුණ තරුණියන් දෙදෙනාගේ මළ සිරුරු අඹ ගසක එල්ලා තිබුණ බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ. අඹ ගසෙහි එල්ල තිබුණ මළසිරුරු සොයා ගනු ලැබ තිබෙන්නේ ගම්වාසීන් විසිනි. ඥාති සහෝදරියන් වන තරුණියන් දෙදෙනා දූෂණය කොට මරා ගසෙහි එල්ලීම සම්බන්ධයෙන් සැක කෙරෙන සාපරාධී කල්ලියේ සාමාජිකයෙක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. තරුණියන් දෙදෙනා දූෂණය කිරීමෙන් පසු ගෙල සිර කර මරා දමා ඇති බවයි පැවසෙන්නේ. අපරාධකරුවන්ට ගොදුරු වූ තරුණියන් දෙදෙනා ඉන්දීය සමාජයේ කුල වර්ග කිරීම් වලට අනුව පීඩිත කුලයකට අයත් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී හෙළි වී ඇත. ඉන්දීය පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ ඉහත කී අපරාධය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහ කළ බවයි. ඉන්දියාව පසුගිය කාලයෙහි ලිංගික අතවරවලට අදාළ නීති රීති දැඩි කළ නමුත් දූෂණ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරනු ලබන්නේ ඉතා සීමිත මට්ටමින් යයි වාර්තාකරුවෝ පෙන්වා දෙති.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර සභාපතිවරයා හැටියට සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් පත්කරනු ලැබ ඇත.
අයිපීඑල් තරඟාවලියේදී නීතියට පටහැනිව ඔට්ටු ඇල්ලීම සහ මුදලට තරඟ පාවා දීම පිළිබඳ විභාගයක් පැවැත්වෙන අතරවාරයේ පදවියෙන් ඉවත් වෙන මෙන් එන්.සිරිනිවාසන්ට දැනුම් දීමෙන් අනතුරුවයි, සුනිල් ගවස්කාර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට පත් කෙරුණේ. ලෝකයේ වැඩිම මුදල් සම්භාරයක් ගනු දෙනු කෙරෙන අයිපීඑල් තරඟාවලියට සහභාගී වෙන ක්‍රිකට් කණ්ඩායම් අතර එන්.සිරිනිවාසන්ට අයත් කණ්ඩායමක්ද ඇත. සිරිනිවාසන් සැලකෙන්නේ ලොව අති බලසම්පන්න ක්‍රිකට් පරිපාලකයා හැටියටයි. පසුගිය පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එන්.සිරිනිවාසන් ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට තෝරා පත් කර ගනු ලැබුණ අතර ඔහු එළඹෙන ජුලි මාසයේ දී එම තනතුර භාර ගැනීමට නියමිතයි. ඒ අතරවාරයේ අද සිකුරාදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ක්‍රියාකාරී අන්තර් වාර සභාපතිවරයා හැටියට සුනිල් ගවස්කාර් පත් කරන බවයි. බැඳියාවන් අතර ගැටුම සිරිනිවාසන් පාලනය යටතේ තරඟ පාවා දීමේ චෝදනා ‘බැඳියාවන් අතර ගැටුමක් ඇති වීම’ වළක්වා ලීමේ පියවරක් වශයෙන් දැනට නිරත රූපවාහිනී විස්තර විචාරක කටයුතු වලින් ඉවත් වෙන මෙන් සුනිල් ගවස්කාර්ට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, එමගින් ඔහුට අහිමි වෙන මූල්‍ය ඉපැයුම් වෙනුවෙන් ප්‍රමාණවත් ගෙවීම් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සිදු කෙරෙනු ඇතැයි ද ප්‍රකාශ කළේය. සිරිනිවාසන්ට අයත් ‘චෙන්නායි සුපර් කිංග්ස්’ සහ රාජස්තාන් රෝයල්ස් ක්‍රිකට් කණ්ඩායම් දෙකට මේ වසරේ අයිපීඑල් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවත් අධිකරණ තීන්දුවේ දැක්වෙයි. අනවසර ඔට්ටු ඇල්ලීම් සහ තරඟ පාව දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම් දෙකටම චෝදනා එල්ල විය. සිය බෑණනුවන් වන ගුරුනාත් මෙයිඅප්පන් අයිපීඑල් තරඟාවලිය අතරවාරයේ අනවසර ඔට්ටු ඇල්ලීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ එන්. සිරිනිවාසන් පසුගිය වසරේ ජුනි මාසයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියේ කටයුතු කිරීමෙන් වැළකී සිටි අතර, ගුරුනාත් මෙයිඅප්පන් ඇප මත මුදා හරිනු ලැබීමෙන් අනතුරුව සිරිනිවාසන් යළි සභාපති පදවියේ කටයුතු යළි ආරම්භ කරනු ලැබයි තිබුණේ. ඔවුන් දෙදෙනාම කියා සිටින්නේ කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නැති බවයි.
නිසි බලපත්‍රයක් ලබාගැනීමෙන් පසුව සත්ව බිලි පූජා පැවැත්වීමට ඉඩ දිය හැකි බව අග විනිසුරු මොහාන් පීරිස් පවසයි.
ජාතික සංඝ සම්මේලනය ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය හලාවත,මුන්නේෂ්වරම් ‘කාලි’ දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි. එම තීන්දුව බල රහිත කරන මෙන් ඉල්ලමින් ‘කාලි’ දේවාලය මගින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් විභාගයට කැඳ වූ අවස්ථාවේයි, අග විනිසුරු මොහාන් පීරිස් සිය අදහස ප්‍රකාශයට පත් කළේ. එහෙත් ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්සරමුල්ලේ දයාවංශ හිමියන් පවසන්නේ, බලපත්‍රයක් යටතේ හෝ සත්ව ඝාතන සිදු කිරීමට අනුමැතිය දීමපිළිබඳ ව තමන් විරුද්ධ වන බවයි. මුන්නේශ්වරම් කාලි කෝවිල. “ සත්ව ඝාතනය අපි අනුමත කරන්නේ නැහැ. බලපත්‍රයක් යටතේ සිදු කරන සත්ව ඝාතන වලට වුනත් අපි විරුද්ධයි. මීළඟ නඩු දිනයේ අපි අපේ විරෝධය අධිකරණය හමුවේ ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා” පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ පවසති. කාලි දේවාලයේ එකඟතාව මුන්නේෂ්වරම් ‘කාලි’ දේවාලය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අදාළ පෙත්සම කැඳ වූ අවස්ථාවේ අධිකරණයට කරුණු දක්වමින් අවශ්‍ය අවසර පත්‍රයක් ලබා ගනිමින් ‘සත්ව හිංසා පනත උල්ලංඝනය නොවන ආකාරයට’ සත්ව බිලි පූජා පැවැත්වීමට තම එකඟතාවය පළ කරන බව’ කියා සිටියේය. එහෙත් ජාතික සංඝ සම්මේලනය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කියා සිටියේ එම යෝජනාවට ඔවුන් විරුද්ධ බවයි. එම අවස්ථාවේ අගවිනිසුරුවරයා කරුණු දක්වමින්, සත්ව හිංසා පනත උල්ලංඝනය නොවන ආකාරයට නිසි බලපත්‍රයක් ලබාගෙන බිලි පූජා පැවැත්වීම නීති විරෝධී නොවන බවයි කියා සිටියේ. ඒ අනුව අදාළ නඩු විභාගය ලබන විසිඑක් වෙනි දින තෙක් කල් දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී යෝජනා හොඳින් අධ්‍යයනය කර එදින අධිකරණය හමුවේ කරනු දක්වන මෙන් වගඋත්තරකාර පාර්ශවයේ නීතිවේදීන්ට නියම කළේය.
දහස් ගණනක් සංක්‍රමණිකයන් ග්‍රීක මැසිඩෝනියා දේශ සීමාව අතර කොටු වී පීඩාවට පත්ව සිටීම පදනම් කර ගෙන රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස යුරෝපා සංගමය ග්‍රීසියෙන් ඉල්ලීමක් කරයි.
උතුරු ග්‍රීසියේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සිය රට සහ මැසිඩෝනියාව අතර දේශ සීමාවේ කොටු වී සිටින සංක්‍රමණිකයන් දැඩි මානවීය අර්බුදයකට මුහුණ පා සිටින බවයි. මැසිඩෝනියාව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි දේශ සීමා නීතිය යටතේ දිනකට සිය රට තුලට පැමිණිය හැකි සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතා අඩු අගයකට සීමා කිරීම හේතුවෙන් ග්‍රීක කඳවුරු පිරී ඉතිරී යාම මෙම අර්බුදයට හේතු වී තිබේ. ග්‍රීක මැසිඩෝනියා දේශ සීමාවෙන් මේ වන විට දිනකට මැසිඩෝනියාවට ඇතුළු කර ගන්නේ සිරියානු සහ ඉරාක සංක්‍රමණිකයන් සීමිත ප්‍රමාණයක් පමණි. දේශ සීමා අතර පිහිටා තිබෙන ඉදෝමනී කපොල්ලේ ඇති කුඩා කඳවුරු වල සිරව සිටින දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් මේ වන විට ඇදහැලෙන දැඩි වර්ෂාව මාධ්‍යයේ ආහාර ලබා ගැනීමට දීර්ඝ පෝලිම් වල සිට ගෙන සිටිනු දක්නට ලැබෙයි. කඳවුරු උතුරා ගිය සංක්‍රමණිකයන්ගේ තදබදය මධ්‍යයේ සිය දෙමාපියන්ගෙන් මග හැරුණු කුඩා දරුවන් හවුහරණක් නොමැතිව එළිමහනේ වර්ෂාවට හසුව අතරමං වී සිටින බවයි වාර්තා වන්නේ. යුරෝපා සංගමයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා (Dimitris Avramopoulos) යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙම මානවීය අර්බුදය හමුවේ ග්‍රීසිය තනි නොකොට ඒ වෙනුවෙන් පෙනී සිටිමින් විසඳුම් ලබා දීමට එකතු වන ලෙසයි.
දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය වෙනස් කිරීමට ඉඩ නොතබන බව කැබිනට් අමාත්‍යවරු පිරිසක් අවධාරණය කරති.
ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණේ මෙම විරෝධය ඔවුන්ට උතුරු නැගෙනහිර පලාත්වල මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා බව ඇමතිවරු පවසති පළාත් සභා ක්‍රමය සංශෝධනය කෙරෙන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා නොදෙන බව අමාත්‍යවරුන් පිරිසක් සහභාගි වූ මාධ්‍ය හමුවක් අමතමින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය. “පළාත් සභා සහිත ඒකීය රාජ්‍යයක් මගින් ලාංකේය එක්සත්කම ඇති කරමු” මැයෙන් ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණු මාධ්‍ය හමුවට වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, රෙජිනෝල්ඩ් කුරේ, ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර යන කැබිනට් ඇමතිවරුන් මෙන්ම වාමාංශික දේශපාලන පක්ෂවල නායකයෝද සහභාගි වී සිටියහ. මරණ තර්ජන ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව පිහිටුවන ලද පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටියි. පළාත් සභා පිහිටුවීමට මූලික වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වෙනි සංශෝධනය, හදිසි ක්‍රියාවක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, එය "ඉතිහාසය පුරා සුළු ජාතීන් සහ සුළු ජාතීන්ගේ අයිතිය පිළිගන්නා වූ මහ ජාතියේ අය" එකතු වී කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් බව පැවසීය. "මේක උත්තරීතරම විසඳුම නෙවෙයි. නමුත් අපි ඉල්ලන්නේ මේක නොවේ නම් මීට වඩා ඒ හා සමාන විසඳුමක් දෙන්න, මේ අන්තවාදීන් කිසි දවසක එහෙම විසඳුමක් දෙන්නේ නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මුලින්ම පළාත් සභා හඳුන්වා දුන් අවස්ථාවේ එයට සහාය දුන් තමන් ඇතුළු විශාල පිරිසකට ජනතා විමුක්ති පෙරමුණෙන් මරණ තර්ජන එල්ල වූ බව පැවසූ අමාත්‍ය සේනාරත්න, කෙසේ නමුත් ඒ අවස්ථාවේ පවා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පළාත් සභාවලට ඡන්දය දීම විග්‍රහ කළේ ඒ සඳහා පැවති "හොඳම ජනමත විචාරණය" ලෙසින්. 'ඡන්දය ඉල්ලන්න බෑ' එබැවින් වසර 25 කට පසුව පළාත් සභා සම්බන්ධයෙන් යලිත් වරක් ජනමත විචාරණයක් ඉල්ලීම "හාස්‍යජනක" බව අමාත්‍ය සේනාරත්නගේ අදහසයි. "ජාතිවාදයත් එක්ක ගියාම කෙළවරක් නෑ. අන්තවාදය එක්ක ගියාම කෙළවරක් නෑ," යනුවෙන්ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර දහස් දැක්වූ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ, ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මෙම විරෝධය ඉදිරිපත් කරන්නේ ඔවුන්ට පැහැදිලිවම උතුරු නැගෙනහිර පලාත්වල මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා බවයි. "හේතුව, ඔවුන්ගේ දර්ශනය සිංහලවාදී දර්ශනයක්," බවයි අමාත්‍ය නානායක්කාර පවසන්නේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා භටයන් යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව විකාශනය කළ වීඩියෝ පට සත්‍ය බව මැක්ස්වල් පරණගම ජනාධිපති කොමිසම පවසයි.
චැනල්4 නාලිකාවේ අනුග්‍රහයෙන් නිර්මාණය කෙරුණු 'නෝ ෆයර් සෝන්' වාර්තා චිත්‍රපටයෙන් එම පදනම මත පිහිටා චැනල්4 නාලිකාව විකාශනය කරන ලද වාර්තා චිත්‍රපටයේ ඇතුලත් දර්ශන යුද අපරාධ පිළිබඳ පරිවේශනීය සාක්ෂි සපයන බව ජනාධිපති කොමිසමේ නිගමනයයි. යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා පිළිබඳව විභාග කිරීම පිණිස 2013 දී මැක්ස්වල් පරණගම කොමිසම පත්කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්. චැනල්4 නාලිකාව විකාශනය කළ වාර්තා චිත්‍රපටය පිළිබඳ මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාවේ අදාළ ඡේදය කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙන ලද අතර, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි. එම වාර්තා මාධ්‍යවේදීන්ට නිකුත් නොකෙරුණ නමුත්, වාර්තාවේ පරිච්ඡේද කිහිපයක් බීබීසී සංදේශයට දැකගන්නට ලැබිණ. චැනල්4 නාලිකාවේ දර්ශන සත්‍ය බව පෙනී යන බැවින්, ඒ පිළිබඳව විධිමත් අධිකරණ විභාගයක් පැවැත්විය යුතු බව පරණගම කොමිසමේ නිර්දේශයයි. ඉසයිප්‍රියා අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලද බව චැනල්4 නාලිකාව එල්ල කරන බරපතල චෝදනාවක් බාලසිංහම් නඩේසන් සහ එස් පුලිදේවන් ඇතුළු සුදු කොඩි රැගෙන ආරක්ෂක හමුදාවලට භාර වූ බව පැවසෙන සියලු දෙනාගේ මරණ පිළිබඳවත් විනිශ්චයකරුවකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ජනාධිපති කොමිසම නිර්දේශ කරයි. යුද්ධයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ ගණයෙහි ලා සැලකිය හැකි අපරාධ සිදු කර තිබෙන බවට චැනල්4 නාලිකාව විසින් 'විශ්වසනීය චෝදනා' එල්ල කර තිබෙන බවයි මැක්ස්වල් පරණගම කොමිසම පවසන්නේ. මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසම් වාර්තාවෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කරන ලද බවට සාක්ෂි තිබෙන්නේ යයි දේශීය පරීක්ෂණ මණ්ඩලයක් විසින් නිගමනය කරන ලද පළමු වතාව මෙයයි. කෙසේ නමුත් චැනල්4 නාලිකාවේ 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටයේ ඇතුලත් වීඩියෝ දර්ශන සත්‍ය සිදුවීම් නොවන බවත්, ඒවා නිර්මාණය කරන ලද දර්ශන බවත් ශ්‍රී ලංකා හමුදාව දිගින් දිගටම පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කණ්ඩායමක් අද,බ්‍රහස්පතින්දා නොරොච්චෝලෙයි ‘ලක් විජය’ ගල් අඟුරු බලාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ අතර ඔවුන් එහි දී මහත් හරසරින් පිළිගනු ලැබුණි.
එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ඔවුන් එම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ නගරාධිපතිවරයකු ඇතුළු කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කරනු ලැබ ඇත. නොරොච්චෝලෙයිහි දී එක්සත් ජාතික පක්ෂය ඊට වෙනස් අත්දැකීමකට මුහුණ දුන් අතර පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමති වික්ටර් ඇන්තනි සහ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් ඔවුන් මල් මාලා පළඳවමිනුයි, පිළිගන්නා ලද්දේ. මල් මාලා මෙය සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දෙවැනි නිරීක්ෂණ චාරිකාව බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නොරොච්චෝලෙයි ‘ලක් විජය’ගල් අඟුරු බලාගාරය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් අතර මුල් තැනක් හිමි කර ගන්නා බවයි සඳහන් කළේ. “චීනයෙන් ලබා ගන්නා ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක් පමණ මෙම ව්‍යාපෘතියට වැය කරනවා. අදියර තුනකින් සමන්විත මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු විසි වතාවකට අධික වාරයක් ඇනහිටියා. මීට සම්බන්ධ ප්‍රශ්න මාධ්‍යය මගින් පමණක් නොවෙයි, පාර්ලිමේන්තුවේත් සාකච්ඡා වුනා. එහි සත්‍යය විපරම් කිරීමටයි අපි මේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වෙන්නේ.” පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා බීබීසී සංදේශයේ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සමඟ කියා සිටියේය. විශේෂ රැකවරණ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නොරොච්චෝලෙයි බලාගාරයේ නිලධාරීන්ට සවන් දෙමින් ප්‍රශ්න විචාරමින් එහි අඩුපාඩු ගැන අවධානය යොමු කළ බවයි, ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න බීබීසියට කියා සිටියේ, තමන් දැන සිටි දේ වලට වඩා සමහර දේවල් ගැන වැඩිමනත් තොරතුරු ලබාගත් බවයි. “සමහර දේවල් පැහැදිලියි. සමහර දේවල් අපැහැදිලියි. සමහර දේවල් ගැන ඇසුවත් ඔබට පිළිතුරු දීම නොහැකි බවත් පැහැදිලියි.”මන්ත්‍රීවරයා නිලධාරීන් ඉදිරියේ කියා සිටියේය. එම තත්වය විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් පමණක් නොව රටේ ජාතික ප්‍රශ්නයක් හැටියටයි, එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා විසින් විග්‍රහ කරන ලද්දේ. මෙම සංචාරයේ විශේෂත්වයක් වුණේ, නොරොච්චෝලෙයි විදුලි බලාගාරයේ නිලධාරීන් පමණක් නොව කල්පිටිය පොලිසිය විසින් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාවක් සැලසීමයි.
ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අයත් ප්‍රථම කණ්ඩායම් 07 වෙනම කාණ්ඩයක් ලෙසත් සෙසු කණ්ඩායම් 05 වෙනම කාණ්ඩයක් ලෙසත් ක්‍රීඩා කළ යුතු බවට වන යෝජනාවට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්ත හා දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩල සහාය පළ කරති.
ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් කාණ්ඩ දෙකකට වෙන් කිරීමට ගන්නා උත්සාහයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භයේදීම සිය විරෝධය පළ කර තිබිණි. ඉන්දියාව සහ බංගලාදේශය යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩලද ඉහත කී යෝජනාවට විරෝධය පළ කර සිටිති. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය වාර්තා කරයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟකාරිත්වයක් ඇති කිරීම මෙන්ම මූල්‍ය ගැට‍ළු වළක්වා ගැනීම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු පාදක වී තිබේ. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම වන සමානාත්මතාවය අදාළ යෝජනාව හරහා බිඳ වැටෙන බවයි. 'ක්‍රීඩාවේ සමානාත්මතාවය' "අපිට පළමු කණ්ඩායම් හතේ රැඳී ඉන්න එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් මේක වැරදියි. ටෙස්ට් කණ්ඩායම් දහයම සම වෙන්න ඕනේ." මූල්‍යමය ගැට‍ළු මුල් කර ගනිමින් මෙවැනි යෝජනා ඉදිරිපත් වන බව කියා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා, එම ගැට‍ළු මග හරවා ගැනීම සඳහා මේ ආකාරයෙන් කාණ්ඩ දෙකකට කණ්ඩායම් වෙන් නොකොට සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා යොමුවීම විසඳුමක් වශයෙන් යෝජනා කරයි. "අපි කියන්නේ දවස් හතරේ ටෙස්ට් තරග. දැන් දිවා රාත්‍රී තරඟ තියන්න පුළුවන් ඒ නිසා ඕවර සීයක්වත් දිනකට යවන්න පුළුවන්. බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා තරග පැවැත්වූ විට හොඳ පිරිසක් තරඟ නරඹන්නත් එනවා. මොකද සති අන්තයේ තරඟ තීන්දුව එන නිසා." (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සමඟ බීබීසීයේ අසාම් අමීන් සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයේ නරඹන්න.)
රෙහාන් ජයවික්‍රම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන තරුණ දේශපාලනඥයෙකි. පසුගිය අප්‍රියෙල් 13 දින ඔහු මවිතය දනවන සුළු ප්‍රකාශයක් කළේය.
නැදින් පාර්(දකුණේ) රාමදාන් උපවාසය සඳහා තමාට ආරාධනා කළ සිය හොඳම මිතුරිය වන සොරායා ඩීන් සමඟ ''මම මෙවර රාමදාන් ආගමික මාසයේ මගේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට එක්ව ඔවුන් සමඟ රාමදාන් උපවාසය කාලය ගතකිරීමට ආශාවෙන් බලා සිටිනවා. මෙය මට එවැනි වාසනාවක් අත්වෙන පළමු වතාවයි '' ''මම බෞද්ධයෙක්. මම මගේ මුළු ජීවිත කාලය පුරාම උත්සාහ කරන්නේ බෞද්ධ දර්ශනය අනුගමනය කිරීමට'' ඔහු 'ට්විටර්' මාධ්‍ය ජාලයට පැවසීය. රෙහාන් ජයවික්‍රම දකුණු පළාතේ වැලිගම නගරසභාවේ සභාපති පදවිය දරයි. අප්‍රියෙල් 14 වෙනිදා රාමදාන් මාසය ආරම්භවීමේ පටන් මුස්ලිම් ආගමික ප්‍රතිපදාව අනුව යමින් දිවාකාලය තුළ ආහාරපාන ගැනීමෙන් වැළකී සිටියි. මේ වසරේ අප්‍රියෙල් 14 ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාව වන සිංහල ජනතාවට සහ මුස්ලිම් ප්‍රජාවට සුවිශේෂී දිනයක් විය. එම දිනය සිංහල සහ දෙමළ ජනයාගේ නව අවුරුදු උදාව සැමරීම සහ මුස්ලිම් රාමදාන් උපවාස සමයේ ආරම්භයත් එක දිනයක යෙදුණු දුර්ලභ අවස්ථාවක් විය. එහෙත් මෙයින් වසර දෙකකට පෙර 2019 වසරේ පාස්කු ඉරිදා දිනයෙහි ඉස්ලාම් සන්නද්ධ කණ්ඩායමක් විසින් මහජන ජීවිත 270කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කරමින් කිතුනු දේවස්ථාන කීපයක් ඉලක්ක කොට එල්ලකරන ලද බෝම්බ ප්‍රහාර සමඟ බහුවාර්ගික ජන සංයුතියක් සහිත ශ්‍රී ලාංකික සමාජය බලවත් තිගැස්මකට පත්විය. රෙහාන් ජයවික්‍රම දවසේ උපවාස කාලය නිමාවේ මුස්ලිම් ජනතාව සමඟ ආහාර ගනිමින් තමා මුස්ලිම් ජනතාවත් සමඟ මෙවර රාමදාන් උපවාසයට එකතුවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පැතිරගිය මුස්ලිම් විරෝධී සමාජ ආකල්ප සමාජයෙන් ඉවත්කරනු ලැබීමේ චේතනාවෙන් වන බවත් බෞද්ධයකු වන රෙහාන් ජයවික්‍රම පවසයි. මේ අතර රෙහාන් ජයවික්‍රම දෝෂදර්ශනයට ලක්කරන ඇතැමෙක් ''ඔහු මුස්ලිම් ඡන්ද පසුපස දුවන'' බවට චෝදනා කරති. ඊට ප්‍රතිචාරය දක්වන තරුණ දේශපාලනඥයා සිය ආධාරකරුවන් විසින් 'ට්විටර්' ජාලයේ පළකර ඇති අදහසක් සිහි කැඳවයි. ''වෛරය වැපිරීමට වඩා ආගමික සහජීවනය නංවාලමින් ඡන්ද දිනාගැනීම වඩාත් යහපත්ය'' කතෝලික බැතිමතියක වන මේරි ඈන් ඩේවිඩ් මාධ්‍යවේදිනිය වසර 15කට අධික කාලයක් තිස්සේ රාමදාන් ප්‍රතිපදාව අනුගමනය කරන්නීය කතෝලික බැතිමතියක වන මේරි ඈන් ඩේවිඩ් මාධ්‍යවේදිනිය වසර 15කට අධික කාලයක් තිස්සේ රාමදාන් ප්‍රතිපදාව අනුගමනය කරයි. රාමදාන් කාලය 'තමා කෙරෙහිම කේන්ද්‍රගත වෙමින් වැදගත් කරුණු මෙනෙහි කරනු ලැබීමට උපයෝගී කරගන්නා බව ඇය පවසන්නීය. ''උපවාසය මගින් සිදුකෙරෙන එක දෙයක් දිගින් දිගටම ආහාර ගැන හිත හිතා ඉන්නෙකෙන් වැළකීම. ඒ වගේම කම්මැලිකම නිසා හෝ තරහයෑම නිසා අරමුණකින් තොරව වරින්වර කෑම කෑමත් එමගින් වළකිනවා. ඒ සමඟ විනයක් ඇතිව දවස පිළියෙළ කර ගැනීමකුත් සිද්ධවෙනවා'' මේරි ඈන් සඳහන් කළාය. රාමදාන් චාරිත්‍රය මගින් සිය අරමුණු ශක්තිමත් කරන බවත් සෞඛ්‍ය සම්පන්න හැඟීමක් ජනිතකරන බවත් ඇය පවසන්නීය. ''දැනටමත් යම් ආකාරයක නිශ්චිත ජීවන වරප්‍රසාද භුක්ති විඳින සහ රැකියාවන්හි නිරතවෙන අයට දිවාකාලයේ ආහාර නොගෙන සිටීම විශාල පරිත්‍යාග කිරීමක් වෙන්නේ නැහැ'' මේරි ඈන් බීබීසියට වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කාලය ''නමුත් අතපය වෙහෙසවමින් ශ්‍රමය වැයකරනු ලබන සහ දැඩි රශ්නය සහිත ස්ථානවල එළිමහනේ වැඩකරන හොඳ ආහාරවේලක් ලබාගැනීමට ප්‍රමාණවත් අතමිට නැති ජනතාවට එය ඉතා දුෂ්කර කරුණක්'' පරිත්‍යාගය ඉතාම වැදගත් දෙය බව මේරි ඈන් අවධාරණය කරයි. ''මම හිතන හැටියට ආහාරපාන ගැනීමෙන් වැළකී සිටින අතරවාරයේ ඊට සමාන්තරව හැකිතාක් දන්දීම අවශ්‍යයි. වරප්‍රසාද අහිමි ජනතාවට ආහාරපාන ලබාදෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ උවමනාවන් සම්පූර්ණ කරමින් උපවාස කිරීමට අනුබල දෙන්න ඕන'' හිරුබැස යන හෝරාවේ උපවාසය නතර කරමින් මේරි ඈන් භුක්ති විඳින ආහාරවේලට රතුසහලින් පිසූ කැඳ,රොටී,පිසින ලද හරක් මස්,සලාද,පලතුරු යුෂ,රටඉඳි සහ ජලය ඇතුළත් වෙයි. එකමුතුභාවය මේ අතර,ලෝකයේ තවත් කෙළවරක සිටින නැදින් පාර් කියන්නේ කුමක්ද? ඇයත් රාමදාන් උපවාස චාරිත්‍රය අනුගමනය කරන මුස්ලිම් නොවන කාන්තාවකි. බැතිමත් කිතුනුවකු වන නැදින් රාමදාන් අනුගමනය කරන්නේ සිය මිතුරියක වන මුස්ලිම් කාන්තාවකගේ හඳුන්වාදීම අනුවය. ''එය ජේසුස් වහන්සේ අදහන උන්වහන්සේගේ අනුගාමික කාන්තාවක් හැටියට මගේ ස්වීය විශ්වාසය පළකරනු ලැබීමක් වගේම රාමදාන් මාසයේ දී උපවාසය තෝරාගැනීම මගේ ආදරණීය මුස්ලිම් මිතුරන් වෙනුවෙන් සහයෝගය පළකෙරෙන ක්‍රියාමාර්ගයක්'' එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි පදිංචි නැදින් ලේඛිකාවකි. එසේම ඇය ව්‍යාපාරික අංශයේ පුහුණුකරන්නියක් මෙන්ම පාසල් ගුරුවරියක් ද වන්නීය. ''මම රාමදාන් චාරිත්‍ර පිළිපදින්න පටන් අරගෙන කාලයක් ගතවුණා. අවුරුදු හතක්. මම රාමදාන් උපදෙස් දැඩිව පිළිපදිනවා. හිරු උදාවට පෙර පාතරාසය ගැනීම සහ හිරු බැසයන තෙක් ආහාරපාන ගැනීමෙන් වැළකී සිටිනවා'' ''අන්‍යෝන්‍ය සහයෝගය සහිත මෙම ජීවන ගමනේ දී මගේ ජීවිතයේ මම කැමතිම අංගය වන්නේ ප්‍රජාව සහ මිතුරන් අතර ආගමික සහ සංස්කෘතික සම්බන්ධතා ගොඩනගන පාලමක් වීම'' නැදින් පාර් වසර හතක කාලයක් රාමදාන් චාරිත්‍ර අනුගමනය කරයි එකමුතුවීමේ කාලයක් ''මෙය විනය හෝ පරිත්‍යාගයට පමණක් අදාළ කාලසීමාවක් ද නොවන අතර සිය ප්‍රියතමයන් සමඟ එකමුතුව ප්‍රීතියෙන් සමරනු ලැබීමට සුදුසු කාල පරිච්ඡේදයක් වන බව'' මේරි ඈන් පවසයි. ''අපි උපවාස පැය ගණන නිමාවේ අපට ආරාධනා කළ මිතුරන්ගේ හෝ වෙනත් පවුලක නිවසට ගියොත් දකින්න ලැබෙන්නේ රාත්‍රී සාදයක දර්ශනයක්. මත්පැන් විතරයි නැත්තේ'' මේරි ඈන් විස්තර කළාය. ''අපි අලුත් ආහාරවර්ග අනුභව කරනවා. ඇත්තෙන්ම ගොඩාක් සතුටු වෙනවා'' ''රාමදාන් කාලෙදි අපට අහිමිවෙන ලොකුමදේ තමයි වතුර බීම. විශේෂයෙන්ම මේ උෂ්ණ කාලය තුළ. නමුත් පරිත්‍යාගයට එහාගිය වාසියක් තියෙනවා. මම පළමු වතාවට උපවාසයට එක්වූ අවස්ථාවේ මට ඇත්තෙන්ම අහිමිවුණේ ජලය. අරමුණකට යොමුවුනාම හැමදෙයක්ම පහසුයි'' මුස්ලිම් බැතිමතුන් සමඟ රාමදාන් උපවාසයට එක්වීම දෙවියන්ට සමීපවීමට උදව්වක් යයි කිතුනු බැතිමතියක වන නැදින් පවසයි. ''අපි හැම තිස්සෙම අපේ ආහාර රුචිය පිනවන්න ගියොත්,අපට අපේ පූජනීය අවස්ථා සහ පූජනීය ස්ථාන මඟ හැරෙන්න ඉඩකඩ තියෙනව. එමගින් දෙවියන් මත ඇති අපේ පූර්ණ රඳා පැවැත්ම සහ කැපවීම ස්වයංක්‍රීයව අමතක වී යන්න පුළුවන්'' ජලය සහ ආහාර නොගෙන සිටීම සිය විශ්වාසයට අලුත් දර්ශනයක් ජනිතකරන බව නැදින්ගේ විශ්වාසයයි. ''අපි අපගේ උවමනාවන්ට ඔබ්බෙන් එහා දුරක් දකිමු.අපගේ උවමනා යළි අර්ථ ගන්වනු ලැබ ඇත. අපි දෙවියන් වහන්සේ අත් විඳින්නෙමු'' පහසු නොවේ සමාජ දුරස්ථභාවය රැකගනිමින්, මුඛ ආවරණ සහිතව කොළඹ නගරයේ මුස්ලිම් පල්ලියක ආගමික මෙහෙයකට සහභාගීවෙන පිරිසක් කෙසේවුවද, වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම පවසන පරිදි ''රාමදාන් උපවාස අත්දැකීම පහසු කාර්යයක් ද නොවේ'' ''මම උදේ හතරට නැගිටිනවා. රටඉඳි, යෝගට් සහ පළතුරු උදේ ආහාරය හැටියට අනුභව කරනවා. ඉන් පස්සේ සවස 6,30 වෙනතෙක් කිසිම ආහාරයක් නැහැ'' රෙහාන් බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය. මෙම අලුත් අත්හදා බැලීම දවස අවසානයේ තමාට එක්තරා නැවුම් භාවයක් ඇතිකරන බවත් තරුණ දේශපාලනඥයා පවසයි. එහෙත් තමාට එම ප්‍රතිපදාව රාමසාන් මාසය පුරාම අනුගමනය කළ හැකිවේද යන්න සම්බන්ධයෙන් ඔහු තුළ සැකයක් ද පැවතුණි. ''මට හැකිතාක් දුරට මම මෙම රාමදාන් උපවාසය දිගට පවත්වා ගන්නවා'' බෞද්ධ තරුණ දේශපාලනඥයා පැවසීය. එහෙත් ඔහු සානුකම්පිතව සඳහන් කළේ ''වතුර ටිකක් බොන්නේ නැතිව ඉන්න එකනම් හරිම අමාරු දෙයක්'' කියවන්න;
අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩකයන් තෝරා ගැනීම පිණිස බැංගලෝර් නුවර පැවැත්වුණ වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙන්දේසි නොවීමට හේතුව ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
මේ වසරේ පැවැත්වෙන්නේ හත්වැනි අයිපීඑල් තරඟාවලියයි වෙන්දේසියට ඉදිරිපත් කෙරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දහ තුනක් අතරින් වෙන්දේසියේ විකිණුනේ ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩකයන් තිදෙනා පමණයි. මුරලිදරන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගෙන සිටින අතර, ලසිත් මාලිංග ටෙස්ට් පිටියට සමු දුන් ක්‍රීඩකයෙක්. විස්සයි විස්ස ක්ෂේත්‍රයේ පෙළහර පාන තිලකරත්න ඩිල්ශාන්, මහේල ජයවර්ධන මෙන්ම වත්මන් නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දස දෙනකුම වෙන්දේසියේ දී අලෙවි වූයේ නැත. මහේල, ඩිල්ශාන්, ඇන්ජලෝ පසුගිය වසරේ වෙන්දේසියේදී ඉහල ඉල්ලුමක් තිබූ අජන්ත මෙන්ඩිස්ද අලෙවි නොවූ ක්‍රීඩකයන් අතර සිටී. ඩිල්ශාන්, මහේල, මැතිවුස් සහ අජන්ත මෙන්ඩිස්ද වෙන්දේසියේදී අලෙවි නොවිණ අයිපීඑල් තරඟාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායමේ අයර්ලන්ත සහ එංගලන්ත සංචාරය යෙදී තිබීම හේතුවෙන් සමස්ත තරඟාවලිය පුරාම ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන ලාංකීය ක්‍රීඩකයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ක්‍රීඩා සමාජ හිමිකරුවන් මැලිකමක් දක්වා ඇති හැඩක් පෙනී යන බවයි, සිලෝන් ටුඩේ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. ඒ අතරම පසුගියදා අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ පරිපාලනය හා සම්බන්ධ සංශෝධන පිළිබඳ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටීම තවත් හේතුවක් විය හැකි බවට මතයක් දිවයිනේ පැතිර යමින් පවතින බවද චම්පික ප්‍රනාන්දු පවසයි. කෙසේ නමුත් බදාදා වෙන්දේසි නොවූ ඇතැම් ලාංකීය ක්‍රීඩකයන් බ්‍රහස්පතින්දා වෙන්දේසියේදී අලෙවි විය හැකි බවද ඔහු සඳහන් කළේය. මේ අතර පසුගියදා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කරන ලද කෙවින් පීටර්සන් දිල්ලි ඩේයාඩේවල්ස් කණ්ඩායම විසින් බ්‍රිතාන්‍ය පවුම් අට අක්ෂ අසූ දහසකට මිලදී ගැනීම බ්‍රිතාන්‍ය මාධ්‍යවල ප්‍රබල අවධානයට ලක් වී තිබේ. තවත් එංගලන්ත ක්‍රීඩකයන් අට දෙනකුද වෙන්දේසියට ඉදිරිපත් කෙරුණත් ඔවුන්ද අලෙවි වී නැහැ. පවුම් දහ තුන් ලක්ෂ හැත්තෑ දහසකට අලෙවි වූ ඉන්දීය පිලේ යුවරාජ් සිං බදාදා වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයායි.
එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනා කෙටුම්පත තවත් ශක්තිමත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් කෙසේ නමුත් දැනට ඉදිරිපත්ව තිබෙන කෙටුම්පතට ද තම පක්ෂයේ සහාය හිමි වන බව එහි නායක ආර් සම්බන්දන් බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමක දී කියා සිටියේය. ‘මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ අරමුණක් ඇතිව. අපේ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙලා තියෙන නිසා අපි ඒ අය දිරිමත් කළ යුතුයි. ඒ නිසා අපි ඒ යෝජනාවට සහාය දෙනවා.’ ආර් සම්බන්දන් කියා පැවසීය. 'ජාත්‍යන්තර විමර්ශනයක්' කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයක් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු ඇතැම් විරුද්ධ පක්ෂ ජිනීවා යෝජනාව විවේචනයක් කොට තිබෙන්නේ නොවේද යන්න සම්බන්දන් මන්ත්‍රීවරයාට යොමු කෙරුණු ප්‍රශ්නයක්. ‘ඒ යෝජනාව කියවල බලන්න. අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ඒකෙ තියෙනවා. ඒක මහ කොමසාරිස්වරිය නිරීක්ෂණය කළ යුතු බවත් එහි තියෙනවා. ඒ වගේම මහ කොමසාරිස් වරියගේ විමර්ශනයක් පවත්වන්නත් ඉඩ සලසල තියෙනවා. එතුමිය පවත්වන විමර්ශනය ජාත්‍යන්තර විමර්ශනයක් නෙමෙයි නම් වෙන මොකක්ද?’ සම්බන්දන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එබැවින් මේ අවස්ථාවේ ඉතා ප්‍රවේශම් සහගතව කටයුතු කළ යුතු බවත් සම්බන්දන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
දකුණු ඉන්දියාවේ දුම්රියක ඇතිවූ ගින්නකින් ළමයින් දෙදෙනෙක් ඇතුළු අවම වශයෙන් විසි තුන් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
මිය ගිය බොහෝ දෙනෙක් දුම්රිය තුළ පිරී ගිය ඝන කළු දුමාරයෙන් පීඩා විඳ ඇත දුම්රිය නිලධාරීන් පවසන ආකාරයට නන්දේඩ් හා බැංගලෝර් අතර ධාවනය කෙරෙන සීග්‍රගාමී දුම්රියේ මැදිරියක ගින්නක් හටගෙන ඇත්තේ එය අන්ද්‍රා ප්‍රදේශ් හරහා ගමන් කරමින් තිබියදීය. පොලීසිය පවසන්නේ මිය ගිය පිරිස අතරින් බොහෝ දෙනෙක් දුම්රිය තුළ පිරී ගිය ඝන කළු දුමාරයෙන් පීඩා විඳ ඇති බවයි. ගින්න නිවා දැමුවද එය ඇතිවීමට හේතුව තවමත් හඳුනාගෙන නැත. සිකුරාදා, ඉන්දියානු වේලාවෙන් සවස 3.30 ට පමණ ගින්න හටගන්නා විට වායු සමීකරණය කරන ලද මැදිරියක් තුළ 60 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවයි පැවසෙන්නේ. මේ සිදුවීමෙන් තුවාල ලත් සහ තවමත් සොයා ගත නොහැකි වුවන්ගේ ගණන පිලිබඳ ස්ථිර වාර්තාවන් මෙතෙක් ලැබී නොමැත. ලංකාවේත් එවැනිම සිදුවීමක් මීට සමාන ලෙස ශ්‍රී ලංකාවේ මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක සිකුරාදා සවස ඇතිවූ ගින්නකින් බේරීම සඳහා ඉවතට පැනීමේදී ධාවනය වෙමින් තිබූ වෙනත් දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් දෙදෙනෙක් මියගිය බව ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය වාර්තා කළේය. වඳුරඹ දුම්රිය ස්ථානය අසලදී ගින්න හටගෙන තිබු අතර තවත් තුවාල කරුවන් වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇත.
දින 51 දේශපාලන අර්බු ද යේ ආර්ථික හානිය ගැන අගමැතිවරයා කළ ප්‍රකාශයේ කරුණු 7ක්:
ඔක්තෝම්බර් 26 දින සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් සියලු කටයුතු එකතැන නතර වූ අතර දින 51ක කාලයක් පුරා නැවතී තිබූ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනැගීමට කාලයක් ගත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීමත් සමග ඇතිවූ ශ්‍රී ලංකාවේ දින 51ක ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් රටට ඇතිවූ ආර්ථික පාඩුව ගැන අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශයෙන් කරුණු 7ක් මෙසේය. 1. 2019 වර්ෂය තුළ ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලිය "2019 වර්ෂය තුළ අපි ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලියඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් පමණ වෙයි කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වෙනිදා. අමෙරිකානු ඩොලර් මිලියන 2600 ක්" 2. "ශ්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක්" "ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. රුපියල තව තවත් අස්ථාවර වුණා. ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් පහලට වැටුණා. විදේශ සංචිත පහළ වැටුණා. මේ කාලය තුළ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් කිසි ම ණයක් හෝ ආධාරයක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට නොහැකි වුණා." "අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි" 3. දින 51ක ආර්ථික හානිය - වෙනත් රටවල් වල මුදල් ඒකකයන්වල වටිනාකම වැඩිවෙද්දී මේ දින 51 කාලය තුළ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය 3.8%ක් අවප්‍රමාණයවී තිබීම. - 2018 ඔක්තෝබර් මස 26 ඉඳලා දෙසැම්බර් මස 16 අතර කාලය තුළ භාන්ඩාගාර සුරැකුම්පත් ඇමරිකානු ඩොලර් මිලියන 312.9ක්, භාණ්ඩාගාර බිල්පත් ඇමරිකානු ඩොලර් මිලියන 29.1ක් සහ භාන්ඩාගාර බැඳුම්කර ඇමරිකානු ඩොලර් මිලියන 29.8ක් රටින් පිටතය යාම. - ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7991.5 සිට බිලියන 6985.4 දක්වා පහළ ඇමරිකානු ඩොලර් බිලියනයකින් පහළ යාම. 4. දින 51 නිසා ඇතිවී තිබෙන අසීරුව "වැඩිම ණය ගෙවීමට ඇති කාලයේ ජනතාවට බරක් නොවන ලෙස ඒ ගෙවීම් කරන්නට අප සැලසුම් කර තිබුණා. දින පණස් එකේ වියවුල නොතිබුණා නම් අපේ සංචිත ඩොලර් මිලියන 8000 කට වැඩි වෙනවා. එයින් ඩොලර් මිලියන 5900ක් කොටස් වාරික ලෙස ගෙවීමටයි අප සැලසුම් කර තිබුණේ. නමුත් අද සිදුව තිබෙන්නේ කුමක්ද? පළමු වාරිකය ගෙවන කොට අපේ සංචිත ඩොලර් මිලියන 7900 සිට ඩොලර් මිලියන 6900 ට අඩු කරගෙන තිබෙනවා. මේකයි මේ රටේ ජනතාවට සිදුව තිබෙන්නේ" මේ ගැනත් කියවන්න 5. රුපියල ස්ථාවර කිරීමට ගෙන ඇති පියවර - සාර්ක් රටවලට සලසන මූල්‍ය හුවමාරු (Currency Swap) පහසුකම යටතේ ඉන්දීය මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. - තවත් එවැනි විශාල මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධව ඉන්දියාව සැලකිල්ල යොමු කර තිබේ. - චීනයේ පැන්ඩා බැඳුම්කර හා ජපානයේ සාමුරායි බැඳුම්කර යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. - ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් බාගැනීමට බලාපොරොත්තු වේ. 6. "ජනතා හිතවාදී අයවැයක්" "එහිදී අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි. නමුත් අපි ඒ සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි" 7. විපක්ෂය අගමැතිගේ ප්‍රකාශය ගැන විවාදයක් ඉල්ලයි "අවුරදු 3 1/2 තිස්සේ ඇති වෙච්ච ආර්ථික කඩාවැටීම මේ කාලේ ඇතිවෙච්ච දෝෂයන් කියලා කියනවා, රට කාලා, විනාශ කරලා, ඩොලරය 200ට යන්න තිබුණු රටක් තිබුණේ, රට කෑවේ කවුද කියල බලන්න අපිට විවාදයක් දෙන්න" බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටියේය. "මේ අවුරුද්දේ මුල් භාගයේදී ඩොලර් එක ශක්තිමත් වෙන ගමන් අනිත් හැම රටක ම මුදල් අඩුවීමක් තිබුණා, ලංකාවේ රුපියල ඇතුළුව. නොවැම්බරයේ ඒ මුදල් සියල්ල වටිනාකම වැඩි වුණා, ලංකාවේ හැර. ඩොලර් මිලියන 1000ක් සංචිත මේ දවස් 51 නැති වුණා, මේ ඔක්කොම ඇති කරලා දැන් ඉන්නවා, විවාදය තියන්නේ මේ දවස් 51ක් ගැන" අගමැති රනිල් වික්‍රමසිංහ පිළිතුරු දෙමින් කියා සිටියේය.
පසුගියදා දිවියෙන් සමුගත් ජනප්‍රිය බොලිවුඩ් නිළි ශ්‍රී දේවි කපූර්ගේ මරණය මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන ආකාරය පිළිබඳව ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සහ රසිකයන් වෙතින් කෝපය පළ වෙමින් ඇති බව වාර්තා වේ.
බොලිවුඩ් තාරකා ශ්‍රීදේවී එම මාධ්‍ය ප්‍රචාරණය අනුකම්පා විරහිත, අසංවේදී ක්‍රියාවක් ලෙස දෝෂ දර්ශනයට ලක්වෙමින් ඇති බව එම වාර්තා මගින් පැවසේ. ශ්‍රීදේවි ගේ මරණය හා සම්බන්ධ පුවත් විනෝදාස්වාදය පිණිස යොදා ගනිමින් ඇති බව එක් සිනමා නිළියක් පවසන්නීය. ශ්‍රී දේවි ගේ මරණය දියේ ගිලීමකින් සිදු වූවක් බව ඩුබායි හි වෝහාරික වාර්තාවක සඳහන් වේ. ඉන් අනතුරුව පළ කෙරුණ ඇතැම් වාර්තාවලට නාන කාමර සහ නාන බේසම්වල ඡායාරූප ඇතුළත් කරමින් සිනමා නිළියගේ මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විවිධ මත පළ වන්නට විය. ඉන්දීය මාධ්‍ය ආයතනයක් ශ්‍රී දේවි මරණය වාර්තා කරන ලද ආකාරය එවැනි වාර්තා පළ කරනු ලැබීම සම්බන්ධයෙන් ඇතැම් රූපවහිනී නාලිකා මහජන විවේචනයට ලක් වෙමින් ඇතිබව ඉන්දීය වාර්තා මගින් පැවසේ. ශ්‍රීදේවි දශක 5කට වඩා වැඩි කාලයක් චිත්‍රපට 300 කට පමණ සිය රංගනයෙන් දායක වූවාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විය. මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් සිව් හැවිරිදි වියේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය. ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි ද සිටි බව සැළකේ. ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් ද ශ්‍රීදේවී කපූර් 2013 දී පිදුම් ලැබුවාය.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව අද පාර්ලිමේන්තුවේ විවාදයට ගනිද්දී දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල විරෝධතා හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනිණ.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නීතීඥවරුන් සහ විරුද්ධ පක්‍ෂ කණ්ඩායම් පාගමනකට සූදානම් වන අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂ ආධාරකරුවන් ඊට එරෙහිව උද්ඝෝසනයක් පැවැත්වීම හේතුවෙනුයි මේ තත්වය හට ගත්තේ. "මේක ව්‍යවස්ථා අර්බුදයක්. වෙනත් නඩු තීන්දු බලවත්වෙන්නේ කොහොමද මේක බලවත් වෙන්නේ නැත්නම්" නීතිඥ ලාල් විජේනායක නීතීඥවරුන් අලුත්කඩේ ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී, අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතු බව කියා සිටි ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් ඔවුන්ගේ පා ගමනට බාධා කල අතර පසුව පාගමන උසාවි සංකීර්ණයේ වෙනත් මාර්ගයකින් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කොට තිබේ. අගවිනිසුරුවරිය වටා දේශපාලන කුමන්ත්‍රණකරුවන් රොක්ව සිටින බවටයි ආණ්ඩු පක්ෂ කණ්ඩායම් චෝදනා එල්ල කළේ. නීතිඥ එකමුතුවේ නීතිවේදී ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ සාමකාමී පාගමන කඩාකප්පල් කිරීමට රජය උත්සාහ කළ බවයි. ගල්-මුල් සහ පොලු රැගත් මැර කණ්ඩායම් තමන්ට බාධා පැමිණවූ බව පැවසූ ඔහු තම සාමකාමී සටනේදී ලේ හැලුවේ නම්, එකාධිපති ගමනක් යන රජයට විරුධව නැගී සිටීමට ජනතාව පෙළ ගැසෙන බවයි. අගවිනුසුරුවරිය නීති විරෝධී ආකාරයෙන් ඉවත් කොට නව අග්‍ර විනිශ්චකාරවරයකු පත්කළහොත් ව්‍යවස්ථා අර්බුදයක් හටගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන නීතිවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කළේය. අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් දී ඇති අධිකරණ තීන්දු කෙරෙහි අවධානය යොමු කරමින් පාගමනට එක්ව සිටි නීතිඥ ලාල් විජේනායක ප්‍රශ්න කළේ මෙසේයි. "මේක ව්‍යවස්ථා අර්බුදයක්. වෙනත් නඩු තීන්දු බලවත්වෙන්නේ කොහොමද මේක බලවත් වෙන්නේ නැත්නම් " සබැඳි තේමා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ අක්කරේපත්තු ප්‍රදේශවල උත්සන්න වෙමින් තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරනු ලැබ තිබේ.
විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවයි, නිරීක්ෂකයන් පවසන්නේ අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමිල හේරත්ට දහයියාගම හන්දියේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව පවසන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ (කැෆේ) ව්‍යාපාරය, ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ආධාරකරුවන් බව ද කොමසාරිස්වරයාට යැවූ පැමිණිල්ලේ සඳහන් කරයි. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවයි, නිරීක්ෂකයන් පවසන්නේ. මේ අතර අක්කරේපත්තුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයට ද කිසියම් පිරිසක් විසින් සිකුරාදා දිනයේ පහර දී ඇති බව පවසන කැෆේ සංවිධානය, ජාතික කොන්ග්‍රසයේ පෙක්ෂකයන්ට හැර වෙනත් පක්ෂවලට අක්කරේපත්තු ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම ඉතා දුෂ්කර බව ද පෙන්වා දෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්‍රසය මෙවර නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තනි පක්ෂයක් වශයෙන් තරඟ කරයි. නියමිත කාලයට පෙරාතුව විසුරුවා හරිනු ලැබූ නැගෙනහිර, උතුරු මද සහ සබරගමුව පළාත් සභා සඳහා මැතිවරණ ලබන සැප්තැම්බර් අට වැනිදා පැවැත්වීමට නියමිතයි. සබැඳි තේමා
ඉරාක අගමැති නුරි අල් මලිකි බෑග්ඩෑඩ් අගනුවරට උතුරින් පිහිටි සමාරා නගරයේ දී ඔහුගේ සෙන්පතියන් ඇමතුවේය.
උතුරු සහ බටහිර ඉරාකයේ විශාල කොටසක බලය අල්ලාගෙන සිටින ඉස්ලාමීය කැරලිකරුවන් සහ ඉරාක හමුදා අතර යුද පෙරමුණ බවට පත් ව ඇත්තේ සමාරා නගරයයි. කැරලිකරුවන්ට එරෙහි සටන දියත් කරන බිම සමාරා නගරය බවයි ඉරාක අගමැති නුරි අල් මලිකි කියා සිටියේ. ඉරාක අගමැති නුර් අල් මලිකිගේ සහ ෂියා ඉස්ලාම් නිකායේ ප්‍රධාන පූජකතුමාගේ ඉල්ලීම අනුව සංවිධානය වූ සන්නද්ධ කණ්ඩායම් ද රජයේ හමුදා සමග එක් ව ආරක්ෂක කටයුතු කරන බවයි වාර්තා වන්නේ. ඉරාකයට ආධාර ලබා දීමට ඇමෙරිකාව සුදානම් නමුත් රට එක්සත් කිරීමේ හැකියාවක් තමන් සතු බව ඉරාක නායකත්වය විසින් ඔප්පු කළ යුතු යැයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේය. රජයේ හමුදාවේ බහුතරය ෂියා නිකායවාදීන් වීමත් ඔවුන්ගේ ප්‍රතිවාදී සටන්කාමීන් සුන්නි නිකායවාදීන් වීමත් නිසා ඉරාකය එක්සත් කිරීම පහසු කටයුත්තක් නොවන බවයි බීබීසී වාර්තාකරුවෙක් සඳහන් කළේ. මේ අතර ප්‍රකාශයක් කරන ඉරාන ජනාධිපති හසන් රුහානි කියා සිටියේ ඉරාක කැරළිකරුවන්ට එරෙහිව ඇමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සුදානම් බවයි.
ආරක්ෂක අංශ විසින් පහර දීමෙන් පසු , යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් දින දෙකක් අධ්‍යයන කටයුතු වලට සහභාගී නොවී පන්ති වර්ජනය කිරීමට තීරණය කොට තිබේ.
උද්ඝෝෂණයක නිරතව සිටි සරසවි සිසුන් සහ ආරක්ෂක අංශ අතර ඊයේ හටගත් ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ සරසවි සිසුන් හතර දෙනෙක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුහ. යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම සඳහායි එම උද්ඝෝෂණය පැවැත්වුනේ. පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු සිසුන් පස්දෙනකු පිළිබඳව සොයා බැලීමට ගිය තමන්ගේ වාහනයට යුද හමුදා භට පිරිසක් විසින් පහරදී අලාභ හානි සිදුකළ බව දෙමල ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සරවනභවන් ප්‍රකාශ කළේය. යුද හමුදාවට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා සරවනභවන් මන්ත්‍රීවරයාට මූදල් ලැබෙන බවට චෝදනා එල්ල කළ යාපනය යුද හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ බීබීසි යට පැවසුවේ සිසුන් විසින් ගල්, මුල් සහ බෝතල් වලින් එල්ල කළ ප්‍රහාර වැළැක්වීම සඳහා යුද හමුදා භට පිරිස් ක්‍රියා කොට ඇති බවයි. මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම මත සිසුන් පස් දෙනා නිදහස් කොට තිබේ. පොලීසිය පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එල්ටීටීඊ සංවිධානයේ මහවිරු දිනය සැමරීම සඳහා උත්සවයක් නේවාසිකාගාර තුළ සංවිධාන කොට තිබුණු බවට ලැබුණු තොරතුරු අනුව එම සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි. යුද හමුදාවට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා සරවනභවන් මන්ත්‍රීවරයාට මූදල් ලැබෙන බවට චෝදනා එල්ල කළ යාපනය යුද හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ බීබීසි යට පැවසුවේ සිසුන් විසින් ගල්, මුල් සහ බෝතල් වලින් එල්ල කළ ප්‍රහාර වැළැක්වීම සඳහා යුද හමුදා භට පිරිස් ක්‍රියා කොට ඇති බවයි. සබැඳි තේමා
අලුතින් ම දියත් කරන ලද එක්සත් රාජධානියේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවෙහි මුද්‍රා තැබීමේ දෝෂයක් හේතුවෙන් කාන්දුවක් මතුවී තිබේ.
එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව අගෝස්තුවේදී පොර්ට්ස්මත් වෙත යාත්‍රා කළේ නාවික කඳවුරේ සැරහුම් කටයුතුවලින් පසුවය එලිසබෙත් මහ රැජින විසින් මේ මස මුලදී පොර්ට්ස්මත් හි දී අධිකාරී ගැන්වූ මෙම නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇත. පවුම් බිලියන 3.1 ක වියදමින් තනන ලද නෞකාවේ මතුවූ දෝෂය හඳුනා ගැනුනේ එය මුහුදේ පරීක්ෂණ සඳහා යාත්‍රා කෙරුණු අවස්ථාවේදීය. නැව අලුත්වැඩියාවකට යොමු කිරීමට නියමිත වුව ද ලබන වසර මුලදී යොදාගෙන ඇති යාත්‍රා කිරීමට එයින් බාධාවක් නොවන බව රාජකීය නාවික හමුදාවේ ප්‍රකාශකයා පැවසීය. සන් පුවත්පත වාර්තා කළ පරිදි හටගත් දෝෂය හේතුවෙන් සෑම පැයකදීම එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තුළට මුහුදු ජලය ලීටර 200 දක්වා වූ ප්‍රමාණයක් ගලා එයි. මේ ගැටලුව, රාජකීය නාවික හමුදාව "අතිශය අපහසුතාවට" පත්කරන්නක් බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ජොනතන් බීල් පැවසීය. නැව අධිකාරියට පත්කිරීමේ උත්සවය දෙසැම්බර් 7 වෙනිදා පැවැත්විණි "ජලය ගලා ඒම අපේක්ෂා කළ යුතුයි" එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තනන ලද්දේ බීඒඊ සිස්ටම්ස්, බැබ්කොක් හා තේල්ස් යන සමාගම් එක්ව සැදුනු එයාර් ක්‍රාෆ්ට් කැරියර් එලයන්ස් නම් සමූහය විසිනි. ෆයිෆ් හි පිහිටි රොසිත් තටාකාංගනයේදී එකලස් කිරීමට පෙර ග්ලාස්ගෝ හි පිහිටි ගෝවන් සහ ස්කොට්ස්ටුන්, ලිවර්පූල් හි පිහිටි ඇපල්ඩොර්, කැමල් ලෙයාර්ඩ් , නිව්කාසල් හා පොස්ට්මත් හි පිහිටි ඒ ඇන්ඩ් පී යන අංගන හයකදී නෞකාවේ කොටස් නිපදවිණි. දෝෂය සහිත කොටස ගෝවන් හි පිහිටි සිය අංගනයේදී නිපදවන ලද බව බීඒඊ සිස්ටම්ස් විසින් තහවුරු කරන ලදී. එහි අලුත්වැඩියාව නව වසරේදී සිදුකරන අතර ඊට දින කිහිපයක් ගතවන බව ද සඳහන් කළේය. නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇත එක්සත් රාජධානි ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයුම් ශක්‍යතා පිළිබඳ හිටපු අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ක්‍රිස් පෙරී පැවසුවේ පළවූ සිරස්තල "අතිශය අපසුතාවක්" ඇති කළේ වුවද මේ කාන්දුව "සැබෑවටම එතරම් සැලකිය යුතු දෙයක් නොවේ" යනුවෙනි. බීබීසී සමග මේ පිළිබඳ අදහස් පළකළ රියර් අද්මිරාල් පෙරී, "මුහුදේදී යුද නැව් තුළට යම් ප්‍රමාණයක ජලය ගලා ඒම ඔබ අපේක්ෂා කළ යුතුයි. ඒ නිසයි ඒවායෙහි පොම්ප සවිකර තිබෙන්නේ" යැයි පැවසීය. "එය මුහුදේ පරීක්ෂණ ගමනේ යෙදුණා. යම් පීඩනයක් තිබුණා. ඒ සියලු පද්ධති පරික්ෂා කෙරුනේ ඒවායෙහි උපරිමයට යමින්. එයයි මුහුදේදී සිදුවුනේ" යනුවෙන් ද ඔහු සඳහන් කළේය. අඩි 900ක් (මීටර 280) දිග එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව එහි නේවාසික තොටුපොළ වන පොර්ට්ස්මත් වෙත පසුගිය අගෝස්තු මාසයේදී පළමු වරට සේන්දුවීමට පෙර රොසිත් සිට පිටත්ව මාස දෙකක කාලයක් මුහුදේ පරීක්ෂාවේ යෙදිණි. එච්එම්එස් ක්වීන් එලිසබෙත් රාජකීය නාවික හමුදාව සතුවූ විශාලතම යුද නෞකාව 65,000 ටොන් පවුම් බිලියන 3.1 වියදම ගුවන් යානා අංගනයේ දිග මීටර280 දැනට සිටින කාර්ය මණ්ඩලය 700 නැව අභ්‍යන්තරයේ ඇති විදුලි රැහැන්වල දිග සැතපුම් 155,000 එය එක්සත් රාජධානියෙහි අලුත් පරම්පරාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා අතරින් පළමු වැන්න වේ. එච්එම්එස් ප්‍රින්ස් ඔෆ් වේල්ස් නම්වූ දෙවෙනි නෞකාව බාහිර වශයෙන් ඉදිකර අවසන් වුවද අභ්‍යන්තර පද්ධති සවි කිරීම සඳහා මාස 18 ක කාලයක් ගතවෙනු ඇත. රොසිත් හි සිදුවන එම කටයුතු 2019 දක්වා ක්‍රියාත්මකවන අතර ඉන් අනතුරුව මුහුදේ පරීක්ෂාව කෙරෙනු ඇත. මේ තොරතුරු දැනගන්න : වෙනත් ගුවන් යානා ප්‍රවාහන නෞකා සමග සැසඳීම ගුවන් යානා නැහැ නැවේ කාන්දුවක් හටගැනීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුනේ එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවේ ගෙනයාමට නියමිත එෆ්-35 වර්ගයේ ගුවන් යානාවල වියදම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය අවධානය යොමු කර තිබියදීය. වසර 2025 වනවිට ඇමෙරිකාවේ ලොක්හීඩ් මාටින් සමාගමෙන් එෆ්-35 යානා 48 ක් පවුම් බිලියන 9.1 ට මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් එක්සත් රාජධානිය ආරම්භ කර තිබිණි. එහෙත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂක තේරීම් කමිටුව මෙම ජෙට් යානා පිළිබඳ "පිළිගත නොහැකි විනිවිදභාවයකින් තොරවීමක්" සිදුවී ඇතැයි පැවසුවේ, මෙම එක් ගුවන් යානයක් පවුම් මිලියන 150 ට වැඩි වන බව එක් ඇස්තමේන්තුවකින් පෙන්වා දී තිබු බැවිනි. දැනට එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව සමග ගුවන් යානා යෙදවීම සිදු නොවුව ද ලබන වසරේදී ඒ මතින් ලයිට්නිං ගුවන් යානා යොදාගනිමින් පළමු පරීක්ෂණ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඇමෙරිකාවේදී පුහුණුව ලද 120ක කාර්ය මණ්ඩලයක් ඊට එක් වේ. එවක ආරක්ෂක ලේකම් ශ්‍රීමත් මයිකල් ෆැලන් විසින් පසුගිය සැප්තැම්බරයේදී අලුත් ජාතික නැව් තැනීම් ක්‍රමෝපායක් හඳුන්වාදෙනු ලැබිණි. රජය පැවසුවේ වසර 2023 වනවිට අලුත් ටයිප් 31 ඊ ෆ්‍රීගේට් යාත්‍රා පහක්වත් මිලදී ගැනීමට සැලසුම් කරන බවය. රට පුරා පිහිටි තටාකාංගනවලට ඒවායෙහි ඉදිකිරීම් බෙදාදෙන බව ද පැවසීය. අලුත් නෞකාවල පළමු කණ්ඩායම රාජකීය නාවික හමුදාවේ යාත්‍රා සමූහය සවි ගන්වනු ඇති අතර ඉදිරියේදී විදේශ නාවික හමුදා ද එක්සත් රාජධානියෙන් නෞකා මිලදී ගනු ඇතැයි ද එය අපේක්ෂා කරයි.
තමා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
'අපි මේ කට්ටිය අරන් වෙනම පැත්තකට වෙන එක තමයි හොඳ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.' මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමට සෙනසුරාදා මහනුවරට පැමිණි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වන ලෙස එම කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයන් තමාට ආරාධනා කළ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී වන ලෙස එම පක්ෂයෙන් තමාට ආරාධනයක් නොලැබුණු බවත් හිටපු ජනපතිවරයා සඳහන් කළේය. වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින බැවින් තමා සහ ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීන්දු කළ බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගී වී එහිදී යම් විරෝධයක් මතු වුවහොත් තමාට එහි වගකීම බාර ගත නොහැකි බවත් හිටපු ජනපතිවරයා කියා සිටියේය. 'යම් කිසි විදිහකින් විරෝධයක් පෑවොත්, හූවක් කිව්වොත් ඒකෙ සම්පූර්ණ වගකීම එන්නේ මට. මම කොහොමද ඒක බාර ගන්නේ' ඔහු සඳහන් කළේය. එවැනි තත්වයන් දෙස අවධානය යොමු කොට වෙනම මැයි රැළියක් පැවැත්වීම වඩා යහපත් බවයි හිටපු ජනපතිවරයා කියා සිටියේ. 'අපි මේ කට්ටිය අරන් වෙනම පැත්තකට වෙන එක තමයි හොඳ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරත් පැවසීය.
දෝෂාභියෝග විමර්ෂණ ක්‍රියාදාමයෙන් ඉවත් වීමට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගත් තීන්දුවට තම සහාය හිමිවන බව නීතිවේදීන්ගේ සංවිධාන පවසති.
කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපසදී මාධ්‍යවේදීන් ඇමතූ එම සංවිධාන කියා සිටියේ මතුවී තිබෙන අලුත් වාතාවරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාදාමය පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් අගවිනිසුරු බණ්ඩාරනායක ඊයේ එම විමර්ෂණයෙන් ඉවත්ව ගියාය. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යයනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුවයි, ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගියේ. ජනතා නීතිඥ සංගමයේ උප සභාපති සුනිල් වටගල නීතිඥවරයා කියා සිටියේ, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් සාමාජිකයන් ඇයට අපහාස වන ආකාරයෙන් බැන වැදීම හෙලා දකින බවයි. "ඇයට අවමන් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඇය අභීත තීන්දුවක් ගත්තේ. මේ රටේ කාන්තා පරපුර වෙනුවෙන් ගත්තු අභීත තීන්දුවක්," ඔහු පැවසීය. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංවිධානයේ සම සභාපති නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ, පිටු දහසක පමණ චෝදනා පත්‍රයකට පැය 24 කටත් අඩු කාලයක් තුල පිළිතුරු දෙන මෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරිය ගත් තීන්දුවට සමස්ත නීතිඥ ප්‍රජාවගේ අගය කිරීමට ලක්වන බවයි. කොළඹ මහාධිකරණ නීතිවේදීන්ගේ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි ද එය අනුමත කළේය. "අඩුම ගානේ සමථ මණ්ඩලේකවත් මෙවැනි ආකාරයෙන් පවත්වන්නේ නෑ. සමථ මණ්ඩලේකට ගියත් ඒ සහණ දෙනවා විත්තිකාරයෙකුට කරුණු දක්වන්න. මේ අනුව මේ සම්පූර්ණ පටිපාටිය නීති විරෝධීයි," ඔහු පැවසීය. අධිකරණය සුරැකීමේ එකමුතුවේ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසන්නේ අධිකරණය මර්ධනය කොට ඒකාධිපති ගමණක් යාමට උත්සාහ කරන රජයට පාඩමක් ඉගැන්විය හැක්කේ ජනතා ශක්තිය තුලින් පමණක් බවයි. එමෙන්ම අගවිනිසුරුවරිය තවදුරටත් පදවියේ සිටියදී වැඩ බලන අග්‍ර විනිශ්චයකාර වරයෙකු පත්කිරීමට නීතියෙන් ඉඩකඩ නොමැති බව ජ්‍යෙෂ්ට නීතිවේදී ලාල් විජේනායක පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ලිංගිකත්වය, ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කිසියම් වෘත්තියක නිරතවීම ගැටලුවක් වන්නේ කෙසේදැයි සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරනියක් වන භූමි හරේන්ද්‍රන් ප්‍රශ්න කරයි.
තමන්ගේ පවුල, රැකියාවක් කරන්න තිබෙන අවස්ථාව, අධ්‍යාපනය, තමන් කැමති අයකුට ආදරය කිරීමට තිබෙන අවස්ථාව, විවාහ වීම වැනි දෑ සමාජය විසින් උදුරා ගන්නවා - භූමි හරේන්ද්‍රන් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර පදවියට වෙනත් පුද්ගලයකු පත්කිරීම පිළිබඳව සලකා බලන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ආණ්ඩුකාර ධුරය දරන තැනැත්තාට ශ්‍රී දළදා මාලිගයේ පරිපාලනය ප්‍රමුඛ නාහිමිවරු සමග කටයුතු කිරීමට සිදු වන බැවින් ඒ සඳහා කාන්තාවක් පත් කිරීම නුසුදුසු බව නායක හිමිවරුන් අමාත්‍යවරුන් පිරිසකට පවසා ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මේ අතර සංක්‍රාන්ති ලිංගිකයකු වීම හේතුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන්ට එල්ල වන විවේචන පිළිබඳව මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරිය දැඩි කනස්සල්ල පල කර තිබුණි. 'මිනිසුන් නොවේද?' එම වාර්තා පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ භූමි හරේන්ද්‍රන්, ''සංක්‍රාන්ති ලිංගිකයකුට, කාන්තාවකට හෝ සමකාමියකුට ලාංකීය සමාජය තුළ පිරිමියකුට හිමි සමාන අවස්ථා නොලැබෙන්නේද?," යනුවෙන් ප්‍රශ්න කරයි. ''ඔවුන්ට අනන්‍යතාවක් නොමැතිද? ඔවුනුත් සමාන හැඟීම් දැනීම් ඇති මිනිසුන් නොවේද?, ඔවුන්ට තම අනන්‍යතාව රැක ගනිමින් සිතැඟි රැකියාවක් කිරීමේ අයිතිය නැතිද?.'' භික්ෂූන් වහන්සේගේ ඉහත කී විරෝධයට ඇතැමුන් සහාය පල කරන අතරවාරයේ, තවත් සමහරුන් සමාජ ජාල ඔස්සේ එය විවේචනයට ලක් කර තිබිණි. "තමන්ට ලැබෙන තනතුරට, එහි වගකීමට, සහ තමන්ට ලැබෙන වැටුපට සාධාරණයක් ඉෂ්ට කරනවා නම්, අවංකව රාජකාරියේ නිරත වෙනවා නම්, පිරිමියෙක්ද, ගැහැනියෙක්ද, සංක්‍රාන්ති ලිංගිකයෙක්ද කියන එක වැදගත් කියලා මම හිතන්නේ නැහැ," භූමි හරේන්ද්‍රන් කියා සිටින්නීය. බෞද්ධ සමාජය තුළ සිදු කෙරෙන ඇතැම් ආගමික කටයුතු කාන්තාවන්ට අකැප යැයි පැවසීමද ඇයගේ විවේචනයට ලක්වෙයි. හේමමාලා කුමරිය "කාන්තාවක් දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවන්න සුදුසුයි නම්, පිරිමින්ට සමානව දන්ත ධාතූන් වහන්සේට පුද පූජා පවත්වන්න කාන්තාව ඇයි නුසුදුසු" ඔවුන්ගේ මාසික ක්‍රියාවලිය නිසාද? නැතිනම් ලොවට දරුවන් බිහි කරන නිසාද?" යනුවෙන්ද ඇය ප්‍රශ්න කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ස්වභාවිකව තමන්ට ලැබුණු අනන්‍යතාවය විවේචනයට ලක් කරමින් ආගමික විශ්වාසයන් මත හිඳ කුමන හෝ පුද්ගලයකුට ගැරහීම බෞද්ධ දර්ශනයටත් ශිෂ්ට සමාජයකටත් නුසුදුසු බවයි ඇය පෙන්වා දෙන්නේ. "ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු වීම දුෂ්කර දෙයක්. තමාගේ ජීවිතයේ ගොඩක් දේවල් සමාජය විසින් උදුරා ගන්නවා." "විශේෂයෙන්ම තමන්ගේ පවුල, රැකියාවක් කරන්න තිබෙන අවස්ථාව, අධ්‍යාපනය, තමන් කැමති අයකුට ආදරය කිරීමට තිබෙන අවස්ථාව, විවාහ වීම වැනි දෑ සමාජය විසින් උදුරා ගන්නවා," සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරනියක් වන භූමි හරේන්ද්‍රන් වැඩිදුරටත් කියා සිටින්නීය. මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරියගේ ලිංගිකත්වය පදනම් කරගෙන ඇයට ගැරහීම හෙලාදකින අතරම, පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ආණ්ඩුකාර පදවියට පත්කිරීමට තරම් ඇය සපුරා තිබෙන සුදුසුකම් කවරේදැයි ඇතැම් විවේචකයෝ ප්‍රශ්න කරති.
මොහමඩ් හෂීම් මදානියා වන ඇය දෙදරු මවකි. ඇය හිඳගෙන සිටින්නේ ඉතා ශෝකයෙනි. ඒ ඇයගේ සහෝදරයාගේ සිදුකළ ක්‍රියාවක් නිසාවෙනි.
මදානියා ගේ සහෝදරයා සහ්රාන් හෂිම්ය. ඔහු පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමේ එක් සාමාජිකයෙකි. බලධාරීන් පවසන ආකාරයට සහ්රාන් හෂිම් මරාගෙන මැරෙන කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා වේ. ඔහුගේ එම ක්‍රියාව නිසා මදානියා වික්ෂිප්ත වී සිටී. මේ වන විට එම ප්‍රහාර වලින් 250 දෙනෙකුට අධික පිරිසක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. බොහෝ ප්‍රදේශ වල ආරක්ෂාව තර කර තිබේ. "සිද්ධ වෙලා තියෙන දේ භයානකයි. ඊළඟට කුමක් වෙයි දැයි මට සිතා ගන්න බැහැ," ඇය පවසයි. සැකකාරියක ලෙස නොසලකුවද පොලීසිය මේ වන විට ඇයගෙන් ප්‍රශ්න කර තිබේ. ප්‍රහාර එල්ල කළ කණ්ඩායමට නායකත්වය දුන් බව සැලකෙන ඇයගේ සොහොයුරා තවමත් ජීවතුන් අතර සිටීද නැත්ද යන්න අපැහැදිලිය. එහෙත් ඔහු මියගොස් ඇති බව ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ පවසති. සහ්රාන් හෂීම් "වික්ෂිප්ත වෙලා" සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා මදානියා ය. හතළිස් හැවිරිදි සහ්රාන් පවුලේ වැඩිමලාය. දැඩි අව් රශ්මියෙන් කාත්තන්කුඩි නගරය වෙහෙසට පත්වී ඇති සෙයකි. එහි වෙසෙන බහුතරය මුස්ලිම් ජාතිකයින්ය. මදානියා දෙස බොහෝදෙනා විමසිල්ලෙන් බලති. නමුත් එයට ඇය අකමැතිය. නමුත් ඇයට එයින් ගැලවී යා නොහැකි සෙයකි. තම වැඩිමහල් සොහොයුරා වසර දෙකකින් පමණ තමාට කතා කර නොමැති බව ඇය කියයි. එකිනෙකාට වෙනස් අදහස් ඇති මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකට පසුව පොලීසිය 2017දි සහ්රාන් අත්අඩංගුවට ගැනීමට සෙවීය. එතැන් සිට ඔහු සැඟවී ජීවත් වී තිබේ. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රහාරකයින්ගේ යැයි සැලකෙන වීඩියෝවක් නිකුත් විය. එහි සහ්රාන් හෂීම් ලෙස විශ්වාස කළ හැකි පුද්ගලයෙක් අයි එස් කණ්ඩායමේ නායක අබු බකර් අල්-බගාදි ට සහයෝගය දක්වනු පෙනේ. එම වීඩියෝවේ මුහුණ ආවරණය නොකර සිටින්නේ ඔහු පමණය. එහි පුද්ගලයින් අට දෙනෙක් සිටින අතර අයි එස් සංවිධානය පවසා ඇත්තේ එම කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රහාර එල්ල කළ බවය. ප්‍රහාර එල්ල කිරීමට 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකික කණ්ඩායමක් සහභාගී වී තිබෙන බව පොලීසිය පවසයි. ඉන් එක් අයෙකු කාන්තාවකි. මඩකලපුවේ ප්‍රහාරය පොලීසිය පැවසුවේ ඔවුන් සියලු දෙනා "හොඳින් ඉගෙනගත් මධ්‍යම පාන්තිකයන්" බවය. ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙකු එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගෙන ඇති අතර ප්‍රහාරකයින් අතර සිටි දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින ධනවත් කුළුබඩු ව්‍යාපාරිරකයෙකුගේ පුතුන්ය. එක් අයෙකුගේ බිරිඳ පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කරන විට බෝම්බයක් පුපුරුවාගෙන දරු දෙදෙනා සමගම මරණයට පත්ව තිබේ. පොලිස් නිලධාරීන් තිදෙනෙක්ද එහිදී මිය ගියහ. පළිගැනීම් වලට ලක්වේ යැයි කාත්තන්කුඩි ජනතාව බිය පළ කරති "මම ඔහු කරපු දේට සම්පුර්ණයෙන් ම විරුද්ධයි. ඔහු මගේ සොහොයුරා වුණත් මට මේක පිළිගන්න බැහැ. මම මින් පස්සේ ඔහු ගැන සොයන්නේ නැහැ." එසේම ඇයගේ දෙමව්පියන් ප්‍රහාර සිදුවීමට දින කිහිපයකට පෙර ඔවුන්ගේ නිවසෙන් අතුරුදන් වී තිබේ. "ඒගොල්ලෝ ගැන කිසිම තොරතුරක් නැහැ," මදානියා පැවසීය. "මම හිතන්නේ සහ්රාන් අම්මයි තාත්තයි එක්ක සම්බන්ධතා තියෙන්න ඇති." පොලීසිය සහ්රාන්ගේ බාල සොහොයුරා ගැනද විමසිල්ලෙන් සිටිති. එහෙත් ඔහුද අතුරුදන්ය. සහ්රාන් හෂීම් රැඩිකල් ඉස්ලාම් දේශකයෙකි. ඔහු ගැන මීට වසර කිහිපයකට පෙර සමාජ ගත වුයේ යුටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අනෙකුත් ආගම අදහන්නන් නිගාවට ලක් කළ හෙයිනි. ඔහුගේ එම ප්‍රකාශ සහිත වීඩියෝ ගැන අනෙකුත් මුස්ලිම් ජාතිකයෝ විරෝධය මතු කළහ. සමහර මුස්ලිම් නායකයින් පැවසුවේ තමන් සහරාන් ගැන බලධාරීන්ට අනතුරු ඇඟවූ බවත් ඒවා නොසලකා හරින ලද බවය. නමුත් සහ්රාන් ව සොයා ගැනීමට අපහසු වූ බව බලධාරීහු පැවසු බව සඳහන් වේ. සහ්රාන් සහ අයි එස් කණ්ඩායම අතර ඍජු සම්බන්ධතා තිබුණේදැයි යන්න තවමත් අපැහැදිලිය, පාස්කු ඉරුදින මඩකලපුවේ සිදුවූ ප්‍රහාරයෙන් 25කට අධික පිරිසක් මියගියහ. ඒ අතර කුඩා ළමුන් ද විය. මෙම ප්‍රහාරයෙන් පසු වැඩිදෙනාගේ අවදානය කාත්තන්කුඩි ගම්මානය වෙත යොමු වුයේ එය සහ්රාන් ජීවත් වූ ප්‍රදේශය නිසාය. සහ්රාන් ගැන කතා කිරීමට එම ගම්මානයේ බොහෝදෙනා අද වැඩි කැමැත්තක් නොදක්වති. ඔහු ආරම්භයේදී ආගමික දේශනා කර ඇත්තේ මද වශයෙනි. නමුත් පසුකාලීනව දේශකයෙකු වශයෙන් සමහරු අතර ඔහු ප්‍රචලිත විය. නමුත් ප්‍රධාන ඉස්ලාම් කණ්ඩායම් ඔහුට අනෙක් ප්‍රදේශ වල ආගමික දේශනා පැවැත්වීමට ඉඩ නොදුන්නේ සහ්රාන් අන්තවාදී අදහස් ප්‍රචාරය කළ බැවිණි. ඔහු ජාතික තව්හිත් ජමාත් නමින් සංවිධානයක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටුවා ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. එසේම මුහුදු වෙරල ආසන්නයේ දේවස්ථානයක් ගොඩනගා එහි ආගමික පන්ති පැවැත්වීම අරඹා තිබේ. ඉන් පසු ඔහු තම රැඩිකල් අදහස් එම පන්තිවලට සහභාගී වන අය අතර ප්‍රචලිත කර ඇති බව පැවසේ. සහ්රාන් සිදු කළ ක්‍රියාව නිසා අද කාත්තන්කුඩි ජනතාව පසුවන්නේ දැඩි බියෙනි. ඒ ඔවුන් පළි ගැනීම් වලට ලක් විය හැකි නිසාය. "මම ඔහුගේ වැඩ ගැන දැනගත්තේ මාධ්‍යයෙන් . මම කිසි විටෙක හිතුවේ නැහැ ඔහු මෙවැනි දෙයක් කරයි කියලා," තම සොහොයුරා ගැන මදානියා පැවසුවේ එලෙසිනි. කියවන්න:
බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ අඹුසැමි යුවළක් විසින් සිය අලුත උපන් බිලිඳාට ආක්‍රමණිකයකුගේ නමක් තැබීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී ඇත.
මධ්‍යම ආසියාවේ සිටි දාහතරවන සියවසට අයත් මොන්ගෝලියානු අධිරාජ්‍යයෙකුවන තයිමූර් හෙවත් තමලෙන් විසින් පුද්ගලයන් දහස් ගණනක් මරා දමනු ලැබ ඇතැයි විශ්වාස කෙරේ. කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන් යුවළ තම අලුත උපන් පුතුට නම තබා ඇත්තේ ද තයිමූර් ලෙසය. නමුත් කරීනා - සයිෆ් රසිකයන් පවසන්නේ 'යකඩ' යන අරුත ඇති තයිමූර් යන්න තවත් එක් නමක් පමණක් බවය. කෙසේ වෙතත් මතභේදයට තුඩු දුන් පුද්ගලයකුගේ නමක් කරීනා සයිෆ් යුවළ විසින් සිය පුතුගේ නම වශයෙන් යොදා ගැනීම ඉන්දියාවේ ට්විටර් ඇතුළු සමාජ ජාල භාවිත කරන්නන් අතර දැඩි සංවාදයට ලක් වී තිබේ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන මන්සූර් ඛාන් සහ හිටපු බොලිවුඩ් නිළියකවන ශර්මිලා තාගෝර් සයිෆ් අලි ඛාන්ගේ දෙමව්පියන්ය. කරීනා කපූර්ගේ මව්පියන් මෙන්ම ඇයගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු ද ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියෝ වෙති.
නියමිත කාලයට වසර දෙකකට පෙර ලබන ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මින් මොහොතකට පෙර අනුමැතිය පළ කළ බව කැබිනට් අමාත්‍යවරයෙක් බීබීසී සංදේශයට පැවසීය.
බදාදා රාත්‍රියේ ආරම්භ වූ මධ්‍යම කාරක සභා රැස්වීම මුලින් උණුසුම් මුහුණුවරක් ගත් නමුත් පැය කිහිපයක් මුළුල්ලේ පැවැත්වුණු සාකච්ඡාව සාමකාමීව නිමා වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අනුව බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරයා විසින් ජනපතිවරණය කැඳවනු ලබන බව ප්‍රකාශයට පත්කිරීමට ඉඩ තිබේ. ජනවාරි 03 වැනි දින හෝ 07 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත නමුත් දෙසැම්බර් මස දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් ජනවාරි 03 වැනි දින මැතිවරණය පැවැත්වීම ඉතා දුෂ්කර බව මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වී තිබෙන බවත් සංදේශයට සැලවේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුන්වෙනි වරටත් ජනපති පදවියට ඉදිරිපත් වන බව මේ වනවිටත් නිවේදනය කොට තිබෙන අතර ඒ සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. කෙසේ නමුත් සිය අපේක්ෂකයා කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂය හෝ පොදු විපක්ෂ සන්ධානය තවමත් තීරණය කොට නොමැත. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් සලකා බැලෙන නම් අතරට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ නම අලුතින්ම එක් වී තිබේ. ඩේලිමිරර් පත්‍රයේ වාර්තාකරුවකු ඒ පිළිබඳව විමසූ විට සිනහසීම හැර අමාත්‍යවරයා පැහැදිලි පිළිතුරක් දී නැත. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ගේ නම් පොදු අපේක්ෂකයා ලෙසින් සලකා බැලෙන බව මීට ඉහතදී ප්‍රකාශයට පත් වී තිබුණි.
මහනුවර දිගන සහ තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශවල පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 220 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින නමුත් ප්‍රචණ්ඩව හැසිරුණු ඇතැම් භික්ෂූන් වහන්සේ ඒ අතර සිටින්නේ දැයි දැනගන්නට නැති බව නීතිය හා සාමය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ පසුගිය සතියේ රටේ ප්‍රදේශ කිහිපයක පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. ප්‍රහාරකයන් මුස්ලිම් පල්ලිවලට සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දෙද්දී අකර්මණ්‍යව සිටි බවට පොලිසියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද ඇමතිවරයා ප්‍රතිචාරය දැක්විය. මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය. ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. මේ තොරතුරු ද දැනගන්න: ප්‍රහාර වැළැකූ බෞද්ධ භික්ෂූන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්ෂණ "කඩිනමින් ඉවර කරලා" වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අභිලාශය බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලි ඇතුළු දේපොළවලට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසී සිංහල ජනතාව පිළිබඳ රට පුරා බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබිණ. පහරදීමේ උත්සාහ හතරක් වැළැක්වීමට තමන් ඇතුළු සිංහල ජනතාව සමත් වූ බව වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති නෙල්ලිගල අවට ප්‍රදේශයේ පහරදීමේ උත්සාහ හතරක් වැළැක්වීමට තමන් ඇතුළු සිංහල ජනතාව සමත් වූ බව වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ ද බීබීසී සිංහල සේවයට පැවසූහ. ඒ අතරවාරයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ පුද්ගලිකවම මැදිහත් වී ප්‍රචණ්ඩ ක්‍රියා දිරිගන්වන පළකිරීම් දක්නට ලැබුණු අතර පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදී සිටි මුස්ලිම් වෙළෙන්දෙකු පලවා හරින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳ දර්ශන ද ඒ අතර විය. එවැනි භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍යවරයා කියා සිටියේ, "ඒ සම්බන්ධව ලැබෙන පැමිණිලි සහ තොරතුරු පදනම් කරගෙන, භේදයකින් තොරව අවශ්‍ය පියවර ගන්නව," යනුවෙනි. "අපි පහුගිය දවස්වල ප්‍රදේශයේ සංචාරය කළා. සිංහල ජාතිකයොත්, මුස්ලිම් ජාතිකයොත් කිවුව සමහර විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේක විසඳන්න, එයාලට ආරක්ෂාව දෙන්න කටයුතු කළා. ඒ වගේම තවත් කොටසක් ප්‍රචණ්ඩව කටයුතු කරලා තියෙනව," යනුවෙන් ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වූයේ නම් රට තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති නොවීමට ඉඩ තිබුනා නේදැයි බීබීසී කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ පසුගිය වසර කිහිපය තුළ "ඇමතිවරුන්" සහ "ස්වාමීන් වහන්සේලා" සම්බන්ධයෙන් පවා නීතිය ක්‍රියාත්මක වූ බවය. "හැම තැනම පෙට්‍රල් බෝම්බ ගහල තියෙන්නේ සංවිධානය වෙච්ච කණ්ඩායමක්. යම් දේශපාලනඥයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා." 'පොලිසිය බලා සිටියා' මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යද්දී පොලිසිය 'බලා සිටි' බවට සහ කලහකරුවන් පාලනය කිරීමට පියවර නොගත් බවට එල්ලවන චෝදනා පිළිබඳව අදහස් දැක්වූ පොලිසිය භාර අමාත්‍යවරයා කියා සිටියේ, මේ අවස්ථාවේ අවශ්‍යව තිබෙන්නේ "ප්‍රශ්නෙ වැඩිකරගන්න නෙවෙයි, ප්‍රශ්නෙ පාලනය කරගන්න," බවය. "දැන් බලන්න මේ ගැටුම්වලින් මරණයට පත්වෙලා තියෙන්නේ දෙන්නයි. ඒ වගේම තුවාල වෙලා තියෙන්නේ 12 දෙනෙකුට විතරයි. එයින් අට දෙනෙක් බෝම්බ සිද්ධියෙන්. ඒ කියන්නේ ගහ ගැනීමක් වෙලා නෑ. පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ට මීට වඩා වෙනස් විදියකට සැලකුව නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ." පොලිසියට එරෙහිවත් චෝදනා එල්ල වී තිබෙන නමුත් පොලිසිය ප්‍රවේශම් සහගතව කටයුතු කර ඇතැයි පවසන අමාත්‍යවරයා, "එක් අවස්ථාවක 2000ක් විතර ඇවිල්ල තියෙනව. පොලිසිය ඉඳල තියෙන්නේ පොඩි පිරිසක්," බවත් සඳහන් කළේය. රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා නීතිය හා සාමය භාර ඇමතිවරයා ලෙස දිවුරුම් දෙමින් ප්‍රහාරවලින් බරපතල දේපොළ හානියක් සිදු වී ඇති බව පිළිගන්නා අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, එය සිදුකරන ලද්දේ "සංවිධානය වූ කණ්ඩායමක්" බවය. "හැම තැනම පෙට්‍රල් බෝම්බ ගහල තියෙන්නේ සංවිධානය වෙච්ච කණ්ඩායමක්. යම් දේශපාලනඥයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා." සමාජ මාධ්‍ය ජාල ප්‍රචණ්ඩත්වය සහ වෛරය පතුරවන සමාජ මාධ්‍ය ජාල අධීක්ෂණයට ලක් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සමාජ මාධ්‍ය ජාල භාවිත කරන "99% ක්ම" එය භාවිත කරන්නේ සමාජයේ යහපත සඳහා බව පෙන්වා දුන්නේය. "අද මම හිතන්නේ ඒක තහනම් කිරීම නිසා ඒ 99%ටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ අර්බුදකාරී තත්ත්වයක ආණ්ඩුවක් විදියට අපිට ඒක කරන්න සිද්ධ වෙනවා." ඉතා ඉක්මනින්ම එම තහනම ඉවත් කෙරෙනු ඇති බවටත් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. කෙසේ වුවත් කිසියම් පුද්ගලයෙක් "නීති විරෝධී, ජාතිවාදී, රාජ්‍ය විරෝධී" කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල යොදාගන්නේ නම් එය වැළැක්වීම පිණිස අනාගතයෙදී "නීති රීති සම්පාදනය කිරීමට" සිදුවනු ඇති බව ද නීතිය හා සාමය භාර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. තවත් කියවන්න:
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැයි 29 වෙනිදා පාර්ලිමේන්තුවේ දී රැස් විය.
"කාරක සභාවක ක්‍රියාදාමය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් නැහැ. නමුත් මෙයින් සදාචාරාත්මක ගැටලුවක් පැන නගින බව බොහෝ දෙනෙක් කියනවා" පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍ය වෙත විවෘත වූ පළමු අවස්ථාව මෙය විය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් එදින කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ. බොහෝ මාධ්‍ය ආයතන කාරක සභාවේ ක්‍රියාදාමයේ සජීව දර්ශන විකාශය කළ නමුත් එය හදිසියේම නවතා දමනු ලැබිණ. අගමැති රනිල් වික්‍රමසිංහ දුරකතනයෙන් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කාරක සභාවේ කටයුතු සජීව ලෙසින් විකාශය කිරීම දැඩි දෝෂදර්ශනයට ලක් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. රටේ බුද්ධි අංශ තොරතුරු ඇතුළු කරුණු මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචනයට ලක් වූ අතර ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල සංවාදයක් ගොඩනැගී තිබේ. කාරක සභාවක කටයුතුමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීතියට පටහැණි ද? "කාරක සභාවක ක්‍රියාදාමය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් නැහැ. නමුත් මෙයින් සදාචාරාත්මක ගැටලුවක් පැන නගින බව බොහෝ දෙනෙක් කියනවා. කොහොම වුණත් මේ වගේ ප්‍රශ්න කිරීම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරපු අවස්ථා ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා," යැයි නීතීඥ සී එච් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය. "කාරක සභා ප්‍රශ්න කිරීම් එළිපිට සිදුවීමෙන් මිනිස්සුන්ට තොරතුරු වසන් වෙන්නේ නැහැ. වැරදි තොරතුරු සමාජගත වෙන්නේ නැහැ. නමුත් ඇති වී තිබෙන තත්වයත් එක්ක යම් සංවේදී බුද්ධි තොරතුරු පිටතට යෑම ඉතා භයානකයි. මේ වගේ දේවල් මාධ්‍ය ඉදිරියේ සාකච්ඡා කිරීමේ දී ඉතා ප්‍රවේශම් විය යුතුයි," ඇය තවදුරටත් පැවසුවාය. ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මැයි රැස් වූ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් මාර්තු 23 වෙනි දින පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේ විශේෂ කාරක සභාව මාධ්‍ය වෙත විවෘත කරන බවය. එමෙන්ම, සභාවේ කටයුතු මාධ්‍ය වෙත විවෘත කිරි‍මේ වගකීම කාරක සභාවේ සභාපතිවරයාට පැවරෙන බව ද කතානායකවරයා තවදුරටත් පැවසීය. නියෝජ්‍ය කථානායක, ජේ එම් ආනන්ද කුමාරසිරි විශේෂ කාරක සභාවේ සභාපතිත්වය දරයි. හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවි කරුණානායක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය ආශූ මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වය දරති. පා‍ර්ලිමේන්තු මන්ත්‍රී කා‍වින්ද ජයවර්ධන ඉවත්වීම හේතුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පත් කළ බව කතානායක කරූ ජයසූරිය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු වෙනවා ද? කාරක සභා ක්‍රියාවලිය මාධ්‍ය වෙත විවෘත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා පැවසුවේ "පාර්ලිමේන්තුවේ කටයුතු වාරණයකින් තොරව ප්‍රචාරය කරන්න ඉඩ දීම නිසා පාර්ලිමේන්තුවේ හොඳ නරක, මැති ඇමතිවරු සිදු කරන දේවල් ජනතාවට දැනගන්න පුළුවන්," යනුවෙනි. "සභාවේ වගේම කාරක සභාවල සිදු කරන දේවල් ජනතාව දැනගත යුතුයි. එම තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. මේ විශේෂ කාරක සභාව විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා වාර්තා කරන්න‍ත් මාධ්‍යයට ඉඩ දිය යුතුයි. එහෙම නැත්තම් වැරදි තොරතුරු සමාජ ගතවෙනවා," අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය. "පාර්ලිමේන්තුවේ අපි කොපමණ හොඳ වැඩ කළත් ජනතාව අතරට යන්නේ නැහැ" මේ අතර, මාර්තු 23 වෙනිදා පාර්ලිමේන්තුව හමුවේ අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැවසුවේ, "අධීක්ෂණ කාරක සභා මාධ්‍යයට විවෘත කිරිමේ යම් බාධා තිබෙනවා. ඒ සඳහා ස්ථාවර නියෝග වල යම් වෙනස්කම් සහ සංශෝධනයන් කෙරෙහි අවධානය යොමුකරන්නට සිදුවෙනවා," යනුවෙනි "පාර්ලිමේන්තුවේ අපි කොපමණ හොඳ වැඩ කළත් ජනතාව අතරට යන්නේ නැහැ. ස්ථාවර නියෝග වල යම් වෙනස්කම් සිදුකර හෝ මේ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි." 2017 පෙබරවාරි මස සිට ක්‍රියාත්මක 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අදාළ බලධාරීන් ජනතාවට වගවීමේ මෙවලමක් ලෙස භාවිත කිරීමට සමාජය වග බලාගතයුතු බව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අංශයේ වැඩසටහන් කළමනාකරු, සංඛිතා ගුණරත්න මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පැවසීය. මේ තොරතුරුද කියවන්න: ලෝකයේ වෙනත් රටවල මෙවැනි දේ සිදු වී තිබේ ද? ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් 2018 මාර්තු මාසයේ දී ඇමරිකානු සෙනට් මණ්ඩලයට කැඳවීය "තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා" කාරක සභාවක් යනු කුමක් ද? පාර්ලිමේන්තු රැස්වීමක දී ලැබෙන කාලය සීමාසහිත නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසුය. අදාළ කටයුතු වඩාත් ඉක්මනින්, සාර්ථක ලෙස නිම කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රමය වන්නේ එම වගකීම් සභාවක් හෝ නම් කරන ලද කණ්ඩායමක් වෙත පැවරීමය. කාරක සභා ක්‍රමය බිහිවන්නේ මෙවන් වටපිටාවකය. එයට පාර්ලිමේන්තු නියෝජිතයන් සුළු පිරිසක් ද ඇතුළු වේ. එක්සත් ජනපද කොන්ග්‍රසයේ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, ජාතික ආරක්ෂාව වැනි අතිශය වැදගත් කරුණු ගැන මූලික සාකච්ඡා සිදු කිරීම සඳහා කාරක සභා පිහිටුවීම ස්ථාපිත වූ ක්‍රියා පිළිවෙලක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිට කාරක සභා සැලකිය යුතු ප්‍රමාණයක සේවය ලබාගෙන තිබේ. එහි අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුවට පැටවෙන අධික රාජකාරි ප්‍රමාණය අවම කිරීමය. පාර්ලිමේන්තු රැස්වීමක් කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වෙනි වගන්තියෙන් පිළිගනු ලැබ ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු රැස්වීම්වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑම කාරණයක් සඳහාත් ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමගින් ලැබී තිබේ. කාරක සභා වර්ග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා පුළුල් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකිය. ඒවා නම්, ස්ථාවර කාරක සභා සහ තත් කාර්ය කාරක සභා (තනි කාර්යයක් සඳහා වන කාරක සභා) වශයෙනි. ස්ථාවර කාරක සභා පත් කිරීම ස්ථාවර නියෝග අනුව කථානායකවරයා විසින් සිදු කරනු ලබන අතර එම කාර්යය අවසන් වීමෙන් පසුව වුවද ඒවා දිගටම ක්‍රියාත්මකව පවතී. ඒවායේ නිල කාල සීමාවේ යම් කිසි ස්ථාවර තත්ත්වයක් පවතියි. මෙම කාරක සභා සභාවේ විශේෂිත කටයුතු සම්බන්ධව ක්‍රියා කරයි. පාර්ලිමේන්තු රැස්වීමක දී ලැබෙන කාලය සීමාසහිත නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසුය තත් කාර්ය කාරක සභා බො‌‌හෝ විට තාවකාලික වන අතර නියමිත කාර්යය අවසන් වු වහා ම ඒවා අහෝසි වේ. මෙම කාරක සභා වරින් වර ඒවාට පවරනු ලබන විශේෂිත කාර්යයන් ක්‍රියාත්මක කරයි. මේවා විශේෂ කාරක සභා යනුවෙන් ද හැඳින්විය හැකිය. ස්ථාවර නියෝග අනුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට අමතරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු කාරක සභා වර්ග පහකි. මූලාශ්‍ර: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තවත් තොරතුරු:
ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර යන පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා මෙන් පොලිස්පතිවරයාට නියෝග කළ 'සර්' පොලිසිය භාර ඇමතිවරයා දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රශ්න කරයි.
'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රසිද්ධ වේදිකාවක කළ දුරකථන සංවාදය විව්වදයකට තුඩු දී තිබේ 'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රසිද්ධ වේදිකාවක කළ දුරකථන සංවාදය ජනමාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. එය වැරදි සහගත බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. ඇමති ද, අගමැති ද? ඒ පිළිබඳව යළිත් වරක් සිකුරාදා ප්‍රශ්නයක් මතු කළ ජනතා විමුකති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර යන අය අත්අඩංගුවට නොගන්නා මෙන් පොලිස්පතිවරයාට නියෝග කළ හැකි 'සර්' කවුදැයි දැනගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙන බව අවධාරණය කළේය. "පොලිස්පතිවරයාට ඉන්න සර් ඇමති වෙන්න ඕන. එහෙම නැත්නම් අගමැති වෙන්න ඕන," ඔහු පැවසීය. සර් කිවුවම පාසලේ ගුරුතුමා වෙන්නත් පුළුවන් - අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල එහිදී කරුණු දැක්වූ සභානායක ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා, දිසානායක මන්ත්‍රීවරයා දැක් වූ අදහස් එම දුරකථන සංවාදය පිළිබඳ 'එතුමාගේ අර්ථ නිරූපණය පමණක්' බව සඳහන් කළේය. "සර් කිවුවම පාසලේ ගුරුතුමා වෙන්නත් පුළුවන්," ඇමතිවරයා පැවසීය. ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර යනු දෙවිනුවර හිටපු බස්නායක නිලමේවරයා මෙන්ම මහින්ද රාජපක්ෂ පරිපාලනයේ 'ඉහලම පවුල්වල ඥාතියකු' බවත්, ඛනිජ වැලි නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ පුද්ගලයකු බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ පිළිබඳව කරුණු විමසීම පිණිස නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම් ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවරත්න පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ආපදා තත්වයන් පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන දැනුම් දී තිබේ. නාය යාමට ලක් වූ වෙයන්ගල්ල, අගලවත්තේ මළ සිරුරු ගොඩගනිමින් වහාම ක්‍රියාත්මකවන පරිදි සේවා ස්ථානවලට වාර්තා කරන මෙන් සියලුම රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙන අතර, කිසයම් නිලධාරියෙකු ගංවතුරට කොටු වී සිටින්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ/ඇයගේ දෙවැනි නිලධාරියා අදාළ රාජකාරි ඉටු කළ යුතු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ගංවතුරට කොටු වූ උඩුගම - කැටගොඩ ප්‍රදේශය 'බෝට්ටු ලබාදෙන්න' දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං සමග හටගත් නාය යාම් හා ගංවතුර හේතුවෙන් ජිවිත හානි රැසක් වාර්තා වෙමින් පවතී. ගංවතුර හා නාය යාමෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර, පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීම් හේතුවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දමා තිබේ. ගංවතුරට කොටු වූ සහ අවතැන් වූ ජනතාවට සහන සැලසීම පිණිස නාවික හමුදාවේ බෝට්ටු සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා තිබෙන අතර, අමතර බෝට්ටු ලබා දෙන මෙන් රජය ධීවර සහ සංචාරක බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. ගංවතුරට කොටු වූ වෙයන්ගල්ල, අගලවත්ත ගංවතුරට කොටු වී සිටින පුද්ගලයන් වෙත ළඟාවීමට නොහැකි අවස්ථාවලදී ගුවන් මගින් එම බෝට්ටු ප්‍රවාහනය කරන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය ගුවන් හමුදාවට උපදෙස් දී තිබේ. දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදුව පිවිසුම් ද ජලයෙන් යට වී තිබේ. ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්වය තවත් දරුණු විය හැකි බැවින් සියලුම ආපදා කළමනාකරණ වැඩපිළිවෙල සීරුවෙන් තබා ඇති බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිදෙඅනය වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රකට හොලිවුඩ් නළු සහ ප්‍රහසන රංග ශිල්පී රොබින් විලියම්ස් මිය ගිය බව කැලිෆෝනියාවේ පොලිසිය නිවේදනය කරයි.
සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි තම නිවසේ සිටියදී දිවි හානි කර ගෙන ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ. මිය යන විට හැට තුන් වැනි වියේ පසු වුනු රොබින් විලියම්ස් රඟපෑ ගුඩ් මෝර්නිං වියට්නාම් (Good Morning Vietnam) සහ ඩෙඩ් පොයට්ස් සොසයටි (Dead Poets Society) වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය වූ අතර ගුඩ් විල් හන්ටිං (Good Will Hunting) චිත්‍රපටයේ ඔහු නිරූපනය කළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමි විය. රොබින් විලියම්ස් වසර කිහිපයක් තිස්සේ මත් ද්‍රව්‍ය සහ මත් පැන් පානයට ඇබ්බැහි වී සිටි අතර මෑතකදී යළිත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු වූ බවත් මානසික අවපාතයෙන් පෙළුණු බවත් වාර්තා වෙයි. ගුඩ් විල් හන්ටිං (Good Will Hunting) චිත්‍රපටයේ රොබින් විලියම්ස් (මැද) නිරූපනය කළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය රොබින් විලියම්ස් සිය බිරිඳ සුසන් ශ්නෙද්‍රා සමඟ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජිනීවා යෝජනාවේ සඳහන් නො වීම ශ්‍රී ලංකාව ලබා ගත් 'යම් ජයග්‍රහණයක්' බව රජය ප්‍රකාශ කළේය.
'කෙළින්ම අන්තර්ජාතික පරීක්ෂණයක් කියල කියන්නේ නැහැ, හංගල ගහලා තියෙනවා' බොහෝ රටවලින් සහාය නො ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණය යෝජනාවට ඇතුළු වී නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේය. නමුත් අවසන් මොහොතේ හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව යෝජනාවට එක් කළ හැකි තත්වයක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. 'මෙතැන ප්‍රශ්නය තමයි අවසන් මොහොතේ හෝ ඔවුන්ට මෙයට සංශෝධනයක් ගෙන ඒමට හැකි වීම, ඒ නිසා ඒ පිළිබඳ ව වැඩිය සතුටට පවත්වන්න නරකයි' අමාත්‍ය සිරිපාල ද සිල්වා තව දුරටත් කියා සිටියේය. දැනට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සෘජුවම ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් නොවුවත් ඒ සදහා යම් පසුබිමක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 'කෙළින්ම අන්තර්ජාතික පරීක්ෂණයක් කියල කියන්නේ නැහැ, හංගල ගහලා තියෙනවා, අන්තර්ජාතික පරීක්ෂණයකට යම් පසුබිමක් සකස් කරලා තියෙනවා’ යැයි පවසන නිමල් සිරිපාල ද සිල්වා, වර්තමාන යෝජනාවට ද ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් පළ කරන බව කියා සිටියේ ය. 'ඡන්දෙට ජිනීවා' ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැගී ඇති චෝදනාවලට පිළිතුර දීමට පැහැදිලි වැඩපිළිවලක් තම රජය ගෙන ගිය බව පැවසූ අමාත්‍යවරයා එම වැඩපිළි තුළින් යම් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කියා සිටියේය. ජිනිවා යෝජනාව පරාජය කිරීම රජයේ උත්සාහය බැවින් ඒ සඳහා සාමාජික රටවලින් ඡන්දය බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි. මේ අතර රටේ ඡන්දයක් පැවැත්වෙන සෑම මොහොතක ම මෙලෙස ජාත්‍යන්තර මැදිහත් වීම ප්‍රබල වීම ආණ්ඩුවේත් ජාත්‍යන්තර ප්‍රජාවේත් සහයෝගයෙන් සිදු වන දෙයක් ද යන්න සැක මතු වන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි. මැතිවරණයක් පැවැත්වෙන විට ජිනීවා සමුළුවක් හෝ රටේ සමුළුවක් පැවැත් වීම පසුගිය කාලය පුරාවට ම දක්නට ලැබුණු බවයි එහි නායක අනුර කුමාර දිසානායක සඳුදා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ.
උතුරේදී ආරක්ෂක හමුදාව සමඟ ගැටුමකින් මියගියා යැයි ආණ්ඩුව පවසන ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන් ගේ මව වන සෙල්වනායගී රාසමලර් රැඳවුම් භාරයෙන් නිදහස් කළ බව පොලිසිය පවසයි.
ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන් ගෝපිගේ මව ඉරිදා විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කළ බවයි වවුනියාවේ දිනසේන රතුගමගේ ඒ පිළිබඳ කළ විමසීමකදී ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරියෙකු ප්‍රකාශ කොට තිබෙන්නේ. ඊට අමතරව සඳුදා වන විට තවත් රැඳවියන් දහතුන් දෙනෙකුද නිදහස් කොට ඇති බවත් ඔහු පැවසීය. ගෝපි ගේ නායකත්වයෙන් එල්ටීටීඊ ය යලි පණ ගැන්වීමට උත්සාහ කිරීමේ චෝදනා මත පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් රැඳවුම් භාරයට ගත් සංඛ්‍යාව හැට පහක්. හතළිස් දෙදෙනෙකු රැදවුම් භාරයේ මේ වන විට එයින් විසිතුන් දෙනකු නිදහස් කර ඇති අතර තවත් හතළිස් දෙදෙනකු තවමත් රැඳවුම් භාරයේ පසුවෙති. ඔවුන් නිදහස් කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවයි අදාළ නිලධාරියා සඳහන් කළේ. තවමත් රැඳවුම් භාරයේ සිටින්නන් අතර මියගිය ගෝපිගේ බිරිඳ වන ශර්මිලාද වේ. නිදහස ලැබූ ගෝපිගේ මව බැලීමට ඔහුගේ මාමා කෙනෙකු සඳුදා කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලයට ගොස් තිබුණු අතර ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූ බවයි, දිනසේන රතුගමගේ පවසන්නේ. ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා සිටින පිරිස සහ ගෝපිගේ මව පිළිබඳව කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ අගහරුවාදා වන විට තමාට මේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් නිකුත් කළ හැකි බවයි.
ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතික පවුලක් නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම පිණිස ගුවන් යානය පිටත්වීමට මිනිත්තු කීපයක් තිබියදී රටේ රැඳී සිටීමට අවසර ලැබී තිබේ.
වැටලීමෙන් පසු මාස නවයක් වන බාල දියණිය ධරුනිගා සහ අවුරුදු දෙකක් වයසැති වැඩිමහල් දියණිය කෝපිගා දෙමාපියන්ගෙන් වෙන් කර ඇත අධිකරණය මගින් අවසන් මොහොතේ ලබා දුන් තහනම් නියෝගයක් අනුව නඩේසලිංගම්, ප්‍රියා සහ ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ඔවුන්ගේ දියණියන් දෙදෙනා පිටුවහල් කිරීම තාවකාලිකව නතර කෙරිණ. පිටුවහල් කිරීමේ අධිකරණ තීරණයට එරෙහිව ඔවුන් වාසය කළ බිලොඑලා (Biloela) ප්‍රදේශයේ වැසියන් විරෝධතාවල නියැලී සිටියහ. ලබන මැයි මාසයේ ඔවුන් සම්බන්ධ නඩුව යළි කැඳවෙන තුරු පවුලේ හතර දෙනා නැවතත් රැඳවුම් භාරයට ගෙන තිබේ. නඩේසලිංගම්ගේ පවුලට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර දෙන මෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් ගෙන් ඉල්ලා සිටිමින්, 5,500 ක පමණ පිරිසක් වෙසෙන බිලොඑලා ප්‍රදේශවාසීන් දියත්කළ පෙත්සමට 76,000 කට ආසන්න පිරිසක් අත්සන් තබා තිබේ. 'මිනිත්තු දහයෙන් සූදානම් විය යුතුයි' නඩේසලිංගම් සහ ප්‍රියා ඔස්ට්‍රේලියාවේදී මුණ ගැසී විවාහ වී ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පසුව ඔවුන් දෙදෙනා 2012 සහ 2013 වර්ෂවල බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත. "නඩේස් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස සිටිය නිසා ඔහු නැවත ගියොත් වධහිංසාවලට ලක් වෙන්න පුළුවන්," යැයි දෙමළ අනාථයන් සඳහා වූ සංවිධානයේ (Tamil Refugee Council) ප්‍රකාශක බෙන් හිලියර් පැවසුවේය. නඩේසලිංගම් සහ ප්‍රියා ඔස්ට්‍රේලියාවේදී මුණ ගැසී විවාහ වී ඇත ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා නඩේසලිංගම් යොමු කළ අයදුම්පත ප්‍රතික්ෂේප විය. ඒ වන විට තම දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටි ප්‍රියාට එරට රැඳීමට තාවකාලික බලපත්‍රයක් හිමි විය. නමුත් ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායට අයත් නිලධාරීන් මාර්තු පස් වන දින අලුයම නඩේසලිංගම්ගේ නිවස වටලන විට ඔවුන් කිසිවෙකුටත් නීත්‍යානුකූල වීසා බලපත්‍ර තිබී නැත. "මේ සියල්ල සිදු වෙලා තියෙන්නේ ඉතාමත් රහසිගතව. ඔවුන් ජීවිත කාලයම පාවිච්චි කරපු භාණ්ඩ අසුරවගන්න වෙලාව දී තිබෙන්නේ විනාඩි දහයක් පමණයි," යනුවෙන් නඩේසලිංගම් පවුලේ මිතුරියක වන ඇන්ජෙලා ෆ්‍රෙඩ්රික්ස් බීබීසී වෙත පැවසුවාය. ඔවුන් පිටුවහල් කිරීමට විරුද්ධ පෙත්සම ආරම්භ කරන ලද්දේ සමාජ සේවා ක්‍රියාකාරිනියක් වන ඇන්ජෙලා විසිනි. මේ තොරතුරුද දැනගන්න: නඩේසලිංගම් රැකියාව කළේ ප්‍රදේශයේ පිහිටි මස් කර්මාන්තශාලාවකය. නිලධාරීන් අලුයම පහට නිවස වටලන විට ඔහු රැකියාවට යෑමට සූදානම් වෙමින් සිට ඇති අතර, ප්‍රියා තම ළදරුවාට පෙවීමට කිරි උණුසුම් කරමින් සිට ඇත. මාස නවයක් වන බාල දියණිය ධරුනිගා සහ දෙහැවිරිදි වැඩිමහල් දියණිය කෝපිගා දෙමාපියන්ගෙන් වෙන් කර ඇත. ඉන් පසු මුළු පවුලේ සියලු දෙනාම ඔවුන් ජීවත්ව සිටි ප්‍රදේශයේ සිට කිලෝමීටර් 1,500 ක් එපිටින් පිහිටි මෙල්බර්න් නගරය වෙත රැගෙන යන ලදී. 'ඉතා දුෂ්ඨ ක්‍රියාවක්' පිටුවහල් කිරීමට කැමැත්ත පළකරමින් අදාළ ලේඛනයට අත්සන් තබන තෙක් කිසිම පිටස්තර පුද්ගලයෙකු ඇමතීමට නඩේසලිංගම්ගේ පවුලට මෙල්බර්න් නුවර දී ඉඩ ලබා දී නැත. දෙදිනකට පසු එකී ලේඛනයට ඔවුන් අත්සන් තැබූහ. ඉන් පසු තම පවුලේ වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් දී ඔවුන්ගේ තත්වය පැහැදිලි කිරීමට කටයුතු කර ඇත. වැටලීමෙන් සතියකට පසු, පසුගිය අඟහරුවාදා නඩේසලිංගම් සහ ප්‍රියා එක් ගුවන් යානයකත්, දරුවන් දෙදෙනා තවත් ගුවන් යානයකත් මෙල්බර්න් සිට පර්ත් බලා පිටත් කර යවන ලදී. පිටුවහල් කළ යුතු තවත් දෙමළ ජාතිකයන් පිරිසක් සමග නඩේසලිංගම්ගේ පවුල ද පර්ත් නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට ගුවන් යානයට නැගීමට සූදානම් වුහ. අධිකරණය නිකුත් කළ තහනම් නියෝගය ප්‍රකාර ඔවුට තවදුරටත් රටේ රැඳී සිටීමට අවසර ලැබුනේ එහිදීය. මේ වන විට නඩේසලිංගම්ගේ පවුල රඳවාගෙන සිටින්නේ ඔවුන්ගේ නිවසේ සිට කිලෝමීටර 4,475 ක් එපිටින් පිහිටි පර්ත් නුවර කඳවුරකය. "මෙය ඉතාමත් නිවට දුෂ්ඨ ක්‍රියාවක්. ධරුනිගා සහ කෝපිගා ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ. මේක ඒ දෙදෙනාගේ නිවස. ඔවුන්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය නැහැ වගේම කවදාවත් එහෙට ගිහින් නැහැ," සිද්ධිය ගැන අදහස් දක්වමින් හිලියර් පැවසුවේය. "අපරාධකරුවන්ට වගේ මාංචු දාලා, ළදරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කරලා තමයි රැගෙන ගිහින් තිබුණේ. ඔස්ට්‍රේලියාව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නැද්ද? ආණ්ඩුව ඔවුන් මේ කරන දේ ගැන දීර්ඝව හිතන්න කියල මම ඉල්ලීමක් කරනවා," ඇන්ජෙලා ෆ්‍රෙඩ්රික්ස් පැවසුවාය. "ධරුනිගා සහ කෝපිගා ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ. මේක ඒ දෙදෙනාගේ නිවස. ඔවුන්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය නැහැ වගේම කවදාවත් එහෙට ගිහින් නැහැ," යුද සරණාගතයන් ලෙස ඔස්ට්‍රේලියාවේ රැඳීමට නඩේසලිංගම් පවුල යවා ඇති අයදුම්පත බොහෝ කාලයක සිට නිරීක්ෂණය කරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පැවසුවේය. "ඔවුන් දිගින් දිගටම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නීති කඩ කරමින් සිටියා," යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය. එමෙන්ම නඩේසලිංගම් පවුලේ සාමාජිකයන් ඉතා ආරක්ෂිතව නිවසින් රැගෙන ගිය බව ඔහු සඳහන් කළේය. ප්‍රියා තම දියණියන් රැගෙන ඇවිදීමට යන උද්‍යානයට පසුගිය බදාදා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියේ පිටුවහල් කිරීමට විරෝධතාව පෑමටය. "ඔවුන් අපේ යහළුවෝ, අපේ අසල්වාසීන්. අපි මේ මිනිස්සුන්ව දන්නවා. ඔවුන්ට සහ ඔවුන් මෙම සමාජයට කරන මෙහෙයට අපි ආදරය කරනවා. අපිට ඒ අය නැවත මේ ප්‍රදේශයට අවශ්‍යයි," ෆ්‍රෙඩ්රික්ස් තවදුරටත් පැවසුවාය. ප්‍රියා තම දියණියන් රැගෙන ඇවිදීමට යන උද්‍යානයට පසුගිය බදාදා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියේ පිටුවහල් කිරීමට විරෝධතාව පෑමටය
මාතර, පිටබැද්දර ප්‍රදේශයේ බාල වියේ දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හමුදා සොල්දාදුවකු සහ දැරිය දූෂණය කිරීම පිණිස කාමරයක් සපයා දුන් කාන්තාවකද සැකකරුවන් දොළොස් දෙනා අතර සිටිති පසුගිය ජූලි 10 වැනි දින නිවසින් අතුරුදහන් වූ දහතුන් හැවිරිදි දැරිය එදින දහවල් යාමයේ පුරුෂයන් නම දෙනකු විසින්වත් දූෂණය කරනු ලැබ ඇති බවයි, මාතර කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසන්නේ. එදිනම රාත්‍රියේ තවත් පුරුෂයන් පිරිසක් විසින් දැරිය සමූහ වශයෙන් දූෂණය කර ඇති බවත් කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත පසුගිය සතියේ බීබීසී සංදේශයට කියා සිටියාය. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 12 දෙනකු පසුගිය සිකුරාදා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු අතර, තවත් සැකකරුවන් දෙදෙනකු ඉරිදා සවස් යාමයේ කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. දස වැනි වියේ සිට වසර ගණනාවක් සිය පියාගේ කම්හලේ සේවය කරන පිරිස ඇතුළු පුරුෂයන් අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ බවත් දැරියගේ ප්‍රකාශයේ සඳහන්. ජූලි 11 වැනි දින සරණක් පතා මාතර විහාරස්ථානයකට පැමිණි අවස්ථාවේ එහි වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ නමක්ද තමන් දූෂණය කළ බවත් දැරිය පොලිසියට පවසා තිබේ. චුදිත භික්ෂුන් වහන්සේ ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකු තවමත් සොයමින් සිටින බවත් පොලිස් පරීක්ෂකවරිය සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළාය. ඒ අතරින් සැකකරුවන් තිදෙනෙකුගේ අනන්‍යතාවය දන්නා නමුත්, ඉතිරි තිදෙනා තවමත් නමින් හඳුනාගෙන නැති බවත් පොලිසිය පවසයි. හත් වැනි වියේදී සිය සොහොයුරාගේ මිතුරෙකු අතින් මුලින්ම ලිංගික අපයෝජනයට ලක් වූ බවත්, ඉන් අනතුරුව දස වැනි වියේ සිට වසර ගණනාවක් සිය පියාගේ කම්හලේ සේවය කරන පිරිස ඇතුළු පුරුෂයන් අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ බවත් දැරියගේ ප්‍රකාශයේ සඳහන්.
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් ගේ ඝාතනයත් සමග උතුරු කොරියාව සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර අවධානය යළි ඉහළ යමින් පවතියි.
කිම් පවුලේ ඉතිහාසය උතුරු කොරියාව නමින් රාජ්‍යක්. ලෝක සිතියමට එක් වූ දා පටන් ගතවූ දශක කීපය පුරාම එය පැවතුණේ බාහිර ලෝකයෙන් වෙන්වූ තත්වයකය. උතුරු කොරියාව තවමත් නාමික වශයෙන් කොම්යුනිස්ට් පාලනයක් පවතින රටවල් අතලොස්සෙන් එකකි. රටක් වශයෙන් උතුරු කොරියාව ජාත්‍යන්තරය තුළ හුදෙකලා වීමට වැඩි වශයෙන් බලපා ඇත්තේ එරට පාලනය විසින් දිගින් දිගටම සිදු කරනු ලබන න්‍යෂ්ටික අත්හදා බැලීම්ය. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග උතුරු කොරියාව බිහි විය. අඩ සියවසකට ආසන්න කාලයක් උතුරු කොරියාවේ දේශපාලන සබඳතා හැඩ ගැන්වූ එරට නිර්මාතෘ කිම් ඉල් සුන්ග්ට උතුරු කොරියාවේ ඉතිහාසය තුළ වැඩි ඉඩක් හිමිවේ. ඔහු විසින් ගෙන යන ලද දැඩි රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය, පුද්ගලාභිවාදනය මත පදනම් වූ නායකත්වයක් බිහි වීමට හේතු විය. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් උතුරු කොරියාවේ ඉතිහාසය තුළ සුවිශේෂී දින ඒකාධිපති රාජ්‍යයක් වශයෙන් සැලකෙන උතුරු කොරියාව සිතාමතාම මානව හිමිකම් උල්ලංඝනය කරන බවටත් චෝදනා එල්ල වේ. කිම් පවුලේ තෙවන පරම්පරාව නියෝජනය කරන උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් අන් එරට නිර්මාතෘ කිම් ඉල් සුන්ග් ගේ මුනුබුරෙකි. කිම් ජොන්ග් අන් ගේ පියා වූ එරට නායකයාව සිටි කිම් ජොන් ඉල් හෘදයාබාධයක් හේතුවෙන් 2011 වසරේ දෙසැම්බර් මාසයේ දී මරණයට පත් විය. ඉන් අනතුරුව කිම් ජොන්ග් අන් උතුරු කොරියාවේ නායකයා බවට පත් විය. වත්මන් පාලනය කිම් ජොන්ග් අන් පාලනය යටතේ ද උතුරු කොරියාව සිය හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය තුළ තවදුරටත් රැඳී සිටියි. උතුරු කොරියාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍රවල සංඛ්‍යාත රජයේ මාධ්‍ය සේවා පමණක් විකාශනයවන පරිදි සුසර කරනු ලැබ තිබේ. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග උතුරු කොරියාව බිහි විය පුවත්පත් සහ විකාශන ආයතන සියල්ල සෘජු ලෙසම රජයේ පාලනයේ පවතියි. රටේ ආර්ථික අපහසුතා සහ අගහිඟකම් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ නොවන අතර, උතුරු කොරියාව විදේශ මාධ්‍යවලට ප්‍රවෘත්ති වාර්තා කිරීම දුෂ්කර රටවල් අතරට එක්වෙයි.
අලි ඇතුන් ගෘහස්ථ කරණයට අමතරව ඔවුන් පිටරට පැටවීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වෙමින් ඇතැයි ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ පුබුදු වීර රත්න පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ නිවසක සඟවා සිටි අලි පැටවකු මුදා ගත් අවස්ථාවක්. 'දිනුදා'අලි පැටියා දකුණු කොරියාවට යැවීමේ සැලැස්මක් ජනාධිපතිවරයාගේ නියමයෙන් නතර කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු වීරරත්න කියා සිටියේ, එම අලි පැටියාගේ ගමන නතර කිරීම සතුටට කරුණක් නමුත් උපන් දිනය හෝ නම සැලකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති අතර පරිසර වේදියෙක් හැටියට තමාට හැම අලි පැටියකුම සමාන බවයි. පසුගිය අවධියේ චීනය, ජපානය සහ යුරෝපයේ රටවලට අලි පැටවුන් යවා ඇති බවයි, ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ පුබුදු වීර රත්න වැඩි දුරටත් පවසන්නේ. අලින් සමඟ ගුවන් ගමන් සතුන් විදේශ ගත කිරීමේ සැලැස්ම තුලින් ඇතැම් පුද්ගලයන් ද විදේශ සංචාර සඳහා ගුවන් ගත වන බවයි පරිසරවේදියා පෙන්වා දෙන්නේ. එක ම විදේශ සත්ව උද්‍යානයට ශ්‍රී ලංකා අලි පැටවුන් කීප දෙනා බැගින් සපයා ඇති බවක් අනාවරණය වී ඇති බවත් පුබුදු වීරරත්න පවසයි. පින්නවල අනාථ අලි පැටව්. “වයස අවුරුදු පහට අඩු කිරි බොන අලි පැටවුන් පිටරට පැටවීම තහනම් කරපු අධිකරණ නියෝගයකුත් තියෙනවා. අලියා අද අපේ රටේ වඳ වී යාමේ අනතුරට මුහුණ දී සිටින ජීවියෙක්.” යයි ද ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ පුබුදු වීර රත්න සිහිපත් කරයි. ශ්‍රී ලංකාව අලි ඇතුන් ආරක්‍ෂා කර ගත යුතුව ඇති මෙවැනි කාලයක එම සතුන් පිටරට පැටවීම තරයේ හෙලා දකින බව ජාත්‍යන්තර සත්ව ශුභ සාධන භාරයේ සභාපතිනි අයිරාංගනී ද සිල්වා පවසන්නීය. කැලේ සතුන් අයිති කැලේට බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ බලධාරීන් අලි ඇතුන්ගේ වටිනාකම වටහා නො ගැනීම කනගාටුවට කරුණක් වන බවයි. පින්නවල අලි අනාථාගාරයේ සිටින ‘දිනුදා’ සහ ‘උදාර’ යන අලි පැටවුන් දෙදෙනා දකුණු කොරියාවේ පෞද්ගලික සත්ව උද්‍යානයකට යැවීමට කටයුතු කෙරෙමින් තිබුණ අතර පරිසර සංවිධානවල උද්ඝෝෂණ හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එය නතර කළ බව විශේෂ ව්‍යාපෘති භාර ඇමති එස්.එම්.චන්ද්‍රසේන පවසයි. එහෙත් උද්භිද උද්‍යාන සහ විනෝදාත්මක කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම් විලී ගමගේ පවසන්නේ 'දිනුදා' සහ 'උදාර' වෙනුවට ඉදිරි දිනයක වෙනත් අලි පැටවුන් දෙදෙනකු දකුණු කොරියාවට යවන බවයි. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වඳ වීමට හේතුව පිට රට යැවීම නොව මිනිස් ක්‍රියාකාරකම් වන බවයි ලේකම්වරයාගේ අදහස වන්නේ.
වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් වසර දහයක් දක්වා සිරගත කළ හැකි නව නීති පනතක් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.
අනවසරයෙන් දඩයම් කරන ලද වන සතුන් දැනුවත්ව මිළ දී ගන්නා පුද්ගලයින්ද මේ නීතියට අනුව සිර භාරයට ගැනීමේ හැකියාව හිමි වන බවයි, වැඩිදුරටත් පැවසෙන්නේ. එවැන්නන්ට වසර තුන දක්වා සිරදඬුවම් නියම කිරීමට නියමිතයි. රජයේ වාර්තා අනුව වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින හාරසිය විස්සක් පමණ වන සත්ව විශේෂ අතරට පැන්ඩාවන්, ආසියානු කළු වලසුන් හා කබල්ලෑවන් අයත් වේ. වන සතුන් මෙසේ දඩයම් කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුව වශයෙන් දැක්වෙන්නේ වන සත්ව මස් ආහාරයට ගැනීම හා ඒ ආශ්‍රයෙන් කෙරෙන නිෂ්පාදන බවයි පැවසෙන්නේ. වලසුන් දස දහසක් ෂින්හුවා පුවත් සේවයට අනුව අපරාධකරුවන් මර්ධනය කිරීමට නොයෙක් අවස්ථාවන්හි පියවර ගෙන ඇති නමුත් වරදකරුවන් නිසි දඩුවම් නොලබා චෝදනා වලින් මිදී යන බව වාර්තා වේ. චීන ජාතික ජනතා කොන්ග්‍රසයේ නීති හා ක්‍රම සම්පාදන කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී ලැන්ග් ෂෙන්ග් නීති සම්පාදකයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙවන් මහා පරිමාණ නීති විරෝධී සත්ව දඩයම් සදහා මූලික වශයෙන් දඩයම්කරුවන් පෙළඹෙන්නේ එම නිෂ්පාදන මිළට ගන්නා පුද්ගලයන් නිසා බවයි. වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් ඇතුළු බොහෝ ආසියානුවන් මෙවැනි සතුන් ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය හොඳින් පවත්වා ගැනීමට හා රෝග සුවපත් කර ගැනීමට හැකියාව ලැබෙන බව විශ්වාස කරති. චීන දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව පුළුස්සන ලද කබල්ලෑ කොරපොතු විෂ නැසීමට හා අංශ භාග රෝගී තත්වයෙන් සුවය ලැබීමට උපකාරී වන බවට විශ්වාස කරනු ලැබේ. ඒ අතරම පිසින ලද කබල්ලෑ මස් ප්‍රණීත ආහාරයක් වශයෙන්ද චීන ජාතිකයන් අතර ප්‍රසිද්ධයි. මේ අතර වලසුන්ගේ පිත විවිධ රෝගාබාධයන් සදහා පිළියම් කිරීමට චීන ජතිකයන් විසින් යොදා ගනු ලබනවා. සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් වන ඇනිමල් ඒෂියා සංවිධානය පවසන්නේ අවම වශයෙන් කළු වලසුන් දස දහසක් පමණ චීන ගොවි පොළවල් තුල රදවා තබා ඔවුන්ගේ පිත දෝවා ගන්නා බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කළාපයේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කරන වෙළදුන් පිළිබඳ කරන ලද අධ්‍යනයකකට අනුව ඇතැම් පුද්ගලයන් වන සතුන් පරිභෝජනය සදහා යොදා ගන්නේ සමාජ තත්වය අන්‍යන්ට හැඟ වීමට හා භාහිර අලංකරණය සදහායි. එම අධ්‍යනයට අනුව චීනය වන සතුන් වෙළදාමේ කළාපීය බලවතා බවට පත්ව ඇති බව වැඩි දුරටත් සදහන් වේ.
දශක ගණනාවක් මුළුල්ලේ පැවති දේශපාලන ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම රජයක වගකීම බව ජාතික හෙළ උරුමය පවසයි.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඒ බව සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේ පැවති අතුරුදහන් වූවන් සම්බන්ධ ජාතික දින සැමරුම අමතා අදහස් පළ කරමිනි. යුද ගැටුම්වලින් අතුරුදහන් වූ උතුරේ සාමාන්‍ය වැසියන් මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන් 5600 ක්ද යුද්ධයේදී අතුරුදහන් වී ඇති බව පෙන්වා දුන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඒ සියලු දෙනාට අත් වූ ඉරණම සොයා බැලිය යුතු බවත් සඳහන් කළේය. අතීතය පිළිබඳ 'හාරා අවුස්සා තුවාලය යළි පෑරීමට' සූදානම් නැති වුවත් දෙමාපියන් ඇතුළු ඥාතීන්ට සිය ආදරනීයන් අමතක කිරීමේ හැකියාවක් හා සූදානමක් නැති බැවින් ඔවුන්ට යුක්තිය ඉටු විය යුතු බවත් ඔහු පැවසීය. "අපි අමතක කරන්න සූදානම්. ඒත් මේ දෙමාපියන් තමන්ගේ ප්‍රියයන් අමතක කරන්න සූදානම් නෑ. ඔවුන්ට යුක්තිය ඉෂ්ට විය යුතුයි," ඔහු පැවසීය. එහිදී අදහස් දැක්වූ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) සම්බන්ධ පනත සම්මත කර ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය විරෝධ පල කිරීම දැඩි විවේචනයට ලක් කළේය. 89 යුගයේ අතුරුදහන් කිරීම්වලට විරුද්ධව රට තුල පමණක් නොව ජාත්‍යන්තරයට ගොස් හඬ නැගූ 'මානව හිමිකම් වීරයා' වර්තමානයේ මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. "සමහර වෙලාවට එයාල ඉතිහාසය දන්නේ නැතුව ඇති. සමහර වෙලාවට මේ පනත තේරුම් ගන්න බැරුව වෙන්න ඇති," අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් පැවසීය.
"විදේශිකයන්ට පමණයි" යනුවෙන් දැන්විම් පුවරු සහිතව පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් සම්බන්ධයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර පවසයි.
මේ වනවිට දකුණු පළාතේ පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් රැසක් දේශිය සංචාරකයින්ට දොර වසමින් 'විදේශිකයන්ට පමණක්' පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබි තිබෙන බව ඔහු සඳහන් කරයි. "මේ පිළිබඳව පළාත් පාලන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුනා. ඒ අනුව දකුණු පළාතේ එවැනි හෝටල් පරික්ෂාකර බලා හෝටල් හිමියන් දැනුවත් කොට එවැනි දැන්විම් පුවරු වහාම ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස නිලධාරින්ට මම උපදෙස් දුන්නා. එසේ ඉවත් නොකරන්නේ නම් වෙළඳ බලපත්‍රය දෙන්නේ නැහැ. වෙළඳ බලපත්‍රය ලබානොගෙන පවත්වාගෙන යන්නේ නම් අධිකරණයේ නඩු පවරනවා," දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර අනතුරු අඟවයි. ඊට අමතරව, විදේශිකයින් විසින් පවත්වාගෙන යනු ලබන 'විලා' සම්බන්ධයෙන්ද විමර්ශණය කිරිමට පියවර ගැනීමත් බලධාරීන්ගේ නිගමනය වී ඇත. "මෙම 'විලා'වලට එන්නේ කවුද? කරන්නේ කුමක්ද? කිසිවෙක් දන්නේ නැහැ. මේවාට පළාත් පාලන ආයතනවලින් වෙළඳ බලපත්‍ර ගන්නේ නැහැ. වාණිජ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වන්නේ නැහැ. එනිසා පළාත් පාලන ආයතනවලට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ." දේශීය සංචාරකයන්ට දොර වසන්නේ අසෝබන හැසිරීම නිසාද ? වහාම නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් පවසයි දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර තව දුරටත් මෙසේ සඳහන් කළේය. "මෙම 'විලා' පවත්වාගෙනයන විදේශිකයන්, අන්තර්ජාලය මගින් විදේශිකයින් සම්බන්ධකරගෙන මෙරටට ගෙන්වා ගන්නවා. ඒ සියලු ආදායම් ව්‍යාපාරය කරන විදේශිකයා තමන්ගේ රටට ගෙනයනවා. එනිසා ඒවා පිළිබඳව සොයා අප බලනවා." දකුණු පලාත් පාලන කොමසාරිස්වරයාට අනුව අදාළ පරික්ෂා කිරිම් ගාල්ල කොටුව ප්‍රදේශයෙන් ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ. ඒ සඳහා සංචාරක මණ්ඩලය පොලිසිය පළාත් පලාන ආයනතවල ආදායම් නිලධාරින්ගේද සහාය ලබාගනු ඇත. විදේශිකයන් සඳහා පමණක් පවත්වා ගෙන යන හෝටල්වල බලපත්‍ර අවලංගු කර එවන් ස්ථානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා පසුගියදා ප්‍රකාශ කළේය. එහි ප්‍රතිපලයක් ලෙස, විශේෂයෙන්ම දකුණු පළාතේ උණවටුන, ගාලු කොටුව, මිරිස්ස යන ප්‍රදේශවල සමහර හෝටල් 'විදේශිකයින්ට පමණයි' යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර තිබෙන අයුරු අද (04.01.2018) එම ප්‍රදේශවල සංචාරය කිරිමේ දී දක්නට ලැබුණි. ගාලු කොටුවේ විදේශිකයන්ට පමණක් කාමර පහසුකම් ලබාදෙන සංචාරක නිවසක් අයිති නම සඳහන් කිරිමට අකමැති පුද්ගලයෙක් බිබිසී සිංහල සේවයට අදහස් දක්වමින්, "බෝයි ෆ්‍රේන්ඩ් කියලා එක්කගෙන එන්නේ බිච් බෝයිස්ලා. ඒ වගේම එන සමහර දේශිය පුද්ගලයින් මෙතන ඇවිල්ලා අසෝබන විදියට හැසිරෙනවා. පසුගිය දවසක එහෙම ආවා -විදේශීය කාන්තාවක් එයාගේ බෝයි ෆ්‍රේන්ඩ් කියලා එක්කෙනෙක් එක්ක . මම එයාට කිව්වා - කාමර දෙන්න බැහැ කියලා. ඊට පස්සේ එයාගේ සමාජජාල ගිණුමක ඒ පිළිබඳව සටහනක් දාල තිබ්බා - එය විවේචනය කරලා" යනුවෙන් පැවසිය. "මම විදේශිකයන්ට පමණයි කියලා කාමර සේවා පවත්වාගෙන යන්නේ නිවාඩුව සැනසිල්ලෙන් ගත කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ඉහළ ගුණාත්මක බවින් සහ හොඳ සේවාවක් ලබාදෙන අරමුණින් '' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර ගලු කොටුවෙන් පිටත සංචාරක බංගලාවක් හිමි පුද්ගලයෙක් අදහස් දක්වමින් 'විදේශිකයන්ට පමණක් යනුවෙන් නවාතැන් ලබාදිමේ ක්‍රියාවලිය' වැලක්විමට ක්‍රියාකිරිම හොඳ ප්‍රවණතාවයක් බව ප්‍රකාශ කළේය. තමන් ද පසුගිය දිනෙක ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට ගිය අවස්ථාවේ එවැනි අමිහිරි අත්දැකිමට මුහුණ දුන් බවත් ඔහු පැවසිය. මිට සම්බන්ධ තවත් පුවත්:
එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලට පැමිණීමට නොහැකිව සිටි කුලියාපිටියේ දරුවා ඉන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ පවසයි.
දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ ඉහත කී දරුවාට එච්අයිවී ආසාදනය වී නොමැති බවට කරුණු පහදා දීම සඳහා සෙසු පාසල් දරුවන්ගේ දෙමව්පියන් සහ සෞඛ්‍යය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී සෞඛ්‍යය බලධාරීන් දෙමව්පියන් වෙත කරුණු පහදා දීමට දැඩි වෙහෙසක් ගෙන ඇති නමුත් දරුවා තවදුරටත් පාසලේ රැඳී සිටීමට එරෙහිව සෙසු දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න පවසන්නේ. සෙසු දෙමව්පියන් වෙතින් දිගින් දිගටම එල්ල වූ දැඩි විරෝධය හමුවේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන් අනතුරුවයි. වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ කෙසේ වෙතත් දරුවා පාසලෙන් ඉවත් කර ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන් විසින් ගනු ලැබූ තීන්දුවට එහි සිටි සෞඛ්‍යය නිලධාරීන් සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් විරෝධය පළ කොට ඇත. මේ අතර පාසලේ පැවති හමුවෙන් අනතුරුව සිය නිවසට පැමිණි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා තම දරුවාට වෙනත් පාසලක් ලබා දෙන බව කියා සිටියේ යැයි මව පැවසුවාය. දරුවාට ස්ථීර වශයෙන්ම එච්අයිවී ආසාදනය වී නොමැති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ඊයේ අඟහරුවාදා සංදේශයට කියා සිටියේය.
සෙනසුරාදා පැවැත්වුණු මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන පහක් දිනා ගැනීම මෙවර මැතිවරණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් මධ්‍යම පළාත් සභාවේ ආසන පනස් අටෙන් ආසන තිස් හයක් ජයග්‍රහණය කළ පාලක සන්ධානය වයඹ පළාතේද ආසන පනස් දෙකෙන් ආසන තිස් හතරක් ජයග්‍රහණය කොට තිබේ. සාමාන්‍යයෙන් මධ්‍යම පළාතේ ඉදිරියෙන් සිටින එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙන්නේ ආසන දහසයකි. වයඹ පළාතේ එජාපය දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ ආසන දාහතරක් පමණයි. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පළාත් සභා දෙකෙන් ආසන පහක් දිනා ගැනීම මෙවර මැතිවරණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. මධ්‍යම පළාතේ එක ආසනයක් හෝ දිනා ගැනීමට අපොහොසත් වී ඇති ජනතා විමුක්ති පෙරමුණ වයඹ පළාතේ එක ආසනයක් දිනා ගෙන තිබේ.
විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳුදා (පෙබරවාරි 12) උදෑසන දිවයිනට පැමිණියේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට වාර්තා පළ වෙන අතරවාරයේ ඔහු විදේශ ගත වීම විශේෂ සිදුවීමක් විය. ඔහුගේ නීතිවේදීන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබේ. පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක සමයේ විදේශගතව සිටි ඔහු, ඇමරිකා එක්සත් ජනපදයේ සිට යළි සිය රට පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය. "මහින්ද ජනාධිපතිතුමාගේ වැදගත්කම එදා රැවටුණු අයට තේරුනානේ," ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබදව ගුවන්තොටුපොළෙහි සිට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේය. තවත් කියවන්න: 2020 ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තරග කළ නොහැකි බැවින් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර තිබුණි. ඉදිරියේ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමට සුදානම් දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට හිටපු ඔහු ඊට පිළිතුරු දුන්නේ "තාම නැහැ" යනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි විමසු විට ඔහු පැවසුවේ "බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ," යනුවෙනි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීමට නොහැකිය. ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ - බැසිල් බීබීසීය මින් පෙර ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි විමසූ විට ඔහු පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය. මේ තොරතුරුද දැනගන්න:
එල්ටීටීඊ සාමාජිකයන් බවට සැක කෙරෙන පිරිසක් සහ ආරක්ෂක හමුදා අතර පදවියේදී ඇති වූ ගැටුමකින් එල්ටීටීඊ නායකයන් තිදෙනෙකු වෙඩි තබා මරා දමා ඇති බව ආරක්ෂක අංශ පවසයි.
පදවිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කොටුවූ සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන තිදෙනා හමුදාවට වෙඩි තැබීමෙන් අනතුරුව යුද හමුදාව එල්ල කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වීමෙන් අනතුරුව උතුරු ප්‍රදේශයේ ඇති වූ පළමු ගැටුම ලෙස මෙය වාර්තා වෙයි. 'එල්ටීටීඊ' හිස එසවීම එල්ටීටීඊ සංවිධානයට යළි පණ පිහිටුවන්නට උත්සාහ දැරූ තිදෙනෙකු මරා දැමූ බවයි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පවසන්නේ. ‘එල්ටීටීඊය යළි හිස එසවීමට දරන කිසිදු උත්සාහයක් අනුමත නොකරන ප්‍රදේශවාසීන්ගෙන් නොකඩවා ලැබුණු තොරතුරු මෙම පරීක්ෂණ සඳහා විශාල පිටුවහලක් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. ඒ අනුව සැකකරුවන් සිටි ප්‍රදේශය වටලා ඇති අතර ඔවුන් පලා යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් ඇතිවූ බව බලධාරීහු පවසති. පදවිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කොටුවූ සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි,සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන තිදෙනා හමුදාවට වෙඩි තැබීමෙන් අනතුරුව යුද හමුදාව එල්ල කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. සැබවින්ම සිදු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, මීට දින කිහිපයකට ඉහතදී ගෝපි අත් අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ බවක් දෙමළ පුවත්පතක් වාර්තා කොට තිබූ බවද ප්‍රකාශ කරයි. නීතිමය ක්‍රියා මාර්ග ත්‍රස්තවාදී කටයුතු යළි ආරම්භ කිරීමේ ක්‍රියාවලියක් ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සාක්ෂි ඇත්නම් සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ඕනෑම රජයකට අවස්ථාව ඇති නමුත් වෙඩි තැබීම්වලින් පුද්ගලයන් මිය යාම සම්බන්ධයෙන් ගැට‍ළු මතු කෙරෙන බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු පවසන්නේ. මෙය ත්‍රස්තවාදයට පමණක් සම්බන්ධ ගැටලුවක් පමණක් නොව වෙනත් ප්‍රදේශවල දී පවා දකින්නට ලැබෙන බවයි ඔහු පැවසුවේ. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසියට හෝ යුද හමුදාවට හෝ බාධා පැමිණ වූ අවස්ථාවල දී වෙඩි තැබීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වූ බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරන බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු සඳහන් කළේ. අවශ්‍යම වුවහොත් පුද්ගලයන්ට ජීවිත හානි සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට ඉඩ කඩ පවතින බවයි ඔහු කියා සිටින්නේ. උතුරේ හෝ දකුණේ දේශපාලන නැගිටීම් ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි නමුත් උතුරේ අද පවතින දැඩි ආරක්ෂක විධි විධාන මැද එවැන්නකට ඇති ඉඩකඩ ඉතාමත්ම සීමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා හමුදාවට අයත් ගුවන් යානයක් අද උදෑසන හපුතලේ ප්‍රදේශයට කඩාවැටී තිබේ.
එසේ අනතුරට ලක්වී තිබෙන්නේ වීරවිල සිට පිටත්ව ගිය Y-12 වර්ගයේ ගුවන් යානයකි. එය කඩා වැදී තිබෙන්නේ හපුතලේ අයිස් පීල්ල ප්‍රදේශයට ය. යානයේ කාර්ය මණ්ඩලය සිව් දෙනෙකුගෙන් සමන්විත වූ අතර අනතුරේදී ඒ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. අදාළ ගුවන් යානය දෛනික ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි එකක් බව ද ගුවන් හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය. අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් පරීක්ෂණ අධිකරණයක් (court of inquiry) පත් කරනු ලැබ ඇති බවද ඔහු පැවසීය. මේ තොරතුරු ද දැනගන්න:
පුරා පැය 32 ක් මුළුල්ලේ මුහුදේ අතරමංව සිටි අවස්ථාවේ සිය ජීවිතය බේරාගැනීම පිළිබඳ සියලු බලාපොරොත්තු බොඳ වූ බව දිය මත ලිස්සා යාමේ (Surfing) ක්‍රීඩාවේ නිරතව සිටියදී මුහුදේ අතරමං වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පවසයි.
පැය 32 ක් මුහුදේ කොටු වුනු සර්ෆින් ක්‍රීඩකයා පසුගිය ඉරිදා Surfing ක්‍රීඩාව සඳහා මුහුදු ගිය උතුරු ලනාක්ෂයර් පළාතේ වැසියකුවන මැතිව් බ්‍රයිස් ඉන් පැය 32 කට පසුව සොයා ගනු ලැබුවේ එහි සිට සැතපුම් 13 ක් ඈත මුහුදේ අතරමංව සිටියදීය. තමන්ට තවත් රාත්‍රියක් දැකගන්නට නොලැබෙනු ඇතැයි සිතමින් එදින ඉර බැස යන ආකාරය ඈත මුහුදේ සිට කිසිදු අපේක්ෂාවකින් තොරව බලා සිටි බව බෙල්ෆාස්ට් නුවර සිය රෝහල් ඇඳේ සිට ඔහු සිහිපත් කළේ කඳුළු අතරිනි. සිය පුතු පිළිබඳ තොරතුරක් නොදැන දින එකහමාරකට ආසන්න කාලයක් වේදනාවෙන් ගත කළ ආකාරය ඔහුගේ දෙමාපියෝ බීබීසී යට හෙළි කළහ. "සුපුරුදු සාමාන්‍ය දිනයක්" ලෙසින් එදාත් සිය දිනය ආරම්භ වූ අයුරු මැතිව් බ්‍රයිස් බීබීසී ස්කොට්ලන්ඩ් අංශයේ ජැකී බර්ඩ් සමග විස්තර කළේය. සුපුරුදු ලෙසින් උදෑසන 11ට ඔහු මුහුදට ගියත් තද සුළඟ සහ රළු මුහුද විසින් තමා මොහොතින් මොහොත දියඹට රැගෙන යද්දී තදින් බියපත් වූ බව මැතිව් පවසයි. එක් අවස්තාවක මුහුදු රළ පෙළ ඔහු වෙරළට සැතපුමක් දක්වා ආසන්නයට රැගෙන ආවත්, ඉන් අනතුරුව යළිත් වරක් එහි දිශානතිය වෙනස් වී තිබේ. රැල්ලේ පාවී යන අතරවාරයේ ධීවර යාත්‍රා කිහිපයක් දැක ආධාර පතා කෑගැසුවත් ඔවුන්ට සිය කෑගැසීම නොඇසුණු බව ඔහු පවසයි. පැය කිහිපයකට පසුව තවදුරටත් දිය මත ලිස්සා යාමට ඔහුට ශක්තියක් නොවීය. එහෙත් සීතලෙන් බේරීම පිණිස අමාරුවෙන් වුවත් දිගටම ක්‍රීඩාවේ යෙදීමට ඔහුට සිදුවිය. රාත්‍රිය උදාවීමත් සමග කෑලි කපන අඳුරත්, හුදෙකලාවත්, මුහුදු රළ හැරුණු විට පැවති දැඩි නිශ්චලත්වයත් නිසා ඔහු බියෙන් තැතිගත්තේය. "මම එක හෙලිකොප්ටරයක්වත් දැක්කේ නෑ. ඒ මගේ ජීවිතේ අවසානය කියල මට තේරුණා." "ආයෙ කවදාවත් ඉර උදාවෙනවා දකින්න ලැබේවි කියල මම හිතුවේ නෑ." බේරාගැනීමේ හෙලිකොප්ටර් යාත්‍රාවක් මගින් ඔහු බේරාගනු ලැබුවේ සඳුදා රාත්‍රී 7:30 ට පමණය.
යෝජිත සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට පැවරී ඇති බලතල අඩු නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය, ෂාන් විජයලාල් ද සිල්වා පවසයි.
සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් සුපිරි ඇමතිවරයෙකු බිහිකිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබේ මහ ඇමතිවරයා ඒ බව සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳව අගමැතිවරයා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතා කතාකරමින්. සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් සුපිරි ඇමතිවරයෙකු බිහිකිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබෙන අතර, එම කෙටුම්පත දැන් පළාත සභාවල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. කෙසේ නමුත් අගමැතිවරයා විසින් කැඳවන ලද සාකච්ඡාව සඳහා සහභාගි වී තිබුණේ දකුණ, බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් පමණයි. උතුර, ඌව සහ උතුරු මැද උතුර, ඌව සහ උතුරු මැද පළාත් සභා දැනටමත් අදාළ කෙටුම්පත වැඩි ඡන්දයෙන් පරාජය කර තිබෙන අතර, එමගින් පළාත් සභාවල බලතල අඩුවන බවට තර්ක කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට අනෙක් පළාත් සභාද තීරණය කර තිබේ. චීනය සමග ඇතිකරගත් එකඟතාවන් අනුව, ඉදිරි වසර කිහිපය තුළ දකුණු පළාතේ කර්මාන්තශාලා 2400ක් බිහිවීමට නියමිත බව අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි කෙසේ වෙතත් යෝජිත පනත පළාත් සභාවල බලතල සීමා කරන බවට එල්ල වන විවේචනය ප්‍රතික්ෂේප කළ අගමැතිවරයා, පනතට යෝජනා කරන සංශෝධන ලිඛිතව ලබා දෙන මෙන් මහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් ෂාන් විජයලාල් ද සිල්වා මහ ඇමතිවරයා පැවසීය. පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර සංවර්ධන කටයුතුවලදී පුළුල් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම පිළිබඳවත් අගමැතිවරයාගේ අවධානය යොමුවූ බව, සාකච්ඡාවට එක්ව සිටි නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය අහ්මඩ් නසීර් පැවසීය. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත මගින් සිදු කිරීමට අපේක්‍ෂිත කාර්යභාරය පිළිබඳව අගමැතිවරයා මහ ඇමතිවරුන්ට කරුණු පැහැදිලි කළ බව, අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙමගින් අරමුණු කෙරෙනුයේ පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් නොව, ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගි කරගැනීම පමණක් යයි අගමැතිවරයා මහ ඇමතිවරුන්ට පෙන්වා දුන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති.
'විපක්ෂයෙන් අවොතින් එයාට ඕනෑ තරම් කැපිලි කෙටිලි' මෙම රංගන ශිල්පීන් දෙදෙනා මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්. ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ 'ඇන්ඩ් කොම්පැනි' දේශපාලන ප්‍රහසන මාලාව දේශපාලන බලපෑම් මත හදිසියේ ම නවතා දැමීමට එම නාලිකාව තීරණය කර තිබෙන බවයි එම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද්‍ර යසස් පවසන්නේ. තමන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම මෙම වැඩසටහන අත්හිටවීමට හේතු වී ඇතැයි රවින්ද්‍ර යසස් සංදේශයට කියා සිටියේය. 'ඇන්ඩ් කොම්පැනි' "ෂූටින් තියෙන දවසට කලින් දවසේ අපිට කතා කරලා කිව්වා 'ඇන්ඩ් කොම්පැනි' නැවැත්තුවා කියලා, මම නිෂ්පාදක තුමාගෙන් ඇහුවා, එතුමා කිව්වා ඉහළින් මේ වැඩසටහන නවත්තන්න කියලා තියෙනවා කියලා... රජය පැත්තෙන් ආවොතින් ඒ අයට දෙන්න පුළුවන් හැම රුකුලක් ම දෙනවා, විපක්ෂයෙන් අවොතින් අන්න එයාට ඕනෑ තරම් කැපිලි කෙටිලි තියෙනවා," රවීන්ද්‍ර යසස් පැවසීය. ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ ‘ඇන්ඩ් කොම්පැනි’ දේශපාලන ප්‍රහසන මාලාව මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තවත් අපේක්ෂකයෙකු වන රංගන ශිල්පී ජගත් බෙනරගම පවසන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන 'පබසරා' ටෙලි නාට්‍යයෙන්, දේශපාලන හේතු මත තමා ඉවත් කර ඇති බවයි. "කොටස් 100 ක නාට්‍යයක කොටස් 30ක් රඟපාල තියෙද්දී එක්වරම මම නොදැනුවත්වම මගේ චරිතය මරා දමල, මම වෙනුවෙන් වෙනත් කෙනෙක් දාල තමයි ඒ මරා දැමුණු දර්ශනය අරගෙන තියෙන්නේ, මට ඒ ගැන කිව්වෙත් නැහැ, මේක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්," ජගත් බෙනරගම පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ මෙම කලාකරුවන් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් චෝදනා නැගීම සාධාරණ නොවන බවයි රජයේ ජනමාධ්‍ය අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසන්නේ. 'අසාධාරණයක් නෑ' "මේක ආණ්ඩුව හෝ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කරන නාට්‍යයක් නම් අපිට මේ ගැන කතා කරන්න තිබුනා. මේක පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන නාට්‍යයක්. දැන් ඔය කියන සමහර වැඩසටහනුත් පෞද්ගලික ආයතන කරන ඒවා," යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය. ආණ්ඩුවට හිතවත් කලාකරුවන්ට ඇතැම් විට ආණ්ඩුවේ සහයෝගයක් හිමි වන බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පිළිගත් නමුත් ආණ්ඩුවට හිතවත් නොවන කිසිදු කලාකරුවෙකුට අසාධාරණයක් සිදු කර නැතැයි ද පැවසුවේය. "රටම ඉල්ලන කලාකරුවන් හැම මාධ්‍යයකම වැඩ කරනවනේ. එච්චරම හයියක් නැති ඔහේ එල්ලිල ඉන්න අය තමන්ට මොකක් හරි අඩුපාඩුවක් උනාම ඒක ආණ්ඩුව පිටේ දානව. වැඩසටහනකට හොඳ ඉල්ලුමක් තියෙනව නම්, වෙළඳ දැන්වීම් තියෙනව නම්, ජනතාවගේ ප්‍රසාදය තියෙනව නම් ඒකෙ ඉන්න කලාකරුවන් කවදාවත් කැපෙන්නේ නැහැ," යන්න මන්ත්‍රීවරයාගේ තර්කයයි. 'ඇන්ඩ් කොම්පැනි' වැඩසටහන නැවැත්වීම පිළිබඳව ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර ගෙන් අදහස් විමසීමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර, ජගත් බෙනරගම ඉවත් කල බව පවසන 'පබසරා' නාට්‍යයේ අධ්‍යක්ෂ ජෝශප් පෙරේරා තමන්ට මේ සම්බන්ධයෙන් දුරකථන මාර්ග ඔස්සේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියේය.
සෙනසුරාදා පැවැත්වුණු ඌව පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද 173,993 ක් ලබා ගනිමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වාර්තා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සමත් වී සිටී.
මනාප ඡන්ද 173,993 ක් ලබා ගැනීමට හරීන් ප්‍රනාන්දු සමත් වී සිටී සමස්ත මනාප ඡන්දවලින් දෙවැනි ස්ථානයට පත් වී සිටින්නේ, මොනරාගල දිස්ත්‍රික්කයේදී මනාප ඡන්ද 96,619 ක් ලබා ගත් පාලක සන්ධානයේ මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂය. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අනුර විදානගමගේ මනාප 59,316 ක් ලබාගෙන බදුල්ල දිස්ත්‍රිකයේදී ප්‍රථම ස්ථානයට පත් වී සිටී. මනාප 34,337 ක් ලබා ගත් චාමර සම්පත් සහ මනාප 31,858 ක් ලබාගත් සෙන්දිල් තොන්ඩමාන් පාලක සන්ධානය වෙනුවෙන් ඉහල මනාප ලබාගත් අනෙක් අපේක්ෂකයන්. 'සාමකාමී වාතාවරණයක්' ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබා ගත් මනාප සංඛ්‍යාව 96,619 ක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණු රුද්‍රජීවන් වේලායුදන් මනාප 30,457 ක් ලබා ගනිමින් එජාප අපේක්ෂකයන් අතරින් දෙවැනි ස්ථානයට පත් වී සිටියි. මනාප ඡන්ද 14,161 ක් ලබා ගත් සමන්ත විද්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී සිටින එකම අපේක්‍ෂකයාය. මැතිවරණයෙන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා සාමකාමී වාතාවරණයක් පැවති බව බදුල්ලේ සිටින ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි. සෙනසුරාදා පැවති මැතිවරණයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ලබා ගනිමින් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක් ඇතුළුව මන්ත්‍රී ආසන 19ක් දිනාගනිමින් බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274,773ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 13ක් දිනා ගැනීමට සමත් වී තිබේ.
කතෝලික රදගුරුවරයකු විසින් තමා දූෂණය කරන ලදැයි චෝදනා කරන ඉන්දියානු කිතුනු කන්‍යා සහෝදරියක් වතිකානය මගින් ද තමාට යුක්තියක් ඉටු නොවූ බව පවසන්නීය.
2019 අගෝස්තු මාසයේ ආගමික සභාවෙන් නෙරපා හරින ලද ලුසී කලප්පුරා(Lucy Kalappura)නම් කන්‍යා සහෝදරිය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ "ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්"කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හරිනු ලැබ සිටින්නීය. එසේ නෙරපා හරින ලද නමුත් තමා වාසය කරන කන්‍යාරාමයෙන් පිටව නොයන බව කියා සිටින කන්‍යා සහෝදරිය තමාට යුක්තිය පතා අධිකරණය ඉදිරියට යාම සඳහා සැලසුම් කරමින් සිටින බව කියා සිටින්නීය. ලුසී කලප්පුරා (Lucy Kalappura) කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව 2018 වසරේ දියත් කෙරුණු විරෝධතා ව්‍යාපාරයකට හවුල් වී ඇත. 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. එහෙත් රදගුරු මුලක්කාල් ඔහුට එරෙහි සියලු චෝදනා බැහැර කරයි. වතිකානය විසින් කන්‍යා සහෝදරියගේ අභියාචනය ප්‍රතික්‍ෂේප කරන ලද ලිපියේ පිටපතක් ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය නෙරපා හරින ලද්දේ ආගමික සභාවේ විධිමත් නීති උල්ලංඝනය කෙරෙන ඇයගේ ජීවන රටාව සැලකිල්ලට ගනිමින් යයි කේරලයේ "ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්"කිතුනු සභාව (FCC)පවසයි. එහෙත් සභාවෙන් නෙරපා හැරීමට සැබෑ හේතුව තමා රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබීම යැයි කන්‍යා සහෝදරිය කියා සිටී. "වතිකානයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මම සෑහීමකට පත්වන්නේ නැහැ" ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය බීබීසි හි යෝගිතා ලිමායේ (Yogita Limaye) සමඟ සඳහන් කළාය. පල්ලියේ නිලධාරීන් තමාගේ පැත්තෙන් කරුණු විමසීමට අඩුතරමින් තමාට කතාකිරීමටවත් ක්‍රියා නොකළ බව කන්‍යා සහෝදරිය කියා සිටින්නීය. "මම කන්‍යාරාමයෙන් පිට වෙන්නේ නැහැ. මගේ ජීවන රටාව සකස් වෙලා තියෙන්නේ ආගමික සභාවේ නීති සහ රෙගුලාසිවලට අනුකූලවයි" ඇය වැඩිදුරටත් සඳහන් කළාය. "කන්‍යා සහෝදරිය සම්බන්ධයෙන් දෙන ලද තීරණය තම නෛතික අයිතිවාසිකම්වලට පටහැනි යයි හැඟී යන්නේනම් එම තීරණය සම්බන්ධයෙන් ඇයට යළි "පිහිටක්" පැතිය හැකි බව රෝමයේ වතිකානයෙන් ලද ලිපියෙහි සඳහන් වෙතත් එවැනි අභියාචනයක් කිරීමේ අදහසක් නොමැති" බව ද ඇය කියා සිටින්නීය. මට දෙවැනි අභියාචනයක් සඳහා අවසරය ලැබී තිබෙනවා. නමුත් ඔවුන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කළාට පස්සේ එවැනි අභියාචනයක් කිරීමේ තේරුමක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ.මගේ ඊළඟ පියවර ආගමික සභාවේ බලධාරීන්ගේ නීතිවිරෝධී හැසිරීමට මුහුණ දෙන්නන් සහ ඔවුන් විසින් පීඩාවට ලක් කරනු ලබන සියලුදෙනා වෙනුවෙන් උසාවියට යාමයි" " ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය බීබීසි සමග ප්‍රකාශ කළාය. "ඉන්දියාවේ කතෝලික සභාව ලිංගික අපචාර ඉදිරියේ නිහඬ ඇයි?" රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව තවත් කන්‍යා සහෝදරියන් පිරිසක් ද විරෝධය පළකර ඇත. දූෂණ අපචාර ඉදිරියේ "ඇස් වසාගෙන" සිටින බවට එම කන්‍යා සහෝදරියෝ කේරලයේ කතෝලික සභාවට මෙන්ම වතිකානයට ද චෝදනා කරති. ඉන්දියාවේ සිටින වතිකාන තානාපතිවරයාට, පවතින තත්ත්වය තමන් ලිපියකින් දැනුම් දෙන අතරවාරයේ වතිකානයට පවා ලියා ඇතත් එම දෙපාර්ශ්වයෙන්ම කිසිදු ප්‍රතිචාරයක් නොලද බවත් ඔවුහු පවසති. ඒ අතරවාරයේ කේරලයේ කතෝලික සභාව ඉහත කී විරෝධතා ක්‍රියාමාර්ග ගත් කන්‍යා සහෝදරියන්ට එරෙහිව දඬුවම් කිරීමේ වැඩ පිළිවෙලකට ගොස් ඇත. විනය ක්‍රියාමාර්ග ගන්නා බවට කෙරෙන අනතුරු ඇඟවීම් සහ වෙනත් ආයතනවලට මාරුකර යැවීම් පිළිබඳව දැනුම්දීම් ඊට ඇතුළත් වේ. "රදගුරුවරයා ආරක්ෂා කර ගැනීම සඳහා ආගමික සභාවේ බලධාරීන් සාක්‍ෂි විනාශ කිරීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින බව කේරලයේ අධිකරණයක් ඉදිරියේ සාක්ෂිදුන් එක් කන්‍යා සහෝදරියක් විනිසකරුට කියා සිටියාය. කියවන්න;
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව එල්ල වී තිබෙන වංචා, දූෂණ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසම තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කෙරිණ.
මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රේගුව වෙත නිකුත් කළ නියෝගයකින් රජයට රුපියල් මිලියන 619 ක පාඩුවක් සිදු වූ බවට චෝදනා මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රේගුව වෙත නිකුත් කළ නියෝගයකින් රජයට රුපියල් මිලියන 619 ක පාඩුවක් සිදු වූ බව පැවසෙන අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි අල්ලස් කොමිසමට නියෝගයක් පනවන මෙන් ඉල්ලා නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. පෙත්සම කැඳ වූ අවස්ථාවේ නීතිවේදි කොඩිතුවක්කු අධිකරණය හමුවේ කියා සිටියේ මොහාන් පීරිස්ට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවට අල්ලස් කොමිසම ලිඛිතව දැනුම් දී තිබෙන නිසා පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම අනවශ්‍ය බවයි. එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම පිණිස අවසර දෙන මෙන් නීතිවේදියා ඉල්ලීමක් කළේය. ඒ අනුව පෙත්සම ලබන ජුලි 27 වැනි දින කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම ඉල්ලීම සලකා බලන බව නිවේදනය කළේය. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු කියා සිටියේ, පොරොන්දු ප්‍රකාර අල්ලස් කොමිසම එම පරීක්ෂණය නොපවත්වන්නේ නම් යලිත් වරක් පෙත්සම ඉදිරිපත් කරන බවයි.
‘ඒරියා 51’ (Area 51) යනුවෙන් නම් කරන ලද අධි රහස්‍ය කඳවුරක් නිර්මාණය කළ බව ඇමෙරිකානු සී.අයි.ඒ.රහස් ඔත්තු අංශය අන්තිමේ දී පිළිගෙන ඇත.
1950 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදය U 2 ඔත්තු බැලීමේ යානය නිර්මාණය කළේ,එවකට පැවති සෝවියට් සංගමයේ ඔත්තු බැලීමටයි. එවැනි රහස්‍ය කඳවුරක් ඇති බව ඇමෙරිකානු ආණ්ඩුව වසර ගණනාවක් ම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමිනුයි තිබුණේ. ඇමෙරිකානු තාක්ෂණයේ ඉදිරි පිම්මක් වූ U 2 ඔත්තු බැලීමේ යානා ඉතිහාසය අනාවරණය කෙරෙන නව වාර්තාවක් මගින් ඉහත කී කඳවුර ගැන තොරතුරු හෙළි කොට ඇති අතර,ඒ අනුව දැන් කඳවුර තිබෙන්නේ , නෙවාඩා (Nevada) කාන්තාරයේ. 1950 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදය U 2 ඔත්තු බැලීමේ යානය නිර්මාණය කළේ,එවකට පැවති සෝවියට් සංගමයේ ඔත්තු බැලීමටයි. එහෙත් එම අධි රහස්‍ය කඳවුර මේ දක්වා කිසිදු ඇමෙරිකානු නිල සිතියමකට ඇතුළත් කොට නොතිබුන අතර,අඩු තරමින් චන්ද්‍රිකා ඡායාරූපයකවත් එය දක්නට නොලැබුණි. ආරක්ෂක තොරතුරු පිළිබඳ බ්‍රිතාන්‍ය විශ්ලේෂකයකු වන ක්‍රිෂ් පොකොක්(Chris Pocock) බීබීසියට අදහස් දක්වමින්,U2 යානා ඉතා ඉහල අහසේ පියාසර කරමින් තිබෙන විට ඒවාට හිරුරැස් වැටී බබලද්දී, එම දිස්නයෙන් මුලා වූ ඊට පහතින් පියාසර කරන මගී ගුවන් යානවන්හි බොහෝ නියමුවන් එම රිදී පැහැති U2 යානා පියාඹන පීරිසි හෝ ඇතැම් විට පිටසක්වළ ජීවීන් පිළිබඳ ලකුණක් විය හැකි බවට නොමග ගිය බවත් සඳහන් කළේය. එහෙත් ඉන්පසු කාලයෙහි එම යානා නිර්මාණය කෙරුනේ කළු පැහැයෙනි.
අද දින පැවැත්වුණ (ජූලි 10) ක්‍රිකට් ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ තරගයෙන් ඉන්දියාව පරදා නවසීලන්තය ජයග්‍රහණය කළේය.
ඒ අනුව, ඉරිදා (ජූලි 14) පැවැත්වෙන අවසන් තරගයට නවසීලන්තය සුදුසුකම් ලැබීය. කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අඟහරුවාදා (ජූලි 09) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දු වාර 46ක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 211ක් රැස්කර ගත්හ. බදාදා නැවතත් තරගය ආරම්භ කළ පසු නැවත ඉන්දීය කණ්ඩායමට මුහුණ දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 239ක් රැස් කළහ. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් රොස් ටේලර් (Ross Taylor) ලකුණු 74ක් රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 67ක් ලබා සිටිය දී රවීන්ද්‍ර ජඩේජා ලබාගත් උඩ පන්දුවකින් දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 පන්දු දෙකක දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණි. ඉන්දීය කණ්ඩායමේ පළමු පිතිකරුවන් තිදෙනා ම රැස් කරගෙන ඇත්තේ එක ලකුණ බැගිනි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77ක් ලබාගත් අතර, මහේන්ද්‍රසිං ධෝනි ලකුණු 50ක් රැස් කර සිටිය දී දැවී ගියේය. ඉන්දීය ක්‍රීඩකයන් හතර දෙනෙකු හැර අනෙක් සියලු දෙනා ලකුණු දහයට අඩුවෙන් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය. නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි කඩුලු තුනක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් (Trent Boult) සහ මිෂෙල් සැන්ට්නර් (Mitchell Santner) කඩුලු දෙක බැගින් දවා ගත්හ. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හෙට (ජූලි 11) පැවැත්වෙන දෙවෙනි අර්ධ අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම නවසීලන්තය සමග ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් තරගයට මුහුණ දීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න:
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුල පියා නිශ්චිත නොමැති බාල වයස්කාර දරුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව කාන්තා සංවිධාන ප්‍රකාශ කරයි.
අවුරුදු දහසයට අඩු ළමයින් පවා පියවරුන් අහිමි වීමට මුහුණ පා සිටින බව කාන්තා සංවිධාන පවසයි යුද ගැටුම් නිමාවීමෙන් පසු නිශ්චිත පියවරුන් නොමැතිව උපදින දරුවන් ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි පවසන කාන්තා සංවිධාන කියා සිටින්නේ යුද සමයේදී මෙවැනි ළමයින් ගේ සංඛ්‍යාව සියයකට අඩුව පැවැති බවයි. යුද්ධයෙන් දෙමාපියන් අහිමිවීම නිසා උතුරේ තරුණියන් විශාල පිරිසක් හුදකලා වී සිටීමත්, ද්‍රවිඩ තරුණියන් වෙනුවෙන් විවාහයේදී ලබා දියයුතු දෑවැද්ද වෙනුවෙන් මුදල් නොමැති නිසා තරුණියන් දෙමාපිය අකමැත්තෙන් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමත්, පියවරුන් නාඳුනන දරුවන් වැඩිවීමට හේතුවී ඇති බවයි යාපනයේ සහ මන්නාරමේ කාන්තා සංවිධාන කිහිපයක් පවසන්නේ. 'විශේෂ තත්වයක් නොවේ' දරුවන් මුහුණ පා සිටින පියවරුන් පිලිබඳ ගැටලුව උතුරේ කාන්තා සංවිධාන විසින් ප්‍රකාශයට පත් වුනේ කාන්තා සංවිධාන එකමුතුව විසින් වවුනියාව නගරයේ පැවැත්වූ වැඩ මුලුවකදී. මේ උතුරට හෝ ශ්‍රී ලංකාවට පමණක් විශේෂිත තත්වයක් නොවන පොදු තත්වයක් ලෙසයි ළමා ආරක්ෂණ අධිකාරිය නිශ්චිත පියවරුන් නොමැතිව උපදින දරුවන් ගේ සංඛ්‍යාව වැඩිවීම ගැන බීබීසී සංදේශය කළ විමසීමකදී පැවසුවේ. ඇමරිකාව, එංගලන්තය ආදී දියුණු රටවලත් සෝමාලියාව හෝ එවැනි තවමත් දියුණුවට පත් නොවූ රටවලත් දරුවන් එවැනි ගැටලුවකට මුහුණ පා සිටින බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක පවසයි. අධිකාරියේ සභාපතිනිය පවසන ආකාරයට ළමාරක්ෂණ අධිකාරියට මැදිහත් විය හැක්කේ වයස අවුරුදු අටට අඩු දරුවන් හා සම්බන්ධ කාරණා වලදී පමණයි. එසේ වුවත් උතුරේ කාන්තා සංවිධාන පවසන්නේ වයස අවුරුදු දහසයට අඩු ළමයින් පවා මෙලෙස පියවරුන් අහිමි වීමට මුහුණ පා සිටින බවයි.